ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමයේ සිහිනයක්

ප්‍රේමයේ සිහිනයක්

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-June

සැඳෑ සමය ලඟා වෙනව හිරු කිරණද සිසිල් වෙමින්
එසැන නැගෙන අඳුර සමග සිත කිතිලයි සිනාසෙමින්
පසුකල දින කිහිපයේම සැඳෑව දෙන මේ සතුටින්
නිදි දෙව් දුව ළඟා වෙලා සයනෙට යමි කාන්දමෙන්

හෝරා දින වසර වෙලා ගෙවී ගියත් මහට හොරෙන්
ඇය මල් දම් රැගෙන එනව මසිත අවුළුවා දමමින්
පෙම් ගිණි මැද වස බඳුනත් එකල ගියත් ඉහට උඩින්
මේ මල්දම් නුඹේ සිනා මා විකසිත කරයි කැළුම්

නුඹෙ කෙහෙ රැලි සුළඟේ යන විලාසිතා දුටු එසැනින්
මා ඉගිලී ඉගිලී යයි වලා රොදක ගෙල සිඹිමින්
කිසිදා තී වත නැවතත් සිඹින සිහින නොම දුටුයෙන්
කෙළෙස නුඹේ රුව මසිතේ ඇඳී මහද සසලවමින්

තාරකාව ඈත දිළුන මසිත සැඳැවක ඇමිණී
පාව ගියා කිසිම දිනෙක නැවත මා සිතින් නොපැතී
කිම දෙනුවණ හැර මා ලය පාරවලා ගියෙ නොපෙනී
මා සයනේ තනිව වැතිර අඳුරේ නුඹ වැළඳ ගනී