ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2024 ඔක්තෝබර් කලාපය
සූරිය ග්‍රහණ සුලබව දුටු දිවිය පුරා
නනත\'ර ඇවිදි ජන ජීවිත අඳුර ඉරා
\'නොදෙනුය\' බමුණු කුල දුර්මතයන ද මරා
ජනපති වීය ජන හදවතෙ සිටි කුමරා
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
තඹුත්තේගම දුක කියන්නත්
අකුරු බැරි අම්මේ
පුතුට කොහොමද
රටක දුක තේරුම කියා දුන්නේ
කවිය බලන්න
රටක පොහොසත්
පෝලිම නොපනිනා
අනෙකුට පාර ඉඩදෙනා
දියුනුයි ඒ දනා
පිදිය යුත්තන් පමනි පුදනා
සර් නම් ගුරුතුමෙකී
ස්වාමී විනිසුරු වරයෙකී
අතිගරු පැවිද්දෙකී
ඇමතුමේ උන් බේද නොදකී
නොයා කාටත් කඩේ
දෑ සම නොකර දෙකඩේ
කිරිබත් සහ වඩේ
දෙකම රසදත් හලයි අවැඩේ
ඇමති පුතු බීමත්
රිය යටකරන දනටත්
යුක්තිය ඉටුවුනොත්
කාකි ඇදුම ද වේවි වැදගත්
පැමිනෙන රෝගියා
තම මව්පියන්, සීයා
මෙන්ම සුවවේයා
පතනු ජීවක පරපුරේයා
ආයෝජන ගලා
ෆොක්ස්වාගන් ද ටෙස්ලා
එනතුරු මගබලා
නොසිට මැලිකම් අගති දුරලා
සතියට හැටක් වත්
වෙහෙසී පැය ගෙවූවොත්
රජුම නොකෙරූවත්
හිරු උදාවේ රටක පොහොසත්
කවිය බලන්න
පුනරුදයකට ආසිරි
බක් මහ විරුවන් ද ඉල් මහ විරු සැමගේ
හද පත්ලෙන් නැගුන හඬ ලංකා මවගේ
හදවත රිදවමින් ඇය දැක දුක දනගේ
උණු වූ ලේ සමග කැලතිය යුගෙන් යුගේ
ජන දුක ඉකි ගසන හඬ වසරින් වසර
රත් කළ ලෙයින් පන්නරයක් ලද අනුර
එම දුක නිවන මග බුද්ධිය අවදි කර
ගොස් ජය ලැබූවේ මුළු ලොව අවදි කර
ජන හද අවදි කළ සටනේ ධජ නංවා
ලක්බිම සතර අත සමගියෙ එලි දල්වා
සාමූහික මගට එක මිටකට ඔසවා
පුනරුදයකට එක්වෙමු දෑතම ලෙලවා
සිරිලක සරු බිමකි සම්පත් නිමක් නැතී
ඇල දොළ ගංගා ද වැව් දිය පිරී යති
මන ලොල් දැකුම් කළු පරිසරය සිත් ගති
දියුණුව සැමගෙ අදිටන විය යුතුය නිතී
ජනතා තිනෙත් හෙට විනිවිද දකීවා
සියලු භේද දුරු සිත් මල් පිපේවා
ජන දුක නිවන මං මාවත් ඇරේවා
නව මග යන අපගෙ මව්බිම දිනේවා
- ඩී අමරසිරි ගුණවර්ධන
කවිය බලන්න
මේ පාර මං රතු වුණා ….
සිහල බොදු යු එන් පී
පෙළපත
උපතින්ම
දෝතින් දරා
සිරුරෙ හැම තැන
දුවන ලේ පොද
පවා කොළ
බව ඇදහුවා
අලිය ගේ තෙද බලය
අබියස
හැමදාම
අත නැවතුනා
රවටනා බව
දැන දැනම
පරපුරක
නම්බුව සුරැකුවා
නමුත්
විස පෙව්
මගෙ මනාපෙන්
මව්න් මියෙතැයි
බිය වුණා
බලල බලලා
තවත් බලලා
බැරිම තැන මං
රතු වුණා
කවිය බලන්න
අරඹමු අකුරෙන් අයන්න අම්මේ!
අනේ අපේ අනාගතේ
අනුවනයින් අතට අරන්
අම්මපා අසික්ෂිතම අනුවනයින්
අඳුරෙ අතැර අතරමංව
අවසනකට අතවනද්දි
අඳුනාගෙන අකරතැබ්බ
අවදිවු අය අප අතරින්
අරගෙන අත් අඩංගුවට
අයුක්තියේ අණට අනුව
අමනුස්සයො අයුරු අමුතු
අතට අරන් අවිය අධම
අපෙම අයම අපේ අයට
අත්කරදුන් අවසානය
අපරාධය අධම අහෝ
අමරණීය අහිංසකයො
අදත් අකර්මන්‍ය අපිට
අතවනනව අනන්තයෙන්
අවදිවෙයව් ! අවදිවෙයව් !
අත්විඳිනට අදම අනගි
අරුම අළුත් අරුණල්ලක් !
අරඹන්නට අනෙක් අකුරු අවශ්‍යමද ?
කවිය බලන්න
අනුරෝදය
කවුරුවත් අපට නැති යුගයක
අඳුර පැතිරී හිතට බිය සැක
තිබී පහ විය මෙදා දවසක
අරුණ වැටුණා එවිට පොළොවට
නුවණ ලැබුණා දනහට
මනාපය දැන් මාලිමාවට
පැල්පතේ දුගියට
ලැබුනෙ රජකම අපේ පිනකට
හිරු වැටී දෙරණට
නැවුම් සුවඳක් දැනේ මනසට
පිපී මල් හිත යට
සුවඳ විහිදේ අනාගතයට
පැළ කරන බීජ විශ්වාසය
අතු ලා වැඩෙන සන්තෝසය
පවුරු බැමි මෙන් ද්වේශය
බිඳී නිවහල් වෙයං දේශය
- - - - - - - -
කවිය බලන්න
දෙන්න සම තැන මවැනි දුබලන් හට අනේ හෙටවත්
මල්ලි වගෙ ඉස්කෝලෙ යන්නට ආසයිනෙ මට අම්මේ
දෙපා කොරමුත් පෙනේ ඇස්දෙක ගෙනියන්න කෝ අම්මේ
රෝද පුටුවක් ඉල්ල දෙන්නකො පන්සලෙන් අම්මේ
සාදු කියනා ලෙසින් මා කල කරුමෙ පලදෙන්නේ
කොරා එනවා කිය කියා මට් හිනා වෙනවා නේ
ඒව අහගෙන සිටින කපුටොත් කාක් ගානවනේ
දිනෙන් දින මගෙ දිවිය අඳුරේ ගෙවී යනවානේ
බිත්ති හතරට නොපෙන හින්දද කිලිටිවට ඉන්නේ
මුහුදු වෙරලට යන වගක් ඇසුනානෙ නංගී ගෙන්
සිප්පි කටු ඇහිදෙමින් සෙල්ලම් දුටුවෙ පින්තූරෙන්
ගෙවීයන මේ කකුල් රැල්ලට තෙමුනොතින් නාමින්
පිනායන සතුටක් ලැබේ මට හිතනු සංවේදෙන්!
අලුත් ජනපති කෙනෙක් බලයට ඇවිත් සුභ පුවතක්
මටත් ඇහෙනව ගුලිවි සිටියත් කාමරේ කොනටත්
නැනින් පිරි අගමැතිනියක් රට හදන බව සතුටක්
දෙන්න සම තැන මවැනි දුබලන් හට අනේ හෙටවත්
කවිය බලන්න
සොරුන්ගෙන් මිදෙන්නෙමු
සැත්තෑ සය වසක් - පිරුවා පාරමී
නිදහසක් දකින්නට - සොරුන් කැල පන්නලා
දැන් කල එළඹ ඇත - සොයුරිනි සොයුරනි
මදහසෙන් පුරා මුව - යමු අත්වැල් බැඳන්
දිනුවේ එක කඩ ඉමයි - තව එකක් ලඟින් ඇත
මලිමාවම බලා - දෙන්න කතිරය ඔබේ
එවිට හැක හිනැහෙන්න - ලක් මෑනිට අපේ
මුදා ගත් බව කියා - සොරු රැලෙන් ලංකාව
හදමු පොහොසත් රටක් - ලස්සනම ජිවිතයක්
පෙළ ගැසෙමු එකා මෙන් - දකින්නට සොඳුරු ලොව
වට කරන මුළුරටම - දුක සැපත් බෙදාගෙන
විඳගන්න ආදරෙන් - ජය ලැබුවා කියා
නවසීලන්තය
28සැප්තැම්බර් 2024
කවිය බලන්න
සුබ නැකතට රට අනුරට
බංකොලොත් කරන තරමට රටක් බින්දුවට
ඇද දමා පල්හැළිය මැතිවරණ කැලතුමට
එකක් හැර එකක් පාසා රට ම අගතියට
පාඩමක් ඉගැන් වූ මැතිවරණ අතීතෙට
සයක් සැත්තෑ වසර වූ කලක් ඉක්ම වන
තුනක් සීයට තිබුණු මතය ජන ක්ෂුද්‍ර වන
ගුණය තුදුසක් වුණේ කරකවා අතහරින
පෙරළියක් සිදු වීය ලක් දෙරණ විස්මවන
ජා.ජ.බ ය වීය ජේ.වී.පී.ය යහමගට
ආකල්ප ළෙන්ගතුව හැඩ ගැසී ජන හදට
දියසේන මාරුවිය නයු අනුර කුමරුන්ට
නව ඉරක් පෑයුවා වැනි වීය ලකඹරට
කවිය බලන්න
ජයග්‍රහණය
කඳුළු බිඳ වූ මුතු ඇටය දැන් යළිත් ඇස් ඇර බලාවී
දන නුවන නැගි කඳුළු පිසලන දිනය විගසින් ළඟාවී
රටම වැනසූ අමන නයු රැළ බියෙන් තැතිගෙන මුවාවී
රටම පිබිදෙන අලුත් යුගයක හිරු කිරණ ඇත උදාවී
හොර බොරුව නැති සොඳුරු මිනිසෙක් රටේ ජනපති වූ වගයි
දුකින් පීඩිත දිළිඳු ජන මුව සිනා කැන් පැතුරුණු වගයි
යුව දනන්ගේ අරගලය මල්ඵල දරා පිබිදෙන වගයි
රටක් හොළවන මහ පෙරළියක පෙර නිමිති දිස්වෙන වගයි
සිඩ්නි ,ඕස්ට්‍රේලියාව ,24/09/2024
කවිය බලන්න
යළි රට නඟන්නට එක්වෙමු කුමාරට
නැති බැරි එකා අතු පැල්වල
දුකට වැටී
කුසගිනි නිවා ගන්නේ කා පාන් රොටී
රජ ගෙයි එවුන්ගේ මන්දිර කෝටි වටී
අපමණ කන කෑම දිරවනු බැරිව සිටී
සිත් තුළ කරුණාව මෙත් තෙත් ගුණය නැතී
තක්කඩි හොරු රැළක් මුළු රට උලා කතී
මේ හොර නඩය පන්නා රට රකිනු රුතී
සැම දෙන මොවුන්හට එරෙහිව සිටිනු නිතී
මුළු රට වැසියනට හිමි මහ ධනය රටේ
වැය කර අනිසි ලෙස රිසි ලෙස ලෝකෙ වටේ
නිතරම කරක් ගසනා හොර රැළට බැටේ
දෙන්නට බිය නැතුව එක්වෙමු අනුර වටේ
දැක දැක උලා කන තම දරුවන්ගෙ හෙට
යන්නට ගියා අපමණ අය අතැර රට
ඇරයුම් කරමි ඒ ගිය ඔබ සැවොම හට
එනු මැන හදන්නට යළි හොරු නසපු රට
රජවී සිටී අද බල ඇති කුමාර
හැකිවෙයි කරන්නට සාපය හමාර
නිවිලා යාවි සැම තැන ගිනි දුමාර
කෑ දෙය හොරෙන් වෙයි දමනට වමාර
කවිය බලන්න
මිදෙන්නට දැන්වත්
මිදෙන්නට දැන්වත්
කුවේණිගේ ශාපයෙන්
පහළවිය කුමරෙක්
අනුරයයි සුපතළ
දෙකොන යාකළ මැනවි
උතුරත් දකුණත් වරිගය
මිහිදන් කළ මැනව සදහට
ලේ ගඟක් රැඳි අතීතය
සිහිනෙකින්වත් යලි එපා
ලේ හලන අඳෝනා
සිහල දෙමළ යෝනක
සහජීවනය රැකදෙන
කළ මැනව හරසර
හද ගැහෙන රාවයට
ගරු කළ මැනව හෙළයේ
හුස්ම පොඳ වලටමින් මතු
කවිය බලන්න
වෙනසකට පැතුමක්
සංකල්ප අධික්ෂණ
අනුමත ප්‍රතිපාදන
ඇමැති වතගොත වරුණ
ඇත බිත්තිවල කෙටුන
පැලනොවෙන මුල්ගල්
ලෙස දකින හැම කල්
කියාදෙයි ශිලා ලිපි
නිමවුනු කාරි නිසිකල්
පිළිම නෙලූ ශිල්පින්
ගඩොල් කැපු මිනිසුන්
සීගිරි සිත්තරුන්
සැඟවිලා සිටිද්දෙන්
කොමිස් නැති යුගයේ
රජ ඇමැති රට නැඟුවේ
පතනෙමි මතු දිනයේ
එවන් යුග ලක් පොළොවේ
කවිය බලන්න
ජන හද දිනූ අනුර ජනපති
මිල නොකැලැකි ජන සයුරක් එක්වී ජන්දය දුන් එකසේ මෙපුර
බල වතකියැ ඔබැ, දේශය බබළන සපැමිණි වෙතැ හෙළ රජ මැදුර
පල රුත් කප් රුකකියැ සොයුරාණනි!
නිසි ලෙස ආ බිඳ හෙළ අඳුර
කල එලැඹුනි ගොඩ ගැනුමට දේශය
නිල බලයෙන් ජනපති අනුර
------
මිනිසත් කම හදුනන ජන පවුරක්
සිරිලක් බිම සිටියෙන් සැමදා
මිණි පලසකි ඇතිරූ හෙළ දීපයෙ
පා නැගුමට කිතු රැස් විහිදා
විනිසුරු බල මුළු ඇති අධිකරණයෙ
ස්වාධීන බව දැන මතුදා
හනිකට දූෂිත හොරු කැල ගෙන්වා
දඬුවම් දෙනු නීතිය පසිදා
------
පැතිරී ඇති හෙළ ආගම්වාදී ජාතිවාද
හැර පියා දැයෙන්
විසිරී ඇති බුදු දහමට උරුමවු මුල් තැන
දෙන බැවු කියූ කෙළින්
ඇහිරී ගිය සැම අයිතිවාසිකම් කාටත්
එකසේ දෙමින් මුලින්
සොයුරී සොහොයුරු විලසින් බැදි අපි
මේ රට ගොඩගමු සැමට කලින්
-------
විස් වාසය තැබු සැම ජන කොටසම එක
මිටකට ගෙන බැදුණු හදින්
දිස්වෙන ජන මණ්ඩපයක් තණනුයැ
විලසින් එක බිඟු කැළක නදින්
පස් කඳු අතරට යට කරමින් හෙම
මිනිසත් කම කිසි විටෙක තෙදින්
විස්කම් පෙන්නන්නට හෙම නොසිතනු
ජය කොත සුරතට රැගෙන තදින්
-----
පදවියෙන් බැබළෙමින් නිරතුරු ගිජුවැ
බලයට අගතියෙන්
අවදියෙන් ඇති දනෝ වෙති ඔබැ ගමන
ගැන නිති විමතියෙන්
ලෝකයෙන් ඔබ උගත් දෑ මුළු රටට
පුදදී අබිනයෙන්
සමගියෙන් වැඩ කරන යුරු ලොව
බලා සිටිතියැ උරුමයෙන්
--------
කවුරු කෙසේ කීවත් හෙම සුමිතුරු
යයි අප තවත්
සිවුරු දැරූ නොදැරූ මුත් ඒ කවුරුන්
ගැන හෙටත්
පඬුරු පාස්කුඩම් සේම,පිදුමට වෙන
දෑ ගෙනත්
පොකුරු පිටින් එන කවුරුත් හැදිණිය
යුතුමයැ හෙටත්
----
වසර හැත්ත හයක් පුරා දෙස්පාලන
කාසියක්
නතර වුණේ එක තැනකය හමුවේ
මුලු ලෝකයක්
හතර වටින් ණය උගුලක සිරකොට
රන් දේශයක්
සොයුර ඔබට දී ඇති බව නම් ඇත්තම
කතාවක්
22/9/2024
කවිය බලන්න
මගත් වඩනට රටත් නැගුමට රජෙක් ලැබුනොත්
චිරත් කලකිනි
ලබනු මනු දම්
කොතෙක් දුලබද
ලබනු සදහම්
විසිර යන්නට පෙරම කල කම්
වඩමු මග පල
ලබන පින් කම්!
කලන මිතුරන් ඇතත් ඇසුරට
වෙතත් සදහම්
ඇසෙන මිහිරට
ලබා සම බිම
තුටින් වසනට
පිනක් කලෙ අපි
රජෙක් ලබනට
පවිටු දන සිත් පහන් වේවා! සුදන ගුණ මිණි
කැන් දිලේවා! පැතුම හද තුල මල් පිපේවා!
වැටුනු දේශය යලි නැගේවා!
- මස්කට් නුවරදී
කවිය බලන්න
වන වදුලේ මිහිරි මොහොතක්
දහසක් පත් මැද
වන වදුලේ
මිහිරිතාවයන් අතරේ
පළල් උරතලයක් හිමි
ගැඹුරු හරිතවන් පතක් විය
ඒ පත ඇලුම් කළා රැයට
රැය හා එළඹෙන
සොඳුරුතාවයන්ට
කුරුලු කිචි බිචිය තුනීවී
උදාවන සාමයේ
නිහඬතාවය ට
කඩුපුල් සුවඳට
හිමිදිරියේ පිණි වැටෙන
රිද්මයට
පින්න ඝන වී
සියොළඟ පුරා
දිය බිඳු මතු වී
දැනුණු කිතියට
අසල්වාසි
දිය බිඳු දෙකක්
පෙමින් බැඳී සිට
දිගු මොහොතක්
සමීප වී සමීප වී
එක් වරම එක් වී
මතුපිට ගලා යන
ස්පර්ශයේ මෝහනයට
දිවිය මෙතරම්
මිහිරි වෙද
Photo credit ; Jessica Wong
කවිය බලන්න
සුභාෂිත කාව්‍යයේ සිත්ගත් කවි
නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස
එදුරු නොවෙයි කළකම් පල දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස
කවිය බලන්න
බුදුබව ලබන මතු තුන්ලොවටම වී තිලක
මෙත් බෝසතුන් සසුනට බැඳි වප් පොහොය.....
සම්බුදු සමිඳු ගෞතම අපෙ තිලොවග මුනිඳු
දෙව්රජු මව්ට දෙසු දම් තව්තිස් පුර සුරිඳු
නිමකර යළිඳු සංකස්සය පුර පසිඳු
වැඩි පොහෝ දිනයි දිදුලන වප් පුර තරිඳු
ඇසළමහේ පසලොස්වක පොහොය දිනේ
පෙරවස් විසූ අප බොදු මහ සඟරුවනේ
වස්තුන්මාසේ නිමවා සිල්රැක නිතිනේ
පෙහෙවස් පවාරයි වප්පුර පොහොය දිනේ
දිගුකල් රකිනුවස් පිවිතුරු බුදු දහම
නිසිකල් බලාගෙන පෑතිස් නිරිඳු තුම
කරමින් සංඝායනා විනයද මෙබිම
රැව්දුන් දිනත් වූයේ වප් පොහො දිනම
මෙත් බෝසතුන් මතු බුදුවන ලොව්තුරා
පන්සියයක් සිය සගයින් පිරිවරා
සිත්සතොසින් පැවිදිව කහ සිවුරුදරා
වප් පුර පොහෝ දිනකයි බැඳුනේ සසුන කරා
කවිය බලන්න
තැල්ල නැති ආදරය
මෙල්ල කර ආදරෙන් මගෙ හැඬුම් උරාගත්
අල්ල මැද අතුල්ලා උණුසුමින් වඩාගත්
දල්ල රකිනා ලෙසින් හුළගෙනුත් වසාගත්
නළ්ල මැද සීතලකි නුඹ තොලින තවාගත්
වැල්ල මත සුළැඟිල්ල දැවටිලා ඇවිද ගිය
රැල්ල එන විට බයෙන් රහසේම තුරුලු විය
ඉල්ල ගත් ආදරේ පවරමින් දුරට ගිය
අල්ල මත සෙනේහේ තවම ඇති තියල ගිය
තැල්ල නැති නිසා ගෙල තාත්තෙක් නැතිව ඇති
අල්ල ගන්නට බියේ ඇකෙන් ගිලිහෙන්න ඇති
මෙල්ල කර දරු සනෙහෙ ඔතා සඟවන්න ඇති
හෙල්ල කින් අදත් ඔය හදවතට අනිනවැති
Photo credit; Jenna Norman
කවිය බලන්න
මව් සෙනෙහසට සුපිපුණු කවි කුසුම්....
දසකඩ මසක් කුසතුල මා හොවාගෙන
අපමණ දුකක් මා වෙනුවෙන් දරාගෙන
සිතතුල බියක් නොතබා පසු නොබාමින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනාගෙන
නියඟපිට නියඟ ආවත් මිහිමතට
නොදැනෙන ලෙසින් මහසයුරට
විඳගෙන දුක වුවත් සතුටක් ලෙසට
සෙනෙහස පිදුවෙ ඔබ මහමෙර ලෙසට
මා වෙනුවෙන් ඉපදුණු දරු සෙනෙහසට
ගතේ රුහිරු හැරුනේ රන් කිරිවලට
සමනොමවේ මේ ලොව අන් කිසිවකට
අම්මේ ඔබ මට දුන් සෙනෙහසට
පැමිණිදා පටන් මා ඔබේ කුසතුලට
ඉවතදා සිතින් අන් සැප මුල්ලකට
බිහිවූදා කුසින් ඔබෙ පුතු මේ ලොවට
සතුටින් සිනා පෑවේ මා තුරුළුකොට
කවිය බලන්න
හැමෝගෙම යුතුකමක් කරන එක එකට සිට
කාලයක සිටම රට බලන් හිටියේ වෙනස
සතුටුවෙමි ලැබුනොතිත් අළුත් බලයෙන් ගිවිස
වෙනස්වන ලෝකයේ නොගියොතින් නිසි විලස
ආයෙමත් ආයෙමත් එන්නෙ නෑ ඒ දවස
දිගුම දිග දැක්ම ඇති විනිවිදින ක්‍රමවලට
ඕනමයි යන්නටම සැවොම සිට එක පෙලට
නිදියගෙන බලාගෙන නොසිට කරවන ලෙසට
හැමෝගෙම යුතුකමක් කරන එක එකට සිට
ජාති කුල මල බෙදී හිටි යුගය අවසන්ය
ගුණය, සමගිය එක්ක මහන්සිය ඕනමය
ලෝකයට ගැලපෙන්න දැනුම ඇතිවම සවිය
ලෝකයේ මුතු ඇටය මතුවෙන්න ඕනමය
කවිය බලන්න
විකිණීමට තිබේ !
කිරිගරුඬ වන් සුමුදු අතපය
පිරුණු වටකුරු සියොළඟ
වසා ගත හැකි ඒ අතර ඇති
ලප කැළැල් කළු වේලුණ
සිකිපිලක් වන් නීල වරලස
නිතඹ තෙක් වැටි මනහර
හිසේ වම්පස පහළ ඇති රළු
පැලුම හැක ඉන් වහන්ට
මඳ සුළඟටත් ඉබේ සෙලවෙන
කාන්තිය ඔප්නංවන
දිගැති ලස්සන තෝඩුවට හැකි
පැළුණු කන්බෙර වහන්ට
බලනවුන් දෙවරක් බලන යළි
උවනතේ වන මදහස
යටින් ඇති අතොරක් නොමැති ගිනි
හැකිය සඟවා හිඳින්ට
සැළලිහිණියන් එදා සිට දුටු
නාරි දේහය සුකොමල
වසා සියොළඟ දමා මායම්
සූසැටක් විසිතුරු කොට
පෙරා පෙර පර සිද්ධි ගළපා
මනා සේ පිරියම් කළ
අයිතියක් නැති ගැහැණියක් ඇත
ඉක්මණින් විකිණීමට !!
කවිය බලන්න
සුන්දරයි කඳුකරය උඩරට
කඳුකරය සුන්දරයි උඩරට
රූ බර නොවේ ඇගෙ වත
දැවී දැඩි හිරු රැසින්
විඩා බර වී ඇත
කහට බැඳි අතැඟිලි
රළුය නිය බිඳී ඇත
රතු වුනේ නම් ඒ
පුපුරා ගැලූ රුහිරෙනි
මඳ හසක් ගෙනෙන්න ට
මුදු සිතුම් නෑ සිතට
ආවොතින් සතුටක්
හවස කුඩයෙ බරට
උර තබා සිටියත්
රටේ ජාතික ධනයට
නැවේ හිස ඇගෙ බිමට
දැනෙන ජීවිත බරට
සිටිය යුතු හවසට
පිටි අනා රොටියට
වැනි වැනි ගෙදර එන
වෙලාවට රාමසාමි ට
බැරි වුනොත් දෙන්නට
දලු සුවඳ ඇඟ පහස
ඉව කරන පමාවට
සම වේ ද ගුටි බැට
කෝවිලේ බෙර පද ට
කඳුකරය සුන්දරයි උඩ රට
තබයි අඩි තාලයට
ගැයෙන ගී රාවයට
ගලා යයි නගරයෙන්
කඳුකරේ උඩරටට
13-06-2021
තේ දළු නෙලන ළඳුන්ගේ
ජීවිතය ගීතයක් මෙන් සුන්දර
නැත .අපට ගීතයේ තාලයට පා
තැබිය හැකි නමුත් ඔවුන්
පා තබන්නේ දුෂ්කර කඳු කර
ලිස්සා යන අඩි පාරවල් දිගේ ය
කවිය බලන්න
හැලුනු කවි...........
නිදි ගැට කැඩුවෙමි දෑස් ලඟ කවි
පා තියූ පොලව ඔව් එතනත් කවි
ඔහෝ රාත්‍රියේ බිම වැටුනු කවි
ඔසවා තැබුවෙමි මේසය මතින් ඒ කවි
කුස්සියෙත් කවි
නාන කාමරෙත් කවි
දෑස් පිසදා බැලූ විට
මෙන්න ඉඟ නෙරියේත් කවි
පොඩි දූ සිනාසෙනු දුටුවෙමි
කවක් ඉඟි පානු දුටුවෙමි
ඇය පසු පසම
කව ගියාදැයි නොදනිමි
ඔපීසියේ මේසය පුරා කවි
තේ කෝප්පය පිරී එතනත් කවි
බත් පතෙත් කවි
අනේ මෙහෙමත් කවි.
ලියන විට වැටුනු කවි
හිතුනු අමතක වුනු කවි
ලියා ගන්නට බැරි වුනු කවි
මෙහෙම හැම තැනම කවි.
කවිය බලන්න
මවකගෙ ප්‍රාර්ථනය
අම්මේ....
කාටද ඡන්දය දෙන්නේ....
පැනය කණ වැටුණු විගසින්
මුදු සිනාවකින්,....
තොල් පෙති පුරවා,.....
මගේ පුතාට
පෙම්බර අම්මේ,......
ඔබෙ ප්‍රාර්ථනයයි
බුදුන් දැක නිවන් දකින්නට
මතු සංසාරයේ
ඹබ පින් කරගත්තා
කවිය බලන්න
මගේ ලොක්කිට දාසයයි
අපේ ජීවිත වලට ඇවිදින්
අදට හරියට දහසයයි
අම්මා කියලා හිතට දැනිලා
අදට හරියට දහසයයි
ඔබෙයි මගෙයි ගණු දෙනුවනම්
ආත්ම දහසෙට ඵහයි
මගේ “forever පැටියට”
16x2 + 1 කෝටියක් දෙවිවරුනගේ පිහිටයි
ලෝකෙට අහිංසකී උනාට
නංගීලාට හරි සැරයි
ඇතුවත් බැරි නැතුවත් බැරි
ගෙදර දෙවැනි මව් තමයි
පොඩි කාලේ අපිත් එක්ක
ලොකු කට්ටක් කෑවා තමයි
අද මාගේ පැටියා නිකන්
“Iron Lady” වගේ තමයි
තමන් ගැනම පමනක් නොව
සියලු දෙනා ගැන සිතන්න
ඔබත් කකුල් දෙකෙන් සිටන්
අනිත් හැමට අත යොමන්න
ලෝකෙ හරිම ලොකුයි හැඩයි
නිදහාසේ පියාඹන්න
මගෙ ලොක්කිගෙ සියලු සිහින
මහ ඉහළින් සැබෑ වෙන්න
*ආදරෙන් අම්මා*
කවිය බලන්න
දරු පවුල් රකින්නෝ...!
ඔබෙ වත්තට ඇතුළු වෙලා කෑම සොයන එ යම් සතෙක්...
සැබෙවින් එය කරන්නෙ කුස ගින්න නිසයි, තරම් ඇතෙක්...
ගැබක් දරන මවක් වන්න පුලුවනි
එම නිසා කොතෙක් ...
සබඳ, ඔබට තරහ ගියත් ඉවසනු
ලෙස උතුම් පුතෙක්...
ගලක් ගසා එලවන කල තුවාල වී
ඇද වැටුනොත්...
මලක් වගේ රැකි පැටවුන් හට යන කල අප සිතුවොත්...
වලක් වන්න ඒ රුදු සිත් හැකි නොවේද මෙය දුටුවොත්...
පලක් වෙයිද කරනා මහ පින්කම් සිතලා බැලුවොත්...
දරු පවුලක් රකිනව ඇති කෑම සොයා කවා උනට...
සිරුරේ රුහිරය හරවා කිරට
පොවා එපැටවුනට...
මරු කැඳවන එකට වඩා යමක්
දීම සිතා පිනට...
පෙරුමන් පිරවුමක් නොවෙද
ලංවීමට අප නිවනට...
කවිය බලන්න
ඒ මම ද???
ජංගියක් ඇඳ ගත්තු..
පුංචි කොලුවෙක් ඇවිත්.
මේ කාලෙ කව් රුවත්..
අඳින්නෙත් නෑ එව්වා.
හෝඩියේ පංතියට..
සමාවෙනු මැනවි මට.
දැන් ඒක එක වසර.
කිව්වෙ පෙර පුරුද්දට .
***************************-
පුංව් නිල් ඉරි තියෙන ..
ඉස්කූල් ටයි පටිය.
සුදු කමීසයෙන් නිල්..
පාට කලිසමෙක් ඇඳි.
කළු මේස් ..සපත්තුව..
පැළඳ ගෙන එහි සිටින.
මා පුතුන් දෙස බලයි.
ඒක රැවුමක් නෙවෙයි.
**************************
ගල්ලෑල්ලකුයි එක අච්චු පොතකුත් අරන්...
සුදු මැකුණු කමිසයෙන්..
දෙපාවල නෑ වහන්.
වාඩිවෙල සිටිය පෙර..
පුංචි බංකුව හොයයි.
ඔය කව්ද අහන්නා..
සේ පුතා දෙස බලයි.
********************************
විදුලි කෙටුවා වගේ..
රූපය ක් සිත ඇඳුණි.
වසර තිස් පහක පෙර...
මතකයට මා යැවුණි.
පුංචි ඉස්කෝලේ ක...
පළමුවෙනි දවස ළඟ.
නතර විය මහලු සිත.
ඒ මමයි. ඒ මමයි.
මහා දුර ඇවිල්ලා..
වෙහෙසින් ය මගේ ගත.
අර පුංව් එකාගේ ..
නිදහසව තිබෙයි වත.
අඳුනන්න බැරි තරම්..
වෙනස්කම් ගොඩක් යට.
මතක් කළ නමුත් තතු..
වැඩි දුරට මතක නැත.
******************************
වෛද්‍ය නිලධාරී .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2024.09.28
කවිය බලන්න
හෙට
හෙට වෙද්දී
අප අළු සහ ඇටකටු පමණකි
වල් පැලෑටිවල මුල්
අප හිස්කබල් අතරින්
රිංගා යනු ඇත
අද, අප
සරල ඇඳුමින්
නිරවුල් මනසින්
පිරුණු කුසින්
ප්‍රාණයෙන් යුතුව
අවධානයෙන් යුතුව
මෙතැන
මේ දැන්
සංගීතයෙන් මත් වූ විට
වයින් වුවමනා කාටද?
එන්න සුහදිනිය
දෙපා ඇති තාක්
අපි නටමු!
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Tomorrow’ by David Budbill
David Budbill (1940-2016) ඇමෙරිකානු ජාතික සාහිත්‍යකරුවෙකි. ඔහු කෙටිකතා, කාව්‍ය, නාට්‍ය පිටපත්, ළමා කතා ආදී විවිධ වර්ගවල ග්‍රන්ථ පළ කර ඇත.
Photo- Casey Horner on Unsplash
කවිය බලන්න
Forever Brand new
He sits at his desk,sipping his tea
Looking at the window,lost in reverie
In the garden she dances with a laughter so bright
A glimpse of pure joy,like a star in the night
Every word she speaks a melody so sweet
Each moment a treasure,his aging heart skips a beat
The world can't see what his aging heart's longing to show
In a moment of magic,hope begins to grow
He dreams of the courage to speak his mind
Something her youthful innocence can seize
But time is a woven fabric keeping them apart
A symphony quite is playing deep in his heart
The worn heart has its secrets,tucked away
A soft silent yearning is under way
She is unaware of what he feels
A golden ager's love that’s so real
So he lets her smile,sing,spin and dance
With his love that won’t ever fade
In the twilight he lingers,hoping that it’s true
A golden ager's heart,that is forever brand new
Photo credit; Scott Broome
කවිය බලන්න
ස්වෙත්ලානා
ප්‍රේම ලොවේ ඇඳුරු තුමිය
උජ්ජ්වලිත ස්වෙත්ලානා
බැඳුනු යදම් අත නොහැරම
ආපහු යන් ස්වෙත්ලානා
ප්‍රේම කතා කියවන්නට
බසක් කුමට ස්වෙත්ලානා
කේත යොදන් කියපු කතා
තව මතකද ස්වෙත්ලානා
ලෙනින්ස්කි කඳු ගැටිය මත්තේ
මොස්කව් ගඟ හිමායිතව
නෙත ගැටෙනා ඉස්මත්තේ
බංකුව ඇති ස්වෙත්ලානා
ඉඳහිට වත් වෙද ගෙදරට
ලියනවාද ස්වෙත්ලානා
දුගේ පොඩි පැටවුන් හා
තරු ගැන්නද ස්වෙත්ලානා
ලොවට හොරෙන් හද ගැහිච්ච
යෞවනයේ වර්ණිත පෙම
ඇත්තම දැයි බලා ගන්න
මමත් එනවා ස්වෙත්ලානා
කවිය බලන්න
රිදුමන් නෑ...
ඉදහිටක තෙමී ඔය දැස් ගැබ්බර වේවී
නුවර වැව් දිය තරමට දරා ගනින් පේවී
ගල් බොරලු මතින් යන විට රිදුම් දේවී
නිහඬ සුසුමට දුක කියන් පෙම්බර දේවී...
වරා මල් ඔහේ පාවෙයි සුලං ඇති නැති දාට
කෙකටිය මල් ඉත්තද මිතුරු වෙති ඊට
යන එන ගමනේ වෙහෙස ටික ටික දැනුනාට
මග නවතින්නෙපා ජීවිතය නොවේ ඒක
සෙවනැල්ලටත් තනි නෑ ..අඳුරෙත් ලඟ උන්නාම
අමාවක දාටත් කලුවර නෑ..පාලොස්ක වී ආවාම
නියං සෘතුවත් පාලු නෑ...අතු ඉති සුවදින් පිරුනාම
කඳුළු උනත් රිදුමක් නෑ .. මැනිකේ සතුටක වැටුනාම
යටියන්තොට
කවිය බලන්න
රිදුමන් නෑ...
ඉදහිටක තෙමී ඔය දැස් ගැබ්බර වේවී
නුවර වැව් දිය තරමට දරා ගනින් පේවී
ගල් බොරලු මතින් යන විට රිදුම් දේවී
නිහඬ සුසුමට දුක කියන් පෙම්බර දේවී
වරා මල් ඔහේ පාවෙයි සුලං ඇති නැති දාට
කෙකටිය මල් ඉත්තද මිතුරු වෙති ඊට
යන එන ගමනේ වෙහෙස ටික ටික දැනුනාට
මග නවතින්නෙපා ජීවිතය නොවේ ඒක
සෙවනැල්ලටත් තනි නෑ ..අඳුරෙත් ලඟ උන්නාම
අමාවක දාටත් කලුවර නෑ..පාලොස්ක වී ආවාම
නියං සෘතුවත් පාලු නෑ...අතු ඉති සුවදින් පිරුනාම
කඳුළු උනත් රිදුමක් නෑ .. මැනිකේ සතුටක වැටුනාම
යටියන්තොට
කවිය බලන්න
මුසිලයාගේ පැත්තෙන්
කණ මාපියන් මගේ දෑතින් දොවා දිදී
නුබ නැති හැම දීනම උන් දෙදෙනා බලා දිදී
නුබ වෙණ වයා එනවිට මම බලා උනි
උගනින්ට වෙණ වයනා අයුරු රිසි
ගුත්තිලයනි නුබ දුන් මහ දැනුම වෙණ
බිදුවකු නෑර උගුනෙමි තුටින් නිම
නොසිතුනි සිතක් නුබ සමගින් තරග
තුටු නැති කිමද ගුරු පසු කර යන සිසුට
ආ මහ සෙනග නුබ පැත්තම ගත් අයුරු
මගේ වෙණ තත් කඩා සහයෝගය දුන් අයුරු
නුබටත් නොපෙනුනද ගුත්තිල මහ ඇදුරු
සක් දෙවිදුන් කල මගේ දැනුමට දුරු අදුරු
කවිය බලන්න
සතුට වනසන මානය
විය කෙනෙකු මම නමින්
විය කෙනෙකු ඔබ නමින්
ඔබ සිතයි
මම සිතයි
සසඳ සසඳා සිතයි
මෙය නමින් මානයයි
ඔබ උසස් මා හට
ඔබ පහත මා හට
සමානයි මා ඔබ හට
විවිධයි මානය මෙලෙසට
රූප සොබාවය ද
පිහිටි අඟ පසඟද
සුවපත් භාවය ද
මුල්වේ මානය හට ගැනීමට
වත්කම් පොහොසත්කම් ද
ඇදහිලි විශ්වාස ආගම් ද
ගුණ නැණ බලය ද
කුල ගොත් කම් ද
දූ දරු පරම්පරාව ද
කරුණුය මානය වැඩි කිරීමට
අරක් ගත මාන සිතුවිළි
වද දෙයි සිතට නිරතුරු
දුරු කර ගත යුතුයි
එවන් සිතුවිළි
සිටීමට සතුටින් නිබඳව
ඔබ ඔබම විය යුතු බව
මම මමම විය යුතු බව
සිතීම වැදගත්
සෑම කල්හිම
කවිය බලන්න
සංහිදියාව
කොඩිය කැලි තුනකට කඩලා
පාට තුනක් දාල
ලොකු කෑල්ල මහා එවුන්ට කියල
ඉතුරු කැලි පොඩි එවුන්ට කියල
උගන්නපු රටක් තිබ්බලු
පුංචි එවුන්ට
කවිය බලන්න
බිඳුණු ගැහැණු
රැවටුවත් දිවිපුරා
උන් නමින් පේවූ
ලොවේ තව කොහේ ඇද්ද
මේ වගේ ගැහැණූ...
තැනු දෙවොලම ගිනි ගනිද්දිත්
නිවා ලන්නට සැලස්සු
දැවුණු හදවත් වැරෙන් අල්ලා ලොවට රහසින් වහංවූ ....
එලොව මෙලොවද දෙකම පැටලී
දෙපා පැකිළුණු ජීවිතේ
දෙලොව මැද අතරමංවී ඇති
මල අහිංසකම ගැහැණූ....
තමන් රැවටු තමන් පෙලවූ
සියල් අභිමුව සමාදුන්
යුතුකමම මිස හිමිකමක් නම්
කිසිමදවසක නොඉල්ලූ...
ඉදින් සකියනි සිතා බලපන්
තවත් වේවිද යම් දෙයක්
ගැහැණු පෙළනා පිරිමියකු හට
තියේවිද යම් සාපයක්
ඇතොත් මේ ලොව එකම බිඳුවයි අන් කිසිත් නොව මේ තමයි
නිදොස් කතකගෙ ඇහින් වැටෙනා
හැම කඳුලු බිඳුවක සාපයයි....
Photo credit Joshua Rawson-Harris
කවිය බලන්න
කෙටි කවි
1) ඇසෙයි පසු පසින්
ලුහුබඳින
පිය හඬක්
නොනැවතීම යමි
ආ ගමන.
2) සරා හිරු
රැස් වැද
උණුවී,දියවී, වැගිරෙයි
සිතිවිලි හිම කඳු.
3) ළඟ සිටින
ඔබ දුර ය
දුර සිටින
ඇය ළඟ ය.
Photo credit: Christopher Sardegna
කවිය බලන්න
ගැලවීම....🙏
නිමාකර පරඬැලින් හැඩකරපු දඩබිම..!
ගේ කුරුළු සැමියාට වැරදුනේ සෙයිලම..!
දිගේලිව ගිය හරක් හැරුනාට සවසම.. !
රැහැන් දිග නොමැතිදා ගස මුලම ආයෙම..!
සඳක් කුමටද අහස කළුවරේ නැත්නම්...?
විලක් හැඩ වෙනවාද තඹුරු නොපිපේනම්..?
සනුහරේ බැඳ තියපු රැහැන ගිලිහේනම්..?
අදත් නොව හෙටත් පැරදේවි උරුමයනම්...?
සිතින් අල්ලා ගැනුම නොහොබිනා කමකී...!
ගතින් දුරු කෙරුම ඉඩ ලබාගත් ඇමකී...!
තදින් තත් පිරිමදින වෙණ මියුරු සරකී..!
ඉතින් ගැලවියන් සකි දිවිය ගිණි ගොඩකී..!
25.09.2024
කවිය බලන්න
හුදකලා මව!!!!
කලක් ප්‍රීති ඝෝෂාවෙන් පිරී ගිය සාලය
මතක සහා පින්තූර වලින් පීරි ඇත
එදා තිබුනු බිත්ති ඔරලෝසුව
බිත්තිය මත ටික් ටික් හඩ දෙයි නොවෙනස්ව
එලබෙන්නේ නැති රාත්‍රීයන්ට කෑම මේස ලෑස්තිය
අදුර නොමැති රාත්‍රීයන් වලත් ගෙයි පහන් දැල්වේ
සත්සමුදුරින් එහා ඔවුන් සැරි සරුවද
ඇගේ හදවතේ ඔවුන් මැද සාලයේ
පාළු නිස්කලංක නිවසේ,
ඇය තනියම බලා සිටියි,
කිසිවෙකුගෙන් ඇමතුමක් නැතත්
කාගේ හෝ කටහඩක් ඇහෙන තුරු
මේ පාලු මුසල බව බිදිය හැකි!
කවිය බලන්න
සමනල පාලම යට
හරිත උයන් නිතර සොයා
තුරු වදුලින් නිවන විඩා
අයිස්ක්‍රීම් බීම උරන
ප්‍රේම හැඟුම් සාද තියන
පාට පාට සමනලුන්
එක බංකුවෙ හාදු හැපී
මල් සිතිවිලි සිහින පිපී
කාසි නැතුව එක කුඩයක
ප්‍රේම හැඟුම් සාද තියන
පාට පාට සමනලුන්
සිත නො රිදේ කියන කතා
බැඳි සිත වේ මගුල් නො කා
අරමුණු නැති ඇමණුම් ඇති
ප්‍රේම හැඟුම් සාද තියන
පාට පාට සමනලුන්
කවිය බලන්න
හිමබර සවසක වනයෙහි නැවතුම
දනිමැයි සිතනෙමි වනපෙත හිමිකරු
තිබුණද මේ ගම ඔහුගේ නිවහන
දකිනට නැත මා මෙහි නැවතුණු වග
හිම පිරි ඔහු සතු වන නරඹන්නට
වනයත් දිය මිදි නදියත් අතරක
වසරේ අඳුරුම සවස්යාමයක
ගොවිපලකුත් ළඟ නැති තැන නැවතුම
වියවුලකැයි මා අසු සිතමින් ඇත
මෙහි යම් වරදක් ඇතිද අසන මෙන්
ඇඟ බැඳි සීනුව සොලවාලයි ඔහු
හමනා සුළඟත් වැටි හිම පියලිත්
පමණකි ඒ හැර නැඟුවේ හඬවල්
ගැඹුරුය අඳුරුය පෙම්බර වනපෙත
එනමුදු රකිනට පොරොන්දු ඇත මට
නින්දට යන්නට පෙර මේ මා හට
යන්නට ඇත ගව් ගණනක් දුර තව
කවිය බලන්න
දන්නවද රත්තරනේ
ඔබ නැති නෙතු මානේ
සගවා හසරැලි මුහුනේ
හඩන තරම් සිත මාගේ
ඉවසාන පපු ගැඹරේ
ඉන්නට කීවත් රහසේ
ඔබ නැති මගෙ ලෝකේ
ඉන්නද මං කෙලෙසේ
ඉරෙන රිදුම් එයි පපුවේ
අකුණු කොටයි හිටි හැටියේ
සසර පුරුදු සුවදයි සෙව්වේ
ඔබ මා ලග නැති වේලේ
කවිය බලන්න
සුක්කානම
පයින් ආ මග බොහො දුරයි
වෙහෙසයි නෙතේ නැගි කදුළු හංගා
නැවතුනා මග විඩා නිවනට
නොයෙක් රථ නැවතුමට රිංගා
වීවිධ පාටින් හැඩ කෙරුන රථ
නලා හඩවා බෝඩ් හංගා
යන්නේ කොයිබද නොදැන අපිසෑම
පසු දොරෙන් ගොස් ඉතින් නැංගා
නොයෙක් රියදුරු මහත්වරු පදවා ගියා
බස්රථය තැන තැන
මාරු කෙරුවා බෝඩ් එක නෙක වතාවක්
හංගා යනෙන තැන
අනේ රිදෙනවා අපේ ඇගපත කකුල
පමණක් නොවේ හැමතැන
නොයෙක් කදුවැටි නිම්න පසුකොට
ඇද වැටුනා මහා හෙලට අවසන
නැංගා සුක්කානම කැරකුවා
බැස්සා නොයකුත් රියැදුරන්
බලා සිටියා මුන්ට ලයිසන් දුන්නේ
අපිමයි නෙව කියන්
ඉතින් රියදුරු මහත්යෝ මේ
බසයට කොයිබට යන්නේ දැන්
කියල ඇහුවහම මටම ලැජ්ජයි
බිහිරි වී ඇත උන් සවන්
බසය ඉදිරියෙ පොරකනවා රියදුරන්
කිහිපම දෙනෙක් දැන්
බැලුවා විමසා එකා අනෙකා
තල්ලු කරනවා පොර බදන්
නැග්ග රියදුරු මහතායගෙන්
ඇහුවා කොයිබට යන්නේ දැන්
"දන්නේ නැහැ අම්මේ" මමත් මේ
නැග්ගා විතරයි ඉවසපන්
සවන් යොමනා, මිනිස් ගුණඇති
රියදුරෙක් කරකනවා නම්
ඉතින් සුක්කානමද, සුදුසුම තිරිඟද
යොදනවා නම්
කපාගත හැක යන්න පාරක්
හෙලෙන් එගොඩට එන්න නම්
මග කියාපන් ඉතින් මිනිසුනි
මේ වලෙන් ගොඩ වෙන්න නම්
කවිය බලන්න
කියව ගන්නම් මං....
දුකින් මුමුනන කඳුළු වැහි පොද
අඳුරෙ ළතවෙන අහස තනි කර
ඇවිත් පොළොවට හාදු දෙන හැටි
බලා ඉන්නම් මං
පිපෙන්නට හෙට උදේ අරුණට
සැදී උන් හිත වෙනස් කරගෙන
වතුරෙ පාවෙන රෝස කැකුලක්
ඇහිඳ ගන්නම් මං
හෙමින් ඇවිදින් මටත් නොදැනිම
හිතේ අහු මුළු වලට එබි එබි
නිහඬ සුසුමක් හෙලන හැටි ඔබ
අහන් ඉන්නම් මං
වදන් නැතිවද මුවත් ගොළු විද
ලියා ගන්නට නොහැකි කවි පද
රුවා ගත්තොත් ඔබේ හද තුල
කියව ගන්නම් මං
උතුරු කැලිෆෝර්නියාව
Photo credit ; Travis Grossen
කවිය බලන්න
පරාගනයට කැකුළු
උච්ච ස්වර මග හැරල මන්ද්‍ර ස්වරයක ගයපු
බැල්මෙ හී සර දිගේ කැළඹිල්ල සිත දවපු
හැල්මෙ තුරුලට නොයා හෙමි හෙමින් උඩු දුවපු
මැද්දෙ කෙමියක ගිලී මල නොතල පැණි උරපු
උණුසුම්ව සුසුම් වැල් ගෙල මත්තෙ දඟ දමා
ඉවසම්ද දෙතොල් ඇඳි සිත්තමකි නැත නිමා
මකමින්ද සීමාද විරාමෙට දැමු කොමා
අඟුල් අරිනට යතුර තතන්නෙ කිම පමා
මුව තියා නිම්නයක කඳු දෙකක් මැද්දේ
සීරුවට ඇඟිලි තුඩු ඇරඹුවයි යුද්දේ
සිහින් කෙඳිරිය මිසක නැත නැඟුනෙ සද්දේ
දිය ගැඹුර දැනගෙනයි තොටිය ඔරු පැද්දේ
තෙලිදියට රා වඩිය පැසි පැසී ඉතිරෙද්දි
කොහි වෙද්ද ඉවසුමක් පුරුදු රස මතුවෙද්දි
යටිකුරුව තිබු හැඟුම් උඩුකුරුව නැඟ එද්දි
අඩකුඹුව හිඳ තවත් පලද ඉම පහුවෙද්දි
පෝය දා සඳ වුවත් මෝරන්නෙ මහ රෑට
රැස් දහර මැවු රටා නුරාවෙන් විය පාට
ඒ මැදින් කඩුපුලක් ඇරයුමකි කලෙ ඊට
දා බිඳුත් දඟ දමා රුකුල් දුන්නනෙ රූට
මංකඩේ තරම දැන ගෙන වෙලට බැස්සේ
වක්කඩෙන් වැඩි වතුර පිටවුනයි රිස්සේ
මත් බිඟුන් පරාගනයෙන් තෙමෙන අස්සේ
අත්ගුණේ බලත හැක නෙලුමකට පස්සේ
Photo credit; Jonathan Borba
කවිය බලන්න
අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි !!
ඇස දකිනා විටදි හැඩයක් පිට පොත්තේ
සිත අසනවා මොනවද ඇතුලත ඇත්තේ
ඇස රැවටුනත් දකිනා රූපය මත්තේ
මගෙ මනස මය කවදත් මා රැකගත්තේ
දස අත ගිගුම් දී හඬ තැලුවත්
එකය
කැටයම් දදා නලවා කීවත්
සරිය
බුද්ධිය නැතිව උගතෙකු වූවත් මදිය
කණ කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන කලය
මිතුරු වෙසින් සිටියත් සිත යට කුහක
හතුරු වදන් පිටවෙයි නොදැනිම විටෙක
ඉතුරු නොකර හිතවත් කම් තව දිනෙක
වසුරු පිඩක් ලෙස රඳවාලනු
දුරක
උදව් ගන්න තුරු නැති ගුණ
ගයන්නෝ
වාසිය ලැබෙන තුරු පසු පස දුවන්නෝ
අමනකමින් හැම අතටම නෙලන්නෝ
අපුලයි දකින්නට කළගුණ නොදන්නෝ
තම අදහසම නිවැරදි යයි සිතන්නා
එම මත වැරදි වූවත් හරි කියන්නා
සම අයිතියක් සැම සතු යයි නොදන්නා
සැක නැත "කොතැන හෝ අඩුවක් " තියෙන්නා
මාවැලි කුමාරි කුලතුංග
මහනුවර
29.09.2024
කවිය බලන්න
කුමටද?
කැඩී කඩතොලු නැතිම ලස්සන
පිපී කුසුමක් විලස දිස්වෙන
රිදී රහසෙම කඳුළු වස්සන
තිබී කූමටද හිතක් හිස්වුන
විදා තරු ඇස් කළුම අහසක
බෙදා දුන්නත් එළිය විඳ දුක
සදා පසසන තැනක පුරවක
බදා කුමටද කරනු අමතක
බලා අවසර පෙමින් සිඹ හිස
පලා නොයමින් දෙතත් සිසිලස
කියා තිබුනම සයුරෙ ගුණ රස
නිවා කුමටද ගඟත් සරතැස
Photo credit; Jeena Paradies
කවිය බලන්න
එතෙර වූ ජන්න ... ඔබ නිවෙනු මැන..
ඇසළ සඳේ රැස් පීරා හැලෙන රැයේ
කිඹුල්වතම සැනකෙළි සිරි දැරූ රැයේ
රහල් කුමරු උඩු මහලේ නිදන රැයේ
ම'හිමි කුමරු අණ ලද නික්මුණා රැයේ
ලේන කුලේ සිට ආ බිම්බා දේවීය පෙම්මා
නෑර බෝසතුන් බුදු වී එන තෙක් උන්නා
කන්ථක ලය පැළුණි උහුලණු බැරි සංකා
මඟ නෙත් රැන්දු මා ගැන නැති දෝ කම්පා
හීන කුලය උව නොව බැඳි සෙනෙහස හීනී
කැප කර හීන හැම දැරුවෙමි ඉසි දාසි
ඇතැර ගන්නට බැරි උන සසරම නොනිමි
ම'හිමි මංමුලාවෙන් මුදවනු මැන බුදු රජුනි
ලද දරු පෙමින් හද පිරවූ ඔලඟු බර
දරා හිදිමි ඔබ ගෙන් ලද සෙනේ ගඟ
කෙලෙස මිදෙනු මා මේ බැම්මෙන් තිමිර
නිවෙනන් නිවී සැනසෙනු මැන ම'හිමි සඳ
බුදු වෙන බවේ ඔබ සිදුහත් කුමරු කෙරේ
කැපවී උපන පෙර ජාතිත් පැතූ ලෙසේ
සංසාරය ම එතෙරෙ වන්න යන පාරේ
බෝ කටු ඉපල් විය මාගේ පැල මානේ
ගැහැණුන් වේද කිකලක වුව ලොව නිතිනි
දරනුය මහ මෙරක් තරමට ගිනි හිස මතිනි
නිවනට මං තනා දී තම කල් ඇර හිනැහී
ගෙදරට බුදුන් වී සැනහුණි නොනිවී තනිවී
නයනශාන්ති දිසානායක
කවිය බලන්න
අපේක්ෂාවේ රාත්‍රිය
ගම් දනව් ඇවිද
නිය අගිසි කැඩී ගිය සබඳ..
අමතමි ඔබ..
ගිරි දුදුළු දෙනි පෙත ද
වන වදුලු තැනි බිම් ද
ලිය මඬුලු වගුරු ද
අවදියෙන් ඇහෙනව ද..
සහෝදර සිත් නැමැද
පා ලකුණු බිම ඇහිඳ
සුබ ලකුණු ලෙස ඉපිද
මල් තනනු රිසි නොවෙද..
කර්කෂක තත්පර ද
අර්ථයම දෙනු පිණිස
තුරු අගිසි මල් පැළැඳ
ඒ..
නුඹ නමිනි සකි සඳ..
Photo credit; TERRA
කවිය බලන්න
සැඟවුනු ඔබ.............
ගැයෙන ගීයක පද වැලක් තුල
ගලන ගඟුලක පෙණ පිඬක් තුල
වැයෙන වැයුමක ස්වරපෙළක් තුල
සිහින ලෙස ඔබ රැඳෙයි සිත තුල .
පිපෙන කුසුමක විසිතුරක් තුල
දැනෙන සුවඳක ඉමිහිරක් තුල
හමන සුළඟක සිසිලසක් තුල
දැවට ඔබ යයි පාව සිත තුල.
කඳු වළල්ලක මුදුනෙ දැව ටී
කොත් කැරැල්ළක නිවන ගෙනදී
සෙනෙහෙ මතකෙක පහස ලැබදී
යළිඳු සැඟවෙයි සිහින ගෙන දී.
දිවෙන සඳ නෙත් අකුරු අතරේ
මතුව ඇවිදින සිතට රහසේ
නොලියු හසුනක මිහිර අතරේ
යළිඳු සැඟවෙයි සිහින අතරේ.
මවා ගනු බැහැ රුවම පෙරසේ
සොයා ගනු බැහැ ලඟින් සිතුසේ
දරා ගනු හැර සිතට දුර සේ
සොයා ගමි ලොව කිමිද රිසි සේ.
කවිය බලන්න
කම්පන තරංග
විටින් විට ආකාසෙ හඬමින්
වහින්නට සැරසුණා මතකයි
කඩින් කඩ වට කුඩා දිය බිඳු
පවා මොහොතක් දෙකක් නිහඬයි...
බිඳෙන් බිඳ පිරි මහා ගඟුලක්
ගලන්නට අනතුරක් අඟවයි
තැනින් තැන වූ ගුප්ත හඬකින්
දේදුන්න කෝ කියා විමසයි...
දිනෙන් දින පායමින් තිබුණද
අතුරුදන් වී යනවා නිසැකයි
ආකාසෙ නම් ආදරය මෙනි
අධික කම්පන කවුළු සහිතයි!
Photo Credit: Christian Lue
කවිය බලන්න
තහංචිම ද?
අඩියට දෙකට
රෝහල් වාට්ටුවට
පියවර ඈතින් ඈතට
තැබුවමුත් හනි හනිකට
කවදාවත් නො දැනුණ විලසට
ඇසෙයි මට බිත්ති පුරා නැඟෙන
පාළු මූසල අඳෝනාවක් සවනට...
වෙනදා නැති ලෙසට
පා පැටළුණත් හිතේ බරට
දිව ආමි ඒ රුව දකින්ට
සිත් කොනේ පූදින පෙමට...
සුපුරුදු විලසට
"Good Morning ඩොක්ටර්!"
කියූවක් ඇසුණත් හතරවට
තොල කට වියළී ඇත නොදැනිව ම මට
හිස් වූයෙන් ඇගේ සයනය නුපුරුදු ලෙසට...
"කෝ මේ පේෂන්ට් ?
මාරු කළා ද වෙන තැනකට ?
ඇයි බෙඩ් එකේ රෙදි මාරු කරන්නේ?"
මටත් නොදැනිම මගේ ප්‍රශ්න වැල
හෙදියත් නොසන්සුන් කළ පුදුමය
අකුණු සැරකි ඇගේ වදන් පෙළ
ගිනිබත් කළේ ය මගේ ළයම...
"ඒ පේෂන්ට් නැති වුණා ඩොක්ටර්.
එක පාරටම හුස්ම ගන්න බැරිව දැගළුවා පැය භාගයක්"
ඇත්තටම බර වැඩි වුණි ද?
ඉහිලුම් නොදුණි ද?
අතරමං වූ නුඹේ මාවතට
ඉදින්,
තව ප්‍රේමයක් තහංචිම ද?
--------------------------------
බී.පවිත්‍රා අංජලී ලීලාරත්න
2024/09/20
කවිය බලන්න
ශුද්ධ නගරෙ ආගන්තුක සිඟන්නිය
වෙරළාසන්නයේ නිතර දැකිය හැකි
මෙම ශුද්ධ නගරෙ ආගන්තුක සිඟන්නිය
රළ වදින ගල්පර තුල වැදී සැඟවෙන විලස
කොයි කාටත් දනවයි විමතිය කුතුහලය
මිතුරු සුනඛ රැල කුසගින්නේ හැඬු දිනෙක
සොරකමක හසුව ඇය පෙර කළ කරුමයට
මුගුරු පහරකින් මිහි තලයට වැටී සිට
දිව යයි හිසින් ලේ කඳ රූරා වැගිරෙද්දී
පුන් පෝදා රෑක සමුදුර යන ධීවර පිරිසකට
දිස් වේ පාවෙමින් හිනැහෙන තරුණ කතක්
ප්‍රාතිහාරයක් ලෙස සලකා හදපිරි බැතියෙන්
ලං වෙන විට ඇය දිය ගැඹරට පැන කිමිදේ
නෙක පුවත් ලැව්ගිනි සේ පැතිර යන විට
ආශිර්වාද පතා දසතින් දනන් මෙහි ආවත්
ඇය කිසි දින නොදොඩයි එක වදනක්වත්
සාන්තුවරියක් ලෙස මුනිවත රකිනා
* කන්‍යා කුමාරිහි විසූ මායම්මා නමැති කාන්තාවක් පිලිබඳව
අන්තර්ජාලයේ දුටු කරුණු ඇසුරින් කළ නිර්මාණයක්
10.09.2024
කවිය බලන්න
The unwritten poem
Withered spring.......!!
Even knowing that....
It will never come back....!!
Both my heart and soul
Never allow me to
Leave her.......!!!
My mind is filled with her image.....
The smell of her perfume lingers in my mind....
It warms my heart......!!
The past.....spent with her.....!!!
Like a movie on the silver screen.... that.....
Unfolding in the dark ...!!
It catches my eye and hurts my heart
To make up my mind
I am going to write the poem that.....
I haven't written as yet.....!!
Kandy...
10.09.24
Photo Credir ; Dwinanda Nurhanif Mujito
කවිය බලන්න
ඉසුරුමුණියෙ යුවලකි පෙම් පිරුණු ඉතා,,,,
කැටිවූ සෙනෙහෙ තිරලෙස ලියැවුන වුවන මත
ගැටෙමින් සිරුරු අදරින්
විඳිනා උකුල මත
පහසක නිවුනු නිකැලැල්
සුවයෙන් රැඳුන වත
ලොවවෙත කියනවද පෙම්
අමසුව පිරුණු හිත ,,,,
නිසිසෙ බැතින් ලෙංගතුවු
හද බැඳි පෙම් මියුරු
පසුකළ එ, හෝරාවක
විඳි සුව ,තුටු අයුරු
රසතැන් ඇවිද කළඹා
නිති , පිරු අම සයුරු
විඳිමින් ගෙවු හෝරාව
බැන්දද රන් පවුරු ,,,,,
තිරලෙස පිළිඹිබුව දෙන
දෑසක පෙම් පිරුව
සැනහුන නිවුන සිත ගත
සොඳ සේ මුහුකෙරුව
මනසින් විඳින සොඳුරුම
සුවතැන් රස පිරුව
ඉසුරුමුණි පෙම් යුවලසෙ
නම් ලැබ පෙමබෙදුව
ගල්වඩුවාණනේ ඔබෙ
දසැඟිළි පහස විඳ
නිමැවු සිතුවමද රැඳියෙ
හිත පතුලේම හිඳ
සෙනෙහෙට නොලැබුනිද කල්
විඳිනට පෙමක හිඳ
ගිල්වූවේ පෙමද රළු
ගල්කුලෙක ඇඳ
කවිය බලන්න
අයුක්තියට එරෙහි වූ වරදට මරා දැමූ .....
අයුක්තියට එරෙහි වූ වරදට මරා දැමූ තවත් එක මිනිසෙක්ගේ කථාවක් ...
නිදාන කථාව
(ඒ 1988 දෙසැම්බර් 12 ඉරිදා.මට අවුරුදූ දොළහයි. තාත්තා පත්තරේ බලනවා.මාත් ඇගේ දැවටී දැවටී හිටියා. එක පාරට වාහනයක් ආවා. තාත්තාගේ ඇස් බැන්දා. කුදලාගෙන ගියා.අම්මයි මායි ලතෝනි දිදී පොලිසියට ගියා.අපව බැනලා එලවා ගත්තා.පහුවෙනිදා උදේ මම තාත්තගේ බයිසිකල් එකත් අරං තාත්තා හෙව්වා.තාත්තා ගොන්නෝරුව හංදියේ දී හමූ උනා.ලයිට් කණුවක් යට ඇස් දෙක එළියට ඇදලා, ඒ ඇස්වලින් මා දිහා බැලුවා.මගේ වීරයා උදුරගත් දුකටද,කේන්තියට ද දන්නේ නෑ
පුංචි කමට මේක ලියවුණා.සිංදුවක් උනත් මම එක කාටවත් දුන්නේ නෑ .
තාත්තා විදි අනේක විධ දුක්ක දෝමනස්සයන්හි කූටප්‍රාප්තිය සිදුවන මේ මොහොතේ හංගාගෙන හිටි ඒ වචන පෙල එලියට දානවා.
දැන් ඔබට නිවන් දකින්නට අවසරයි තාත්තේ - 22.09.2024......)
"සීතල පිණි මත තැවරුණු නුඹ රුව
ලා හිරු කිරණින්
මැවී මැවී...
පාරයි මතකය
බුදුන්ට දුන් දුක
කදුලක් වැටුනොත්
හිතට මදී.....
තුන්තිස් පැයෙහිම
නොනිදන නුඹ නෙත
පාරා දුරා උඹට නොදී...
නොදැක උදෑසන
පහන් කණුව මුල
නිවන් දැක්කදෝ
අප්පච්චි...,..
බිදෙන් බිදක් එක්වූ
මහ සයුරක්
පතමින් දහඩිය ගගක් හෙලා..,.
නුඹට වඩා වින්කලයට පෙම් බැදි
දඩුමොනරය මත දවස පුරා...
සිතට නොදැනෙනා
ගතෙහි විඩා ලග
දරු සෙනෙහස
අම්බලම උනා....
මට විතරක් අප්පච්චි
උනානම් අදත් නිදමි
මම තුරුල් වෙලා..
බවුන් වඩන්නට පිං මදි අම්මා පවන් සලයි නුඹගේ සුවදින්....
ආත්ම ගණනක හීන ගෙනෙන්නට අපේම ලග ඇති දුර නොගිහින්...
නැවූම් පසක හිනැහෙන රන් ලා දළු නුඹට හොරෙන් පූදින්න කලින්.,..
මලක් වෙලා පිපියන්
අප්පච්චී......,.
බුදු වෙන්නට බැරිනම්..
කවිය බලන්න
පිස්සුද
වේලක් දෙකක් අතහැරෙනා ඩිග්‍රියට
සඳ පායන්නෙ නෑ ආදර මාවතට
රීමික්ස් කරන් සිතුවිලි සඳ ඇති කලට
දහයේ යතුර කරකමි ගී පද ලෙසට
සටන් පාඨ සිර ගෙයි කොනක
යකඩ කූරු හීරෙන කිරි සද්දයක
සාදුකාර නාදෙන් ගම කඨිනයක
සොයනෙමි සිනාවක් තණමල්විලක
සීසන් මාක් කර යනෙනා ලංගමය
කාඩ් එකක් හූරන් ගෙන ජංගමය
වැඩ පාටියත් යන්නේ දුන්හිඳය
එෆ් එම් එකෙන් හැඩ කර ගමි පන්හිඳය
පෙරහැර දකිමි මාසෙක සූසැටක කලා
පෝදා සඳ ලෙසින් මෙත් සිත් පහන් කළා
කරවල නැතුව බත් පතකට වැටුණ පලා
ලොතරැයි පතක් ඇත මුළු ජීවිතය වෙලා
තයිරොක්සින් අඩු ද නැත්නම් එය වැඩි වීද
පයිතගරස් වෙනෙකෙක් නම් මම කවුද
සයිරන් නලා පිඹගෙන යනු ඇසුණාද
සයිකො ද අහන්නේ මං ගැන දන් නැද්ද
Photo credit ; Tim Bogdanov
කවිය බලන්න
කවක් වූ නුඹ..
නොනිමි අදුරක රදවලා
තරුවක්ව අහසේ නිවා
නොදැනෙනා එලියක් වෙලා
සොදුරියේ ඔබ සැගවුනා...
ලියූ ගීපද තනි වෙලා
තනුව නොමැතිව ගැයෙනවා
කදුලු වැස්සක දැවෙනවා
වළාකුලු සරදම් කළා
සුසුම් පැදුරක හිත එළා
සුවද පහනක දල්වලා
බවය අතහැර ඔබ ගියා
යළි නොඑන බව දන්වලා
25/09/24
Photo credit; Muhmed Alaa El-Bank
කවිය බලන්න
වැසි හිරු දේදුනු සහ ඔබ
සිතුවානම් එක නිමේෂයක
පැතුවානම් එක ආත්මයක
නැතුවානම් මට සැමදිනකම
කුමකටනම්වේ මේ ජීවිතයම
නිදානොගෙන ඔබ ගැන සිතුවා
අවදිවෙලා ඔබ ගැන සිතුවා
රෑදහවල ඔබ ගැන සිතුවා
සිහිනයක්වී ඔබ එනු පෙනුනා
වැසි වසිනාවිට හිරු නොරැදෙන්නා
හිරු ඇතිවිට වැසි නොවසින්නා
ඔබ නැතිවිට මට සුවනොදෙනා
දේදුන්නක්ලෙස ඔබ පායා එන්නා
(සිංදුවකටත් හොදයි නෙ)
කවිය බලන්න
රාත්‍රිය ඇහැරගෙන
රාත්‍රියටත්
නිදිමතක් නැහැ වගේ
මදක්වත්
කාලය ගැන නොසිතාම වගවෙන
සුළඟටත් සෙලවෙන
තුරුවැල් නොසන්සුන්
අඩනින්දෙන් මෙන්
විටින් විට තිගැස්සෙන
කදෝපැණි ඉගිල්ලෙති
එළිය විහිදාලමින්
ඝණ අන්ධකාරයෙන් එපිටහට
අඳුර නිවාලන
එකම පුන්සඳ නැති වුවද ගගනත
තරු කිනිති සහසකි
තැනින් තැන දැල්වෙන
ගලපාගත නොහැකි වූ
හිතෙහි
තෙරපෙනා වදන් පොකුරකි
පිනි කඳුලකින් තෙමී ,පෙඟී
පන්හිඳ තුඩග බොඳවෙන
Photo credit : Alexander Andrews
කවිය බලන්න
මේ ලිපිය නුඹටමයි........
මේ ලිපිය නුඹටමයි
සිනහවක් අලවා
ලිපිනයක් නොලියා
තැපැල් කල
මේ ලිපිය නුඹටමයි
ඉන්න තැන නොදන්නාමුත්
මේ පුංචි බිම්කඩේ
කොහේ හෝ
නුඹ ඇතැයි සිතමින්
හද පෙරා ගරාගත්
හොඳම පද අමුණමින්
ලියාගත් මේ ලිපිය නුඹටමයි
නුඹ අහන්නට බලා සිටි
මම කියන්නට බලාසිටි
ඒ රහස මෙහි ඇතී
ප්‍රේමයට අකුරු හතරක් උනත්
හදවතම මිරිකා
ඒ අකුරු ලියා ඇති
ආපසු ලිපිනයක්
ඇවසී නොසිතමී
සඳ තරු උනත්
මම ඉන්න තැන
දන්නවා ඇතී
කවිය බලන්න
පුන්සඳත් නවතිනවා ඩිංගක්
අතෝරක් නැති නැටුම් මැද්දේ
නිවන් යන්නට පාර කියනා
සැදැහැවත් පෙම්වත් සිතක් ළඟ
පුන්සඳත් නවතිනවා ඩිංගක්
පින් බලෙන් වැඩි වුණත් සහසැස්
නටන ගොජ ගොජ ගගා පින්සිත්
තාපයෙන් රත් වූ අසුන මත
හිඳ නොගෙන පා බාම් ගල්වත්
පිඹින ගින්දර මකර සේනා
ලෝල දේ වට්සැප් කරත්
ඉඳුරන්ව දමනය කරන සිත්
ලැබෙන දේ පමණක් බුදිත්
දකින හැම පිළිමෙටම වඳිනා
මහා හඬ දී සාධු කියනා
උපාසක බළලුන් උනත් උන්
හොර හොරෙන් අල්ලනවා මීයන්
අතෝරක් නැති නැටුම් මැද්දේ
නිවන් යන්නට පාර සොයනා
සැදැහැවත් පෙම්වත් සිතක් ළඟ
පුන්සඳත් නවතිනවා ඩිංගක්
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
කවිය බලන්න
සදැල්ලේ තනි වූ මිරිවැඩිය
ලන්ඩන් පුරවරේ මා සිටිනා අතර
සන්සුන් සැදැල්ලකි ඇස ගැටෙනා නිතර
වන්හුන් නොදන්නෙමි උන් කාගේ කවර
තනියෙන් සිඟිති මිරිවැඩියකි වැට අතර
ඇසෙයි බොලද බස් මා සවනේ නිතර
දිසෙයි පැටික්කිය කවුලුව නෑ විවර
හඬයි මහ රැයේ වෙනසක් නෑ කවර
රිදෙයි ලය මඩල ඇවිලෙයි හිරි නහර
අවකන් දේශයෙන් මෙහි පැන ආවාද
දුකකින් වැලපෙනා පවුරින් පිටවීද
දහමින් පිරි රටට බර, පැටියෙක් විනිද
නිදුකින් පැන්චියේ රෑ ඇස පියවේද
මකරුන්ගේ රටට හොද වැඩි විද මන්දා
හනුමන් රටෙන් ආවද මසුරන් හන්දා
සිහිනෙන් කෑ ගසා නිසසල රෑ බින්දා
යහනින් බිමට නොවැටෙයි පුටු වට හන්දා
පත් දළු එකින් එක පඩු පෑයට හැරුන
අත් ඔසවා තුරු මඩුලු උනුසුම සොයන
කිත් පැසසුම් නොවේ මිනිසත් බව රකින
සත් කුළු පවුරක් ය, මේ බිම නුඹ රැදුන
ගිම්හානය නිමයි සිසිරය අත ලගය
සන්තාපය පොදි බැදන් ගමරට යා යුතුය
නෙත් මායමේ සරදම් නොවෙනස් හැඩය
සත් මාලයේ මිරිවැඩි මා නෙත් තෙමිය
කවිය බලන්න
මෙහෙමයි
රට දැය සමය වෙත ඇති ආදරය මත
කටයුතු කරමු බැඳි හදකින් අපරිමිත
හෙට වැනි දිනක ආලෝකය දකින නෙත
යට නොකරමින් යමු පාමින් කුළුණු මෙත
වන පෙත තුරු වදුළු රැකදෙන පරිසරය
ගෙන දෙන සතුටහැමවිට කර විවසරය
දනමන පුබුදු කරවන කඳු මනහරය
වෙන සක දැකුම අද හරියට අවහිරය
මදනළ පහස ලැබුනත් සිව් දෙසින් පෙරි
ලද කිසි දෙයක් නැත ඇත වෙන අතක හැරි
විඳ වන කටුක දුක නොපෙනෙන විලස පිරි
අද පසුවන්නේ පොඩි මිනිසුන් නොමැරි මැරි
ගෙවමින් ඉදිරියට යන කල් පරාසය
අවසානයක් නොදකින එක් විසේසය
දවසින් දවස වූවත් එහි පවේසය
කව දාවත්ම නැති නොකරයි විනාසය
Photo credit:Joshua Newton
කවිය බලන්න
දැක්ම හා අවබෝධය
දුබල වී වියපත් ව
රැළි වැටුණු ඇස්
සැරිසරන විට හෙමින්
අවට නැත හිස්
හොර හොරෙන් ඉඟිමරා
සිනාසෙන ඇස්
තුළ රැඳුණු නෙක
රහස් වගෙයි සඳරැස්
සගවගෙන නෙක
රහස් පිරි ඇති ඇස්
ලෝකයට සඟවන්න
කරන නෙක වෙස්
දකිමි වියපත් වුවත්
දුබල මගෙ ඇස්
දැකීමක් නොමැති
කල කුමකටද ඇස්....
Photo credit; Danie Franco
කවිය බලන්න
සිතනු මැනවි
අසම්මත ප්‍රේමයෙන් බැහැ ලොවේ
වැජබෙන්න
සබඳ අනියම් වෙතොත්
නොහැක ලොව ජයගන්න
කිසිවෙකුට බැහැ ලොවේ වැරැද්දෙන්
රජවෙන්න
මල් වගේ සුවඳ හැර බැරි වගේ
පිබිදෙන්න
---
හිරු මඩළේ හිරු නැතොත්
ලොවම ගනඳුරු වේව්
සඳ මඩළෙ සඳු නැතොත් තරු කැකුළු
නොදිලේව්
සිඳු පියසෙ මත්ස්‍යයන් නැතොත්
දිය තනිවේවි
ඔබ ඔබට ළං වුණොත් බැදෙන්නෝ
හැරයාවි
----
කල්ප රුක්ෂය වුණත් ඵල නැතොත්
මියයාවි
මිනිස් පුලුටක් නැතිව ඇති මැදුරු
තනිවේවි
මල් පිපෙන්නේ නැතොත් විල් පවා
මඩවේවි
මවු පියෝ හැර ගියොත් දූ දරුවෝ
වැනසේවි
----
චන්න කිදුරියට හෝ කිදුරගට
පණදෙන්න
හැකිවුණේ සසර ඈ පතිනියක
සේ වුන්න
දෙපසකට වැටි ගිරව් දෙවිදියක
රජවෙන්න
පෙළඹුණේ බැරිවුනින් හොඳ නරක
දැනගන්න
----
ටිකෙන් ටික හෝ වුණත් කඳු පවා
දළුලන්නෙ
පරිසරය අත දුන්න නිසා වෙනි
දැනගන්නෙ
බිජුවකින් පවා නොවැ, මහා ගස්
උපදින්නෙ
මේ දහම නොදත්තෝ අගතියට
මය යන්නෙ
27/9/2024
0711481624
Photo credit; Frank Thiemonge
කවිය බලන්න
කාලගුණය යට
Under the weather
හිතක් නතර වූ දවසට අතරමග
කවක් පවා නෑලෙයි ඇති නිමිති ළඟ
තුඩක් පපුව හරහා යන ලෙසකි දිග
අතක් පයක් කැඩුණා සේ දැනෙයි මග
කෑව දෙයක් කනවා වෙනුවට පමණී
නෑව එකත් නොකරම බැරි කම ලෙසිනී
මාව මටම අල්ලන්නේ නැති බැවිනී
කාව උනත් රුස්සන්නේ නැත දැනුණී
කළුම කළු වලාකුළු විසිරී අවට
ලොවම ගිලී ඇත ළා අඳුරක දැවට
එකම තැනක නැවතුණු බරවුණු හිතට
කිසිම ලෙසක සැනසීමක් නෑ දැනට
Photo credit : Guillaume de Germain
කවිය බලන්න
සිතිවිලි
පෙනේ මට ,
දිගන්තය දෙසින්
නැවතී සිටින
රිදී, අඳුරු
වලා පොකුරක්,
එක ගොඩේ පිපුණු
යෝධ හතු සේ,
ඔසවා හිඳියි හිස්,
හේමන්ත සීතට
පාෂාණිභූතව ගිය ලෙස.
බලා සිටින විට ඒ දෙස,
හැඟෙයි මට කුමක් දෝ වෙනසක්,
සොම්නසක් සහ
සංතාපයක් අතර දෝලනය වීමක් ,
අතීතයත් වර්තමානයත් අතර
අතරමං වීමක්.
රැහැන් ඇද මා මනසේ
සන් කළෙමි ඉගිලෙන්නට
ඉගිලී දියවන්නට,
දියවී සැඟවගන්නට
දිගන්තයේ නැවතී ඇති ,
ඒ වලා පොකුර යට
එහෙත් අකර්මණ්‍ය ව ඇත
මා සිතිවිලි සැරුම් පත්.
Photo Credit; Robert Murray
කවිය බලන්න
ඉඩදෙන්න
හිනැහෙනා මල් පොකුරු
සිඹ - සුවඳ විඳගන්න
පියඹනා සමනල්ලු
පසුපස්සෙ දුවගන්න
දියඇල්ලෙ සිරිය දැක
දිය සිසිලෙ කිමිදෙන්න
දරුවන්ට නිදහසේ
පිබිදෙන්න ඉඩදෙන්න
වහුපැටවු අත ගගා
මුවට තණ පත් දෙන්න
පොද වැස්සෙ තෙමි තෙමී
නට නටා හිනැහෙන්න
හඳ මාම අමතලා
කිරි පැණිත් ඉල්ලන්න
දරුවන්ට හැමදාම
සැනසෙන්න ඉඩදෙන්න
විහඟුන්ගෙ කිචිබිචියෙ
රස මියැසි අහගන්න
තුරුවැල්හි පහස ලැබ
ඵල මිහිර විඳගන්න
වෙල්දෙණියෙ කෙළිදෙලට
ඉබියතුරු නොදමන්න
උදුරගත් ලොව යළිත්
දරුවන්ට පවරන්න
( ලෝක ළමා දිනය වෙනුවෙනි )
පාඨශාලාචාරිණී ,
හෝමාගම ම.ම.වි,
හෝමාගම .
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
කවිය බලන්න
🗙































































