2025 අගෝස්තු කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2025 අගෝස්තු කලාපය

නෙක විසිතුරු ජාති ජම්ම හැදිල්ලේ ඉගිලෙති අප බොහෝ දෙනෙක් නිදැල්ලේ සුරන් සිඹිති මන්දාකිණි ගඟුල්ලේ රැහැන් කැඩුව හොත් පොළොවට ඇසිල්ලේ

– අනුර
මේ සරුන්ගල් මාසයයි…

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

SLMDA විවෘත කවි රචනා තරඟය 2025

වැඩි විස්තර

වේදනාව

වේදනාව

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සඳ නැග එද්දි සැන්දෑවට පැල් පතට

මඳ අඳුරේ සිහින දුටුවා ඇගෙ රුවට

බෝ කල් ගතව ඇය ගිය පසු නගරයට

මුළු ගම අඳුරු වී යැයි සිතෙනවා මට

පුන් සඳ පවා වසමින් නැඟේ කළු වලා

පන්සල දෙසට යන විට එයි මතක ගලා

ඇය ළඟ ඉඳන් බෝධිය යට සිනහ සළා

ගිය හැටි සිහිවෙද්දි එනවා කඳුලු ගලා

පංතියෙ දිනපතා උදයේ හමු වීලා

කළ කී කතා නිම නැත එයි සිතට ගලා

ගුරු තුමියගේ අවවාද ද ඉවත හෙලා

ඔබ කී වදන් සිහිවී යයි කඳුලු ගලා

මා තනි කරල ඔබ අද හොර රහසේම

කෙළසා ආදරය යන ඒ සොඳුරු දම

යන ගමනට පතා සුබ මා ගම මැදම

හිනැහෙන ඔවුන් වෙත කරනෙමි සමුදීම

Photo Credit;Gwyn Hay

කවිය බලන්න
පාළු පාර

පාළු පාර

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සිහින අතුරපු පාළු පාරක
නුඹම පමණක් දැකපු කාලෙක
විසල් ලොව නැවතුණා යාරෙක
පැටලුණා හදවතම ප්‍රේමෙක

මල් සිනිඳු නොවුනාම වාරෙක
තනිවුණා අපි නොගිය පාරක
පිල් බෙදා රඟපාපු කාලෙක
ඇතිවුණා ළං වෙන්න බාධක

පටලමින් හිත් සිනහ යායක
යාර හය දැවටුවේ සීලෙක
වැරදුණේ මග මහ දවාලක
හමුවෙමු ද යළි පාළු පාරක

කවිය බලන්න
ගඟක් පසුතැවෙයි

ගඟක් පසුතැවෙයි

ආරියරත්න ජයසිංහ මහරගම

සියක් ගව් දුරුමඟ ගෙවාගෙන
ගලා විත් වන වදුලු අතරින
කඳු අතර දියඇලිද මවමින
හැපී ගල්පර සිනා නඟමින

සුපිපි තුරුහිස් මලින් ගැවසුන
අතර කෙත්වතු පලින් බරවුන
ගොවීන් ඩාදිය සුවඳ විඳිමින
ගමනකි මහ සයුර වෙත යන

වැදුනු පසු මහ මුහුදු ඇකයෙහි
ලවණ රස පිරි කටුක කර්කශ
පසුතැවෙමි ගමනාන්තය ගැන
ගමන් මඟ විඳි සුවඳ සිහිකර

කවිය බලන්න
රෝග දුක් බිය ඉගිලයත්වා ...සෙත් කවි ...........

රෝග දුක් බිය ඉගිලයත්වා ...සෙත් කවි ...........

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

යුද්ධ කරනට ආව බිම්බර සෙනඟ පලවා හරිමිනා...
සිද්ධ මුණිඳුන් එදා බෝමුල බුදුබවට පත් බලයෙනා...
වැද්ද ඇතිමේ වදුරු උවදුරු වසංගත සැම දුරුවෙනා..
සුද්ධ ගෞතම සමිඳු බලයෙන් සියළු සතහට සෙතදෙනා..

ඝෝර සසරේ සොලොස් කප් ලක්ෂයක් පිරුදම් කුළුනිනා..
සාර සංඛය පෙරුම් පුරමින් ගත්තෙ විවරණ බැතියෙනා..
මාර සෙන් බිඳ දෙව් මිනිස් හට දෙසූ දම් කඳ සතොසිනා..
ධීර මාහිමි උතුම් සමිඳුගෙ ගුණෙන් පිරිපත දුරුවෙනා....

යාග හෝමද බලි තොවිල් වල මුලින් මුණිබල කියැවුනේ...
දෙව් බඹුන් හා යකුන් යකිනන් එමුණි ගුණයට පැහැදුනේ..
ඇස්ද හිස් මස් ලේද දන්දී ලැබුව සම්බුදු බලයෙනේ..
රෝග දුක් බිය ඉගිලයත්වා තුන් ලොවට සුව දෙවමිනේ..

කවිය බලන්න
නිකිණි මහේ පසළොස්වක පුරපෝයදිනේ

නිකිණි මහේ පසළොස්වක පුරපෝයදිනේ

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

දුටුවා නිකිණි සඳ මේවන් සිරි පෙරදිනේ.........

සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ

රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ

අපහසු නිසා කරනට බණදම් රිසිසේ

එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ

පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ

මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල

පසුවස් වසන්නට පොහොදින විසුල

නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ

ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ

තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ

ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ

වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ

දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි

මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි

ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි

නිකිණි පෝයදා මහ ආනන්ද හිමි

ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්

තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන්

මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්

නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින්

සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර

එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර

ඇසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර

ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර

කවිය බලන්න
අමතක නැති රුහුණේ මතක ....

අමතක නැති රුහුණේ මතක ....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

රුහුණටම විහිදෙනා තරු ඇස්
වැල්ල මඩමට එන යන හිරු රැස්
එකතු කලාම මළු වලට හතරැස්
රුහුණු මතකය මුද්දකි පේරැස්

මුසු උනා කරදියත් වතුරේ
දළ රලත් සිපගතිය සයුරේ
හොර හොරෙන් බැලුවත් මිතුරේ
ඒ මතක යනවාද අතුරේ

ටයර් සෑ මත මිළිනවූ මිතුරන්
පණඋනත් දෙන යහගුණැති සොයුරන්
ආදරය හද පුරා දුන් කෙල්ලන්
තැනුවාලු යස පිරිසක් මිණිවන්

කවිය බලන්න
නොගැයූ  ගීතය

නොගැයූ ගීතය

බන්දුල කුරුවිටආරච්චි

ඔබෙ සුවඳ පන්හිඳකට කවා
සුභ සිහින පත් ඉරු මත ලියා
තතන තතනා සෙමින් මිමිනූ
නොගැයූ ගීතය ගයන්නම්

නිසි කාලයට ඉඩ කඩ තියා
නෙත් රිදි රිදී හැල්මේ යවා
අරුත් සහසක් හදෙහි තෙරපූ
නොපැතූ ගීතය ගයන්නම්

දෙහද දුර දිග මැන බලා.
මම මටම බලකරමින් අසා.
බලාසිටි කාලයත් ඇති දැන්
නොසිතූ ගීතය ගයන්නම්.

පෙම් සිතැඟි මුදු සංසර්ගයේ
ඔබෙ නමට ගැබ් ගත් පදවැලේ
ව්ළි රුදා විඳි සත් ස්වර මත
නොනිමි ගීතය ගයන්නම්.

කවිය බලන්න
මවුනි සෙනෙහෙබර

මවුනි සෙනෙහෙබර

එච්.පී චමින්ද ජයවර්ධන

ඉහ ඉද්දර හිඳ..
දිගු මුදු අතැඟිලි....
කෙහෙ රොද අස්සේ..
කල මුදු සිත්තම් ...
තවත් දැනෙනවා ..
මගෙ සුදු අම්මේ...
දඟ කල ගුටි කෑ ..
අතීතයේ රුදු මතකය අතරින් ...

විසිරී සී කඩ..
පැතු අප පැතුමන් ..
කොහේ කොතැන..
කොහොමද රැඳුණේ...
මා හැරදා ගිය..
මතකයි දවසත් ..
මැරෙනව හැම මොහොතක් ගානේ....

දයාබරයි නුඹ ..
අදත් මගේ ලඟ...
දැනෙනව මට හීනෙන් වාගේ.....
එන්නද දවසක..
තුරුළේ ඉන්නට...
අම්මේ මං ලොකු පුතු නුඹගේ....

- චමී -

Photo Credit; Shoeib Abolhassani

කවිය බලන්න

"තුන් පත් රෑන"

චමිලා නවගත්තේගම ලන්ඩනය

පියකර සොදින ඇත් පරපුර සිරි පුරණ
සිහිකර දෙමින් තුන් පත් රෑනක අරුණ
මැදිකර ගියේ මව ලොකු දුව වග දරණ
පුදකර ගනියි පුතු ඔවුනගෙ රැක වරණ

දුක සහ ගැහැට විද හැම මවගෙ කරුණ
රැක ගනු පිනිස තම දරුවන් රජ කරණ
නෙක මල් සොයා යන නාරජු නෑ හොයන
⁣එක තම දුවත් ඇති මවකට පිලි සරණ

අලි ඇතු වුනත් පිට සක්වල දුව යන විටින
දිලි දිලි පෑයු තරු සේරම බිම ඇද වැටුන
දැලි කුණු කකා දරුවන් රැක දිවි මන් සොයන
ඇලි ගැලි ඉන්නේ අම්මා මිස හව් හරන

කවිය බලන්න
නියංසාය,

නියංසාය,

චමින්ද ලියනගේ බලංගොඩ

වසන්තයත් ගෙවී යදිදි
ගහත් වැලත් වරා පුෂ්ප
ගිමන් කලයි ඇවිත් ඇත්තෙ
දියත් සිඳී ගිහින් ආයෙ,

නොවැස්සොතින් යළිත් දැම්ම
විනාශ වෙයි තැනූ හේන
කෙතත් කෙසේ බතක් දෙද්ද
දැනෙයි ටිකක් මෙදා කන්නෙ,

අතේ මිටේ කොහේ සල්ලි
ණයත් තියේ කලින් ගත්තු
ගියොත් දුරක් නියංසාය
අමාරුකම් තවත් එ්වි,

ඉඩෝරයේ සැරත් එක්ක
මැකෙයි ගමේ පලා පාට
පැලින් පැලට උදේ රෑට
පහන් තියා යදියි වැස්ස,

Photo Credit: Ahmet Yüksek

කවිය බලන්න
කවියක් හෙම නොවේ කොහොමවත් ම...............

කවියක් හෙම නොවේ කොහොමවත් ම...............

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

වැඩිවෙන ජීවන මිළ
නැඟ ගිය පසු අහස් උසට
ඉඳ හිට එක භාණ්ඩෙකට
අඩුකළාම සොච්චමක්
ඒකත්
අලියට දිවුලක් වගෙ උනත්
පායනා පෑයිල්ලේ සැරට
ඉඳ හිට වැටෙන මේ
අක් වැස්සත්
හීංවට ගේනවා පුංචි සුවයක්
දොර රෙද්ද අතරින්
සිනාසෙන ගැමි මනාළිය සේ
මිඳුළේ තුරුපත් සෙමින්
සිනාසෙන දෙස බලමි.

අනේ එපා මහා වැසි
පොළොව පුපුරණ පෑයිලී
ටිකෙන් ටික වැහැපන්
ගහ කොළ සිනා සෙන්නට
බදු බරද අඩුවෙයන්
මිනිස් සිත් පිරී
රටද සරුවී
වැස්සෙන් අව්වෙන් මේ
මහීකතගෙන් වැඩක් අරගෙන.
එදාට දහසක් මල් පිපේවි
දෙපයින් මිනිසුන් නැගිටීවී
අසාධාරණේ තිරකඩ වැසී
දෑකැති මිටි සිනා සේවී.

කවිය බලන්න
කවියයි ගීයයි,

කවියයි ගීයයි,

චමින්ද ලියනගේ බලංගොඩ

කවියක් ගීයක හැඩ තල දාලා
පනිහිඳ රුන්දුව රස පද මාලා
සත්සර ගන්වා ගයනා ලීලා
නන් රස කැන්දයි අසිරිය පාලා,

සිත රැඳි සිතුවම් උස්කොට අන්දන
කෝමල රේකා තත් මත ඉන්දන
විරිතෙන් විරිතට මදු රස කැන්දන
කවියෙන් ගීයක රඳවයි වින්දන,

පෙර කල කවියන් මුනි ගුණ විසිරුව
මග හිඳ ගීයට රස පද ඇසුරුව
පද වැල් මෙත්තා ගුණයෙන් මිතුරුව
සිත් මත මැව් හැටි කදිමයි බුදුරුව,

බැරි බර උහුලන දිවි මග කතරේ
සුවඳින් සරසන කවි වැල් අතරේ
ගීයට මුහු කළ ලියවිලි නිතොරේ
සුසුමන් හස කැන් සමවම විසිරේ,

බළන්ගොඩ,

Photo credit; Nathan Hurst

කවිය බලන්න
නුඹ

නුඹ

පී.ජී. චතුෂි බුද්ධිකා ප්‍රේමසිරි

පාන් වෙන්නට පෙර ම මැදියම
රැයත් රහසින් නිදන වරුවක්
වාන් දමනා වචන ඔක්කොම
ඔයා පැටලුනු තවත් කවියක්

තුරු උකුල මත හඳ නිදන සඳ
උමතු සිතුවිලි රැහැන් දහසක්
හදිස්සියෙ හමුවෙලා වෙන්වෙන
ඔයා ලස්සන හවස අහසක්

මිරිඟු ඇස්වල ගිලී මියැදෙන
මම සසංවර පුංචි මෙරුවෙක්
ක්ෂිතිජ රේඛා අතර බොඳ උන
ඔයා හරි උස පහන් කණුවක්

කවිය බලන්න
ඇයි මෙලෙස

ඇයි මෙලෙස

මොහන්දිරම් දයාරත්න බලංගොඩ

සමහර තැනක මනුසත ලෙස බඩජාර
ගති ඇති වෙලාදෝ ගමනක අවිචාර
රුති කරවමින අදහස් නිති පව්කාර
සිතිවිලි අනුව නොපෙනෙයි හදෙ ගුණසාර

මනුසත ලෙසට රඟපෑවත් හැමදාම
හරිහැටි සිදුවෙතිද සිත පිරිසිදුවීම
කලු කුනු මත රැඳී නොමැතිව ඉවසීම
ලද හැකි නොවෙති කිසිදිනයක සැනසීම

මුඩුබිම් වලට ගොඩ ගැසෙනා මිනිස්සුම
උඩු යටිකුරු කරල සුදනගෙ පිරිස්සුම
නඩු නැති අයට කර අපහසෙ හිනැස්සුම
කඩු අත දරා ඇයි හදවත් තිගැස්සුම

කවිය බලන්න
තාත්තා

තාත්තා

දීපා ද සිල්වා ලන්ඩනය

උරහිසේ දුක
හංගන
කදුල සගවා හිනැහෙන
බැරි බරක්
නිතිව උසුලන
වසන්තය
දරුවනට කැන්දන
ආදරයට නව අරුතකි
තාත්තා

Photo Credit; Ayrus Hill

කවිය බලන්න
තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු

තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු

ධනුෂ්ක ඉඳුනිල් දික්හේනගේ ඇඹිලිපිටිය

රස ඉහුන පෙම එක්ක පෙති සුවඳ විහිදිච්ච
පිස හමන නල වික්ක පිපි කැකුළු මල පිච්ච
විස නොදැන පිනි රැක්ක උමතුවක පැටලිච්ච
ඇස මිරිඟු දිය දැක්ක හිතලුවකි සැනසිච්ච

අත්සනින් නොදුන්නට ඔප්පුවක දිවුරලා
වත්කමින් බිඳක් නැත සින්නවම පවරලා
ලත්සැනින් මිටෙන් හල රොන් රසය පුරවලා
ගෙත්තමින් එකින් එක මල් මදිර යයි පලා

පිදුව පෙම රස බලා විඳ වියරු පහසකට
තැළුව පෙති විසි කළා නුඹ මිතුරු බිඟු කැළට
පැතුව ලොව කිමිදිලා නෙළු තඹුරු පුදසුනට
පරව ගියෙ මැලවිලා වැද වගුරු දිය යටට

ඇස් පියක් ගැහෙන්නට බැරුව වෑවෙන අයුරු
හිස් පිටක් ඉරන්නට වෙතිද බාධක පවුරු
තිස් පැයක් ගෙවන්නට නුඹට ජීවය පැවරු
තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු

ඇඹිලිපිටිය

Photo Credit: Strauss Western

කවිය බලන්න
පුරවැසිභාවය

පුරවැසිභාවය

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මම ලෝක වැසියෙක්
සෞරග්‍රහ මණ්ඩලේ පෘථිවියයි නම් දරන
දාර මුළු කිසිත් නැති එකම එක ගෝලයේ
බෙදීගෙන නෙක විලස වසන එක මිනිස් වගෙ
මමත් එක මිනිසෙක්
ඇයි මෙමට ජාතියක් ආගමක් මව් බසක්
රටක පුරවැසි බවක්
මැරුණවිට ගෙනයන්නෙ මෙයින් කොයි සහතිකෙද?
එකම දෙසකින් ඇවිත් යළිත් එහෙටම ඇදෙන
ඇවිත් හිඳ ටික කලක් නික්ම යන ආ ලෙසම
බෙදීලා යුධ වදින එම දිනය ලබනතෙක්
දෙවියනේ මමත් එක මිනිසෙක්
එම මිනිස් ජාතියේ.

කවිය බලන්න
බිඳුණු ප්‍රේමය

බිඳුණු ප්‍රේමය

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

වළාකුළු මත මතක ගඟනත
තවම නිරතුරු මැවෙන හීනය
හීනියට හිත් රිඳුම් මතුකර
මතක් නොම කර ගැයෙන ගීතය
සුවඳ සේපාලිකා වක් මෙන්
අතැර නොමයන ප්‍රථම ප්‍රේමය

බැඳුණු දා හිරි වැටුණු හදවත
තවම එහෙමම නොවෙද සදවත
බිඳුණු දා පෙම හැඩූ තරමම
තවම නිහඬව හඩමි හිතවත

කැබලි වී ගිය බඳුන පෙර ලෙස
පිරියමින් කල නොහැකි මුත් නිම
හැඩය ඒ මෘදු සදා සුරැකිව
රැදී ඇත හද විලස සිත්තම

යළිත් අප මුණගැසෙයි දිනයක
යනෙන විට හෝ මගතොටේ
මඳහසක් පෙර ලෙසම නොවුනත්
තවරගෙන යමු ඇස් වටේ
පැටව් හිමිසද සිටිය හැක ළග
ලෙදින් අනුහස් සල දමේ
නමුඳු සුරැකිව තබාගමු අපි
සුවඳ මතකය හදවතේ

කවිය බලන්න
තනිකම

තනිකම

ෆිලී ජයවර්ධන

උලලේනි කිම හඬනු
ගොම්මන් අඳුරෙ
තනිව හිඳ
ඇහිලද නුඹට
මා පෙලන
වියෝ දුක්
සයුරෙ නද
නොපෙනෙන ලොවට
ගියත් ඔහු
දැනෙයි මට ඉඳින බව
හොද ලොවක
ඔහු තුටින
හමුවෙන්න යලි
නොම පතමි
සසර නිම වෙනාතුරු
වරින් වර
හමුවෙවී
යලි යලිත්
වෙන් වන්ට

කවිය බලන්න
නිමිත්ත..

නිමිත්ත..

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

( පරාජිත මැති ඇමතිවරු දෙවියන්ගේ පිහිට පතයි. අලුත උපන් දියණියක් කුඹුරකින් සොයා ගනී. 14 වියැති දුවක් මවවිසින්ම ගණිකා සේවයේ යොදවයි. එකම කාලාන්තරයක් තුළ ඇසුණු ප්‍රෙවෘත්ති. .......)

***************************************

වංචා හොර මැද රජ කුල..
පොඩි අප යවමින් සිඟා.

මංතිරිකම අහිමිව ගොස් ..
එන විට පිරිපත හඹා.

පිං දෙන විට අත් බැඳගෙන ..
දෙවොලක හිඳ යාතිකා..

අන්දා ගන්නට හැකිවෙන ..
දෙවියෙක් ඉන්නෙද සැබෑ.

********************************

හැංගී ඇළ දොළ දිය තොට ..
ළඳුනගෙ රූපෙට ලොබා.

ගැන්නී අහු මුලු වල ගෙයි..
සිත් වී කල භීතිකා.

පැන්නූ පෙර ..ජප මතුරක ...
ඇප නූලක ගැට තබා.

දැන් කෝ ඒ යක් බූ කැළ..
මැකිලද උන්ගෙත් ප්‍රෙභා.

*********************************

අම්මා නැලවිලි ගී කොට..
සුව නින්දක් මත තබා.

වන්නා කොටහලු කිළිවල...
මතු කොට ගත් රූපිකා.

එන්නා කල මල් හී සර ..
අරගෙන මලවිය නොබා.

දැන් බෑ රැකුමට දූ ගෙයි ..
වට කොට පිරුවට සුබා

********************************

රන් පා වල සළඹින් හළ..
කන් කළු නාදෙහි ඔබා.

චන්ද්‍රාලෝකෙන් වැලි තල..
මත රැඟු පා තබ තබා.

මන්දාකිනිවල සිට ගැයු ..
නැලවිලි සුර ගීතිකා.

දැන් නෑ ඒ සුරඟන කැළ..
රැකුමට සුරතල් බබා.

Photo credit; Roman Melnychuk

කවිය බලන්න
සඟවලා සෝ තැවුල්

සඟවලා සෝ තැවුල්

ඥාාණවතී හේරත්

සඳ වසාගෙන රාහු අඳුර රජ කරන්නේ
වැසි වළා කුළු වැඩී වියන බැද තබන්නේ
නිදි වරා රැය දිගයි සයනෙ සුව සොයන්නේ
බිය ගෙනා දැක සිහින නිතර හද ගැහෙන්නේ

එන තරම් අපහාස ගැහනියකගේ වෙතට
මත ගැටුම් විවේචන රැවුම් ගෙරවුම් එමට
ගිය මගේ වැරදීම පෙරලනව තනි පිටට
බර තබනු තුලාවට දෙපැත්තම එක ලෙසට

මහත් සෙවනක් පැතුවෙ අචල ආදර සිතින්
නැතත් රැකුමක් ලැබුවෙ පැරදුනා ඔබ අතින්
පසක් කර දුන් කුරිරු ලෝදමක තතු මතින්
ගසක් ලෙස දිරා ගිය කඳක් වුනි මා ඉතින්

පොළොව කම්පා කරයි කැළඹෙනව මන අවුල්
ලැමක කිරි බිඳු ගලයි පසාකර හද යවුල්
පිටව පලයන් උදයෙ අනදෙනව මට සැවුල්
අතර දැමුවා මැණික සඟවලා සෝතැවුල්

කවිය බලන්න
දරුවගේ වචන (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)

දරුවගේ වචන (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)

හිල්මි සුපුන් ඉතාලිය

1955 ජුනි 05 වන දා ජාන්නි රොදාරි විසින් සංස්කරණය කරන ලද පුරෝගාමියා සඟරාවේ 23 වන කලාපයේ "දරුවාගේ වචනය" නම් කාව්‍ය මුල් වරට ප්‍රකාශයට පත් විය . මෙම කාව්‍ය මුල්වරට පුරෝගාමියා සඟරාවේ පල වන විට කවිය සඳහා බාවිතා කලේ “දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය” යන නමයි.

දරුවගේ වචන (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)

පාර්ලිමේන්තු නියෝජනය කරනා,

මහත්වරුනි ජනාධිපතිවරුනි

එක් වරක් වසා දමන්න

පාර්ලිමේන්තු නීති පොත්

පසුව කතා කරන්න දෙන්න මගේ දරුවාට

ඔබ තේරුම් ගැනීමට වෙර දරන්න

ඔහු කියන්න උත්සාහ කරන දේ

බබා, බොබෝ, බිබී –

ඔහුගේ ජාත්‍යන්තර අමුතු බස

ඔබත් දවසක කතා කළ භාෂාව

දරුවාගේ කතාව ස්වභාවිකයි.

මිහිමතට පැමිණි පසු

ඔහු මේ කරන පළමු කතාව.

රාජ්‍ය තාන්ත්‍රික කතා තරම්

අලංකාර නැහැ දරුවාගේ භාෂාවේ.

එත් කතාව බොහොම වැදගත්

(අවධානයෙන් ඉන්න

ඔහු කතාව අරම්බකලා)

තා තා… ති… තී… තු … තූ –

හරියට ම පැහැදිලි ද?

එහි තේරුම: «යුද්ධය,

කවම දාකවත් කළ යුත්තක් නොවේ »

ඒ තමයි දරුවාගේ අදහස

(සෑම අංශයකින්ම අත්පොළසන්)

බෝ… බෝ… බීයි… බීයි –

« මහත්වරුනි, එහි තේරුම මෙයයි»

චුට්ටක් උත්සහ කරන්න

සුරංගනා කතා විශ්වාස කරන්න

උවමනාවක් වේනම්

ඒවා සත්‍ය බවට පත්වේ

මහළු මැජික්කාරියන්ට තිබුණේ

දිරාපත් මැජික් යෂ්ටි පමණයි.

එහෙත් ඔබ එසේ නෙමෙයි

ඊට වෙනස් ගුණයන් පවතී

කාන්තාර මත අත තබන්න

ඒවා උද්‍යාන බවට පත්වෙයි

ඔබගේ මැජික් වචනයෙන්

මහා නගර අහස උසට බිහිවෙයි

එමෙන්ම යහපත් වචනයෙන්

සතුටේ දොරටු විවර වනු ඇත .

(උද්වේගකර අත් පොළොසන් නාද මැද

එහෙ මෙහේ විරෝධතා කිහිපයක් )

වඩාත් ධනවතුන් හිතුවා

ඔහු කතා කරන්නේ

බදු වැඩි කිරීමක් ගැන කියා

ම.. මා … ම… මා –

ඒ ඔහු මව ආමන්ත්‍රණය කළා නොව

ළදරු බසින් ප්‍රකාශ කලේ

“නිදහස දිගුකල් දිනේවා!

වසන්තය දිගුකල් පවතීවායි .

දේශසීමාවකින් දේශසීමාවකට

නිදහසේ ගමන් කළ පසු

ගමන් බලපත් නොමැතිව

*චික්ලමීණි සහ *මුගෙත්ති

*ප්‍රීමුලේ සිය පිරිවර සමඟ

නම්ද වෙනස් කර ගනිති

සංක්‍රමණිකයෝද වෙති.

එනමුත් ඔබ දන්නවද?

ලොව ඇති සියලු මල්

සහෝදරයන් බව

ප්‍රාණවත් අත්පොළසන් නාදයක්

(කුඩා කෙඳිරිලි හඬක් මැදින් මිමිනුමක්)

“මේවා කැරලිකාර කතා “

දේශනය අවසානයි .

දරුවාට දැන් අවශ්‍යයි සෙල්ලම් කරන්න

නිදහසේ සෙල්ලම් කරන්න දෙන්න

ඔහු කැමති කහ ලොම් අශ්වයා සමඟ.

ඔහුගේ වචන වලට ඉඩ දෙන්න

ඉර පායන හැම ලෝකයේම

නීතියක් බවට පත් වන්න.

* ප්‍රීමුලේ, මුගෙත්ති , චික්ලමිණි වසන්ත සමයේ ආරම්භයේම යුරෝපා පොළොව මත පිපෙන මල් විශේෂ තුනකි.

චිත්‍රය - තරුෂ පෙරේරා

කවිය බලන්න
වසන්තයක සේයාවක් !!

වසන්තයක සේයාවක් !!

ඉන්දික ක්‍රිශාන්ත අබේරත්න ඉතාලිය

අහස පුරා පුපුරා යන ගිගුම් නිමා විය
සතර දෙසින් හමනා රළු සුළඟ නිමාවිය
අලුත් මාවතක් තනනා නැකත උදාවිය
සිය වස් ගනනක කදුලක සිනා සැබෑවිය

නව මාවත තනනා මග ඝෝර සපුන් ඇත
සිහි නුවනින් යායුතු බව සිහි කරගත යුත
සිය දහසක් නෙක බාධා ඉදිරියෙ තව ඇත
හිත මිතුරනි නව මාවත නිවරදි වනු ඇත

දහස් ගනන් දිවිදුන් අප හෙළ විරුවන් හට
නිගා නොදුන් දරුවන් ලෙස අපගෙ නමත් ඇත
ලක් මව සුරපුර කරනා ඒ මහ ගමනට
එන බාධා මැඩලන්නට නොබියව එනු මැන

කවිය බලන්න
යසෝදරා....යසෝදරා....

යසෝදරා....යසෝදරා....

ඉෂංකා මිහිරි කුමාරතුංග

නේරංජනා දියවර බරදැයි නාසා
රාහුලයෙක් දෝතට දී....
පිටමං උනාට නුඹ අමනාපද...
යසෝදරා.....
මං එක්කලා අමනාපද යසෝදරා....

ගමනක් නැතත් එක්ව මියදෙනා
සසර පුරාම ලඟම නැවතී
මඟදී හැරී ආපිට ආවට
යසෝදරා...
මං එක්කලා අමනාපද යසෝදරා....

විසල් නගර පුරා රැව් පිලි රැව් දෙන
අනියත දහමේ ගුණ ලඟදී
නුඹත් නිවෙනවනම් දිනකදී
යසෝදරා..
මං අමනාප නෑ...යසෝදරා...

යටියන්තොට

කවිය බලන්න
කදුළු බිඳ හිනැහි ......

කදුළු බිඳ හිනැහි ......

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

ඉරිතැලුන හද පුරා
නොනිමි පද නිදිකිරා
පැසුණු රුහිරය දරා
දෙනෙත මත දියකරා

වැසුණු දෙබැමම පිරී
කඳුළු මල් බිම පෙරී
දිළුණ විට හිත ඇරී
දැවටුනා යලි සිරී

සිඹින දූවිලි දැලක
එබුණි පවන ද දුරක
නෙතට වැඩියෙන් විලක
කැලතුනා මඳහසක

නුඹයි සඳ පිනි එව්ව
කඳුළු වුව හිනැහෙව්ව
වරා දුක හද නිව්ව
සරා සැනසුම පෙව්ව

ඉතිං මල් පිපේවී
වසන්තය දිලේවී
කුරවි සර ඇසේවී
බිඟු රොනට ඇදේවී

නෙතක් විත් අවාරෙක
සිතක් හා විචාරෙක
පුවත් දැන හීනයක
කවක් ලිව් සැබෑවක

වඳන් නොව් මුවහසක
පිපුණ මාලති මලක
සුවඳ ඉහිරෙන රැයක
හාදු රහසින් පැලක

එළු සඳස් ලකුණේ ,සඳහන් "සුපිහිටි " ඡන්දසට අයත් "කඳ විරිතට" අනුව මෙම කව් පෙළ මවිසින් නිර්මාණය කලෙමි

පාදයක මාත්‍රා 10 කින්, ලගු ගුරු බෙදුම් වලින් තොරව ,එළිසම කොට,නිර්මාණය වන විරිත "කඳ විරිතයි"

කවිය බලන්න
සමනල සඳෙස -27

සමනල සඳෙස -27

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 23

දම්රතන හිමි

457. කවියෙක් පිළිබඳ ව පැහැදුණු සිතක් ඇතී
සවියක් ගෙන කළෙක පැවැදි ව නමක් වෙතී
කෙළි පිටියේ පටන් ගත කළ පිරිස් ගැතී
උපැවිදි වුණු දිණේ “දිසිපතිකම” ද ගතී

458. සම- නල දන්නෙහි ද නුඹ මේ කවි කාර
ගත ගල - පවුර සේ සවියෙන් ගෙන සාර
ගම මල සේ වතින්-පෙණුමෙන් හැඩ කාර
නැණ බල නොදෙවෙනි ව තිබුණේ දඟ කාර

459. පාත ඇල වුව ද ගඟ -දොළකට ගැති ව
සීත මිහිදුමින් ඉඳ - හිට අඩු නැති ව
ගීත කවි රටා පද නඳ සඳ ඇති ව
දූත පිරිස් සිටියේ කවියට රුති ව

460. උපැවිදි වුණේ පෙමට ම කවි ලියන්න ද
පැවිදි ව කසාවත හැඳ බැමි ලිහන්න ද
දැන ගති මෙවන් කවියට පෙමි බැමින් හද
නෝනා කෙනෙකු තරගෙට බැඳි පෙමින් පද

461. නෝනගෙ නමත් පරසිද්දයි ගජමන් ය
එකටෙක කියන පද ඇමුණුවෙ විගසින් ය
තරගය හුඟක් දුර - දිග ගිය විලසින් ය
එ පුවත නැගෙන්නේ සබයට මොහුගෙන් ය

462. සම-නල යන ඉසව්වට ඇය අයිති නැතී
කවි-කළ පෙම් දමක රසයක නිමිති ඇතී
ඇති-කළ සුල-මුලක හරබර නැමැති රුතී
දන - මල වෙත ගෙනෙනු සමනල හිතැති නිතී

සමනලයා දුටු පෙම්වත් කවියා - 29
ඇලපාත කිවිඳු

463. ඇලපාතයි ගමෙහි නම නැහැ පර - සිද්දී
කොලුවෙකු වී ය කුරුප්පු පවුලෙන් ඉපදී
ඉන්පසු දම්රතන වූ කසවත ගත දී
සිටියේ පැවිද්දකු ලෙස අඩු වයසක දී

464. පරම්පරාවේ ඇලපාතට කිට්ටූ
වෙන්නට කවුරු ආවත් දුන්නේ මට්ටූ
ඒ හින්දා ම නිකමටවත් නැහැ ඔට්ටූ
ඇල්ලුවෙ සනීපෙට දැන සිටියත් වෙට්ටූ

465. කුට්ටාපිටියෙ හිමි වෙත ගොස් මහණ වුණේ
මද්දුව හිමි වෙතින් අකුරුත් උගත් වුණේ
කලුගල අකුරැස්ස වෙහෙරෙහි නතර වුණේ
මණිරත්තන හිමිට ඉන්පසු එකතු වුණේ

466. සපුගොඩ විහාරෙ ද වැඩ වසමින් උගෙනා
“දම් විනයෙහි ද ශබ්දයෙහි ද” කෙළ පැමිනා
ඉන්පසු වේරගම්පිට කරතොට ස`දිනා
නායක හිමි පසින් නිති පියවර මැණුනා

467. උපැවිදි වීම සිතටත් - දැයටත් දුකකී
ඒ බැව් ඉතිහාසෙ තතු-ලිපිගොනු රැසකී
නිලධර මුදලිවරු පදමට කී බසකී
එනිසා සිටියෙ ඇයි ඔබ සිවුරෙන් වැළකී

468. ඒ ශෝකයට කිවිඳුන් සම`ග ම වැලියේ
සිටි පිරිසකුත් සිවුරෙන් ගිය බැව් සරියේ
කපුගම හිමිත් හුණුපොළ නිළමෙත් සිටියේ
අක්මීමන සාමි සමඟ ම කෙළි පිටියේ

469. ලද ආරංචියෙන් සිවුරුත් හරින බව
කරතොට හිමි එවූහයි කවියකින් සොව
ඒ කවියටත් පිළිතුරු කවියක් ම තව
යැවුහයි හිමි දම්මරතනත් නොපැකිල ව

470. උපැවිදි වූ දින ම කෝරලෙ දිසාපතී
ප්‍රොපනේත වරයෙක් වශයෙන් ද පැතී
රාළහාමි සාමි ද නම ගමින් ගෙතී
කිවි`දුට ඇලපාත තිබුණේ පුදුම ගතී

471. ඉපදී සපරගමු මිණිපුර මවගෙ කුසේ
පැවිදී දිවි පෙවෙත ගැණ-මැණ උගත එසේ
පිබිදී අලුත් මන - නැණැසින් නැවත රැසේ
සැසඳීමක් කළැයි තමුනට තිබුණු විසේ

472. ඇත් අස් ගව ගෝණ මුව කුකුළු ද ආදී
කෙත් වතු හෙින් පොල් රබර ද වළව් සැදී
සත් මිතු ගම්වැසිනි සේවක සැම පෑදී
හිත් හොඳකමට පසු විය සම්පත් යාදී

473. මුදලිඳු පදවිය ද කෝරලෙ දිසාපතී
ලැබ ඉඳු දෙවාලෝකය ලෙස දවස්පතී
සිත සිඳු තරම ගෙන සෙනෙහස ගමට ඇතී
පරසිදු වුණා ලියමින් කවි පෙමට රුතී

474. ලියන්නට මෙන් ම කියවන්නට කැමැතී
උරන්නට රසේ කවි බඳිණු ද සිතැතී
කියන්නට බැඳුණු පද ලිහමින් රතැතී
බබලන්නට වුණා කව්ලිය පද රුවැතී

475. රඳවා සෙනෙහසක් බැඳි පෙමට කවි කී
කරවා ඇරැයුමක් හද කකියෙව් පෙර කී
සඟවා නොගෙන වැගිරෙන ප්‍රේමය සුරැකී
පො`ගවා වචන එහි ලිව්වේ පෙම්කවි - ගී

476. කිවිඳු ගෙ ඇලපාත කවි සේ පොහොසත් ය
ඇගෙ පිළිතුරු කවි ද පෙම් රස දෙන්නේ ය
දෙදෙනගෙ සුපෙම් කවිපද කොකු රසවත් ය
ඒ සා රුවැත්තිය “ගජමන් නෝනා” ය

477. සබයට ගියත් තුති ලබනට සුදන සබේ
තරුවක් ලෙස ම බැබලී ජන ගගන ගබේ
වැජඹුණි නිරන්තරයෙන් ලැබ ජය ද ඉබේ
මිණිපුර ආදරය ඔහු වෙත අද ද තිබේ

478. ඇලපාතින් සුවඳ මිහිර ද එකට පෙරූ
ගිය තැන ලද නම්බු පුද සැලකිල්ල ගරූ
කවියට - කලාවට දුන් පෙම්මල් පොකුරූ
මිණිපුර තිබේ නොමියේ මිණි තිබෙන තුරූ

(මතු සම්බන්ධයි)

2025.08.01

කවිය බලන්න
සෙල්කවි-5 - සුකුරු

සෙල්කවි-5 - සුකුරු

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

හකුරු වගේ “රසකුරු” කරනුව එ තැනේ
යන - එන විට දි දැණුනේ සිතට සතුටනේ
ඒ තැන “කාබසිනියා” වන ලකුණු දැනේ
කා හට දැන් කියමි මේ “අවනඩුව” අනේ!

හෙල දූ - පුතුන් ගිය පාරෙ ම අප ද ගියා
පත - පොත රැගෙන දහම ද සොබ වි‍‍‍‍‍ද ම සොයා
උරුමය අපේ ඉතිහාසය මුදුණෙ තියා
මීමුත්තන්ගෙ වැඩ විස්මිත වැණුම් කියා

අතුරු මිතුරු දඹ දිවි තුරු
සතුරු නොවී වෙමින් කතුරු
හකුරු වගේ ඇති රසකුරු
අපි කෑවෙමු වෙමින් පොකුරු

මැතිරු මැතිරු නෙක මැතිවරු
කලක පටන් පැතිරු පැතිරු
දිග - පළලට ඇතිරු ඇතිරු
බේගල් ඇද බාති හතුරු

උපන් ගමක් නමක් නොදත
එකෙක් වනු ද කැමැති උගත
ඇති ද යමෙක් ඉහළට වෙත
උන්හිටි තැන - තොතැන නොදත

මව්- පිය අබිමන් නොදන්න
ඇතොත් දූ - පුතකු වැන්න
අතීතයක රස නොදන්න
“නොට්ටිගෙ දරුවෙක්” ම වැන්න

ලෝක සොබාවට දුවන්න
ලෝකෙට ගනු-දෙනු කරන්න
ඇති ඉතිහාසය මරන්න
ඒ අවියක් නොකර ගන්න

කොයි රජු රජ කළත් පුතේ
නුඹ අප සැම රජුන් පුතේ
රට ගෙන යනවුනුත් පුතේ
අපට රජෙක් නොවෙයි පුතේ

අකුරු කරපු “සම - හරක්ට”
ගව-එළු-සූ -කර නොවන්ට
මොළේ අබඇටක අඩුවට
තිබෙන බව කියමි මොනවට

නොතිබෙන හින්දා ද කොහෙද
ගෙන එන්නට ඇණැවුම් වෙ ද
අකුරු කරනු රිසි සදනු ද
සුකුරු ගෙනෙනු ඇත මතු ව ද!

Photo Credit; Tarikul Raana

කවිය බලන්න
සැඳැ කල...

සැඳැ කල...

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

සෙමෙන් පාවෙන වළාවන් විත්
පැලැඹර සිට පෙළගැසී
ගෙවු දිවියක මතක සටහන්
නෙක්වනින් සිතුවම් වේවී
සුවඳ විහිදෙයි ගෙපැල හැඩකොට
සෙන්දිරික්කා මල් පීපී
සොඳුරු රැකවල් සෙව් විහඟ ගී
කෙමෙන් සවනින් යයි මැකී.

උදාකල ගෙවු දිවාකල රැඟු
දිවියේ දුක සැප නිමාවු
ලැබුණ සරතැස විඩාබරගත සැදැ සමයට ළඟාවු
ගලන ඝණදුර නොවැලකිය හැක
ලොවම තිමිරෙන් වසාලු
දිවියේ අරුතත් එයම වේයයි
සොබාදම් මව කියාලු.

කවිය බලන්න
ආවර්ජනා

ආවර්ජනා

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

නෑඹිළියට කොරහ අරන් ලිප ගිනි මොලවන
වරාමලට බඹරු ඇවිත් ආපසු යන විට
පාර වැරදිලා කිව්වත් එහි තවදුර යන
මල් පිපුනේ පාට කරලා නොවෙයිනේ ගස්වල

හිතාගන්න බැරිවිදියට උකටලී සිතුවිලි
වළාකුලත් බැණුම් අසති වැස්සක් නැතිවිට
දරාගත්ත ඉවසිමද පෑල දොරින් බැස
අසාගත්ත බොරු තවමත් කියවති රසකර.

උන් උන් පසුපස ඇවිදිති වහල්කමේ හැඩ
ගහ කොළ සිව්පා කඳුුලුත් මිටියාවත් දැක
සොබාදහම අත්හැර යන නරකම යුගයක
වේයෝ තුඹස් බැදලා වගෙයි රජ වාසල මැද.

කවිය බලන්න
සිහසුනක් නැති රජෙකි නුඹ මට​

සිහසුනක් නැති රජෙකි නුඹ මට​

කල්‍යාණි ලියනගේ

හිරු රැසක් වී මහා කඩතොළු බැඳී සෙනෙහස රන් දමින්
මහ සෙලක් සේ නොසැලි සිටියා කඳුළු සඟවා පිසලමින්
පුදසුනක්මය හදෙහි වැජඹුන සුවඳ හැමුවා අප නමින්
සිහසුනක් නැති රජෙකි නුඹ මට වඳිමි පායුග බැති පෙමින්

ඩා බිඳක උණුසුම වෙලා ගත දෑතෙ කරගැට සඟවමින්
පෑ දයා නිහඬවම අප වෙත හදේ බැඳි ඒ දරු පෙමින්
ආ මගේ කටු කොහොල් වෙනුවට මල් යහන් මත රඳවමින්
ගෑ සුවඳ දිවි මං තලාවේ අමරණීයයි ඔබ නමින්

කවිය බලන්න
මල් නෙලන ළ​ඳ

මල් නෙලන ළ​ඳ

කල්‍යාණි පෙරේරා

රෑන කුරුලු ගී අසමින් මුවින් ගොළු
පේන දුරක නිල් විල මැද නෙලුම් නෙළු
ගේන දෙඅත් මිටි බැඳ මුදු සිනා සැලු
හීන දකින ලිය සොඳුරුය හෙටක් බැලු

දියේ යන්න ගත සවිබල ලැබීයන්
දියේ රකුසු නුඹ දැක බිය වැදීයන්
දියේ සිසිලසින් ඉර ගිනි නිවීයන්
දියේ නෙලුම් සිය දහසින් පිපීයන්

පතේ බිඳත් දිය නොරඳයි දැනෙන්නයි
මලේ පුදත් පරවෙන බව සිතෙන්නයි
දියේ බසිත් අනතුරු කිසි නොවෙන්නයි
ළඳේ නුඹත් දෙවි පිහිටෙන් රැකෙන්නයි

කවිය බලන්න
සොයමි මම

සොයමි මම

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

සොයන්නට සොයන්නට
පිටත ඇති ලොවක් ගැන
නිමක් නැති ලොවක් ගැන
වෙහෙසකර වැඩක් බව
දැනේ මට හැඟේ මට

තමා තුළ ඇති ලොවක්
නිමාවක් ඇති බවක්
සොයන්නට හැකි බවක්
දැනේ මට හැඟේ මට

දැහැන් ගත වෙලා මම
සොයමි මම
සොයමි මම

සහිත වූ ජීවයක්
සහිත වූ අඟ පසඟ
නිරන්තර වෙනස්වන
රූපයක් ක්‍රියාත්මක
පවතිමින් ඇති බවක්
දැනේ මට හැඟේ මට

උණුසුම සහිත වූ
දහනයට ලක්වන
ලක්වන වයස්ගත
රූපයක් ඇති බවක්
දැනේ මට හැඟේ මට

ක්‍රියාත්මක ශක්තිය
බලාත්මක ශක්තිය
සිත මගින් වන බවක්
දැනේ මට හැඟේ මට

සිතුවිළි නිරන්තර
ඇති ව නැති වන බවත්
දැනේ මට හැඟේ මට

සිතක් පවතින්නට
විවිධ වූ සිතුවිළි
අවැසි බව නිරතුරු
දැනේ මට හැඟේ මට

වෙනස්වන රුපයත්
වෙනස්වන සිතුවිළිත්
ක්‍රියාවලියක් පමණි
කෙනෙකු නැත ස්ථිර
තුළ ක්‍රියාවලියක

එය එසේ වේ නම්
කෙනෙකු වේද මම නමින්
සොයා සොයා බැලීමට ……

Photo Credit Gabor Kozmon

කවිය බලන්න
කෙටි කවි තුනක්

කෙටි කවි තුනක්

කපිල කුමාර කාලිංග

1. උණ පඳුර බැඳුණි නදිය හා
දැන දැනත් එය නොනවතින බව.

2. අඳුරුය
මුරකරු කුටිය
සොහොන් කොතක
දැවෙයි ඉටි පහනක්

3. අවදිව සිටින විට ද
සිහින දකිමි
තවම හමුවී නැති
ඇය ගැන

2025/07/20

Photo Credit; Look Up Look Down

කවිය බලන්න
හද මැස්ම

හද මැස්ම

නිතිඥ ලක්ෂිකා රත්නායක

දිනක පිටමන් වුනා මන්දිරය හැර දමා
මතකයන් පොදි ගසා බෑගයක අහුරලා
උණුයුරුව ගිය කඳුළු දොරගුළේ හිර කළා
පුරුදු බුමුතුරුණ යට යතුරු ටික හැංගුවා

කහට යහමින් දමා තේ එකක් වත් කළා
මේසේ උඩ වහලා ඇති නිවෙන්නට නම් එපා
ආස කළ ටෙඩී බෙයා යහනතේ නිදි කලා
ඇහැරවන්නට එපා හොයයි මං කොහෙ කියා

කෑම ඇති සීතලට දවස් පහකට උයා
පෙට්ටි ටික නම් කලා නරක් වේ යැයි සිතා
කොට්ටේ යට බලන්නකො දුක හිතෙයි දැක ඔයා
රන් මුදුවේ තුවාලෙට බේත් ගල්වනු එපා

කමිස ටික හෝදලා කාමරේ එල්ලුවා
පලුදු වු ජනේලය රෙද්දකින් හැඩ කලා
බිඳුණු කැඩපතින් දුටු ආත්මය ගල් වෙලා
කඳුළු පැල්ලම් එක්ක හද මැස්ම තද කළා

Photo Credit: Kent Lister Abao

කවිය බලන්න
පාලුයි මහ ගෙය

පාලුයි මහ ගෙය

ලුෂානි දමයන්ති කැකිරාව

හිරු නැගී එන නමුත් සතුටින් දිනයක පැහැබර
⁣දැනවෙනා පාලුවට අඳුරයි මුසු වුනෙ හැමවර
හද සෙනේ ගලන මුත් ඉන්නෙමි කඳුළැලි සිරකර
දරු පැටව් ගිහින් දුර ඈතට මහ ගෙය අතහැර

ගෙමිඳුළම පුරා දුව පනිමින් දඟ කල සෙනිහස
විහිඳවා නිවස බැබළුනෙ ⁣පුන් සඳ මෙන් පුරපස
⁣⁣දරුවනේ නුඹල තුරුළට ගෙන අත ගා පොඩි හිස
කිව් කතා තවම මතක ඇද්ද අම රස ඉස ඉස

ගහ වැලේ යසට පල දරමින් බර වූ අතු ඉති
⁣⁣නිකරුනේ හිඳියි ඉහළට ගොස් වෙනදා වගෙ නැති
ගී රසේ බෙදුව කුරුළු කොබෙයි සොයම්න් වෙන පැති
ඉගිළිලා ගිහින් දුර ඈතට උන් හට දුක ඇති

පිපි මලින් එකලු වී දසතෙන් පැතුරූ සුසුවඳ
අද නැතේ කිමද නොදැනේ නළ නොගෙනෙයි සිහිළද
සමනලුන් රංචු නුඹලා වගෙ නැටු හැටි මතකද
⁣ඒ උන්ගෙ සොඳුරු ලොව සැරසුවෙ දරුවනි නුඹලද

හැදු වැඩූ ළමුන් හැදි ඇඟලුම් මහ ගෙයි තුල දැක
හිද මෙසේ තනිව ගෙවමින් දිවි නෑ කිසි සතුටක
නුඹලගේ සිතට දැනුනොත් මව් සෙනෙහස දවසක
පැමිණිලා යන්න ඒ ඇති මට මිය යන මොහොතක

කවිය බලන්න
කාල සටන

කාල සටන

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

මොකොද ඔතරම් කලබල,
හනික යන්නට උනුසුම
ගිය මසේ කවි ලිවුව පිටුවත්
තවම තෙතමන පිටින්,
කාල පෙට්ටිය රඟන රැගුමන්
මහලු වියටනෙ ගැටලු දැන්,
විසි හතර වර්ශය දිව ගියේ
මගේ කොටසක් රැගෙන නේ
විසි පහත් එනවිට ගියා ඩැහැගෙන ඉතිරි කොටසත් පොදි බැදන්
දරු මුනුබුරන් ඇසුරට මම ගියා,
ටික දිනක් සතුටක් ලබනට සිතා
එ මස ගියෙ අනෙ විදුලි වේගෙන්
කාල පෙට්ටිය රව රවා.
විසි හයත් පෙනෙනව ලඟ ලඟින්
ඉඟි බිඟි රැගුම් පානව මට හොරෙන්
දහම මා ලඟ රැඳි බැවින්
ගමන යන්නට මැලි නොවෙම්.
එහෙත් දෙන්නකො පොඩි ඉඩක්
කවිය ලියනට තව දෙකක්
සිතුවිලි එමින් යන වේගන් අනේ ඇඟිලි තුඩ යන්නේ සෙමින්.
ඔහොම වේගෙන් කල ගියොත්
ලඟදීම හුස්මත් එයි තුටින්!

කවිය බලන්න
කවියාගේ බිරිඳ

කවියාගේ බිරිඳ

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

එළිසම විරිත එළිවැට බැඳ සැදුණේය
අරුතැ'ති මහරු හැඟුමන් එළි දැකුණේය
කවි පද මියුරු එකිනෙක පළ ගැසුණේය
සිය පත රුවට පිපි හද විල දිලුණේය

විසිතුරු තරු එළිය සඳ හැර ගිය රෑක
සොඳුරුය ප්‍රේමයේ මැවු සිතුවම් නේක
යුවලක ඉසුරුමුණි නෙත ලඟ ඇඳි දාක
ඔහුමය කිවිඳු, ලද කවි ලොව අබිසේක

ලියැවුනි කුරුටු ගී විඳ පෙම් දිය දහර
පබැඳුනි රෑ දිවා මොහොතක් වී නතර
සැඟවුනි ඔහුගෙ හිත කරදහි පිටු අතර
තනි වුනි ඇය නොදැන කොහි ඇගෙ හද මදුර

දැවටෙයි ගතෙහි දවසක මෙහෙයක වෙහෙස
උරහිස කොහිද තබනට කකියන සිරස
පෑගෙයි පයට ලියැවුනු පෙම් කවි නොලස
බිරිඳයි ඔබෙ කිවිඳ, තනි වුනු මේ දිගැස

කවිය බලන්න
අග්බෝ

අග්බෝ

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

කළා වැවට බැස පිඹ පිඹ දිය බිංදු
කලාවකට යන ගමනෙන් ඇස බැන්දු
මහා හඬට කිය කිය ඇවිදින සින්දු
හඹා ඇවිත් ඉඳහිට මර බිය රැන්දු

කුසේ ගින්න නිවනට තැන තැන සැරුවා
රසේ විඳින මග අවුරා වැට තැනුවා
හිසේ හැරණු අත බියටම හොඬ වැනුවා
පසේ මිතුරු දන ගිනි බිඳ වින කෙරුවා

මලේ අරුම තුරු මුදුණක පිපි කලට
ජලේ අසිරි උපදින කල රළ පෙළට
දළේ අයිති වන සරනා ඇත් රජුට
කුළේ මිනිසුනේ නොතියනු අත පවට

කවිය බලන්න
මටත් හිතුනෙම වන අලියෙක් වෙන්න.....

මටත් හිතුනෙම වන අලියෙක් වෙන්න.....

මුදිතා ඩයස් කොට්ටාව

මටත් හිතුනෙම
වන අලියෙක් වෙන්න
එතකොට මටත් පුලුවන්
ඉක්මනටම මැරෙන්න..
දරන්න බැරි දුක හංගගෙන
මැරෙන්න බෑ පණපිටින් තවත් මට..

භාතිය නෙතින් වගුරපු
කදුළු ගග දැක්කම
ගාම්භීර සද්දන්ත
පපු ඇතුලේ හැංගුන
දුක කදු ගණන් ඇති ඇත්තු උනත්
කාටවත් නොපෙන්නුව..

හිතක් පපුවක් නැති ගානට
අනින කොට පපු සිදුරු කර
දරාගත්තත් හිත හයියකර
අතහරින්නෙ බැරිම තැන
හිතින් ගිය පසු හුගක් දුර
අතින් අල්ලා නවත්වන්නෙ කොහොමද

Photo Credit; Geranimo

කවිය බලන්න
පුරිස දම් සාරථී ගුණය   නමදිමි  බැතින්

පුරිස දම් සාරථී ගුණය නමදිමි බැතින්

මල්ලිකා කුමාරසිංහ බදුල්ල

බුදුන් මරවා තමන් බුදු බව
ලබන්නට දෙව්දත් .විසින්
නුදුන් අබරණ නිසා සසරේ
පැවත එන ලෝබයෙ ඇසින්
මුදුන් වූ පෙර පටන් වෛරය
හදේ අසුරා ගෙන රොසින්
මිදුන් නැත ගල් පෙරලලා වත්
අහෝ පව මිනිසත් වෙසින්

එදා තව බියකරු බවක් දුන්
සිතුවමක් මනසේ ඇඳන්
යොදා නාලාගිරිය වරනිඳු
දිදී වදහිංසා බැඳන්
මුදා රා කල සතක් පොවමින්
බමන මත හිස මත රඳන්
සදා බුදුමිණ වඩින පෙර මග
යැව් රුදුරු බව සිත විදන්

සීත සඳුනින් සුවය සඳනා
කාරුණික මහසතානෝ
මෑත මිහිකත සනස සනසා
වඩිති ලොව සිරි මතානෝ
බීත කරවන සියලු දන මන
මතැඟ වරනිඳු පුතානෝ
ඈත දෙරනත පලහ පලගා
දුවති රළු ඇසිවතානෝ
සෙනේ බර බව ලොවට පෙන්වා
දයාබර නෙත් හදාරා
පෙනේ මෑතින් වඩිනයුරු බුදු
ලොවිඳු කත් මිණ මදාරා
විනේ කරමින් සියළු දනමන
බියත් සැකයත් වදාරා
අනේ යැයි දහසකුත් පවසන
ගිජිඳු එයි ගිණි විදාරා

මාලියෙන් මුදු සුවඳ විහිදන
පියුම් ගැවසෙන විලක් සේ
නාලියක සේ සමිඳූ වඩිතෙයී
රැස් විදා ඉඳු පිලක් සේ
ධූලියෙන් ගත නහව නහවා
ගුගුරවා මේ කුලක් සේ
දෑලියෙන් රුදු බමන මත් වූ
කනෙරු එයි කලු ගලක්සේ

එබු එබූ සිරි පා සිඹින්නට
පියුම් පිපෙනා විලාසේ
විභු විභූෂණ මහිමි වඩිතෙයි
රුවන් සක්මන විලාසේ
තැබු තැබූපය පොළව දෙදරා
රකුසු පා ගැටි විලාසේ
ලැබු ලැබු මත් සොළොස් රා කළ
පූ ගිජිඳු එන විලාසේ

බුදු අසිරි සිරි දකින රිසියෙන්
මගට බට ඉතිරියකගේ
රුදු වෙසින් එන වරනිඳුන් දැක
සියොළඟම සලිතවගියේ
මිදුනි උකුලෙන් කුඩා බිළිඳුන්
සැමගෙ ඇස් ඒ දෙස වියේ
වැදුණු බිය නැත පෙරට
එන්නට
කිසිවෙකුට දිරි සැපයුයේ

අසරනව සිටි බිළිඳු නෙත් බුදු
සමිඳු දෙස ඇත එල්ල වී
රොසව ඇති රුදු මතඟ බැල්මද
ඒ දෙසම විය ලොල්ල වී
නසන බිය සැක ගොයුම් ගොත් රුව
රැඳුනි රිවි රැස දැල්ලවී
දසුන මනරම් එයම විය ලොව
සියලු දන ඇත මෙල්ලවී

අඳුරු පර්වතයකට සම වු
පෙරලෙමින් එන කඩි මුඩී
පඳුරු ගස් ගල් තලා දමමින්
කනෙරු දිව එයි හැඩි දැඩී
ඉඳුරු පිළි රූ නිබඳ පරයන
කාන්තිය දී වැඩි වැඩී
කිඳුරු නාද කල සේක වට පිට
දනන් වෙත සිටි මැඩි මැඩී

ඇත් රජුනි නුඹ මා සමග මිස
බිළිඳු හා ගනු දෙනු නැතී
මත් රකූසු නෙත් එදෙස නොහෙලනු
මෙත් සිතම පෙරමුණ ඇතී
සිත් පහන් කල මෙත් වදන් විත්
වරනිඳුන් ලඟ රැව් දෙතී
සත් පුරිස දම් සාරතී බුදු පා කමල ඇතු නමදිති

කවිය බලන්න
මා ද මට නැත

මා ද මට නැත

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

දෑල දොඩමලු සිනා කිකිණි
නීල ඉදුවර විලට වැටුණි
මාල මුදු රන් කෙන්ද ළිහුණි
ආල ලැව් ගිනි ඇවිල දැවුණි

සේද මාවත බොරළු පෑගෙයි
සාද නිල් තරු පින්නෙ සේදෙයි
වේදනාබර අකුරු ලියවෙයි
මාද මට නැති බවක් හැඟවෙයි

සදුන් ගස වට සමන් පරවී
අදුන් අඩ සඳ නළලෙ බොදවී
මුදුන් වූ අතු කිණිති සෙලවී
ඉතින් අපි සමුගනිමු ගිරවී

රැය ගෙවී ඉර නැගෙනු නියත
නිය දමට ඉඩ දෙමුද නැවත
වැය වෙවී ගිය සොදුරු පවත
ලිය ලයිද එක්වෙමින් සුරත

දවා පාළුව හිතට දැනෙනා
අවාරෙත් මල් ගසක පිපෙනා
පවාරණය ට දොරටු හැරෙනා
මුවා වෙන්නට ගසක් කොතැනා

කවිය බලන්න
සරත් සමය එළඹුණා

සරත් සමය එළඹුණා

මාක් ඇන්ටනි කුමාරගේ

සරච්චන්ද්‍ර දිලෙයි අඹරෙ
තරුත් නිදන මැදියමේ
සරත් සිසිල් සුළං හමයි
සිසිල ගලන වෙලාවේ

ගිම්හානය හැර ගියා
සරත් සමය එළැඹුණා
සිසිල අරන් හමන සුළං
සැම තැනකම දැවටුනා

හිරුත් හොරෙන් හොරෙන් වගේ
ඉඳ හිට එබිකම් කරයි
සරා වළා වලින් වැසී
නුඹ නිතරම අඩ'ඳුරේ

සැහැල්ලු ඇඳුමට සමුදී
මිනිසුන් ලොම් ඇඳුම් අඳී
හමන සිසිල් සුළං වැදී
දැවටූ රෙදි පිළිද මදී

පන්හිඳේ අරගලේ කාව්‍ය සංග්‍රහයෙන් @ජූනි 2025

කවිය බලන්න
S. K. පියසීලී

S. K. පියසීලී

නිලුපුල් තුතිසෝම

නොම්මර ගැසූ එක දෙක රට අඹ ලෑලී
ළංකර තියා එක පිට පටලා පේළී
ගෙම්බර පාන රුව යට බද්දර කාලී
සිල්ලර ⁣මේසෙ මත සිටියා පියසීලී

බෝතල් ලොසින්ජර තුන හතරක් ඕන
දුහුලැල් කෙසින් අදිමින් කරදර ගේන
දෙනකල් නොයිද අත මිටිකොට තඩිබාන
සුරතල් දුඹුරු කොලුවෙකි අඬහැර පාන

මුල්ලෙම දතක් කණිමින් ඇන ඇන හාරා
මැල්ලුම කිම කියා බලමින් ගෙන පීරා
ඉල්ලුම පිණිස ආ කෙනෙකුට ණය ආරා
මල්ලම පුරා පිරවිය හොඳ හිත තෝරා

ඉව කර බලා තෙපයින් දොර පළු වලට
දිව ඇදි බල්ලෙකිය කකුලක් ගෙන උඩට
රව රව බලා සුළු දිය වක්කළ කලට
දිව ඇද නමා ගිලගති ආ දේ කටට

යටගිය දිනෙක ගම්මානෙ මුදුන පිට
අටවෙනි පන්තියෙදි ඈ මා දකින විට
වටකුරු දෙනෙතකට බැඳි පෙම ඇරුණු කොට
මට ඒ කියන්නට හයියක් නොවුනි කට

ඈඳුනු මදුරු දඟරෙක තව දඟරෙකට
පාදනු බලා සිටියෙම් ඈ සීරුවට
පීදුණු මතකයකි එදවස දිනුමකට
දේදුණු වුණත් ඉරුවේ එක විදිහකට

දුම්බර හුළඟ කැරකෙන කල ඇඳිරියක
අම්බර වවුල් හපයකි තරු, තැනි බිමක
සිල්ලර මදිව දිගු කළ අත ඉතිරියක
ගින්දර ඔබා ගෙනයමි ගිනි පෙට්ටියක

කවිය බලන්න
නුබ ගැබක සිරි

නුබ ගැබක සිරි

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

සිසරයේ කටුක වූ හිම පියැලි මියැදී යන
මුත් සීත රැඳුණූ
වැසි වහී යන්ට සෝදා සකල ලෝකය යලි
නොඑන ලෙසි දරුණූ
සුළඟ විත් ආරෝව කිව් ගස් වැල් ද උදුරා
අතු ද බිඳ වැටුනූ
ගගන දුරු පැහැ කුළෙන් වැසි දහවලද අඳුරේ
නිල නොදුටු, වැසුනූ

ඉරෙන කුළකින් හොරෙන් පැන, දඟ කරන් පැමිණී,
අඳිමින් සිත්තමක්
දිදුල කිරණක් රඟන යස, දිය බිංඳු මත්තේ,
මවන් දේදුන්නක්
තුහින වදිනා කව්ළු පත, සීතලෙන් ගැහෙනා,
මුදු නොපෙනූ සොවක්
විසිර පිණි තව තවත් නැටු, පෙමටම තුරුළු වී,
එ'මගුල් සක්වලක්

විටෙක රළු වී විටෙක මුදු, වෙමින් හඬනා නුබ,
නොනවතින ගමනක
ඉපල් අතු නැමි නැමී පිස, දමන්නේ කඳුළැලි,
නොකර සරදම් නෙක
හොරෙන් ආ කිරණ හංඟා, වළාකුල අණ්ඩය,
දමා වැසූ එ'ලක
පැහැර ගෙන දුල් දේදුන්න, අනෙ ගියේ සැඟවී.
දැවෙයි හද සොවක.

රළුව පැමිණෙන කැටිති පොඩි, සිපගන්න මිහි මව,
දරාගෙන හැම විට
උරා ගනිමින් සිරුර වෙත තෙත බරිත වෙනකම්
උහුල බර කැටි කොට
බැරිම වූ තැන දිය කඩිති සාදා සෙල් වටින්
මුල් යටින් අරුමෙට
නදී රඟ දෙන කොමළියක් තනයි අවසන නිත
සුන්දර වු, සැමහට

කඳුළු වගුරා අහස නිල් නිලත් හංඟා හුන්
බිඳලන් කඩතුරා
පිපුණ කහ මලට ඉඩ දී මිදුණු දිය කඩිති ද
හෙමිහිට දියකරා
දියව යන හිම ඟගට පැන ගිලි ගිලී රැළිමත
ඉවුරේ දඟකරා
සඳක අඩ හැඩ දේදුන්න පාට හතකින් ගැබ
යලි සිත්තම්කරා.

කවිය බලන්න
සසර බැදෙනා බැඳි බැඳුම් ගිලිහුනාදෝ

සසර බැදෙනා බැඳි බැඳුම් ගිලිහුනාදෝ

නයනශාන්ති දිසානායක

මලක් මල් මී පුරා බිඟු පෙමින් විකසිතවි
සඳක් විත් ඒ සරා ඟග මතින් කුල්මත්වි
දෙඅත් එක් වී නුරා රඟ විඳින් මන්මත්වි
පෙමක් ලත් දී දරා මඟ රසින් රසවත්වි

සඳින් සඳ මෝ‍රනා සඳවත හීන ගෙනා
සිතින් සිත පීදෙනා තුන්පත් රෑන මනා
මදින් මද නන්වනා හදවත ගේන හිනා
මඟින් මඟ බලවනා අරුණළු පමා වෙනා

හීන ඇහැරණා සුදු ඇතුන් දෙව් ලොවේදෝ
නේන කාරණා කිම නොනිම් පව් තියේදෝ
දෑස අයදිනා කිරි සිනහ කොහෙ ගියේදෝ
සසර බැදෙනා බැඳි බැඳුම් ගිලිහුනාදෝ

Photo Credit; Kristina Litvjak

කවිය බලන්න
හෙළයේ  මහා,සoස්කෘතික මoගල්‍යට   අවසරයි....

හෙළයේ මහා,සoස්කෘතික මoගල්‍යට අවසරයි....

නදී ශානිකා මහනුවර

පින්බර ඇසළ මස,අහසින් වැසි,වැටෙනා
ළා දළු අතු රිකිළි ඒ වැස්සට තෙමෙනා...
සුවඳට හැඩට ලස්සන නෙක මල් පිපෙනා...
ගම්භිර කන්ද උඩටර පෙරහැර ඇසෙනා...

පෙරමෙහි ගොඩ බැහැපු සුද්දා ගල විද්ද...
තැන බිම පටන් උඩරට වේ පර සිද්ධ...
හෙළයේ විකුම් පෑ බල ඇණි පොර බැන්ඳ...
වේ කඳුරටට අයිතිය තෙද නිල ලද්ද...

කුමරිය හේමමාලා දන්ථද පොරණේ...
පෙර මෙහි ආව බව සඳහන් වෙයි දෙරණේ...
සම්බුදු පිදුමටම ඒ දිවි කැප කෙරුණේ...
පවසම් වාම දළඳා පෙරහැර වරුණේ...

බාල මහළු වැඩිහිටි සැම කල් බලලා...
ප්‍රේම සිතින් පේවී සිල් ගුණ පුරලා...
පූජණීය දළඳා පිදුමට සිතලා...
පෙරහැර පවත්වයි සැම වසරක විපුලා...

සූසැට කලාවෙන් ලැබු ඒ දායාද...
පෙරපින නිසාමයි ලැබුණේ ඒ තේද...
කෙරුමට අවැසි නැත අසිරිය ගැන වාද...
ගම්භිර බවයි හඬගෑවේ ඒ නාද...

චට පට හඬට කවුරුත් කන් යොමාලා...
මුව අග සිනාවකි ඒ හඬ අසාලා...
කසකරුවන් පෙර එති මඟ සදාලා...
ඇරඹෙන වගයි මහ පෙරහැර කියාලා...

පන්දම් එළි සමඟ එයි පෙළ සැදීලා...
සුදු පිරුවටින් සැරසී කොඩි ගසාලා...
මල්දම් රැඟෙන සුවඳින් මුණි පුදාලා..
සැම සිත් පහන් වේ බුදු ගුණ සිතාලා...

වැයුවද පංචසික මේ ලෙස වීණාව...
නෙතු අග කඳුළු කැට ගෙන එයි හොරණෑව...
සම්බුදු රජුන් පතලා මහ කරුණාව...
වෙමි මා පා පියුම් ලෝ නා හිමි ගාව...

හදවත කිඳා බැසගත් හේවිසි සද්දේ...
ඇසුණා වීදියක් නෑරම බෙර සද්දේ...
දැන් නම් කාගෙ කාගෙත් නෙත විය ඇද්දේ...
වෙස් නැටුමටයි මගෙ නෙත් රූසිරි ලද්දේ...

කැරකේ දසත එළි විහිදා ගිනි බෝල...
පන්තේරුවෙන් වැඩදා නටනා තාල..
මල්පද බුලත් පද රඟදෙති හැම කාල...
අලි ඇත් රජුන් දැකුමට ප්‍රිය වෙයි බාල...

පෙර පින් කළා වූ ඇත් රජු බුදු පුදට...
දිවියම කැපකළා ඒ බව වෙයි සපත...
සිහිවේ නැදුන්ගමුවේ රජු කළ පුවත...
මෙවරදි දෙව් ලොවින් විත් වැඳගනු දන්ථ...

පෙර බල තේජසින් දිය වඩනා නිළමේ...
එක්වෙයි පෙරහැරට ගෞරවයෙන් හිඳමේ...
පෙරහැර වරුණ පවසන්නේ මා කොහොමේ...
නමඳිමි දොහොත් බැඳ සම්බුදු පා පද්මේ...

කවිය බලන්න
Parting Cousins

Parting Cousins

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

Through the lonesome night I stay,
Guarding kurahan fields of clay.
As silence hums my weary plight,
Never once will you cross my sight.
Cousin Sister,
Tomorrow's wedding bells call for you,
Yet deep sorrow cloaks my evening view.
The village sleeps, no stars in sight—
A moonless sky, a hollow night.

Though I met you secretly,
By the river, unbidden and free,
And waved to you beside the creek,
Love unspoken, words too weak.
Cousin Brother,
Though I gave my heart away,
Parental wish, I must now obey.
Destiny calls—do not weep,
For promises I could not keep.

I built a hut for us to stay,
Yet none can see my lone dismay.
Must I endure this silent pain,
Through endless nights, in wind and rain?
Cousin Sister,
Our childhood love, now torn in two,
Is this farewell, must we undo?
The dream of you as mine once more,
Fades like mist upon the river shore.

May joy be yours, adorned in light,
May fortune bless your steps so bright.
May you say, “I do," so true -
To a fair princess you woo.
Cousin Brother,
Let goddess Paththini, hear my plea,
May she guard and shelter thee.
But on that joyous harvesting day
Remember me, though far away.

Niranjan Selvadurai

About the Poem:
This is a conversation between two cousins. The girl is to be married the next day and will then move away. The setting is rural village in Sri Lanka, where farming communities live. The story line is based on a haunting Sinhala song "රෑ පැල් රකින කුරහන් පැහෙනා හෙනේ".
Kurahan is the local term for finger millet, widely grown as a cereal crop. According to folklore, Paththini (also known as Kannagi in South India) is identified as a goddess symbolising chastity.

කවිය බලන්න
රණ්ඩුව

රණ්ඩුව

නිමල් අබේසිංහ කඳාන

සිනා සී චණ්ඩ හිරු වසාගෙන අහස
උනා රැස් කදම්බය කරයි මා වෙහෙස

එදා මනරම් ලෙසම කියා රස රහස
මෙදා පිටුපායමින් දකී මගෙ දෝෂ

පියතෙපුල් තොදොල් බස් ඇතුල හරි තිත්තයි
රැවටුවේ මා නොවේ නුබ තමා සත්තයි

ගත පුරා රුදු විසක් මගෙ වැළඳ ගත්තයි
ඔව් ඉතින් මම් වැරදි අනේ හරි ඇත්තයි

ගිරි කුළේ පිපි මලේ සිරියාව ඔහොමයි
සුදු හකුරු රසවත් ය හදනකොට මෙහෙමයි

දළ යුවලෙ ගජමුතුය පෙන්නුවේ එහෙමයි
මුතු තබා මැටි පිඩක් නැතිවාම සේමයි

විලෙන් ගොඩ ආ විලස හසඟනක් මානසා
නුරා පිරි තෙපුලටම හදින් බැඳි ලාලසා

ගලින් නෙලු රුවක් යෑයි සිතූමුත් තිර ලෙසා
ව්ඳවමින් තැවෙන්නෙමි ප්‍රේම ගීයක් නිසා

ඉරි ඇඳලා පෙත හදලා පනිනවානෙ කොණ්ඩු
බත ඉදෙනා තුරු පමණයි අපි දෙන්නගෙ රණ්ඩු

කවිය බලන්න
හමුවීම වෙන්වීම

හමුවීම වෙන්වීම

පුෂ්පලතා කැකුළාවල

මල බැඳුණු අතිතෙක ඇවිද යමි රිදි රිදී
හද පතුල ඇදුම් දෙයි මතකයෙ යවුල් වැදී
නෙත කඳුළු පුරවද්දි ඇවිත් සුසුමන් පොදී
නුඹ ගැනම ගතු කියයි ඒකලු මිනිස් විදී

නිතර ආගිය තැනුත් කළේ ඔච්චම් මටයි
තනිව ඇති බව දැණුනෙ හතර අත බැලු විටයි
නැඟුණු සෙනෙහසට හිතෙ හැමදේම වගෙ යටයි
ඉනුව කඳුළක් හෙමින් කෙවෙනියේ තව නටයි

ජීවිතේ නේක විද කම්කටොලු විඳි හැටී
මාවතේ කටු පිරුණු ආ නමුත් වැටි වැටී
ප්‍රේමයේ සොඳුරු බව එදා ඔබගෙන් දිටී
පාවෙවී දුක කියයි හදවතෙ සුසුම් කැටී

කවිය බලන්න
ඉසිඹුවට පෙර මතක සිතිවිලි........

ඉසිඹුවට පෙර මතක සිතිවිලි........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ගිලන් නෙත් දැක දහස් ගණනින්
ලවන් පෙති මත සිනහ තබමින්
එළියෙ අඳුරෙහි දෙපා තබමින්
ගිලන් හල් තුල සදා සරමින්.

ප්‍රේමයක පල නෙතට දකිමින්
ළපටි මල් පුබුදුවා තබමින්
දෙමාපිය මුව සිනහ දකිමින්
ගෙවුනු කාලය සිතට ගනිමින්.

විකල් වූ මන හඳුන ගනිමින්
පියවි ලොව වෙත ඔවුන් යවමින්
ජීවිතය ජය ගන්න සෙනෙහෙන්
සහය දුන් හැටි සිතමි සතුටින්.

සුව සදා නෙත් දහස් ගණනින්
සිනාසෙන හැටි නෙතින් සතුටින්
දිනන්නට ලොව දසත දකිමින්
උදව් කළ හැටි සිතට ගනිමින්.

බිඳුනු අත් පා එකට තබමින්
දෙරණ මත යළි සරණ විලසින්
දිවිය ඔවුනගෙ යළිත් සදමින්
බලා සිටියෙමි සතුට විඳිමින්.

කෙළි බිමේ නෙක දිනුම් ලබමින්
රෝගි වූ සඳ සුසුම් හෙලමින්
අත දි දී මඟ නිදොස් කරමින්
පිහිට වූ බව සිතමි සතුටින්.

පටන් ගත් පසු නැවතුමක් ඇත
හොඳින් කල පසු පැවතුමක් ඇත
ජීවිතය තුල සහනයක් ඇත
ඉසිඹුවට පෙර මතකයක් ඇත.

කවිය බලන්න
අත දී සැමට අද ජීවත් වෙමු සැම හා

අත දී සැමට අද ජීවත් වෙමු සැම හා

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

දුක ඇති කරයි සමහරුනට අතීතය
සතුටම ගෙනෙයි ඇතැමුන් හට අතීතය
මට නම් සිහිනයක් පමණයි අතීතය
අමතක කරමු දුක ගෙන දෙන අතීතය

සැලසුම් අවැසි වෙයි මතු දිනයන් සඳහා
කැප කළ යුතු නොවෙයි සැම දෙය ඒ සඳහා
යා යුතු වෙයි ගමන නෙක දුක් සැප හරහා
අත දී සැමට අද ජීවත් වෙමු සැම හා

පුරවා බැංකු පොත් උපයන
සැම ධනයෙන්
තුටුවෙති කෙනෙක් කෑමක් කා තොර ගුණයෙන්
නොසිතූ ලෙසට ඒ සැම තිබියදි එනයෙන්
යාමට ඉඩ තිබේ දිවි හැරදා සැණයෙන්

තමනුත් නොකා අන් අයටත් නොදී කිසිත්
රැකගත් ධනය අතහැර නොම ඇතිව තුසිත්
ගිය කල ලොවෙන් සමුගෙන ඔබ නොසිතු කිසිත්
පුඟුලෙක් ධනයෙ හිමිකරු ලෙස පෙරට බසිත්

එනිසා ධනය උපයා අපි සැවොම සොඳින්
හතරෙන් එකක් වෙන්කොට හෙට දිනට ඉඳින්
කා බී සතුටු වී දුක හැකි ලෙසට සිඳින්
අන් සැම දෙනාටත් අත දී වසමු සොඳින්

2025 / 07 / 27

Photo Credit; Austin Kehmeier

කවිය බලන්න
ආදරී

ආදරී

පවිත්‍රී මෙන්ඩිස් මතුගම

දැන් දවස් ගෙවෙන්නේ
ඉබි ගමනින් ය....

උදේ ලා තැඹිලි අහස
හවස
තද රතට හැරෙන තෙක්
වන කාලය
ගෙවා ගන්නට බැරි
තරමටම උණුසුම්ය....

ඉස්සර මෙන්
ගස්ලබු තීරුවක් උලා කන
ලෙහෙනුන්
බත් ඇට අහුලන දෙමලිච්චන්
තියා
වතුර බොන්නට එන
කපුටන් වත් දැන්
දකින්නට නැත.......

ඇන්තූරියම් මලක්
ඉඳහිට නටුවකින් එබී
සුළං තාලයට ඔහේ පැද්දෙයි
රෝස ගස් කණාටුව
බිම වැතිරෙන්න
ඉඩ සොයයි.....

දවසක නිස්කාන්සුවේ
හවසක කියවන්නයි කියා
අපි ගෙන ආ පොත් සියල්ලම
රාක්ක මත දූවිලි වැලඳගෙන
මං දිහා බල බලා රවයි.....

කාලය පිළිබඳ නිනව් නොවෙයි
කපුගේ හඬින්
තරු මල් පොඩි කරයි
මගේ සිත
සත වරුස ගාණක එපිට
යැයි සිතෙන තරම්
ඔබ උන් මතක මත
ඔහේ සක්මන් කරයි.......

මතුගම

කවිය බලන්න
සුදු නෝනේ....

සුදු නෝනේ....

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

ඉඳහිටක කවි ලියා
ගලපගෙන එලිසමය...
අයිතියක් නැති නුඹෙන්
නොඉල්ලා මධු සමය...
කඩු සටන් කුමකටද..?
කුමරුන්ට දෙමි වනය...
සතුට නම් නුඹ තුටින්
ඉන්නවා දැකීමය....

මේ භවය හිමි නැතත්
දුක් නොගෙන දරපන්....
සසරෙ මතු කාටවත්
බහ නොදී ඉඳපන්....
හුරු පුරුදු ඇස්, කොහේ හරි
ඇතිද හොයපන්....
සංසාරෙ එක වරක්
මගෙ වෙලා බලපන්....

අසාපන් ඉතින් නුඹ
මගේ සුදු නෝනේ....
මැරුණ දවසක කඳුළු
එපා ඔය මුහුනේ....
දමන්නට කලින් පස්
අහුරු, මිටි ගානේ....
නුඹේ කවි ටිකක් විසි,
කරන්නට ඕනේ....

2025:07:23

කවිය බලන්න
තන තන තාන තම් දෙනා ...

තන තන තාන තම් දෙනා ...

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

ගුරුන්නාන්සේලාගේ කට්ටියෙන් මිදී
අගනුවරට පැනගත් කොලු ගැටයා
මා සමග කියන ලද අත්දැකීමක්
නිතර සිතට එන වද දෙන රැයකි මෙය

පෙරහැරක් අවසන් කර විඩාබර වී
කුඩා අවන්හලකට ගොඩ වදින ඔවුන්
තේ වතුර ඇණවුම් කර සිටින අතර
ලැබෙන්නේ දෙක තුනක් අඩුවෙනි

ඒ කුමක් නිසාදැයි විමසන සැනින්
අඬු බිඳුනු බඳුන් තවත් එහි නැති නිසා
මඳක් ඉවසන්නට නොහැකි මන්දැයි
සිද්දිය දකින අයිතිකරු පෙරළා අසයි

තන තන තාන තම් දෙනා තාලෙට
ගුවනට පැන උකුස්සා ගසමින්
මසිත තුළ පෙලහර පාන්නේ
නිත්තවෙල ගුරුන්නාන්සේදැයි සිතේ

19.07.2025

කවිය බලන්න
නමදිමි නුඹව ඒ බුහුමන් හැම මට පිදුව

නමදිමි නුඹව ඒ බුහුමන් හැම මට පිදුව

රංජනී කොස්තා නවසීලන්තය

බිරිඳය කියන පදවිය ලැබු
එ, පලමුදිනේ
සත්තයි තවම දැනෙනවපිරු
ඔබගෙ සෙනේ
පිංබර නෙතඟ දිදුලපු හැටි
මතකය, කොනේ
දිවිමග සවිය එලිවී ලැබු
වරමකි ,පිනේ

දසමස කුසදරා දරුවන්
ලොව බිහිකෙරුව
රතුලෙය කිරට පෙරමින්
කුසගිණි පිරුව
අම්මායන කිරුළ සතුටින්
මගෙ හිස තැබුව
නමදිමි නුඹව ඒ බුහුමන්
හැම මට පිදුව

මහමෙර නුඹම වූ සෙවනේ
මම කල්මැරුව
හඬනා විටදි කිරිදරුවන්
රෑ නිදිවැරුව
යහනේ කොනකහිද නුඹ මට
නිති සවි පිරුව
මතකය අදත් සවියකි නුඹ
මගෙ දිවි තරුව

නවසීලන්තයේ සිට

කවිය බලන්න
ඔබෙයි මගෙ හිත් අහස..

ඔබෙයි මගෙ හිත් අහස..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

වෙරළ ලද හාදුවක
තෙතමනය මිසක
ආලයක් ගැන වගක්
කියන්නේ කවුද
පාළුවක් දැනුණ විට
හිත කැබලි කෙරුව
ප්‍රේමයට මේ තරම්
රුදුරු විය හැකිද?

කවිකාර හැන්දෑව
මග බලන් හිටිය
හිමිකාර සකිය නුඹ
සරදම් ම කෙරුව
වැටෙන්නට නොදී
පස් යට බදා සිටිය
නොපෙනෙනා මුල් පොකුර
ගැන වගක් නැතිද?

ජාති ජාතිත් පතන
ඒ අරුම හුස්ම
පාවෙලා යයි නැවත
ක්ෂිතිජ ඉම තෙක්ම
වදන් සඟවා හඬන
සෙනේ පන්හිඳට
හෙට සිටන් හිමිවේවි
මගේ හිත් අහස!!!

Photo Credit; Prophsee Journals

කවිය බලන්න
Love  without limits

Love without limits

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

Even if it's like carrying a huge mountain
On your shoulders..!
How come you never showed us.
It was so lovely,that
You went through life embracing love..!
Though you gave us very little advice.
Even in my seventies,I still
live by it
Your words make my life so much easier
You showed us the right path by example
When I was "two decades old",we lost you forever..!
Though,I've spent half a century without you
That love keeps me alive
I don't know where you are today
But....!
I know one thing..
I lead a life of comfort in the world....
You, and my mother tried to build up for me.

Photo Credit; Everton Vila

කවිය බලන්න
සුදු දෝණි

සුදු දෝණි

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

සුහුඹුල් අත් විදා රඟදෙන සැළලීනී
මල්මල් සිනා, කඳුළැල් පිරි සුදුමූණී
සුරතල් වදන් දී සනසන මධුභාණී
කෙළිලොල් බෝනික්කි නුඹ මගෙ සුදුදෝණී

පිනිමුතු වැටී දිදුළන ඔය කෙහෙරැල්ල
හදබිතු මත අඳී දුන්හිඳ දියඇල්ල
සැළමුතු පෙමින් නගනා විට හසරැල්ල
මිණිමුතු කුමට මට ඇති මගෙ දඟමල්ල

සවසට ‌ගෙදර එනතුරු මග බලන්නේ
උකුළට ඇවිත් නිරතුරු මුව සිඹින්නේ
බොරුවට තරහවී ඈතින් හිඳින්නේ
නැතුවට කඳුළු මහ හයියෙන් අඬන්නේ

ගතවී බාල විය සිටු කුමරියක ලෙසින්
හැඩවී තුනුසපුව දෙවඟන සදිසි රුවින්
වෙන්වී කුලගෙයට යනදා නුඹ සතොසින්
සිහිවී නැගේ කඳුළක් නෙත්කෙවෙනි අගින්

සිටියද ලබා සෙනෙහස මව්පියන්නේ
ඉඳවිඳ සියල් සැප රැජනන් ලෙසින්නේ
උන්නද දූවරුන් නැහැ ළඟ රැඳෙන්නේ
පින්මඳ උන්ද දෙගුරුන්දැයි ‌නොදන්නේ

කවිය බලන්න
Letting go...   -  Swarna Kanthi Perera

Letting go... - Swarna Kanthi Perera

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

Sun sets
Moon rise
Flowers bloom then faded

Some birds sing
While others cry
A Calm wind blows
Across the field

All good and bad
Gather on a dusty lane
Hope on one side
Disappointments on other side

No one ahead
No one behind
The Whole world is on a deep sleep

Patience
endurance,
letting go
,and laughter her ways.

bid farewell to each and every sound
and attractions
he is awakened..
She must be the happiest creature in this universe..

Wewaldeniya
[email protected]

කවිය බලන්න
මියගිය කවිකම

මියගිය කවිකම

සුනිල් මෙන්ඩිස් මීගමුව

අතහැරුනා නොදැනිම
සිත උපන් කවිකම
යනු දැනෙනවා
දින දින ඈතට ඈතට
පැටලි පැටලි වචන
ලියනු බැරිය
පෙරවාගේ හුරු රටාව
අවදි කරනට
බැලුවත් දසටම
නොහැකිය ගලපනු
සිතුවිලි කදම්බය....
කාලය විත් සමුදෙන්නට
කියයි යටිසිත
ඉන්නට නිහඬවම
මතකය නොරිදවා
කඳුළකට බරකර
සිහිකරමින්
අතීත සිහිනයන්
ගෙනදුන්
සතුටු කාලය.....
පතනමි අවසර
යන්නට අතහැර
පැතුමන් පිරි
සොඳුරු කාලය
සදහටම සමුගෙන.....

Whatsapp - +94727802034

කවිය බලන්න
දවාලකින් බැරිද එන්න

දවාලකින් බැරිද එන්න

සුමිත්‍රා ආරියවංශ මහනුවර

මන්දාරම් වැහි වළාව මුලු අහසම වටලනවා
ඇස් මානෙන් අකුණු කොටා එළි පිට එළි විහිදෙනවා
දෝංකාර දෙන සද්දෙට කනේ අගුලු හිරවෙනවා
ඩෝං කියා පුපුරාවිද බයටම අපි ගෙට වෙනවා

උදෙන්ම ගිය අප්පච්චී තවමත් නහැනේ පෙනෙන්න
මහ වැස්සක් ඇද හැළුනොත් ඇත්තේ වක්කඩ කපන්න
ඉහ උස්සන පොඩි පැළපත ගොබත් ඵක්ක ගයි තැළෙන්න
අම්මා කිය කිය දොර ළඟ පරක්කු වෙයි අද උයන්න

පාඩම් පොත පෙරළන්නේ අම්මගෙ ඇති කරදරේට
පුංචි අපේ හිත යන්නේ අප්පච්චිගෙ හුරතලේට
ඇස් ටික ටික පියවෙන්නේ බඩගින්නෙම නිදිමතේට
වැස්ස අනේ බැරිද එන්න දවාලකින් හෙට දිහාට

Photo Credit; Max LaRochelle

කවිය බලන්න
හීන

හීන

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ජීවන ඔරු පැදයන්නට හබලක් නැති කල
සයුරේ නැව් ගෙනියන හැටි තිබ්බෙ හීන වල
එක විදියට හිතාපු හැටි පිස්සුත් කෙල කෙල
මතකය පමණකි ඇත්තේ ඉතිරිව හිත තුල

ගැණ ගන්ටත් බැරි විදියට එක්වී සිටි සඳ
තරුණ කාලෙ කොච්චරවත් යාලුවො හිටි යද
අර ගත්තත් ලොකු කඹයක් තියා ගන්ට බැඳ
ගැටේ ලිහිල උන් ඔක්කොම සීසීකඩ අද

අතාරින්න කලින්ම අතඇරුනම ඇති දුක
සරුංගල් වෙලා හැමෝම පාවී යන එක
නිම වෙනතුරු සසර ගමන යම් කිසි දව සක
හීන දකිමු විඳින්න තව්තිස සම්පත් නෙක

කවිය බලන්න
හාල් නොගරණ ආච්චි

හාල් නොගරණ ආච්චි

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

අල්ලක ඉඩක යන්තම් අටවා තිබෙන
වහලක දිරූ, හිරු සදු ගෙතුලට එබෙන
මැදුරක නොදුටු සිරිකත දිව රෑ සරණ
බැල්ලක දුටිමි ගෙපැලේ අගුවේ ලගින

එක පොල් ගසකි, බත් ගස, මුල සිට ගෙඩිය
සැක බිය නොමැති හන්දා වැට කොටු තොරය
සක රිය ලකුනු දෑසට නොපෙනෙන දුරය
වක කොදු නැමූ ඈ දිවමන් සිරි කතය

අපායට බියක් සිත් තුල නැති හන්දා
උපායට වෙහෙර වට රෙදි නොම බැන්දා
පලාතට ගමට නොකරන නව නින්දා
දවාලට මිසක රෑ කෑවද මන්දා

බත් පත අනා කොටහක් අගු පිලට හලයි
බණ නොම දනී බලු නගුටෙත් නිතර වැනෙයි
අන නොම කරයි ඇය ලග බැල්ලටත් සුවයි
සැනසුම සිත පුරා මිත්තනි යසට නිදයි

දර ඇහිදලයි ලිප ගින්දර අවුලන්නේ
දුර ගන අඳුර ගින්නයි තනියට ඉන්නේ
බර නෑ මැටි කලේ ලිදමයි දන් දෙන්නේ
කරදර තමයි හරබරවී ඉප දෙන්නේ

හැඹිලිය ඉඟ තුරේ නොව, තැන් තැන් වලය
කසාදය කුරුටු ගා දැන් හැට වසය
තුවාලය සුවයි කැලලක් නොම දිටිය
ද්වාරය නිවන අත් හල විට ලගය

කවිය බලන්න
නිවෙන මග

නිවෙන මග

සුධර්මා වීරක්කොඩි

නිවනින් නිවෙන මග
මුල් පියවරකි මරණය
ආවා නම් යා යුතුය
කියා සබ්බං පහාය ගමනීය

නොවදින සංසුන් නින්දය
මෝහය ගිලීගිය සත්‍යය
බැරි උනත් අත් හැරිය ජීවිතය
දඬුවමක් නොවේ නවමගක ඇරඹුමය

කඳුළු කැට දෙකක ගැබ් උන
විලාපය බියකරුය නොකියවුන
මමත්වය මොහොතකින් අතහැර
නතර විය සිහින මංපෙත

එළියම දකිනු අරමුණ
නිරාත්මක ගමන මරණය
අත නොම හැරෙන අනිතය
නව ඇරඹුමක දොරමය

හුස්ම නොවැටෙන නැවතුම
නිරවුල් දොරක් විවරය
සන්සුන්ම උදානය
නිවනට ලඟය මරණය

කවිය බලන්න
පණ ගැහෙන පෙම

පණ ගැහෙන පෙම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මතක ගසින් මිහි මත පත් වියළි කොළ
අතක දරාගෙන එහි බර දරන කල
කවක වගේ අහසේ ඒ මුහුණු මල
හඳක වෙලා විත් කළඹයි සිහින විල

එදා ඉඳන් හිතුවත් එක තැනක ඉඳ
සදා දෙතැන හිතුවිල්ලෙන් පලක් වෙද
බදාගෙන මෙතෙක් ආ ගිය පැතුම් කඳ
නිදාගෙනය තාමත් සෝ සුසුම් මැද

අතට ලැබුණ දේ ගිලිහී යන්න ගියේ
ඔබට වරද නොදෙමී එය ළඟම තියේ
ළඟට ඇවිත් පෙළහර පෑ හැකි ද ලියේ
දැනට අහිමි මුත් පණ ඇති පෙමකි ළයේ

කවිය බලන්න
පලයං සෙනසුරු

පලයං සෙනසුරු

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

සුදුපාට බෝධියට මම ගොස්
කොළපාට පඬුරකුත් බැන්දා
එක නැට්ටෙ දෙහි තුනක් අඹරා
නීල මණ්ඩල හතක් බැන්දා

වට්ටි දහයක් පිරෙන්න ම
හත් පාට මල් හත් තැනක පිදුවා
මුට්ටි ගණන⁣ට ගණං ගෙවලා
ක්ෂීර සාගර බිමට ගැලුවා

පුපුරු ගසනා ඇස් දෙසීයට
නයිල් ගඟ හරවලා බැන්දා
කට්ට කරුවල රෑක තනියම
අහස් ගැබ සඳ සාවි ඇන්දා

⁣ගිතෙල් තිර දල්වලා ගුළි කර
බලු කපුටු දානයක් දුන්නා
සද්ද කර කර ඝාණ්ටාරා
සුවඳ දුම් පණිවුඩත් යැව්වා

එහෙව් කරලා හත් වසක්
සත් මසක් තව සත් දවස් පැන්නා
මොකද්දෝ කිල්ලකට හසුවී
ආයෙමත් ඔළුවටම වැටුණා

කවිය බලන්න
අසනි වැස්ස

අසනි වැස්ස

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

වෛද්‍ය සමන් ජයමාන්න - කඳාන

නියං යාමයේ වට මේ වැහි රැල්ල
අනියම් ප්‍රේමයක් සේ මය, සේ මය, සුන්දරය.
නොසිතූ වෙලාවෙක නොසිතූ විලාසෙට
වැගිරෙන රඟ බලමි, වියැළුණු පොළොව මත.

ගුගුරයි අහස, පිට කර නෙක අකුණු සර.
කැළඹී හමයි, තුරු අඹරා සැඩ සුළඟ.
උතුරා හිනාවෙයි, දිය සුළි සමග වැව.
පිහිනා කිමිද යමි නොබියව, ගැඹුරු දිය.

පිපිරී ඉරි තැලී ගිය මගෙ ලියැදි පිට
කැකිරි, කොමඩු, වැටකොලු ඉන්දා තිබිණ.
රන් දියවර පැමිණ යට කර නිසරු පැළ
හෙට දින වඩන සරු ගොයමට සදයි, පස.

ඉඩෝර ඉපල් මත ලියලයි, ළදලු කොළ.
නෙක පාටින් පිපෙයි, දහසක් කුසුම් හැඩ.
නියං කොබෙයියෝ හැර යති වෙල් එළිය,
වැහි ලිහිනින්ට ගගනත ඉඩ ඉතිරි කොට.

අනියම් ප්‍රේමයක් සේ මය, සුන්දරය,
නියං යාමයේ වට මේ වැහි රැල්ල.

කවිය බලන්න
දුගියෙකි මා

දුගියෙකි මා

සමන්තා විතානගේ

උපදින විටදි කිසිවක් නැත ගෙන ආයේ
කල හොඳ නරක පමණකි ඉතිරිව වූයේ.
දිවියෙහි අතිර බව ලෝ දහමකි කීයේ
දිනිඳුව ඉපදුනේ පෙර පව පල දීයේ

යහමට යමක් නොතිබුණ මුත් මා සෙවුව
කිසිවිට අත නොපා දුකසේ දිවි ගෙවුව
කරගැට හැදෙනතුරු දෑතේ කැඹිරෙවුව
පවකට හිමිවුනේ මහ පාරක අවුව

බිරිඳව ගියා මා අතහැරදා එලොව
පුතෙකුව වැදූ දිනයෙම තනිකර මෙලොව
බුදුබව ලැබු හිමියනි තිළකවු තිළොව
පිනපව දෙකම පළදෙන කර්මෙකි දෙළොව

රියසක වගෙයි දුක සැප නිති පෙරළෙන්නේ
දහමක වගයි අප හට පෙන්වා දෙන්නේ
නිවසක නැතැයි කෙලෙකදෝ පවසන්නේ
තුමුලක නැනැති දරුවෙකු දැන් මට ඉන්නේ

යහමට උගන්වා ලොකු මිනිසෙකු වන්න
දහමට යොමු කලේ ගුණ බණ දැනගන්න
කදිමට කසාදය විය බැඳලා දුන්න
පියෙකුට උරුම වූයේ පාරද ඉන්න

කවිය බලන්න
මතක සුවඳ

මතක සුවඳ

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

වැහි වැටෙන මිදුල කොන කඩදාසි ඔරු යැවු
වැසි වසින හැන්දෑවේ තෙමෙන්න ට මග දිවූ
ජිවිතේ සිහින ළග මතක මන්දිර මැවූ
සොදුරු වූ සිත්තමකි මා විසින් මා සෙවූ.....
.මල් වැටුණු රැළි ගවුම එක රටාවට මැසු
බොරළු මාවත පුරා පා පොඩිති ඉකි ගැසූ
නෙක රටා නොමැතිවූ කොණ්ඩයට මල් ගැසූ
මතකයට පෙම් බදිමි සිහින ළග නෙත් වැසූ..
කාලයේ වැලි තලය පහුරු ගාමින් බැලු
බොඳව ගිය දෙනෙත් යුග මැවේ කදුලැලි සැලු
ලද දෙයින් සැනසෙමින් හිනා කැකුලක් සැලු
හිමි නොවූ මතක පොදි කෙතරම් ද හද සැලු

19/07/2025

කවිය බලන්න
මේ තරම් කවි කුමට...

මේ තරම් කවි කුමට...

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

ශ්වේත, ලා නිලට හුරු වළාකුළු පැහැයට
ඉඳුදුන්න, රිවිකිරණ, වැටෙන වැහි කඳුලට
පිටු ගණන් පද පේළි ලියැවුණත් අහසට
අහස නුඹ හරි දුරයි, මම ඉන්න පොළවට

මල් සුවඳ එකතුකර අතහරිමි සුළඟට
පාවයන අරුම කිම කළුවර ම අහසට
අමාවක දා රැයෙහි සඳ නැතත් තනියට
කවියෙකුට තනි නැතිලු දිළෙන විට තරුකැට

කුරවියන් ගී ගයන, මල් පිපෙන, උදයට
මඳ සුළඟ සුව විඳින හරිත තුරු නැටුමට
ආදරේ බෙදනු මිස සුව සදන පොළොවට
මේ තරම් කවි කුමට දුර තියෙන අහසට

කවිය බලන්න
🗙