ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2021 මාර්තු කලාපය
සිඟිති දෑතින් ඉපදුන
ම හට ලොවකිය රස දෙන
වසන්තය විඳින මෙන
හිරු දෙවිඳ මට අභය දුන මැන
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ලන්ඩන්කවි මාර්තු කලාපයට ද උර දුන් ජ්‍යෙෂ්ට, ආධුනික කවි කිවිඳියනට තුති. මෙ මස සිට ලන්ඩන්කවි ළමා පිටුවක් ඇරඹීමට කටයුතු කළෙමු. ඔබගේ දූ දරුවන්ගේ සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ (පරිවර්තනයක් සමඟ) කවි තිබේ නම් මාර්තු පළමු සතිය තුල අප වෙත එවන්න. තවද මෙහි පළවූ පසු ඔබේ කවිය ඒ හා බැඳි ලින්කය හරහා ෆේස් බුක් හී හෝ වෙනත් මාධ්‍යයන් හී පල කිරීම කළ හැක. මී ලඟට එළඹෙන්නේ සිංහල අවුරුදු මාසයයි. ඔබේ කවි මාර්තු 20 දාට පෙර එවීමට උත්සාහ කරන්න.
උපුටා ගැනීම - සක්වා ලිහිණි කාව්‍යය - 1962
මැණිකෙගෙ පැල ලඟින් මා යන වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල් වලාවේ
ඒකයි පැලට ආවේ සිහි මුලාවේ
වැහපන් හෙටත් මල්වැහි ඒ වෙලාවේ
සිතුවම එස්. එල් සෙනෙහෙධීර.
කවිය බලන්න
ඔහුද..විරුවෙකි..!!!
ගිනිගත් මවු දෙරණ,
වියරුවෙන් පිළිස්සෙන....
ඉඩෝරයෙ හුලo වැද,
වියළී ගිය මිනිස්කම....
මුදිතාවෙ දහම් මඟේ,
සිහිලෙන් නහවන්න....
ඇසුනත් සතර අත,
හිමි දෙසූ නිවන් මඟ....
අසoවර නුඹේ හිත,
විරු ගතේ සැඟව හිඳ...
සොයන්නෙම ඇගේ ගත,
සතපන්න නුඹේ හිත....
මොහොතක විවේකෙට,
අනු'පුරේ ටවුම මැද...!!!
10/02/2021.
කවිය බලන්න
විවාහ ඒජන්සියේ ස්වයංවරය
පුටු පේළියක කොනේ අසුනක
මහ මෙරක් හිස උඩ තබාගෙන
විදුලි පංකාවට අකීකරු වුනු
අවුල් වූ නර කෙස් වසාගෙන
බලා හිඳිනෙමි වාරේ එනතුරු
වඩින තුරු මල් හීය අරගෙන
එකිනෙකා එයි දුන්න අතගෙන
අසල පුටුවේ වාඩි වී ගෙන
දෑස් පා මුළු සියොලඟම වෙත
අසයි අතොරක් නැතුව වතගොත
තාත්තා ඔත්පල නියාවෙන්
නංගිගේ ඉගෙනීම වෙනුවෙන්
පළමු පෙම හැර ගිය මුලාවෙන්
පමා වුනු නිසි කල විවාහය
කටපාඩමට දැන් මුවෙන් පිට වේ
කරන සිල්ලර කඩයේ වත්කම
වත්ත පිටියේ නෙලන ඵල වැල
රන් රිදී මුදු වළලු කරපට
ගණන් බලනා උන්ගේ ගණකය
එකින් එක මැන තරාදිය මත
මුවින් නොඅසන දැවැද්ද එය
සසඳා බැලුමට තවත් ඔවුනට
දින ගනී තීරණය ගැනුමට
ගෙවී යන සති අන්තයක හැම
පුරුදු පාරෙන් ගොඩ වැදී එහි
සොයා බලනට සුදුසු සහකරු
කෙනෙක් ඇතිදැයි බලා ගැලපෙන
මනාපය දන්වා එවන තෙක්
හිදිමි දොරකඩ හිස් අහස යට
නැවත සතියක් එනතුරාවට......
කවිය බලන්න
ප්ලැතෝනික ප්‍රේමය
නිවා දමන්නෙමි, සියලු රාග සිළු මෙන්ම
ක්ලේශ රශ්මි ද
හද පුරා වරින්වර ඇවිළෙන ,
දල්වන්නෙමි විරාගය ,පුදනු වස් ප්‍රේමයම පමණක් හුදෙකලාව ඔබ නමට,
නොයන්නෙමි හැර, හැර යනතුරුම ඔබ.
දන්නා බැවින් කිසිවෙකුත් මෙලොව පිරිපුන් නොවන බව ,
නොරිසිවෙමි සිද විමසන්නට තද පැහැති ළා පැහැති තැන්,
මගේ ලොව පැහැගැන්වු ඉන්ද්‍රචාපයක,
දැනගත්තෙමි පිරිසිද ,
ප්‍රේමය වුවද නොපිදිය හැකි බැව්
එකම හදකට සදාකල්හිම විඩාපත්වන බැවින් හදවත,
වසන්නෙමි මොහොතකට බුද්ධිය
හරින්නෙමි හදවතේ ඉසියුම් ද්වාර එකිනෙක
පෙන්වමි එසඳ මම ඔබට
කිරඹටත් වඩා සිහිල් ඔබ නමින් මා හද උපන් ප්‍රේමය
කවිය බලන්න
ප්‍රභාවේ ප්‍රතිභාව
හිරු දෙවිගෙ තෙද බලෙන්
ඇඟ දවයි හිරු එළිය
හඳේ ප්‍රතිභා බලෙන්
හිරුගෙ ඒ ප්‍රභාවට
නව මුහුණුවරක් දී
මැවේ සොමි රැස් දහර
හඳේ සෙනෙහස නිසා
නිවේ ගත සිත දෙකම
මහා කරුණා බලෙන්
මානවී දයාවෙන්
සත්ව කරුණාවකින්
සතා සිවුපාවුන්ට
ගහකොළට ඇළ දොළට
මහා පොළවට පවා
දැඩි ගිම්ද නිවාලන
සිසිලසකි ලැබෙන්නේ
අපූර්වත්වය නිසා
චමත්කාරයකි ඒ
හිරු එළියෙ ප්‍රභාවයි
හඳෙන් ප්‍රතිභා වෙන්නෙ
එහෙත් ඒ සඳ එළිය
හිරු එළියමයි කියා
කෙලෙසකද කියන්නේ
ව්‍යුත්පත්තිය මවන අපුර්වත්වයකි ඒ
සතත අභ්‍යාසයෙනි එහි මහිම වැඩෙන්නේ
කවිය බලන්න
මව්වරුන්ගේ ආදරය
ආර්ථික න්‍යායන් පරදවන,
ඉල්ලුම වැඩිවෙත්ම සැපයුමත් වැඩිකරන
ප්‍රමිතිය පහල නොදමන
කිසිදා මිලක් නියම නොකරන
"මව්වරුන්ගේ ආදරය"
(මින්නේරිය නිවුන් අලි පැටව් - චයාරූපය ද කවියාගේ මය )
කවිය බලන්න
කෑගලු පුරාවත
දැන් නුඹෙ නෙත් මඟයි කෑගලු ගල පැත්තේ
තැන් - තැන්වලින් පැන ගිය රජු එහි නැත්තේ
කන් දී හොඳින් සැමට ම දැන තතු මත්තේ
රන් කරඬුව සොයනු අද කොහිදැයි ඇත්තේ
හරි හැටි දැන ගනුව විස්තර අසා පන්
හරි හැටි දන්න දන හමු වෙයි බලා පන්
හරි හැටි පැටිකිරිය රස කොට අනා පන්
හරි හැටි නොදත් දෑ හෙළි කර කියා පන්
ගලින් - ගලට පැන ගිය රජු වළ ගම්බා
මලින් හිසට බැඳ වැඳ බුදු හිස සිම්බා
රුපුන් ඇසට දැකුමට විසකම පිම්බා
රජුන් ගතට දිරිගෙන පය බිම තිබ්බා
කෑ ගල් ලෙන් අතැර මාවන ඇල්ල කරා
තැන වෙයි කදක් දුන් ඔහු රයිගමට සොරා
විකුණා ගියෙ ද දිනුවැයි උහු සිතෙහි දරා
දන්නෙ ද මෙ ගමෙ නම කද ගුරා හැර බැලූ ගුරා
පෑ දී නැඟුණු හඬ සතුරන් පෙති ගස ව
ඈ දී නුහුණු විට උන් දැකුමත් විස ව
දෑ දී පෙණුනු සඳ වන දිවියට රස ව
සෑ දී අබා වළගම්බා හැර බිස ව
පිරිවර රැගෙන බුදු සසුන ද ගෙන ඇවැසී
පිරිවර නැගෙන තැන - තැන වෙසැ’ති ව රහසී
අතහැර තිබුණ දඹරන් ගිරි ලෙන නිවැසී
හිරිහැර නොගෙන මඟ දැන වාගිරි පිවිසී
දැඩි ලෙස රැකවරණ පිට ලැබ සැල කිල්ල
වැඩි ලෙන්ගතුකම ද දැන බහිරව බිල්ල
සැඩි ලෙස රුපුන් පැමිණිය හොත් කර මෙල්ල
කොඩි ජය බඳින්නට ජය ගෙන සිතු විල්ල
රද පිරිවර ද දැඩි වෙහෙසින් තැවුණු ගතේ
රැය නිදි වරා රැකි කරඬුව වැසුණු සිතේ
විය නිරතුරු පහන් නොදැනි ම බැඳුණු මතේ
මැද ගල් ලිප බිf`දයි ගිනි දළු ඉදුණු බතේ
අලු යම් උදයෙ බත් කා ගමනේ ගත් තේ
වග නම් කියනු බුලතට ගිරයයි නැත් තේ
ඇති නම් එ තැන “අප බත් කෑ ගල” මත් තේ
වෙන නම් තැනක් නැත අන් එ තැනයි ඇත් තේ
එ රද එ පුර පිටියෙහි ඇති තුරු නිල්ල
මෙ රද එ පුර විඳ ගති ගරු සැල කිල්ල
“බත් කෑ ගල” පසු ව නම් ගති කෑ ගල්ල
අදටත් දකිත හැක එහි ඇති ගල් තැල්ල
කවිය බලන්න
පසුතැවීම
සඳ පහසක් සේ දැනුනා
මද පවනක් සේ එතුනා
තරු වියනක් සේ දිලුනා
හද සිසිලක් සේ දැනුනා
සියොළඟ සලිතක් හැඟුනා
සිත කුල්මත් වී පිපුනා
මන මන්මත් වී රැඟුනා
කය වල්මත් වී සැලුනා
හිරු මඬලක් නොම දුටුවා
මල් කැකුලක පෙති හැලුවා
සැඩ සුළඟක් වී හැමුවා
පෙන බුබුලක් සේ දුටුවා
මල් සුවඳක් නොම දැනුනා
පන්සිළුවක් නැත පෙනුනා
ගණ අඳුරක් නෙත ගැටුණා
පසුපස එන දුක විඳුනා
2021/02/24 01.04 am
කවිය බලන්න
රුක් වලප
පින්වතුනේ
සොඳ යහගුණ පුරණා
නාඔ කියත් දත්වලින් හපා
අනේ අපේ හිස් අත් දෙපා කපා
බිම හෙළා දෙතිස්වද දිදී මරනු එපා
ගහකොළ නැතිවුණ දා
මේ ලෝක ධාතුවේ
සම්මා සම්බුදු මෑණිවරුන්
පහළ නොවේව
ලොව හැම තුරු සෙවනක්
බෝ සෙවනකි පින්වතුනේ
අපමණ ජීවය බිහිවන්නයි
රූසිරි ගුණපැහැ ගස්වැල් දළු ලන්නේ
දහසක් බෝසත්වරු බුදුවන්නයි
අපමණ වනතුරු බෝතුරු වන්නේ
සත් සමුදුර වියැලී
මහකරුණා සාගරය මිදේවී
ගං හෝ ඇල දොළ සිඳිලා
මෙත් කරුණා සිලිලාර මිදේවී
මේ මහපොළවම ගිනියම් වී ගුගුරා
ළය පැලිලා මියැදේවී
මිනිසත්වග අතුරුදහන් වේවී
සෙනසුරු ලෝකයම බිහිවෙවී
ගහකොළ නැතිවුණා දා
පින්වතුනේ
කවිය බලන්න
සඳ
නිල් කැටි ගුවන සඳ වතුරෙන් දෝවන්නයි
රෑ තනි අහස සඳ සිසිලෙන් සැනසෙන්නයි
හිරුගේ රැස් සඳු ලඟ නොම නතු වෙන්නයි
පිදු දේ සුදුයි, සුවඳයි, ඇය රූ බබලන්නයි
මුදු සඳ කැන් හැම දන මන පුබුදන්නයි
හඳ හාවා ලපටි ලමා හද බැඳ ගන්නයි
සඳ එලියේ බුදුන් පුදට මල් ගෙන යන්නයි
මනුලොව හදවත් සෙනෙහෙන් වෑහෙන්නයි
සුව මිහිරියි සිත දැහැමියි කල් යල් යන්නයි
වත එලියයි ගත අඳුරුයි ආවාට ලැගුම් ගයි
රිය සක ලෙස ලොව්තුරු සසරක හමු වන්නයි
අමාවකින් පුරහඳ වෙත ආලෙ පුරන්නයි
අරුත
සඳ ලලනාවක් නම් ..
නිල් කැටි ගුවන සඳ වතුරෙන් දෝවන්නයි
නිල්පාට අහස සඳ එලියෙන් දෝවනය කරන්නයි
රෑ තනි අහස සඳ සිසිලෙන් සැනසෙන්නයි
තනිවුනු රෑ අහස සඳේ එලියෙන් එලියවී සැනසෙන්නයි
හිරුගේ රැස් සඳු ලඟ නොම නතු වෙන්නයි
හඳ එලිය දෙන්නෙ හිරුගෙන් ලැබෙන රැස් දන් දෙන නිසයි. සඳ සේම ලියත් අලංකාර වන්නේ සහජයෙන් හිමි ලෙස දරුවන් ලොවට දානය කිරීමෙන් සහ ආදරය , කරුනාව , දයාව , මෛත්‍රිය ද බෙදා දීම නිසයි.
පිදු දේ සුදුයි, සුවඳයි, ඇය රූ බබලන්නයි
ද්‍යානමය සිත පිරිසිදුයි, සුවඳවත් , දානමය සිත ඇත්තී රූපයෙන් අනූනයි ඇතුතින් හා පිටතින් දෙකින්ම සුන්දරයි.
මුදු සඳ කැන් හැම දන මන පුබුදන්නයි
මෘදු සඳ රැස් ජනයාගේ හිත සුවපත් කරයි ඒ වගේම සුන්දර ලලනාවෝ ද දැකීමට ප්‍රියයන්ය.
හඳ හාවා ලපටි ලමා හද බැඳ ගන්නයි
හඳේ හාවාගේ හැඩය දරුවන්ගේ හිත් ගනී ස්හ කාන්තාවද දරුවන්ගේ ආකර්ශනය ලබයි
සඳ එලියේ බුදුන් පුදට මල් ගෙන යන්නයි
(A Physical cultural tradition of the full moon day)-direct meaning n මවක්/ලියක් තමයි සාමාන්‍යයෙන් පවුලක ආගමික/අධ්‍යාත්මික ගුණ වගාවට පණ පොවන්නෙ.
මනුලොව හදවත් සෙනෙහෙන් වෑහෙන්නයි
හඳ, මුදු සියුමැලි බවින් සෙනෙහස පානා සේ මිනිස් හදවත් ආදරනීය පිවිතුරු ලලනාවන්ගේ/ මව් වරුන්ගේ ආදරයෙන් උතුරා යන්නයි
සුව මිහිරියි සිත දැහැමියි කල් යල් යන්නයි
හඳ හා ලලනාව දෙපලම කල් යන විට ඉහත කිවූ ලෙස එහි සූව මිහිරි බව චංචල වේ
වත එලියයි ගත අඳුරුයි ආවාට ලැගුම් ගයි
හඳෙහි එක් පැත්තක් පමනයි අපට දකින්න ලැබෙන්නෙ , දකින පැත්ත මුහුන නම් අනික්පැත්ත සිරුර ලෙසයි මා දකින්නෙ. ලලනාවගෙ සිරුර වියැකී යයි හරියට හඳ ආවාට (කැලැල්- කලු පැල්ලම්) වලින් සමන්විතයි වගේ.
රිය සක ලෙස ලොව්තුරු සසරක හමු වන්නයි
ජීවිත සංසාරෙ රෝදයක් වගේ
අමාවකින් පුරහඳ වෙත ආලෙ පුරන්නයි
අමාවක සිට පුර හඳ එන තෙක් ඉන්නා සේ ලලනාවත් නීරස සිට රස තෙක් පෙරුම් පුරයි . දුකින් සැප ද, කනස්සල්ලෙන් සංතෝෂයද, අග හිඟ කමින් සමෘදිය ද ප්ප්‍රාර්තනා කරයි.
කවිය බලන්න
රෝස වන්නම
ඔබේ හිතේ ඇති
සිහින ලෝකයේ
පාවීයන්නට මාහට හැකිනම්
එන්නද ඇඳගෙන රෝස ඇදුම්
නෙලමුද සුරඟන රෝස කුසුම්
සමනලුනේ අපි අද ආවේ
රෝස මලුත් අපි ගෙන ආවේ
එක්වී නටමුද ගයමුද නිසිලෙස
රෝස වන්නමයි අපි කීවේ
රෝස ඇදුම් ඇඳ හැඩ වීලා
කතා පෙට්ටියත් හඬ හැරලා
තුරුලටවී අපි කියවමු හිනැහෙමු
ඔබේ ලොවෙයි මා දැන් දෝනී
කවිය බලන්න
ප්‍රථම ප්‍රේමය හිමි වෙන්න -
රතු තොල් ලාවට සිප ගන්න
මට ඔබ හරි හැටි විඳගන්න
ලොවට හොරා මට ලං වෙන්න
ලෝකය මොහොතක් නවතින්න
ඔබට හොරා ඔබ ලඟ ඉන්න
රැලි රැලි කෙස් අත ගෙන ඉන්න
බබලන නෙතු මට හිමි වෙන්න
දෙවියනි වරමක් මට දෙන්න
කාලය ආපසු හරවන්න
කඳුලු බිංදු ඇගෙ පිස ලන්න
හදවත සදහට සැනසෙන්න
ප්‍රථම ප්‍රේමෙ මගෙ හිමිවෙන්න
මගෙ සුරඟන ඔබ හිනැහෙන්න
සුදු සඳ කිරණින් පුරවන්න
සත් සමුදුරු පිහිනා ඔන්න
මම එමි ඔබ හිමි කර ගන්න
කවිය බලන්න
දාන හමුවක්
හැදුවා මම අතුරුපසක්
මිතුරු ගෙදර හෙට දානෙට
අනුභව නම් මිතුරන්ගේ
හැදුවේ සාදුට වුනාට
බුදු පුදටත් අයින් කරයි
පුංචි කෑල්ලක් පැත්තක
ඉවත වැටෙයි ඒ සියල්ල
දානය අවසන් වුනාම
හාමුදුරුවො වැඩිය කලට
කථා නතරවී මොහොතක
ජීවිතයේ අනියත බව
මෙනෙහි කරයි අපි සැමදෙන
දාන මාන අවසන්වී
හාමුදුරුවො පිටවුණාම
කතා බහේ ලොකු වෙනසක්
කට හඩවල් දැන් සද්දයි
යාලුවන්ගේ දරුවන් ගැන
අහල පහල රස තොරතුරු
අපේ රටේ දැන් තත්වය
වාද විවාදත් ඇතිවෙයි
මේ සියල්ල අවසන් වී
සමුඅරගෙන ඒ සැමගෙන්
පිටවී එයි අපි සැමදෙන
බණ ඉතුරුද අපේ හිතේ ?
කවිය බලන්න
සමච්චලය
මවුබිමේ අගය කියාදී
අතීත ශ්‍රී විභූතිය පෙන්නා
කටපාඩම් කරවා
ටිබැට් මිහිඳු හිමිගේ කවි
ඇති දැඩි කළා පුතු
උගත මනා සිප් සයුර
එතෙර කර ..........
සහතික රැගෙන
ගියා එක එකා පස්සේ
පත්වීමක් පතාගෙන ?
එහෙත් ඔහු තබාගන්නට මෙබිම
කුණු දේශපාලනය ඉඩ නොදුනි.
ගියා පුතු මගේ අදහස් නොතකා එතෙර
ඔස්ට්‍රේලියාවේ ලබා පුරවැසිකම
පෙළවහට ගෙන සුදු කතක්
දරු පැටියෙකු ද ලබා
හිත රිදුම් නැතිව
මනස පිවිතුරුව
සුදුසුකමට ගැලපෙන
රැකියාවක් ද කරගෙන
වෙසෙහි එහි
මා කීව මවුබිමේ මහිමය
හිනාවට කරුණක්ය දැන් ඔහුට
මගේ හිත තැලේ යැයි නොකීව ද
මා කෙරේ සමච්චල් හිතක් ඇති!
කවිය බලන්න
උන්මාදයක රස
උන්මාදයක රස හඳුනන්නේ - උන්මාද වූවන් පමණයි
සන්තානයක සුව මතුවන්නේ - සන්තාපයක් හා සමගයි
පෙම් ප්‍රාර්ථනා බිඳී ගිය හදකට - අන්දකාරය නිවනයි
උන්මාදවූවනි දැන් ඉතින් - හිස් වූ මධු බඳුන් පුරවන්
සිහිනේ බිඳී - දෙනුවන් තෙමී
සුන් වී හදේ පැතුමන්
සුසුමන් හෙලා - කඳුලැල් සලා
ලතවී පලේ කිම දැන්?
හිස් ප්‍රාර්ථනා - දුක් වේදනා
හදවත් දවයි නිබඳේ
මේ ජීවිතේ අරුතක් සෙවීමම
උමතුවකි සබඳේ
කවිය බලන්න
ලන්දේසි හාමුදුරුවනේ
ලන්දේසින් නම් ලංකාවට එන්නැති
ලොවේ ඉස්තරම් කුරුඳු වලට තන්හාවේ
සියලු ඉසුරු වස්තු සැපත් ඇත හැරදා උපන් රටේ
ඇයිදෝ ඔබ මෙහි වැඩියේ ලන්දේසී හාමුදුරුවනේ
ලොවේ ඉස්තරම්ම බුදු සසුනේ රැස් විහිදා
ලක්දීපේ බැබළෙනවා පෙනුණාවත් දෝ
බුදුන් දවස සඟ සසුනේ අනුරුවකැයි සිතුණාවත් දෝ
ඒ අනුහසින් විමුක්ති සුව මග වඩින්න දෝ
වැඩ විසුවේ වන අරණේ සේනාසනයේ
සොබා සොඳුරු සිරියෙන් පිරි පොල්ගස්දූවේ.
සැබෑ තමයි තථාගත වදන් මේ අයුරූ
**"යම්සේ වනාහී
ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන
මේ යම්කිසි ගංගාවෝ වෙත්නම්
ඒ ගංගාවෝ සමුද්‍රයට පැමිණ
පළමු නම් ගොත් හැර දමත්
මහා සමුද්‍ර යන නාමයට පැමිණෙත්
එපරිද්දෙන්ම වනාහී
රජ බමුණු වෙළඳ ගොවි යන
මේ සිව් කුලයෝ වෙත්ද
ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාවූ
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්"
මේ ආදී අටගුණ කඳක් නිසාවෙන්
ඇලුණේ නමුත් සසුනේ-බුද්ධ ශ්‍රාවකයෝ එදා
එසේ නොවේ අද ඇලුණේ බුදුසසුනේ ලක්දීපේ
ජාති වර්ග කුල ගොත නොමැකේ නිකාය නාමය බැබළේ
නො අසමි කුමක්ද නිකාය ඔබගේ ලන්දේසී හාමුදුරුවනේ
ගිහි චරියාවේ නොඇලී ඉන්නට ශික්ෂා පදයෙන් දිවුරුම් දී
ශික්ෂාකාමී ශ්‍රමණ වෙසින් බොහෝ සිටිත් ලක් සසුනේ
ගිහි ජීවන රැකියා කරතී, උපයා ගනිතී,
වස්තු සම්පත් රැස් කරතී. කසා වතින් බැබලෙතී.
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ
සීසීටීවී කැමරා අටවා - දොරටු විසල් මහා පවුරු මැද්දේ
පන්සල් භූමි පුරා. සුවිසල් මන්දිර සම්පතින් පිරුණේ.
පූජා සැණකෙළි පෙරහැර උත්සව දන මන පොබ කරනා
රජ මැති ඇමතිද මහ ධන සිටුවර අනුබල ලැබ යෙහෙනා
පුදසත්කාරද සුවපහසුව සපිරී විහාර ගම් වාසේ
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ
අනේ ඉතින්
වෙනදත් පොඩි ඔරුව පැදගෙන එනවාලූ
ගොඩ වී කලපුවෙන් ගමේ පිඬු සිඟා යනවාලූ
එදා - පරක්කු දූවට ඔරුව විතරක් පාවෙලා ආවාලූ
කාටත් අමුත්තක් නොසිතුණේ
ඊට ඉස්සරත් ඔරුව විතරක් එහෙම පාවෙලා එනවාලූ
පීනාගෙන විත් හිමියනේ ඔබ ඔරුව අරගෙන යනවාලූ
එත් මෙදානම් ලන්දේසි හාමුදුරුවෝ පීනගෙන ආවේ නැතිලු
පහුවෙනිදා කලපු දියේ මිනිය පා වෙවී තිබුනාලු
අනේ මොකද මේ වුණේ - ලන්දේසී හාමුදුරුවනේ
ශික්ශාකාමී බුද්ධ පුත්‍රයෙක් - ඔහොම අපවත් වුණා නම්
සැදැහැවත් මහ බොදු සමාජය - කැළඹෙනවා කම්පාවෙන්
මහ පන්සල්වල ඝන්ටා නාදය - රැව් පිළිරැව් දෙනවා
වීදි පුරා කහ පාටින් ධජ පතාක නැඟිලා - ගෙන් ගෙට ලෙලදෙනවා
එත් අනේ මේ පුවතින් පුදුම වෙලා
අනේ අපොයි කියන්නවත් - කෙනෙක් හිටියේ නෑ
මීයට පිම්බා වාගේ ලක්දීපේ - සසුන සද්දක් නෑ
එකම එක මහා පන්සලකින් විතරක් - හඬක් ඉස්සර වුණා
සියදිවි හානි කරගෙන කියා දේශනා කළා
විදු නැණින් සපිරි දේශයකින් අවුදින්
හුරු කලාවූ ජීවන සංයමයෙන්
දිවි නහගන්නම හිතුවා නම්
රැහැණින් අතපය ගල්ගෙඩි බැඳගෙන
වතුරට පනින්න උමතු ලෙසින්
විස්වාස කරන්නම බැහැ එවන් සැහැසි චරියාවක් නම්
ලන්දේසී හාමුදුරුවනේ ඔබගෙන්
මරණය අබිරහසක් ලූ - මරණ පරීක්ෂණ නෑ
හෙවිල්ලක් බැලිල්ලක් නැති ගුප්ත නිහැඬියාවක සැඟවිලා
ලන්දේසී හාමුදුරුවෝ - "අපේ හාමුදුරුවෝ" නොවෙයි දෝ
තථාගතයන්ගේ සාසනේ - බැබළේ ලක්දීපේ
**අංගුත්තර නිකායේ පහාරාද සුත්‍රයෙන්
(ආරණ්‍ය සේනාසනයේ පොල්ගස්දූවේ අබිරහස් මරණයකට
ගොදුරු වූ අජාන් ජිනවංශෝ හිමියන්ගේ ගුණ සිහි කරමින්.)
25/02/2021
කවිය බලන්න
මම මගෙන් ම අසමි
මායාව දකින
නීල නෙතු තුල
පැටලි පැටලී තුරුළු වන විට
ඔබේ උණුසුම් දැල තුල
මම අසමි,
මගෙන් ගිලිහී ගොස්
මා තුලම රැදෙමින්
ඉඟිබිඟි කරන
කළුවරම කළුවර
වංකගිරි කොනක
හිරවුණුු මගේ මනසින්,.....
මෙය වූ කලී
ස්පර්ශ සුවයටම නතුවුු
උණුසුම් පහසටම ලොල්වුු
හැඟීමක් මිස
සිත නැති කයම ඉල්ලන
ශෘංගාර සුවයම මිසක
මෙි කුණු කය විහිදන
මල් සුවද
මිලිනව ගිය කලෙක
මිණි පළිඟු නෙත් යුග
අඩක් අන්ධව ගිය දිනෙක
අතැඟිල්ලක චලනයෙන් සසලවන
හස තුඩු පියුම්
අවදිවන්නට මැලිවන දිනෙක
තවත් මා ඇද බැඳ ගනීවිද
සදා නොවෙනස්වෙතැයි
පුන පුනා ඔබ කියන
ඔය හද දෙවොල තුල
නිති පුද පූජා ලබන
රාග වැසි වස්සවා
සුවඳ දුම් පුද කරන
නිම නොවන ආශා
පුද පඬුරු පුද ලබන
මා තුණු සිරුර මත
ස්නේහ වන්දනාවෙ යන..
ඔබෙි ගත සිත ගෙනෙන
ප්‍රේමයේ ප්‍රහර්ෂය...?
5.2.2021
කවිය බලන්න
ඉල්මහේ දිනක්..
ඔව් මේ මෙතැන
නුඹ මුලින් හිනාවුන
ලෙල්ලමට බයිනෙත්තු ඇවිදින්
සෙල්ලම් කල තැන
වැටී දුනුදිය කැඩී
අන්තිමට නුඹ සිනාසුන
පුළුටු ගද එක්ක
සුළඟ හමනවා තවම
තනියි ද කරදරයි ද හිත
අනේ මට කියාගන්න බැරිවුන...
හුරතල් කෙනිත්තුම්
ළය පා ඉල්ලුම්
තවමත් රතු ඉරට පහළින්
කූඩු කල හිත ඇවිලුම්
මූනිස්සමක් ඇවිදින් හිත් අස්සේ
වැදුනාට රිදුමක් නැත්තේ
එහෙමයි තෙපලුම් වැස්සේ
සඳත් ගිනිතියාගෙනයි බැස්සේ
ඉතින් බලනවා තාමත්
රතුමලක් මත්තේ
අහල ගං හතකවත්
සුවඳ නැති එකයි සත්තේ..
කවිය බලන්න
අපට වෙච්ච දේ...?
හිතේ ගින්න නිවා ගන්න සරණ නොමැති විට
තබා පඬුරු රටේ පසිඳු මහ දේවාලෙට
නවා දෙදන වැටී දෙරණ පිහිට යදින විට
කඩා වැටුනි දේවාලය ඇවිලෙන හිස පිට
නිවා ගන්න කුසේ ගින්න පලවැල නෙලුමට
දරා වෙහෙස අසීරුවෙන් ගොඩවුනි ගසකට
බිදී අත්ත වැටී බිමට පිහිට පතන විට
ගහේ බැඳල හිටපු ගොනා පැනල ඇනපි මට
බැහැයි කියා ඉවසන්නට බිරිඳ කහින හඬ
හොඳයි සිතා වෙන එකියක් ගෙන ආවෙමි හැඩ
දැනුයි අපොයි වැටහෙන්නේ මැයට තියන ලෙඩ
හඬයි ගඳයි කරුම දෙකකි ඇගෙ කුනුවී බඩ
කිරට නැමෙන යල කන්නේ අස්වනු රැකුමට
වැටට උඩින් නියර බැඳිමි කුඹුර හතර වට
අපිට පිහිට කෙලස කවුරු කරුනු මෙහෙම කොට
සැමට හොරා ගොයම කන්නෙ නියර සමග වැට
කබල ඇතුලෙ පොදිය සැදිල එකට හිටපු අපි
අවට වෙනස ඇඟට දැනිල කලබල උන අපි
සිසිල පතල කබල බිඳල බිමට පැනපු අපි
කබලෙ ඉඳල ලිපට වැටිල අද ලතැවෙන අපි
කවිය බලන්න
එක පන්තියෙ අපි
ගමේ ගොඩේ අහල පහළ දිවි ගමනෙදි අපි
නෑදෑකම් ඇයි හොඳයිය ලං කරගත් අපි
නැතිබැරි කම් අග හිඟ කම් පිරිවැරුවත් අපි
බෙදා හදාගෙන සතුටින් කඳුළු බිව්ව අපි
ඉරිසියාව තරහ මරහ තිබු පුහුදුන් අපි
පෝයදාට පන්සලේදි බණ පද ඇසු අපි
ජීවිතයේ අනියත බව දහමෙන් දුටු අපි
හිනහ වෙලා එකිනෙකාට උදව් වුනා අපි
වෙල් නියරේ ඉපනැල්ලේ පලා නෙළුව අපි
කැලේ තිබුණු බටු තිබ්බොටු නෙළා ගත්ත අපි
තුඹ කරවිල බටු කරවිල තිත්ත නොදුටු අපි
ජීවිතයේ පැණි රස තැන් සොයා ගියා අපි
හේනෙ කුඹුරෙ අත්කම් වැඩ ඇඟට දැනුනු අපි
තනි අයිතියෙ පොදු අයිතිය රසය වින්ද අපි
එකිනෙකාව එකිනෙකාට නැතිවම බැරි අපි
පොල් අතු වහලේ සමගිය හෙවිල්ලුවා අපි
යල මහ කන්නට සීතල සළුව ඇන්ද අපි
තුන් හීයට පොද වැස්සේ නඟුලෙ රැදුන අපි
බන්ඩි ගොයම කිරි වැදෙනා සිහින දුටුව අපි
ගොයම් කොලේ වී බිස්සේ කාටුව විඳි අපි
ඇළේ දොළේ ගංගාවේ වැව් සිහිලේ අපි
දිය දහරේ පෙණ බුබුලේ තාල දුටුව අපි
මිහිරියාව ගී පදවල නිදන් කෙරුව අපි
නව පරපුර සිහින ලොවින් එළියට ගත් අපි
අපේ කාලේ තිබූ පැතුම් දැන් නොදකින අපි
රුපියල් සත මිරිඟු දියට රැවටුනෙ නැති අපි
හරි දේ හරියට දකිනා අයත් සමඟ අපි
වැල යන පැති සොයා මැස්ස ගැහැව්වෙ නැති අපි
නින්දාවෙන් අවමානෙන් උපහාසෙන් අපි
සැලුනේ නෑ සැලෙන්නෙ නෑ එහෙම තමයි අපි
දනින් වැටී ජිවිතයෙන් සමුගැන්නැති අපි
මරණය ජීවත් කරවා උරුමෙ රකින අපි
ලොබ කමත් මසුරු කමත් පදම දුටුව අපි
අද ඇති අය හෙට නැති අය වෙනස දුටුව අපි
දෙන්න ඕන දේ දුන්නේ ගන්න නෙමෙයි අපි
මිය යන විට සියල්ල හැරදා යන්නෙත් අපි
යන්න ඕන තැන පඩිපෙළ දිගේ නගින අපි
නගින බහින හැම දෙනාට අත දෙනවා අපි
පහළ ඉහළ කොහි සිටියත් මිනිසුන් නේ අපි
අමතක නොකරන්න සබඳ එක පංතියෙ අපි
කවිය බලන්න
ආපසු හැරී එනු මැන මනෝ එක්කම
තිරයද කරලියද එකිනෙකට යා වුන
විශ්මිත රැඟුම් පෑවා සතුට සාදන
ලංකාවටම ඔහු සරි කෙනෙකු නෑ වෙන
සමුගෙන ගොසින් ඇත 'ජයලාල් රෝහණ'
පේරාදෙණිය, මොරටුව කොළඹ නම් ලද
සරසවි වලට ගොස් නැණ නුවන පිරිසිඳ
නව පරපුරට නොඅඩුව ලබා දෙන ලෙද
නෙක ගම් දනව් වෙත පා නැගුව සකි සඳ!
මහැදුරු සරත් සඳ බඳු ලොකු සර් ලා
විජයල මනෝලා තෙන්නෙල ජුඩීලා
අප හැර ගිය පසුව කුමටද හූල්ලා
ලාහෙන් මනින්නට නෑ 'ජයලාල්ලා'
පිය සෙනෙහස අහිමි හිරිමල් ළමා විය
අප හැමදෙනාටම වැඩියෙන් විශේෂය
කරගැට කඳුළු දහදිය පිරි අතීතය
හෙළිකල කතා බහ මෙතැනින් හමාරය
තිරයට වේදිකාවට බැඳුණි ආලය
මතකෙට නැඟෙයි දෙසුමක ගැඹුරු තාලය
ඉගෙනුම පිණිස වැය කළ සියලු කාලය
ගිනිගෙන දැවෙයි දකුණේ පුස්තකාලය
හැකි හැම විටම ටෙලි නළු වලට දායක
හැම චරිතයම දිවි මග සොඳුරු සාධක
'මුතුමිණ' ඇරුණු කොට දුටු 'ඉසුරුයෝගෙක'
තවමත් ජීවමානයි 'ග්‍රාම සේවක'
කරලිය, ටෙලි තිරය සහ හෙළ සිනමාව
ඔපවත් කරන සේ නෙක දස්කම් පෑව
එයිනුත් නොනැවතී පලකල ප්‍රතිභාව
කළ එළි වුනා ඔබගෙන් 'දොර මඩලාව'
මතකයි විවිධ හැඩතල සමග වික්රම
පාලුයි තිරය, කරලිය, සබය ඔක්කොම
ඔබ යන අතර තුර මූණටම දැක්කම
ආපසු හැරී එනු මැන 'මනෝ' එක්කම
කවිය බලන්න
ජයලාල් රෝහණ ගැයූ එකම ගීතය
ආවා මම නිවාඩුවට එංගලන්තෙට
දින්නා නේද මෙදා සැරේ ක්‍රිකට් කප් එක
කවුරුත් නොදකින දිනුමේ රහස කීමට
සිතුනා මට අපේ අයට යමක් කීමට
සුපර් ඕවරය යැවුවේ කල්ලෙක් නේද
සුද්දෙක් ඇයි ගත්තෙ නැත්තෙ ඒක යවන්න
කුසලතාවයට මුල් තැන දුන්න සුද්දට
වැරදුනෙ නැහැ ලැබුන නේද වර්ල්ඩ් කප් එක
සුදුස්සාට හිමි තැන දුන්නා නම් අපට
දියුණු වෙමින් පවතින රට තියෙන්නේ කොහිද
පොසිටිව් තින්කින්ග් වටින්නෙ ඒකයි අපට
දැන්වත් ගොන් වැඩ අතහැර නැගිටිමු එකට
ගීතය මෙතනින් View Video
කවිය බලන්න
යුද්ධය
කිමද ඉපදුනේ නුඹ කාගේ හෝ මනස් කුස
ගබ්සා වෙන් නැතිව බිහිවුනේ ඇයි මෙලෙස
විනාශය රැගෙන ආ යක් බිළිඳ කුරිරු විස
ශාප වේවා! තොපට නැතිවෙයන් බිඳී හිස
මොන යකෙක්දෝ පියා රාක්ෂණියක්ද මව
තොප ගෙනා විනාශය පසක් වෙද පවසනුව
සමගියෙන් ජීවත්ව සිටිය හැකි මිනිසුන්ව
වසන්නට ඉඩ නොදී රැගෙන යනු ඇයි එලොව
දිළිඳු කම දුරලවා පුරවන්න දනන් කුස
තිබෙන හැම සතයක්ම කා දමා නගන හිස
යුද්ධයයි නම් ලැබූ කාලකණ්නිය විගස
චුතවෙයන් ලෝකයෙන් වනුව සාමයෙ නිවස
කවිය බලන්න
නැඟෙනහිරින් නැඟෙන හිරු
මැකෙන ඉර බෙදුව දහදිය දෙ පස ඇද
බිදෙන හිර පවුරු, උදුරා රුපුන් තෙ ද
නැඟෙනහිර ජැටිය දිනුමට බැඳෙන දද
දිළෙන´යුර අගෙයි, නැඟි හිරු කිරණ වැද !
පිබිදෙයි කොළොම්තොට දෑ බැති නෙළුම් මල
පැතිරෙයි සොයුරු රුහිරෙහි - දහදියෙහි බල
විහිදෙයි එළිය ගෙන එන රන් පඬුරු වල
ඉතිරෙයි කිරි, නැ-ප අස්වනු නෙළන කල !!
මාගම කොමළි චීනෙට පෙළවහට දෙනා
පාළම සයුරු පෙත වෙත තිබු අහිමි වුණා
වාදම සතුරු සොර මුළ සතු සිඳින ඉනා
පාඩම නැඟෙනහිර ජැටියෙන් උගත මනා !!!
නොසිටිමු බලා විකිණෙනු ලෙය-මස මවඟේ
සුරකිමු රට-දැයෙහි සම්පත් නිති එ වගේ
දනවමු එකමුතුව, රුපුනට බල අපඟේ
නැගිටිමු - එඩි වඩමු - යමු පෙරටම සුමගේ !!!!
කවිය බලන්න
සිතක සිහිනය
ඔබේ සිනහව තරු ඇහැරවයි
කොඳ මල් පුබුදුවයි
සුළඟ වෙසින් ඇවිත් රහස් කියයි
ආදර බර හැඟුම් මවයි
රේණු වලින් පිරි
මල් කිනිති හඬවයි
ආදරයට වසඟ වන සිත්
නලියන සිත්
උමතු සිත්
සිතට සිත බැඳෙන විට
සිතක් ළඟ සිතක්
අඬා වැටෙන බව
කවුරුනම් දනීද ?
මේ සිත් මගේ නොවේ
මේ සිත් කාට අයිතිද
මමත් නොදනී ! සිතත් නොදනී !
ඝන අන්දකාරයක
නිවි නිවී දිලි දිලී එළි දැල්වෙන
කණා මැදිරින් වගේ හැම තැනම
සිත් ...සිත්...සිත්...
ඉතින් හිතන්න
සංසාරේ පුරාම
කල්පයක් යනතුරු
යුගයක් ඉවර වෙන තුරු
ආත්ම ගණනාවක් ඈතට
ආත්මයක් වත්
වසරක් දෙකක් හෝ
මාසයක් වත්
දිනක්
හෙටක්
පැයක් විතර
විනාඩියක්
එහෙම නම් තව පොඩ්ඩක්, ඩිංගක්, චුට්ටක්, තව ටිකක්
තත්පරයක්
අඩුම වශයෙන් දශමයක් වත් හිතන්න ....
ඉතින් සිතත් අරන් මම යන්නම් .........
කවිය බලන්න
මකුළුවෝ මේ සීත කාලයයි...
මල් කොළ නැතිය මේ සීත කාලෙට
හිරුත් ඔහෙ ඇතිය විරිත්තන් බාගෙට
පිනි මිඳුණු තණ පලස මත තාලෙට
දැල වියන මකුළුවෝ උඹට පාලුද...?
හිරු කිරණ මකාලයි දැනෙන සීතල
හදවත උණුසුම්ය වැටෙන විට මීවිත
ගොඳුරුත් හිඟය මේ සෙනසුරුගෙ නීතිය
මකුළුවෝ අගයමි උඹට ඇති වීරිය
වැටී හිරු කිරණ වැල් දිලෙයි දැල් වාටිය
දනන් නෙතු පොපියවයි සොබාදම් නීතිය
දරු පවුල නිදි වරයි වැදී කුස ගිනි සාපය
දැල දකින ලොව මෙදුක නොදැකීමයිනෙ පාපය
කවිය බලන්න
බිඳුන සිහින
ඇවිලුනා සර හඬක් නඟා නව දැලි හේන
යට කලා එකින් එක බීජ සතුටක් ගේන
ඇතිවුනා ටිකෙන් ටික අලුත් දවසක හීන
පිබිදුනා තුන් සිතම වගේ දැලුවුනු පාන
මහා සෑයට උඩින් පුරා හඳ හිනා වෙන
බලාගන්නට වගේ තරඟයට උඩට පැන
පලා පොළවෙන් නැඟී ඉහලටම ආ හෙමින
ගිරා පැහැ නැවුම් පැළ සොයයි හිරුගේ කිරණ
නෙක එළි ඇඳුනි අහසේ රූ රටා මවා
දිනකර සැඟව ඇත අතරින් කලුම වළා
බොඳ කර දෑස ඇද වැටුනා අහස කඩා
යටකර බිම ම දිය ගැලුවයි කරපු වගා
අරගෙන හීන මගෙ උදුරා තිබුණි ගලා
වතුරෙන් පිරුණි මඩ හිමිහිට වැවම කලා
පතුලේ සඟව ගත් හීනය මලක් වෙලා
සුපිපෙන දිනය එනතුරු මම ඉඳිමි බලා
කවිය බලන්න
කුළගෙට වැඩීමට නියමිත දියණියනී ...!
දිවිය පුරාවට දුක සැප සමසේ සතුටෙන් පිළිගෙන කුළගෙයි සතුට ..... රැක ගන්න
කව්රුන් කොහොම කීවත් සැකසුරුවම මහඟු අගනා ගුණයක් බව ......... වටහා ගන්න
රන් රිදී මුතු මැණික්වලට වඩා නිරෝගි සම්පත්තිය පරම ධනය යැයි ......... වටහා ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී, තරයේම මතකයේ ......... රඳවා ගන්න
ඔහුගේ දෙමව්පියන් නෑ හිත මිතුරන් සොහෝදරයින්ද ඔබගේම යැයි......... සිතා ගන්න
ඔහුගේ, දෙවැනි මවද,යහෙළියද, සොහොයුරිය, දියණියද ඔබ යැයි ......... සිතා ගන්න
ඔබ හිස මත කඩාවැටෙනා අනිසි පිටත ගිණි එහිම රදවා, සිරි නිවසට ......... ගොඩ වන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී ,තරයේම මතකයේ ......... රඳවා ගන්න
නරක දේ බැහැර කර, සුචරිතය එක්කර, ධනාත්මකව කුළගෙය ......... රැක ගන්න
සුභාසුබ දේ නිසිසේ වටහාගෙන ස්වභාව ධර්මයද පණ නළ සේ ......... රැක ගන්න
අනාගතයේදී උපදිනා දරු මුණුපුරන්ගේ සුවය උදෙසා සුවතාවයද ......... රැක ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී,තරයේ මතකයේ ......... රඳවා ගන්න
සැමට වඩා රැකිය යුත්තේ, මිනිසත්කම එහි අයිතිවාසිකම්ද යැයි කියලා ......... දෙන්න
ස්වකීය සංස්කෘතියත් සදාචාරයත් සභ්‍යත්වයත් පණසේ රැකීමට කියාලා ......... දෙන්න
ඔවුන් සැමද යහමග යැවීමට ඔබටද වගකීමක් ඇති බවට තරයේ වටහා .......... ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී, තරයේම මතකයේ රඳවා .......... ගන්න
කුළ ගෙට වාසනාව ගෙන එන්නේ, බුද්ධිමත් දුවා දරුවන් බව වටහා ..........ගන්න
උගත මනා ශිල්පය, ඔවුන්ගේද දිවිද මතු සුරකිනා බවට පැහැදිලි කර ..........දෙන්න
දිවි ගමනේ විශ්වාසවන්තම සහකරු ආදර සැමියා බවට ධාරණය කර ..........ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී ,තරයේ මතකයේ රඳවා ..........ගන්න
චිත්‍රය කිවිඳිය විසින් ම අඳින ලද්දකි.
2021/ 02/18
කවිය බලන්න
කුමර විය
මනරම් වනපෙතට වැද රංචුවේ ගිය
ඉමිහිරි කුමර විය සිහිවෙයි ගෙවී ගිය
අහුලාගත්තු හැඩ වටකුරු සිවිය ගිය
දොඹ ගෙඩිවලින් මොනවද අපි නොකර ගිය
සුවිසල් ගස් මුදුන් අහසට නැගී ගියේ
අතු අග රිකිලි නැමිලා හරි බරට තියේ
දිමිගොටු කෑ ගසා වැදුනත් සිඟිති ලයේ
අඹ වෑරුවේ නැත අප හට බාල වියේ
ගල් තලා හැඩට පැතිරුණු බිමක් විය
රොන් සලා පිපුනු රණවර මල් ද විය
දං වෙරළු හිඹොටු මී අඹ ගහන විය
වැල් ගෙතුන වදුලු යට රජදහන විය
අරමේ ගිරි මුදුනෙ විසි හොල්මනට බයේ
නොසිටිය නමුත් නැත වීරත්වයට ගියේ
නායක හාමුදුරු අණසක පැතිර වුයේ
ගැටගහ සැරමිටිය හරහට පිටේ තියේ
හිස මුදුනින්ම තරු විසිවෙන ලකුණු දැනේ
ඇස කොණකිනි බැලුවෙ මිතු කැල පැනල වනේ
නොගැලුව කඳුළු ලජ්ජා සිත යටින් පෙනේ
සාදුට සාධු ගඟ දෙසටය තල්ලු වුණේ
දිය බුං ගසාලා තරඟෙට වැදි පැටියෝ
මඩ නාරාඩියෙන් වට සරසා සිටියෝ
උණ ගස් සෙවනෙ තොටුපොළෙ පිරි නාන ලියෝ
කළ අවහිරය ගැන යහමින් උරණ වියෝ
කිතුල් පිත්තෙ බැඳි නූලේ මැද පිල්ලේ
අල්පෙනෙත්ති බිලි කොකු දිය යට එල්ලේ
නුඹල තරම් අපි පණ්ඩිත නැහැ මල්ලේ
මින් රැළ සිනාසි බත්තුළු ඇම ගිල්ලේ
නුරා නඟාගේ ලෝකය වැලි කෙළියේ
කෝම්පිට්ටු කැඩිලා නඩු හබ එළියේ
හරි වැරැද්ද කාගෙද යනු පොත නොලියේ
කන් අඹරවාගත් අපි දන ඇන විළියේ
බළල් පැටව් බලු පැටවුන් ඇඟ එල්ලේ
එකට කා එකට නිදියති වැලිපිල්ලේ
තිරිසන් මිනිස් වෙනසක් නැත ලොව පෙල්ලේ
බාල විය කුජගෙ බැල්මෙන් දැඟලිල්ලේ
ගස් ගල් මල් පියලි තුළ අපෙ සතුට විය
සිත් පිරිසිදුව කල් ගෙවනා සමය විය
විශ්මය ගෙනා පල අදටත් සවිය විය
දුක් කරදර නොදුටු දිවියකි කුමර විය
කවිය බලන්න
කටේ හයිය
කොණ්ඩය මා නොබැන්දාට
පිච්ච මලේ සුද ගැහුණට
හිසකෙස් හිස පිරිල තියෙනවා...
පාට - පාට නොදැම්මාට
දිගු වරලස කොට කලාට
මගෙ ලස්සන තව ම තියෙනවා...!
උපැස් යුවල පැළඳුවාට
මං කලිසං නොඇන්දාට
ගවුමට තව ලස්සන වෙනවා...
අඩි උස මිරිවැඩි ඇන්දට
වත්සුණු මං නොගෑවාට
ලස්සන මගෙ නොමැකි තියෙනවා...!
දෑත - දෙපා වෙව්ලුවාට
වේගය මගෙ අඩු වුණාට
පත - පොත ගැන හුඟක් දන්නවා...
ඇස කඳුළෙන් බොඳ වුණාට
අතැඟිලි අවනත නූනට
මුතු ඇට වගෙ අකුරු ලියවෙනවා
වයස අසූ පහ පැන්නට
ගත හැම රැළි - රැලි ගැහුනට
ඇඟේ පාට තවම තියෙනවා
කන ඇහෙන්නෙ නැති වුනාට
වැටි - වැටි එහෙ මෙහෙ ගියාට
කටේ හයිය හොඳට තියෙනවා .....
මගෙ කටේ හයිය හොඳට තියෙනවා
කවිය බලන්න
හෝ ගානා පොකුණ බලන්නට
සුන්දරපුරම්වල
පරම්පරාවෙන් ලද ගේ දොර
කැටයමින් බොරදමින් ඔප වූ
දොර ජනෙල්
මොනවා රකිනවාද මේ පාලු ගෙවල්වල
මොනවා බලනවද තනි වී
මේ දැවුණු බිමේ
ලොඹු කටින් තබා උන්
උළුවහු ජනෙල් දොර
ගලවා උගුල්ලා හඬ නොනඟා
තරු නැති උරහිස් මතින් ගෙන
ලොකු තරු රියෙහි තබා
කොළඹ අරන් යන්නේ
හෝ ගානා පොකුණ බලන්නද මේ
කොළඹ අරන් යන්නේ
(මීට වසර 5 කට පමණ පෙර බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ “ඇන්ටික් ෂොප් “ එකක විකිණීමට තබා තිබුණු උතුරේ උළුවහු ජනෙල් දැක කම්පා වූයෙමි. ගෘහ නිර්මාණ ශිල්පීන් ඒවා කඩිමුඩියේ මිලදී ගන්නා සැටිද දුටුවෙමි. මේ කම්පාව දිනක් මම සරත් චන්ද්‍රජීවයන් හා පැවසුවෙමි. ඔහු යාපනයට ගිය වෙලේ ගැලවූ උළුවහු ජනෙල් තිබුණු නිවෙස් වල ඡායාරූප 50 ක් පමණ මට ගෙනවිත් දුන්නේය. තවමත් මේ ලොඹු කටවල් එහි තිබෙණු ඇත.)
මේ කවිය ඊ මේලයෙන් යවා මිනිත්තු හතළිස් පහකින් පමණ සුනිල් සෙනෙවියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මෙසේය.
අප්පා හේත්තු වී සිටි තැන
දාඩිය පැල්ලමත් එක්කද
කොළඹ අරන් යන්නේ
ගනේෂ්ගේ මිහිරි සීනු නාදයට
අතවැනු අගුල ඇරි
උණුසුම කාමරයටම කැන්දූ
බුුරුල් කර තිබූ ජනෙල් කූරු එක්කමද
කොළඹ අරන් යන්නේ?
සිංහල බෞද්ධ සාලයක
ඔප දැමූ ආර්. ජී. පී
පිත්තල පතරොම් කොපු අතර
නූතන විසිත්ත කාමර කැටයමක් ව
සුන්දරම්පුර ජනෙල් පියන්පත
අමුතු සංහිඳීයාවක
ආචාර්ය සුනිල් සෙනෙවි
(21/01/30)
කවිය බලන්න
ආචාර්ය සුනිල් සෙනෙවි
(21/01/30)
අසංතෘප්ත
සුදුගවුමේ රැලි අතරේ සිත රැඳුන
පොතපිටු මැද සැඟවී මාරු වුන
විරාගි වූ සෙනෙහස කට මුල පිරුන
පාසල තුලම වියැකෙන සමනල සිහින
වත්සුනු සුවඳ උදුරා දහදිය පෙඟුණ
දහසක් අතර උවනත දැක සිත රැඳුණ
බස් රතයේ තෙරපී සිටි අය නොදැන
දෙනෙතින් කියූ රහසකි අම සුව පිරුන
මුහුනු පොතේ දුටුකල මන විකල කල
නින්දේ නොනින්දේ අඩසිහියෙන් හිඳින
මැසෙන්ජෙර් තුලින් ඇරයුම් කර හඬන
අන්තර්ජාලයේ පැටලුනු අනඟ රඟ
කිසිම විටෙක ඉවසනු බැරි නොහික්මුණ
සංතර්පණය නිමවී තෘප්තිය නොවන
තුරඟකු සදිසි දෙදරාගෙන හඹායන
සන්තානයේ වහලෙකි මිනිසත් මනස...
01/02/21
කවිය බලන්න
ඉර සේවය
රැය පුරා ගසාගෙන හිටපු සුදු වළාපොට
ඉහෙන් පන්නා දමා නුඹ යහනෙ විට්ටමට
ඇඳ රත්තරන් පාට සූට් එක ජැන්ඩියට
මල් සුවඳ සැන්ට් එකෙන් ටිකක් ගා දෙකන්සෙට
සිකැට්ටෙකකුත් තොලේ රඳවලා දල්වගෙන
මිහිදුමෙන් වළලු පිඹ කඳු මුදුන් දිහාවට
ඉස්කූටරෙන් වෙට්ටුවක් දමා සිඳු ළඳට
පාන්දර පිටත් වෙයි යන්න ඉර සේවයට.
මැනේජින් ඩිරැක්ටර් සිරි සමන් සුරිඳුන්ට
'මෝනිං සර්' කියා තුන් යලක් හිස පාත් කර
කා.කා.ස. කාකයන් තැබූ ලිපිගොණු අතර
ඉඩ හදන් ඉඳගනී පෙර අඹර මේසයට
තුන් ලොවම එළි කරන බැකෝ රැස් විහිදන්ට
උකස් වුනු ඉඩ කඩම් කලුපහන නිශාන්තට
එළි කරලා විකුණන්න, පර්චස් පහට, දහයට.
සල්ලි දී වලාහක ඇන්ටීට අතුගාන
ටී එකයි, වඩයකුත් කැන්ටිමෙන් ගෙන්නුවට
වැඩකරන අතරේම හීනියට සලුවෙන්න
හොර රහසෙ රිංගන්නෙ රාහුගේ ක්ලබ් එකට
ෆයිල් මිණි හැංගුවට කාටවත් නොපෙනෙන්න
බාර වුනු පුද පඬුරු අත යටින් පුද දෙන්න
පාතාල බහිරවත් එහි එනවා හමුවෙන්න.
නෙලුම් මිස් අකුලද්දි පෙටි කෑෂ් මනි පත්‍ර
ඇඟිලි සලකුණ තබා ඉර හැරෙයි පිටවෙන්න
තාරුකා හෝටලෙන් චිකන් කොත්තුවක් ගෙන
මුහුදෙ නා පැමිණියත්, ඇඳුම් හෙම මාරු කර
දබර වී "අනේ තමුසෙගෙ රස්නෙ" කියාගෙන
සඳවතිය අම්මලෑ ගෙදර නැවතුන පසුව
ගෙදර ඇති හිස්, නිහඬ, අඳුර ඉවසනු බැරිව
ඇද වැටෙයි දොම්නසින් අමාවක සයනයට
කවිය බලන්න
උපාසක මහතාගේ පොල් ගැසීම...
ආසනේ මාරයි
සාසනේ හමාරයි
කොඩිය නම් මාරයි
රටට හිරිකිත යුද්ධ සාරයි...
අසුනක් හින්දා
ආත්මෙ ම වික්කා
සිහළ උරුමේ මැක්කා
ආයෙ ඇවිදින් අපිට විද්දා...
උපාසක ඇත්තෝ
පාට පමණක් දැක්කෝ
බොල් පිළිම ගැත්තෝ
සාදු කියමින් වඳිනු දැක්කෝ...
සුභද්‍රගෙ පරපුර
අභද්‍රව හැසිරේ තැනින් තැන
වෙන විපත නොම දැක
ලොකු හිමියො ඇත රජුන් දැක දැක...
සිවුරේ ගරු පිහිට
නොමනා වැඩ පිණිස
යොදා ගනු කුමකට
අපි පව් නැද්ද හිමි සද...
රටට බුදු සරණයි
ධර්මයෙ උතුම් පිහිටයි
අපිට විළිලැජ්ජයි
මේ සියලු දේ රටට තිත්තයි...
කවිය බලන්න
කිමිදී සැඟවෙමි
අවසන් හිරැරැස් පතිත වුනු
තුරැ මුදුන් වල
දිලිසෙනා අතු පතර
වියරැය
දාස් පෙති පාට
ගිනි වැකුනු
එනමුදු නිවුනු
ගොම්මන් එලිය
බිහිසුනුය
පඳුරැ අස්සේ සැඟව
කෙලිනා කොල්ලන්ගෙ
කොක්සන් හඬ
උමතුය
ඈත ගම්මානෙකින් ඇහෙනා
කාටදෝ අඬගසන
ගැහැනියෙකුගේ හඬ
ගැඹුරැය
ගං ඉවුරැ පාමුල
රෑස්ස නාගස් වදුලක
සෙමෙන් දිය මත කිමිදෙමි
මල් රේණු සුවඳ විඳ විඳ
දිය පතුලෙ මොහොතක් සැඟවෙමි
(හැලෙන හෙවනැල්ලක කාව්‍ය 2020)
කවිය බලන්න
මා නැති දිනක, මිනිබිරියෙ ඔබට
රන් සූකිරි - සිඟිති සිනා
අත්පා විදහාලා රඟනා
ඇස් දල්වාලා කියන කතා
බොලඳ තෙපුල් - සිහින මවා
රන් දේදුනු - පීරාගෙන
සුර ලෝකෙන් - ඇවිල්ල මෙහෙ
මිණිබිරියක් මගෙ පොඩි සුරතල්
අපගේ ලෝකය දල්වා දැන්
ආදරයෙන් ඔබ නහවන්නම්
සිනිඳු සේල සළු පලඳන්නම්
කඳුළු බින්දු ඔබෙ පිසලන්නම්
නිදියන තුරු මා නළවන්නම්
කිරි සුවදින් විකසිත වූ ඔබෙ මුව
දෝතින් ගෙන මා සිපගන්නම්
ඔබේ ටිකිරි - සිඟිති සිතේ
සිතුම් පැතුම් - ඉබේ මැවේ
කියන්නකෝ මොනවද මැණිකේ
සපුරාලා මා දෙන්නෙ දුවේ
ලස්සන ලෝකය අවට තිබේ
අස්ථීරයි ජීවිතය අපේ
රැකගෙන චරිතය - වඩවා ගුණදම්
නොසැලී නොඇලී - ඉන්න දුවේ
මා නොදකින ඔබෙ තුරුණු වියේ
මට නොඇසෙයි ඔබෙ මඟුල් බෙරේ
මා නොදකින ඔබෙ අනාගතේ
මා නොසිටින දවසක් පැමිණේ
මේ ඔවදන් පිඬ ඔබේ ලයේ
රැව් දේවා මගෙ පුංචි දුවේ
රැව් දේවා මගෙ පුංචි දුවේ
රැව් දේවා මගෙ පුංචි දුවේ ……….
කවිය බලන්න
ජීවිතය ...ඔබ...
හසුවෙමින් සුළගකට
නොනැවතී ගසායන
ගලායන දොලදියේ
රැළි අතර මුවාවෙන
හිතාගන්නට කලින්
වෙනස් වී ගෙවීයන
ජීවිතය දකින්නම්
සිහිනයක් වගේ මම....
නවතින්න වෙන්න වෙයි
නොඳන්නා නවාතැන
මගහැරී යන විටදි
හුරුපුරුදු නවාතැන
කොහේ නැවතුනත්
නොනැවතී ඔහෙ ගලායන
ජීවිතය සිහිනයක්
රැයක නෙත ඇඳීයන.....
20/02/21.
කවිය බලන්න
සසළ - නිසසළ
සියළු දේ චංචලය
නුඹ නිතර කීවෙහිය
පොඩි කමට වරෙක මට
ගුරුහරුකම් ද දී
මව වුවද ඒ මොහොතෙ
නැති වුණිය මට වචන
මම නිරුත්තර වුනේ
නුඹේ වචනේ පිළිගන්ට
පෙහෙණි වී ඇත සොඳින්
මහිමයෙන් බුදු දහමෙ
නොකීවට නොපෙණුනට
දන්නවා අප හොඳින්
පුංචි සංධියේ ඉඳන්
පුරුදු වූ ඇබෑසිය
ඒ වුනත්,
සිප් සොයා එතෙර ගොස්
තනිව වුව එඩිතරව
සිටින නුඹේ පුංචි හිත
සසළ වුනෙ නැහැ නේද
මිහිකතම සෙලවෙද්දි
නුඹ ඉන්න ඔය රටේ
ඔය දේසේ ඔය පැත්තෙ
කවිය බලන්න
ඒකපාර්ශ්වික ප්‍රේමය
කලා සොළසම සපිරි පුරහඳ
මුව අඟින් සිනාසෙනු දුටු සඳ
සඳ මගේ උරුමයට පටබැඳ
ඔප්පු තිරප්පු ලියනු කෙලෙසද
ගෙමිඳුලෙහි පිපි මලට ලොබ බැඳ
කවුළුවෙන් බලා සැනසෙනු මිස
එ'මල නෙලනට දෑත දිගු කොට
මල් සුවඳ අහිමි කරගෙන කොහොමද
නේක පැහැ දේදුන්න දුටු සඳ
නෙතු කොණින් රස විඳිනු මිස හිඳ
නෙතු අයා අත පොවා පැහැනඳ
අහිමි වූ සඳ කඳුළු කුමටද
අර ඈත සිනාසෙන රවි රද
පොළොවේ මල් මවන්නේ කොහොමද
අත නොපොවනා ඉමක රැඳුනද
අහිමි පෙම මොනතරම් මියුරුද
නුඹ මගෙන් වෙන්කරන සොඳුරු දුර
රැදේනම් හැමදාම අප අතර
ඇයි මේ කඳුළු ඇස් වල
හුරුවෙන්න ලද දෙයින් තුටුවෙන්න සිත් මල
ජීවිතය උගැන්වූ කවි ළඟ
තබා යමි මේ මහරු කඳුළු බිඳ
දුරින් හිඳ රහසේම බලන සඳ
මල් කොයිතරම් නම් සොඳුරුද
කවිය බලන්න
වැස්සක් වී නොවැටේවා
දෑතදෙපා
වරල්වෙලා
පීනායමි අහස්ගඟේ
යාලු මාලු
හුරතල් වී
දැවටෙනවා
මගේ ඇඟේ
වැස්සක් වී
නො වැටේවා
ඈත පෙනෙන මහපොළොවට
එහෙම උනොත්
හිඳීයාවි
මං පිහිණන
ගඟ දියවර
දෑත්වරල් දෙපාවරල්
හීංහඬින් ගීතගයයි
වියළීයන මිහිකතදිය
උඩුකුරු යටිකුරු වේවා
අසණිය වැහි වහින තුරුම
කවිය බලන්න
වැන්ගෝ මිතුර
තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි
නොදුටුවේද රන් පැහැති තිරිඟු
සුළඟට වැනෙනා අයුරු
තෙලි තුඩින් නිම වූ
ගෙඩි පිරුණු ප්ලම් ගස
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා
කහ පැහැයෙන් පිරිපුන්
සුරියකාන්ත මල් කිනිති
මවයි දසුනක්
සිත් වසඟකරවනා
රාත්‍රිය එළඹී ඇත
විහිදේ චන්ද්‍ර කාන්තිය
අහසේ දිලෙයි තරුකැට
මවමින් විසිතුරු රටා
මලානිකවූ ලන්තරුමේ පිහිටෙන්
රුදුරු කුසගිනි නිවාගන්නට
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන්
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත්
තම තෙලිතුඩින් නිමකළ
අසමසම චිත්‍රයනට
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්‍රයන්
ඇළුම්කලේද ඔහු හට
සිත්තරෙකුගේ ඉරණම
මෙතරම් කටුක වුයේ මන්ද
අහෝ වැන්ගෝ මිතුර
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය
අවසන් නොකළ චිත්‍රයක් සේ
කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි
රෑන එරන් කෙඳි සේ රන් කෙඳි පීරා
පීන පයෝදර ගණරන් කරඬු යුරා
වහම මොක් නිවන් සාදන මුනිඳු පුරා
යහන පිට වැටී හඬතෙයි යසෝදරා
කවිය බලන්න
ජන කවි මිහිර
සරුවත් කෙතේ බිජු වපුලේ පැල වෙන්ට
මැරුවත් බැරිය දුටු දෙය නොකියා ඉන්ට
බොරුවක් නොවේ මට ජාතියෙ කඹුරන්ට
වරුවක් පොරේ තණ දෙක හරවා ගන්ට
එක්තරා හාමුදුරු නමක් දානය පිණිස ප්‍රමාද වී වැඩි සේක.
තණ හේනක් මැදින් යා යුතුව තිබු නිසා දෙපැත්තෙන් වැටි ඇති තණ කරල් නොපෑගෙන්නටඒවා දෙපැත්තට කරමින් වැඩියහ.
එය ජන කවියෙක දුටු ආකාරයයි ඒ.
කවිය බලන්න
වසංගතයක් ඇවිත්
ගතවුවද වසරකට වැඩි කාලයක්
නැත තාම අඩුවක්
එන්න එන්නම වැඩිවෙන
ඇයි වසංගතය ඔබට තරහ ගියාවත්ද?
වැරදි ගොඩක් අපෙන් සිද්ධවෙන්නැති
කියාදෙන්න තරහ නැහැ අපි
මුළු ලොවම අද අඳුරුයි නිහඬයි
තිගැස්සුණු අප සියල්ලම බියෙන්
පවුල් අසරණයි රන්ඩු සරුවල් වැඩියි,
හැඬු කඳුලෙන් බියෙන් ගල් ගැසී
රැකියාවට පාසලට යන්න බයයි
අසරණ පවුල් රෝහල්වල දුක් ගින්දරේ
මිනිසුන් අතර කරුණාව දයාව නැති වෙලාදෝ
කොපමණ ධනය තිබුණත් මදි වෙලාදෝ
මුදලට තත්වයට බලයට ආදරයට කෑදර වෙලාදෝ
එවන් තත්වයක් විශ්වයට තදින්ම දැනිලාදෝ
බුදුන් ,ජේසු ,අල්ලා සමිඳුට
මෙකි නොකී සෑම දෙවියන්ටම එකසේ
ජාති ආගම් කුල බේද නොතකා
නමදිමු අප සැම බැති සිතින්
ආදරණිය වසංගතය
අපගේ කන්නලව්ව අසා
ඔබ නික්ම යන බව අපට පොරොන්දුවන්න
ඔබට සදා ස්තිතුයි .
කවිය බලන්න
මාවතේ නැගණියගෙන් අසමි
සීත හිරිකඩ හිත අවුස්සන
පාළු අළුයම ..
නීල තුරු පිණි ගත හලාගෙන
මුව දොවාගෙන..
පාන ඔච්චන් රිළා හඬ මැඩ
යාලු කරගෙන..
සඳ කිණිත්තෙන් මඟ ඇමඳගෙන..
කිව්වාට ඵල නැතත් හුරුවට
සංහිඳේ දෙවියනුත් බැහැදැක
සෙයිලමේ වනයේ සරන්නී..
රෑන අතහැර හීලැ මුවදෙණ..
පාරෙ අලි සෙල්ලම් උදෑසන
පාන ඇලයාපත්තුවේ ගම
උන්ව හීලෑ කරන තරමට
මිහිරි අලි මන්තරෙයි කටහඬ
හීන කද බැඳ දරු වඩාගෙන
පාරෙ ඉටි රෙද්දක ගෙයක් බැඳ
කාල දුම්රොටු වත තවරගෙන...
ගයන ගී කවුරුත් අහනවද
පාරෙ වාහන තාල දෙනවද?
දෑස් අඩවන් කර සොයන්නේ
"නෑර ඉමි" කියු කෲර හිමි ම ද?
පාර ජම්බුල කිරණ සුවම ද?
ඝෝර විෂ සපු යාලුවෝම ද?
චූටි දෝණිගෙ ලැම කොනිත්තන
මාර පුත්තරයන් නොදුටුවෙද?
කරඹ මල් සුදු දතේ රැඳුනට
"කහට " , හිත පපුතුරෙත් නැතුවා..
පුතුට පිංකැට ඉබේ පිරුනට
නුඹේ ලංසුව ඇහෙන් කියනා...
පාට තඹ වරලසට හිමිකම
ඈත පර සුද්දෙකුට පවරන..
නුඹේ හිස රැඳි කටු ඔටුන්නම
චූටි දුවටත් පළඳවනවද?
කවිය බලන්න
සිරියාවී, අද්‍රියානා ආච්චි
පරණ බඩු කඩේ
කවුන්ටරයේ ඉඳන්
එන එන අයට
රෝස ලොඹු පෙන්න පෙන්නා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී
පැය ගාණක්
අතගගා ඉඳලා වළල්ලක්
හිත මට්ටු කරගෙන
එන්න හැදුවා විතරයි හැරී
'ලස්සන ඇස් ඇති කෙල්ලේ
ඇයි ඒක නොගන්නේ ?'
අත් ගසා අඬ ගසයි
අද්‍රියානා ආච්චී
'හම්බුවෙන්නෑ ආයෙ
ඔය වගේ වළල්ලක්
ඉස්තරන් වැඩ දාපු
ඇත්ත රිදියෙන් කරපු'
'ඒක මට මිල වැඩියි
මේ දවස්වල ටිකක්
පල්ලමයි ආච්චී '
'හ්ම්
කමක් නෑ ඕක තියා ගනිං
තෑග්ගක් කියාලා
මේ නාකිච්චිගෙන්'
රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
හක හක ගෑවා
අද්‍රියානා ආච්චී
'කෙල්ලේ උඹ හරි ලස්සනයි
ඇස් දෙක ගිනි දළු වගෙයි
ගැටිස්සි කාලේ
මමත් ඔහොම්මයි
එකා පිට එකා වැටි වැටී
පෙම්වතුන් වැල පස්සෙමයි '
ආයෙමත් හැක හැක ගගා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී
'මට දැන් අසූ අටයි
හෙට අනිද්දටම යයි'
'උඹේ නාඹර
අත් දඬුවේ
උඩ පහළ වැටි වැටී
දඟ කරන කොට වළල්ල
මතක් වී හිනා යයි උඹට
මේ නාකි
අද්‍රියානා ආච්චී '
'සවර්ගෙද
කවුන්ටරයෙද තාම'
'දුවෙක් ලැබුණෝතින්
දාපං ඒකිගෙ අතටත්
කියාපං පරණ බඩු කඩේ
නාකිච්චී
අද්‍රියානා ආච්චී දුන් වග '
'මට දැන් අසූ අටයි
හෙට අනිද්දම යයි '
රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
මහ හඬින්
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී
කවිය බලන්න
සුබ ගමන් Buon Viaggio Luca
එක්සත් ජාතීන්ගේ ලෝක අහාර වැඩ සටහන වෙනුවෙන් ගමන් කරද්දී කෘර ලෙස ඝාතණයට ලක්වූ කොංගෝවේ ඉතාලියානු තානාපති ලූකා අත්තනාසියෝ නම් සොඳුරු මිනිසා වෙනුවෙනි. පසු ගිය අවුරුදු ගණනාවක් තිස්සේ අප්‍රිකාවේ දුප්පත් මවුවරු සහ කුඩා දරුවන් වෙනුවෙන් ඔහුගේ බිරිඳ සමඟ විශාල මෙහෙයක් කල ඔහු අප්‍රිකානුවන් අතින්ම ඝාතනය වීම දෛවයේ සරදමකි. ලබන මැයි මස 44 වියට පා තැබීමට සිටි ඔහු කුඩා දියණියන් තිදෙනෙකු අතැර යයි.
පෘථුවි මවු කුසින්
බිහි වන
සොඳුරු මිනිසුන්
ලැබිය යුතු
දඬුවමද මේ?
හමේ පැහැයෙන්
බෙදා වෙන් කල ඔවුන්
සිටිය යුත්තේ
ඔවුන්ගේ වර්ගයා
වෙනුවෙන් පමණක්ද?
වර්ග වාදී
වර්ණ වාදී
බාලයින්ගේ චින්තනය
යා යුතුයි ඉදිරියට
මේ ලොවේ සැමදාම
තම වර්ණයේ නූනත්
සාමයේ මිනිසෙකු සමග
අතිනත් ගත්
ඒ දයාබර බිරිඳ
මේ ගෙවන්නේ
ඒ සාපයද අද?
ඔබ තවත්
රුදුරු ගොදුරකි
ජෝර්ජ් ෆ්ලොයිඩ් වන්
පැහැයෙන් වෙනස්
එහෙත්
මුළු ලොවම අද නිහඬය.
සුබ ගමන් ලූකා ඔබට !
Buon Viaggio Luca !
මෙ මස 21 දින මේ කෘර ප්‍රහාරයෙන් මිය ගිය ඉතාලි ජාතික ආරක්ෂක නිලධාරී විත්තෝරියෝ සහ කොංගෝ ජාතික රියදුරු මුස්තාෆා මහතාද සාමයේ සැතපේවා
කවිය බලන්න
මගේ පුතු ලෙඩ වෙළා
කිරි සිනා දත් මැදින් - කිරි සිනා මතු උනා
බිළිඳු අත් පා මොලොක් - නටා ගී ගායනා
මුළු මැදුර සුන්දරයි - පුතුගෙ හඬ විසිරෙනා
සඳ වටා දැවටෙනා - තරු එළිය ඔප වුණා
හිමි සඳුත් මා පුතුත් - මගේ ලෝකය වුණා
නොසිතනා මොහොතකදි
කිසිත් නොසිතූ ලෙසින්
මගේ පුතු ලෙඩ වුණා
අරින්නකො මගෙ පුතේ - ඔය නීල දිගු දෑස
නටන්නකො මෑත් කොට - ඔබෙ සුමුදු පොඩි දෑත
එතෙන්නකො කර වටා - පවසමින් මුදු බාස
කිම පුතේ සිටින්නේ - නොසෙල් වී මගෙ මැණික
කෙසේ ඇදහිය හැකිද - සිදුව ඇති මේ විපත
කර තියා නිසල කඳ - වෙදුන් සැමතැන සොයත
මග දිගේ දිව ගියා - වගුරමින් කඳුළු කැට
මිනිස් ලොව දෙවි කෙනෙක් - සැනසීය මගේ සිත
නැඟණියනි, යනු මැනවි
ඡේතවන අරම වෙත
මහ වෙදාණෝ සිටිති
ලොව ම සුවපත් කරන
නොදොඩනා, නොසෙල්වෙන
මගේ පුතු ඇමතුවෙමි -
" පුතේ හනි හනික
මහ වෙදා හමු උනා”
"බිය නොවන් මගෙ පුතේ
ඔබව සුවපත් කරයි
මහ වෙදාණෝ නිසැක”
විශ්මයකි ... විශ්මයකි
රන් රුවක් සේ දිලෙන
මදහසින් වැඩ සිටින
කරුණාව ගලා යන
පුරා සඳ සේ දිලෙන
මහ තෙදැති සුපින්වත්
මහා මුණි වැඩ සිටිත
පිරිවරා මහ සඟන
පුතුගෙ නිසසල සිරුර -
දිගු කළෙමි ඔහු වෙතට
වහා සුව කළ මැනව
දුන මැනව ජීවිතය
හඬා වැටුනෙමි මෙමා - හිමි දෙපා මුල නිසල
නැගිටින්න නැඟණියෙනි;
සුව කරමි නිසැකවම
ගෙන එන්න අබ මිටක් -
නොමළ කුල ගෙයින් ලද
අදිටනින් සිත දැරූ - අබ සොයා ගියෙමි මම
කොතෙක් අබ ලැබූවද -
නොමළ ගෙයකින් මිටක්?
කෙසේ නම් හමු වේද -
නොමළ එක ගෙයක් වත්?
ලොව සියලු දනන් හට
උරුම වූ ඒ දහම
උරුම වේ ඒ ලෙසම
මපුතු හට නිසැකව ම
වැටහුනිය සියලු දෙය
සැමට උරුම වු දහම
හැරපියෙමි නිසල කය
සමිඳ ඔබ වේ සරණ
පුතු නොලද මුත් ඔසුව
දම් අමා දිව ඔසුව
භවය සුවපත් කරන
හිමියනේ ලදිමි මම
(සතුට දන් දෙමි කාව්‍ය සංග්‍රහය 2018)
කවිය බලන්න
දුෂ්කරය මේ කඳු වැටි තරණය
දුෂ්කරය මේ කඳු වැටි තරණය
එක් මුදුනකට නැඟි පසු,
දුර පෙනෙයි තව මුදුනක්
හරි අඩකටත් වඩා පසු කළ ද
එකිනෙක කඳු මුදුන්
යා යුතු දුර ද එපමණය.
ඔලොගු බර උර මත
අතැර යා නොහැකිය
අවැසි බොහෝ දේ ඇත
එක් රැස් කළ.
මියුරු ගීයක් ඇසෙයි
එහා කන්දෙන් හමා එනු,
සිහිල් පවනේ දැවටෙමින්
කැඳවීමකි එය වෙහෙස නිවාලන
ගනිමි ඔලොගුව උරට,
තබමි තව පියවරක් ඉදිරියට
ආපසු ගමනක් නම් නැත
මේ කඳු තරණයේ,
තව තව පෙනේ තුඟු කඳු මුදුන්...
IT'S HARD TO CROSS THIS MOUNTAIN
It's hard to cross these mountains ,
as one summit is climbed,
there will be another
seen in the distance
Climbing more than half
to reach the summits despite
The climb still remains the same,
a very big height.
It's impossible to unload
the weight of the rucksack on the shoulder ,
coz it contains a lot of vital things collected, by the holder
A sweet ditty is being heard
blowing from the distant mountain blurred
enwrapping in the soft cool breeze that stirred
It's really like a call which loosens the weary gird
I take the rucksack once again on my back and
go one more step forward on the mountain track
There'll be no return journey in this crossing ,
There see one by one, more peaks high rising .
Translation by Sunethra Aluthdunna
කවිය බලන්න
නිදහස කියා අප රවටන
නිදහස කියා අප රවටන රැවටිල්ලේ
අදහස ඔබට වැටහේවිද එකඑල්ලේ
බෝතලෙ වලවුවෙන් හැරවුණු හොරගොල්ලේ
දැන් සමරමින් ඇත කට්ටිය මැදමුල්ලේ
නීතිය වල්වැදී ඇත දැන් මේ රටට
පාලකයන් හේතු දක්වති නිදහසට
බලයක් ලැබී ඇත්දැයි පාතාලයට
මහලොකු බියක් සංකාවක් එයි සිතට
අද දුක් විදිමු හෙට සැපයක් පැමිනේදෝ
ඒ හෙට දිනින් දින ඈතට පාවේදෝ
රටකට මෙලෙසකට යන්නට හැකිවේදෝ
මුලු දිවයිනම වෙන රටකට යටවේදෝ
සත්‍යය සමග වැනසෙන සාධාරණය
දක්නට රටට සිදුවීමත් සිත් දුකය
විනිසුරු අසුන් එක පැත්තකටත් බරය
ගොයමින් නියරවල් වැසෙනා දින ලඟය
අතකින් දරාගෙන සමබර තුලාවක්
ඇස් බැඳි වුවද ඇය සොදුරුය! සොදුරු ළදක්
වයසයි වගේ දැනෙනව නම් පැරණි බවක්
දෙමු ඇගෙ අතට දැන් ඩිජිටල් තරාදියක්
රට හැමතැන දුවයි රජයේ සුවසැරිය
මිනිසුන් කැමති එනමුත් කෑගලු පැණිය
මේසන් උනත් ධම්මික රජ වැඩකරුය
මැති ඇමතින්ට ඇති ගැලවුම්කරු ඔහුය
දුක් කම්කටොලු කරදර එහි දුරුවේවා
සිත්සන්තොසින් සහ සතුටින් දිදුලේවා
අලුතින් සිතන මිනිසුන් රට වැඩිවේවා
සිතනා ලෙසම නව පැතුමන් ඉටුවේවා
කවිය බලන්න
නිදහසක් නැති නිදහස
ඉකි බිදිමින් වෙරළ මත
හඩන්නෙ මහ සයුර අද
හැත්තතුන් වසක නිදහසේ
දුක් විදිනා මිනිසුන්ම දැක
කම්පා නොවෙද පොලෝ තල
මේ අයුක්තිය දැක
කෝටි ගනනක වාහන
එකිනෙකා පෙලට එන
උජාරුවෙන් සැමරුවේ එකතුව
කාටවත් නැති නිදහස
තම පුරවැසියන් එතර
තබාගෙන හිරකර
ලියන්නට කියන්නට
වැට බදිනා රටක
නීතියේ දේව් අඟන
දූෂණය කරන රිසි ලෙස
අනාගතයක් දූ පුතුන් හට
පේන තෙක්මානයක වත් නැත
වෙඩි මුර තියා සැමරුවේ
උන්ගෙම
වල් බූරු නිදහස මිස.
කවිය බලන්න
වෙනස් මල්
ආදරණීය පවුලේ අය වෙත ලියමී
අප මතකයන් සිහිකර තනිවම හඬමී
දුරු රට නුහුර හුරු කර ගනිමින් සිටිමී
නෑ කිසිවෙකුත් ළඟ නැති පාළුව විඳිමී
පත පොත සියළු කටයුතු නූලටම වෙලා
නැත කිසි දෙයක් අතපසු වී නොපිරිහෙලා
අත දී සෙනෙහෙ පිරුවත් මව් පියන් බලා
ඇත එක දෙයක් කාටත් ගැටළුවක් වෙලා
මල් ලස්සනයි විවිධයි නෙක පාට පෙතී
දැල්වූ පහන් සිල මෙනි මන බඳින ගතී
අල්ලා ගන්න සමහරු පණ උනත් දෙතී
ඇල්මක් අනේ මගෙ නම් ගෑවිලා නැතී
හති ඇර දුවද්දී මල්ලී පන්දුවට
රතු කර දෙතොල් සාරිය ඇන්දෙමි ඉනට
හැඩ කර නැලෙව්වෙත් බෝනික්කන් රෑට
ඇයි අර දැන්ද වෙනසක් දැනුනේ මවට
හිනැහෙමි මෙතැන අද මා සමතැන් සතුය
ඉන්නෙමි යසට හදවත් එකිනෙක නතුය
දන්නෙමි ඔබේ දුක ඒ ගැන ඇස් රතුය
මට හිමි සතුට දැන්වත් මා ගත යුතුය
කවිය බලන්න
සුභාෂිතයේ සිත් ගත් කවි
කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති
ලෙසින් විදුලි දිලි කග පත් ලෙළ කෙරෙති
කගින් කග පහර වැද නැඟි පුලිඟු ඇති
සටන් බිම'සි ගත් සෙබළෝ දුලබ වෙති
කාන්තාවන් අතරේදී ද සභා තුල ද නිතරම බොහෝ සේ
විදුලිය මෙන් දිලිසෙන කඩුපත් ළෙල දෙවති. එහෙත්
කඩුවෙන් කඩුව ගැටී නැඟුණු ගිනි පුපුරු ඇති යුධ පිටියේ
කඩු ගත් යුද බටයෝ දුර්ලභ වෙති.
කවිය බලන්න
තමා සත්‍යයෙන් නිර්මිත යැයි මගේ සොඳුරිය දිවුරන විට
When My Love Swears That She Is Made of Truth - Shakespeare
When my love swears that she is made of truth
I do believe her, though I know she lies,
That she might think me some untutored youth,
Unlearned in the world’s false subtleties
Thus vainly thinking that she thinks me young
Although she knows my days are past the best,
Simply I credit her false speaking tongue:
On both sides thus is simple truth suppressed
But wherefore says she not she unjust?
And wherefore not say I that I am old?
O, love’s best habit is in seeming trust
And age in love loves not to have years told:
Therefore I lie with her and she with me,
And in our faults by lies we flattered be.’
තමා සත්‍යයෙන් නිර්මිත යැයි මගේ සොඳුරිය දිවුරන විට
මම ඇය විස්වාස කරමි, ඈ බොරු කියන බව දැන දැනම
ලෝකයේ බොරු රැවටිලි ගැන කිසිත් නොදන්නා
මා නූගත් තරුණයෙකැයි ඈ සිතන්නට පුලුවන්
මා තරුණයැයි ඈ සිතතියි ආඩම්බර වෙමින්
මගේ හොඳ කාලෙ ගිහිං බව ඈ දන්නා නමුත්
මමත් ඔහේ ඇගේ බොරු වදන් පසසමින්
මේ විදිහට සරල ඇත්ත දෙපැත්තෙන් ම යටපත් වෙයි
එහෙත් තමා අසාධාරණ බව ඈ නොකියන්නේ ඇයි ?
මාත් මා මහලු බව නොකියන්නේ ඇයි ?
ආ ! ආදරයේ හොඳම පුරුද්ද ව්‍යාජ විශ්වාසයයි
ප්‍රේම කිරීමේ දී වයස, සැබෑ අවුරුදු ගණන කියන්නට අකමැතියි
ඒ නිසා මා ඇයටත් ඇය මටත් බොරු කියනවා
අපේ ඒ වැරදි තුල රැවටී අප සතුටක් ලබනවා
කවිය බලන්න
අම්මා වැළලූ තැන
දුරාතීතේ අඳුරු මොහොතක
පස් වසා ලූ ඔබෙ මිනී වල
දුරන්තරයක් ගෙවාගෙන විත්
බලා මා සිත තැවුල් වූ මුත්
එයද සැනසීමක්ය අම්මේ
සෙනේ සුරතින් කැවූ මොහොතක
ළදරු මා සිත එදා ඇඳි ලෙද
දැනුදු හුරු වූ එකම සිතුවම
බොඳව මා සිත ඇඳෙයි අම්මේ
සිතේ සුරැකුණු ඔබේ සිතුවම
ජීව ලොව තුළ අද තියේ නම්?
පොළොව ගිලගත් හැඩැති ඔබෙ රුව
ජීව ලොව තුළ අද තියේ නම්?
සුළඟ ගිල ගත් ජීව වායුව
තවම එහි රැඳවී තියේ නම්?
මසිත නැඟ ඒ සිය දහස් පැන.
ඒත් අම්මේ සිය`ඵ ඒ පැන
පසිඳවා ලන සිය`ඵ පිළිතුරු
ගිලී ගිය ඔබෙ මිනී වල තුළ
නිරුත්තර ලෙස දිරා ගොස් ඇත.
සදා කල්හිම වැසී ගොස් ඇත.
කවිය බලන්න
පනාමුරේ මනම්පේරි
මා ඇතින්නක් වූ නිසා
පූරුවෙ කල පවට
මගේ දිවි පූජාව
ලියවුනේ ඇතු නමට
වෙඩිකෑවෙ මං එදා හැමෝගෙම නිදහසට
ඒ මදෑ සොහොන් කොත් සමරු ගී මට මොකට
දළයා හිටියේ සටන අතහැර
ඔහේ පැත්තක දෙදළ රැකගෙන
එලූ පාවඩ උඩු වියන් මැද
පෙරහැරේ යන හීන දැක දැක
අනිත් පිරිමියෝ ඌ වටේ හිද උගේ පූචානම් අසාගෙන
පෙරහැරේ දැලවරවත් යන්න දිනයක් එයි හිතාගෙන
සුදහ ගින්නේ පුංචි එව්වෝ
කිරට ඇඬුවා වැටුන තැන්වල
තොන්ඩුවල හිරවෙලා අම්මලා
වෑහුනා කිරි උන්ගෙ තන්වල
ගාල වටකල බුරුත දඩුවැට කඩා දැම්මෙ බැරිම බැරි තැන
මං තනිකඩ එකී මලත් කම් නෑ යැයි හිතාගෙන
වෙඩි කකා මැරී වැටුනෙමි
ලේ පෙරාගෙන ගාල දොරකඩ
දළයා හිටියේ ඒ වෙලාවෙත් උගේ දළ දෙක ඔප දමාගෙන
10/02/2021
කවිය බලන්න
මුකවාඩම් සිරිත
දිවිසරු දකින වගකිව යුතු කොහොම හරී
අතහුරු අයුරු පොදුජන සිත් වඩින දිරී
යනතුරු ලොවෙන් කෝවිඩ් යකු ඉවත හැරී
අනතුරු නහන මුකවාඩම් නැතුව බැරී
ඉප දුම නහනතුරු කෝවිඩ් පෙළ ගැස්ම
සැප රිසි දිවි පෙවෙත පවතී පසු බැස්ම
ඇප කැප වෙමින් රැක්මට ජීවන හුස්ම
අප සතු යුතුකමකි පැලඳුම "මුක වැස්ම"
ජාතිය සතුව නිවැරදි නම් වැට හීම
වාසිය නොතකමින් නිසිමඟ පිවිසීම
ආගිය තැනක "මුකවාඩම් "පැලදීම
නීතිය නොවේ යුතුකම හා වගකීම
එක හුස්මක් පරිසරය ම දුකට වැදී
නෙක දෙස්තියන් කිම රෝබිය දෙකට බෙදී
දුක රැස්කරන් එන "කෝවිඩ්"ලොවට නොදී
"මුක වැස්මකින්"නවතනු මැන යසට හැදී
පැති රෙන ලෙඩක් වෙන කෙනෙකුගෙ ගතට නොයා
ඇති කළ සිරිත් වෙද ඉසිවර මතකය සොයා
සිති විලි අනුව සමහර විට ගෙලට ගියා
ඇති පල කිමෙද "මුකවාඩම්"නිකට තියා
ලෙඩකට වසංගත නොතකා තිගැස් සුම
තැනකට උචිත වන නොතබා දුරස් ඉම
කෙනෙකුට රටේ "මුකවාඩම් "නොරිස් සුම
වලකට කසල අතුගෑමකි මිනිස් කම
සුව තාවයේ වැදගැම්මක විඳින සුවේ
තව යායුතුය දුර ගමනක් සිතට මැවේ
නව තාලයේ "කෝවිඩ් "සැරිසරන ලොවේ
"මුව ආවරණ පැලඳුම විහිළුවට නොවේ
දන් පිළියෙල ව පුද පූජා පැවැත් තෙන
තැන් වල රිදී මැකුමේ දී අයත් වන
පෙන් වන එදා "මුකවාඩම්"සිරිත් දැන
දැන් දැන සිටිනු යහ සිරිතට අයත් තැන
2021.02.03
කවිය බලන්න
හිටවන කවි මිහිර
වරක් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය විසින් මෙහෙයවන්නට යෙදුනු මහා කවි සංවාදයේ මාතෘකාව වූයේ 'සිංහලයාගේ ජාතික ඇඳුම වියයුත්තේ කලිසමද නැතහොත් රෙද්ද බැනියමද' යන්නයි. එහිදී විශ්ෂ්ඨ කවියන් හිටිවන කවි ගණනාවක් හුවමාරු කරගත් අතර මීමන ප්‍රේමතිලක සහ උඳුගොඩ නවරත්න කිවීහු සංවාදයට පැටලී හිටිවන කවි වලින් මෙසේ සභාව රසවත් කළෝය.
කලිසම ඇඳ සිටි මීමනට උඳුගොඩ ගේ හිටිවන ප්‍රහාරය මෙසේ විය.
රෙද්දෙන් බැනියමෙන් රැකෙනුයෙ හෙළ නමය
ඔය කලිසමෙන් පෙන්වන්නේ ගැති කමය
දැන ගත යුතුයි ඔබ මෙය මීමන ළමය
එළිසම ලඟට ගලවන්නේ කලිසමය
රෙද්දෙන් බැනියමෙන් සැරසී සිටි උඳුගොඩට මීමන එල්ල කළ ක්ෂණික පිළිතුරයි මේ.
රෙද්දක් ඔතාගෙන හැඩි දැඩි බඳෙහි කැත
කියනා කතා වාදයකට සුදුසු නැත
දැනගත යුතුයි මෙය උඳුගොඩ කලණ මිත
කලිසම ගැලෙවුවත් සස්පැන්ඩරය ඇත
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
තවර කර කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළිලොල
එපුර ඉඳිති සඳපානේ සඳලු වල
කොකුම් මිශ්‍ර සඳුන් මුළු සිරුර පුරාම තවර ගෙන, මන බඳිනා
සුවඳින් යුත් මල්මාලා පැළඳ ගෙන, අන් අය කෙරෙහි සිත්
නොයවා කෙළි දෙලෙහි යෙදෙන අඹු සැමියෝ ඒ නගරයෙහි
සඳ එළියෙන් ආලෝක වූ සඳළුතල වල සිටිති.
කවිය බලන්න
නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී
ඔබගේ සෙනෙහස...
ඔබගේ කොන්දේසි විරහිත ආදරය...
ඔබගේ සිනහව...
ඔබගේ පරාර්ථකාමී ක්‍රියාවන්...
මම නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී
නමුත් අපට ලැබුනු ඒ පරාර්ථකාමී ප්‍රේමය...
කෙසේ අමතක කරන්නද...
ඔබ සැමදාමත් සිතුවේත් ...
පැතුවේත් අපගේ සුභ අනාගතය ම ය
නමුත් අම්මේ මම කෙසේ නැවත ගෙවන්නද
ඔබගේ එම පරාර්ථකාමී සේවයන්
අප වෙනුවෙන් කෙරූ සේවාවන්
අම්මේ මම ඔබට නය ගැතිය සදාකාලිකවම
අප වෙනුවෙන් කෙරූ සේවාවන් සදහා
අප ජීවිත පුරාවට ම...
02/14/2021
කවිය බලන්න
අතකස අබිමන් 86
හෙළ රස කවිය හිස මත්තේ තබා ගෙන
කවි කිවිඳියන් දෙපසේ පිරිවරා ගෙන
කවියෙන් දැයේ නව දියුණුව සොයාගෙන
අ.ත.ක.ස. මව අසූ හය වසට ළංවින
රජ මැති ඇමතිවරු කවි කිවිඳියන් සමගින
පොදු ජනතාව ගුරු දෙගුරුන්ද සිත් ගෙන
පාසල් දරුවනුත් කවිමගට අරගෙන
අ.ත.ක.ස පෙරට යයි අප සතුටු කරගෙන
කවිය බලන්න
තාවකාලික ලෝකයකි මේ
තාවකාලික ලෝකයක් තුල සදාකාලික දේ නැතේ
ඇතිවෙනා මේ හැම දෙයක් තුල නැතිවෙනා අරුතක් නැඟේ
පියෙන් පිය නැඟ අනන්තයෙදිත් නොමැත ආශා සන්සිඳී
හඹ හඹා මේ ලොවට ආ අපි යන්නෙවත් සතුටින් නොවේ
හුඟක් දුර අපි ආ නිසා - හුඟක් අය හමු වී ගියා
හිනාවුණ තරමටම කඳුලුත් - ඇස් අගින් ගිලිහී ගියා
බෙදාගත් දේ මුව තබන්නත් කළින් සමහරු දා ගියා
බෙදාගත් දේ බෙදනු බැරි අය හිස් අතින් පිට වී ගියා
හිමි වුනොත් එය රැකිය යුතුනම් හිමිවීම දුක බව දැනේ
අහිමි වුවොත් ඊට වැඩියෙන් දුක දැනී හදවත පැලේ
සියලු දේ හැර යා යුතුම මුත් දැන දැනම බැම්මෙන් බැඳේ
නිවන් දොර ලඟ ආශා පොදි බැඳ සසර රෝදෙම කරකැවේ
කවිය බලන්න
හිම කබාය
ගසා වසා දොර ගැලවෙන අයුරු තදින
ගියත් නික්ම යළි පියසට නොඑන විලස
එසේ වසා දැමුවේ ඔබ නොවේය දොර
ඇරී තිබුණු හදවත කවුළුවය ඔබට
දැවේ උදුන කුටියට කැඳවන උණුසුම
සිරව සිටී ඔබෙ විලවුන් සුවඳ තවම
දමා ගිය ද මතක නැතුව හිම කබාය
පුටු ඇඳි මත හරිමි තිබෙන්නට එලෙසම
කලකට පෙර රැජිණ උයන අසල දිනක
හමුවී සිත් පහන් කරන සිනා නගා
සිත් සනහන බස් තෙපලූ මියුරු සරෙන්
ඇය ඔබමද අද මෙලෙසින් සිත් බිඳලූ
මා මෙහි නැති පුවත අසා මතු දවසක
ගෙනැත් යතුරු පිටපත ඔබ සමග රැඳුණ
සෙමින් විවර කර දොර පෙර පුරුදු විලස
ගෙන යනු මැන හිම කබාය අයිති ඔබට
සුදු හිම පිඬු වීදි වසන සීත කලට
ඒ කබාය ලා අතිනත වෙළා තදින
රැජිණ මගෙහි කෙනෙකුට තුරුළුව යන සඳ
මඳක් නැවතිලා මේ ලෙස කියනු ඇතිය
" කලකට පෙර උඩු මහලෙහි මේ පියසෙම
කෙනෙක් විසී අප තරමක් දුර හඳුනන
ඔහු පෙරදිග කෙනෙකි, එහෙත්, දැන් මෙහි නැත
මට නිකමට අද හදිසියෙ මතක්වුණිය..."
කවිය බලන්න
කෝ ඇරයුම
ලැබුනේ ඇරයුමක්
පිලිගතිමි මුළු හදවතින්...
ප්‍රාර්තනා කලෙමි මම
වෙසෙන්නට දිවි ඇතිතෙක්....
කැදල්ලක් තනාගෙන
වෙන් වුනෙමු අප දෙදෙන....
කලෙකදි වුනෙමු අපි
තිදරුවන් හට දෙමාපිය
සැප හා සියලු දුක්
එකසේ විඳගනිමින්
ලද දෙයින් සතුටුව
සැනසුනෙමු අපි සැවොම ....
පුදුමයකි සිදුවුනේ
දිවි ගමනෙ අතරමඟ
සියලු දෙය හැරදමා
නික්ම ගියෙ ඔබ තනිව
ඇයිද ඇරයුම් නොකලෙ
කැටුව යන්නට මාව.....
මතු සසරෙහි සැරි සරන්න
ඔබ හා අත් බැඳ අදරින්
පතනෙමි මම මුළු හදින්ම...
කවිය බලන්න
සඳමඩල..
හිතේ ඇති කදුලු බිඳු
නෑඹිලියෙ දියකරන්
ඔබ පිසූ රසමසලු
මගෙ උගුරෙ හිරකරන්
මගේ මුලු හිත්පතම
දෙඇස තුල බොඳකරන්
සොයමි මම අම්මෙ නුඹ
ආදරේ ගුලිකරන්
ඔබෙ හිනාවත් එක්ක
ගුලිවෙන්න පොරබැඳන්
මගේ හිත්මල් යායෙ
මල් පිපේ ඇතිතරන්
පෙර පිනෙන් මං ලැබූ
දේවතා ඇස් අරන්
හැමදාම මං ලඟින්
ඉන්න දෙවියෙක් වෙයන්
කවිය බලන්න
කැපුවේ කැලෑවයි .. නැතිවුනෙ අපේ ලොවයි
කන්දෙක බිහිරි කරවයි ඩෝසර් සද්දේ
ගස්වැල් කඩන් වැටෙනවනේ මහ බැද්දේ
නැතිවද කැක්කුමක් මිනිසුනි හද මැද්දේ
අම්මට ඇහෙනවද මම අඬනා සද්දේ
කැලයේ තිබුන ගස්වැල් ඇද වැටෙන කොට
හැංගෙන්නට තැනක් තිබුනේ නැහැ අපට
මම එල්ලිගෙන ඇය ගහකින් පනිනකොට
කරුමෙට ඇද වැටුනෙ ලී ඉරනා තැනට
අම්මගේ බෙල්ල කැපුනා ලොකු කියතකට
ගැලුවා ලේ ගඟක් බෙල්ලෙන් තද රතට
ඇය හැඬුවේ මා දෙස බලමින් දුකට
මම බයවෙලා හිටියේ අසරණකමට
අම්මා මියගියා නෑ ආපසු එන්නේ
නැතිවද මිනිස්සුනි මගේ දුක තේරෙන්නේ
පැය ගණනක් හැඬුවා මම බඩගින්නේ
කවුරුද ඉතින් මින්පසු මට කිරි දෙන්නේ
මේවැනි දුකක් වෙන කාටත් වෙන්න එපා
මිනිසුනි අපෙ කැලය කපලා දමනු එපා
අම්මා යළි එයිද ආදර සෙනෙහෙ පපා
මෙය හීනයක් මිස ඇත්තක් වෙන්න එපා
08. 02. 2021
කවිය බලන්න
නොදකින තුරා
ඇවිදන් යද්දි ගම් මැද වෙල් ඉපනැල්ලේ
හමුවුනි දෙමිතුරන් සිටිනා පිලිසඳරේ
එක කුගේ අතේ සුදු සැරයටියක් රැදුනේ
ඔහු කී වදන් මගෙ දෙසවනෙ නතර වුනේ
ඔබෙ වන් දෙනෙත් අප ලබලා නැති හන්දා
නොදකින නිසා ඔබ දකිනා ලොව කිසිදා
ඇතුලත දකිමි හැඳීනෙමි අපි අප දැකලා
හරි ලස්සනයි එහි සුන්දර නිම නොවෙනා
වේගය වැඩිය ඔබ යන මඟ දෙපසින්නේ
කාලය මදිය තේරුම් ගන්නට සොඳිනේ
නොදකින තුරා නුඹ නුඹ ගැනවත් රිසිසේ
නෙත් නුඹේ දකීවිද මේ ලෝකය ඇතිසේ
කවිය බලන්න
අමරදෙව් අමරසර
සුරන් කැන්දා දෙව්සරින් මැවු සුයාමය හද මන්දිරේ
සවන් සරසා මියැසියෙන් නින්නාද කළ දීපංකරේ
මුවින් මැව් ඒ හඬයි ගත සිත සනසවාලන මන්තරේ
නිතින් රැව්දේ අමරදෙව් සර සදා හෙළ ගී අම්බරේ
කුමරියක පා සළඹ සැලුණා මලෙවි කරළිය සරසමින්
කියඹුවක සැළි මාරුතේ පහසින් කොපුල්තල සනසමින්
මළ ඉරක බැසයන සැඳාවේ පඬු පැහැය යට සැඟවෙමින්
හිම ගිරක සැඟවී ගියාදෝ? ගී ලොවේ කොවුලිඳු ඉතින්
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන දෙවූ සේ මුනි පා පියුම්
රසේ මනුලොව මොක්සුවය ලද වැනිය බුදුගුණ ගී ගැයුම්
දේසේ ඔද තෙද ගයා හෙළ සිත් පුබුදුවාලූ දෑ හැඟුම්
හිසේ අත්බැඳ සිහිකරමි ගුරු අමරදෙව් ඇදුරිඳු උතුම්
කවිය බලන්න
අකල් වස්සානෙ
අවාරේ දවසක
මලක් පිපුණොත් තුරු හිස
දයාබර හිතවත
නමක් දෙනවද ඒ සෘතුවට
නාම කුල ගොත් නොවිමසා
මල් සුවඳ විතරක්ම
අරන් පපුවට
වනේ වන ඉස ගුල්මෙක
දොලේ සීතල ඉවුරක
හිරිකඩ බාන බෙයදෙක
අත පොවන මානෙන් එපිටක
මලක් පිපුණොත් අකලට
කැලැන්ඩර මාසෙකින් බැහැරව
ඉතින් ,
පිපෙනු රිසි නම් මලකට
වසන්තයකට උනත්
අවාරේ එන්න
තහනමක් නෑ නේද !
කවිය බලන්න
එපාවුණු දියණියන්ගේ කතාව
වැරන් උස්සා පොළේ ගසලා
සැරෙන් සැර මේ ජිවිතේ
බිඳී කැඩිලා නැවත අලවා
ඇද පලුදු අපමණ තියේ
පන්න පන්නා කොනිති ගහනා
රිදුම් අඩු නැත මග තොටේ
ඉපිද මැරි මැරි ඉන්න වෙන එක
සරදමක් තවමත් හිතේ
කෝප දොස් අවමාන අපහස
පිරී ඉතිරී කළු ගැහී
හිතේ සවියෙන් වැඩෙහි යෙදෙනා
දහක් නෙත් ඇත මුණගැසී
වෙද නළාවට ඇහෙන්නේ නැති
හදේ සංකා තව ඇති
ගතේ වෙහෙසට බෙහෙත් ලැබුනත්
හිතේ කරදර නිම් නැති
නුඹව අගයන නුඹට සවි දෙන
තැනක පියඹා පැලවෙලා
හිතේ සැනසුම වතේ සිනහව
රැගෙන එන උන් හමුවෙලා
හදේ ඉපදෙන සුසුම් සොම්නස්
රිදී ඉරි මත ලියැවිලා
හිනා නඟනා දිනක් පතනෙමි
නෙතේ කඳුලැලි හංඟලා
2021 පෙබරවාරි..
කවිය බලන්න
එකම සුලඟට…..
උපදින විටදි ……………… එක විට
සිටියා නුඹත් ……………… මා ලඟ
කිරි සුදට ……………… බැබලී
දෙඅත් අල්ලා ……………… එකට
නිවුන් දරුවන් ……………… විලස
එක් දිනක ……………… අපි ඉපිද
වෙන්වී ගියත් ……………… දෙපසට
අද අපි වෙනස් ……………… පාටින්
වැනෙනවා මම ……………… එක කොනක
Black and gold ……………… පාටින්
වැනෙනවා නුඹ………………තව කොනක
රතු ලා නිල්ද………………තද නිල්
පෙනෙනවා මට ……………… සිතිජය
සිරිපාදය ද ……………… කදිමට
රළ වැල්ද ……………… නිල්වන්
අහස් කුස අප………………හිස් මත
එකම සුලඟට ……………… වැනෙනා
නිවුන් සොයුරන් …………….. විලසට
වෙනසකට අපි ……………… අද දින
කෑ ගසමු ……………………… හඬ නගා
රිච්මන් ……………… පරිප්…...පූ
මහින්ද ……………… පරිප්……පූ
අතරින් පතර ……………… ජොලියට
සංඝ….මිත්ත ……………… පරිප්…...පූ
තරඟයට එමු ……………… ආදරෙන්
ජයගනිමු අපි ……………… ආදරෙන්
පරාජය වුව ……………… ආදරෙන්
පෙම්වතුන්ගේ ……………… පෙම් සටන
කවිය බලන්න
ප්‍රේමයක් කියන්නෙ ම
ප්‍රේමයක් කියන්නෙ ම
වතුර නොබඳින එකට
පැළ ගොයම ආස නම්
වේලෙන්න දෙන එකට
ඇද පලුදු දැක දැකත්
නියර නොරහින එකට
වල් වැදුණු නියර උඩ
හිමින් ඇවිදින එකට
ප්‍රේමයක් කියන්නෙ ම
කිරි වැදුණු කුඹුරු වල
තැනින් තැන කැළෑ මල්
පැළ වෙන්න දෙන එකට
කවිය බලන්න
මතකය!
ජීවීත කාලය පුරාවටම .......
ලැබු සොඳුරු මතකයන්
කොහේදෝ තැනක සඟවලාලු
සොයාගන්න බැරි විදියට
ඒත් තැනක තියෙනවාලු.......
පරිස්සමට සැඟවිලා
ඒ සොඳුරු මතකයන්
මට මතක් කර ගන්න බැරි වුනාට.
කවිය බලන්න
සිපිරි ගෙය අබියස මවකගෙ හැඟුම්....!!!
පුතුනි නුඹ උපන් දින
මහද හටගත් සොම්නස
පැවසිය නොහැක වදනින්
දුටිමි මම නිසැකව
නුඹ ලොකු මහත් වුන කල
පෙරළි කරනා බව
ලබා ගැනුමට අපේ උරැමය..
තොටිලි වැට පනිමින්
පෑ ඒ බොළඳ දස්කම්
මට පෙර නිමිති විය
නුඹේ මතු දින දිවිය පිළිබඳ
සිපිරි ගෙය අබියස
සිටින විට මම නුඹව දැකුමට
දෑත දෙපය විළංඟු ලා
සිර කුටියෙ බිම වැතිර
නොසැලී අදීනව
ඉන්ද්‍රඛීලයක් සේ
ඉන්න නුඹ ගැන
මම ආඩම්බර වෙමි
මගෙන් බිව් කිරිවල
ණය ගෙවයි සිපිරි ගෙයි හිඳ
පතා ජනතා අයිතිය
දිනූ බිම නිදහස...
නොහඬමි මා ඉකි බිඳිමින්
තුටු කඳුළු වගුරමි
නුඹට අම්මා වීමෙ සතුටින්.....
1988 සැප්තැම්බර් 25 වෙනි දින
කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී...
කවිය බලන්න
Amazon
බලන්න ඔබ දිහා
හිතන්න ඔබ ගැන
ශත වර්ෂ සීයකට වඩා
ඔබ හුළගේ වැනුනා පමණයි
වැස්සට තෙමුණා පමණයි
අව්වට වේළුණා පමණයි
කාබන්ඩයොක්සයිඩ් උරාගෙන
ඔක්සිජන් දුන් බව සැබැයි
ඒත්
ඇමතිතුමා කිව්වා වාගේ
ඔක්සිජන් කන්නද...?
සංවර්ධනය වෙන්ඩ නම්
කැළෑ එළිකළ යුතුයි
පුත්තලම් ඇමති විතරක් නෙවෙයි
පැරකුම් රජු කළෙත් ඒකමයි
අවුරුදු තිහකට කලින්
ඇමරිකාවේ ඔබ නමින්
පුංචි ගරාජයක
තනි මිනිහෙක්
පටන් ගත්තු
"Amazon"
අද ඒ මිනිහා
ලෝකෙන්ම පළවෙනියා
මිලමුදල් අතින්
නමුත් ඔබ තවමත්
කාබන්ඩයොක්සයිඩ් උරාබොමින්
ඔක්සිජන් පිට කරමින්
මොකද්ද මේ කරන විහිළුව...?
ගසක් වුව මරණයට කලින්
හොඳ ගාණකට විකිණෙමින්
ධනය රැස් කළ යුතු නොවෙද?
පරණ ඇමසන් අමතක කර
අලුත් Amazon වෙන්න
කැමති බව කියා
පණිවිඩයක් යවන්න
බ්‍රසීලයේ බොල්සනාරෝට...!!
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
ගුත්තිල අදුරු තුමා සොයා උදේනි පුර සිට
බරණැස් නුවරට පැමිණි මුසිල ගුත්තිල නිවසට පිවිස.....
මදක් සැතපී ඉඳ
මහ බෝසතුන්ගේ සොඳ
රැගෙන වෙණ මන නඳ
වැයීමට ඔහු පටන් ගත් සඳ
ටික වෙලාවක් ගිමන් හැර, මහ බෝසතුන් හෙවත්
ගුත්තිල අදුරු තුමන්ගේ දුටු පමණින් සිත පිනවන
වීණාව ගෙන වීණා වාදනය පටන් ගත්තේය ...
ගුත්තිල අදුරු තුමන්ගේ දෙමාපියන් අන්ධ වූවන්ය .
අඳ මව්පිය දෙදෙන
ඔහු වයන බව නොම දැන
කතී වෙණ මියන
සු සූ යැයි අත ගැසූ සැකයෙන
මූසිල වීණා වාදනය කරණ බව නොදත් අන්ධ මව සහ පියා,
මීයන් විසින් වීණාව කනවා යැයි සැකයෙන් උන් එළවීමට
අත් ගසමින් සූ සූ හඬ නැඟූහ.
සටහන; සාහිත්‍ය වේදියාට යමෙකු එක පෑන් පහරකින් ඉහළට
එසවිය හැකිවාක් මෙන්ම පහළට ඇද දැමීමද කල හැකි
වන්නේය.
කවිය බලන්න
කේතලේ මගේ
කේතලේ මගේ
විටකදි වාශ්ප පිට කරයි
ඇතුලේ බොයිල් වෙනවා නේද ?
එතකොට නම් මට බයයි
තවත් විටක අයිස් වගේ
බොහොම සීතලයි
හීන් දාඩියත් දමාලා
කූල් එකේ ඔහේ සිටියි
රත් වූවොත් ශබ්ද දමයි
විසිල් එකත් පටන් ගනියි
මට නම් නිවනක් නැතිවෙයි
නිදා ගන්න වත් බැරි වෙයි
මෙයා ටිකක් සිසිල් කරලා
ඇබයක් වත් ගහ ගන්නවා
..................කන් දෙකේ..!
කවිය බලන්න
ග්‍රහ ලෝක විවාහය
ජීවිතේ මගෙ ග්‍රහ ලෝක අතරේ
කැරකිලා තෙරපිලා මිරිකීලා
අපල උපද්‍රව කඩා බිඳ එන
දවස සොයනවා,රැළි වැටුණු මා
අම්මා සැමදා අභ්‍යවකාශ අතරේ
තාත්තා සම්පත් ආකර ලෝකයේ
සිහින කුමරා උල්කාපාතයක් වෙලා
කවදා පොළොවට එයිදො නොදනිමි
පන්සල්,පල්ලි,කෝවිල්,ගිහිල්ලා
බාර හාර පොල් ගහලා සැවොමා
මංගල යෝගය පැතුවත‍් එක සිතින්
ග්‍රහයෝ නීචයි මල්වර නැකතේ මගෙ
කවිය බලන්න
කවියා ගේ දෝනි
නැවුම් විරිතට කවි ලියන්නට පෑන අරගෙන හසුරුවා
මතක් කෙරුවා අගුල් හැර හැර නිදිකෙරූ කවි ඇහැරවා
ඉඩක් සෙව්වා තෝර ගන්නට කවි බීජ බිම අතුරුවා
හිතත් අරගෙන පැන ගිහින් අද අලුත් තාලේ අසරුවා
විතක් අත ළඟ රැඳේ තනියට බමන අතරම නැවතිලා
රුවක් නිතරම බොඳව සැඟවෙයි දෑස අහසට හරවලා
වරක් රහසෙම ගැස්සුනත් ගත සිත ඇවිල්ලද විමසලා
ඉවක් වත් නෑ සොයා ගන්නට මගේ කවි බිම මුඩුවෙලා
දුකක් දුන්නද මම දුවේ
දැනුත් මට වාවනු නොවේ
මමත් දැන් මාගේ නොවේ
අදින් පසු කවියෙක් නොවේ
2/2021
කවිය බලන්න
ඉවුර විලස- වික්ටර් රත්නායක නවතම ගීතය
ඉවුර විලස දැඩිව බැඳී දියවර වී පවස සිඳී
සක් හඬ සේ උස්ව නැඟී
උන් අප කෝ කොහිද සකී
නිල්ල මුවා කර අහසේ
පියැඹූයෙමු එදා
මල් ඵල පිරි තුරැ හිස් මත
වසමු යි කී කතා
ගොළු වී හුළඟෙ පා වෙලා
නුඹ නුඹෙ ලොවේ තනිවෙලා
හිසේ පැළඳි වෙස් තට්ටුව
පසෙක උනා තබා
තුට්ටුවකට උකස් තිව්ව
මුදු හිත ගෙන වහා
නුඹ ළඟ එතැයි නෙතු අයා
යටගිය දවස ඇත බලා
ගීතය මෙතනින් View Video
කවිය බලන්න
ගසක මහිම
ගෙබිම කොටාලා සරු පස සද ලා
සොඳවට බිජුවට එහි වපුරා ලා
සිහින් සිහින් කොකු උඩට ඇදී ලා
අන්දම් දුටුවෙමි දළුලන ලී ලා
දිනෙන් දිනම ලියලයි ආලය සේ
කලින් කලම මෝරයි දරුපෙම සේ
පුංචි පනා මල් බඳ වට දිලි සේ
නොපෙනේ කිසිදින ඉසිඹුව ලද සේ
ලතාවන්ද බඳ වටෙහි එතී ලා
සෙවන සදයි හිරු රැස් වටලා ලා
මව් සෙනෙහස සේ සිසිලස පා ලා
ගසක මහිම බල පල ලෙල දී ලා
සදා හරිත වන උයන් සරා ලා
සැලේ සුලඟෙ අතු පතර විදා ලා
රස පලවැල දෙයි ලොබ නොම වී ලා
ඔබ ලඟ සැනෙසෙන්නෙමි තුටු වී ලා
පත් ගිලිහෙයි එලැඹෙන හේමන් තේ
යලිත් පිබිද එයි නැගෙන වසන් තේ
සුවඳ විහිදුවයි සතර දිගන් තේ
වැජඹෙන් සකි නුඹ අඳුරු යුගන් තේ
කුසගිනි නිවුමට සරු ඵල දුන් නේ
කුසට අහිමි බත නොවෙද සදන් නේ
ඒ ගස නැසුමට අවි අර ගන් නේ
මව නැසු පාපයමය පල දෙන් නේ
ඔබෙ සිරුරෙනි කැනි මඬල තනන් නේ
ඔබ සිරුරෙහි දන ඉසිඹු ලබන් නේ
මව් ගුණ දන්නේ ඔබ නොනසන් නේ
කොතැනක මේ පව අර ගෙන යන් නේ
බුදු බණ මය නිති සිහියට එන් නේ
අටමහ කුසලෙකි ගස් වවපන් නේ
වවනා අප නැත හෙට දින ඉන් නේ
පුතු ඔබ මය හෙට ඉන් පල ගන් නේ
ආරාම රෝපා - වන රෝපා
ඒ ජනා සාධු කාරනා......
කවිය බලන්න
කොරෝනා වැලන්ටයින්
(දුරස්බවත් ආදරයක්)
රෝස මලට සැනිටයිසර් හලාගෙන
මාස්ක් පටින් නිකොටින් තොල් වසාගෙන
සෝදා සබන් ගා දෑතම තෙමාගෙන
මීටරයක් දුරින් ඉන්නෙමි බලාගෙන
වැතිරෙන්නට කියා පඩියක පෙණ අතුල
මුව ආවරණයට තෙරපා තොල් ඇතුල
අපමණ සෙනෙහෙ පොඩිකර මිරිකා එතුළ
මුව නොව සොඳුර සිපගමි උබේ යටිපතුල
නෙල්ලි ගෙනෙමි විටමින් සී බහුල නිසා
සෝදා කනු මැනව අතකින් නෙලූ නිසා
ගෙදරින් ගෙනා පස්පංගුව තියෙන නිසා
අපි තේ නොබොමු හෝටල්වල සෙනඟ නිසා
එන බක්මහට පෙර හොඳ දවසක් බලමූ
විසිපස් දෙනෙක් එක පැත්තට ගෙන කිරමූ
චාමෙට මඟුල ගමු හනිමුං ගෙදර ගමූ
ගෙදරම ඉඳිමු තුං මහකින් ඇඹුල් කමූ
2021.02.06
කවිය බලන්න
මහ වැලියට පෙම්කල නයිල් නදිය
නයිල් දිය රජිඳුන් අතීතෙක
කාල තරණයෙ යෙදෙන මොහොතක
මැණික් ඔප වුණු ගං කොමලි දැක
විස්මයට පත් වී ගියා ලූ
ඇයට රහසෙම පෙමින් බැඳුනලු
ඔහු ඇගෙන් විමසලා සිටියලු
ඔහුගෙ ආගම, කුලය, දේශය
විමසමින් ඈ විපිළිසර වී
රාත්‍රී දෙක තුනක් ගෙව්වලු
ඔහුගේ රුව දැක ඇගේ තුණු සිතෙ
ගැස්ම වැඩි වී වාං දැම්මලු
ඔහුගෙ වතගොත අහක තබමින්
ඇය රජුන් හට බහක් දුන්නලු
මැණික් කැට ඇති තැන් නොසොල්වා
උමතුවෙන් ඔහු ප්‍රේම කෙරුවලු
දෙදෙනා බෝ ආදරෙන් සිටියලු
රජුගෙ දේසෙට ඉඩෝරය විත්
මිනිස් ජනයා මැරී වැටුණලු
පළමු ප්‍රේමය පුද දෙමින් ඇය
රජුට යන්නට කියා කීවලු
එදා මහවැලි ගඟ පිටාරය
ගලාගොස් මහ හඬින් හැඬුවලු
අදත් මහවැලි දිය ගලන්නී
දුකම සඟවා සිනාසෙන්නී
නයිල් රජු ගැනමයි සිතන්නී
ඉඳහිටෙක සුසුමක් සලන්නී
ඇයත් දැන් ජරපත් වෙලා ඇති
ප්‍රේමයේ ගඟ සිඳිලා නැතුවැ'ති
කොතෙක් දුර මුත් ඇතිය ළඟ පැති
ආදරේ කිසි දෙනෙක නොමියෙති..
කවිය බලන්න
රාග (විරාග)
ජීවිතය ජයගනු නියාවෙන්
බවුන් වැඩුමට එක ලෙසින්
ඈත දුර අරණකට ගිය ඔබ
වසර ගණනාවක් මුලුල්ලේ
අනේකවු පාරමී පුරමින්
කොතෙක් නම් වෙහෙසුණිද
සුමිතුර, ඒ අතීතයේ මතක සේයා
මගේ හද ගැඹ නිදන් වී ඇත
මිනිස් හඩකුදු නොඇසෙනා දුර
ගල් තලාවක බිහිදොරෙහි
ඉලුක් මඩුවක තවුසෙකුව ඔබ
වරු ගණන් එක දිගට තනිවම
විටෙක නිරාහාරව පවා
භාවනා කළ යුගය නිමවා
කිම මෙසේ අද යොවුන්
ඇඹෙනියකව සහා
ගම් වැදී පැල්පතක තනිවී
ඇලී අන්තයටම කිදී
පංච කම් ස¿ප විදින්නේ
හිමාලයේ මස්තකයෙ මහ ගිර
අනෝතත් විල අසබඩෙහි
අකාලෙට විස්මිතව පිපෙනා
පුෂ්පයක් වන් ළදක උඩුකය
දැක බැඳී නාරී ලතාවක
දැහැන් සිද බිද ඒ සැනින්
එතෙක් යටපත් කර තිබූ
කෙලෙස් සංයෝජන නැඟී
අපිස් දිවියෙන් අයින් වී
රාග කම් සැප විදිනු වස්
පැමිණියෙද මා හදේ රජවූ
සසර මග ආ සුමිතුරාණෙනි!
6.2.2021
කවිය බලන්න
ඒ මල නැතිව......
නෙළුම් මලක සුන්දර කම සිතෙහි ඇත
පරවුණු විටදි කොයි මලකත් හැඩය නැත
හැමතැන පිපෙන මල් තිබුණද හතර අත
ඒ මල නැතිව මළ සිරුරකි මගේ සිත
කවිය බලන්න
සීතලත් බය අන්ධකාරය
බලා ඉන්නව දෙන්න දෙතනක
හදේ හැඟුමන් ගෙන දරා
සෙනේබර ඔබ තිරයෙ ලියනව
තවත් තිරයක එයම රඟනව
ජීවිතේ කොච්චර ලස්සණදැයි කියා.
ඉතින් බෑ තව ඈත යන්නට
බසවක් කුලමත් දැන් පහුවුණා
හෙමින් ඇළවී ටිකක් ඉඳිමුද
තිසා වැව තව දුර නිසා
නුඹේ උණුහුම දැනේ මට
අතට ගත් බත් කටටත් වඩා
ඉතින් තව අපි කුමක් කරමුද
සීතලත් අන්දකාරෙට බය නිසා.
කවිය බලන්න
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමනි...
නරේන්ද්‍රසිහ රජ නාමය නිමා විය
නුඹට පිදූ ප්‍රේමය නීරසම විය
මා රන්දෝලි මුත් පෙම අන්සතුම විය
දස්කොන් මගේ හද පතුළෙම නතර විය
ආලය කියන්නේ පිවිතුරු හැඟීමකී
ප්‍රේමය කියන්නේ හද කිති කැවීමකී
හිමි සඳ නුඹේ හද පතුලේ වෙන කෙනෙකී
දස්කොන් මගේ රස දන්නා මීවිතකී
සක්මන් මළුවෙ උන්නා දොඩමළු ම වෙලා
ගැයුවා ලියූ කවි පද පෙම මෝදු වෙලා
ළඳකගෙ හිතේ ඇති හැඟුමන් කවිත් වෙලා
දස්කොන් ගයන විට කවිමල් මගේ වෙලා
මා හැරදමා සෙංකඩගල ගිය රෑක
සෙල්ලම් නිරිඳු සිරියහනේ උනුහුමක
හඟුරන්කෙතේ නොනිදන මා සුසුමයෙක
ප්‍රේමය ළය පලා පරවී ගිය සේක...
සකල සිරිලකට මහ රජු ඔබ වේ නම්
දෙනෙතට එබී නොබියව මම දිවුරන්නම්
ප්‍රමිලා නමට කවියෙක් මියැදෙන්නේ නම්
ඒ කිවි නමට මියැදෙන පෙම්වතියයි මම්
- ප්‍රමිලා
කවිය බලන්න
🗙











































































