ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොල හැලෙන ගහක සිතුවිලි

කොල හැලෙන ගහක සිතුවිලි

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
2022-December

පීත ලෝහිත කසා සළුපිළි මුදාලන්නට කාලෙ හරි දැන්,
රුදුරු කරගැට කලුම කලු කඳ එලිකරන්නට කාලෙ නොව දැන්?
රනින් නිමවුන බුමුතුරුණ අද
හකුල ගන්නට කාලයනෙ දැන්
සුමුදු සුදු මුතු සීත හිම සළු
පොරොව ගන්නට වෙනව නේ දැන්?

මාස ගණනක් ඉරුගෙ තෙද විඳ
සිටිය සතුටින් අහර පිසමින්,
පාට පාටට පිපුන කුසුමන් පෙමින් සිටියා බමරු සමඟින්,
ගීත ගයනා කුරුලු ජෝඩුව හැර ගියා නිල් අහස සිබමින්,
ශීත කුමරිය වැලඳ ගමු අපි මෙත් වඩා රැක දෙන්ට නිදුකින්!

කිතුනු ඉපදුන දවස ලඟ එයි
එදින සැමරුම මෙදත් සරුවට,
අපව නිවසට කැඳව ගෙනයයි
තිලිණ රඳවන ගසක් විලසට.
තවම කොල පැහැයෙන් ම හැඩවුන
යහලු වන් හට ලැබෙන වරමට,
සතුටු වෙමු අපි Santa ගෙනදෙයි
තෑගි නොඅඩුව හිත පිරෙන්නට.

නව වසර අත ලඟම වග
අමතක උනානේ අනෙ මහළු මේ මට
හිරු රැසින් හැමදාම නැහැවෙන
යහළුවන් සිහිවෙනව සැමවිට,
ලක් දිවේ වැජඹෙන ඔබට අද
පතමි කුලුණින් බටහිරේ සිට,
දුකින් පසුවන රුදුරු මිනිසගෙ
ගොදුර නොව වනු පොරෝ පහරට.