ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2023 මැයි කලාපය
කලකදි ලොවේ හිරු නොබසින රජදාන
වෙසෙන සතට පිදු නොඅඩුව වරදාන
මහබිරිතනියෙ මහරජ ඔබ අසමාන
වැජඹෙනු යෙහෙන් පිළිගෙන සෙත් අපමාන
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
නොයෙක් උපමා යොදා සමහරු තමාගේ ප්‍රේමිය වනන්නේ
දිනෙක මියයන තුරුම එකටම සිටින බව දිවුරා කියන්නේ
එහෙත් වෙනතක බැඳී ඒ සිත පළමු පෙම නොමරා මරන්නේ
මෑණියනි මුළු ලොවම ලැබුණත් ඔබ නොමැත දරු පෙම නසන්නේ
පණද දෙන්නට හැකිය කියමින් හොඳට රඟපා දමා මොත්තේ
එකම වහළය යටට ආ අය නිතර කෙහෙවලු පටල ගත්තේ
නැඟුණු ගැටලුව විසඳ ගන්නට පැතුවෙ සමහරු පිහිට කැත්තේ
ඔබයි මෑණිය දරුට ඇති පෙම කිසිදු දිනයක නොබිඳගත්තේ
ප්‍රේම කරනා තරුණ වැඩිහිටි නොයෙක් දෙන සැම තැනම ඇත්තේ
එහෙත් සමහරු පුංචි දේටත් ඔවුනොවුන් ඇන කොටාගත්තේ
සැබෑ ලෙසටම උන්ගෙ සිත් තුළ ආලෙ නොතිබුණ බවයි සත්තේ
මව්නි ඔබ තුළ තමයි කවදත් අචල ප්‍රේමය රැඳී ඇත්තේ
දස දහස් ගණනක් පහන් එළි මැඩ හිරුය ලොව බබුළුවන්නේ
හිස් අහස් කුස වසා ඇති තරු දුරැර සඳ තම එළිය දෙන්නේ
ලොව එළිය කළ හැකි වෙනත් එළි ඇතැයි මට නම් නැත සිතෙන්නේ
මගේ ලෝකය එළිය කළ හැකි මිණි පහන නම් ඔබම වන්නේ
ඉමක් නොපෙනෙන සසර ඇති දුක් බිඳ නිවන වෙත සැවොම යන්නේ
අසම සම ගුණ පිරුණ බුදුහිමි තමයි නිවනට මඟ කියන්නේ
නිමක් නැති දුක් කඳුළු නවතා මගේ දිවියට නිවන දෙන්නේ
පමණ නැති කරුණා ගුණෙන් පිරි සිතැති ඔබ යැයි මට සිතෙන්නේ
සුමිතුරන් හා සොයුරු වැඩිහිටි සබඳකම් සිය ගණන් ඔස්සේ
ගෙවා ආ මඟ තෙමී ඇත මා නොයෙක් වර දුක් කඳුළු වැස්සේ
සැමවිටම සෙනෙහසින් කුළුණින් මෙතින් ආදර පැන්ද ඉස්සේ
ඔබයි මෑණිය කෙලෙසකද මේ තරම් සෙනෙහස සිතට බැස්සේ
රාජකීය පණ්ඩිත
පූජ්‍ය පනාමුරේ තපස්සී හිමි
ලන්ඩන්
කවිය බලන්න
බින්න තොටුපල...
නුඹට නෑකම් කියාගෙන තනි කෙල්ල
මගෙ රන් කඳවුනා.
සඳට ඉරබටු තරුවටත් වැඩියෙන් සෙනේ
දිය ඉහිරුනා.
මැදට හදවත උදේ දහවල රැයත් ප්‍රේමය
හැඩවුනා.
මලට ඹඹරෙකු ලෙසින් සෙනෙහස රොනට
පැණිවද ඉතිරුනා.
කුමට කවිපද මෙමට ගැයුමට දුටුව සිව්පද
රස නුඹයි.
සැමට නෙත හැර යලිත් බැලුමට හිතෙන
තරමට නුඹ හැඩයි.
දමට මල්දම් පිච්ච සේපාලිකා ගෙලවට දැමු
ගොඩයි.
නමට කිරි ඉතිරුනේ නැතිවද සුමට සඳඑළි
පොරි ගොඩයි.
දිනෙක ඔය පැල වෙතට ආවෙි ඉන්න සතුටින්
සෙනෙහෙ වපුරා.
වැලක එතුනට පරාගන මල් තනිව
නොපිපෙයි දනිමි ඉඳුරා.
මලක පිපි අහවරේ ගෙඩි නැති කරුමෙ
වරදලු මමය හතුරා.
පැලක ගෙවු දීගයට සමු දෙමි බින්න
කරු නම මකමි කඹුරා.
නුඹගේ මහගෙයි යාලත්තේ ගැසු තල
අත්ත හුළු එළිය ගත්තා.
අඹුගේ සිහිනය කඳුල අතරින් මකා
දුකසේ පනිමි ඉත්තා.
සැමගේ ඔච්චම් ඉවසපන් සඳ සරුව
හොඳ කල නුඹට ඇත්තා.
මවගේ මල්ලිගෙ පුතුට කනවැන්ඳුමි
දෙනවලු හෙට තාත්තා.
තොටුපලේ පත සියඹලාවෙි හයිය ලණුවෙන්
ඔරුව බැන්දා.
අඩුකුලේ තොටියා මමයි මගෙ ඇටඹ ලී සවි
හබල බින්දා.
අතුපැලේ හෙට තවත් තොටියෙක් දිය කලත්තයි
පෙති නො රිද්දා.
ඇතුකුලේ පුතු නුඹට ලැබියන් දොසක් නොකියමි
මෙන්න වැන්දා.
කවිය බලන්න
අන්තර්ජාලයේ සිත්ගත් කවි - අම්මා නෑ
මළගෙදර කටයුතු
සියල්ලම නිමවෙලා
හිත හදපු යාලුවො
නැවත යන්නට ගියා
හට් ටිකත් ගලවලා
සමිතියෙන් ගෙන ගියා
මායි තාත්තයි ගෙදර
ඉන්නේ දැන් තනිවෙලා
තාත්තට වැඩ නිසා
ගිහින් එන්නට ගියා
හතර අත පාලුයි
අම්මා ගෙයි නැති නිසා
බත් බෙදුවා කන්න පුතේ
කියන්නට අම්මා නෑ
ෆෝන් එක ඔබන්නෙපා
බනින්නට අම්මා නෑ
පාඩම් කරන්නට
කියන්නට අම්මා නෑ
කොහෙද ඔය යන්නේ
අහන්නට අම්මා නෑ
හිතේ තියෙන දේවල්
කියන්නට අම්මා නෑ
තාත්තේ කෝ අම්මා
ඇහුවාට වැඩක් නෑ
තාත්තා සමග මම
එතරම් ළගින් නෑ
අම්මා වගේ පසුපසම
මා එක්ක හිටියේ නෑ
ඉද්දි මට අම්මා
ඇගේ අගේ දැනුන් නෑ
කෑගහලා ඇඩුවට
අම්මා යළි එන්නේ නෑ
කවිය බලන්න
.....රිවි කවි රැස් .......
ඩැෆඩිල් පිපෙන පරිසරයක සිරිය බලා
හිම කැට වැටුණු අහසම නිල් පාට වෙලා
එනතුරු වසත් කාලය මඟ සිටියෙ බලා
විහඟුන් ගීත ගයමින් යයි පියා සලා
රෑ බෝ වුණත් හිරු රැඳිලා ඇත අහසේ
බෑ බෑ කියා සඳ සැඟවෙයි හොර රහසේ
නිවි නිවි දිලෙන්නට තරු පැටවුන් වෙහෙසේ
කවි රැස් සමග සුලවත් හදවත් සැනසේ
එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර සිට
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
සුභාෂිතයේ සිත්ගත් කවි
තිරසර ගුණැති සුදනෝ පරවැඩ නැතිද
වරසුර පුරෙහිවත් නොවසති නිරය ලෙද
ගොරතර නිරෙහිවත් පරහට වැඩ ඇතිද
සුරපුර ලෙසට හැසිරෙත් සුවසේ නිබඳ
කවිය බලන්න
සත්වග සුවය සලසාලන පින්කඳ ඔබය
ලියන්නට තිබුණු පදවැල් ටික මත්තේම
බැඳලා ගැට හසා දාලා පැත්තක නොබලාම
හිතුවේ නැහැ යලිත් ලියැවේ යයි කිසිදාක
වාසනාව ලදුයෙමි යළි පණ ගැටගහ ගන්න
ලොවම ජීවිතය ජීවත් කරලා තබන
වෙදැදුරු වරුන් දැය වතගොත නොම වටින
කළයුතු බෙහෙත පමණක් හිස රැඳි බැවින
සත්වග සුවය සලසාලන පින්කඳ ඔබය
අනේ මගෙ රටේ අසරණ සත් වගට
ඔබවන් වෙදැදුරන් කෝ සිටියද ගන්නේ කෙලෙස
බුදදස් මහරජුන් ලා ගැන කීවත් අප එකල
නැතිදා කාසි සුව සම්පත ගොස් ඇත පිටට
ප්‍රංශයේ Marne la Valee ප්‍රදේශයේ සිට
කවිය බලන්න
මරලතෝනිය
අඩ අදුරේ අවන්හල කොණ
රතු රෝස මල අතැති යුවතියක්
අඩමතින් නුඹ දොඩන පෙම්බස්
නො ඇසුනත් දනිමි මම
රැව්දෙයි හිස් කබල පුරාවට
මරාදමන්න නුඹ අණ දුන්
අපේ නූපන් කිරිසප්පයාගේ මරහඩ
රැඳෙමි තෙක් අලුයම
රකිමි නුඹ එනතුරා දොරකඩ
රතුම රතු කරමි පිහිතුඩෙන්
වැලන්ටයින් රතු පලස පුරාවට
නූපන් කිරිසප්පයෙකුගේ තවත්
මරලතෝනිය වලක්වන්නට.
කවිය බලන්න
අ ව ස ර
අත්සන් කර නතුකරගත් හැඟුම මෘදු
වස්සානයක් නොව ගිම්හානයකි රුදු
සංතාපයේ ගිලුනින් අත පැලඳි මුදු
රන්මාලයත් ගෙලවට බර වුනිද මදු
අවසර ඇස් පියන් මායිම හැර යන්න
වසරින් වසර ලං වූ සිත තනිවෙන්න
සසරින් සසර සුපුරුදු හැඟුමක් දුන්න
රන්කඳ දියණිවත් මට තියලා යන්න
කවිය බලන්න
ඔබ , මම සහ විශ්වය
මගේ පුංචි පටු ලෝකය ඇතුලේ
විසල් රුකක් වී ඔබ සිටියා.
ඔබ මා අතහැර ඉන් පිට වුණු දා
මහා හිස්කමක් මට දැනුනා
මම මගේ යැයි සිතා සිටි ඔබ
මගේ පමණක් නොවේ දැනුනා
මහා හිස්කම වසා පැතිරුණු
තිත්ත රසයක අපුල දැනුනා
දැනුණු තනිකම මකා ගන්නට
ඔබෙන් හිස් වුනු මගේ ලෝකේ
මගක් හෙව්වත් හමුවුණේ මට
මම ම පමණයි හුදකලාවේ
මාව පන්නා දැමූ පසු ඉන්
මම ද නැති මේ සිරුරේ ගුලිවී
අනන්ත වූ මේ මහා විශ්වය ම
කැටිවී ඇති බව දැනගත්තා
කවිය බලන්න
වෙසක් බලන්නට පින් පිරුවා නම්......
වෙසක් බලන්නට පින් පිරුවා නම්
ලුම්බිණියේ සල් මල් උයනේ
බෝපත් අතරින් නැග එන පුන් සද
ඉසිපතනේ බණ අහන වෙලේ .
සෙත් පිරිතක් වී ඇසෙනා බණපද
කෙලෙස් තවා සිත එළිය කෙරේ.
කරුණා ගුණ පිරි බුදුරුව අබියස
හැම දන සිත මෙත් සිසිල පිරේ
රැලි සුළගේ පාකර හැඩ නංවන
වෙසක් කුඩු පන්සල හෙවනේ
දිලෙනා පහනේ සැලෙනා අසිරිය
බොදුසිත වෙසගින් එළිය කෙරේ.
කවිය බලන්න
බුදුරදුන්ගේ සිව්වන ලංකාගමනය.
“...ආනන්ද! කිමද මේ අරුමය
හංදියක් හංදියක් ගානේ බෝ රුක්
ලයිට් කොඩිවැල් වටේ එල්ලෙන
මගෙ පිළිම ඒ අතර හිඳුවන
සෙත් පිරිත් ඇසෙනා දොරින් දොර
නාලිකාවල ඇසෙන මගෙ බණ
භාවනා පංති බෝධි පූජා
මගේ කාලයේවත් නොතිබුනු
ආනන්ද! කිමද මේ අරුමය
මෙබඳු දේශයක් වේද තුන් ලොව
පිරිනිවන් පෑමට පෙරදි වුව
නොදුටුවෙමි දිවැසින්වත් මෙවන් රට
එසේ නැතහොත්..
ගෙවෙන්නත් පෙර භද්‍ර කල්පය
තවත් බුදු කෙනෙකුන් පහළ විද...”
“...නැත..නැත..හිමියනි !
මේ අරුම දේශයකි
සද්ධර්ම ද්වීපයැයි නම් ලද
දෙදහස් වසරකට පෙර තැනු
පෙති පිළිම වටදා ගෙවල්
සඳකඩ පහන් ගල් කණු
තවම වැජඹෙන දේශයකි මෙය
හොර මැර දූෂණ අපරාධ කිසිත් නැති
ඔබ දෙසූ අරි අටඟි මඟම නිති පිළිපදින
උපතින්ම බොදුනුවන් වූ සුදනුන් වෙසෙන
ව්‍යවස්ථාවෙනුත් බුදු දහම සුරැකුනු...”
කවිය බලන්න
එළිය හිත් ඇති මිනිස්සු
හීන් පොද වැහි ලකුණු දැක්කම අතින් අල්ලා හිනැස්සූ
ජීවිතේ දුර මනින මොහොතේ හිතට දහිරිය උපැද්දු
ආදරේ විතරක්ම දීලා යළිත් කිසිවක් නො ඉල්ලූ
අදත් ඉන්නවා අනුන් රකිනා එළිය ඇස් ඇති මිනිස්සු
තමන් පිච්චුණු නමුදු ගිනි වැද අනුන් වෙත ගිනි නොදුන්නු
ගිලිහෙනා හිත සසල මොහොතත් දෑස් දල්වා නැවැත්තූ
නගින මහා මෙරු කන්ද මුදුනේ ඉඳන් පහලට දිවැස්ලු
අදත් ඉන්නවා අනුන් ඉහළට ගත්තු බෝසත් මිනිස්සු
යන්නේ කොයිබද ඉන්නේ මොකටද කාගෙවත් හිත නොරිද්දූ
ආල පෙම්වත් පුරා දහිරිය බෙදා සොම්නස ඉපැද්දූ
මදක් නැවතී තමන් හිත ගැන නිතර වීමසූ හදැත්තු
අදත් ඉන්නවා මිනිස් ගුණ පිරි එළිය හිත් ඇති මිනිස්සු
කවිය බලන්න
කළු-සුදු
බඹරෙකු සේ පියඹා ඇවිදින්
රොන් බී උන් සිත් රිසිසේ
වින්දා පහස තලමින් මල් පෙති
මල ගැන කිසිදා නෑ සිතුවේ
රොන් බී උන් මත් වුණමුත්
වින්දේ තම දිවි සිතුසේ
කඳුළුත් නෑ ඈ හට අඬන්නට
රිදුමන් මුසුවෙයි හෙළනා සුසුමේ...
විඳිනට ආවත් මල් පැණිවල රස
කිසිදා නෑ පෙති අග තැලුවේ
රොන් බී මල හැරදා ගිය ද
පිවිතුරු බව සැමදා රැඳුණේ
වෙන්නට හැකිනම් සමනලයෙකු
දහසක් බඹර රැඟුමන් අතරේ
රැකෙමින් සැමදා නොමැරී ඒ මල
හිනැහෙයි මිහිකත් ළය තුරුළේ...!
කවිය බලන්න
තක්සලාවේ දී කෙටූ විදිල්ල
දිවුරලා ඔබට මෙමා කියන
නොකී කතාව යි
සත්තට ම එදා මං ආවේ
ශිල්ප සොයා මැයි
ඒ වුනාට මගේ හිත පුරාම
උන්නේ නුඹ මැයි
නෙත් කොනින් බලා
හී සර විද
හිත් පතුල සිදුරු කර
මගේ හිත පුරාන රෑ පුරාම
නුඹ දුන්න වේදනා බෝ මැයි
උන්න ගමන් මට නොකියා
නුඹ නොපෙනී ගියේ ඇයි
නුඹ දන්නවාද එදායින් පසු
මට කුමක් වුණාදැයි
මම හුඟක් හිතලා හිතා ගත්ත
මට කුමක් වුණත්
නුඹට කමක් නැතැයි
නුඹ කතා කළේ මාත් එක්ක
ඇස් කොනින් ම පමණයි
ඒ ඩිංගට මගේ හිතේ
මං නුඹ මෙහෙසිය කලා ට
මං හුඟක් හිතල හිතා ගත්තා
නුඹ වග කිය යුතු නැතැයි
මම හුඟක් හිතලා හිත හදා ගත්තා
ලෝකයේ හැටි එහෙමැයි
ඒ වුනත් තාම ඉඳ හිට ලා
නුඹ මගේ හිතට ගොඩ වන්නේ ඇයි
07-09-2021
සිතින් පමණක් පෙම් කළ ඇය
තවමත් ඉඳ හිට හිතට ගොඩ වන
අරුමය කුමක් ද ?
කවිය බලන්න
සඳක මහිම
අවපස අඳුරට ඉඩ දී
ගලන කැළුම් හෙමින් නිවා
අමාවකට සුයාමයේ
සඳ සැතපෙනවා,
අහස් ගඟේ සුනිල දියෙන්
පැන් සනහා රෑ රැජිනිය
දුරින් ඉඳන් කලා මවා
කිරණ බෙදනවා,
තරු මල් නිල් අහස පුරා
පුර පෝයට රටා වියා
රනින් පෙරූ සඳ වතුරින්
ලොව නහවනවා,
කුමුදු කුසුම් රෑ කුමාරි
ඇයට පෙමින් පිපි කඩුපුල්
නිසායමේ තරිඳු පුදට
සුවඳ සලනවා,
තරිදු වතින් විහිදි කැළුම්
ඔය උවනෙත් දුටිමි කලින්
කවුලුව හැර දොරට එන්න
යළි සසඳන්නම්,
කවිය බලන්න
පන්තියේ කෙලවර පේලියේ
බලන් ඉඳලා,... ඉඳලා
ආව බස් එකට
සෙනඟ අතරින් තෙරපි තෙරපි
එළවලු මල්ලයි වට්ටක්කා ගෙඩියයි
උස්සාගෙන නැග ගත්තේ නැතෑ,..
නැග්ගඋනා,.......
පිටු පසින් ආ,......
තල්ලුවක් එක්ක
සුසිලගෙ කටින් එකයි සිනාව,....
හ්ම්,......
හෙල්ලෙන්නවත් බැහැ
ඒ තරමට තද බදය
තෙරපුම් මැද්දෙ
යාන්තමින් අල්ලාගෙන
හිටියේ අසුනක කොනකින්
සුසිල,.....සුසිල,......
ඉදිරි පෙල අසුනේ යුවතියක්
හැරී බලනවා මගෙ දිහෑ
දෙවියනේ,......
ඒ හඬ,....සිනාව,....
O/L පන්තියෙ අන්තිම පේලියේ
සිටිය පෙරලිකාර කෙල්ලො
රැලක්,.......
මෙ ඉන් එකියක් නේද,.....
ලස්සනට සාරිය ඇඳල
තොල් දෙකත් පාට කරල,....
හොඳට හෝ නරකට
ලැබුනා ඉඩ ටිකක් ඈ ලඟින්
මම දැන් නැටුම් ටීචර් කෙනෙක්
ඈ කටහඬ අවදිකලා
තරමක උජාරුවෙන්,........
ආ,.....
වට්ටක්කා ගෙඩිය
ඇකයෙන් ගිලිහුණා,......
මම නැගිට වට්ටක්කා ගෙඩියත් අරන්
කඳුළු පිරි දෙනෙතින,.....
සිනාව මැදින්
මෙහා හෝල්ට් එකෙන් බැස්සේ
හිතලම නෙම,.....
ආදි මිතුරියන් සාදයකදී
සුසිල සිනා මැදින්,.....
කතාව රසකර කිව්වත්
පන්තියේ දක්ෂම සිසුවිය
ඇයයි,......
ක්‍රීඩා පිටියේ කැපී පෙනූනෙත්
ඇයයි,.......
O/L හමාර කළ ඇය
බෝඩිමෙන් ගෙදර යද්දී
අපි කවුරුත් හමුවේ කඳුළු සලමින්
සමුගත්තේ ලබන වසරේ,...
හමුවන බලාපොරොත්තුවෙන්,...
අලුත් වසරේ අලුත් පන්තියේ
කවුරුත් වගෙ හිටියත්
සුසිලගෙ සිනහවත් නැහැ
සුසිලත් නැහැ,.......
මුළු පන්තියම පාඵයි
ප්‍රතිඵල පැමිණි දිනයේ,...
සුසිලාගෙ ප්‍රතිඵල ඉහලින්ම
හ්ම් ......!
ඒත් කෝ,......සුසිලා,.....
නිවුස් එකක,........
ආ,........
අපි හැමෝගෙම දෑස්
කඳුළුලෙන් පිරැනා
දෙමාපියන්ගේ යෝජනාවට,.......
පවුලේ එකම දරුවා වීම
ඇගේ අභාග්‍යයකි,.......
අද ඈ කනවැන්දුම් කතක්
එහෙත්,........
ඒ සිනාසෙන හඬ
එදාටත් වඩා අද
කන්කලු යැයි සිතුවෙමි
19/4/2023
කවිය බලන්න
අවබෝධයෙන් මහළුමඩමක් බුක් කලෙමි.
මාලිගාව
බිල්ඩිමක් විතරයි
දළදාව
දාතු පිරිනිවන්පාන දවසට
වඩුකුරුළු කූඩුව
ගෘහනිර්මාණයක් විතරයි
පැට්ටු
ඉගිලෙන දාට
ඉදල
පුරාවස්තුවක් විතරයි
කොස් ගහ
කපපු දාට
මං
පදාර්ථයක් විතරයි
ළමයි
ලොකුවුන දාට...
කවිය බලන්න
රහස
එකම මග අප ගමන් කළ බස් රියෙන්
අතර මග නුඹ ලලිත ගමනින් බැස ගිය පසු
එතෙක් මා නුඹට නොකියූ කතා
සිතින් කොඳුරමින් ඉතිරි දුර ගියෙමි
පෙනුමෙන් ද වයසින් ද සම වන
එකම පාසලක උගනින
දුර නොවූ ගම් දෙකක නිවසන
නුඹ නොවෙද කුමරි මට ගැලපෙන
නිමා කර ශිල්ප මේ ශාලිකාවෙන
ලබා සරසවි වරම් ගුරුවර දයාවෙන
සුබ අනාවකට මං පෙහෙලි සදාගෙන
සිතම් නව ලොවක් ගැන නුඹට තනා දෙන
ඉර සඳින් එළි උනා නිල් අහස
පෙම් පහන් දැල්වුණා නුඹ පිණිස
නිශාවෙහි නෙළුම් නොපිපෙන විලස
තිඹිරි ගෙයි මියගියා ඒ රහස
නිල තල ද යාන වාහන ඇති නගරයක
සිරවුණා මිල මුදල් සොයන තරගයක
ගම පැමිණි දා සොයා ආදරයක මතක
පිපී තිබුණා නුඹ ඈත නිල් නිම්නයක
කවිය බලන්න
ඒකට මිහිඳු හිමි
වැඩිය මුත් බුදු සමිඳු
ලක්දිවට තෙවරක්
බැරිවුනා හදන්නට
එකම එක සව්වෙක්
ඒකට මිහිඳු හිමි
වැඩිය එක ගමනින්
නිමකලා සිය ගණනක්
බුදුවරුන්
දිවයිනේ
ගල් කුළුවලින්
26-04-2023
කවිය බලන්න
මහතුන්ට පමණයි .....
ගුනසිංහ පුරේ හන්දියේ
මහතුන්ට පමනයි නංගියේ
දහවලේ දුහුවිලි පංතියේ
රෑට වෙනසක් නෑ මේ හංදියේ
අල ලූනු ලෑල්ලේ අයියත්
ෂූ කඩේ මල්ලී ගුනයත්
මැටිල්ඩා ලෙඩ උනදාටත්
උන් ඔක්කොම එනව දවල්ටත් රෑටත්
පුයර,තට්ටු පිටින් ඉලුවත්
අපුල වහගන්න බෑ මොනව ගෑවත්
සැන්ට් සුවඳේ ඉදන් විට ගඳටත්
නැහැය හුරුයි හුස්ම ගත්තත් නොගත්තත්
ඇවි ඇවිත් යන උන්ටත්
කවදාවත් නේන උන්ටත්
කාසි නැති උන්ටත්
හිනා දෙනවා අවේලාවෙත්
වදෙන් පොරෙන් දවස වින්දත්
දවසේම තැන තැන ලැග්ගත්
ගෙදර කරදර ගොන්නත්
මතක් වෙනවා මොන ඇදට නැග්ගත්.
කවිය බලන්න
සංසාර චක්කරෙන්
හෙලෝ මගෙ රත්තරං-කෑවාද? බිව්වාද?
ඉන්න බෑ තවත්නම්
හෙටම මං එන්නම්
ඔයා බලලා යන්න
අනේ මං හිටියනම් - ළඟපාත, ආදරෙන්
තේ හදන් බත් උයන්
ඉන්න තැනකට ඇවිත්
කවනවා පොවනවා
දෙපැත්තෙම පෙම් වදන්
හැගුම්බර නෑ නිමක්
කෙරෙන තෙක් කසාදය
පසුද, තව දෙවසරක්
උතුරාවි ආදරේ - පෙම් ගීත ගයමින්
දෙන්න තුන් දෙනා වී
පිපෙනවා මල් හතක්
ටික කලක් ගතවෙනා - ජීවිතේ එලෙසමා
බොමුද අපි තේ එකක්
ළමයටත් තිබහ ඇති
ඹ්නනං තේ එකක්
හදාගෙන බොන්නකෝ
මට හරිම මහන්සියි
නිවපු උණු වතුර ඇති -ප්ලාස්ටික් ජොග්ගුවේ
ළමයටත් කිරි එකක් -හදල දුන්නොත් හොදයි
මව්පියන් වී මෙදා
ජීවිතේ විඳිනවා-ඇතැම්විට විඳවනා
ඉදල හිට කතා බස් පෙම් වදන් ගොළුවෙලා
සිනා පිරි මුව කමල-පරවෙලා විඩාවෙන්
ගෙදර කුලියත් මෙවර
වැඩිවෙලා තියෙනවා
ලයිට් බිල් වතුර බිල්
සේරමත් එක්වෙලා
ගේ කෑල්ලක් හදා
ගෙන ඉන්න යැයි සිතා
බැංකුවල ඇවිදිමින්
ණය ගන්න හදනවා
සති අන්ත නිවාඩුව
දුරකථන මුවාවෙන්
එහෙ මෙහේ පාවෙවී
දවස් දෙක ගෙවෙනවා
සෙල්ලමක් කරන්නට
කවුරුවත් නැති නිසා
පොඩි එකා තනිවෙලා
වීඩියෝ බලනවා
අනේ මේ දරුවාට
ඇස් ලෙඩක්වත් හැදෙයි
කිය කියා මව්පියෝ
දරුවටම බනිනවා
දරුවො ඇත ලොකුවෙලා
පාසලක් හොයනවා
දරුවාගෙ ඉගෙනීම
දෙමව්පියො කරනවා
දරුව උස් මහත් වී
පරස්තා හොය හොයා
රස්සාවකුත් සොයා
නිදහස්ම කරනවා
නිදහසක් කෝ අනේ
දරුමල්ලො එක්කලා
මේ ගොල්ලො උස් මහත් වෙනකනුයි මේ වදේ
කවද හෝ අපිට යළි නිදහසක් ලැබෙනවා
සිතුවාට නෑ එයත් පෙනෙන මානයකවත්
දරු මුණුබුරන් එක්ක
ජීවිතේ ගෙවනවා
නෝන ඉඳහිටල දැන්
පන්සලට ඇදෙනවා
එකම මන්තරෙ මෙලෙස
හැමදාම ජපවෙනා
සංසාර චක්කරේ
කොටසකුත් ගෙවෙනවා
කවිය බලන්න
ගොන් පොර...!
ජනප්‍රිය ක්‍රීඩාවකි 'ගොන් පොර'
සමහර රටවල් වල...
මන පිනවා ගන්න සිතා ඒ
සතුනට වද දෙන කල...
පණ යනවා දැක දැක සතුටින්
ඉපිලෙන මිනිසුන් තුල...
මොන විදිහක සිත් ඇතිදෝ
හිතමින් ලියනෙමි පැදි පෙල...
අහර නොදී සිර කර තබනා
හැඩි දැඩි ගොනුන් මෙලෙස...
පහර දීම් මැද හුරුකරවයි
සටනට නොකර අලස...
නහර පුරා දිවයන්නේ කුරිරු
තරහවයිනෙ එලෙස...
දහර-අමා, නොදත් නිසා නිරයෙන්
ගැලවෙයිද කෙලෙස...
රතු රෙද්දක් වනමින් ගොනු
හා සටනට එලැඹෙනවා...
සතුරා සේ සලකා පිටියේ
එහෙ මෙහෙ දිවයනවා...
සිතු සේ එසතා දුව දුව හරි
වෙහෙසට පත්වෙනවා...
උතුරා යන තරහින් සමහර
විට ඌ මියයනවා...
විටකදි සටනට එළැඹෙන
මිනිසා හට වරදිනවා...
හට ගන්නා බිය හින්දා
බිම වැටිලා පරදිනවා...
"තට දෙන්නම් දඬුවම" සිතමින්
අං දෙක හසුරනවා...
පිට පිට අණිමින් මිනිසව මරණය
වෙත ගෙනයනවා...
මෙහි පෙනෙනා සේයාරුව
කියයි පුදුම දෙයක් අපට...
සිහිනෙන් වත් නොදුටු යමක්
සිදුවී ඇත දිනෙක යසට...
මිහි මත ඇද වැටෙනා මිනිසා
වෙත යන ගොනුද, දුකට ..,
පිහිට වන්න සිතා කෙමෙන්,
ලංවනවා පෙනෙයි සැමට...
"ඇයි මේ තරමට ගොන් වැඩ
කරන්නෙ මන උස් නුඹලා...
වෛවාරණ ඇඳුමින් සැරසී
අප හට දුක් දෙවලා...
කොයි වල යන්නද මරණින්
පසු සිතුවද, මා මරලා?..."
මෙයින් පෙනෙන්නේ එලෙසට
ඇසුවද ගොනු හිස සලලා..!
කවිය බලන්න
මං ඔබව ඇන්දා
උසාවිය ඇඳ සුදු කොලය මැද
වටේටම කළු කෝට් ඇන්දා
කෙළවරක් ඔබෙ රුවට වෙන් කර
කඩවසම් බව ඊට දුන්නා
ලැබුන හන්දා දික්කසාදය
සහතිකය ඔබෙ අතක ඇන්දා
දන්න හින්දා සතුටු වන වග
හිනාවක් ඔබෙ මුව පැළැන්දා
දින්න හින්දා ඈ ඔබේ හිත
ඇයව ඔබ අසලින්ම ඇන්දා
අහිමි හන්දා අදින් පසු මට
කෙළවරක තනි මාව ඇන්දා
බැරිම හන්දා වාවන්නට
හදවතක දුක ඇහෙන් පැන්නා
අඬ අඬා මඟ යන්නෙ කොහොමද
දෑස තෙමනට වැස්ස ඇන්දා
උසාවිය අඩි පොළවෙ ගහ ගහ
අනාචාරිය මමය කිව්වා
ඒක හින්දම කවුද මිනිහෙක්
කුඩය මට ඉහළනවා ඇන්දා
කවිය බලන්න
-- වේවා නව අවුරුදු ----
රැසේ එම මීන ඉඳන් දිනිඳාව
ඇවිල්ලලු මේෂෙ සොයා ගෙන පාර
අදින් ඇරඹෙන්නෙ අලුත් වසරක්ය
පතන්නෙමි මේම කිරිත් ඉතිරෙන්න
කැවුම් පිස ගන්න දමාලම කොණ්ඩෙ
හැමෝටම බෑලු ඇතත් කට සද්ද
තෙලෙන් බැද ගත්තු කොකිස් හෙම කන්න
හොරෙන් පුළුවන්ද බලන්නට ඕනෙ
දමන්නට පංච ගහන්නට එල්ලෙ
රබන් හඬවන්න කලක් ඇවිදිල්ල
අපේ මුතු මිත්තො ඉගැන්නුව සේම
නැකත් ලැබුවාම බතක් පිස ගම්මු
කුරුට්ටනි ඔන්න දමන්න රතිඤ්ඤ
යවන්නට ගුණ්ඩු හැකියි මෙම කාලෙ
හැබැයි ඉවසීම නැතොත් හෙම ඔන්න
දෙනෙත් නැති වෙන්න වුණත් හැකි වෙයිලු
බනිස් හෙම කන්න ටොපිත් අහුලන්න
බැලුම් පුපුරන්න සිඟිත්තනි එන්න
එහා ගම සේම මෙහා ගම එක්ව
ගසයි පොර පොල්ද බලන්නට ආස
තෙලුත් හිස ගාමු බෙහෙත් හෙම දාපු
එයින් හැකි වේවි නිරෝගිව ඉන්න
බුලත් අත දීල කමා කර ගම්මු
දෙමව්පියො සේම වයස්ගත ඈයො
(මෞක්තිකදාමන් විරිත)
෴දම්සිරි෴ 14 04 2023
කවිය බලන්න
බලහත්කාරයෙන් ආ අවුරුදු
ඇසෙන නෑසුන
ලෙසට සිටිනා
කොවුල් අමිහිරි ගීත සද්දේ
රතුද දුඹුරුද
කියා නොපෙනෙන
අකමැතිම මල
පිපී අත්තේ
හොරෙන් රිංගන
කැවිලි දුගඳට
පිරී යන නිල මැස්සො මැද්දේ
සුබ පැතුම්
එක පිටට හිර වී
දුරකතනයේ වයර්
අස්සේ
(තම දරුවන් කිසි කෙනෙකු ලග නැති එමෙන්ම තම බිරිද ද මිය ගිය තාත්තා කෙනෙකුට අවුරුද්ද කරදරයක් බව දැනෙන සිතුවිල්ලකි . සුපැතුම් කොතරම් දුරකතනයක් දිගේ ආවද ඒවායේ කිසිම වටිනාකමක් ඔහුට නොමැති බව )
කවිය බලන්න
මදැයි ගියා අවුරුද්දට ගමේ
අවුරුද්දට ගම ඇවිදින් පොඩි නෑනා සොයා යද්දි
අහක බලන් යනව දැකලා හෝස් ගාලා පත්තු වෙද්දි
පපුවෙ ගින්නෙ රත් කරගෙන රබන් ගහනවා
ඩෙනිම් අඳින උඹට ගෙනා චීත්තෙ තිබු රතු මල් ටික
එරබදු ගස් යට ඇතිරිල පෑගිලා යනවා
කලින් සැරේ දුන් හදවත කැලේ තිබිල අහුලාගෙන
පුංචි පහේ කොළු රෑනක් ටකර ගහනවා
අත් පටලා පැතූව පැතුම් පත්තු වෙද්දි මහා හඬින්
ඩෝං පටොං ගගා ඒවා පුපුරා යනවා
එදා නුඹේ ආල වදන් ග්‍රීස් ගහේ අතුල්ලලා
කොඩිය ගන්න බැරුව කොල්ලො ලිස්සා යනවා
නුඹත් එක්ක දිවි ගෙවන්න තිබු ආශා අඹරාගෙන
කජු අත්තක දිගට දිගේ බැඳ ඔන්චිල්ලා
ගමේ කෙල්ලො මාරු වෙවී ඒවා පදිනවා
නිවාඩුවට ආව කොහා ගමේ කපුටා පරදාගෙන
උඹෙ හදවත උදුරාගෙන හූ නද දෙනවා
හිතේ තිබුණ දුක ශෝකය දාලා අළුත් මුට්ටියකට
ලිප තිබ්බා සාලෙ මැද්දෙ
මෙන්න වදේ කිරිපාටට උතුරල යනවා
උදේ හවා රෑ තිස්සේ හිත හිත නැහැ වධ විඳින්න
සැහැල්ලු සිතිවිලි පොදි පොදි
අහස්කූරු වල නැගලා මල් වපුරනවා
සිය වසරක ආයු වඩා කණ දෙපසින් බේරෙන තෙල්
මුං කැවුමෙන් පිහදාගෙන
සුබ නව වසරක් ගෙවන්න ආපහු යනවා
කවිය බලන්න
බර වැඩී මගෙ මැණික
සදලු තල හීනයක් නෙක වර්ණ රූ ඇතිරූ
ඇහිදාර හරි තෙතයි බොර පාට එහි තැවරූ
මලානික සිතිවිල්ල මගෙ නමට ඇය පැවරූ
දරාගෙන ඉන්න හැක නොබිඳාම බැඳි පවුරූ
පරිස්සමින් ඉන්නකොට නුඹ වුනත් කූඩුවේ
විචාරක සංසිද්දි , සිව්දෙසින් හාදවේ
බොල් හඬට හිනාවී ආව මං තීරූවේ
කඩුළු වැට බිඳිණු නැහැ; අපි ඉදිමු පාඩුවේ
කළුවරක් හුරු පුරුදු ඔය පුංචි ඇස් වලට
ආලෝකෙ බර වැඩී මගෙ මැණික ඒ කමට
නසාගෙන තිබු අඳුර ගෙට එළිය එන කලට
සඳෙහි ඇති ආවාට නොපෙනේවා මගෙ දුවට
කවිය බලන්න
තුන් හිතම නිවාලූ නුඹ අසම්මතලූ...
තුන් හිතම නිවාලූ
නුඹ අසම්මතලූ..
විඩාපත් දෑස් යුග
හැරී වත් නොබැලූ
ගිලන් වූ දින වලදි
බඩු පොලවෙ ගහපූ
දන ගගා බඩ ගගා
උයපු බත් ගිලපූ
කට ඇරලා කිව්වේම
තිරිසන්ලු ගැහැණු....
හිත පුරා දුක් සුසුම්
නෙත් පුරා කියවූ
දකින දසුනක පවා
හිත විඩා දුරලූ
හිස පුරා අත යවා
නෙත් කඳුළු පිසලූ
හිතක් ළඟ නැවතුනා
වරද මාගෙමලූ.......
උරහිසට බර කරන්
මගෙ කතා අහපූ
අයිතියක් නැති තැනක්
ප්‍රේමයක් වැපිරූ
නළල් තල රිද්දවා
තැබූ මුදු හාදූ
තුන් හිතම නිවාලූ
නුඹ අසම්මතලූ.......
2023-04-28
කවිය බලන්න
~පෙම් කවි ලියන්නෙක් නොවේ~
Translation of the poem ‘Not a love poet’ by Rudy Francisco
පෙම් කවි ලියන්නෙක් නොවේ මා, අවංකවම
එහෙත්
හෙට උදෑසනම අවදිව
ප්‍රේමය ගැන ලියන්නට සිතුනොතින්
මගේ පළමු කව
ඔබ ගැන වනු ඇත
පෙම් කවි ලියන්නෙක් නොවේ මා
එහෙත් ලියමි මම
ඔබේ වත දකින’යුරු හැම වළාවකම
ඔබේ පිළිබිඹුව, හැම කවුළුවකම
ලියා ඇත මා දස දහසක් කවි
කෙසේ හෝ
මිදී ඒ අකුරු අතරින්, පිටු මතින්
ඔබ මා ළඟට එනු ඇතැයි සිතමින්
පෙම් කවි ලියන්නෙක් වී නම්
ලියමි මම
ඔබ වටා ඇති හැම දේම අසුන්දර විට
සුන්දර ව පැවතීමට
ඔබ තුළ ඇති නිර්භීතකම ගැන
ඔබ ඇසිපිය ලන හැම මොහොතකම
ඔබේ ඇසි පිය, වෙණ තත් වී
මහද සංධ්වනි මවන’යුරු ගැන
මෙය අමුතු ඉල්ලීමක් බව දනිමි
එහෙත් ඉඳහිට
දෙවියන්ගෙන් යදිමි
ඔබ නැවත මගේ ඉළ ඇටයක් කරන ලෙස
එවිට ඔබ නොමැතිව
එක් දිනක් වත් ගත නොවෙනු ඇත.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Rudy Francisco ඇමෙරිකාවේ කැලිෆෝනියා පෙදෙසේ වෙසෙන තරුණ නිර්මාණකරුවෙකි. කාව්‍ය නිර්මාණ පොත් හයක් ලියා ඇති ඔහු Poetry Slams වෙනුවෙන් සම්මාන රැසක් දිනා ඇත. ජාතිවාදය, පන්තිභේදය මෙන්ම ආදරය සහ ආත්ම කථනය වැනි තේමා ඔහුගේ කවි වල සුලභව දකිනු හැක
Poet’s photo and bio- https://www.iamrudyfrancisco.com/
Photo- Pixabay
කවිය බලන්න
වීදි දරුවෝ..
පෙරවදනක් හෝ පසු වදනක් නැති
වීදී කතා වල ප්‍රේමය සොයා
ඉනූ සළු පිළි වල මොණර කොල ඇති
හිස් වූ උප්පැන්නෙ ඉරි පුරා...
පහන් කණු ලඟ දිලෙනා එළි වල
රාග කෙඳිරිලි හඬ වසා
වැදුම් ගෙවල් හඬනවා ඇති තව
ලයට කිරක් ඉනුවද අසා....
සඳත් තරුවත් දුර වැඩි බව නොදත්
ජීවිත වල හිස් පිටු මකා
කිරි පැණි ඉල්ලනවා ඇති තාම අදත්
හසරක් නොදන්නා බිළිදු සිනා.....
කවිය බලන්න
මහගමගේ 'කැටපත'
"මගේ ඇසේ කළු ඉංගිරියාවේ
ඔබේ මුහුණ සිතුවම්ව තිබේ"
මගේ ඇසින් ඔබ හදින් මවන ලද
ඔබේ කවක් රස හදින් බලන මට
ඔබේ මුහුණ ඒ මගින් පෙනේ
කවිය බලන්න
මියුරු වදන් අත්හල පසු
රිදේ දෙපා
කකියවමින්
පයේ ඇඟිලි
හැපී වදන්
ඇනී අකුරු
හලා දමා
ඇයි මේ ලෙස
වියැකෙන්නට
පෑගි පෑගි
මියුරු වදන්
කදිම රුවැ'ති?
මේ බලන්න
මෙන්න මෙතන
පුපුරු ගහන
පණැ'ති අකුරු
මේ දැන් විසිකරල දමපු!
අර බලන්න
යන හැමෝම
මූණ අමුතු
ඇස් ලොඩි වුණු
මුව පෑහුණු!
හනි හනිකට
ඒ පැත්තට
මේ පැත්තට
යන කාගෙත්
රුව පමණයි
කූරු කූරු !
ඒත් මෙන්න
රළු පොළොවෙන්
පෑගි පෑගි
ඉස්මතුවෙයි
ගසා බසා
හලා දැමූ
වදන් අතර
කුරිරු විහිළු !
2023 අප්‍රේල් 18
කවිය බලන්න
ආරාධනා!
අඩක් කුඹුකොට නිමල දෑසින්
හිස නොසොල්වා වැදී දැහැනක
බවුන් වඩනෙ ද පෙරුම්පිරුමට
සාර අසංගික කල්ප ගණනක්...
අනේ බුදුහිමි සානුකම්පිත
කුරාකුහුඹුවෙකුටත් පිතු සිත
පුබුදුවා ඔබෙ දයා යුග නෙත
දකිනු මැන යළි ලොවේ සත් වත...
කෙළෙහි ගුණ-දම් කුමට කියමි ද
මිනිස් ගුණ-දම් බැමි ලිහී අද
මග-තොටක,ගම-නගරයක වෙ ද
කොහේ වුව අමිනිස්කමයි රද...
දූ-පුතුන් දුරු දිගුව ගමනක
මා-පියන් උන් පසුපසින් නැත
අයාලේ යන දිවි හබල නැති
ඔරුව වාගෙයි දිය පහර මැද...
පසක් කරවනු දිවි හරයෙ හැඩ
සිතක වෙ ද තරමට සැකයි වැඩ
මංමුළා වී ඇතැයි දිවි අද - කඩ
තුරාවෙන් වසාගෙන ඉඩ...
පියා-දියණිය නොහදුනන්නේ
මව-පුතුගෙ කරදර වසන්නේ
අසල්වැසි ප්‍රේමය පතන්නේ
පියා-මව අන් සැප සොයන්නේ...
අහෝ! කෝ කොහි සිල්ප-පද-පහ
මහෝගය වෙ ද අරි-අටග-මග
ඔබ බුදුන් පුත් දෙසති බුදුබණ
අසන කිසිවකු ඇති ද මිහිපිට...
වෙසග එළැඹෙන වෙසක් මාසේ
වෙසක් මල් සුපිපී මියෙන්නේ
සමාධිය හැර යළිත් බුදු වනු
මැනවි හිමියනි උතුම් මෙදිනේ!!!
***
කවිය බලන්න
කුරුල්ලා උයනෙන් නික්මුණි.
තුරු ලතා පවා සොවිනී
ගොළු වූ රැයෙක මරණී
ගෙන මියුරු ගීයක් තුඩිනී
කුරුලු කොළුවෙක් පැමිණී
සත් ස්වර ම ගැයිය හැකි නොදනී
ළදරු විහඟුන් පුදුම කරවමිනී
මිහිරි තනු අතිරමණී
උගැන්වී කොළුවා පෙමිනී
ඉරි තැළි උගුරු මී තවරමිනී
බිය සැක අතැර වැරෙනී
මිනිස් සත් සමුදුර ම එක් හඬිනී
ගැයී මුවදොර සිඳු ගොස ද පරදමිනී
නඳුන් උයන ම නොමැවුණි
නමුත් නපුරන් දොරින් නික්මුණි
ඇත ද ඉතිරිව නියඟලා කුරුමිණි
එළවනා යතුර ද ඔබ සතු කුරුලු දරුවනි
පියැඹුම නතර කරමිනි
උයනක නිදා ගනිමිනි
තුටු විය නොහැකි බැව් කියමිනි
කුරුල්ලා උයනෙන් නික්මුණි
නික්මුණ අයුර සොයමිනි
රොක්වෙනු කිම ද මිනිසුනි
කඳු හෙල් නිම්න ළඳු දෙණි
පුරා පැතිරූ පෙමට දෙමු මිණි
නිලඹර කළෙන් තරණී
සැරිසර නොවී මරණී
තරුවක්වතර දුර ඈත මන්දාකිණී
අපටත් එවයි කිරණී
--------------------------------------------------------------
ආදරේ අරගලයේ පළමු ගිනි පුපුර දැල්වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සොහොයුරා පොළොව මත තම වැඩ කොටස නිම කර 2023-04-18 දින මෙලොවින් සමුගත්තේ ය.
කවිය බලන්න
වසන්ත නිම්නය
වසත් සානුවක වෙළී සියොලග
සීත සුළගට පහස නිවමින්
මනා සිත් කැන් විසිරියාවී
දෙසිත් ආදර පහස විදිමින්
ලතාවක් සේ හමාගන ආ
සුළන් රැල්ලක සුවය විදිමින්
නුඹේ ලස්සන මුවින් අයදිමි
සතුටු කදුළක දෙතොල තියමින්
හරිත පැහැයට වඩා රසවත්
නුඹේ රෑ සිරි දෑසේ හොවමින්
තවත් මොහොතක සුවය ගෙනෙමී
ඇසට ඇස රැදෙනා එකම දුරකින්
දෙකන්දක් මැද පාලු නිම්නෙක
නුඹේ පහසේ තුරුළ විදිමින්
වළා රොදකට මුවා වෙමු අපි
ප්‍රේමයට සීමා නැති බවින්...
කවිය බලන්න
කෙටි කවි සතරක්
උදෑසනක්
----------------
වෙහෙස පත්
මුහුණු ඇති
රොබෝ මිනිසුන්
උදෑසනම
බස් නැවතුමෙහි
කඳු සිරස
----------------
පැරද යයි
මොහොතකින් මිහිදුම
යළි හිනැහෙයි
කඳු සිරස
සිහින
-----------
රෑ දුටු සිහින
දිවා කල ද
මා සමඟ ම
සුබ අසුබ
----------------
සුබ මොහොතින්
එක් වූ ඇය
පලා ගොසිනි
රාහු කාලයේ දී
හමු වූ ඇය
තවම මා සමඟ
2023/04/25
කවිය බලන්න
DREAMS STILL DREAMS
Staring at the blue sky above palm trees green,
Blurring the eyes with visions unseen,
Carpet of magnolia covering the scene,
Heads of daffodils in rhythm, full swing!
Snow drops waving saying bye to spring.
Wistera in violet trailing along the brim.
No signs of waking from this eternal dream!
Even the blast of thunder just a whisper so dim.
My World is hovering above Manchester, the dream!
When will I wake up in that land so serene?
To see the little faces in flesh and skin.
Joing the laughter sans the virtual screen.
Let the rays of silver of the VESAK moon.
Reach the sore heart and wipe tears soon,
Full stop to the problems let hopes bloom.
In the heart, enabling flying in POSON moon!
කවිය බලන්න
පතක් ඉතිරිව නැතත්.....
සුරත් ඵල මත
බුලත් පඬුරුද
තබා සිත සපුරා...!
වඳිත් දෙවියන්
නැතත් දෙවොලක
බැතින් රස මදිරා...!
විතක් මධුවිත
පුරත් නෙක දන
සෙනේහය වපුරා..!
වතක් දිලිහෙන
කතක් නොදුටුව
දෙනෙත් නිදි වරලා...!
පතක් ඉතිරිව
නැතත් ගහ මත
සියල් සිරි සපුරා..!
මලින් මල රැඳි
විසල් මාවත
රුවින් යයි උතුරා..!
හිරුගෙ සෙනෙහස
සඳුට පුද කොට
දෙව් විමන සරසා...!
සිසි කැළුම් විඳ
සුවඳ ගන්වයි
"ආදරෙන් සකුරා"..!
2023.04.28
කවිය බලන්න
වෙසක් සඳ
යහ කම් මිනිස් කම් මතුවන වෙසක් සඳ
දන් සිල් භාවනා පැතිරෙන වෙසක් සඳ
සනරාමර සමිඳු සමරන වෙසක් සඳ
ගම රට එළිය වේ වැඩිය ම වෙසක් සඳ
තුරු ලිය මලින් විසිතුරු වෙන වෙසක් සඳ
සිරි පද වැඳ සිඹින පැහැබර වෙසක් සඳ
ලොව්තුරු බුදු බණට ගැලපෙන වෙසක් සඳ
හැම සඳකට ම වැඩියෙන් හොඳ වෙසක් සඳ
සරල ව සැහැල්ලු ව හිනැහෙන වෙසක් සඳ
සහජීවනය හා සාමයෙ වෙසක් සඳ
කවි සිත පුබුදුවන නැළවෙන වෙසක් සඳ
මට ඔබ සිටින තැන නිවනකි වෙසක් සඳ
කවිය බලන්න
මුතු ඇටේ අවුරුද්ද..
දෙවසරක නිහඩයක්
අලුත් අවුරුදු උදාවක්
කලක රුපියල් එකතුවක්
අවුරුදු කා නිමාවක්...
නව වසර කඩපිලේ
මහ සෙනග පෝලිමේ
බඩුමුට්ටු අතගායි
මිල ගැනුම කල්දායි...
කිව් ආර් එන්නතින්
ගමන් හැම පාලනේ
ඔනෑකම් පැවතියත්
නෑ..ගමන් වියලිලා...
බැදුම් තෙල් මිල ගනන්
රොකොට්ටුවෙ ඉහළ ගොස්
කැවිලි හැදි පසෙකලා
කඩ කැවුම් මිලට ගෙන...
නැකත්කරු වර්ණවී
නව වසරෙ ඇදුමෙ හැඩ
වෛවර්ණ ගතකරල
අවුරුද්දේ ඇදුමටත්
තොරන් සිරි ගෙනල්ලා ...
අයි එෆ් නය සතුටු
රතිඤ්ඤා හඩට පසු
නව වසරෙ පත්තුවුනු
රතිඤ්ඤා හඩ ඇසුනි....
අවුරුද්ද හොදට කමු
මිල වුවත් හොඳට බොමු
හෙටක් ගැන නොසිතලා
අද දවසෙ ජොලි කරමු...
අතට හසුවු හැම දෙයක්
විකුනාලා දිවි ගෙවමු
එලබි වස ලැහැස්තිය
නයට කා දිවි ගෙවුම ....
කැලෑ රිලවුන් හැමට
චීන රට ඉල්ලුමක්
නව වසරෙ ඩොලර් කොල
ලබගැනුමෙ මරු වැඩක්...
ඉන්දු සයුරු මුතු ඇටේ
නව වසර නිමාවිය
එහි ජොලිය සුලෙගෙ ගොස්
නැවත දුක් අරගලේ..........
කවිය බලන්න
..'අතකස' ලන්ඩන් කවි පිදුම...
..'අතකස' ලන්ඩන් කවි පිදුම...
අසූ අට වසර පෙර බක්මසදි
අතකස කොළඹ බිහිවි
එහි මතකය පැදි හා සැසදි
ලන්ඩන් කවි කියයි ඒ රස කිමිදි...
සිරිලක හෙල කවි වියලි
සැගවෙන විටක සිව් පැදිවි
ලන්ඩන් කවිය මුල්වි
කල අතකස මෙහෙය පුදදි...
එවක කවි අවි විය
හැම සටන් පෙරමුණ එය විය
මතක අතකස විය
එවන් නිමි කවි අදද ඇවසිය...
විරු කවි ලිවූවෝ
සෙනෙහෙ පැදි ගෙතුම් කරුවෝ
කවියෙන් රට කෙරුවෝ
එදා අතකස කවිය සතුවෝ...
අතකස මතක ගිලිහී
විටදි ඒ ගැන සිත්වී
කල මෙහෙය ලන්ඩන් කිවිදී
වෙත කවි කුසුම් පුදදී...
කවිය බලන්න
ඒත් නුඹ හිත හදනවා...
වරු ගණන් නිදි - නොවිඳ රකිනා
නෙක ගිලන් හිත් අතර මැද්දක
නුඹ ගිලන් උන දිනක තනිවම - නුඹ උන්න හැටි දන්නවා ...
බෙහෙත් වඩියක් අතට දෙන්නට ,
ගිලන් වූ හිත පිරිමදින්නට
මට නොහැකි බව දන්නවා
ඒත් නුඹ හිත හදනවා ...
සොඳුරු හැඩ තල රටා අතරින්
නේකවිද හැඟුමන් විඳින්නට ...
සීත හිරිකඩ වැටෙන යාමේක
නුඹේ සුසුමක එතී යන්නට ..
දෙකම්මුල් පිස - යනෙන හුළඟක
දැනෙන නැහැඹුල් සුව විඳින්නට
මට නොහැකි බව දන්නවා
ඒත් නුඹ හිත හදනවා ...
විඩාබර නෙත සෙනෙහෙ පුරවන්
මගේ රුව - ඈතින් ඇඳෙන තුරු
එදා වාගෙම , අදත් නුඹෙ නෙතු
තාම පෙර මග බලනවා ...
නුඹේ රිදුමන් මට කියන්නට ,
දකින හීනෙක හැඩ මවන්නට
වරු ගනන් නුඹ බලං හිටියත්
මට නොහැකි බව දන්නවා
ඒත් නුඹ හිත හදනවා ...
මගේ හිත්ඉම රිදුනු හැමවර
ලොවට රහසින් ඉකිබිඳින්නට - උන්ට රහසින් ගතු කියන්නට
නුඹේ උරහිස තියෙනවා ...
සිනහමල් දෝතින් වරාගෙන ,
සෝ සුසුම් ගැඹුරෙම තියාගෙන
නමුණුකුල මහ කන්ද තරමට
නුඹත් ලතැවුල් දරනවා ...
ඒත් මයෙ හිත හදනවා ...
කවිය බලන්න
සියපත
වෙරදා ගොහොරු මඩෙනුත් එලියට පැන්නා
පෙරදා ජල දෙබෑකර හිරු බලමින්නා
රත් පැහැ බරින් වත මුකුලිත කරමින්නා
සැරදා තඹරු විල් දිය මත බබලන්නා
නිල් විල් ජලය රතු සහ සුදු වසාගෙන
මල් යායටම බඹරුන් අඬගසාගෙන
මල් පීරමින් එන මද නල උරාගෙන
සිල් බිඳුනිදෝ සියපත දෙස බලාගෙන
පැතූ සෙයකී බුදු පුදසුන මත ඉන්‍ට
බිතු සිතුවම් ද සෙල් කැටයම් සරසන්ට
ගෙතූ නෙළුම් මල් දම් ගෙල සරසන්ට
සිතූ ලෙස නිවන් දොරටුව හැරගන්ට
වියලා ගත් කලට දිව ඔසුවකි රේණු
උයලා කෙමිය, අල රස නහරෙහි පීනූ
බෙදලා නෙළුම් කොලයට බත් සහ මාලූ
දුරලා කුසේ ගිනි හැඬවෙයි රස සීනූ
විකුණා නෙළුම් මල් තම අඹු දරු රකිනා
වෙසෙනා බොහෝ වෙති නෙලුමට පින් දෙමිනා
ලැබෙනා එම පිනම කොතරම් දැයි සිතෙනා
අගනා නිදසුනකි කොයි කාටත් දැනෙනා
පියුම් සතක් මත සිදුහත් කුමරු සොඳ
වැඳුම් ලබා මෙලොවට පා තබන සඳ
ඇළුම් කළත් ලොව දහසක් කුසුම් මැද
නෙළුම් මලයි සැනසුනෙ පා පහස විඳ
පිරිලා සියපතින් රජරට වැව් පොකුණූ
ඔපලා සොබාදම් අසිරිය මන බැඳුනු
මැකිලා නොයයි රුව නෙත සිත මත් කෙරුණූ
මතු දා මෙත් බුදුන් පාමුලටද පිදෙනූ
පිපෙනා හැම මලම පරවී යන සේම
දිනනා සැමට උරුමයකිය මියයාම
දිලෙනා රුසිරු සුවඳැති නෙලුමක් සේම
දැනෙනා ලෙස අගෙයි හොඳ හිත පැතිරීම
කවිය බලන්න
නමදිමි තෙමඟුල
සඳරැස් දහරින් පහන් වැටක් දල්වන්නම්
දෝත පුරා සුදු නෙළුම් වලින් පුරවන්නම්
බුදු අනුරුව නෙක සුවද දුමින් නහවන්නම්
අතැඟිලි බැඳ අපි සිරස නමා නමදින්නම්
පියාණනි බුදු පියාණනි සිරස නමා නමදින්නම් ඔබහට ...
සිරස නමා නමදින්නම්
මෛත්‍රී කරුණා ගුණ මුළු ලොවට කියාදුන්
වෛරෙන් ක්‍රොදෙන් සිත් මැඩලන්න කියාදුන්
සියලු කෙලෙස් මැඩ යන මග එලිය ලබාදුන්
මැදුම් පිළිවෙතේ සැනසුම අපට කියාදුන්
පියාණනි බුදු පියාණනි සිරස නමා නමදින්නම් ඔබහට ...
සිරස නමා නමදින්නම්
සුදුපිරුවට සේ දිලෙන විහාරය පැදකුනුකොට නමදින්නම්
ඔබ බුදුවන්නට පිටදුන් බෝධිය සුවඳ පැනින් නාවන්නම්
බුදු කුටියේ බුදු අනුරුව අභියස දෙදන නමා නමදින්නම්
හද බැතියෙන් බුදු ගුණ සිහිකරමින්, ඔබේ තෙමඟුල සමරන්නම්
පියාණනි බුදු පියාණනි සිරස නම නමදින්නම් ඔබහට ...
සිරස නමා නමදින්නම්
කවිය බලන්න
මල් කතා
මල් ඇහැරිලා රොන් ඉතිරිලා
එක එක මලින් ඇහෙනව
එක එක කතා
කන් යොමු කළා
රස බස් ගුලා
දෙසවන් පිරී ඉතිරී
සුන්දර කතා
ඒ අතර කෙඳිරිලී
මේ ඇහෙන මැසිවිලී
සමනල් රෑන් ඉගිලී
මල් හැර ගියා
බිඟු කැළ ඇවිත් පොරකා
රොන් ගෙන ගියා
මල් මිලින වීලා
පෙති සළු ඉරීලා
ඇතිරිලි එලාලා
බිම වැතිරිලා
තව කල් ගිහිල්ලා
ඵල හට ගනීවී
සියොතුන් ඇවිල්ලා
ගී රස බෙදාවී
මේ තාල හැමදා
මේ ලොව තියේවී
මල් මල් වසන්තේ
ආයෙත් එබේවී!
ඇමරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ
ෆොල්සම් නුවර දී
2023 අප්‍රේල් 7 දා
කවිය බලන්න
කාපුකෙනෙක් දීපල්ලා......
කාපල්ලා බීපල්ලා
කාපුකෙනෙක් දීපල්ලා......
ජයයි අවුරුදු මලුත් පිපිලා කොහෝ
සද්දෙත් ගිගුම්දේ
මකයි දැළිකුණු වහලෙ අස්සෙත්
මකුළු දැල් ටික පිරිද්දේ
තෙලුත් තරඟෙට බුබුලු දමනව කොණ්ඩ
කැවුමත් කැලුම්දේ
නිලක් ලැබිලද කුකුස දළුලයි ණයක
කණුකුණු සවන්දේ
පයෙහි බරවට බෙහෙත් බැන්දේ
පිටිකරට නෙව පලච්චී
රබර් බෝලෙත් දියේ එබුවට
උඩට මතුවෙල පෙනිච්චී
හැළියෙ සිසිලට නටන කකුළුවො
කෙළිති තරඟෙක ඇලිච්චී
රෙද්දෙ හිල් මැද අමුඩෙ ගැහුවට
හෙළුව එළියට පෙනිච්චී
ඇමට ගත්තේ සැමද අපිමය
මිනිසුනේ දැන් සිතාපන්
නගන ජයකෙළි විනම වෙනවා
අළුය ගිනියට බලාපන්
ගෙවන දිනයක පොළිත් එක්කල
දරුත් සින්නයි විඳෝපන්
දතත් මැදගෙන සමර බක්මහ
ලබන පඩියට විරෝපන්
මා සඳහන් නොකරල්ලා.........
ගම්පහ, වතුරුගම
කවිය බලන්න
පෝයට සිල්
කලාවෙන් කලාවට පුරවලා තැටියකට
පුරාහඳ සීරුවට නැගෙනවා නුබ කුසට
කතාවෙන් කතාවට ඇමිණිලා යස රඟට
උපාසක නඩේ හැම ඇදෙනවා තව පවට
අබමිටක් සොය සොයා ගෝතමිය වැළපෙද්දි
අසිපතක් වන වනා ඇඟිලි තුඩු සිඳලද්දි
වහසිබස් දොඩ දොඩා ගල් කුළක් පෙරළද්දි
අත් හුඟක් එසවුනා සාදු නද පිටවෙද්දි
ඇඳ ශ්වේත සළු පටින් දෙතිස් කුණපය වසා
බිඳ දොරටු පළු වලින් ගලද්දී බස් මුසා
ඉඳ හිටක පෝයකට සිල් අරන් මේ ලෙසා
සිඳ දමනු බැහැ සසර හුඟක් බියකරු නිසා
චායාරූපය ; ආරිය බණ්ඩාර සමරකෝන්
කවිය බලන්න
සිදුහතුන ගිය මග යමින..
මින් පෙරද ස්නේහයේ
තරම් මම දැන දැනත්
ජූජකට ඔයා දන්
දුන්නා
සන් කළත් නොඑන්නට
තවත් මයෙ පසු පසින්
මෙදත් නුඹ මා එක්ක
උන්නා
නන් රිදුම් මන් දරා
රාහුලත් ළං කරන්
පින්බරම සුපිපි වත
පෙන්නා
නින්දෙනුත් හිනහෙනා
ඔයා ගැන හිත බරින්
ගිහිගෙයින් මෙමා
නික්මෙන්නා..
සුන් කළෙම් පොරොන්දුව
පෝරු මස්තකේ දුන්
"විඳුම විඳවුම එකට
දෙන්නා"
දන්නවා එන්න බෑ
මවු සෙනේ ළයෙන් හැර
නිවෙන්නට කෙළෙස් කර
පින්නා
කන්තකත් චන්නවත්
පසු ගමන් නොආවට
අනෝමා ගං තෙරින්
පැන්නා
සන්තකේ තිබ්බ
වටිනාම දේ හැරුම ගැන
හිතුව දවසෙදිම මම
දින්නා
කවිය බලන්න
මිග්‍රේන්
සංසාර පුරුද්දට ද
මං ගාව නැවතිලා
මේ.. තරම් වේදනා දිදී
මා ....පෙලන්නේ..
එපා කිව්වත්
ලගට එන්නට
බලෙන් ඇවිදින්
ලගම ඉන්නේ..
ගතම රිදවා
ඉවසුම් නැති
රිදුම් වැස්සක
මා තෙමන්නේ...
අදුරට ගුලි කර
දින දෙක තුන
කිමද මේ ලෙස
සයනයේ හිරකරන්නේ
යන්න ගමනක්
කන්න කෑමක්
ඉඩක් නැතිවුනේ
නුඹ නිසයිනේ
තවත් නම්
නොවී වදයක්
යන්න මා හැර
වැදලා කියන්නේ
කොට්ට කීයක්
මාරු කෙරුවත්
සැනසුමක් නැති හැටි
දෙවියනේ..
හිසරදේ උඹ....
කිමද මේ.
සෙවනැල්ල වාගේ
ළගම ඉන්නේ....
කවිය බලන්න
ආදරේට....
සීතලයි ළිඳ ළඟින් එපා ඇඟ හෝදන්ට
බේසමේ උණු වතුර තියේ නොවැ ඇති වෙන්ට
පානෙ තෙල් මදි වෙයිද තව ටිකක් ඇවිලෙන්ට
රෑ වුණා විගහින්ම යමු ඉතින් බත් කන්ට
පොලොස් ඇඹුලේ ඉතුරු ළිප තිව්වෙ රත් වෙන්ට
කරවලත් ඇබින්දක් බැදගත්ත කර වෙන්ට
සැර මිරිස් සම්බෝලෙ කෙටුවෙ නම් කට දන්ට
හකුරු කැටයක් හපමු දිවට පැණි රස වෙන්ට
හඳ මුදුන් වෙනකොටයි එළිය වැටුණේ යසට
අඹ ගහේ ළපටි දලු රටා අඳිනව හැඩට
ඇල් හුළඟ පාවෙද්දි සීතලයි නොවැ ඇඟට
කණා මැදිරින් වගෙයි දිලිසෙන්නෙ කළුවරට
මහන්සිය අඩුවේවි නිදාගත්තොත් හොඳට
මමත් එන්නම් උදේ යන්න කුඹුරේ වැඩට
මුලු දවස ගත වුණේ වෙල්යායෙ බර වැඩට
තෙල් ගාල පිඹින්නද අතේ කරගැට වලට
කවිය බලන්න
දෙවියන් සෙවීම
එලියක් නොදෙන අදුරකින්
අයැදිමින් තව තවත් සැපතක්
ගොළුවත රකින නිහැඩියාවෙන්ම
අයැදිමින් වෙනම සැපතක්…
රිදුම් දුන්නත් පාරිශූද්ධත්වය
තෙරපමින් රිදුනු සිත් යායම
හෙටත් ගොස් වැද වැටෙන්නේ
නිසොල්මන් දෙවියන් ළගමද..?
කුටිය අදුරැයි දොරගුලුද ලාමය
ලොවට නොපෙනෙන අරැත එය නොමවෙද?
පියා නෙතුයුග විමසපන්
හද පටක පුපුරවා ගලායන සත්‍යය
පැන දුවන්නට වෙර දරයි නොවෙද
නුඹම සෑදු සිරගෙයින් ඔබ්‍බට..?
යන්න දීපන් නිදහසේ
එයම වේයැයි රිසිලෙසේ
සොයාපන් ඒ විමුක්තිය
නුඹ තුලයි වැලලී ගියේ…
කවිය බලන්න
"දැක්කද"
නොකියනා එක කතාවක් වෙයි
එක ම එක කලු කූඹියෙක් ගැන
සීනි බෝතල් හොඳින් දන්නා
ඒත් හිඳිනා වසන් කරගෙන
වැහිල නැති දවසටත් මූඩිය
හිනාවක් නැති මූන අද්දර
ඒත් හැමදාමත් ඇවිත් යන
එක ම එක කලු කූඹියෙක් ගැන
සීනි ඇට කර තියාගෙන යන
දහස් ගානක් කූඹියන් මැද
ෆෝටෝවක් සුදු සීනි ඇටයක
පෙන්නමින් "දැක්කද"යි විමසන
වහන්නට අමතකවෙලා ගිය
සීනි බෝතල හොය හොයා යන
පතුල පෙනෙනා තුරු රැඳී ඉඳ
බිම බලාගෙන පිටවෙලා යන
කවිය බලන්න
රිලව් සහ රිලව්
අත්තෙන් අත්තට පනින රිලව්
පක්ෂෙන් පක්ෂෙට පනින රිලව්
ගොවි බිම් වනසන කැලේ රිලව්
ලක්බිම උගසට තැබූ රිලව්
කැලෑ කපා විකුණන්නේ අපේ රිලව්
කෑම සොයා ගම එන්නේ කැලේ රිලව්
බඩ පුරවා සතුටට පත් මෝඩ රිලව්
විසඳන්නේ කොහොමද මේ පැනේ රිලව්
පුරවාගන්න දුප්පත් ජනයාගෙ කට
වෙහෙසයි ගන්න බඩුවක් දැන් ඇති මිලට
රැකියා පුරස්නය වැඩි වෙයි යස රඟට
රිලවුන් විකුණලා හරි ගොඩ ගනිමු රට
කවිය බලන්න
මගේ රුව ඇඳි සිත්තරා වෙත.......
මගේ රුව ඇඳි සිත්තරා වෙත.......
නිරිඳුන් අණ ලැබ තෙලි තුඩ අබිමුව
නිරුවත් වූයෙමි යට ගිය දවසක
කඳුළු සැලූයෙමි වැවක් පිරෙන්නට
සරණක් නොලැබුණි අපගේ කරුමෙට
ඉපැදුණු දා සිට රැකගත් විළි බිය
මගෙන් උදුරගෙන ලොවටම පෑවට
සිත්තර, මා කිසි අමනාපය නැත
නුඹ නැටුවේ තවෙකකුගේ පදයට
සිත්තර, මා ඇස කඳුළු නොඇන්ඳේ
සිතලාමද නැතිනම් නොදුටිද එය
නුඹෙත් නුවන් පිරි කඳුලැලි දුටුවෙමි
පුදුමයි සිත්තම ඉන් බොඳ නූනට
මාගේ විළිබිය සොරකම් කළ රජු
පැසසුම් ලබනා ලොවින්ම අද දින
අපේ කඳුළු හා නුඹෙ හැකියා ගැන
ලොවේ කවුරු නම් කතා කරාවිද?
කවිය බලන්න
ජීවන දහම
එළියක් අවැසි කල, පහනක් වී එන්නම්.
තිරයක් වෙලා එම ගිනි මම උහුලන්නම්
මිහිරැති සදුන් කූරක් වී දැල්වෙන්නම්
පාවී සුවඳ දී හිත් යළි සනසන්නම්....
බුදු ගේ පහන ලඟ, මෙරුවන් රඟදීම
හොඳ නෑ උන්ගෙ, තටු මත ගිනි තැවරීම,
සුවඳැති මලක් වුනමුත් එහි පරවීම,
ජීවන දහම ලෙස, පිළිගත යුතු නේද?
අඳුරට බිය නැතත් සුළගට බිය වීම
කෙතරම් සුවඳමුත් උරුමය අලුවීම
පුද´සුන් මත මළත් නො-ලැබුණි සැනසීම
මොනදේ කළත් උරුමය සමුගෙන යෑම...
කවිය බලන්න
මියගිය දනුද්ධර ගෙන්......
දැන නැණ පමණ, අපි ඇවිදිමු සරමු වටේ
මන පිරිසිදුය නැත විරසක කිසිඳු විටේ
පන රැක ගන්ට, බඩ ගින්දර නගින හැටේ
දන රැඳි අහට ගියෙ මායිම් නොදැන වැටේ
තැන හුරු පුරුදු, ඉව අල්ලන විටදි වටේ
කන බොන සියළු දේ ඇත, සිත නටයි තුටේ
අන වින කරන බව නොසිතම පැන්න වැටේ
පන නහ දමන, උගුලක් බැඳ තිබුණි කොටේ
වනයෙන් ටිකින් ටික අඩුවෙයි විටින් ව්ටේ
සනහන් සිතක් අපි කෙලෙසක සිටිනු තුටේ
මනසින් උසස් යයි සම්මත ලෝකෙ වටේ
දනයින් කිමද පැල් බැන්ඳේ කැලය කටේ
යන එන කෝච්ච්යෙ අඩයට සිටිනු දුටේ
පැන යති දෙදළ උස්සාගෙන සොයන් ඇටේ
වින තව කරති, පුපුරවලා හක්ක කටේ
මොන හේතුව ද ගැස්සෙව්වේ කොකා බටේ!
කවිය බලන්න
දහමක සුවය.......
සදහම් සිසිලෙන් හිමිගුණ මහිමෙන්
හද තුල කුසුම් පිපෙන්නා
පිපි බැති කුසුමන් වෙසඟේ පෝදා
හිමි පා පහස ලබන්නා.
සල් තුරු සෙවනේ මදනල පවනේ
අරුමෙක අසිරි මැවෙන්නේ
පියුමන් මතුයේ ලෝ සෙත් පැතුයේ
පින්වත් කුමරු වඩින්නේ.
දිලෙනා බෝ පත් සිහිලැළ් පවනේ
සුවයකි ලෝ පැතිරෙන්නේ
මොහඳුර පළවා සදහම රඳවා
හිමි තිලොවම ජය ගන්නේ.
සැලෙනා බෝපත් මදනල පවනේ
මැළවුනු බවකි පෙනෙන්නේ
හිමි නෙත් පියවී හැම නෙත් බොඳවී
දහමක සුවය සොයන්නේ.
කවිය බලන්න
සොයම් උණුසුම් පුවත ..
කන්නලව් යාදිනි ඇසෙන්නට නැත
ගන්ටාරය නිහඬය කුළුණ මත
කුටීරය දොර වසා ඇත
සොයම් නව උණුසුම් පුවත
දරුණු කිළුටක් හසු වුන විටෙක
බිය බිරන්තව අසුබ නිමිති දැක
චකිතයෙන් බැතිමතුන් සැදැහැති
බේරි ඉන්නට යාද තිරුපති
තරුණිය වැලිකතර වෙන්දේසියක
පිහිය ගත් සරසවි පෙම ට්‍රැජික
අහස් මාලිග සිද්දියේ රහස්
රටක් ඇවිලූ බ්‍රේකිං නිව්ස්
සියොළඟ ගලන දාහය පිස දමනා
දැකුළු මල් කඩා පිරිසිදු කරන දනා
ගඩොල සිමෙන්තිය නහවයි කහ වතුර
ඩාංඩාං හඬ පැතිරේ යළි මෙපුර
17.04.2023
කවිය බලන්න
සඳ කිඳුරී...
මහළු වී මිය යන්න කලියෙන්
අතර මග හමුනොවිච්ච....
පෙරනිමිති තව ගොඩක් තියෙනවා
සිදුහත් ට මගහැරිච්ච....
වෙන්ව යද්දී නොනිමි ප්‍රේමෙක
මහ හුඟක් හද වෙලිච්ච....
ඉවුරු වැලි කැට පමණි දන්නේ
කන්ථකලා ගැන පැලිච්ච....
කින්නරාවිය පසු පසම විත්
භව පුරා අත ගත්ත....
ඉතින් සමු දෙමි වසා හද නුඹ
නිසා සුදිලුන පැත්ත....
සක් දෙවිඳු නම් නොදකීවි
වෙන් වුණු ප්‍රේමයක ඇත්ත....
කමක් නැහැ නුඹ විදින් මානා
හී සරය බ්‍රහ්මදත්ත....
සුන්දරයි හද සසලවයි
සඳ කිඳුරු ජාතකේ....
සෙනෙහසින් පැටලී වරා පට
දමා නැග පෝරකේ....
නොම දමා ගොස් හද පෙමක්
දවනා චිතකේ....
කියන්නට වරදක් තියෙනවද
ඉතින් මනමේ නාටකේ....
කවිය බලන්න
ප්‍රේමාවංශය
ශිලා ලිපියක ලියා ආදරේ වැහිදාර
පන්හිඳෙන් තිත් තැබූ ජීවිතේ පුස්කොළය
හෙමි හෙමින් පිදුවාට සංසාර ජාතකය
මං ගාව ඇන්ඳේම කටුගෑව පින්තාර
කළුවරට අත තියා මල්වරට වර දුන්න
නුඹ ඇවිත් කෙඳිරුවේ හිම මිදෙන ආදරය
හීතලේ හිරි වැටී දෙතොල් පෙති ගල් වෙච්ච
දියවෙන්න ඉඩ දෙන්න උණුසුම්ව සුසුමක්ව
මන්දාරමේ උන්නු නුඹ මගේ පාන්දර
ඉර මුදුන් ගිනියමින් අළු කරන අපූරුව
නුඹෙ සුවඳ වත්කරන රැලි නැගෙන දුමාරය
හිනැහෙමින් දැවී යමි නුඹයි මගෙ පාන්දර
කවිය බලන්න
පහන් සිළු
පහන් සිළු බෝ මළුව වට
මඳ සුළඟ හා සංවාදයක
සුදෝ සුදු සාධු නාදය
සුළඟ මුසුවන බණ මඩුව
පහන් සිළු අඩක්
සුළඟ හා අමනාපයෙන
ජව සුළඟ පහන් සිළු සොරාගෙන
අවසාන සිළුව
පොරබදියි සුළඟ හා එකලාව
හිස් බෝ මළුව
උරාගත් සඳ වතුර
නිවුණු සිළුවේ සුදු දුම
වියැකෙයි මැදිව සුළඟට
කවිය බලන්න
ස්වප්න ගීතය
මල් පිපෙන වස්සානෙ
උදම් වෙයි ගිම්හානෙ
ලබන කල්
ගම් දනව් සිසාරා
වැසි වැටෙයි ගංවතුර
ගලන කල්
උණුසුම්ය ජල අංශු
සීතලට අසුවෙලා
මිදෙන කල්
තාරුකා සළු එලයි
රාත්‍රිය තුටින් හිරු
නැගෙන කල්
ඔබ මගේ ඇසට වී
සිහිනයක් අඳී
මා නිදන කල්
එහෙව් හැම රෑකදිම
මම ඔබව සොයමි
හිත රිදෙනකල්
කවිය බලන්න
එන්න ඔබත් ඉදිරියට
එන්න ඔබත් ඉදිරියට
රතු පාට - රතු පාට
මල් පිපී බක් මහේ - සිටී අභිමානයෙන්
රටක් නන්වනු පිණිස - රටක් ජය ගනු පිණිස
තලා පෙලා ලනු ලැබූ - ජනතාවගේ නාමයෙන්
බක් මහේ විරුවනේ - ඔබ හෙලු රුධිරයයි
කඳුළු දාඩිය මතින් - නිදන් කල ඔබේ හඬයි
පරිසරය රතු කරන් - දිලෙන්නේ පෙනෙන්නේ
ඔබ පැතූ ඔබ සැදූ - ලෝකය දිනන්නට
ප්‍රතිඥා දෙමු මෙසේ - බක් මහේ විරුවන් සේ
යුද අවිය බිම දමා - ජනතාව පෙරටුකරන් - සාමයේ හඬ අරන්
එන්න ඔබත් ඉදිරියට - බේරා ගන්නට - සොරුන් අධමයන් පිරුණු රට
29අප්‍රේල්2023
කවිය බලන්න
බිරින්දෑට ප්‍රශ්නයක්
කවදාකවත් නොමැතිව
නොහිතුව පැනයකි
හදිසියෙම අද උදෑසන
ඔලුවත් වටේ කැරකුන
මරාලය කිමෙක්දැයි බයත් ඇතිවුන
"ඔයාට වටින්නෙ
මාවද...?
අම්මවද...?"
අම්මපා........
සුද්දියේ........
තියේ පිළිතුර
එකම වචනෙක
නමුදු නුඹ හිත රිදවන
නුඹ ලඟට මා ලංකල
මගේ පැටියනට උඹම මව් කල
උල්පත පිලිසිදුනෙම එතැන
උඹත් දන්නව හොඳටෝම ඒ ගැන
"ගෑනියෙකුට අත උස්සන්න
කපනවා ඇඟිලි මං එක එක"
එසැවුණු සුරතෙ පණ ගිලිහුන
කේන්තිය සිනාවට පෙරලුන
උඹත් දන්නව ඈ ළඟ
මටයි දෙක ඒ වගෙ වෙලාවට
තියේ පිළිතුර
තනි උතුම් වචනෙක
ආඩම්බරේ උඹේ තවත් වැඩිවෙන
අදත් මට බැනුම් වැහි වස්සන
බොරු ඇඩිල්ලක අවසන.....
කවිය බලන්න
ගමනාන්තය
ජීවිතය කියන්නෙම
විෂ්මිත නිමැවුමක්.......!!!!
සැපතම. සොයා යන ගමනක්
නොලැබෙන දෙයක් පසුපස
හඹා යන මේ උමතුව.......!!!!
ජීවිතය ජීවත් කරවයි
බලාපොරොත්තු.....!!!!!
සුන්වීම...,ඉටුවීම..... සුන්වීම.....
දුක ......සැප......දුක......
රිද්මයකට දෝලනය වෙයි...
මරණය අබියස......
ඊළග ගිමන්හල පෙනෙන විට.....!!!
ගමන නිම නැති බව
පසක් වනු ඇත...
උක්දඬුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය.මහනුවර
2023. 04.25.
කවිය බලන්න
අම්මා...
සිතින් අත් නොහැරි මුත්
අතින් අත් හැරිය
දිනේ මදහාසෙකින්
සඟවා නැගෙන කඳුල
හොරෙන් පිස, හිසින් ගෙන කච්චිකිරිකඩය
බිම් බලා හෙලු ඉකිය
මේ තරම් බරද?
කලුපාට සුදුපාට සේම
අළු පැහැය
තවත් ලස්සනයි එක්වුනොත්
නෙක පාට
හැමදාම ආසකල
නිල් සාරි පොකුර
අදත් සිහිවෙන්නෙ
දුටුවාම දුර අහස.
හැලී ගිය පසුත්
ගස පිරුණු මල් දහස
ඉපල් ඉති අත ගගා
ආදරය කෙරුව
සදා නොවෙනස්
අමා ගඟුලක්ව ගැලුව
සෙනේ කඳ කොයි ගියෙද
දෙවා ජීවිතය...
අමාවකටත් දැකිය හැකි
සහන් එළිය
පහන් තරුවක් වෙයන්
කියන මග නොමග
තාවකාලිකයි කිව්
දුක සතුට දෙකම
කොහේ සැඟවුණි ද ඒ
තරු මැවූ අහස!!
කවිය බලන්න
මාතා පිතූ උපට්ඨානං
කෝටු කෑලි එකින් එක
මූවින් ගෙන දුරස් පියඹා
තුරු මුදුන් වල සැදු
වහල නැති නිවෙස්වල
සීතලට නතුවුණු දිනවල
යෝධ තටු අතර සගවා
උණුහුමෙන් තුරුල්කර
පණ නල රැක දුන් මවුනි පියතුමෙනි
කෙඩේරි වී ගිය ඔබේ
යෝධ පියාපත්
නිල් අහස් ගැබ තුළ
පෙර දිනයේ මෙන්
දිගහරින්නට නොහැකිව අසරණව බලා සිටියදී
කුසගින්න නිවාලන්න
අහර මුව රදවා
නිල් අහස ජයගෙන
කැදැල්ලට යළි එමි සොයා
උණුහුමට ඉව අල්ලමින්
බුදුන් දෙසු පරිද්දෙන්
මාතා පිතු පුට්ඨානං
නැමැද සිහිකර සොදිනා
කවිය බලන්න
මල් පිපිලා...
මෙතෙක් දවසක්
උහුලගන්නට බැරුව සීතල
හරිත වර්ණ ඇඳුම් බිම හැලී
කෙසටු දර ඉපල් නිරුවතින්
දුක්බරව මදෙස බලාසිටි
මා යනෙන මාවතේ
මගේ මිතුරු තුරු,...
නෙක පාට මලින් සැරසී- මල් සිනා සලමින්
ආඩම්බරයෙන් මා දෙස බලා සිටි දැන්
මග දෙපස සරසමින්,
සැම මුවට සතුටු සිනා ගෙනෙන
වසත් කාලය ලඟම
එන බව පවසමින් ...
18/04/2023
කවිය බලන්න
The Smile
The smile that hides a thousand tears.
The smiles that hide the self harm scars.
The smile that hides the weight of the world on a person shoulders.
Beware of that smile a smile hide so much that it becomes a mask.
A mask that hides all that is dark.
Because a smile is more beautiful than a frown upon the face.
The power of a smile is underestimated.
But that’s the beauty of a smile that hides a thousand tears self harm scars and the weight of the world.
කවිය බලන්න
දමිල කිතු මුස්ලිම් සිංහල අඹ නැත
රෝහන වීරසිංහ ශුරීන්ගේ අවදානම පිනිසයි:
මොනවද ලමයෝ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් මුත්තේ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුකසේ සිටුවා අඹ ඇටයක් මම
පතුඒ අඹ පිරි උයන ලැබීනැත
යුතුකම කලමුත් මුත්තේ ඒදින
පැලයට හරිහැටි වතුර ලැබීනැත
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකිදේ තවම බොහෝ ඇත
ඇත්තයි මුත්තේ ඔබෙ ඔය අදහස
හැදෙන්න ඒලෙස අපට බොහෝ ඇත
පෙරවුන් අය සිටවු අඹ ගස්වල
දේශපාලනයො පාට උලාඇත
දමිලකිතු මුස්ලිම් සිංහල අඹ නැත
මවුබිම රැකීම සැමගේ යුතුකම
ඒ යුතුකම හොඳහැටි දැනගත්තෙමු
මහන්සිවී අපි දැන් රට හදනෙමු.
කවිය බලන්න
FM
සයිවර් කඩේ තේ සෝටිස් හදනකොට
ඩ්‍රයිවර් කොටන ප්‍රයිවට් බස් සෙට් එකට
නම්බර් හොඳයි ප්ලේ කරනා හිට් වෙන්ට
එන්ටර් වෙන්න මේ එෆ් එම් ශෝ එකට
ලොතරැයි කූඩුවක එල්ලුණ පීකරද
පත රේඩියෝවක් ඇති ත්‍රී විල්ද
කොතනක වුණත් දුන්නට දෙසවනට වද
කැත නෑ සල්ලි දෙන්නම් නම කියනවද
හඬේ ක්ලියර් ස්ටීරියෝ සවුන්ඩ් ඇත
බඩේ බත් වගේ අපහට රේට්ස් පොත
වැඩේමයි අපිට හණමිටි පරණ මත
ගොඩේ එවුන් සෙට් නොවුණට කමක් නැත
හායි මෙයා මම ආවා පිළි ගන්න
බායි බායි යන බෝයිට සමු දෙන්න
රෑයි දවාලයි කියලා නොදැනෙන්න
මායි ඔයයි ඉන්නව දැන් ළඟ ඔන්න
ගීතය ගෙනාවේ නම ගිය කොම්පැනිය
ගීපද තනුව කටහඬ නම් දන් නැතිය
කීයද කියන ලන්සුව වෙයි තීරණය
මීවද කඩා නැත තම අත ලෙව කෑය
ගෑවොත් මරුය අහවල් නම සබන් කැටේ
කෑවොත් රසය මේ සුප් කැට රසට වැටේ
ආවොත් වැදූ අම්මා හෙට ඉඳන් ඩොටේ
ඈවත් කරයි මාකට් හැටි උන්ගෙ කටේ
කවිය බලන්න
මතක බණ
සිරිදාස මිය ගිහින් තුන් මහක් ගිය තැන
අද තමා හැන්දෑවෙ එහි මතක බණ දින
වෙහෙස වූ තරමටම අත ඇඟිලි ගැණ ගැණ
හාමිණේගේ මුහුණෙ සර්දාව උතුරන
වැඩමවන මග පිරුණු පිරිමි මහ පිරිවර
දොරකඩින් හෙල්ලුණේ පා දොවා නිමකර
එළිපත්ත නොදුටු උන් ගොසින් බණ අතහැර
බවලතුන් දරු පැටවු හිඳ පැදුරු දිගහැර
පුංචි උන් වාඩි කර වැඩිහිටියො හිටගෙන
හාමිනේ වෙහෙසටම පැදුරෙ හිස ඇනගෙන
හාමුදුවෝ දෙසයි දුක නසන බුදු බණ
දූ දරුවො කසු කුසුව සංග්‍රහයෙ වැඩ ගැන
පීකරේ දෙදරුමට මදක් ගත් මුත් මැඩ
යාන්තම් ඇසෙනවා බෝතල් ගැටෙන හඬ
බූරු පොළ පිළිකන්නෙ අරඹලා ඇත වැඩ
සාලෙ හිස් එතන නැත ඇඟිල්ලක ඉඩ කඩ
යාන්තම් ඇසෙන්නේ සෙත් පතන හඬය
තුන් මාසෙ පිං කමත් නිමා වෙන හැඩය
සාලයට එකතු වෙයි විසිර සිටි නඩය
මේ ඉතින් මළ වුනුත් රවටනා වැඩය...
කවිය බලන්න
අම්මගෙන් දුවට ලිපියක්...
බත් උයන්නට තිබ්බ කුස්සියෙ හොදම මුට්ටිය ඉල්ලුවා
කොක්කනෙන් කිල්ලෝටෙ අරගෙන තැනින් තැන හුණු ගැල්ලුවා
රෙදියි පුළුනුයි ඔබා යහමින් එයත මෙයතත් පෙල්ලුවා
දොරකොඩම යටලීය අද්දර ඒක ඉන්පහු එල්ලුවා
අලුත් ගොයමේ වී කරල් මිටියක්ම එල්ලූ හැටි දැක
කිරිවදින්ටත් කලින් කැපු එක තමයි මයෙ හිතටත් දුක
හාල් අහුරක් මිදුලෙ ඉහලා උන්දැ වෙන්ටැති නැත සැක
දෙතුන් දවසක ඉදං පෙරමං බලයි හිද පිල පැත්තක
"අදත් නෑ නොවැ මැණිකෙ උන් ටික" අප්පච්චි කියනවා මුමුණා
ගේ කුරුළු රංචුවක් වෙනුවෙන් නැහෙන හැටි දැක පූදුම හිතුනා
ගෙයින් පිටමං වෙලා නොකියම ගොහිං උඹ හත් මසක් ගෙවුනා
ඒක ගැනනම් වගක්වත් නෑ ඒත් ඉකි බිදිනවත් ඇහුනා
ඉලත්තට්ටුවෙ බුලත් කොල ටික තබා කණපිට හරවලා
උන්දැ හීනෙක හැන්දයාමෙම කබල් පුටුවට බරවෙලා
දහදියෙන් බොදවෙලා අකුරුත් ලිපිය මෙතකින් නවතලා
ගිහින් එන්නම් හාල් අහුරක් මාත් මිදුලට වපුරලා
කවිය බලන්න
අවසන් හමුව
දළඳා මැදුර සුදු මල් දෝතකින් පුදා
පෙර දා වගේ පැතුවෙමි නිදහසක් සදා
හිත දා හළුව යන සිතිවිලි නැතේ නිදා
වෙන දා වගේ නම් නෑ සැනසීම මෙදා
බෝගම්බර වැවේ ඉවුරේ දාරයක
පාවෙන බුබුලු පෙණ සැලුණා තාලයක
වෑහුණ සුසුමකින් නැඟි රළ පේළියක
පා යුග තෙමී දැනුණා දුක සීතලක
ඇස් පටලවා ගෙන අවසන් වරට ඇගේ
බස් රිය ඇතුළෙ විය ගල් රූපයක් වගේ
හිස් වූ සිතින් මා බිම රැඳි අඳුර දිගේ
වැස්සෙම ඇවිද්දෙමි මගෙ හිස හැරුණ මගේ
නුවරින් කොළඹ යන බස් නැවතුම අසල
අවසන් වරට දුටුවෙමි ගිළිහුණ කඳුළ
නැවතත් කොහේ අප හමු වේවි ද මතුළ
තවමත් දැනෙන රිදුමකි හදවත පතුල
කවිය බලන්න
මහපොළොව ම ඔබෙ නමට ය...
කම්මල වැඩපල මහමග වෙහෙසෙන
කම්කරු සොයුරනි දා බිඳු වගුරන
ඔබ වන් මෙහෙවිරුවන්ගේ එඩියෙන්
මහල් මැදුරු තුඟු ගිරි නැගුණේ
පාලම් මං මාවත් මැවුණේ
මෙහෙසුරුවන්ගේ පළිඟු බඳුන්වල
ඔබේ ලෙයින් සව්දිය පිරුණේ ....
කරගැට පිරි ඔබෙ රිදුමන් දෙන අත්
කවුරු ද බැතියෙන් වළඳින්නේ
සැඩ හිරු කිරණට කළු ගැහි නළලත
කෙදිනද සෙනෙහෙන් සිපගන්නේ
ඔබ හෙළු දහදිය බිඳු එක් වීලයි
රන් මුතු වරුසා ඇද හැලුණේ
ඔබෙ ලොව රජයන ගණ'ඳුර පලවා
නව හිරු මඬලක් පිපියන්නේ
එදිනට ඔබ වඩිනා මාවත අපි
පාවඩයක් වී වැතිරෙන්නේ
පැතුමයි මෙහෙවිරුවනි මේ පොළොව ම
ඔබෙ නම වෙනුවෙන් ලියැවෙන්නේ
( ලෝක කම්කරු දිනය වෙනුවෙනි )
කවිය බලන්න
දැයෙන් සමුගත් හාතාගොඩ විමලසිරි කිවිඳු
[අතකස ප්‍රබල යාවජීව ප්‍රවීණ කීවිවරයකුව සිටි බක් මහ 19 දින
අභාවප්‍රාප්ත වූ හාතාගොඩ විමලසිරි සූරීන් වෙනුවෙනි ]
_______________________________________
හාතාගොඩ කිවිඳු කිමිදුණු කවි සයුරේ
වීණා හඬක් වන් කවි හඬ නැගු මිහිරේ පෑයූ කසුන් තරුවක් අතකස අඹරේ
පාවී ගොස්ය අත් හැර නුබ කුස අඳුරේ
---
අග ටම ගොසින් තරණය කොට දිවි පවුර
නැග ඉහළටම වෙසෙසින් සැලු රැස් දහර
හුග කාලයක් තව පවතින කවි මිහිර
දිග ගමනකින් පසු නැවතුනි බව කතර
---
ගුරු සේවයෙන් පසු රැදී අධිකරණ සමේ ගරු තනතුරු දැරූ යුගයක් සතර ඉමේ
තරු අත් අකුරු පැදි ලිවු පන්හිඳෙන් ගමේ
කරුණා බරිත සිත් ගඟුලක් සිඳුනි බිමේ
---
උන් නා උඩින් අප හා අපි තුරුණු කළ
සන් නාමය ඔබේ මිනිසත් කමය නිල
පින් මහිමයට ලක් මව ලැබූ ඉසුරු පල
මින් පසු යළිත් නොපිපේ කවි විලේ මල
----
පාවී අනන්තයටම ඔබෙ බලැති හඬ
යාවී රැගෙන ඇත විස්වයෙ තැනක ඉඩ
මාවී කෙතක් වැනි රස විඳි විහග තුඩ
ගෑවී සිටී ඔබැ රුව අප සිත් හි වැඩ
---
සතහට සුවය රස විරිතෙන් ව්ඳ ගන්න
කවියට කවි කමට යළි යළි පණදෙන්න
සවනට මිහිරි හර බර කවි අහගන්න
නිවනට නොගොස් යළි මිහිකත උපදින්න
==============================
කලාභූෂන කිවිපති කවිධජ
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස හිටපු සම ලේකම් )
කවිය බලන්න
දසුනක වෙනස
එක මගක යන දෙදෙනෙක්
දිනෙක යන විට ගමනක්
හමුවුනා ලොකු තුඔසක්
එකම තුඔසක වෙනස් දසුනක්
නෙක හැඩති රටාවන් එක්කොට
සමගි වී "වේ " ගුලක් කදිමට
නිමා කර ඇති මේ තුඔසට
එකෙකු නෙත් යොමුකලා කදිමට
අයෙක් ඇස් රැළි කොට
පා පහරකුත් දී තුඔසට
රටාවක් මෙහි තිබුනට
මැටි ගොඩකි බර පොලවට
පෙගෙනමුත් මහ වැස්සට
පොඩි "වේ" පැටව් වෙනුවට
සර්පයන් එක රොත්තට
ගුලි ගැසේ මැටි කබොලු පස් යට
එකම මග යන වුන් වුවත්
විවිධ මතයන් හිත දරත්
හිතේ ඇති සිතිවිලි මතත්
දකින රූපය විවිධ වෙත්
එකම සිතුවිලි සම සිතක්
දකිනු රිසි මුත් මිරිගුවක්
නොගැලපෙන දේ ගැලපුමක්
අලුත් යුගයක ඇරබුමක්
21/04/2023
කවිය බලන්න
ගන්න ගන්න මාගෙ වලිගෙ...
දිය පාරක් පෙනි පෙනී යනවිට මග ඇහිරුනී දෙපාවුන්ගෙ ඉව දැනී ගසකට නැගුමට වුනී
කැමර කාච ආම් පන්න
අටවාගෙන මාව ගන්න
රථවාහන වටකර ගෙන
මට විදියක් නෑ බහින්න
පිපාසයට දිය බිඳුවක් බොන්න නොදී කිසිම ඉඩක් පින්තූරය ගන්න මිසක් සිතේ ඇතිද කරුණාවක්
සේයාරුව ගන්න මගේ ඉවසිල්ලක් නැතුව වගේ දුටුවිට කරනා තරඟේ දැමුවෙමි එළියට වලිගේ
කවිය බලන්න
කුංකුනාවේ හාමදුරුවන්ගේ ඇබිත්තියා තල් පතක කුරුටු ගෑ ලට පට
අජාසත්ත මැරයා හා කදට වැටී
දෙව්දත් මස්සිනා කල දෑ යසට දිටී
සසරේ පුරා නෑදෑයෝ කොරපු හැටි
නෑයෝ කියන්නෙම හරි වස නපුරු කොටී
නන්දයි, රාහුලයි හිටියත් මහ වෙහෙරේ
අගසවු පදවි සැරියුත් මුගලන් සිවුරේ
සුළු මව, බිසව දෙටුමුත් මෙහෙනින් අතරේ
ඛේමා උපුල්වන් මතුවිය සසුනඹරේ
වැලි කෙලියේ පටන් සිදුහත් හා එකට
කාලූදායි කැන්දුවෙ නෑ නොවැ ලගට
දම් ගබඩා යතුර දුන් නෑ උන් අතට
තනතුරු නොදිනි රජ වාසල මිතු දමට
දමනය කලත් නාලාගිරි දෙමඳ කැවි
නෑ ගෙන ගියේ අරමට පෙන්නම්න් සවි
සාමාවති කෙනර සිටියා දුකින් තැවි
ඈ වාසලට යැව්වා කෝසලත් නිවී
දෙන්නම් දායද කියා රාහුල කැන්දන් ආවට
සිවුරු පෙරෙව්වා විතරයි කුටියක් නෑ තම පුතාට
ආරාමේ අතන මෙතන පොඩි නම නිදි කිරනවාට
පුතේ වරෙන් මගෙ කුටියට අඬගැහුවේ නෑ හොරාට
වේළුවනේ පුද කරන්න රන් මසුරන් ඇතුරුවාට
සබාවෙ දායක මුලසුන දෙන්නෙ කොහොම අනේපිඩුට
ඒ පදවිය දෙන්න ඕන මහළු උනත් මගෙ පියාට
කාලුදායි අත පනිවිඩ යැව්වේ නෑ පිය රජාට
කුලගන සමිතියෙ මුලසුන ජනපදයේ කල්යාණිට
එහෙම කියා කැපුවේ නෑ පදවිය දුනි ව්සාකාට.
කාලුදායි බණ නාසයි සිදුහත් හා පෙර ගජේට
කතා නොකර කොන්කර ඔහු දඩුවම් කෙරුවා අගේට
.
හෙට උදේම මම යනවා මනිඅක්ඛිතා මුනගැහෙන්ට
මැනික් පුටුව ඕනවෙලා කැලනි පුරේ මහ බඩාට
යමන් කැලනි කිව්වේ නෑ සිවුරෙ හිටිය තම පුතාට
ඇතුල් කලේ නෑ රාහුල කැලනි වන්දනා නඩේට.
ගසව් ගසව් කැරලි කියා, කොල්ලෙක් ආවා පාරට
තස්සලාවෙ කැදවුම්කරු මුල පිරුවා අරගලේට
බුදුන් වැඩිය ඌ සොයාන වනන්තරේ සටන් බිමට
අහිංසකට කන් දීලයි හරව ගත්තෙ සාසනේට
තුන් පාරක් වැඩිය නමුත් යකුන් වසන රට සොයාන
ලියාගත්තේ නෑ අයිතිය මුලින් වැඩියෙ මම කියාන
අලුත් පරපුරේ මිහිදුට ඒ පියවර ඉඩ තබාන
බුදු හිමි යලි ගමට ගියා බර අඩි පමනක් තබාන
බුදුන් දවස සිටි සච්චක බඩ තඩියා
බඩෙන් එකක් මොලයයි රවටා සිටියා
සරුවාලේ බඩෙන් රූටා යන හැඩයා
පටියක් නිතර බඩවට දවටා සිටියා
විහාරය පිටිපසය චුන්දගේ මස් කඩේ
කෙහෙ ඇහැ පියන්නද ඌරන්ගෙ මර හඬේ
" වහපියව් මස් කඩේ" මීක් නැ කහ නඩේ
බුදු සමිදු දකිනවා ලොවක නන්විධි හැඩේ
නඩේ අන්තිම කොනේ මුවාවි සිටියාට
බුදුන් මුල් සිවුරු පොට පෙරෙව්වේ උපාලිට
රජ පැටවු තල්ලු කර පොලිමේ කෙලවරට
දැන් ඉතින් වැදපන්කෝ උඹලගෙම බැලයාට
වැඩි සැලකිල්ල උස වැඩි පොල් ගස්වලට
අඩු සැලකිල්ල කුරුමිටි කුන්දිරවලට
කුල මල කියා නිවනට යන්නේ කුමට
පඬු හැලියත් යටයි සමහර නම්වලට
කවිය බලන්න
නොනිමි කතාව
එදා ඔබ මා එකට ගැවසුණ කන්ද පාමුල
කෙලවරේ...
තාම තනියෙන් බලනවා මම ගිලෙන හැටි ඉර කලුවරේ...
නුබේ විලවුන් සුවද තාමත් දැනෙනවා මේ
පරිසරේ...
පාලු නොම නිමි කතාවක මුල් පිටුව විතර ද
ආදරේ?...
පපුවෙ ගොනු වල කල් පැනපු ඒ මතක තාමත් තියෙනවා...
ඈතටම ගිය අතීතෙක මම සතුට සැනසුම හොයනවා...
පරණ වල ගිය වචන හීනෙන් වගේ හෙමිහිට ඇහෙනවා...
එහෙම රැයකට වරක් දෙවරක් මැරුණු හදවත ගැහෙනවා...
කවිය බලන්න
ආහ්ලාදය
මගේ ගෙය පසෙකින්
වැඩෙයි මනරම්
තුරක්,සතුටින්
උදා හිරු සිඹිමින්
ඉඟිමරා
නිල් අහස සමඟින්
මේ කුඩා තුරෙහි
කිචිබිචිය මට
අමා සැප දේ
සුළං රැළි පෙරළේ
රඟයි පලු පත්
නගා සද්දේ
හිඳිමි මම
නැවතී
උදේ රෑ මුමුණමින්
පිබිදී
නොසිතෙ කිසිවිට දී
නොදැක ඉන්නට
තුරේ එසිරී
කවිය බලන්න
දැයෙන් සමුගත් පියසේන වික්‍රමරත්න කිවිසුරාණෝ
භාෂා කිහිපයක් හසුරුවමින් නිබඳ
කවියට කලාවට අතදුන් ගුරු සබඳ
අපමණ සේවයක් කළ රස කවි පබඳ
කවි නිලඹරෙන් බැසැගියෙ කිවිඳුනි කිමද
මහ ඇත්තෝ සමග උරෙනුර ගැටීමෙන්
දහසක් වැඩ කළෝ දුර දිග බැලීමෙන්
රහසින් පන්හිඳෙන් විටෙකදි ලිවීමෙන්
සහ යෝගයෙන් සිටියේ සිත් නිවීමෙන්
ගැලුවා වගේ ගංගාවක් කවි කිව්ව
දුටුවා ඔබේ ළඟ මිනිසත් ගති තිව්ව
අටුවා ලියනු කිමැ දැයකට පණ පෙව්ව
ඇතුවා ඔබේ රුව තව ගව්වෙන් ගව්ව
කවි සමුළුවල නිලතල දරමින් උසම
අවි යක් ලෙසින් බස රැකි ජන්මෙන් උරුම
කවිකෙත සරු කෙරූ කවියෙකු දුටු පරම
නැවියෙකු වැනිය පැදි නෞකාවක අරුම
තරණය කරන්නට දිවි මඟ සතර අත
උරුමය වුණේ අමරස පිරි සොදුරු සිත
දයිවය කලක් ඔබ එක්තැන් කලත් ගත
මරණය මරන්නට කිසිවෙක් සමත් නැත
පොත්පත් පුවත්පත් වල ලියූ කවි සේම
සහසක් හිටිවනම කවි කිවු නිතරෝම
ජංගම පොත් ගුලක් වැනි කාටත් බෝම
පියසෙන් කිවිඳ ඔබැ අප අතරෙහි තාම
කවිය බලන්න
පිය රජෙකුගේ පශ්චාත්තාපය
මුදා නොමහැර තියාගත්තම
ඉතිරෙනා ආදරේ කෙඳිරුම
පුතේ නුඹ අදුනන්නෙ කොහොමද
මේ පවුර යට තියෙන තෙරපුම..?
සිනිඳු මල් මත පිණි සිසිල සුව
දනිමි හඳුනමි.. පුදනු රිසි වෙමි
පසුව දෙන්නට කල් තබාගෙන
නෙතින් මල සිඹ සිතින් ලතැවෙමි..
තනිව වැළපෙන රෑ විරාමෙක
සෙනේහෙන් පෙඟි දෙනෙත සඟවමි
උසුලවනු බැරි සෙනෙහෙ ජල කඳ
පුපුරවන දින සොයා ලතැවෙමි..
කවිය බලන්න
භාග්‍යය
සයිමන් වීය ඔහු නම,
සයිරින් ගමේ වාසය.
පැමිණියේ ජෙරුසලමට,
සිරි බලන්ටයි එ පුරවර.
ඇදෙනුයේ මහ සෙනග,
පෙරහරක් දෝ එනුවර?
කෙනෙකු ගෙනයති පෙරටුව,
කුරුසයකි ඔහු කර මත.
දුබල ගත ඇති මිනිසා,
ඇද වැටෙයි ක්ලාන්තව,
නැවත නැවතත් බිම,
දැරිය නොහැකිව මහ බර.
සෙබල කැළ රෝමානු,
පහර දෙති කසයෙන් නොමදව.
අනේ! කිසිවෙක් නොමැතිද?
මුදා ලන්නට කුරුසියේ බර.
බොහෝ කල් ඔහු හා සැරූ,
කොයිද? ඔහුගේ සගයෝ.
ජෝන්, සයිමන්, මැතිව්,
පීටර්, පිලිප්, තෝමස්?
ඇයි ඔවුන් නොඑන්නේ?
කුරුසියේ බර දැරුමට.
වට පිට බලති සෙබළුන්,
සොයා ගැනුමට කෙනෙක්,
කුරුසිය රැගෙන යන්නට.
කෙලෙස හෝ යා යුතු හෙයින්,
ගොල්ගොතා කදු මුදුනට.
දකිති උහු සයිමන්,
සයිරින් ගමෙන් පැමිණුනු.
‘වහා මෙහි එව. ගණු මේ
කුරුසිය තොප කර මතට’.
වට පිට බලයි මොහොතක්.
පැන යා හැකිය විගසින්,
මිදී සෙබළුන් ගෙන්,
එන්නට පෙර ඔවුන්.
නෙත ගැටෙයි ඔහුගේ,
ස්වාමි දරුවානන් නෙත් යුග.
ලෙයින් නැහැවී සිටිනා,
කස පහර ඉවසනු නොහැකිව.
කිසිදා නොදුටු මුත් ඔහු,
කෙසේ යන්නද? ඔහු අත හැර,
ගත්තා කුරුසිය කරට,
සයිරින් ගමේ සයිමන්.
කෝ දැන් අර ගෝලයෝ දොලොස?
එකෙක් පාවා දුනිය,
තවෙකෙක් නොදන්නා බව කීය.
සමහරෙක් පැන ගොස්ය.
කෙනෙක් එති සැගවී දන අතර.
ඔවුනට නොවී භාග්‍යය,
දරනට කුරුසියේ බර.
මොහොතක සුවය දෙන්නට,
සමිදු හට මරණයට කැපවූ.
සයිරින් ගමේ සයිමන්,
ලැබු ඒ උතුම් භාග්‍යය.
කවිය බලන්න
මලක් වන්නට පැතුම් පැතුවා
මලක් වන්නට පැතුම් පතුවා
හිමයනේ ඔබ සිරි පතුල ලග
නිවා මේ භව කතර අබියස
ඉක්මනින් පෙති මිලින වී යන
මලක් වන්නට පැතුම් පැතුවා
සුවද විහිදන බෝ රුකක් මුල
ගිමන් හරිනට සිත් සිසිල් කර
පිහිට පතනා මිනිස් හිත් ලග
මලක් වන්නට පැතුම් පැතුවා
මහා දාගැබ් කුසක පාමුල
නොමපෙනී කිසි ඇසක නොගැටී
වේදනා මිරිකෙනා හද තුල
මලක් වන්නට පැතුම් පැතුවා
නොකී සුන්දර කතාවක් මැද
මහා සිතුවිලි අවදි කරනා
අහින්සක හිත් කුහරයක් මැද
කවිය බලන්න
දයා ගියා
මං ගොඩාක් ගැටවර කාළේ
නුඹේ කවට කියුම් අසා
බඩ අල්ලං හිනා උනා
මං විතරක් නෙමෙයි අපි ඔක්කොම
හම්බ වුණොත් මහ මඟකදී
''බොන්න වරෙන් හවසක ගෙදර''
කියයි දයා අයියා
කහටක් නැති හිතෙන්
යන්නෙ නැති එක මළ ගෙවල් වල
කැත ගතියක් වෙන්නැති මගෙ
එනිසා නෑ එන්නේ
උඹ බලන්න
ආවොත් යන්නම වෙනවාමයි
ඉතිං උඹ පලයං තනිවම
යනකං උඹ පස් යටටම
බොනවා මං එක දිගටම
හැම එකාටම බෑ - රසවතෙක් වෙන්න
හැම එකාටම බෑ - හිනා ගස්සවන්න
හැම එකාටම බෑ - යාලූවෙක් වෙන්න
හැම එකාටම බෑ -
ඔය ගමන නොගිහින් ඉන්න
ඉතිං අපිත් එනවා ලඟදිම
ඉඳින් ඒ වෙනකං භාගයක් තියාගෙන
ගිය එකෙක් වෙනුවෙන් කවි කෑල්ලක්
ලියැවුණේ නැහැ කල්පෙකින්
උඹ අද ඇවිස්සවා
මගේ දුක් සිත
ඉතින් පලයං තනියම
සත්තයි එනවා ලඟදිම
දැනුත් යමින් ඉන්නෙ අපි
එක පෙළට
කවිය බලන්න
සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි
මනහර නා මෙනෙවිය'නිඳ ළ වැලි පිට
ගෙන මිණි වෙණ තත් නියඟින් මැද රුවට
කන හෙව කියන බුදුගුණ ගී මියුරු කොට
සැනහෙව කැළණි ගඟ බඩ මද කලක් සිට
කවිය බලන්න
නමක් නැති බැඳීමක්
නමක් නැති බැඳීමක
අයිතියක් නොසොයාම...
පිදුව ස්නේහයෙ කුසුම...
දරන්නට බැරි වේද - නුඹේ හද පුදසුනට...
සඳ නොමැති අමාවක
එක් නිශා යාමයක...
සඳ ළඟම තනි රැක්ක...
හඬන බව තනි තරුව - නොකීවෙද නුඹ එක්ක...
කොතෙක් මල් සුපුෂ්පිතව
තිබුණ මුත් උයන්වල...
ගිනි ගහන කෙම්බිමක
පිපුණු ඒ පතොක් මල....
පැතුවේම වඩින්නට
නුඹේ හද පුදසුනට...
කවිය බලන්න
අකල් මරණය.
හිටි ගමන නැවතුන හදවත
ඉරී කැඩී විසිර ගිය
මරා දැමුවා නෙකවර
යදිද්දිත් පණ නල
කටොර ගිනි විසි කොට
යවුලින් ඇණ කනිනවිට සවන
රිදුම් දුන් සිත යැද්දේම
නිවුණු ගුණ පෙර
වියා මනරම් මකුළුදැල
ගල්වා විස නොගැලවෙන්නට
රඳවාගත් කෘමියෙක් ය මා
නුඹේ සුව බොජුනට
බාඳුරාවක උපමා කුමට
රඳමි දිවි තුරාවට
කරන මෙහෙවර ඉටු කර
මෙත් වඩමි සැම විට
කලට නොව අකලට
කල් ඉකුත් වූ ආලය
ළඟා කෙරුවේ නුඹයි මසිතට
රුදුරු ඒඅකල් මරණය.
දෙවන උපතක් ඉතිරි නොකරම.
2023.04.07.
කවිය බලන්න
ස්තූතිය
වෙන් වී ඇති ඔබ දෙදෙන එක්කරලීමට
ඇදුම් මසන්නා විසින්
තමා මෙහි එවූ බවත්
ඒ සඳහා ඔහුට
ස්තූතිවන්ත විය යුතු බවත්
බොත්තමක් පවසයි
කමීස පළුවකට
.
.
මඳ සිනහවක් පා
නිහඬ වෙයි කමීසය
එකට සිටි අප කපා වෙන් කර
මැසුවේ ඔහුම බව
නොදන්නා නිසාවෙන්
තවම බොත්තම
කවිය බලන්න
ආකාසේ යාලුකම1 ආකාසේ තනිවෙමු අපි 11
ආකාසේ යාලුකම1
ආකාසේ තනිවෙමු අපි 11
ආකාසේ තනිවෙමු අපි
සදාකල්ම මේවිදියට
දෙනෙත් විවරකර
දෙසවන් යොමුකර
දුරින් සිටිමු සිහිනලොවෙ
ආකාසෙ තරුගනිමින්
වැලද ගනිමු සිහින පැතුමි
හදවත තුළ පිපුනු කුසුමි
සුවදදෙන්න සුවද මලේ
ඔබේ ඉසව්වට පාවි
අතර මගදි විසිරි යයි
සුලං පොදට හසුවීලා
තවත් මලක පහස ගන්න
අවකාසේ විවරව ඇත
කවිය බලන්න
ඔහුගේ පැරණි ආදරියට
එදා වාගෙම අදත් කොටු පවුර දිලෙනවා
නුඹ එක්ක ඔහු ඇවිද ගිය මතකයන් තියෙනවා
නොකියාම ඔහු මෙමට රහසේම විඳිනවා
කොටු බැම්මේ හැපී ආ හුලඟ මට කියනවා
හිතුමතේ හමුවෙච්ච මතක පොදි තව ඇතී
එලිමහන් බංකුවෙදි නුඹව සිප ගන්නැතී
අනාගතේ ගැන සිහින සෙමින් මුමුනන්නැතී
වෙන් උනේ ඇයිද නුඹ ඔහු තවම දන්නැතී
නුඹ එක්ක ඇවිද ගිය මාවත් දිගේ ඇවිදින්න
සතුටින්ම ඔහු ඉදපු කාලේ ආයෙම දෙන්න
සොම්නසින් දිලිසෙනා කොපුල් ඇස් දැක ගන්න
ආස හිතෙනව මටත් නුඹෙ මතක විද ගන්න
තාම ඒ හිත් කොනක නුඹෙ මතක තියෙනවා
හංගාන ඔහු අඬන විට මමත් අඬනවා
උදුරන්නේ කෝම මම ඔහු තවම විඳිනවා
සනසන්නේ කෝම මම තවම මම හිතනවා
උපදිනා මතු භවෙක ඔහුව හමු උනෝතින්
නුඹට කලියෙන් අවුත් අයිති කර ගනිමි මං
අදත් මට එන්න බැරි නුඹේ තැන මම අරං
දෙනවාද හිනැහෙන්න මට සමාවී ඉතිං
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
යටැසින් දෙන බැල්මෙන් සුර විලසී
වෙසෙසින් දන මන මත්කර එකසී
අහසින් රඟ බැස ගත් රඟ කෙලෙසී
දිසිමෙන් විය විදුලිය සිය දහසී
කවිය බලන්න
අනුරාධපුරය
ගව්තම බුදු සසුන් බිම බලකොටුව යුර
කව් බසිනුදු හඳුන්වනු බැරි සොඳුරු තර
දෙව්පුර අඩක් ගිලිහුණ මෙන් ඉසුරු බර
සව් සිරියෙන් පිරුණ සිරිබර අනුරපුර
පළවුණු මෙපුර යස පෙර නර නිඳුන් කල
නළ වැද සැලුණි රන් දඩ පහ මුදුන් වල
ලෙල දෙන හිමව් කුළ නෙත රස අඳුන් කළ
කෙළ නා වැනිය එය වනසුර ලඳුන් කැල
විකුමැති සිහළ යස ගොස පතුරමින් හිඳ
සැදැහැතියනගෙ හදතුල වඩවමින් ඔද
නරපතියන් තැනෙව් දන වියදමින් සොඳ
බැබලෙන මෙපුර මහ සෑ රද නුවන් ඇද
දියසක් සමිඳු සිය හදතුල කෙලෙහි ගුණේ
සතියක් පමණ පෑ පුදකර නුවන් මිණේ
දහසක් දෙනා වැඳ වැඳ පුද කරන අනේ
එහි එක පසෙක සිරි මහ බෝ සමිඳු පෙනේ
බොදු බැතිකයන් සිත දැඩි සොම්නසින් වෙලී
හුදු සැදැහැතියවුන් හද බතින් පෙමින් ඇලී
සැදුරන් කමින් රන් කැටයම් වලින් දිලී
නුදුරෙන් පෙනේ මහ සෑ රද රුවන් මැලී
ලෙලෙන සුදු සිනිඳු දිවසළු පිටින් ඇද
සරණ සුරඟනන් සසලව ගුවන් මැද
බලන සඳ රුවන් මැලි සෑ උඩින් හිඳ
සැලින තුටු කඳුළු මල් වැසි පොදින් පොද
1939 අනුරාධපුර දී
කවිය බලන්න
හෝඩියේ සුසුම බර ඇයිද මෙතරම්
නිල් නයන තරු කැට කඩයි
තොල් පටින් මුතු කැට වැටෙයි
මුව මඬල වැලපෙයි හඬයි
මගේ හෝඩිය නුඹේ හෝඩිය
ගොළු කරයි අප ගොළු කරයි
නළලෙ තිලකය කදිමයි හැඩයි
ඔසරි පොටටත් ගැළපෙයි හොඳයි
නුඹට මම සුසුමේ දුරයි
මටත් නුඹ සුසුමේ දුරයි
ගොළුයි අප මුනිවත රකියි
මගේ හෝඩිය නුඹට හරි බරයි
නුඹේ හෝඩිය මටත් හරි බරයි
කවිය බලන්න
🗙
































































































