ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පාපෝච්චාරණය

පාපෝච්චාරණය

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2023-August

Charles Bukowski

බළලෙකු ඇඳට පනින ලෙස
මරණය මා වෙත එන තෙක්
බලා සිටිමි මම

ඉතා කණගාටුයි
මට මගේ බිරිඳ ගැන

ඈ දකීවි
මේ දරදඬු, සුදුමැලි සිරුර
වරක් දෙවරක් එය සොලවනු ඇත ඇය

“හෑන්ක්!”
යැයි ඈ කෑගැසුවත්
හෑන්ක් පිළිතුරු නොදෙනු ඇත

මා වඩාත්ම තැවෙන්නේ
මගේ මරණය ගැන නොව
මා මළ පසු
ශූන්‍ය බව පිරුණු පොදියක්
සමඟ ඉතිරිවන
මා බිරිඳ ගැන ය

එහෙත්
මා කැමතියි ඈ ට කියන්නට
ඈ අසල සැතපුණු
හැම රැයක් ම

අප අතර ඇතිවූ
හැම නිෂ්පල
බහින් බස් වීමක් ම
ඉතා කදිම බව

එමෙන්ම
මා මෙතෙක් කීමට බිය වූ
අමාරුම වදන්
දැන් කිව හැක

‘ඔබට ආදරෙයි මම’

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Henry Charles Bukowski ජර්මනියේ උපත ලැබුවත් ඔහු පසුකාලීනව ඇමෙරිකාවේ ජීවත් වූයේ ය. ඔහු වෘත්තීමය වශයෙන් නිර්මාණකරණයේ යෙදුනේ වයස තිස්පහත් පසුවූ පසු යි. Bukowski විසින් ගද්‍ය, පද්‍ය කෘති සහ නවකතා හතළිහක් පමණ ලියා තිබේ.

Photo Luigi Boccardo on Unsplash