2025 ජුලි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2025 ජුලි කලාපය

හිටිවන හෙළ කවේ නද දී දද බන්ද අතකස නුබ ගැබේ දිලිසුණු මන නන්ද ගනේවත්ත කවි සෙන්පති සිත් බැන්ද ආයේ කවි නැතැයි සිතනට පුලුවන්ද

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

අගනුවර තරුණ කවි සමාජයේ බල කණුවක් වූ , සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති වූ කොළඹ යුගයේ දැවැන්ත කවියෙකු මෙන්ම හිටිවන කවි චක්‍රවර්ති වරයෙක් වූ කිවිපති මාපලගම සේන ගනේවත්ත කිවිඳුන් පසුගිය දා අප අතැර ගියේය. එතුමා නොමැති වීමෙන් ඇතිවූ හිඩැස කෙසේ පිරවේදැයි අපි කල්පනා කරමින් සිටින්නෙමු. නිවනට එළඹීමට පෙර එතුමා නැවත අප අතර ඉපිද කවි සිත්සතන් උද්දීපනය කෙරේවායි අපගේ ප්‍රාර්ථනයයි.!

සේනට සේන මිස සමවන කෙනෙකු නැත

සේනට සේන මිස සමවන කෙනෙකු නැත

ඇඹරළුවේ අනුර ශාන්ත

කවිලොව ගැසුව කිසිවෙකු නොගැසූ පිනුම
ඔබ පරදවා මරු අරගෙන ඇත දිනුම
හැම විෂයක් ගැනම සතු වී තිබු දැනුම
මා වැනි අයෙකු හට කළ හැකි වෙද මිනුම

ඔබ නිවහන අපට අපගෙම නිවස වගේ
විය 'කවි රටාවෙහි' කටයුතු කෙරුණු යුගේ
කරළිය මතදි අප දුටු දළ ඇතෙකු වගේ
කවි ලෝකයට නොම වැටහුනි ඔබගෙ අගේ

ගෙන 'කවි රටා' රට වට සැරිසැරුව යුගේ
'මේධා ඇස් දෙකය උඹ අත් දෙකය මගේ'
යනුවෙන් පැවසු බස මට මතකයට නැගේ
එය සම්මානයකි කවි දිවි මගට මගේ

කෙනෙකුගෙ හැකියාව දුටු විට අගැයීම
අත දිය යුතු අයට නිබඳව අත දීම
ඔබ සිදු කෙරුව බව දෙවරක් නොසිතාම
මා සිහිපත් කරමි ගෞරවයෙන් බෝම

සුන්දර යුගයකදී ගතවුණු අපට කලින්
අතකස මැදුර සැරසුව කවි සුවඳ මලින්
දුටුවන් තුටු වුණේ මුදු තෙත් වචන වලින්
කටයුතු කෙරුව කවියෙකි බිය නැතුව කෙලින්

කරුණා, දයා, සෙනෙහස ගුණ පිරුණු හිත
කවි කරළිය මතදි නෙත රැඳි සොඳුරු වත
ආධුනිකයන් හට නිති දිගු කෙරුණු අත
සේනට සේන මිස සමවන කෙනෙකු නැත

සම ලේකම් - අගනුවර තරුණ කවි සමාජය

කවිය බලන්න
ගනේවත්ත සේනත් සමුගත්තේය

ගනේවත්ත සේනත් සමුගත්තේය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සෙනේ බැදුණෙ කවියට බව සත්තේය
පිනේ බලෙන් සිටියේ ඉහ මත්තේය
අනේ කුමක් කරමුද නොම දත්තේය
ගනේවත්ත සේනත් සමුගත්තේය
-----
ගැලුවා වැනිය ගගුලක් හිටිවන කවිය
දිණුවා රටම මුවහත් කර කවි අවිය
තැණුවා නම් අගෙයි දිවිතුරු සිය දිවිය
දුටුවා ඔබෙන් නෙක දන කවියෙහි සවිය
------
මී වදයකින් ගැලු මී පැණි රස විසිරී
කී කවි ,ලියු කවි යුග ගණනක් මිහිරී
ජීවන මංපෙතේ සෙල්ලිපි වල ඇතිරී
පායන ස‍‍ඳ වගේ දිදුලයි නිති පැතිරී
------
තැණු සිසු පිරිස ඔබැ රස දත් දසත වැසි
දැණුවත් බවෙන් අගපත් කවි සදැස දිසි
දිණු දේශයට ගෙන දෙන පෑ සදිසි සිසි
දෙනුවන් සලා එනු දැකුමට එදන විසි
-----
වියතුන් සබා මැද නංවා කවියෙ හ‍‍ඬ
ගිය ගිය කොතැන වුව පෙන්වූ සොදුරු වැඩ
දියවැල වියැකුණත් ඉන්පසු සතර කඩ
මිය ගිය පසුව ඔබැ, කාටද එතැන ඉඩ
---
සරමින් නදුන් උයනේ සුරලියන් වසා
ගයමින් පුරුදු කවි යවහන් දෝෂ නසා
විදිමින් කොතක් කල් සිටියද ඇතිව
තොසා
පුරමින් පෙරුම් යළි එනු හෙළබිමට
බැසා
=============================
රාජ්‍ය කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
========================
0711481624
19/6/2025

කවිය බලන්න
සේන ගනේවත්තහිටිවන කවි කිරුළ!

සේන ගනේවත්තහිටිවන කවි කිරුළ!

ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර කොළඹ

ලක් මව දිනවුමට සිරි සරසවිය සෙව්
දුක් සැප මුසුව මාපලගම රටට එව්
දැක්‌මට දුර දසුන් හසුරන පදය සිව්
සක් විති කිරුළසකි හිටිවන ලොවට කව්

පිවිසුම පෙරට සසරේ හුරු අත නෑර
කවිකම නළුකමට මුසු කළ රස මීර
දිවියම එකලු සිය උරුමය පද ආර
අවි බිම හෙළන සවියකි යන එන පාර

අ.ත.ක.ස බලකණුව ස.ල.සි.ක මුලසුනට
ළය රස රැගෙන බට පුවතකි විමතියට
දෙස බස රැස රැකෙන කිවි මඟ සුදසුනට
යුග කිස සැලසුමකි පියවර ඉදිරියට

හදවත් සැනසුමේ සිතුවිලි වගා වෙන
මැදහත් ලොව දහම විමසා බලා දැන
ලදහොත් මිසෙක තුති පැසසුම් ගලා එන
තෙදවත් සිතක පසු පස නැති හඹා යන

අග රස ළය හොවා කිවිවර කමේ වියත්
පෙර පස හිඳුවමින් පිටු පස පෙළේ අයත්
දෙස බස රැසට පණ උපදින අපේ දැයත්
රිටි උස නඟී රැක ගැනුමට කොහේ ගියත්

සඳු රවි පෙරළියට පෙරඹර අවර ගිර
නැණ සවි ජන දිනුම රතු ලොව පුබුදු කර
රස කවි සුවඳ මාපලගම රුහුණු පුර
සුව දිවි සැනසුමකි නිවනට විවර දොර

කවිය බලන්න
ඔබ කවියක් මෙනි

ඔබ කවියක් මෙනි

මෛත්‍රි පනාගොඩ ඔස්ට්‍රේලියාව

සිත තුළ කැකෑරෙමින් තිබෙන තුරා
හිතුමතේ ඔපමට්ටම් කළ හැකි
තනි අයිතිය ගැන උදන් ඇනිය හැකි

ලියැවුණු පසු
තමන් රිසි අරුත් දී
ලෝකයා විසින් පැහැර ගනු ලබන
කවියක් මෙනි ඔබ

කවියක් සොයා කාව්‍ය සංග්‍රහයෙන් @2025

කවිය බලන්න
ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

මගේ කවියට ඔයා නිමිත්තක් වෙන්න...
ඉතින් ආයෙත් එන්න...
දුක ආයෙ අවුස්සලා යන්න...
කවියෙකුට දුක හිතුනම
ලියන කවි තමයි ලස්සනම...

ඔබ ආයෙමත් ඇවිදින් කාව්‍ය සංග්‍රහයෙන් @2025

කවිය බලන්න
පොල්කිච්චි ගේ පොරොන්දුව

පොල්කිච්චි ගේ පොරොන්දුව

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

පැටවනුත් දැන් ලොකුයි
පියාපත් ද සවිමත් ය
උන් කැමති ඉසව්වක
ඉගිල යයි ළඟදීම
නුඹ ගිහිල්ලත් දැන්
හුඟ දොහක් වෙනවා
නුඹ එනතුරා මම
පතිවත රකිනවා

වාරකන් රාත්‍රිය පද්‍ය සංග්‍රහයෙන් @2025

කවිය බලන්න
No Stopping No Turning

No Stopping No Turning

කමණි කුමාරි සෙනෙවිරත්න

අධිවේගී මාර්ගයේ යන ගමනේදී
දුටු පුවරු සිහිකැඳවීය මට .....
පෝරු මස්තකයේ සිට
ඔබ සමග අතිනත ගත් දා
මා සිතා සිටියෙත් මෙයම බව .......!
නමුදු..... අධිවේගී ජීවන ගමන තුළ
මන්ද නොදනිමි
No Stopping
No Turning
බොඳව මැකිලා ගියේ ....?

කමණි කුමාරි සෙනෙවිරත්න

නොමැත නැවතුමක්..! ඇත්තේද හැරවුමක්...? කාව්‍ය සංග්‍රහයෙන් @2024

කවිය බලන්න
ආදරණීය ලොකු අයියා

ආදරණීය ලොකු අයියා

සේන ගනේවත්ත

මාපලගම සේන ගණේවත්ත
(ආදරණීය ලොකු අයියා)

මරණෙදි මගුලකදි සැම සිත් සනසාන
අරගලයකදි එතනට සමගිය ගේන
හෙළකවියෙහි බලය පෙන්නා අසමාන
කල දස්කම් අගෙයි මගෙ අයියා සේන

රට දැය රැකිය යුතුතැන පසුබට නූන
අවියකි ඔහුගෙ කවි හඩ සහ කවිපෑන
කවියෙන් නාටකද පොතපත කල සේන
අයියා නිවන් මග ජය ගන්නට ඕන

දහමට භාවනාවට ලැදිකම පාන
නුබගේ චිත්ත බලයද විය අසමාන
ඊ ළඟ නවාතැන සසරෙහි දත් සේන
අයියා පැතූ දෙයම ජයගන්නට ඕන

මල්ලී, ලකී ගනේවත්ත පැරීසිය

කවිය බලන්න
බුදුරජාණන් වහන්ස!

බුදුරජාණන් වහන්ස!

විල්සන් හෑගොඩ

බිහි සුණු කුහක ලොව පරවැඩ පිණිස රැයේ
සිහි පත් නොවෙයි හිමි හැර කවරහුද ගියේ
මිහි රෙන් මිහිර දෙන තුන් ලොව එකම පියේ
පිහි නමි යලිදු මම ඔබ ගුණ අමොද දියේ

සණ රාමර සමිඳු එක එක ගුණය දැරූ
වෙන වෙන කියනුවට නොපමණි අහස තරු
ගෙන එය වනණු හැකිනම් නැගි සිතැඟි විරූ
කන මැදිරියන්ගේ එළියකි උදය හිරු

බහ දුරු සමිඳ ඔබ හැර අදහසට කෙළින්
දහ මින් දැමිටු කිරියෙන් බැඳි කුළුණු දැලින්
යහ පත කළේ නම් කිසිවෙකුගෙ පිළිවෙලින්
මහ මෙර මවන්ට හැක අබ පියලි වලින්

උස් මිටි නම් සාමාජික බේදය පෙන්වා
හිස් ඉදිමුණු බමුණු මත පාමුල ගන්වා
විස් තර නුවණ මඟ අතැඹුල මෙන් පෙන්වා
පස් ඇස වැඩ කෙළෙහි ඔබ නිදහස දන්වා

විදු ලිය අහස ඉර හඳ යන මෙයින් අද
පුදු මයි මැවෙයි මහිමිගෙ බුදුරුවන් බඳ
නිදු කාණනි! ඔබෙන් පැනයක් අසන්නද
බුදු වෙන්නට බැරිද? මට පස් මරුන් බිඳ

බරණ්දෙනිය - කොල්ලූපිටිය

කවිය බලන්න
සඳේ තව හිනැහෙන්න

සඳේ තව හිනැහෙන්න

අනුරාධා ගුණසේකර හොරණ

සඳක් නුඹ දුර අහසේ
සිසිලසින් සිත නිව්ව
අඳුරු රැය එළිය කර
නෙතේ කඳුළැලි පිස්ස
අමාවක දවස්වල
අඳුරටම දොස් කිව්ව
මමත් දැන් හිත හදන්
සඳේ තව හිනැහෙන්න

නින්ද නැති පෙර දවස්
හඬා රැය පහන් කල
වින්ද දුක කොච්චරක්
දන්නවා නිදි යහන
රැයක් මේ තරම් දිගු
වෙලා තිබු දවසක
සඳක් දුර අහසේ
හිනැහුනා සොඳුරුව

නෙතු පියාගෙන මහ
පොලොවේම හිනැහෙමි
දුකක් දැනුනෝතින්
සොමිකිරණේ සුව විඳිමි
සඳ වුනත් ලස්සන
අහසේ හිනැහෙන විටදි
හද කවුළු තද කර
වසා නෙත් පියවමි

කවිය බලන්න
ගමට    යන   දුම්රිය

ගමට යන දුම්රිය

අමිතා පද්මකුමාරි

කඳු වැටි තැනිතලා
පසුකරන් කෙත් වතු ද
නෙක මලින් පිරි
උයනක සිරි මැදින්

රිංගමින් බිං ගෙයින්
නදී තරණය කරන්
ගැස්සෙමින් පැද්දෙමින්
නැවතී ගිමන් හැර

අතවනන පොඩි පැටව්
සිනාසෙන ලෙච්චමීලා
පසුකරන් පැමිණියා
ගම්පියස වෙත යළිත්

කවිය බලන්න
ආශ්වාදය විකුණගන්නට - පී. බී.  ගුණරත්න

ආශ්වාදය විකුණගන්නට - පී. බී. ගුණරත්න

අජිත් බණ්ඩාර මහනුවර

රිසි ලෙදේ ප්‍රේමයක ඉන්නට
කිති කැවේ හද තුරුළු වන්නට
බස් එකේ දුම්රියේ ඇම්මට
ඉඟි කරන්නේ රූම් යන්නට

පේන වයසක වුව මහල්ලන්
රාගයම දෙස නොවෙද අල්ලන්
ආදරය ප්‍රේමයද සල්ලන්
මාංශයටම තමා සෙල්ලන්

ආශ්වාදය විකුණ ගන්නට
රෑත් දහවල සැදී ගොන්නට
වේද ලැජ්ජා බයක් උන්හට
දේව ධර්මය දවා ගින්නට

කවිය බලන්න
කළු ජූලිය

කළු ජූලිය

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

කළු ජූලිය මවයි මසිත

බියකරු දුම් වළලු නගන

දුගඳ අඳුර මූසල හඬ

බිය චකිතය පිරුණු මුහුනු

කඩ කඩන

ඔළු පලන

කෙහෙ හිඳින

ගිණි තබන

ඇට කඩන

කෑ ගසන

බිය දැනෙන

යක් මුහුණු

මවයි සිත

දණ නමන

හිස නමන

භීතියෙන්

කෑ ගසන

ගිණි වදින

මර බියෙන්

සැඟවෙන්න

තැන් සොයන

ජන ගඟක්

නැති සරණ

මවයි සිත

හිස සිඳළු

ගෙල කැපුනු

කර රහිත

ලේ ගලන

නෙක මිනී

විසිර ඇති

පරිසරය!

එහිම හිඳ

හඬ තලන

දුක කියන

මග අසන

නොදරුවෙක්

ගැහැණියක්

මවයි සිත

දින සති මාස ගණනින්

ගෙවුන ද දශක ගණනින්

කළු ජුලියෙ දුටු එදසුන්

කෙලෙස අමතක කරත් සුදනන්

තැන තැන මිණී කුනුවී

ගඳ වා තලයෙ මුසුවී

බලු කපුටු හඬ මුසුවී

විශාලා මහනුවර මතුවී

සෝ සුසුම්දහරාවන්

කම්පනය වූ දරුවන්

තැන තැන මිනී මරුවන්

හෙළය තුල මැව්වේය නිරයන්

තරු කඩා හැළුනේ

හිරු මල් නොපිපුනේ

සඳ අඳුරෙ ගිළුනේ

ලක්මව හඬා වැටුනේ

කළු ජූලිය මවයි මසිත

බියකරු දුම් වළලු නගන

දුගඳ අඳුර මූසල හඬ

බිය චකිතය පිරුණු මුහුනු

මහ දවල්

අපරාධ

කැපුම් හා

නෙක මරණ

සිදු කරන

පෙළ දුදන

නෙතින් දැක

තුවක්කු ද

බයිනෙත්තු

බැටන් පොළු

අරගත්තු

කාකි කෝට්

බොත්තම් පටි

නොසෙල්වී

උඩ බලන්

නැති විටෙක

බිම බලන්

සිටි අයුරු

මවයි සිත

යුධ ටැංකි

ජීප් රථ

ගිණි නිවන

ඔටෝ රථ

ගිලන් රථ

මහ පාරෙ

තැනින් තැන

නොසෙල්වී

සිටි අයුරු

මවයි සිත!

අනීතිය රජ වුන

කළු ජුලියෙ කළු බලය රජවින

මිනිස් දම් වියළුන

බැවින් තුන් හෙළයම අඳුරු වින

දිය ඇලි වියළුනේ

මහ වන පෙත් මැළවුනේ

කොළ මල් බිමට හැළුනේ

ලක් මව හඬා වැටුනේ

පස් මහ ගං දිගේ

කඳුළු දෝරා ගැලුනේ

සමනළ කන්ද මුදුනේ

සමන් දෙවිඳුන් වැලපුනේ

තේ පඳුරු මත්තේ

ඇඟිලි තුඩු වෙව්ලුනේ

ඩා බිඳු නොහැලුනේ

කඳුළු වැහි නොනැවතී වැටුනේ

බුදු පිහිට හිමි මේ රට

කළු ජුලිය අවසන සිට

උතුනියක හඬනා ලෙස

වැලපෙන්නේ ද සදහට

කළු ජූලිය මවයි මසිත

බියකරු දුම් වළලු නගන

දුගඳ අඳුර මූසල හඬ

බිය චකිතය පිරුණු මුහුනු

කවිය බලන්න
මිඩිය   සහ    රාත්‍රිය

මිඩිය සහ රාත්‍රිය

අමිතා පද්මකුමාරි

එන්න මා තුරුලට
වැළඳගෙන විඩා ගත
සනසවා පිරිමදින්නම්
මුමුණනවා සුව යහන

යන්න දැන් යන්න
ඉසිඹුවක් අවැසිනේ
විඩාපත් උවනට
එබී කොඳුරයි නිද්‍රාව

මැදියමත් උදාවී
නිදියන්න නිදියන්න
ඇයි ද තව අවදියෙන්
හඬයි හෝර යතුර

අවසඟය දෑත් පා
නිදිබරය දෙනුවන් ද
ඒත් ඈ වැඩකරයි
ඉවතලා ඇරයුම් ද

කවිය බලන්න
යාපනේ පුස්තකාලය දැවුනි

යාපනේ පුස්තකාලය දැවුනි

ආරියරත්න ජයසිංහ මහරගම

(මෙයට සිව්සාලිස් වසරකට පෙර එනම් 1981 මැයි 31 මැදියම් රෑ
97,000 කට අධික පොත්වලින් සමන්විතවූ දකුණු ආසියාවේ හොඳම
පුස්තකාලය, යාපනයේ පුස්තකාලය, ජාතිවාදී මැරවරයින්
කණ්ඩායමක් විසින් ගිනිබත් කරන ලදී.)

පෙර කලෙක එක් අඳුරු සමයෙක
උතුරුකුරු දිවයිනේ කෙළවර
අකුරු මුතුමල් පිපී හිනැහෙන
එක් සොඳුරු දෙව්ලොවක් වූයෙය.

සුපුල් සත්පියුම් මත
ඉදිරියේ මුතු අකුරු මල’සුන
වැඩ විසූහ බුදුරදහු එහි
යේසුස් ක්‍රිස්තුස්.. අල්ලා දෙවිඳු ද
බ්‍රහ්ම..විෂ්ණු.. මහේශ්වර ද
ගණපති හා සරස්වති ද
වැඩ සිටියේ ඒ දෙව්ලොව
එපමණක්ද
තිස්තුන් කෝටියක්ම දෙවිවරු.

මාක්ස්.. ඒංගල්ස්.. මාවෝ
ගාන්ධිජී.. අලි ජින්නා
තව බොහෝ අය .

වාල්මීකි.. හෝමර්.. ඛයියාම්
ගෝර්කි...චෙකොව්... ටෝල්ස්ටෝයි
ක්‍රිෂ්ණමූර්ති..පරණවිතාන..කුමාරස්වාමි
ශේක්ස්පියර් පමණක් නොව
මහගම සේකරත් එහි.

සුරා’සුර යුද ඇවිලි සමයෙක
දහවලත් කළුවර වු දවසක
නොදන්නා අකුරකුදු මළපොත
නොදන්නා දහමක ගැඹුරු ගුණ
නොදන්නා කිසි කලාවක රස
කඩා වැදුනෙය අසුරයින් එහි.

ගිනිදැලින් වෙලුනිය එ දෙව්ලොව
සදෙව් ලොවටද විසිවී ගිනිපුපුරු
චුතවූහ දෙවිවරුද තිස්තුන් කෝටියම
ධම්මපදය මෙන්ම බයිබලයද
කුරානයද අළුවීය ගිනිවැද
සොඳුරු අකුරු සත් පියුම් සමඟම.

කවිය බලන්න
ගැමුණු රජුන් දා සිට ඇරඹුණු  රුහුණු පුර.....

ගැමුණු රජුන් දා සිට ඇරඹුණු රුහුණු පුර.....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

ගැමුණු රජුන් දා සිට ඇරඹුණු රුහුණු පුර

කඳසුරිඳු නමට වීදි සරන ඇසළ පෙරහැර.........

නිසිකල ලබන්නට නිසිලෙසින් වැසිපල

උවදුරු දුරලන්න ළඟාවන නෙක ගහපල

සුරනෙත යොමා ගන්නට කඳසුරිගෙ තෙදබල

පෙරහැර කරයි ලක්දන කතරගම ඇසළ

සුරිඳුන් කතරගම වඩිමින් මනුලොවට

“කප”ට අරක්ගෙන පෙරහැර කාලයට

සිටිනා බව සිතා බැතියන් පෙරසිට

පූජා වස්තුවක් ලෙස සලකයි “කප”ට

ඉරහඳ පවතිනාතුරු පෙරහැර කරනා අදිටනින්

ඉරහඳ ධජ සමඟින් සේසත් පෙරටුකරන්

දිසාධජ හා බොදු ධජ ගෙන හද බැතිසිතින්

පෙරහැර කතරගම සරසයි මෙලක දනන්

නැටුමෙන් සබරගමුව උඩරට සහ පහතරට

වැයුමෙන් අතත විතත විතාත ඝන සුසිරයට

ගැයුමෙන් කවි ගී නෙක නෙක තාලයට

බැතියෙන් ඔද වැඩී එක්වී යයි පෙරහැරට

කළගෙඩි, නෙළුම්, කුළු නැටුමට ළඳුන් නටන්නේ

සවරම්, චාමර, වේවැල් නැටුමෙන් රටා මවන්නේ

පතුරු නැටුම, වඩිග පටුන, හත්පදය කියන්නේ

කාවඩිනැටුමට මෝලන් නද සපයන්නේ

විජිතපුරයෙ සටන දිනා පැමිණි රජු එදා

කදිර සුරිඳු අණින් දෙවොල දුන්නෙ සදා

ඉරහඳ පවතිනා තුරුම පෙරහැර කරවන්න සදා

අණකල දුටු ගැමුණු රජුන් වඩමවයි මෙදා

අභිමානෙන් දෙව් අභරණ වඩම්මවා පෙරහැරෙ යන්න

ගිජිඳුන් පෙළ පෙළින් පෙළට සැරසෙයි ඔන්න

වසර ගණන් “වාසනාව” කළ මෙහෙවර සිහියට ගන්න

කඳසුරිඳුගෙ පිහිට පතා බැතියෙන් සිත් පුබුදාගන්න

කවිය බලන්න
ප්‍රේමනීය කවි හිත

ප්‍රේමනීය කවි හිත

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

සමනළයාද, මී මැස්සද බඔ රාද
ඇය ගැන ගීතයෙන් දෙයි අමුතුම නාද
හිමිදිරි උදේ කළඹවමින් රස මූද
මෙි මල් පිපි ඇත්තෙ කා සඳ හාද

මල් ලොව ඉපිද හිරු දැක රැය ගෙවන
පැයේ
පිණිමුතු පළඳමින් කැළලක් නොමැති කයේ
මන දොල පුරන්නේ වන බඔරුනගෙ
ළයේ
තිගෙ ආදරය අහිමිද කවියෙකුට පියේ

කවිය බලන්න
කර්ම පත්‍රය

කර්ම පත්‍රය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ක්‍රියා පදයකි මගේ ලෝකය ආදරය බැන්ද
තිත තැබිය යුතු තැන මකා ඇද කොමාවක් ඇන්ද
ඉස්පිල්ල පාපිල්ල අතරේ හිතින් දුක් වින්ද
ආදරය වරහන් තුළයි එය එළියෙ නෑ මන්ද

නාම පදයක් විවාහය දරුවනුත් ඉන්න
යුගල පද සුනු විසුනු වී විරුද්ධයි ඔන්න
ප්‍රශ්නාර්ථය ඇතැත් නෑ උත්තරය දැන ගන්න
කොමා දෙක ඉහළින් ඇතිය මැදට වී ඉන්න

ආඛ්‍යාතය තාම දන්නැති ජීවිතය ගෙවිලා
පරිච්ඡේදය ගානෙ ලියවී ඉවර විය දැවිලා
හර්ෂාදී ලකුණක් නොමැත ජීවිතය මැරිලා
ලකුණු දහයෙන් බිංදුවයි බැලුවහම හැරිලා

AnA 2025

කවිය බලන්න
තත්පර 30 ක්

තත්පර 30 ක්

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

පුවතක් - එයා ඉන්ඩියා යානය ගුවන් ගතවී තත්පර 30 කින් විනාශයි.

තත්පර තිහක් කොයි තරමක් දිග වෙයිද
යානයෙ හිටි අයගෙ පැතුමන් කොහි ගියෙද
දෙසිය ගණනකගෙ සිතුවිලි නතර විද
කාගේ වුණත් ජීවිත මෙච්චර කෙටිද

සමහරු ගියේ නව ජීවිත ගමන් වෙත
තව අය ගියේ පොදි බැදගෙන රස මතක
මිහිකත අතැර නගිනා කළ ගුවන වෙත
කිසිවෙක් සිතුවේද වේයැයි මේ විපත

එක් රැස් කලත් හැම දේ වැඩි වැඩි බරට
ගෙනයනවාද එක මල්ලක් වත් මිටට
සිතුවිලි වලට වැඩි වේගෙන් යන මරුට
වාගෙයි දිවිය තණ අග රැදි පිණි ලෙසට

කවිය බලන්න
කොයි තරම් ලස්සනද මල් කැකුළු හිනැහෙද්දි

කොයි තරම් ලස්සනද මල් කැකුළු හිනැහෙද්දි

අනුරාධා ගුණසේකර හොරණ

එකම ඉර හඳ යට
වෛරයේ ගිනිසිළුය
දැවි දැවී යදින්නේ
ජීවිතේ පනනලය
බිඳී විසිරී ගිය
මල් කැකුළු හැම අතය
හැඬුම් සෝ සුසුම් මැද
ලොවක් අද කම්පිතය .....

දෙ අත් දිගු නෑ පුතේ
වැළඳ උණුහුම දෙන්න
දෙනෙත් තෙත්වෙලා යයි
ගැහෙන හා පැටවි දැක
හීන අහුලනවද
වැටුණු ගොඩනැගිලි යට
මොන පවක් කලාටද
දරුවන්ට මේ දුක ....

ඇස්පනපිට හීන
ගිනි අරන් ඇවිලෙද්දි
දුහුවිල්ලෙන් දෙනෙත්
වැසී බොඳවී යද්දි
බඩගින්න , පිපාසය
උහුලන්න බැරි වෙද්දි

ඒත් ...

කොයි තරම් ලස්සනද
මල් කැකුළු හිනැහෙද්දි ....

Photo Credit ; Ethan Robertson

කවිය බලන්න
පුදුම ලෝකයක්

පුදුම ලෝකයක්

අතුල රත්නායක ලන්ඩනය

ලැව්ගිනි ඇවිලෙන
ග්ලැසියර දියවෙන
පොලොව පාත්වෙන
වතුරින් යටවෙන

උදේම නැගිටින
වැඩට පොලට යන
අනාගතය ගැන
විතරම හිතමින

කිසිවක් නෑසෙන
දෑසමනොපෙනෙන
පුදුම ලෝකයකි
අපි ජීවත්වෙන

කවිය බලන්න
පෙම්දම් බැඳුනේ මැනිකේ  පෙර පින් බලයෙන්..

පෙම්දම් බැඳුනේ මැනිකේ පෙර පින් බලයෙන්..

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

නිල්වන් නෙතඟ දුටුවෙමි පුර හඳ එලියෙන්...
රන්වන් මුහුන රතුවිය එම දින විලියෙන් ..
සන්සුන් ලෙසින් මිමිනූ හඬ මුදු සරයෙන්..
පෙම්දම් බැඳුනෙ මැනිකේ පෙර පින් බලයෙන්..

පතිනිය ලෙසට ගිවිසා හද අඹර අරා..
බැතිනිය කැන්දගෙන ආවේ නිවස කරා..
ඇතිනිය විලස දරුවන් රැක ලැමෙහි දරා..
රැජිනිය විලස නුඹ සිටියා දිවිය පුරා..

මහළුව ගියත් දෙනයන වීලා අඳුරු..
අතපය වාරු නැතිමුත් දැන් පෙර අයුරු.
යහගුන පිරුන හදවත පිනටයි නැඹුරු..
මැනිකේ නුඹයි මගෙ දිවි එලි කල සොඳුරු

ජෙරුසලම
ඊශ්‍රායලය

කවිය බලන්න
'' සයිබරේ   බරබරේ ''

'' සයිබරේ බරබරේ ''

බන්දුල කුරුවිටආරච්චි

පරිගණක නව ලතාවේ
යූ ටියුබ් සරු කතාවේ
සංලාප සැබැදුම් කලාවේ
මුහුණු පොත නිති සිනාවේ

සබ්ස්ක්‍රයිබ් යැදුමක්
වයිරල් තරඟ බැලුමක්
ලයික් දැක සතුටක්
ආතල් ගනියි ටික්ටොක්

ටැලන්ට් ෂෝ පොරකයි
දිනෙන් මහ තරු බිහිවෙයි
සොෆ්ට් වෙයාර් දක්ෂයි
ඇදුම් ඇතිමුත් නොදැන ගලවයි

බන්දුල කුරුවිට ආරච්චි
ඔෂවා , කැනඩාව

කවිය බලන්න
සිරිපා    මහිම,

සිරිපා මහිම,

චමින්ද ලියනගේ බලංගොඩ

සුර විමනක් සේ දිලෙනා
මනහර මහ පව් සොබනා
සිරිපා පියුමන් රඳනා
සමනොළ ගිර මන බඳනා,

සුරඟන ඇතිරූ මලිනා
මුනිඳු පුදට මග සැදුනා
එ මග ගොසින් පා වඳිනා
බැති සිත් සැන හේ නිතිනා,

දෙරණ දනට බත දෙවනා
සිව් ගංගා උපදවනා
සමනළ සුරතුර ලෙසිනා
අසිරි මවනු මැන නිතිනා,

වන පස මලිනී නිති සැරසෙන්නයි
තුරු ලිය පල වැල සරුව වැඩෙන්නයි
⁣වොරඳන අසිරිය නිතොර රැඳෙන්නයි
සමන් සුරිඳු අනුහස පැතිරෙන්නයි,

කවිය බලන්න
ප්‍රේමය යනු....

ප්‍රේමය යනු....

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ප්‍රේමය යනු
රාගයට ඇන්දවූ ඇඳුම කි
ඒ ළදරුවන් පටලාගෙන
උන්ට දුක් දී
කවීන් ලවා කව් ගී
ලියා ගැනුමටය

රාගයයි සත්‍ය ය
එයයි ඇත්තේ සැම තැන
එය ඇතැයි දක්වනු නොකැමති
සඟවන්න රිසි වෙති
උත්සුක වෙති

මනරම් සියුම් සළු පටකි
ප්‍රේමය නමින් උන්ට
රාගයේ නිරුවත වසා ගන්නට

කැඩපත ඉදිරියේ
ප්‍රේමයේ සළුව ඇඳ
නග්න රාගය නොදැක
අප දෙස ම බලා උද්දාමයෙන්
උත්තරීතර ප්‍රේමයකට
නෙක කව් ගී බඳිමු

අප ම ඒ ගී ගයමින්
මත්ව මදිරා රසයෙන්
අතර මං වෙමු ලෝකයක
ප්‍රේමයේ නාමයෙන්.

එහෙත් ලද විට
එක ම මොහොතක්
නිරුවත් රාගයට
ප්‍රේමයේ සළු පිළි උනා
විසිකර දමා සී සී කඩ
සත්‍ය ය වූ රාගය
බදා වැලඳගන
එහි ගිලී නොසැනහෙමු ද
අපි

විටෙක අප ම
ඒ සළු⁣ හැඳ⁣ගෙන
ලොවට පෙන්වා
ලෝකයත් මුළා කර
මුළාවේ වැටෙමු අප ම

විටෙන අයාලේ සුළඟට යන
ප්‍රේම සළුවක් දැක
හඹා ගොස්
පැටලෙමු
එයයි ලෝකය
අපට අන්දන
ප්‍රේමයේ ඇන්දිල්ල

සත්‍ය ය වූ නග්න රාගය
සිත් පොකුණ දිය යට බව
දැන සිටියත්
ප්‍රේමයේ සළු පටින්
එය වසාගෙන
මොහොත එළඹෙන තුරු
නොවෙ ද කල් යල් බලා
ඉන්නේ අපි

11-06-2025

කවිය බලන්න
සීදේවී....

සීදේවී....

චමිලා නවගත්තේගම ලන්ඩනය

කල බල නොවන දෙවඟන වන් සීදේවී
පැල තුල හිදින කල හැමටම යාදේවී
සිල නැල විඳින පහනින් පුද ඝණදේවී
නිල තල නුවණ ලැබගෙන නුඹ ලෙලදේවී

තල මල පිපෙන විට බඹරුන් කැරකේවී
සුල මුල නොදැන ගුණ අගුණද පතුරාවී
කල බල කෙරෙන කාරියටම මතුරාවී
ඵල වැල රකින නුඹ දිනකදී බුදු වේවී

ගල මුල වැදුන විගසින් ඇය නැත පාවී
රළ පෙළ නගන විටකදි වුව සැන සේවී
කුල මල හොයන මිනිසුන් හැම ලග ඒවී
නිල තල නැතින කුමරිය නුඹ රැකදේවී

කවිය බලන්න
මියුලැසී

මියුලැසී

එච්.පී චමින්ද ජයවර්ධන

පාළු දැනෙනවද
සිතට නුඹේ මේ..
මැදියම් රෑ මැද.. කාන්සියේ...
මන්දාරම් වැහි
කෝඩෙක දැවටී ..
හෙමිහිට එනවද මියුලැසියේ.....

නෙතු නිදිබර නෑ
නුඹ මසිතට විත්..
ඉහ ඉද්දර නෙතු සිඹින පැයේ....
පායා ඇවිදින්
සනසාපන් මා...
පුර සඳ සේ මේ නිසල රැයේ.....

වැහිබිඳු වැටුණට
කවුළුව අද්දර ..
නුඹ මා ලඟ ඉන්නව වාගෙයි ....
සියුමැලි අතැඟිලි
තවරා මුව මත...
තුරුළු වෙයන් මට හරි සීතයි....

සීතල අතැඟිලි
තත් පිරි මැදුනම..
ඇසුනේ නුඹෙ කිංකිණි රාවෙයි....
හෙමිහිට මුමුණා
සිත බැඳි සෙනෙහස ...
නුඹට ගයන්නට හරි ආසයි ......

- චමී -
❤️

Photo Credit: Guilherme Coelho

කවිය බලන්න
ආතර් සී ක්ලාක් උතුමාද මේ...?

ආතර් සී ක්ලාක් උතුමාද මේ...?

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

අනාගතේ සිදුවන දේ දුටු ඒ
විදුමය ඇසකින්...
මනා උගත් විද්වතෙකිය සතුවූ නැණබල රැසකින්...
දිනා ලොවම, ගියත් 'ක්ලාක් තුමා' අනූ එක් වසකින්...
සිනා වෙමින් එන්න හදනවද නැවතත් නව කුසකින්...

දොස්තරවරු "එන්න" කියා අඬ ගසනා බවක් පෙනේ...
යස්ස බබා මව්කුස තුල ලොකු වැඩක්ලු, නේද අනේ...
දස්ස නිසා විඥානය, අමුතු
දේකි ඇත්තෙ මනේ...
ඉස්තරමින් ලොවට අලුත් තෑගි
ගෙනත්, ලෙසින් ධනේ...

අරුම පුදුම දෑ සිදුවන විපරිත කාලයකි මේක...
සරුම වුනොත් අප සිතිවිලි දියුණ කරා ඇදෙයි දාක...
දරුම මාර්ගයත් යොදා ගැනුම පහසු කරයි ඒක...
කරුම කියා සිටියොත් නම් රටට වන්නෙ වෙන්න සෝක...

කවිය බලන්න
දයාන් කන්නන්ගර  - මියගියත් සැපකි හෙට

දයාන් කන්නන්ගර - මියගියත් සැපකි හෙට

දයාන් කන්නන්ගර ලන්ඩනය

පහත්කරගත් හිසින්
වැටුණු දණහිස් දෙකෙන්
ඉදිරියක් නැති ලෙසින්
සදාකල් රැවටෙමින්
සුවච කීකරු වෙමින්
වැඩවසම් නමට බිය
තුන්හෙලේ දාසයන්
දෑස බැදී කඩතුරා
ඉරා විසිකරලමින්
එකිනෙකා වෙත පවතී
බේද ඉවතට ලමින්
දුපතක් වසාලු
දැල් පවුරු බිදලමින්
රොකට් වෙඩි බෝම්බෙන්
මිසයිලද, තුවක්කුද
සියලු බලයට වඩා
බලවත්ම බලයකින්
අනුනව සන්නද්ධ
නොකර වැඩියෙන් සද්ද
කතිරයක පැන්සලක
තිබුනාද බල මෙලෙස?
වටුකුරුල්ලන් එදා
දල රැගෙන ගිය ලෙසින්
හෙටට හිරු පායාවි
අමා වැස්සක් ලෙසින්
පිරිසිදුව සුදුවතින්
සිනාමුව සරසමින්
හුදීජන රවටමින්
මඩිය තරකරවමින්
වස පොවා මරවමින්
මාපිලුන්, පොලොන්ගුන්
ලේ උරණ කුඩලුන්
පිළිවෙලට පිලිවෙලින්
අධිකරණ වෙත යමින්
යදම් රස ඉවසමින්
සිපිරි රස රස විදින
මේ දසුන දකින්නට
මේ රටේ දුක්විදින
සුවහසක් ජන තොමෝ
හදේ ගැබුරුම තැනින්
පැතු දහසක් පැතුම්
ඉටුවෙනා අයුරු දැක
මියගියත් සැපකි හෙට

කවිය බලන්න
දෙලොවක පිරිමි

දෙලොවක පිරිමි

දර්ශනී රණසිංහ

අතීතයෙ ගම් දොරෙහි සිටි පිරිමි උන්දලා
අල බතල මඤ්ඤොක්කා කොස් පොලොස් බුදිනවා
තේ කහට කෝප්පය නැහැ අතෙහි වැරදිලා
දස මහා යෝධයන් සේ එදා දිස්වුනා

වැව් කෙතේ හැප්පිලා ගම් දනව් එක්කලා
තම පවුල, රට දැය ද පන සේම රකිනවා
ඉංගිරිසියක් නැතත් සුද්දන් ද පරදනා
ඒ පිරිමි නාමයට සැවොම ගරු කරනවා

ගමට ගියදාක මං කාලයක් වෙන්වෙලා
කඩපිලක සිටි තරුණ ගැටවු ටික දකිනවා
කිරි කහට කෝප්පෙට කෙටි කෑම එක්වෙලා
විහිලුවෙන් තහලුවෙන් වරුවක්ම ගත කළා

උදැල්ලට කැත්තකට නැහැ අතක් හුරුවෙලා
සයිකලේ නැග යන්නෙ නාටු ඇඟ පුප්පලා
දෙමාපිය සෝ සුසුම් පොත් මේස වෙළෙනවා
කොහේදෝ ලෝකයක ඔවුන් රඟපානවා

චයිනීස් කෑවාට නැහැ මොළේ වැඩිවෙලා
රටේ නැති ලෙඩ ගොඩක් ශරීරය වනසනා
කාලයත් සමඟ මේ අරුම දේ සිදුවෙනා
සිතන්නට යමක් මෙහි තිබෙන බව පේනවා

කවිය බලන්න
රෝමියෝ ජුලියට්

රෝමියෝ ජුලියට්

දීපා ද සිල්වා ලන්ඩනය

තේරුණු දා පටන්
කුමක් ද යනු ප්‍රේමය
මතකයට ආවෙම
රෝමියෝ ජුලියට් ව
ඉතිහාසය
අපිට
අල්ලලා දෙන්නෙම
වැරදියට
පසුවයි තේරුනේ
දවස් තුනකට සීමාවූ
සය දෙනෙක්
සදාකාලිකවම
නිදිකරවූ
අරුත් සුන්
කතාවක් බව එය
සැබෑ ප්‍රේමයක
සලකුණක්වත් නැති
නමුත්
පරම්පරා ගණනකට
ලෝකය පුරහාම
තවමත්
ප්‍රේමයේ උත්තරීතර
සලකුණ ලෙස
රෝමියෝ ජුලියට් ව
ජීවත් කරවන අරුමය
කිමැයි
හිතා ගන්නට
නොහැකිය
මට …..

කවිය බලන්න
නූතන මහාප්‍රජාපති ගෝතමිය

නූතන මහාප්‍රජාපති ගෝතමිය

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

ස්වේතයම නොවුණිද
පඬු පැහැය තැවරුණ
සිල් රෙද්ද දරනු වැනි
කුදු වූ වත වැහැරුණ
අත දරන කිරි ඉද්ද වට්ටියේ හිනහෙන
මල් වගෙයි තුන්සිතම පිනට නුඹේ පේවුන
සමිති කුළඟන අතර නොමැති නම කියවෙන
මස ට එක් දිනක් ගමෙ විහාරයෙ හැඩ දකින
ප්‍රජාපති මව්‍ ය නුඹ දරු ද මුණුබුරු රකින

කිතුල යට ගිරිකුළ
දනිඳ තුනටියෙ රිඳුම
නොනැගිටින වග නොවෙද
වෙඳදුරන් නිගමන
ඉතිං කිරි සප්පයින්
සිව්දෙනයි කුටුම්භය
රකින්නයි ගියේ ඈ
නොවේ ඒ මක්කම

කරදරයි මෙහේ හරි
බායි ලා සැරයි හරි
නොකිව්වත් ඉඳහිටක
ලියා එවු කොළයක
ඇගෙම පන්තියේ වුන්
නීලා කිව් විස්තරය
" අයියෙ අපි හිටියෙ ළඟ
ගෙවල් නොව මැඳුරු වල
බායි ලා නෝනලා
සැරයි නොවැ එහි බොහොම
මගෙත් ඇඟ ඇතුලෙ ඇණ
හත අටක් තව එහෙම
රාණි ඉස්පිරිතාලෙ
එයිද දන්නෑ කොහොම "

එදා සිට වගක් නැත
මගේ මහමායාවී
හොයන්නට ඉඩක් නොම
බිඳුණු කොන්ඳෙන් පෙරී
දිවි දඹේ හැත්තෑහත්
පියගැටෙත් නොම හැරී
රකියි මව් සිය දරුද
මව් අහිමි දරු කැළද
ලෙද ප්‍රජා ගෝතමී

එකම එක දිනය අද
තිස් දොහක් තුල ලබන
ඇය නොවෙයි විහාරය
පේවෙලා බලයි මඟ
කැරකෙනා විසිවෙනා
නේක ඉටි මල් අතර
ඉඩදෙන්න මලසුනේ
කිරි ඉද්ද වට්ටියට...

කවිය බලන්න
ජය ?

ජය ?

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මහළු ලොක්කන් හට කෝට් හැඳි තිබෙන්නේ බල ලෝභයයි
යුද්ධ කරමින් වපුරන්නෙ අද ලොව වනසනා බීජයයි
සුන්වු පොළොවක හෙට වැඩෙන්නේ පළිගැනීමේ ශාඛයයි
ඉදුනුදා හටගැනුනු ඒ ඵල ණය ගෙවන්නේ ලෝකයයි

ගිණි අවියකින් මිදෙන උණ්ඩය වැද මැරෙන්නේ ප්‍රේමයයි
බෝම්බයකින් බිඳී යන්නේ කලක් ගොඩනැගි ප්‍රීතියයි
මිසයිලයකින් උඩට විදොනා බිම දමන්නේ සාමයයි
නිහඬ වූවොත් නිමා වන්නේ පොළොව මත මනු ජාතියයි

කවිය බලන්න
පුප්පං මිලායාති - කායෝ තථායාති

පුප්පං මිලායාති - කායෝ තථායාති

දිල්හානි දිල්රුක්ෂිකා

විසල් වැව් මැද පිපුණු සියපත්
වෙහෙර වට කඩ වීදි පුරවා
වැවේ පත්ලට ගෙවූ බිම් කුලි
උපයන්න පෙති ලන්සු තබලා
මලක මෙලෙකට නොවේ මිලකට
දහසකුත් මල් නිවන් දැකලා
එවන් සියපත් දෝත දරලා
දනෝ තුසිතෙන් ඉඩක් පතනා ......

මහා සුවිසල් ඉලක්කම්වල
බරට උසුලන මලින් පුදලා
සිව් කොනින් තූපයන් වට කොට
නේක පූජා රටා තබලා
ලෝක ධර්මය අනියතක් බව
පසක් කරමින් ගාථා කියලා
සැදැහැතුන් හිත නිවා ගත්තේ
මලක අසිරිය හිතේ රඳවා ......

මිලානව යන මලක සිරියෙන්
විඩාබර වන සැදැහැ සිත් ළඟ
විනාසව යන කයක අරුමැසි
අංශුවක්වත් ඉතිරි නොවුනට
බුදුන් වදහළ බණක බර අඩි
පරව යන මල් සමග ගුලිකොට
මහභිනිෂ්ක්‍රමණය කෙරෙව්වා
නේරංජාවෙන් එතෙර කරමින....

අලුබෝමුල්ල.
2025.05.31

Photo Credit;Jackie Tan

කවිය බලන්න
දුගිණි නිවමු.

දුගිණි නිවමු.

මොහන්දිරම් දයාරත්න බලංගොඩ

මනුලොව ඉපදුම
විරල බව නිති සිතලම
දහමට නැඹුරුවම
සිටියයුතුවෙයි නිතරම.

ඇවිලෙන යුදගිණි
බලවතුනට මීපැණි
දිළිඳනට කුසගිණි
නිසා හටගයි හදගිණි.

හිරු දුටු උදයක
පිණිබිඳු දිලෙන විලසක
තිබෙන පණ කෙන්දක
කිමද සිත තණ්හාවක.

අපේ සිත් තුලට
පමා අදහස් එනවිට
නිමා නැති දුකකට
පත්වෙයි සසරෙ යනවිට.

ලොවෙහි සැමදෙනා
විවරව මෙතැස නිතිනා
සරු දෙය දැනගෙනා
දිවි ගතකෙරුමය මනා.

මුහන්දිරම් දයාරත්න
බලංගොඩ

කවිය බලන්න
කරමි ඇරයුම..........

කරමි ඇරයුම..........

ධනුෂ්ක ඉඳුනිල් දික්හේනගේ ඇඹිලිපිටිය

තෙමා මුසුකොට සොඳුරු සෙනෙහස නැවුම් හදවත් වත්සුනින්
පෙමා සිහිනෙට පිටව යන හැටි පැතුම් තවරන් සිත් ⁣කොනින්
පමා වෙනවට දෙපය තැබුවට මදක් කඩිනම් සක්මනින්
නිමා කරනට හැකිය ගමනම මෙහෙන් ගියොතින් ඉක්මනින්

අහිමි ළතැවුම සැකය දෙසිතෙන් පාවෙලා කඳුළැලි නිවේ
පතමි සැනසුම පිරෙනු සෙනෙහෙන් පීදිලා මදහස මුවේ
නොනිමි සසරම දුකකි දැනුණොත් වේදනා උතුරන භවේ
කරමි ඇරයුම ගමන මෙතනින් පාදවාගෙන යමු සුවේ

කවිය බලන්න
දනිමි හැදින්නෙමි

දනිමි හැදින්නෙමි

රාජංගනයේ දම්මසාර හිමි

සීතල පිණිකැට ඉසිරී විසිරී පරිශරයම සුන්දර වීලා
අහසේ තරුකැට නොපෙනෙන ගාණයි දසතම මීදුම් පැතිරීලා
සිත විසිරී නැත අනියත ලෝ දම් පසක් වෙලා
දුක මිස සැප නැතිලොවම හැඳින්නෙමි ලෝකෙන් දුරස් වෙලා

අතිර නාම දම් මුල්කර සෑදුන කදු තරණය කර එතෙර වෙලා
තිලකුණු දැක දැක සිත සැනසුම වෙත ඇදී ගලා
කොතැනකවත් නැත මගේ කියන්නට කිසිවක් ලෝතුල පහලවෙලා
අල්ලා ගත් සැම දුකම සදයි සිත එනිසා සිටිනෙමු නොවී මුලා

හටගත් සැමදේ නිරුද්ධ වී යයි එය වේ ලෝ දහම
නැවත නැවත භව දුක් සාදනු ඇත සඟවා භවයෙ
ඉම
කුණප දරාගෙන ඒ යන ගමනේ කොතැනක වේදෝ සසර නිම
හැඳිනෙමි සසරක අරුත නැවත භව ගමනද කරමි නිම

හේතුව ඵල ලෙස සකක් විලාසෙන් භවයේ ගමන වෙලා
ඵලසම යලි හේතුවක් විලාසෙන් ඵලයන් සාදයි සසර වෙලා
තණ්හාවෙන් සැදි උපාදානයන් භව තව තව දුරස් කලා
උපාදාන බිඳ නිමා කරමු භව අවිදු අඳුරදෙන භව ජාලා

නන් පැහැ රූ ඇත, මිහිරි තෙපුල් ඇත ඇස කණ රවටාලා
මිහිරි ගන්ධයන් රසයන් නාසය දිව පිනවන'යුරු කරම මුලා
දැවටෙන පස ගත රාගය උපදා දැවුනා සසර සලා
දනිමි හැදින්නෙමි මරුගේ මෙවලම් බිඳ ඇත සසරම
කරන මුලා

කහටහස්දිගිලිය

කවිය බලන්න
කතා  ආච්චී -SYBILL    WETHTHASINHA..

කතා ආච්චී -SYBILL WETHTHASINHA..

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

2020.07.01.-- 2025.07.01
පස්වන සැමරුම.

ගාලු ගිංතොට ගමේ ගහකොල...
විහඟ නාදය ගයපු සිංදුව.

නැන්ද මාමගෙ ආත්තම්මගෙ...
සිනා කට ඇස හැඩට ඇන්දුව.

රජුගෙ බිසවගෙ මාලිගේ මෙන්..
මැටි ගෙදර පිල හිතේ රැන්දුව.

පින්සලයි පන්හිදයි නැවතුනි..
ළමා ලෝකෙට සතුට කැන්දුව.

*****-*****************************

කුහකකම නැති සරලකම ඇති
ජීවිතේ ගැමිකම වටා.

සිනාසෙන සිව්පා අපාවුන්..
ළමාවුන් සිටි නට නටා.

ගමක් නොදුටුව මෙදා උන් තුල...
සොදුරු ලෙස කැටයම් කොටා.

පන්හිඳෙන් පින්සලෙන් නැවතුනි
මෙතෙක් ඇඳි අමුතුම රටා.

***********************************

අකුරු මිහිරේ අයනු ආ තුල...
තිබෙන මුත් තව ඇන්ද නෙක පැහැ.

හැට්ටෙ කම්බා ඇන්ද අම්මල...
ආත්තම්මලා තවත් ගම නැහැ.

පින්සලෙයි පන්හිඳයි නැවතිල...
කඳුළු පුරවන් බලනවිට ඇහැ..

කතන්දරවල හැඩක් නැති හෙට...
බබාලට බත් කවන්නට බැහැ.

කවිය බලන්න
මතක සිත් අහසේ කොටා..........

මතක සිත් අහසේ කොටා..........

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

ඉරේ රැස් හා සිහින මිටි කර
කළු වළාවක හංගලා
අකුණු ගසනා අනෝරාවක
වාවනුම බැරි වැහි හලා

උතුරු එළි වන් රුසිරු කැටයම්
මතක සිත් අහසේ කොටා
ස්වප්න මංසල දොරටු අබියස
ඉඳුසැවී නුඹ හිනැහුණා

අසනි නින්නද විජුලි ඝර්ජන
මවා ඉසිබුව කළඹවා
අසුරු සැනෙකින් පෑයු ක්ෂණයට
අදිසි මානෙක සැඟවුණා

02/06/25

කවිය බලන්න
යළිත් ප්‍රේමය දුටුවෙමි

යළිත් ප්‍රේමය දුටුවෙමි

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

කඳුළු බිඳුවක රිදෙන ඉම ගැන
නොදැන කඳුළක් සෙව්වෙමී
කඳුළු බිඳුවක තෙත සිසිල දැන
යළිත් සිනහව යැද්දෙමී

වැහි දුමාරෙක සීත සුළඟට
පිපෙන හී ගඩු දුටුවෙමී
කවින් වර්ණිත විරහ හැඟුමන්
සැබෑවක් දැයි සෙව්වෙමී

දුමාරය මැද එළිය අතරින්
වඩින උණුසුම හැඳිනෙමී
නුඹේ අඩවන් දෑස් පතුලේ
යළිත් ප්‍රේමය දුටුවෙමී

කවිය බලන්න
පාලුවට මහ මෙරක්

පාලුවට මහ මෙරක්

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

පාලුවට මහ මෙරක්
නුඹ දුරින් දිලෙද්දී
හීනියට රස විතක්
දෙතොලඟේ රැදෙද්දී
දාරයට වැහි වළා මෝදු වී
හැලෙද්දී
හීනයට ඉගිළුනා ආදරේ දැනෙද්දී

මඳනලේ කිතිකැවුම් නුඹෙ සෙනේ දවටද්දි
කොඳ මලේ සුගන්ධය මා වටා
ඉහිරෙද්දි
දඟදාන විල් දියේ සෙවනැල්ල
රඟ දෙද්දි
මඳහාසෙ ලියලුවා සියොලඟම
සැනසෙද්දි

සුදු මීඳුමේ මැදින් කදෝ එළි පා වෙද්දි
මනලෝල ඇට්ටේරි මයෙ පපුවෙ හිර වෙද්දි
ප්‍රේමයේ මායාව ගැට පිච්ච
ලං වෙද්දි
දුර පේන නුඹෙ සෙනේ හද සිඹී
නතු වෙද්දි

යස තාල දැවටුවා රෑහි ගෙඹි සාදයේ
හිස සේල ගැවසුවා පිනි මලින්
කාලයේ
තොස බෝම ඉහිරුවා සේපාලි
පෑ ලයේ
රස ගෙත්තමක් වීය මනමාල
සීනයේ

සෘංගාර සුයාමය බෝ රසයි සුගන්ධයි
සංසාර සාගරය නිම්නාඳ වූ වඟයි
ලංකාර ප්‍රේමයක තතු ලිහා කළම්ඹයි
සන්ධ්‍යාව සෝබනා කවියක්ව
පද ගලයි

කවිය බලන්න
දුවට ආදරෙන්..

දුවට ආදරෙන්..

ඉන්දික ක්‍රිශාන්ත අබේරත්න ඉතාලිය

දුව.
යශෝදර කුසයේ මවා ලූ
ඔබේ සිත ඇති සිත්තමයි
සුරතේ නැල වූ සිළුමිණක් සේ
සෙනෙහසේ සුනෙරයි

පියා
බලා හිටියෙමි දස මසක්
ඒත් එය නම් කල්පයක්
ලොවක් දිනනා දියණියක්
දුවත් පියෙකුගෙ ප්‍රාණයත්

දුව
සමනලුන් උඩ ඉගිල්ලේ
මම තාත්තා ගෙ තුරුල්ලේ
උරතලේ හිද නිදැල්ලේ
පිරේ සෙනෙහස කැදැල්ලේ

පියා
විසල් අහසක් තියෙන්නේ
අකුණු හෙන හඩ නැගෙන්නේ
ඔවා මිණිගෙන සිතේ සවිගෙන
ඉගිලෙන්න මගෙ කිරිල්ලී

දුව
ඈත අහසේ දුවන්නම්
ඔබේ රුව සිහි කරන්නම්
නෙලාගෙන තරු හෙට උදෑසන
ඔබේ පාමුල තබන්නම්

Photo Credit; kabita Darlami

කවිය බලන්න
ඉතින් වේවිද මේ ඒ දවස.........

ඉතින් වේවිද මේ ඒ දවස.........

කපිල ෆොන්සේකා කොළඹ

මෑත් කර රාත්‍රියෙහි සළුව
ඇතුල් වුනෙමි දවසට
උදයේම පිබිදී
සතුටු සිත් ඇතිකර
තුටින් හිඳිමියි සිතා දවසම

පිටත ගස්වැල් රූරා බසී
අරුණෝදයේ පිනි දැල්
සෝදා හරිමින්
රාත්‍රිය මිරිකා හල ඒ
දුක් දෝමනස්සයන් සියල්ල

ඉතින් වේවිද මේ
ඒ දවස
සතුටම පමණක් ලැබෙන
සැනසීමම පමණක් ලැබෙන

සහතිකයි වනු ඇති අදත්
අඩුත් නැති වැඩිත් නැති
සියල්ල සමෝසමව ලැබෙන දවසක්
සවසට
සෝදාලන්නට බිඳක් හෝ
දුක් දෝමනස්සයන් ද එක්කරන....

Photo Credit; Anja van de Gronde

කවිය බලන්න
නිවෙමු!

නිවෙමු!

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

මල් දහසක් ගුවනින් බිම හෙලුවාම
අට පිරිකර කිරි වෙහෙරට පිදුවාම
කරඩුව හිස තබා පැතුමන් පැතුවාම
නිවනට මගද එක මොහොතක් සිතුවාම

අට සිල් අරන් පසලොස්වක ලැබුවාම
උත්තර සාටකේ පලදන් සිටියාම
කාය වාච දොර සන්වර කෙරුවාම
නිවනට වෙත්ද සිත ඔහෙ සැරි සැරුවාම

රාග ද්වේශ මුල් ගලවා දැමුවාම
සතර සතිය සිහි නුවනින් වැඩුවාම
නැසී සන්කාර රැස්කල හැමදාම
නිවනට පත්වේවි සැක නැහැ ඉදුරාම

කවිය බලන්න
මේසය

මේසය

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

ලියන්නට පහසුවෙන්
තිබුන නම් මේසයක්
හිතට ආ අදහසක්
සඵල කර ගන්නට
කළයුතුයි ඇණවුමක්

කළා මම ඇණවුමක්
ලැබුන පෙට්ටියක් මවෙත
ඇති බවක් මේසයක්
ලියා ඇත මතුපිටින්

විවර වූ පෙට්ටියෙන්
පින්තුරයක් ඇත එතුළ
මේසයක් වැනි දෙයක

එකතු කළ විට කොටස්
සැදුනි මේසයක් ලෙසට
හරි අගෙයි හරි අගෙයි

කොටස් වූ සිතුවිළි
එකතුකර එකතු කර
හැදෙන පින්තුරයත්
දකී සිත එලෙසටම

මෙය සිතේ මුලාවක්
සැබෑවක් නොවන බව
වැටහුණි ක්ෂණයකින්
නිසසල වූ සිතින් ……….

කවිය බලන්න
අකුරු පැනයක්

අකුරු පැනයක්

කපිල කුමාර කාලිංග

මහිස වටා බමන
"ආ" යන්නක්
අයදී මෙලෙස
"අනේ මට
නිසි තැනක් ලැබදෙන්න
වචනයක"

මතකයේ පසෙක වූ
අකුරු කීපයක් ගෙන
පෙළට සිටුවා
ඉදිරියෙන් තැබීමි
"ආ" යන්න

ආදරය

මද කලෙකින්
නැවතත් ඇමතුමකි
"ආ" යන්නෙන්

"නා" යන්නක් ඇවිත්
මගේ ඇලපිල්ල ද වසාගෙන
මහත් කරදරයකි මෙය
ඉවත් කළ නොහැකිද?

කවිය බලන්න
සෙල් කවි 4 - වෙනස

සෙල් කවි 4 - වෙනස

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

1.පොලිති මලිති බටිති ඇටිති
පියඹති තැන තැන පැන පැන
ඇටිකිච්චන් ඒ අතරේ
අහුළති පණුවන් හොට ඇන
පොල්කිච්චන් ඇහි‍‍ඳිනවා
කන්නට ඉල්ලම් බැ‍ඳගෙන
දෙමළිච්චන් පෙළින් පෙළට
දෙති සහාය බිම මැණ මැණ...

2. කපුටු නාදෙ ඉහළ ඇසේ
දෙපළු කරන දෙසවන්
සුදු කපුටෙක් උන් අතරේ
ගැවසෙනවලු දෙමුහුන්
දැක නැති හින්දලු වරිගයෙ
සුද්දෙක් ලෙස දුටුවෙන්
පුදුම වෙලා උන් හ‍ඬනුයෙ
ඒ හින්දලු ගිරියෙන්...

3. රෑ තිස්සේ “හූ” කීවට
නරියොත් දැන් හැඩ ගැහිලා
“උක්කු උක්කු” කියා හ‍ඬයි
කන්න නැති ව ඇට ගැහිලා
මොක්කු මොක්කු එනු දන්නෑ
රෑට රෑට ගෙවල් බලා
පඹයෙක් තිබ්බට හරි යාවි ද
සතුරන් යයි ද පලා...

4. කැලේ කපා ඉණි බැ‍ඳලා
ගෙවල් හදා මැටි ගහලා
වලේ හිටපු සත්තු පැනල
ගම ම කාපි ගස් පෙරලා
එළවාපන් උහු කැලයට
කිව්වට වල එළි කරලා
උහු සිටි ගෙට අප වැද
දැන් නැත හ‍ඬලා වැළපීලා...

5. අලි ඇතුනුත් කැලේ කොළේ
දළේ කකා හැදුනේ
අපේ නීචකමට තමයි
අප යළි වල් වැදුණේ
වල් වැදිලා - බිම් අල්ලා
කැලෑ කපා හැදුනේ
පැලක් නොවේ මාළිග
ඇස රවටන මන බැ‍`දුණේ...

6. පිට රැටියන් මෙහි ගෙනෙන්න
ගස් උඩ තැන හදලා
කන්න - බොන්න බාල් නටන
වේදිකා ද තනලා
ඇලක් දොළක් ග‍ඟක් වැවක්
තිබෙන තැනක් බලලා
උඩ නැ‍ග නිදියන කාමර
ගස් බැ‍ඳ යා කරලා...

7. වනේ සතුනි කොහි යන්නෙ ද
උන් පලවා දැම්මට
අනේ යන්නෙ කොහොම ද උන්
මිස ගම් වැද ඉන්නට
තනේ මාරු කෙරුවට වෙ ද
පුල්ලි මැකී යන්නට
පනේ එකයි උන්ගෙත් අප
මෙන ජීවත් වෙන්නට...

8. එළිමහනය වැඩි වැඩියෙන්
ඇත ගහ කොළ වෙනුවට
ක‍ඳු හාරා පහළට එන බව
කියමු ද මොනවට
මෙහෙම ගියොත් නියගෙදි
ජල බි‍ඳු ගණිනු ව වෙනුවට
කල දුරු නැහැ වැඩිකල් ක‍`දු
පාත් වේවි හනිකට...

9. වැසි වැටුණ ම වැසි දිය
නැත ර‍ඳවන්නට හැකි වන්නේ
ගහ-කොළ කපලා හැම තැන
පස බුරුලට ඇද එන්නේ
නාය ගොසින් ක‍ඳු පොළොවට
වැටී සමතලා වන්නේ
කාලගුණය වුණත් එදා වගෙ
නොව “වෙනසකි” ගන්නේ...

10. “වෙනසක්” සිදු වෙතැයි සිතා
වෙනසට ඉඩ දීලා
බලා සිටින්නෙ ද “ඔන්නොහෙ-
ඔිනෙ දෙයක්” කියලා
අබ ඇටසක් නොවේ මොළයෙ
ඇත ලොකු ඇට හැදිලා
“වෙනසක් වෙ ද?” බලා සිටිමු
“වනේ වාසෙ” කියලා!!!
***

2025.07.01

Phpto Credit; Isabelle Sanchez-Chapman

කවිය බලන්න
සමනල සඳෙස -26

සමනල සඳෙස -26

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනලයා දුටු බුබ්බුල වෙහෙර - 28
පැල්මඩුලු විහාරය

447. ඉපැරැණි ‌‌අයිතිහාසික පසුබිමක වැටී
ඇති දම් දහනෙ රජයන රජ පුවත වටී
කඳුවැටි ශිඛරවල තරගෙට සුළඟ ගැටී
ගත මන පොබ කරයි එහි සිසිලස දැ-වැටී

448. සපගන් කන්දෙ උවසකු මේ තැන දුටුවේ
නටඹුන් දැක වෙහෙර පුද සැලකිලි කෙරුවේ
මෙපුවත මුවින්-මුවට ම ගොස් රජ පුටුවේ
කිත්සිරි රාජ මහ රජු සවනත බිරුවේ

449. උවසුව කළ මෙ සත්කාරය ප්‍රිය ‌ වෙන්නා
බුදුදම කෙරෙහි රජු සිය භක්තිය පෙන්නා
බොහො ගම්වර පුදා බුදු මැදුරක් තන්නා
දුන් බව කතාවල ඇත කවුරුත් දන්නා

450. දෙව්පිය තිස්ස රජුගේ සමයෙහි සිට ලූ
එහි පැවතෙන්නෙ බෝ සමිඳුගෙ අනුහස් ලූ
කිරි සයුරක නැඟුණු දිය බුබුලක හැඩ ලූ
දා ගබ ඉදි වුණේ දැන් අසිරිය වැඩි ලූ

451. දොළොස්වල ගමෙහි “අදිකර මැතිඳුන්” ලා
පසු ව තිබූ “අඩුපාඩුව” සිත තුළ ලා
බුදු මැදුරකුත් කරමින් බිම ගැණ-මැණ ලා
වෙහෙර දියුණු කෙරුවැයි පිරිවර සොය ලා

452. සිප් නැණ අමා පැණියෙන් ගෙන පෙවී-මට
හරි හැටි තැනක් නැති බව දැක නිසි ඊට
“බස්නයු ඉද්දමල්ගොඩ” මැතිතුමා හට
සිත් දුනි “සුදස්සන දම්හල” කිරී-මට

453. හෙළ-දැය සමඟ බස-දහම ද මිස-දුටුවන්
ඔබ-මොබ කරනු බව දුර නැණැසින් දුටුවෙන්
“හික්කඩුවේ සුමංගල සිරි” මහ යතිඳුන්
“දම් සංගීතයක ඇවැසිය” බැව් විසඳුන්

454. එ දවස සිටිය සඟගණ පිරිවර ගෙන්වා
දම් සංගායනාවෙන් දම් දැය පෙන්වා
“දහමයි -දැයයි බොදුදන සිත් බව” දන්වා
පෙරමග ගත් නිසයි පැවැතුම අද දක්වා

455. ලියා - කියා නිම කළ නොම හැකි සේවේ
දම් සිප් සතර උගනිති දැහැමෙන් පේවේ
නැණ බල බවින් දින - දින දියුණට යාවේ
සදහම් සිප් සතර මල් දහමින් නැ-හැවේ

456. අදියර කළු-දුඹුරු තිබු සමයෙහි දහනයි
ගෙන දුන් එළිය සිත සැනැසුමට ම සහනයි
නොතිබුණි නම් වෙහෙර පැල්ම`ඩුවෙ පහණයි
“හෙළ සැහැටියට අපෙ” දෙයියන්ගෙ ම පිහිටයි

(මතු සම්බන්ධයි)

2025.07.01

කවිය බලන්න
සසර..

සසර..

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

(මේ මස සිදුවු ගුවන් අනතුරේ සංවේදී සිද්ධියක තේමාකොට ලීවෙමි.)

නොනිමි සසරේ සුතඹු හිමි වී
මෙහෙම ඉන්න ඇතී
පුරන පාරමි නීමා වීදෝ
නැවත යන්න ඇතී.

සුවහසක් දිවි පැතුම් පොදි බැද
සෙනහසේ රන් මාළිගා තැනු
නිමේෂයකදී නොසිතු අයුරින්
ලොවම හඬවා ගිනි පුලිඟු වී
අලු යටම සැඟවුනා දෝ.

කුළ මලද බල ඉසුරු හමුවේ
පතන ආශා හෙලන දා බිඳු
දිවියෙ කෙටිබව නොදැන දෝ අපි
මිරිඟු දියවෙත ලුහු බැඳින මග
අත් හැරිය යුතු නොවේදෝ

කුසුම් බස්නායක.
රත්තොටින්

කවිය බලන්න
ඊයේ අද සහ  හෙට.

ඊයේ අද සහ හෙට.

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

මතක.

කළේ වතුර ගහයට සිසිලස රන්දා
තිබහ මකන්නට හෙවනට හිත බන්දා
මතුවන නැවුම් පස් පුසුඹට හිත රන්දා
හිත තැවෙනවා අවරට හිරු ගිය හින්දා.

ඒ දඬුපාර හුරුපුරුදුයි පය ගෙවිලා
ආදුර වගෙයි යන දුර ගැන හිත දැනිලා
වැහිළෙහණියෝ තටු විහිදා යනු දැකලා
යළ සුළඟට ගස්වැල් වල කොළ හැලිලා

ඇස්කරකවා බැලුවත්
කෑළියා පදුර
තව දළු ඇදේ ධුවිළි වැදිලත් නිතර
එරමිණි පදුරු ගානේ ඉදිලා පැතිර
මට තනි නැහැ හේනට යන මග නිතර.

කේතලේ වතුර උතුරයි ලිප ගිනි වැදිලා
කරගැට දැත් මා එක්කම හිත බැදිලා
හේනේ අහස ළඟ ඉර හැංගෙනු දැකලා
මා පිළිගත්තේ කඩියා පැල ළග බුරලා.

කන්තලේ

කවිය බලන්න
Mother Nature the greatest teacher

Mother Nature the greatest teacher

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

I wonder here sitting as a lonely soul,
Which brand of magical brush in mother nature's hand,
Vibrant greens, vermillion reds Cerulean blue with a touch of blush,
Trees painted and blooms washed with sky in foreground with floating clouds,
When I look at the distant scene,
With hills forming a wall around,
Nature has made them to fade away brushing with a purplish hue when sun arrives,
Soon they turn to a darker shade
Enhancing the brightness of the foreground sky,
Gazing at the horizon with sqeezing eyes
Concrete giants make a humble sight
The coconut tree of unreachable height
mere a fern standing at the horizon sight!
The greatest teacher I respect ,
Mother nature who reminds us all
Everything has to be taken with a pinch of salt,
Permanence has its limits marked,
Absolute truth can be a fake no doubt,
When taken with perspective, relativity and changing time!

Photo credit; Evgeni Tcherkasski

කවිය බලන්න
විසිරුණු මතක...🌹🌹🌹

විසිරුණු මතක...🌹🌹🌹

ලලනී ගීකියනගේ රත්නපුර

සුපුන් සඳ සේ පාන නිලඹර...
සිහින් සළු ඇත වසා ගනඳුර...!
විහින් රිදුමක ඔතා පාකර..
හිතින් සැනසුම් ගෙනෙයි ආදර..!

ඉන්ද්‍ර දෙවිඳුගෙ වරම් ලැබගෙන..
වැන්ඳ දෙවියන් පිං ලබාගෙන..
වින්ඳ දුක්ගිණි සිතින් පිසගෙන..
කන්ද සිපගෙන හිරු උදාවින..!

පෙලින් පෙල තුරු හිසට ලංවුන..
සඳින් කෙලෙසක ලබනු සැනසුම..?
විටින් විට ගැරහුම් රැගෙන එන..
ඉතින් යනු මැන සිතින් ඈතම...!

සිඹින සීතල දුහුල් මදනල ....
පිසින රිදවුම් හිත පුරෝගෙන ..!
මිලින දිවි මග ජය ලබාගෙන..
තුටින විසිරුනු මතක රැඳි දින...!

2025.06.29.

කවිය බලන්න
සුදු කමිස

සුදු කමිස

නිතිඥ ලක්ෂිකා රත්නායක

මටසිලුටු සුමුදු මල් මකරන්ද විහිදුවා
රොන් කෙමිත් දඟ දමා හිත් උයන් සැරසුවා
සිරි යහනේ දෙපැත්තක යුග නෙතක් තෙත් වුණා
පිච්ච මල් සුවඳකින් හිස් තැනක් ඇති වුණා

ඉඳහිටක අරලියා සුවඳකුත් පැතිරුණා
පෑරැනත් හිතක තතු පෑල දොර ඉවසුවා
නෙත් දෑල පිරීගිය උණුහුමක් ගල් වුනා
බුදුන් ලඟ දණ නමා කුටුම්භය සැනහුවා

කටු ඇනුණු උර තලයේ රෝස සුවඳක් තබා
දුක කියු පපුතුරේ මල් සුවඳ පොබ කලා
දරු දුකින් බර වුනත් ගෑනු හිත ඉල්ලනා
ආදරය ගැන දන්න දුක් දරන පතිනි මා

හිර ගෙයක් නොවන්නට ගෙයි මිදුල සරසලා
කඳුළු එක්කහු කරන් නිදි යහන සැරසුවා
මල් සුවඳ මැකෙන්නට කමිස කර පිහිදලා
ඔබෙ සුවඳ ශේෂ කර සුදු කමිස හේදුවා

කවිය බලන්න
War and Peace

War and Peace

ලලිත් ද සිල්වා නුගේගොඩ

ඔබේ ඇසින්
මට විදිනා
ප්‍රේමයේ මිසයිල
මහා අකුණු සැර
පරදයි ..........
පපුවම.......... දෙදරණ
ලොවම නැවතුණා
මොහොතක් තත්පර
කටු....... යට
තාමත් මම සොයනා
ඒ .......මල් පෙති ඇසිපිය

Photo credit; Chad Kirchoff

කවිය බලන්න
දිවි ලියද්ද                  _

දිවි ලියද්ද _

ගමගේ ලයනල්

ළපටි බෙරි මඩ
ළමා බිජු කෙත
තරුණ වල් තෘණ
මැදි ය පැළ කෙත
මහලු පල මත
අනියතය ගත
දිරන පොහොරක
කාබනික කය

කවිය බලන්න
උපාසක අම්ම

උපාසක අම්ම

මහාචාර්ය ලක්මාල් වීරවර්ණ

බණ
අහන
අතර
බෝපත්
සුළඟ
එක්ක
ලොකු
කතාවක

උපාසක
අම්ම
සාදු
කිව්වෙ
දුකෙන්ද?

###########
බෝපත් වලට බිමට වැටෙනකල් සිල්ගන්න බැරි වුනා. හැමදාම කලේ හුළඟට වැනි වැනී
මිනිස්සුන්ගෙ හිතට ශ්‍රද්ධාවක් දැනෙන්න සිළි සිළි හඬ නඟපු එක.

වසයක උපාසක අම්මත් ජීවිතේ හොඳම හරිය මිනිස්සු වෙනුවෙන් කැප කරල,
අවසානයේදි තමයි සිල් ගන්න ලැබුණෙ.

කවිය බලන්න
හීන

හීන

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

මකනු බැරි නෙක රටා හදේ ගැඹුරෙම අඳියි
ලියනු බැරි පද ගොතා හිතට කොනකින් එබෙයි
රිදුණු තැන් අත ගගා සෙමින් පිළියම් කරයි
මැරණු හිත ඇහැරවා රෑ පුරා පණ පිඹියි

පියවි දෑසින් ළඟට දිගු කරනු බැරි දෑත
බැඳුණි එකිනෙක තදට නිශාවකදී සීත
කුරවි ගීයක් ගෙතුණු දෙව්ලොවින් බෝ ඈත
මලවි හීයක එතී කරයි හද සමපාත

සඳ පිපුණ මහ රෑක නිදන දෑසට එබෙන
මදකිපුණ ඇත් රංචු සදිසි සිතුවිලි රඟන
නද නොමැති රස කතා එකට ගැළපී ඇසෙන
ලද නොලද බව අතර දුර මකයි සුව සිහින

කවිය බලන්න
සිතක විලාපය

සිතක විලාපය

මයුරි කොඩිකාර ගම්පහ

වතේ සළු පිළි උනා දැම්මේ කසුප් නිරිඳුගෙ රජ අනින්
හිතේ විළිබිය ඇදී එද්දී කඳුළු වැගිරුන නෙතු කොනින්
කැඩී හදවත පැලී යන්නේ අඳින්නට තතනන
සැනින්
එදා නොදුටුව තැනක් ඇත්නම් එතනින්ම ඇරඹුම
ගනින්

වරක්වත් නැත හැරී බැලුවේ අඳිද්දී ගල්පොත්තෙ මගෙ රුව
හුඟක් තැන් ඇති ඔබේ මතකයෙ රහසේම මුදු දෙතොල තැවරුව
පුරුද්දෙන් නිසි ලෙසේ රැඳුනා හැඩ පයෝදර දෙපළ
සුහුරුව
කිනිස්සක් හදවතේ ඇනුනා පිටුපෑව පෙම්වතෙකු
නුහුරුව

ළඳක් නග්නව ලොවක් අභියස නොපෙනෙතත්
වැළපෙන යුරූ
අදත් විමසමි ඔබෙන් පැනයක් පිළිතුරක් ලැබදෙන තුරූ
අණක් කළ මුදු නිරිඳු වූවත් මුළු රටට සිහසුන
දැරූ
නොගත් අවියක් ඔහුට එරෙහිව කරුණ කිම එය
මග හැරූ

මයුරි කොඩිකාර
ගල්බොඩ වතුරුගම

කවිය බලන්න
අවමංගල කතා...........

අවමංගල කතා...........

මාක් ඇන්ටනි කුමාරගේ

මිනිසුන් මැරුණු පසු මහ වරුණා එමටයි
ජීවත් වෙද්දි කරණා අගැයුම් සුමටයි
සෙනෙහස ගෙනෙන වදනින් මනුසිත සනසයි
අවමංගල කතා විටෙකදි ජන රවටයි

කවිය බලන්න
අතීතයෙ නටබුන්...

අතීතයෙ නටබුන්...

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

රැයක් නිදි වැරූ නෙත් වෙහෙසකර බව හැඟේ
මනස් විල කලඹමින් සසල සිතුවිලි නැගේ
සියක් වර ඉපදෙමින් මියෙන මතකය දිගේ
දියත් කරලමි ඔරුව 'කාල තරණය' ගඟේ

ගසුත් අති ඉති සලා මල් පියලි බිම හලන
මොහොතකිනි නිම වෙන්නෙ හුඟක් දුර ආ ගමන
ඔබත් ඔබෙ කට හඬත් විහිදෙන්නෙ නුදුරකින
එදත් ඔය මඟ නොවෙද පිය මැන්නෙ අප දෙදෙන

අදත් ඔබ එදා මෙන් නෙත් කොනින් හිනැහෙන්නෙ
එ මුත් නොකියන වදන් තොල් අතර නළියන්නෙ
සිතක් සිත පිරිමදින දිනක් නැහැ එලඹෙන්නෙ
යළිත් වෙන් වෙමු ඉතින් ඇයි තවත් ළතැවෙන්නෙ

වසත් සමයක මිහිර සිත ඇඳුනෙ සිහිනෙන්ය
තවත් දවසක එ හැම බිඳ වැටුණෙ හැබැහින්ය
මමත් හොඳ හැටි දනිමි සොයන දෑ හරසුන්ය
හෙටත් මට හිමි නොවන අතීතයෙ නටබුන්ය

කවිය බලන්න
සින්තටික් සිහින

සින්තටික් සිහින

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

හුදෙකලා විරාමය මෙතැනද
සොයා යමි සුයාමය
කොතැනද
සොබාදම් නියාමය
එතැනද
සිතුම් වැල දලු දමා
එතුනද

සින්තටික් සිහිනයක
සැතපී
ටයිටැනික් පාව ගිය
දුරකි
මතක වෙරළට
දුරත් සුඟකි
පැමිණි පිරිපතෙත්
පැණි රහකි

ගලා ගොස් වැටෙන තැන
නැවතී
කාලයේ ගඟ හෙටත්
ගලති
ලෝකයම හතිදදා
දුවති
මඟ හැරුණු තැන් යළිත්
සොයති

කදෝපැනි ඉගිල යයි
අඳුරක
එළිය දල්වා වැටෙන
තරුවක
සඳ ඇවිත් සිනාසෙන
දිනයක
හබල ගෙන එන්න රන්
ඔරුවක

මහගම සීලානන්ද හිමි
වේයන්ගොඩ

කවිය බලන්න
මාතර යුගයේ කවි මිණ - 2කොටස

මාතර යුගයේ කවි මිණ - 2කොටස

මල්ලිකා කුමාරසිංහ බදුල්ල

මාතර යුගයේ කවි මිණ ගජමන්

වෙරින් තම දිවි මග පෙහෙලි කල
පියාණන් සමු ගත්තෙ ඈගේ
පුරන්නට දන් රැගෙන යද්දී
දළ ඇතෙකුගේ පයට පෑගේ
පෙරින් වාගෙම නැවත තනි විය
සිතේ ඇති කල විරහ වේගේ
සිරින් අනගිම කවක් බිහි විය
නමයි "පිය මළගම "මෙ මාගේ

වරින් වර ඇය සමග සංවාදයට
විත් මැති සහ ඇමති වරු
සිරින් පිරිපුන් රටා මවමින්
ජන ගැයුම් සඳහා එකතු කෙරු
වෙරින් තම දිවි මගට එක්කල
පියා මලදා ලයේ ගතු හුරු
නිරින්දන් වුව සසල කරනා
පියාගේ මළගම ලිවිය ගරු

විවා පත් හිමි තිදෙනාම මිය
ගියෙන් තනිකර දමා කිරිලී
අවා දුක් විඳ යැපෙන්නන් රැක
ගන්න දිරියෙන් කලේ දැරිලී
නවා හදවත ආදායමක්
ලැබෙන සේ සුළු සුළුව පෙරිලී
දුවා දරුවන් අසල නිවසන
වෙතට දුනි සිප් රසය ඉරිලී

උගන්නා කල සිටම පිරිවෙනෙ
ඇයට මල්සර බැලුම් ලාපූ
පවත්නා ඇඟලුම් කමක් හිමි
මිය ගියායින් පසුව පාපූ
පුදන්නා ඇලපාත මුදලිට
රැවටුමෙන් බොරු සෙනෙහෙ දීපූ
සිතන්නා ඇය තමන් පාලුව
මකන්නට පෙම් සිසිල නාපූ

තිබූ කරදර වලින් හෙම්බත්
වෙලා කවුරුත් නොමැත සවියට
තිබූ අදහස් නිසා සොයමින්
සසර කෙටි කර ගැනුමෙ සවියට
ලැබූ දරුවන් තිදෙනගෙන් ඒ
බාල පුතුගියෙ පැවිදි දිවියට
ප්‍රභූ බව ලැබු නමුත් මරු හා
ගියේ පණ දී මවගෙ කවියට

අනෙක් දෙපුතුන් තමන් ජීවන
ගමන යන්නට සිතා වෙන්වී
තැනක් සොයමින් කොළොම් පුරයට
සැපත් වූ බව දුකම දැන් වී
දිනක්‍ යනවිට ඇලපාත මුත්
ගියේ ඇගෙ දුක නොඇසු කන් වී
පිනක් නැති වග දැනුන හින්දා
වෙන්න ඇති ඇය සිටියෙ කොන් වී

තව තවත් කවි පබැඳුවේ මුත්
ඇයට ලැබුවේ දුර්දසාවකි
පව කොතෙක් වෙද කුසට අහරක්
වත් නොමැති දින ගණන් වී සකි
පුවතකට හද සසල කරවන
ලියා තබමින් දිනය හා වැකි
සුවඳ කවි මල නෝන ගජමන්
සියතින්ම ගෙල කැපී මරු දැකි

බදුල්ල

කවිය බලන්න
පැරණි පෙම මගෙ සිහිවෙලා,,,,,,

පැරණි පෙම මගෙ සිහිවෙලා,,,,,,

නදී ශානිකා මහනුවර

ඉසුරුමුණියේ ගල් තලාවට
සඳ නොපායපු හවස් යාමෙක
ඔහේ නිකමට ගොඩඋනා
පැරණි පෙම මගෙ සිහිවෙලා

පහන් දැල්ලක එළිය ගෙන ඔබ
ආව යුරු මට ගෙන සිනා
කුරුළු තටු ගෙන පවන් සලමින්
සිහිනවල මා සැතපුවා

අමාවක රෑ එළිය කරලූ
පහන් දැල්ලට සැනසිලා
ගිලී නිවුනා සසර සැනසුම
පහනෙ උණුසුම තුළ සිතා

සුළගෙ තාලෙට හැඩට නටනා
දැල්ලෙ රස්නෙට මත්වෙලා
ළයේ පිරි සෙනෙහසේ තෙල්ටික
පෙමින් පහනට වත්කලා

සුදිළෙනා දැල්ලේ හැඩට හිත
වසඟ වීලා පෙම් කළා
හෙමි හෙමින් ළය සෙනෙහෙ තෙල් ඇය
උරා මා ළය හිස් කලා

ප්‍රේමයේ අරුමැසිය සිතමින්
ළය සෙනෙහෙ තෙල් පුදකලා
අවසනේ සුළඟට දැනී පෙම
සුළඟ ළඟ නිවිලා ගියා

අතිර ලෝකයෙ තිරවු කිසිවක්
නොමැති හින්දා හිත හදා
ඉසුරුමුණි ගල බැසන් පහළට
යන්න මා පය එසවුවා

සසර කෙලවර තෙක් යනෙන පෙම්
පුවත් ලොව බෝ තිබෙනවා
එළෙස කියලා කවුද දෙදෙනෙක්
මුමුණනවා මට ඇසෙනවා

හොරෙන් හැරිලා බලද්දි මා
කවුද ඒ දෙදෙනා කියා
ඉසුරුමුණි පෙම් යුවල හිටියා
පෙමින් තවමත් පෙර ලෙසා

කවිය බලන්න
නාඳුනන​ සෙබළාගේ සොහොන

නාඳුනන​ සෙබළාගේ සොහොන

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

ඒ නාඳුනන​ සෙබළා වෙමි මම
දකිමි සොහොනට එන ඔබ සැම

දහ අට වයසින් යුදයට ගිය මා
රණවිරුවෙක් යැයි කිව් මුත් සැවොමා
වෙඩි කා හෙලමින් අවසන් හුස්මා
මතකයි හැඬුනා සිහිවී අම්මා

පිට රට වෙරළක ගොඩ බැස අළුයම
සෙබළ වෙසින් ඒ කොලු රැළ දිව යන
නිරතුරු වෙඩි මුර හෙල මුදුනින් එන
දරු මිනිසුන් අප එක රොත්තට වැනසුන

සටනට ගොදුරුව මළ මුත් එදවස
සැඟවී සිටි මුත් සොහොනේ සිය වස
නොබියව අද මම පවසමි අදහස
කරුණා කර ඔබ නොවෙනුව උදහස

මා සිරුරු කැබලි සූරා එක් කොට
ගෙනවිත් මේ සොහොනේ තැන්පත් කොට
අසරණ සෙබළෙක් ලෝ විරුවෙක් කොට
තව ගැරහුම් නොකරව් මිය ගිය මා හට

රට වෙනුවෙන් දිවි දුන්නන් සමරණ
කිඹුල් කඳුලින් පුහු බස් තෙපලන
සොහොනට එන සෙන්පති අණ දෙන
සමගින් පැමිණෙන අගමැති මහතුන

ඒ දිවි දුන් සගයින් කල දේ අගයමි
පුතු නැති මවකගෙ වැලපුම හඳුනමි
සැමි මළ බිරිදුනි, ඔබ වියෝව දන්නෙමි
දුක් වූ දරුවනි, යුද පියවරු නොම හිමි

යුදගිනි නිවුනු සාමය පිරි ලොවක් මට
දුන් දා නිමක් නැත මා හද පිරි සතුට
මෙත් දම් පුදා නැතිවූ සොහොයුරන් හට
යහතින් නිදමි ඔබ සමරණ සොහොන යට

කවිය බලන්න
කිවුල්

කිවුල්

නිලුපුල් තුතිසෝම

බුරුත අත් ඇන්දයෙහි
පියාඹනු බැරි ඉඩක ඇහිරී
බැරිම තැන හිස ගසන
භේරුණ්ඩ ඇමතුමට ඇහැරී
අවුළුපත්, පුළුටු තැටි
ධූම නැටි සාලයක ඉහිරී
අඩ නෙතින් සවන් දෙමි
අඟුල්මල් පිරිතකට මිහිරී

දිවුල්පත් වියන් යට
පැටලැවුම් ගැටම පිරිමදිමී
දවුල් බෙර හොරණැද
පුවක් මල් කිනිත්තෙන් වයමී
අවුල් කෙස අත ගගා
ඉර හඳද හොඳින් දැයි බලමී
කිවුල් දිය ඇබින්දක්
බැබිල මල් පඳුරකට හලමි

තටු ගසා මොහොතකට
මහ ගෙදර කැටපතට එබෙමි
අටු කොසක රස බලා
ලොව්තුරා උකුලකම නිදමි
කටු ඇනෙන රැවුල් කොට
ආදරය කම්මුලක සොයමී
කටු ගසා වේල් පොට
පින්තූර රාමුවක ලගිමී

කවිය බලන්න
චිත්‍රා

චිත්‍රා

නිමල් අබේසිංහ කඳාන

අවලෝකනය කරනට ඉතිහස පවර
චිත්‍රා සමග සැරුවෙමි පඬුවස්නුවර
ආ ගිය කතා තැන් කියවා නැත ඉවර
හිරු නැග බැස ගියා නොදැනීම ම අවර

එක්ටැම් ගෙයයි තනි කුඩයයි සමානය
දැක්මට නොහැක පානැගු දුර ප්‍රමාණය
සක්මන් මලුව වට අක්මුල් සොයා ගිය
ඉක්මන් උනාවද පළවැනි නුවානය

දෙදෙනකු සමග චිත්‍රාවන් එකම දින
ඇවිදීමත් සතුටක් දෙනවාද මොන
මතු දින ඇය තබා නිවසේ රැඳෙන තැන
එන්නම් තනියම ම ඔබ හා කියනු මැන

එක්ටැම් ගෙයට නැග විසිතුරු නරඹන්න
ඉව ගිය මගේ නැවතත් ගොස් පියඹන්න
නුබ ලඟ තොදොල් වී තාවර වී ඉන්න
තව දවසදි එමි චිත්‍රා හමුවන්න

එදවස තබා ගෙයි චිත්‍රාවන් ගෙදර
පමණක් රැගෙන එමි තුරුළට ගෙන පැදුර
චිත්‍රා උන්මාද මිහිරාවිය සොඳුර
එළනෙමි අඳුර වැටෙනා කල පන්පැදුර.

කවිය බලන්න
ලොවීනා නුඹ..

ලොවීනා නුඹ..

නදී රුබසිංහ මාතර - ආදලුව

අදුන් තැවරූ දිගැටි නෙත් යුග මායාවකදෝ දැවටිලා....
නුරා කැල්මන් තබා සියොලග රැගුම් හද කුල්මත්වෙලා...
නොගැලපුම් මහ ගොඩක් මද්දේ අසම්මතයක පැටලිලා....
සයුරින් වෙන්වු දේශ දෙකක පෙම්වතුන් සිය ආදරෙන් මත්වෙලා....

ලිහිණියාගල කන්ද මුදුනේ දිලෙන ටජ්මහල මවුන්ටන් ලැව්නියා.....
යාකරන්නට තැනුව උමං ගෙය අඳුර මැකුවේ ලැව්නියා ....
රොඩී ගුබ්බෑයමේ එළඹි වසන්තේ සැබෑ දෙව්දුව ලැව්නියා .....
අමරණීය පෙම් කතාවක් ළඟ කදුලු හිමිකාරිය ඇයයි ලැව්නියා .....

ගෙවුනෙ සෘංගාර ප්‍රේම ජවනික පස් වසක රසම රස තැන් ලියා....
ගාලාගියේ එය සැවොම දන්නා රහසකියි සයුරු සතකටත් එහා....
කණකොකා ඉගි පෑවෙ ඒකයි මේට්ලන්ට අණ මව් රටට එනුකියා....
"තහනම් පෙමට" සමුදී නැව් නැග්ගෙ ඒකයි දුක සුසුමක ලියා...

සරා සදට පෙම් කවක් ලියූවට අමාවකලු සඳ සැගවිලා....
ගිරි කුලෙන් නුඹ පැනපු ශෝකෙට සයුරු රළ පෙල කැලබිලා....
එදත් අද වගෙ ශෝක ගීයක් වයන්නැති හද තලතලා....
ලොවීනා නුඹ බලා හිටියද එනතුරා ඔහු ගල්කිස්ස වෙරළට වෙලා....

කවිය බලන්න
පුතේ ඔක්කොම හීන ඉවරයි

පුතේ ඔක්කොම හීන ඉවරයි

නිලූකා පතිරණ ඇඹිලිපිටිය

උදේ ගෙදරින් දුවන් ආවේ
ගිහින් එන්නම් මැණිකෙ කියලා
පුතේ එනකොට අරන් එන්නම්
පෑන් පැන්සල් දෙන්න ලියලා

අටේ කණිසම වදින්නට පෙර
තරඟයට රිය පෙළට ඇඳුණා
හිතුවෙවත් නැති වෙලාවකදී
මාරයෙක් විත් ඇඟේ හැපුණා

මඟ බලන්නට එපා මැණිකේ
මඟදි හුස්මත් උදුරගත්තා
බෙදූ බත රසකර කවාපන්
දරු පැටව් හාමතේ නොතියා

අනේ කොච්චර හීන තිබුණද
පපුව අස්සේ හැඩට එතිලා
පුතේ ඔක්කොම හීන ඉවරයි
කන්ද මුදුනින් හෙළට වැටුණා..

ඇඹිලිපිටිය

කවිය බලන්න
අපේ රූ රැජිනට,...!

අපේ රූ රැජිනට,...!

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

වත සිරියාව, දැනුමද, යහ ගුණෙන් උස
මත වාදයෙන් තොර රුව හා ගෙනා පැස
තම රට දිනාගෙන ලෝකෙත් දිනන ලෙස
කිත ගොස නැගුව ඇය රැජිනක් වෙන්ට යස!

ඇය ගිය ගමන, ඔසවාගෙන මව් දෙරණ
දැය සෙනෙහසින් නරඹා පැතුවෙම සරණ
ළය තෙම තෙමා දුක සතුටද යා කරන
දියනිය නංවපන් අද ජයකොඩි ඒ අරණ!

කවිය බලන්න
ඔබමය, තරුරැස, මඟ කියු , මිහිරේ

ඔබමය, තරුරැස, මඟ කියු , මිහිරේ

නයනශාන්ති දිසානායක

හදවත, පවුරේ, සිතුවම්, ගැන්වූ
හුරුවක, සසරේ, සුවඳින්, මත්වූ
සඳවත, සොඳුරේ, ඔබ මා, එක්වූ
රන්රස, ඉතිරේ, දෙහදේ, මුහුවූ

දිවිමඟ, සයුරේ, සරණා, අදුරේ
නැව්පති, ඔබ වේ, මා දිවි, ගැඹරේ
දාහය, ගෙනෙනා, සැඩ රළ, අතරේ
ඔබමය, තරුරැස, මඟ කියු , මිහිරේ

පියුමක, වෙළෙනා, සනහස, මඳනළ
සුසුමක, ඔබ අස, සරතැස, දුරුකල
දිවියක, ලබනා, සුවහස, මනකල
උදයක, විලසින, සිහිලස, මිහිතල

කවිය බලන්න
රෑට  අගුපිලෙ  සුවඳ  කුමකට.............

රෑට අගුපිලෙ සුවඳ කුමකට.............

ප්‍රියංගිකා බටගොඩ

පිපෙන තරුකැට තෙම තෙමා ඉස
පොකුරු පිනිබිඳු තාලයට බැස
සොඳුරු රෑ මල් පෙතක බිඟු ගොස
රැයෙහි අඳුරය කවියකට යස

රුදුරු දහවල ගිනි වැදුන පුර
නැගෙන මිරිඟුව දෑස යාකර
වෙහෙස ඉවසන දනෝ හති ඇර
වැතිර අතහැර සිහිනයක බර

අකුරු විකිණෙන සිල්ප සල් පිල
හිනැහි ඇදුරිඳු ඇලුනි බැමිවල
කඳුලු ඉහිරී රිදුන සිත් සල
සුසුම් තැවරී පැල්ලමකි දුල

මහත් ගම්බිර පෙනුම මගහැර
පිපෙත් වෙද මුව සිනා බැතිබර
නැගෙත් සියොළඟ කුලුපඟුවෙ සර
ළතෙත් ජීවක සුදෙව් ලොව දුර

පාට අඩුවුන ලයිට් එලි යට
ගාට අමුනන රහස් එකපිට
කාට කවුරුත් මතකෙ නැතිකොට
රෑට අගුපිලෙ සුවඳ කුමකට

සාදු හඬමය දසත දෙදරන
මෝදුවෙන සඳ මලද රැවටෙන
පේවී පේවී පසඟ පිහිටන
මාර දූතයො තුටින් සනසන

මවා බඹයක සියලු ලෝකය
නිවා සැනසුම සොයනු නාකය
කවා සයදෙව් සැපය මේකය
පොවා බවරුචි කුමට මේ කය

කවිය බලන්න
පසක් වී ඇත දෙසූ බුදුදම

පසක් වී ඇත දෙසූ බුදුදම

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

කල් යන විටදි මිනිසුන් අදහමින් වෙලී
තිරිසන් විලස හැසිරෙනු ඇත පවින් වෙලී
උන් උන් මරාගෙන වැළපෙති දුකින් පෙලී
යනුවෙන් බුදුන් දෙසු දම ඇත හොඳින් දිලී

තියුණුම තියුණු අවි ආයුධ නිපදවලා
ලොව සැම තැන ම යුද ගිනිදැල් අවුලුවලා
මුළු ලොව නසා ලනු ඇත සිටියදිම බලා
පැවසූ වදන් අද ටික ටික සැබෑ වෙලා

මව්පිය සහෝදර දරුවන් සෙනේ ඇතී
දින දින ඇතැමුන්ට අමතක වෙමින් යතී
නසමින් එකෙක් තම බඩ කට පුරවගතී
හැකි සැම සතාවම හැකිවිට මරන් කතී

පවුලක තිබූ සමගිය සුනු විසුණු වෙලා
ඇන බැන ගැනුම දැන් දින චරියාව වෙලා
පර අඹු පර පුරුෂ සේවන අධික වෙලා
හොර මැර මිනී මරුවන් ඇත ලොවම වෙලා

තෘෂ්ණා කාම රාගෙට දාසයන් වෙලා
පර සෙත නසා රට කති පල් හොරුන් වෙලා
මේ වැනි උන්ගෙ තිරිසන් වැඩ දුරින් බලා
මෘග සිත් ඇති සැවොම රඟදෙති තුටින් බලා

2025 . 06 . 26

Photo Credit; Mattia Faloretti

කවිය බලන්න
සොඳුරු  දෑස්......

සොඳුරු දෑස්......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

වසන්තයෙ තාරකා වන් පෙළක් අතර දුටු
සිහිනයක පවා අසිරියක් මිහිරක්ම
දුටු
මතක පමණක් නොවී ජීවිතය තුලම
දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට පෙරදි
දුටු.

මිරිඟුවක් නොම වෙලා කතරෙදිත්
දියම දුටු
පැතු පිණි මල් කැකුළු පිබිඳ වු
ලොවම දුටු
සිනාවෙදි කඳුලෙදිත් අත් නොහැර
සිටිනු දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.

වියපත්ව යන විටදි අත් නොහැර
ළඟම දුටු
ඉනු කඳුළු හැර පියා තව තවත්
ළඟට දුටු
සෙනෙහසින් දැවටෙමින් දිරිය වී
සිතම දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.

රුසිරු දියවී ගියත් සොඳුරු ලෙස
ලඟම දුටු
දෙනෙත් බොඳ වී ගියත් දෑස් අග
සිනා දුටු
වියරු සසරක නිබඳ බවෙන්
බවයේම දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.

කවිය බලන්න
පුටුවක් කතා කරයි

පුටුවක් කතා කරයි

පවිත්‍රී මෙන්ඩිස් මතුගම

හිච්චා බාලාංසයේය
ඒකාට දෑත ද දෙපය ද ඇත
දෑස ද දෙසවන ද
වටපිටාවට යොමු වූ ගමන් ය

හයේ පංතියේ එකෙක් ඇත
හිච්චා ට ඇති ඒවාට අමතරව
ඌට වැඩෙන මොළයක් ද ඇත

උසස් පෙළ පන්තියේ
ඉන්නා එකා
හදවත පෙරටුවෙන් තබා
වැඩ හිඳී

කන්තෝරු කාමරයකට
උසස් වීමක් ලද
පුටු පුතෙක් ඇත
ඒකාට කකුල් අගට රෝද ඇත
සනුහරේ අනිත් උන් ගැන
වගක් නැත

ලෝකෙට ණය වී
ගෙදරට ගේන සෝපා පුතාද
අපේ එකෙකි
ඌ මහ අලසයෙකි
රෙදි පෙරෙදි පොරවා නිදන්නෙකි

හදවතට වැඩි ඉඩක්
දෙන එකා
අව්වට වැස්සට තෙමි තෙමී
උද්‍යානයක හෝ
පා පහර හා තැලුම් කකා
දූවිලි කුණු ඉඹ ඉඹ
රෝහලක සායනයේය

ආලින්දයක හුළං වැදි වැදී
ඉන්නා මා
නිතරම බර උසුලා ගත් ගමන් ය
දෑස හරි හැටි නොපෙනෙයි
දෙසවන නෑසෙයි
විටින් විට මතක හිත
මත සැරිසරයි
හාන්සි පුටුවක් කියා බොහෝ අය
අමතනු ඇසෙයි......

මතුගම

කවිය බලන්න
රජ තුමා වෙත යන ගැමියා සිදු කරන පැමිනිල්ල

රජ තුමා වෙත යන ගැමියා සිදු කරන පැමිනිල්ල

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

වනන්තරේ මහ හෙලක් පත්ලට ඇද වැටී
මහත් කෝපයට පත් ගමේ දඩයක්කාරයා
එම කඳු වැටිය කපා දමන්නට සැරසෙයි
තවත් අයද ඊට පොලඹවන්නට තනයි

දිවිය පුරා කෙතෙක් වෙහෙසී වෑයම් කළත්
එවැන්නක් කල නොහැකි බව මා කී සැනින්
ඔහු මහට උමතුවෙන් මෙන් පහර දුනි

මේ ඉතා දරුණු මිනිසා හික්ම විය යුතු බවත්
නොපමාව නිසි දඬුවම් පැමින විය යුතු බවත්
පැමිනිලි කර සිටින්නට අවසර මහ රජ තුමනි

👑👑👑
විමතියට පත් වන්නට උවමනාවක් නැත
මා නුඹේ ගමට පැමිනියෙමි තවුස් වෙස් ගෙන
පිරික්සා විමසා බලන්නට කරුණු කාරණ

චූදිතයාහට සවන් දීමෙන් අනතුරුව
නව මාවත තැනිය යුත්තේ මා බව පසක් විය
මහට මා පිලිබඳව පමණක් නොව
නුඹ පිළිබඳවද ඉමහත් ලැජ්ජාවක් ඇති වින

දඩයක්කාරයා මා හා පොරොන්දු වූ විලස
දේව කාරිය මෙන් නුඹටද කැප විය හැකි නම්
යම් වැදගත් වගකීමක් පැවරිය හැකිය

16.06.2025

කවිය බලන්න
පෙර දවස

පෙර දවස

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

මතක වියැකී සිඳෙන එක් දිනක පෙර දවස
කිරිවැදුණු යොවුන් හද හැඟුම් පිබිදෙන කලක
සිප්හලෙන් මගට බැස ගෙදර යන සැදෑවක
නෙත ගැටුණු ඔබ වුවන මතුව එයි උඩු සිතට

එදා ඔබ මුව රැඳුණු තැතිගැනුණු කෝල බව
නුහුරු හැඟුමින් පිරී විකසිතවු යුග නයන
දෙඅදරින් වසන් කළ මන්දහාසය නැගෙන
මහද පතුළෙන් පිබිද මතුපිටට ආ අරුම

නොම ලැබිණ ඉඩ හසර දොඩන්නට නිරතුරුව
ලැබුණු ඉසුඹුව පමණි නිවස සිප්හල අතර
අනතුරුව සරසවිය රැකියාව විදේශය
සිහින් මිහිදුමක් ලෙස හද රැඳිණ ඔබ වුවන

හිරුත් නැග බැස ගියේ ලොවට හොර රහසේම
රැය පහන් වී ගියේ සඳ කැලුම් සඟවාන
සිප් හලද මාවතද තවම ඇත පෙර සේම
නවමු සිතිවිලි නැගුණු දෙහද දෙතැනකය අද

කවිය බලන්න
රාත්‍රිය

රාත්‍රිය

ප්‍රියංගිකා බටගොඩ

සඳ මිනක ඇමිනී
රිදුම් දුන් පවනේ
සිහින් කෙඳිරිලි හඬට
රැහැයි හූ මිටිනේ

තුරු පතක මුදුනේ
හෙලූ ඇස කඳුලේ
වැටෙන දිය බිඳු ගසා
රෑ මලකි පිපුනේ

ඩැහැ ගන්න රිසිනේ
පොලව මත තදිනේ
ඇතිරු සෙවනැලි දඟව
දස අතට රැඟුමේ

කියඹු වැල් ලිහුනේ
කොපුල් මත එතුනේ
පාලු වුන පිල මතට
හාදකම් නොවුනේ

මතක දිග හැරුමේ
හලා හල විස නොවුනේ
මෙමට නුඹ මිස කෙනෙකු
වේද මේ අරනේ

වලාකුළු තුරුලේ
නොරිසි තරු වූවේ
නෝක්කඩු ගගනතට
සුසුම් බැනවැදුනේ

කවිය බලන්න
සුන්දර යට

සුන්දර යට

රුවන් ඩී අළුබෝමුල්ලගේ

පෝරුවේ අෂ්ඨක සිලෝ ගී
සවන් පුරවා ඇසෙනවා
නාදනූ පා තබ තබා සුර
ලියක් හිත යට රඟනවා

මාල තැළි පිළි සේද සළු හැම
හිතේ බර වැඩි කරනවා
පාවි පාවී දෙවඟනක් සේ
දවසකට වෙස් බඳිනවා

කොනක ඉඳිවූ වේදිකාවක
“ ගෘප්එක ” ප්ලේ කරනවා
යාළුවෝ ටික ගීත නාදෙට
වියරුවෙන් මෙන් නටනවා

මසවුළෙන් පිරි “ බුෆේ එක ”
රස නහර පිනවා දැනෙනවා
හිතේ කටු ඇස් වලට ඇවිදින්
කුසේ ගින්දර නිවනවා

කිසිම දවසක ගෙදර හරියක
නොවූ රහමෙර බෙදෙනවා
ඒක දැකලා තාත්තගෙ හිත
නරක් වූ බව පේනවා

හෝටලේ මේ තියෙන සව් සිරි
දැකල පුදුමත් හිතෙනවා
අපේ ලෝකය තාප්පෙන් පිට
ඉඳන් ඔච්චම් කරනවා

මුව සිනා නෙතු කැළුම් අතරේ
සුභ පැතුම් නම් පැතෙනවා
යන්න යන අය හැරි හැරී තව
තවත් මගෙ හැඩ බලනවා

සැප රියක් කිසි දාක නැග නැති
යන්න පේවී ඉන්නවා
සිනා මල් වරුසාව මැද්දේ
වුනත් පායුග සැලෙනවා

රතිඤ්ඤා වැල් පුපුර පුපුරා
මුරුගසං වැහි වැටෙනවා
වේල්පට රන්දාන ඉන්නට
බර වැඩියි හති වැටෙනවා

උකස් කළ මහ ගෙදර ඔප්පුව
පෙර මගට විත් රවනවා
“ ලෝකයට පොරකාසෙ ගෙදරට
මරගාතෙ යැයි සිතෙනවා ”

කවිය බලන්න
රජෙකුගේ අග රැජින

රජෙකුගේ අග රැජින

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

මළ පොතේ අකුරු බැරි
රූසිරෙන් අග පැමිණි
දිසාපාමොක් ඇදුරුගේ
බාල දුව මම වෙච්චි

හොඳම සිසුවා වන තෙක්
මගධයේ මහ රජුගේ
වැඩිමහල් කොලු දෙස
නෙත් හෙලා බලමින්නේ

ලැබෙනවා ලැබෙනවාමයි
මගේ හිමි සඳ ලෙස
මගධ රට රජ වූ පසු
මමයි අග රැජින එහි

සූපයේ කෙළ පැමිණි
මෝස්තර හඹා යන
කුමරි මනමේටත් බැරිවූ
රජෙකුගේ අග රැජින මම

Switzerland

Photo Credit; Saatchi Arts

කවිය බලන්න
මගෙ සිත අරන් පිටුපා  ඔබ යන්න ඇතී....

මගෙ සිත අරන් පිටුපා ඔබ යන්න ඇතී....

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

හද්දා පාළු මැදියම
පිබිදෙන්න ඇතී
ගිලිහුනු සුරත් බැඳියුරු
සිහිවන්න ඇතී
හද කම්පිතව සුසුමක්
පිටවෙන්න ඇතී
කොපුලත තෙමා කඳුලක්
ගිලිහෙන්න ඇතී...

පියමැන ආ මගේ
වෙහෙසක් දැනෙන්නැතී
කටු තුඩු දහස් ගණනක්
ලය ඇනෙන්නැතී
ස්නේහය ඔසුව වී
පිරියම් කෙරෙන්නැතී
කඳුලක උණුසුමට
දෙහිතක් බැඳෙන්නැතී....

පෙර සංසාරෙ පැතු ලෙස
හමුවන්න ඇතී
හද ගැස්මකට මුහුවී
ලංවෙන්න ඇතී
හුස්මක දුරින් වැතිරී
සැනසෙන්න ඇතී
අනන්තයට එක්වී
පියඹන්න ඇතී....

නෙතකට නෙතක් පැටලී
හිනැහෙන්න ඇතී
හද වෙණ තතක් හඬවා
නැලවෙන්න ඇතී
පණ මෙන් ආදරෙන්
ලංවී ඉන්න ඇතී
හුස්මත් අරන් මේ ලෙස
පිටවෙන්න ඇතී....

පෙරදා මතක තුන් සිත
පාරන්න ඇතී
සංසාරික පෙමත්
දෙවෙනිව යන්න ඇතී
සිහිනෙන් වත් අනුන් සන්තක
වෙන්නෙ නැතී
මගෙ සිත අරන් පිටුපා
ඔබ යන්න ඇතී....

කවිය බලන්න
බත් ගස

බත් ගස

රුවන්මලී දීපිකා කොඩිකාර

බත් ගසක් අත්තම්මා කියනු
ඇසෙන විට එ'සඳ
මැවුණි ගසක් මා මනස
බත් ඇට අතු ඉති පුරා ගැවසුණ

ඉක්ම ගොස් සිව් දශකයක්
පාමුළ හැලී වැගිරෙන
දුගඳ පතුරන වැල කුණු
බුදිනට දිව එයි සුනඛයින්

සති පොළෙන් ඉඳහිට
කොස් මදුලු උරයක්
රැගෙන එමි මම ද පිසින්නට
කිරි කොස් පෙර පුරුද්දට

පුතුගෙ දෙමහල් නිවසේ
ඉදිරි දොරටුව වී හිඳියි
එ'ගස සිනිඳු කැටයම් රටා දරමින්
පසසයි සැවොම කොස් දොරක් කියමින්

කවිය බලන්න
අවසරයි නිදෙන්නට

අවසරයි නිදෙන්නට

රංජනී කොස්තා නවසීලන්තය

උදා හිරුරැස් කැරලි අතරේ
ඇඳෙන සිතුවම් දකින්න
විදාපෙති දිගහැරෙන පියුමේ
උපතෙ අසිරිය විඳින්න
හඬා වැලපිල වහින වැස්සේ
බින්දු විසිරෙනු බලන්න
ගොඩක් පිංකල හිතක් ඕනේ
එවන් මිහිරක ගිලෙන්න

රුවට සඳකැන් ගලන මොහොතේ
බිම්මලේ නුඹ පිපෙන්න
විදා රන්රැස් නදිය මතුපිට
රුවැති සේයා අඳින්න
නිසන්සල වනපෙතට පායා
නිදන මල්පෙති රකින්න
සොමිසදේ නුඹ හිමින් රූරා
තණපිඩැලි මුව සිඹින්න

නිදන විහඟුන් සුවෙන් සැතපෙන
කූඩු දොරකඩ බලන්න
ඔවුන් සුවසේ දෙව්දුවට නිදි
තුරුළු වීදැයි කියන්න
බින්දු පිනිමත කණමැදිරි එළි
දහක් දල්වා තියන්න
රැයක ගනඳුර තුරන්කරළා
සඳේ නුබගැබ හිඳින්න

නින්ද නේනා ඇස්පියන් මත
රැයක සේයා අඳින්න
හිතක් සැනසෙන දසුන් මවලා
ලොවක ප්‍රේමය රකින්න
හිරුකැරළි හිමිහිමින් වඩිනා
ඇසිල්ලක ඔබ නිවෙන්න
හිරුට අයිති පැය ඔහුට දීලා
සඳවතියෙ ඔබ නිවෙන්න,

New Zealand

කවිය බලන්න
වානර හිමිකම් කොමසාරිස්ට පෙත්සමක්

වානර හිමිකම් කොමසාරිස්ට පෙත්සමක්

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

එකමත් එක කලෙක මේ මහා පොලොව මත
වලිගෙන් වන වනා සරමින් සතර අත
සිටියත් එකම වානර කුලයෙහි පැවත
මනුසත් කැළ දිනෙක දෙපයින් නැගිට ගත

පෙන්නා බලය සෙසු වානර නෑයන්ට
පන්නා ඔවුන් කැලයෙන් යළි නොම එන්ට
දන්නා දහම් ගැට දමමින් රවටන්ට
මැන්නා වන පියස අත්පත් කරගන්ට

වලිගය සමග යහ ගුණදම් යද්දි මැකී
නිමවිය. සබඳකම් වනබිම් සමග රැකී
බිහිවිය විසල් පුරවර ගහකොළ වියැකී
නැතිවිය. තැනක් වානර නෑයන්ට සකී

උසුළනු නොහේ කුසගිනි අහරක් නැතියෙන්
මිය යනු බැරිය යුද වැද නරකැළ සමගින්
රැස්වුණු දිනේ වානර හිමිකම් වෙනුවෙන්
ලියැවුණු පෙත්සමක තිබුණා මේ විලසින්

මිතුරනි පොළොව උරුමයි අපටත් ඉන්න
වෛරෙනි එපා වානර කැළ වනසන්න
කුලුණෙනි බලා අප වන පෙත් රැක දෙන්න
මිනිසුනි දැනේ අපටත් ඔය බඩ ගින්න

කවිය බලන්න
ඔබ මගේ සිහිනය

ඔබ මගේ සිහිනය

ශර්මිලා බන්දුනි දන්වත්ත

ඔබ සමග පිබිදෙමි
උයමි පිහමි
බත් බැඳගමි
වැඩට යමි

වැඩකරනා අතරතුර
ලිපි ගොනුවක බහා
වසා තබමි

වැඩ ඇරී
දුම්රියට ගොඩවෙමි
කොනේ අසුනක
ඔබ සමග ඉඳගමි

කවුළු උරහිසට බරවී
දුම්රියේ තාලයට නැලවෙමි
එකම සිහිනය
නැවත නැවතත් දකිමි
මුදු අහිමි අත් වලට
සිහින පමණකිය හිමි

කවිය බලන්න
එසඳ...

එසඳ...

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

එසඳ
ඒ පැතිරුණු
විසල් සෙල මත හිඳ
සුළඟට සෙමෙන් ඉරී යන
විසල් වළාකුලු දෙස
බලා සිටියාය
ඒ කුඩා ළදැරිය

තුරග වෙස් ගත්
වලාවක් දැක
නැග එපිට එසැණින්
සරන්නට විය
අනන්තයක් නොපෙනෙන
අහස් පලස මත
නෙළාගනු වස් දෙනෙතින්
පළමුව අහසට බසින
සුදු මැළි ඒ සැඳෑ තරු කැට...

කවිය බලන්න
ඉතින් නුඹ නික්මෙන්න

ඉතින් නුඹ නික්මෙන්න

සුධර්මා වීරක්කොඩි

සන්නාදයක මිහිර -දෑත් පටලා විදපු
මිහිරියේ සොදුරුතම - මගේ නලුවක රගපු

සසර මුදු නවාතැන - සිප්සලේ දයාවක
සිතුවේද කිසිදිනක - මරණයෙත් ළග ඉන්න

යායුතුයි යම් දිනෙක - වැටී හැපෙමින් සසර
නිමාකර බැදුම්කර - නිවී නිවී නිවෙන්නට

විද්‍යාවෙ පොත් අතර - පියඹු සමනල් දිවිය
බුදු මැදුර, පල්ලියේ - ලියවුනා ආදරය

තවම නෑ රිදී කෙස් - පිරිපුන්ව හිස පැතිර
සිසිරයේ සීතලද - නොම දැනෙන මැදිවියක

මතක මිටියට අරන් - මා මා වෙනුවෙන්ද
මා අන්‍යයන් වෙනුවෙන්ද - මා විශ්වය වෙනුවෙන්ද
ගෙවූකළ ජීවිතය - සුන්දරය දැන් යන්න

අමරණීයම සමරු - තියා මහරුම මතක
කියවනා පිරිත් පොත - මිහිරිමය චුතිසිතට
ගෙනෙමි පින්පොත ලගට - කියවමින් නිරතුරුව
නිවමි නුඹෙ හිත විතර - සවිබලය කෙටි සසර

ජීවිතේ එලිය ඉර - බහින්නට කල් ඇතිව
අමාවක එන තරම් - ඉක්මණින් නුඹ යන්න..

ව්දවමින් පීඩනය - ද්වේශ නොකරම හිතට
වළාකුලු අතර - ඉක්මණින් සැගවෙන්න

රිදෙන ගත හැර දමා - සවිය ඇති හිත අරා
නිවන ලග සැනසෙන්න - සබැදියේ නික්මෙන්න...

ලන්ඩන්

කවිය බලන්න
වෙන්වුනු මල්

වෙන්වුනු මල්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

මඳ සුළඟට නැලවී
බඹර පහස විඳිනා
අව් වැසි හා රඟනා
ගෙවුයන මල් තුටිනා

මල් පොකුරෙන් වෙන්වී
බඳුනක සිර වෙමිනා
සාලය මැද රැඳෙනා
මල් ගැන දුක සිතුනා

කවිය බලන්න
වෙස් මුහුණු

වෙස් මුහුණු

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

නැති තැන ‘හැලප’
ඇති තැන වැලප
අති විෂ සර්ප
නිති ලෙස නෙරප

අසි ගෙන විපුල
හිත කැත ‘හිවල’
පහ රන ‘බළල’
පන්නා දෙවොල

අප’තර හිඳින
අමනව හිතන
අපතව පතන
අපායට මිලින

කවිය බලන්න
සුනිල්- දීපිකා-දිවුල්ගනේ ගී යාත්‍රාව

සුනිල්- දීපිකා-දිවුල්ගනේ ගී යාත්‍රාව

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

හදේ නොනිදා තිබෙන කවියක්
අතීතේ සිහිනයක පටලා
සවන් පිනු ඒ හඬ ත්‍රිත්වයම
'යාත්‍රාවක' ගමනෙ යෙදිලා

ගැයුනු ආදර විරහ ගීයේ
රසය මතුකළ ස්වර ඇසිලා
රසික හදවත් පවස නිවුනා
දාහයෙන් ගත ඇතත් තෙමිලා

කවිය බලන්න
විහඟ සිළුවට

විහඟ සිළුවට

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

එය අවසාන හිරු කිරණය
පබසර අහසක රැඳුණ
දුටිමි මම එකිරණෙහි එතෙන
විහඟෙකුගෙ සිළුවට

තරු රටා අහසේ
අමුණන විට
අවුල් වලා මගහැර
දුවනා සඳ යට
නෙත් යුග පියාගෙන
ගිළි ගිළී තනි වුණෙමි
දැවෙන සංවේදනා මැද

දෑස් හැර නොබැලීමී
එවිට මනසින් දුටිමි
ගලා එන සඳ කිරණෙද එතෙනු
නම් ගම් නොදත්
ඒ විහඟ සිළුවට
දැනුණි මට
සෙමෙන් පියපත් සලා
නිවන'යුරු
මහද සංවේදනා රැස

Photo credit;
Katherine Marchena

කවිය බලන්න
මන්දාරම

මන්දාරම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මන්දාරම් නුවර මන්දාරම ගෙදර
මන්දාකිනිය ඇයි මේ වැහිකළු අතර
කැන්දා ඇතත් හැම දේ මහමෙර විතර
මන්දා කිමද හිරිකඩ අතරින් පතර

උදේ නිවස සමුගෙන යන අයට ඔබේ
හදේ සතුට සැනසුම ඕනෑව තිබේ
ළිඳේ වතුර මෙන් සෙනෙහස ගලන ඉබේ
හඳේ එළිය මෙන් බැබළෙයි ගගන ගැබේ

මතයක එරී ඒ මත්තෙම උරණ වෙවී
යන එක නසයි ජීවිත හැම දෙසට නැවී
ඇකයක හොවා ආදරයෙන් කියන කවී
දෙහිතක ඉදිරි මග සුන්දර කරන අවී

Photo Credit:Andres Molina

කවිය බලන්න
පැතුම

පැතුම

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

කඩමාලු ගත රැඳෙන ගුරුපාට හිනාවේ
ගැබ සෙමෙන් පිරිමදින විඩාබර කතාවේ
සුරත රැඳි පුවරුවේ පිරුණු වාසනාවේ
තතු කියා නුඹ ඇදෙයි පදිකවේදිකාවේ

දිය බිඳත් අමාරස ගෙනෙන ගත විඩාවේ
සොච්චමක් සොයන සඳ වේල දෙක පමාවේ
සෙමෙන් පියවර තබන, තාල නැති, කලාවේ
නුඹේ දුක දැනී හිරු වළා තුල මුවාවේ

බුදු පදවි, රජ කිරුළු අහිමි දිවි කතාවේ
බිම්බරක් දුක සෙමෙන් හදවතේ මුවාවේ
කපුටු බෝ සෙවන යට ගිම් නිවන වෙලාවේ
සෙත සඳන අඟුල්මල් පිරිත සිහිවුනාවේ

නැඟෙන පීඩා සිඳී සතුට ළංවුනාවේ
කුසට වැඩි බර හිතේ ඉතින් නිමවුනාවේ
ලෑලි, පොල් අතු මැදුර ගලින් ඉදිවුනාවේ
අපට නොව මුල් දිනුම නුඹට හිමිඋනාවේ

කවිය බලන්න
මදහස් ඔසුව

මදහස් ඔසුව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

කැලේ කොලේ නොතලා එහෙ මෙහෙ දීව
ඇලේ දොලේ වැතිරී සිත් සේ නෑව
දළේ රුවට මිනිසුන් තොල ලෙව කෑව
වලේ අද්දරයි, ඇතු වෙමි වෙඩි කෑව

ඇඟේ ගනිනු බැරි තරමට වෙඩි පුපුරු
අඟේ ඉදන් කණ කයි මිනිසුන් නපුරු
යුගේ අහවරයි අලි මන්තර මැතුරූ
මගේ පපු තුරේ නපුරක් නෑ ඉතුරු

ඇතෙක් වාරු නැතිවී එරුනොත් හැලක
ඇතෙක් ඕනමයි ගොඩ ගනු මතු දිනක
කවක් ලියා තිබුනා පුස්කොල පොතක
දුවක් දුටිමි ඇතෙකුගෙ වෙර ඇති හිතක

සහ ලේ නෑයෝ පාවඩ මත පෙරහැරය
දෙවොලේ පුදබිමේ වැලලෙයි හේවිසිය
දවුලේ හඬට නටනා නෑ,හොර නඩය
පවුලේ එවුන් නපුරුයි කාටත් වැඩිය

ඇසක් පියන්නට ආසයි බිම වැතිර
සැකක් යලි නැගිට ගත හැකිදෝ එවර
කටක් හරිනු බෑ හකු පාඩා පුපුර
පෙලක් වුන් වලිගෙ සිඳලයි ඒ අතර

දෙපා සතුන් නුඹටත් ඔරවයි ඔන්න
සපා කාවි බෙහෙතක් නෑ මම දන්න
කපා ගන්න දළ යුග පෙර පණ යන්න
උපාසක නඬ ඇවිත් පෝ දා සිල් ගන්න

වනන්තරේ කූඩාරම් ගසාගෙන
නිරන්තරේ වැසි අහසත් ඉරාගෙන
දනක් එරේ බර උර මළු දරාගෙන
දුවක් ඇවිත් මඳහස ඔසු පුරාගෙන

නුදුරේ දිනක යනවා යන්නම යන්න
අඳුරේ කැලේ බෑ තව තව දුක් දෙන්න
කතරේ කොතැන දුටුවත් යලි හදුනන්න
සසරේ මතු මතුත් මඳහස රැක ගන්න

කොතෙක් වෙහෙසුනත් බෑ දුව ගොඩ ගන්න
මෙලෙක් හද දැවෙයි කෙලෙසින් පවසන්න
මතක් වනු පිනිස සසරේ හදුනන්න
වරක් තව වරක් දියනියේ හිනැහෙන්න

කවිය බලන්න
යථාර්ථය

යථාර්ථය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

කොතෙක් දිය ගැලූවත් මහ සයුර නොපිරේවි
පිපුණු මල් පරවුණත් ගස එයින්
නොහඬාවි
තරු යාය සැගැවුණත් ‍සඳ කඳුළු
නොසලාවි
සඳ එළිය බොද වුණත් මහ
පොළොව නොසැලේවි
----
සුළි සුළං හැමූවද මහා කඳු
නොසැලෙතේ
මහා වැසි වැටුණු මුත් අහස
කම්පා නොවේ
හිරු එළිය සැඩ වුණත් ඉර එයින්
නොහඬාවි
කවුරු ලොව මිය ගියත්
යළිත් ඇස් නොසලාවි
----
අකුණු වැදුනිද කොතෙක් අකුණු
සැර නොසැලේවි
විදුලි සැර විහිදුනත් එළිය නිති
නොරැදේවි
ගෙරෙවුවත් කොයි තරම් අහස
නිසලව ඇතේ
හිරු ඇතත් සඳු ඇතත් නිලඹරට
කම් නැතේ
----
පෑයු දේදුණු නිසා
අහස ඇත පාඩුවේ
ආව පසු සුනාමි මුහුද
යළි සිනාවේ
සැනින් සැන කාලයත්
සැමදාම තිබේවි
ව්ස්ව ශක්තිය සදා
විස්වයේ රැදේවී
================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
=======================
22/6/2025
0711481624

Photo credit;Zoltan Tasi

කවිය බලන්න
යථාර්තය

යථාර්තය

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

මියැදුනත් වසන්තය
නොදැනීම යම් දිනෙක
හැළුණු මල් පෙති රැදෙයි
මතකයේ මග දෙපස
කොළ හැලි අතු ඉතිරි
සෙවන දුන් ගස් වලට
මුල් රැදුන පොළව නිති
ලැබදේවී රැකවරණ
සුළි සුළං වැහි කෝඩ
ළග නැමෙන තුරු වදුල
සෙවණ දෙන අයගෙ වත
සොයනු නැත කිසිම දින
යමක් දේ නම් දිනෙක
ඔබෙන් මේ ලෝකයට
සොබාදම ඔබට දෙයි
ඔබ ලොවට දුන් විලස

මහනුවර

Photo Credit; Adam Bixby

කවිය බලන්න
නාස්තිකාර වත

නාස්තිකාර වත

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

රැඳී සුමිතුරු සාද මැද

ඇදී මධු කුසලානෙ වැද

බැඳී ළඳුන ගෙ හාදු විඳ

සිඳී සිහිනය බිඳුණු සඳ

පෙර විලස

පුරුදු ලෙස

සිහි එළැඹ

පසුතැවී

ඇදෙන්නෙමි නිවස වෙත,

තාත්තා දැන් එතියි රෑ පුරා බලා හිඳ

සොවින් නින්දෙහි ගිලුණු

සෙනේබර පොඩි පුතු ගෙ ළපටි මුව සිහිපත් ව

ගාට ගාටා ඇදෙමි නිවස වෙත,

මම,

අකීකරු පියාණෝ!

කවිය බලන්න
ඔන්න ඉතිං:

ඔන්න ඉතිං:

සපුමල් බන්ඩාර ලන්ඩනය

ධනවාදයද සමවාදයද
දැන් එයින් පලක් නැත
තව දරුවෙක් පීස කනවිට
තව දරුවෙක් පාන් කානම්
මිනිස් සිත්වල ගතිය
තව තවත් මට ඇද්ද
ලොවම සෑදී ඇත්තේ
මේ කරුන පසක් කොට
රට රටවල් මරාගෙන
ආගම හොදම පලියක්කරගෙන
මුදල් මත ලන්සුතබන
මිනිස්කම ඇහැවරවිය
ඔන්න ඉතින් ඔයත් කියනව
දාමු ජොලියක් අපි අදරෑට

Photo Credit; Kelsey Chance

කවිය බලන්න
අද දිනය ඔබ නමිනි

අද දිනය ඔබ නමිනි

ශර්මිලා බන්දුනි දන්වත්ත

සියළු සියොතුන් ගේ කූජන
ඔබ වෙනුවෙනි
මල් වැරූ ගස් වැල් වලත්
මල් පිපෙන්නේ
ඔබ වෙනුවෙනි

සිහින් සිරිපොද වැටෙන්නේ
පත් වලට නොරිදෙනා පරිද්දෙනි
වෙනදා නොමැති සීදේවි පාටින්
ඉර නැගෙන්නේ
අද දිනය
ඔබ නමින් වෙන් කරමිනි

මේ අසිරිය
පිටුපස සිටින්නේ
මා බව
ඉඟි කරමිනි

මේ සියළු සුභ පැතුම්
ඔබේ හදවතට
බර වැඩි වන්නේ
එහෙයිනි

කවිය බලන්න
කළුවර හීන

කළුවර හීන

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

නිමිත්ත - "මං ඉස්කෝලෙ යද්දී මගෙ හීනෙ වුණේ ටීචර්කෙනෙක් වෙන එක. දැන් මං හීන දකින්නේ නෑ," - BBC පුවතකින්

හීන් කළුවර කකුළු පැටවුන් ඇවිත් මගෙ පොඩි ඇඟ කොනිත්තා
සට පටස් සට පටස් සද්දෙන් අමුතු අත්පුඩි ගහනවා
පුංචි බේබිගෙ පුංචි කලිසම හෝදලා වේළන්න යනකල්
තෙතබරිත මගෙ ඇස් අගිස්සෙන් අනෝරා වැහි වහිනවා

ටීචගේ සාරියේ හැඩ වැඩ දාලා සුපිපුණු පුංචි මල් අද
මලාණික වී පරවෙලා මහ පාරවල් ළඟ හැලෙනවා
ගසුත් දැන දැන ළදරු මල් පොඩි ගැබිනි පෙළහර පානු දැක දැක
අකුරු දෙදරා අකුණු පුපුරා සිහින සීකඩ දුවනවා

රෑට හීනෙන් මමත් ඇවිදින් සාරි පොට ගස්සමින් තාලෙට
පුංචි මල් මුකුළුවක තනිවී ආදරෙන් මඟ කියනවා
නැගිටපන් තෝ තාම නිදිදැයි සද්ද කරගෙන ඇදෙන ලෝදිය
රිදී ඉරි නැති කළු වළා මත දරුණු හෙණගෙඩි මවනවා

අඟුරු සිතුවම් අතර හිනැහෙන අන්ධකාරය ඇවිත් අසලට
තවත් කුසුමක් නසාලන්නට ⁣⁣පෙති කරල් දිය කරනවා
හීන හීනම වන්නටම හැර කන්ද තරණය කරනු සඳහා
සිහින නොදැකම අඳුරු නිම්නෙක රහසේ ම මම ගිලෙනවා

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

කවිය බලන්න
සඳ යායේ

සඳ යායේ

සුමිත්‍රා ආරියවංශ මහනුවර

සඳ දිය ගලා තෙත බර වුණු වනන්තරේ
දහවල පැලඳි සළු ගිළිහෙයි සුළන් සැරේ
සැඩ හිරු පුළිඟු විසිරෙන තුරු එ'රන් ගිරේ
රසවත් හැඟුම් ඔපවත් වෙයි නිරන්තරේ

අතු ඉති දොවා විත් බිඳු බිඳු ඉවත ගලා
සඳ දිය රැලි නගයි පාවෙන අතට වලා
මිණි ලෙස දිලෙන විට ගං තෙර පුලින තලා
නෙතු පිය සලති රන් තරු කැට ඔකඳ වෙලා

දෙපසට බෙදා රැළි ගවසන විට පීරා
සිසිකත වරළ අත හැරෙනා ලෙස රෑරා
අරුණලු එබෙන තුරු නිසකත හද පාරා
සිලි සිලි හඬින් බැස යයි කලදෝ දාරා

අරුණලු සමග අතහැර බිඳ බිඳ සායම්
පැහැසර මවා වෙන් කරවන තුරැ මායිම්
යාකර ශිකර මිටියාවත් කඳු බෑවුම්
මුළු වන පෙතම එක යායකි බොඳ මීදුම්..

දිගන.

කවිය බලන්න
මිඩියගේ පැතුම

මිඩියගේ පැතුම

තුෂාරි ජයසිංහ මහනුවර

පැතුම් වලටත් උඩින් කාසි කොළ දිලෙනවා
අඩ පැයක ඉසිඹුවත් අකැප වී ගෙවෙනවා
පුතේ ඔය ඇස් පතුලෙ කාන්තිය මැවෙනවා
යෝධ සවි ශක්තියක් හදවතට දැනෙනවා

ගැටෙන බඳුනක හඬින් පියවි ලොව දකිනවා
සිනාවන් මවාගත් මුහුණු සැරි සරණවා
ඉඳුල් කළ භාජනය වගේ යයි සිතනවා
බඹරු වගෙ දෙඹරු විත් අනින්නට හදනවා

රෑට හඳ දිය දිගේ මගේ හිත දුවනවා
අප්පච්චිගෙ සුවඳ මගේ හිත වහනවා
පුතාගේ උණුසුමත් තාම ළඟ තියෙනවා
උදේ පිපි මලක් සේ මමත් තව ඉන්නවා

කාසි කොළ පෙරළලා පුතේ මුතු අකුරකට
ඉරටවත් නොදෙවෙනිව නැගීයන් අහසකට
පොඩි ඉඩක් තියාපන් හිතේ කොනකට වෙන්ට
එපා රිදවුම් දෙන්න කිසිමදා මිඩියකට

2025.07.04

කවිය බලන්න
දික්කසාදයට මොහොතකට පෙර.

දික්කසාදයට මොහොතකට පෙර.

තුෂාරි ජයසිංහ මහනුවර

අහම්බයෙන් ස්පර්ශ වූ
ඇඟිලි තුඩු
තේ බඳුන වටා දිව ගිය
මතක මන්දිර ගොඩ නගයි බොහෝ ඈතට.
කොතරම් නම් විදුලියක් ගැබ්ව තිබුණාද
පෙර එහි
සමහරවිට වෝල්ට් විසි තිස්දාහක්.
ඉන දැවටි සුදු සාරිය හැඩට
ඇත් දළ පාට සාරිය පැරදුවා
පෝරුව උඩ විසි පොරොන්දම්
විසිවන විට ඈතට
වෙදැගිල්ල හිස් වේවි ,මොහොතකින්
රතුපාට සේද පිලි ,තැලි ,තෑගි බෝග
බුලත්, ප්‍රිය සම්භෂණ
පෙන්වනවා සළ රූ සටහනක් සුන්දර
නෙත අද්දරම ගැවසී.
ගැබ පිරී දෙතුන්වර නැගි කිරි සිනා
මිලානව ගියෙ කඳුළු පමණක්ම දී
කාලය හරියට ජෙට් එකක් වගේ
පෙනී නොපෙනී ගිය හැටි
අත්සන තියන්න ළඟයි
ඇස්වල දිස්නය හිඟයි
සමනල කන්ද වෙව්ළුවා
දැළදාවට උඩින් වැහිළිහිණියන් කළු රෙද්දක් එලුවා
ඔරළෝසු කණුව හඬ නගා හැඬුවා
කිරි මුහුද කඳුළු වලින් පිරුණා
දිය තිලකෙ සරසන ගස්
වියලී තිබුණා මහ වැසි මැදත්

මහනුවර .

කවිය බලන්න
අරගෙන වසන්තය දස්කොන්  එන්න යළී...

අරගෙන වසන්තය දස්කොන් එන්න යළී...

උදයංගනී විජේරත්න

ජයගෙන අනන්තය දකිමින් වෙන්න ගුලී
රඟදෙන දසන්තය ඇවිදින් ඉන්න වෙලී
ඉතිරෙන සුගන්දය විඳිමින් ගන්න පිළී
අරගෙන වසන්තය දස්කොන් එන්න යළී...

පන්හිඳ නුඹයි සුන්දර කවි කමේ ගැලී
දුන්හිඳ සමයි රන්කඳ හදවතේ වෙලී
මින්දද ගයයි මන්දිර කවුළුවේ ඇලී
පුන්සඳ හැඩයි ගංතෙර කළුවරේ දිළී...

සංසුන් කමට හද නුඹ හට පෙමින් වෙලී
දැක්මත් නෙතට සුව සහනය මවන් එළී
මංමත් කරන මුව හසරැලි අරන් යළී
සක්මන් මළුව ළඟ හමුවෙමු වෙමින් ගුලී...

කවිය බලන්න
සම්මත නොවූ පෙම්වත.........

සම්මත නොවූ පෙම්වත.........

උදයංගනී විජේරත්න

සම්මත නොවූ පෙම්වත නුඹ ගැන ලෝබයි... තුන් හිත නිවූ සිතුවිලි මැද හිත කෝලයි පන්හිඳ මැවූ කවි පද සෙනෙහස මෝරයි
නිම් නැත ගෙවූ මතකයෙ හසරැලි බෝමයි

සුන්දර සිනා මල්දම් පැළඳුව ගානයි
මන්දිර තනා මින්දද හීසර මානයි
උත්තර නැතා ළං කළ සිතුවිලි මාරයි
පෙම්බර නුරා හිත්මල සුසුවඳ සාරයි....

ලොව නෙතු වසා අතැඟිලි බැඳ දුර ආවයි
හදවත පුරා ඔය සෙනෙහස ඉතිරේමයි
අහඹුව වෙලා හමුවුණ නුඹ මගෙ ගානයි
පියවර තබා යමු සිහිනය අපි ගාවයි.....

කවිය බලන්න
ආදරය කවියක්....

ආදරය කවියක්....

උදයංගනී විජේරත්න

ආදරය කවියක් තුටින්
හිත ඔකඳ වන
ජීවිතය තනුවක් හෙමින්
නුඹ ඇවිද යන
මාරුතය සිසිලක් වෙමින්
ළඟ වෙලෙන දින
සාගරය ගැඹුරක් දුටින්
මම සුවය දෙන....

පාළුවට ගිය හිතේ
ආදරය පුරවමින්
සීරුවට නෙත ඉමේ
හීනයක තවරමින්
වාරුවට මඳනලේ
ගීතයක රඳවමින්
හාදුවට ඉඩ තියේ
සාගරය කළඹමින්....

පන්හිඳට රස පිරුණ
කවියක් ළඳේ
නෙතු ඉමට හැඩ මවන
දසුනක් බැඳේ
ගංතෙරට මඳ පවන
සිසිලක් රැඳේ
මං නුඹට හිත නිවන
තරුවක් සඳේ .....

කවිය බලන්න
🗙