ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2023 මාර්තු කලාපය
ඡන්ද දහසක් තියන්නට ඇති නිදහසින් පසු රටට එළැඹුණු
ජනපතිත් විය කෙනෙක් සිරිලක ඡන්ද නොමැතිව ඇපත් නැතිවුණු
'ඡන්ද මොකටද රට දුවන්නට මගෙන් කරගනු ක්‍රමය සලකුණු'
ආයෙ එන්නෑ බයියො ටොයියනි ඡන්දෙ ඔහෙලට මෙතෙක් වැරදුණු
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
සොඳුරුම තැනක හිමිකාරිත්වය ඇන්ඳා
බැඳි සුන්දර හැඟුම් හිත පතුලේ වින්දා
සිඳුනත් ගත වෙර නෙක හම රැලි කැන්දා
පඳුරක් පුරා මල් නෙලුවේ ඔබ හින්දා
බඳුනට වඩා වැඩියෙන් මල් අත හින්දා
විඳිනට වෙනවමයි අද අපහස නින්දා
කදිමට ගැලපුනත් කිරි පැණි සේ දෙන්නා
හොඳටම දැනේ අද මට බණිනව උන්දා
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
පිරිවර සෙන් රකිනා පිණිස නිරතුරු
පෙර නියමින් නිරිදෝ රැගනිති පඬුරු
සිය ගුණයෙන් වසිනා පිණිස දියතුරු
සිය කිරණින් දෙරණත රස ගනිය හිරු
රජවරු තමන්ගේ පිරිවර සේනාව ආරක්ෂා කරගැනීම සඳහා
කලින් පනවා ඇති නීති අනුව අයබදු ගනිති. ලොවට සිය ගුණයකින්
වර්ෂාව ලබා දීම පිණිස හිරු තම රශ්මියෙන් පොළොවෙහි ඇති
ජලය උරා ගනී
කවිය බලන්න
වැලි සෝමේ...
කළු ගඟේ දිය රැල්ල ගොළු වෙලා ගලනවා
වැලි මිටිය ඉහිරිලා මහ පොළවෙ හැපෙනවා
ගම ඇවිත් පෙළගැහී හැම තැනම හොයනවා
තනි වෙච්ච හිත මගේ හදවතින් හඬනවා
ඔරු බඳේ කණපිටින් දෙගොඩ යන වතුරට
කෙළිකවටකම් කරන හුරු පුරුදු විලසට
දණහිසත් බිම වදින දිය හීල දිනයට
උඹ කොහෙද ඉඟි දෙකක් එවාපන් හනිකට
පුතුත් පිටරට ගිහින් බර දරාගෙන හැදූ
දුවත් කලබල වේලා පුංචි එකෙකුන් වැදූ
බතක් නැති ළිප පුරා දුක් කඳුළු ගිනි කඳූ
මටත් උත්තර නොමැත නැවතිලා හිරු සඳූ
කවිය බලන්න
මාගේ දේශය අවදි කරණු මැණ.....
රත්නදීපය වේය දිනුබිම
මගේ නිජබිම මට වටී
මාව හැදුවේ මාව වැඩුයේ
දිණන්නට ලොව ගුණගරුක වී
සවිය බලයද ලබාදුන්නේ
වීරියෙන් ඉදිරිය දකින්නට
මහපොළොවෙ පය ගසා ඉන්නට
නොලදුයේ නම්
පරාජිතමය මං මෙදා
වැටෙණ දහදිය මැණික් කැට වී
සපරගමුවෙන් මතුවෙණා
තිබුණූ සමයක අපිත් හිටියේ
සිවුවරමී දෙවි රැක්ම දුන්නේ
අනේ අපෙ දේශය බලන්නට
කෝ ඒ දෙවිවරු මෙදා
සුන්දරම තැන් අසුන්දර වී
විසාලා මහනුවරක්ම වී
බුදුන් පා තැබු දේශයද මේ
හිතෙණ තරමට වල්වැදී
පඩිවරුන් නැත මහැදුරන් නැත
සියල්ලොම ඇත කුළල් කා ගෙණ
රත්නදීපය වේය දිනුබිම
මගේ නිජබිම මට වටී
ප්‍රංශයේ Marne-la-Vallée ප්‍රදේශයේ
කවිය බලන්න
කිඹුල්වතට වඩිනා ගෞතම මුනිඳු
ඇසළ පෝයදා සත්වසකට පෙර එදින
සිදුහත් පුතුන් කලපසු මහභිනික්මන
බුදුවී පැමිණ මගධයේ වේළුවන
සිටිනා බව දැනගත් රජු සුධෝදන
සියපුතු දකින්නට සිතනැගි ආශාවෙන්
යැව්වා දූත පිරිසක් ඇමතිද සමඟින්
පවසනු පිණිස ගොස් බුදුහිමි දකිමින්
පියරජු පැවසු බව සියරට වඩින ලෙසින්
පළමුව ගිය දූතයන් නැහැ යලි ආවේ
සුදොවුන් රජුගේ අරමුණු නැහැ ඉටුවූවේ
ඇමතින් නවදෙනෙක් නව වරකට යැව්වේ
නවදහසක්ම ලැබුවා ගොස් පැවිදි බවේ
දූතපිරිස් නවයක් ගොස් මහණ වුණා
දසවෙනි දූත පිරිසත් රජු කැඳවුණා
කාළුදායි ඇමතිව නායක කෙරුණා
බුදුහිමි වැඩමවන්නට අණ ලැබුණා
කාළුදායි සුදොවුන් රජුවෙත ආවා
කොන්දේසියක් රජතුමවෙත පෑවා
බුදුබණ අසා මහණවෙන්නට පැතුවා
රජුවර ලැබී පිරිසම රජගහ ආවා
යොදුන් සැටක්දුර රජගහනුවර සිට
තමන් උපන්ගම නෑදැ සියන්හට
බුදුන් ගිය නිවන් තතු පහදන්ට
මැදින් පෝදාක ඇරඹුවේ වඩින්නට
කාළුදායි මහණවෙලා සම්බුදු අපේ බුදු හමුවේ
වැඩිදින නොගොසින් ලැබුවා මහ රහත් බවේ
දින හතඅටක් යද්දි එළඹුණු ඒ සුභවෙලාවේ
සුදොවුන් රජුගේ ඇරයුම තැබුවා බුදුහිමි හමුවේ
ගාථා හැටකින් වැනුවා අසිරිය ඇති යනමගේ
පිළිගෙන ඇරයුම බැලුවා සිරිතද හිමි බුදුමගේ
මැදින් පෝයදා වසන්තේ අරඹද්දි සුභයුගේ
කිඹුල්වතට යන ගමනේ මුල පිරුවා යස අගේ
කවිය බලන්න
අයෝමා …..
අයෝමට වැරදුනේ එකම එක දවසක්
සමාජය ගැරහුවේ ඉදන් ඒ සවසක්
වීදියේ කොන ඉදන් වික්ක ඒ පහසක්
කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක්
කරුමයට වෙන්කරත් , ඒ නරුම ගතියක්
ඇයයි හිත හොද එකී තිබ්බ එක පැතුමක්
ලෝකයට පෙන්නලා පැතුම් මල් සහසක්
දිනෙන් දින බොද කලේ ඇගෙ හීන දහසක්
හිරිපොදේ ගුලිවුණත් ලැයිම් කොන අයිනේ
හද කොනේ කිසි ඉඩක් තිබුණු අය නැහැනේ
වැහැරිලා ඇගේ රුව ගිලුණු ඇස් අයිනේ
ඇයට වින කල අයට කිමද පල දුන්නේ
කවිය බලන්න
සිත්තරා
පලංචිය උඩ දෙපා රන්දා
ජීවිතේ පරදුවට තියලා
බුදුගෙයිම නැවතිලා ඉඳලා
මාත් හැම චිත්‍රයම ඇන්දා
මමයි ජාතක කතා ඇන්දේ
මමයි දෙව් ලෝ හයම ඇන්දේ
මමයි සක් දෙව් රජුත් ඇන්දේ
මමයි උස මහ බඹා මැව්වේ
බුදුගෙයි පහල ඉඳගෙන
මහත්තුරු වැඳ වැඳ යන
බුද්ධ රූපෙ වස් දොස් ඇර
මමයි දෑස් දී දුන්නේ පණ
මැති ඇමැතිවරු රැසක් කැන්දා
මාර සෙනඟත් වටේ රන්දා
ඒ අලුත් බුදුගේ අරින දා
එන්න නොකියම මාත් ආවා
ලොකු සාදුගෙ ගුණ වැනුම් අහලා
වෙහෙර කම් වැඩ අගේ කරලා
මැති ඇමැතිලගෙ දෙසුම් අහලා
මමත් ඈතින් ඉඳන් වැන්දා.
කවිය බලන්න
මව්බිමේ දෝංකාරය
මව්බිමේ දෝංකාරය
පැසුණ ලෝ-දිය වැඩ කරන දන රතු කොඩිය එසවූ ලොවේ
විදෙස් බල මව්බිමේ අයිතිය මවට දීලා පැනගියේ
ඇසෙන විට ඉතිහාස සටහන් නිදහසින් පසු නිජබිමේ
වැසෙන නෙත මිරිකාය සිරුරම ගල ගලා රතු ලේ ඇඟේ
මවගෙ අයිතිය රදළ පරගැති බලය අත ගත් දශකයේ
දනන් රවටන පාට කොඩියෙන් භේද කරවිය ජන බලේ
භාෂණේ රස පළුදු කරමින් බෙදා ජනයා වෙන් කලේ
අඩවියේ සිරි පාද උලමුන් හඬා බිය පැතිරිය හෙළේ
පොළව මිණි පිරි සරුසාර කෙත් සමග වනපෙත් පිරි බිමේ
පසිඳු මුතු ඇටයම වටා පිරි සයුරෙ සම්පත් ඉතිරුනේ
මෝහයේ ඝණ අඳුරෙ සැඟවුන රදල පරගැත්තන් විනේ
වෙලා මව්බිම දකින නෙත් අඳ කරන දහමයි රජවුනේ
රදළ බලමුළු කහ පැහැති බණ දෙසා විෂ පොළවේ කැවී
දනන් අසරණ කොටවමින් නෙක ඉතිහාස කාරණ පෙවී
ලොවම ආලෝකය සොයද්දී මුතුව අඳුරේ මුලා වී
අඳුර මකනා මග සොයනවුන් ලේ ගඟේ පාකර යැවී
ලොවේ දස අත වෙනස් කම් මත ජන බලයෙ කොඩි එසවුණේ
එදෙස බලමින් දනය බලයම රකිනු රදළුන් වෙහෙසුනේ
ඇඳිරි නීතිය හදිසි නීතිය දශක ගණනම රජ වුනේ
මිණී කඳු ගොඩ ගැසුන මව්බිම රතු ලෙයින්මයි රත්වුනේ
මව්නි නුඹෙ දිවි රකින අටියෙන් ජීවිතය පුදනුයි සිතා
පෙරට එන එන තරුණ විරුවන් වෙඩි උණ්ඩ වෙත බිලි වුණා
නිමක් නොපෙනෙන නිසා අසරණ උතුරෙ දකුණේ සැම දෙනා
ලොවේ දසතම විසිර ගොස් අද වඳී නුඹෙ පා හිස නමා
දශක හතකට වඩා ජනයා වංචනික ලෙස රවටලා
රදළ පංතිය උන්ගෙ වහලුන් මුතුව මූදේ ගිල්වලා
ගෙවුන වසරේ හිඟා කන්නට සිදුවු ජන කෝපය ගලා
යද්දි උන්හට කතිරයත් අද අහිමි කරනෙ ද හාමුලා
ගහලයින් රජ කරන සිහසුන කඩුව වනමින් පෙරමුණේ
ජන බලය මඩිනටම අදිටන් කරන සැලසුම් අඳිමිනේ
කුරිරුමය බල කාමයෙන් රට වනසමින් බණ දෙසමිනෙ
දූෂණය රජ කරන බිම මත නැතිය නිදහස රජවුනේ
කවිය බලන්න
පලස්තිනුවෙකුගේ දින පොතකින්...
රුසියානු ආක්‍රමණය කුරුරුය
යුක්රේනුවන් හරි අසරණය
කියමින් බලවතුන් බටහිර
ලෝක පොලිස්කරුවා මුල් තැන
අවි ආයුධ ආධාර එක පෙලට
ආක්‍රමණය සැමරුවා
උන්ට අපි ගැන නැහැ දුකක්.
පලස්තිනුවන් දහයක් මරුමුවට
සියයකට වැඩිදෙනෙක් තුවාලය
දරුවන් ලමා-ලපටින් ඒ අතර
යුධ ටැංකි බල ඇණි එකට
ගෙයින් ගෙට ගොසින් සොය සොයා මරණ
නැගුන බුල්ඩෝසර් හඞ
සමතලා විය ගෙවල් එකපිට.
ආරක්ෂාව තහවුරු කරගන්න
පරම අයිතිය යුදෙව්වන්ට ඇත
මහා බලවතුන් නැගුවෙ එක හඞ
හුස්ම තද කලා වාගෙයි
අප ජීවත් වීමෙ අයිතිය.
අඩ සියවසකට වඩා
දුක් විඳින ජාතියක් අප
අපට නැහැ රටක්
ජිවත් වෙන්න තවමත්
ඉඳහිට මහජාති කියන
සාමයත් ලොකු බොරුවක්
මරාගෙන එකිනෙකා
මේ සටනෙ නැහැ නිමක්
පතමි සාමය යුක්රේනුවන් හට
උන්ගෙ සටනත්
රැකගන්න තම රටත් ජාතියත්.
කවිය බලන්න
ප්‍රේම රාගය......
නොතේරෙන නූතනම කවියක ඔබත් එළිසමයකි මට
කැකෑරෙන හද මඩලෙ ගින්නට
පිදුරු අවැසි නෑ මට
එතැන මෙතැනට දුවන සිතුවිලි අතින් අල්ලා එක මිට
නවත්වන්නට පුළුවනි ද මට ඔබෙි චංචල ඔය සිත.....
ත්‍රිමුර්තිය ලග තෙවන ඇසකින් විමසා බලමු ද සෙනෙහස
කොතනවත් හමුවෙිද මන්දා ඔබ
හොයන පෙම් මදහස
හෘද වස්තුව කපා බැලුවාම එක හදක ඇත සෙනෙහස
අනිත් හදවත් එකක රාගය
අනෙකෙ තිබුනේ ප්‍රේමය
කවිය බලන්න
බොල් කුහර මිනිස්සු
The Hollow Men by T S Eliot ( 1885 - 1965)
අපි,
බොල් කුහර මිනිස්සු. හිස මැඩුවන් පිරවූ ......
එකිනෙකාට හේත්තු වී, වාරුවී හිඳින
අපි, බොල් කුහර මිනිස්සු !
අහා......!
අපේ වියලි, හිස් බිං කුටිය තුල
වියලි තණ බිමක සුළං සරයක් ලෙස
බිඳුණු වීදුරු මත මීයන් යනෙන ලෙස
අරුත්සුන්, දිරුණු අපේ වියලි කටහඬ
රහස් තෙපලයි
කිසිදු හැඩයක් නැති රූප, විලාශ
කිසිම පාටක් නැති චායා සෙවනැලි
කිසිම පණක් කඳක් නැති, අප්‍රාණික ප්‍රාණ
කිසිම චලනයක් නැති, අංග චලන ;
කෙලින් අත බලාගෙන එතෙර වුණු
මිනිසුනි, මරණයේ එහා රාජ්‍යයට
මතකයේ තබාගනු එපා අප,
ප්‍රචණ්ඩ ආත්ම අහිමි කරගත් උන් විලසට,
අපි බොල් කුහර මිනිස්සු
පිදුරු පිරවූ මිනිස්සු !
ඉදිරිය බලාගෙන එතෙර වූ මිනිසුනි,
මරණයේ සිහින රාජ්‍යයෙදි
මා කැමති නෑ ඔය ඇස් හමුවන්න
ඔය ඇස්,
කැඩී බිඳී ගිය කුළුණකට වැටිච්ච ඉරු රැල්ලක් .......
ඔය හඬ
පැද්දෙන ගසක ගීතවත් වන හුලඟේ සරයක් ........
ඈතින් ඈතින් මැකෙමින් යන තරුවක් !
දිලි දිලි මැකෙමින් යන තාරකාවක් යට
ඉහලට නැඟුණු ගල් පිළිම
මළ මිනිසුන් නගන අතොරක් නැති යාදිනි
අසා හිඳී !
අපිටත් ඒ වගේමයි
සැලෙන, වෙව්ලන මුදු මොලොක් දෙතොලින්
සිපිමින් නගනවා යාදිනි
සෙල් පිළිම වෙත !
මිය යන තරු දිදුලන මිටියාවතේ
හිස් වැලි තලයේ
බිඳුණු හකු පාඩා තැන තැන ඇති
අපේ අහිමි රාජ්‍යයේ ........
දෙනෙත් මෙයට යොමුව නැත
මෙහි දෙනෙත් ද නැත !
ඉදිමී ගිය ගිලන් ගං ඉවුරේ
අන්තිමට අප හමුවූ තැන
අපි එකට එකතු වෙනවා .........
අන්ධවයි අපි ඉන්නෙ
ඇස් ලැබුනොත් පමණයි පේන්නෙ
මරණයේ අරුණෝද මන්දාලෝකයේ දකින
සදාකාලික තාරකාවක් වාගේ
දළු වගේ මල් පෙති ඇති රෝස මලක් වාගේ
ඔහේ හිඳිනවා මිසක් ........
ජීවිතයට වඩා අපට ඇත්තෙ
'බලාපොරොත්තුවක්' විතරයි
හිස් මිනිස්සුන්ගෙ !
"එන්න එන්න රවුමෙ යන්න
කටු පිරිච්චි ඵලය වටේ
කවුද එන්නෙ රවුමෙ යන්න
එන්න එන්න රවුමෙ යන්න
උදෙන්ම කටු ගෙඩිය වටේ"
හැබෑව සහ මතය අතරෙ
ක්‍රියාව සහ හුදු චලනය අතරෙ
නිර්මාණය සහ සංකල්පය අතරෙ
ආරෝහණය සහ අවරෝහණය අතරෙ
ආශාව සහ නිරාශාව අතරෙ
චායාව වැටෙයි
යාඥා ඇසෙයි .......
ජීවිතයම ඔබමැයි
ප්‍රාණයද ඔබමැයි
මේ රාජ්‍යයද ඔබෙගේමැයි
සියල්ල ඔබමැයි ........
කවිය බලන්න
සුවඳ දිගේ
නුහුරු සුවඳක් රැගෙන
ගොඩ වදියි ඔහු නිවසට
'අමුතු සුවඳක් ඔයා ළඟ අද '
'ජීවන සුවඳ '
සිනාසෙමින් ඔහු කියයි
'නෑ ඇත්තමයි
බලන්න දූ තාත්ති ළඟ සුවඳ'
'ඔව් හරී සුවඳයි තාත්තී '
තුරුලුව ගෙල සිපගෙන සිටින
සිඟිති දියණියගේ කිරි සුවඳ
රිදවයි ඔහු හදවත
එසැණින් දිව යයි සිත
සැදෑ කල ඔහු වතට වත
රැඳුණු සුවඳට
කිරි සුවඳ හා මුසුව
මතක සුවඳ අතර
අතරමං වේ ඔහු සිත
(ඒ අසිරිමත් නොනගතය කාව්‍ය සංග්‍රහයෙනි )
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
එතෙම තම නුවරා
පසිඳු ව වෙසෙන ඉඳුරා
වෙණ වයන මියුරා
නමින් මුසිල ගඳඹ ඇදුරා
කවිය බලන්න
කාටවත් වැඩක් නැති හිස් කම !
හිස් මුදුන අහස් ඉම සිප ගෙන
වළාකුළු ආලවට්ටම් අපමණ
නන්නාඳුනන්නන් නො නැඟුවාට ජය ගොස
කඳු දැක්කේම කාටවත් වැඩක් නැති හිස් කම
කිසි තල්ලුවක් නැතිව කඳු නගින
නැවතී තුරු අස විඩා හැරි මොහොතක
හෙමින් කොඳුරා කියන්නට හිතුනා
පහළ විසිතුරු නැති බව මුදුනත
ගිනි මැල සහිත පපුතුර
අවුලවා සීතලට හිත ළඟ
වම් කර්ණිකා කෝෂිකා වීරියෙන්
මහා රැයෙත් නගිති ගිරි කුල
මුදුනටම ආ කල හිත මිත
අනුන් අත් පා විරිය නොම ගෙන
මුදුනේ හති අරින මොහොතක
රූප නැඟුවේම පහළ පෙනෙනා ලස්සන
මුදුනේ ඇත්තේ
කාටවත් වැඩක් නැති හිස් කම !
කවිය බලන්න
කොළඹ යුගයේ සිත්ගත් කවි - එරික් ස්වෝන්
වෙන්වී කලාවට ඒ පිළිබඳව තම
දිවිදුන් උසස් සේරූ සිපියෙකු ගෙ නම
සිහිපත් කරමි ඔහු හදවත නියම පෙම
කැමරාවටම හිමි වුණු හැටි දනිමි මම
පියකරු දැකුම්කළු සටහන් මෙම දූවෙන්
උපුටා එකතු කරමින් සිය කැමරා වෙන්
දස්කම් දක්වමින් ඔබ සිදුකළ සේවෙන්
පලයද පහර ලත් එක වල් ගජබාවෙන්
ඔබ ගොස් පොලොන්නරුවේ මහ වෙනෙහි මඟ
වල අලියෙකු හමුව සෝමාවතිය ළඟ
ගන්නට උගේ සේයාරුව හැදුව වග
අසමින් එරික් තවමත් හිරි වැටෙයි ඇඟ
අලියා සිටිනු දැක හරවා පිටිපස්ස
ගෙන කැමරාව ගල්කුල පහලට බැස්ස
ඔබ අඩි විසිපහක් ලංවූ පසු සෙස්ස
නොතකා කළා ඉසුරකු විලසින් දස්ස
උගෙ පින්තුරයක් ගත්විට කැමරාවේ
සද්දය ඇසී අලියා කලබල වූවේ
ඌ හොඬ නඟා ගුගුරා දිවගෙන ආවේ
එ මොහොත තමා ඇස්වල කඳුලැලි ගෑවේ
බිහිසුණු වන රජා දිව ආ වියුරු වැදී
පටලා උගේ දිගු සොඬවැල සිරුර බැඳී
විදුලිය පරිද්දෙන් අවසරයකුදු නොදී
ඔසවා කළා කරුවා බිම ගසන ලදී
පොඩි අවදියේ සිට කැමරා කටුව බදා
මුළු කාලයම ජිවිතයේ එයට පුදා
වැජඹුනු එරික් ගේ අන්තිම සිහින එදා
මැකුණා වනේ සිටියදි ලේ ගොඩක නිදා
ඔහු දිවි පුදා ගත් පින්තූරය එදින
මෙරටේ පුවත් පත් මුල් පිටුවල වැදින
අපගේ එරික් වැනියෙක් ගැන දැන හැඳින
ගන්නට ලැබේවිද මින් පසුවට කෙදින
කවිය බලන්න
කොහෙද පුතු නේ යන්ට යන්නේ
එපා පුතුනේ .......යන්නට
නොඑන්න ම වාගේ ...මේ ..රට
හිත හදාගෙන - අම්මා ...
කියන්නේ කොහොම ද -නුඹ ට ...
තව .ටිකක් ඉවසන්න ට
පැළඳ ලා දොස්තර නලා -
ඉංජිනේරු කබා ...
පරි පාලනයෙ -උස් පුටු අරා ..
මගෙ පුතේ නුඹ -
ගම්භිර වෙස් දරා ...හිඳිනු දැක -
කඳුළු ආවා දෑසට -
ලය -කකියවා ..ආ සතු ට
සිඟා ගෙන වුත් අල්ලට
කුසට අහරත් දුන්නා
පෙරා රුධිරය සිප් කිරි
සම සිතින් මම නුඹට දුන්නා
අනේ නුඹ - කිම දෝ ..කළේ
මුතු කුඩය ට- මගේ ..සේසත ට
මගේ කණ කර ද- උගසට ගියා..
වට- පිටින් ඇවිදින් අහනවා ..
තව -විකුණන්න දේ තියනව ද -
බෑ තවත් කුස පුරවන්න ..
බත ඉදෙන ලිප මොල වන්න ට...
නුඹෙ අසුන්ටත් අස් බල දෙන්න ට
ගැලවිලා යන් මේ විපතින්
පණ කෙන්ද ගෙන දුරු රටකට...
නුඹ කොහේ හිටියත් කමි නෑ .. මට-
දුක් කරදරත් නැතිනමි නුඹට ..
වෙලාවක් තිබුනොත් ඉඳ හිට .. පෙරලලා සිතියම -ඉන්දියන් සාගරේ බලාපන් මගෙ පුතුනේ ..
ඉන්නව ද අම්මා -හිටපු තැන -තවම..
මං දන්නවා නෑ වෙලාවක් -නුඹට ...
මගේ දුක සැප හොයන්නට
උපයනා ඩොලරයත් - නුඹ ..
හොයන්නේ දෙන්නට - වැඩි ගානට..
එපා නුඹ දුක් ගන්නට ...මං ගැන
අයියලා ඉන්නවා වට පිට
මා ගැන බලා ගන්නට
16-06-2022
කවිය බලන්න
පෙරලමු.
දොවා ලූ කිරි මුට්ටිය
වටා වූ ගව පට්ටිය
හලා මුත් ගොම කුට්ටිය
වඩා යන සැම්බැට්ටි* ය
කවට ප්‍රෝඩා සිනා ය
නිවට නැටි බලු වනා ය
පවට නොම පින මනා ය
හැවට පෙන උවමනා ය
දරු කැලැම කළුවරේ ය
විරු මරා මවු හිරේ ය
සොරු රජව මහපුරේ ය
ගරු නමට බලු පොරේ ය
දුෂණය හැමතැනමය
භාෂණය දුක ගැනමය
ආසනය තිප්පොලමය
ශාසනය විය කරුමය
පිංබිම අපා දුකකි ය
ගංබිම දුගී බිමකිය
දැන් රටට නව නමෙකි ය
"ගොං රජකරන වැයිකිය"
අතැර දෑ කුල භේදය
නිතර කර සංවාදය
සතර දැන මැඩ ක්‍රෝධය
නතර කරලමු චෝර සාදය.
වර අපි එකට එක්වෙමූ
බර හිත බිමට බස්සමූ
පර හොර රැලම දක්‌කමූ
සැර රහට කිරිබත් කමූ.
*සම්බැට්ටි : රජු මලපහ කලපසු හෝදන නිලධාරියා.
කවිය බලන්න
සොබා දහමෙන්
ගේ දොර නිහඬයි නිසංසලය
පොඩි පුතු නිදිදැයි මට සිතූණි
ඇඹරි වැනුණු ගස් වැල් නිදි බරය
අනෝදා වැහි බිඳු විදුරැ කවුළුවේ වැදි නඟන,......
බියංකර ගෝෂාව භයංකාරය
පියස ගැලවී ගේ දෝරේ ......
ඇඳ යට සැඟවී සිටි පොඩි පුතු තුරැල්ලට .....
මුහුදු ගිය සැමියා ගිලන් රියෙන් ගෙදරට
ඒත් කෝ ලොකු පුතු .... ..
සුලි සුළන් රැල්ලට අසුවුණාද,..
Cyclone (ගේබ්‍රියල් ),... . .
නුඹ
හැඩිදැඩි රැදුරැ විනාශකාරී
වෙසෙන් ගැඹුරු මුහුදේ උපතින්
ගොරවමින් විදුලි කොටමින්
අවකාශයේ ශක්තිය මුදා හැර
අහෝ,....කළ විපත,......
සොබාදහම ඇයි මෙතරම්ම නපුරු
19/2/2023
කවිය බලන්න
කුස හා දුක
පහසේ දෙහදක් දකිනා
සුවසේ මිහිරක් ගෙනෙනා
රහසේ සතුටක් ලබනා
දහසේ පැතුමක් ඇඳුනා
දඹරන් සපුවෙන් දිළෙනා
රුවකින් මිණිමෙන් පෙනනා
දුටුවන් වසඟෙන් බැඳෙනා
සිහිනෙන් කොණකින් දකිනා
බැබලී රුවකින් උයනේ
පැටලී සැබැවින් මිදුනේ
වැටලී කුමකින් ලඳුනේ
බිඳලී සිතුමන් බැඳුනේ
සැඟවී පියුමන් පොකුණේ
රැකවී සොයමින් රැඳුණේ
මැනවී දකිමින් ලැබුණේ
පිනවී රුවවන් පොරණේ
කවිය බලන්න
අපි දෙන්න කුල දෙකක
එකම ඔරුවේ නැගී
නදිය තරණය කරන
එකම තොටියෙක් එක්ක
එගොඩ යන මෙගොඩ එන
එකම තක්සලාවක
අකුරු කලමුත් එකට
ගං දෑල දෙකෙළවර
අපි දෙන්න කුල දෙකක
පරපුරෙන් පරපුරට
දරුවන්ගෙ සිත් ඇතුලෙ
වෙනස්කම පින්තාරු කරනවා
මෝහයම සිතුවමට නගනවා
කසට සලුපිලි වලත්
කුලේ කිලි තවරගෙන
පිරිත් පැන් කලවලින් දොවනවා
පැල්ලම පරෙස්සන් කරනවා
මලවි හී සරවලට කුලේ මල් අමුන ගෙන
මල්සරා බේරෙ ලඟ පෙම් හසුන් ලියනවා
ප්‍රේමයට මිල ගණන් කියනවා
සනුහරේ මානෙ කලු මදිනවා
අතීතයෙ නොරිස්සුම් කඩතුරා
හෙට දිනේ පාවාඩ සේ එලා
සොඳුරියේ නෙලාගමු ප්‍රේමයේ අස්වැන්න
ගං දෑලෙ මිනිස්කම වපූරලා
26.02.2022
කවිය බලන්න
කතා කරන හිත
සේලයින් බිඳුවකින් ගත නහර සැනසෙද්දි
මගේ හිත දුවනවා සොයා යට ගිය සිද්දි
තනිකමයි බයයි දෙක මගේ හිත තෙරපෙද්දි
ටිකක් හරි සැනසෙන්නෙ දරුවො ඈතින් එද්දි
උලම තෙවරක් හැඬුව නිදි නැතිව ඇවිදිද්දි
හූන තාලෙටෙ ඇඬුවෙ මං ගෙයින් පිට වෙද්දි
ගෙදර දොර මිල මුදල් රන් බඩුත් සිහි වෙද්දි
පින් පොතත් සිහි කළා සෙත් පිරිත් හඬ එද්දි
මගේ ගත ටිකෙන් ටික අබල දුබල ව යද්දි
ජීවිතේ අනියතයි දැනුණෙ පරිණත වෙද්දි
ගත දවන දුක් ගින්න හිත තුළත් ඇවිළෙද්දි
මරණයත් අනියතද? හිතෙනවා මේ වෙද්දි..
කවිය බලන්න
චන්දය තිබ්බා නම්...
කටමැත පමණි වැඩ කෝ නැත ජන වරම
සිටුවති බතල කොළ කවුරුත් හැම වරම
රට ගොඩ ගන්න එන බක් මාසෙට පෙරම
වැටහෙයි චන්දයෙදි 'නුවනැත්තගෙ' තරම
(අනුශාසක අගනුවර තරුණ කවි සමාජය )
කවිය බලන්න
ගැහැනු
උපුල් නෙත් රත් දෙතොල් කොපුල් වල ගැහුනූ
කුස්සියේ දැලි පෙරන් ගිණි සිඹින ගැනු
පාසලේ රෝහලේ මුලසුනේ දිලුනු
නෙක හැඩැති ගැහැණු වෙති වෙනස් කම් පිරුනු
ගණ්ටාර යක් බෙරද කටවල්ද කාණු
සිත් නිවන මිණි සිනා නගන රන් සීනූ
සන්නි දෙහිකැපිලි බලි තොවිල් මැද හැදුනූ
නිහඬවම දුක සතුට දරාගත් ගෑනු
කම් සුතුරෙ කෙල පැමින කිරි මුහුදෙ පීනු
මිණි මෙවුල අගුලු ලා සිල් රැක්ක ගෑනු
අවුවටත් වැස්සටත් කණු කුණුම ගානූ
මහ පොළව පෙරලුනත් නොසෙල්වෙන ගෑනු
වැටුන විට නැගිටගත් පිරිමි වගෙ ගෑනු
"ගෑනු වගෙ" පිරිමින්ට කැමති නැති ගෑනු
පැලැන්තිය මොක වුනත් ගෑනු නම් ගෑනු
පිරිමින්ට අසම නැත පන ගැහෙන ගැහැනු
කවිය බලන්න
පටාචාරා නම් ඇය ......
ගත්තු දැඩි තීරණය
මත්තෙම සිටියාට
හිමි අහිමි විස්සෝප
තනි හිතින් වින්දාට
දරු පැටව් මොහොතකින්
මතකයක් වූවාට
මව්පියන් චිතක ගිනි
නෙත් මතම රැදුනාට
ඇඳි වතේ වාරුවද
හෙමින් ගිලිහී ගියද
අත නොහැර ජීවිතය
දැඩිව අල්ලන් සිටිය
ගැහැණියට තමයි නුඹ
ගල් කැටය විසි කලේ
හේතු පාදක නොදැන
කවිය බලන්න
කර්මය...!
දුටුවම යමෙකුගෙ යහපත සිතට එනවදෝ තරහක්...
පටුවම සිතලා ඒ ගැන වෙනවද ඔබෙ වත කොරහක්...
කැටුවම යන රුදු සිතිවිලි වෙනවා ලුනෙ රස අහරක්...
ඉටුවම මරුගේ අදහස්, විඳවයි
ලැබ මරු පහරක්...
පතුරු යව යවා නැති තැන, හදමින් පද බෙදන අතර...
සතුරු සිතින් අනුන් පෙලන කල සිත තුටු වුනත් නිතර...
මිතුරු වෙසින් උන්නත් ඒ කරන පවට, අපා සතර...
කතුරු මුවත් කරනවාලු කපන්න
දිව, හතට විතර...
වට්ටන්නට හදන කලදි දියුණට යන තම සගයා..,
දිට්ටදම්ම කර්ම ලෙසින් පසු පස එන බව 'දඟයා'...
කට්ට කන්ට වන තෙක් වටහාගන්නට බැරි වගයා..,
'දුට්ටකමට වන දඬුවම' සිතුවොත්
එහි ඇත අගයා...
දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා
කවිය බලන්න
නැගිටපන් උඹ සිංහයෙක් බං
ආයුබෝවන් කිව්ව ලොක්කා වගෙයි අදනම් අවුලකින්
කෝ කඩුව ඉස්සුවාදෝ හොර හැතිකරේ මොන විධියකින්
කෝමදෝ බං වාස දේසේ මීට්වුණෙ හුඟ දවසකින්
හීනියට දාගමු දෙකක් ආතල් එකට පොඩි කොටේකින්
නිව්ස්නං ඇති තරම් ආවා එන්ඩ ලැබුණේ නැහැ මචං
උඹේ ඉවසුම වැඩියි මම නම් බාවලා සත්තයි මෙවුං
පිල්ලෙලට අපි ගේම දුන්නට හතුරො කියලා වට කරං
මේකලාටයි දෙන්න තිබුණේ කෑවා කන අඟ උඩ ඉඳං
චැලේන්ජ් එක දුන් හැම සැරේකම උන් උඹේ දරු පැටව් මැරුවා
එගේන්ස්ට් නොගිහින් හිටපු ඉන්දා ඕන හැටියට උනුත්
නැටුවා
තිබ්බ සංතිං එකට කෙළලා එවුන් ලස්සෙට කොඩිය වැනුවා
කාලා බලපං හොඳද කියලා හුරුල්ලෝ ටික බැදල හැදුවා
පරණ පම්පෝරිය වැඩක් නැහැ අද උඹේ හැටි බලාපං
උඹට යනඑන මගක් නැතිකළ එවුන් සැට් එක හලාපං
මදිද බං තව දුකම වින්දා ඉතිං වෙනසක් හොයාපං
නැගිට ගන්නට උඹට බැරිනැහැ හොඳ එවුන් ජැක් උනානං
බල්ලො සැට් එක ෂෝ දානවා උන්ව කොටුකර වසාපං
එපා සයිලන් ෂයිඩ් ගහලා සැර සවුන්ඩ් එක දමාපං
දාගනිං ඔය ඉතුරු ටික උඹ ලිමිට් පැත්තක තියාපං
ගේම දෙමු අරි අපෙන් මොනවද වෙන්ඩ ඕනා කියාපං
ඕන කසිලියකට අපිත් රෙඩි විසිල්පාරක් ගසාපං
ආං අර ලණු පොට ගනිං මෙහෙ කොඩියෙ මැද්දට වුනානං
මේං කඩුවක් ආයෙ නැගලා ශිල්ප දාලා වනාපං
ඩෝන් වොරි බං ෆිට් පොරක් උඹ සිංහයෙක් බව හිතාපං
කවිය බලන්න
අඳුරට පළමුව
උදාවන කල දිනක කළුවර
බාඳුරාවක් තමයි සමුඳුර
අත වනා සැතපෙන්න රළ මත
ගිලින්නට දිනිසුරුව සැරසෙන
පයැද යනු මැන අතැර නගරය
සැඟවෙන්න පෙර ඉරෙහි රැස් කඳ
සුලඟ වුව දඟ වැඩිය සඳකට
වළා සළු පොට අතින් උදුරන
පැටි හසුන් කිටි කිටියෙ තද වෙන
පහන් කණු ඇත නුඹව කැදවන
පයැද යනු මැන අතැර නගරය
රැයක් සියුමැළි නොමැත ලඳකට
දවල් විළිකුන් සුරත් පළවැළ
වවුල් හපයකි රැයෙහි පුරවර
සිනාසුනු ඇස් ඉරෙහි එළියට
මත්ව දිළිසෙයි රැයෙහි මැදියම
පයැද යනු මැන අතැර නගරය
ඔබට හිමි ගම් දොරට හනිකට
කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි -
රජුන් උදහස් වුව
පෙරටුව උතුරු වදන් දෙන්නෝ
ගිනි ලඟ ඉටි'සිරෙන
ලෙසින් තම සිරින් පිරිහී යෙත්
කවිය බලන්න
"ඔබ කියන්නේ මටද"
සුවිසල් උද්‍යානයේ මනරම් පවුරින් එපිට
රිදීවන් අහසින් නැඟෙන ග්‍රීෂ්මයේ හිරු
අසීමිත අහසේ ආකාශ්මික සංක්‍රමණික කුරුල්ලන්
මේ හැමටම වඩා දීප්තිමත් කහ මල් පාත්තිය
දිග පළලින් කෙසේ වුවත් හොඳහැටි එළියෙන් නෑවෙන
බර වීදුරු කවුළු
ආහ්! අමතක නොකළ හැකි පොත්වල සුවඳ
තවත් මේ තරුණ ඇස්...
"ඔබ කියන්නෙ මටද"
තරුණ මෙනවියකට කෙලින් අහන්න පුලුවන්ද ඔහොම
ඇරත් මං හිතනවා මේ සොඳුරු බව ගැන
උද්‍යානයට එපිට ලැහැබේ දේවදාර ගස්
ගැඹුරු පෙනුමක් ඇතත් අහිංසක ඇතුළතක්
"ඔබ කියන්නෙ මටද"
ආයෙත් එහෙම ඇහුවට මොකද
ඇත්තටමයි මං කිව්වෙ ග්‍රීෂ්මය ගැන
කහ පාට ලොකු පෙති ඇති පියෝනි මල්
රත් නොවුණු විටෙක සොමි ගුණැති කොපුල් වගේ
"ඔබ කියන්නෙ මටද"
තේරුමක් නැති තරුණ මෙනවිය
බැලුවොතින් පේනව නොවෙද මේ රතු විල්ලුද බුමුතුරුණු
ඒ මොලොක් බවට යටින් තවමත්
පරණ ලී පොළොව , ග්ලේස් නොකරන ලද
"ඔව් ඔබ කියන්නෙ මට"
එහෙනම් මෙවර ඔබ හරි
දැන් කියන්න මුලු ග්‍රීෂ්මයේම මේ හැර තවත්
මනහර දේ මොනවද
"මුලින් කියූ තරුණ ඇස් පරණ ලී මෙන් අදහස් ඇතැයි
නොසිතනව නම් ඔබ,
සත්තකින්ම පියෝනි පෙත්තකටත් එහා
සිනිඳු මුත් යථාවාදී එහෙත් නැවුම් සිතුවිලි ඇතැයි
දන්නවා නම් ඔබ,
ඔව් එවිට කිසිත් නෑ ග්‍රීෂ්මයේ මේ තරම් ලස්සන"
කවිය බලන්න
මගේ පළමු දේව දූතිය
අවමඟුල් දා
අපව එකා බැගින් ඈ වෙත ඔසවමින්
‘නංගී ට හාද්දක් දී සමුදෙන්න...
ඈ දැන් දේව දූතියක් ’
තාත්තා කීවේය
සුදු පැහැති කැටයම් පෙට්ටියක
සති දහයක් වයසැති, සුදුමැලි නංගී
වැතිර සිටියේ නිදා සිටි අයුරිනි
අත්තටු හෝ රිදී තරුවක් නොමැතිව
නිහඬව, නිසොල්මන් ව
මගේමයි කිව හැකි දේව දූතියක්ව සිටින්නේ
මා නැලවූ, හිනැස්සූ ඈ ම බව
අදහන්නටත් නොහැකි විය
කාලය ගතවෙද්දී
මට බොහෝ දේ පැහැදිලි විය
යුද්ධයට ගිය ඥාති සොයුරන් වෙනුවෙන්
අප ඈ වෙත යාඥා කළෙමු
බෝම්බ හා සටන් නවතන ලෙස
අප ඈ වෙත යාඥා කළෙමු
ඈ මේ හැම දෙයින් ම බේරුණා
අම්මා නිතර කීවාය
1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.
Original poem from the book Fish-Rings on Water: Poems by Katherine Gallagher
Poets’ Bio- https://www.katherine-gallagher.com/
Photo - Unsplash
කවිය බලන්න
දියණී...
පිපෙන්න හිරු හා පිබිදී
හිනහෙන්න අරුනට මුව දී...
සිරිලිය වී නිවසේ දිස්නෙ දිදී
වෙන්න පහන් තරුවක් ..දියනී
නුහුරට මුව සගවා දී
හැකිලියන් පසුපසට පය දී
නිදි කුම්බාවන් දෑසේ රැදී
පාඩම් ය ඒ පත පොතේ නැතී......
රැකිය යුතු ය සීමාවේ එතී
බිදෙන සිතේ සවිය එඩී
හිනැහියන් සුදු දුවේ යලී
ජාතියේ පෙරමං තනන්නී.....
කවිය බලන්න
Readers are Leaders
Readers are leaders
Improves your concentration
A sharpens your brain
It develops your
Imagination and a
Provides fortune
Benefits of you
Expands vocabulary
Increase empathy
Takes you higher
Books, Magazine, News paper
It helps you relax
කවිය බලන්න
හඳ
රිදී වන් රැස් දහර
සිසිල් සුව කැඳවනා
රෑ සිරිය පතුරුවා
කාන්තිය විහිදෙනා
අකීකරු වලා මැද
පිළිකුලින් සැඟවුනද
අහිංසක සඳ මඬල
හිරුට කීකරු වුනා
දහවලක් පුරා
ළැඹැදියාවෙන් ප්‍රේමයෙන්
මුදා හළ හිරු කිරණ
උරාගත් සඳවතිය
අමාවක දිනේ කඳුළින්
නුවන් බර වුවද
උදාරයි තිගේ පෙම්
පොරොන්දුව රෑ පුරා
හිමි බැතිය මම දනිම්
උත්කෘෂ්ට ලෙස දනිම්
ඒත් සඳ දෙවියනේ
නොතේරෙන දෙයකි මේ
වඩදියට බාදියට බියෙන්
වෙව්ලන දනන්
උමතු අසරණ ඔබේ
අහිංසක දූ පුතුන්
දැත් බැඳ අහස දෙස
නෙත් යොමා බලන්නෙත්
කළුවරින් මතුවෙනා
ඔබේ රුව දකින්නයි .
කවිය බලන්න
අදත් තනියෙන් මේනකා...
නිමිත්ත;
'තුංග උතුවන් කන්ද පාමුළ
කෝපි මල් අහුරක් දරා...
මම්මලේ මට ඇහෙනවා බං
ඉකි බිඳින හඬ මේනකා ....'
(වර්ෂ 1864ක් වූ මැයි මස සත් වෙනිදා බෝගම්බර දීය )
~රුවන් බන්දුජීව~
(මීළඟ මීවිත)
-------------------
අරගලයක ශේෂය
කග සුරත ගෙන රණ බිමට බට
මහා කළු හෙළයෙක් නිසා
කිඳුරු කව සිය ළෙහි හොවා
සෝමාවතිය සිරගත වුනා
බැද්ද මැද්දෙදි ළය දැදුරු කළ
ඒ කිඳුරු කව හිත දරා
තුංග උතුවන් කන්ද පාමුළ
අදත් තනියෙන් මේනකා...
( වර්ෂ 2022 ක් වූ ජුලි මස නව වනදා වැලිකඩ දීය )
කවිය බලන්න
වික්ෂිප්තය
දුර බැහැරක නොකිය ම
ඔබ තනි ව ම
පියවර මැන ගිය හින්දා
දොළ පිළ වැට ළග
කළ කතා දබර වී
නෙත ළග ඉකි බින්දා...
තැන නොතැන ද
මගෙ නෙත කොතැන ද
ඔබ සිටිතැයි මට සිතෙනා
දොළ පිළ වැට ළග
තව දුර නොදුරෙ ද
තැවතී සිත කිති කැවෙනා...
අද හෙට ගෙට ගොඩවෙන
දින කවදද
ඔබෙ රුව යළි දකින සදේ
ඉකිබිද නෙත ළග
මුකුළිත පෙම්මල්
විකසිත වෙද යළිදු හදේ!
කවිය බලන්න
සරාගීම විරාගය
ශුංග සිහිනේක විසල් පහසක
නීල උමතුව මැදියමේ ගින්නක
මිරිගු පහසට පයෝදර දියබිද
හකුළුවාගෙන ආදරේන් ගිනිබත්විය
ප්‍රේමයයි මෙය නොමියෙනා සද
නුරාවෙන් තොර මගේ ප්‍රේමය
නොකිලිටිය අද නුඹේ ලෝකය
එවන් සිහිනෙකවත් නුඹ නම් නැත
ආදරෙන් සිනාසෙන විට
නුඹේ බැල්මට පවා පෙම්කල
සිහින සිත්තරු පෙම්වතෙකී මම
රාගය නම් කුමක්දැයි කියාවත් නොදන්න
කවිය බලන්න
සූ සැට මායම්
මලෙන් සුවද අරන් ඇවිත්
විලෙන් පැහැය අරන් ඇවිත්
සදෙන් සිසිල අරන් ඇවිත්
ඉරෙන් එලිය අරන් ඇවිත්
ගැහැනිය මවලා මහ බඹු
අඩුවක් නැතිවෙන්න ඉතින්
මල් අඩනව සුවද මදිව
විල් අඩනව පැහැය මදිව
සදු අඩනව සිසිල මදිව
ඉර අඩනව එලිය මදිව
ගැහැනිය අරගෙන සේරම
පෙන්නයි දහ අට කෝලම
වරලස ලස්සනට දිගට
චවි කල්‍යානය මොනවට
සුදු පාටැති දත් දෙපලද
තාරුන්‍යය අඩු නැතුවම
දීලත් මහ බඹු ඔක්කොම
පෙන්නයි සිව් සැට මායම
වරලස හැලිලා ගියාට
ලස්සන සම ඇකිලුනාට
දත් දෙපලත් සෙලවුනාට
වයස හැටත් පැන්නුවාට
නොවෙනස් දෙය දන්නවාද
මායම් හැට හතර නේද
කවිය බලන්න
නිලැස් ළමිස්සියන්ගෙන් අසමි
වැස්සක් වැස්සාම
නිල් දෑස් උස්සා මුමුණන
සියොළඟ ම ගස්සා හිනැහෙන
නිලැස් ළමිස්සියනේ කියන්න
කවුද මැසුවේ මේ සළු?
පරදවන නිල් කටරොළු
නිල් මල් ගවුම් නිමැවුම්කරු
කීයක් ගත්තා ද රන්මසු?
වසත් වණ්ණා දාසිය
තවරද්දි සායම් කොපුලෙහි
රිද්දුවෙද ? හාදු දුන්නෙ ද!
අස්පගාණක් ගත්ත ද?
නැති ද නුඹලාට ගෙවල්වල වැඩපල?
බිඳ වැටෙන්නට පෙර විදුලිය
වැඩ පොදි ඉවර කරගන්නට කලබල
වැසි වැටෙන්නට පෙර
දර ලිපේ උයන යුධ ගිනි මැල
වැසි තුරල් වූ පසු
තෙත රෙදි වනාගන්නට බල බල
වැසි නැටුම් නටන පැටවුන්
පරිස්සම් කරනා කොලහල
දෙන්න මට වරමක් දිනකට
වැසි බිංදු හාදු වලින් නැහැවී
මඳ සුළං කිතියේ නැළැවී
හස කිනිත්තක් තුරුලුකරගෙන
නිල් ළමිස්සියක් වී සිනාසෙන්නට
( නිල් ළමිස්සියන් - Petrea volubilis )
කවිය බලන්න
මාර්තු 08 ***********
මහ හෝටලේ ශාලාව මැද
රතු විල්ලුද අතුල මෙිසයක් මත
වතුර බෝතලද මල් කලඹක්ද ලස්සන
තබා ඇත...මල් නම් සුවද නැත
චට පට ගගා කියැවෙන
සටන් පාඨද කිඹුල් කඳුලුද
අනේ මෙතරම් වෙහෙස වන සැටි
දැයේ කතුනගෙ දුක නිවන්නට !!
නුහුරට ඇදපු සාරිද
දල කපු පිලි බැලු බැලුු තැන
කුවෙිණිගෙ පරපුරෙන් එන
බව කියන්නට අනේ ලෝකෙට!!
පැලදු පා ගිගිරිද බරැති රන් මාලද
සෙලවෙයි තාලයට වදන් වල
මස් පිරුණු පපු වසාගෙන
දෙසන තරමට අපෙ දුක
පඩුපුල් අස්න වුව නොසෙල්වෙද?
රාබිි එන වල් සතුන් රැල
පා පහරින් ඇදෙන සළු පොට
කටු විතරක්ම මිස
මස් කළදක්ම නැති
ගුටි කන ආත්මය ගැන
වලඳ සුුරා කන්ටවත් නැති
ලමා ළපටින්ට දිි සැනසෙති
රැැ දවාලද නොදන්නා අන්ධ සිත්ඇති
මහ පොලොව ලෙස
දුකම උහුලති...
දන්නෙ මොනවාද පියකරු නෝනාවරුනි
මෙි රටෙි දුක් විදින අප ගැන?
පාරක තොටක, මග වැරදුනු තැනක
තනිව යන්නට නොහැකි
බොරැ වළවල් පිරුණු මග තොට
ඇත්තටම දැක තිබෙිදැයි නුඹ?
"මාර්තුව"ඇවිත් යනු ඇත
හැම වසරකමමෙන් ගෙවිි ගිය
නැවතත් හමුවෙමු ලබන වසරෙත්
"ගැහැනු දුක" ගැන
ලොවට කියනට!!
කවිය බලන්න
කෙටි කවි
"මට වචන
දෙක තුනක් ඇති"
සැබෑ කවියා කීය
මහා කවියෙකුට
........................
දුම් දමන
තේ බඳුන
සෙමින් ඇල්වෙයි
කහට රස එලෙසමය
........................
උදෑසන බස්රියේ
කවුළුව අසල
අසුන තවම
හිස්ය
......................
බෝධියට යනා’තුර
දැක නැවතුණෙමි
මග අස
මහලූ මී ගස
....................
සුළඟින්
බිම පතිත මල්
සුළඟින්ම ඉපිළෙයි
.....................
වාරු නැතිවුව
සැරසෙමි තරණයට
අවසන් නදිය ද
වැල් පාලමකි එහි
.......................
බිඳුණු උළු අතරින්
වැටෙන වැසිබිඳු
ඉවසයි
මහලූ වළඳ
......................
හැටෙන් ගිය පැන්ෂන්
සරස්වතී මැඩම්
ශ්‍රියා ඉදිකර දුන්
වැඩිහිටි නිවාසෙලූ දැන්
.......................
සිර මැදිරි බිත
බිහිසුණු සුණු මත
දකීඔහු
ඈ රුව
.......................
එක දිගට
වැටෙන වැහි බිඳු
හඬ මැද
උණුසුම්ය
ඈ සුසුම්
කවිය බලන්න
පැරිස් නුවර හරස්වීම
ගුරු තරු කැළ
බැස පාරට
වීදි දිගේ
හඬ තැලුවට
තරු එළි කළ
ගුරු ගෙදරට
අඳුර වැටේ
හෙට දවසට
කවිය බලන්න
..බංකොලොත්...මුතු ඇටය...
ඉන්දු සයුරේ මුතු ඇටය ලෙස
නිරතු විරුදා ලැබ සිටිය රට
දිනෙක් ලඟදී බංකොලොත්වී
ලොවට ඒ බව කිව් උජාරුව...
නවම් සිව් දා...රටම හඩවා...
ජන කැමැත්තක් නොමැති පාලක
රටම රවටා බලය අල්ලා
කම්බ හොරු සහ පවුල් බලයෙන්
සුවැති දිවිපෙත් නිති ගෙවන්නේ ...
පොදුයි කී ජන.. නොවිදිනා දුක්
ලක හැමම එකලෙස විඳින්නේ...
කුඹුර පාළුයි පෝෂණය නැත
දරුන් වැඩිහිටි හාමතේ
දහස් තරුණන් නොරැකියාවෙන්
අගනුවර මැද පෝලිමේ
උගත් නූගත් හැමම එකලෙස...
විදෙස් රට යන අරගලේ...
නොසිතු කලකදි තෙකල විදුලිය
ජන සිරුරු එන්නත් වුනේ
එ මිල සටහන් විදුලි ලදුපත
ලැබූ ජනහට....
නොකල දේ නිති සිහිවුනේ...
හැමට එකලෙස ඉහල බද්දක්
ඇත්තො නැති බැරි අය කලා
කවර දිනකදි නොදුටු ඇති අය
බදු බරට මග අරගලේ
විද්වතුන් පෙලපාලියේ...
එය විදින ජන අගුපිලේ...
රජයෙ රෝහලෙ නොමැත ඖෂධ
සුසුම් ලන ලෙඩු පන අදියි
ඩොලර් යහමින් හොරා ගතවුන්
බෙහෙත් ගැනුමට රට ගියේ...
තෙලෙන්..බෙහෙතෙන් කරපු වංචා
වෙතින් පාලක තරවුනේ...
මෙවන් දහසක් ගැටළු මැද්දේ
ලකේ ජනතා දුක් විඳේ
බලය රැකුමට සටන් පාලක
මැතිවරණ නම් බලු පොරේ...
හැමද සුඛදිවි පතන පාලක
හැමම රවටා මැතිසබේ....
කවිය බලන්න
ලොකු පුතේ ඇයි ..... උඹ වෙනස් වී .................
පිං කඳක් මං කරලා තිබ්බත්
සංසාර ගත චක්‍රයේ .....
ලොකු පුතේ ඇයි ..... නුඹ වෙනස් වී
අපේ රවුමෙ ම ඉපදුනේ.........
නුඹේ වයසෙම සම එවුන්ගෙන්
ඇයි පුතේ ......නුඹ වෙන් වුනේ
නුඹට නොදැනෙන - පපුව කකියන
මන්ද මනසින් - කොන් වුනේ .......
නුඹේ අම්මයි
මමයි පිහිනන
කඳුළු ගං තෙර කෙලවරේ ......
නුඹව ගොඩදා
ගන්න බැරිවූ
සංසාර ආරණ්‍යයේ ......
නුඹේ වයසෙම සම එවුන්ගෙන්
ඇයි පුතේ නුඹ..... කොන් වුනේ
මන්ද මනසින් බිහිවුනේ මේ
සංසාර ආරණ්‍යයේ .........
කවිය බලන්න
අවාරේ මල්
හිඩැස් අස්සෙන්
සෙමෙන් රිංගා
මිහිරි රස තැන්
හුගක් ලිව්වා
පාට මැකුණු
සිහින සිතුවම්
පාට තවරා
හැඩට ඇදුණා
කීව නොකීවත්
නුඹේ සුවදින්
හද උමතුවෙන්
සෙනෙහසින් පිරුණා
ඉපල් වු ගසක
පුංචි මල් කුප්පි
නුඹ නමට
පිපී දිලුනා
සොදුරු සමනල්
දකින දසුනින්
අවාරේ හිරිගඩු මල්
හුගක් පිපුණා
කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි
පෙර එක් සඟේක් සඟ ගණහට බැණ නපුරූ
නිරයේ වැටී බිම සත්ගව් වැඩෙන තුරූ
ගොර දුක් විඳි තව පේත ව සිට කුරිරූ
පරහට එයින් නො කියව් බස් නොපියකරූ
පුර්ව කාලයෙහි එක් සඟ නමක් මහා සංඝයා වහන්සේලාට
නපුරු වූ පරුෂ වචනයෙන් බැණ නිරයෙහි වැටුනේ ය.
අවුරුදු දහසකට අඟලක් වැඩෙන මහ පොලව සත් ගවුවක්
වැඩෙන තුරුත් හෙතෙම එහි දුක් විඳ, නැවත ප්‍රේතයෙක් ව
අදත් දරුණු දුක් විඳියි. එහෙයින් අනුන්ට ප්‍රිය නැති වචන කතා
නොකරව් !
කවිය බලන්න
'ඇය' ගේ මරණ පරීක්ෂණය
රැළි ගැහුණු සමින් වැසි - කිරි එරී ගිය ළමැදය,
එල්ලා වැටුණ කුසයේ- පරණ සීසර් එකක ලකුණුය,
පපුවට උඩින් හරියටම - ගැඹුරු නොගැඹුරු කැළලිය,
ගිලුණු ඇස්වල තවමත් - එළියට නො ආ කඳුළුය..
උදරය පලා බැලු සඳ - එක පමණටම මිශ්‍රව,
දංකුඩ බත් ය කඳුළුය - ළසෝ ගින්නෙන් රත් කළ,
වකුගඩු පිරී ඇත්තෙම - නොපෙරී ඉතිරි පිරිපත,
දොස් පරොස් පිරිපහදු කළ - අක්මාව ඉදිමී ඇත..
ඇට කැබලි මටසිළුටු මුත් - ඇට මිදුළු හරි ඝනකම,
තදින් අල්ලා බැලු විට - බරය එහි දරු ස්නේහය,
පෙනහලු පිරී සුසුමන් - පිටව යන්නට බැරිව සිර වුණ,
තව එක් වරක් පැටවුන් - සිඹිනට නොලද හින්දම..
අවසනට හදවත - ගෙන බලමි එය බොහො බර,
ගලක් මෙන් දැඩි මුත් පිට - හරිම මෙළෙකයි ඇතුළත,
වැඩිය නොපෙනෙන කෙළවරක - පැල්මක් ය සවිවර,
අහෝ මරණයට හේතුව - නිසැකවම ළය පැලීමය...!!!
කවිය බලන්න
බලා සිටිමි
නිහඬය ගෙපැල මීයට පිම්බා වැනිය
පිළිවෙල නොබිඳ සැමදේ තිබු තිබු තැනය
ඉවසනු කොහොම හිතකට දැනේනා තනිය
පිළිතුරු සොයන පිළිතුරු නැති මගෙ පැනය
දුවනා අතරතුර පුරවා ගතිමි කුස
කියනා කතා ඇසුවෙත් පිළිමයක් ලෙස
ගෙවිලා ගියෙන් රහසෙම දින සමග වස
ඇරිලා තිබුණි මග බෝ තැන් හරිම රස
ටිකකට පියා ගන්නට ලතවුනෙමි නෙතක්
ඇත්තට එදා නොතිබුණි විසි හතර පැයක්
හිමිහිට ගෙවී යනු ඇයි අද සියළු දිනක්
කුමකට මෙසේ දිගුවුණි දැයි සිතමි රැයක්
දුන්නෙමි මවක සෙනෙහස අඩුවක් නොකර
යන්නෙමි මතක මත දිගු කරවන සසර
ගන්නෙමි දරා තනිකම මැද සේ කතර
ඉන්නෙමි පැටව් එනතුරු ඉඩ ලද අතර
කවිය බලන්න
විරහවට විසඳුම්..
නුරා කැළුම් දිදී එදා පිදූ සෙනේ හදේ තියේ
දරාන මා කියූව රෝසි යැයි කියා හොවා ලයේ ..
වරා මලක් විදෝ මෙදා කැළුම් නැතේ ඔබෙන් ප්‍රියේ
ඉරාන මේ වසත් සමේ මයේ ලොවින් ඔයයි ගියේ..
සොයා ඔයා මෙතේ බුදුන් වඩීවි යැයි හිඳීවිදෝ
ලියාල ඒ "කතාව නන්ද" මා යළිත් හළාවිදෝ
කියාල හේනෙ උන් කෙනා මෙමා! සුරන් වනාවිදෝ
වියාපු පේම ජාලෙහී සොවින් ගිලී මියෙන්නදෝ
තිතක් තියා නිමා කරන් මෙ දුක් !මොකෝ කොමා දදා..?
හිතක් තවත් ගිගුම් දරන් රඳයිද පෙම් පදේ යොදා
සැතක් මගින් කෘතීම හර්දයක් තියම් හැඟුම් නොදා
එතැන් පටන් නොඉන්නෙමී සුදෝ කියා ඔයා පුදා...!
කවිය බලන්න
ඡන්ද පොරය
පෙරමග නිමිති බැලුවත් දින ගණන් ගැන
පොර වදිනා සෙයකි චන්දය නවත් වන
බර බර වදන් හර නැතුවත් දියත් වන
මර උගුලක්ද රට නැගිටුම වලක් වන
පැරදී ගෙදර ගිය මුත්, යලි රජෙක් වෙලා
වෙරදී අන් සියළු කඳවුරු කඩා හෙලා
පෙරදී මෙන්ම ගෙන ගිනි දිය යටින් පලා
වැරදී මිනිස් බව ලැබ රට අඳුරු කළා
බදා ගත්ත සිහසුන අත හරිනු කෙසේ
සදා බලය විඳගන්නට හැක රිසිසේ
පුදා තුටු පඬුරු අවසර ලැබ සතොසේ
මෙදා කල් ගියොත් නම් යලි රට වැනසේ
නැවුම් වෙන්න සිතුවත් මේ නවම් මහේ
රැවුම් මෙන්ම ගෙරවුම් සිව් දෙසින් ඇහේ
පැතුම් පොදි බැඳන් බරටම දොළොස් මහේ
කිවුම් කෙරුම් බල බල ඉමු අපිත් ඔහේ
වෙර දා මැඬලුවත් මහජන නැගිටීම
නිරිඳා වුවත් පසු පස එයි පල දීම
පෙරදා සැපට සිටි හැටි අමතකවීම
කතිරය ගැසුව හින්දයි මේ විඳවීම
ඡන්දය හරි දිනම ගන්නට කියාපන්
බුදු බව පතන උන් නැති බව සිතාපන්
අඩුවෙන් වැරදි කළ කෙනෙකුව සොයාපන්
හොඳහැටි සිතාලා කතිරය ගසාපන්
කඩු පොලු අමෝරා සටනට බහින සැටී
සේවය කරන්නට ඉල්ලයි දණින් වැටී
නො දකිති මෙහි දනන් හෙලනා කඳුළු කැටී
"තද කරගනු" කියාවිද යලි බඳේ පටී
කවිය බලන්න
දරුවෝ
විඳි දුක් අනෝරා
හදවත් අමෝරා
දරුවන් නිසා යයි
නිති කියවෙනා
එනමුත් දරුන් අප
නිවහනට ආවේ
අප කළ නිසාමයි
ආරාධනා
දරුවන් අරන් ආ
ඒ කිරි සිනා
සතුටක් නොවේදෝ
සිරිකත ගෙනා
අප සිත් නළෝලා
දරු කුසට ආ දා
සන්තෝස ගඟුලේ
අප නෑවුණා
දරු කිරි උරා බිව්
සංවේදනා
නියුරෝන තුඩගේ
සිට විසිරුණා
බහ තෝර තෝරා
පියවර ඔසෝලා
දරු අපට දුන්නේ
මල් මල් සිනා
දරු ලොකු වෙලා දැන්
විසිරී ගිහින්
වෙන් වෙන් කැදැල්ලේ
ඉටුවී පැතුම්
කවිය බලන්න
කාක බෝධිය
සැලෙයි බෝපත්
නොදැක බෝසත්
පේන මානෙක නැති නිසා
පිට දෙන්න මින්පස්සෙ එන්නේ
කව් රැදැයි කව්දැයි සිතා
විකාරයි සිව්‍රකුත් එල්ලයි
අත්ත මියයාවිය සිතා
අපූරැයි කාකයෙක් ඉන්දූ
හන්දියේ බෝගහ ඉතා
පඩුරැ සහ
සද්ධාව උතුරයි
පාර අද්දර ඇති නිසා
ලගදි පිළිවෙල වුනා බෝධිය
දෙවි කෙනෙක් එහි වැඩි නිසා
ලගදි ඉදලා පිරිත් කියැවෙයි
පීකරැත් බැද ඇති නිසා
කොහෙන්දෝ හිමි නමක් ඇවිදින්
පඩුරැ පෙට්ටිය බර නිසා
රන් පාට රන් වැටක් ගැහුවා
සල්ලි පොලියට දෙන එකා
බුද්ධ පිළිමය එහි ගෙනාවේ
ගංජා මුදලාලිගෙ පුතා
තෙදැති සදහැති මැති ඇමැත්තෝ
නිතර එහි ආගිය නිසා
පිරිත් පැන් ,සුදු නූල් හිග නැත
රෙඩිමේඩ් කර ගත් නිසා
ඇතැම් කෙම්මුර රෑට මැදියම දේවතාවිය එන නිසා
කලින් දොරවල් වැහෙයි
බෝධියේ
කව්ද පින්කල බවලතා
කවිය බලන්න
පෝරුවේ මාරුව
පිච්ච සමන් වරුසාවයි
සුවඳ ගගුල පිටාර යයි
සංගීතය දෝරෙ ගලයි
හනුමා වන්නම තුරඟා වන්නම
නැටුම් ගොඩයි - සද්ද ගොඩයි
අවුරුදු විසි පහක් පුරා
නිවසෙ සිටිය කෝකිලාවි
වේල් දමා - මල් ගවසා
සුරලොව බට සුරඟන සේ
පාද සළඹ ලෙළ දෙවනා
කැකිරි සිනා පරදවනා
සීරුවකට පාද තබා
නැග්ගාය දකුණු පසින්
මංගල පෝරු මස්තකයට
පොරුවට ගොඩ වුණේ
මගේ දියණිය වුවද
බැස ගියේ වෙනකෙකුය
පුතු ද මා එසේම ය
ගෙදර පහන සේ සිටියා
අක්ක මලෝ මල් දෙමිටයි
මව් පිය සෙනෙහස මැදිකොට
නිතර සිනාවෙන් සපිරුණු
පිය පුතු සමගිව සිටිනා
ගෙදර තිබුණ මැණික් පහන
නිහතමානි පහන් තරුව
ආදර බර රත්න පුත්‍ර
මංගල ඇඳුමින් සැරසී
වම් පසින් නැංගේය
පෝරු මස්තකයට
ගොඩ වුණේ මා පුතු වුවද
බැස ගියේ වෙනකෙකුය
මඟුල් බෙර අතරින්
උන් එදා පෝරුවෙන් බැස ගියා
දෙමහල්ලො තනි උනා
දරු දුකට හිනැහුනා
පෝරුවේ මාරුවෙන්
උපන් දුක හද විඳින
මව්පියන් හට සැවොම
උරුමයකි සදාතන
කවිය බලන්න
I crave to be a Cloud…
I crave to be a Cloud,
a beautiful white Cloud that's floating in the blue sky where the sun is shining…
A soft Cloud floating in the gentle breeze…
there is no one to stop me ...
there is no one to hurt me…
As a Cloud in the blue sky
I can see wherever you are…
I want to be a Cloud
and look at the things I love without bothering anyone…
කවිය බලන්න
නවම් මහේ කෙලවෙව්වා චන්දයට
දවස ගෙවන්නට විදියක් නෑ මෙහෙම
බඩට කන්න රස මිහිරක් නැතුවාම
කෑවත් නොකෑවා වේ සිහි කෙරුවාම
උඩට කියනු මිස වාවා ගනු කෝම
දරුවන් වඩා මැද මූලනේ අප්පච්චී
ඒවට ඉතින් කොයි කවුරුත් රැවටිච්චී
රට විකුණලා උන් සේරම සැඟවෙච්චී
රටේ තිබුණු සම්පත් ඔක්කොම පොච්චී
ගණන් ගියා බඩු ඉහ මුදුනටත් උඩ
පනන් හතරකින් දිවි රැකුමටයි වැඩ
මුලන් ගලවලා පෙන්වූ නමුත් වැඩ
දලන් මිසෙක මිණි නැත වට්ටියේ උඩ
සවන් යොමා ඇසුවොත් කදිමයි සැමට
සුවන්දිරම් අය කරමින් ඇත රඟට
උවම් මොටද නීතිය නවනව ජයට
නවම් මහේ කෙලවෙව්වා චන්දයට
කවිය බලන්න
සෙබළියකි මා
වලා වියනක් සේ රැඳෙමි මඟ,
තරු කැලුම් අවුරා කුමුද මත
නැගෙන තුරු පුරසඳ උදාවී ,
පුබුදුවා දිවි මග ඇගේ
කටු පඳුර වෙමි පිපි මලට මා,
දිවා රැය රැකවලෙහි යෙදෙනා
නෙලන තුරු දුනු ශිල්ප දත්,
කුමරෙකු පැමිණ ඇය මතු දිනේ
නිබඳ අතින'ත බැඳ ගියද මඟ,
යෙහෙළියක නොව මා ඇගේ
මවය මා, ඇය මගේ දියණිය,
සරනු වෙනතක සැලෙලුනේ
කවිය බලන්න
සිසිර වැලපුම
වැහි ලිහිණියන් කැදලි තනනා තෙත් වලාකුල් වහලය
කැබලි ගැලවී බිම වැටෙන්නේ නොබෝ ගැබ මල් මාලය
නිරුවත් ව හුන් රුකක් කුසුමින් පිරී නික්මෙයි බාලය
මේ තමයි මල් පිපෙන වාරය සිසිරයේ අග කාලය
සාදු නාදෙන් දෝංකාරව වැඳ වැටෙන සුදු රෙදි හොරුන්
අන්ධකාරෙට ඇළුම් කරනා ගුප්ත ගති ගුණ ඇති මෙරුන්
ශිඛරයෙන් ශිඛරයට දැල් බැඳි මකුළු ඔළු ඇති සෘෂිවරුන්
හොල්මනක් වී හඬගසන්නේ දුකින් මියැදුණ දූවරුන්
කුරුළු මවකගෙ කඳුළු පිසලූ ලැවැන්ඩර් දම් සේලය
මල් වඩම් වී නිමා කරවයි යදම් බැඳ ලූ ජාලය
වසංගත කල අහිමි වී ගිය ගීත කූජන තාලය
පැටවු සමඟින් අතුරුදන් විය උගේ කුළුඳුල් ආලය
කවිය බලන්න
වැලන්ටයින් දින ....
තනත් තනෙන තානම් තාලය අල්ලාලා
ඔයත් එක්ක දවසක් මම සිහිනෙක නැටුවා
රජෙක් වගේ හිස මත මිණි කිරුළ ක් පළදා
පියන්නැතුව නෙත් මත අදුනක් ගැල්වූවා
දෙව් විමනකි අහසේ රන්තරු එල්ලාලා
ගං දිය මත පලසකි මිණිකැට අතුරාලා
පුලුන් රොදක් සේ මා මුව සිඹ සනසාලා
නෙලුම් පතක ඔබ මා සතපා නැලවුවා
සිළිං සිළිං සුළං මිහිරි ගීතය ගැයූ වා
හිමිං හිමිං රෑයියෙකුත් තාලය තිබ්බා
සිනා සිසී පුන් සිසි සිටි පියවර සිටියා
හංස පැටව් නොනිදා රන් රස තොල් ගෑවා..
14....2...2023
කවිය බලන්න
කවි දෙකක්
සිසිලසින් ගත වෙලන
කෙලිදෙලෙන් විහඟුන් කිචිබිචිය හඬ මවන
තුරු සෙවන හිඳ උදෑසන
මතුව එන සැනසිල්ල නිවාලයි සිත් පත්ල
හුදෙකලා සැඳෑවක්
ගිරවුන් රංචුවක් දිස් වෙයි අහස සරන
සොයම්දෝ සෙවනක්
මහ ගසක් යට බංකුවක් ලෑලි දිරලද හිතෙන
වටු කුරුළු තුඩින් සැඬ පහරින්
හෝ චණ්ඩ මාරුතයකින් ඇවිදින් හොරෙන්
නිල් අහස සිපගන්න යෝද රුක විද මෙතන
ගොලායත් විලසින්
මඳ සුළඟ සිසිලස දැනෙයි
ගෙට ගෙවැදීම සමරන්න ගසක් ඉන්දූ එදින
ලියැවුන පද හතරක ලියා ඇත සැනසිල්ල
සරසරින් අතු රිකිළි හඬයි
14.02.2023
කවිය බලන්න
කැමීලියා......
අත පෙවිය නොහැකි දුරින්
පිපී තුරු වදුළක උඩින්
ලොව නෙත් දහසක පහස ලැබ
කිසිඳු අතකට නෙලාගනු
නොහැකි වුනු ඔබ..
නොවී කිසිඳු අඩුවක් රුවින්
සමමිතිකව සියලු පතින්
පිපී සුවඳ දෙමින්
නොසැලී කිසිඳු පවනකින්
නිසසලව සිටින ඔබ..
නොපතා පහස ලොවින්
නොදොඬා කිසිත් මුවින්
සඟවා හැඟුම් සිතින්
හඬවා හදවත් නිතින්
නිහඬව සිටින ඔබ..
කාලය ගෙවී සෙමින්
පෙර සේ පෙති විහිදමින්
තුරු හිස මතම හිනැහෙමින්
සිටීද ඔබ ඒ ලෙසින්..
කඳු මුදුනක තුරු හිස මත
උපන්නියා
සුවඳ සේම රුව විසිතුරු
ලබන්නියා
දසත බලා මල් හසරැළි
හෙලන්නියා
හද නැතිවම ඉපදුනිදෝ
කැමීලියා.
කවිය බලන්න
ගෙරවිල්ල
දිවා කල හෙම්බත්ව
යහනය මතට ඇද වැටෙන
ඔබගෙ ගෙරවිලි හඩ
මා දෙසවන ඉරි තැලූ හැටි.....
මා සිත තැවූ හැටි....
අදත් ඇත මතකයේ....
ඒත් අද..
ඉමහත්ය අස්වැසිල්ල....
ඒ හඩ...
ඔබගෙ හද තවමත්...
ගැහෙන බව මට කියයි..
මා තනිව නැති බව
කියයි මට ඔබේ හද......
කවිය බලන්න
පිය වත..
පියලි දෙපියලි වෙවී වැඩුණු මහ තුරු හිසක්
සෙවන දී උස් මහත් කර බොහෝ කුඩා වුන්
අතු පතර අවසඟව බිඳී ලොකු කුඩා මුල්
සනාතන දම් කියයි ගිලිහෙමින් ශේෂ පත්..
පුබුදු වී එන රිවිර සේ කිරණ විහිදුවා
එලි කලා මංපෙතක් විදුකිරණ පතුරුවා
මාවතේ යනෙන මග කටු කොහොල් ඉවතලා
ජීවිතේ එලිකරන පහන් වැට සේ වුනා..
කාලයේ වැලි තලා මත දෙපා නැගි බිමේ
මංලකුණු වියැකිලා ගත විඩාවක් දැනේ
හැකි දාට බැරි දෙයක් නැති නමුත් ජීවිතේ
බැරි දාට රජෙක් මුත් දිවි ගෙවයි හාමතේ..
මල් දළුත් පලත් දී පැවැත්මට ලෝකයේ
ගිමන් හරිනා දිනක තනිව හිඳ සයනයේ
සද් අසද් බව හැඳින පිරූ රන් මිනිස් දම්
පමණි සතු සැනසිල්ල ලන්න අවසන් සුසුම්..
කවිය බලන්න
නිදහස කුමටද ? Whither Freedom
නිදහස කුමටද ? Whither Freedom
අඩ බෙර ගහනවා, වීදි සරසනව Drums a beating, streets adorned
පෙළපාලියෙ සිහ දජය ඔසවනව Masses throng, Lion flag waving
ත්‍රිවිද සේනා දස්කම් රඟනව Triple armed forces with fanciful displays
හැත්තැ පහක නිදහස ගැන කියනව . Proclaiming 75 yrs of Freedom.
දරුවට පොවන්න කිරිපිටි නැත්නම් If there is no milk for the infants
සා ගින්නට හරි වේලක් නැත්නම් If there is no food to relieve the hungry
පාසැල් අරින්න පොත් පත් නැත්නම් If there is no books for kids schooling
ඉන්න හිටින්නට වහලක් නැත්නම් If there is no roof over their heads
විලි වහගන්නට රෙදි කඩ නැතිනම් If there are no clothes to wear
කුමටද අද මේ සමරණ නිදහස ? Why celebrate this Freedom?
බටහිර ලෝකෙන් මිදුනෙ මේකටද ? Was freedom from the West won for this
ආගම් බෙදලා, ජාතිය බෙදලා Dividing the Nation with religion & race
අපේ පාලකයො කලේ ඒකමද? All rulers have done the same
ණය පිට ණය සිරිලක මත පටවා Mounting debt upon crippling debt
පරදීසියම සූරාගත් කැල Fleecing the assets of a Paradise Island
සුකෝපභෝගී වෙන වෙන තල වල Enjoy luxuriant living on a different plane
අසරණ ජනයා කවදත් පීඩිත Whilst the masses are internally trodden
තව කී කලකට මෙය ඉවසන්නද ? How long can they tolerate this doom?
කුමටද අද මේ සමරණ නිදහස ? Why celebrate this Freedom?
රසීකා ජයතුංග Rasieka Jayatunga
04.02.23 04.02.23
කවිය බලන්න
තවත් කුමකට .... මට ඔබට
මහ මෙරක බර
හිතට ගෙන
සිඟිති හිස මත
ජීවන බර
උසුලාගෙන
මහමග
අනන්තයට
පියමං කරන
හය හතර
නොතේරෙන
දරුවන් දැක
එක රැයක් හෝ
අමතක කළහැකි නම්
අපිට එරට
තවත් කුමකට
මට ඔබට
කවිය බලන්න
බල්ලට දුන් මනාපේ
අපේ ගෙදරත් - පුංචි ජන්දයක්
බලු පැටියෙක් ඕනද නැද්ද කියල
අත උස්සලා ජන්දෙදීලා
හැමෝම දුන්නා මනාප ජන්දේ - බලු පැටියව ගේන්න කියලා
මනාප අරගෙන ඒකෙන් දිනලා - බල්ලා ගෙදරට ආවා පැනගෙන
බල්ලගේ ඕනෑ එපාකම් - මේ හැමදේමත්
තරඟෙට වාගේ හැමෝම එක්වී
කරලා දෙද්දී - බල්ලා ඉන්නවා මුදුනාවී
මනාපේ පැනලා දුන්නෙත් අපිමයි - ඌව මුදුනා කෙරුවෙත් අපිමයි
බල්ලගේ යටහත් වැසියොත් අපිමයි
බල්ලගේ වැඩ පමා කලොත් අපි - ඌ බුරා ගෙන ඇඟටම එන්නේ
බලුකම හැමවිට මතුවෙනවා
මනාපේ දීලා තිරිසන් සතෙකුට
දැන් දැන් කාටත් සිහිපත් වෙනවා - කරගත් මේ මෝඩකමේ හැටි
24පෙබරවාරි 2023
කවිය බලන්න
අඳෝනාව..
රබන් හඬින් මුළු ගම දෙවනත් කරන්
මගුල් කෑවෙ දෙතුන් දොහක් පැණි පෙරන්
බඩට ආව විට පැටියෙක් දුක දරන්
තනිව යාම යෙහෙකි ද දිවියම ඉරන්..
උල ලේනිගෙ ගී හා මල් පිපිණි වරා
මද එළියේ සඳ පමණකි කඳුළු දරා
නිසල සිරුර වන මැද පෙර පෑව නුරා
කැලේ සතා හප කෙරුවා රුහිර උරා
අනෙ! අපොයි!! අම්මෝ!!!
නද නැගෙද්දී
බුලත් පත්‍ර දෙකට ඉරා නොදෙද්දී
මැතිරූ තෙල් ගෙනැවිත් නොම ගාද්දී
මැරුණත් පලි නොගනිද නූපදිද්දී..
කවිය බලන්න
ඔව්...ඒ ලෙවල් කළා
විදුලියත් ඔරවද්දි තව ගණන් උස්සලා
ගිරි බෙයද මුල මහා ගණ අඳුර නස්සලා
කණමැදිරි එළිය මැද කඳුළු වැහි වස්සලා
අකුණු ඉරි එකතු කර පහන හරි ගස්සලා
මාර සෙන් යුද්ධයට පහුවදා එළිවුණා
පේපරේ වෙලාවට මේසයට විසිවුණා
සීරුවට උනපු දිය අගල් බැමි සුණුවුණා
භාර දෙමි කඩදාසි ඔරුව පිළිතුර වුණා
දෙවඟනගෙ නීතියේ තීන්දුව එක හෙළා
කියන තුරු බොල් අහසෙ ඉගිලෙද්දි වී මුළා
පුර හඳේ කිරි බඳුන රාහුගේ මුව හලා
සටහනේ කටු අකුරු මට ම ඔච්චම් කළා
ආදි විද්‍යාර්ථිනී ,
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ,
රුහුණ විශ්වවිද්‍යාලය .
කවිය බලන්න
කැළෑ මළ
කැළෑමලේ නුඹ පිපිලා
උස අත්තක වනන්තරේ
හරිම ලස්සනයි
ම්.... හරිම ලස්සනයි
ලතා මඬුලු සෙවන සදයි
සිතට ගතට සිසිලස දෙයි
වන බඹරුන් වටේ නටයි
ගුම් නදදෙයි මිහිරි නදින්
තඹර විලට සඳ පායයි
රතු නෙළුමින් කුඩය සදයි
නොයනු මැනවි ඒ පැත්තට
නුඹ හරිම ලස්සනයි
කැළෑ මලේ
කවිය බලන්න
හිටි හැටියේ ඇඬෙනවා
අප්පච්චි
තවමත්
හිටි හැටියේ
ඇඬෙනවා මට
දකින කොට
හැන්දෑවේ
මුවගල කන්දේ
වැටිසේයාව
යන වේලේ
ඉර අවරට
රතු විල්ලුද
පලස අහසේ
එළාගෙන
ඒ තමා
අප්පච්චි
හරියටම
වැඩ ඇරිලා
ගෙදර එන වෙලාව
හිනා කටක්
පුරවාගෙන
මහන්සිය හංගාගෙන
බයිසිකල් අසුනේ
පිටිපසින් එල්ලූ මල්ලේ
කවදා ද වැරදුණේ
මල් ඉස්කෝතු
ළා රෝස පාටින්
ළා කහ පාටින්
ළා කොළ පාටින්
අයිසින් බිංදුවක්
හිටවපු?
එහෙමත් නැත්නම්
නාරං බික් මුළක්
තැඹිලි පාට
කහ පාට
ග්ලූකෝස් දවටපු
සීනි කූරු හතරක්
රෝස සුදු ඉරි වැටුණු
දෙකක් අයියාට
දෙකක් මට
අඩුම තරමේ
දම්,කොළ, රෝස
සුදු ,තැඹිලි
මී බෙටි සීනි බෝල
අහුරක් වත්
නොවුණු දවසක්
නොතිබුණු තරම්
කන්නත් ඉස්සර
කඩචෝරු
මං බලන් ඉන්නේ
එල්ලනකල්
බෝල කූඩුවේ
අප්පච්චි ඇඳගෙන ඉන්න
සුදුපාට කමිසේ
ඉඹිනවා මං හොරෙන්
දාඩිය සුවඳ බලන්නට
ඒ තමයි මට දැනුණ
මිහිරිම සුවඳ මේ ලෝකේ
දැනුත් දැනෙනවා මට
හුදෙකලා සවස් කාලෙක
ඒ සුවඳ
අප්පච්චි
ඒ තරම් සුවඳක්
විඳලා නෑ
කිසිදාක මං
මගේ ජීවිතයේ
කවිය බලන්න
තාමත් අපි රැවටීලා
(ප්‍රතිපත්ති ව්‍යවස්ථා
නැති දේශපාලු පක්ෂ සහ දේශපාලුවො) එකතුවෙලා
(රටක ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථා
හදන්න රොද බැඳගෙන)
එකතුවෙලා
(ධනවාදය සමවාදය නියෝන් ධනවාදය
මාක්ස්වාදය වමද දකුණද ප්‍රජාතන්තවාදය, උතුර දකුණ)
මාරුවෙලා
පරණ රබර් පරණ තමා
ගඳගහනව ඉඩගන්නව
දසක ගණන් කල එවුන්ට
තාමත් අපි රැවටීලා
උන් ඔක්කොම එකා වගේ
අපි ඔක්කොම උන්ගෙ වගේ
🛑 මාවිතරක් හරිය මතේ
🚶👨🦽🦵උන්සැම යොදවා කතිරේ
කවිය බලන්න
හිමි--අහිමි
රෑ සඳත් බැබළෙමින් තිබූනත්
පසුවදා එය අහසෙ සැගැවෙන්නේ
අරුණ නැගි හිරු කිරණ සැලුවත්
සවස සිතිජයෙ ගිලී නැතිවෙන්නේ
උදේ පිපි මල් සුවඳ විහිදා දිනක
දෙකකදි නිබඳ පරවෙන්නේ
ඔබ ඔබේ යැයි සිතාගෙන සිටි
සියොළගත් නෑ ඔබට හිමිවන්නේ
-----
ගලන ගඟෙ එක් තැනෙකදි ගත්
ජලය බෑ යළි ගැනුම කිසිදාක
අනෝතත් විල පිබිදුනත් රත්
නෙළුම් මියයයි දියත මතුදාක
බිදෙන තත්සර නගන වීනා හඬ
එතත් සර නොදේ.සැමදාක
උනුන් සමගින් දබර කෙරුවෝ
සදා නොරැදෙයි අතැර දුක් සෝක
------
පාලකයෝ සිය බලය එකසේ
ඇතැයි සිතුවත් නොවේ එය එලෙස
සිතේ රාගය සිඳී යනතුරු බවුන්
වැඩුවෙද රහත් වෙනු කෙලෙස
කල්ප ගණනක් ඔහේ ගැලුවත්
හිරු රැසින් නෑ සිදෙනු සිදු පියෙස
ඔබට ඔබවත් නොමැති බවයක
කොහේදෝ අන් කෙනෙක් ලොව සදෙස
------
මලේ සුවඳට බඹරු ඇදුනත් මලක්
යනු නැත බඹරු වෙත තැනෙක
ගඟක් පහලට ගලා යනු මුත්
නොයයි උඩු ගංං බලා කිසි විටෙක
සඳේ රැක් මිහිමතට වැටුණත් සඳක්
නැත මහ පොළොවෙ කිසි රැයෙක
ඔබත් ඔබ ගැන සිතා බැලුවොත්
ඔබත් ඉන්නේ ඔබට නැති ලොවක
=============================
(අතකස හිටපු සම ලේකම් )
20/2/2023
කවිය බලන්න
නොදන්නා නෑකම්
මලක පෙති දෙපෙති අදරින් සිප ගන්න
මුලක නෑ පැතුම් මලකට ලන් වෙන්න
ඇහැකි මුත් මලක නෑකම පවසන්න
මුලක නෑ උගුල් පොලවෙන් මතු වෙන්න
ගල් මුල් කැට කැබලි මර සෙන් හා සටන
හිරු සදු තාරකා කිසිදා නොම දකින
අතු කොල සුඹුලු මල් දලු නිහඩව රකින
මුල බෝසතෙකි බණ පදයක් නොම දෙසන
අම්මා පොලව, පිපිරී, පා රිදුම් දෙති
දඬු පොල් පුවක් ගස් පඬු පෑ රෙදි ලිහති
හිරු කෝපයෙන් ඉහ උඩ කොඩිවින කරති
නා ලොව පැන් සොරා ගෙන මුල ගස රකිති
උදුවප් දුරුත්තත් විටකදි ගැහැනු වැනි
නිරුවත් කරති, අතු ඉති උන් රහස් දනී
කැපුවත් නොයමි, කී කොල දලු කඩා පනි
බැලුවත් සැපයි, මුර ගැ අතු වැටේ ඉනී
බිඟු කැල මල වටා ඇරයුම් ලැබ සරති
පෙම් ගී ගයා දෙඅදර මදු රස සොයති
මලේ මුලේ නැකම් ගැන නොම දනිති
මලින් උපන් කුමරියො ගැන කවි ලියති
කවිය බලන්න
නවතින්න මොහොතකට
කදු ගැටය මත
හිදිමි අත් බැද
පියා නෙතු යුග
දැහැනකට සම වැදුන මෙන්
දිවෙයි ලෝකය
නගා හෙන හඩ
නැවතුමක් නැත
මහා ජල ගැල්මක් ලෙසින්
මුරුගසන් වරුසාව එනු දැක
ඉන් මිදෙන්නද තනන්නේ?
සබද නවතිනු
මුරුගසන් වැසි දෙසට වේ ගඟ ගලන්නේ.
කවිය බලන්න
අත් හැරීමත් ප්‍රේමයක් .
කීවමුත් දිව්රමින් පෙරදා නොයෙන බව කිසි දිනෙක හැරදා
පෑව සෙනෙහස අකුල ගන්නැති මාව ඒකිට එපා හන්දා
වාව ගන්නට බැරිව දුක්ගිනි ඒව ඔක්කොම තනිව වින්දා
නාවමුත් දැන් කමක් නෑ මං බැදීමක පෙම් යදම් බින්දා
නානාවිද කිනිසි අත ගෙන පලක් නැතී
කළහොත් පවක් දිනකදි පසුපසින් එතී
ගිහිගෙයි විසුම හදමඩලට ගෙනෙයි හතී
මා සෙව් නිවන සැගවී බණ පොතෙහි ඇතී
රත්තරන් කූඩුවක හැදුවත් ගිරව් කැලයක් සොයා ඇදුනා
අත් හැරීමත් ප්‍රේමයක්මැයි මා ඇසුව ගීතෙකත් තිබුනා
නසාගෙන පසු නැසෙන්නටනම් කිසිවිටෙක තීරණය නොවුනා
සිත් පුරා සැනසීම අත්කර බුදු මගින් තුන් සිතම නිවුනා
කවිය බලන්න
සමු දෙමි
හැමදෙන දකින්නේ මා අනුවණ ලෙසට
නුඹ ගැන තවත් නම් නොසිතිය යුතු බවට
හෙලවෙන දතක් වැනි නුඹ චංචල සිතට
වෙන වෙන හේතු ඇතිබව ඇහුණා කනට
නංගී මල්ලි පවුලේ බර හිසේ තියා
අන් අය ගැනම වෙහෙසෙයි සේ ගෙදර පියා
මං දන්නවා නුඹ හිත හොඳ කෙනෙක් කියා
දැන්වත් හිතන්නකො තම හෙට ගැනත් ඔයා
තීරණ ගන්න වෙයි ඉක්මනටම වාගේ
කීවොත් දැන්ම එනවා නුඹ හා දීගේ
මා පිය සහෝදරියන් දෙවෙනිය මාගේ
ආවොත් රකිමි මවකව සැම දා ඒ ගේ
මා මග දා ගියත් මොන යම් හේතුවට
නෑ කිසි වෛරයක් තරහක් ගෑවෙන්ට
දීගෙක ගිහින් කුල සිරිතට පෑහෙන්ට
පේවෙමි ඔහුට සදහට නතු වී ඉන්ට
කවිය බලන්න
නුඹ නැතිව නුඹ එක්ක..
කෝච්චිය මරහඬ නගා බැණ වදින
අන්තිම විනාඩියෙ දිවූ පාන්දර
ඉඳහිටක ලැබෙනවා යුගල අසුනක්
කවුළුව කොනෙක මට
ඔබ පතා සති අවසන ආ
යාල්දේවියෙ අනුරපුර සිට..
දිව්වාට වේගයෙන් ජීවිතය වාගේම
තාම තියෙනවා බොහෝ තැන්වල
මතක සැමරුම් හිත නැවතුන..
කවුළුවෙන් පිටත, දුම්රයේ..
ඔබ එක්ක...
මිහිරි සුමිහිරි..
යළිදු යන්නට බැරිවුණ...
ගාළු මුවදොර සරැලි ගී ඇසුව..
පාළු ගෙල පපුතුරේ සැගවූව
එදා...
මාලිමා තිබුනේම නැහැ ප්‍රේමයට..
බැඳුණු අතැඟිලි තදකොට
යාල්දේවි දුම්රියේ
පසුව ගිය හැමදාම..
තැනෙක දෙතැනක හැර
පෙනුනේම නැහැ කවුළුව එපිට..
බොහෝ දුක් තැවුල් කරදර අතර
දූ පුතු ද කැටුව යන දිනෙක ද
මීදුමයි දස අත කවුළුව එපිට
පෙනුනේම ඇසුනේම උන් මිහිරි හඬ රුව
තනිව යන දිනෙක දී
දුම්රියේ , ඇතුගල පෙනෙන මායිමේ..
ඒ මහා බර තවමත් දැනේ..
පීලි අතරින් දුවන දෑත් පටලා ලංව
පෙම්වතුන් මැද , වේදිකාව ද අතැර
අත ඇරුණු නුඹ සොයමි...
කවුළුවෙන් හිස යොමා
එ ගල මුදුනත රුව ද සුව සොයමි...
පපුව අත ගා බලමි
නුඹේ දිගු කෙහෙරැලි සොයමි..
කවිය බලන්න
අඬන්න එපා අල්තිනායි. වසන්තය එනව සත්තයි .
සිදුරු කර ළය පිපුණට මල්
ගතු කිව්වෙ කවදාද මිහි මව්
නොහෙලාම නුහුරු බැල්මක්
දරා ගන්නී නොඅසාම පැනයක්
අයිලයක් නැති තැනකත්
ඉපදෙනව අල්තිනායිලත්
නොකියාම පෙම හිර කරගත්
ඇදුරු හිත් වේ බොහෝ තාමත්
හේතු නොකියාම සමු ගත්තත්
අමනාප නෑ හිරු එක්ක අහසක්
රිදෙව්වත් මල් ශීත සෘතුවක්
පෙමක් ඉතිරියි තුහින තුඩකත්
පොප්ලර්ම නොවුණත්
තිබේ තනී වී ඉකිබ්ඳින මහ ගස්
සීතලේ හිම ආඩම්බරෙන් වැටුණත්
වසන්තය එනව සත්තයි ආයෙත්.
2023.01.25.
කවිය බලන්න
ලද මැන සදා සුව
සැමදින සවස සඳ පායන වෙලාවේ
සිත ගත සතපවාලන රැය උදාවේ
දවසෙම ලද වෙහෙස එතකින් නිමාවේ
රෑ කුමරියයි සැමදා සුව ගෙනාවේ
හිරු කුමරිය පැමිණ සතුටින් සිනාවී
දවසේ වැඩට නැවතත් අත වනාවී
පිබිදුණු සිතින් වඩ අරඹනු ලබාවී
දහවල වන විටදි නලියයි එපාවී
සඳ කුමරියට නැවතත් අඬ ගසාවී
රෑ කුමරිය සමඟ එන ලෙස කියාවී
හිරුගෙන් ලැබුණු පීඩා කණ තියාවී
දාහය නිවා සනසන ලෙස කියාවී
මේ ලෙස සැවොම නැළවෙන තුරු මරු තුරුලේ
දිව රෑ දෙකෙහි දුක සැප දෙක මත පෙරලේ
සැප පමණක්ම විඳිනා අය නම් විරලේ
මේකයි සැබෑ බව ලොව කිවහොත් සරලේ
පවතින තුරා මේ ලොව දුක් කඳුලැල්ලේ
දැවටී ගෙවනු ඇත සැමදෙන විඳවිල්ලේ
නවතා මෙදුක් ඉන්නට නම් සැනසිල්ලේ
පින හා කුසල් කළ යුතු වෙයි එක එල්ලේ
අඩු වැඩි ලෙසින් හැම දිනකම විඳින දුක
නුවණින් බලනු මැන වැටහෙයි නොමැත සැක
ඉන්පසු වෙර වඩා සිත ගත දෙකම රැක
දුක පිරි සසර නවතනු මැන නිවන දැක
රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි
ලන්ඩන්
2023 . 02 .10
කවිය බලන්න
වැළපෙන හද කුටිය
මතක සැමරුම් අතර සිරවී
සිටින මුත් මම තවම පේවී
නුඹ සිටී සෙල්මුවා රුව වී
නැතිද මම පිදු සෙනෙහෙ සිහිවී
එළිය ගෙනෙනට නුඹේ කුටියට
විවර වී ඇති කඩතුරාවට
අවැසි යැයි ඇඟමැලි කඩන්නට
පැවසුවාලු හමන සුළඟට
සිටින ලෙස ඇති සවිය-ශක්තිය
ගොළුව හුන් නුඹෙ කුටියෙ බිත්තිය
නුඹට මම පිදු මගේ භක්තිය
දුටු නිසා කළුගලුත් තෙත් විය
කවිය බලන්න
අසාපන් කන්ථක
ළය පැලී මිය ඇදුණු
බොහෝ හදවත් අතර
තුන්කල්හි නොනැසෙනා
නුඹෙ නමයි සුපතලම
මේ සසර දනව්වේ
කොහේ හෝ සිට පැමිණ
ඇසිල්ලක් නතර වී
යථා තතු පවසන්න
අධිකරණ වෙද ඇසට
නොපෙනෙනා නොදැනෙනා
මරණයට හේතුවක්
නුඹට වත් නොපෙනේද???
හද බිතෙහි වම් පසින්
ඉරි තැලී නික්මුණේ
ඒ කටුක දිවිමගේ
එදිනෙදා නිදන් කළ
සෝ සුසුම් නොවේමද????
කවිය බලන්න
සඳකඩපහන
ඉවසමින් නියන් පහර
ඉඩ දී ලියවැලකට
බලන් හිටියෙ
ඉහලින් ඉන්න
වාහල්කඩක් වගේ
ලස්සනට
.
.
ඒත් ...
.
.
දුක නැද්ද ඔහෙලටත්
තව තව මාව පාගන්න
මීට සඳකඩපහන
කවිය බලන්න
සම්ප්‍රදායේ පීලි මත............
උපතින් නැග
විපතින් බසින
සම්ප්‍රදායේ පීලි මත
දුම්රිය ගමනකි
ජීවිතය
ගොඩවූ තවකෙකු
සමග හෝ තනිවම
අලසව පෙරට යත
පසුපසට යා නොහැක
කිසිවිටක
පන්තියෙන් පන්තියට
වෑයමෙන් මාරුවුව
අවසාන නැවතුමට
දුර වෙනස් කල නොහැක
කිසිවකුට
ගුනක් නුගුනක් නොමැති
හිතක් පපුවක් නොලද
සොබාදම ඇන්ජිමකි
සවන් නැති යාතිකා
අසන්නට
සිහියෙන් බීමතින්
ගත වසා දුහුලින්
වැරහැල්ලෙන් පෙමින්
ද්වේශයෙන් ගියේ යැයි
පලක් වෙද
තෙරපෙන්නන් ට ඉඩද
විඩාපත්වූවන්ට අසුනද
දී මැදහත් සිතින්
ඇදෙනු මිස අන් කවර
සුවක් වෙද
කවිය බලන්න
රුවන්වැලි මහ සෑය
බුදු සිසිල ගලා එන රුවන්වැලි මහසෑය
සද සිසිල ගලා එන රුවන්වැලි මහසෑය
මල්සුවද ගලා එන රුවන්වැලි මහසෑය
සිල්සුවද ගලා එන රුවන්වැලි මහසෑය
සිසිල දෙන්නට වැවිඉවුර රැලිවෙලා
සුවද දෙන්නට මල් ගොමුව සැරසිලා
එලිය දෙන්නට සදමඩල මෝරලා
නිවන් මග පෙන්නන්න මහසෑය සැරසිලා
දෙවිබඹුන් මහසෑය වදින්නට
සගරුවන මහසෑය වදින්නට
සිල්වතූන් මහසෑය වදින්නට
වැලිමලව සතර කොන රැස්වෙලා
කවිය බලන්න
කඳුළු මල්
මන්දිරේ පියස්සෙන් කඳුළු මල් මත යැපී
දොා්ණියේ ඉරි තැලුණු හිත ගියෙද හිරි වැටී
බත්පතට දවසේම අම්මා බැලමෙහෙ ඇතී
ඉල්ලුවට හඳමාමා දීලා නෑ කිරිපැණී
හිමි නොවුනු අහිමි වුණු දේ නමට කළකිරී
අනවසර සුසුම් වැල් පපු ගැඹුර ගිනි ගනී
පරතරය එය තමයි මතය හුදු ඇති නැතී
සංසාරේ කාට හරි නුඹත් තව ණය ඇතී
දෙදුන්නේ සත්පාට නෙත් මානෙ පෙනි පෙනී
ළං වෙන්න බැරි තරම් දුරක වග නුඹ දනී
පියාපත් සලාපන් කොහොම හරි හරිගැහී
ඉමක් නැති නිල් අහසෙ නුඹට හිමි තැන ඇතී
ඒත්
ප්‍රවේසම් වී ඉඳින් උකුසු ඇස් ඩැහැ ගනී
කවිය බලන්න
යසෝදරා වී ඉපදෙන් මතු භවයේ
පුදා ප්‍රථම ප්‍රේමය සිත්සේ බෝම
අවසන් ප්‍රේමයක් කිසිදින නොලබාම
නොනගා හඬක් හැමදාමත් ලෙංගතුව
ඉන්නේ කොහොමදැයි කියපන් දුක නැතුව
සදා සඳුන් ගස් අරටුව ඇති බෝම
පුදා සුවඳ කිසි දෙයකුත් නොපතාම
දුකට සින්න දේ පමණක් වළඳාම
ඉන්නේ කොහොමදැයි කියපන් නොසැලීම
හොරෙන් අඬලාද නෙත් වියළිලා ගියේ
ටිකෙන් ටිකම දුක රසකර වැළඳූයේ
නිමා කරන්නට දැන්වත් සංසාරේ
යසෝදරා වී ඉපදෙන් මතු භවයේ
කවිය බලන්න
ඕනමයි ඇස් දෙකක්
මාළිගා රැජිණටත්
තේ කඩේ සොපියටත්
මෝස්තර ළදකටත්
තනිව වැඬි වැලකටත්
හුස්ම ගන්නට ටිකක්
ඕනමයි ඇස් දෙකක්
තරු රටා අතර හිඳ සැගවෙන්න
හඳ එළිය මිහිරි ලෙස විඳගන්න
මිය ඇඳෙන සිරුරකට යළි එන්න
ප්‍රේමයක් ඇවැසිමයි පවතින්න...
කවිය බලන්න
මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි
කොහොලින් බරව අදිමදි කලෙමි ඈ හා රැඟුම
මුමුණමින් මියුරු ගීයක් මා දෑත ගත් ඈ හෙමින් තෙපලීය
රඟන්න මා හා තුරුළුව උණුසුම් වනතුරු සිරුර
මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි
ඔපලූ යකඩ තලයක පතිත දිය සේ පාවුනෙමු අපි ඔබමොබ
සිතුසේ පෑවෙමු රැඟුම් කිව නොහැක වචනයෙන් ඇගෙන් මා ලද භාවය
පැතිරෙයි සංගීතය දසත ක්‍රමයෙන් උණුසුම් වෙයි සිරුර
හ්ම් මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි
නොවූවත් හැඟුම්බර පැතුවෙමි විසුම ඇය හා මුලුරැය
ඈ විදුලි පහන් අඳුරු කල තෙපලීය රහසින් ලංව
සුහද, නටන්න මා සමඟ මුලුරැය මියෙන තුරු සඳ හා තරු කැළ
මේ තමා තිරස් මනදොලෙහි සිරස් අභිනය
කවිය බලන්න
කවුළුව තුළින්
මා පුතු තැනු අලුත් නිවසේ
ජනෙල් කවුළුවෙන්
නිතර වට පිට බලන විට
නේක වර්ණ ගස් කොළන්
පුංචි පුංචි සමනලුන්
පාට පාට මල් කැකුළු
විවිධ පැහැගත් කුරුල්ලන්
පියා සලමින් නටති
බත් පතට පලතුරට
පොර බඳිති
නමුත්
මිනිස් සිතුවිලි එහි නැත
තුඩට ගත් බත් කට
අනෙකාට කවයි
සමඟියෙන් ඉගිළ යයි
මිනිසුන්ට පාඩමකි මේ
කවිය බලන්න
🗙

























































































