ඒ පිස්සිය හෙවත් සඟබෝ බිසව එදා......
කොතෙකුත් ඉවසමින් ඉවසා බැරිම තැන
සිය වෙස් වෙළාගෙන වෙසකින් නොහඳුනන
හිමි සොය සොයා දෙනතින් උණු කඳුළු ගෙන
ඇය එන්නීය රජ මැදුරින් පිටත පැන
හිමි ආ ගිය අතක තොරතුරු නොදැන සිට
මායා රට වනැයි ඉපදුනු සැකය පිට
බලවත් වියෝ දුකකින් මහ මඟට බට
ඇය යන ගමන ගැන නොදනිති තවම රට
නම මිස එහෙත් මායා රට කොහෙද කියා
කිසිවක් නොදන්නී යන්තම් ලකුණු සොයා
වෙහෙසී වෙහෙස නොබලා ගැහැණියක නියා
ඇය ගම් දනව් පසුකර ඉදිරියට ගියා
වරදක්වත් මගෙන් මහිමිට සිදුවීද
පෙන්නූ ආදරය හෙම ඉරිි තැලුනාද
රජකම එපා වී තපසට වැඩියාද
කවදා කොතැනකදි යළි මට හමුවේ ද
මෙලෙසින් සිත සිතා ඈ මහ මග යද්දී
සඟ බෝ රජතුමා හිස දන් දුන් සිද්දී
ඇගෙ දෙසවනට බැඳුනෙන් හිම දෙදරද්දී
ඇය පිස්සියක් වූවා හිස ගිනි වැද්දී
සඟ බෝ රජිඳු හිස දන් දුන් වනය වෙත
කෙලෙසින් හෝ නමුදු ඇය දැන් පැමිණ ඇත
බිහිසුණු වන සතුන්ගේ හඬ දුලබ නැත
වැඩි වෙයි කෙමෙන් සිය හිමි රජ සොයන තැත
ඒ වන ලැහැබ මැද මහ කටු පඳුරු මැදින්
ඇය වැටි වැටී යන විට සෝ පිරුණු හදින්
හිස නැති මළකඳක් ඇය හට පෙනෙන ලදින්
මුසු පත් වුනා කවරෙකුගේ සරණ ඉතින්
"රජසැප ඉවත දා හිස මගියෙකුට පුදා
හිමියනි අනේ ඔබ කළ දේ බොහොම හොඳා"
මේ පිස්සිය හෙවත් සඟබෝ බිසව එදා
වැළපෙන්නට වුනා ඒ මළ සිරුර බදා









































































