ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2025 මැයි කලාපය
\'සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව්\'
නැගිට එන්නට සා දුකින් පෙළෙනා එවුන් වෙත කෙරුණු ඇරයුම
ඇසී හිමිදිරි පාන්දර මම ආවෙ පැදුරට නොකිය තනියම
අපේ සීයා ඔය පාඨයම නිතර කියනා සොඳුරු අයුරුම
මතකයට එයි, තෙමේ අත්තටු පෙඟී රැවටුණු රුහිරු කඳුලුම
පසුපසින් ඇති හෝටලේ තරු දිවා ආහර බෙදන අයූරු
නගා ගන්නෙමි සිතට අවසර නැතිය පිවිසෙනු බැඳී පවුරු
එදා වාගේ අදත් \'අන්තිම සටන සැරසෙව් \' ඇසෙන මියුරු
වදන්, ඒවා වදන් මිස ගණනකට ගන්නේ කවුද සොයුරු
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
කොතෙකුත් ඉවසමින් ඉවසා බැරිම තැන
සිය වෙස් වෙළාගෙන වෙසකින් නොහඳුනන
හිමි සොය සොයා දෙනතින් උණු කඳුළු ගෙන
ඇය එන්නීය රජ මැදුරින් පිටත පැන
හිමි ආ ගිය අතක තොරතුරු නොදැන සිට
මායා රට වනැයි ඉපදුනු සැකය පිට
බලවත් වියෝ දුකකින් මහ මඟට බට
ඇය යන ගමන ගැන නොදනිති තවම රට
නම මිස එහෙත් මායා රට කොහෙද කියා
කිසිවක් නොදන්නී යන්තම් ලකුණු සොයා
වෙහෙසී වෙහෙස නොබලා ගැහැණියක නියා
ඇය ගම් දනව් පසුකර ඉදිරියට ගියා
වරදක්වත් මගෙන් මහිමිට සිදුවීද
පෙන්නූ ආදරය හෙම ඉරිි තැලුනාද
රජකම එපා වී තපසට වැඩියාද
කවදා කොතැනකදි යළි මට හමුවේ ද
මෙලෙසින් සිත සිතා ඈ මහ මග යද්දී
සඟ බෝ රජතුමා හිස දන් දුන් සිද්දී
ඇගෙ දෙසවනට බැඳුනෙන් හිම දෙදරද්දී
ඇය පිස්සියක් වූවා හිස ගිනි වැද්දී
සඟ බෝ රජිඳු හිස දන් දුන් වනය වෙත
කෙලෙසින් හෝ නමුදු ඇය දැන් පැමිණ ඇත
බිහිසුණු වන සතුන්ගේ හඬ දුලබ නැත
වැඩි වෙයි කෙමෙන් සිය හිමි රජ සොයන තැත
ඒ වන ලැහැබ මැද මහ කටු පඳුරු මැදින්
ඇය වැටි වැටී යන විට සෝ පිරුණු හදින්
හිස නැති මළකඳක් ඇය හට පෙනෙන ලදින්
මුසු පත් වුනා කවරෙකුගේ සරණ ඉතින්
"රජසැප ඉවත දා හිස මගියෙකුට පුදා
හිමියනි අනේ ඔබ කළ දේ බොහොම හොඳා"
මේ පිස්සිය හෙවත් සඟබෝ බිසව එදා
වැළපෙන්නට වුනා ඒ මළ සිරුර බදා
කවිය බලන්න
සමරමු සම්මා සම්බුදු හිමි......
සම්මා සම්බුදු ගෞතම මුණිගේ
නිම්මා නැතිදම් ගඟුලෙන් නැහැවේ
නම්මා රසකව් මල්දම් විලසේ
අද මා ගයනෙමි බැතිගී මෙලෙසේ
සුරලොව තුසිතයෙ රජකම් හැරදා
මනුලොව දඹදිව උපදින කුමරා
ගිහිසැප හැරදා නිවනම සෙව්වා
තුන්ලොව අගතැන බුදුබව ලැබුවා
පන්සාලිස් වසරක් බණ කීවා
සුර,බඹ,නර සැම නිති සැනසූවා
අසූවියෙදි පිරිනිවනට වැඩියා
ඒ මුනි ගුණකඳ සමරමු මෙදිනා
කවිය බලන්න
ප්‍රීති වෙසක් ........
බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදා
සොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදා
කාර් එකෙන් සුපිරි වෙළද හලට ගිහින් මෙදා
උජාරුවෙන් වෙන අය හැදූ කූඩු අරන් මෙදා
ගඩොල් වලින් බැම්ම තනා මැටි පහනේ එදා
තෙල් පුරවා එළි මැව්වේ සුදු තිරවැටි යොදා
හනි හනිකට කඩේට ගොස් බකට් අරං මෙදා
අඩුවට ගත් බල්බ් වැලෙන් එළිය ගත්තෙ මෙදා
සුදු සරමින් , ළමා සාරියෙන් හැඩවී එදා
අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තනේ එදා
කෑම කකා එල බයිටක් හපන ගමන් මෙදා
ටීවී එකෙ රියැලිටි ෂෝ බණ මොනවද සුදා
ලෑන්ඩ් මාස්ටරේ නැගිලා තොරන් බැලුව එදා
වෙසක් මතක දුරයි තාම සතුටු මතක එදා
දන්සැල් , ඔළු බක්කො ඩිස්කෝ නැති කෝලම් මෙදා
ටික් ටොක් කර ගේම් ගහමු ළමයි කියයි මෙදා
කවිය බලන්න
යශෝධාරා දේවියගේ සිතුවිළි
ගෝර සසර තුල සොයනට නිවන අමා.
පාරමිතා ගුණ පුරමින සිරස නමා
බාරි වුවද හැම බවයෙම නැතුව පමා
සාර කල්පයෙදි තනිකම ලදිමි මෙමා.
පැතු අයුරටම අතහරිමින යසෝදරා
සතුටින ඉන්න බුදුපදවියෙ රසේදරා
අසු කන්තකව කරගනිමින නඩේගුරා
හිමි වනගතවුනා මහදෙහි තොසේමරා.
නානා රූප රාජිණියන් වගෙ ගැහැණු
මානාගෙන රාග සිතිවිලි තුල මුහුණු
බාදා සියලු බිදලන්නට කළ පුහුණු
පෝදා ගියේ මගෙ තිබුනද ගති දුහුණු .
මේලෙස පැමිණි විටඑකතුව සසර දිගේ
නෑ කිසි පලක් රජ බිසවගෙ ලැමක රඟේ
බෑ ඉවසන්න පාලුයි දිවි ගමන මගේ
බෝ සතුටක් කෙහෙද සිදුහත් දකිනු වගේ.
ගස් අතරෙ රැඳවෙද්දි සඳකිරණ නිකැලැල්.
ගං ඉවුර සිපගත්තෙ නිරතුරුව දියරැල්.
මන් අසල සෙවනැල්ල ලෙස තිබුන මනලොල්.
දැන් කොහෙද මගෙ කුමරු ඇවිලෙනව ගිණිදැල්.
දැවි දැවි තිබෙන මොහොතක රුදු ලෙසින් ලැම.
තෙමි තෙමි නිතර සදහම් සිසි ලසින් අම
දාන දින සුගුන වඩවන අදහසින් තම.
බිඳ බිඳ සුදු කරමි එන සිත් සතන් හැම.
පින්නවලවල
කවිය බලන්න
හන්දියේ බෝධිය
එදා විලසින් උදුල සඳවත ..
අදත් සිටියත් ඔබේ තනියට.
ළපළු පලු කඳු පතර යටදී ...
සිසිලසක් නොදැනීය ඒ ලෙස.
මුනිඳු පුද කළ නිසල නෙත්සර ..
ඔබේ සෙවනින් නොපෙනුනත් මට.
වෙසඟ අලුයම රඟා ගල්වා ..
තිබුණු විලවුන් දැනුණි ලාවට.
***************************************
සේරිවාණිජ අම්බපාලී ..
පරපුරෙන් විත් හැපෙන විට ගත.
බොහෝ විට හමුවෙනව වේ මැද ..
තවම තන්හා අතැර නෑ සිත.
දුමිඳු සිරකර සිටී ..කෙලෙසක ..
බවුන් වඩනුයෙ රන් වැටින් පිට.
රතී තවමත් කුහුල්වන් වූ ..
මියුල් නෙත් සර හෙළයි මා වෙත.
2025.04.27
කවිය බලන්න
වෙසක් සඳ....
සුවහස් කල්
පෙරුමන් සතියෙන් නිම්මා...
දිනූ සදක්මය ලෝ තුරු
තිලෝ ගුරු අපේ සම්මා...
කුරවි සරෙන් බුදු නද
සවන් පුරා තිව් පෙම්මා...
නිවන් දොරටු ලඟ සිත්
කෙලෙස නිව්වද පෙම්මා...
මල් පීදේමය එදා සේම අද
සල් රුක් සුවඳ පුරා...
නැගෙන එකම අනුහසයි
මෙත් සිහිලට සිත් පුරා...
අභිනික්මන සොයා යන්නට
එතෙර වූ ජල දිය පුරා....
රැලිති නගා අදත් සෙලවේ
කන්තක දුටුවද සිට දෙව්ලොව දිහා...
දොරක් දොරක් ගානේ රැව් දෙන
තුන් රුවනේ ගුණ ගයා...
දැවෙන රිදෙන සිත් සනහන
වෙසක් සඳේ මහිම නිසා...
ඉපදී මියයන මියදී ඉපදෙන
සසර දාමේ අනියත කියා....
පිරිනිවීමක් නොදුටුවානම්
බූදු සඳ...නිවේමයි දන ලෝ පුරා....
ප්‍රේමයක් ලද්දෝ අත් හැරීමක්
කෙලෙස හෝ විදී....
සිනාවක් ලද්දෝ නෙත් තෙමීමක්
මොහොතක දරා ගනී...
විරහවක් ලද්දෝ ස්නේහයක්
දිනක හෝ ලබා ගනී...
නියත අනියත දහමේ බව දුක
වෙසක් සඳ හිනැහී මියදී කියාවී....
ඉෂංකා මිහිරි
යටියන්තොට
කවිය බලන්න
බෞතිස්මය
ගහකොළ නිදි සුළඟට නොසැළී
මල් මුකුළිත වී සුවඳත් නොම දී
පල-වැල කුරවල් වී ඇත නොපැහී
වසන්ත කාලය වියැකුණි කුණු වී...
බක් මස කොවුලන්ගේ හඬ ඇසුවෙ ද
අඹ-දඹ-නාරං-කෙසෙල් කැණ් පැසුනෙ ද
කොස්-පොල්-දෙල්-ගම්බිම්වල තිබුණෙ ද
වක්කඩ කඩලා අටුකොටු පිරුණෙ ද...
අපේ බුදුන් අප බලන්න ආවා
හපේ තියන් කට වරදට නාවා
ලපේ පෙනෙන හඳ නපුරට දාවා
කපේ මෙ සුදු බුදු රස් මල් ගාවා...
බුදු තෙමඟුල රජ වන මැයි මාසේ
හුදු ජන සිත් තුළ ගුණ වැඩ වාසේ
බොදු සිරිතට විරිතට දම් රාසේ
පොදු ලෙස සරසයි හිත් මද-හාසේ...
අමිල නිමල බුදු ගුණ සිලිලාරේ
ධවල අතල මුල් පැණ පිළි වාරේ
අයල අගිල විසකුරු මරු පාරේ
විසල සසල සිත් අද නිති පෑරේ...
හෙළ හැදියාවට බුදු ගුණ පිරුණේ
හෙළයන් පිළිබඳ කියැවුණු වරුණේ
ඒ බිඳිනට තැන තැන අප දෙරණේ
ඇත කතිකාවත් දෙවියන් සරණේ...
හැම කෘතියක් එක මිටියට ගන්නට
හැම දිවියක් අසමාන නොවන්නට
හැම සිරිත ද විරිත ද එක කීමට
හැම දිරි ගනිමින් ඇත කඩමින් වැට...
සැනැහෙන්නට මේ දහම් ප්‍රදීපේ
වඩිනු මැනැවි යළි සදහම් දීපේ
දහම් විභූතිය විකල්ප සාපේ
නුදුටු බුදුනි ඔබ කොහි මේ දීපේ!
2025.05.01
කවිය බලන්න
වෙසක් කූඩුව
ඔතන කඩදහි බඳින කූඩුව
නෙතට විසිතුරු කවන කූඩුව
පෝය දවසට පහන් කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
සුළඟ වැදුන ම නටන කූඩුව
කලක් යනවිට පරණ කූඩුව
අමාවකටත් පහන් කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
සතර සත්‍යය බැඳුණු කූඩුව
දහම අට ලෝ ඇට වු කූඩුව
නොදැන ගිනි වැද නැසෙන කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
කවිය බලන්න
මට මගහැරුනු දළදා අසිරිය...!!!
ගව් ගණනින් දුරින් සිටියත්
මම හිතින් සිටියෙමි දළදා පෝලිමේ
නැවත කෙදිනෙක දැකිය හැකි දැයි
කෙනෙකු නැත මිහිපිට කිව හැකි...
අවදිව නොවවිම්සිලිවත්ව බලා සිටියෙමි
දොහොත් මුදුන් දී වඳින අභිලාෂයෙන්
නමුත් වරම් නොලැබුණි බුදු සමිඳුනේ
වැද නමස්කාර කර ගැනුමට ඒ අසිරිමත් දළදා වහන්සේ!!!!
කවිය බලන්න
තුහිනයක් නිවන්නට තුහිනයට ලෙහෙසිද
වැහි පබළු ඇහිදින්න නිම්නයක් ඇවැසිද
මිහි උයන් පල්ලෙකුත් මුවරදට සැහැසිද
කොහි සිටන් කොහි යාද සසර ගෙයි නිවැසිද
තුහිනයක් නිවන්නට තුහිනයට ලෙහෙසිද
මැවුම් කරු හඟිස්සයි ඔවුනොවුන්ගේ වෙනස
දිරුම් සීරුම් වලට රිදුම් යටිපෙල රහස
පෙරුම් දම් පුරද්දිත් පතයි ළඳකගෙ පහස
නැවුම් හැරවුම් දිගේ පිපෙයි හෙටටත් සරස
ගොයුම් ගොත් කෙළෙස්නිවු අසහාය දුකර වත
රැවුම් ගෙරවුම් ඇතත් මරුන් බිඳ දිනූ සෙත
සෙවුම් විමසුම් අරිය දස්සනය දකින හිත
තැලුම් රිදවුම් නිවයි මුනි දැහැනෙ රුවන් පත
ආල මල් පිපෙද්දී රම්‍ය මන්දිර දෙපස
නීල නයනාවියන් රැගුම් නාටක දවස
සාල සල් වන ගැබෙක නිවා පැවසූ සුබස
කාල කප් බදුරු යුග දිබ්බ සෝතයෙ දිවැස
වැටෙන මිහිදන් සයන සුසානෙන් නිම නොවේ
සටන පිළිමල් සිතය කෙළෙස් ගින්නෙන් දැවේ
ගැටෙන හැප්පෙන ඇලුම් ගැටුම් සහසක් වැවේ
තුටින නේරංජනා නදී රළ ගොස මැවේ
කවිය බලන්න
සෝපාක විපාක
පිය සෙනෙහෙ අහිමි වූ දරුවෙක්ය සෝපාක
මවගෙ තනි රකින්නට සුළු පියෙකු පැමිණියෙය
එදා සිට විදි ගැහැට අපමණය පොඩි සිතට
කෙලි දෙලෙන් ගෙවූ කල් සිහිනයක් වී ඔහුට
දර පලන, දිය අදින
කදුළු රූරා වැටෙන
දිවියකට දිග හැරෙන
උරුම විය එ පුතු හට
ආවේශව පැමිණෙනා
රකුසකු සේ දිස් වෙනා
සුළු පියගෙ පහරිනා
කය ලෙයින් නැහැවුනා
සොහොන වෙත ගෙන ගොසින්
මිණියකට තබා උන්
බැන්දේය වර පටින්
නැවත නොඑනා ලෙසින්
දස දෙසින් කළුවර වැටුනා
මිනිස් පුළුටක් නොමැති
මල මිණී පමනක් ඇති
දුගදින් පිරී ඇති
හුදකලා සොහොන තුල
තනි වීය ඔහුගෙ සිත
මැරෙන්නට කලින් සිත මැරී වැටුනා
මලකුනේ පණුවන් ඇග පුරා දිව යනා
දුගද ඕජස් ගලන මුළු ගතම නැහැවුනා
කෑ ගසන්නට බියයි පණු කැදලි
කට තුලට වැටෙනා
නරි කැල හූ හඩ නගති
ලං වෙනා බව දැනෙයි
අසරනවු පුංචි සිත
ඉකි ගසා හඩ තලයි
සිතා ගත නොහැකි විය
දිස්වීය එළියක්
ඇසුනු ඒ මිහිරි හඩ
ඒ බ්‍රහ්ම ස්වරය
‘නැගිටින්න පුත සෝපාක’
වරපට කඩා වැටුනා
සෝපාක විපාක මිදුනා
කවිය බලන්න
සිත මුදවා ගනිමු අපි නෙක විකාරෙන්
නැත කෙළවරක් තිබෙනා කරදර බොහොම
කියමින් දුකෙහි ගැලිලා ඇති අය එහෙම
කියනුයෙ ඇයිද කියලා විමසමු මෙහෙම
හැකිවෙයි විසඳුමක් දෙන්නට හරි කොහොම
කරනා කිසිත් හරියන්නේ නැත අපට
කොඩිවින කරල ඇත කවුරුන් හෝ කපට
සමහරු ඉරිසියයි සිටිනා විට සැපට
එනිසා බලයි අප වට්ටන්නට ලිපට
කාලා ඇඳල අපි සිටිනා විටදි හොඳින්
කටු අනිනවා වැනි සමහර අයට ඉතින්
කාලය ධනය වැය කර කර කුමන ලෙසින්
හෝ වෙර දරති අපගේ සැප නසන රිසින්
මගෙ රැකියාව බැහැ නිසි ලෙස කරගන්න
වෙළඳාමද නොහැක ඉහළට ඔසවන්න
පැන්නුම් පිල්ලි කරමින් අප වනසන්න
වෑයම් කරන හින්දයි මේ සැම ඔන්න
මේ ලෙස නොයෙක් දේ මනසට දමාගෙන
පීඩා විඳිති නැති කරදර හදාගෙන
මේ දේ වලින් වැළකී දිරි වඩාගෙන
සුවසේ වසමු දහමට සිත යොමාගෙන
Photo credit; Benjamin Balázs
කවිය බලන්න
වෙසක් සඳ බැබලෙද්දි
වෙසක් සඳ බැබලෙද්දි
ලැබගත් බුදු පදවි අඵයම
කවුරු දන්නේද යන වගl
කියන්නට නිම කර
සත් සතිය ගතකර නිහඩව
සොයා වැඩියෙහිය මහණුන්
පස්වග නමින් පරසිදු
බරණැස මිගදායේදි
දෙසුවේය දම්සක්
ප්‍රමුඛ මහණුන් පස්වග
සමග දෙවි බඔුන් හට
ශ්‍රමණ බවත් ගෞතම
නැතහොත් අනන්ත ජින නම්වු
සිද්ධාර්ථ ගෞතමයන්
බුදු පදවි ලැබ ඇති බව
ලෝකයා එදින දැනගත්තෙහිය.
කවිය බලන්න
මැදුම් දම් තුල ඉපැදෙන මැදුම් පිලිවෙත
කියති බෝ වියත් දන "ඇත" කියා ලෝකයම දෙසති අන් වියත් දන "නැත" කියා ලෝකයම
දෙසති සම්බුදු රදුන් ඒ සැමට
ඔවදනක්
මැදි දහම
මිස නොමැත
"ඇති" බවක්
"නැති" බවක්
යම් විටෙක මෙය ඇතොත්
ඒ දේත් තියෙන්නේ
මෙය ඉපදුනොත් මිසෙක එයත් හට නොගන්නේ
මෙය නැති වුනොත් පමණි
එයත් නැතිව යන්නේ
මෙය නූපදීමෙනුයි
එයත් හට නොගන්නේ
අවිදු ඇති වුනොත් නොවැ
තණ්හාව උපන්නේ
තණ්හාව ඇති වුනොත්
බැදීමකි සැදෙන්නේ
බැදීමක් ඇති විටයි භව කර්ම
සැදෙන්නේ
භවය ඇති වුනොත් මයි යලි යලිත් උපන්නේ
තණ්හාව නැති විටයි ඉපැදුමක් නොවන්නේ
ඉපදුමක් නැති විටයි සියලු දුක් ගෙවෙන්නේ
මෙය ලබන්නට නොවෙද මැදුම් මග වඩන්නේ
මැදුම් මග දිනා යලි - මව් කුසට නොඑන්නේ
ඇත නැතැයි අවිදු අදුරේ ගිලුණු ලෝකයට
මැදුම් දම් නම් මෙයයි සොයා දුන් බුදු හිමිට
මැදුම් පිළිවෙත තුලින් කියා දුන් නිවෙන්නට
තුති පුදා එකතු වෙමු ඒ මැදුම් පිලිවෙතට!
කවිය බලන්න
වෙසක් සඳ
වැටි වැටී හැපි හැපී
යන අතර සසර මග
ඝෝරතර නිරා දුක්
විඳ තැවුණි අතර මග
අපරිමිත කරුණා ඇසින්
නහවා සත් වග
බැමි බිඳින හැටි මෙතින්
දෙසුවේ තිලො අග
දකිද්දී නුවණැසින්
මකාලිය යුතු මත
මාර දූවරු තනයි
බිඳින්නට නිවෙන තැත
නිවී සැනසුණු නෙතින්
සිඳුනු දැක ඔවුන් සැත
නිරාමිස ප්‍රීතියෙන්
වෙසක් සඳ අදත් ඇත
කවිය බලන්න
නිස්සරණ
බෝ. මළුව. අමදිමි
සිත. එතැන. අතුරමි
තුන්. සුතුර. මතුරමි
රිදුම්. පිරිමැද. නිවෙමි
බෝ පතක හැඩ. බලමි
ඇගේ රුව ඉන්. දකිමි
යසෝදරා හිමි. අහිමි
මගෙ දුක නුඹට. කියම්
වංකගිරියෙහි. සරමි
ඇගෙ විලාපය. අසමි
සිත අරම වෙත. දෙමි
මම මටම. හමුවෙම්
බොහෝ දෙන හමුවුනෙමි
බොහෝ තැන් පසූකළෙමි
මග කෙටි බව දනිමි
නිස්සරණය වැළද ගමි
කවිය බලන්න
වෙසක් සඳ
විදුලි පහනක
තොරණ් ආලෝකයක
දන් සැලක රස බතක
ඇලී ගැලී පැළවුන
කෙලෙස් දළුලා වැඩෙන සඳ...
වලාකුළු එකින් එක මගහැර
සත් වග නිවා සනසනු රිසියෙන්
වෙසක් සඳ වඩී අහසට
දල්වා අකාලික සිල ...
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමඳා සිරි සඟ මොක් සැප නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයෙ රැඳි
සඳරැස් වැනි ධවලමය බුදුරැස් ලොව පුරා දසත විහිදුවන්නා වූ
නිතරම බොහෝ ආකාරයෙන් දෙව් ලොව සම්පත්තිය හා නිවන්
සම්පත්තිය ගෙන දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ ගේ සිතෙහි
පවතී ධර්ම ස්කන්ධයෙහි පහස ලැබුවා වූ තුන් මහල් ප්‍රාසාදයෙහි
වැඩ සිටින දළදා ස්වාමීන් වහන්සේ වඳින්න.
(තුන් මහල් ප්‍රාසාදය කෝට්ටේ යුගයෙහි ය)
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
ගුත්තිල මූසිල වාදය නියම කරගත් පසු ගුත්තිල ඇදුරු සිතූ අයුරු.
192.
වැඳ මගෙ සරණ තල
වෙණ සිප් උගත් අද බල
මොහුට පුළුවන් කල
මෙමට බැරිකිම පුරුදු හැම කල
මාගේ දෙපා වැඳ වීණා ශිල්පය අධ්‍යනය කළ උගත් අඳබාල වූ මොහුට හැකිනම් පුරුදු මට බැරි ඇයි ?
193.
අතවැසි වද නොදැමි
මොහු හා වාද නොකරමි
එතකුදු වුවත් හිමි
සිල්ප සත්වැනි දවස දක්වමි
නොහික්මුණ අන්තේවාසිකයෙකු වීත් මොහු හා වාද නොකරමි. එසේ වුවත් හිමියනි, සත්වැනි දින ශිල්ප දක්වමි.
කවිය බලන්න
දිගුකල් දිනේ මව්තුම හෙළ සිනමාවේ!
සහසක් වදන් එක නෙතු බැල්මක ගවසා
දෙබසක් මකා නව නළු රසයෙන් පවසා
තිදසක් කළා ඔබ සළරූ හල සරසා
අහසක් වැසූ තරු මැද දිවයුරු විලසා
දුළ පුන්සඳකි මුව නිති රැඳි සිනා මලින්
ගෙල මුතුහර ද සැඟවිණි දැක ඔබේ දසන්
හෙළ කුලකතක රුව ගුණ සිහිකළ දසුනින්
සළරූ හලට එන දෙව්ලිය වීය නිතින්
පැහැදුල් වත මඬල නිති නෙතගැටුණාවේ
මනකල් රැඟුම් රස අප සිත් රැඳුණාවේ
දිවිමල් කළඹ නිති සුවඳින් පිරුණාවේ
දිගුකල් දිනේ මව්තුම හෙළ සිනමාවේ
කවිය බලන්න
සොයා යමි බුදු මඟ
බෝපත් සැලි සැලි මඳ සුළඟේ
සැනසුම ගෙනදෙයි බෝ මළුවේ
කරුණා මුදිතා පිරි හිමි සඳුගේ
සෙවනේ මෙත් සිසිලස විහිදේ
කෙලෙස් පසුපස දිවෙන මේ සිත
දැහැන් ගතකර සමිඳු රුව ළඟ
නෙලාගත් මේ උපුල් මල් මිට
තබමි බැතියෙන් සමිඳු පා මුල
ඇසේ නම් බුදුහිමිගේ බුදු බණ
දැනේ නම් මහා කරුණා සුවය
මුදාගෙන මේ සසර බැඳි බැමි
බවුන් වඩනෙමි උතුම් නිවනට
කවිය බලන්න
යළිත් මගේ වෙන්න මගෙ අප්පච්චි
කුඹුරු කොටා ගොයම් හැදු අපේ අප්පච්චි
හේන්කොටා තල කුරහන් වැව් අප්පච්චි
ගමෙන් එපිට තැන්තැන්වල ගිය අප්පච්චි
අතින් හිසින් බඩුමළු ගෙන ආ අප්පච්චි
උඩරට සිට රජරටටත් ගිය අප්පච්චි
ගහේ වැලේ ඇලේ දොලේ ගිය අප්පච්චී
උදයට බී කහට උගුර කුඹුරට වෙච්චි
දහවල් බත්ටික කනවිට අඳුර වැටිච්චි
හේනේපැලේ පැල්රැක්කේ අපි එකට
කමතේපැලේ බැතරැක්කේ අපි එකට
මහඇලේ ගිහින් දිය බැන්දේ මහරෑ එකට
හාමතේ ඉඳන් වුව කැව්වා බත්පත අපට
කැලේ ගිහින් දර කැපුවේ විකුණාගන්න
ගහේ ගිහින් පොල් කැඩුවේ ගෙඩියක් ගන්න
පැලේ ඉඳන් නිදි වැරුවේ වගා රකිගන්න
වෙලේ ඉඳන් යලි ආවේ තරු බලමින්න
නොගියත් පෙර අප්පච්චි පාසලට නිසිලෙස
ගත්තේ දිවිබර බෙදා විරුවෙක් විලස
කාලය ගෙවී ගෙවී ගිහින් පැතුමන් විලස
මම පුතු වුනා පියතුම එළුවා රතු පලස
රෝගිවෙලා ගියමුත් රෝහල වෙත
වැඩපල හා අපගැන යොමුවුනේ සිත
නෙතසිත යෙදූමුත් වෙදදුරු ඔහු වෙත
සුවයක් ලැබුවෙ නැහැ පියතුමගෙ ගත
පැතුවේ සුවවෙන්න කියා අපිනම් අප්පච්චිට
සිතුවේ සුවවේවි කියා රෝගය නම් හිමිහිට
සුපුරුදු පරිදි ගියමුත් මහ රෑ නින්දට
අලුයම ගිහින් අපහැර වෙන ලොවකට
නිසිලෙස ගත්තෙ නැහැ අහරක් සිය කුසට
අසනීපයක් දැනුනත් නැහැ ගත්තේ ගනනට
සිතුවේ විඳින බව දුක් දරුවන් ඔහු සුවකිරීමට
පැතුවේ දියුණුවයි මතු අපෙ දුක් නිවන්නට
වසර ගණන් දුක්වින්දේ නැහැ අප්පච්චි
සති දෙකක් යද්දි නැතිවුනානෙ අපෙ අප්පච්චි
නිවන් දකින්නට පෙර උපනොත් යළි අප්පච්චි
යළිත් මගේ මගේ වෙන්න මගෙ අප්පච්චි
කවිය බලන්න
තවම තරුණයි මං
හති නැතිව දිව්වා මං
කිලෝ මීටර පහක්
නගින කොට හැල්මේ මං
ගෙදර ළග උහ කන්ද
මැටිල්ඩා අත වැනුවා
නකල්ස් යමුදැයි අහලා
විට්ටමට වාරුවී
බෙහෙත් අහුරම ගිලලා
හැරමිට්ට අල්ලාගෙන
ඇදෙන් දැන් බැස්සා මං
කවිය බලන්න
මාවත ලියක
සැඩ හිරු දුරට ගොස් අඳුරුව යමින් තියේ
කැඩපත මුහුන සඟවයි ඇගෙ සිහින පැයේ
විදුලිය කපා ඇත හැඹිලිය හිස්ව තියේ
වැහි ඇය වෙලා ඇත අද කොහි යන්ද බියේ
සිහින පුරයෙ තිබුනත් රන් රිදී පිරී
සිඟිති ලියන් සුරතල් බස් නීතඹ සිරි
සිහිව දළඹු කෙඳි ගැවෙයි සිතම ඉරි
සිහින ලොවත් දැන් වේලි යන්න බැරි
අඳුර කපන හිරු රැස් මෙහි නොගලාය
ලොවම වෙලා ගෙන රත්‍රන් වලාය
රන් සළු පොලව වහගෙන හිරු වසාය
රන් බඳ ඇති ලියන් අඳුරේ නුරාය
කුසට ගිනි දැනේ ඉවසනු බැරීම වෙලේ
දුකට පිහිට වුණි වියපත් අයෙක් පිලේ
කුමට දන් පතක් දුන්නෙ ද ඇසුව වෙලේ
මහට දුකම හිතුනේ විලි වසන් කලේ
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති
ලෙසින් විදුලි දිලි කඟපත් ලෙළ කෙරෙති
කගින් කග පහර වැදි නැඟි පුලිඟු ඇති
සටන් බිම'සි ගත් සෙබළෝ දුලබ වෙති
කාන්තාවන් මධ්‍යයෙහිද සභා තුලද නිතරම බොහෝ සේ විදුලිය මෙන් දිලෙන කඩු පත් ලෙළ දෙවති. එහෙත් කඩුවෙන් කඩුව ගැටී නැගුණු ගිනි පුපුරු ඇති යුද පිටියේ කඩුගත් යුධ බටයන් දුර්ලභ වෙති
කවිය බලන්න
රජයට තුති
එක දෙක තුන එකතු වෙලා රජයට තුති මල්
එහෙත් පොලක් ගනු ගිය කළ පෙනේ එලොව පොල්
දෙවුන්දරින් බිඳෙනු ලැබේ පළමු පදය පදය සිල්
පාතාලේ මැඩලන්නට පැමිණ තිබේ කල්
කවිය බලන්න
බැඳීම්
අගුලු සිර වූ පැතුම් මාවත
මදහසින් හෝ විවර වීමට...
ගොලුව ගිය ඒ වදන් මීවිත
වතාවක් දොඩමලුව යාමට...
මාව මතකෙක නොමැති මා වෙත
සිහිනෙකින් වත් හිනැහියන් මට...
කවිය බලන්න
එහෙම දවසක මෙහෙම ලිව්වා
මාලඟට හිමින් ආ රෝගි බිරිඳගෙ සැමිය
ලෙඩාගෙ වග අහයි මමත් කී දේ හරිය
තුණ්ඩුවක ලියා දී බෙහෙත් වල මදි හරිය
දිනක් දුන්නා කියා අදට තිබුනොත් ඇතිය
දින දෙකක් ගතවුනා යමක් ඇත මග හැරුණු
බෙහෙතක නම ලියපු කොලයකිය අත ඉරුණු
මම නියම කල බෙහෙත අපරාධයකි දරුණු
මොකට බෙහෙතක නමක් සාක්කුවකට ඉරුණු
AnA 4/2025
කවිය බලන්න
යොවුන් ප්‍රේමය (පුරුෂ)
උදේ හවසට
පේන මුහුණුය
අවිහින්සකය
නිකෙලෙස්ය
සංසුන්ය
නටන ඇස් දඟකාරය
රාගිකය
කවර මුහුණකට
පෙම් බඳිමි මම්
තෝර දෙන් මහතුනේ මට දැන්
නිකෙලෙස් මුහුණ
ප්‍රියයි දැන්
බැඳී ප්‍රේමයෙන් ඉක්බිති
නැත එහෙම
සරාගී නොවේනම් සිරුර
දඟ නොවේ නම්
ඇඟ දැවටෙන විට
කාලයාගේ ඇවෑමෙන්
සිරි යහන මත
සිරුරට බැන්ද ප්‍රේමය
රෑ නින්ද බිඳ
සැක සංකාවට
හේතුවයි දහවල
කෙලෙස රැකගම්
මහාර්ඝ වස්තුව
උකුසන් ගෙන්
නිතර වට පිට දැවටෙන
දහසක් පිළිණ දී
දිනාගත් ප්‍රේමය
කෙලෙස පවතින්න ද
සංගීයම පමණක්
අහර කොට
එසේ කියතත් පොත පත
බොහෝ අඩු වැඩිය වෙති
සරි ප්‍රාසාද
මල්ගොමුු යාන වාහන
අත වළලු කර මාල
දුර ගමන් අහසින් බිමින්
ප්‍රිය සාද රස මසොවුළු
ලෝකයට පෙනෙන සුරතල්
නොපෙනෙන
ගයහන් ගැබ සුරතල්
මේ ආදර්ශ මොඩලය පමණි
ඇගේ ඇස් කරයි
නිති විමසිලි
දෙවෙනි විය හැකි ද
වෙන කිසි ම ගැහැණියකට
ඒ හීන පැල කරම්
කෙලෙසක
පය ගසා ගත් පොළොව මත
ලෙහෙසි නැති
දුෂ්කර ක්‍රියාවකි.
වුන තැන් නොවුන තැන්
බලන් සකි
යොවුන් පෙම අග මුළ
නොදැන නොසිතා
පිනූ නම්
පිනූ පිම්මේ දොස් දැක
යූ ටර්න් ගහන්න ද දැන්
වෙන කොයිබ යන්න ද
සිව් දිග
එ ද සදා දුක් දෙන
දුෂ්කර ම ගමනකි
තෙරක් නැති
සංසාර සයුරක
19-02-25
කවිය බලන්න
රෑක සොබා,
සෝබා මවාලා අරුණේ පහන් වී
නික් මී දුරක් ගොස් අඹරෝරෙ සූර්යා
නිල් විල් ජලාසේ පිපි පුෂ්ප රාශී
සංකාව හින්දා සුපසන් නොවේවී,
මී දුම් කබායෙන් සරසාල කන්දත්
සැන්දෑ රටාවන් අහසයි අඳින්නේ
රෑනේ කුරුල්ලෝ නිවහන් සොයද්දී
ගම්මානෙ පැල්පත් පහනින් පහන් වේ,
නිල් සේල ඇන් දූ අඹරේ කැළුම් දී
රන් තාරකාවෝ හිනැහේ මනාපෙන්
රෑ පුෂප පීදී උතුරයි සුගන්දේ
ඇයි තාම නාවේ සොමි චන්ද්‍ර බිම්බා,
කවිය බලන්න
හිමි - අහිමි
නෙතට හොරෙන් සිත්තම් කල
කඳුළු සිතුවමේ....
පාට මැකී බොඳවී ගිය
නමුදු සොඳුරියේ.....
සරා සඳට කවි පදවැල්
ලීව තෙළිතුඩේ....
නිමා වී වදන් පත් ඉරු
ඇත නිසොල්මනේ .....
සඳ එලියට කුමුදු මලක්
පිපෙනවා වැනී....
මියැදුනු කවි සිත පිබිදූ
අයුරු අරුමෙකී....
අහිමි පෙමක් සඟවා
දොරගුල් වැසූ හැටී....
සදා සරන්නද හැඟුමන්
සඟවලා නිතී.....
හිරු බැස ගිය සැඳෑ අහස
රන්වන් පාටින්.....
අනෝරාවකට මැදි වී
හැඬු හැටි පුදුමයි ....
සුපෙම්වත් හිතක දිනයක
දොරගුළු වැසුනයි.....
අහිමි සෙනෙහෙ සිහිවී
අප සිත් යලි හැඬුවයි....
- චමී -
කවිය බලන්න
මූසිල ගේ දින පොතෙන්........
රජ ,සිටු,මන සවන් සනහන රසය සොබා
ගන්නට ගදඹු ලෙස රජුගෙන් වරම ලබා
මන් මත් කරන්නට වෙණ නදයෙන්ද සබා
කෙදිනද මා යන්නෙ දන ඉදිරියට තබා
පෙදෙසේ ගදඹු ලෙස කිත්,යස,ලබා ඇත
මදු කෙළි, උළෙල පිනවී සැම දනා නෙත
මහැදුරු ගදඹ ගුත්තිල ගේ වතා වත
කරමින් උගත යුතු වැඩිදුර පුරා සිත
දුරු මඟ ගෙවා විත් ගුරු සිටි බරණැසට
පිළිවිසි එකත් පස සිට අත වැසි කමට
නොකැමැති වූ නිසා මා පිය මෙහෙය කොට
නැවතත් පිළිවිසී ශිල්පය දෙන ලෙසට
අඳ මා පියන් හා,ගුරු දෙවි මෙහෙය නිමා
කරමින් ශිල්ප ලැබ කිසිවක් නොකර පමා
උගතිමි සියලු වෙණ සිප් ගුරු දන්න සැමා
දැන් රජ මැදුරෙ ගදඹුන් අප දෙන්න තමා.
ගුරු වියපත් ය දෙදරයි අල්ලන තත ද
නොදුවයි වැඩි දුරට ඔහු වයනා සර ද
රජු හට නොදැනෙන්න එය සඟවා මහද
හඬවයි තත් තදින් දෙදරයි ඉන් හඬ ද
ආවරණය කරන් සේවය කරන නමුත්
ලබනා වැටුප මදිවිය දිවි ගෙවුමට වත්
විමසූවත් වැඩි කරනා ලෙසට තවත්
නොනැමුණි ඊට ,රජු හෝ ගුරු ගදඹු වු වත්.
නොකැමැති වුවත් මා ගුරු හා තරඟෙ කට
හැකි නම් මෙහෙය පෙන්වනු තම මියැසියට
යොමු කරවීය රජු -වැටුපක් පෙරටු කොට
නිතැතින් යොමු වුනා පඩි පත කරණකොට
තරඟය පැවැත් වුනි මුළු බරණැස හොල්ලා
මා එහි යොමුවුනා නිසි වැටුපක් ඉල්ලා
මහ රජ අණින් විනිසුරු වන් ගෙනැවිල්ලා
නිසි තීරණය තිබුනා කණ පිට පෙල්ලා.
කවිය බලන්න
නුඹ නොමැති අවුරුද්ද
බක් මහ දීගයට සැරසෙයි පරිසරය
කජු පිරි ලියන් හිනහෙන විට විලිබරය
අඹ තුරු මුඳුන් වල ලේනුන් සැණකෙළිය
මේ බක් මහේ මගෙ හද නම් දුක්බරය
අප්පච්චී බලයි සේයාරුවේ හැඩ
ඉටි මල් දමේ පොට හැඩ කර විඩෙන් විඩ
අතපසු වෙලා බොහොමැයි අපෙ ගෙදර වැඩ
අම්මේ එන්න ඇහැකිද ලැබුණොතින් ඉඩ
දවුල් කුරුඳු හොයමින් ලදු මත දුවලා
රබර් කෝටු මිටි බැඳ හිස මත තියලා
කෙහෙල් කැනක් දුම් මැස්සේ එල්ලාලා
පෙර නුඹ කරපු වැඩ අද මෙනි සිහිවීලා
සාරුවෙ පදම මැද ආස්මී මල් පිපුනේ
කැවුමේ කොණ්ඩෙ කූරෙන් උඩටම ඇදුනේ
කොකිස් හැඩට කහ වී තෙල් මත දිලුනේ
අතිනි නුඹේ අම්මේ සැම හැඩ වැටුනේ
කාසි කැටය අවුරුද්දට පෙර කඩන
අලුත් ඇදුම් කොහොමින් හෝ අරන්දෙන
මකුළු දැල් කඩා ගෙයි එළි වැට තනන
වෙහෙර මහා දේවියනේ අද කොතැන
නැකතට එදා කිරි උතුරා පිසූ බත
බුදුනට පුදා පලමුව නුඹ පැතුවෙ මෙත
කැවිලි පෙවිලි හැඩතල මේසයක් මත
සැවොම එකට සැමරුව අවුරුදුයි හිත
එරබදු අදත් බඩවැටි වල පිපී ඇත
කෝකිල කූජනා දසතෙහි නිමක් නැත
මීනෙන් මේසයට හිරු යන මගක් ඇත
සඳ අප අතැර ගිය කල සැම ඵලක් නැත
නෑ සිය මිතුරො කැන්දා රස බෙදූ හැටි
පංසලෙ පිංබිමේ කුසුමන් පිදූ හැටි
රබන් සුරල් නුඹ තාලෙට වැයූ හැටි
මතකෙට ඇවිත් අප හදවත් පෙලන හැටි
හිස තෙල් ගාන දා කල ආශිර්වාද
කදමලු ලිහී නෑ ගම් මැද රස වාද
බක්මහ අකුණු මැද නොතෙමී නෑවාද
අහමින් හිනාවෙන්නට නුඹ එනවාද
පලවෙනි අවුරුද්ද නුඹ නැතිවම ලබන
තුන් මහ පෙනෙයි බුදු ඉපදුණු මස තියෙන
ඉන්නා තැනක නුඹ යහතින් ඇති කියන
හැඟුමින් වදිමි අම්මේ මගෙ පිං පිරුණ
කවිය බලන්න
විශ්ම කර්ම වැඩනෙ මේව...!
දුර්ලභ ගණයේ සේයාරුවකි
වටින බොහෝ සෙයින්...
දර්ශනෙ වෙයි ගඟක් මැද්දෙ පොතක් බලන කෙනෙක් එයින්...
වර්තමානෙ නම්, අතෙ විය
යුත්තෙ ෆෝනයක්නෙ මෙයින්...
අර්ථවත්ම දේ බලනුව, එය
හැදිලා තියෙන දෙයින්...
දුටු මනතින් හිතෙන්නෙ, ඇයි තෝර ගත්තෙ මෙවන් තැනක්...
කොටු නොමවී පොත් බලන්න මනස දුනිද සිතට අණක්...
පටු ලෙසටම සිතූ කලට "පිස්සු" කියයි, දෙසා බනක්...
හිටු කියලා සෙල්ෆි ගතොත් ගිලෙයි නෙවද කීප පනක්...
කුඩා මෙන්ම විවිධ තරමෙ ගල්
ගලපා, දකින්නන්ට...
වඩා හොඳින් සැමගේ සිත් නිමැවුම වෙත ඇදිලයන්ට...
විඩා නොබල එහෙන් මෙහෙන් තබා ඇත්තෙ පුදුමවන්ට...
ගොඩාරියක් වෙහෙස දරන්නැති
ඔහු මෙය නිමකරන්ට...
පුදුම වැඩකි කවුරු කළත්, ඔහු
වියයුතු හරිම දක්ෂ...
විඳුම රසය පොතක තියෙන,
අවට ඇතිව වැඩුනු වෘක්ෂ...
ඇඳුම තෙමිල වගෙත් පෙනෙයි
සිතනු නැතිව පාට පක්ෂ...
සැදුම ගලෙන්, මෙවන් රුවක්, වටිනව නෙව ගණන් ලක්ෂ...!
කවිය බලන්න
වරෙන් මෝහිණී
රැය මැදියමේ මංසල්වල පුතු වඩලා
පිය උණුසුමක් දරුවට දෙන්නට සිතලා
බැලු මෝහිණියෙ තනි මවකව දුක් විඳලා
යළි ඩියුටියට කැඳවමි මේ දැන් ඉඳලා
අත නොහරිමියි තව දහසක් බොරු කියලා
අසරණ ලඳුන් රවටා ගැබිණියො කරලා
පැනයන අවලමුන් මෝහිණියේ සොයලා
ඔබපන් කටේ අහවල් අවයවෙ කඩලා
දරුවො තනා අතහැරදා තනිකරලා
ඉටුවිය යුතු යුතුකම් හැම මගහැරලා
පියවරු යන ගරු නාමෙත් කැතකරලා
ඉන්නා උන්ට ගහු මෝහිණි මගරැකලා
පොඩි දරුවන් නැති කිසි වරදක් කරලා
මඩමක දා අනාථයොයි වෙන්කරලා
දියුණුයි මොරදෙන සමාජෙ ගමු හදලා
පටන් ගනිං මෝහිණියේ මුල ඉඳලා
කවිය බලන්න
වියපත් සුසුම්...
එල්ලී තිබේ
කෙන්දෙන්
ජීවන සවිය
එය වුව බර වැඩිය
තනි සිතකට කැටිව
යන්නට කියා
සිතුවත්
ගණනින් සියය
පවසනු පමා
කිම මරණය
නුබ තවම
යුග තුන හතර
පසු කර ආ
දිවි ගමනේ
විදි සුව සහන
දුක කදුලද
මත රැදුනේ
කාටත් බරක් වී
කුමටද
තව රැදුනේ
මරණය පවා
පිටුපා යන
හැටි අරුමේ
පරපුර රැක ගතිමි
දිවියද දෙවැනි කොට
මල් වත්තක්ම
මැව්වෙමි
අන් සතු ඉඩක
සතුටක් තිබුනිදැයි
එක දවසක විතර
මතකය එකතුකර
බැලුවෙමි
මග නොහැර
සන්තක
කිසිත් නැත
පරඩල් දිවිය හැර
එනිසද
මරණයේ නුබ
තව අතරමග
කෙලවර දකින්නට
කාලය
පැමිණ ඇත
දැන්නම් මටත්
මා බරකිය
නොසෑහෙන !!!!
Photo Credit; Arlindo Camacho
කවිය බලන්න
ස්නේහය
සවන් අතරින් පාව විත්
සියුම් අංශුද කිලිපොළා ගිය
හැඟිම් රිසියෙන් උළා
හද ගත්
නුඹයි කම්පන
දුරින් හිනැහුන,,,
පැතුම් එකිනෙක
සෙමින් අහුරන
පෙමින් රහසින්
මහද තෙරපන
විඩෙන් විඩ පණ නලම
හසුරන
නුඹයි ගැඹුරුම
හදේ ලියවුන,,,
උවම් කරමින්
තුරුල් කරගෙන
වඳන් සුවඳින්
සුවම අතුරන
සියුම් නහරින්
හැඟුම් කලතන
නුඹයි කවියම
මවන පන්හිඳ,,,
ලවන් තෙරපා
හාදු පුරවන
කොපුල් අතරින්
රිද්මෙ ගලපන
නළල් තලයේ ආලෙ විහිදන
නුඹයි සිත්තම
මනෙතු හිරවෙන,,,
විදා කැල්මෙන්
තුරල් නොමවෙන
පවන් සුවඳේ
හැල්මෙ මට දෙන
සදා ප්‍රේමය
පපුව පුරවන
නුඹයි ස්නේහය
තුටම රඳවන,,,🥹
කවිය බලන්න
අදින් පසුවට හෙටක් නැති වග
අදින් පසුවට හෙටක් නැති වග
දැන දැනම ආවත් හැරී
අදින් පසුවත් සයුරු වෙරළක
නුඹට කවියක් ලිව හැකී
අදින් පසුවට සිහි වුණත් නුඹ
නෙතට කඳුළක් ගෙන දිදී
අදින් පසුවත් ඇත්තටම නුඹ
තුටින් දැයි විමසිය හැකී
අදින් පසුවට හමු නොවන මුත්
හදේ නුඹ රුව දිලි දිලී
අදින් පසුවත් පුදසුනක් මත
පෙර මතක දල්වනු ඇතී
ඉ
12/04/25
කවිය බලන්න
මට පිහාටු නැත්තෙ මොකද?
රෝස ,ඉද්ද,සමන් පිච්ච
මිදුල පුරා මල් පිපිලා
පුංචි මිණිපිරී,මල් මැද
පැණි සොයනා සමනලයෙක්!
සුරංගනාවක දෝතින්
ගිලිහුනු කුසුමක් විලසින්
නිවස පුරා සුවඳ බෙදන
ඇය දිලෙනා මිණි පහනක්!
මොළකැටි,මුදු,සුමුදු,අතින්
අත්තම්මගෙ අත අල්ලන්
මිදුල පුරා පිය මනිනා
මිණිපිරී ට ගැටළු ගොඩක් !
අත්තම්මේ ,දේදුන්නට
පාට ගොඩක් ගෑවෙ කවුද
හැන්දෑවට අහස පුරා
පාට ගාන්නේ කව්රුද
කුරුල්ලන්ට ඉගිල්ලෙන්න
අත්තටු දුන්නේ කවුරුද
අත්තම්මේ කියල දෙන්න
මට පිහාටු නැත්තෙ මොකද ?
2025.4.3.
කවිය බලන්න
තනිකර යෑම
පිංමදි කමට ඉපදි පඬු බළලෙකුව
පිං ඇති උනා නුබලගේ සෙවනේ හිදින්නට
කොතැනක දුව පැන්නත් හැම රැයකම
උඹළගේ සෙවනේ දැවටෙනේ නොවරදවාම
හැකිනම් පවසන්නට උඔලගේ ආදරයක අගය
රට හැර නොයයි අසරණ කොට මෙලෙස
ලැබුනත් යමක් කැමට අගු පිලකින්
ඉදා කියා දෙන බත්ටික රසයි මොකටත් වැඩියෙන්
බඩගිනි උනවිටදි කැමට යමක් කිසිදාක
වැරදුනේ නැ කුස්සියේ මේ බළලාට
තවමත් වයස නැ තනිවම දිවි රැක ගන්න
එකයි දුවගෙන ආවේ උඹලගේ දෙපතුල ලගට
බඩගිනි වෙලා ඇලුනත් බඩ පොත්තටම
ආදරයේ අඩුව මිස දැනුනේ නෑ කුසගින්න
හැකි කම තිබුනා නම් සිය දිවි නැසුමකට
සත්තයි මියෙදනවා උඹ මා තනිකර යන පෙරදිනයේම
25/04/2025
කවිය බලන්න
මවකගේ පැතුම..
තිස් වසරක් ගතවිය සිත රවටාම
එනමුදු හෙටක් ඒවිද සිතෙනව තාම
දරුදුක වැඩියි දිවි මඟ කෙටි වු වාම
නුඹෙ අමිමා අමතකඇයි පුත තාම.
කළුගල් කැඩු දැතින් අතකුත් නැතිව
සළු පිළි බරණ නොමදුටු සිරුරත් කෘශව
අම්මා කියා අද පෙන්වන්නට බැරිව
ඉන්නා බව දනිමි පුරවනු බැහැ අඩුව.
නුඹගේ බිරිය හා නොමදුටු දරු පැටවුන්
සමගිව දිවි ගෙවිය යුතුමය හිත සතුටින්
නුඹ විඳි දුක් නොදී සිප්සත දී ඉහළින්
ලෝකය දකින්නට ඇරපන් නුඹේ දරුවන්.
අප විසු ගෙපැළ දැන් ටික ටික කැඩී යතේ
එය පිළිසකර කෙරුමට
මට සවිය නැතේ
නොතිරයි මගෙ දිවිය අද හෝ හෙටද සිතේ
හැකිනම් වරක් වත් තනියම වරෙන් පුතේ.
මේ රට අතැර දුරු රටකට යන්න කලින්
මා මතකයට ආවොත්
නුඹෙ ගමට වරෙන්
මා නැති කලෙක ආවොත් පංසලට ගිහින්
ගෙයි ඔප්පුවත් යතුරත් ඇති ඉල්ලා ගනින්.
මාතලේ - රත්තොටින්
කවිය බලන්න
ඊයේ අද සහ හෙට.
ඉස්පිරිතාලේ බංකුව ගාවම
ඩිංගිරිමැණිකෙට නින්ද ගිහින්
මයිල ගණන්දුර පසුකර ආවේ
මයිල වැවේ සිට තකහනියෙන්
වීරගහේ මල් පිපෙන්න කලියෙන්
ඉස්පිරිතාලෙන් ටිකට් කපන්නම්
කැම්බෙිරියා ගෙඩි ඉඳුනට ගේළඟ
කඩන්නෙපා මං එනතුරුනම්.
මයිනන් ගිරවුන් ආවත්
වත්තට
මං ගැන ඇහුවොත් කියනවා නම්
ඉස්පිරිතාලේ බංකුව
ගාවම
අම්මෙක් වී ඉන්නවා කියපන්.
වැවේ ඉහළ වෙල වපුරා ගන්නට
මෙදා වතුර ටික ලැබෙනවා නම්
ට්‍රංකා පෙට්ටියේ චිත්තේ හැංගු
ණයට ගන්න බඩු පොත බලපන්.
කන්තලේ,
කවිය බලන්න
සමනල සදෙස-24
සමනලයා දුටු කඩිසරය
ළඳ රක්වාන 27
431. සීතල සුළං රළ වැල පහසින් පිරුණූ
ගී රස තාල නිබඳව සියොතුන් ගැයුණූ
දී නෙත ගුලාවක මී මල් සේ පිපුණූ
ඈතක දුවයි සිත් දුටු-දුටුවන් දියුණූ
432. වැහි කෝඩයක් ළඟ එන ලකුණක් ලැබුණූ
රැහියන්ගේ අදෝනා අතු අග බිදුණූ
කලු මේ වළා පුපුරා විදුලිය කෙටුණූ
බිහිබත් රසය ගෙන දෙයි හද කිති කැවුණූ
433. ඇඟ කිළි පොලා ගන්වා සිත බියකරු ව
හෙල් වැටි අතර රිංගා යන විට දුරු ව
හමු වන වංගු දහයකි මඟ දිග දැරු ව
පෙන්වයි රක්වාන රසයක නැති හුරු ව
434. සවියේ කලාවට නිබ| ව නගන බෙලෙන්
රසයේ බැඳී ඇත සීතල හමන නලෙන්
විදහා මත් කරන වන මී බිගුන් රළෙන්
පෙන්වයි අසිරිමත් සිරි ඩේලියා මලින්
435. ඇළ - දොළ - ගං - නදී මිණිපුර අවට ඇතී
සපරගමු මව්ගෙ උණුසුම් පෙමෙහි එතී
යට ඇති මිණි-රුවන් මතුකොට හනික නිතී
පෙන්වයි රක්වාන සැම දා සොදුරු ගතී
436. පා වී ගියත් - ආවත් වැහි - වළා - හක
පේ වී තිබේ උණුසුම ගල් - තලා - වක
යා වී ගියෙ ද ගං වතුරට මළා - නික
ඒ වී නොවැටි මේ ලිය ඉන් මුලා - වක
437. කඩිසර ගතිය ඇති කඩිසර ගම්මු සැමා
කැත්තට - උදැල්ලට නිසි ලෙස කරයි පෙමා
කරුණා ගුණය මදහස මෙත සැමට යොමා
ඇත රක්වාන පෙදෙස ම සොම්නසින් තෙමා
438. තරග වැදී කෙරුවත් “එක-ටෙක” විහිලූ
මෙහි පිපි කුසුම් ඈ නැටුවත් පා මුකුලූ
හැම නැටුමක් පරාදයි අරගෙන රුකුලූ
වඩිනා දොරට රක්වානේ මල් කැකුලූ
2025.05.01
කවිය බලන්න
මොහොතක අසිරිය
සිතක් උපදී
සිතක් පවතී
සිතක් නැති වේ
සිතක පැවතීම
අනගිතම මොහොතයි
සියලු දේ එලෙසම
හටගනී පවතී නැති වේ
සන්සිදිධියකි මෙය
පවතිනා නිරන්තර
සිහින වූ අතීතය
මතක ගොන්නක් පමණි
ඉපිද නැති මොහොතක්ම
සිහිනයකි අනාගත
එය එසේ වේ නම්
මොහොතක සතුට
මොහොතක සැහැල්ලුව
මැදිහත් වූ සිත
නිසසල වූ සිත
මහා අසිරියකි
මහා අසිරියකි
ලොව පවතිනා .......
කවිය බලන්න
කුවේණියගේ නීතිඥයා •
තිවංක මන්දිරයේ
ගත කරමින් සත් දිනක්
ප්‍රහේලිකාවක හිස තබා
නිදිවරමින්
සැරිසැරුවෙමි
අතීත කාලයේහි
+++++++++
නෙත් නැති-මුව නැති
අවතාරයකි,
එක් පැතිකඩක්
සුදු හැඳි-සිල් ගත්
උවැසියකි
තව පැතිකඩක්
තුඟු රැලි නඟනා,
ශෘංගාරයේ ගංගාවකි
පෙම් වදන්-බිණූ මුවින්ම
නැඟෙයි-නොයෙක් ශාපයන්
කම්පා වෙමින් හද මඬල
ඉරි තලා දෙකඩ වෙයි
දරු දෙදෙනගේ නාමයෙන්
පිළිසරණක් යදින්නී
නීතියේ තුලාවෙහි
පයෝධර තබන්නී
කෙලෙස පිහිට වෙමි
ඈ හිමි රුදුරුය
මා මරා දමනු නියතය
ගෙල සිඳ අවියෙන්
ගිනි සිළුවකි ඈ ගත
සිහිවන විටම මා දවන
විසල් නෙත් බියකරු
සර්ප විෂ කැටිවුණ
රමණයම වේ මරණය
මරණය ද වේ රමණය
ඇදී යයි ඈ වෙතම
ගිගුම් දෙන-සිත් අහස
කළු වලාවෙන් පිරුණු
පැමිණිල්ලද, විත්තියද
අතර වූ කූඩුවක
සිරකරුවෙකි මා
කළු කබායෙන් සැරසි.
කවිය බලන්න
සඳ කුමරිට
තරු මල් නෙක පාට පාට
ලංකාරෙන් පිපුනු දාට
සඳු ඇවිදින් ගාට ගාට
පාළු මකයි අහසෙ රෑට
සිටියත් මම ගොඩක් පාත
ඉඟිළ ගිහින් දුරක් ඈත
තරු අහුරක් නෙළා දෝත
එන්න හිතයි පවනෙ සීත
සඳුගෙ වටේ ඇවිඳ යන්න
තරුත් එක්ක හාද වෙන්න
කියන කතා අහන් ඉන්න
ආසයි මං ඔහෙට එන්න
සඳේ කැලුම් මෝර මෝර
මිහිමත ඉස හෙළන සාර
වළා යටින් පීර පීර
මට කියන්න එන්න පාර
කැකිරාව
කවිය බලන්න
අම්මගෙ පහස
නොබසින හිරු නමින් පවතින අධි රාජේ
බක්මහ ගෙවන්නට ලැබුනා මට රිසිසේ
විසිතුරු කුසුම් බරවූ තුරු ලිය සෙවනේ
ගැවසෙන විටදි දැනුනා අම්මගෙ හුස්මේ
Ealing common බිම යට දුම්රිය පොලෙදී
අවසන් වරට දුටු ඇගෙ වත පෙනෙ දුකදී
අවට සිරිය පෙනුනේ කඳුලක මුසුවී
හමන සුලඟ දැනුනේ සුසුමක දැවටී
අම්මත් සමඟ කඩ මන්ඩියෙ සැරිසරමින්
Ealing Road ගිය සැටි කඩ චෝරු කමින්
සාරි දකින විට පදිකයෙ පොදි ගසමින්
වසර තිහක් ආපසු ගිය මගෙ මතකින්
කෙල්ලගෙ කන හිස්නෙ යමු අපි තෝරන්න
Southall වලින් රන් අභරනයක් ගන්න
බසයෙ නඟින විට ගමනක් අද යන්න
අම්මා ලඟම අසුනේ හැපි හැපි යන්න.
නංගිගෙ නිවසෙ යන විට ඇතිවුන සතුට
තුරන් වුනා මව් සිහියට නැගුනු විට
ලී පෙට්ටියෙ සිටි මල කඳ අවට සිට
වැලපුන විලස දැනුනේ දෙකොපුල් තෙතට.
උතුම් දහම නිතරම සවනේ රැඳුනත්
මරණය සැමට පොදුවග මැනවින් දැනුනත්
මවකගෙ සෙනේ ගත මිය පසු නොහැකි උනත්
හිත දියුනුව අඩු මට එය පුදුම සෙතක්!
කවිය බලන්න
සෙනෙහෙ පතනෙමි
මේ මිහිතලය මත විසිරී කල් ගෙවන
හෙළ වැසියනට මව්බිම අමතක නොවුන
අවුරුදු අසිරියට මේ බක්මහ ගෙනෙන
පතනෙමි සතුට කිරි පැණියෙන් උතුරුවන
ලන්ඩන් කවි පොතට කව් මීවිත පෙරන
රන්දන් සොදුරු හැඟුමන් සිත කවි ලියන
කැන්දන් කවි කිවිදියන් සිප වැලදගෙන
බන්දන් සෙනෙහෙ පතනෙමි තිසරන සරන
කවිය බලන්න
When the dead - sun was setting…
Rare Red Lilies blossom
not limiting to any season
silently doing their mission
in an unspeakable version
In an abandoned cemetery
the living visit very rarely
loved men - women of society
have been buried lifelessly
With great and famous names
but became just dead bodies
after their inevitable demise
and losing their living premise
Solicitors, businessmen
doctors and seamen
politicians and chairmen
are buried reciting Amen
A solitary poet walking alone
entering seating a time long
on a scratched paper penning
when the dead sun was setting
in the serene dusky evening
කවිය බලන්න
කඩා වැටුණු හදවතක්
බොහෝ දුර ආවෙමු
ශේෂ වුනු ප්‍රේමයක්
ඉතිරිවී නැති වග දනිමි
ඉදින් ප්‍රේමය...
පණට සමකල ආලය
හුස්ම දුන් ප්‍රේමය
අතුරුදන් වූ අරුමය
සිහිනයක් දැයි නොඅසමි
නුඹේ මුවින් පිටවූ
මිතුරුකමේ හාදකම
අද මගේ පපුව
නතර කලවග කියමි..
රැවටුවාදැයි නොදනිමි
රැවටුනායැයි නොකියමි
සිදුවු දෙය නොදනිමි
මංමුලා වී බලා හිදිමි
කඩා වැටුණු හදවතක්
ඉරිතැලුම් මහ හුගක්
හුදකලාව උරුමයක්
නුඹෙන් ලද තිලිණයක්
කවිය බලන්න
ඔබේ රුව......
අහබ්බෙන් වගේ දවසක
විඩා නිවෙන්නට සන්සුන් හවසක
කෝපි කෝප්පයක් රසවිඳින අතරතුර..
හදවතේ පතුල අතගා
මතක රිදුමක් සොයා ගමි...
පාදා බලමි අතීත වීදුරු කැබැල්ලකින්..
සුදු රෝස මල් කිනිත්තක් අතැතිව
මුහුදු නිල් තට්ටටු ගවුමකින් සැරසී
සැහැල්ලු වළාකුලක් වාගේ
කඳු මුදුනේ ඈත වංගුවකින්
සිනාසෙන ඔබේ රුව මතුවේ
මා දෙතොලතර නොදැනීම සිනහවක් මැවේ.....
කවිය බලන්න
සඳක සිනහ....
නෙතට උනන උණු කඳුළින් දෙකපොල හෙමිහිට තෙමන්න
දුකට හඬන රෑසියන්ට රස කවි පදයක් ලියන්න
අඳුර මැදින් කණමැදිරින් එන තුරු එළි වැට ගණින්න
සඳට ඇවිත් පැල ඇතුලට නොහැකිද තනිකම මකන්න
තරම දැනෙන විට සුසුමක, සඳටත් බැහැ හිත නිවන්න
මතක නැතිව ගොහින් වගෙයි මදහස දෙතොලට නගන්න
දුරට නොගිය සුවඳ තවත් තතනයි තුරුලට ඇදෙන්න
කරපු, කරන පින් මදිවද සෙනෙහස ඩිංගක් ලබන්න
සතුට ලැබෙයි දුක කෙළවර, නිහඬව මොහොතක් සිතන්න
නතර නොවී ඉවත ඇදෙන සුළඟක සිසිලස විඳින්න
සිතක උනන කඳුළු බිංදු වැව් දියටම මුසු කරන්න
නොවුණු ලෙසට ඔය කිසිවක් සඳ හිනැහෙයි අර බලන්න
සෙනෙහෙ පබළු මුතු ඇමිණුව කවියක මිහිරස විඳින්න
සිතක සතුට දලු දමමින් මල් පූදින රුව මවන්න
සඳක එළිය ඔය මුහුණෙන් විහිදෙන අයුරුව දකින්න
හිඳිමි මෙතැන ඔබ අසලම රහසකි කිසිවෙකු නොදන්න
Photo Credit; DESIGNECOLOGIST
කවිය බලන්න
බත් කට කෑවේ අපි එක හැලියක ඉදුණූ...
සොයුර සොයුරියන් එක්කලා එකට හැදුණූ
අම්මගෙ තාත්තගෙ සෙනෙහස සමගින් බැඳුණූ
සමහර වෙලාවල් තිබුනාට හිත් රිදුණූ
බත් කට කෑවේ අපි එක හැලියක ඉදුණූ
සුමිහිරි මතක තිබුණත් හිත තුල නිතර
සමහර විටෙක ගුටි ඇනගෙන විය දබර
නැවතත් යාළු වී උන්නා අපි මිතුර
හරි සුන්දරයි කාලය ගෙව් මහ ගෙදර
ගෙදර දොරේ ඇති වැඩපල මඟ හරින
මවත් එක්ක කියමින් අක්කලා බනින
එය නම් මුසාවකි හුරතලයට රවන
බඩ පිස්සිය මමයි පවුලේ මේ කියන
කවිය බලන්න
ජනවහරෙන් බිඳක්
ගෙඩි
********
ඔයගොල්ලන් දන්නවාද
ජන වහරේ එන
කියන්නෙ නැති ,ඒත් කියන
කට වාදම් ගැන
ගෙඩි හතකින් සමන්විතලු
සමාජෙ පවතින
මෙහෙම කියමි විස්තර කර
එය අසනුව මැන
ජනවහරේ නිතර කියයි
කෙං ගෙඩියක් ගැන
සමච්චලේ පිණිස මෙහෙම
කියනව තැන තැන
"තමුසෙ දන්න ඉටි ගෙඩියක්"
නිතර කණට එන
මං දන්නා කිසිම දෙයක්
නැතැයි කියන මෙන
සමච්චලේ පිණිස එහෙම
කිව්වට තැන තැන
එයම නොවේ වෙද කමකට
ගන්නා තතුදැන
ගවයන් ඇති කරන ගෙවල
දනී මේව ගැන
බලමු මෙන්න මෙහෙම ඒක
ලොව පර සිදු වන
ගවයන් හට හැදෙනවාය
වණ පිළිකා හෙම
කුර ගායට කට ගායට
බෙහෙත් දීමටම
අන්දර ගස් පස් පංගුව
අරගෙන සම සම
හොඳට කොටා පට්ටයකින්
පොට්ටනී බැඳ නිම
කතා නොකර හදා ඔතා
පට්ටයකින් එය
ලෙඩ වී ඇති සතාගෙ කර
එල්ලනවා මය
කරෙන් වැටෙන තුරු හොඳ නැත
ගලවන්නට බිය
මෙම කෙම් ක්‍රමයෙන් රෝ ගය
හොඳටම හොඳ විය
බදුල්ල
කවිය බලන්න
ක්ෂුද්‍ර වාංශික
දුරක් යන්නට සිතූ මොහොතක සැහැල්ලුව විඳ ඇවිදින
ටිකක් ඉන්නට දැනුන තැනකදි කැමති විදියට නවතින
මලක් අරලිය විඳින අභිමන නෙතක් සතුටින් පිනවන
පතොක් මලකට සදා අකැපයි කතර මැද්දක සුපිපුන
ඉඩක් ලැබුනම ගමක් යටකර ගලාගෙන යන ඉඳහිට
කුළක් දුටුවම අසිරි මව මව සොඳුරු රූ දෙන ඇසකට
ගඟක් පෙණපිඬු බුබුළු ඇඳ ඇඳ නමක් තියමින් ගැලුවට
ඇලක් මොනවා කරන්නද දෙනු මිසක හිමිකම ගඟකට
සදන සෙවනක් අතුපතර විද මහා තුරු හිස් ගොමුවක
පිපෙන රුව ඇති කුසුම් කැකුළක් රැඳෙන මුත් කෙස් කළඹක
ගැටෙන පායුග සිප වැළදිමුත් රැඳී නිල් තණ පලසක
කියනවද වන මලක් මිළ කළ තැනක් ලෝකේ කොතැනක
Photo Credit; Kalea Jerielle
කවිය බලන්න
පොඩිඑකාගේ හිත
ටියුෂන් පටන් ගත්තේ හෝඩියේ අඟ
අම්මට මදිය සතියේ දින හතේ දිඟ
හොඳ මදි මොකද පාසල ඇති අත ම ලඟ
හති හල හලා පිම්මේ මේ දුවන රඟ
පැන මඩ කඩිති වල කාවයියන් අල්ලා
වෙල් ඉපනැල්ල ඉවකර හැල්මේ දුවලා
බඩ වැටි ලඳු කැලෑ වක්කලමේ නාලා
හීනෙන් විඳ සතුට, පාසැල වෙත ඇඳිලා
ගමේ ආත්තම්මා ගේ හැලප රස
පේස්ට්‍රියක ඇත් දැයි යටි හිත විමස
රයිස් කොත්තු කෑවත් පුරවලා වස
රොටියක් පිට්ටුවක් ළඟ හිත වෙහෙස
හීතල පිණ්න පෑගෙන හිමිදිරි උදය
මේස් විලංගුවෙ සිරගත වෙන සැටිය
හැල්මේ ඇදෙන බස් රථයේ තද බදය
මල් පියවිළි මතට දුහුවිළි ඉසි හැටිය
අකුරු ඉලක්කම් අතරේ තරඟ බිමේ
ඇන ඇන කොනිති ගස්සා ගෙන හිත් රිඳුමේ
සොයනා දැනෙන සැනසිල්ලක් නැති අරුමේ
ලබනා දිණුම කොයි අස වේ දැයි අම්මේ
කවිය බලන්න
බිඳෙන රළ අතර නුඹ නොබිඳී තුටින......
විත් නව අවුරුද්ද පෙර සේ අවසන් වී
සිත් තුටටත් වඩා දුක ඇස
මතුයේ වී
දිස් වන සයුර මෙන් සෙනෙහස
පවුරක් වී
රොස් නැත තවම ඉඳි ඔබ හදතුල පෙම්වත් වී
ඇසෙන නෙක හඬෙහි ඔබ තෙපලූ වදන
දකින හැම තැනක දසුනක
ඉඳ එබෙන
හෙලන සුසුම් මත ආතුර වී
හිඳින
බිඳෙන රළ අතර නුඹ නොබිඳී
තුටින
කලක් ගත වුනත් නොපෙනී
නුඹ නෙතට
හුඟක් පැතුම් ඇත ගොනු වී ඔබෙ නමට
දිනක් ඇවිත් යන්නට හැකිනමි
මෙහෙට
මමත් ඉමි දෙනෙත් දල්වා පෙර
මඟට
මනෝරම්‍ය වූ ජීවිත උයන් කොනේ
නොයෙක කුසුම් නොම දන්වාමය
පිපුනේ
ගිම්හානයම වියලා සුණු විසුණු
වුනේ
සන්තානයම තවම ඔබවෙත බැඳුනු සෙනේ
කවිය බලන්න
රස වදනක්
බන්දා පෙම් රැහැණින් මා ගත
සිත
දෙවිලියක්ද සරනා නුඹ මිහි
මත
දේදුනු බැමි සඟල රකින යුග
නෙත
වහන් වෙලා වලාවකට
සඳවත
සිහින් සරින් වයමින් වීණා
තත
මිහිරි ගීය වී රැඳියන්
සවනත
ආදරයෙන් බලා නුඹේ
තරුනෙත
සඳ දිදුලයි පිපිලා සිත්
ගඟනත
ආදර මධු පුරවා නුඹ
ලවනත
සරතැස නිවපන් මාගේ
සිරිකත
රස වදනක් විලස මවන
මීවිත
හැඩකරපන් දිවියේ පෙම්
ගී පොත
රුපු සෙනගට මුවා කරන්
පෙම් සිත
රහසින් සැතපියන් මගේ ලය
මත
දිනෙක මටම හිමිවෙනම් ඔය
අත
දිනනු නොහැකි යුද කවරද
පියකත
කවිය බලන්න
සරස්වතී දේවිය සැමරුම් ප්‍රසංගයක් ...
කලකට පෙර කලා ලොවින් සමු ගෙන
නිසංසල සංගීත අසපුවක සැඟව ගත්
තාරකාවිය වෙත ඇරයුමක් ලැබී ඇත
හඬ අවදි කරන්නට නැවත
නෙක විසිතුරු මලින් අලංකරණය වුන
මහා ප්‍රසංග මණ්ඩපය තුළට පැමිණ
තම දෑස් දල්වමින් නිහඬව බලා සිටින
සංගීත ලෝලීන් හැඟුම් බරය
රටක් හදවතින් වැලඳ ගත් ස්වර- වදන්
සංසාර ගත රස- නිරස සෙමින් පිරිමදින
මල් වැසි වැටෙන සුන්දර සැන්දෑවේ
දොඩමලු වන දහසක් නෙත් දුටුවද
දන මන සසල කරන සදාතනික ගීතය
මඳ වෙලාවක් ගැයීමෙන් අනතුරුව
තව දුරටත් සිර කර ගනු නොහැකිව
රූරා වැටෙන කඳුළු බිඳ නුදුටුවෙද
18.04.2025
කවිය බලන්න
අත් නොහැර අත් හැරුනු අත්
සඳ දිය මිරික හරිමින් තිබෙනා රෑක
බිළිඳෙක් හඬයි ඈතින් දිස් වෙන ගේක
මතකද සොඳුර මෙවැනිම දවසක් දාක
ගනඳුරු පෙනේරය හැලුවා දුක් සෝක
එක මග යන්න හිටියට අප එකට ඇලී
අහසක් උසට ඇත මහ සයුරකේ රැළී
කතරම තෙමන අක් හා වැස්සකට නිලී
ඉන්නට බැරිය කිසිදා තරුවකට දිලී
නිශ්චල රෑ බදුලු පහනක එළියක
දිගේ
විස්තර කළ නොහැකි දුරකට ඇදෙමි ගඟේ
යෂ්ටිය නැතත් හබලක් ගෙන යනෙන මගේ
ගැස්සෙන තැනක ඔබ හිටියොත් තමයි අගේ
කවිය බලන්න
දිවි ඉඟි නළුව........
පාව යද්දී වළාකුළක් සේ අහසේ
සියලු බැඳුමන් මුදා හැරියා මනසේ
හඬා වැටෙනා මිනිස් කැළ දැක රහසේ
දෙරණමත ලද ජයක් විමසමි කෙලෙසේ
ගලා හැලෙනා සොඳුරු දිය ඇලි තිබුනත්
තුරු මුඳුන් වල මල් පිපී ලොව
දිලුනත්
අහස සිප ගත් ගිරි සිකර බිම
නැඟූනත්
මිනිස් වග ඇයි නොමැති වී සත්
ගුණවත්.
දුහුල් සළු වැනි වළා තුල පිරි
කඳුළක්
එක්ව ගුලි වී දුකින් බර වැහි
කළුවක්
විලෙස පතිතව නොමැති දින
සඳ පළුවක්
මිහි මතේ දිවි ගෙවීම ම ඉඟි
නළුවක්.
කවිය බලන්න
පිණිවැස්සක නිව්නෙමි
නුබ ගැබ සරසවයි මේකුළු
මත සරලා
රන් සඳපාන තරු කුමරියො
පිරිවරලා
වෑහෙන එළිය මිහිකත මත
තවරවලා
දරාණ මම හිඳිමි පිණිකැට
සීතළම වෙලා
හුළඟේ කිණිති පාවෙන මහ
රෑ යාමේ
රූසිරි මවන් මල්සුවඳක්
ආ වේලේ
මා වව්ලනු රෑ අහසේ
පා දෑලේ
තනි තරුවකුත් දුර ඈතක පෑ ආලේ
තවරා සුවඳ සේපාලික
මුදු මදපවන
දොරකඩ ඉඳන් ඉඟිමැරුවා
තව තතු නොදැන
රෑතුන් යමේ නොනිදන නෙත් පියවී වැහුන
කාන්සියට තනිරැක්කා පිපි
බිම්මල් රෑන
වියනක් බැඳන් පිණිවැස්සට
මග ඇහුරූ
නෙකමල් සුවඳ තනි නොතනිය තුරන් කෙරූ
නව දිනයකට පායනවිට රුවින් හිරූ
තරුමෙන් දිළිසුනා නෙතඟක් සුවෙන් පිරූ
නවසීලන්තයේ සිට
Photo credit: Reign Abarintos
කවිය බලන්න
LOVE AT YOUR OWN RISK!!
මන්දාරම් අඳුරක වංකගිරියක වුව
දෑස් පියාගෙන හරි
හොයාගත හැකිය මග
හිතුවක්කාර හිතකට
ප්‍රේමයේ නගරය පුරා සරන අතර.
එවන් නගරයේ තැන තැන
නාරි ලතා කතා ලතාවට
අංගාර ඉලූ ශෘංගාර පෙනුමට
කැටයම් මායම් පොකුරකට
තිබෙනු ඇත වෙන්දේසි අපමණ.
අතිනත් බැඳගෙන කොනහමින් නිය තුඩු අග
පිටට පිට දී හිඳිද්දී
දුටු විට අහස් ගඟ
කඩා දෙද්දී තරු පොකුරු දෝතට
නොගෙනම බැරි විට
දැවෙද්දී විසි කරනු මිස ඈතට
වෙන කුමක් කරන්නද?
වානේ වුනත් පරදන
අහංකාර දැඩි හිතක් වුව
දිය කල හැක වෙඬරු උණු වන ගානට
ප්‍රේමයේ සෙවනැල්ලට මුවා වී
සම්මුඛ වූ කල දෑසට දෑස
සුසුමක රිද්මයට අනුගතව
කිව්වා නාහන හිතුවක්කාර ගැහැණු හිත්
නොදෙවෙනි පිරිමි හිතකට.
ගලද්දී වංගූ ගහමින්
හිතූ හිතූ පරිදි ජීවිතය
වියරු වැටෙද්දීත් හදවත
තනිවම සිනාසී නැගිට ඉගිලෙන
ෆීනික්ස් ආත්මය.....
ටැටූ මෙන් නොසෙල්වෙන
කෝවක දමාවත් වෙනස් කල නොහැකි එඩිතර ගැහැණු හිත.
කලුවර අරටුව මැදින්
දළු ලන තෙක් බලා හිඳ
ඉවසන අයුරු පුදුමය
පිරිමි හිතකින් පුදන ප්‍රේමය..
පසු නොබසින කල එකිනෙකාට
එවන් හැඩි දැඩි ස්නේහයක වියරුව
දරා ගනු නොහැකි මොහොතක
එකෙක් මිය යා හැක
එයයි නියමය.
ඉතින්...
ඔබ පෙම් කල යුත්තේ
එවන් අවදානමක් රැගෙන ම ය!!
කවිය බලන්න
නෑසුණු වදන
අඬන්නට අමතක වෙලා
තිබුණු කාලෙක
ඔබ මට හමුවිය
එකම එක දසුනකින්
ලේ නහර ලියලා
හදවත ගැහෙන්නට විය
හිස සෙමෙන් පිරිමැදි දිනක
වේලිලා තිබුණු දැස තෙත් විය
හදවත නිවෙන පහසකින්
කඳුළු සොරොව්වේ
වාන් දොර විවර විය
ඉතිහාසය ලියාදුන් කතාවේ
පසු වදන ලියවිණිය
"ඔබට පුළුවන්"
කියන වදයි
මින් පෙරදි නෑසුනෙම
කවිය බලන්න
අපේක්ෂා
වැටුණු පිණි බිඳු ගලා ඇවිදින්
තෙමාලයි සුව දී අතීතය
මළානික මල් සෙමෙන් පිබිදී
බලයි හිස ඔසවා ගුවන් ගැබ
නිලම්බර මඟ තුටින සරනා
විහඟ ජීවිතයක කතා රස
තදින් ඩැහැගත් රුදුරු නෙත්මුල
යළිත් මිලිනව වැටුණි සිත් මල
Photo Credit; Sjoukje Bos
කවිය බලන්න
නිලතල
ඇත්, අස් වග වළස් මුව සේනා'තර
කුහුඹුවාටත් පොඩි ඉඩක් වෙන්කර
නිවහන කොට මහා වැසි වනාන්තර
බෙදා සම කටයුතු යා නොදී පැහැරහැර
පැණි කුරුල්ලෙකුට, කොවුලෙකුට
උගන්වා තාලයට ගී පද ගයන්නට
බස්සෙකුට අණ කළේ, හ්ම් කියන්නට
සැනසිල්ලේ තවකෙකුට රෑ නිදන්නට
ඉර, හඳ, තරු වෙත පවරා දී වළා වියන
මඳ පවනට ඔවා දී ලෙස, සිසිල බෙදන
කාර්තු වෙත් මල් පිපෙන, කොළ හැලෙන
මැසිවිලි කොතැන, සොබාදම නිලතල බෙදන
කවිය බලන්න
පිපුණු මල
රුවින් පිරුණාවෙ
සුවඳ ඉතිරුවාවෙ
හැඩට පිපුනාවෙ
එක බඹරෙකුට රොන් දුන්නාවෙ
මල්පල දැරුවාවෙ
තව රුවට දිලුනාවෙ
ලොවම එළිය කළාවෙ
ජීවිතය පාට පාටින් වින්දාවෙ
ශානි ඇන්තනි - 07/04/2025
කවිය බලන්න
මනමෙ
අඳුරු වලා තුළ දිලිසෙන අකුණ ලෙස
පඳුරු තුළින් දැක තේජස පිරුණ ඇස
අසුරු සැණින් වසඟව යන කුමරි දෙස
කුමරු බලා හිටියා කඩු කොපුව පිස
ලොවක ශිල්ප දක්වා ගුරුපියන් වෙත
දුවක දිනාගත් ප්‍රීතිය මතක ඇත
අහක යන ලෙඩක් ගත්ත ද උරිස් මත
හිතක පෙමක් ඇය ළඟ ගෑවිලා නැත
යළිත් දිනෙක වැදිරජ මුණගැසුණ කල
ඇයත් හොඳින් දැයි ඇහුවා කුමරු බල
පයත් පොළොවෙ ගස්සා හිස පහත් කළ
කිසිත් නොකී වැද්දා දිවගියා බොල
කවිය බලන්න
ලාහිරු රැස් ගලනා..........
ලාහිරු රැස් ගලනා
හිමිදිරි උදයේ
උයන් බංකුවේ
අසුන් ගෙන කොනක
සිටියා බලා
එනතුරු ඔයා ........
සීතල පවන්
වෙලෙනකොට ගත
දැනුණා පාළුව
ඇත්තමයි
ඔබ සිහිකොට .......
එකවරම දැනුණා
ගන්නවා අසුන්
අනෙක් කොනේ බංකුවේ
කවුරුන් හෝ ..
හැරෙමින් හෙමින් එදෙස
බැලුවා චකිතයෙන්
දුටුවේ එකවර
සිනහා රැල් ඉතිරෙන
ඔබගේ මුහුණ ......
ලංවී ආදරයෙන්
මුමුනමින් ආගිය තොරතුරු
පිරුණු දෙහදම
නොදැනීම
වැළද ගත්තා
ඉපිල ගිය සතුටින් ........
කවිය බලන්න
කවුද මේ නිහඬ.......
අනන්තව සැරිසරා
නිබඳ නිදහස සොයා
දිවා කල ගී ගයා
සකුන් නින්දට ගියා
මේඝ ගැබ්බරව හිඳ
දේදුනුද මැවු නියා
රූ රටා ඇඳ තියා
දිනකරද බැස ගියා
සඳ සමග සැතපෙන්න
තරු රැසට ඉඩ තියා
අඳුරු කඩ ඉම් සොයා
යහන් ගැබ සැදු නියා
අසිරි සිරි නිති මවා
දහවලම පුබුදුවා
රැයද අවදිව ගෙවා
සිටින නුඹ, නොවෙද නුබ ?
කවිය බලන්න
රහස
ගලනා ගඟක ව්හිදෙන මුදු සුසර හඬයි
හමනා නල රැලක සැගැවුණු සුමුදු සුවයි
වැටෙනා දිය පොදක සිසිලස දැනෙන ව්ටයි
හැගෙනා සසර කළ පින් හී පිරුණ වගයි
---
මලකට සුවඳ මල නිති ලැබු සම්පතකි
ගගුලට ව්ලට මිරිදිය එහි සිතුමිණකි
විලකට නෙළුම් මානෙල් මල් රසදුනකි
කලකට සිතට සැනසුම දෙන මදුවිතකි
---
ගස් වැල් සේම කදු කලුගල් වැඩෙයි ලොවේ
තරු මල් කැකුළු සඳ වටකොට දිලෙයි බවේ
සුව්සල් මැදුරු වුව එලෙසම තිබෙනු නොවේ
දුටු කල් ඉසුරු නැතිවුණු සද සිතින් තැවේ
---
පිපි මල් සුවඳ නටුවට නොදැනෙනා වැනි
හැපි හැපි සතුටු වන සද අසතුටද ව්ණි
කිපි කිපි සිටියහොත් සුවයක් නොවෙන දැනි
ලොව අද මෙහෙම ඉන්නේ කළ පිනින් දිණි
---
සඳ රැස් වැටෙන්නේ නොසොයයි බ්ම් තීරු
වද දුක් ව්දින්නේ නැති වෙන කොට වාරු
ව්ද නැති දියෙහි සිසිලස එහි ඔරුපාරු
අද දුක් ව්දින්නේ සැප අහිමිවැ සීරු
---
කොතරම් ගෙරෙවුවත් නොසැලෙයි දුර අහස
මනරම් දසුන් වුව ගෙන දෙයි දුක් පහස
බැරිකම් ඇතත් නැතිකම් වදදෙයි මනැස
මතු යම් දිනක දත යුතු නොවැ එහි රහස
============================
රාජ්‍ය කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
=-=====-----=-=====---------===
10/4/2025
Photo Credit; Anders Ipsen
කවිය බලන්න
ඈ කවුද? නොවෙනස්ද?
සරණ සරනා ගෙත්තමක් වී
මහා පිවිතුරු සිත්තමක් වී
ජලධරය වී මේඝ රැදවී
අසෙනි වැසි ලඟ සොදුරු ධරවී...
වර්ණ දැල්වෙන සැදෑ සළුවී
ධවල පෙළ මැද නීල දුරුවී
රාත්‍රි තරුපේලී කැදවී
ඉදුවරට පද රැදෙන ගී වී
සෙනෙහසට නිරතුරුව සබැදී
අමාවක සදු සගව ගන්නී
දූල් සලුපිළි පැළද ඉන්නී
සුරමගය නුබ සදා දෙන්නී....
ඈ අහස ...
මා පොලොව
මුදු බැදුම
නොවෙනස් ය!
කවිය බලන්න
අකුණ
තරු දහසක් පිරිවර මැද අටවක රැය මට කළුවයි
නිසොල්මනේ ඇස රවටන සුළඟෙ ලෙළෙන වැසි සළුවයි
රෑ කුමාරි මල් පිබිදෙන පෙදෙසට බිඟුනගෙ සැරියයි
වක්කඩ කැඩු සිනා මතක අමාවකෙත් සඳ අවුලයි
තොඳොල් වෙමින් කතා කියා සැනසුම ගෙන දී බිඳ බිඳ
නොරොක් වෙමින් වරින් වරේ නපුරු කමට යළි බිඳ බිඳ
සිතකින් මට දිවි ගෙවුමට ඉඩ දී දහසක් වද මැද
බක් මාසේ අකුණු රැගෙන පායාපන් නව සඳ ලෙද
සිහිනෙන් හදවත පුබුදා නගන නුඹේ මල් සිනාව
නෙළුම් කෙතේ උකුළු මුකුළු අතරෙදි දෙයි වේදනාව
රැය දහවල දෙක එක ලෙස බල බල හිඳ කල් මනාව
රන් අස්වණු නැකත සමග මංගල්ලෙට කල්පණාව...
Photo Credit: Brandon Morgan
කවිය බලන්න
උස් තැන් ලදිම්
දැස්සන් මැදින්
බස්තම අරන්
රැස් විහිදමින්
දිස්විය තෙදින්!
හස්නක් ලදින්
දස්කම් ගිහින්
විස්කම් ගිහින්
හුස්මත් අරන්!
පුස්ඹක් ඉසින්.
මැස්සන් මඬින්.
මුස්නක් ගෙනෙන්.
අස්පස් කරන්!
ලිස්සයි හෙමින්
පස් හය දෙනෙක්
උස්සන් ගොහින්
බස්සන් වළෙන්!
Photo credit; Components AI
කවිය බලන්න
මෙරු මතුවෙන හැන්දෑව
බිත්ති මුල්ල සිවිලිම තුන් කොන් අතර
අත්තිවාරමක් නැති සෙලවෙන ගෙදර
නෙත්ති උල් නොවේ අටපට්ටම් කතිර
සත්ත දැන කඩන බව ගොඩනැගි මැඳුර
පොල් අතු කොනිසි නැත්නම් කොසු මිට උසට
කල් යල් බලා කොතෙකුත් කැඩුවත් බිමට
සිල් ගෙන තටු පොරෝගෙන සිට නෑ නිවට
පැල් බැද මකුළුවා ගොඩනැගුවා යසට
උදේ හවා කැඩුවත් නොම සවි මැදුර
වදේ නොකියාම යලි අටවන පවුර
සඳේ ලප ගනින්නට කල් වැය නොකර,
ඇදේ මකුළුවෙකි පැටලෙන තෙක් ගොඳුර
මකුළු දැලේ විටකදි මෙරු තටු ඇලෙනා
කැකළු බය කරණ හූනන් නිදි මරණා
මහළු මකුලුවෙකි මෙරු බුදිනට ලොබිනා
විසුළු නොවේ බණ පදයකි මේ පෙනෙනා
තටු එන්නේ මෙරුන්ටත් පෙර කළ පවට
තුඹසින් මිදී ඉගිලී යන්නේ උඩට
අටු යට කල් මරණ ගෙඹි ගොඩවෙයි පිලට
දුටු දේ නොවෙයි නිවැරදි වෙන්නේ ඇසට
ගොම්මන් අඳුර වැහි මෝරා වැටෙන වෙලේ
රංඟන අවර තටු පැටලේ මකුළු දැලේ
ලන්වුන මකුළු උකසට නොකරාම මොලේ
රැවටුන ගෙඹි විවාදය තාමත් ඇසුනි පිලේ
කැඩී තටූ වැටේ ගෙම්ඹන්ගේ කටට
තඩී බොරුවක් ය පැලකර ඇති යසට
මඩී පුරවන්න සිතුනත් ගෙඹි කැලට
වඩී මකුළු වැදි මෙරු නලඟන ලගට
කවිය බලන්න
සමාවන්න මට නිදා ගන්න පෙර
කාට නම් කිව හැකිද?
අවදි වේ දැයි හෙට උදෑසන
වුනි නම් වරදක් මාගෙන් ඔබ හට
හිත් පීඩාවක් හෝ රිදවීමක්
කමා කරනු මැන.
කමා කරමි මම
වී නම් වරදක් ඔබගෙන් මා හට.
Photo credit; Khadeeja Yasser
කවිය බලන්න
එකලාවේ කලාව.
රහසේ මා ගැන තාම සොයනවද
ගඟ දිය සෙවනැලි සිප ගද්දී
තුරු අග පිපි මල් සැලී වැටෙනවද
තරු පිණි කඳුලට මුවා වෙවී
ගෙට පැන නටනා සඳ වතුරේ ඇති
මලානිකවු කහ පැහැය දිගේ
කුමට එවනවද මතකයෙ සැමරුම්
සුවසෙ නිදන්නට තිබෙන පැයේ
රැ කුමාරි මල් නිවාඩු ගෙන අද
මද සුළඟත් හුදකලා වෙලා
නුපුරුදු සුවඳක් දැවටි නිසාමද
කවුළුව අස ඇස නතර වෙලා
2025.04.21.
කවිය බලන්න
මා තනි කළ නැගනියට...
වතු සුදු මලක රුව නැහැ නුඹ ලඟ තිබුනේ
දැනමුතු කම් දෙන්න දුරු ගුන නැහැ පෙනුනේ
මව නැති මෙමට සුලු මව ලෙසටයි දැනුනේ
නැගනිය නුඹ නිසයි මේ කවි මල් පිපුනේ
කඳුලැලි මෙලස උතුරන්නට දෙනත අද
නුඹ ඇයි තනි කලේ අසරන අපගෙ හද
ලනු ඇඳ උඩ පියානන් නෙතු කරයි බොඳ
අප හැර ගියා පැල කල එලි කරපු සඳ
දැඩි ආදරය දුකකට පෙරලුනා මෙසේ
හැඩි දැඩි උනේ මෙතරම් හද නුඹගෙ කෙසේ
පොඩි හසරැල්ලෙ රුව බැලු හැම තැනම දිසේ
නුඹ අමතක කලා සොහොයුරු පෙමක රසේ
අමනාපයක් නැ අප හර ගියත් නගේ
ගම තුල කතා විසදන්නට රජෙක් වගේ
අතගත් කුමරු සමගින් වෙල් නියර දිගේ
ඇවිදින් යන්න තව දුරටත් නොකර අගේ
සෙනෙහස පතාගෙන ආදරයෙන් හදතී
සිහිනය එසේ මුත් දිනකදි බොරු කෙරෙතී
නැගනියගෙන් උගත් දේ කීමට කැමතී
ගැහැනිය අපට නොව පිට අයටයි අයිති
කවිය බලන්න
හීන හැඩ නෑ...
පිරෙන කඳුලැළි නෙතඟ ඕසෙට
නොපෙනෙනා සේ පිසින්නම්
දැනෙන සරතැස දිවිය පාමුල
නොදැනුනා සේ හිඳින්නම්
ලැබෙන අවමන් මසිත හීරෙන
නොහැඟුනා සේ විඳින්නම්
රැකෙන පතිවත නුඹගෙ නාමෙට
නොබිදෙනා සේ රකින්නම්...
විසුල අහසට එළිය සඳවති
නුඹද නිදි නෑ රැයෙත් නම්
අකල ගිලිහුණු සුවඳ මල්පෙති
රොනට ඉඩ නෑ යළිත් නම්
අපුල දිවිමඟ තනිය රඟදෙති
සිහින හැඩ නෑ තවත් නම්
පතුල සිඹිනට කඳුල සැරසෙති
සුසර බව නෑ තනුත් නම්...
කිණිති තරු මල් දිලෙන දවසක
නුඹට රහසින් කියන්නම්
පිරෙන සිතුවම් හඬන දෙනෙතක
කුමට කඳුලින් මුදන්නම්
දෙසති බුදු දම් නිවෙන පදයක
නමට දන් පැන් පුදන්නම්
විමති නොමවෙන් නොයෙන ගමනක
නුඹට නුදුරින් නිදන්නම්....
කවිය බලන්න
🗙









































































