ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යළි බිහිවනු මැන

යළි බිහිවනු මැන

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-June

ජාති ආගම් පක්ෂ භේදයෙන් උමතු සත් වග වෙසෙන
බොරුවෙන් හොරකමෙන් මුලාවෙන් නිරන්තරයෙන් පිරුන
සුවහසක් අසරණ දනන්ගේ දුක් සුසුම් මහ වැසි වසින
ගිනි ගත් දිවයිනකි බෙංගාල බොක්කේ අවපාත සුළි නැගෙන

කුසට අහරක් නැතුව කිළුටු ඇඳ අඳුරු අගුපිල ලගින
කඳුළු ඩාදිය හලන දෙවියන් වඩමවා යළි දෙවොල වෙත
හිඳුවා පූජාසනේ පළඳවා දිවසළු දෙව්බරණ හැම
ඉන්දීය සාගරේ මුතුඇටය කරන්නේ කවදාද මේ රට

බව සසර පුරා අප විඳින ඒ සොඳුරුතම වදන් පෙළ
ආදරය ප්‍රේමය මිනිස්බව වැළලී යන්ට පෙරාතුව
උත්තරීතර මිනිස් ගුණ වගාකොට මනුසතුන් සිත් තුල
ඉන්දීය සාගරයෙ මුතුඇටය කරන්නේ කවදාද මේ රට

මෛත්‍රී බෝසතුනි කඩිනමින් පහළවී සත් පියුම් පිට
ජේසුස් ක්‍රිස්තූනි දිවි පුදා හෝ යළි රළු කුරුස මත
නබී මොහමත්තුමනි යළි ඇවිත් බලා මේ දුක් හැම
ඉන්දීය සාගරේ දෙව්ලොවක් කළ මැනැවි මේ පුංචි දිවයින