ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බලා සිටිමි

බලා සිටිමි

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2023-March

නිහඬය ගෙපැල මීයට පිම්බා වැනිය
පිළිවෙල නොබිඳ සැමදේ තිබු තිබු තැනය
ඉවසනු කොහොම හිතකට දැනේනා තනිය
පිළිතුරු සොයන පිළිතුරු නැති මගෙ පැනය

දුවනා අතරතුර පුරවා ගතිමි කුස
කියනා කතා ඇසුවෙත් පිළිමයක් ලෙස
ගෙවිලා ගියෙන් රහසෙම දින සමග වස
ඇරිලා තිබුණි මග බෝ තැන් හරිම රස

ටිකකට පියා ගන්නට ලතවුනෙමි නෙතක්
ඇත්තට එදා නොතිබුණි විසි හතර පැයක්
හිමිහිට ගෙවී යනු ඇයි අද සියළු දිනක්
කුමකට මෙසේ දිගුවුණි දැයි සිතමි රැයක්

දුන්නෙමි මවක සෙනෙහස අඩුවක් නොකර
යන්නෙමි මතක මත දිගු කරවන සසර
ගන්නෙමි දරා තනිකම මැද සේ කතර
ඉන්නෙමි පැටව් එනතුරු ඉඩ ලද අතර