ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2022 ජුනි කලාපය

ලොවම හඳුනන 'රැජින' ඔබවේ රැඳුන නිරතුරු මල් සිනාවන් වසර සැත්තෑ හෙබවූ කිරුළින් දියත විසිරුණු කිත් මනාවන් ඔබව දකිනට දසත මහ සෙන් නුවර ලන්ඩන් වෙත ගෙනාවන් දෙවිඳු පිහිටයි! මහ රැජිනියනි වැජඹ සියවස් සිත් පිනාවන්
අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

පුරා වසර සත්තෑවක් මහා බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජින 2022 ජූනි මස තුන්වනදා ඇයගේ ප්ලැටිනම් ජුබිලිය සමරන්නිය. ඇයට අපගේ හද පිරි සුභ පැතුම්!



God save our gracious Queen
Long live our noble Queen
God save the Queen
Send her victorious
Happy and glorious
Long to reign over us
God save the Queen'
- verse from UK national anthem

මහනුවර යුගයේ ජන කවියා

2022 ජුනි කලාපය

යසෝදරාවතේ සිත්ගත් කවි

යසොදරාවතේ සිත්ගත් කවි

දිව යහනේ බෝසත් නැගිට විගසිනේ
පිම්ම පැන්න ලෙස යමි මහණට ඉතිනේ
ඔන්න කවුද? දොරටුව ළඟ සිටින්නේ
චන්න මමයි දොරටුව ළඟ සුවාමිනේ
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 ජුනි කලාපය

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්……….

මිහින්තලා කඳු සිප එන සාදු නදින්

මහ කනදරා වැව පිරි සුදු ඕලු මලින්

අනුබුදු මිහිදු සමිදුන් දෙසු දහම් වැලින්

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්

මිසදිටු දමින් පිරි සිරිලක ඉන් මුදවා

මනරම් කලාවන්ගෙන් පන්සල් පුරවා

අහස සිඹින සුවිසල් දාගැබ් කරවා

පොසොන් සදේ සිරි අසිරිය වැඩි කෙරුවා

සියවස් පුරා පැවතුණු ඒ ගති සිරිතින්

බොදු හදවත් පිරී ඉතිරිනි හද බැතියෙන්

අදටත් වෙනස් නැත සිරිලක පොසොන් සඳින්

පියමැන බලනු මැන රජරට සුවද මැදින්
View Poem

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

2022 ජුනි කලාපය

ගොවියාගේ ඉරණම

ගොවියාගේ ඉරණම

කෙසඟ සිරුර වාරු කරන්
කුඹුරට බැස උදේ රැයින්
කුඹුරු කොටන ගොවි රජවරු
අද මහ පාරේ

කණකර ටික උකස් තියලා
කුඹුරට වී පොහොර අරන්
කුඹුරු කෙටුව මෝඩ කමට
නෑ වාවන්නේ

දරුවන් කුස ගින්නෙ නිසයි
හාල් ටිකක් ණයට ගත්තෙ
රජකමටත් සුදුසු ගොවියා
සිඟමන් යදිතෙයි
View Poem

ආරියරත්න ජයසිංහ මහරගම

2022 ජුනි කලාපය

යළි බිහිවනු මැන

ජාති ආගම් පක්ෂ භේදයෙන් උමතු සත් වග වෙසෙන
බොරුවෙන් හොරකමෙන් මුලාවෙන් නිරන්තරයෙන් පිරුන
සුවහසක් අසරණ දනන්ගේ දුක් සුසුම් මහ වැසි වසින
ගිනි ගත් දිවයිනකි බෙංගාල බොක්කේ අවපාත සුළි නැගෙන

කුසට අහරක් නැතුව කිළුටු ඇඳ අඳුරු අගුපිල ලගින
කඳුළු ඩාදිය හලන දෙවියන් වඩමවා යළි දෙවොල වෙත
හිඳුවා පූජාසනේ පළඳවා දිවසළු දෙව්බරණ හැම
ඉන්දීය සාගරේ මුතුඇටය කරන්නේ කවදාද මේ රට

බව සසර පුරා අප විඳින ඒ සොඳුරුතම වදන් පෙළ
ආදරය ප්‍රේමය මිනිස්බව වැළලී යන්ට පෙරාතුව
උත්තරීතර මිනිස් ගුණ වගාකොට මනුසතුන් සිත් තුල
ඉන්දීය සාගරයෙ මුතුඇටය කරන්නේ කවදාද මේ රට

මෛත්‍රී බෝසතුනි කඩිනමින් පහළවී සත් පියුම් පිට
ජේසුස් ක්‍රිස්තූනි දිවි පුදා හෝ යළි රළු කුරුස මත
නබී මොහමත්තුමනි යළි ඇවිත් බලා මේ දුක් හැම
ඉන්දීය සාගරේ දෙව්ලොවක් කළ මැනැවි මේ පුංචි දිවයින
View Poem

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2022 ජුනි කලාපය

රාගය යට .. ප්‍රේමය උඩ.....

අමුතුම රැයක නොසිතූවම වෙිලාවක
සෙනෙහසෙ නාමයෙන් නොවැටුණි මුලාවක
රාගය ප්‍රේමයෙන් යටවුණු කලාවක
අසිරිය විදිමි අදටත් හුදකලාවක
View Poem

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2022 ජුනි කලාපය

හෙද දින උපහාර,

කඳුළක දුක දරා මුවගට සිනහ ගෙන

අවපස සඳට පිටුපා හිඳ එළිය මෙන

කවරෙකු ඇතිද රිදුමක් ළඟ සිතට වෙන

හෙදියක මිසක පවසට දිය දෝත දෙන

පරම ලාබ මදි විය ලෙඩ ඇඳට වැටී

අරුම පුදුම ලෙස හෙද සුව බෙදුව හැටී

වරුණ කියා ගන්නට බැරි තරම් වටී

කියන ලෙඩුන් අපමණ රෝහලක සිටී

බෙදාගන්න හැකිනම් තම කරුණාව

හිනාවෙන්න හැකිනම් බිඳ කම්පාව

නෙලාගන්න මෝරනු පෙර සංකාව

වෙලාගන්න හෙදියක වී නොපමාව

අවසානයක් නොපෙනෙන ආදරේ ඉම

උපකාරයක් අවැසිම තැන රැගෙන පෙම

වෙන කාරියක් නෑ හෙදකම සමඟ සම

උපහාරයක් වෙයි නයිටිංගේල් නම
View Poem

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2022 ජුනි කලාපය

ප්‍රේමයේ සිහිනයක්

සැඳෑ සමය ලඟා වෙනව හිරු කිරණද සිසිල් වෙමින්
එසැන නැගෙන අඳුර සමග සිත කිතිලයි සිනාසෙමින්
පසුකල දින කිහිපයේම සැඳෑව දෙන මේ සතුටින්
නිදි දෙව් දුව ළඟා වෙලා සයනෙට යමි කාන්දමෙන්

හෝරා දින වසර වෙලා ගෙවී ගියත් මහට හොරෙන්
ඇය මල් දම් රැගෙන එනව මසිත අවුළුවා දමමින්
පෙම් ගිණි මැද වස බඳුනත් එකල ගියත් ඉහට උඩින්
මේ මල්දම් නුඹේ සිනා මා විකසිත කරයි කැළුම්

නුඹෙ කෙහෙ රැලි සුළඟේ යන විලාසිතා දුටු එසැනින්
මා ඉගිලී ඉගිලී යයි වලා රොදක ගෙල සිඹිමින්
කිසිදා තී වත නැවතත් සිඹින සිහින නොම දුටුයෙන්
කෙළෙස නුඹේ රුව මසිතේ ඇඳී මහද සසලවමින්

තාරකාව ඈත දිළුන මසිත සැඳැවක ඇමිණී
පාව ගියා කිසිම දිනෙක නැවත මා සිතින් නොපැතී
කිම දෙනුවණ හැර මා ලය පාරවලා ගියෙ නොපෙනී
මා සයනේ තනිව වැතිර අඳුරේ නුඹ වැළඳ ගනී
View Poem

අලගියවන්න මුකවෙටි තුමා

2022 ජුනි කලාපය

සුභාෂිතයේ සිත්ගත් කවි

පබද පසිඳු කිවිඳුද යුදෙහි සෙබළු ද
පැහැද සුරති කෙළිනා වර වරඟන ද
කිවද තො තා යන බස් පෙරදැරි සුහද
වරද නොව අසත් නිරිදෝ වැඩම් නොඳ

කාව්‍ය කරණයෙහි ප්‍රසිද්ධ කවීන් ද, සටනෙහි දී
යුධ භටයන් ද, සතුටට පත් ව රති ක්‍රීඩාවෙහි යෙදෙන
විනෝදකාමී ස්ත්‍රීන් ද ආදරය මුල් කරගෙන තෝ , තා
යන බස් කීවත් රජවරු විරුද්ධ නොවී සතුටින් අසති.
View Poem

කෝ ආනන්ද පැරීසිය

2022 ජුනි කලාපය

වැදූ මවයි, දිනූ බිමයි, ස්වර්ගයට වඩා වටියි

<img class="alignnone size-full wp-image-8600" src="https://londonkavi.com/wp-content/uploads/2022/05/IMG-20220523-WA0075-e1654001475231.jpg" alt="" width="100%" />
View Poem

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

2022 ජුනි කලාපය

ගියෙමු අපිත් වදිනට දෙව්මව්තුමී ලුර්දාවේ

<img class="alignnone size-full wp-image-8622" src="https://londonkavi.com/wp-content/uploads/2022/05/Pasted-30.jpg" alt="" width="100%" />
View Poem

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)

2022 ජුනි කලාපය

නෙතු හෙලනු මැන හිමියනේ...

සත්ත්ව හිංසා විනෝදෙට කළ තිස්ස නිරිඳුන් නවතලා
සියළු සතහට මෙත් සිසිල දෙන අනගි දහමක් පතුරලා
මිහිඳු හිමියන් එදා පැමිණිය ලක්දෙරණ අද වනසලා
රජුන් සහ ඇමතියො හඹා යයි මුවන් පසුපස එලවලා

දිවිය රැක ගත් මුවන් පරපුර අදත්‍ නොමැරී මැරෙන්නේ
දහම තම වාසියට හැරවූ රජුන් තවමත් රඟන්නේ
උන්ගෙ පසුපස ලොවින සිවලුන් දැයම වනසා දමන්නේ
වැදි බණම දෙසනා සඟුන් හැම රජුගෙ පදයට නටන්නේ

හිමියනේ සාවුන් මුවන් අද මහ මඟට බැස සිටින්නේ
වෘක සම පෙරවූ බැටළු හොරු තවම සිහසුණ හිඳින්නේ
දහම රකිනා අහිංසකයින් දඟ ගෙයටමය යවන්නේ
එදා ඔබ තැනු ධර්ම ද්වීපයෙ නීතියක් නැත රැකෙන්නේ

මිහින්තලයේ ගල් කුළත් අද ශෝක ගින්නෙන් දැවි දැවී
බලාගත් අත බලාගෙනමය තිබුණු දිස්නය ඇත නිවී
දෙපස ඇති අරලිය මලුත් ඔහෙ බිම වැටී ගොස් මැලවෙවී
පොසොන් සඳටය ගතු කියන්නෙ සුළං සමඟින් තැවි තැවී
View Poem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2022 ජුනි කලාපය

නීතිය කුමට ද

නීතිය කුමට ද කාට ද කාගේ ද
එය හිමි රජුන්ටයි
යහතින් රජ කරන්ට යි
ඉතිහාසෙ ම සාක්ෂි

පාරේ යන නිකමුන්ගෙ
ආඩපාලි අඬහැර වලින්
බේරෙන්න යි
දමනය කරන්න යි
පර වැඩ ගන්න යි
දඟ ගේ ලන්න යි
දඟ දානකොට
ඕන නැති දේ ඉල්ලන කොට
සර්ව සාධාරණ යුක්තිය
මානව හිමිකම් වගේ
මනෝ විකාර
නිසරු දේ වල්

දෙන දෙයක් කා
ප්‍රජා අයිතිය නිදහස
ඉන්ට හැර පොත් පිටු අතර
රජුට රජ පැටියන්ට
නොකර කරදර
ඇයි බැරි උන්ට ඉන්න ට

නීතියක් දන්නවා
නිලමක්කරුවනුත් දන්නවා
බැසිය යුතු තැන අගල ට
නැමි නැමි යන්න ට
රාජ තේජස ඉදිරි පිට

නීතිය රජාගෙයි
තීන්දුත් එයාගෙයි
හිතුනොත් යවනවා
වැරදි කළ උන් ගෙදර
දමා දඟ ගෙයි
වැරදි පෙන්වන පරයින්
වැඩි ය දඟ නම්
යවනවා නොඑන තැනක ට

දමනවා කූඩු වල
සත්‍යය, සත්‍යය ඉල්ලන උන්
අසුරු සැනයට

හිටපන් සත්‍ය ඔහොම
නොකර දඟ මුහුණ පෙන්වන්න ට
මුහුණු ඕනෑ නෑ රටට
යමක් ලැබෙතොත් බඩ කටට

24-09-2021

නීති පොත් වල කුමක් තිබුනත් සර්ව සාධාරණ නීතියක් තිබිය හැකි ද ?
View Poem

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 ජුනි කලාපය

මුණුපුරා සමගින්

දෙවසරකට වැඩි කාලයක්
ගෙවී ගියා කෝවිඩි සමඟින්
නොදැක මුණුබුරා
ජිවත් වුයෙන් වෙන රටක
ඉඩ ලද හැම විටකදී
තාක්ෂණය හමුවේ
පාසැලේ තොරතුරු ක්‍රිඩාගැන
කතා කලා සිනාසුණා
සෑදු කෑමක් නැරඹූවා
සිතින් රස විඳිමින්
මෙ හැම දෙයක් මැදින්
සැබෑ කරමින් අපෙ පැතුම්
දෑසට තුටු කඳුළු ....ඉනුවා
ඔබ සැම අප දකින්න එන පුවත
ගුවන් තොටුපලේදි අපි එකිනෙකා
බදා වැලඳ ගත්තේ
අපරමිත ආදරයෙන් සෙනෙහසින්
නිවසට ගොඩ වු සැනින්
පුංචි පුතුනි ඔබ දිව යන්නෙ
සොයාගෙන ඔබෙම කාමරය
Thomas ඡනෙල් රෙද්ද දැමූ .. ...
අත ගා බලා මදහසින්
සිහින ලොවෙ නිරතවනු දුටිමි
උදැසන අවදිව අපෙ නිදි යහනට පැන
මගෙ සීයා කියමින් තුරුළු වෙද්දි
අපෙ මතකයෙහි නැත කිසිවක්
නැගෙන්නට සිහියට අප පුතුගේ

එකම දෙයක් ඇත සිහි වන්නට
උදැසන පහේ කනිසමට
ටියුෂන් පන්ති ගිය හැටි
ශිෂ්‍යත්ව විභාගයට ලියන්න
තේරුණා රෝයල් කොළිජියට
හ්ම්,.....
සියාගේ එළවළු වගාවට පැන
මැල්ලුම් පලා නෙලා තාත්තා සමඟින්
කෑම මෙසයේ රස වින්දෙ අපුරුවට

විවෙකය ගතකරන්න
බෝඩ් ගේමක් ගහන්න
Rummy Kub
වාඩිවූනා සිහිපත් කරමින් අතීතයෙ
කැරම් ගැසූ හැටි අප පුත් සමඟින්
චුටි පුතේ .....
හරිම සතුටින්
සතුටු සයුරේ ඔබ අප ගිල්වුවා
තාත්ති වගෙ,.....

මුහුදු වෙරළට යන්න හරි ආසයි
දුව පැන ඇවිදලා,......
විනොදයෙන්
සවස් කාලය විවෙකයෙන් ගෙවන්න
තාත්තයි පුතයි එකවගෙම
වැඩ ඇරි ගෙදර ඇවිත්
දුවත් පුතත් සමඟින්
Gall Face පිටියට
ගියා මතක් වෙනව,...
චුටි පුතේ මහන්සියි
මා ගල් පරයක වාඩිවී
බලා සිටියා සයුර දෙස,.....
මා අසලින් වාඩිවෙලා
චුටි පුතත් නිහඬව,......
රළ කඳ නගන හඬ දැඩි වුනා
අඳුරත් හිමින් යා වුනා
නික්ම යා යුතුයි පුතේ,...
ගල් පරයෙන් නැඟිට එද්දී
මිමිනුවා චුටි පුතුනේ ඔබ
Nam Myoho Renge Kyo
මා හද බැඳි තුතිය
ඔබ මවටයි චුටි පුතුනේ


11/5/2022
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2022 ජුනි කලාපය

පරිස්සමින් යාලූ...!

*******************
පමණට වඩා විශ්වාසය
ඇති කලදී...
අනුනට පිහිට වන හින්දා
අප මුලදී...
ගණනට ⁣දුරින් නොතබා ගත්
පව පලදී...
විඳිනට වෙනව දුක් අවසන
හිතද රිදී...

අසහනයෙන් පෙලෙන දන අද වැඩිම නිසා...
ඉවසන අයට වෙන්නේ නම්
හරිම දොසා...
පවසන අයත් ඇත යම් දේ
හදම නසා...
අවසන වැරදි කරු කරනව
අයුතු ලෙසා...

නන්නාඳුනන අය මිතුදම්
පතා එන...
අන්කාලයට වැඩියෙන් ඇත
සිතා ගෙන...
දන්නාවුන් ලවා සොයලා
සතා දැන...
ඉන්නා එක ඇඟට වෙනවා
ඉතා ගුණ...
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2022 ජුනි කලාපය

මල්ලිලාට කඳුළු ගෑස් ගහන්න එපා පුතේ

පසුගිය මැයි 7 වනදා පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝදතාවෙහි නිරත වුණ අන්තර් විශ්ව බලමණ්ඩලයේ සිසුන්ට කඳුළු ගෑස්ප්‍රහාර එල්ල නොකරන ලෙස ඉල්ලමින් මවක් හද සසළකරවන ආකාරයෙන් හඬා වැටුනාය.

නරුම නරපති සමග පිරිවර දැමූ දේශය මුලාවේ

අරුම හස්තය යොදා බින්දා තිබූ සම්බර තුළාවේ

කෙරුම ගැන දැන දනා උරණව විරෝධය පෑ වෙලාවේ

උරුම රකිනට නියුතු උන් හැඩ පෙන්නුවා ගැති කලාවේ

මුදාලනු ලෙස අපේ මව්බිම ඇදී නොවැටී ගින්දරේ

නගාලනු ගොස පිනිස ආවේ වීර සිසුකැළ අන්තරේ

නිවාලනු වෙනුවට එතැනදී තවත් කඳුළුයි එක්කරේ

දවාලනු තව එපා කියමින් හඬා ඇය හද තෙත්කරේ

මවකවී සිටි සියළු දූ පුතු වෙතට ප්‍රේමෙන් හදවතේ

නොහැකිවී තව බලා හිඳිනට දුක විඳින හැටි දසඅතේ

උරණවී නොව වේදනාවෙන් යැදිය කරුණා මුදුසිතේ

දෙපිලවී ඇති දූපුතුන් දැක කඳුළු පිරුණා යුගනෙතේ

සොහොයුරන් සටනක යෙදෙද්දී මවට සහනය දෙන ලෙසේ

අවිදරන් අත පහර දුන්නේ වායුවෙන් ගිනි ලන ඇසේ

ශෝකයෙන් ඇය නැගු විලාපෙට සවන් නොම දුන්නේ කෙසේ

ඉදිරියෙන් සිට බලා සිටි පුත හඬා වැටි ලක්මව දෙසේ
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2022 ජුනි කලාපය

අසිරි පිනි දිය ....

නුඹේ කම්මුල් පාසා කරවිත් කදුළු එක දෙක වැටෙන්නයි
වියලි ගම් බිම් අලුත් හැඟුමින් පියුම් පෙති මෙන් පිපෙන්නයි
බතේ හිඩැසයි හිතේ තනියයි දෙකම එක වර පිරෙන්නයි
කදුළු සිරි පොද අසිරි මල් වී හිසට ඉහලින් ඉසින්නයි

සුරත පා නෑකම් කියන්නට මග බලන තුරු නංගියේ
පා දොවන්නට දිය කඩිති ලග මාන අල්ලන කෙකටියේ
කලල මත සෝ සුසුම් හෙලමින් තනිව වැළපුණු නෙලුමියේ
සෝක සංකා අතැර රඟ දෙනු වසන්තය පැමිණී තියේ

දිය කඳ සරැලි නංවා ගැයු ගී රාවේ
පෙම්වත් බවට මද නල හෙමිහිට යාවේ
ඉහිනට සිරස් මුදුනට මල් වරුසාවේ
තවමත් දිය බින්දු එක දෙක විත් නෑවේ

අලුත් මනාලිගෙ මුහුණේ ඇති විළිය
පෙන්වයි නුඹේ අඳුරෙන් තොර කල එළිය
තැන තැන රඟන මිහි තලයේ සැනකෙළිය
මිහිබට සුර පුරක අසිරිය ඉසිලීය
View Poem

ගාමිණී සුමනසේකර

2022 ජුනි කලාපය

මේ වන් පින් බිමක් හැර යනු පුළු වන් ද

නීතියෙ සිදුරු අතරින් රිංගා යන්ට
ජාතියෙ නමින් නො‌ම දෙව් රට කෑ උන්ට
මේ ජන බලය බැහැ තව නො‌තකා ඉන්ට
පීඩිතයිනි වරෙව් මව් බිම රැක ගන්ට

කළපලපුරුදු ඇ‌ති මෙ රටේ උගත්තු
පලයව් නො‌ම කියා කළහැටි සවුත්තු
නිල බල වලට නිවටුන් ලෙස විරිත්තු
බල තව අදත්නැත උන් සරි උගත්තු

ගුණනැණ නො‌දත් මානෙන් ඉදිමුනු හිසට
බුදු බණ උනත් නො‌තකයි තඹ සතයක ට
අසරණ වෙලා රට වැටනේ හිගමන ට
යට උන නිසයි මීහරකුන්ගේ බස ට

සිරි පා සුවඳ රො‌න් සුනු සමනල කන්ද
ජයසිරි බෝ‌ සමිඳු ගුණ සිහි කර වැන්ද

අව්කන පිලිම පා මුල මෝ‌හය බින්ද
මේ වන් පින් බිමක් හැර යනු පුළුවන් ද
View Poem

ගර්ලි චන්ද්‍රිකා මාළබේ

2022 ජුනි කලාපය

සුදු නෙළුම් !

නීතියේ දෙවඟන,
ඇයි ? තාමත්
නිහඩ,
යන යකා ගියාලු,
කොරහත් බිඳගෙන
අහිංසක ජීවිත
බිළිගෙන,
රටට අවැඩ
රජු සමඟ, පුරෝහිත
කැලත් තියාගෙන
ඉවසුවා ඇති
කාලය එළඹ ඇත.
නිදි ගැට හැර නැඟිටින්න,
වරෙව් සිහලුනේ
රොඳ බැදන්,
අපි ශක්තිමත්මැයි
උන්ට වැඩියෙන්
අව් වැසි නොබලා
ඔබ ගතින් වැටෙන දා බිදු,
මුතු කැටමය අපිට,
ඔබ මුවින් පිටවන වඳන් සිහ නඳමයි අපට
ඇස වැටෙන කඳුලු
දියමන්තියක් මැයි,
අයුක්තියට, අසාධාරණයට,
පීඩිතකමට,
එරෙහිව නැඟී සිටින
ආදරබර සොහොයුරනේ, සොයුරියේ
මුතු පොටක් මෙන් එකට ඇමුණුනු,
පෙළගැසෙමු,
බඳිමු අත්වැල්,
ශක්තිමත් අපි උන‍්ගේ
යදම් පවුරුවලට
වැඩියෙන්,
මා දිනු මේ දේශය
ගොඩනඟන්නට,
ලක් දරුවනේ
ආඩම්බරයි.
නුඹලා ගැන,
නු‍ඹේ සුවදින් ඔකඳවෙමින්
පිපේ ඔය වැලි බිම තුල,
පතොක් මල් වෙනුවට,
සුවඳ සුදු නෙළුම් මල් !!
View Poem

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා විශාකා විද්‍යාලය

2022 ජුනි කලාපය

අහසට ඇදගත් පිනි කෙල්ලක්

වලාකුළු වීදුරුව මුදු හඬින් බිදුනා
පිනි වුවද වීදුරුය හෙමින් බිම වැටුණා
ඔබේ කවුළුවෙ පඩිය උඩත් පිනි තිබුණා
මමත් ඒ තියුණු පිනි බිදු අතර උන්නා

මීදුමේ ලෝගුවෙන් වසාගෙන කලු රහස්
ඔබේ මහ මන්දිරේ නිදාගෙන ගොලු වෙසින්
කවුළුවේ දොර හරිනු පිණිස ඔබ එන තුරුම
මග බැලුවා හීතලේ ගැහි ගැහී මම අදත්

වැළඳගෙන කටු ඇනී කුමට දුක් වේදනා
ඒක වෙන්නැති නාවෙ කවුලු දොර වෙත එදා
කටු ඇතත් සුකෝමල පිනි සලුව බිම හෙළා
නුඹේ වැහි ඇස් වසා හිරු මාව ගෙන ගියා
View Poem

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

2022 ජුනි කලාපය

මිහින්තලේ අබිමන

සහන් එළිය ගෙන දේවා
කළා මිහිර දඹුලුගලේ
නිවන් පුරය ළං වේවා
ගල් පඩි නැග මිහින්තලේ...
අරුමැසි පෙම් රස හමුවේ
ඉසුරුමුණියෙ පැතැලි ගලේ
පැරකුම් පිළිරුව අබියස
දෑ හැගුමන් පියුම් පිපේ...
සදකඩ ලියවැල් ලියැලේ
ලී කැටයම් ඇම්බැක්කේ
මීමුත්තන් තම පණ මෙන්
රජ දවසේ රැක ගත්තේ...
එවන් රුවන් රැක ගතහොත්
මතු අපගේ නමත් දිනේ
පොසොන් සද කැලුම් සේ
සිරිලක් මව දිලේ නැඹේ!
View Poem

මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර - කොළඹ

2022 ජුනි කලාපය

කවි බණක්

කවි බණක්
පොත: අත් වැලක අස්වැසුම - ජගත් ප්‍රේමචන්ද්‍ර

වස්සාන කාලයේ බෝ මළුවෙ තැන්පත්ව
පින් කරන හැන්දෑව අද හරිම පාළුවෙන්

පොඩි නමගෙ මුදු හඬින් කවි බණක් අහගන්න
උපාසක අම්මලා පිරූ පින් අහවරද?

දරු සෙනෙහෙ එකතුකර දොහොත් මුදුනේ තබා
පිදූ රස කැවිලි කිරි-දත් පෙළට මදි වීද?

බෝධියේ අතු තුඩින් ඇදී එල්ලී දිගට
පිරිත් නූලක් හඬයි සරුංගලයක් සිහිව

ලොකු හාමුදුරුවන් බෝ මළුවෙ අසුන් ගෙන
රහල් හිමි ගුණ වනා බුදු බණක් කියයි අද

ආවාස ගේ ඇතුළෙ සාමණේරයන්ගේ
පාන්දර නිදි කිරන බණ දහම් පොත නිදයි

ඒ මතින් අසුන් ගත් පොඩි නමගෙ වටාපත
කවි කොළය අත දරා කවි බණක් කියනවා

"බුදු වෙන්නට සිහිල් හෙවනක් පිදු හින්දා
බුදු නෙත් සිහිල සතියක් බෝ රුක වින්දා
පෙව් කිරි තිසා වැව් දියටත් වැඩි හින්දා”
අම්මේ මම කොහොම ණය ගෙවමිද මන්දා"
View Poem

කපිල කුමාර කාලිංග

2022 ජුනි කලාපය

වෙනස් දවසක්

සයුර ද උස් රළ
නොනගයි
නිහඬව අසා සිටී
තුරුණු පෙළ නගන
මහ ගොස

කවුඩන් ද නිහඬය
පහන් කණු මත
හඬ නගන තුරුණන් දෙස
බලා සිටී නිහඬව

තුඟු පිළිම අවටැති
ඉවත බලා කිම?
කළ වැරදි සිහිවදෝ
පසුතැවිලි හැඟීමෙන්

ශෝකී අඳුරු අහස් කුස
දිව යයි විදුලි එළියක්
නැගෙයි අකුණක හඬක්
දොරගුළු වැසී ගිය මැදුරක
කවුළු තිරයක් අස
බියෙන් සළිත මුහුණක් .

22/05/01
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2022 ජුනි කලාපය

කොපමණ හැඬුවත් කෝ මළණුවන් මගේ !

මතකය අවදියෙන්...
රැහැයි නද පරාදයි නුඹ හැඬු හැටී
ඇසෙයි-ඇසෙයි නින්නාදය සවන් ගැටී
ගැහෙයි තව ම හදවත් ඒ හ`ඩින් කැටී
දැනෙයි අපට නැති සොව පාලුවක වැටී...

මතකයි සාරි පොටෙ එල්ලී අම්මාගේ
දම්පල් විදු පියසෙ මල්ලී සංවේගේ
පෙන්නුවෙ ඉගෙන ගන්නට මැල්ලී - වාගේ
දුන්නේ තාත්තා ඇද සල්ලී - බාගේ...

දඟ දන අයුරු ගෙදර ද පාසල ද කියා
මඟ වෙනසක් වුණේ නැහැ අඬ දඹර නයා
රඟ දක්වමින් කකියන හිත දවන නියා
කඟ වෙස ගති ය පෑවයි හදවතට තියා...

ගෙය පිටුපසින් තිබු කුඹුරේ ඉපනැල්ලේ
දිව්වෙමු තරගයට අපි හැම එක එල්ලේ
යහළුවො-යෙහෙළියන් සේ අපෙ සෙවනැල්ලේ
සිටියේ නුඹයි මල්ලියෙ අද නැහැ රැල්ලේ...

මා දැන නොසිටි රහසකි නුඹ රැගෙන බවේ
ආ බව එතෙක් සඟවා අපෙ මව්ගෙ මුවේ
දා ගිය ගමන් අවසනැ අප රුදුරු ලොවේ
ආ-යුෂ අඩු ව නිම කළ වෙ ද නොසිට පවේ...

හැම විට ජේත්තුවට ම නුඹ ඇඳුම් ඇඳ
සැමගේ ආදරය දිනමින් සතුට විඳ
කැමැති ව හැඟුම් “දැය සුරකිනකමට” සොඳ
රැකුමට ගියේ උතුරට අපෙ සිහින බිඳ

වනසන විට දි රුපුණන් රට සරා ගෙන
වැනසෙන විට දි දෙපසින් අවි අරා ගෙන
සැනසෙන විට දි පිරිසක් ඒ දරා ගෙන
නැති වුණෙ එහි දි දූ - පුතු ම ය මරා ගෙන...

දැඩි හිත ඇති ව පුහුණුව ලැබ හමුදා වේ
වැඩි පිරිසකට නුඹෙ සිත නැත හමු වූ වේ
හැඩි-දැඩි සුළං හමුවේ නැත පසු බෑ වේ
සැඩි-යෙකු නොවන් නුඹ පර රුපු සි| දෑ වේ...

ඇසුවේ මා පැනය මගෙ හිත කිති කැවු ණූ
නැසුවේ කොපමණ ද ගණනින් මට කිය නූ
දුන්නොත් මෙමට කොසු මිට ඔහු අත තිබු ණූ
අවියෙන් මැරෙන්නේ කවුදැයි දැන් කිය නූ...

ඇසුවේ පැනය හරි පිළිතුර දැන ගන්ට
ඇසුවේ මගෙන් ඒ පැනය ම සිත් දෙන්ට
වැසුවේ ඔහුගෙ අයිතිය මට නොකියන්ට
පැතුවේ එක දෙයයි දැය එක්සත් වෙන්ට

කිව්වත් දහස් වර අපෙ මව් කකුල් බදා
ගත්තේ නොම ඇයි ද වෙනතක් සිතත් හදා
අදිටන සිතේ පොර කෑ හැටි වචන යොදා
කිව්වේ එයයි නෑ වෙනසක් වුණේ එදා...

ස- වියත් එඩිය පෙන්වන්නට මීට වඩා
තිබුණත් මඟක් ගත්තේ නුඹ ඇයි ද කුඩා
කි-ව්වත් සිය-දහස් වර නෙතු කඳුළු කඩා
බ-ලවත් ඉල්ලීම ඉවතට දුණි ද විඩා...

හදවත පතුළෙ ඇති දුක ගනු බැරි ව දරා
උණුකර රුහිරු බිඳුමත පපු කැණැති ඉරා
ගත සර පණ ගතිය මොහොතින්-මොහොත මරා
පිට වී ගලයි බටහිර රත් අඹර පුරා...

රිදුමෙක සුසුම් හඬ මෙන් ගඟ දිය ඇද් දේ
තුරුලිය හඬ -හඬා උමතු ව මෙන් පැද් දේ
කේතකි ගුහාවල කළු උණ බට සද් දේ
සුළඟින් වැයේ ශෝකී මළ බෙර සද් දේ...

වියැළී මැරී තිබු ගස්වල ඉපල් දිගේ
අහසේ කඳුළු බී නව දළු රිකිලි නැඟේ
මව්-පියො-සියන්ගේ කඳුළින් පොළොව පෙඟේ
කොපමණ හැඩූවත් කෝ මළණුවන් මගේ!

2022.06.01
View Poem

කෞශල්‍යා ජයලත්

2022 ජුනි කලාපය

ගාලුමුවදොර නේරංජනා ගං තෙර දී ය.

පසුකර බොහෝ බැරියර කඳුළු පිරි අනෝමා ගං තෙර
කාකි කන්ථක ඡන්න ද නොදුන්න ද මිතුරු හද වර
කර ආදරේ අබිනික්මන මතුරමින කරුණා මන්තර
සරා සඳ සිදුහත් පරපුර බවුන් වඩනා ගාලුමුවදොර නේරංජනා ගං තෙර

පැස පුරා කිරි පිඬු ගෙන සුජාතාවෝ වඩිති මනහර
මාර දූවරු ද අතරින් පතර කරනා කරදර
අනේ පිඬු සිටු පරපුර නිතර සෝයුරු දෑත් දිගු කර
තනිව බුදු නොවනා ගමනට සෙත් පිරිත් ඉසිති පින්බර

තක්සලා නුවර පොත් ගුල මැවින ගෝඨාගෝපුර
රජගහ නුවර ජීවක බෙදනයුර ඔසු සමඟ හද ස්වර
නීතියේ දෙවඟන ද ඇස් ඇර වෙරළු මිණි පවුර නිම කර
ගමක් තුළ ලෝකයක් තුරුළුව නඟයි හද තත් දෙන්න උවමක් සුමිතුර

වෙසක් රමලාන් යනුවෙන් එකම සඳවත නම් කර
පෙමින් හිනැහෙන සුතුර ද යතුර ද සොයා ගත් සොහොයුර
හිනැහී හිජාබය අතරින් මරතොණ්ඩි රටාවැති දෑත් දිගු කර
දන් දෙන කොකිස් වටලප්පම් සත්තයි පරදවයි අමයුර

අන්තෝනි සෙබස් මුනිවර ජේසුගේ කුඩා කුසුමන් පෙරහැර
අසුන්ගෙන අසල බැරියර සුරකිනා අරගල ලෙන් දොර
මුසු වී කන්ද උඩ දෙසුමට දම් සක් සුතුර පින් ස්වර
මක්කම ද මල් උයන ද ගයාව ද ඉදි වී මුවදොර

නන්දිකඩාල් රුහිරු සයුරේ පීනනා තනි වරල් මින්හර
චෙම්මිණියෙ හා සියක් ගම්වල වෙඩි වැදුණු හස ය මිහිදන් කර
බදා ගෙන උර උර පපුතුර බෙදා ගමු අපේ කඳුලැලි බර
නැඟිටිමු විලස පවුරක් දල්වා පහන් මුවදොර

තවරා අරලියා පෙතිතර රත් ලේ සයුරු ගොරතර
ගුරු පඬුරු සොයමින ගිනි ලෑ දොර දොර දරා කඩු තෝමර
අංගුලිමාල පරපුර සෙලෙව්ව ද ලේ සිරස කුඩුකර
කෙලෙස නවතනු ආදර අරගලය පණ ගසන හදතර?

හැර ගිය ද පස්වග මහණුන් නොසැලෙන්න මුදිත මුනිවර
බලන් සියොළඟ දැවටුන මුදු හදැති මුචලින්ද පරපුර
දුකර කිරියා සමය නිම වී ගයා හිස නිමැ වී මුවදොර
එක ම නැකතක ලෝකෙම බුදු වෙනා උදෑසන අර අර

 
View Poem

කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

2022 ජුනි කලාපය

වැන්දඹු වුු ප්‍රේමය

දිගු කලෙක සිට
මටම නොදැනිි
මියයමින් සිට ඇත
මගෙම හදවත රැවටුු
එහිම දළු ලා වැඩුනු
මලක් සේ පිිදුනත්
මලක් විි නොපිපුණු
අකලට පිපිි
පරව යන්නට බලා සිටි
ප්‍රේමයේ බිජුවට...

එය
සියයට සියයක්ම
මියැදුනු දිනය
හොදින් මතකය මට
ඊයෙ අද වාගේම!

වැන්දඹු වු පතිවත
කහ ගැහුණු සුුුදු සේළයෙන් වැසිි
හොරෙන් බලනා සැටි වටපිට
මගෙම හදවත දුටු දිනද
මතකය අද වාගේමය...

මංමුලාවී අයාලේ ගිය හදවතකට
තුන්සිතම එකතුකර
පුද කළ ආදරය
බිම හෙලා කැබලි කල පසු
මගේ වැන්දඹු වුු ප්‍රේමය
අකල් කඳුලැලිි වැස්සේ තෙමි
බුරා නැගෙන වෛරිිය ගිනිදැල් මැද
සති පුුජාවට
සැරසෙන සැටි බලව!!

30/05/2022
View Poem

ලුම්බිණි විතාන - ලන්ඩනය

2022 ජුනි කලාපය

පොඩි පුතා!!!

අනේ මගේ රත්තරං පොඩි පුතේ.......

කප්පරක් බලාපො⁣ෙරාත්තු මල්ඵල ගන්වමින්

උබ උපන් වෙලාවේ.........

අප්පච්චි හිටියේ රජ කම ලැබුනා වගේ......

කර්කශක අව්වට කෙඩැරි වුනු ඒ කය කෙලින් කරන්

එදා උන්දැ පැල පුරා ඇවිද්දේ අඩියක් දෙකක් උඩින්...

වේලපත්කඩේ බලලා ඝණ තියාලයි

එදා අප්පච්චි උබට නම තිබ්බේ....

අනේ මගේ රත්තරං පුතේ, හීනේකින්වත් හිතුවේ නැහැ එදා.....

උබේ ඒ නම මෙහෙම පවුරක මට හොයන්නට වෙයි කියා!!!!

ජුනි 2022
View Poem

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2022 ජුනි කලාපය

මෙත් ගුණින් අප සැම රැකේවා !

විනාශය පෙනි පෙනි,
අයිති නැති බව දැනි දැනි,
වෙනසද වලක් වනු බැරි
එසැම අපිටම අයත් වන සැටි
අවිද්‍යා තුරුලු කරගනිමින්
තන්හා මානේ රියට නගිමින්
බලා ඉමු අපි සසර ගමනින්
එතෙර වෙනසැටි කඳුලු හලමින්

මෙවන් බොදු බන ඇසෙන සැම දින
සමරමින් ඒ ලැබුන නැන ගුන
ත්‍රිලක්ශන ගුන ලඟා කරගෙන
සසර මග කෙටි වන්ට අදිටන
වෙරය රියටම නැගී සතුටින්
යන්ට සිතුවිලි පහල වේවා!
මෙත් ගුනෙන් ඔබ සැම රැකේවා!
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2022 ජුනි කලාපය

පසුවදනක්

උඩවත්ත කැලේ ගස් - බිම හෙලා කුසුම් පෙති
කළු වලා ඇදී විත් - සැඟෙව්වා ඉරේ එළි

හැමුව මුත් සුසුම් වැද - බියකරුම සුළං රැළි
නිසසලව ගල්වුනා - නුවර වැව් දියේ සුළි

ගහලයා උඩට ගත් - කගපතේ කොණ වැදි
ගිලිහුනා හිස කඳින් - ගලා ලෝහිත කැදලි

අයියණ්ඩි බිය නොවන් - මහ හඬින් කිව්වාට
නොදැන හිටියා නේද - පස්සෙ වෙන දේ ඊට

ලියුවාට පොතපතේ - වීරයෙක් ලෙස මාර
නම්බුවට පෙළපතේ -බරක් දුන්නට බෝම

බේරගන්නට නුඹව - නොහිටියෙන් ළඟපාත
අප්පච්චි ඇහැළෙපොළ - වැළපෙනව ඇති තාම
View Poem

මයුරි කොඩිකාර ගම්පහ

2022 ජුනි කලාපය

කිනිහිරියා මලක්...

කිනිහිරිය මලටත් පෙම් බැන්ද
බඹරු හිටියලු බිව් මකරන්ද
හදෙහි උහුලපු දුක් කන්ද
අමතකව මදකට සුව වින්ද

රළු පහසට ලොබ බැන්ද
සිරුර පුරා සලකුණු ඇන්ද
රිදුනු තැන් දැක පිරි මැද්ද
ඇත්ද කිසිවෙකු සිත් බැන්ද

එකෙක් ගියපසු තව එකෙක් ඩැහැ ගත්ත
සියුම් කෙඳිරිය සැපක්⁣ සේ නිති විඳ ගත්ත
මොණර කොල ලංසුවෙන් දිවි රැක ගත්ත
ඇයත් පණ ඇති දියණියකි සිල් බිඳ ගත්ත

ගැලවු රෙදි ලෝකයා මැද ඇඳ ගත්ත
සුදු චරිතයක් මවන් අනෙකගෙ හද ගත්ත
නිදාගත් ඇය දුටුව නෙත් අහකට ගත්ත
වසාගෙන හෙළු, සිනා මුව මත ඇඳ ගත්ත

සිතනවානම්....... යමක් ....

මයුරි කොඩිකාර
ගම්පහ
View Poem

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2022 ජුනි කලාපය

මිහිඳු සමිඳුනි අවසරයි !

මිහිඳු මාහිමි වැඳපුදන්නට සුදෝසුදු වැලි මාවතේ
ඉහතදී අපි මිහින්තලයට පැමිණි හැටි සිහියට එතේ
එකල විඳි ඒ සියළු සම්පත් සිහිනවී පාවී යතේ
පොසොන් පුරසඳ බල බලා දැන් සුසුම්ලන්නට වී ඇතේ

අප කෙරෙහි වන් මහා කරුණා පෙරදැරිව වැඩියේ එදා
උතුම් බුදුදම් තිළිණ කර බබලවන්නට සිරිලක සදා
ලියන කියවන අඳින පලඳින සියළු සුරුකම් දුනි බෙදා
එහෙත් හිමියනි අවසරයි , මුළු රටම අඳුරට ගොස් මෙදා

මුසාවෙන් ජනතාව රවටා බලයටම කෑදර වෙමින්
එදාමෙන් නොව අද සිටින්නේ රුදුරු රකුසන් රජ වෙසින්
අනාගත පරපුරට යන මං ඇහිරිලා ඇත සිවු දෙසින්
පින්බිමක්සේ සමිඳුනේ ඔබ දුටුව ලක අවරට ගොසින්

දෙවනපෑතිස් නිරිඳු දෙස බස නැංවුවත් බුදු බණ අසා
මෙකල ඉන්නේ මවුබිමත් විකුණා බුදින්නන් තලු ගසා
දුරින් දුරුකර එවන් දෙස්පල් අපතයින් නොඑනා ලෙසා
යළිත් සිරිලක පනගසා දෙනු මැනවි වෙන කිසිවක් එපා !

25.05.2022
View Poem

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

2022 ජුනි කලාපය

පොසොන් සඳ

නිල් අහස් කුස හරිම එළියයි
ඇයිද අම්මේ අද මෙසේ
පොසොන් සඳ මුළු ලොවම එළිකර
දිලෙනු දුටුවෙමි මගෙ පුතේ

පොසොන් පෝයයි දහම් සිසිලයි
කිමද එකවිට දැනෙන්නේ
එදයි බුදුදම සිරිලකට
ගෙන වැඩියේ මගේ දූ පුතුන්නේ

මිහිඳු රහතුන් මිහින්තලයට
එදා වැඩි බව කියනවා
මෙත් සිතින් දම් දෙසනු රිසියෙන්
එදා වැඩිය බව දන්නවා

කවුද අම්මේ මුවන් මැරුවේ
එදා වන සිරි වනසමින්
දෙවන පෑතිස් රජුන් සේනා
දඩකෙලියේ ගිය බව දනිම්

අපිවගේ මුව පොවුන් අම්මේ
හී වැදී මියැදෙන්න ඇති
එදා රජ සිත රුදුරු විය පුත
සුමුදු බව අඳුනන්නේ නැති

සතුන්ටත් නිදහසේ ඉන්නට
අපිට මෙන් අයිතියක් ඇති
රජුන් සිරිසැප මැද ගෙවිය දිවි
එදා පින් පවු දන්නේ නැති

මිස්සක පව්වේ මුවන් සැමදා
මර බියෙන් දිවි ගෙවන්' ඇති
අහන් මෙය පුත දහම් සිසිලස
සිතේ ගිනිදැල් නිවනු ඇති

අසන්නෙමි දෙසවන් යෝමන්නෙමි
කුමක් විනිදැයි අසනු රිසියෙමි
ඉතින් අම්මේ කුමක් වීදැයි
පමා නොමවී අසනු රිසියෙමි

'තිස්ස', 'තිස්ස' යැයි මිහිඳු හිමි
රජ ඇමතුවා ඔහු නම කියා
විමතියෙන් රජ දසත බැලුවා
සසලවී සිත නෙතු අයා

දහම් රස මුසු මිහිරි වදනින්
මිහිඳු හිමි බුදු බණ කියා
සරණ තෙරුවන් වැලද ගත්තා
තිස්ස දුනු හී බිම තියා
View Poem

E.W.S.Nayagara

2022 ජුනි කලාපය

A Butterfly and a Man

A butterfly flies to a flower garden,
That butterfly begins to drink nectar from a flower to quench his hunger,
But after drinking enough nectar, He no longer drinks too much nectar from any flower,
He saves them for someone else and flies away…

But
After few moments ,

A man goes to pick flowers in the same garden,
He picks flowers, He picks as many flowers as he needs until his basket is full,
But even after the basket was full of flowers, Even after his need is met,
His desire never ends, He thinks,
“This beautiful flowers withers on the tree itself, Therefore all the flowers should be plucked”
With that in mind,
He picks all the flowers without leaving a single flower for anyone else…

Why do people have so much greed and selfishness??
View Poem

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 ජුනි කලාපය

කෙසේ සිනාසිය හැකිද සතුටින්

වේලෙන දිග හැරෙන තණ පතෙහි
ඉදී හැලෙනා තල් පතෙහි
ඉරට වේලෙන දිය බිදෙහි
විකසිතව පරවන පෙති මතෙහි
දියව යන විට තාරුණ්‍යය
ඇදී එයි මහළු බව
බෙනයට වදින උරඟකු සේ

මලකඩ බැඳී ඇත ඇට මිඳුළු
එසවිය නොහැක පා යුග
වැටෙහි ඉණි මෙන් දත් දෙපළ
සෙලව ගැලවී ඇත

කෝණු හාසෝ - කිමා නන්දෝ
කෙසේ සිනාසිය හැකිද සතුටින්

එකොළොස් ගින්නකින්
දැවි දැවී යන සිතකින්
මන නන්දනීය විලසින්
සිනාසිය හැක්කේද කෙලෙසින්
View Poem

නිරෝෂා ගුණසේකර - බුත්පිටිය

2022 ජුනි කලාපය

පැලට වඩින තුරු.........

ගයන විට මියුරුගී රැහැයි කැළ ගංගොඩේ
තිත්තයින් ඒ නදට දඟකරයි වක්කඩේ
නිවාගෙන කුසගින්න හූරමින් දංකුඩේ
පැලෙහි නුඹ තනියෙන්ද ලඟම අලි මංකඩේ

නා කැපෙන කළුවරේ නෙත සොයන සඳවතිය
පෑ සිනා මතකයට නැගෙන කල හද කිතිය
රෑ හඳට පෙම් බැඳන් සඟවගත් මුදු රතිය
වෑහෙනා හැඟුම් සිත තෙරපුමත් මට ඇතිය

සඳ නැගෙන විට අඹරෙ මගේ රුව මවාන
කොඳ මළක් නැහැ පුඩුවෙ දැවටෙන්න තියාන
පිබිදෙනා හැඟුම් මැඩ මත් දෑස පියාන
වඩින තුරු මම පැලට හිඳින් නෙත් අයාන
View Poem

නිමල් අබේසිංහ - කඳාන

2022 ජුනි කලාපය

මෙභීෂණය නොදැනද දෙවොල ගත්තේ

ජරා මළත් සෝදාගෙන ගලයි නදී
නිරාමිසයි බුදුහිමි පා පහස විඳී
ගරා යකුන් මේ තුම් පින් බිමට වැදී
සුරා සොඬුන් සේ රටටම කරයි හදී

පරෙවියා ලැගල හුන් මේ ඉසව්වේ
මැරැවියා අවල කෙලිමයි කෙලව්වේ
සර්පයා නමින් ලත් මුන් කොදෙව්වේ
නෙතු පියා ඉන්නෙ කෙලෙසද ඉළව්වේ

ආරලා එන්නෙ තලමල සේයාවේ
සූරලා ගනියි යන යකු ඇලියාවේ
සේදිලා යන්න ලං වුණු හෝරාවේ
කෑරලා හැඬුවෙ අරලිය මාරාවේ

මාද්දියට වින කටිනා දුෂ්ටයා
සරස්වතිගෙ දූදරු පෙළන කට්ටයා
වෙසමුනියාට ලංවී කෙලින මුට්ටියා
දෙපා කඩා එලවන් ජාති භ්‍රෂ්ටයා

මගේ අණයි පවතින්නේ තුන් හෙළට
වගේ කතාවක් කියලා ඇත රටට
අගේ ඇති වැඩකි කරගත්තොත් යසට
තගේ පිස්ටලෙන් ගිනි බිඳගන් පුකට

හිඳෙන්නට පෙරදි දිය වැඩිවෙයි මුහුදෙත්
නිවෙන්නට පෙරදි සිල වැඩිවෙයි පහනෙත්
දිරන්නට පෙරදි බොල් නඳ එයි ලීයෙත්
නහින්නට පෙරදි කට වැඩිවෙයි කාගෙත්

ගඟේ මූදෙ ඉරලා දැම්මත් අටට
මගේ මනාපය දෙන්නේ නැහැ තොපට
රඟේ වැටහේවි හෙණ වදිනා කලට
මුගේ වැඩ හොඳයි ඒකාගෙම මවට

විභීෂණය දෙවිඳුනි මහ පිනැත්තේ
මෙ භීෂණය නොපෙනිද දෙවොල ගත්තේ
සුභාෂිණිය හඬ රැව්දෙන හිතැත්තේ
ජනී ජනය දුක කිම නොදැනගත්තේ

උතුම් විභීෂණ දෙවිඳුනි පරසිද්ද
එදා සිටම රැකගත් බිම අති සුද්ද
මෙදා මෙබිම පහරණ බවනොදනිද්ද
ගොරා මරා නෙරපනවාදෝ නැද්ද

කැලණි පුරයට, කොත්කැරැල්ලට බෝධි මළුවට , වෙහෙර මැඳුරට
මැණික් පුටුවට, එරන් කඩුවට දිව්‍ය උයනට මාලිගාවට
පවත්වා සිය අණසකින් පිරි මෙසිරිලක රක්නා මනා කොට
හෙලා දිවනෙත් විභීෂණ දෙවි යවන් මැරයන් යමය ගාවට

යොදා දිව නෙත් බලා සව් දෙස නිරාකරණය කරන් අවුලත්
යදාවක් ගෙන මරා ගෝරා යවන් පරලොව සමග කපුටත්
මුදාගන්නට නොකළහොත් ලක යොදා නිසිලෙස ඔබේ දිව නෙත්
මෙදා ජනයා කරනවා කුඩු සැබෑ ඇත්තයි ඔබේ දෙවොලත්
View Poem

නුවන් තොටවත්ත

2022 ජුනි කලාපය

තවම මොකුත් වෙනසක් නැද්ද ? - නැන්දම්මා

දරු සෙනේ කියන්නෙම
දුකක් නොදෙනා එකට
මං එහෙම හිතාගෙන
ඉන්නවා

කාලයක් දේශයක්
බලනු බෑ හැමෝටම
මං ඒක හොඳටෝම
දන්නවා

රිංගන්න හිතාගෙන
ඉඳල හිටලා රෑට
නෙලුම් මල් ගත් ඇත්තු
එබෙනවා

විසි හතර පෑ යන්න
කලින් පෙත්තක් බීල
මං උන්ව එලවලා
දානවාl
View Poem

නිශ්ශංක දිද්දෙණිය

2022 ජුනි කලාපය

සැළමුතු පෙම (කවියාගේ බිරිඳ )

නුඹ පද පෙළකි කවියකි කිසිදා නොලියූ
නුඹ සිතුවමකි තෙලිතුඩ කිසිදා නොදුටූ
නුඹ රිද්මයකි නළුවක රැඟුමක නොරැඟූ
නුඹ මගෙ පියබඳ ඒ සැම රස පහස මැවූ

දෑඟිලි බැඳි හුයේ රැස් වියැකෙන විට
ගෙල බැඳි මාල උකසේ දියවෙනා විට
වැදුමව් විරසකය දිවි මග කැළඹු විට
මව් බිරිඳක් වුණේ නුඹ මා තුරුළු කොට

හැරයන ඥාති මිතු පිහිටක් නොලඹාම
ගිලිහුණු කිතු ගොසට ලොබ බැඳ නොහඬාම
ගේදොර වෙලාගත් හැමබර උසුලාම
නුඹ සැනසුණු සැටි ද මට දී සැනසීම
View Poem

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය

2022 ජුනි කලාපය

දින 50 පසුකරන ආදරයේ අරගලය

 

පුරා දශක ගණනාවක් පාලකයන් හොරා කාපු
දෙපිල බෙදී මාරු වෙවී දුෂිතයන් රජ කරාපු
ඒ හොරුන්ට රැවටී රැවටී හැමදාමත් චන්දෙ දීපු
පරම්පරාගත ගොන්කම එපා කියලා නැගී සිටපු
මිනිසුන්ගේ අරගලයය් සිරි ලක්බිම අවදිකරපු

මහා කන්නෙත් වගාව නෑ, යල කන්නෙත් වගාව නෑ
පොහොර ගන්න ඩොලර් නැතිලු
රෝගියෝ ටික වැලපෙනවා
බේත් ගන්න ඩොලර් නැතිලු
වාහන මග නවතිනවා, මිනිසුන් පෝලිමේ ඉඳගෙන
ඉන්ධන ගැන වැළපෙනවා
පොඩි එවුන්ට කන්න දෙන්න
උයාගන්න ගෑසුත් නෑ
කිසිම වැඩක් කරන්න බෑ, විදුලිය නෑ මහජනයට
ඒ උනාට රජමැදුරේ
ගෑස්, ලයිට්, ඉන්ධන ඇත
පැය විසිහතරෙම AC
දාගෙන උන් රට හදනවා

ගෑස් ගන්න, බේත් ගන්න
තිබුන ඩොලර් වියදම් කර
කඳුළු ගෑස් ගෙනාපු ඒ
හිත්පිත් නැති පාදඩ රැල
අරගලයේ දරුවන් හට
කඳුළු ගෑස් ගහන ගමන්
වතුර බව්සරේ ගෙනවිත්
ජල පහරින් නාවනවා...
ඒ උනාට අපෙ දරුවන්
නවත්තන්න උන් හට බෑ
අසාධාරණේ අභියස
නිවටයෝ ලෙස වැටී ඉන්න
තරුණ ජවය ලෑස්ති නෑ.. ..
සූදානම් මහතුනි උන්
මේ හොරු රැල එලව දමල
අළුත් රටක් ගොඩ නගන්න

ගෝඨාගෝගම කියලා
අරගලයේ ගම හැදුනා
රටට ආදරේ මිනිසුන්
එක රොත්තට එකතු උනා
ජාති - පක්ෂ - ආගම් කුල
පන්ති - වයස් පරතර නැති
ආදරයේ අරගළයට
ජවය දෙන්න තරුණයො කැල
මිමස්සන් සේ රෝද බැඳ
ආදරයෙන් එකතු උනා
මේ සටනට සහය දෙන්න
ලංකාවේ හතර වටේ
ගෝඨාගෝගම් හැදුනා
ලංකාවේ පමණක් නොව
ලෝකේ වටේ විදි පුරා
ලාංකිකයෝ හඬ නගනවා
ආදරයේ අරගලයට
ගඟක් වගේ එකතු වෙලා
හොරු එළවන්නට එනවා...
මේ ජනගඟ නවතන්නට
ජගතෙක් මේ මිහිපිට නෑ...

දින 50ක් ගියත් අනේ
අරගලයට මහන්සි නෑ...
දුෂිතයන් පලවා හැර
අළුත් රටක් හදන තුරා
අරගලයට නින්දක් නෑ....
පාලකයිනි මේ අහන්න
හොරා කාපු සල්ලි දීලා
කරුණාකර ඉවත් වෙන්න
වෙන විකල්ප විසඳුම් නෑ...

නීතිය , සාමය රජයන
දූෂණ වංචා නැති උන
රටට ආදරේ මිනිසුන්
අලුත් රටක් හදන තුරා
අරගලයත් පවතිනවා....
View Poem

ආචාර්ය නිශාද් උඩුගම්පොල කේම්බ්‍රිජ්

2022 ජුනි කලාපය

උඩු, ගුවනේදී ලියූ කවි

ගිහින් වයසට
දෑසත් දසුනත්
රුවත් පුසුඹත්
ගහකොලත් ගේදොරත්
මාපියන් මාප්‍රියන්
මම

විඩාබර දෑස්
දිරාගිය දෑත්
සුන්වූ පැතුම් ගැන
නිහඬවම සුසුම් ලන
කොම්පැනියෙ වැඩ නිමව
තම පුතුන් එනතුරා
දෑස් දල්වා හිඳින
මුණුපුරන් පස දුවන
උන් හිනාවෙන්
කඳුලු පිස දමාගෙන
නිවන් ලොව අතගාන
ඔවුන්

පෝලිමේ කලුවරේ
ගතුකියන නිදිමරන
දූපුතුන් මාපියන්
සන්තොසින්
තියන්නට කැස කවන
මොබයිලය කන පැලඳ
රන් කාසි ඇහිඳ යන
ඔවුන්ගේ දූපුතුන්

ඔන් ලයින් ලෝකයේ
එල්බගෙන වෙර දරන
නිම් තෙරක් හඹායන
පවනසේ ගසා යන
හෑෂ්ටැග් පරපුරේ
ඔවුන්ගෙත් දූපුතුන්

දුරු රටක
හිඳ විටෙක
බක් මහේ එක් දිනෙක
පාව විත් දුං දමා
ඩෝං ගා දැවීගිය
අහස් කූරක් උනිද
නිමක් නැති
අහස් කුස
මම?

සබඳ,
මීවිතක් තොලගාපු
ගීතයක් මුමුනාපු
මූදු රල පයගාපු
නිමේෂෙක,
පුලිඟුවක් වත්
දුටුවාද
නුඹ?
View Poem

2022 ජුනි කලාපය

නූතන පෝලිම් කවි..

ඉන්නෙත් ටවුමෙමයි තෙල් පෝලිමක් අග..
කන්නෙත් කටු තමයි (නො)දුන් චන්දයෙ පවට..
එන්නෙත් බවුසරෙයි ඒකත් විටින් විට..
යන්නෙ කවදාද පොම්පය දකින්නට..

අද උදේම මම ගමනක් යන කලට..
බවුසරයකින් බානව තෙල් ශෙඩ් එකට..
දැක්කත් සැපයි සතුටකි මිහිරකි සිතට..
ඉක්මන් වෙලා සෙට් වුනි පෝලිමෙ අගට...

එහා ගමේ තෙල් ඇවිදින් තිබේ ලූ..
මෙහා ගමෙත් තෙල් ඇවිදින් තිබේ ලූ..
අපේ ගමට අද තෙල් එන්නෙ නැති ලූ..
එහෙම කිව් එකාගෙ කට කෑ හැකි ලූ..

ඔන්න මලේ ඔය ශෙඩ් එකෙ බලා වරෙන්..
තෙල් තියෙනවා ෆේස් බුකියේ දමා වරෙන්..
අපේ ගමට එන බවුසර් බලා වරෙන්..
සාදු කාර දී තෙල් ටික ගහන් වරෙන්..

මාතර ගමේ උන් ඒ ඇමති ගෙ පැටියා..
කට සද්දයි තෙල් ඇමතියා වූ සැටියා..
යන එන තෙල් නැවුත් මුහුදේ නවතාගෙන සිටියා..
ඩොලර් සොයයි මාතර ඇමතිගෙ පැටියා..

තෙල් පෝලිමේ මම රත්වී ඉන්න කොට..
රුවැති ළඳක් ආවා මගේ ඉස්සරට..
මුකුලු පපා පෑවත් මායම් හැටට..
දෙන්නේ නෑ යන්නට පෝලිම මුලට..

ගියත් බෙන්ස් එකේ හැඩ වැඩ දමාලා..
ගැහුවත් අට බයික් එකේ නවාලා..
යන්නෙ ත්‍රී විලේ අස්සෙන් දමාලා..
එක පෝලිමේ කවුරුත් උඩ බලාලා...

ගඟ දිය බොර වුනොත් විපක්සෙටයි වාසී..
ඒ දිය මොක වුනත් මයිනට මයි වාසී..
බලතල අඩු වුනත් රනිලට මයි වාසී..
මුන් හැම ගොඩ යන්න අවුසදයක් කාසී...

මයිනා බේරිලා ඉන්නට ට්‍රින්කෝ ගියා..
ලස්සේ වටින කොප්ටරේ දිය වන්නා ගියා..
දෙසිය විසිපහට අඩුවට තෙලුත් ගියා..
උන්ට ඉන්න හෝටල් කාමරත් ගියා..

බෝඹු ඉදල දළු ලා දෝ නෙලාදෝ..
කෙකටිය මලේ වක යාදෝ නෙලාදෝ..
රටට හෙණ ගසා තිබුනද පාන්දෝ..
කවුන්සලේ උන් වල් පල් දොඩාදෝ...
View Poem

Omindu Bometh Fernando Meopham School - London

2022 ජුනි කලාපය

THE SUN

Great, Gorious, Golden sun
shine down on me today
you are the life of all this Earth
you and your magic ray
And i will welcome your golden ray
For you mean life to me
you mean happiness and health
Strength and energy
Shine down great sun on flower and field
And never say goodbye
Forever and ever give us your light
From out the wide blue sky

Meopham School - London
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 ජුනි කලාපය

අහිමි වීමක්

ජීවිතය කලබල නිසාවද
ලියූ කව් නැත සොයාගන්නට
සාංකා මෙන් සිතේ රැඳුනද
හැකිවේද යළි ගැට ගසන්නට

සිහිගිරේ සුරුවන් අසිරිමත්
කතා නැති මුනිවරුන් තිදෙනත්
රුදු යුද බිමක කොටු වුන සිසුන්
වෙහෙසුනෙමි සිතුවමට නගමින්

එදා මා සිත පෙලූ සිතිවිලි
කෙසේදෝ යළි පණ ලබන්නේ
එදා ගැලපූ ඒ වදන් වැල්
කෙසේදෝ යළි සොයා ගන්නේ

පැමිණියා සේ පැරණි මිතුරෙක්
දේවාශිර්වාදයකින්වත්
කවදාක හෝ මතු වෙන වගක්
වරින් වර සිත කියයි රහසින්
View Poem

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2022 ජුනි කලාපය

අරගලයේ ප්‍රේමය

ඔබව දුටු මුල් දිනේ මා හද ප්‍රේමයෙන් සසලව ගියා
අරගලෙන් හති වැටුණු සියොළඟ නව ජවයකින් පිබිදුණා

මා සමග ඔබ සිනහ වූ විට කඳුළු වායුව පැතුරුණා
ඔබේ පියකරු මුහුණ වසමින් සුදු දුමක් පැතිරී ගියා

කළු දුමෙන් අහසම වැසීගිය දිනක ඔබ සොයමින් ගියා
කඳවුරේ හෙම්බත්ව සිටි ඔබ නෙතට කඳුලක් නැංවුවා

මැර පහර එල්ලවූ ඒ දින ඔබ සොයා මා දිව ගියා
පාර කෙළවර හතිලමින් උන් ඔබව දුටු මා සැනසුණා

ගාලු මුවදොර මහ මුහුද සේ හදේ පෙම්රැළි පෙරලුණා
අවට ලෙළදෙන සිංහ කොඩි සේ සිත් අහස කැළඹී ගියා

විගසකින් අප පැතුම් ඉටුවී අරගලය ජයගත් දිනේ
සැබෑ වන බව දනිමි සොඳුරිය අපේ සිහිනය ජීවිතේ

21/05/22
View Poem

පියුමි මදුභාෂිණි - මොරටුව

2022 ජුනි කලාපය

සමුදීම

සිනාවක් නොමැති තැන් වල වුවත් සැනසීම
මුලාවක් නොවෙන ලෙස ඉනාවන් වැළලීම
රටාවක් ලෙසින් දුක සැප හිතේ ඉපිලීම
බොහෝ රසවත් කරයි ජීවිතේ සමුදීම

ද්වේශය ම මුල් නොකොට ආදරෙන් ඇමතීම
ආදරය සඟවාන ජීවිතය වැනසීම
ආයුෂය කෙටි නොකොට ජීවිතය සැරසීම
බොහෝ සුන්දර කරයි සෙනෙහසක නික්මීම

සියක් හිත තුළ හොවා ඉන් එකක් පැවසීම
බියක් නැතිවම සෙනෙහෙ මරා එහි වැළලීම
නියක් කඩ යුතු දෙයක් පොරවකින් සුන් වීම
සදා කඩ තොලු කරයි හදවතක හිමිවීම
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2022 ජුනි කලාපය

නෙත්........

නොගැයූ ගීයක තනුවක් වාගෙයි
නො පිපි මලක රැඳි සුවඳක් වාගෙයි
නොදුටු සිහිනයක මිහිරක් වාගෙයි
දොඩමළු වු නෙත් පවසන විසිතුරු.

අහස පොළව එක් කරනා
සිතිජය වෙත සෙමින් ඇදෙන
රැල්ලක් සේ මගෙ සිතිවිලි
පැතුම් මවයි නෙත් හසරැළි.

වැලි කතරක පියුම් විලක්
වගේ පිපෙයි හදේ මලක්
ජීවිතයම සිහින විලක්
එහි රඟ දෙති හංස කැළක්.

නෙත් හිනැහේ තරු අතරේ
සඳ සැඟවී හද පතුලේ
පාවෙන සුසුමන් අතරේ
සිහින මැවෙයි සිත් අතරේ.

ගොළු වී ඇත දොඩමළු නෙත්
තනි වී ඇත පිබිදුණු සිත්
පායාවිද හෙට හිරු විත්
පිබිදේවිද මැලවුණු සිත්.
View Poem

ප්‍රීති රන්දෙණිය

2022 ජුනි කලාපය

අතීතයෙන් කතාවක්.

ලොකුදුවේ මෙහෙ වරෙං
වෙදසිංහ මහත්තයා
මොරදීපු සද්දයට
ලොකුදුවගෙ මුලු ඇගම
වෙව්ලුවා බීතියෙන්

මැගිලින්ගෙ ලොකු කොලුවා
එක්ක මොනාවද උඹේ
තියෙන්නා ගනුදෙනුව
පේර කෝටුව අතේ
ගෝර නාඩුව කටේ

කියාපිය කියාපිය
මගේ යකා ඇවිස්සෙයි
ලියන්න ට හොර ලියුම්
කවුද කිව්වේ උඹට
ගොවිගමෙන් කවුරුන්ද
හාලින්ට හිර දෙන්නෙ
මේ ගෙදර මහඑකී
නිදියාන උන්නාද

කියාපිය කවුරුන්ද
ලියූං ගෙනිහින් දුන්නේ
පේර කෝටුව පිටේ හරස් ඉරි අදිනවා
මැද ට ආ අම්මටත් ඉරි ලකුණු ලැබෙනවා
ලොකු කෙලී ගලක් වගෙ
නොසෙල්වී ඉන්න වා
කදුලු නැති ඇස් දෙකෙන්
ගිනි පුපුරු පනිනවා

සහෝදර ප්‍රේමේ එල්ලුනා කෝටුවේ
ගැහුවා ඇති අක්කා ට
අක්කා ගියෙ නෑ එළි යෙ
මම යි ගෙන්හින් දුන්නේ
අක්කා ව අත ඇරලා
මට ගහලා සැනසෙන්න
මොහොතක ට පොඩි එකා
යෝදයෙක් වගේ වෙලා

බොටුවෙන්ම ඇල්ලුවේ
හෙල්ලෙන්න බැරි වෙන්න
දැක්කාද මූ මගේ
මූණ ටම කියපු හැටි
දන්නෙ නෑ මගේ තරම
මං පුතෝ අද උඹව
කෝටු මස් කරනවා
බදිනවා පොල් ගහේ
දානවා දිමි ගොටුව

මල්ලි ට අතක්වත්
තිබ්බොතින් තාත්තේ
පනිනවා ලිදේ මම
පොඩි යි කියලා ඉතින්
බයවෙන්නෙ නෑ තවත්

මේකිගෙ කටේ හයිය
පහලොවත් ගිය මාසෙ
වහපිය හැකරකට
පැනපිය ළිඳේ උඹ
හදන්න ට හිතුවා මදි
මං උඹේ තාත්තා

දුකයි මට ඒක ගැන
අහිංසක මිනිසුන්ට
හාලියයි කීවාට
තාත්තා නෙ හාලියා

මොකක් බොල තෝ කිව්වේ
තාත්තා ට නේද උඹ අපහාස කරන්නේ
මොන වාට හැදුවාද මෙහෙ ම දරුවන් රටට
ඒ අතට මේ අතට
අත් කකුල් කොටු රූල්

ඔව් මම යනවා මයි
මහන්තත්තය යන්න
බදිනවා ඌව මම
බදින්නට බැරි වුනොත්
වහටිකක් හරි කනවා
ආයිමත් පස් ටිකක්
පාගන්නෙ නෑ ගෙදර

ඇස් දෙකට නොපෙනෙන්න
පල දැන්ම තොලිංච්ව

ලොකු දුවේ නැවතියන්
ළිඳ උඩින් මව් සෙනේ
අක්කෙ යන්නට එපා
කිරි මුවේ හැඩියාව
අපිත් අරගෙන යන්න
ගවුම් කොන ඇද්දිල්ල

මගේ දුවේ රත්තරං
තුරුලු කරගත් සැණින්
අම්මා ගෙ ඇස් දෙකෙන් වක්කඩේ ගොඩ ගැලුවා
පපු කැවුත්තුවෙ කෑලි කැඩෙන හඩ දුව ගෙ කණේ
සහෝදර මාලුරැල නොනවතින වෙව්ලිල්ල

කදුලු මහවැලි ය සේ
ගලනකොට ඔලුවෙ ඉද කෝප උන
ලේ බිංදු ඇස් දෙකේ ගිනි පුපුරු නිවි නිවී වෙඩරු වී

තර්ජනය ගර්ජනය හිංසා ව
නොමැතිව ත් කදුලු බිදුවක බලය බොහෝ දේ කරනවා

තාත්තා ගෙ දරු නු සිත
කරුමෙකට මට ඇවිත්
වාසනා ව න් අම්මෙ හදවතේ නුඹේ ලේ
හැඩුවා ඇති බුදු අම්මෙ

මේ කදුලු පාවඩේ
පාගලා නොයන්නමි
අම්මා මල්ලි ල නංගී
දාල මට යන්න බෑ
අදින් පසු අම්ම වගේ
මම ත් මහ පොලව වගේ ..

25...5...2022
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2022 ජුනි කලාපය

තවම සොයනවා

සසරෙ හුරු පුරුද්දට
මුණ ගැහෙන බොහෝ අය
සතුට දුක දෙක අරන්
අප අතර සරනවා...

මිතුරු වෙසකින් පැමිණ
හිතට වස විස පොවන
අය ලැබුණෙ පෙර කරපු
පවකටැයි සිතෙනවා...

බැන වැදී ලෙස හතුරු
යහපතම පතන උන්
මුණගැහුණෙ පරම වූ
පිනකටැයි හැඟෙනවා...

කොතෙක් කල් ගත වුවුත්
හැර දමා නොයන අය
දුක සතුට විඳ දරන්
හැමදාම ඉන්නවා...

සංසාරෙ පුරුද්දට
වඩා ලොකු දෙයක් ඇත
එහි තිබෙන යටි අරුත
තාම මම හොයනවා...
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 ජුනි කලාපය

ජයගමු දිනෙක මේ සෙනෙහස් අරගලය

දහඩිය වැකුණු සිරුරත
වැහි බිඳු වැතිරී
දාහය නිවූවද හද ගිනි
කඳු පිපිරී
පැතුව ද ලොවක් සැනසුම
සාමය සපිරී
අද මිස නැත හෙටක්
පැතුමන් යයි විසිරී..

ඇස්බැන්දුම් වලට නතු වුන
ලෝකයක
නොසොයා දිග පළල
හැඩ අන්සතු දෙයක
ඉල්ලන කෑ ගසා
අරමුණ ජීවයක
මන්දාකිණි පොළෝ මත
එක පන්තියක..

හිරු සඳු තරු කැකුළු
දිස්නය එක වාගේ
විඳ විඳ කම්කටොලු මුත්
වෙහෙසක් නෑඟේ
නිම් නැති හඬකි
සමුදුරු ඝෝෂය වාගේ
තාරුණ්‍යයේ හඬයි ඒ
ලක් අම්මාගේ

දුන්නෙන් මිදී ඇදෙනා විට
ඊතලය
අරමුණ වෙතම යනු මිස
නවතනු බැරිය
ඩිජිටල් ලොවක ගෙන
හණ මිටි අඩුවැඩිය
නවතනු හැකි නොවේ
සෙනෙහස් අරගලය!!
View Poem

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 ජුනි කලාපය

කුජ මාරුව

උපන් වෙලාවේ හැටියට
කුජ පිහිටල පළමු කොටුවෙ
කරුම පල දෙනවලු
දිවි ඇති තුරාවට
දුකෙන් ඉන්ට සිදු වෙනවලු
අනාවැකිය අසා ගත්ත
පුද පඬුරු ත් ගෙවා දැම්ම
හඳහන හකුලා දැම්මා
මං විතරද පව් කෙරුවේ
හිතුනා මට අතර මගදි
අමා මෑණී බුදු පියාණන්
දෙසූ බණ අනුව නම්
අංගුලිමාලටත් නිවනක් තිබුණාලු
පව් නිවා ගත්තැකි ,කුසලය වැඩීමෙන්
අසා ඇත්තෙමි,කුඩා කල සිට
එතැන් සිට වෙර දැරුවෙ
කුසලය වඩන්නට
සැපකුත් නෑ !දුකකුත් නෑ!
සැනසිල්ලේ කල ගෙවෙනවා
කුජ යන එන තැන කොතැනද
හඳහන නෑ බලා ගන්ට. !!!!

2022.05.25.
View Poem

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2022 ජුනි කලාපය

වැඩිසේක අරිහත් මිහිඳු මා හිමි

වට්ස් ඇප් ෆේස්බුක්
වයිබර් මැසෙන්ජර්
ට්විටර් රේඩියෝ
අහලවත් නැති
නිරිඳු දම්සෝ අදිරද
යොදවා සිරිලකේ
බුද්ධි චරපුරුෂයන්
ලබාදුන් තොරතුරු
නිවැරදියි සහතිකයි
යන්න පුත පොසොන් දින
ලක්දිව මිස්සක පව්ව වෙත
මුණගැසෙන්නට නිරිඳු
පෑතිස් මහරජ
සහ පිරිවරින් එදිනේ
උයන්කෙළියෙහි
යෙදෙන දවසකි
හමුවී පිළිසඳරේ
මැණ බලා බුද්ධිය
හැකිනම් පිහිටුවන්නට
බුදුසසුන ලක්දිව
මිහිතලය මත
පියරජුගෙ උපදෙසින්
පිරිවරින් අහසින්
මිස්සක පව්ව වෙත
වැඩිසේක අරිහත්
මිහිඳු මා හිමියන්
View Poem

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

2022 ජුනි කලාපය

අනේ පරිස්සමෙන්

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවද
පෙට්‍රල් ගැනීමට
අබිනික්මන

ප්‍රමුඛත්වය දෙන ලියුමද
පරිස්සමට කලිසමේ
දකුණු සාක්කුවේය

ගෙවෙන කරුමයේ හැටියට
හර්දය වස්තුව වුව විස්වාස නැතිය
ඒ හන්දා කෝකටත් GTN spray එක
කලිසමේ වම් සාක්කුවේය

පැය ගාණක් පෝලිමේ සිට
රුපියල් තුන්දහස් පන්සීයකට
තෙල් පිරවූ සැප පහසු
වාහනය පිටුපසය

" අනේ පරිස්සමෙන්
ඔයාට ඕවා එච්චර පුරුදුත් නෑ "
අනියත බියකින් ඇස් පුරවාගෙන
බලා සිටින මගේ යසෝධරාවන්
නිවසේ දොරකඩය

එනුමුදු
මා
යා යුතුය
වාට්ටුවේ
ජීවිතය අයැදින
දරු පැටවුන්ය
දරුවන් සුවපත් වනතුරු
බියෙන් පසුවන අම්මලාය

මම කන්ථක අසුපිට
නැග ගතිමි
පවනට බදු වේගයෙන්
නොගියත්
හමන මද පවන සැපය...සනීපය
අතරමග
නේරංජනාව පරදන
තෙල් පෝලිම් පසුකරමින්
මම යන්නෙමි
නිවන්නට රෝ දුකින්
පෙලෙන දරු පැටව්
View Poem

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

2022 ජුනි කලාපය

හෙලෝ? සිංග්නල් අහුවෙන්නෑ මැණික...

හේ අරගලයට හුස්ම දෙන්නෙකි, ඈ පැටවුන් රැකන් නැකතට ඔහු ගමට එනතුරු මඟ බලන්නියකි. "ඉතිං පහුවුණු නැකත පහුවෙලා ගියාදෙන්..."

(ඈ)
කොහා හැඬුවම අපේ ගෙවල් වල ඉස්සර...
කැවිලි කිරිබත් මේස හැදුනා ද? කොච්චර...
තියන හොදි බත් කාපි ළමයි නම් රත්කර..
ඔයා කෑව ද? හොඳඳ? අරගලේ විස්තර...

(හේ)
ඉතිං පහුවුණු නැකත පහුවෙලා ගියාදෙන්...
වැහි කඳුලු යට සිංහ දජ නටයි ප්‍රබෝදෙන්...
පොඩි උන්ට හෙටක ජීවත් වෙන්න විනෝදෙන්...
අපි අපි ම පිලිල නොරපිය යුතුයි සමාජෙන්...

(හේ)
බක් මහේ උබේ සරු උකුල් තල කොනක...
නිදියන්න මට ලෝබ හිතෙනවා මැණික...
රට බේරගෙන අපිට මහිමයෙන් පිනක...
ගමට එන්නට වරම් ලැබේවා! හනික...

(ඈ)
ලක් මව ම හැර රැකිය යුතු වෙනත් කාව ද?...
මේ ගින්න මැද ඔහෙට හිතට බර මාව ද?
දිරි ගනින් ඉදිරියට බර වේවී සී දද...
මහන්සි ද? දරුවන්ගෙ අප්පච්චි කෑවා ද?...

(හේ)
කුස ගින්න විඳින්නට අපිට ඉඩ දෙන්නෑ...
කන්න දෙන උන් සසර බඩගින්නෙ ඉන්නෑ...
මැණික අපි මැරුවමුත් සටන බිලි දෙන්නෑ...
දිනලා ම මිස ආයි ගමට මම එන්නෑ...
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 ජුනි කලාපය

වෙන්ව යාම

පෙරඹ'ර සියල් තරු කැට
නිවී මිලානව යන
මොහොතක ,
පෙනේ
බොඳව බොර වූ මා දෑසට
බැසයන්නට මැලි
තරු කැට යුවළක්
ළංව සිටිනු එකිනෙකා වෙත
බැඳී සිටිනා කලෙක මෙන්
උතුරා ගලන සෙනෙහසින් මත්ව

අනවරතයෙන්
මිහිදුම කඩා වැටෙන
ඒ සීත හිමිදිරියේ
බැලූවෙමි එදෙස
වරින් වර මම
එබී දොර කවුළුවෙන්
මැඩී අපමණ කුහුලින්

එවිට දුටුවෙමි
දැල්වෙන'යුරු ඒ තරුකැට
මහත් උද්‍යෝගයෙන්
රැය නිමා නොවු කලෙක මෙන්

ඉවත ගෙන නෙත් මොහොතකට
යළිත් එබී බැලූ සඳ ඒ දෙස
අහෝ ඒ තරුකැට දෙක
මදක් නිවී ගොස් නිසලවී ඇත
එවිට දැනුණේ මට
වදනින් පැවසිය නොහැකි
නුහුරු සංතාපයක්ම ය.

බලා සිටින විට
තව තවත් ඒ දෙස
ඒ කුඩා තරු එළිය
ක්ෂුද්‍ර වූ තිතක් ව
මා දෑස් මානයෙන්
නොපෙනී යන්නට විය
සොයාගනු පිණිස
වෙහෙසී, දෑස් ඉගිල්ලූවද
දැකගත නොහැකි වුණි
අරුණෝදට පත් අහස් ගැබෙහි
කොතැනක හෝ එය

එහෙත් බොහෝ දුර්වලව
කණාමැදිරි එළි තිතක් ව
පෙනෙන නොපෙනෙන තරමට
මා පියවි දෑසට
හුදෙකලාවෙ හිඳී නිහඬව
මදක් ලොකු ඒ තරුකැටය තවම
බැස නොයා ඉවතට

තවත් සුළු මොහොතකින්
ප්‍රථම හිරු කිරණේම
සැඟවී යනු ඇත එය ද

දෑසින් නවතාගන්නට
නොහැකි බව දැන
උකටලීව ගිය සිතින්
ඉවත බැලුවෙමි මම
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2022 ජුනි කලාපය

වසන්තය ඇවිත් ....

බලා සිටිති ලා දලු කොළ වෙන්න ට
පොහොට්ටු හිඳීවි මල් වර වෙන්න ට
තණකොළ ගස් අස්සෙන් මතුවෙන්න ට
පිණි බිඳු හදනව තව සැඟවෙන්න ට

වැනෙනව ගස්වැල් හමනා සුළඟ ට
දැනෙනව අඩුවෙන සීතල හෙමිහි ට
ඇහෙනව ගුමු ගුමු හඬ දැන් සවන ට
පෙනෙනව සියොතුන් ඉගිලෙන අහස ට

මල් පෙම්වතියන් හිඳීවි පේ වී
පෙම්වතුන් ලෙසින් බඹරුන් ඒ වී
රිසි ලෙස මධු කෙමියට තුඩ දා වී
තව මල් වෙත උන් යනු ඇත පා වී

නිල් වියනත් කොල පලසත් අත රේ
දේදුනු පාටින් මල්ගොමු පැති රේ
සිත් නහවන සොම්නස් දිය දහ රේ
වසන්තය ඇවිත් දැන් මේ වස රේ
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2022 ජුනි කලාපය

රාජසිංහ Go Home

රාජසිංහ Go Home

කන්ද උඩරට කන්දසාමිව
පන්නලා සිහසුන රකින්නයි
වින්ද දුක් අඩුපාඩු නිමකර
තුටින් සෙංකඩගල තියන්නයි

රජා විඳි රජ වාසලේ සැප
සියළු රට වැසියන්ට දෙන්නයි
සදා වින කළ පවුල් බළඇණි
නැවත සියරට යවා ගන්නයි

වැසුණු කම්හල් සුසුම් දුම් රොටු
වලින් රටතොට අඳුරු වෙන්නයි
පැසුණු අදහස් දරන හදවත්
එවන් ගිනි මැද දැවී යන්නයි

පල්ලි පන්සල් එතෙර බළ මුළු
එක්ව මහ රජු කොන් කරන්නයි
කැරලි මතයට නොනැමෙනා බස්
කාර් දේපළ ගිනි තියන්නයි

බලන් සිරිලක වටේ කැරකෙන
ඒරොප්පෙ ඒජන්ත රෑනයි
වහන් වී රජතුමා සිටියත්
අසුබ පෙරමග ලකුණු මෝරයි
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2022 ජුනි කලාපය

අපි නොදන්න, සමනලීගේ කැරැට්ටුව

මල් පැණි මිසක නොගනි කොල සුඹුලු දළු
යන-එන ගමන් අහසේ, තටු සුමුදු සළු
ඈ නෙත් ගැටෙයි ගාටනු දලඹුවෙක් කළු
හකුලා ගනි දෑසම තුරු, පතර බැළු

හොඳටම කිලිටි ගොරහැඩි වස්තර අඳින
ගස් පොතු ලෑටි ගා පනුවෙක් මෙන් ඇදෙන
මේ කැත සතා දැකුමත් අපුලයි නෙතින
කාගේ කවුද තොප කිලුටෝ කිව ඉතින

තටු ඇති නිසා අහසේ සිත්සේ සරණ
ඇති හැකි නිසා මල් පැණි පමනක් බුදින
ඉපදුන දාම අත්තටු ලැබුනයි සිතන
අක්කේ දලඹු මලයා මම බඩගාන

උඹත් මා වගේමයි පොඩි කාලේ දළඹුවෙක්
මොන පැණිද ,ඒ කාලෙ උඹෙ කටෙත් හප විටක්
සමණොළේ යනවාළු වටකරන් තව ගොඩක්
උන්න හැටි මකා දා කරන පිං නෑ පලක්
View Poem

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2022 ජුනි කලාපය

අලුත් මලක් පිබිදෙන්නට කාලයයි

හිත පුරා ගිනි සමග කුසගිනි
මග දෙපස ගිනි පුළිගු ඇවිලුනි
නිවාලන්න නැගුණු ඒ ගිණි
ගිණි පෙනෙළි ගෙන සැණින් සැරසුණි

නිදා සිටිවුන් සෙමින් පිබිදුණි
අලුත් ලොවකට මගක් සොයමිනි
ඉරක් නොමැතිව අහස තනිවුනි
රුදුරු අදුරට සැවොම කොටුවුනි

සදක් වීත් ලොව එලිය කරනට
තරුත් සැනෙකින් නැගුණි අහසට
හඩක් නැගුවත් එයත් කුලියට
කරුවලත් එක් වුනා අදුරට

පිපෙන්නට පෙර කැකුළු මල් පෙති
දියව ගොස් ඇත ඉතිරි වී ඉති
උපද්දනට යළිත් මල් පෙති
හිතන්න ට තව බොහෝ දේ ඇති
View Poem

සපුමල් බන්ඩාර - ලන්ඩනය

2022 ජුනි කලාපය

ලංකාවට සරිලන බණ - සපුමල් බන්ඩාර

සොඳුරු අඔ ගස් සිසිලේ
අහිංසා දහම පෙරමුණේ
කියා දෙනුවස් උතුම් බුදුගුනේ
මිහිඳු හිමි ලක්දිවට වැඩියේ

ඔබතුම කියදුන් උතුම්වු දහමේ
සෑම අංගද තවද සපිරුනේ
එනමුදු අපගේ මිහිඳු හිමියනේ
ලංකාවටනම් එය තාම නොවහැටුනේ

එකා පරයා අනෙකා යන්නේ
හොර පාරෙන් වැඩ කරගනු රිසිවේ
පක්ෂ පාට ගැන හරි උගතුන් වේ
එනමුදු හරියට වැඩ නොකරන්නේ

වඩිනුමැනේ නැවතත් ලක්බිම වෙත
දෙසනුමැනේ සරිලන බණ ලක්දීපෙට
එකතුවෙලා සවියෙන් වැඩකෙරුමට
මුවාටවත් ඇති නුවණ ලැබෙන්නට
View Poem

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

2022 ජුනි කලාපය

යථාර්තය...!

ජීවිතය හරි කොටයි

ආ මගම මට හැඩයි

අත් දැකුම් පරතෙරයි

උගත් පාඩම් ගොඩයි

ගිරි දුර්ග , කටු අකුල්, මිහිරක්ව තනි රකියි

දිනෙන් දින විචිත්‍රයි

චිත්ත සුව මහමෙරයි

ඇතැම් විට හිත බරයි

කඳුළු කැට බර වැඩියි

අනිකාගෙ සපත්තුව මං දැම්ම වලංගුයි

තත්පරද කප්පරයි

කප්පරම හිත තුටුයි

හිත දැවුණු තැන් සුවයි

අත දුන්නු අත් ගොඩයි

හොඳ හිතින් එක හිතින් මගෙ හිතේ විතරමයි

වැඩ කලොත් හිතින්මයි

කතාබහ කෙලින්මයි

වගකීම උපරිමයි

මුසාබස් නම් නැතෙයි

යටි හිතත් උඩු හිතත් හැමදාම එකක්මයි

වැඩි හරිය අනුන්ටයි

නිනව් නැති තමන්වයි

කිසිත් නැති පොරොත්තුයි

හිතින් මං අනන්තයි

අත දුන්නු කාටවත් මතකදැයි හරි සැකයි

26/05/22
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2022 ජුනි කලාපය

ස්වර්ණා කහවිට සමු ගත්තාය

හැටේ හා හැත්තෑවේ දශකයේ
ස්වර්ණ යුගයක අසිරි විහිදුනු
සිහළ සිනමා අසපුවට ආ..
යවුවනිය මුල් වරට
"වෙසතුරු සිරිත" තුළ
සුළු චරිතයක් හා
පසු ගමන් ගිය එවක තරු මැද
වරෙක සුපහන් පුරසඳක් සේ
ස්වර්ණා කහවිට නමින් වූ
සොඳුරු රංගන වේදිණිය අද
කාලයක් අසනීපයෙන් සිට
තිර 'ඹරෙන් සමුගෙන ගියා නොවැ
රංග ප්‍රතිබා ප්‍රබා විහිදා

'බිනරමලි' යේ බිනරමලි සේ
සුවහසක් සිත් සනසවාලූ
විරල ලාලිත මධුර රැගුමට
ඔබ ලැබූයේ හොදම නිලියට
උරුම සම්මානය එදා
ඉදිරි ගමනට බල ලබා

පනස් වසරක දුරාතීතයෙ
අර්ධ ශතකයකට ළගාවු
ඔබේ රංගන සොඳුරු දිවියේ
තැබූ සටහන් ලියැවිලා ඇත
සිහළ සිනමා තිරපතේ
'රහස් දූපත' , 'සිරිල් මල්ලී'
'අබිරහස' හා 'දයාබර නිලු'
'රෑන ගිරවු' න් සමග ඔබ බැදි
නැගී 'රන් ඔන්චිලි' දිගේ
ගිය අතීතය මතකයේ ඇත
තවත් කල් සහසක් පුරා


2022.05.27
View Poem

Sanjaya Priyadarshana Udugampola

2022 ජුනි කලාපය

Horseman and Altar

A long way to altar now
fairly unfair walk of distance
Mares are like that
“Be fair and my best”
She nodded and didn’t believe me
she eloped with my shadow
Unpredictable sun dwindles his shines
Moon half way wakes bobbing out
much more difficult faculty to visit there
but it’s smiling, my aim
wouldn’t she be a mirage?
I see my aim ambiguously,
the altar, in my sweet dreams
it would be a long way walk now
a lonely night and day walk
under the scorching sun and sullen moon
Surely a long way
View Poem

ශෂික සදීප් දකුණු කොරියාව

2022 ජුනි කලාපය

යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත - කන්ථක

යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත - කන්ථක
කියන උන්ට මේ තමයි උත්තර

කන්ථක වගේ යශොදරත්
පලා ගත්තා නන් හදවත,,,,
සිදුහත් හැරෙනවා මිසක්
යයිද බං
නේරංජනාවෙන් එතෙරට,,,,

ඔව්,,
පිරිමි හැමදාම
ඉපදුනා,දැඩි උනා,රජ උනා,බුදු උනා
ඇයි දන්නවද?

හෙන ගැහුවත්
ගෑනු අඬ අඬ
හැමදේම දරාගත් හින්දම,,,,
View Poem

Sinelya Fernando New Ash Green Primary School. Year 4

2022 ජුනි කලාපය

Bright Blue Love

You can love everybody
Nature can be love
You can be loved by your family
Have so much excitement from love
Even though you love yourself
You can love God, Jesus, Mary and Buddha
The sky has Bright Blue Love..

New Ash Green Primary School - London
Year 3
View Poem

තුෂාරි ජයසිංහ මහනුවර

2022 ජුනි කලාපය

එයා තෝරපු කවිය.

තිස් පහක් කවි තිබූ
පොත අස්සෙ
එයාගෙ හිත ගියෙ
නන්දෙ ඩ්‍රයිවර්ගෙ කවියට
එතනදිම හිතුනා මට
මම අවලංගු කාසියක් බව
මිය ගියත් බිරිඳ
නන්දෙටඇහුණෙ
ඒ ඇගේ කටහඬ
මල් පිපෙන වෙලාවට
පැතුම් පොදි පිදුවට
හැමදාම මල් පරවෙන
කණිසමට
හැංගිලා යනව එයත්
හිරු වගේම
ඉතින් මම වැටෙනවා
නැංගුරමක් නැති
නැවක් ගානට
වෙන මොනව කරන්නද
අඳුරු මඩ තුල
ගිලී යනු මිස
ගඟේ ගහගෙන යනකොට
ප්‍රේමය....................
View Poem

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2022 ජුනි කලාපය

නෞකාවක ස්නේහය

ඇද හැලෙන සීතලම - වැහි කෝඩයෙන් තෙමෙන
වියරු වූ සයුරු තෙර - චණ්ඩ රළ පෙරළවන
අසරණ ව සයුර මැද - සෝකයෙන් සුසුම් ළන
නැංගුරම ගිලිහි ගිය - නැවක් විය පාව යන

පුංචි නැව අඳුරේම පා විය
පහන් ටැඹ බෝ දුර ඈත විය
ටැඹට නැව් රුව පෙනෙන්නට විය
නැවේ දුක දැක දෙනෙත තෙත් විය

එළිය ලබනට වරම් ඇති මුත්
ටැඹෙහි අයිතිය නොමැති බව දත්
එහෙත් යන්නට දමා නැති සිත්
නිසා නැව මහ සයුර සිප ගත්
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 ජුනි කලාපය

ලක් මව රකිමු අදරින්

රට රකිනා අයගෙ කිසි ගුණයක් නැත්තේ
තම තම දියුණුවයි නිති සලකනු ඇත්තේ
ඒ ගැන සිතන විට කෝපය එයි සත්තේ
එනමුත් ඉවසගෙන සිත රැකගත යුත්තේ

සම්බුදු සමිඳු දෙසු දම්පද සුරැඳි රට
කරුණා ගුණෙන් පිරි මිනිසුන් විසුව රට
උන් උන් මරා ගන්නේ ඇයි කියනු මට
සන්සුන් සිතින් කන් දෙනු දම් පදයකට

නපුරු දුදන සිතිවිලි නිති සිතෙහි දරා
මසුරු කමින් ධන රැස්කර දිවිය පුරා
මහරු රජකු ලෙස විසුවද බලය දරා
වැපිරු දෙයට ඵල හිමිවෙයි සසර පුරා

දුරුවී වසංගත අනතුරු සතුරු විපත්
නැවතී ලැබෙන ලෙස සැමටම සියලු සැපත්
ඇතිවී සතුට සැනසුම ජය සමඟ තොසත්
පවතීවා රටම සුරැකී අදත් හෙටත්

එක එක පැතිවලට බෙදිලා වාද කොට
දැක දැක වැටෙයි සිටි තැනිනුත් පහළකට
එක දෙක හැරදමා ඉසිකෝ මාන කැට
ලක රැක තබමු හෙට උපදින දරුවනට

අම්මා තරම් කිසිවෙකු නැත දරුවෙකුට
සම්මා සමිඳු අම්මා විය සැම දෙනට
නම්මා සිතම නිසි උත්තම දහමකට
අම්මා විලස රැක ගමු අපි ඉපැදි රට

ජීවය අපට දෙන්නේ අපෙ අම්මාය
ලොවටම මවක් වූයේ බුදු සම්මාය
අම්මා ලෙසට රැකගත යුතු පෙම්මාය
ජීවය සැමට දෙන අපෙ ලක් අම්මාය

කරුණා ගුණ නොමැති දුර්ජන දුම්මාය
මව මෙන් ලක් මවද දුකකට දැම්මාය
දැන්වත් ඒ කරුණ දැන සිත නම්මාය
මව් දෙදෙනාම රක්නට වෙහෙසෙම්මාය

රටකට ඇති අනගි වස්තුව මිනිසාය
හැකි හැම ලෙසින් සුරැකිය යුතු එනිසාය
අනුවණ දනන් යුතු දුබලැති මනසාය
ඒ බැව් නොදැන නෙක මිනිසුන් වනසාය

මුතු මැණික් රන් රිදී හා ඉඩකඩම් වාහන ගෙවල් මැද්දේ
මිනිස් ජීවිත තරම් වටිනා කිසිත් නැත ලෝ තලය මැද්දේ
සිතට ගෙන මේ කරුණ සැමදෙන ඉවත දා බොරු පිරුණ සද්දේ
අතට ගෙන ඔසු, කෑම බීමද කරමු අපි දිවි රකින යුද්දේ

දහස් ගණනින් මිනිස් ජීවත නැසෙන සැටි දැක දිනෙන් දින
යුද ගැටුම් වල කුමන්ත්‍රණ වල යෙදෙති මිනිසුන් ලොව තැනින් තැන
අහෝ දෙවියනි දිවැස යොමුකර බලා මේ අසරණ දනන් ගැන
රකිනු මැන ඔබ සැමට එය ලොකු පිනකි සැපයට කිම වෙනින් පින
View Poem

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

2022 ජුනි කලාපය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

ලකළ පුළුලුකුලැ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සළඹ රැව් දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූ සිරි සියල්ලා

ඉතා ලස්සන වූ පළල් උකුළෙහි බඳිනා ලද මිනි මෙවුල්දම
සමඟ රන් සළඹ සොළවා නාද කරවා, වයන බෙර පදයට
අනුව පා පියුම් තබමින් නටන්නා වූ ළඳුන් ගේ සියළු රූ සපුව
බලන්න
View Poem

තුසිතා සුරේකා මීගමුව

2022 ජුනි කලාපය

අරගලයට පනස් දවසයි.

එදා වගෙ මට අදත් මතකයි
දැනුන දා උබ කුසට ආ වග.
කප්පරක් හිත හිතා ඒ ගැන
සැරසුනා පිලිගන්න උබ මම

හොය හොයා හොද දේම කලලෙට
සුරුවමින් උබ හැදුව කුස තුල
වරක් නොව සිය දහස් වර මම
හිතුව උබගේ ඉදිරි කල ගැන

සා පෙළට උබ වාඩි වෙනකොට
උසස් පෙළ උබ සමත් වෙනකොට
යුනිවර්සිටියේ දොර ඇරෙනකොට
මටම රහසින් ඇඩුව සතුටට

සීරුනොත් වැටුනොත් එදා උබ
රිදුනෙ උබටත් වඩා අම්මට
උබට ඉස්සුන බැටන් පොලු වල
මගෙ කතිරෙ සලකුනක් තිබුනද

මා නොදුටු අසමානතාවය
උබේ සිරසට හොදින් පෙනුනද
අරගලේ මැද පනස් දවසක්
උබේ හඩ නොවෙනස්ව ඇත තව.

කට්ට අව්වට, මහා වැස්සට
සාරි පොටකින් වහන් කල හිස
ගාලු මුවදොර පිට්ටනිය මැද
මහා වැස්සෙත් දුටුව නොවැ මම

නොදැනෙන්න හීතලක් අලුයම
ලයට තද කර දුන්නු උනුසුම
ආදරයෙ අරගලයෙ දොරකඩ
හීතලේ ගැහෙනව ගැටුන ඇස.

නුබට දැන් විසි පහක් අවුරුදු
පස් වතාවක් කතිරෙ ගැහු මම
උබගෙ ජූරියෙ වරද කාරිය
පෝරකය මිස දඩුවමක් නැත.
View Poem

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

2022 ජුනි කලාපය

මහලු වයසේ

මහලු වයසේ
වීණාව මුල්ලක
මකු‍ළු දැල් පොරොව ගෙන
හිත මිතුරු පොත් පත්
දූලි හා පුස් බැඳුණ
රස විඳිති කාවෝ
ඇවිදින්න වත් යමු ද
හන්තාන අතවනයි
කෙසේ එන්නද තනිව
වාරුවට නැත කෙනෙක්
කියමුද සින්දුවක්
කුරුල්ලෙක් අඬගසයි
තාල තනු රිද්ම
සියල්ලම මැකීගොස් මා හදේ
කෙසේ ගයමුද දැන් ?
භාවනාවක් කළොත් ?
කුඩා කාලෙ කට පාඩම්
ධමම්පදේ සතිපට්ඨානේ
මිතුරන් මෙන් මා හැර ගොස්
බලමින් ම දෙසම මතුරමි
අනිච්චං දුක්ඛං
View Poem

විල්සන් හෑගොඩ

2022 ජුනි කලාපය

ලන්ඩන් බස් සේවය

ලන්ඩන් නගරයේ බස් පිලිබඳ සේවේ
මැනවින් කෙරෙනු දුටු මුවඟට තුති ගෑවේ
සිත් බැඳ තබන පිරිසිදු බව සහ ජීවේ
කොතරම් හොඳද? යනු එක් වරටම සීවේ

සැතපුම් පහළොවක් ලන්ඩන් නුවර සිට
ඇත මා දැනට මෙහි නැවතී සිටින ගෙට
බස් සේවය නිසා ඒ මහ නගරයට
පැය තුන් කාලකින් පැමිණිය හැකිය මට

යන විට රියෙහි සිඹහල මෙනි වෙහෙස ඇඟේ
අසුනෙහි මොලොක් බව පැද්දී ඉහළ නැඟේ
දුහුවිලි බිඳක් නැත පිරිසිදු කමක අගේ
කවුළුව පිට පෙනෙයි වීදුරු නැතිව වගේ

නම් ගම් ලියා හෝ පිටුපස අසුන මතේ
නියපොතු ඉරක් ගෑවී ගිය තැනක නැතේ
මෙහි බස් සමඟ සසඳන විට සියලු අතේ
ලංගම අපේ බස් කුණු බක්කියයි සිතේ

අන්තිම විනීතය ගති සේවක යන්නේ
ගණනට වඩා නැහැ එකෙකුදු ගෙන යන්නේ
නිලැඳුම් දැමූ කොන්දොස්තර වරියන්නේ
කරුණාබර දෙනෙත් ළය විනිවිද යන්නේ

හය දෙනෙකුට තිබේ බස්රිය තුළෙහි ඉඩ
යනුවෙන් ඇසෙයි කොන්දොස්තර ලියගෙ හඬ
ගොඩවෙති හය දෙනෙක් පෝලිම නොකොට කඩ
කිසිවෙක් නොයති එල්ලී පා පුවරු උඩ

පෝලිම කඩා දිවයන කිසි කෙනෙකු නැත
අසුනේ හිඳින විට දැඟලිලි බිඳක් නැත
නිහඬව සිටිනු මිස දොඩමලු බවක් නැත
දුම්කොළ පිලිස්සී මතු වන ගඳක් නැත

හැසිරෙන අයුරු බස් පෝලිම අතර වැටී
බසයට නඟින හැටි බසයෙන් බසින හැටී
ලක් වැසියනට මෙහි මිනිසුන් අතර ගැටී
පෙන්වා දෙන්න හැකිනම් එය බොහොම වටී

ලන්ඩනයේ දී - 1964
View Poem