2025 අප්‍රේල් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2025 අප්‍රේල් කලාපය

එක දෙක තුන එකතු වෙලා රජයට තුති මල් එහෙත් පොලක් ගනු ගිය කළ පෙනේ එලොව පොල් දෙවුන්දරින් බිඳෙනු ලැබේ පළමු පදය පදය සිල් පාතාලේ මැඩලන්නට පැමිණ තිබේ කල්

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

පන්තියේදී ඉස්සූ අත - විසල් හදක කවි

පන්තියේදී ඉස්සූ අත - විසල් හදක කවි

පරාක්‍රම කොඩිතුවක්කු

ප්‍රශ්නයක් නැගූ විට
පිළිතුරක් ඉස්සුනා
පොඩි අතක් ඉස්සුනා.....

ඉදී රතු පාට වුන ගහක කොළයක් මෙනා
පොඩි අතක් පණපෙවී සෙලවෙනා
කන්ද උඩ දිය බුබුල විලසිනා
ඇඟිලි තුඩු බුද්ධියෙන් බැබලෙනා
පොඩි අතක් පණ පෙවී සෙලවෙනා - සෙලවෙනා
නිරන්තර මා සිතේ රඟදෙනා

පොඩි ළමයෝ
පන්තියේදී ඉස්සූ අත

පෙරමුණ යන අත් වැලකට තව අතක්ය
හෙට දවසේ ඉරුට පුදන මල් දමක්ය
අලුත් ලොවට උඩු සුළඟේ කොඩි වැලක්ය
අතු අග පලවැල සොයන්ඩ ඉනිමගක්ය
නිවී අඳුරු දිගු ගමනේ ගිනි සිලක්ය

පන්තියේදී ඉස්සූ අත
පොඩි ළමයෝ
මම සිඹිමී.

කවිය බලන්න
පසල් ගමක සිරි

පසල් ගමක සිරි

අමිතා පද්මකුමාරි

නිලවන් ගොයමේ දිලිසෙන වැහි බිංදු
නියරේ පා නඟන ගොවි නෙත් සතුටු
දුවිලි පොදක් නැති සීතල සුළඟ
ඇවිදියි ගම වටා සුවයක් රැඟෙන

දක්කාගෙන හරක් රැල තණට
ඉහලාගෙන හබරල අත්තක් හිසට
සුලබයි මේ දසුන නිතරම ඇසට
ගම්මානේ වැසි වැටෙනා දිනට

අසලින් ගලන දොළ පාරත් නිසල
වැසි දිනයකට මදවේ සසල
එනමුත් නොකර ගම්මානේ ආකූල
නිහඬව සොයායයි සමුදුරු සිසිල

කවිය බලන්න
මෙදා අවුරුද්ද ...........

මෙදා අවුරුද්ද ...........

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කොහාට ගන්නට දීලා අවුරුද්දට නිවාඩුවක්
රේඩියෝවෙ කොහා හඩයි පැය කාලෙන් කාලෙට සැරයක්
කඩ කැවුමේ රතු පාටින් තිබුණත් හිත ගත් පිරියක්
ගණන් හින්ද මට තියෙනවා පොල්තෙල් ගැන මහ සැකයක්

ගමට ගියත් දැන්නම් නැහැ හරි සිංහල අවුරුද්දක්
TV... එක පෙන්නනවා ගමේ තියෙන අවුරුද්දක්
පොරපොල් පංචිත් ඔංචිලි අවුරුදු ක්‍රීඩා වල වෙනසක්
බනිස් කෑමෙ ෆොටෝ එකක Caption... එක අවුරුද්දක්

ළමයින්ටත් බිසී කියල එවලා නෝනා ඩිලිවරියක්
කෑම පාර්සලේ තියෙන්නේ පිලිකා කාරක තොගයක්
මහගෙදරම පාළු වෙලා දරුවන් නැති විට අඩුවක්
Phone.... එකට හිනාවෙලා කථා කරමු තව දවසක්

කවිය බලන්න
සවනක් බුදුරැසින් මගෙ සිරි ලක බැබලුණු

සවනක් බුදුරැසින් මගෙ සිරි ලක බැබලුණු

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

අදයි පොහොය බක්පුර සඳ රැස් ගලන...................

දියණිය දුන්නදා දායාදෙට දුන්න

රුවන් පුටුව සිතුනා ආපසු ගන්න

අකලට මිලින දියණිය සිහිවන්න

එතනදි මහෝදර විය සටනට යන්න

බෑනා සමඟ මාමා සටනට වුනා

නෑදෑයන් සතුරන්වි පිල් පිල් ගැහුනා

ගෞතම බුදුසමිඳු එදා ගුවනින් වඩිනා

අඳුර මවා බියගන්වා කලා දේශනා

සම්බුදු සමිඳු වැඩ සිටිමින් දෙව්රම් වෙහෙර

අලුයම බැලුවෙ තුන්ලොව බුදුනෙත් හැර

සටනක දසුන් හෙලදිව පෙනුණා එවර

ගුවනට නැගී වැඩියා බුදුහිමි පවර

දෙව්රම් වෙහෙර දොරටුවෙ කිරපලු ගසේ

මනරම් සමිදි රුක්දෙව් සිටියදි සුවසේ

පෙරකම් දුටුව බුදුහිමි කාටත් රහසේ

ඇරයුම් කළා හෙළදිව වැඩුමට ‍ මිතුසේ

නාගයුද්ධය බුද්ධබලයෙන් වැලකුනා

අසා බුදුබණ නාගකුලයම පැහැදුනා

මැණික් පුටුවත් දනට පිදුනා

පුටුව වටකොට සෑය බැඳුනා

බුදුන්ට දුන් රුවන් පුටුව යලි දුන්නා නාගයින්ට

නාගයින්ව පුටුව තබා බැන්දා දාගැබ වඳින්ට

සමිදි සුමන සුරිඳු ගෙනා කිරිපලු නුග පැලකරන්ට

නාගදීප බිම සිටුවා දුන්නා වැඳ පුදාගන්ට

පස්වන වසර බුදුවී සම්බුදු සමිඳු

දෙවනවර වැඩියෙ ලක්දිව පසිඳු

නාගදීප නාගයුද්දෙ අතර විදු

බුදුමහිමෙන් බක්පෝදා යුද පැරදූ

ගිහිසැප හැරයන්න එදවස කුමරුට සිදුහත්

දුටු පෙරනිමිති හතරේ දුටු රුව වියපත්

බක්පෝදාක ගැටුනා කුමරුගෙ යුගනෙත්

වටහාගත්තා එලෙසින් වනබව කාටත්

Photo credir; Javardh

කවිය බලන්න
අවමංගල දැන්වීම

අවමංගල දැන්වීම

අතුල රත්නායක ලන්ඩනය

හිනහවෙන්නට අමතක වූ
වෙලාවක් ඇත්තේම නැති
හිතහොඳ හාදයා
හුස්ම නොගෙනම මියගියා

මරනෙකට මඟුලට නොගියේ
වැඩරාජකාරිම ඉහට උඩින් නිසාවෙනි
අනේ අමනාප වෙන්න නම් එපා
පින්කම් නොකෙරුවට
දාන මාන නොදුන්නාට
හිත පන්සලක් වෙගේ වෙන්නැති
සමහර විට හොරෙන් හොරෙන්
බනබාවනා කරන බවුන් වඩන
උත්තමයෙකු වෙන්නටත් බැරිනැහැ

ඒත් වැඩපල ඉහටත් උඩින්
වෙලාවක් නැහැ කිසිම දෙයකට
හිනහවෙන්නට අමතක වූ
හිතහොඳ හාදයා
හුස්ම නොගෙනම මියගියා

කවිය බලන්න
මින් මනත මම ලියන පැදි වෙයන් සෙත් කවී.

මින් මනත මම ලියන පැදි වෙයන් සෙත් කවී.

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

නිසසලය හද විමන සොඳුරු සිතිවිලි ගෙතුන..
අසරනය පන්හිඳත් ගොළුව මුනිවත රකින..
මතක අමතක නොවේ හදවතින් අප බැඳුන..
මුකුලිතව නිමවුනා පෙර දිනක දුටු සිහින...

ඉඳ හිටක සිහිනැගෙන විට මතක නෙත්හඬයි..
මඟ හැරුන මුත් දෑත දුන් සවිය මල්දරයි..
සුදු පාට පිටු අතර ලියුව පද සුන්දරයි..
නුඹ මසිත තුල සැදුව කවි කෙතම පින්බරයි..

කැන්දාන ආ කුමරි වෙලා නුඹගේ සවී..
රන් පහන් දැල්වෙයන් ජීවිතේ දුක් නිවී..
දුන් දිරිය නිසාවෙන් සරුසාර වී දිවී..
මින් මනත මම ලියන පැදිවෙයන් සෙත් කවී...

ඊශ්‍රායල් , ජෙරුසලම

Photo Credit; Uriel

කවිය බලන්න
තාමත් හිනා වෙයි ......

තාමත් හිනා වෙයි ......

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

දරුවෙකු නුඔ නමින් කුස පිළිසිඳ ගන්න
සරු බීජයක් නැතිවද මට හිනැහෙන්න
මම වෙනුවෙන් පේවුන හිත සනසන්න
මේ මාසෙවත් මට දින මග හැරවෙන්න

කුස අතගගා කියනා නැලවිලි ගීත
ලඟ උණුසුමට දැවටී නිවනා සීත
මවු පදවිය නොරඳන මාසෙට ඈත
එනමුදු අල්ලගෙන හිමිසඳ මගෙ දෑත

තාමත් උඩ බලන් නුඹ හිනැහෙයි සඳට
ඉර ලෙස එලිය දෙයි මගෙ කලුවර හිතට
වත්තන් කරන් මාවත් පිය මැන දැවට
තාමත් හිනාවෙයි නුඹ මට එක ලෙසට

AnA 2025

කවිය බලන්න
ඒත් මේ සීවලී නම් වැදි රජුගෙ සත්තයි.

ඒත් මේ සීවලී නම් වැදි රජුගෙ සත්තයි.

අනුරාධා ගුණසේකර හොරණ

මේ මහා වන පියස යට
නපුරු වන මෘග සැරි සරන බව දැන
සියලු ශිල්ප දැන උගත් බව කියාගෙන
රුවින් පිරි මාවත් බලෙන් ඇදගෙන
එනකොට නිකමටවත් නොහිතුනේ මන්ද
මනමේ නුඹට
නාදුනන නුපුරුදු කැලයක
අපිට කාත් කවුරුත් ම නැති වග ......

කොතෙක් කිව්වාද මං
මඟහැර අපි යමුද සුපුරුදු මඟම
නුඹට වගක් වුයේ ම නැත
කඩුව මට දී නුඹ නිතර මා තනිකර
රැගෙන එන්නම් කියා වන එල
ගිහින් රෑ බෝ වෙලා එනතුරු
තනිවුනා මඟ බලා බලා ලෙන් දොරත් ඇරගෙන .....

නිතර වගතුග අසා මේ මගින් යන
වැද්දෙක් වුනත් රජෙක් ලෙස පෙනුනි මට
තනිව මේ ලෙනට වී සිටින මට
පෙනුනේ වැද්දගේ ලෙංගතු හිතම
ඒ නිසයි දෙවරක් නොසිතාම
කඩුව දෙන්නට හිතුනේ ඔහු හට
සිංහ බා පුතු නුඹේ බව ඇත්තයි
ඒත් මේ සීවලි නම් වැදි රජුගේ සත්තයි ......

අනුරාධා ගුණසේකර

කවිය බලන්න
තණ්හාව

තණ්හාව

ආරියරත්න ජයසිංහ මහරගම

ඉපිද හිම කුළු මතේ සතර අත දිවෙනා
කෙතෙක් ගංගා වේද කඳු හිසෙන් බසිනා
ගමන කෙළවරෙහි මහ සමුදුරට වැදෙනා
නිමේශෙන් නිමේශය දිය කඳක් රැගෙනා

සමුදුරේ ජලකඳේ පමණ කිව නොහෙනා
කොපමණක් රැස් කළත් පිරීමක් නොවෙනා
ඒත් අප අසා නැත ‘දැන් ඇතැයි’ කියනා
මෙබඳු වේ තණ්හාව අප සිතද පෙළනා

අසණි වැසි ඇදහැලී වැව් තලය පිරෙනා
දිය බිඳක් නොතැවරී නෙළුම් පත දිළෙනා
නෙළුම් පත ඉවතලන දිය බිඳුව ලෙසිනා
අත්හලොත් තණ්හාව අප සිතද නිවෙනා.

කවිය බලන්න
දිය ඇලි

දිය ඇලි

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

ලක්බිම සුන්දරය කඳු ළඳු පිවිතුරුය

තේ වතු අසළ ඇති කඳු පිරි උල්පත්ය

උනනා වතුර බැඳිලා තනනා ඇලිය

දිය ඇලි කුඩා ලොකු පිරිලා මනරම්ය

දියළුම දුන්හිඳට ජන ගඟ ගලන විට

ඇල්ල ලක්ෂපානට යමු නාන්නට

බඹරකන්ද රම්බොඩ සුදු මල් ලෙසට

දකින දෙනෙත් පිරිලා උතුරයි සතුට

මූදු තීරෙ ඉඳගෙන වුව දැකිය හැකි

දිය ඇලි තිබිය හැක එබි එබි බලන් සකි

විඩා නොවී ඇවිදන් යන කලට මැකී

යනවා සියළු රිදුමන් දිය ඇලිම දකී

ගල් පව්වකට වැටෙනා දිය පහර දිගේ

මල් පිපෙනවා වැනි දිය ඇලි පිපෙයි අගේ

ලක්බිම බලන්නට පිරෙනා සෙනග ගඟේ

දිය ඇලි වලින් තෙමි තෙමි යයි ස්තුටු ගඟේ

කවිය බලන්න
මෙහෙම වුණොත්  ?  රබන් පද ......

මෙහෙම වුණොත් ? රබන් පද ......

බන්දුල කුරුවිටආරච්චි

ඇති තරං. හැම එවුන් කල
වැරැදි මදිද බං.
ගුඳ ගතං. ගති ගතං ඉතින්
වත් රට හදං.
එකතු වී රට හදං.
හද බැතින් රට හදං.
අම්මපල් ඇති පදං.
ඉන් පස්සෙ සතුට බං.

අප්පට සිරි. අම්මට සිරි
අන්න බොළවු මොණරූ.
රම්පට පොරි බේරෙනු බැරි
රෑන් රෑන් වඳුරූ.
ඇරියස් පිරි. ගේමට සරි
නොමවී වහ කදුරු.
අරගෙන දිරි සෙනෙහස පිරි
හදමු රටක් සොඳුරු.

ඔෂවා, කැනඩාව

කවිය බලන්න
හිරු කුමරුට ආරාධනා,

හිරු කුමරුට ආරාධනා,

චමින්ද ලියනගේ බලංගොඩ

ඇළ දොළ ගං පිරීයන්න වැහි වැහැලා ගලන්න
මල් පිපුණම ගහේ වැලේ සිරි අසිරිය විඳින්න
හැඩ ගන්වා නව අවුරුදු
කුමරිය ගෙට ගෙනෙන්න
හිරු කුමරුනි මීන රැසින් මේස රැසට වඩින්න,

ගෙට ගත් නව අස්වැන්නෙන් දනට පිනට පුදන්න
පාට ගෑවගෙන් ගෙට නෑගම්
කදමලු බඳින්න
මුවින් මුවට ඉසිරි විසිරි සිනා කැකුළු දකින්න
හිරු කුමරුනි මීන රැසින්, මේස රැසට වඩින්න,

හැම ලිපකම එකම වෙලේ
කිරි ඉතිරෙනු දකන්න
සුබ නැකතින් අවුරුද්දට බත් කට කට කවන්න
නැකත් බලා වැඩ අල්ලා
ගණු දෙණු වල යෙදෙන්න
හිරු කුමරුනි මීන රැසින්, මේස රැසට වඩින්න,

ගැමි ලියන්ගෙ රබන් සුරල්
හඬ රටටම ඇහෙන්න
පුංචි එවුන් එකතු කරන්
ඔං චිලි චිලි කියන්න
සමගියෙ සුදු පරවි රෑන්
නිල් අහසට මුදන්න
හිරු කුමරුනි මේස රැසට
සව් සිරියෙන් වඩින්න,

Photo Credit ; Nasa

කවිය බලන්න
ප්‍රේමය නම් ..

ප්‍රේමය නම් ..

එච්.පී චමින්ද ජයවර්ධන

සිතක සතුටක්
දෙන්න මෙතරම් ..
ලෝබ ඇයි මිනිසුන්...
කතාවක කොටු කරන් රිදවන්..
පෙලනු ඇයි මෙලෙසින් .....

සමිඳු දෙසු බණ හීන වෙනවා
දිනෙන් දින හෙමිහින් ...
යන්න ඇවිදින් නවාතැනකට..
ලොබ බැඳී සෙනෙහෙන් ....

හෙමින් ඇවිදන්..
වැලි මළුවෙ අපි
ආව ගිය මතකෙන්...
අදත් බෝධිය නෑව්වා මං ..
නුඹ නැතිව තනියෙන් ...

සුවඳ දුම් නෑ .. එක මලක් නෑ ...
ආවෙ මං තරහින් ..
වෛරයක් නෑ ..
බුදු පුදට මල් අරන් එනවද දැන් ...

මතක ඇහුරුණු
හිතක හැඟුමන්
සමිඳු පාමුල මං ..
අවසරක් නෑ ..
කියන්නටනම්...වෛර හිතකින් නම් ..

කවිය බලන්න
Why we need vultures

Why we need vultures

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

The day death comes
our hidden privacy is over.

Very private parts
of our bodies
seen and handled
only by
ourselves, parents
doctors , wives, husbands
will be the property
of the undertakers
who will be exposing
the secrets
doing
whatever they think fit
after a couple of drinks

It is considered
better than
eaten by the vultures
by the world
claimed to be civilized

Arn't we all
plants and animals
sons and daughters
of the soil
born in the soil

Plants remain unmoved
but give flowers, fruits,
seeds to the others
and sometimes
they are taken alive
eaten alive
for the others to live

we move......
to see things
to do things,
to own things
but
grudgingly give things

when the plants die
no vultures, no animals
come to feast on
the dead bodies
they don't invitingly
stink either.

When we die
We stink to the high heavens
because of what we earned
because of what we owned
to live for ourselves
the cause of putrefaction
Inside and outside
that is why we need
vultures and undertakers
to clear the mess

18-11-24

කවිය බලන්න
සැරද! සක්‍රය

සැරද! සක්‍රය

චමරි වික්‍රමසිංහ පිලියන්දල

අසුන මාරු කල පසු ඔබ සුවෙන්ද
තිස්සෙම පාස්චාත් භාගය රත් වෙනු වෙනුවට
මාරු කල ලී පුටුව සැපක්ද

ආරංචියේ හැටියට
ලී පුටුවත් කුෂන් කලබව සැබෑද
ඔතරම්ම සැපක් පාස්චාත් භාගයකට
අනේ ඉතින් මක් කරන්නද දෙවියෝ නෙව
එහෙමද

මේසා වද කරදර මැද
ඔබවත් සැපේ ඉන්නා එකම මදිද
වෙන්නා තරම් අකටයුතු වෙද්දී
පස්සක් උනත් ඔය හැටි රත් කල හැක්ද

එකක් දෙකක්ද නෑ නොවෙද
එළව කෝටියක් දුක් අඳෝනා
ඔයින් බේරිලා ඉන්නවා මදිද
දුක් කරදර වලට අපිම දෙවියනේ කියා
අපි හිත හදාගෙන ඉන්නවා

ඔබ තුමා අහක් කර
දෙවියනේ කීවාට
තිස් තුන් කෝටියක් උන්නට
එයාලටත් හරි ප්‍රශ්න මයෙ හිතේ

අපේ ප්‍රශ්න අපි බලා ගන්නම්
කොහොමහරි
ඔබතුමා තිස්තුන් කෝටිය කෙසේ වෙතත්
ආසනේ රැකගෙන පරෙස්සමෙන් ඉන්න

දෙවි පිහිටයි බුදු සරනයි.

නර පනුවා වෙත .

ලියපු ලියුම වැදිලා මට තුවාලයි.....

අනේ නරය
උඹලා කියන කියන විදිහට ඉන්න
මම කවුද
හිතාපං පොඩ්ඩක්
ලෝකෙ පුරා ඉන්න බොලාගෙ එවූවො
දවසකට අඬන ඇඬිල්ලක්

හිතාපං කොහොමද අර පඬුපුලේ ඉන්නෙ
එකම එක විනාඩියක්
පාස්චාත් බාගෙ ගන්න දෙයක් නෑ
විනාඩිය ගානෙ යදින යැදිල්ලට

බැන්නත් යදිනව
කන්න නැතත් යදිනව
සල්ලි නැතත් යදිනව
එකී මෙකී නොකී
ඔක්කොටම යදිද්දි
හිතාපං මං ගැනත්

බොලාල ඉතින් දෙවියෙක්ගෙ හරි
හොයන්නෙ වැරදිමයි
දෙයක් කියන්න කලින් දෙපාරක් හිතපං
බොලා දෙන පින් ටික නැත්නම්
මාත් චුතවෙලා සෑහෙන කල්

යදින්න කලින් ආයෙ පොඩ්ඩක්
මා ගැනත් හිතපං
කරන්න බැරි දේවල් අතහැරල
අපි බෝම කල්
ඒකයි ආසනේ විතරක්
දෙවු ලොව වෙන තැනක තියෙන්නෙ
ඒක දැක්කත් අපුලයි බං.
පරෙස්සමෙන් ඉඳහල්ල
මාත් චුත වෙන්න බලං ඉන්නෙ.

ප .ලි
දුකකදි පින්සිද්දවෙයි මාව අමතක කරාපං.

කවිය බලන්න
සළකුණු

සළකුණු

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

උල්පතින් ඉපිද
කඳුරකින් ඇරඹුම
ඇදවැටී ගල් බොරළු හෙල් මතින්
විටෙක හැල්මෙන් විටෙක දුවමින්
පිනවමින් දුටු දනන් නෙත් සිත්
ඇළ දොළින් හස ලබා පොහොසත්
නොනැවතී තුරු යටද සුවපත්
සොයා ගියෙ ඈ සයුර නම් සිටු
පතාගෙන ආ විලසකිනි තුටු

ඉවුරු දෙකොපුල් සිනහ නංවා
වැළඳගත් දා ජීවිතය පැතු
මුහුව කරදිය වළල්ලේ රතු
සැනින් බොරවිය මිරිදියේ නෙතු
පසුව දැනගති ඈ බොහෝ තතු
නදී බෝ විය සයුරු හිමි සතු

හිතුන විට ගැලවිය හැකි ලෙස
දකුණු වෙඳගිලි මත
දරන මුදු හැරුණු කොට
තිබිය යුතුමය තවත්
බොහොමයක් සළකුණු
පසුව දැනගන්න පෙර
හැඳිනගන්නට සොදින්
විවාහක පිරිමින්ව...

Photo Credit ; Kate Bezzubets

කවිය බලන්න
ඇණ එයාගෙ  මිටිය අපේ...!

ඇණ එයාගෙ මිටිය අපේ...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

සින්දු වයා, හැමදාමත් රූං
හඬිං ඒ වදදෙන...
නින්ද නේන රාත්‍රියක් නිතරම මාහට ගෙනදෙන...
අන්දකාරෙ වාදකයා දුටුවම
දසුනින් මෙ පෙනෙන...
සුන්දර අදහස් මැවෙද්දි, ඒවා ලියනෙමි, සිත'ටෙන...

ගස්සන කල අත පය යම් කිසිවක් ඇනුනයි දැනගෙන...
මිස් වන විට අල්ලගැනුම, තරහ කෙතෙක්දෝ ඉපදෙන...
ඉස්සර මදුරුව මවාපු කාලෙ
වුනා යයි කියවෙන...
ලස්සන මේ කතාව, මතකෙට
ආවේ පුදුමෙට මෙන...

දෙවියන් මැවු කල මදුරුව, රුහිරෙන් නිවනා කුසගින...
ඔහු යන්නට පෙර ඉල්ලා ගත්තලු නෙව 'ඇණ'
එ විදින...
තදියන් වී හැදුවත් හිල් කෙරුමට
අපෙ හම, බැරිවින...
ගිනියන් වූ සිතකින් ගොස්
එමැවුම් කරුවා හමුවින...

"මොනවද මේ වැඩ දෙවියනි ,
හිල් කරගන්නට බැරිවින..,
ඇණ විදුමට 'මිටිය' නොදුන් එක
නරකයි!" නෙව කියමින...
"වෙනවද , ඉවසන්න මෙමට කෙතෙක් කලක් මේ කුසෙගින..,
දෙනවද එය අදවත් ?" හඬ
තැලුවලු මදුරුව තරහින...

ඇසුන කලදි අපවාදය දෙවියන්
බලමින්, හිනැහින...
අසුන රත්නොවී ඇත්තේ ,
වරදක් නැතිබැව් වැටහින...
දෙසුන මෙලෙස, " මිටිය ලැබෙයි
ඇණය කිට්ටු කළ සැනෙකින!"...
ගැසුන පහර 'චටස්' හඬින්;
අහෝ මදුරුවා වැනසින...

කවිය බලන්න
උදා වූ වසන්තය

උදා වූ වසන්තය

දීපා ද සිල්වා ලන්ඩනය

පුංචි මල් රේණු කැට හෙමි හෙමින් සැලෙන්නේ
මද නලේ සිසිලසින් සතුටු සිත් මවන්නේ
තැනින් තැන පා වෙලා අලුත් මං සොයන්නේ
නවම් වූ වසන්තෙහි නෑදෑ කම් හදන්නේ

විහග නැලවිලි ගීත ගුවනතේ තවරලා
කෝඩු මා පිය යුවල යසෝ රා නංවලා
එලි දකින මංගල්ලෙ සුබ නැකත බලාලා
සුහද ඇරයුම් පතක් තුරු හිසේ පලදලා

තුරු හිමි බදා ගත් සුකුමල වැල පේවී
අතොරක් නැතුව තම වගතුග පවසාවී
ගන නිල් සළුව පොරවාගත් මිහිරාවී
තැන තැන සොදුරු සිතුවම් මතුකර යාවී

කලකින් මුණ ගැසුන තණපත හා තුෂරී
ලෙන්ගතු කතා බහ කන අම බිදු මිහිරී
අනුනගේ දොසම සොයමින් යන වන බබරී
මේ සංවාදේ සුල මුල හැම තුඩ තැවරී

දබ රන් පහන් සිළුවේ ආලෝක කැලුම්
තැවරේ විසල් මිහිමත නං පැහැති කුසුම්
පරයන සුරගනා ලියනගෙ අනග බැලුම්
නල වැද තාලයට පැද්දෙයි පිපුණු පියුම්

Photo Credit; Thomas Underwood

කවිය බලන්න
මාවත් ගැනපියව්

මාවත් ගැනපියව්

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මැනලා පනින මනරම් දඬුලෙන් පිනුමේ
පිල් විදහලා රඟදෙන මොණරගෙ නැටුමේ
වඳ්‍රරා රිලවා ගෙනදුන් සතුටක අරුමේ
මැකිලා මතක වත්තට ආ උන් ගැණුමේ

වනසාලමින් කැලයේ අසිරිය සිතුසේ
පෙරලාදමන් ගස්වැල් ගිණිදා රුදුසේ
කෙළෙසාලමින් සොබදම් මව තුමු රිසිසේ
මිනිසා විසින් කළ පව් පළදී මෙලෙසේ

නුඹලගෙ දහන හෙළිකරලයි අපි හැදුනේ
නුඹලගෙ නිවෙස් අප නිවසට දැව ඉරුනේ
නුඹලගෙ අහර වනසා ගොවිබිම් වැඩුනේ
නුඹලයි සතුරො අවසානෙදි වන සතුනේ

එකෙකුගෙ ගොදුරවී තවෙකෙකු මිය ඇදුනේ
වන හරණයෙන් එහි තිබු තුළනය බිඳුනේ
දැන් වැඩි වෙලා වනසති නොකියා යකුනේ
වගකිව යුත්තො දෙපයිනි ගැනගව් ඉතිනේ

කවිය බලන්න
යසෝදරා සිත

යසෝදරා සිත

මොහන්දිරම් දයාරත්න බලංගොඩ

ගෝර සසර තුල සොයනට නිවන අමා.
පාරමිතා ගුණ පුරමින සිරස නමා
බාරි වුවද හැම බවයෙම නැතුව පමා
සාර කල්පයෙදි තනිකම ලදිමි මෙමා.

පැතු අයුරටම අතහරිමින යසෝදරා
සතුටින ඉන්න බුදුපදවියෙ රසේදරා
අසු කන්තකව කරගනිමින නඩේගුරා
හිමි වනගතවුනා මහදෙහි තොසේමරා.

නානා රූප රාජිණියන් වගෙ ගැහැණු
මානාගෙන රාග සිතිවිලි තුල මුහුණු
බාදා සියලු බිදලන්නට කළ පුහුණු
පෝදා ගියේ මගෙ තිබුනද ගති දුහුණු .

මේලෙස පැමිණි විටඑකතුව සසර දිගේ
නෑ කිසි පලක් රජ බිසවගෙ ලැමක රඟේ
බෑ ඉවසන්න පාලුයි දිවි ගමන මගේ
බෝ සතුටක් කෙහෙද සිදුහත් දකිනු වගේ.

ගස් අතරෙ රැඳවෙද්දි සඳකිරණ නිකැලැල්.
ගං ඉවුර සිපගත්තෙ නිරතුරුව දියරැල්.
මන් අසල සෙවනැල්ල ලෙස තිබුන මනලොල්.
දැන් කොහෙද මගෙ කුමරු ඇවිලෙනව ගිණිදැල්.

දැවි දැවි තිබෙන මොහොතක රුදු ලෙසින් ලැම.
තෙමි තෙමි නිතර සදහම් සිසි ලසින් අම
දාන දින සුගුන වඩවන අදහසින් තම.
බිඳ බිඳ සුදු කරමි එන සිත් සතන් හැම.

කවිය බලන්න
මිදුලට විත් සඳ බලන්න

මිදුලට විත් සඳ බලන්න

විශාරද එඩ්වඩ් ජයකොඩි

මුලු අහසෙම
තනි අයිතිය
පාළොස්වක
සඳ අරගෙන

වලා රොදින්
පවන් අරන්
තරු පොකුරින්
සුවඳ උරන්

ශාන්තියෙන්
හිනා වෙවී
ඉන්නායුරු
හරි කදිමයි

මිදුලට විත්
සඳ බලන්න
සඳේ සිසිල
ලොවට දෙන්න

Photo Credit Javardh

කවිය බලන්න
බැඳීම්

බැඳීම්

ගයාන් රූපසිංහ

අගුලු සිර වූ පැතුම් මාවත
මදහසින් හෝ විවර වීමට...
ගොලුව ගිය ඒ වදන් මීවිත
වතාවක් දොඩමලුව යාමට...
මාව මතකෙක නොමැති මා වෙත
සිහිනෙකින් වත් හිනැහියන් මට...

කවිය බලන්න
ආගන්තුක  අවුරුද්ද...

ආගන්තුක අවුරුද්ද...

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

දානියෙල් අප්පු කැපු කිතුල ..
දැන් එතන නෑ.

ගමට පැණි බෙදුව ඒ කිතුල
බිම පෙරළුණා.

පැණි නැතත් සීනියෙන් හරි..
කැවුමෙ කොණ්ඩෙ වැඩු .

වසන්තය ගෙට ගෙනා...
අම්ම මගෙ මියැදුණා.

**************************************

වළදාල දුම ගහල ... කෙසෙල් කැන් ඉදවාපු .

තාත්තගෙ අළු බඳුන ...
සොහොන යට සැඟවුණා.

එදා පොඩි අපි රොත්ත ..
සෙල්ලමට දුව පැන්න.

මහ ගෙදර පොඩි වත්ත ...
කොටු ඇතුළෙ හිරවුණා

***********************************

තනි තනිව පවුල් බර ..
කර ගහන්නට ගියා .

ඒ නිසා අපෙ හිතුත් ...
කොටු රූල් කොළ වුණා.

පාන්දර ගිනි හුළක් ..
අරන් දුවගෙන ගිහින් .

අහුල්ලපු කජ්ජු ගහෙ ..
පොළොව වල් බිහිවුණා.

**********************************

මාර ගහ කැපුවෙ නම්..
ඒ දවස්වලම මයි...

එදා උංචිල්ලාව ගැන..
මේ දැනුත් සිහි වුණා.

පුරාවුතයක් වෙච්ච..
ඒ සොඳුරු රස එක්ක.

උඩ යද්දි ... ජීවිතය..
මගෙන් අත ඇරවුණා.

***********************************

තරාදියකින් කිරා.
බලන්නට බැරි තරම්.

මොකද්දෝ වැලපුමක්
අපි එක්ක තනිවුණා.

ඒ රහට ඒ පාට .
කන්න බැරි නිසාවෙන්..

කලමනා කුස්සියට ..
එන්නටත් බිය වුණා.

*************************-****

ඇවිත් යළි අපි එක්ක ..
කතාවට සිනාවට.

අඳුර ගන්නත් නොහැකි..
නිසා හිත කැලතුනා.

අමිතගෙයි සේසිරිගෙ..
සනත් මහ ඇඳුරිදුගෙ.

සුජාතගෙ ගීතවල.
අවුරුද්ද නැලවුණා.

*****************************
2025.03 .24.

කවිය බලන්න
වළාකුල මට කියනවද...

වළාකුල මට කියනවද...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

නීල පාට වළාකුලේ මාවත අද්දර
මට මුණනොගැහෙනා රුවක් ඔබව දකිනවද
ඔබ දැක දැක අත වනමින් ඒ රුව යනවද
වැසි දවසට නුඹේ බරට ඇයත් අඬනවද
සරත් දිනෙක රෑ යාමෙට ඇය මෙහි එනවද
ඉස්සර වාගෙම ඈ නෙත් මත් වී වාගෙද
උදා ඉරෙන් දෙවූ මුවත් උයනක් සේමද
වසන්තයෙත් ඈ දෑසෙත් බෙදුමක් නැහැ නෙද☁️💫

කවිය බලන්න
Tears….  -  Hansika Laknadi

Tears…. - Hansika Laknadi

හංසිකා ලක්නදී

Tears of joy, tears of sorrow,
Some today, some tomorrow.
Different states, different tempests,
Yet emotions stir in endless quests.

The brain is sharp—it knows too well,
Why…? It reads the tale we tell.
It scans the storm, both dark and bright,
A flood of feelings, day and night.

The only way the soul can speak,
Truthful words, both strong and meek.
It never lies, it never bears,
Yet suddenly flows with silent stares.

Tastes like salt—no bitter, no sweet,
A drop so pure, yet so discreet.
Pouring from the contours wide,
With healing power locked inside.

One small tear, yet worlds concealed,
A touch, a whisper—all is healed.
Believe me, these drops unseen,
Are worth more than gold has been.

කවිය බලන්න
කළු ඉර

කළු ඉර

හිල්මි සුපුන් ඉතාලිය

මගේ කුඩා දියණිය
ඇඳ තිබුනා චිත්‍රයක්
ගල් අඟුරුවන් කළුම කළු ඉරක්
තැඹිලි පාටින් රැස් කිහිපයක්
වටේ විහිදෙන

මම වෛද්‍යවරයෙකුට පෙන් වීය චිත්‍රය
ඔහු හිස වැනුවේය - මෙසේ පැවසීය
ඒ අසරණී ගැන මම සැක කරනවා.
ඇය දුක්බර සිතිවිල්ලකින් පීඩා විඳිනවා.
ඇයට පෙනෙන්නේ සියල්ල කළු පැහැයෙන්.

තියෙන තත්ත්වය හොඳයි
ඇය පෙනීමේ දෝෂයක් සහිතයි
අක්ෂි වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න

වෛද්‍යවරයා මෙසේද පැවසීය
මම බියෙන් මිය යමින් සිටිමි .

පසුව මම හොඳින් බැලුවෙමි කඩදාසියේ පහත
එහි කුඩා අකුරෙන් ලියා තිබුණි «සූර්යයග්‍රහණයක් ».

1964 දී ජාන්නී රොදාරි බෘනෝ මොනාරිගේ චිත්‍ර සමඟ "දෝෂ සහිත පොත" ලෙස නම් කළ කවි කතන්දර ඇතුළත් ළමා කතා පොත ජනගත කරනවා . මේ පොත කොටස් තුනකින් සමන්විත වෙනවා . පළමු කොටස රතු වැරදි ලෙස නම් කර තියෙනවා. දෙවන කොටස නිල් වැරදි ලෙස නම් කර තියෙනවා. තුන්වන කොටසින් කියන්නේ වැරදි සොයා ගන්න. එහි කවි කතා හැත්තෑවක් පමණ ඇතුලත් .

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ "දෝෂ සහිත පොතේ නිල් වැරදි කොටසේ එන "කළු හිරු" නම් කාව්‍යයි

කවිය බලන්න
නිරාමිශ වූ නැවතිල්ලක්??

නිරාමිශ වූ නැවතිල්ලක්??

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

ආයුෂ්මතුනි
හිතක් පුළුවන්ද
රකින්නට
යතුරු ලා කූඩුවක
රන් රිදී මුතු මැණික්
රකිනා අයුරින්

ආයුෂ්මතුනි
පැන ගියොත් ඒ කූඩුවෙන්
හිතකට පුළුවන්ද
නවතින්නට
කැමති තැනක
කැමති කාලෙක

එය එසේ ම වුවත්
විශ්වාසද
කැමති වෙයි කියලා
අද ඔය කැමති දෑට
එදා ඒ එතැන ඉන්නේ
අද මේ මෙතැන සිටිනා
ඔබ නොවන නිසා

එබැවින් ආයුෂ්මතුනි
සොයා යා යුතුයි නේද
විසිරෙනා සිතුවිලි වලට
නැවතිල්ලක්
නිරාමිශ වූ
සදාකාලික වු
නැවතිල්ලක්

කවිය බලන්න
සුගුණ ......

සුගුණ ......

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

එදා සුවඳ
විදා හදද
බදා පුඹුඳ
රදා පදද

උදා හිරුද
විදා පිඹිද
බෙදා නලද
සදා රසද

ඔතා ගොතන
සතා කොතන
සිතා ලෙහුන
කතා ඇහුණ

මුදා සිහින
උදා තුටින
සදා විදින
රදා ගැනුණ

මෙදා නුදුට
බෙදා සතුට
රදා පවට
විදා පොරට

වදා නිතින
මුදා සිඳින
රදා හැදින
උදා බැතින

පොවා ගුණම
ගෙවා පවම
හොවා පියුම
නිවා ගැනුම

කවිය බලන්න
නොදැකපු පුතුට...

නොදැකපු පුතුට...

ඉෂංකා මිහිරි කුමාරතුංග

වසන්තය ඇවිත් නැවතී ගෙයි දොර කඩම
මල්.පිපුනෙ ඇයි මෙච්චර කජු ගහට
කොවුලට වැරදුනාද සලකූණු මග දිග
අමනාප නැ නාවාට එරබදු ගස් දිග....

හන්දිය තාම පාළුයි නැතුවම සද්දෙ
කෙහෙල් ගහත් වරලද මන්දා නෑ පීදුනෙ..
හීන දකින්නත් බයටම නිදි අස්සෙ
තාම මං නිදාගත්තෙ නෑ..මගේ සුද්දෙ....

ලිව්වට ලිපිය නැති හින්දා දුර කතනෙ
කීවේ නෑ මම දළු දාපු බව අඹ ගහෙ
ඉද හිටලා එන ඕක්කාරෙ ඇරුනම මගේ
අමාරුවක් නෑ..නුඹ අප්පෙක් මගෙ හිතේ...

කිරුලක්ලු අම්මා නාමෙ ගෑනුන්ට සංසාරෙ
දන්නවා මං හැදුවෙ නැතිවට කුස යහන් තලෙ
නුඹේ කඳුළු බින්දු එක් කරපු මාසෙ අන්තිම පඩි පතේ
තිව්වද මන්දා.දරා ගන්න බැරි බරක් හිස වටේ....

ඔහේ ආව දෙන් ඔහේ ගිය දෙන් කොවුලත් දස අතේ
අපේ වසන්තෙ නෙවැ හිනැහෙන්නෙ ලෙයින් කුස වටේ..
තුන් රුවන් මාලිගා නැති උනත් අක්කර කාලෙ වටේ..
බොරලු අයින් කරමු ....අපි නොදැකපු පුතුට අපේ...

කවිය බලන්න
සිංහල අවුරුද්දේ...

සිංහල අවුරුද්දේ...

ඉන්දික සම්පත් අම්පාර

ටික ටික කොවුල් හඩ ඇසෙනව
ගමි මැද්දේ
රබන් හඩඩ සවන පිනයි සිත්
අස්සේ
අලුත් ඇදුමි වයි වාරන හැඩටම
තිබුනේ
හිමි හිමි හිට ලන් වෙන බක් මහ
අවුරුදු මැද්දේ..

ඔන්චිලි වාරමි එක්ක පැද්දෙන
ඔන් චිල්ලා
දාාදු කැටෙි අරගේ කෙලි සෙල්ලමි
කෙරුවා
පංච⁣ පෙතේ වට කරගේන සතුටින්
හිටියා
බක්මහ අසිරිය සැමටම සොමිනස
දුන්නා

බුලත් හුරුළු ගෙන දෝතට
වැන්දේ
සිත්වල අලුත් සිතුවිලි දලුලා
ගේන ආවේ
කැවුං කොකිස් මුං අලුවා අතිරස
වල රහ බැලුවෙි
තුන් සිංහලයම අවුරුදු සිරිය රිසි
සේ ⁣වින්දේ

කවිය බලන්න
ප්‍රේමයට පර්‍යාය  සැන්දෑව

ප්‍රේමයට පර්‍යාය සැන්දෑව

ජයන්ති මැණිකේ අමරසිංහ ගොතටුව

යන්න.......ඔබ
අකුටිල නොවන ප්‍රේමයත් සමඟ
මගේ හිත් ආකහෙන්
යන්නම .....යන්න ඔබ

ගොතමින්......මලිගිය මල් මාල
සැදෑකල නුබ සරන
ප්‍රේමයට පර්‍යාය
සුධවල බලා වැල.........

ඇවිත්....... කලුවර ගහේ මල් වාරෙ
මටම පමණක් දැනෙන
ප්‍රේමයට පර්‍යාය
නොයිඳුල් සුවඳ ගෙන.........

අහුරු පුරවා.......වපුරන කලුව මැඩ
ඉන්ද්‍ර දිග පීදෙනා
සැළමුතුම ප්‍රේමයට පර්‍යාය
නිකැළැල් සඳ එළිය

මොනතරම් පෙම්වත්ද? ඔබ නොමැති සැන්දෑව

කිසිම අහිතක් නොමැත
ඒත් යන්නම ....යන්න

කිසිවිටෙක හමුනොවෙන
මේඝයක් විලස ඔබ
මගේ හිත් ආකහෙන්
ඉතින් යන්නම.... යන්න

කවිය බලන්න
පිය සමර

පිය සමර

ජයන්තා මිහින්දුකුලසූරිය

ගඟක් සේ ගලාවිත් සිහිල සැදුවේ නුඹයි
සිහිල් මඳ පවන වී විඩා නිව්වේ නුඹයි
වනස්පතිය ක් වෙමින් සෙවණ දුන්නේ නුඹයි
සිහිල් උල්පතක් වී පවස නිව්වේ නුඹයි

ලේ කඳුළු දහඩියෙන් කිරුළු තැනුවේ නුඹයි
සිප්සතර දී සොඳින් නැණැ'ස වැඩුවේ නුඹයි
නව ලොවක් දකින්නට දෑස් දුන්නේ නුඹයි
පියාණෙනි,මිනිස් වෙස්ගත්දෙවිඳු නුඹම වෙයි !

ඔබේ මුදු සිනාවත දකිමි මම සිහිනයෙන්
නෙතට රසඳුනක් විය එදා මට ඔබෙ දසුන්
රළු දෑත්වල පහස විඳගනිමි සෙනෙහසින්
ලොකුදුවේ කියන හඬ අසමි මම සිහිනයෙන්!

නුඹෙන් සිප් ලද පුතුන් අද ලොවම දිනා ඇත
නුඹ තැනූ මාවතේ උන් තුටින් පිය නගත
නුඹේ ගුණ සුවඳ හැම හදවතේ රැඳී ඇත
නුඹ නමින් මල් පිපෙයි සුවඳ විහිදා දසත !

2025.1.1

කවිය බලන්න
දාරක ප්‍රේමය

දාරක ප්‍රේමය

එම්.කේ.අබේගුණවර්ධන

තනිව යන්නට
නොදෙයි සිත මට
මහණ දම ළඟ පෙනී පෙනී
සොඳුරු ඈතක මතක
අවුදින් සිතට වද දෙයි
තව තව නැඟි නැඟී.

නිමක් නැති
දාරක ප්‍රේමයෙන් සිත
යලි යලිත් නොදැනීම
බැඳි බැඳී
සසර ගනුදෙනු
නිම කරනු කෙලෙසද
කෙලෙස් මල ඇත
තව වෙලි වෙලී..

තව කොතෙක්
යා යුතුද නොදනිමි
සසරේ මේ හැටි
ගැලි ගැලී
දෙසූ දහමට නොවී
අවනත ආ දුරත්
දැන් නම් හොඳටම ඇතී

2025.2.28

කවිය බලන්න
සීතල නැතිවද  නවතින්නේ

සීතල නැතිවද නවතින්නේ

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

සීතල හිරිකඩ හතර වටින් වැද
කීරි ගැසී වෙවුලන යාමේ
කුණාටුවක පැටලුණ මහ වැහි බිඳු
පොර බඳමින් සියොළඟ බේරේ
හිම කඳු අතරින් විහිදෙන සීතල
ඇට මස් පසාරු කරමින්නේ
මුහුණ ඉරිතැලී පුපුරා යන තුරු
සීතල නැතිවද නවතින්නේ

හිරු විකසිත වූ විගසින් පැරදී
වැහි බිඳු හිරිකඩ පළා ගොසින්
ඒ රැස් දහරින් මුදුවූ හිමකැට
හැකිලී දියවී ගලා ගොසින්
මුළු වා තලයට උණුහුම දීලයි
යන්න ගියේ ගිනි මද්දහනින්
පටලා ගත් දෑතේ උණුහුම
හිරුට පුදා දුන්නා රහසින්

Phot credit; Oleg Gospodarec

කවිය බලන්න
කපිල කුමාර කෙටි කවි

කපිල කුමාර කෙටි කවි

කපිල කුමාර කාලිංග

ඇමතුමක් හා සුසුමක් |

ප‍ටු මාවත අස
බස් නැවතුමේ
නිතර ‍රැ‍ඳෙන
රත් පැහැති
කෙටි ගවුම හැඳි
කෙසඟ තරුණියට
දුරකථන ඇමතුමක්
ඈ හෙළයි,
දිගු සුසුමක්
සවන් දුන් සැනින්

අතීත මතක |

ඇති තරම් සිනාසුණු
අතීතය
යළි සිහිවනා විට
හැකිය ඇති තරම්
හඬන්නට

ගොදුර |

අඳුරු අහස් කුස
පියා සළයි
දුඹුරු පැහැ උකුස්සෙක්
තියුණු ඇසින්
සොයමින් ගොදුරක්
වැස්සට පෙර
කැඳැල්ලට යනු රිසින්.

ගොදුරු සොයති
ගොදුරු
එ මොහොත

පහළ-පොළොවෙහි

Photo Credit;Jeremy Hynes

කවිය බලන්න
අපේ අම්මා

අපේ අම්මා

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

ඒ දණ්ඩෙන් අප එගොඩ කරනකොට
තිඹිරිගහේ මල් සුවඳ ඉබේ
නියරෙන් නියරෙට වක්කඩ අතරින්
හේමළයා නැහැ වෙනදා වගේ.

වංගෙඩියෙන් වී සහල් ඉපදිලා
ලිපළඟ ගිනිදළු බතක් ඉදේ
ඉරිඟු තැම්බිලා මුට්ටිය පිරිලා
දු දරුවෝ ලිප ළඟම වටේ.

වැස්ස වහිනකොට හිටවන ගොයමෙන්
ගොඩ ආවේ කළු අහස දිගේ
දෑතේ කරගැට දැසට දැනුනත්
බෝලත්තත් අපේ කමත වටේ.

අව්වට වැස්සට අහසට පොළවට
අපේ හිත හුරුකර දිරිය බැදේ
අම්මා කී කවි ඇහෙනවා වාගෙයි
අත්තම් මතකය ඇවිත් ඉබේ

කවිය බලන්න
සිතැඟි

සිතැඟි

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

සියක් ගව්වක් නෙත් මණින දුර
සිතට නොදැනෙන සිහින නිම්නෙකි
පුරුදු උණුසුම සොයා දිවයන
සිතැඟි ඔබ ගත වෙළෙන පවනකි.

නිහඬ නිසසල ගෙවෙන රෑයම
සවන් සනහන රැහැයි ගියක
මියුරු පදවැල් අකුරු තරු කර
අහස් තලයේ නිබඳ ලීවෙමි.

තරු පෙනේනම් ඔබට රෑ කල
ගයනු හැකිවෙයි අරුත්ගීයක්
නිවාලන්නට ඔබේ පාලුව
මගේ මනැසින් ගෙතුණු තනුවෙකි.

කවිය බලන්න
සතුට වනසන මානය

සතුට වනසන මානය

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

විය කෙනෙකු මම නමින්
විය කෙනෙකු ඔබ නමින්
ඔබ සිතයි
මම සිතයි
සසඳ සසඳා සිතයි
මෙය නමින් මානයයි

ඔබ උසස් මා හට
ඔබ පහත මා හට
සමානයි මා ඔබ හට
විවිධයි මානය මෙලෙසට

රූප සොබාවය ද
පිහිටි අඟ පසඟද
සුවපත් භාවය ද
මුල්වේ මානය හට ගැනීමට

වත්කම් පොහොසත්කම් ද
ඇදහිලි විශ්වාස ආගම් ද
ගුණ නැණ බලය ද
කුල ගොත් කම් ද
දූ දරු පරම්පරාව ද
කරුණුය මානය වැඩි කිරීමට

අරක් ගත මාන සිතුවිළි
වද දෙයි සිතට නිරතුරු
දුරු කර ගත යුතුයි
එවන් සිතුවිළි
සිටීමට සතුටින් නිබඳව

ඔබ ඔබම විය යුතු බව
මම මමම විය යුතු බව
සිතීම වැදගත්
සෑම කල්හිම

කවිය බලන්න
ළඟ කොහෙහරි ඇතී

ළඟ කොහෙහරි ඇතී

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සාර සොබා අනූන නව නගරෙක තනිවුණේ
පාර දෙපස නෙක නෙක පැහැ තොරණ ද දිළිසුණේ
හාරදහක් දේවල් සතුටට ඇතුවා පෙනේ
බාරගන්න බැරි දුකකුත් යටි හිත තුළ දැනේ

වතුර වගේ ජන ගඟ මැද මහ තනියක් දැනී
හතරවටේ බැලුවත් නෑ සුපුරුදු මුව පෙනී
අකුර අකුර ගළපාගෙන පන්තියෙ ළඟ උනී
නතර වුණා දුර ගමනක් හිත එහෙ මෙහෙ වැනී

ඇසූ පිරූ තැන් ඇත ලෝකය අත්ලේ එතී
නැසූ පෙමක් යළි පුබුදන ජගතෙක් කොයි වෙතී
අසූ හාරදහකින් එක් නිවසක තනි නැතී
වැසූ දොර පියන් මා හට ළඟ කොහෙහරි ඇතී

කවිය බලන්න
ගසක් කතා කරයි

ගසක් කතා කරයි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

අවුරුද්දේ සෝබා!

ඉති-පත් දැරු බාහු කෙමෙන්
ගිම්හානේ වියැකිලා
දරද`ඩු ව ගිය ඇඟ පුරා
නිය දළ ද හෙමිහිට ගැළවිලා...

සාරවත් ලෙස මල් පිපී
පල බර ව ගිය අත් සිඳ දමා
රස නහර පුරවා දුන් අමා
උන් නැති කෙළේ වත්කම තමා...

ඒ වුව ද ඔද-තෙද වඩා
මා මුහුණ දුන්නේ නුඹ නිසා
අවැඩක් නොවන්නට වගබලා
ගතිමි මම දාහ නොබලා...

කාලය සරත් නිවු දාහයේ
සිටියේ මසක් තුන් යාමයේ
උරා බී පොළෝ රස
වැඩෙන්නට සවිමත් ව...

ඇඟ හිරිවැටී යන සීතලේ
වෙළුණේ ද මා පමණක් නොවේ
සම වේළිලා කොරපොතු හැඩේ
වැටුණේ බිමට කිම මිතුරනේ
නුඹටත් දැනුණි දෝ ඒ කලේ
අප විඳි ගැහැට පොදුවේ මලේ...

දැන්නම් වසන්තය ජීවනේ
සුන්දර හැඟුම් දෙයි මීවිතේ
නිය දළු මැදී ඉති-රිකිලි දිදී
අග මල් පිපී බඹරුන් ඇදී
සෝබාව දේ මේ බක් මහේ
නාදේ නැඟී කොහෝ ගිීතයේ
සිත් දේ ලබා දෙන්න පල-වැල දරා
යළි ලැබූ මේ අවුරුද්දේ සොබා!!!

1.04.2025

Photo credit

කවිය බලන්න
සමනල සදෙස-23

සමනල සදෙස-23

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 21
පුරවිදු දඩයම

416. සිරිලක ඇති අනගි කවුතුක වස්තු ගැන
සිරිලක උගත් පඩිවරු හැම දෙනා දැන
සිරිලක ගම් දනන්ගෙ ම යහපතට මැන
සිරිලක නම් කළේ තැන්-බිම් සොයා කැණ

417. සමනල කරමි නුඹ දැනුවත් මෙ ගැන කියා
කළබල නොකර දෙනු මැන ඉඩ මට ද සොයා
විස රළ වැදී මොළ මද උඩුකුරු ව තියා
දන රළ එ වන් කව්තුක සොරකමේ ගියා

418. තැන - තැන වළ කපති - හාරති මුදිතාවෙන්
මැන - මැන බලති කුඩුකර ගල් කරුණාවෙන්
තැන-කොතැනක් වුව ද කම් නැත මෙත්තාවෙන්
කැණ - කැණ බලති දන මිසදුටු අඥාවෙන්

419. නුඹටත් මටත් වෙන කළ හැකි දෙයක් නැත
තිබුණත් ඊට අනුබලයක් නොදෙනු ඇත
ලැබුණොත් ජන වරම මට මා රකින වත
නැසුවත් මගේ පණ පෙන්වමි දරණ මත

420. කොයි රාළලා ආවත් මිසදුටු නපුරූ
යයි යටි මඩිය ගහගෙන හඩමින් මැතිරූ
ඇයි කැස කවන්නේ වෙනෙකෙකු වෙත මසුරූ
දොයි බබුනේ නාඩ කිරි වෙනතුරු රුහිරූ

421. පෙර රජවරුන් තැන්පත් කළ දැය රකින
පුර සම්පත් තිබෙන තැන් භාර ව සිටින
සුර-බඹ-දෙවි කොහි ද බහිරවයන් නිදන
වර - දට සමා දී ඉන් නිදොසට යවන

422. පුරවිදු අගය ඇති හැම දෙය ඉතිහා සේ
මුර වැඩු බෙලෙන් රැක ගත යුතු දෑ රා සේ
තුර ඔද හෙළ බොදුන් දද බැදි අනුප්‍රා සේ
දුරකොට දමයි නරුමයො සිරිලක් දේ සේ

423. උපතින් බුදුන් සරණය ගිය පොඩි කාලේ
දහමින් දිවි ඔරුව පැද - පැද ගිය තාලේ
පිටතින් එක් නොවේ වින කැටුමට සීලේ
බොදුවුන් බොහෝ වෙති මේ වනසට රාලේ

424. ඉක්මන් ගමන් හොද නැහැ ප්‍රිය මිතුර මගේ
දැක්මෙන් දසුන් නෙත් සැනැහෙයි මිහිර නැගේ
ඇල්මෙන් - පෙමෙන් නැගුණත් රළ සයුර වගේ
පල්ලෙන් - ගිරෙන් පියඹන් නළ අතර මගේ

425. දිගු දුර ගමන් මග වග මෙන දැනෙන නියා
මුගු පෙත හොද-නරක දෙක තැන තිබෙන නියා
ගිගුනද දිදී විදු එළි පැන නටන නියා
තගු කල නොගෙන එනු කගවෙන ලෙසින නියා

426. සුර ගග බොර වණින් පැහැබර ගැනුණු සද
පෙර මග ලකුණු වැසි දියවර පිරුණු සද
පුර රග වැසි පොදින් තෙත්කර වැටුණු සද
වෙර දග ගනුව නුඹෙ පියපත් තෙමුණු සද

427. වැහිළිහිණියන් සද වෙළ අතරේ පියඹා
ගැහි - ගැහි හිම සිසිල මැද සුර මග නරඹා
රැහි කැළ කග පෙළ ද කෑ-මොර දෙන අරඹා
පැහි වැසි මැදින් පියඹන් දැක ඒ හරඹා

428. මුර කළ ගමෙන් සමුගෙන සමනල රජිද
කල් බල - බලා නොසිට ව එනු මැනවි සොඳ
ගල් තල උඩින් එන විට දෙන මිහිර විද
රල් නළ ඇග බැදෙයි විදපන් සිතලු බිද

429. දෑ - අනුරාගයෙන් මත් දන අතරෙ රැදී
කෑ- මොර දෙමින් රට-දැය පිළිබද ව පැදී
පෑ - රංගන රටා උහු රැළ පිළට වැදී
නෑ - තවමත් අපේ කරුමෙට හොදට හැදී

430. අයටත් බොහෝ නුඹමෙන් උන් ගැන දන්න
පෙනුණත් ඔවුනගේ නිරුවත දග ගන්න
නැගුණත් වෛරයක් තුළ රජ වෙන්න
සුවපත් වෙන්න නුඹ රක්වානට යන්න
(මතු සම්බන්ධයි.)

2025.04.01

කවිය බලන්න
ඇනා කැරණිනා

ඇනා කැරණිනා

ලලිත් ද සිල්වා නුගේගොඩ

ගජ දත් පැහැ
දෙව්ර ඔබේ
දිගටි මුහුණ - උඩගු නුවන්
රුසියන් පෑනක පැටලුණු
ඇනාකැරණිනා නුඹමද?

ආත්මයක් අත හැරදා
ආලය සඳහා දිව යන
ඇනා කැරණිනා ඔබ නම්
රොන්ස්කි වෙන්නට අවසර!

ඔබේ උඩකුකමට ලොලේ
ප්‍රේම කරමි මා තවමත්
හිම කන්දත් - ගිනි කන්දත්
දෙකම එකයි දැන් මට නම්

කවිය බලන්න
ගලා යන දිය අහුරක්මය ප්‍රේමය

ගලා යන දිය අහුරක්මය ප්‍රේමය

නිතිඥ ලක්ෂිකා රත්නායක

එක තැනක නොරැඳි

ගලා යන දිය දහරද

ප්‍රේමය ම වේ

සුමටව බදා වැළඳ සිප

මහ පොළොවක් දරා ගැනීමද

ප්‍රේමය ම වේ

මහා විසාල ගැඹුරු අගාධ

හතර මායිමක් සීමාවක් නොමැති

ධාරානිපාත වර්ෂාවක වුවද

රහස් එක පොදියට එක්කහු කොට

කාටවත් නොකියාම

පොළොවටත් නොරිද්දාම

වැගිරෙනා ගැහැනු හදවතක්මය

ගලා යන දිය අහුරක්මය ප්‍රේමය

පොඩි වට රවුමක් කැරකී

කොක් හඬ ලා සිනාසී

හුරතලයක් මවමින් දඟයක් දමමින්

ඇඟිලි තුඩු අගින් කඩිමුඩියේ පැන

සියොළඟ හංකිති කවමින්

බදා වැළඳ හදිසියේ සිප ගන්නා

ගලා යන දිය අහුරක්මය ප්‍රේමය

රැළිති හදමින් නටනා

ඉවුරක් කඩා බිඳ හිනැහෙන

නිදහසේ සුව විඳිනා

විඳ විඳ දඟ වැඩ කරනා

ලයාදර පිරිමැදුමකි

ගලා යන දිය අහුරක්මය ප්‍රේමය

විශ්වයක් පුරවනා හැඟීමක්

පොළොවක් දරා ගන්නා දියකඳක්

ලෝකයක් පුරවනා නිමේෂයක්

ප්‍රේමයම පුරවා ගලා යන ගෑනු හිතත්

කිසිවක්ම නොඉල්ලන දිය දහරක්

කවිය බලන්න
කොහාටයි

කොහාටයි

ගමගේ ලයනල්

දැකුම් කළු රුවෙන් පිරි
රූ රටා පුන් කලස්
කොහෝ නුඹ ගයාපං
මිහිරි අවුරුදු සඳැස්
මේ සැරේ බේද නෑ
සිනාසී ලක් දනන්
බක් මහේ මග බලන්
කැවුම් කිරිබත් අරන්

Photo Credit: The Island

කවිය බලන්න
අවුරුදු ඇවිත්

අවුරුදු ඇවිත්

ලුෂානි දමයන්ති කැකිරාව

හිරු දෙව් දැඩිව උණුසුම බෙදුවත් සැරට
ඉදහිට වැටෙන වැසි දුනි තරමක් පිහිට
ගස්වැල් පිබිඳ නව ජවයක් ගෙන නිළට
අවුරුදු කුමරි සැරසී ඇවිදින් රුවට

එරබඳු ගසුත් රතු පාටින් හැඳ පැළඳ
පෙරමග තුටින් හිනහීගෙන ඇත නිබඳ
දෙවැටෙහි නිදන් සිටි වැටකේ මල් පිබිඳ
මුළු ගම පුරාවට විහිදයි එහි සුවඳ

පුහුලම් වලින් කජු ගස් රන් තොරණ් බැද
මුළු ගම බබළවයි අවුරුදු සිරිය බෙද
ගිරවුන් ඇවිත් ගී ගයමින් සතුට විඳ
නාබර විකා අරගයි එහි රසැති මද

දරුවන් කැන්දගෙන යාවී සතුට වෙත
⁣ඔන්චිලි බදින කාලෙත් දැන් ලංව ඇත
තෝරා ගන්න සිතිලාදෝ පුංචි අත
⁣මේසය මතට ගොඩ වැදිලා පංච පෙත

ගොම මැටි වලින් ගෙයි බැදි ළිප සැරසෙද්දි
අමුතුම නැවුම් බවකුයි සිදුවන සිද්දි
කොවුළගෙ මිහිරි ගැයුමන් සවනට දෙද්දි
ගස්වැල් සතුට සමරයි එහෙ මෙහෙ පැද්දි

කවිය බලන්න
හිමි නැති අවුරුදු

හිමි නැති අවුරුදු

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

බටහිර අහස දැක ගන්නට පියඹ යමි
එරමුදු නැතත් මැග්නෝලියා ඇත සිතෙමී
කොහා ගයන ගීයට සම හඬ ඇසෙමී
මේ සැම ඇතත් ඔබෙ සුසුමේ අඩුව දැනී

අවුරුදු කුමරු එයි අහසත් දෙබෑකර
කඹයෙන් නැතත්, යකඩෙන් ඔන්චිල්ලෙ සැර
පොඩිවුන් හැඩව කෙලි සෙල්ලම් බලමි පෙර
ආච්චි ඇතත් කෝ සීයා නෑ මෙවර

තෙල් රත්වුනෙ නැතත් රස පිරි කැවිලි ඇත
මේසය හැඩ වන්නට මල් බඳුන ඇත
ආසිරි ගීත නො අඩුව අපෙ සවනෙ ඇත
සීයගෙ අඩුව කොන්ඩය නැති කැවුමෙ ඇත

නව අවුරුදු සැම වසරෙම එන්නෙ තුටින්
ආ විගසමෙ යලි යනු නොකියාම හොරෙන්
සැමදේ නොතිර බව වැටහෙයි දහමෙ බලෙන්,
එනමුත් අඩුව ඉවසන්නේ බොහොම වැරෙන්!

කවිය බලන්න
මතක පොත වසමි..🌹🌹🌹

මතක පොත වසමි..🌹🌹🌹

ලලනී ගීකියනගේ රත්නපුර

සමන් ගිරි හිසට දිනිසුරු වැඩි
දිනක..!
"රුවන් මිණ "ලෙසින් පෙරඹර දිසි ගමක....!
ගිමන් හැර යනෙන දරුකැල පිං බිමක....!
සුසුම් පවන් රැල්ලක දැවටෙන මතක ....!

වසර ගනන් ගෙවුනා විදු සෙවන තුල..!
සසර බැමි අතැර ගුරු ,සිසු බැඳුම
හල..!
පවර ගුණ පිරුණු "කුමරුන් "සුසැදි හෙළ..!
කවර සතුටක්ද විදු මව පතල
කල...!

ශතක සහස් වසරක අභිමාන
පෙරා ..!
විටෙක කිතු ගොසකි දරුවන් අතර දරා...!
මිටක හල කුරුළු පැටවුන් හදින් වරා..!
මතක පොත වසමි දෙනුවන කඳුළු දරා...!

දිනෙක ආරවුල් විසඳා කෙරූ
පෙම..!
යනෙන මග කියා පාරෙහි තැබූ
ඉම..!
පතන යහගුණය හදතුල පිරූ
හැම...!
සිතෙන විට පුදුම ගෙනදෙයි ඉබේටම..!

සසර පෙර පුරුදු විලසකි
හමුවීම..!
නොහැර වගවීම් යුතුකම් පෙරසේම...!
අතැර යන දිනෙක දරුවන් සුවසේම...!
"කුමර මව දිනේවා !"ලොව
හැමදාම...!

30.03.2025

කවිය බලන්න
කොහිද නුඹ රාධා?

කොහිද නුඹ රාධා?

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

රාධා ...අහෝ රාධා...
තමළුපත් වට අරුණු මිහිමත
තණග රැඳි පිනි තුෂර තැවැරී
නුඹේ පා රත්තඹුරු පෙති දොවනා ...
මෙවන් වෘන්දා වනේ කොතැනක
හිඳීදෝ රාධා...
සැඟවී මගෙන් රාධා...

ඇසී වස්දඬු සරින් මා මැවු
ඇදේ ගෝපී ලියන් මාවට
තනා නිති මල් යහන් මා හට
ලබා රතිරස කුමට එනමුදු
කොහේදෝ රාධා...
සැඟවී මගෙන් රාධා...

එදා යමුනා ගංතෙරේ සඳ
දිදුළ යාමේ තෙමා රතදර
පෙළා දඟයුග උකුල් යහනත
උන්නු ක්‍රිෂ්ණා මමයි නුඹ අද
කොහේදෝ රාධා
මවෙත යළි එන්නකෝ රාධා...

කවිය බලන්න
වෙනදට එන රිලවු...........

වෙනදට එන රිලවු...........

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

වෙනදට එන රිලවු
අද නම් නෑ බලවු
උන් දනීද විනාඩි පහ
තොපිට පිස්සු බොලවු !

එළිය වැටුණු වෙලේ
ඉත්තෑවුන් ගුලේ
ආපසු උන් එළි බහින්නෙ
අඳුර වැටුණු කලේ !

දඬු ලේනුන් කොහේ
සොයා ගමුද කැලේ
රිළවු හොයන අතර වාරෙ
උන් පැන ගොස් රැලේ !

රිළා ගහනෙ බිංදුවයි
දඬු ලේනුන් බිංදුවයි
රණ මොණරුත් බිංදුවයි
ඒ මෙහෙයුම බිංදුවයි !

රහසක් මම මෙසේ
පවසන්නද කෙසේ ?
මෙහේ හිටපු රිළවු අන්න
ගොහින් කවුන්සිලේ !!

Photo Credit;Cassie Gallegos

කවිය බලන්න
ගමේ ගිහින්...

ගමේ ගිහින්...

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

කියුවාට කිචි බිචිය විහඟු දවසක් අලුත්
බෙදුවාට රන් කිරණ වෙනද වාගෙම ඉරත්
දිලුනාට තණ පලස මත රිදී පැහැ පිණි බිඳුත්
මම කාට කියන්නද දැනෙන තනියත් දුකත්

ඉද්ද මල් ඇහැරිලා එබි එබී දොරකඩට
පැද්දි පැද්දී හිමින් කියනවා මඳනලට
නැද්ද අද කවුරුවත් ගෙනියන්නෙ බුදුපුදට
සද්ද නැතුවම යන්න වෙයි වගේ ගහමුලට

මුළු හතර මායිමේ අමු සෙහොන් සිරි මවා
කළු පාට විතරක්ම හීන වලටත් කවා
සළුවකින් තනාගත් කඳුළු ගඟකින් දොවා
පුළුවනිය අම්මෙකුට නවතන්න ලොව පවා

තිබු තිබු සියලු දේ තැන තැනම ගල්වෙලා
ගෙවි ගෙවී යන්නෙ නෑ හෝරාව නැවතිලා
තැවි තැවී ඉන්න බෑ තව දිනක් මග බලා
වහා වහා යළි එන්න ගිය ගමන නවතලා

කවිය බලන්න
දිළෙන කඩුපුල් කැකුළකුත් ඇයි රෑ සඳට ආ වඩන්නේ

දිළෙන කඩුපුල් කැකුළකුත් ඇයි රෑ සඳට ආ වඩන්නේ

එම්.එම්.ඩී.මනම්පේරි බළන්ගොඩ

ගලක දිය ඇලි රිදී පැහැයෙන් විල් බලාමයි ඇදෙන්නේ
නැගෙන හිරු රැස් කරණ ගලලා තුසර මිණි කැට මවන්නේ
පැහෙන රන්වන් ගොයම් කරළින් සොම්නසයි හිත රැඳෙන්නේ
දකින දියදම් මවන් මෙතරම් කිමද විසිතුරු පුදන්නේ

පිපුණ වන මල් සුවඳ මඳනල සමඟ පෑහී හමන්නේ
රඟන මී මැසි රොන් සොයා'වද උදෑසන මේ සරන්නේ
ගයන විහඟුන් යොදා නෙක තනු තුරු හිසින් හිස රඟන්නේ
දිළෙන කඩුපුල් කැකුළකුත් ඇයි රෑ සඳට ආ වඩන්නේ

කවිය බලන්න
කොහොම ඉතින් නවතින්නද

කොහොම ඉතින් නවතින්නද

මුදිතා ඩයස් කොට්ටාව

ඇත්තමයි...
උඹ දැන් නාකි වෙලා කොන්ඩේ සුදු වෙලා හම රැලි වැටිලා ඇස් දෙක ගිලිලා
ගතත් වාරු නෑ..
එදා දැක්ක ලස්සනකුත් නෑ
අදහන්න බෑ...
එක වහල යට උදය හවස ගෙවුනට
කතා බහ කලාට
මූණට මූණ මුඩුච්චි වුණාට
කාලෙකින් දැක්කේ ඇත්තමයි උඹේ රුව.. බාධා වෙලත් සුබ නැකතට
කච්චේරියේ රෙජිස්ටරේ ලග
රත්තරං මුද්දක හිරකලාට
කඩදහියක ඉරි ගැහුවට
කොහොම ඉතින් නවතින්නද
දැනෙන්නෙ නැති තැනක

කවිය බලන්න
ගමට ඇවිත්

ගමට ඇවිත්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

සීත හිමගිර සීත නොදැනෙයි මල් සුවද මුදු සුලග ගෙන එයි
මලින් එරබදු ලෙලෙන විට දස අතම හැඩකොට සිත් පිනායයි
හීන් ස්වරයෙන් දුරින් එන ඒ රබානේ හඩ සවන පිනවයි
කාලෙකට පසු පිනක් ලැබිලා විදින්නේ බක් මහේ සිරියයි

කනට සුමිහිරි ගීත නාදය ඇහෙනවා කාලෙකට පස්සේ
සුමුදු සුළගේ පහස දැනෙනවා ඇවිද යනවයනවිට මිදුල පැත්තේ
බලන විට නෙතු අයා කොවුලා වසා ඇත ලොකු ගහක අත්තේ
බක් මහත් ලග ලගම එන බව තමයි ඒ පවසන්න ඇත්තේ

නොයෙක් රස පිරි කැවිලි නැහැ දැන් හැදෙන්නේ පොඩි කාලේ වාගේ
නැකැත් ගනු දෙනු සිරිත් ඉටුවන්නේ නොමැත දැන් එදා වාගේ
කිරිබතක් පිසුවත් ඉතින් සිරිතට තබන්නට කෑම මේසේ
හිතක් නැහැ දල්වන්න පහනක් පියා නැති ඊ කෑම මේසේ

කවිය බලන්න
අවසන් වසන්තය..

අවසන් වසන්තය..

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

නැවුම් ලා හිරු රැගෙන
උදාවූ වසත් කල පිබිද ආ..
සෙනෙහසේ අරුණැල්ල සිපගන්න
පිපුණේය හද විලෙහි එක මලක්..
සුමුදු මුදු සුව සදන
මුදු සරින්
හැමුවේය සිහිල් පවනැලි පොදක්..
දිය රළද බිඟු කැලද
පාට සමනල් පෙලද දොඩමළුය...
නැති වීය මලට තනි නොතනියක්..

තත්පරය විනාඩිය පැය දවස ගෙවෙන කල
වෙහෙස විය කාළයද
ගෙවා දිගු ගමන් මග

හිරු දැවී අහස් ගඟ
ගිනි ගද්දි ටිකෙන් ටික
සිසිලසක් සොයා ගිය
කැටි ගැසුනු වලාවක
රැඳුනේය සෙනෙහසෙහි පිනි බිඳක්...
විකල් වූ කාලයෙන්
පීඩිතව හඹා ආ
අකල් මහ කුණාටුව
හැමුවේය වියරු ලෙස ගෙන වෙසක්...

පියාඹා දුහුවිල්ල
ඉරා දැමුවෙන් විගස
වළා සළු ඇතිරිල්ල
ඇසුනේය හඬන හඬ කන කොකෙක්..
සෙනෙහසක් අහිමි වී
හිස්ව ගිය විජිතයේ
අවසන්ය වසන්තය,
වියැලේවි මල මෙන්ම හද විලත්

කවිය බලන්න
අම්මා සිහිනෙන් කියූ කවි

අම්මා සිහිනෙන් කියූ කවි

නදී විතානාච්චි

රෑනේ ඉගිලෙනා බඹරුන් නැති වාට
කඩුපුල් මලක් හිනහෙනවා නේ රෑට
අමාවකදි සද ගිලගන්නා දාට
තනි තරුවක් වුනත් පේනවානේ හැඩට

සක්විති වෙන්න බැරිමුත් පුතුනේ නුඹට
සිදුහත් වගේ ගුන තිබුනොත් ඇති මෙමට
රළු ගල් කටු මතින් ගමනක් යන දිනට
හිත බැදගන්න ලොව ඇති අටලෝ දමට

මෙත් සිත පතුරවා නිතරම මුළු ලොවට
පස් පවු වලින් වැලකි සිටියොත් හෙටට
සසරේ ගෙනි යන්න ඇත්තේ එය නුඹට
නොඇලී යන්න හැමදාමත් ඉදිරියට.....

Photo credit; Khamkéo

කවිය බලන්න
වසත් මාසය

වසත් මාසය

නයෝමි අමරසිංහ

දැක දැක වසත් මාසය
තැන තැන කවිත් බෝමය
අසමින් කොවුල් නාදය
කජු කෙල්ලන්ගෙ සාදය

මතුරන රසුල් තානය
ඇසුරිනි සුරල් තාලය
ඉසුරින් පිරුණු කාලය
මිතුරන් නැතිව පාළුය

කිරි පායාස සුසුවඳ
අමතන මිනිස් පවුරද
ගෙන් ගෙට සංවාද
අවැසිම කාලයක් තව වෙද

කවිය බලන්න
මතක

මතක

නීතීඥ නීල් ගුණසේකර කොළඹ

ඇවිත් යන සද එලිය
දියේ මල් උපද්දයි
විලේ දිය කලත්තයි
හිතේ දුක් අවුස්සයි

ගං දියේ ගසා ගිය
මතක දුක් කම්කටොළු
හිත් මෝය කට ගාව
ඇස කඳුඵ අවුස්සයි

අද පාන්දර පුතේ
ඇවිත් හීනෙන් වගේ
ඔඛ ඇවිත් අතගෑව
මතක කන්දක් තිබේ

සංසාර මග දිගේ
යද්දී හමුවුණු පුතේ
නිල්වලා ගඟ නැතත්
ගංවතුර එයි පුතේ

2025 මාර්තු හතර

කවිය බලන්න
සඳා නමදිමි, බැතින් වැතිරී,........

සඳා නමදිමි, බැතින් වැතිරී,........

නයනශාන්ති දිසානායක

හේන කෙටුවා, මගේ දෙයියෝ, සිහි කරන් තෙරුවණ හිතේ
මද්දහන් සමයමේ නැග්ගා, හලා හල විස, හිස මතේ
කිරට හඬනා සප්පයා රැක වසන්නට මේ හිමවතේ
ජීවිතේ ගිරිදඹේ තනිවම, වාරු ගන්නට වී ඇතේ

රැක රැකා මම, ඇහැක් හැටියෙන්, කුරුළු පාළුවටත් තියා
පැහෙන පැහෙනා, කිරි කරල් ටික, හොර හොරෙන් බිඳ ගෙන ගියා
ලයිසොමේ නම, නැතැයි කියලා, රාළ ගේ පිළ හිටි නියා
දෙපා නපුරන්, කරන අණ වින, අහෝ බලනුය දුර තියා

අසා මෙ'පවත්, ම'හිත් දවනා, දුකට මා පත් කල විනේ
නසා පිටුදැක, දෙවා අණසක, සපත කරවා කාරනේ
ගෙවා ඉක්මෙන, සත් දිනේ තැන, පුදමි කැප කර ගනිමිනේ
වනේ ගිරි හිස පීරලා දෙමි, ගුරළු මල් හර දෝතිනේ

අරා වැඩ හිඳ, මැණික් ඟං තෙර, නැඟි මයුරසුන වාහනේ
නිතින් සිහි කොට ඔබේ නාමෙට, ම'පින් අනුමෝදන් වුනේ
මුරේ නෑරම, අළුත් මුරුතැන්, පුදට කැප කොට පේ උනේ
සඳා නමදිමි, බැතින් වැතිරී, සුරිදුනේ කඳ සාමිනේ

කවිය බලන්න
හෙමින් බසිමි ඉතිරිය ඉන්පසු කන්ද

හෙමින් බසිමි ඉතිරිය ඉන්පසු කන්ද

නිලුපුල් තුතිසෝම

දෙළුම් පල පැහැති බොඳවුණු සිතියමක
පැළුම් ඉරිතැළුම් පිරිමැද මැදියමක
බැලුම් දහසකට මැදිකර හදවතක
නෙළුම් අතුරවමි එක ළඟ විල් දෙකක

තුරල් කරන තුරු අක් මහ වැහි කුලක
තුරුල් කොට පිසිමි දිලිසෙන ඇහි දියක
වරල් සලනු දකිමින් දවසක හනික
රුවල් අකුලමිය මම දියඹක හෙළක

සිහිල් සුළං රැල්ලක, ගෙන මකරන්ද
පුළුල් දෙනෙත් සිඹිමින් නොපෙළා නින්ද
දුහුල් හදවතට තරවටු කරමින්ද
නළල් තලෙන් බැසයමි මෙතුවක් වැන්ද

ගිමන් නිවමි දවසක එනතුරු නින්ද
ඉඳින් අඩු තරුද ගෙන දෙමි අහසින්ද
බඳින් අත්හරිමි මෙතුවක් සිරි වින්ද
හෙමින් බසිමි ඉතිරිය ඉන්පසු කන්ද

Photo Credit' Massimiliano Morosinotto

කවිය බලන්න
සෝම හිමි

සෝම හිමි

ප්‍රියංගිකා බටගොඩ

පංච ශීල ප්‍රතිපදාව සුරැකෙන තැන නිවනට
රන්ද බුදු බනේ යනමග පෙහෙලි කෙරුවෙ මොනවට
වංක ගිරි ලැහැබ වල් වැදි මිසදිටු හිත් එළිකොට
පෙන්න ගෙන රුදුරු නරකය නිවුමට පෙරමුනෙ සිට

බොදු හදවතට නොව පොදු හදවතට කිඳ
බැඳි සිතුවිලි වලට වැද පෙළහර පෑව සඳ
සොඳ මිනිසත් කමට දෑ කුල බේද වෙද
රඳ අප හිම්සඳුන ජනහිත රැහැන් ඇද

දෙසු මුනි දහම තුල පටහැනි යමක් නැත
මුසු මුදු වදනෙ ගරු විනයම රකින තැත
කසු කුසු නැගුනි බුදු පුත් ගැන අපරිමිත
විසු දිවි ගමන සරලව සන්සුන්ව ගත

මනු සත ගුන පිරේය දුසිරිත් මග හැරේය
බුදු ගුන ලොව සරේය මනස පිපී ඇරේය
හිමි දිවි නිම කරේය නිවනට මග තිරේය
දන අත් හැම සිරේය සාදුය මුව ස්වරේය

දොව දොව කඳුලුය ගලනා ඇසමත විය වැලපිල්ල
පොව පොව මුවඟය රඳනා සුසුමක පිරි ලතවිල්ල
කව කව හදෙහිය වඩනා හිමි දුන් මග සැනසිල්ල
නිව නිව සසරය ගෙවනා තුන් බෝ මුල නැවතිල්ල

කවිය බලන්න
යළි ගොඩ නඟමු මව්බිම

යළි ගොඩ නඟමු මව්බිම

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

බැලු බැලු අතේ දැක ගත හැක තණ නිල්ල
මුළු වසරම පුරා ගස්වල කොළ දල්ල
රට වට සාගරෙන් ලැබදෙයි සිහිලැල්ල
කදිමයි වසන්නට ඇතිවම සැනසිල්ල

කන බොන දේවලින් අඩුවක් නැත කිසිම
අල දෙල් බතල කොස් ඇත රට හැම තැනම
පලතුරු වර්ග කොළ එළවළු ඇති රසම
මේ බිම දකින කවරෙකු වුව වෙයි පුදුම

මිනිසත් බවේ තිබෙනා උපරිම අගය
වටහා දෙසූ සම්බුදු දහමේ රසය
මැනවින් ලැබූ මිනිසුන් ගෙන් පිරි විජය
මේ වැනි රටක් තව දැක ගනු බැහැ සකිය

දරුවන් ළමුන් වැඩිහිටියන් වෙත පෙමිනේ
සුන්දර තරුණ ලඳුනට රැකවල් දෙමිනේ
වන සතුනගෙ පවා දිවි රැකගෙන නිතිනේ
සත්පුරුෂයන් සිටි බිමකිය මෙය සොඳිනේ

එනමුත් ගෙවී ගිය පසුගිය දසක අටේ
සුන්දර මෙබිම ගිලුණා සොර මකර කටේ
රට කළ හැතිකරය පාලක හතර වටේ
සාරය උරා බී වනසා දැමුව රටේ

දහමින් ලැබුණු ගුණ දම් අද දකිනු බැරී
උගතුන් ගියා හැරදා රට සිඳුණු දිරී
රට හැමතැනම ඇත මැර සොර සතුරු පිරී
වැඩි දෙන තුළ ඇත්තෙ ගති වෘක සුනඛ නරී

නෙක ලෙස වැවූ දෑ පරිභෝජනය කර
ඉතිරිය යවා පිටරට කර ධනය තර
සුවසේ විසුවෙ තව හෙටටත් ඉතිරි කර
එනමුත් අද සැමට ඇත දුක උරුමකර

පසුගිය යුගේ රට කළ උන් පාපතර
මුළු රට තිබේ අද ලොවටම ණයම කර
කන බොන දෙයක් නොමැතිව මුව විවරකර
රටකින් ලැබෙන තුරු සිටිනුයෙ කඳුළු පෙර

ගතවුණු අතීතය නොතකා දිරිය ගෙන
අතහැර වහල්කම් සතුරන් හැඳින ගෙන
දුරුකර අලසකම් වීරිය සිතට ගෙන
යළි ගොඩනඟමු මේ රට සුර පුරය මෙන

කවිය බලන්න
විමසුම

විමසුම

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

හිමිවන මුත් සමනලුන්ට
රූබර අත්තටු යුවල
අහසට හිමි වුණත්
තරු වටකර නිසයුරුව
ලා දලුවකට දැනුණත්
පිනි බිඳුවක සිසිල
මට හිමි නොවුණේ මන්දෝ
සෙනෙහස් ගඟුලක පහස

මහමෙර පරදවා ගිය
නුඹෙ රාගික ගින්නෙන්
මෝරා වැඩුණි කුස නම්
දරු පෙළකට අඩු නැතුවෙන්
නැසුවේ නැතුවේ ඇයිදෝ
අපවත් ඒ ගින්නෙන්
කෙරුවා නම් දුකක්
නැත උරුමව
නමුණුකුලටත් ඉහළින්

පුන්සඳ දිලෙන කල
නිල් අඹරක තනිය මකා
ධවල කුසුම් පොද හැඩවෙයි
මතක අහුරු වළක දමා
සිහින් සරින් ගැයෙනා
මව් ගුණ ගී පද වරුණා
අම්මේ ඇසේදෝ සවනට
පතිකුල බැමි බින්ඳ නිසා

අහෝ! හමුවූවා නම් බිඳක්
රාහුල මවුන් සිහිනෙකින් එදා
මයේ අම්මත් යශෝදරාවකි
අන් ගැහැනුන් පැරදවූ මෙදා

ආලංකුඩාව
2025/03/22

කවිය බලන්න
නොසැලෙන්...........

නොසැලෙන්...........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

සඳක් වුනත් කිට්ටු වුනේ
සුවිසල් මැඳුරටයි ඔන්න
මිහි මත සිටි මගේ දෙපා
සිප ගත්තේ සිසිල් පින්න.

තරුව වුනත් නිල් අහසේ
සිට ඇවිලුවෙ හදේ ගින්න
එබී බැලිමි අතීතයට
දුක මිස සැප නොමැත සින්න.

සිඳු වෙරළත පිය නැඟුවෙමි
දුටිමි රැඳුනු පාද ගොන්න
පෙරළී ආ රළ පහරට
මැකී ගියා සැනින් ඔන්න.

දිය පහරක් ගඟක් වෙලා
ඇඳුනා සයුරකට ඔන්න
දිය බිඳුවක් නැතිව සොවින්
මනු සත් කැළ හඬයි මෙන්න.

පුංචි ගසක් සෙමෙන් සෙමෙන්
ඉහළ ගියා පොළෝ මතින්
නොදැක පිපුණු මල් තුරු මත
පොළව හඬා වැටුනා සිතින්.

කවිය බලන්න
හිරු දෙවියන් වෙහෙස නිවයි

හිරු දෙවියන් වෙහෙස නිවයි

රාණි මොහොට්ටි

සුමුදු කිරණක් රැගෙන ආයෙමි
උදෑසන මා ඔබ සොයා
රුවැති පැහැපත් මගේ කිරණින්
සැතපුනා ඔබ දින පුරා

ගතට ලංවී සෙනෙහෙ වාගෙම
උණුසුමත් දන් හැටි නුරා
මතක ඇතිනේ කුසත් නිවනට
සැදුව මල් ගෙඩි තුරුලතා

ලොවට ජීවය මගෙන් සැලසෙන
කතා ඇසුවාම සිත පුරා
දැනුන සුන්දර මුදු හැඟුම් ඇත
සතුට ගෙන දෙන මට ඉතා
සැමට සුව සෙත සදා දෙන්නට
හැකිවු විලසින් මන තවා

ඉතින් වෙහෙසයි යන්න යමි මම
සයුරු රැල්ලක සැඟවිලා
ඔබට නොපෙනෙන තවත් පිරිසක්
ඉඳියි මා එනතුරු බලා
නැවත එන්නෙමි හෙට දිනේදී
මිහිරි දවසක් ගෙන ඔතා

Photo Credit; Andrey Grinkevich

කවිය බලන්න
උරුමය

උරුමය

රුවන් ඩී අළුබෝමුල්ලගේ

“බඹර කපන්නට බහිත්දි කඹේ අතට දුන්”
තිරසර මස්සිනත් විරසක වෙලා දැන්
තනි බුක්තියට මහ ගෙදරට වැදී හුන්
නෑනත් නඩු තීන්දුව අහලා වෛරෙන්

අහින්සකයි බැළලිය සේ චාන්දනී
හැම දුක් ඉවසුවේ සතුටිනි සිනාවෙනී
එහෙම නෙමෙයි නංගී මහ හැපින්නී
තන්හා රති රඟා විෂ දළ අදින්නී

ඇගෙ සැමියා යටින් උල් පන්දම් දෙන්නේ
පොඩි උන් පවා විරසකයෙනි හිඳින්නේ
චාන්දනී මේවා ගැන හිතන්නේ
අපට ඕව ඕනෑ නෑ කියන්නේ

මල්ලී ටිකක් හිතවත් මුත් ඔහුට දිරී
නැහැ බිරිඳට පිටින් යන්නට ටිකක් හරී
ඈ හරි කුරිරු අම්මණ්ඩී කට හැකරී
වාලෙකි ඔහු ඇගේ දෙපතුල ළඟ වැතිරී

තනියෙම බදාගෙන කන්නට ගිහිල්ලා
දේපළ මත සහෝදරකම් බිඳ වැටිලා
කොහොමෙන් කොහොම මුත් නීතිය පල දරලා
චාන්දනීටත් ඇගෙ උරුමය ලැබිලා

Photo Credir; Saketh

කවිය බලන්න
යන්නම ගිහින්

යන්නම ගිහින්

රංජනී කොස්තා නවසීලන්තය

ගී කියන්නට එබෙන උදයට
කුරුළු රෑනක් හැදෙනවා
ඒ අසිරියට සුවඳ දෙන්නට
පුංචි මල්පොඩි පිපෙනවා
පා තබන්නට ගලන ජලමත
ගැඹුර කොහොමැයි හිතෙනවා
පාවගිය අත්වැලේ හයියට
හිතට තනිකම දැනෙනවා

අළුත් ඇරඹුමෙ සිරි දකින්නට හිතට සවියක් ගන්නවා
ගෙවුන සුන්දර මතක සටහන් මනසෙ නිතරම තියෙනවා
යන්න ගමනක් දිරියගෙන තව පුංචි සවියක් ලැබෙනවා
හිතක පතුලෙම හඬා වැටෙනා කඳුළු තමත් රිදෙනවා

ගෙව්ව දිවිමග කටුකොහොල් මැද
කෙම්බිමුත් ඇති හමුවෙලා
ඔබගෙ දිවියම කැපවුනා අප නංව ලන්නට වෙහෙසිලා
දිනුව ජයකනු අසල නැවතී
බලන්හිටි ඔබ සිහිවෙලා
උණුම කඳුළක් රටා අඳිනව
රැකවරණෙ ඔබෙ දැවටිලා

අතින් අතගෙන සංසාරෙ දිග ආවහැටි හිත කියනවා
නිහඬ ආදරෙ පිළිසරණෙ මට තවම දිරියව දැනෙනෙවා
යන්න තවදුර ඔබගෙ හෙවනත් ලැබෙන බව මම දන්නවා
දෙවිඳු අබියස රැකවරණ ලැබ ඉන්න මම සුබ පතනවා

සමුදෙමින් ඔබ පිටව ගියමුත්, නියත දම ඒකම වෙලා
කුසුම් පුදනව දුන්න ජීවෙට
අපි හැවොම අද එක්වෙලා
මෙවන් දිනයක් ලඟම එනබව
ඉඟිකළා ලඟටම වෙලා
හදට රිදවුන කඳුළු බිඳුවක්
ආත්මයෙ මගෙ හිරවෙලා,

Photo credit; Philip Myrtorp

කවිය බලන්න
තනි සිග්නල් කණුව

තනි සිග්නල් කණුව

රංජිත් ද සිල්වා නවසීලන්තය

කොළඹ දෙසට තනි සිග්නල් කණුව ලඟ
තිබු ඒ පුංචි ගෙය ගිනි දලු හා සුලඟ
අහසට නැගුනුදා ඒ ගැලු කඳුළු ගඟ
ගිනි ගත් දේශයක් නිවුමට කෙරේ රඟ

වියරුව ආ එවුන් ඒ ගෙය ගිනිලන්ට
රතන සූත්‍රය තැබුවා පඳුර යට
ගිනි දලු නැගෙනවිට සුළඟේ දිශාවට
සිග්නල් කණුව හැඬුවා මදි නොකියන්ට

රජරට රැජින හිනෙහුන සිග්නල් කනුව
සිගරැට් ටොපිත් විකුණන්නට හඬ නැගුව
කමිසයෙ සාක්කුව සුසුමක හිර කෙරුව
යුගයකි එදා දෑසට කඳුළැලි ඉනුව

මෙතරම් රසට ලිපිනය නැහැ වෙන තැනක
හැන්සඩ් පොතෙත් සටහන්විය ළඟ දිනක
කොළඹ දෙසට තනි සිග්නල් (කණුව) ලිපිනයක
නල්ලච්චියත් රඳවමු රසපිරි කවි පෙලක

කවිය බලන්න
වෙහෙසකර ගමනක

වෙහෙසකර ගමනක

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

වෙහෙසකර ගමනක
නිමාව ආසන්න මොහොතක
ගිලන් ඇඳ මත වැතිරි
අනේකවිධි බැදිම් අතැර
අනිත්‍යය සිහිපත් කරමින්
කල්බැලු හෝරාවේ
හුස්ම පොද රැකදෙන්ට
මා වටකොට
කවුරු බැඳ සිටින
වෙද හෙද පෙල
දෙවිවරුය මනු ලොව
හැබැහින් මා දුටුව

වැහැරුනු මා දැන්
අත් නෑර පටලා
දැතින්ම අල්ලා
අසරණව බලාසිටි
මගේ පණ බඳු පුතු හට
ජිවිතය මේ යයි
කියාදුන්නෙමි
දුබල බව මැඩලා

දැස් අග කදුළු බිඳු
නොරැඳි එකදිගට
රූරා ඇද වැටේ
හිමිහිට පහලට
අත්නෑර තව ටිකක්
රැඳෙන්නකො මා සමග
මගේ තනිකම
මකාලන්නට
පාලුවත් සමඟින්

හැකිවේද සනසන්නට
ලපටිවූ ඔහුගෙ සිත
තිමිරියේ තිරපටින්
මදක් හෝ විවර කර…..

කවිය බලන්න
රහස

රහස

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

ගලනා ගඟක විහිදෙන මුදු සුසර හඬයි
හමනා නල රැලක සැඟවුණු සුමුදු සුවයි
වැටෙනා දිය පොදක සිසිලස දැනෙන විටයි
හැගෙනා සසර කළ පින් හී පිරුණ වගයි
---
මලකට සුවඳ මල නිති ලැබු සම්පතකි
ගගුලට ව්ලට මිරිදිය එහි සිතුමිණකි
විලකට නෙළුම් මානෙල් මල් රසදුනකි
කලකට සිතට සැනසුම දෙන මදුවිතකි
---
ගස් වැල් සේම කදු කලුගල් වැඩෙයි ලොවේ
තරු මල් කැකුළු සඳ වටකොට දිලෙයි බවේ
සුව්සල් මැදුරු වුව එලෙසම තිබෙනු නොවේ
දුටු කල් ඉසුරු නැතිවුණු සද සිතින් තැවේ
---
පිපි මල් සුවඳ නටුවට නොදැනෙනා වැනි
හැපි හැපි සතුටු වන සද අසතුටද ව්ණි
කිපි කිපි සිටියහොත් සුවයක් නොවෙන දැනි
ලොව අද මෙහෙම ඉන්නේ කළ පිනින් දිණි
---
සඳ රැස් වැටෙන්නේ නොසොයයි බිම් තීරු
වද දුක් විඳින්නේ නැති වෙන කොට වාරු
විද නැති දියෙහි සිසිලස එහි ඔරුපාරු
අද දුක් ව්දින්නේ සැප අහිමිවැ සීරු
---
කොතරම් ගෙරෙවුවත් නොසැලෙයි දුර අහස
මනරම් දසුන් වුව ගෙන දෙයි දුක් පහස
බැරිකම් ඇතත් නැතිකම් වදදෙයි මනැස
මතු යම් දිනක දත යුතු නොවැ එහි රහස

Photo Credit; Alan Jones
============================
රාජ්‍ය කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
=-=====-----=-=====---------===
10/3/2025

කවිය බලන්න
නොපතමී මිතුරු ඇසුරක් ඔබෙන්

නොපතමී මිතුරු ඇසුරක් ඔබෙන්

ශර්මිලා බන්දුනි දන්වත්ත

දුක අසනු රිසි හදවතක්
දැන දැනම
ළඟ පාත ඇති බව
නොදන්නා ලෙසට සිටිමි මම

සාද ඇසුරට ඔහු සමග
හවසට ගොඩවන ගෙට
ඔබ ළඟත් කතාවක්
ඇති බව හැඟෙයි
කාට හෝ පවසනු පිණිස

බොහෝ බර සුසුම්
ඇති නමුත් සිරකරගෙන
නොපතමී උරහිසක්
රිදුම් දෙන හිස සතපන්න

මිතුරු ඇසුරක සුවය වුව
විටෙක වෙයි නපුරම
මිහිරී වුණත් රුදුරුයි
තහනම් ගහේ පල

කවිය බලන්න
දයාබර දයා:

දයාබර දයා:

සපුමල් බන්ඩාර ලන්ඩනය

අපගේ ආදරනීය දයා අල්විස් කලාකරුවානන්, පියානන් සහ ඔබ මිතුරා අප අතරින් සමුගෙන මෙම අප්‍රේල් 27 වෙනිදාට දස වසරක් නික්මෙන වගයි. ඔබ සැම කලා කෙතේ සැනසූ ඒ සුන්දර මිනිසාට අපි නිවන් සුව පතමු.

දයාබර දයා:

සදා පිරුණු මුවගේ ඇති සිනාවකී
තරා තිරම් නොබලා කල කතා වකී
හාසය පිරුනු කතා මවන යන්ත්‍රයකී
අරුත් දැනුම සහ දහමින් පිරිපුනෙකී

කලා කෙතේ සහසක් තැන් පනපෙවුනී
සිනමා වේදිකා ජයගත් රූපවාහිනී
අධ්‍යාක්ශනය තිරරචනය හා ස‍‍ංගිත ගුරුතුමනී
මේසැම තලයකදිම ඔහු සම්මානෙන් පීදුනී

අප අතහැර ගොස් දැන් දසවසරක් ගෙවුනී
ඔබනැති අඩුව පුරවන්නට තවමත් බැරිවී
උතුම් නිවන දැකගන්නට මග දුර නොමවී
සදා රැදේ සිත්වල ඔබ ආදර දයානනී.

යමුනා දයානංගනී
සාරංග දේව
සපුමල් බන්ඩාර

කවිය බලන්න
සිනාසෙන තරුවකි

සිනාසෙන තරුවකි

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

සිනාසෙන තරුවකි
හිරු නිවෙන වරුවකි
සඳේ සුදු රැස් ඔතා
වලාකුලු නැටුමකි

ගලා යන ගඟුලකි
රිදී දිය දහරකි
ඉවුර මත ඇන තියා
නිදන කොක් රෑනකි

හමා යන සුළඟකි
සමන් මල් සුවඳකි
ඝන්ඨාර හඬ මකා
ඇසෙන සෙත් පිරිතකි

කවියෙකු ට මිහිරකි
පද බැඳෙන අරුමෙකි
සොඳුරු රස පෙම් කතා
ලියන සුභ මොහොතකි

කවිය බලන්න
ආදරබර පුංචි කාලෙ වැලන්ටයින් ගෑනු ලමයි,

ආදරබර පුංචි කාලෙ වැලන්ටයින් ගෑනු ලමයි,

සුධර්මා වීරක්කොඩි

ඉදහිටලා මල් පොකුරක්
එනකොට මගෙ මල් බදුනට
මතක් උනා චූටි කාලෙ
කෝචිචියෙන් ආව ගමන
ස්ටේශම ලගින් බැහැල
බස් කට්ටක එල්ලෙන කොට
පොත් මල්ලේ බර වැඩිවී
කඩා වැටුන උරහිස් ලග
කොලු ගැටයෙක් දැවටෙනවා
හිස හරවා බලනා විට
නාකු හුචක්කුවක් ඇගේ
ඇතිලෙනවා බර සාරෙට
පිටිපස්සේ කොල ටයි පටි
අක්කී කෙනෙක්
හඩ දෙනවා වගකීම
"නංගි ,නංගි එහෙට වෙන්න
ඔය මිනිහා එයි ඇගටම"
තේරුන් නෑ ඇයි කියලා
අනේ චූටි මගේ හිතට

බහින තැනට ලං වෙනවා
අපි යනවා ඉස්සරහට
වල් මිනිහෙක් නංගියෙ ඒ
අසහනකාරයෙක් නේද
අක්කිල ටික කතා වෙනව
මං උඩබිම බලනා විට..
ගයිඩින් අවසන් වී අපි
ඉස්කෝලෙන් නගිනා විට
ඒ බස් එක ඒ මිනිහට්ත්
එක්කම ආවා නගරෙට
උදේ මතක මූනට මං
බයවී බැස්සා විගහට
අර මිනිහත් බැස්සා
මං බහින් කොටම ඒ විගසම
අක්කෙක් බැස්සා එතනින්
"නංගි එන්න" කීවා මට
මිනිහා ඒ අක්කි ලගින්
"හොදින් බලා ගමු" කීවට
"කාර් එකක් අරන් යන්න"
තව කුටු කුටු ගෑවා ඔහු...
අක්කී කුඩ මිට ගත්තා
"අක්කේ අපි තරහ නොගෙන
නොපෙනී යමු මං කීවා"
"නෑ නංගී ඔයා පොඩියි"
"මේ මිනිස්සු අවිනීතයි"
"අවිහිංසක දැරියන් ලග
හැසිරෙන හැටි හරි නරකයි"
මං හොදටම බය වෙනවා
"නංගි බය වෙන්න එපා"
ඈ හිස අතගා කීවා
ශිෂ්‍යත්තෙන් පාස් වෙලා
මං කොළඹට යන්න ගියා
මේ සුන්දර පොඩි කාලය
හිතේ කොනක
නලියෑවා..
හුග කල් ගොස් අලුත් කඩේ
උසාවියෙන් මං බැස්සා
අක්කී ජජ් කෙනෙක් වෙලා
නඩු අහනව මං දැක්කා...
සතුටම මගෙ හිත පතුලේ
ඈ ලග මං සුබ පැතුවා...
නංගී ඔයා ගැන මතකය
මගේ හිතේ ඉතුරු වුනා..
"මුව පැටියෙක් වගේ ඔයා
වල් මිනිහට බය වූවා
අක්කෙක් ලෙස මගේ හිතින්
මං ශක්තිය අර ගත්තා"
අපචාරෙට එන මිනිසුන්
හට දඩුවම් මං දෙනවා
එදා ඔයා ලග හිතු දේ
මං අද රටටම දෙනවා...
අමිහිරි වූ මිහිරි මතක
හිතේ රූප අද ඇන්දා
මිනිස් හිතේ බල මහිමය
සතුටක් අරගෙන ආවා..

කවිය බලන්න
නිදන කාමරයෙන් නික්ම ගිය කිරිල්ලී

නිදන කාමරයෙන් නික්ම ගිය කිරිල්ලී

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

නිතර සයනයේ උඩු කුරුවට නිදන
කතිර සුළං පෙති'තර මා නෙත් ගැටෙන
මිතුර,ගේ කුරුළු යුවලකි නිති සරණ
කතිර මැස්මක් ය කූඩුව උන් ගොතන

පාන්කාව නිවහනකට පෙරලාන
සාංකාව මගේ මළ කෑ මුදවාන
වාන්දාන දූ දරුවන් ඔසවාන
පාන්දරම මා දකිනා යස රෑන

සීයේ පීටරුයි, මේ ඩිංගිරි මැනිකේ
පෑයේ හැඩේ හරි නම මිනිපිරි දැක්කේ
චිරි චිරියයි පැටව් කූඩුවෙ නෑ දැක්කේ
බැරි බර හොට තුඩේ මහ උන් මය රැක්කේ

පීටර් පපුව පුරවා ගත් මහ තඩියා
ආතර් රජු වගේ ලෝ තතු දැන සිටියා
මාකර් පෑන් මොකටද මතකේ හිටියා
ටීටර් පොලක් මගෙ කුටියම කල සැටියා

වෙලේ කමත් පිට පරඩැල් ඔසවාන
පැලේ හැඬ පෙනේ,දින දින ඔපලාන
හැලේ රොඩු බොඩුම ඉවසමි කරබාන
බොලේ දැන් ඇඳේ විසුමත් අඩමාන

ඉර අවරේ සැඟව නිදි කිරණා අතර
කරබා නිදයි නෑ කසු කුසු උන් අතර
සැර හින්දා නිමමි බල්බය දැන් අඳුර
කොර ගස ගසා සොයනෙමි මා ඇඳ නිතර

කලක් ගොසින් ඇසුනා කිචි බිචි සද්දේ
මලක් දෙකක් පිපිලා පංකා මැද්දේ
දිනක් ඔවුන් මා පියෝ, එක යම යුද්දේ
තුටක් කන වැටුන මොල කැටියන් සද්දේ

දහවල් දවස පොඩි පවුලේ නමට ලියා
කල් යල් මරමි මා පුටුවක දෙනෙත පියා
නිසි කල් පැමින පැටවුන් උස් මහත් නියා
මැන්ටල් දෙපොල තනිකර උන් පිටව ගියා

යලක් නොවේ යල් හතරක් පුරාවට
බරක් නොවි දරු අටකුත් හදාගෙන
දිනක් ආපි ඉරණම උන් සොයාගෙන
රැයක් සුළං ඩිංගිරි ගොස් ගසාගෙන

කාල ගුනෙත් විටකදි මැති ඇමති මෙනි
බෝල පාස් කරමින් බඩ වඩා ගනි
කෝල නැති වැස්ස අහසට නොවේ හති
ආල වැඩු පතිනිය දැන් දකිනු නැති.

කටක් පුරෝගෙන පීටර් මහ රාළ
මදක් ඉසිඹු නෑ, රැක්මයි දරු බාල
පොතක් පතක නොදිටිමි පියකුගෙ ආල
දුකක් යට ගසා ඔහු සුරකී සීල

අම්මා නැති කලට අප්පා කවර කල
නිම්මා නැතිව කන වැටි වහ හලාහල
පෙම්මා සිතින් අප්පා දරු රකින කල
සම්මා සම්බුදුය අප්පා සසර දුල

අහා ඇතත් දියවන්නා බොජුන් හල
මහා පාලි දන්සැල් වට වියත් කැල
අහා පිංකමක අසිරිය පොතෙන් හල
සහාකාරි නැති පීටර් වෙසක් මල

මගේ ඇඳම දැන්නම් මීතොටමුල්ල
හැගේ ඔවුන් දවවල අත නැත කුල්ල
මගේ හුස්ම හිරවේ ගනු බෑ අල්ල
නගේ උකස් කෙරුවේ නෑ ඔහු තැල්ල

අම්මා නැති දෙදරු පිටවිය පසු දාක
නිම්මා නැති අහසෙ හතුරෝ වෙති නේක
සුම්මා කියන්නට ඉඩකඩ නැති සේක
නිම්මා මගෙ කවිය පීටර් ගිය දාක

කවිය බලන්න
මිරිස් මලේ රොන

මිරිස් මලේ රොන

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

( අ.පො.ස. / සා.පෙ. විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙහි ඇතුළත් වී තිබුණු මිරිස් මලෙක සිරස් කඩක රූප සටහනක් ඇසුරින් වූ ව්‍යුහගත පැනයේ එක් කොටසකට උචිත පිළිතුර, මගේ පන්තියේ නාගරික සගයෝ අනුමාන වශයෙන් හෝ නො දත්හ. නමුදු, පාසල ඇරුණු පසු පිටකොටුවට අවුත්, ගමට යාමට ඇති ඊ ළඟ බස් රිය එන තුරු ගිනි අවුවේ, කුස්ගින්නේ වේලෙමින් කාලය මරා, හැම දිනක ම පාහේ සවස හතර හමාර ආසන්නයේ නිවෙසට පැමිණ ගෙවත්තේ බෝග වගාව නඩත්තු කරන මම, මිරිස් රොනෙහි මිහිරි රස හඳුනාගෙන සිටියෙමි.) ……..

පරිස්සමට

මිනිස්සුනේ

මිරිස් මලක්

නිරික්සුවොත්

සිරස් කඩක්

තිරස් කඩක්

හරස් කඩක්

ඇවිස්සුවොත්

මිරිස් මලෙත්

රොනක් වෙතැයි

නුඹත් දකියි

පිරික්සුවොත්.

බයයි නොවෙද

මිරිස් රොනට?

කටත් දිවත්

පිළිස්සුවොත්!

“මිරිස් මලෙහි

පැනිත් වෙතිද?”

නුඹත් දසන්

විලිස්සුවත්

මිරිස් මලට

ඇවිත් වහන

පිරිස් බඹර

හැගිස්සුවොත්

උනුත් කියයි

උරන්ට පෙර

කියන්ට ඉඩ

සැලැස්සුවොත්

“අපිත් එයි ද

ඇවිත් බොයි ද

රොනත් පැනිත්

මිරිස් වුවොත්!”...........,

Photo Credit Pepper Joe

කවිය බලන්න
සිද්ධාලේප මල් මිටක්

සිද්ධාලේප මල් මිටක්

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

එහෙට මෙහෙට දුවන පනින
කඩමුඩි දෙකකුල් පාමුල
පිපේවි සුව සුවඳ පිරුණු
සිද්ධාලේප මල් මිටක්

⁣මුසුව ක්ලෝරීන් සමඟ
සුනිල්වන් නල ජලය
සුවපත් කරයි
පැනඩෝල් පොහොර හා එක්ව
ස්වයංපෝෂිත අක්මා සුරපුරය

නිතර ගින්නට හසුවන
ආමාශ නගරයේ
නිවා දැමුවද ගිනි දැල්
අළු සමඟ මුසු නොවෙයි ඩයිජීන්
වහා ඇවිලෙන සුළුයි

නෝවා ලයිල්ස් පරදවා
නහර මංතීරු දිගේ
එකසිය ගාණට රත්වී දිවයන
රුධිර සෛල ධාවකයන්ට
විරාමයක් ගෙනෙයි ඇම්ලොඩිපින්

නඩත්තුවකින් තොර
ධමනි ශිරා මාර්ගයන්
අවහිර කරමින්
ගලා යන කොලෙස්ටරෝල් තෙල් තට්ටුව
ඇටොර්ලිප් යොදා
සෝදාහැරිය යුතුය උණු ජලයෙන්

වේදනාවේ කොළ රොඩු වැටී
රිදුම් දෙන සිත් මිදුල්
අතුගා පිරිසිදු කළ යුතුය
හද පිරුණු සෙනෙහසින්
සුවබරම නින්දකින්
ළයාදර වැළඳගැනීමකින්
තවත් එක කවියකින්...

කවිය බලන්න
එරබදුත් පිපී  නෑ

එරබදුත් පිපී නෑ

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

එරබදුත් පිපී නෑ
කජු අඹත් ඉදී නෑ
බක් මහේ නැකැත් ගෙන
ටෙලිවිෂන් ඇවිල්ලා

පැණි වරක සුවඳ නෑ
මුං කැවුම් ලිපේ නෑ
බක් මහට කඳ අරන්
ටෙලිවිෂන් ඇවිල්ලා

මල් ගවුම් ගතට නෑ
නැවුම් සළු පොටක් නෑ
කුමර කුමරියො සොයන
ටෙලිවිෂන් ඇවිල්ලා

කොහා ගී කිව්වෙ නෑ
රබන් පද ගමේ නැ
නැවුම් හැලි වළං ගෙන
ටෙලිවිෂන් ඇවිල්ලා

කඹ අදී වෙර යොදා
දෙපැත්තක හති දදා
ලිස්සනා ගහ උඩින්
ටෙලිවිෂන් ඇවිල්ලා

බත බුලත හෙල සිරිත
හිරු මගුලෙ පුරාවත
ගිරව්න්ගෙ දොඩමළුව
ටෙලිවිෂන් ගෙනැල්ලා

Photo Credit; The Sunday Times

කවිය බලන්න
මෙන්න කතන්දර

මෙන්න කතන්දර

සුමිත්‍රා ආරියවංශ මහනුවර

ඔන්න අ⁣ලුත් අවුරුද්ද ලබන්නට මාසයකුත් නැතුවා
ඉස්සර බාලෙදි වෙච්ච කතන්දර තාම මතක් වෙනවා
කන්නට බොන්නට ඉන්න හිටින්නට ඇද්ද? තවත් මොනවා
දැන් අද කාලෙට මේව ප්‍රබන්දනෙ උන්ට හිනා යනවා

මල් ඇති මල් නැති මල් රෙදි ඉස්සර යාරෙ පනම් හතරයි
අම්මට නැන්දට පුන්චි කුඩම්මට ඔන්න මඟුල් එතනයි
නංගිට ගන්න රබාන දකිද්දිම අයියට නම් තරහයි
යන්නෙ බළල් අත හැංගි හොරාම රතිඤ්ඤ වැලක් වෙතටයි

ඉස්සර නම් අපි බක්කි කරත්තෙක තෑගි අරන් එනවා
අත්ත මහප්ප කුඩප්ප හැමෝටම විස්කි ගෙනත් දෙනවා
ගෑණු ලමිස්සියො කුස්සියෙ පැත්තෙම ජින්ජි බියර් බොනවා
අම්මප දැන් මට ඒ සිහි වෙද්දිම ඉස් මොළ රත් වෙනවා

අව්වෙ දමාන තළන්නෙ රබානට මල් විසිවෙන්න පදත්
ගෑණු කොහෙත් නැගිටියිද සැකයි අය අත්ලෙහි පට්ට ගියත්
මේව ඉතින් පෙර පුස්කොළ පොත්වල වත් නැති තාලෙ පුවත්
කන්න විටක් හෙම ගන්නකො හෙප්පුව ඇත්තෙ කියන්න තවත්...

කවිය බලන්න
ඉවසීම

ඉවසීම

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

බමර තුඩු සගවා
ගුමු ගුමුව දී
රගන්න මල වට
කාලයේ දිය යන හඩට
සවන් දී මොහොතක්

මල අසාවී
කෝ බමර තුඩු

Photo Credit;Eduardo Gorghetto

කවිය බලන්න
ආදරයෙන් මොහොතක්

ආදරයෙන් මොහොතක්

සුනිල් මෙන්ඩිස් මීගමුව

ආදරය තරගයක
සම්මත - අසම්මත
හිරවෙලා
ඒ දෙක අතර
හිත ගිය තැන
නවතිනවාලු සැබෑ ආදරය ....

අපි දෙන්නා
බදාගෙන කලාට ආලය
හිටියේ හැමදාම දුරස්ව
හමුවෙන්න නිදහසේ
නැහැනේ කාලයක්
ලැබුණේ තවම .....

ඉතින්
පතමුද අපි
වෙලෙන්නට ආදරයෙන්
එකම මොහොතක්
විඳගන්න
දෙතොලට උණුසුම
හැකි ඉක්මනින් ........

Photo Credit; Oleksii Bocharov

කවිය බලන්න
ජීවිතය

ජීවිතය

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

‘ජීවිතය‘ නම් යානයට
බොහෝ මිනිසුන් ගොඩ වේවි - බැස යාවි
ලඟම වාඩිවූවන්ගෙ හදවතට එබෙන්න පැයකටු කැරකේවි
අතලොස්සක්,
වාඩිගත් ඇසිල්ලෙන්,
එකම රිද්මෙට හද ගැහෙන බව වැටහේවි

ගමනේ දුර,
ටිකට් පතේ කොටා ඇතිබව වැටහේවි
හෝ නොවේවි!
හැමෝම…., හැමටම තනිව හිමි, පොදුවේද දුරක් හිමි ගමන නිමා වේවි

නිරතුරුව සත්‍යම වන එකම කාරණය …. එක දෙයයි එය බැසයාම හෙවත් … මියෙන බව!
කෙදින, කොතැන, කෙලෙස සිදු වෙයිදැයි දෙවියන් පමණක් දන්න චාතුර්ය සත්‍යය ….

ගොඩවෙන සැනෙන් සනිටුහන් යුතුම දේ ,…

ඔබේ ගමන - ඔබ යන්න
ඔබට ඔබ විතරමයි
කිසිවෙකුත් සම නොවෙයි
මඟ හොඳින් විඳ ගන්න
ඉසි-කෝ-මාන නොඉසින්න
අසත්‍ය ගාල් නොකරන්න
ආදරය වපුරන්න
සතුට අස්වද්දන්න
සැනසීම විඳින්න
විඳ සැනසෙන්න
තුටු වෙන්න
තුටින්ම හැරයන්න

ඒ එක්කම ....
දෙවියන් අත කර්මය නම් පඬුර ඇති බවත් තරයේ හිතේ ජීවං කර ගන්න !!!!

සුබ ගමන් අපි හැමට ❤️💐
27/03/2025

Shani

කවිය බලන්න
අදත් ලස්සනට යන්න දුවේ

අදත් ලස්සනට යන්න දුවේ

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

අන්දලා ලස්සනට
පිහිදලා වැඩි පුයර
යැව්වෙ එළියට නුඹව
මලක් වාගෙයි නිතර

සමුගන්න පෙර සැවොම
ඉහපු පිණිදිය වලින්
මුහුන හොඳටම තෙමිල
යන්න බැහැ ඔහොම නන්

පුරුද්දට වගේ මට
පිහිදුනා අද ඉබේ
නොඑන බව දැන දැනත්
සීත කම්මුල් නුඹේ

කවිය බලන්න
ලෝකය ගමනේ

ලෝකය ගමනේ

නීතීඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර වත්තල

ඉර සැඟවී ගොස් සඳ පායනවා
සඳ නිවුනත් උදයෙම හිරු එනවා
ගස් වැල් මල් සුලඟේ ලෙල දෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා

ගංගා දියඇලි ගලා හැලෙනවා
සීතල මදනල දසත හමනවා
සාගර වෙරළේ හඬා වැටෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා

පුංචි දෝණි ලොකු ලමයෙක් වෙනවා
පුංචි පුතා දුලි රැවුල් කපනවා
ක්ෂනයක් පාසා අප මිය යනවා
ලෝකය නොනැවති ගමනේ යනවා

පුංචි දෝණි අද දීගෙක යනවා
පුංචි පුතත් කරකාර බඳිනවා
නිවසේ දෙමහල්ලන් තනි වෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා

කළුවන් කෙස් රොද හෙට සුදු වෙනවා
කොඳමල් වැනි දත් හෙට ගිලිහෙනවා
විරහ වේදනා සමනය වෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා

එක මොහොතක් නැත ඉසිඹු ලබන්නේ
එක මොහොතක්වත් නැහැ නවතින්නේ
සුළු මොහොතක්වත් පමා නොවන්නේ
ලෝකය නොනැවති ගමනේ යන්නේ

කවිය බලන්න
මතක රිදවන මගේ මල්ලී

මතක රිදවන මගේ මල්ලී

සුධර්මා වීරක්කොඩි

පුරුදු නොස්ටැල්ජියාවේ
තිරය ඇරියෙමි සිනාවේ
අපේ මිහිදන් කතාවේ
නුඹේ ගී පද ලතාවේ...

පොත් ගුලක සද්දන්තයෙක්
ඒත් නුඹ හරි පුන්චි මිනිසෙක්
ලබා ඉහළම උපාදියකුත්
බැබලුනේ හිත් දිනා සැමගෙත්...

මැවී හදවත වැඩුන සබැදුව
හිමපියල්ලක් වීය දියවුන
දරාගත නොහැකිවද විශ්වය
කළේ දූවිල්ලක් අතීතය...

දුරබණුවෙනුත් නෑසෙනා ලෙස
ඉක්මණින් ඔබ නික්ම ගිය වග
මතක මතකෙට දැනෙන නිරතුර
කදුලු දෑසින් සගව ගමි මම..

කාමරේ දොර අරින විට මට
පොත් සුවද හා ඔබේ බැල්මද
"මලක් මෙන් මා බලාගන්නට
මහිමි සදුන්ගෙන් යැදපු ඉල්ලුම"
මගේ උරහිස දරා ලය මත
එදා කළ කී දෑ ඇසේ මට...

මහා ඒජන්තයෙක් වූවද
මගේ චූටී තාම නුඹ මට
වෙනදාට එක ඇමතුමට එන
කොතැනකද නුඹ හිතේ කොනකද?

සසර බැදුමක යතාරුත නුඹ
අනිත මග තුළ දොර යතුර නුඹ
නිවන තෙක් මේ ගමන මග නුඹ
කියාදෙනවද මල්ලියේ මට...

ලන්ඩනයේදී...

කවිය බලන්න
ඔලොගුව

ඔලොගුව

විමුත් ද සිල්වා

රිදුම් දෙන උරහිස
සන් කළේය මොහොතකට
බිම තබන්නට
ඔලොගුව

ගල්ගැසී ඇති සැටියකි
ලොව ම
නිමේශයකට

මෙතෙක් නොතිබූ ඟංගා
මතුව පෙනෙන්නට විය
පස් පියුමින් සුසැදි විල්ය
පෙරමෙන් සැඩ නැතිය හිරු

ඇසෙන්නට විය කුහුඹුවන් දෙදෙනෙකු
එකිනෙකා මුමුණන හඬ
මා දෙපා අසල ම

පහලට නැමුණු අත්තකින්
පැහැදිලිව කන වැකෙයි
මග හරස්කල කපුටෙකුට

ලේනෙකු බැන වදින යුරු

ඈතින් දුටිමි නොදන්නා කුරවියෙකු
යමක් හංගා එන යුරු
බෙනයක

පෙර නොවූ මිහිරක් ගෙනේ
තොරතෝංචියක් නැති
ගෙම්බන්ගේ බක බකය

තුරු ලතාවෝ
මලින්, ඵලින් බරය
සඳැස් පුර වැනුම් පරාදය

දැනුණි බොහෝ කලකට පසු
හුස්ම ගන්නා වග
ඇසුනි හදවත ගැහෙන හඬ

එනමුත් බොහෝ ප්‍රමාදය ගමන

මා එතැනමය
උරහිසෙහි රිදුම ද අඩුය
කරතබා යමි නැවත ,
තවත් පිරවිය යුතු බැවින්

ඔලොගුව

කවිය බලන්න
🗙