2025 පෙබරවාරි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2025 පෙබරවාරි කලාපය

සුමුදු හිමකැටි දිය කරන්නට නොහැකි හිරු විළියෙන්ම බැසයයි ඒ වුනත් මහ චණ්ඩියෙක් ලෙස ඈත දේසෙක ජලය          හිඳවයි ගමේ චණ්ඩියා වෙනත් ගමකදි හිස නවා  අවනතව     හැකිළෙයි ජීවිතය ඔහොමමයි මිතුරනි ඔහොම අය නිති අපට      හමුවෙයි

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

අබරණ සමඟ සිටි පිරිවරද තම වෙත
නොදෙරණ තැන යෙදුව හොත් නොම වේ දිමුත
අපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත
සිළුමිණ සරණ බඳ හොත් අපහස කරත

ආභරණ සහ තමා ළඟ සිටියා වූ පිරිවර ජනයන් ද නොනිසි තැන යෙදුවහොත් බබළන්නේ නොවේ. එසේම මුළු ලෝකයෙහි සියලු රජ ඉසුරු ලද නමුත් ශිඛාමාණික්‍යය පයෙහි බඳ හොත් අපහාස කරති.

කවිය බලන්න
49 වැනි සැමරුම වෙනුවෙන්...

49 වැනි සැමරුම වෙනුවෙන්...

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

එළිවැට මතින් රසවැට තැනූ
මහගම සේකර ශූරීන්

සිරිලක පරසිද්ද තුංමං හංදිය
සිතුවම් පටයකට ද හැරවුම් ලක්ෂය
නම ගිය කවියකුගෙ ගම්පියසය
රදාවාන - සියනෑ කෝරළය...

කිරිඳිවැල නගරෙට ආසන්න
මෙගම්පියසේ උපත් ලැබුවෙන
කිසිවකු වෙත් ද කවියකු ගුරුතුමකු වුණ
නම කිව යුතු නොවේ පරසිදු පුතකු නැණ...

ගිය ජනවාරි දහ හතරට ගැනුණු දින
මෙතුමා සමරමින් කවිකම් නොමඳ වුණ
හතළිස් නව වරට ඔහු පිළිබඳ ව පණ
ගැන්වුණි සදා පවතින නම “කවියෙ” මිණ...

ගුරුවරයකු - රචකයකු - කවියකු ද වුණ
ගුවන් විදුලියේ නම ගත් කෙනෙකු වන
කතා කෙටි ලියා නව හා ගීත දන
මුමුණයි අදත් නිතර ම කවි රසය මැණ...

කළ රචනා ව්‍යංගා - බෝඩිම ආදී
නොමියෙමි - ලිහිණිසක්වා දන සිත් යාදී
හංස ගීත-සද්ධන්ත-කුණ්ඩලකේසී
නාටක කෙළේ තබමින් ජනමත දෝසී...

තුංමං හංදියේ හද බැඳි කතාන්දරේ
මනෝ මංදිරේ යන නව කතාන්දරේ
හදවත බැඳ තබන නාටක ගී අතරේ
සෝක තැවුල් නසනා ගී පද වැතිරේ...

“ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඈත කඳුකර හිමව් අරණක
පාලු අඳුරු නිල් අහස අබියස
රත්න දීප නම් ජන්ම භූමිය”...
“මේ සිංහල අපගෙ රට ය
විශ්වයේ නොයෙක් අත ය
ඈත ගව් ගණන් දුරු ය
පාව ආ විලාසිතා ය”...

“ඔබේ නමින් සෑය බඳිමි”
ගී කලාව සුමට කෙරුණි
නිදහස් කවි කලා බසිනි
“නිස`දැස්” කවිකම් එක් වුණි...

“සරු පොළොවක් අපට ඇතේ
පුංචි අපට කයි-කතන්දරේ
කොටි වළිගය ළමා හිතේ
පීතර කෙටි කතා පොතේ”...

නිදහස් කවි කලාව ලොව
පිළිගත් සවි තලාව නව
නොබිය ව ගළපා කියන්න කවියෙන්...
එයින් බිඳී ආ නියා ය
“නිස`දැස” නම් කවි කලාව
වැඩිපුර කවි - ගීත හැදුණෙ එහෙයින්...

“පුබුද්‍ධ” ප්‍රචලිත වූයේ
මරණින් පසු ව ය ඔහුගේ
“ගද්‍ය -පද්‍ය රිද්ම” පොත ද
පසු ව කෙරුණු වග දනුයේ...!

මහගම සේකර පූරණ
කලාකරුවෙකැයි කීමට
ඔහු කළ - කී දෑ අපමණ
ප්‍රමාණවත් වනු නියත ය...

මේ කව් කුමුදත් ඔහුගේ
නාමය උදෙසා ම පිදේ
කවියට පෙම් බැඳි බෝ සේ
යමි ඔහු ගිය මඟයි රසේ...

දිවියේ හතළිස් හය වන
සැතැපුම් කණුවත් පසුකර
දිවි සැරියට ආයුබොවන්
කීමට ඔහුටත් සිදු විය !

අවසන් කෙරුමට
“මේ කව් සමර”
උපුට දක්වමි මම්
“ මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනැවි!
දුක් ගීයක් ලියනු මැනැවි!!
දුක් ගීයක් ලියනු මැනැවි!!!”

සදාතනික කවියකි නුඹ මට
සදාතනික කවියෙකි නුඹ මට
මා යනෙන හැම තැන
නුඹ සිටී දැහැන් ගත ව
කියවන තුරු මා නොඉවසිල්ලෙන්
නුඹ තවමත් නොලියූ ඒ කවිය!!!
****

කවිය බලන්න
This is all what I can give you now! My dear!!

This is all what I can give you now! My dear!!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

This is all what I can give you now! My dear!!

My cheeks are wet, as I miss you dear,
I know you cannot see, feel or hear.
Everything is gone with your soul and gear
Yet, left a heavy luggage for me to clear.

Memories of forty plus eight long years
In motherland, countries far and near,
Sharing with you with smiles and tears,
Along with the offspring so cute and dear!

Your anger, humour, sarcasm, oh dear!
"Unparalleled justice" your icon so clear,
Your wisdom cleverness inherited,
no fear,
Even to the grandkids your gift so pure.

You left me the empty chair with visuals here,
Of last two years sitting besides you dear
To feel your strong grip and smile sincere
Enjoying the occasional word pleading to be near!

It was torture to witness yourself disappear,
Exposing the sticky bones and flesh less rear,
Yet I valued your look cum breath, sign of life my dear,
Breathing stopped ,eyelids dropped that was the bye I always feared!

Now that you are gone have no other fear,
To take the flight to destination unclear,
Will live with Dhamma, till run up is clear,
Wishing you a smooth ride to the station beyond sphere!

කවිය බලන්න
අපේක්ෂාවේදී...

අපේක්ෂාවේදී...

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

වැටෙන තෙත කඳුළු කැට නෙතු අගින් ගිලිහිලා
දවන විට සියොළඟම බිංදුවක් තැවරිලා
විඳින දුක් අම්මලා රහසින්ම ඉවසලා
දකින කොට හිතෙනවා මට යන්න සැඟවිලා

ගිලී ගිය මුව මඩල මත කඳුළු පිරුණු ඇස
හැලී ගොස් කෙස නැතුව දිලිසෙනා තට්ට හිස
රිදී නිති ඇදුම්කන ගතම ගොස් දියව මස
ඉඳී මා ඇහැරවා රැයට වී මිතුරු පස

හිනාවක් ගෙනෙන්නට අවැසි නම් ඔය මුවට
දෙපාරක් නොසිතාම කරමි කියනා ලෙසට
සිතාගෙන අළුයමම එන්න පෙර යළි ළඟට
ඔතා සුදු රෙදි කඩක මල් කැකුඵ යති දුරට

කවිය බලන්න
නිදහස එපා !

නිදහස එපා !

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

හැම් බේකන් වලට බැන බැන හිටි කාලේ
ඉහළට දෙස් දෙමින් අරගල කළ තාලේ
දැන් ඒ කිසිත් මතකේ නැතුවද රාළේ
තහනම් වචනයක් වේවිද සම්බෝලේ

හෙළ දිව ගැමි අහර හා බැඳි සම්බෝලේ
ලොකු පොඩි සැවොම එක ලෙස කෑ සම්බෝලේ
සිතුවත් රස නහර පිනවයි සම්බෝලේ
පොල් මොනවටද නැති - හොද්දට , සම්බෝලේ

වැඩියෙන් සහල් කෑ කුකුළන් සමග හිද
කිකිළියො දාපු බිජු මද සුදු වීලු අද
කැකුළු සහල් හිඟයක් ඇති වුනේ සොඳ
බලු සුරතලුන් හට බත් දුන් නිසා වෙද

තව ඉදිරියට හොඳ හොඳ කියමන් ඒවී
ඒවා අසා සමහරු නම්
සැනසේවී
"අපි නම් කිව්වෙ නෑ" දස අත දිවුරාවී
සියළුම පොරොන්දුත් සුළඟේ යයි පාවී

පුරාජේරු කිව්වත් "නිදහස"
සමරා
නොපෙනෙයි නිදහසක් නම් සිත් සතන් පුරා
කුමටද බැරි බරක් අරගෙන කිරුළු දරා
බොරුවෙන් රටක් යාවිද සුරපුරක් කරා

බත බුලතින් පිරී නිති කිරි
උතුරන්න
පැතුවත් මෙලෙස නම් බැහැ එය සපුරන්න
උඩඟුව බොරුව වපුරන මිනිසුන් ඉන්න
මේ නිදහස එපා ආපසු
අරගන්න

30.01.2025

කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

ලොව නැව දනා බඩු
නැව් නා නිරිඳු මෙ ඇම සමඟින්
වියත් මැති මාලිම්
උගත් සත් බෙලෙන් පවතිනුයේ

ජනයා නමැති භාණ්ඩ ද, රජතුමා නමැති නැව් කප්පිත්තා ද යන මේ සියල්ල සමඟ ලෝකය නමැති නව පවතිනුයේ උගත් ඇමතින් නමැති නියමුවන් ඉගෙන ගත ශාස්ත්‍ර බලයෙනි.

කවිය බලන්න
ප්‍රේමයෙන් බිඳ දැමුණු

ප්‍රේමයෙන් බිඳ දැමුණු

කෝ ආනන්ද පැරීසිය

ප්‍රේමයෙන් බිඳ දැමුණු
සියලුම මෘදු ගැහැණුන්ට.........
නිහඬතම පිරිමින්ට.....
කවිනිමිත්ත
යේෂා පර්නැන්ඩුගේ ලයිලැක් කවි පොතෙන්

ප්‍රේමය යනු ඕං කාරයද මේවිශ්වයේ
දෝංකාරයද නැතහොත් මමංකාරයද මනසේ
කාමය නම් අග්නි දාහයද බුරබුරා නැගෙන රාගයේ
නාමය වුවද ආදරය වුවද ප්‍රේමය කතාබස් වහරේ
ස්ත්‍රී ද පුරුෂද නෙක සත්ත්ව නිකායන්ටද
ඇවැසි උරුමයෙකි ජීවලෝකයේ
දාමයක විසම විස චක්‍රයක කැරකෙනා
වලකාලනු බැරි කරුමයක්දෝ සංසාර ජානපරපුරේ
සත්‍යයේ ශාතෲන්වූ
බුදුන් සමග සොක්‍රටීස් දැනුදු සංවාදයකය

කවිය බලන්න
වයයි   තවමත්    ගඳඹ

වයයි තවමත් ගඳඹ

අමිතා පද්මකුමාරි

පුර දොරටු අභියස
සත්සරය මුසුවී
මධුර වස්දඬු රාව
ඇදී යද්දී සුමටව
සුරලියන් පරදවන
පුර අංගනාවෝ
වසාගෙන සවන්පත්
සොයයි අන් වගතුග
ඉසිඹුවක් නැති පුරයේ
යන්නවුන් පසුකර
නොනැවතෙයි මොහොතක්
විඳින්ට ඒ මධුර සර
වයයි තවමත් එපුර
දෑස් නොපෙනෙන ගඳඹ

කවිය බලන්න
ක්‍රිෂ්ණා මෙහෙම කියන්න ඇති

ක්‍රිෂ්ණා මෙහෙම කියන්න ඇති

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

රහස් කියන කඳු අස්සේ මීදුම පුරවා

වලා පොටේ පාට හැඩට දේදුනු දවටා

ඔබේ පුරුදු උණුහුමටම ඇඟිලි ගනිනදා

යමුනාවේ පුරුදු තැනට එනවද රාධා

ලොවක් කියන දහස් කතා නොමියෙන හන්දා

අපේ සතුට අපි උකසට තියමුද කිසිදා

නියම් අනියමක් පෙමකට නොතිබෙන හන්දා

හුරුම පුරුදු සුව විඳින්න එනවද රාධා

අක්කා, මල්ලී කිව්වට ඔබ අපි පොඩිවුන් දා

ඔබේ රුවට වශී නොවෙද කවුරුන් කවදා

නොදැන නොවෙයි මම කිව්වේ ඔබ මගෙ හැමදා

හිනා වට්ටියක් අරගෙන එනවද රාධා

කවිය බලන්න
සේකර උපහාර

සේකර උපහාර

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

විහිදින තඹරු පවනැල් දිය රැල් අතර
සැඟවිය කලල් නොඇලිය කිසිවිට සතර
සිනැහිය දසත ගවසා සුසුවඳ පවර
දනිහිද නොබැඳියෙකි දියමල වුව තවර

එසමම සුවඳ වූ තැන් ලකඹර මහරූ
පරගැති සිතින් නැත කිලිටෙක වැද ගොහොරූ
නුවණෙකි මහා කතුවරයක බැඳ පවුරූ
උතුමෙකි සේකරය සිව් හෙළ මත කිවිරූ

කවකිය නිසඳැසය මොනවට වැනූ තොමෝ
මවකිය මහිය ගුණ ගයනා මහරු තොමෝ
වහරකි හෙළය හසලම බස ප්‍රගුණ තොමෝ
වුවනකි දැයට නිම නොවනා දිවිය තොමෝ

දැහැමිය සරල දුටු අකුරේ සරුසාර
පිහිනිය සිඳුව පරතෙර දිටි කවිවාර
සිහිනය නොවේ ඉහළට යන පිරිවාර
මහගම ගියේ ගැමිකම හැර මොනපාර

උපතකි හෙළට එය පරවූයේ කොහොම
සැපතකි වහර පිනනා ගුණ කඳ බොහොම
විපතකි කයේ ආයුෂ මිස නම එහෙම
සුවඳකි සඳා අමරම සේකර මෙහෙම

14-01-2025

කවිය බලන්න
හිස් හිස්

හිස් හිස්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

හැමතැනම උජාරුයි හරිම හරි සද්දේ
තාල පද උඩුගුවන් සිසාරා පැද්දේ
වෙස් වළාගත් මලවි වටේටම විද්දේ
හිස් බෙරයි ආතතිය ඇති හුඟක් සද්දේ

පිරිත් පැන් ඉත්තකින් වටේටම ඉස්සේ
හිමි හිමින් ගීතිකා මුමුණමින් කැස්සේ
නොදන්නෙමි හිතේ මොන මොනවාද අස්සේ
දන්නවද හිස් කළයි පැද්දෙන්නෙ වැස්සේ

AnA 01/2025

කවිය බලන්න
Block කර තබමි.

Block කර තබමි.

අනුරාධා ගුණසේකර හොරණ

සීතල රැයම උණුසුම් කල කඩුපුලක
සුදු මෘදු සුවය දැනුනේ සිහිනෙක පමණ
කතරක ඇවිද වෙහෙසට පත් වු හවස
තෙත් කල සුවය පමණකි ඉතිරිව මතක .....

පෑගෙන තරම දැන පය පාමුල වැතිර
උණුසුම් කඳුළු හෙලුවත් හිත නෑ සසල
නුඹමයි නැවතුනේ පපුවේ පෙර දිනක
ප්‍රේමය වියකුනේ කොහොමද මා මිතුර

පාලුව මකාගෙන මගෙ අහසෙහි පායා
පෑ උරහිසේ උණුසුම සසරේ ආවා
රිදුනත් පපුව සත්කඩකට විසිරීලා
Block කර තබමි නුඹ හට සැනසුම දීලා

කවිය බලන්න
බුදු සසුනට ගෞතම උතුම් පුර පොහොයයි අද නවම්.........

බුදු සසුනට ගෞතම උතුම් පුර පොහොයයි අද නවම්.........

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සම්බුදු සසුනෙ අපෙ ගෞතම බුදුන්ගේ

සුරකිනු නියාවෙන් විනයද සඟුන්ගේ

පනවනු අදිටනින් ශික්ෂාවන් තෙරුන්ගේ

කැඳවනු ලැබූවෙ සමුළුව අප සඟුන්ගේ

පනවා බුදුන් ශික්ෂා සඟ පරපුරට

පෙන්වා පිරූ පෙරුමන් අගසව්වෙන්ට

කැඳවා සමිඳු සැරියුත් -මුගලන් පෙරට

පිදුවා පදවි අගසව්වන් පැතු ලෙසට

සපිරීමට පෙර අසූවිය බුදු සමිඳුන්ට

තෙමසට පෙර නවම් මහපෝයට

ආයුසංස්කාරය විය හරින්නට

බුදුහිමි වදාළා අනඳ මහ හිමියන්ට

දෙසුවේ එදා සමිඳුන් සඟුනට ඕවාද

පිදුවේ අසුවක් අගතැන් තනතුරුද

බැලුවේ විමසමින් තිබු මතබේද

බෙදුවේ ධූර නවම් පෝදා බුදු සමිද

මාපනාවතුර

මහනුවර

කවිය බලන්න
ලොවක සිටියෙද සිරුරෙ  රුහිරය කිරට හරවන මව තරන්..

ලොවක සිටියෙද සිරුරෙ රුහිරය කිරට හරවන මව තරන්..

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

තිසර හසඟන විලස තුඟු ලය තුරුණු ලියකගෙ රුව දොවා........
තඹර කැකුලක සුමුදු මටසිළු හසර කඳුතුඩු ලෙස හොවා..
බඹරු උනුහුම පහස විඳිනට සිතැඟි අඟවන රඟ දෙවා..
කුමරි බඹසර විලස රැකගෙන පිරුනු ලැමවිල කලෙ මුවා..

සිතෙහි උතුරන නිමල ගුණකඳ හොවන දරුගැබ කුස කරා..
පැමිණි දිනසිට පිපෙන ලැමදෙස බලති සෙනෙහස හද දරා...
සොඳුරු සියුමැලි සැඟවු පියයුරු බිලිඳු සිහිනය වත අරා..
කොමල මුසුසැම අනඟ රසමුස තිලින කරවුයෙ හද පුරා..

රකින සිළුමිණ ලෙසට සුරවමි තුරුණු සියොළඟ පුද කරන්..
අරන මතඟන සරන මනරඟ අමිත පිලිලබ නෙතු අරන්..
තුමුල පිරි කුඹු දෙතනෙ නිරුවත විවර කරහැර හද සරන්...
ලොවක සිටියෙද සිරුරෙ රුහිරය කිරට හරවන මව තරන්..

ඊශ්‍රායලයේ
ජෙරුසෙලමේ සිට

කවිය බලන්න
මිහි මව් තුරුලේ

මිහි මව් තුරුලේ

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

දාහයක වේදනා දරාගෙන සිටින නුඹ

මා සිතට වද දෙමින් දිවා රෑ එබෙන විට

නැගෙනවා මතකයට කුඩා කල ගම සරස

ගලා ගිය උල්පතක නැටූ ඉස්ගෙඩි රෑන

වියලි පොළවක මියෙන දඟකාර ගෙඹි පැටව්

නගන වියරුව අහස බලා ඉන්නේ දුකිනි

නිල'ඹරේ සැඳෑ කල වියලි දළු කොළ හඬන

දුකින් සඳ සැඟවේය රුක් වදුළු අතු පතර

නිමක් නැති මිනිස් දම් වියලමින් හරිත සුව

පියා සළමින් ඇදෙයි වේගයෙන් අනන්තෙට

විහඟ ගී කොවුල් නද හීනයක් වී රැඳෙයි

කොල මල්ද කන්ටේනර් පුරවලා එන කලක

ගඟ ගලයි ඉතිරිලා මන්දිර ද මඩ පැහැය

හඬ තලන දන සමග බිය ජනක සිතුවිලිය

මිහිතලය මත දෙවිඳු අඳින සිතුවම මකන

කළු පැහැති කනත්තකි විසිරිලා යක් මුහුණු

කවිය බලන්න
බවුන් වඩනුද කෙලෙස

බවුන් වඩනුද කෙලෙස

ආරියරත්න ජයසිංහ මහරගම

තුරුහිස් අතරින් පෙරේ පළමු හිරුරැස් දහර
අවසන් පිණිපොදත් ගිලිහේ ළදලු පත් මතින
පෙර’ඹරින් එන ළහිරු පිස දමයි තණ පලස
අසපුවේ නෙත් පියා බවුන් වඩනෙමි තවම

පළමු හඬ නිකුත්විණි මේ උදය බව කියන
සවන් වනි සකුන ගී කිචිබිචිය එක වරම
සුදු වලා අමුණමින හිමාලය තරම් උස
අහස තතනයි ලියන්නට කවියක් නොතේරෙන

සුදෝසුදු පෙණ නඟන දොල පාරේ සිනහ රාව
බඹර ගුමුගුමු නදින් මුමුනන තෙවළා බණ පද
නිල් තුරු හිස් වියන උඩින් ඈත සිතිජ ඉම කෙළවර
වලා කළඹ සිවුරු දරා සමනොල ගිර බවුන් වඩන

මේ සොඳුරු දසුන් මැද තුන් ලොවම අවදිවෙන
පියාගෙන නෙතු පියන් අඟුළු ලා දෙසවනට
වන සෙනසුන ඉමේ මේ අඳුරු කුටිය තුල
බවුන් වඩනුද කෙලෙස හුන් තැනින් නැඟෙමි මම.

කවිය බලන්න
Beauty is Skin Deep....but

Beauty is Skin Deep....but

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

Beauty is skin deep
"Three Wheeler in front announces boldly"

I am surprised.
If he really means it
He should be in a hermitage
striving for emancipation
from the route cause of
the mess we are In
the Samsara Chakra

"But it is a valuable asset"
It further asserts.

That is definitely experience.
He knows his economics,
finance and marketing too
He knows how the beauties
make plenty of money
by marketing that asset

Isn't the beauty the most powerful tool
that has the capacity
to bend
all the powers in the world ?

It can make kings
kneel down
in front or on the top
by mere lifting of a little finger
of left or right hand

Talk of the thickness
of the skin
is absolute trash
a deplorable concept
at the best
in the real world scenario
(Nothing is real in the world anyway )

The magic of the skin is
that
any woman with
correct displacement of it
can produce cash
out of nothing
if she wishes so
Even the gods
can not claim of
such miraculous capability
They too need printing
machines
or the help of
Thomas de Laru
because the poor creatures
are clueless
about money
If I have heard
all of them correct

Where there is money
everything else is automatic
as we all have learnt
(Not in the school textbook)
When money meets the beauty
It is called absolute power.
( Remember both have
the habit of coming and
going)

What the hell is
this fellow doing
driving this contraption
It strikes me like a bolt !
He should be in the league of
Socratese and Diogenese.

"I see ....
he is unravelling the reality
to the ordinary mortals
who are not inclined to
use the upstairs much"
because their
action stations are
located downstairs

What a social animal !
Nobody invited him
to tell the world
his enlightenment .

Give my regards to the genius
If he happens to
cross your path

09-01-24

කවිය බලන්න
ලතාවක තතු.....

ලතාවක තතු.....

චමිලා ඉහළගමගේ

වනස්පතිඳුන්ට රහස් කොඳුරන නියා
ලතාවක් වෙලා ගෙන මල් දෙක තුන තියා
මුළු මහත් විශ්වය එක අකුරක ලියා
හදතුර ලැගුම් ගෙන කිසිවක් නොම කියා

පැයක් නොව තුන් තිසක් පෙලින් පෙල උළුපා
විමන් තුල ගිනි පුළිඟු හිත අස්සෙ නෙරපා
හද සොහොනෙ ගල් ගැසුම් සීරුවට ගලපා
පිනි වැස්ස ඉහිරුවෙ සැදැහැවෙන් සතපා

සවනගේ මිමිනේවි හද සනසන කතා
නෙතුකොනේ නලියාවි පෙඟි සෙනෙහස් ලතා
මතුබවේ ගලපාවි මුල් පිවිසුම් ඔතා
සන්හිඳේ කොඳුරාවි හද ගැඹුරින් පතා

කවිය බලන්න
ඉන්න හිතෙන තැනක් එතන,

ඉන්න හිතෙන තැනක් එතන,

චමින්ද ලියනගේ බලංගොඩ

කඳු වළල්ල මැද මනාව
සඳ හිරු තරු පා හිනාව
අසිරියෙ විසිතුර ගෙනාව
සොඳුරු අඩවියේ,

කිරි දිය වැල් බිම ගලාය
තුරුලිය හෙවනැළි හෙලාය
පවනින් සිහිලස සලාය
රම්‍ය දනව්වේ,

යල මහ සැදි හේන් කුඹුරු
සැමට සමව වෙමින් මිතුරු
පැලින් පැලට ගෙනත් ඉසුරු
අග හිඟ දුරලයි,

පුංචි එවුන් එකම පිලේ
රංචු ගැහෙන වෙලේ දොළේ
සතුටු සිනා දෝරෙ ගලන
නද විසිරෙනවා,

කවිය බලන්න
විරහව

විරහව

එච්.පී චමින්ද ජයවර්ධන

ඉරිතැලී ගිය රළු පොළව මත..
දිය බිඳක් නැති පාළු කතරක ...
අහම්බෙට නම් නෙවේ හුරුවට...
මලක් පිපුනයි දුර අතීතෙක...

ළහිරු නැග එන මේ උදෑසන ..
සිහින් වැහිපොද ගෙනෙන සීතල ..
නිමාවක් නැති පෙම් කතාවක..
කියයි තොරතුරු හද සසල කල.....

අයිතියක් නැති පෙම් කතාවක...
නිමාවක් නැති ප්‍රේමයක් ලඟ..
නැවතිලා හැරවුමක් අබියස...
වෙන්වෙලා යනවද ඔයත් හෙට...

කවිය බලන්න
කුමට මා කවියෙක්ව

කුමට මා කවියෙක්ව

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

රිදුන හදවත් වේදනා දෙස නොබල පෙම්කවි ගොතානම්
දුකින් පීඩිත මුහණු දැක දැක සොමි සඳට පද බඳීනම්
නෙතක කඳුලක වේදනා දැන පින්නෙ තෙතගුණ කියානම්
කුමට සරසවි වරම් ලැබ මා හොඳයි මට නොලැබුණානම්

කිරිබිඳක්වී හඬන බිළිඳෙකු මුවේ රැඳවෙනු නොහේනම්
දැවෙන සාගිණි නිවා දරුවකු කුසට බත් පිඩ නොවේනම්
ගල් බොරළු ඇනි සිඟිති දෙපයක වහන්වී සුව නොදේනම්
කුමට මගෙ කවි අකුරු පමණයි හොඳයි ඒ නොලියුනානම්

තැලෙන මිණිසුන් තව පෙලද්දී දේව පැසසුම් ලියමිනම්
දුකින් පීඩිත ගැහැණු මැද හිඳ සුරඟනන් හැඩ වනමිනම්
මිණීමරනා ලොවක වසමින් සුරලොවෙහි තතු මවමිනම්
හදවතේ කටුවක්ව කුමටද කිණිසක්ව නොඇනුනාම්

මෙහෙවරක් නැති හෑලි ලියමින් කවි ලියමි යැයි සිතම්නම්
ලොවට යහපත නොව සම්මාන මට නම්බු නාමා පතමිනම්
මෙන්න පන්හිඳ අරන් දකුණට උල් කරන් උල මදියිනම්
සරසවිය ඇන මරන් කවිසිත පැතුම ඉටු නොමවුණානම්

කවිය බලන්න
හඳුනා ගත්තොත් හරියට...!

හඳුනා ගත්තොත් හරියට...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

රස ගැන අප සලකන කල නැතිවම බැරි වර්ග දෙකකි...
යසට කන්න සීනි ද ලුණු ඇවැසි බවද නොමැති සැකකි...
වස කියුවත් වෛද්‍යවරු දිවට දෙන්නෙ මහත් සුවකි...
නසන්නෙ අප ටිකින් ටිකලු
සිතුවොත් එය වන්නෙ හොඳකි...

පැණිරස ඇවසිම දෙයකට දැමුවොත් ලුණු, කනු ලැබේද...
එමලෙසටම මාලුවකට සීනි
වැටී, රස ගෙනේද...
අප ඇස ගැටුණත් නිතරම දෙකම එක වගෙයි , නොවේද...
මෙය යස උපමාවකි, මිනිසුන්
හඳුනා ගනු කෙසේද...

රසැති වදන් දොඩන නරුම ගති ඇත්තෝ කෙතෙක්වේද...
විසැති බවක් දැනගන්නට ඇසුරු කලත් හැකිමවේද...
උසැති රුවැති හද බැඳෙනා අය ගේ සිත් මොන වගේද...
පිසැති කෑම කා බලතැකි , මිනිසුන් ගේ රස දැනේද...

එනිස අපට හමුවන්නන් අප
වගේම ⁣යැයි සිතලා...
වනස ගන්නෙ නැතිවම දිවි , කල් ගෙන හොඳහැටි සොයලා ...
මිනිස කියන අපූරුතම සත්වය
හඳුනා බලලා...
මනස සුවෙන් තබා ගනිමු , සමු ගන්නෙමි සෙත් පතලා...

කවිය බලන්න
නොවෙනස්වෙන වෙනස

නොවෙනස්වෙන වෙනස

ධම්මි අනුරපුර

වැරදුණු තැනදී නැවතී නැත කරුණු සොයා පැරදුම උරුම නැති බව දැන දැනම ගියා හමුවූ සැවොම මිනිසුන් හොඳ නරක කියා කිසිවක් නැතැයි අදහමි හිස මුදුනෙ තියා

අද හිනැහෙන එකා හෙට ඔරවන් යනවා කන්නට දුන්න අත කාගෙන තුටු වෙනවා අඩියක් ඉහල නැගිලා අහසට යනවා
මහ පොළොවේ උපන් බව අමතක වෙනවා

කන්දක් තරම් මානය හිස මතට ගෙනා අය හමුවුණා මගතොට පුහුමාන දරා දනිතත් උන්ගෙ වතගොත එය නොකිව මනා ය�

කවිය බලන්න
රැවටිලිකාර ප්‍රේමය …

රැවටිලිකාර ප්‍රේමය …

දීපා ද සිල්වා ලන්ඩනය

බැල්මකට
කැල්මකට
සිනහවට
පෙම් බදින
ලද බොලද
වදන් ලග
හදවතම දිය කරන
ප්‍රේමය කෙතරම්ම
රැවටිලිකාරද
අවසානයේ
සිය ආත්මයම
නසා ගන්නට තරම් සිත්වන …

කවිය බලන්න
සුන්දර ශ්‍රී ලංකා

සුන්දර ශ්‍රී ලංකා

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

සොඳුරු නමකි පටබැන්ද
ඉන්දි සයුරෙ මුතු මෙන්ද
මුළු ලොව පතල හෙයින්ද
වඳිනෙමි මහද බැතින්

සිරි දළදා සමිඳුන්ද
සෙංකඩගල පුරයෙන්ද
ලැබ දෙන එ'අනුහසින්ද
ඉටු වෙයි සැම පැතුමන්

මහවැලි කළු සමඟින්ද
වලවෙ කැළණි මනනන්ද
සන්සුන් වූ ගමනින්ද
දිව යයි සයුර සොයන්

රුහුණු පුරය පෙදෙසින්ද
අගනා වූ රසයෙන්ද
මී කිරි සැම හද බැන්ද
පිනවයි සියලු දනන්

සුපතල සමනොළ කන්ද
සිප ගෙන එන සුළඟෙන්ද
කිරි වදිනා ගොයමෙන්ද
සරුසාරයි ගම දැන්

හද බැඳි රුවැති ළඳුන්ද
රැක ගෙන සීගිරි කන්ද
පසු වෙයි තෙදැති ලෙසින්ද
ලොව නැත එවැනි දසුන්

අප මහ බුදු සමිඳුන්ද
තෙවරක් වැඩිය හෙයින්ද
මෙහි උපදින විලසින්ද
පතනෙමි සතුටු සිතින්

කවිය බලන්න
පියාණනි   ..සිහ රජාණනි LION - THE  NATIONAL  HERITAGE.

පියාණනි ..සිහ රජාණනි LION - THE NATIONAL HERITAGE.

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

උස්සගෙන කග පතක්...
ඇඟිලි පහ නවාගෙන .

තැඹිලි කොල තීරු දෙස..
හැමදාම බලාගෙන.

ළය මඩල පුම්බගෙන..
වැජඹෙනා ප්‍රෙතාපව.

මහ කොඩියෙ සිහ රදුනි...
නුඹද අපේ පියාණන ?

******************************

කෙසරු වැල් නොසොල්වා..
සීරුවට තබාගෙන.

නිදහසේ මහා..
මන්දිරෙ වටා වාඩිගෙන.

පැරණි අග නගරයේ..
කුලුනු දෙස සමාධිව.

ශිලාමය සිහ රදුනි..
නුඹද අපෙ පියාණන. ?

*********************************

දහම් සක උඩ ඉද්දි..
අසිපතට රවාගෙන.

පුන් කලස වී කරල්...
නෙළුම් පෙති සිනාසෙන

ඒ සොඳුරු සිත්තමේ..
මැද සිටින උදාරව.

ජන රජයෙ ලකුණෙ...
සිහ රජුද අපෙ පියාණන ?

**********************************

පියාණනි ලක් මවුන්..
බොහෝ දුක පුරෝගෙන.

දූ පුතුන් සරි කළත්..
සියලු බර දරාගෙන.

මාරුවෙන් මාරුවට...
සොරු ඇවිත් ලියාගෙන

තලා හප කර තිබේ..
ඈ රකින මුවාවෙන.

******************************

එපා නුඹ අසන්නට..
නිදහසට වැයෙන බෙර.

වහා බැස නැගිට විත්..
මවුන් මිය යැවෙනු පෙර.

මුදාලනු අපි යළිත්..
සටන් වැද අභීතව .

පොළොවේ යට නිදාගත්...
වීරයන් අවදිකර.

*********************************

බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල.
2025.01.23.

කවිය බලන්න
පරාගන පලපුරුද්ද ඇති මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ

පරාගන පලපුරුද්ද ඇති මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ

හිල්මි සුපුන් ඉතාලිය

ඔව්
මීමැස්සන් වද වුනොත්
මහා පරිමාණ සමාගම් බිහිවී
මිනිසුන් වැඩට ගනු ඇත
මලින් මලට පියාඹා
පරාගනය කෙරුමට

වැඩමුර ගණනාවක්ම
පැය අටේ සේවයෙන් පසු
කැමතිනම් අති කාලද
මලින් මලට පියාඹා
පරාගනය කළ හැක

තාක්ෂණය දියුණුය
ඉදිරියේදී තවත් දියුණුවේය
මීමැස්සන් සේ මිනිසුන්
පියාඹා යනු ඇත

මුඛයට සවිකරගත්
සිහින් තුඩකින්
පැණි උරාගෙන ඇවිත්
මිනිස් මැසි පැණි
අතුරුඵලයක් සේ
තනනු ඇති

එවන් කාලකට
පුදුම වෙන්නට
මෙවන් කවියක්
ලියා තබනෙමි .

මී මැස්සෝ ගැන මේ කතාව ලියන්න පාදක උනේ විලච්චියේ ප්‍රදේශයේ වට්ටක්ක ගොවියන් තම වගාවේ ඵලදාව වැඩි කර ගැනීම සඳහා පරාගන ක්‍රියාවලියේ යෙදෙන බව සඳහන් වෙන ප්‍රවෘත්තියක් ( සරුබින මවුබිම ජනවාරි 9 පලවෙන පුවත ) දැකීම. ගොවියන් ප්‍රකාශ කරන්නේ මී මැස්සන් අඩුයි ඒ නිසා ඔවුන්ගේ ඵලදාව අඩුයි කියලායි .ඵලදාව වැඩිකර ගන්න මී මැස්සාගේ කාර්යය ගොවියා කරන්න පටන් අරන්. පිරිමි වට්ටක්කා මල් කඩං ගැහැණු වට්ටක්කා මලයයි හඳුන්වන පුංචි ගෙඩිය සහිත මලේ ඇතුළත ස්පර්ශ කිරීමෙන් ඵලදාව වැඩි කරගන්නට උත්සාහ දැරීමයි. මේක විශේෂාංග පුවතක් ලෙස පුවත්පතේ පලවෙනවා. මේ පුවත දැකපු කීයෙන් කී දෙනෙක් මේකෙ බරපතලකම ගැන හිතුවද කියලා කියන්න අපි දන්නේ නැහැ. එහෙම හිතෙන්න නම් ලෝකයේ පැවැත්මයි මී මැස්සයි අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ වැටහීමක් තියෙන්න ඕනේ. ඒක නොමැති කල ඒ පුවත තවත් එක් පුවතක් පමණයි.

කවිය බලන්න
විරාම ලකුණු

විරාම ලකුණු

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

අතෝරක් නැති කතා වැලකට
පීපී හිනැහුන සිනා මලකට
නැවතීමේ ලකුණක්

විසිරෙනා සිතුවිලි වලට
නොවේළුනු කඳුළු බිඳකට
තිත් කොමාවක්

හදේ ගැඹුරුම තැනින් පිටවන
සුසුම් රැල්ලකට
ප්‍රශ්නාර්ථයක්

මැදින් ඉරක් ඇඳ
සීමා මායිම්
ලකුණු කර

සඟල වරහනක කොටු කර
පරිස්සම් කර ගත්
මගේ හිත

Phot credit: Chris Slupski

කවිය බලන්න
අම්මා...

අම්මා...

ඉෂංකා මිහිරි කුමාරතුංග

සසරම නිවනා....තුන්බෝ ලෙසිනා
දරා පපු මැද සෙනේ
සෙවනම සදනා...පිරුවට තනනා
අම්මා මයි සංසාර සුවේ....

ලොවක් ඉවත බැලුවද මග තනි රකිනා
තුන් සුතුර ඇයයි ජීවිතේ...
අඳුරෙත් ලඟ හිදගෙන හිස සිප සනහා
හුස්මත් ඇයමයි මතු බවේ....

එවන් සුව සදනා අම්මා බුදු වනදා
පත්තිරිප්පුවේ කිරි සුවද පිරේ...
නිමාවක් දකිනා සසරේ අවසන් දින මා
නිවනේ සුව විදින්නම් ඈගෙ ඇකේ....

කවිය බලන්න
රළක සිරි වැනුම .......

රළක සිරි වැනුම .......

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

රළ ඉපිලෙන සිරි ගවසන නිරිඳාන
වත සුපිපෙන පිරි උවනත දිටිවාන
නද කරවන තත් නලවන පවනාන
හිත සරසන මත් වෙනතැන සොබවාන

වරල් සතර අත දිලෙනා සුකුමාල
පුළුල් උකුළ සිරි ගන්වන දියතාල
සිහිල් නැබේ රස කලතන රුවනාල
පලල් අතොර නෑ සීමා වෙරළාල

විසල් මොනර රූ ලලනා රුවැත්තී
කලල් නොවන දහරෙකි රන් උරත්තී
ලකල් තවර මොනවට ඈ වනත්තී
රැකල් සෙමර සලනා මන පිනත්තී

පැහේ හදේ තෙරපෙන ආලේ මනරම්
වදේ වගේ බැඳෙනා මී වද අගනම්
පදේ රසේ මොනවට ගැහෙනා කරණම්
නඟේ බලන් කවියක ගෙතෙනා ලියකම්

උරච්චියේ රස පොවනා අකුරු රසේ
තලච්චියේ සඳුනගෙ තුරු කඳක ගැසේ
හලච්චියේ ඉහිරෙන පිනි කැකුලු වැසේ
වනච්චියේ පද ගලපන විරිත යසේ

කවිය බලන්න
මිතුරා........

මිතුරා........

ජයතිලක කම්මැල්ලවීර

දුරු රටක තනිවී වෙසෙන
මිතුරා පෙලන
ජීවන ගැටලු දැන දැනම මඟහැර
විමසමි ඔහුගෙන්
මේ දවස්වල ඔහෙටත් වැස්සද?

කවිය බලන්න
පුංචි කුමරියේ!

පුංචි කුමරියේ!

ජයන්තා මිහින්දුකුලසූරිය

විල් ජලේ සිහිල් දියෙන්
සීරුවෙන් නැගී
රෝස පෙති විදාලමින්
සිනා කැළුම් සලා,
සුවඳ දී ,නොමින් සතන්
පොබයනා නිතින්
සියපතකි,,නුඹත් මගේ
පුංචි කුමරියේ !

සඳ නිදන රැයේ නැගී
ගගන තල අරා
දිලිහෙනා නුවන් අයා
රුවන් කැළුම් විදා
හිනැහෙමින් නිවා දැමූ
හදේ සෝ තැවුල්
තරුවකී, නුඹත් මගේ
පුංචි කුමරියේ !

ඈත කඳු මතින් නැගී,
සීරුවෙන් ගලා,
රඟ දෙමින් කුලෙන් කුලේ
මියැසි සර නගා,
රිදී වන් සිනාවකින්
සරසනා මවුන්
ගඟුලකී. නුඹත් මගේ
පුංචි කුමරියේ!

2025.1.23.

කවිය බලන්න
කලා වැවේ හේරත්!

කලා වැවේ හේරත්!

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

රස්සාවට පිලිම නෙලන කලා වැවේ හේරත්
පන්සලකට ගිහින් නෑලු පුදුමයි අපි කාටත්
පහනක් වත් දල්වල නෑ පෝයටවත් කෝමත්
පස් පවු දස අකුසල් නැහැ දවල් නෙවෙයි රෑවත්

දෑස් වසන් නොසොල්මනේ නොහිටියාට හේරත්
එරමිනියා ගොතලා බාවනා වැඩුවෙ නැතුවත්
පිලිමෙ නෙලද්දී සිත එක තැන තිබුනා මැරුවත්
සමත විදර්සනා දෙකම වැඩුනෙ කවුරු නොදැනත්

බෞද්ධයයි කියා ගත්තෙ නැතුවට අපෙ හේරත්
සුදු ඇදලා පේරු දානෙ අරගෙන ගියෙ නැතුවත්
මලක් තියා පෙත්තක්වත් පූජ නොකර හිටියත්
කෙලෙස් මලක් පිපුනේ නැහැ සිත සන්සුන් කවදත්

කවිය බලන්න
කෙටි කවි

කෙටි කවි

කපිල කුමාර කාලිංග

01.
ඈ ළමැදෙහි
හොවනා විට, ම වත
ඈතින් ඇසෙයි
නැළවිලි ගීයක්.

02.
රෑ මැදියමේ
දුරකතනය ගනිත්ම
ඈත අහසේ
රතු එළියක්
මදෙස බලයි.

03.
හිමි අහිමි ළඳක
අනෙකෙකුගේ උර මතින්
හෙළන උස් සුසුම්
ඇසේ යැයි පිටතට,
වසාලයි කවුළුව
අවාරේ සුළං රැළි.

කවිය බලන්න
සමනල සඳෙස -21

සමනල සඳෙස -21

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 19
ඇත් රජ

382. සමනල කුමර සුහදාණෙනි ගමනෙ යන
දරදඩු ජව බලැති අණසක අණසක පැවති තැන
ඇස දුටු පමණකින් ගත සළිත ව නැමෙන
ගැමි දන අදත් බිය වෙත කියුමට එ ගැන

383. නිම නැති කතා ඇත වට කර මෙ දිසා වේ
යන්නට ඇරයුමයි ඊළග ඉම සී වේ
ඇත් රද පොරය ඇති වුණු තැන සීමා වේ
නොසොයා ගියොත් පල නැහැ අඩුවක් හා වේ

384. මෙ තැනත් දිසාවගෙ බල - තල තිබූ තැනයි
අලියන් - ඇතුන් කොටු කරගෙන තැබූ තැනයි
රට වුන් ඇවිත් “පාරට්ටුව” දැමූ වගයි
රදලුන් ධන බලය නතුකොට තැබූ බිමයි

385. සමනල රද නොරැදි තැන-තැන එක එල්ලේ
පහළට යන්න පියඹා වන පත් පල්ලේ
පසු කර ඇඹිලිපිටි - පදලංගල ගොල්ලේ
පනහමුර තිබේ රක්වානට එල්ලේ

386. මෙ පුරේ හස්තියකු ගැන අප පොඩි කාලේ
කියවා තිබේ මතක ද සමනල් රාලේ
නමටත් හේතු වුණි දැයි කළ මුර ලීලේ
පවසන් සමනලුනි හිතවත එහි තාලේ

387. කොපමණ වෙහෙස වී උන් වටකොට කැන්දා
අපමණ දුක් දුනි ද පා යදමක රන්දා
නොපෙනෙන පරිදි මහ වන මැද කොටු බන්දා
ගෙන දුන් මුදල් මත්තෙහි සිතුවම් ඇන්දා

388. අද නොව අලි- ඇතුන් පණ නැසු ඒ කාලෙත්
වෙ ද වෙනසකට මුල් තැන දී මේ කාලෙත්
රද හදවත නොමැති අලි- ඇතුනගෙ ප්‍රාණෙත්
දද නන්වන්න ගෙන ඇත බල-තල කාගෙත්

389. සමනල ප්‍රිය මිතුර දකිනා හැම දෙය ම
අදමිටු දන වෙසෙන-ගැවසෙන අප අත ර
බලමින - අසමින ද තොරතුරු කිරිපැටි ය
කවියට නගනු මිහිරෙන් - මිහිර ම ඇති ව

සමනලයා දුටු ඇත් පොරය
පනහමුරයෙ ඇත්රාජා 25

390. සැනසුම් ලබන්නට මත්තෙන් දිනිදු සැරේ
ගිවිසුම් නැති වෙලා වරිගයෙ එකෙකු පොරේ
විමසුම් සිහිවටන තැබු හැම දෙනා කෙරේ
උණුසුම් ඇත් පොරය සිදු වුණි පනහමුරේ

391. නම ගම පතල මඩුවන්වෙල රටේ මයා
අක්කර පණස් දහසක වන පෙදෙස සොයා
ඇත් ගාලක් කෙළේ විකිණීමට ද කියා
ප්‍රැන්සිස් මොලමුරේ තැන තතු ලියූ පියා

392. රජෙකුගෙ සිත කැකෑරුණි ඇත් වෙළෙද පොලේ
ගැබ් කරවමින් පර මුදලට වැටෙන වෙලේ
හිත් නැති නිවටයන් පසුපස ඇදුණු කලේ
නැව් කොමදෝරු උණ්ඩෙන් උහු නතර කළේ

393. ඉන්පසු ඇතුන්ගේ විකුණුම් පොලට ඇදී
සිටිවුන් වනයෙ හැම පැතිකඩකට ම වැදී
නිති කෙළිදෙලෙන් හිද පෙන්වා රළක පොදී
නිජ බිම ළං කළේ සෙනහස් පෙමක රැඳී

394. බලකොටු පවුරු බැද රැකි මුරපලේ එදා
බල සේනා බලය පණහක් මුරේ බෙදා
බල කාමුක ව රැකවරණය තැනූ යොදා
බල මහිමෙට “පනාමුර” නම හැදුණි සදා

395. බලයක වෙසෙයි බලගතුකම නියම කෙළෙන්
රජයන සමයක දි සිරිලක රදළ පෙළෙන්
අදිකාරම් කෙනෙකු වැජඹුණු ඉහළ දළෙන්
ඇති මන්දිරයෙ නටඹුන් දැක හැකි ය කැළෙන්

396. ඒ බිම් පෙදෙස තවමත් ගන වනන්තරේ
වනයෙන් ගැමි දනට සෙත ඇත නිරන්තරේ
හෙළ දැයෙ වටින දෑ රැකි පෙළ කතන්දරේ
“මඩුවන්වෙලයි දිසාවෙ රජ” සටන් පුරේ

397. වන පෙත අගය දෙන කරුවල-බුරුත කොටන්
අමුතු ම ලතාවක් දෙයි පැල්පතක පටන්
කෞතුක රසය වුව දෙන පර රටට තුටින්
මුව - මී - ගෝණ - වල් ඌරන් කරති සටන්

398. නෙත පොබ කරයි සිත මවිතය ගෙන දෙන්නේ
හිත නරතන රගයි දිය බුබුලන තැන්නේ
ගොතමින ගෙලෙහි බැදි මිණි කොතඹුව වැන්නේ
තෙත ඇති ගග - දොළට දිය බිදු දිව යන්නේ

399. රැකගෙන හිටපු “පවුලේ-කම” පිටට නොදී
පින් කළ ඇතාටත් බැරි විය මරු නො-වැදී
ඇත් රද සිහිවටන සේ පිළිරුවක හැදී
කදුළක් * “පනහ-මුර” ගම රදවමින් නිදී

(මතු සම්බන්ධයි.)

2025.02.01

කවිය බලන්න
ජීවිතය

ජීවිතය

කපිල විජේසේන

ආ ගමන් මග පුරා
මග හැරුණු තැන් සොයා
හිත නිතර සොය සොයා
හිස් තැනුත් පිරවුවා

ජීවිතේ මග ගෙවා
බොහෝ දුර පැමිණිලා
ආගමන දෙස බලා
හිනැහුණ හිත පුරා

ආ මගෙහි තැනින් තැන
මල් සුවද පැතිරුනා
ඒ සුවඳ විද විදා
මගෙ ගමන නැවතුනා

කවිය බලන්න
සෙබළ ආදරය

සෙබළ ආදරය

ලුම්බිනි ගමගේ

තල් වැට මායිමේ සුන්දර
වන දහනේ
බර ගිනි අවිය තනියට
සුරතේ රැඳුනේ
තනිකම දරා ගැනුමට සිත
දිරි ලැබුණේ
නුඹගේ ආදරය හද තුල
නිති රැඳුනේ

වැටෙනා හුස්ම ගානේ නුඹ
සිහි වෙනවා
දින සති ගනින්නට සිත
යුහුසුලු වෙනවා
ලද පොඩි විරාමය සිතුවිලි
තෙරපෙනවා
තුන්තිස් පැයේ නුඹෙ තුරුලේ
සැතපෙනවා

රට රැකුමටයි ගිනි අවි
සුරතට ගත්තේ
දැය දිනුමටයි සිත දිරි බල
ලැබ ගත්තේ
නුඹෙ ආදරෙයි මගෙ පණ නළ
රැක ගත්තේ
සිප සනසන්නෙ මගෙ ආදරෙ
නුඹ මත්තේ

Photo Credit: Diana Australis

කවිය බලන්න
දයාවතී

දයාවතී

ගමගේ ලයනල්

පනාව හිස හැඩ කරනා
හිනාව හිත වැඩ කරනා
මනාව ගත සළු එලනා
දයාවතී නුඹ අගනා

ලතාව නුඹෙ හිත බැඳෙනා
කලාව නුඹ මත තිබෙනා
කතාව මී රස ගෙනෙනා
දයාවතී නුඹ අගනා

දිශාව පෙර දෙස බලනා
සුමාන ගණනක් ගෙවුණා
නො ආව විට දුක හිතුණා
දයාවතී හිත රිදුණා

සොබාව දම් රස මවනා
ප්‍රභාව නුඹ ළඟ තිබුණා
නිදා තුරුලෙ ඇස ඇරුණා
විඩාව මගෙ සංසිඳුණා

කවිය බලන්න
ආදරේ...🌹🌹🌹

ආදරේ...🌹🌹🌹

ලලනී ගීකියනගේ රත්නපුර

ගිරි කුළෙක , ඇල දොළක හෝ ගඟක..
ගලෙක ඇලෙනා පෙඳපාසි යැයි
සිතෙන විට...
කඳු මුදුන් සිප හමා එන
සුළඟක...
තුරු මුදුන් මත වෙලෙන මදනලක...
මහ පොලොවෙන් ඉපදී.....
උල්පතකින් මතුවී ......
නදී විල්වල ගැවසී......
අහසට එසවී.....
යලි පොලොව මත
වැතිරෙන දිය බිඳක්මද...?
ගිම්හානයේ උයන්
යට ඇවිද යන
ගැහැණියක හෝ
පිරිමියෙකු හිසමත
රැඳවුන මලක් වෙද..?
සක්වල අභිමුවෙහි පිපෙන
තාරකා පසුකොට පැමිණි මන්දාකිණියකද ...?
අකුණු ගසනා වළාකුළු
අතරින් පෙරී
රිදී ඉරක්ව පෙනෙන
රේඛාවකද ?...
ගියොත් යන්න
දෙන තරමටම...!
ආයේ ආවොත් ඉන්ට
දෙන තරහටම ....!
ආදරේ විඳින්නට නම්
"හිත".....
නිදහස් වී නිදහස් කල යුතුය...!

කවිය බලන්න
මල්ලී ඔබටයි………

මල්ලී ඔබටයි………

ලතා ද සිල්වා මෙල්බර්න්

ඔබ පැමිණිදා - අපේ නිවහනට
සතුට උතුරා ගියා - සැමගේ සිත් පුබුදුකොට
කිරි සුවඳ ගලා ගිය - සිඟිති ඔබේ සිනාකට
උක්කුන් මල්ලි විය - එදා සිට ඔබ අපට

කාලය ගලා ගොස් - තරුණවිය එළඹී ඔබ
ඉගිලිගියා දුර - ඈත සයුරෙන් එහා
ඔබේ ප්‍රශ්න වැල් දිගේ - එයින් ගැලවී ගන්ට

ඔබ ලියූ කියූ දෑ - අපේ සිත්සතන්වල
රැඳුනා ඉඳුරාම - සේ ඉන්ද්‍ර කීලයක්
ලියු දෑ නිතිපතා - නැවතුන මාසයක්
දැනුනි මට නැවතුනු - ලෙසට මගෙ හද ගැස්ම

යැවූ පණිවිඩ ඔබට - දුරකතන ඇමතුම්ද
ගියේ නෑ ඔබ අතට - අප සිටියෙ සැම බලා
පෙරේදා ඔබ එවු පණිවිඩය - ලැබී සිත
සතුටින් පිරී ගියා - උක්කුන් මල්ලියේ

නවසීලන්තය
30ජනවාරි 2025

කවිය බලන්න
ල,නු,ක,සයට........

ල,නු,ක,සයට........

ලකී ගනේවත්ත පැරීසිය

හෙළ කවියෙහි රුසිරිය පෑ සදැස රකින්නට
හෙළ කවියෙහි අසිරිය සැමදා රැකගන්නට
පල ලබන්න සරසවියගෙ හෙළ දරුවන්හට
දල ඇතෙකුගෙ සවිය ලැබේවා ල,නු,ක,සයට

කවිය බලන්න
දිනත් ගෙවී

දිනත් ගෙවී

ලුෂානි දමයන්ති කැකිරාව

කන්ද උඩින් බැස යන්න හදයි හිරු රැන්ඳු සිනා මැකිලානෙ උදේ ඒ....
රංචු ගැසී පියඹාවි සියොත් කැළ නින්ද සොයා ගෙට වෙන්න වගේ උන්....
පිච්ච සමන් මියදෙන්න ලැහැස්තිය දුන්න සුගන්ධය බෝම අගේ මැයි....
සැන්දැකරේ නෙක පාට වළාකුළු ⁣යාවි මැකී අඳුරෙන්ම එතීලා....

පින්න වැටී නැහැවීල සුවේ විඳ එන්නෙ පිපී කොඳ මල් සතුටින් මයි....
ලන්ද දෙසින් කණ රැන්ඳු සියොත් හඬ නෑනෙ ඇසෙන්නෙම පාලු වෙලා දැන්....
ගෙව්ව දිනක් ගඟනේහි දසුන් පෙළ ආයෙ අරන් සරසන්න හදන්නේ....
කන්ද කපා හඳ පායනවා නොවැ ලස්සන වී කැලුමන් විහිදාලා....

Photo Credit: Kym MacKinnon

කවිය බලන්න
ආවොතින් යා යුතුයි බෑ නවතින්න...

ආවොතින් යා යුතුයි බෑ නවතින්න...

මිහිරි චතුරංගි වික්‍රමනායක ප්ලිමත් ,එංගලන්තය

අන්තිමට අපි හමුවුණ තැන දැනුත් මේ පහුවුණා

පුරුදු පරිදිම රොබරෝසියා ගස හිස සලා හිනැහුණා

ඔබ එනතුරු නොඉඳ යන්නේ ඇයිද බැල්මක් හෙලා

කිසිත් නොඅසා බිම හැලුණු මල් දෙස බලා සුසුමක් පිට කළා

ආපවාතින් යා යුතුයි බෑ නවතින්න

හමුවුණොත් නියතයකි කවදාක හෝ වෙන්වීම

මටත් ඔබටත් එයයි සනාතන දහම

නොවිමසා පෙර කරුණු හිනාවෙමු සද්දෙට

කිසිදාක රිදවුම් නොලද වුන් විලස.....

ප්ලිමත්,එංගලන්තය

කවිය බලන්න
සඳත් හැඩුවා හොරෙන් රහසින්

සඳත් හැඩුවා හොරෙන් රහසින්

මුදිතා ඩයස් කොට්ටාව

සඳත් හැඩුවා හොරෙන් රහසින්
කදුලු සගවන් සිනහා පාමින්
සඳට තහනම් කවි කියන්නට
සිතක් සනසා පෙම් පුරන්නට
එපා කිසිදින ගතු කියන්නට
සඳත් දිලුනේ හිරුගෙ කිරණින්
කියාගන්නට බැරිව ලතවුණු
සඳට තිබුණා ලොකු කතාවක්
පොර බදා පලක් වෙද තව තවත්
සුසුම් කුණාටුවේ හැපි හැපි
සෙනෙහසක් හිත හොවාගෙන
සඳත් බැස යයි ලොවට රහසින්

Photo credit: Javardh

කවිය බලන්න
අලුත් හඳ..

අලුත් හඳ..

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

රත් වෙන තුරු මහ පොළොවට
තිස්සෙම අවු සැර වැටුනට
හැංගුන ඉර ගෙන තුරුලට
ගොම්මන එන හැටි ගෙපැලට

කොච්චර ආවත් කරුවළ
හෙන්දිරික්ක නෑ කලබල
දම් පැහැ තවරා මල-මල
දැක්කද අයුරුව හැඩ කළ

තෙල් දැමුවද මැටි පහනට
මල් පැල ඇවිලෙයි කදිමට
එන්නෙම දැන් මගෙ මතකෙට
පන්සල් යන හැටි පොහොයට

පන් කොළ පැදුරත් ගෙනෙන්න
මන් ලඟ පිළ උඩ එලන්න
කන්දට එපිටින් උපන්න
එන්න අලුත් හඳ බලන්න

උතුරු කැළිෆෝනියාව

Photo credit : Luke Stackpoole

කවිය බලන්න
නවම් මස

නවම් මස

නයෝමි අමරසිංහ

පත් හළන තුරු අගිසි
හිස්වනම ලියලන
අත් හරින කණිසමක
සිත් තොසින පූදින
නිදහසේ සුළඟ විත්
රිසි ලෙසින් නහවන
නව නවම් මසක නුඹ
කවියකින් හමුවිණ

කවිය බලන්න
අහිංසක - ගුරුන් - අංඟුලිමාල

අහිංසක - ගුරුන් - අංඟුලිමාල

නයනශාන්ති දිසානායක

පාදනු පිණිස බොර කළල් දිය දන මන සොදිනි
මුණිතුම ගුරුව මඟ කියත දම් සභ මැද දැල්වීනි
වනවා ගුරුන් ගුණ සපිරි බෝසත් ගති නිමිති නිති
දෙසවා දහම් තුන් කල් සත සිත එකළු කරමිනි

සිප් කෙළ පැමිණි පරසිඳු මහ ගුරුන් වෙද
මද මාන කෙලෙස් පිරි මන දොසින් පිළුනු වෙද
දහම දැන සංසුන්ව සියොලඟින් නොදැමුනේ වෙද
මදයෙන් මත්ව ඔවුන් පාදත ලෝ විනාසයමද

අකුරු කෙරෙවූ කුමරු සොද වුන
දක්වා ශිල්ප පැමිණ ලැබ මුල් තැන
ගුරු පැහැදි මුත් වී මිතුරු විරසක
නොවුනි ඒ ගුරුන් තුල විචාරන මන

බිදවා පැහැබරවු අනාවක් 'අහිංසක'
මරවා 'අහිංසක' දනන් නිනවු නොම දැන
දක්වා කග ශිල්ප උගත් සිසු 'අහිංසක'
'අහිංසක' අගුල්මල් කලේ ඒ ගුරුවර

අග මුලට හේතු වූ කුමක් වේද කාරණා
විමසන්ට ඒ රජුට නොවේ සංවේදනා
රජු මැඩිය යුතුම වේ දනන් ගේ භීතිකා
මහා සේනා එක්ව සොයයි ඒ මාරයා

උතුම් මුණිදුන් සමවැදී හිද මහා කරුණා ධ්‍යානයේ
සසර පින දැක ඔහු ගේ ගුණ දැන එලි කරනු වස් සාසනේ
මඟට පිළි පන් ඔහු ගේ අභිමුව මහා පෙළහර පාමිනේ
දුර දුවන ඒ සසර ගිනි මත නිවා ඔහු සන්සුන් කලේ

ගුරුන් වෙද ඒ නොනිම් ගුණ මුසු එකළු කරවා ජීවිතේ
පහදමින් මඟ මුදා කටු ඉති මතින් එළි කොට මාවතේ
පියෙන් පිය පරපුරක උරුමය ඔප් නගා මතු රකිනුසේ
උතුම් ගුරුවර පා කමල් මල් පුදා බැති පෙම් වඩනුයේ

කවිය බලන්න
කියන් රෙබරෝසී.................

කියන් රෙබරෝසී.................

නදී ශානිකා මහනුවර

නුවර වැහි කෝඩයට
අහුවෙලා රිදුනාද
පෙති තැලී හැඬුවාද
කියන් රෙබරෝසී....

ප්‍රේම ගී වියැකී ද
බඹර සර ගොළුවුනෙ ද
වීදියේ තනිවුනි ද
නුඹත් රෙබරෝසී...

හන්තාන කිම නිහඬ
සන්තාන දුක උරුම
කඳුළු මහවැලියක්ද
අසන් රෙබරෝසී.....

හෙටත් හිරු පායන්න
තවත් මල් පුදින්න
සිනාවෙන් කඳුළු බිඳු
වසන් රෙබරෝසී....

ප්‍රේමයක හිස් බවින්
ජීව්තය අතැර නුඹ
බිම වැටී නොහඬන්න දේවී....

සත්තකට....,

ලස්සනම නුඹයි රෙබරෝසී.....

කවිය බලන්න
පරඬැල්

පරඬැල්

නිලුපුල් තුතිසෝම

විදසුන් වඩා සඳ බුදු වී පිරිනිවුණ
වලසුන් දෙදෙන හැරගිය අහසක තරුණ
දිලිසුම් ධූමකේතුව පපුවට අනින
සිහිසුන් කළ පසුය ඉහිනුයේ මල් තුහින

උඩුබැලි අතට හිදිමින් සයනෙක දිරණ
අඬු අග රටා පැටලෙන දැලකිය වියන
පඬු පැහැ විරාගෙක දල්වාගෙන නයන
දඬුවැල් බෑ පැණිය සඟවා ගමි යහන

ගණ කළුවරේ එල්ලී මී රස කරඔ
වන වවුලනේ කෙලෙසක ඔතරම් සරඹ
උණ පඳුරකට මුමුණා කවි ගී පොළඹ
පණ අදිනවා කදුරක් හොලවා සළඹ

වැහි පණිවුඩ රැගෙන මොරගාගෙන පියඹ
වැහි ළිහිණියෙකි හොයනා නැතිවුණ පියඹ
ඇහිපිය ගැහෙන කාලය පිට නැග වෙළඹ
ගැහි ගැහි තෙමුණ වැහි සිහිවෙනවා කොළඹ

ඇහැ පියවමියි ඒ අත මේ අත ඇවිද
වැහැරුණ බදාමෙට පිට හෙව්වමි නොනිද
පැහැබර ගමන් යන ලෙස උදයෙම ඇවිද
නැහැ පුඩු සිඹියි අල කිරි හොද්දක සුවඳ

මුඵ රෑ පුරා විඳිමින් අහසක ගැහැට
උඵ වහලයෙන් වැගිරෙයි තවමත් කහට
එළු මවකගේ ආදර ඇමතුම් බහට
තළු මරමින් උරයි කිරි පැටවකු රහට

දවටා චීත්තය අම්මා මල් ඇතිරෑ
රවටා ඉඟුරු සුවදීන් ඇල් දිය පුපුරු
තොල ගෑ විටෙක අහුවෙයි පෙරදින ඉතුරු
මොරගා පිළිස්සුණ වෙනිවැල් ගැට පතුරු

රැලි බුරුල් පාදනා ඇටිකුකුළු හඬට
ගොඵ බෙල්ලෙකිය ඇදෙන මර බයේ ඇදට
බුඵ ගහේ දිරාගිය අත්ත මත හොරට
සළු හොයා ගත් එකෙකි පිහාටුව සුදට

තිත් මැකුණු ගේ කුරුලු මුටිටියේ ගුලට
අත් දෙකෙන් පුරවලා පිදුරු නැටි හැඩට
අත්තිකාරම් බඳින කිරිල්ලකි හෙටට
පැත්තකින් ගැරඬි හැව නටයි තා ලෙකට

කවිය බලන්න
අසෙනිය මල

අසෙනිය මල

නිමල් අබේසිංහ කඳාන

විඳ විඳ සිටියදී ජීවිතයක මිහිරී
වැද වැද සුළන් නැලවෙයි කැකුලක් නාරී
මද මද හැරී මාගේ හදවත පීරී
බඳුවද කුසුම බැඳි පෙම නුබ අත නාරී

හොඳ හැටි බලා රිදවුණ සහ තැලුණ තැන.
පිළිසිඳ දැනගනී කොතනද බිඳුණ තැන
කෙබඳුද කොතරම්ද එහි ඇති පමණ මැන
සැරහුම් කළා මතකයි එදවසද ගැණ

බුහුටිව යනෙන ව්ට ගමනින් ඔබ මොබට
වපුරයි එළිය පුන් සඳ පායන ලෙසට
අත නොගැසුවත් ලෙලෙනා දෙනුවන් යුගට
සුවයක් දැනෙනවා විහිදෙන සිසිලසට

කතා ලතා හදවත ගැඹුරිණි එන්නේ
සිනා සීත ගඟුලේ දියබිඳු වැන්නේ
මනාලියකි අසෙනිය මල් පූදින්නේ
සිනා විඳපු අයමය ඒ ගැන දන්නේ.

කවිය බලන්න
කූඩුවක්

කූඩුවක්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

මගේ ගෙපැලේ පුංචි කුටියක
කුරුලු අම්මෙක් හඬනවා

උගේ කටහඬ අතීතෙට ගොස්
මගේ දරුවන් සොයනවා

කවිය බලන්න
රත නොරත........

රත නොරත........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

තිඹිරි ගෙයත් සුසානයත්
අතර ගලන දියෙකි දිවිය
සරල ඉරකි සමහරුන්ට
වෙනස් නොවී ඔහේ ගලන.

පිපෙන මලකි සුවඳ සදන
දිවිය විටෙක සිටින ලොවේ
එහෙත් එයම පිපෙන පරව
යන කුසුමක් විලෙස සිතේ.

හිනැහෙන තරු පාය දිලෙන
නිල් අහසකි දිවිය අපේ
එයම තවත් විටෙක සිතේ
ගෙවෙන එකම රැයක් ලෙසේ.

නුබ ගැබ දිලෙනා සඳ වත
සිහින රැසක් මවයි සිතේ
එයම දුලි වලින් පිරුණු
ලොවක් විලෙස නෙතට ගැටේ.

කවිය බලන්න
මා ශල්‍යාගාරය තුලට පිවිසුණෙමි …

මා ශල්‍යාගාරය තුලට පිවිසුණෙමි …

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

දාමරික පසු පෙළ සිටි සිසුවකු වුන මාහට
මුල් පාසැල් සමය කටුක අරගලයක් වුවද
ගැරහුම් නින්දා මැද ඉවසා දරා සිටිනු මිස
අන් කිසි විකල්පයක් එදා මා අත නොවින

බාල විය ඇරඹි ඇසුරකින් රැවටීමක හසුව
මහමගට ඇද වැටී උග්‍ර විශාදයෙන් බැට කෑ
මවක් සමග දිවි සටනට මුහුණ දීමට සිදු වූ
කුරිරු අතීතයකට එක් වරම මසිත දිව යයි

සරසවි ප්‍රථම වසර අතිශයෙන් අසීරු වුවද
නිසි අහරක්ද නොමැතිව ඉගැනුම් නිම කර
හිපොක්‍රටික් ආඥාවනට එකඟ වූ සැඳෑවේ
පැමිණෙන ලෙසට ඇයටත් ඇරයුම් කළෙමි

නූතන වෛද්‍ය විද්‍යාවටද අභියෝග දනවන
ව්‍යාධියක් ඇති සිඟිති මොළයක් දරු ගැබක
සීරුවෙන් විවර කළ යුතු මේ සියුම් සැත්කම
සාර්ථක වෙන්නට දේවාශිර්වාද අයැද සිටිමි

17.01.2025

කවිය බලන්න
කිපි  තෙපුල් බිනුයෙන  පෙම නොරිසි වී  සැඟවුන....

කිපි තෙපුල් බිනුයෙන පෙම නොරිසි වී සැඟවුන....

ප්‍රියංගිකා බටගොඩ

කිපි තෙපුල් බිනුයෙන පෙම නොරිසි වී සැඟවුන
කොපුල් තල කඳුලින සිහිව ලොවෙහි අවමන

සාර සංක කල්ප පුරා පෙරුමන් පිරු දස
ලෝල වඩන වදනක වැද ආවෙමි පසුපස
පාරවමින් අතහැරිදා මතකය ළය පිස
දෝර ගලන නෙතු නිම්නය තනිවෙමි නැත දොස

අලස ලැසි පියගෙන බඳ වැනෙන සොඳුරූ
දිගැස යස ගමනින කුස දරුය නොමෙරූ

බාල බොලඳ සිත රවටා හැඟුමන් සැන යැදු
කෝල බමර තුඩ පහසට රැකුමන් හැම පිදු
තාල ඉකිය රෙදි කච්චිය එලිපත මත රිදු
දෑල ඉවුරු දිය ගලතත් නොසැලෙයි මහ කඳු

පස් මහ බැලුම් අමතක රැයෙ පිරුවටයම හැකිලූ
අස් වැසුමක් නැත සවනත ඉනිවැට ලඟ මුකුලූ

උනන උනන නව හැඟුමක සිතුවිලි හද බැඳුනා
නිදන පියෙන පිල්ලම යට සිහිනෙකි සුව සඳනා
හමන පවන ගලා ඇවිත් පිය සුවඳකි ගෙනෙනා
නොයන ලෙසින පෙම් වුවනත මා මනසෙහි රඳනා

ඇස් දහසක රඟ උනුලේ කිරි බිඳුවට පෙරලූ
රැස් විහිදෙන තරු කුමරෙක් මව් ඇකයේ තුරුලූ

නිතියෙන් විඳ සනසා ලය පනසේ නුඹ රකිමී
දැහැමින් ලොව දිනනා හැටි පුතුනේ මුව කියමි
සඳකින් සඳ ගෙවෙනා කල දිවියේ රස බලමී
හිරුමෙන් ලොව දිලෙනා දින සුවසේ ඇස පියමී

කවිය බලන්න
ආදරෙයි කියන්න

ආදරෙයි කියන්න

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

හීන් සුළඟේ පිය මනින්න
ආදරෙයි කියන්න
හීන් සුළඟේ පිය මනින්න
ආදරෙයි කියන්න...

පිනි බිඳුවක්ම වෙන්න
ගහ කොළ මල් සිඹින්න
තරු පොකුරක්ම වෙන්න
නිල් අහසම සරසන්න
බබළන්න
හිත පිරෙන්න...

ගං දියේ ඔබ නටන්න
සියපතේ සුවඳ විඳින්න
බිඟු ගී වැල් අසන්න
නැලවෙන්න
හිත පිරෙන්න...

හීන් සුළඟේ
පිය මනින්න
ආදරෙයි කියන්න...

ආලංකුඩාව
2025/01/25

Photo credit ; Saksham Gangwar

කවිය බලන්න
සුන්දර වීමේ රහස

සුන්දර වීමේ රහස

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

නෙත් පිනවා ලන සොඳුරු මලක් සේ
සිත සනසා ලන සඳ කුමරිය සේ
දුටු අයගේ සිත් වසඟ කරන සේ
ලාලිත සොඳුරියො ඇත සිය දහසේ

සොඳුරු බවින් පිරි සාල රුකක් සේ
තේජස පැතිරුණු හිරු කුමරා සේ
දුටු දුටු සැමටම ප්‍රිය උපදන සේ
පියකරු තරුණයො ඇත හැම දේසේ

ඉසිකෝ මන් දුර හැර හැම දවසේ
කරුණා මෙත් ගුණ පුරවා මනසේ
සතුටෙන් විසුවොත් ඔබ රිසි රිසි සේ
එයයි සොඳුරු බව ගෙන දෙන රහසේ

කවිය බලන්න
මැටිල්ඩා ගීතය  හෙවත් රිච්මන් කාසල් වලප

මැටිල්ඩා ගීතය හෙවත් රිච්මන් කාසල් වලප

රුවන් ඩී අළුබෝමුල්ලගේ

ප්‍රේමයේ මනරම්
නෑඳිනිමි ඔබගෙන්
ගඟ ගලා යන්නේ නම්
නවතම්ද මා කෙළෙසින්

කළු ගඟට තේරෙන් නෑ
මේ මැදුරෙ ඇස් කන් නෑ
අසංවේදියි ඔබේ ප්‍රේමය
රිදුම් දැනවුම් නෑ

ධන බලය නිළතල සංගතයි
අසංගත ආදරයමයි
මට යන්න හිමියනි අවසරයි
මේ මැදුරෙ සැප අපුලයි දුකයි

රුවන් ඩී
අළුබෝමුල්ලගේ

කවිය බලන්න
සිතුවිලි ඉබාගාතෙ ඇවිදිනව නොදැනීම

සිතුවිලි ඉබාගාතෙ ඇවිදිනව නොදැනීම

රේණුකා ගුණසේකර

රෑ කුරුල්ලො එකා දෙන්න හෙමි හෙමිහිට
උන්ගෙ ලෝකෙ සරන්නට එළි බහිනව
අත්තටු සලන හඬ සවනත වැකෙනව
උන්ගෙ ලෝකෙත් ඉතිං ලස්සන රෑට විතරමයි

ශ්වේත තුෂර බිංදු එක දෙක වැටෙනව
අහසෙ ඈතින් සඳවතියහ් එබිල බලනව
තරු කැට එක දෙක නිවි නිවී දිලිහෙනව
වළාකුලු නම් තාමත් ආකහේ ඉබාගාතෙමයි

හීන් මදනලක් රස්තියාදුවෙ යන ගමන්
රෑ මනමාලි සේපාලිකා කුමුදු මල් සිඹිනව
දැන් ඇහැරෙන්න කියල රහසෙ මුමුණනව
බමන බඹරු ඇදෙන්නෙත් ඔය මදනල එක්කමයි

සිතුවිලි ඉබාගාතෙ ඇවිදිනව නොදැනිම
තනි රකින්න වගේ මාවවුලෙක් තටු සලනව
තනිය දැනුණත් මං සිතේ දොරගුළු වහගන්නව මට දැනෙන්නෙ ඉතිං ඔයාගෙ ආදරේ විතරමයි

කවිය බලන්න
ප්‍රේමවන්තයා ද කවියා ද ඔබමය!!!!

ප්‍රේමවන්තයා ද කවියා ද ඔබමය!!!!

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

හැමදාමත් වගේ
මේ දැනුත්... තවමත්
හිතා ගනු බැරිව
වික්ෂිප්ත ව සසැලි සසැලී
ප්‍රේමයේ මහෝඝය මැද
දෙනෙත් පියා හදවතින් පිරිමැද
උන්මාදයක මුවවිට ඇති සිත.
තනිව සිනාසෙන..
විටෙක සුසුම් ලන
නැවත මොනවදෝ මුමුණන
උන්මත්තකය!

සිහින සිලිලාරයක යාත්‍රා කොට
දුටු විලාසෙන් පහන් ටැඹ
ගැහි ගැහී මුත් අකම්පිතව
ලං ලංව දකිනා තෙක්
සදා පැතූ රුව.
මොහොතකට නිවා ගිනි පුලිඟුව
නොනැවතී අළු යට ඇවිලෙන.

හේඩෑරි වී ගිය තුරු මත පවා
කලාතුරකින් පිපී සැලෙනා
වසන්තයේ මල් දැක
මුවින් නොව හදවතින් සිනාසී
සැනසුම් සුසුමන් පා කර හරින
ප්‍රේමවන්තය!!

කිසිවෙක් කිසිදාක නොදුටුව
මනඃකල්පිත ඉසව් වල
නොකඩවා සැරි සරමින්
ප්‍රේමයේ විප්පයෝගය ද
නුරා අනුරාව ද
පදම් කොට සැඟවූ
රන්සුනු බිඳක් සොයා සැරිසරන..

ජීවිතය කවියක් කොට
කියාගන්නට බැරිව ලතවෙන හැඟුම්
වදන් කොට විසුල
කවිය!!!

ඉදින්....
ඒ උන්මත්තකයා ද
ප්‍රේමවන්තයා ද
කවියා ද ඔබමය!!!!

කවිය බලන්න
ඇහරෙන්න ඉතින්

ඇහරෙන්න ඉතින්

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ඇහරෙන්න ඉතින්
දැන්වත්
ගොඩගන්න
ශ්‍රී ලංකා
වැටුණු අපේ රට
යළි ඔසවන්නට
කැපවෙමු හැරදා
වාද භේද සැම
අදිටන් කරගමු
ස්වර්ග රාජ්‍යය
යළි බිහි කරලා
නිදහස් දිනයේ
එකමිට එකවිට
එක්වී ජයගමු
ශෝභමාන ශ්‍රී ලංකා

කවිය බලන්න
පැය මිනිත්තු

පැය මිනිත්තු

රංජිත් ද සිල්වා නවසීලන්තය

ජීවිතය ගලා යන්නෙම
තත්පරයෙන් තත්පරය
කියලා කියද්දී වුනත්
අමතක වෙන දෙයක් තියෙනවා

ටික් ටික් ගාමින් වේගෙන්
එක රවුමක් ගිහින් තමයි එයා
මිනිත්තු කටුව
චුට්ටක් හොලවන්නේ

අලසකමින් එයත් රවුමක් යනවා
ඒ ගිහිල්ලා
පැය කටුවට පුංචි තල්ලුවක් දානවා

තත්පර කටුව හත්සිය විසි වාරයක්
හතිදා ගෙන දුවල දුවල රවුමේ ගිහින් තල්ලු කරල
ඕනවට එපාවට වගේ පැය කටුවත් රවුමක යනවා
ඒ වුනාට කාටත් හොඳ හැටි පෙනෙන්නේ
පැය මිනිත්තු කටු දෙකමයි

29 ජනවාරී 2025

කවිය බලන්න
සඳ රැය

සඳ රැය

සුමිත්‍රා ආරියවංශ මහනුවර

මනහාර රැයේ සඳ පීදෙනා
දනවනා සුව බෑ වචනෙන් කියා
මන ලෝල හැඟුම් හද නංවමින්
රැලි නගයි සඳ සේළය විල්දියේ

දෙසවන් පිනවයි බිඟු වෘන්දනා
පබසරා ළඟ නෑසෙණ ගායනා
කඩුපුල් සැරසී සුදු සේළයෙන්
වනඟනන් වරළේ හැඩ ගැන්වෙණා

මිහිලොල් විල අද්දර රංගනේ
මනමතින් සැනසෙන්නෙම මී උරා
කුමුදුත් කොඳ රන් රසු දැල් සළා
සඳ දියේ පිහිනා රසවත් වුණා

මඳහාස දිදී මුතු වස්සනා
කුමුදුනී සඳ රෑටම ලස්සනයි
මුදු රේණු නටා කියනා රහස්
සුර ළඳුන් ඇසුවත් වැටහෙන්නෙ නෑ....

දිගන

Photo credit; Niklas Priddat

කවිය බලන්න
සමුගෙන යන්න දැන් ඉතින්!

සමුගෙන යන්න දැන් ඉතින්!

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

පිනි වට රෝස මල් කැකුළු - ලස්සන වුණත් සුදු දුවේ
නුඹේ ඔය රෝස දෙකොපුලට - කඳුළත් බර වැඩියි දුවේ
පෙම්බර කුමරු අත අරන් - රැජිණිය වන්න ඒ ලොවේ
යන සුභ නැකත දැන් ලඟයි - සතුටින් යන්න මගෙ දුවේ

දෝතින් රැගෙන ආ දිනේ - නුඹ මගෙ ලයට ලංකරන්
තනියට නැවතුණා ලඟින්- සිරිකත පැමිණ දෙව් ලොවින්
කිරිකළ හත පෙවී නොමින් - ඉසදිය ගලා දෙපතුලින්
පබවත විළිවැදී ගියා - දෙවඟන සදිසි නුඹ රුවින්

නව නෑසියන් සෙනෙහසින් - කැන්දන් යාවි නුඹ අපෙන්
කිරිකඩ සේල හිස තියන් - අම්මා හිඳී මා ලඟින්
පතිකුල සිරිත රැක නිතින් - නිවසනු පතිනි මව් බෙලෙන්
මගෙ ගෙළ පැළඳි අත් මුදා - සමුගෙන යන්න දැන් ඉතින්

කවිය බලන්න
ඔබ එන්න

ඔබ එන්න

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

මා තැනූ හැඩතලය මත
පහසුවෙන් හිද
හුදෙකලා වියපත් සිත
රැගෙන දෝතින් තුරුළට
මගේ හිස් බව නැසුමට
කවි ලියයි නුඹ මට

නුඹේ පදරුත්
විමසමි එකින් එක
තෝරා ගම් ඉන්
මට හිමි තැන

දොර කවුළු හැර තබමි
ඔබ එන්න
කවි පොත ද ගී පොත ද
සියලු දේ රැගෙන

නැවත ඔබ යද්දී
අමතක නොකර
මවිගුණ එකින් එක පසක් කොට
ලියූ කවියක් පමණක්ම
මට දී යන්න

පැණිහෙල වේවැල්දෙනිය

කවිය බලන්න
එක අම්මෙක් හොඳටම මදි

එක අම්මෙක් හොඳටම මදි

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

බදාගෙන වගේ හිත සිරකර සිටින
සදාතන තනිය ඒ ලෙසමය දැනෙන
සදා සොඳුරු මතකය ඔබ හා ගෙවුණ
එදා වගේ තාමත් එහෙමයි මවුන

කඳුළුය දෑස් වල නිරතුරුවම පෙඟෙන
අඳුරුය සෑමතැන සතුටක් නෑ පෙනෙන
කඳු හෙල් මැදින් යන රුදු ජීවිත ගමන
සොඳුරුම රුව ඔබයි නිති හද පිරිමදින

අප කැණිමඬල යට වූ පීඩන හෙයින
බැරිවුණි ඇතැම් දා සනසන්නට පෙමින
පරවුණි හිතා ගන්නටවත් බැරි ලෙසින
කිම තනි මවක් පමණක් හිමිවෙන කරුණ

කවිය බලන්න
සුළුමවු බිම

සුළුමවු බිම

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

“කොහෝ කොහෝ” කියා, කෝ කෝ කොහේදැයි, කොහේදැයි අහඅහා හොයා

කොහෝ, ඔය කොහාට ද නුඹ ආයෙ ආයෙ ම එන්නේ ගී රාව නඟනඟා?

බොහෝ ඈත කාලෙක බහා ලූ මතක බිජු කොටා පුපුරවා පලා

සහෝදර උණුහුමේ වෙළුණු පැටි දවස මවා ගත්තෙහි ද, කඩතුරා ඉරා?

මහෝගනි වූවාට පිහිඹියාවක් සදිසි කේඬෑරි වූ රුකක් මත කුඩා

එහේ මෙහේ තැන තැනින් ගෙනා දිරූ උල් කෝටු රවුමට පටලවා ඔබා

ඔහේ ඕනෑවට එපාවට තනා තිබූ තොටිල්ල ඇඳුණේද, හිත වටා?

කහා, කහකහා පාරා ගන්නේ කිම ද, කටු ඉපල් ළය ඇනී දුන් රුදා?

වහා පැන එලවා උරග, විහඟ රුපුන්, “කා කා” කියා කෑකෝ ගහගහා

පිහා දී රස කෑම කනුකුනු නොගා, කුණු කඳු පීරපීරා ගෙනා

ලිහා හෙමිහිට බැඳුම් හුය, අඳුරු දිනයෙක පලවා ලූ නමුදු කොටකොටා

අහෝ මවු නොමැති සඳ කුඩම්මා වූ ඇය පෑ සෙනේ කටුගෑ හැකිද, මකා?

රැහේ එකියක සහේට ගෙන සීතල රටේ පියා හැඹුවද තටු සලා

පැහේ දෝ, හදවතේ කොණක උපත, වතගොත අක්මුල් ගොජ දමදමා?

ඇහේ රත! මහමෙර බරට තැවුණි ද, රහමෙර බරට පෙවුණි ද, උදේ හවා?

වැහේ ද මිහිරි කොහෝ නදින්, හිත රැඳි කටුක කාක් කාක් අතීත කතා?................

කවිය බලන්න
වෙන්ව යෑම

වෙන්ව යෑම

සුමනසීල ද සිල්වා එංගලන්තය

තරුවැල් විසිරුණ හැන්දෑවේ
සීතල දුරුතු මහේ
තණඅග පිපි පිණි බිඳුවක්
හෙන ඔබ කොපුලත රඳවා
හැරගිය බව තවම දැනෙයි

අහස ගුගුරා
සඳවතද සැඟවුණි
කිරලා ගං ඉවුරේ හඬ නැගුවෙද
සක්වාලිහිණිය ඉවුර දෙපස හැඩුවද
පාලු මූසල අඳුරු රැයක
ඔබ ද මා හැර ගිය බව
හදවතර දැනුණේ
නුඹේ සුවඳ ද
මාරුතයට එක්වුණු විටය

එදා මෙදා තුර කාව්‍ය සංග්‍රහයෙන් @2024

කවිය බලන්න
මකන්නට හදන තැන්

මකන්නට හදන තැන්

ශර්මිලා බන්දුනි දන්වත්ත

තවමත් මල් මහනවද
ඉඳහිට සිතුවමක් අඳිනවද
ඒ සිතුවමට යටින්
පද පෙළක් ලියනවද

මුළුතැන්ගෙය දෙසින්
දැනේ තුනපහ සුවඳක්
ඔයත් උයනවා ඇති
දෙදෙනෙකුට විතරක්
දුව තවම අඬනවද
කන්න බැහැ කියමින්
එතකොට කියනවද
කතාවක් ගොතමින්

එක හිතින් බෙදාගත්
බොහෝ දේ තිබුණත්
මගහැරුණු තැන්
නැතිවාම නොවුණත්
මගේ හිත හෙව්වෙ
ඔයා ළඟ නැති යමක්
බැඳීමක් බිඳෙන්නට
නැතිව බැරි හේතුවක්

ඔයාගෙන් වුණු අඩුව
මම තවම හොයනවා
ඈතින් ඉන්නකොට
වැඩිය මට දැනෙනවා
මකන්නට හදන තැන්
තව තදින් ඇඳෙනවා
මම හොඳින්......
හොඳින් යැයි හිතනවා

කවිය බලන්න
මනමාලි

මනමාලි

සුනීශා සෂී සමරවීර

සුදු මල් ලස්සන සාරිය ඇඳලා
මල් ගහලා කොණ්ඩය හැඩ කරලා
කරවට දිලිසෙන මාලය බැඳලා
පොඩි නැන්දා මනමාලි වෙලා

එල්ලෙන පැද්දෙන තෝඩු දමාලා
රන් වන් වළලුය අත් සරසාලා
ඉනවට හවඩිය යන පැද්දීලා
පොඩි නැන්දා මනමාලි වෙලා

ලස්සන මූනේ සායම් ගාලා
තව තව ලස්සන වී හැඩවීලා
සුවඳැති මල් පොකුරක් අත තබලා
පොඩි නැන්දා මනමාලි වෙලා

තාලෙට කොමලෙට අඩිය තබාලා
හෙමිහිට හැඩයට පියවර මැනලා
හරියට නැකතට පෝරුවෙ නැඟලා
පොඩි නැන්දා මනමාලි වෙලා

පුංචි අපිට කවි සින්දු

කවිය බලන්න
මට හිමි උරුමය ..........

මට හිමි උරුමය ..........

සුනිල් මෙන්ඩිස් මීගමුව

දුටුව දෙයක්

කීවා මුමුනා

වචන වලින් හදට

සිනහ සීලා

ඒත් .......

ඇරඹුණා සටන

වැරදි කිය කිය

පාරවමින් හදවත

දවසම අඳුරු කල

දෙමින් කඳුළු වැහි

දරන්නට බැරී තරම්

මගේ

හදවතට .......

ඒ ඇ⁣යගේ

සුපුරුදු ගතිය

පෙන්නුවා අදත්

රිදවමින් සිතම

කියා දෙමින්

උරුමය

මට හිමි

කඳුළ....

කවිය බලන්න
පොල්කිච්චා

පොල්කිච්චා

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

පියාඹාගෙන යද්දි
අලුත් අහසක් යටින්
වැහි කූරු අනිනවා
ඉස රිදෙන්නට තදින්

පියාපත් සලා විත්
කොහේදෝ සිට ඇවිත්
රිදුම් සනසාලුවා
තදින් පිරිමැද සෙමින්

කුදු වු පොල්කිච්චෙක්ව
අතු අගිස්සේ සිටන්
වැහිදාක හැඟුම්බර
කඳුළු කවි ලියු වෙලේ
සඳේ හාවෙක් ඇවිත්
කැරට් අලයක් ලෙසා
කා දමා තූ තූ කලේ
එ කව්

තෙරක් නොපෙනෙන ගගන
මුහුදුබත්වන තැනදි
චණ්ඩ මාරුතය වී
කනෙන් අල්ලා දමා
පස්සට දෙකක් දී
වෙරළට ම'විසි කළේ

ඉඳහිටක හරි පැමිණ
නුඹේ කූඩුව දොරට
කරච්චල කියවිල්ල
නොදා කොහොමද සබඳ

අලුත හමුවුණු පණු පැටව් ගැන
මඟදි හමු උනු අලි කකුල් ගැන
එකට ගැටෙනා හරක් අං ගැන
පිනුම් ගහනා හා පැටව් ගැන
පන්සලේ ඝණ්ටාරෙ හඬ ගැන
ඉසට රිද්දන වැහි කූරු ගැන
මතක් කරලා නුඹත් එක්කම
ඔහේ වරුවක් ගෙවාලන එක
තමයි මාගේ පරම යුතුකම
මගේ පියපත් දිගේ තරමට

කරදරකාර පොල්කිච්චා
බිත්ති හතරකින් කොටු වූ
අහසක් යට සිට

කවිය බලන්න
ලැබී හැත්තෑ හත්    වසක්.......

ලැබී හැත්තෑ හත් වසක්.......

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අබිමනින් එකතුව රටක්
බැදී සමගිව දිගු කලක්
අදිරදුන් දුන් නිදහසක්
ලැබී හැත්තෑ හත් වසක්
---
උඩින් පැන පැන මළ මිනී
හලා ලේ ගංගා වැනී
නොගත් නිදහස මුතු මිණී
ලෙසින් දිගටම පැවතුනී
-
සිර ගෙවල් වල රැදී
අයත් සිටි මුත් රොද බැදී
ජාතියට රුහිරය පිදී
යුගය සිහිකළ යුතුයැ දෑ ලැදී
---
අතැර ආගම් බේද පන්තී
ව්සිර සිටියෝ වෙලා ශක්තී
එකතුවූ අදිටනින් භක්තී
ලැබුණි නිදහස් සටනෙ මුක්තී
--
තේ රබර් පොල් පල ලැබූ
රටක සාරය ගෙන බිවූ
ඉංගි - රීසී ජාතිවූ
නොදී බැරි.නිදහසකි පෙන්වූ
--
එදා ලත් නිදහස නිසා
දේශයක් සැනසුනි තොසා
එළිය වුණමුත් සිවු දිසා
ලැබුණු බල දුනි ගැට ගසා
-----
මරණ දඩුවම දෙන්නටත්
අවසරය ලැබ ගැනුමටත්
බලය හිමි රජ පවුලටත්
ඇතිවැ නිදහස ලෑබුණි තෙදවත්
---
රේල්ලුව යන මඟ
සත්‍ය මුත් පෙර සැදු වග
රටේ දෑ අරගෙන හුග
ගියේ ඔහුනය කාලයක් දිග
--
ඇත්තටම මෙය කිවයුතු
ලැබුණ සද නිදහස පැතු
ණයක් නැති රටකට සතු
රටකි ලැබුණේ අපට බලගතු
---
අඩු පාඩු හින්දා
ව්සිරි දූෂණ හන්දා
ණය පවුරු බන්දා
විදී අද ජාතියම නින්දා
---
හරි මඟට ගන්නට
වෙර දරන්නන් හට
සවිය දී සැමවිට
රටේ නිදහස වඩමු අද සිට

2/1/2025

කවිය බලන්න
මුණුපුරාගේ පැතුම

මුණුපුරාගේ පැතුම

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

වරා මල් පාවෙලා අපේ ගමටත් යන්න
විහඟුනේ තුඩින් ඒ වරා මල් අහුලන්න
ගම්මැද්දෙ හුදකලා මහ ගෙදර ඇති,යන්න
අත්තම්මා හමුවෙලා ඇයට ඒ මල් දෙන්න

ඇගේ මසවුළු රසයි නුඹට දෙයි, පිළිගන්න
රස කතාවක් කියයි, කන ගමන් අහගන්න
හිස සිඹින විට නුඹේ වැළඳගෙන, විඳගන්න
ආදරේ බලාපන්, කෙනෙක් නෑ සසඳන්න

වගතුගත් අසයි ඈ, මගේ දුක නොකියන්න
මා නොමැති අඩුව නම් නුඹට බෑ පුරවන්න
ඇගේ මුදු වදන් ළඟ හිතුනොතින් නවතින්න
විහඟුනේ නැවතියන්, එපා පිටගම් යන්න

කවිය බලන්න
A Tale of two loves

A Tale of two loves

ශෝන් දිසානායක

Here is a tale of two lover maybe it’s not true love but it’s love never the less.
When both parties know this love is forbidden..
A foreboding feeling looms.. but when doom hangs over.. the significant other swoops in and saves the day..
One has already committed to another relationship..
The other wants that relationship..
The two forbidden lovers are close..
But that love is forbidden due to unseen forces pulling each other apart even though they are drawn together like magnetics..
The forbidden lovers bring the best out of each other when they are in each others company..
He will always catch her when she falls and in turn she will catch him when he slips..
This tale of two lovers is like the tale of Romeo and Juliet..
Both have a dark murky past..
But when they are both together their light shines so bright because he loves to see the smile that rests upon her face his favourite curve..
An she loves to be around his presence because she feels good around him..
But never the less this a tale of two lovers who are forbidden to be lovers or even friends.
But he is destined to be for ever alone to walk into the abyss alone and cold ..
And she was never meant to be is love and that’s the saddest part of this tale...

Photo credit; Mayur Gala

කවිය බලන්න
විරාගී

විරාගී

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

බලා ඇස් කොනින්
ගසා හිස සැනින්
මුදා කෙස් අගින්
සිනා පා හසින්

නගා පා සෙමින්
යතී නැළැවෙමින්
උනා සළු ගතින්
ඇදී යන ලෙසින්

සිඳී රාගයෙන්
මිදී පසිඳුරන්
ලැදී නැති දසුන්
හිඳී නිදි සෙයින්

කවිය බලන්න
කොට්ට සහ මෙට්ට

කොට්ට සහ මෙට්ට

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

මෙට්ට තිබූ පමනින් සිරි යහන් පිරී
කොට්ට නැතිව සුවසේ සැතපෙනා බැරි
කොට්ට පුළුන් ගෙඩි අතු ඉති පුරා පිරි
නැට්ට වෙර දරයි උසුලා ගනුව බැරි

ගෙඩි මෝරා විටකදි පොලවට වැටෙති
කට කෙල උනා අගනෝ ගහ යට රකිති
කඩි ගා, හැදුන සමහරු කෙක්කෙන් අනිති
තොට හොදනම් මොකෝ ගහ නිහඬව සිටිති.

මැදින් පැලි විටකදි ඉගි බිගි පාන
පුළුන් සුදුයි කළු ඇට පිටතට නේන
රුවින් මල් උරය සුව සිහිනම පේන
අතින් කොට්ට හැදුවා වැය බර නේන

ගුදිරිය ගෝනි කුසතුල කොහුවලින් පිරී
ඉතිරිය මහන මැසිමයි වෙර වඩා දිරි
කවරය කුකුල් සායම හරි කෙලින් ඉරි
දහිරිය අකුරු දස දහසින් කියනු බැරි

ඇදන් පොලු වලට තැන තැන කට්ට වැටි
නිදන්නේ කෙලෙස මෙට්ටේ තරම දිටී
කටින් යුධවදී සමනා සමග ගැටි
අරන් සියෙස්ටා , මිනිමතු කමුද රොටී.

කලක් ගෙවී කොට්ටෙයි මෙට්ටෙයි දෙකම
මෙලෙක් නැතැයි සිත්වේ අටලෝ දහම
දොලක් ඉපිද සුරසැප විදිනට බොහොම
දිනක් වන්දනා කඩ පිල්වල කරුම

කොට්ට මෙට්ට හැකිලි කල් ගිය කලට
දොට්ට දමයි අළුයම කෙල පිඩ ලෙසට
ලට්ට ලොට්ට කල් ගොස් වැටුනා වලට
මිස්ට මිසිස්ලා පින් කම් කර කුමට.

අළුත් රබර් මෙට්ටෙට ගැලපෙන තරම
සොයත් සුපිරි කොට්ටම වැයවෙන බොහොම
ගෙනත් ඇඳේ වැතිරි සොයනා සුවම
නටත් කකුළු ගිනි මොලවා නෑ තවම.

කොට්ට ගසේ පිපිරි ගෙඩි වැටෙන්නේ
මොට්ට ලඳුන් නෑ ඒ දෙස බලන්නේ
දොට්ට නොබැස ගේ ඇතුලෙම දපන්නේ
අට්ට කතා පෙල, කාවුන් දෙසන්නේ.

අරටු නොමැති කමකට නැති කොට්ට ගස
මොරටු යවනු බෑ ගසටම නගයි දොස
ඇහැටු දෙවිවරුන් රහසේ ගසින් බැස
මට්ටු කරයිදෝ උන්ගේ පොට්ට ඇස.

ඔට්ටු තියයි ගහ සුළගට වැටෙයි කියා
රට්ටු අනා පවසති උපදමින් බියා
මොට්ට පොරෝ ගලගා මුවහතුත් තියා
දුස්ට යකෙක් දවසක් ගහ මුලට ගියා.

කවිය බලන්න
‘නීමො’

‘නීමො’

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

මූද අද්දර මාලු ටැංකියෙ
ගෝල්ඩ් ෆිශ්
බැබලි බැබලී පිහිනතී
පනපිටිං ආතල් කකුල්‍රවෝ
හරහටම
වෙරලේ සරති රතී
ඕඩියන්ස් කට්ටිය කට
ඇරගෙනම
කෙටි කතා ගොතමින් එතී
පත්තරේ විස්තර ලොකුවටම
හයිලයිට් නම්
“ගෝල්ඩ් ෆිෂ් ලඟ ‘නීමො’”ගේ නිතී

ප්‍රශ්න ඇත්නම් මිනිස්සුන්මයි ඒක මහලොකු දොඹ නොවෙයි
ඒව විසඳන විදිය විතරයි ඒ අයට එහෙමම ආවේනිකයි
ප්‍රශ්න ඇති අය දතයුතුම දේ නම් ප්‍රශ්නය තමා සතු බවයි
වෙන කිසිම කවුරුත් ලඟම වුන් පලිනැහැ තම මට්ටම තම්මැට්ටමම තමයි

29/01/25

කවිය බලන්න
නිවී නිවනට වඩින්න....

නිවී නිවනට වඩින්න....

සුධර්මා වීරක්කොඩි

බලා ඉමි මම එනතුරා ඔබ
කිරිසුවද ලග හිදින්න...
නිමාවෙන තුරු සසර ගනුදෙනු
මගේ පුතු හට කියන්න...
ළගා වෙනතුරු අමා දම් බිද
නිවන සුවදයි දැනෙන්න..
නුඹේ රාහුල මගෙන් අරගන
මගෙ මගත් මග හරින්න...

අමා තුරු හිස සුවද මල්ඵල
මෙත් අමා ගග ගලන්න
පිරිත් පදයක උවටැනක් වී
සබාගැබ සැරිසරන්න..
දෙව්දතුන් ලග දහම් පදයක
නිවනඇති බව කියන්න
අසීරුම කමටහන් අරගෙන
නිවන නිවෙනට පිපෙන්න
වැඩී මග ඵල නැසී අවඵල
දහම තුළ හිත ගැටෙන්න
ධවල සටනක චයිතසිකයන්
මුදාහළ සිත නිවන්න
මහාසටනක සිතත් සමබර
දහම් යුදයක ව්‍ර්ලෙන්න
නිවන නිවනින් පසක් වෙන බව
පාරමී මැද පිරෙන්න...

ලන්ඩනයේ දී

කවිය බලන්න
සුබ සිහින වඩා හිඳුවමි.

සුබ සිහින වඩා හිඳුවමි.

තේජා රාජපක්ෂ ෂිආන් චීනය

සඳ සිල දල්වන්න
අමතක වූ රැයක
මහා තුරු මුදුන් අග වැ ලපෙනා
තාරකා මල් වල
ඔබේ දෙනුවන් සොයමි

සුසුම් නල ගතු කියා විත්
මා වටා කොඳුරත්දි
ඔබේ හඬ අසන්නට
මුනිවතම රකිමි

මල් කිසිවක්ම නො තබමින්
දැවී ගය තඹරු විල මත
කොඳ මලක් හෝ පුබුදා
ඔබ සිනා නගතැ යි
දකින්නට නො නිදා ම ඉමි

එනමුදු
රැය අහවර වන්නට
ඔන්න මෙන්නව තිබියදී
සඳ කැඳවමින් පෙරමග
කුරුටු ගෑ කවක් මත
ඔබවම දකිමි
සුබ සිහින වඩා හිඳුවමි.

ෂිආන්, චීනය

කවිය බලන්න
පෙම්බර සිත්තරාගෙන්...

පෙම්බර සිත්තරාගෙන්...

උදයංගනී විජේරත්න

වාසලෙන් අණ නුඹට ආදා
පපුව මගෙ සත්කඩට පැළුණා
ආදරෙන් රැක ගත්ත පණ ටික
රැගෙන යන බව කියා තිබුනා
කෑදරෙන් රජු නෙතු හඹද්දී
කඳුළු සයුරක් කඩා වැටුනා
ජීවිතෙන් උදුරලා හනිකට
රාජ සළුපිළි පවා එතුණා....

මටම ලිහනට නුඹේ සළුපිළි
රාජ අණසක ගිඟුම් දුන්දා
ගතම පණනැති වෙලා යන හැටි අනේ අසරණ කමට වින්දා
අදම රූ සපු ගලේ ඔපලා
හැඩ කරන්නට කීව හින්දා
සඳම අහසින් මියැදුණා රැය
අමාවක හදවතේ රන්දා...

නෙතින් සඟවපු රුව අඳින්නට
දිරිය ගන්නට නොහැකි හින්දා
රනින් සළුපොට ඉණෙන් පහළට
දවටලා රහසේම බන්දා
මතින් මත් වූ රජුද අහවර
කරපු සිතුවම රටා වින්දා
ඉතින් කඳුලැළි කරපු සරදම්
මගේ රන් කඳ ගලක රන්දා...

නිමක් නොමැතිව ආව ගිය උන්
තවත් රසකර රටා මැව්වා
හිතක් කෙලෙසක වාව ගන්නද
අතර මංවී ඔහේ දිව්වා
විඩක් කඳුලට ගලන්නට දී
තනිව පිළිතුරු පවා හෙව්වා
බිඳක් ඉවසන් ඉඳින් රන්කඳ
රාජ අණ දස අතේ රැව්වා...

ගලේවෙල

කවිය බලන්න
කරුණාව

කරුණාව

විමුත් ද සිල්වා

අත්වාරුවක් නැතිමුත්
සුන්දරය හිමය
ඈතින් පෙනෙන මළුවට
දුර නැහැ කියයි යන අය

පෙර මෙන්ම අදත්
අනුන් බර කරට අරගෙන
පාරමී පුරනවා අත්වැට
හංගමින් කිරි කිරි හඬ

ඉහළ යන හැම පියවරට ම
රිදුම් දෙන කොන්දට
මීදුමත් කැටි කරන්
පත්තු බඳිනවා සීතල

ඉර සේවය අහවරව
ගෙවෙද්දී හොරා කිහිපයක්
ඉහළ ගියවුන් එකා දෙන්නා
නැවත ආපසු එත

හංගගෙන සුසුමක්

හිතේ නොපෙනෙන කොනක
හැරෙමි තනිකර, මෙතෙක් තනි රැකි
හෙලෙන් පහළට පනින කළු ගඟ

කවිය බලන්න
ජීවිතයේ පාඩම…

ජීවිතයේ පාඩම…

විමාලි තිලකරත්න

ඕනවට වැඩි කළ උදව් ඇත්තට
කලක් යද්දී අමතකම වෙනවා …
ඕනවට වැඩි පැසසුමද
කලක් යද්දි හෙනයක්ම වෙනවා …..
ඕනවට වැඩි සෙනෙහෙ කාගෙත්
කලක් යද්දි බියකරුම වෙනවා ….
ඕනවට වැඩියෙන් කළ හොඳ
කලක් යද්දි අගයක් නැතිව යනවා ……
එකම කෑමම වැඩිය කෑවොත්
කලක් යද්දි එපාම වෙනවා ……
හිත හොඳ යැයි සිතා සිටි උන්
නොහිතනා කරදර සිදු කොටම යනවා …..
එවන් හමුවන් ජීවිතයට පාඩම්
දැනෙන ලෙසටම කියා දෙනවා …….
ජීවිතය තුළ පාඩම් ඉගෙනගන්නට
හැමෝටම කාලයක් එනවා………

Photo Credit Jill Heyer

කවිය බලන්න
කැටයම...

කැටයම...

වසන්තා ගමගේ රත්නපුර

යකඩ කුළු පහරේ
වැදුන අකුණු සරය
පිළිගතිමි
සාද⁣රයෙන් ...
නොසෙල්වී හිඳ
උල්කටුවම..
බදාගත්තෙමි

"මගේ රන් කැටයම"
කියා මා සිප ගත්
ඔහු දැක
නන් විසිතුරු මැව්වෙමි
සිනා සී ...
ඉඩ හලෙමි
මගේ සියුම් තැන් සොයමින්
රිදුම් දී
නිමවන්නට...

සන්සිඳුනාද බෝ
ඔහුගේ අවැසි ආසා...
නොදත්තෙමි
රිදුණු තැන්
සැඟවීමි
ඔහුව පිනවා
මටසිලිටි පහසක් තනන්නට
.....
...
..
කවුද ඇහුවෙ
ඔබ මිසක
අදවනතුරා
ඔහු නිසාම මැවුණු
ලෝකප්‍රකට නිමැවුමක
පුරාවත ...

✍️ රත්නපුර

කවිය බලන්න
🗙