ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවි බණක්

කවි බණක්

මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර - කොළඹ
2022-June

කවි බණක්
පොත: අත් වැලක අස්වැසුම – ජගත් ප්‍රේමචන්ද්‍ර

වස්සාන කාලයේ බෝ මළුවෙ තැන්පත්ව
පින් කරන හැන්දෑව අද හරිම පාළුවෙන්

පොඩි නමගෙ මුදු හඬින් කවි බණක් අහගන්න
උපාසක අම්මලා පිරූ පින් අහවරද?

දරු සෙනෙහෙ එකතුකර දොහොත් මුදුනේ තබා
පිදූ රස කැවිලි කිරි-දත් පෙළට මදි වීද?

බෝධියේ අතු තුඩින් ඇදී එල්ලී දිගට
පිරිත් නූලක් හඬයි සරුංගලයක් සිහිව

ලොකු හාමුදුරුවන් බෝ මළුවෙ අසුන් ගෙන
රහල් හිමි ගුණ වනා බුදු බණක් කියයි අද

ආවාස ගේ ඇතුළෙ සාමණේරයන්ගේ
පාන්දර නිදි කිරන බණ දහම් පොත නිදයි

ඒ මතින් අසුන් ගත් පොඩි නමගෙ වටාපත
කවි කොළය අත දරා කවි බණක් කියනවා

“බුදු වෙන්නට සිහිල් හෙවනක් පිදු හින්දා
බුදු නෙත් සිහිල සතියක් බෝ රුක වින්දා
පෙව් කිරි තිසා වැව් දියටත් වැඩි හින්දා”
අම්මේ මම කොහොම ණය ගෙවමිද මන්දා”