ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙරටම යමු………

පෙරටම යමු………

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2022-May

ඉවස ගනු නොහැකි වී දිවි මඟක ගිනි සැරිය
සියල් දන එකතු වී අමෝරා
හද සවිය
ගාලු මුවදොර එකම ගිනි
ගොඩකි පරිසරය
සාමදානව යදියි ගෙවන්නට
දිවි සැරිය.

දරා ගත නොහැකිවී දෙස් පාළු
අඬහැරය
විසුනු වී ගොස් ඇතිය ලක්මවගෙ
පරිසරය
තුරුණු හදවත් වලින් පැන නැඟී
අරගලය
නොනැවතී රැලක් සේ ගලා යයි
අරුමැසිය.

වසන්තය පැමිණියද වසන්තය
නැහැ සිතට
දසන්තයෙ පැතිර යයි වේදනා
සිත දුකට
දිගන්තයෙ ගොස් කුමට සැපක්
නොලැබේ ගතට
අනන්තයෙ පන්නමුද අධම උන්
එක පෙළට.

මල් පිපුණු වසන්තය දකින්නට
පෙර කලේ
තාරුණ්‍යය අද දවස නැතිද ඔබ
පින් කලේ
පිපුණු මල් කිනිති සේ සුවඳ දී
මිහි තලේ
බේද හැම දුරලමින් ජය ගනිමු
අරගලේ.

අදීනව සිටි දැයක් කුජීතව බිම
වැටී
යදියි සිඟමන් ලොවින් අඬ අඬා
දණ ගැටී
එවන් තැන උරුම කල අමනයන්
තව සිටී
ඉදිරියට යන්න ඔබ රට රැකුම
හරි වටී.