ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2024 දෙසැම්බර් කලාපය
අසල් වැසි දනට පෙම් කළ දයාවේ
ගාසා තීරයේ ගිනිගත් තලාවේ
නොසිතන, අහිංසක දරුවන් මලාවේ
දේවපුතුන් දහසක් බිහි වුනාවේ!
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
(2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල -
හොඳම ගේය කාව්‍ය සංග්‍රහය
'වසන්තයේ අග' කවි සංග්‍රහයෙන් )
රාත්‍රිය ගැඹුරු කල්පනාවකය
බලා සිටිමි මම
කවුළුවෙන් එබී
අහසින් පතිත වූ
තරු කැට දෙකක් බඳු
විදුලි පහන් එළි දෙකකි
කඳු අතර මිහිඳුමෙහි
දිලෙන, නිවෙන
රාත්‍රිය සමඟ එක්වෙමි
කල්පනාවකට වැටෙමි
ඈතින් ඇසෙන ගීයකි, මිහිරි
මතකයේ සැඟව තිබූ
විරහ වේදනාවක් අවදි වෙයි
රිදවමි මසිත
වසාලමි කවුළුව
වැතිරුණෙමි නිදි යහනෙහි
රෑ පහනද නිවාලමි
මෙන්න රාත්‍රිය යළිත්
කුටිය තුළ
අඳුරද- වේදනාවද සමඟින්
දෑස් පියා ගතිමි තදින්
මෙන්න - එවර ඒ රාත්‍රිය
මා තුළම
අන් මගක් නැත
ගිලෙනු මිස රාත්‍රිය තුළම
අඳුරටම ඉඩ දෙමින්
කල්පනාවට හිස නමමින්
කෙමෙන් බලගතු
වෙමිනි රාත්‍රිය
මා දෙතොලට ළං කරයි
කාලවර්ණ මධු බඳුන
පිරිමදී මුළු ගත
මඳ උණුසුම් සුරතින්
මතක අමතකව යයි
වැළඳගමි රාත්‍රිය
රෑ සුව විඳිමින්
සැතපෙමි එතුළම
කවිය බලන්න
උතුරෙන්
දකුණේ මෙන්ම උතුරෙත් හිරු නගියි උදේ
රන් තරු රිදී තරු හවසට පෙළට ඇදේ
හඳ ඇති දාට රසබර රැස් දහර හඳේ
පොල් ගස් මුදුනේ මෙන් තල් ගස් මුදුනේ වැදේ
ගෙන එයි මිහිරි ගී මඳනල හමන විට
වැටහෙයි නො වැටහුණු සැඟවුණු කරුණු මට
නිල් පැහැයක් නැතත් මේ වැලි පොළොව පිට
උදයට පෙනේ බොල් පිනි බිඳු පබලු ඇට
තනි බව දැනේ එහි කවුතුක රසය ඇත
මා පිට ගෙයක බව සලකනු පුරුදු නැත
හැම මොහොතක ම ඇති උණුසුම් ගතිය මත
උගතිමි කිම ද මිනිසා සතු දෙ නෙත තෙත
ඩහදිය හෙළන අය හිරිහැර අතර වැටී
දකුණේ මෙන් ම උතුරෙත් හැම තැනම සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි හැටී
කළුගල් යකඩ නො ව උණු වී හැළෙන ඉටී
බැඳ ඇති විලංගුව පා මිණි සලඹ කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරි පිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් පෙනෙන විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස මට
මිනිහා වෙතින් මිනිහා වෙන් කරන රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනකු විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු දෙසින්
පැයක දි එකට හමු වන දුර ඇත දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවකු වෙ ද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන
බේදය පිළිස්සී හමු වේවා දකුණ
කවිය බලන්න
සැබෑවෙයිද...කේයස් උතුරෙන් සිහින
1947 වසරේ, සාගර පලන්සූරිය (කේයස්) උතුරෙන්..
කවි පංතිය නිර්මාණය කරන විට, ඔහු යාපනය ජැෆ්නා කොලීජියේ ගුරුවරයකු විය .
77 වසරකට ප්‍රථම ඔහු මෙම පැදි පෙළ නිර්මාණය කරන විට, උතුරු දකුණු ජනවාර්ගික ගැටළුවක් දැඩි ලෙසින් නොපැවතුනද,එහි ආරම්භක ගති ලක්ෂන හා අනාගත අනතුර ඔහු නිවැරැදිව දැක ඇති බව, උතුරෙන් කවිය පුරා කියවේ. එහි අවසන් පැදියෙන් මෙලෙසින් එය අරුත් ගන්වයි...
"සුරුට්වට එක්වී උතුරේ ඔතන
බේදය පිළිස්සී හමුවේවා දකුණ"
යන අදහසත්,
එයට පෙර පැදියෙන් කියවෙන,.....
"මිනිසා වෙතින් මිනිසා වෙන් කරන රිසින්
බැදි ඇති පවුරු පදනම් කිසි කෙනෙකු විසින්
ඒවා කඩා බිදගෙන එහි පිරුණු පසින්
පාලම බැදෙනු ඇත දවසක උතුරු දෙසින්"
දශක හතකට ප්‍රථම කේයස් කවියා අපේක්ෂා කල උතුරු දකුණු සංහිඳියාවේ පාලම, මෙතෙක් ඉදිනොවූ අතර, ඒ සදහා සියලු පාර්ශවයන්හී, ජීවත දහස් ගනනින් වන්දි ගෙවා ඇත.
එනමුත් මෙරට පලමු වරට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ උතුරු පලාත් ප්‍රථිපලය, ජනවාර්ගික ප්‍රශ්නය බැහැර කරමින් වෙනස්වූ ජාතික එකමුතුව සදහාවූ ජනතා කැමැත්තක් පල කර ඇත.
එය දශක හතකට පසු කේයස් ගේ උතුරෙන් පැදි අපේක්ෂාව ඉටුවීමකි.
එය මෙලෙසින් මා පැදියෙන් සටහන් කලෙමි.
ඇවිලෙන උතුර දකුණට පේනා හැඩය
කවියෙන් කියූ කේයස් උතුරෙන් පැදිය
එම කවි ලියා හැත්තා හත් වස් නිමය
අද එහි අරුත පලගැන්වීමත් තුටුය
ගතවුනු දිගුකලෙක් උතුරේ යුධ ගින්න
අසරණ පවුල් දහසින් දිවි අහිමි වුන
හැමකට හේතු නොනැවතුනු යුධ ගින්න
මතක නැගේ සුරුටුව උතුරේ ඔතන
උතුරු දකුණු එකතුවෙ පාලම හැදුම
වහසිය බසට නිති විය පාලක කියුම
උතුරෙන් කවියෙ සන්හිදි පාලම් ලියුම
අද මැති ප්‍රතිපලය කල සිහිනය හැබෑවුම
උතුරු දකුණු එක්කල කතිරයෙ රැගුම
ජන මත කියයි හැබැවින් එහි දැක්ම
කේයස් කියූ උතුරෙන් සංහිඳියා හැගුම
ඉටුවන දිනකි මා සිත් තුල පැතුම
කවිය බලන්න
සොඳුරියේ
අසනිය මල් පලස මතින්
පෙම් කඳුළැලි මැකුණු නෙතින්
මා හා අත් බැඳ ආ සුදු
හංසිකාවියේ
ඔය අත්තටු යට සඟවන්
දෙවැනි මව් වෙලා මට දුන්
සෙනෙහසේ පහස උණුසුම්
සීත විල් දියේ....
දියෙන් කිරි මුදා පොවමින්
පියෙන් පිය නැගූ රළු මග
වැසී දුකඳුරින් තනිවුණු
අමාවක රැයේ
පෙම් ගිතෙල් පහණ නොනිවී
දැල්වුණා ළයේ.......
රිදුම් දෙන දෙපා වියපත්
නැගේ මා ලඟින් තාමත්
ඇවිද යමු සොඳුර අත් බැමි
සිඳෙන තුරු භවේ
පෙරුම් පිරු ලෙසින් හමුවෙමු
යළිත් මතු භවේ....
කවිය බලන්න
සැකය
හිනා වැස්සක තෙමී
සෙනෙහසක් පොරොවගෙන
මල් පැළේකුත් අරන්
ඔබ ආව මුල් දවස
තාම මතකයි සොඳුර
ගෙදර පිළ ඉදිරිපිට
සරුසාර පොළොව මත
නිතර ඇහැ යන තැනක
ආදරෙන් ඉන්දුවා
හුරු බුහුටි මල් පඳුර
එතැන් සිට නිතිපතා
හිම වැටෙන කාලෙදිත්
එක මලක් හෝ පිපී
හිනැහුණා නිරතුරුව
රතු රෝස මල් පොකුර
*******
වසන්තය ඇවිල්ලත්
මලක් අහලක නැතුව
කොළත් වේලී ගිහින්
මැලවිලා ගිය මුහුණ
කිමද මේ මහ අඳුර
සතර අත පැතිර ගිය
මොකක් හෝ පිළිලයක්
රෝස ගහ බිලි අරන්
වැරදිලා හැමදේම
වේලිලා සේ කතර
කවිය බලන්න
Dandelion
ගිනිගත්ත හිරු පැහැය උරාගෙන ඇහැරිලා
රොන් ගත්ත බිඟු නඩය එක්ක දොඩමළුවෙලා
සිතගත්ත කොල පැහැය රැඳුණු පත් සනසලා
තුටුවෙත්ය විඳ සුවය මඳනළට හිනැහිලා
දවස අවසන පීත පැහැ හිමින් මැකෙනවා
හඳක අසිරිය අරන් හිමි හිමින් සැලෙනවා
ළඟම හිටි අය වුනත් නොදැකි සේ හිඳිනවා
හෙටට එන පරපුරක බර නටුව දරනවා
හමා යන සුළං රැල හා හාද වී සෙමින්
කියා දුර ඈතටම සැවොම ගෙනියනු සොඳින්
නිශාවක ගගන පිපි තාරකා මල් ලෙසින්
මුදා හැර මල් නටුව යතිය අවසන් ගමන්
කවිය බලන්න
හීන ලඟා කරගත් ලංකාව
“ලොවෙත් නැති” වෙන්න රතුපාටින් දිලිසෙන ලංකාව
අහසත් පරයා කෙමෙන් දියුණුවට යාවි නැහැ සංකාව
අලුත් ලොවක හීන පාට කරලන්න ඉපිලෙන ආශාව
යලිත් ජීවිත ජීවත් කරවන්න සැරසෙන ලංකාව 🙏😇💐❤️
උපන්තේකට නැහැදිච්ච ලෙස විසූ දියවන්නාවේ සොර රෑන
උන්මත්තකයින්ට ගුලි බෙහෙත් මෙන් කුලෑටිවී විසිරුණු වරුණ
උපරිමයට අස්වනු නෙලන්නට කෙත් වපුරන අනුර-අරුණ
උද්දීපනයට සැරසෙවු සගයිනි සරු හිත් පොදි බැඳගෙන 👌👍💐
කවිය බලන්න
සොඳුර! සීතලටත් මල් පිපේ..
නිහඬ කලකට පසුව
සංචාරක කුරුල්ලන් යළිත් පැමිණේ
හාස්කමකින් පත්‍ර පියඹයි
අතු රිකිලි වජ්‍රාසනව හිඳී
ඉනික්බිතිව
මහා හිම පතනයක් සිදුවෙයි
එවිට මට ඔබව හමු වේ
තෘණ පත් මත යෙහෙන් වාසය කළ
අශ්වයින් දෙදෙන
ධ්‍රැවාසන්න ග්ලැසියරයක සැඟවෙයි
මා කොණ්ඩා කටුවක්
ඔබේ සීත කුටියේ වැටී තිබී හමුවේ
රාත්‍රී නිදන ඇඳුමක්
සයනේ කෙලවරක සිනාසේ
එවිට ඔබට මා හමු වේ
හෘදයට මදක් පහළින්
සමනලුන් පියෑඹූ ලකුණු හසුවේ
එවන් දිනයන්හි ඇවිද ගිය තැන්
නත්තල් බුබුළු වලින් සැරසේ
ඔබේ ගීත ලැයිස්තුව
ධාවනය අතරතුර වැයේ
සීත නොතකාම අප අතර මල් පිපේ
එවිට අපට අපව හමු වේ...
"මම ආසම නැත්තෙ විරහා ගීත වලට"
ඔබ කියනවා යාන්තමට මෙන් මට ඇසේ!
ලන්ඩනය
කවිය බලන්න
ස්ටොක්හෝම් ලලනිය
ස්ටොක්හෝම් ලලනිය
උදාරම් ඔතරම්
කුමක්නම් වෙද
උස් රාජකීය පියැසි
මනනන්දනීය උයන්
නයනානන්ද දියැදුරු
අතර සඟවාගෙන ?
කුමකටනම්
පුරන්නේද නිති
කුහුලින් මසිත ?
මන්ද
පෙන්වා නුඹ
සොඳුරු වත මදක්
කුප්පන්නේ මෙලෙස ?
ස්ටොක්හෝම් ...
සෝබාව දේ නුඹ විසිතුරු
ඉවසනු බැරි තවත්
කිපෙයි ඉඳුරන්
හසුවෙයි මා නුඹ දැහැනෙහි
ගිලෙමි සයුරක
නුඹ වෙසඟ මැදුරෙහි
මත් මිනිසුන් සහසක් අතර
සොයා නුඹ රස
ඉදින්
කියව නොපැකිල
සඟවා සිටින්නේද නුඹ කෙලෙස
කවර නොකිලිටිබවක්
මේ ඉඳුරන් කුපිත
මිනිස් සයුරක ...
නැති
පළක් නැති
සිතා ඒ ගැන
ගිලෙමි ගිලෙමි
හෙටක් ගැන නොසිතා
නව්‍ය රස ගඟුලෙහි
අද
එපාවන තුරු හෙට
ස්ටොක්හෝම් ලලනිය නුඹ ....
කවිය බලන්න
සීතල ගුලි කරන් සීයා ඇවිදින්නේ...
සෙනෙහස මලු පුරා පුරවා ගෙනැවිත් පොදි බඳින්නේ
මුවහස - පපා - පෙම වපුරා ඒ බැව් ඔහු කියන්නේ
දිවි - මාවත දිගේ දඟ-දන කවුරුත් නැහැ දකින්නේ
“සාමය” තවත් “ඈතට ගොස්” ඈතින් අත වන්නනේ
සකය කරකැවී පසුපස කම් එන්නේ කෙලෙසා
පවස නිවෙන්නේ දෝතට ගත් දිය බිව් විගසා
සුවය දැනෙන්නේ අත-මිට කාසි-පනම් ගවසා
ඇති විට පමණ ද වසරක් ගෙවෙන තැනදි විමසා
ගුලි කර ගත් සී - ඊතල දුනු - රැහැන් වෙලා මුව රථ
විළි අඹරා වළා කුලෙන් - කුලට ඇදෙනයුරු එන පථ
කිළි විමසා නොපනත්කම් කළ හිත් නොරිදවා අපථ
පිළි - ඈ නෙක තෑගි බෙදයි ලෙස රජිඳුන් මහ දසරථ
සන්තානය දැකලා දෝ මුණිවරයන් පහළ වුණේ
අස්ථානය දැකලා දෝ එමුණි රදුන් සෝක වුණේ
විස්සෝපය හින්දා දෝ පොඩි සිත් සනහන්ට වුණේ
අපසරයක ගිළුණා දෝ දනන් සිරස දුරස් වුණේ
උඳුවප් සිහිතල මුළු ලොව සිප ගෙන
මැදියම් රැය තරු එළියෙන් දිදුළන
ගව ලෙනක එදා කුමරුන් බිහිවෙන
සාමයෙ පණිවුඩය ද ලොව සැනසුව
ගෙන ආවේ... ගෙන ආවේ...
කිම - මිනිසුන් නුවණින් සිරසින් නැති
විම - සුව හොත් සෙනෙහස පෙම සිත් නැති
දම - යදමක් ලෙස බැඳුණු බවක් නැති
සම “මිනිසත්කම” අහලකවත් නැති
මනස උසස් වෙ ද මිනිසාගේ...
කාලය එළැඹ තියේ මෙ වසරේ
ප්‍රේම වඩා සාමය පතුරන්නට
සාම කුමරු ලොව සැමට ම දැක්වූ
ආදරය ද ප්‍රේමය ද වඩන්නට
මනසින් සිරසින් බැඳ වෙළිලා!!!
2024.12.01
කවිය බලන්න
බලාපොරොත්තුවේ අරුණළු
දුන් මුත් නිහඬ චන්දය
බලව එහි ආනිසංසය
සිව් දෙසින් ගලා ගිය
එකම සොඳුරු සංගීතය
මහ ජන හඬින් යාකර
උතුර, නැගනහිර
දකුණ සහ බටහිර
සමගින් සිසිල් කඳුකර
යහපත් වෙනසක් පතා ඉදුරා
පුරවර ගම් දනව් සිසාරා
ජන හඬ, ජල කඳ ගලා උතුරා
එකමුතුවේ කිරි සයුර කරා
ලියලා පුනරුදයක ලා දලු
වලලා ජාතිවාදී ගිනි සිළු
ඒ කිරි සයුර පරතෙරෙන් දිස්වේ
බලාපොරොත්තුවේ අරුණළු
කවිය බලන්න
මිනිසෙකි සුහද පොදු ජන හදවත බැඳුන
රථ වාහන පෙළක් නැත පෙර මග දිවෙන
ආරක්ෂක සෙබළු නැත වටකර සිටින
තනි වාහනෙන් බැස මඳහස පිරි වුවන
මිනිසෙකි සුහද පොදු ජන හදවත බැඳුන
මැරවර පිරිස අතහැර ගිය මැති සබය
උගතුන්ගෙන් පිරෙනු දැකුමත් මනහරය
සැමටම උදා කරමින් ඒ නව යුගය
යළි ගොඩනගනු නිසැකය රට දැය සමය
තැති ගත් හොරුන් රැළ යන එන මංනැතිව
හිරවී නිවෙස් තුළ අරමුණකින් තොරව
දැක දැක ලඟම එන ඉරණමකට බියව
හෙලමින් දුක් සුසුම් පසුවෙයි නිරතුරුව
කවිය බලන්න
මෑණිය සොබාදම් රජයට සවි දෙන්න
මව් බිම උලා කෑ හොර
නඩයක් පන්නා
මිනිසත් කමට තැන දෙන මිනිසුන් ගෙන්නා
පුරවා තිබේ අද මහ ගෙය දියවන්නා
දුක් විඳි මිනිස් කැළ දැන් සතුටින් ඉන්නා
නිසැකයි මේ පිරිස රට සරු කරලන්නා
ඒකට අපි සැවොම නිති අත හිත දෙන්නා
රට කෑ එවුන් සහ තව වහලුන් ඉන්නා
කකුලෙන් අදිති පිටුපස සිට උන් දෙන්නා
රට ගොඩ නගන්නට බාධා ගෙන දෙන්නා
මැඩලිය හැකිය නීතියෙ බල තල පෙන්නා
එනමුත් නොසිතු ලෙස වැසි සුළඟද එන්නා
රට හැම තැනම වනසාලයි මේ දෙන්නා
මෑණිය සොබාදම් සැමගෙම දුක දන්නා
අස මැන හොඳින් මෙය දෙසවන් යොමමින්නා
අදහස ඇතිව වැනසුණු රට ගොඩගන්නා
පත්වුණු අලුත් රජයට සවි දුන මැන්නා
වැස්සෙන් කරන මහ වැනසුම නවතන්න
සුළඟද අදම වෙන දෙසකට හරවන්න
පස් කඳු පෙරලනා එක යළි නොකරන්න
ඔබගෙම දූ පුතුන් රකිනට ඉඩ දෙන්න
ඔබහට නොයෙක් පීඩා කළ දරුවො රුදූ
බැඳ සිර කරන තුරු ලොකු වැල් වලින් මදූ
මේ නව රජය වෙත සවිබල දෙමින් උදූ
ඉවසා සිටිනු මැන කරුණා සිතින් මුදූ
2024 / 11 / 26
Photo Credit: Anthony Lim
කවිය බලන්න
මිරිඟුව ....
කාමරයේ විදුලි බුබුලෙ
සුදු එළියට පියඹා විත්
එයම පරම සැපය කියා
සැනෙකින් එහි වට දැවටී
දුහුල් සේද වැනි පිය පත්
හලා ගත්තෙ ඇයිද 'මෙරුව'.
පියපත් යුග ගිලිහුන සඳ
තවත් සිටිය හැකිද ඉහළ
ඒ බවවත් නොදැන ගෙනද
පිය පත් යුග හලා ගත්තෙ.
දුරට පෙනෙන සොඳුරු දසුන්
ලඟට නොවේ වටින කසුන්
සිහිනෙන් ගෑ සුවඳක් මෙනි
නෙත් හැරි සඳ සුන්ය පැතුම්.
කවිය බලන්න
රතු පාටින් සඳයි තරුයි
ටයර් සොහොන් නැගූ දුමෙන් - අඳුරු අහස වැසී යද්දී
සඳත් තරුත් පමණි උන්නෙ - විලාප හඬ වැළඳ ගන්න
රත් පැහැගත් සඳත් තරුත් - දිරිය වඩා තුරුණු සිතේ
අවදි කළා රටක් හදන - අදිටන හැම සිතක් තුලින්
දින සති වසර දශක - කාලය එක දිගට ගලා
ලේ ද කඳුළු දහදිය - පොලව තුලට නිධන් වෙද්දී
කවදා හෝ ජයගමු - තිර අදිටන
දොළොස් මහේ පහන ලෙසින්
තුරුණු සිතේ දැල්වෙද්දී
විසි හතරේ ඉල් පෝයට
ආයෙත් අර සඳයි තරුයි
දිශානතිය පෙන්වාලා
රතු පාටින් සිනහ වුනා
ජනසිත් හැම පුබුදාලා
නවසීලන්තය
25 නොවැම්බර් 2024
කවිය බලන්න
නත්තල් රස්සාව
රතු ලෝගුවක් ඇඳන්
සුදු රැවුලකුත් දමන්
ලස්සනට සරසාපු
කුටියෙ හිඳගෙන සිටිමි
ලඟට ගෙන පොඩි එවුන්
දෙමින් නත්තල් තෑගි
උන් සතුට වඩවමින්
සිටිමි තැවෙමින් සිතින්
තෑග්ගක් නත්තලට
දෙන්න මගෙ දරුවාට
මිල මුදල් නැතිකමට
ආවෙ මේ චරිතයට
දවසෙ වියදමට සරි
නොවේ ලැබෙනා වැටුප
පොහොසත්ය පෙනුනාට
දුප්පත් මම, ඇත්තටම.
කවිය බලන්න
වෙන්දේසි වත්තේ බළලා
වෙන්දේසියක් මා ඉපදුන මහ වත්තේ
සන්තෑසියක් වුව නොමැරෙමි ඒ මත්තේ
ආරංචියක් ආවා සුබ මේ පැත්තේ
වේකන්සියක් නැද්දෝ දත් නැති මුත්තේ
මුත්තේ උඹේ තනියට සිටි බලු බාන
ගත්තේ මාරයා බොද කරමින් සීන
අත්තේ වහන්නේ එක පාටක රෑන
ගත්තේ නැතත් ගෙට,නොකරමි අවමාන
උපන් ගෙදර තුන හතරට බෙදාගෙන
සැකෙන් බියෙන් උන් උන් ගහ මරාගෙන
උපන් ගමෙන් ගොස් සුර ලෝ සොයාගෙන
ඉතිං මඟට වැටුනෙමි ඇස් පියාගෙන
වකුටු වෙලා එදවස සිටියෙමි අටුවේ
සතුටු සාගරේ ලිප් බොක්කේ දුටුවේ
නකුටු බලු හැත්ත හැමදා වින කැටුවේ
පොකුටු මගෙ තැටිය ඉදහිටලයි දුටුවේ
ඇස් ඇරි දා පටන් කරදඩු උස් නිවස
හිස් කර ගඩොල් ලී දඩු උලු නැති හුඹස
පස් පවු කලත් පන්සිල් "ගන්නා" පිරිස
පස් ගොඩ බෙදා පන්සල් වැන්දා හවස
ඇසෙයි මහ ඉඩමේ ඩෝසර් යකුගෙ හඬ
වැසෙයි මගේ පා සටහන් රැදුන මඩ
හැදෙයි හෙට දිනේ මහ කම්හලක් නැඩ
දිසෙයි ආලවක ඩෝසර යකුල් තුඩ
අනේ මහතුනේ මගෙ දුක් ගිණි දැකලා
වනේ හතුරෙකැයි මා ගැන නොම සිතලා
බණේ පොත් අකුරු දැන් ඔක්කොම මැකිලා
පනේ අඩගහන් බත් තැටියට බෙදලා
ඉඩක් කඩක් ඇත්නම් ගෙයි අගු මුල්ලේ
කඩක් එලා දෙනුමැන පිච්චිය ඉල්ලේ
මටත් කලක් බඹරය කැරකුනි වැල්ලේ
දිනක් මීයෝ එල්ලති පොල් කටු බෙල්ලේ
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
හිමි සඳිනි සුරපති
ගඳඹ ඇදුරන්ගේ නිති
පවතින මේ සිරිති
නොමිලයේ ගායනා නොකරති
සක්‍රදෙව් තෙමේ වාහනය එවා දෙව් ලොවට කැඳවාගත් ගුත්තිල ඇදුරුතොමෝ වීණා වාදනය සඳහා ගාස්තු ඉල්ලති.
කවිය බලන්න
දෙව් සමිඳුන් නමදිමු බැති පෙමින් .........
සිරිපොද වැස්සෙන් ලොව නැහැවෙන්නේ
ළාහිරු මඩලින් නෙක මල් පිබිදෙන්නේ
උඳුවප් සිසිලෙන් මිහිර ගෙනෙන්නේ
සාමයේ කුමරුගෙ ගුණ සිහිවෙන්නේ
දෙවියන් පළමුව මේ ලෝකය මැව්වා
ගැහැණිය සමඟ පුරුෂයා දෙවනුව මැව්වා
ලෝකය මවා මිනිසුන් ලොව තුල මැව්වා
මිනිසුන් ලොවේ හැසිරෙන හැටි බැලුවා
ගහැණිය සමඟ පුරුෂයා එක්වී බැඳුනා
නිමක් නොවන පව්කරනා බව දැනුනා
සුමඟට නොවේ නොමඟට යනු පෙනුනා
පාපෙන් දනන් මුදවාගන්නට සිතුනා
මරිය තුමිය තෝරාගනෙ මව් ලෙසට
ඇගෙ කුස තුලින් වැඩුනේ යසට
සාමයේ පණිවිඩය අරගෙන ලොවට
ජේසු කුමරු බිහිවුණි උඳුවප් මහට
මිදෙන්නට ඉටා අපගේ පාපවලින්
කරුණා දයා ගුණ පා සෙනෙහසින්
සාමයේ කුමරු දුන් පණිවිඩ රකිමින්
සමිඳුන් කියාදුන් මග අපි යමු පෙමින්
අප වෙනුවෙන් ලබාගෙන මිනිසත් බව සමිඳුන්
දුන්නේ පෙන්වා යහමග යන්නට පේම සිතින්
රකිමින් මනුලොව මනුදම් සෙනෙහසින්
නමදිමු බැතින් දෙව් සමිඳුන් බැඳිපෙමින්
කවිය බලන්න
දරාගමි පෙම්වත
විටින් විට නුඹ තබා ගිය
සුවඳ මිට මොලවගෙන
අදත් මා ඇවිද යම් තනියම
හිම වැටෙන මඟ තොට
දෙවොන්දරා , ඒත් නුඹ නෑ ...
කෝපි හල් , බොජුන් හල්
මඟ හරින්නමයි හිත
අතින් අල්ලා අපි ඇවිද ගිය තැන්
හරිම පාළුයි දකින විට
සකුරා මලින් බරවෙච්ච
වසන්තය ආවත් නුඹ එන්ට පෙර
දැක්කෙ නැ කවමදාවත්
මේ තරම් ලස්සනට පෙම්වත ....
අදත් සුවඳයි මතක
කල්පයක් ගියත් දිය නොවන
වරින් වර ලාවා ගලන
පූජියාමා කන්දටත් හිම වැටෙනවා දවසක
හමුවෙන තුරා ආයෙමත් බවයක
දෙවොන්දරා මගේ , දරාගමි පෙම්වත
කවිය බලන්න
සාදයක සිරි
පරදා සුරලියන් රූසිරි
ඔපකර ලඳුන් කදිමට
හැඩට සැරසුණු පුරුෂයන්
මුදු සිනහ ප්‍රිය තෙපුල්
සුරලොවක් මවන සාදයක්
පිරෙද්දී මදිරා කුසලාන
නන්දෙඩුම් සිනහ හඬ මැද
වේගවත් රිද්මයක් සාදයට
හිඳුල් පිරි මේස මත
හිස්ව ගිය මධු බඳුන්
සිසීකඩ ලූ පුටු මේස
අපායක් වන් සාදබිම
වැසේද්දී දෑස් පියන්
පිරිසිදු කරන දැසිදසුන්
කවිය බලන්න
වල ගැහුණු කම්මුල් මතක...
මං එරන්දී යැයි කියා
කියන විට ඔබ හිනැහිලා
වල ගැහුණු කම්මුල් මතක අතරින්
අතීතෙට මං දිවගියා
මතක මිටියාවත් පුරා
පළමු පෙම සක්මන් කලා
තියෙනවද දන්නෑ අදත්
කෙටූ නම් ඩෙස්ක් එක පුරා
බස් එකේ මුල්ලට වෙලා
තැනූ වැලි මාළිග පුරා
හීන ගුලිවී ඈත පාවී
ගියේ අපි නොසිතූ යුරා
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
සොඳුරු ගුණ නුවණ යුතු උතුමෝ පතර
නපුරු දුදන සහ එක් වුව වෙති අසර
රුදුරු කටු පහණ නැති සමතල හසර
අඳුරු සමඟ වූ කල වේය බියකර
යහපත් ගුණ නුවණ ඇති උත්තමයෝ නපුරු දුදනන් හා එක වුවහොත් නිසරු නිෂ්පල බවට පත්වෙති. භයානක කටුක ගල්මුල් ද නොමැති සම බිමින් යුතු මාර්ගය අඳුර සමඟ එක් වූ විට බියකරු බවට පත්වෙයි.
කවිය බලන්න
ගුත්තිල සහ මූසිල
කියාදුන් ඇදයකිය පාඩමේ අයන්න
ශිල්ප දුන් අඩුවකිය මූසිලට වයන්න
මටත් හිතුණා කවිය මේ වගේ ලියන්න
ගුරුද ගෝලයාටද වැරදුනේ කියන්න
හොඳ සිරිත් මල්දමින් ගෝල හිත අඹන්න
ඉස නේක පිරිත් පැන් ආත්මය පෙරන්න
විස ගේන සිතුවිල්ල ප්‍රේමයෙන් මඬින්න
ගුත්තිලට බැරි උනා මූසිලට කියන්න
වීණාවෙ තත් අතර දිවෙන අතැඟිලි නේක
හදවතට දැනේනම් තමයි මිහිරිය ඒක
සුසර කරගත නොවූ සිතිවිල්ල එක දේක
සාර්ථක නොවූ ගුරු කතාවක් නේ මේක
ANA 2024
කවිය බලන්න
වංකගිරියෙන් පිටවෙමි
දුෂ්කරය මේ වංකගිරියේ වාසය
ජාලිය ක්‍රිෂ්ණජිනාටත් දැනේ බඩසාය
හිස් අතින් පැමිණ ඇත මන්ද්‍රි දේවිය
පලවැල කොහිද, ගසුත් හොරු ගෙනගොස්ය
දනට දරුවන් ඉල්ලමින් නිරතුරුව
මහළු ජූජක බමුණෝය මඟ දිගට
සක්දෙව් වෙසින් එන බමුණෝත් එමටය
දුෂ්කරය මේ වංකගිරියේ වාසය
දන් නොදෙමි දරු , රකිමි උන් පණ මෙන
පලවැල නැතත් මන්ද්‍රි දේවිය ගෙනෙන
පොවමි කිරි ලෙස ලේ කඳුළු දහඩිය
පාරමිතාවන් පුරමි රකිනු වස් උන් දිවිය
පිටවෙමි වංකගිරියෙන් හෙට දින උදය.
( 2024 විදර්ශන සාහිත්‍ය තරඟයේ -කාව්‍ය සංග්‍රහ- අවසන් දිගු ලැයිස්තුවට තේරුනු “ කුසලාන ඈතටම විසිකර“නම් කෘතියෙනි )
කවිය බලන්න
සුද්දී.......
අමතක කලත් අමතක නැති දිගැස්සියේ
කලකට පසුව ඔබ අමතමි හදිස්සියේ
මගෙ හදවතෙ නුඹ සිටි තැන හිඩැස්තියේ
ඔබ නැති වුණත් මා ඔබෙ සිර අඩස්සියේ
මතකය ගිලිහි ගියෙ ටික ටික ලතාවට
හදවතෙ ලියූ නම මැකුවෙි රටාවට
හැම දේ වුනෙ කරුමය සහ වෙිලාවට
මොනවද වෙලා සුද්දිගෙ කල්පනාවට
හැකිවෙිවිදෝ කවදා මුණ ගැසෙන්නට
රංඩුත් කරලා යළි හිනැහී දොඩන්නට
මා අවලංගු කාසියකයි නොවන්නට
තවමත් තිබුණා අපෙ මිතුදම රැකෙන්නට
කවිය බලන්න
වසක් විසක් දෙනවද මියනෙට අපට
මිලියන දහස් ගණනක් වස් පෙරක සිට
කනබොන නිදන ගැවසෙන මිය ඇදෙන විට
සැනසුන සොබා පරිසරයක සිටි අපට
කොඩිවින කලේ මිනිසයි එය විසුණු කොට
කපා දමා කුස පුරවන දළු අහර
දෙපා සතා ගිජිඳුට වූවෙද සතුර
නොපා සෙනෙහෙ අටවා විදුලිය පතර
අපා යටම යන ඔබ වළකනු කවර
දුකක් අපේ නොම හඳුනා ගත් ඔබට
මිසක් කාට කියනෙද ගිනි ඇති කුසට
දිවක් පිනන දළු කොල නැතිවෙන කලට
වසක් විසක් දෙනවද මියනෙට අපට?
කන්දේ වැඩුණු ගහ කොළ කප කප නිතර
බින්දේ සොබාවික ලන්දේ සවි සතර
රොන්දේ නාය ගොස් දිව ආ මඩ වතුර
කන්දේ මුලෙහි මළ ගෙදරකි අද මිතුර
නැත්තෙන් බිම ගමන හැටවිය වුව පිරුව
අත්තෙන් අත්ත පැන දුව සිටිමින් ගරුව
ලන්දෙන් ලන්ද අද නැත පෙර මෙන් සරුව
කැත්තෙන් කපා මිනිසා ඇයි වුනෙ මරුව
තුරුළු වෙවී හිඳිනට ඇය හා සුහද
නැඹුළු යුග දිවියෙ පැටවුන් ලැබ නොමඳ
කුරුළු කූඩුවක් තනවන්නේ කෙලෙද
වදුළු තුරු කපා වනසා ඇත නිබඳ
පිහිදා කඳුළු ගලනා නෙත් අග නිතර
පහදා දෙන්න හැකිවෙද අනතුර කවර
නැමදා කියමි දිනකදි වෙයි ලොව කතර
කවදා වේද පරිසර වැනසුම නතර
කවිය බලන්න
පරාල බණ
අඟලෙ රීප්ප පටි වගේ
හීනියට ලේසියට පහසුවට
නිවන් දකින්න බැහැ මහත්තයො
තුනේ පහේ බාල්ක කඳන් වගේ
හයි හත්තියට ඕනැ නොවැ
ඉගෙන ගන්න ත්‍රිපිටකේම
ඇහුනෙ දෙසන නුහුරු බණක් ?
හාමුදුරුවො අලුත් නමක්
උපශාන්ත උත්තමයෙක්
වේවි වයස පනස් අටක්
වගතුග විමසනු රිසිවිය
ළංවී නා හිමියන් වෙත
ගිය මාසෙයි පැවිදි බිමට
ඇතුළු උනේ උන්නාන්සෙ
මහණ බිමට එන්න කලින්
තිස් පස් වරුසයක් විතර
මං හිතන්නෙ උන්නාන්සෙ
වඩු වැඩ කල බාස් කෙනෙක්
එහෙමයි වඩු බාස් කෙනෙක්
කවිය බලන්න
වදන් කවිපොතේ සිත්ගත් කවි
වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
මෙ හැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ
පමා නොවී එමි අකුරට මෙයින් මතු
කවිය බලන්න
Come Monday
Come Monday
Come Friday
Come any day
Life goes
Where the head turns
Is there anything
to look forward to
Victory in a competition
recognition and fame
heap of money
positions to tell the others
what to do
and what not to do
Expensive mobiles to impress others
that you are important
Expensive autos
to tell the others
that you are somebody
gold bracelet on the wrist
own palace with a queen
standing in a safe place
exuding power and authority
ability to fly to capital cities
on own or at others cost
These little little things
made big in empty heads
last mili seconds ,seconds minutes
hours or days a
while the pump
is working day in day out
reeling under the load.
When the day comes
no time to pack the bags
no need to even fly
will be flown like a kite
without a string
Even if they have
nobody will try
to hold you back
They will have
more important things
than to hold you back
16-10-24
කවිය බලන්න
මයෙ කොලූ.......
සුදු රුහිරු රනින් ගලගා පෙවුවෙමි පුතුට
අත් පා නගා දුවනා හැටි දුටුවෙමි යසට
කර දඬු නගා වැඩෙනා කොලු යස රඟට
දැක දැක ඔජ වඩා හැඬුවෙමි සතුට
කාලය ගෙවී හොඳ නරකින් වෙන් කෙරුවා
ඒ පොඩි කොලූ පීඩිතයෙක් කෙරුවා
හදවත මොලය එක් වී සටනක් කෙරුවා
කොලුවා ඉතින් හරි දේ හරියට දුටුවා
පුතුනේ එපා යයි නුඹ ගෙන මරුවා
කීවා උනත් ඌ නෑසුනු කන් ඇතුවා
එක,බත් හුළක් නෑ වීසික් කෙරුවා
පීඩිත උන්ට අම්මෙ මේ බත් නැතුවා
අපි පෑගිලයි ඉන්නෙ ඇයි තේරුම් නැතුවා
පාගන උන්ට යහමින් දේවල් ඇතුවා
කිය කිය ඌ ඒකට සටනක් කෙරුවා
බය සැක මගෙත් ඌ හිමිහිට නැසුවා
රෑ දහවලේ උං මගෙ ඒකල නැසුවා
අම්මේ ඉතින් මම කොයි මොහොතේදැයි ඇසුවා
වෙඩි පිට වෙඩි කකා අපි මේ මග යන්නද ඇසුවා
බෑ කියනු කෝමද ඌ දඩබ්බර මගෙ කොලුවා
ඉල් මහ දිනෙක ගිය මගෙ කොලු නෑ ආවේ
රතු පැහැ කමිසයක් විතරයි ගෙදරට ආවේ
අම්මේ නුඹට මම ණය නෑ නුඹ නොකියා කීවේ
ලේ සලකුණුම විතරයි මට පණිවිඩ කීවේ
රතු මල් එපා සිහි කරපං පුතුයි මගේ
බයිනෙත්තුවෙන් ඇන්නට ඇලපතට උගේ
තරහක් නැතුව ඇති ඌ කොල්ලා මාගේ
උඹලා අපි වෙනුවෙනුයි ඒ ලේ හැලුවේ උගේ.
කවිය බලන්න
ආවර්ජනා,
නුහුරු දිවි වන මැද
අතුරු අනතුරු සිඳ බිඳ
පාර කිව් හැම සඳ
මව්නි නුඹවන් කෙනෙකු ලොව වෙද,
රැඳි රැඳී වැඩ බිම
දන් දුන්න සිව් පසයම
නොපල කළ බැඳි පෙම
පිය පදමි ලද නුඹයි දෙරණම,
එළි දොවා දුර දිග
සේනා විලස සිව්රඟ
නිති රැඳුණු පෙර මග
සකි සකිණි පිරිවරයි මන රඟ,
සසර මග දුර හිඳ
පසු පස ආව පිය බඳ
කිරණ දුන් හැම සඳ
නුඹම විය පැල් පතෙහි නව සඳ,
ඇවිදි මග ගිණියම්
විඳ නෙක කටොලු සරදම්
ළඟම රැඳි බැඳ පෙම්
මාවතේ එළිවැටම අගයම්,
කවිය බලන්න
රැළි සරැළි පෙරළි පෙරළි හැන්දෑ මූදු කරේ.....
රැළි සරැළි පෙරළි පෙරළි හැන්දෑ මූදු කරේ
වැලි මාළිගා මහල් තැනුවා සබැඳි ආදරේ
නිලි බිඳිති වැහි ලිහී දෙකොපුල් මුදු උයන්තෙරේ
කිළිපොළන හැඟුම් පරදනවා මහ සාගරේ
පොඩි දෙඅත් පැටලි පැටලී උරහිසක සුව සොයා
දැඩි ලෙසින් කිමද නෙත් පියවිලි වසාගෙන ඔයා
කැඩි වළා බරවෙලා හැලුණොත් මේඝයක තියා
වැඩි සෙනේ දබරෙටයි මතක පොත ඇති ලියා
තිත් වැටී හිරිකඩට රතු වූ වත කුසුම පුරා
මත් වෙලා රඟයි නිල්නෙතු සියොළඟම සර සරා
හිත් නැති වගේ රැළිති විත් ඇගෙ ගවොම් තෙත්කරා
මිණි කිකිණි රාව පැතිරෙයි සුදු පුලින තල අරා
කිපි කැළඹි තරඟ අර බැසයන හිරුට සමුදෙන
සිපි කිඳුරු කිඳුරියන් ගල්මල් යායෙ ගැවසෙන
පිපි හංසාංඟනා මදකට නිවන් සඳවත
අපි විගස සලමු පියපත් අපෙ කැදලි තුර වෙත
චමිලා එස්. වේහැල්ල
ගාළුපුරයෙන්
කවිය බලන්න
සිකුරු තරුව
තනි මකන්නට
ලඟ හිඳින්නට
පුන් සඳක්
උරුමව නැතේ
දැනෙන පාළුව
කාන්සිය ගැන
නගන මැසිවිලි
පල නැතේ
හිතේ සවියම
අවිය කරගෙන
නැගිට ගමි ඉඳ
තනි මතේ
සතුටු විය හැක
හැමට වැඩියෙන්
මගේ ආලෝකය දිලේ
කවිය බලන්න
හිත කොහෙද ?
නතර වෙන්නැති මදක්
එවැනි නැහැ වෙන දෙයක්
හිත මහා පුදුමයක්
දුවන නැතිවම නිමක්
දශමයක් තත්පරෙන්
ගතවෙන්න ඉස්සරෙන්
එතෙරවී සමුදුරෙන්
වෙන රටක ගොස් හොරෙන්
මෙන්න මෙතැනට ඇවිත්
මොහොතකට නතරවිත්
නැතිව වෙනසක් කිසිත්
පියැඹලා ගොස් යළිත්
සොයා සතුටම දුවන
ඇදෙන කොහෙදෝ නොදැන
විටෙක දුක්වී තැවෙන
සිතම දැන් සිනහවෙන
කවිය බලන්න
පද පෙරළි විරිදු
නෑනන්ඩිය බහ දෙන්නේ ළඟ ළඟ එන ඉල් මහේද
ඒකෙන් පසු මගෙ දිවියට සුබ ආසිරි මල් ඉහේද
ඉල් මහේද - මල් ඉහේද
රහස් කතා කරන්න බෑ වටේම ඇත කන් රාසී
යමක් වුණොත් බේරෙන්නට දෙන්න වේවි රන් කාසී
කන් රාසී - රන් කාසී
සැපට දුකට දෙකටම සිටි අගේ වඩන රතු වස්සා
මිය ඇදුණා ආයෙත් නම් කරන්න බෑ වතු රස්සා
රතු වස්සා - වතු රස්සා
තෑගි ලෙසට දුන්නා මම නෑනන්ඩිට කහ සාරී
අන්තිමේදි එයා වුණා ජීවිතයට සහකාරී
කහ සාරී - සහ කාරී
වැඩ කටයුතු සිද්ධ වුණේ හැමදාකම මේම තමා
සුපුරුදු ලෙස දිවි ගෙවනෙමි සිත සතුටින් තාම මෙමා
මේම තමා - තාම මෙමා
...
කවිය බලන්න
පොල් සම්බෝලයට යස කදිමට යන හින්දා.........
සුවඳින් සුවද දෙන සුවඳැල් කෙතක් වෙත
ගැමි සිත් සතුටු කළ වෙනයම් දෙයක් නැතඉපනැළි රැඟුම් රඟ දුන්නත් නුවන් මත
නොපැතුව ලොවක් වෙත අප අද ගෙනැත් ඇත
දවසට දෙකට හී හා අපුරන අයුරූ
යන්තර මෙනිය අද වැඩ කටයුතු නුහුරූ
ඉස්සරමඩ පුසුඹ කෙත් යායට ඉසුරූ
ගෙන දුන් විලස නැහැ නව තාලය නැඹුරූ
වැලිකෙළියේ සිටම දඟදෙන පොඩි දරුවන්
බෝලය පිත්ත ගෙන පෙර මඟ මුල පුරවන්
වෙල් එළියේ .....සිටම..කෙසරකු වුණු විරුවන්
අද කොයි?ඇත්තෙ ජිජිටල්.ලොව සිර කරුවන්
සිලි සිලි හඬින් මද සුළළින් ඔකඳ වෙලා
සුදු වැලි මළුව ඉහළින් ඉඳ සිසිල සලා
පංසල් බිමේ සිවත් බව තිබුණ ගලා
දැල්වෙන විදුලි බුබුලෙන් ඇත ඉවත හෙලා
පොල් සම්බෝලයට යස කදිමට යන හින්දා
ඇල් හාලේ බතට ඇඹුලත් ගෙන
කැන්දා
මැල්ලුම, අඩුවකට කර පසෙකින් කර ඉන්දා
ඇත්තට මිහිරි රස බොජුනක් රස වින්දා
මිහිරයි ගුණයි ගැමි තාලෙට තිබුණ රසේ
කෘතිමව තැනුව දෙය හා සුව ගට්ජිය නැසේ
කා හට පවසමුද සුල මුල හා බැඳුණු දොසේ
ජන ජීවිතයේ දුක් ගී සවනතට ඇසේ
ක්වේට්
කවිය බලන්න
මිනිසා සහ හැදිවත
හැදි වත මිනිසෙකු විනිශ්චය කරයිද කෙලෙස?
ඉපදුණු නම, වර්ණය, තරමහෝ කුලය
නිදහස් ආත්මය නිර්වචනය නොකරන සේම..
හදවත් විශාල නම්,
වැදගත් නොවේ එහි සීමා පරාස...
වටිවි එවැනුන් ..
රෑ දකින හීනවලටත් වඩා අනෙකුන්
හැකි නොහැකි කම් පෙලපතේ වාසගමේ නැති සේම..
මිනිසත්බව අප වතැ'ති නූල්වල නැත.
ගෞරවය පවතින්නේ දනන් කල ක්‍රියාවන් තුළ සේම
කරුණාව ඇත්තේද
අප තෙපලන වදන් තුලමය.
මතුපිට ඔපය අප තීරකයා විය නොහැකි අතර ..
මේ සත්‍ය අවබෝධය අනුවණයන්ට අකැපය.
පැළදි දේ හො ඔබෙ ආගිය තැන
නොතබයි කිසිවිටෙක ඔබ.. උනුතැනින් උස් තැනක.
ඔබේ නොහැදියාව ඊර්ෂ්‍යාව හා
හීනමානය...
පහත ලයි ඔබ ගරුසරින්
අභිමාන.
A *Dress upon a Human Being*
Is it fair to judge a human by a garments she's worn?
Nor by the name to which she is born ?
The color, cloth, or caste you see
Doesn’t define the soul that’s free.
If the hearts are vast, not stitched in seams,
Some are worth more than others could even dream...
The value of one is not in her worn thread,
Nor in the lines of her lineage spread.
Her honor lies in the deeds, she gives
The grace is shown in the life she lives
Should we let the surface be our guide,
Or Look deeper still, where truths reside.
For what is worn and where you’re from,
Does not define who you’ve become
කවිය බලන්න
කාලයේ තාලයද...!
විස්වාසා පරමා ඥාතී කියලා
අසා ඇතේ...
ඉස්තරම්ම කියමනකී, එවන් ඈයො සුලබ නැතේ...
නස්පැත්තිය ලඟාකරන්නෝ නම් වැඩි වෙලා සිතේ...
දස්ට කරන්නේ නොදැනිම , උන්නු ගමන් සපා කතේ ...
ඇති කල කිත් යසස් බොහෝ ගැවසෙයි කා එකම පතේ...
නැති වුන විට ඒ සැමදේ ළඟින් ඉන්න කෙනෙක් නැතේ...
පැතිරවන්නෙ යම් යම් දේ අනුකම්පා ලෙසිනි සිතේ...
නිති පවතින කිසිත් නැතිලු ,
මිතුදම් මුත් වෙනස් වෙතේ...
කාලෙට ගැලපෙනසේ අප වෙනස් වුනොත් හොඳා සිතේ...
සාලෙට කැඳවා සලකනු , විඩාව යන තෙක්ම ගතේ...
මාලෙට රන්, ලැබ දුන්නත් ඉමු සැමවිට දුරින් අතේ...
සීලෙට ගරු කළයුතු මුත් නොරැවටෙන්න බලනු පුතේ...
කවිය බලන්න
උසස් පෙළ උදා විය. පාසලත් නිමා විය.
සත්ත කරපු අල්ලි මඩම්..
කෝවිල් දේවාල වලට.
ගත්ත පඬුරු තෙල් මල් හා..
සුවඳ දුමින් කරපු පුදට.
නිත්ත නිරන්තර මව්පියො..
ආසිරි කරවනා කලට.
උත්තර ලියපන් දරුවෙනි..
අකුරු ඉලක්කමින් හොඳට.
**********************************
ඇත්ත කතාවම නම් අද..
පාස් පේල් කියන දෙකට.
කැත්ත උදැල්ලෙන් බෑ දැන්..
ඉසුරු සොයා ගන්න අතට.
තිත්ත වෙලා ඇතිමුත් පොත..
ඉස්කෝලෙ දි.. ගිහින් දිගට.
ගත්ත ලකුණු තමයි පිහිට..
එගොඩ වෙලා යන්න උඩට.
********************************
ජයවේවා ! සෙත්වේවා ! ..
ආසිරිවාදයෙන් පුතුට.
ගෙනදේවා දැණුම නුවණ..
සිරිසරසවි ..ගණිඳු සිතට.
සමුදේවා කියනු කෙසේ..
සුදු කලිසම ගවුම වෙතට.
හමුවේවා මෙයින් පසුව..
වසන්තයේ සුවඳ නෙතට.
********************************
ස්වස්ති සිද්ධම්.
ආයුරක්ඛතු ආවඩා.
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
වෛද්‍ය නිලධාරී
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල
2024.11.28.
කවිය බලන්න
නොවැම්බරය
හෙමිහිට හෙමිහිට වහින කොට
සුළං හමනවා සීතලට
දරුවන් ගෙදරට කොටුවි සිටිති
කිරිල්ලියක් පැටවුන් තටු යට සඟව ගති
බලු පැටවා කුල්ලට වැද නිදති
චෙමිනිය ළඟ පූසා උණුසුම සොයති
ගෙම්බෙක් කුඩයක් නැති හින්දා
හතු මල යට මුවාවෙලා
වැස්සට නොතෙමී ඉන්නා හැටි දැක්කා
නොවැම්බරේ හරි සීතලයි
උණුසුම ඕනා කාට වුනත්
තණ බිස්සේ ඈත කොනේ
හරක් රංචුවම තුරුල් වෙලා
එක පොදියට නිදති
ගස්වල ඉදිච්ච කොළ බොහොමයි
පිණි පොද වැටුණත් බරයිනෙ දැන්
සරත් ඍතුවේ ගස්වල මල්
ගස්වල කොලමයි, පාට පාටයි
ලිප උඩ බුරු ලෙත්තුව අඬනවා
අම්මා කෝපි කෝප්පයක් හදනවා
ආච්චි බ්ලැන්කෙට්ටුව පොරවන්
ගිනි උදුනට ලංවී මැහුම් ගෙතුම්
හෙමිහිට හෙමිහිට වහින කොට
සුළං හමනවා සීතලට
නොවැම්බරේ හරි සීතලයි
උණුසුම ඕනා කාට වුනත්
කවිය බලන්න
අමුත්තා
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
ආරාධනා නොලැබම
දුක්බර අමුත්තෙක් ලෙසින්
දිනක් ප්‍රේමය
ඇතුල්විය මා හදට
නවාතැන් ඉල්ලා
යදින්නට වූ විට ඔහු
බිඳක් නතරව
ඉසිඹුලන්නට
ඉඩ දුනිමි මම
ඔහුගේ වැළපුම් මැද
මගේ නිදි බිඳුණි
ඔහුගේ කඳුලින්
මගේ සිහින දෙදරිණි
ගැයුමකට සැරසෙද්දී මහද
බියපත් කර මා
ඔහු ඒ සතුට යටපත් කළේය
එහෙත් දැන් ඔහු යන්න ගොස් ඇත
ඒ සොඳුරු වේදනාව
නොමැතිව පාලුයි මට
රෑ පුරා යදිමි
ඔහුට නැවත පැමිණෙන ලෙස
Translation of the poem ‘Wayfarer’ by Sara Teasdale
ඇමෙරිකානු ජාතික කිවිඳියක් වන Sara Teasdale (1884-1933) කාව්‍ය සංග්‍රහ හතක් පළ කර තිබෙන අතර ඇගේ Love Songs කවි එකතුවට 1918 දී Pulitzer සම්මානය හිමි විය.
කවිය බලන්න
කඳුලක බර තරම්
කඳුළු මට බරයි දැන් ඉතිං අරගෙන යන්න
වාවන්න බෑ තවත් ඇවිත් පිසදා ලන්න
නෙත් කෙවෙනි හීරෙනා උනුහුමයි ගිනි ගන්න
අනේ ඇති හීනයෙන් ඉක්මනින් නව තින්න
පන්හිදේ ඉඩ අරන් ලියූ කවි සේදිලා
හිත්මලේ නුඹෙ නමින් බහ දුන්නෙ පේවෙලා
සංසාරෙ පුරාවට ලඟින් ඉමු බැන්ඳිලා
කිව් වඳන් මහමෙරක් කොහේදෝ ඉගිලිලා
සුවඳ රැඳි ගෙමිදුලේ සමන් මල් මියැදිලා
පවන දුන් හාදුවේ සියොළග ම වියැකිලා
වස්සානෙ ඇවිත් ගිය පාට නෑ දියවෙලා
හැන්ඳෑවෙ ඔයා දුන් සෙනෙහසම පැරදිලා
දැක්කෙ මං හිතද්දර හද නිවූ ප්‍රේමයක්
රැක්කෙ එය පණ වගේ උතුම්වූ වේලයක්
ඇක්කෙ හැමවිට ඉදන් ඉඩගත්තු සේලයක්
වික්කෙ ඇයි හිමියනේ ඉඹ ගත්තු සීලයක්
ඉන්න තැන දහස් මල් පිපී නුඹ හිනැහියන්
බින්න නැති ආදරේ විදින්නට ඉඩදියන්
කින්න රාවක් ඇවිත් සෙනෙහසේ බහදියන්
සින්න වෙන යහනවට නින්දෙ සුව දැනීයන්
කවිය බලන්න
සන්තුෂ්ටියේ පුෂ්පය
පුංචිම පුංචි ස්පර්ශයකට
හැකිලී නිද්‍රා ගත වන
අස්පර්ශනීය පත්‍ර
අතු අතර විස කටු
උන්මාදනීය දම් පැහැය
ඇත්තටම ඔබ මලක් මද?
නපුරු දෑසකට හසු නොවී
පිපෙන්න පරිස්සමට
"සන්තුෂ්ටියේ පුෂ්පය"
දුරු කර ආතුර දුක සංකාව
නංවා මනෝභාව
පුංචිම පුංචි මාත්‍රාවකින්
15/11/24
කවිය බලන්න
A healer heal thyself
I walk through Sinharaja
where the echoes used to dance
Now it’s quiet like a whisper
A pin drop silence
The ground is bare
Stripped from the storm
Leaves scattered like dreams
All tattered and torn
Through muddy reflections
I search for a trace of what we once shared
Like mother earth after floods
Whole thing absorbed without a trace
Your deafening silence cuts deeper than a knife
Treading on the most sensitive spots
Nevertheless,
A healer heal thyself as does the Mother Earth
කවිය බලන්න
පලක් නෑ මැහුවට ඉරුනු මේස් වැරහැලී...
සීත පුරවා නත්තලට
අසිරිමත් යැයි ලෝකයක් කියද්දී
දරා ගත නොහැකි සුසුමක
උනුසුමක් පපු මත තියෙද්දී.....
කුමට උදාඋනිද උදුවප් මස
ලුනු කටුවේද හඩ බිදෙද්දී....
පිනි මුවන් බැදි ලනු ඉහිරී ගිය
කරත්තයට චිරි චිරිය තනි රකිද්දී
වැටුනාට කුමක් කරන්නද හිම කැටි
හිනාවන් ඈතට විසිරෙද්දී...
දරා ගත යුතුමය මේ සීත
නත්තලක උරුමය වී හිමි වෙද්දී....
පිරුන අටු කොටුවක සෙවනැලි වල
ජායාවකද නැති වෙද්දී
මහ රෑ මැද්දට ඇව්දින් මම
කුමට හඩවන්නද සීනු හඬ රැව් දී
නාඩා නිදා ගන්න තුරුලෙ මව් ලඟ
පලක් නෑ මැහුවට ඉරුනු මේස් වැරහැලී...
යටියන්තොට
කවිය බලන්න
සරසවි ගිය නංගාට....
වෙනදා වගේ හැන්දෑවට අඳුර අරන්
එන්නෙමි පුරුදු අයුරින් දොර පලුව ඇරන්
නිම් නැති කාංසිය පාළුව තුරුළු කරන්
ඉකිබිඳ හඩයි නොකියූ දුක මතක දරන්
යන්නට නොදී අප්පච්චිට පොඩි කාලේ
බිම පෙරලෙමින් නුඹ ඇඩුවා මැද සාලේ
නැවතුම දැනී නුඹ ඉවසා සිටි වේලේ
අදහන්නටත් බෑ අපි ඉවසපු තාලේ
පොඩි රැළි ගවුම ඇඳගෙන සැකයෙන් වාගේ
ඉල්ලා ඇඩූ හැටි කෝකෙත් හරි බාගේ
බොරුවට රංඩු කෙරුවත් ඉඳහිට වාගේ
අයියත් ඔයත් මට නම් ඇස් දෙක වාගේ
ගෙදරදි වගේ හිතු හිතු දේ කරනවද
කුසිගිනි දරාගෙන වීරිය වඩනවද
නිදි නැති වෙලේ ගී ගයමින් සිටිනවද
මට මේ දැනෙන දුක නුඹටත් දැනෙනවද
උගතමනා ශිල්පයමය මතු රැකෙනා
යනවග නොතේරී තිබුනා නම් හිතුනා
දියණිය, යෙහෙළියක හැටියට මට වටිනා
නුඹ නැති දිනක මේ හැම මොකටද හිතුනා
සිප් නැණ ගුණය මුදු කෝමළ ගති හැමම
දින දින වැඩේවා පිවිතුරු ගති පරම
මේ ලෙස ලියමි මගෙ ආදරයේ තරම්
සහසක් මල් පිපෙයි නුඹ යන හැම තැනම.
කවිය බලන්න
කවුද මම?
ඇතිද මම කියා, නැතිද මම කියා
ඇත පැණයක් නිරන්තර
සම්මතයේ මම ඇත
මුලා වූ සිත දනී නිරන්තර
එනමුදු යතාර්ථයෙදී කවුද මම ?
ඇත වෙනස්වන රූපයක් මම නමින්
සමග සසලවන සුළඟක් වැනි සිතක්
ලබා දෙන්නට රූපයට ප්‍රාණයක්
වෙනස් වේ සිත නිබද
වෙනස් වේ රූපය ඒ සමග
ක්‍රියාවලියක් පමණක් ඇත මම තුළ
නුවණැති සිත දනී
මෙය නිරන්තර
යතාර්ථයේ මම පවතී
ක්‍රියාවලියක් තුළ නිරන්තර
මම ඇතිද නැත
මම නැතිද ඇත
වෙනස් වේ නම් නිරතුරු
සතු කළ හැකිද මගේ රූපය මාහට
විමසයි නුවණැති සිත නිරතුරු
ප්‍රඥාව මෙය බව දනී පණ්ඩිත
වින්ඩ්සර්, කැනඩාව
කවිය බලන්න
සමනල සඳෙස -19
දත යුතු කරුණු ගොමුව - 17
රජදහන
355. සමනල හිතවතාණෙනි සිත ඇති සොඳට
රණ බල පිරුණු රජ කෙනෙකුගෙ රණ බට
බැදි තල උරඳ පලා යවමින් පර කඳට
දුන් පල බලා දනු තිබු බල දඩුකඳට
356. වළ-ගම්බා රදුන් රුපු සිර මැදුරට දා
කළ බිම්බා හිදින් ලියැ වී පතකට දා
හණ කම්බා රැහැණ් බැද උහු තැනකට දා
හිස් සිම්බා පතින් අසි පැන ගුවනට දා
357. හෙළ බිම සිහල උරුමෙට ගතු කියා ගෙන
පිල සිට මදුර පුරයෙන් තතු නියා දැන
නිලමැසි - මදුරු පර-පුටුවන් සොයා ගෙන
වළගම්බා රජුන් කෙහෙළිය තියා දුන
358. මේ රජ දහන පිළිබඳ වැදගත් වරුණූ
වේ තැන-තැනින් සෙවුමට නැත ගත් කරුණූ
දෑ අනුරාගයෙන් මත් වී දන නිවුණූ
පෑ අයුරින් ම කවි කිව මැන නුඹ තියුණූ
සමනලයා දුටු උරුමය
කොට්ටිමුල්වෙල අරුමය 23
359. අඹරට පැන යවා කඩු සිල විදුලි රැසින්
රැක ගෙන තැනූ වළගම්බා රජහු විසින්
දුටුවෙමි කොට්ටිමුල්වෙලට ම විගස ගොසින්
පල නැත එ වැනි රජ දහනක් නුදුටු ඇසින්
360. රකිනුව පර සතුරු සැමගෙන් හෙළ සාරේ
සරනුව සොයද්දී සතුරන් ගිය පාරේ
ලබනුව රැකවරණ මුල්කොට ගම බාරේ
දකිනුව යළිදු ජාතිය - ආගම මිහිරේ
361. පොකුණ ද පිළිම අඩ සද ගල් ලිය නෑරේ
පණ ඇති ලෙස ම පෙනුමෙන් දිවමන් තේරේ
ඇති සෙල් පිළිම නෙලු හැටි සිහිවන වාරේ
නෙතු විස්මිත ව වත - ගත ඩහදිය බේරේ
362. අංගනයට ගියොත් කෙළවර පොකුණ පෙනෙයි
බැම්මත් ඉරි තලා හැම දින වතුර ගලයි
සෙනෙහස නංවමින් හඩ නැගු විට දි සිදෙයි
පොකුණේ පතුල දුටු තැන නෙත විශ්මිත වෙයි
363. කඩුපත ලෙලවමින් ගෙන කොපුවෙන් ම ඇද
එහි අග දමිළයන්ගේ හිස් ගසන ලද
ජය භූමියක් කළ එ දවස සිටිය රද
අත හළ දමා ඉන්නට හැකි වේ ද අද
364. “අං දෙක” දෑතෙ හිර කර ගත් කුමරු බලේ
නැතිකොට දැමූ කුලුහරකුගෙ පණ ද ගෙලේ
එ ගමුන් කියන “රස කර - කර” පුවත මලේ
රහසින් “අං බැවිල” මේ දහනෙහි ම සැලේ
365. තනි ව ම රැකවරණ නොතකා වන දේවී
රැක ගත් අපේ ජාතිය සෝමා දේවී
පැහැදිලි කරනු වස් ඉතිහාසයෙ ගෑවී
තුරු හිස් නැමෙයි සිරසින් සුළගට පේවී
366. බුදු හිමි මහිමයේ ගුණ කඳ වැල බදිනා
ගල මැද ඇදෙන හැටි නෙත් යුග පිය රදනා
කොතැන ද තවත් මේ ලෙස පුදුමය සිතෙනා
අරුමය උරුම කරවයි සිත පොබ කරනා
367. සතර වට වනයෙ හිත් නැති වදුලු හැම
මේ රන් දහන තනිකොට ඇත සඟව ළැම
සැදුවොත් නිසි මගක් මෙදෙසට දැයක පෙම
දනවන්නට හැකි ය තෙරුවන් මගෙහි නිම
(මතු සම්බන්ධයි.)
2024.12.01
Photo credit; Sagar Kulkarni
කවිය බලන්න
බොරැල්ලේ /රැල්ල
දන්නා නොදන්නා මුහුණු අතරේ
ඇළුම් කල සුදු මුහුණු තිබුණා
සිනාවක් ඇති ඒ මුහුණ ඔක්කොම
නේක උස ඇති කුලුණු මැද්දේ
එකම පැත්තක බලා උන්නා
ධර්ම චක්‍රත් කුරුස ලකුණත්
බොහෝ තැන්වල උසට පෙනුනා
තවත් බොහෝ අය එන්න ඇති තැන
මළවුන්ට තනි ගෙවල් හැදුනා
එකම මට්ටේම නිදා උන් උඩ
නේක උස ඇති කුළුණු හැදුනා
වරිගේ උන් හට තරම දක්වන්න
බොරැල්ල රැල්ලට අහු උනා
කවිය බලන්න
නත්තල
රේණු සියුමැලි
නටන තුරුවැල
සුවඳ හමනා නත්තලයි
සීත මීදුම
ඇඟේ දැවටෙන
පිරිය සුව දෙන නත්තලයි
අහසෙ රන්තරු
කරන කළ එළි
යහපතට සුබ නත්තලයි
නෑනෙ කළබල
දේශෙ නිශ්චල
ජේසු වඩිනා නත්තලයි
මූණෙ මදහස
තියේ හැම තැන
සාමෙ රකිනා නත්තලයි
පේමෙ ආදරෙ
ලොවට දන් දෙන
උතුම් මංගල නත්තලයි
Photo credit ; Annie Spratt
කවිය බලන්න
සතට සෙත....🌹🌹🌹
නටුවෙන් වෙන් වුවත් මුණි පුදටම සැදුනා..!
තටුවෙන් වසා වඳකල මල් යලි පිපුනා...!
පෙරපින් මතුවෙලා ජය සක් හඬ පිඹිනා...!
පිරුමෙන් පැතුම් නව හිරු ලෝකෙට වඩිනා..!
නව නව හැඟුම් පුබුදා නැග එන හිරුට..!
තව තව පැතුම් පුබුදා ඉපිලෙන බවට...!
මතු මතු සියළු දන මන ජය දෙන සිතට..!
සිතු පැතුසේම රත'ඹුරු පිපුනා විලට...!
සමනල ගිරි හිසට වීදූ රන්
කිරණයි....!
සුනිමල දියක් හැඩකර සියපත්
පිපුණයි...!
මදනල සිඹ සුනෙරගිර නොසැලෙන
තරමයි..!
හැමකල සතට සෙත දෙන සම්බුදු
සරණයි..!
රත්නපුර.
2024.11 27.
කවිය බලන්න
වැහි රාජිනි ඇයිද ක්‍රෝධෙන්
වැහි රාජිනි ඇයිද ක්‍රෝධෙන්, ඇයිද ක්‍රෝධෙන් මේ ලෙසින්?
සලු පිලි හලා, හුලඟත් හමා, ලක් භූමිය,ගිලිල එකඳුලෙන්!
කුසුමෙන් පිරී රුක් දේවතා උගුලන්නෙ ඇයි මේ ලෙසින්,
හිරු රාජයා කිපිල නේ අසතුටෙන්
ඔබ සලුවෙන් වසා ගත් හෙයින්,
වැහි රාජිනී යක්ශනී ලෙසින්,
අපේ අසරණ දනන් ගොදුරු දැන්.
අවැඩක් උනානම් අපෙන් කමාවෙන්න යයි අයදමින්,
හකුල ගන්න ඔබේ රලු ඇඳුම්
පියාබන්න ඈතට
අපෙන්
රත් නත්‍රයේ පිහිටෙන් ඔබත්
අත් හරින්න වයිරේ මේ දැන්
වෙනදා වගේ ගං නඟා පිනවන්න සිනිදු සලු පිලෙන්
වැහි රාජිනී ඇයිද ක්‍රෝදෙන් ඇයිද ක්‍රෝදෙන් තාම දැන්?
කවිය බලන්න
නගරය
එකිනෙක ගැටෙන ලෙස මහ මන්දිර තනලා
තැන තැන තිබේ මෙහි කසලද ගොඩ ගසලා
මහ මඟ වෙලා අවහිර වාහන පිරිලා
සිතුනෙය යන්න නගරෙන් ඈතට මිදිලා
තිබුණත් පිරී හැමතැන පාසැල් සුපිරී
මතට හුරුවෙලා තරුණයෝ වෙති පැතිරී
ගුණදම් නොමැත දනගෙන් ගොස් ලෙස විසිරී
දුඟද හමන කුණු කානුව යයි ඉතිරී
ලැබෙනා පඩිය මදි තුන් වේලම කන්න
ඇසෙනා විටදි බැහැ ඝෝෂා නිදියන්න
සොරු වැඩි නිසා බය ඇත මහ මඟ යන්න
නගරෙට වඩා ගම හොඳ ජීවත් වෙන්න
ක්වේට්
කවිය බලන්න
සඳත් මගේ නම්....
වදන් සොයන්නෙමි කවක් ලියන්නට
ඉමක් කොනක් නැත සිතුවිලි ගොන්නට
අනන්තයෙන් විත් හෙමින් හෙමින් මගෙ ළඟට
සඳක් වුණා ඔබ රෑ අහසේ කළුවරට
තරුත් එකින් එක පිපී දිලෙන්නට
දෙනෙත් කැලුම් මැද රැය සරසන්නට
වසත් සිහින මල් විකසිත ගී පොත පිරුණා
අහන් ඉන්නවද ඔබටයි මේ ගී ගැයෙනා
හෙටත් ඇවිත් අද වගේ ළඟින් හිඳ
පවන් රළක මල් වියන් තොරන් බැඳ
දුහුල් වලා පිරි රැයක් උදා විය සඳට
සඳත් මගේ නම් තරු වියනක් මට කුමට
කවිය බලන්න
දැලි පිහියෙන් කිරි කෑම
දැලි පිහියෙන් කිරි කෑම
( ලබාදුන් බලයෙන් රට මෙහෙයවීම)
ජාති ආගම් අතැර එක්ව ඇත යාවී
වහ වහා පුංචි තටු එක් කරන් සවිවී
වනේ වන වැද්දන්ව මට්ටු කර දැඩිවී
කොන්ත ඟං තොටින් උන් එතෙර වුනි ඉගිල්ලී
මෙහෙයවනු පිනිස රට පෙරටු ගැන්වී
දැලි පිහිය දී තියේ කිරි කන්න පේවී
ඇස් මානයේ බිදුන හීන දැන් ඇහැ අරී
එක්ව එක මිටේ ඉද නගමු රට තුටුවී
ඉඩෝරය ගෙව ගෙවා පහෙන් පහ ලතැවෙවී
වසන්තය දැයි සිතා තව විටෙක මුලාවී
බර හුස්ම එකට ගත් රෑන හා එකතු වී
පියෙන් පිය පැල කරමු මේ අලුත් මල් ඉති
සාරය ම උරා ගත් මහ පිළිල උදුරලා
අසානාසි ම කරන මී ගුහා වස වසා
මැසි මදුරු කෝදුරු ද කරදරය ඉවත ලා
මී බිඟුන් මෙන් දහන ගොඩ නගමු එක් වෙලා
Photo Credit;Alex Azabache
කවිය බලන්න
සහෝදර සුළඟ
මල් වඩම් නැති
සොහොන් කොත් නැති
කවි කැබලි ඉතුරු කොට
ඉල් මහේ වලාකුළු
දිය වුණා කඳුළක
කටු ඇනෙන
රිදුම් දෙන
හිත දැදිරි වුණ
මතක අහුලන
සහෝදර සුළඟ මම
වැලඳ ගමි තද කොට..
Photo crdit; Simone Dalmeri
කවිය බලන්න
සඳ වුනත් මුලාවක්
හිත පිරුණු හැමදාම
සඳ හිටියෙ මං එක්ක
එහෙව් දවසට කොහිද ?
දින පොතට වෙලාවක්...
හිත රිදුනු හැමදාම
සඳ නැතත් මං එක්ක
දින පොතයි හිටියෙ මට,
එහෙව් දාකදි හිතුන
2024/11/27
කවිය බලන්න
දුරින් උන්නා මං
නිශා යාමේ සියපතක් වී
සැලෙන විට පීදිලා මල්මී
සෙනෙහෙ තැවරූ තුෂර බිඳ වී
වැතිර සිටියා මං
විසල් නුබ ගැබ පුරා හඳ වී
දිලෙනවිට සොමි කැළුම් විහිදා
පෙනෙන නොපෙනෙන ඉමක තනිවී
බලා උන්නා මං
ධවල පෑ පෙණකැටි විසුරුවා
ගඟුලක්ව නුඹ ගලා යන විට
ඉවුර අසබඩ නුඹට රහසින්
සිහිල වින්දා මං
ඉඳහිටක නුඹ යනෙන මග තොට
හුරු සුවඳ පැටලිලා මතකෙට
දුක පිරේ යැයි නුඹේ දෑසට
දුරින් උන්නා මං
කවිය බලන්න
වේටර් වරිය සහ අමුත්තා
කවුළු අසුනකට දැමු නැවියා
අද දින සේවයෙහි නියැලෙන
තනි වු මවක් සිටීදැයි
මගෙන් විමසන ලද අයෙකි
අවට දරු පවුල් දෙස බලා සිට
ඒ බරපැනද පියවා
නික්ම ගොස් ඇති අමුත්තා
තෑග්ගක්ද තියා ඇත
හදිසි පණිවිඩයක් අනුව
නික්ම යන බවද
තුටු පඬුර පිලි ගන්නැයිද
කෙටියෙන් ලියා ඇත
ලියුම් කවරය විවර කළ පසු
දුටු මුදල විස්මිතය
ප්‍රාතිහාර්ය අයැද කළ යාඥාවන්
පල දරා ඇතිදැයි සිතේ
16.11.2024
කවිය බලන්න
ඉල්මහේ කඳුළු
කඳු මුඳුන් සිප සිප වැහි වලාවෝ
සෙමෙන් පියවර
උසැති තුරු අත් පටලගෙන
මද පවන හා රහස් කොඳුරන
මුදු කඳුලු ඉහිරෙන
ඉල් සඳට ඉඩහැර
හිරු හෙමින් ලොව අතහැර
සිරි අසිරි නෙතින් වහනට
අඳුරු සලුපට හෙමින් අතුරන
කෝටියක් තිස් තුන් දෙවිවරු
නොගැසුමුත් කිසිවිට ඇහිපිය
යකඩ කුලු ගෙඩි පහරට
නොදරු හිස් පොඩිකර
සඟව ගත් හැටි පණනල
රුදුරු වද බිම සිහිගෙන
මතු බුදුන් වරා විවරණ
ලෙය සිඳී මියැදුන
අයුරු සිත් වල් බිහිවුනේ කෙලෙසද
මැරී නොමැරුන හුස්මය
සදාකාලික රිද්මය
සඳත් දුකබර ගගනත
නෙලා තරුමල් විසිකර
පුදයි උන්හැම සිහිකර
අදත් ඉල්වැහි වැටේ ඕසෙට
සිව් රියන අහිමි කලසිහිනය
ඇසේ දියකර ඉහමි රතු මල් යායට
කවිය බලන්න
රස්තියාදුව
වරක් දෙවරක්
නොව
තෙවරක් ම
ඇයට අහිමි ව
යා යුතුය
සිනහව...
දෙකොපුල්
කඳුළින් තෙත්ව
දෙතොල් වියළී
දරාගැනීමට හුරුවක්
ලැබිය යුතුම ය ...
දිනෙක
ඇය කැමතිම තැනින්
ප්‍රතික්ෂේපය
පපුව දෙදරන්න ම
කාවැදිය යුතුම ය...
ඇය
නිතැතින් ම
ජීවිත රස්තියාදුවට
ගොඩ වී හෙම්බත්ව
වැටෙන්නට ඕනෑම ය...
ඒත් ඇය
නැගිටීවි
දරාගනීවි
නවතන්න බැරි තරමට
පෙරමුණ ට යාවී...
හිනැහේවි
බැබළේවී
හදවතේ ඉරුණු
තැන් වසාවී...
------------------------
2024/11/06
ආලංකුඩාව
කවිය බලන්න
ජීවිතය පොතක්
ලස්සන අරවින්ද පොකුරක් වැනි බාලේ
තිස්සෙම විඳපු කෙළි සෙල්ලම් නෙක තාලේ
වැස්සෙන හුරතලේ මැද දිවි ගෙව් කාලේ
රිස්සෙන අකුරු අමුණමි කවරෙක දෑලේ
මෙලොවට බිහි කරන් හැදු මව් පිය සොඳුරූ
පිදුමට පොතෙහි සිප් දුන් සැමටම ඇදුරූ
හැඩවැඩ වගන්තිද පුදමින් මල් පොකුරූ
මකනෙමි දිවියෙන් කුරිර වූ පැති අඳුරූ
වෙන්කර ලියා චේදව යන රස උතුරා
නන්විද හැඟුම් දවටමි පිටුවල පතුරා
නිම්නැති සෙනේහයෙ ගැලු ඒ පෙම් මදිරා
එක්කොට තබමි සිතුවම් තැන තැන අසුරා
කවිය බලන්න
මියුලැසිය ඔබම විය
උඩු සිතෙහි රැගුම් පා
යටි සිතෙහි ලැගුම් ගෙන
ජීවිතය කියා දුන්
මියුලැසිය ඔබම විය
මියැදෙන්න වරම් ලැබ
වැතිර ගත අසරණව
බලාහුන් අතීතය
නිමා කළ නොනගතය
මියුලැසිය ඔබම විය
ඉනුව කඳුළක් නෙතට
නැගිට යන්නට පෙරට
ණය ගැතිව මා ඔබට
මියුලැසිය ඔබම විය
සුළං රොද නලලෙවිත්
කෙහෙරැල්ල අවුල්කොට
පෙර නොවිදි අසිරියක්
පෙම් බදිමි මම ඔබට
මියිලැසිය ඔබම විය
කවිය බලන්න
ගෙවුණු කාලය පුරාවට........
ගෙවුණු කාලය පුරාවට
කොයි තරම් නම් කවි ලියවුණිද
ලොවක මල් පිපෙන තරමට
නෙක හැඩැති නන් පැහැය තැවරුණ..
අඳුරුම අඳුරු කුටියට
වැඩි ලෙස කදෝපැණි පහන් වැට
සහන් රැස් දුන් සිත් වල
සුවඳ තවමත් දැනෙනවා මට..
කාලයෙන් හොරකම් කරගෙන
තුරුල් කරගත් මතක පුස්තක
තුරුලේ හොවා යළි යළිත් සිපගමි
එයම පමණයි එකම වත්කම..
එදා දැල්වුණු තරු නෙත් වල
කාන්තිය වියැකුනොත් දවසක
වදන් අවසඟ හෙයින් ලවනත
නොකියාම සමු දෙමි එය පමණි දුක!!
Photo credit; Saksham Gangwar
කවිය බලන්න
රාත්‍රිය සහ ප්‍රේමය.......
රාත්‍රිය මේ තරම් සොඳුරු බව නොදැන සිටියෙමි
ඔබ නික්ම ගිය දින සිට
ගෙවා දැමූ නිදි වර්ජිත රාත්‍රීන්
ගණනාවකට පසුව
හඳුනාගතිමි............
රාත්‍රිය නම් මේ යැයි
කැකුළක් ඇහැ අරින හඬ
කෘමියෙකුගේ සුසුමක් වැදී
රොන් සුණු සැලෙනා හඬ
නටුවකට බර වැඩි නිසා
මලක් ගිලිහී වැටෙන හඬ
ඒ තමයි රාත්‍රිය
කණාමැදිරි එළිවලට ඉඩ දෙමින්
තරු පොකුරු නිවෙනා බව
ඝන අඳුරු රැය විඳින්නට
වලා පෙළ මැද
සඳ සැඟවෙනා බව
ගඟ සිය ගැල්ම නවතා
දිය කඳුරේ සියුම් කෙඳිරියට
කන් දෙමින් සිටින බව
ඒ තමයි රාත්‍රිය
හඳුනා ගතිමි අවසන
ලොව මිහිරිතම හැඟුම
ප්‍රේමයම නොවන බව
ප්‍රේමය.......
පුංචි සුදු මලක
තණ පතක් අග රැඳි
පිනි කැටයක වුව
සැඟවිලා ඇති බව
Photo credit' Casey Horner
කවිය බලන්න
බබෙක් ඉපදුනා
නිසල රැයක පායා විත් නිල් අහස් තලේ
දිස්නෙ දි දී මිණි කැට තරු නිවි නිවී දිලේ
දුර කතරක ගව ලෙන තුල බබෙක් ඉපදුනේ
පුංචි බබා අම්මගෙ තුරුලේ නැලවෙන්නේ
බා බා ගා බැටළු පැටව් කෑගසමින්නේ
දුව පනිමින් ගොපළු කොලුන් අවදි කරන්නේ
ඒ යාමේ මේ අසිරිය පුදුම දෙමින්නේ
පුංචි බබා අම්මගෙ තුරුලේ නිදියන්නේ
ඔටුවන් පිට තුන් ගොල්ලක් ගමනක් යන්නේ
දේව දූතයෙකි උපතේ පුවත කියන්නේ
දිලෙනා තනි තරුවකි රෑ මඟ පෙන්වන්නේ
පුංචි බබා අම්මගෙ තුරුලේ නැලවෙන්නේ
බැටළු පැටව්, ගොපලු කොලුන් බලා සිටින්නේ
රජ තුන් කට්ටුව ඇවිදින් තුති පුදමින්නේ
දෙමාපියන් හරි සතුටිනි කඳුළු සලන්නේ
පුංචි බබා අම්මගෙ තුරුලේ හිනැහෙන්නේ
පුංචි අපට කවි සිංදු
කවිය බලන්න
සමුගනිමි ඔබෙන් මම
ආදරය කියන්නේ
පුදුම දෙයක් ..
වරෙක
උතුරා යන සතුටට ක්
එච්චරමද......
නැහැ නේද
තවත් වරෙක
වාවගන්න බැරි තරමට
වේදනාවක් .....
ඊටපස්සේ
අමතක කර සියල්ල
බැදෙනවා ආයෙමත්
ආදරයෙන්ම....
මේක
චක්‍රයක් වෙලා
ජීවිතයටම .....
දැන්නම්
දැනෙන්නේ වැඩයෙන්ම
කලකිරීමයි......
මේකෙන්
වෙන්න ඕනේ
නිදහස් .....
ඔව්
නොහිතා දෙවරක්
කලා තීරණයක්
සමුදෙන්නට
උදෙන්ම හෙට
මුහුණු පොතෙන්
යලි නෙවෙන්නට
හිත් වේදනාවන් .......
ඉන්න
සතුටින් හා විනෝදයෙන්
පෙරලෙස
ඔබ අත්විදපු......
කවිය බලන්න
මල් පිපුණු වග
පිරිමැදෙන මුදු අතැඟිලෙන් හිස හෙමෙන් පෙම්මාදර පතා
සාදරේ බැතියෙන් පෙරා හද මල් පිපේ සුවඳින් හමා
මාවතේ දිව ගොසින් තනිවම අවි දරා ජය හඬ පතා
සාගරේ මුව දොරටු අබියස විජය දද නංවා ගියා
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
Photo credit; Arnold Mécses
කවිය බලන්න
The Dark Moon left under the canopy
Dwindled sound of echoing water clasped
Waves early sounded as gigantic rascal
Sways like that
We heart to heart head to head
Touched in a mingled sensation
Your voiced nothing except heart beat
My cheeks thrust in to your forehead
Over there the birds chirping
Over there the railing of ELLA
Gone to upwards like us
Fitted very nicely
Memories all over everywhere
Nothing can changeth
After twenty years it is as it is
We met again there as newly married couple
Photo credit;Toa Heftiba
කවිය බලන්න
නින්නාද
වසන්තය අගෙයි මට දුන්
ඒ සොඳුරු දඬුවම්
ආසිරි ලබන්නට දෙවොලක් සොයමින්
උණුහුම විදින්නට
පියපතක් යදිමින්
ආතුරව තුන්සිත
දහ අතේ දුවද්දී
රළු පරළු කළු ගලක
දිරූ ගස් දෙබලක
හිනැහුනා මම හොයන
කඩවසම් පිරිමි රුව
ඒත් ඒ කාලෙ උන් ගෑණු
හෙව්වේම රාජේෂ් කන්නලා
දේදුනු පායයිද අත පොවන මානයේ
දිව්‍යමය තාරකා
නොදිලේවි දහවලේ
සූසර කොට සියුම් තැන්
හමා යයි මදපවන මොහොතින්
ඒත් ඒ නිමේෂය
අදත් මට
සත්තයි ප්‍රේමයේ සියවසක්
සඳ දියේ රිදී කිරණින් මැවෙන
විල් දියේ මගේ පිළිබිඹුව සිඹ
ආසිරි පුදන
බැතිමතෙකුගේ
ඕම්කාරය ඇසේ හීනියට
කවිය බලන්න
ලක් කතකගේ සිත
සයනයක සැත පෙමින් දෙපා යුග සනසන්න
නොවේමය පැය ගණන් වැටි වැටී නිදියන්න
නිමා වූ ඇසිල්ලක දවස තුළ වෑඩ ගොන්න
වතුර මල යට ඉඳන් දකින සිහිනය මෙන්න
ගෙවි යන අවූරුද්ද නත්තල ද සමරන්න
නෙක ජාති රස කැවිලි මේසයට පුරවන්න
දුර ඈත කඳුකරයේ සිරි අසිරි නරඹන්න
වෙරළ ඉම ඉර බහින වෙලාවක තනිවෙන්න
ගලායන දිය දහර ස්වප්න සිත බින්දාය
මල ගෙවල් ජය මගුල් නිවාඩුත් සින්දාය
නෙත උපන් කදුළු බිදු බිම මගක් ඇන්දාය
වතුර මල යට සිහින පෙණ සමග බිදුනාය
කවිය බලන්න
හීනය
හීන ගොඩක් මවා ගන්න
දෑත පාල ළඟට එන්න
මාගෙ සතුට ඔබම වෙන්න
සෑම දාම ලඟින් ඉන්න
ආල වදන් මෙමට දෙන්න
කෝල නුරා බලුම් ලන්න
මාගෙ ලෝකෙ එළිය වෙන්න
පාන වෙලා ළඟින් ඉන්න
ලස්සන ඔය මුව කමලේ
තිස්සෙම හැඩරුව බැබලේ
ගැස්සෙන හදවත සුදිලේ
මල්මත බඹරුඳු තුරුලේ
අනන්ත වූ ප්‍රේම ගැඟුම්
නිතර දාන කෝල බැලුම්
මගේ සිතත් නිතර ඇළුම්
සිනා පිරිල වාගෙ කැළුම්
මලින් පිරුණු සොඳුරු ලොවක්
හදේ පිපිල සෙනෙහෙ මලක්
පතා ඔබගෙ තුරුලෙ ඉඩක්
ඉදිමි මවා සිහින ගොඩක්
ගාල්ල
කවිය බලන්න
එම්බා වැස්ස
අණසක පතුරුවන එම්බා චුරු චුරුව
අළුගුත්තේරු වැඩ හින්දා නුඹ කෙරුව
මින් ඉදිරියට කොහොමත් පදවනු බැරුව
හිටිතැන නැවතිලා අද ජීවන ඔරුව
කන්දත් කඩා තප්පරයෙන් බිම හෙලුව
හිත් පිත් නැති වැස්ස මෙතුවක් අපි පෙළුව
බේරා ගන්න බැරි තරමයි අද ඔළුව
දැන් හොඳටෝම ඇති පලයන් ගෙන කළුව
හීනෙක නැතත් දිනයක් බඩ කට පිරුණ
ජීවිත ගෙවෙයි පිහිටෙන් අසරණ සරණ
දන්නා කෙටික් කීවා අහපන් කරුණ
මේ දැන් පිටවෙයන් අතකට හිස හැරුණ
ඇති කෙරු උදවු බෑ නොකියා ගෙනත් දිදී
අඬලා කියද්දිත් උඹටයි තවත් මදී
ඇවිලෙන්නට ළඟයි අළු වෙයි පැතුම් පොදී
වැන්දා මෙන්න පලයන් ගින්දරත් නොදී....
Digana
Photo credit; Inge Maria
කවිය බලන්න
ගලයායේ නා හිමි උපහාර
පන්සල ගලයායෙ ගම සිරි ලන්කාවෙි
සිංහල වෙද ගෙදරකිනි සසුනට ආවෙි
පින්කල බුදු පුතෙක් සමිබුදු සේවාවෙි
පංසල කින්ස්බරියට පහනක් වුවෙි
සුදු ජාතිකයිනගෙ ලැබගෙන රැකවරන
හැදු කින්ස්බරී නමි උන සදහමි අරන
පිදු සංඝනායක පදවිය අධිකරන
පොදු ජනයාට එය වියලොකු පිළිසරන
එංගලන්තෙ ජාතික බොදු මැදුර හදා
සමිබුදු පනිවිඩය මුළු රට තුලට බෙදා
ලන්ඩනයෙන් නැගුව කාහල නදය එදා
වැන්දේ රැජින එමි බී රී පදවි පුදා
සුනාමියෙදි ලක්දිව ජනයාට එදා
ගෙනා ලොරි ගනන් රෙදි පිළි අහර බෙදා
තනා ගෙවල් පනහක් බඩු සමග යොදා
දිනා දුන් සතුට සුළු පටු නොමැත එදා
මුදිත ළමා නිවහන හැදු ගල් කන්දේ
විපතටපත් දරුවනගෙ කදුලැලි සින්දේ
අපතට නොදා ජීවන ඉනිමන් බැන්දේ
සැපතට පත් කරල හිමි සතුටකි වින්දේ
නෙත සිත පිනන හිමි ගරැ පඬිවරයෙක් ය
සත වෙත පතල උන හොද යතිවරයෙක්ය
අත හිත දුන්න හැමටම ඉසිවරයෙක් ය
පත පොත ලියන ලද ගත් කතුවරයෙක් ය
ගුණවත් මෙවැනි හිමිවරු ලොව බොහොම ටිකයි
බලවත් දමිකරැණු අදටත් අදුර මකයි
සමවත් බොදු නුවන් හැමටම තවම දුකයි
අපවත් වෙලා හිමි හරියට වසර දෙකයි
බිය ගැස්සුමක් සිහිනෙන්වත් හිතට නොවෙි
සිය දස්කමෙන් පින් කර කර බවෙන් බවෙි
ගිය හිස් අතින් නොව සෙත සදමින්ය ලොවෙි
පියදස්සී හිමිට පතනෙමි නිවන් සුවෙි
කවිය බලන්න
It's not what you want
Sometimes it's not what you want
It's what you've got
Sometimes what you've got makes you
Joyful, fortunate and lucky
But what you don't have makes you
Sorrowful ,miserables and downcasting
Sometimes you need to let go...
Be grateful for you've got
Be indebted for you've got
Be behold for what you've got
Be obliged for you've got
Remember at the end of the day
You are in this world helping eachother
New ash green primary school
Year 6
කවිය බලන්න
(නො)!හඬමි.
දීපංකර බුදු කෙනෙකුන්
නැතත් මෙදියත
නොයිඳුල් කපු ගෙන
වියමි සළුපිළි නූපන් පුතුට
එහෙන් මෙහෙන් කනින විට
යහුලින් දෙසවන
නෑසූ කන්ව සීටීම ම
ප්‍රගුණ කරනෙමි
හද බිඳී විසිර යද්දී
නැවත අහුලා සවි කර ගනිමි
දහසක් කලුකුමාරයන් මැද
අශ්පර්ශව ම දිවි ගෙවමි
ඉසිවර වෙදදුරන් සොයා
ඉසිඹු නොලැබම දිව යමි
ඔසු පැන් ආලේපන මතු නොව
නෙක නෙක පරීක්ෂාවන්ට ලක් වෙමි
බෝ උසින් කඩා හැලෙනා
දිය ඇළි මනාලියන් වනද්දී අත
නොදුටුවා සේ දිවි ගෙවන
රිද්දි බිසව් මම වෙමි.
2024.11.24.
කවිය බලන්න
පුදුම නොවියන් දෙව් සක්විති...
ලැබුනොතින් වරමක්
නොඉල්ලමි වෙන කිසිවක්
යාන වාහන, කාසි පනම්
පුදුම නොවියන් දෙව් සක්විති...
හැල්මේ දුවන මේ පංචස්කන්දෙට
දෙන්න හැකිනම්
හුස්මට පිරිසිදු oxygen,
Active ව දුවන්න ලේ; නහර වලට,
Stress නැති දවසක්,
මොලේට පොඩි Relax පාරක්,
හරියටම කිව්වොත්...
දවසක full package යක නිවාඩුවක්...
හ්ම්...
ලැබුනොතින් වරමක්
ඉල්ලන්නෙම....
වෙහෙසකර මේ දිවියට
දවසක විරාමයක්....
Photo credit; Andreas Rasmussen
කවිය බලන්න
දෙසැම්බර් කැෆේ දොර අබියස
වැහි චිත්‍ර අඳින්නට
පාට පින්සල් රැගෙන
මගෙ කව්ළුවෙන් එබිණි
නොවැම්බර් මඳහස !
වළලා දැමූ පරණ දුක් සුසුම්
ගොඩගැනුම තහනම්ලු
නම් මාරු කල පසුව
ඉල්මහට !
ඒ නිසාවෙනි සියලු කවි ගීත
උණුසුමින් තැබිය යුතු
දෙසැම්බර් කැෆේ දොර
ඇරෙන තුරු..!
එතෙක් වස්සානයේ
සියලු පැහැ දිය කරමි
ඔබ කැමති සිතුවම ම
ඇඳෙන තුරු..!
කවිය බලන්න
🗙















































































