ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2024 පෙබරවාරි කලාපය
කෑල මලට උණුහුම උවමනාවී
පාර බලා හිටියේ කෝකිලාවී
රෑට සීතලට තරු බය නො වේවී
තාම උණුයි නුඹේ හඬ දේවතාවී
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ආචාර්ය නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් කෙරුණු ලන්ඩන් කවි උපහාර කලාප කවි එකතුව මෙම මස දොරට වඩී.
ශ්‍රී ලංකා නීති විද්‍යාලය 150 වන අභිමානවත් වසරට පා තබයි
සිත අවදි විය,
නෙතද පිබිදුනි.
නිර්නාමික විහඟා
හැඬුවේ නැත තාමත්
ඌ හඬන්නේ පහයි විස්සට
කොයින්ද ඝටිකාවත් උහුට
හැමදාමත් පහයි විස්සට
නිරුත්තර පැනයකින්
පෙළෙමි සැමදා
දිනක අලුයම පිබිදී,
නොපෙනී යන තෙක් තාරකා
බලාසිටියා
සිතිජයටත් එපිට ලොවක හිඳ
නොඉඳුල් එළිපොදක් පැමිණ
සිප ගත්තා වලා දෙකපොල
රත් පැහැවන තුරු
අන්න විහඟා හැඬුවා
දැන් පහයි විස්සයි
සොයාගත්තා සොයාගත්තා
ප්‍රීතියෙන් ප්‍රීතියෙන් කෑ ගැසුවෙමි.
අසල්වාසීන්ද නිදි ගැට ලෙහෙමින්
අවදි විය
සොයාගත්තා සොයාගත්තා
ඝටිකාව විහඟාගේ
පසුවදා අ ̈යම
හැමදෙනෙක්ම අවදිවී
ඔරලෝසුත් අතේ බැඳගෙන
අඳුරු අහස් කුස බලා සිටියා
පහයි විස්ස වන තෙක්
වළාකුලක්
රත් පැහැ ගත්තේ නෑ
ඉන්පසු කවදාවත්...
මෙම කවි සන්ග්‍රහය බාගත කරගන්න.
කවිය බලන්න
සමූලඝාතනයක් ඉදිරිපිට
වැටුනාද එක කඳුලක් නෙත
හෙලුවාද එක සුසුමක් දිග
සමූලඝාතනයක් ඉදිරිපිට
අඳ ගොලු බිහිරි ලොවම අද
නිමේශයකින් සමතලා වුන
විලාප හඬේ දෝංකාරය
නුඹලාට නොඅඇසුනේ
ඒ ලදරුවන් මිනිස්සුන්
අපි නුඹලාගේ නොවෙන බව
පලක්වෙද ලෝක ජාතී සංගම්
නිශේඳ බලයක් තිබෙන කොට
පාලන බලය බල වතුන් අත
දිළිඳු රටකට හඬක් නැත
මානව කොමිසන් පුරාජේරුව
පුස්සක් වුනා අද දින
අපිට පමණයි උන්ගෙ උදහස
නොදුන්නොත් තීරණ යුක්තියට
වසා දමමූ සඳහට
හේග් නගරෙත් උසාවිය.
කවිය බලන්න
පුතේ කවුරුද එපා කිව්වේ
මීවිතේ මතයෙන් මතක අමතක කරන්නට මා වෙහෙසුනාවේ
සිතේ නලියන සෙනෙහෙ ගින්දර නෙතින් රිසි ලෙස පිටවුණාවේ
ලෙයට ලෙය බැඳි අපේ බැඳුමන් බිඳින්නට කවුරුන්ද ආවේ
ලොවේ පිරිමින් කොතෙක් සිටියත් මගේ තැන අරගන්න බෑනේ
පිටේ කරමත වඩාගෙන, මම අදත් පෙර සෙල්ලම්ම කෙරුවේ
ඔබේ සීතල දෙතොලමයි මගෙ බඩේ ගින්දර නිවා දැම්මේ
හිතේ ආදරෙ ඉතුරුවත් එය උඹට මට එය දෙන්න බෑනේ
පුතේ කවුරුද එය පුදන්නට මගේ පුතු හට එපා කිව්වේ
කවිය බලන්න
අම්මා
මුසුකර කිරි සමග නොදෙවැනි ආදරය
කවිකළ නොහැක නුඹ වගෙමයි සාගරය
බිය නොම දැනේ ළං වූවත් මාරුතය
සවි බල ලදිමි නොම පමණකි ජීවිතය
දහදිය සුවඳ ගත සිඹ එන මීවිතය
සිහිවෙන නිතර නිම කරවන ආතතිය
ඇසුරට යෙහෙළියකි සරසා දෙන දිවිය
කොතරම් කවි කළත් ඔබ ගළපනු බැරිය
කවිය බලන්න
මහ උන්දා
නෙත අයාගෙන
බලා හුඟ දවස් ඉඳ
නෙලාගෙන පලවැල ටික
හැම එකක විඳ රසය
අවසනේ
විලිස්සාගෙන දත කට
මහ උන්දා ඈදි ගෙන
පිල කොනක
කොඳුරයි...
නැතිව කිසි විලිසංගයක්
"කපන්ට ඕනෑ කොස් අතු ටික
අතුගාලම අමාරුයි කොන්දට"
Photo; Jason Leem
කවිය බලන්න
පාරමී පුරන්නම්
පමා වී ඇවිත් නුඹ හදවතම සිම්බම
සංසාර මතකයක් පිබිදුනා සුවඳට
අයිතියක් නොපතාම ළඟ ඉන්න සිතුවට
දුක්බරම කඳුලකින් හිත දැවේ තිස්සෙම
බවෙන් බව ළඟ හිටි මතකයන් හින්දම
හැමදාම ඉගිලෙන්නේ සොයාගෙන නුඹේ රුව
හුස්මක පවා නුඹ දැවටිලා එනකොට
දුරස් වන්නට හිත හදාගන්නේ කොහොම
සැතපිලා ලය මත්තෙ විදින්නට උණුසුම
බැරිවුනත් මේ බවේ නුඹ ළඟින් ඉන්නට
කරපු පිං මදි වෙලා අපි දුරින් උන්නට
ආදරෙන් හිත පිරේ වැටෙන හැම හුස්මක
මතු බවේ අපි කලින් හමු වෙලා ළඟ ඉන්න
දෙඅත් පටලාගෙන සංසාරේ දුරයන්න
හුඟක් දේ තියනවා ළඟ ඉඳන් කියවන්න
පාරමි දම් පුරමි මගෙ පැතුම් ඉටු වෙන්න
Photo; Heather Mount
කවිය බලන්න
අප්පච්චි .......
කදුළු හංගන් හිත් කොනේ
තාත්තලා ඇත සිව්කොනේ
තුරුල්ලේ නැති වුණත් දරුවන්
බැල්ම ඇත තවමත් හිතේ
බැල්ම ඇත හැමදා හිතේ
සූ විසි පැයේ වෙහෙසෙන අම්මලා
ගෙදර සකසුරුවම් කලා
දා බිංදු රැස නිති වගුරලා
තාත්තලා බර පැන සොයා
තාත්තලා ඇත වෙහෙසිලා
සුමේ කරනා තුන්යමේ
වින්ද දුක් නම් නිම් නැතේ
අඩලා දොඩලා නොකිව්වට නිති
නැතිද දන්නේ දරුවනේ
නැහැනෙ දන්නේ දරුවනේ
තුරුල්ලේ ඉදහිට හොවා
සෙනෙහේ පානා අප්පලා
හිතේ මහමෙර තරම් රැදි
සෙනෙහෙ ගඟ නැත වියැකිලා
තවම නැත එය වියැකිලා
පිය සෙනේ නැත මතුවෙලා
තාත්තලා ඇත සැඟවිලා
කදුළු කැට නැත මතුවෙලා
දුක දරයි සැප දුක දරා
සැපද දුක සමබර කලා
කවිය බලන්න
කඳුළු රැයක්
අඳුරු අහස මැද
දිලෙන කිරණ ඇත
එලිය කොහේ සිට
විහිද එතත් කිම
රැයේ නොනිදි නුඹෙ
දෙනෙත් වුනත් තෙත
සඳක් නැගෙනු නැත
එලිය රැගෙන අද
තවත් දිනක් හෙට
ලබන පිහිට දැක
තෙත්වු දෙනෙත් හැර
බලන් පැතුම් ගෙන
හිරුද සමග තෙත
පිණිත් රැගෙන එන
හෙටක් ලබන විට
හෙලන් එදෙස නෙත
කවිය බලන්න
වෘන්දා වනපෙත
රාධා ක්‍රිෂ්ණා පෙම් ඕවිල්ලේ නැළැවූ
වෘන්දා වනපෙත හරිත ලතා ළපලූ
වස්දඬු රාවය රැව් දුන් ලිය ගොපලූ
කොහිදෝ අද ඒ යොහොඹු ලතා මඬුලූ
ගජ කුම් බිඳිනා තුඟු එකසර කෙසරූ
සා මුව සේනා වග වලසුන්ගෙන් සපිරූ
නීල වලා දැක පෙම් කෙළනා මොනරූ
කොහිදෝ ඒ වෘන්දා වනපෙත සොඳුරූ
විත් රුපු සෙන් අත් දරමින් අවි රුදුරූ
බිම හෙලමින් නිල්පැහැ රුක්ගොමු මහරූ
රුක් දෙවියන් ගිනි අවුලා සිත් පැහැරූ
අරගෙන ගිහින් හොරු ඒ වනපෙත සොඳුරූ
කවිය බලන්න
උල (රිදුම )
අඩියක් ගහන තැනක
"එයා බඩ්ඩක්" කිව්වම
බූට් කාපු මම
පත්තු කලා දුමක්
අවුලක් නැති උනාම
නෝන්ඩි කරලා වට්ටන්න
ගලවන්න බැරි දතක් වගේ
උංට තිබුනා "නමක් "
වහ බිව්වේ නැති උනාට
වහ වෙච්ච ජිවිතේක
වම් කර්ණිකාව උඩ
මමත් දැක්කා"හිලක්'
කවිය බලන්න
තිස් හය (මගේ සහ ඇගේ)
දෝනි ට අවුරුදු අටයි
තුන වසරෙ ගමේ පාසැලෙයි
බාලිකාවට දමන්නට
මුදලක් එකතු කල යුතුයි
මහ ගෙදර අපට සැපයි
ඒත් අප පිට විය යුතුයි
නිවහනක් කොලයක තිබෙයි
එයත් එක සිහිනයක් තමයි
සයිකලේ ගමන කඩිසරයි
අපට එය දිව්‍ය රතයයි
අප සිහින ගෙත්තම් කලේ
එහෙම යන එන ගමනෙදියි
ඩිග්‍රියෙන් පසු ඔයාගේ
උසස් වීමක් ලැබෙයි
එවිට වැඩි පඩිය පෙන්නලා
ලොකු ණයක් ගන්නට හැකියි
අම්ම මට ඉඩම ලියන්නට
අයිය එනකල් ලු ඉන්නේ
අයිය මේ සැරේ ආවම
ඒ වැඩෙත් හරියයිනේ
ඇයට දැන් තිස් හයයි
උසස් නිලයක් දරයි
නමට ඉදිරියෙන් ලියැවුණු
ඉංග්‍රීසි අකුරුත් ගොඩයි
විසිටින් කාඩ් පත දැක්කම
සතුටුයි ආඩම්බරයි
අයනු ආයනු කියූ හැටි
නිබඳවම සිහියට නැගෙයි
සුව පිරුණු නිවසක වෙසෙයි
දැසි දසුන් වාහන ද තිබෙයි
සමුළු සම්මන්ත්‍රණ ගොඩයි
සිරස් තල වල රැඳෙයි
දොඩමළුව ගෙවන්නට කාලයක්
සැම්යටත් ඇයටත් නැතෙයි
පරිගණක තිරයන් මතෙහි
ඉතා දිගු පැය ගෙවෙයි
සම්පතින් නැතත් අඩුවක්
සරු බිම් රැල්ල ට නතුයි
ඉගිල යන්නට මව් බිමින්
තටු පිරිමදිමින් සිටියි
Photo; Natalya Letunova
කවිය බලන්න
අම්මයි දුවයි රැයයි
පුංචි දවස්වල නින්දෙන් බයවී
ටෙඩියත් අරගෙන මහ රෑ යාමේ
කියමින් දිව්වා ඔබ වෙත අම්මේ
රකුසන් ඉන්නවා ඇඳ යට හැංගී
විදුලි පහන් සිලු නිවි නිවි යනවා
දහවල නිදි ලොව ගත හිරි හරිනවා
සෙවනැලි සුවිසල් රූප මවනවා
හද ගැහෙනා හඬ කණට ඇහෙනවා
රකුසන් ඉන්නවා අද මගෙ ඇඳ මත
දුවන්න බැහැ මට අම්මගෙ සොහොනට
පුංචි දෝණි මගෙ යනවා අකුරට
මට ගිලිහුණු ලොව දෙනවා ඇය හට
කවිය බලන්න
තීර්ථ යාත්‍රිකයා.....
රම්‍ය සුරම්‍ය සුභ
අහෝ කුමකටද
රතිකෙලියෙහි යෙදෙමි
රැයක දහවලක වෙනසක් නැති
කසී සළු දසත විසිරී ඇති
මන බන්දනීය රුවැත්තී .
විදිමි විදිමි අපමණ වෙහෙසයි මට
කයෙහි ඇති රුදාව
හිස ඔසවා,ගත නොහී වැතිරෙමි
අනන්තය සොයා ගිය ගමනකි .
කොහිද ඒ අවසන.
ගත,දොවා,ගමි
එහිත් ඇති සුරඟනන් අපමණ
ගැහැනුන්මය උන්
අපුලය අපුලය.
ඇවිද ආමි
වීදියෙහි තානායම් බෝ වෙති .
සෑම තැන්හිම හිඳ පානය කලෙමි මදු
සෑම විතකම එකම රසයකි.
අපත්‍යය රුචි නොවේමැයි
ඉවතලූ අහරෙහිද පානයෙහිද
අපුල ඕ දුර්ගන්ධය .
චන්න ඉවත යා යුතුය අප
අලුම රසයන් ඇති තැනක් වේනම්
සොයා යමි.
යශෝධරා කමා වුව මැනවි
කිසා,මා වෙනුවෙන් ගී ගැයුවාය
ඈ ලඟද මා සිත නැවතුනෙමි.
එහෙත් දැන් ඇතිය.
රමණයන් තුලද මරණයද ඇති
මදු තුලද වෙනත් ලෝකයන් ඇති
අපුලවූත් දුර්ගන්ධය වූත් පූපයෝය
ඇසෙහි මායාවකි
කුණුපයෝ රුවසේ දකිති .
මියුරු වාදන අහෝ !ඝෝෂාකාරී .
චන්න මා යමි අලුත් රසක් සොයා
ඔව් සැබෑවකි මා රහසින් පැනයමි
නේරංජනාව එහි කෙලවරයි
රාත්‍රිය නවා තැන් පලයි.
පලා යමි.
යශෝ ,රාහුල,කන්ථක
සමාවුව මැනවි
මා ඔබලාට ප්‍රේම කලෙමි.
එයත් සැබෑවක්ද මා නොදනිමි.
කවිය බලන්න
වැඩිහිටියන්ට පමණයි
(කසාදයෙ අර්ථ කථනය)
පුරුෂයාට
කසාදය වනාහි
චංචල දේපලක් වුව
නිශ්චල දේපළක ද ලකුණුු ඇති
ප්‍රියමනාප
සුරතල් බස් බෙණන
ඉතිරි සිරුරක්
සින්නක්කරේට පවරා ගෙන
ගෙට ගෙන ඒමයි.
එතැන් සිට
වෙලාවේ හෝ අවේලාවේ
වේගයට ඉඩ දී
නෑ මිතුරු අසල්වැසියන්ගේ
ඇස් වසා
(ඒත් උන් දන්නවා බලා හිටියා වාගෙ)
ඒ සිරුර රිසි පරිදි තලා මිරිකා
( ඇයත් කැමැතියි එයට)
ගලන මධු රසය උරාබීමයි
එක ම අරමුණ
ටිකක් රිදුනත් ඇය සුරතල්
ඔහු ටිකක් වැඩිහිටි
රසය උදේටත් රෑටත් එක වගේ
අමෘතය වුණත් තිිත්තයි
දිගට බොන කොට
එහෙමයි එන්නේ
සින්නක්කර දේපල
වගා කරන සිතිවිල්ල
නොකළහොත් කැලෑවට යන්න
ඉඩ නැත්තෙමත් නැතිි නිසා
( එහෙමයි චංචලය නිශ්චල දේපළක් වෙන්නෙ)
ගැහැණියට කසාදය වනාහි
උපන් ගේ ඒකාකාරි වෙනකොට
සම වයස් කෙල්ලන් කොල්ලන් හා
බැල්කනි වල සිනමා බලන කොට
අතින් අත පටලා
වෙරළ ඇවිදින කොට
උන්ගේ ඇඟිලි තුඩුවෙන්
සිරුර කිතිකවන කොට
දැනෙනවා යයි කියන සුවයට
ළං වෙන්න,
දන්නා කිසි ම එකියකට
දෙවෙනි නොවෙන්නට
උන්ට ඩිංගක් ඉරිසියා හිතෙන්නට
නෑ සිය මිතුරු කැල මැද
බෙර ගසා පෝරු නැඟ
තුරුළු වීමට ඇති ආශාවේ
කූට ප්‍රාප්තිය යි.
දුන්නත් සිරුර සින්නක්කරට
දෙන්නෙ නෑ හිතුමතය ඇය
ආඩතාඩෙට
හිතුමතෙන් තමයි නටවන්නෙ
සින්නක්කරය එතැන් සිට.
සුරතල් ටිකෙන් ටික අඩු කර
වැඩිහිටි ආරූඩයක් ඇරගෙන
හ්ම් හා නෑ වගේ කෙටි වදන්
මුහුණු බුම්මා
ආඩ පලි වදන් ගල් අහුරු
බැරි ම නං කඳුළු කැට
නුදුන් හිතු මතයෙ බර අවි
තවත් තිිිියෙනව
පොතේ හැටියට හැටක්
හෝ වැඩි
කාලෙයාගේ ඇවෑමෙන්
ඔහුට චංචල දේපළේ
සිනනක්කරය ඇතත්
හිතු හිතූ මධු පාන
අවසර ඇතොත් පමණයි
හිතෙන්නෙත් ඉඳ හිට
පෙර වගේ මධු රසත් නෑ
නැතුවාට කමකුත් නෑ
සොයන්නෙත් පුරුද්දට වගේ
ඒත් වගා කළ නිසා චංචලය
නිශ්චල කළ නිසා
රැකිය යුතු
මෙතෙක් කළ වගා
බලාගත යුතු
වැඩි දියුණු කළ යුතු
නීතියෙන් කියන්නෙත් එහෙමයි
දාල යනව නං බොරු ආඩ තාඩෙට
07-07-24
Photo - Alvin Mahmudov
කවිය බලන්න
දුවේ
දුවේ මා හද පිපුණු පරම පිවිතුරු කුසුම
දෙගුරුන්ට අවනතව දීග ගිය කොඳ කැකුල
වැරදුනා දිවි ගමන නොසිතු නොපැතූ විලස
දුවේ මට නොතේරේ කිමද අප කල කරුම
කැදැල්ලේ සිටින තුරු රැක්කේය මං නුඹව
දීග ගිය පසුත් නුඹ සවිය වුනි හැකි පමණ
සල්ලාල සැමියෙක් ය ලැබූයේ පෙර පවට
දුවේ මං කෙලෙසකද සදන්නේ ඒ වරද
වියපත්ය අප දෙදෙන සදෑ සමයේ සිටින
කෙසේ නම් නුඹ දමා හැරයම්ද මතු දිනෙක
සඟවමින් කදුළු කැට නුඹ විදින දුක් ගොන්න
දැනෙනමුත් මා සිතට හිදිමි නොදැනෙන විලස
කවිය බලන්න
සසරක හැටි
කොහොමද අම්මේ මේවා කන්නේ,........
හපන්නට බැහැ කටේ දතුත් නැහැනෙ,......
මගේ අතට දැනෙනවා,....තද ගතියක්,.
ලෝකයෙන්ම ගනන් වැඩියි
ගුනයෙන් ඉහලයි කීවාට,....
මට බැහැ අම්මේ මේවා හපන්නට,....
පුතුනේ,............
ගෑසුත් නැහැ තම්බල දෙන්න
කරන්ට් කපල විදුලියත් නැහැ
තට්ටු නිවසක් හන්ද,...නැහැ දර ලිපක්
අම්මේ,...
ඵහෙනම් මම කියන්නද,.....
මිරිස්ගලේ දාලා අඹරලාවත් දෙන්න,....
ලුනු මිරිසක් වගේ,.......
ඵපා අම්මේ අඬන්න කඳුලු සලා,.........
කරදර කරන්නෙ නෑ,....
පුරුදු වෙන්නම් ඉවසන්නට බඩගින්න,....
26/1/2024
Photo; Nick Fewings
කවිය බලන්න
සුසුමක අවසන
අත් පාවල දැවටෙමිනි
සෙවනේ හැදුණේ
පුංචි දෙතටු සැලෙන විටයි
සුරතල් මැවුණේ
ගැයුම්වලින් මා දෙසවන්
නිති පිරුණේ
සියොළග හිමිඳිනි ලොව්
අරුණලු පෙනුණේ...
දැඩි වූ නිසයි නුඹටම
වහලක් තැනුණේ
නෑ එහෙත් මට එහි
සතුටක් දැනුණේ
ඔබ මොබ ඇවිදිමින්
සිටි නුඹ කෙළි පිටියේ
නුඹෙ දැඟලිලි කිමැයි
සැනෙකින් මගහැරුනේ...
විකසිත වෙමින් තිබු
කුසුමක සුගඳ,
චණ්ඩ සුළග ! කිම ගෙන ගියෙ එය
රැගෙන?,
නටුවෙන් ගිලිහී ඇති බැව්
පුවතකි කටොර,
මැවි මැවි පෙනෙයි වී ගිය හැටි
කැකුලක් මිලින..!
Photo; Kristine Weilert
කවිය බලන්න
The Missing Piece - Charith Hiripitiya
The moment I thought that I'm yours
Diamonds fell down with my tears
Unconfirmed but writing with a fear
To you, and don't you feel the love my dear?
Just trying to give you something
Only memories yet but, not anything
The bad luck is you hear my nothing
Never forget that, for you, I'm still waiting...
A confusion;
The puzzle is undone and a piece is MISSING !
කවිය බලන්න
ගණිත ගැටළුවක්මය ජීවිතේ
ඉලක්කම් ගොඩක් මැද
අඩුවෙතැයි නොබෙදාම
එකතුකර වැඩිකරන
ගණිත අභ්‍යාසයක් ජීවිතේ
y දෙද්දි x නොදැන, X ඉද්දි y හොයන
සමීකරණත් එක්ක ගෙවා දවසින් දවස
නොදත් අගයන් හොයමු ජීවිතේ
අනුන් පරයා යන්න ප්‍රවේගය වැඩි කරන්
හැමදාම ඔට්ටුවෙන
නියතයන් තියෙද්දී ස්කන්ධ වැඩිකරන්
ගැටුම් ජය ගන්න යන ජීවිතේ
කේන්ද්‍රය උඩ ඉඳන් ෆයි නියත බව දැනන්
අනන්තය තෙක් අරය දිගු කරන්නට තනන
අනුන්ගෙත් ඉඩ අරන් පරිධියම ලොකු කරන්
වෘත ඇඳ වටකරමු ජීවිතේ
දී ඇතත් විසඳන්න මදි වුණත් ඇති දත්ත
යොදාගෙන ප්‍රමේයන් සහ සයින් කොස් ටෑන්
අවකලන අනුකලන අතට අහුවෙන එකක්
ඇති එකා පහසුවෙන් නැති එකා ඔට්ටුවෙන
අමාරුම ගැටළුවක් ජීවිතේ
අවසානෙ කොයි එකත්
දැඟලූවත් විසඳන්න
T ඇවිත් බිංදුවට
අතරමග හැරදමා උත්තරය නැතිව යන
අමාරුම කෙහෙල්මල් ගණිත ගැටළුව තමයි
ජීවිතේ
කවිය බලන්න
වරද කාගෙද...?
දෑස යොමාගෙන ෆෝනෙට
ඉන්නා ලඳකී...
ආස නොයෙක් දේ ඇති බව කියවෙන සඳකී...
ගෝසකාරී අවටක් ගැන
සිතුවෙම මඳකී...
දෝසයක් වුනේ ඇඳුමලු !
වැඩි දෙන නොදකී...
බසයක් එන තුරුමය ඇය
එතන රැඳෙන්නේ...
වස වැරදිම දසුනක් ලෙස
දුරට පෙනෙන්නේ...
නසන සදාචාරෙ ගැනයි
කියනු ඇසෙන්නේ...
ගසනට ගල් නොසිතූ එක
හරිම වටින්නේ...
ඇය පසුකර යන අය නම්
සිනහ සලන්නේ...
වියපත් උදවිය දුර සිට
රවල බලන්නේ...
"කය ඇරගෙන ගාණක් නෑ"
එකෙකු කියන්නේ...
"බිය නැති හැටි, විසේ වෙන්ටැ ! "
තවද ඇසෙන්නේ...
නෙත රවටන තව අරුමෙකි
සැමට පෙනෙන්නේ...
වත පෙන්වා තුටුවීමක්
එතැන නොවෙන්නේ...
අත දරනා බෑගයෙ ඇති
රුවකි තියෙන්නේ...
හිතල කියන්නකො, නැතිදෝ
ලැජ්ජ හිතෙන්නේ...
Photo; Calvin Lupiya
කවිය බලන්න
තනිකම
සියලු වත්කම්
අහිමි වූ සඳ
කුරිරු තනිකම
හිස දරන්
බලා සිටිනා
අරුම කිව මැන
ලසෝ සංකා ඉවසමින්
සොදුරු වස්සන
ලඟදි පමණක්
ලඟ සිටින උන්
සිහි කරන්
අනේ කෙලෙසක
හදා ගත්තද
නුඹේ සිත
නුඹ ඔය තරම් …
Photo; Etienne Boulanger
කවිය බලන්න
කළුවර පෝය දවසකත්....
කළු පුරහඳ දිනක
කළුදිය පොකුණ අසබඩ
කළු තිඹිරි ගසක් යට
කාල බුද්ධරක්ඛිත මහ රහත් හිමි
කාලකාරාම එසුතුර වදහළ
බව සඳහන්ය ඉතිහාස මුල් වල
ඉසියුම් නෙළුඹු දැලි ලෙද
සිත කෙලෙස් සිඳ බිඳ
මුවා වුන මෙන් අඳුන් ගිරගින් ඉර
අහසින් වැඩි රහත් මුනිවර
සෙවණැලිද පා පහසද විඳ
සැනහුන පින්බිමකි එදවස
සහ ගුම් දහම් ගොස
සිව් වාසල්හි දන්වැට
ඇතුළු නුවරින් පිට
ගම් නියම් පසල් දනව් වුව එපිට
සුඛිත මුදිතව පොහොනි කළ පුර දනය
"සද්ධාතිස්ස " එනිරිඳු මහරජ නමට ඔබිනමය
එදහම් සභා පිරිස් කෙළවර
තුන්යම රැය පුරා හිටි පියවර
නොහඟවා වදනකින් සන් නොකර
සදහම් ඇසු එසැදැහැතිස් රජු සිත
අසිරියකි ඒ පුරාවත
දම් ඇසුම නවතා එපුර දන
ගරු සරුව නැග අසුන් පැනවීමක් ගැන
දම් දෙසුම නවතා මුනිවර
රජු ගුණ වැනීමක් ගැන
කොතැනවත් ලියැවී නැත
ධර්මයෙන් නිර්මිත දහමම පිදුම් ලද
එදවස තඹරු පිපි විලක්මය
විල අතැර නික්මෙන තිසරිදුන්
බඳු රහත් ඉසිවරුන් එදා කළ දිවා විහරණ
මතු මෙතේ බුදු අගසව්ව විවරණ
ලද එරජු අදත් මහා සෑ වඳින්නට එන
තිසරණට පමණක් ගැතිවු එවැසියන්
මරණින් මතු හෙටත් දිව්‍යමය සැප වළඳන
අසිරිමත් සුර ලොවකි තුසිතය!
ඉනික්බිති බොහෝ කල් ඉකුත්විය...
අදමිටු පිරිස් මිසදිටු රජස් වපුල දෙරණක
සටකපට නයිඳුන් වැසියන් පෙළමින
නොරටට ණය ව තැනු කොන්ක්‍රීට් නෙළුමක
නැගි පමණින් විඳිය හැකි වෙද
තුසිතෙන් හමන ස්පර්ශයක් වත් සුළඟක!
Photo: Mehadi Hasan
කවිය බලන්න
හිරු බසින්නෙද කුමකට..........
සුදු නෙළුම් සරි මුතුකුඩ
දියේ පිපෙනා හේතුව
එය නෙළා පින් පිරුමට
කෙනෙක් හට දීමයි වර
සැඳෑ සඳ නැග එන විට
හිරු බසින්නෙද කුමකට
තම රැසින් එළි ගෙන සඳ
තුටු පහටු වන්නට හැර
තුන් මසක් ගොස් මියැදෙන
මී බිඟුන් මේ වැඩ කිම
උන් නැතත් මී පැණි රස
තිබිය යුතුවේ මිහිපිට
නිවන් යන්නත් බැරි තැන
අම්ම ඇයි බුදුරුව ළඟ
ඈට මොකටද පින් බල
එයත් පිරුවේ අපටය
කවුරු කවුරුත් දිව එතී
කති බොතී යළි යළි එතී
එකෙක් දෙන්නෙක් දිවි දිදී
මිහිරි රස කැප කරවතී...
කවිය බලන්න
රජ වූ ප්‍රේමය
සිහසුනට හිනියම් ව
හිනැහුනත්
කඩු කිනිසි...
ප්‍රේමයට සීතල යි..
හිම පියලි මල්
වගෙයි..
රජුන් රැජිණින්
වැනසෙද්දි
රජකමට...
තිත තබා
රජ වුණා
ප්‍රේමයේ ද්වාරයට..
එහෙව් පෙම් කවක්
යළි ලියවෙයිද
ලක් දෙරණේ...
සාලියට පෙම් බැන්ද
අශෝකමාලා...
පෙමක් දැන් ඇති වේද...
( හිරා සිරාවට
✍️ලියන කවි)
2024/01/11
කවිය බලන්න
කවියෙකු සමාව ඉල්ලයි
මා නොලියූ කවි ගැන
සමාව දෙනු මැන මට
උත්ප්‍රාසයෙන් අවුරා දැමූ
කේන්තියෙන් පාගා දැමූ
ආත්ම- ආරක්ෂාවට පිළිකෙව් කළ
බිය නිසා අත්හැර දැමූ
බොහොමයක් කවි ඇත
නොතේරුම්කමින්, බියෙන් අන්ධව
නොතැකුවෙමි ඒවා මම
ඒ නොලියූ කවි
දස අත මහා ඝෝෂා කර
දිවා රෑ මා සොයා ආ නමුත්
පළවා හැරියෙමි ඒ හැම
ඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණ
පළඳින්න ඉඩ නොදුන්නාට
මට සමාවෙන්න
ඒවා අඳුරේ හෙලීම ගැන
මට සමාවෙන්න
නොලියූ පද පේළි වෙතින් මිදෙන්නට
ඒ කවි එඩිතර වූයේ නැත
මගේ නිහඬ බව තුළ
මා නිෂ්ක්‍රියව ගත කළ හැම පැයකදීම
නොසලකා හරිනු ලැබ
කවියක් මියගොස් ඇත
පරිවර්තනය හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘The poet asks forgiveness’ by Fay Zwicky
ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක් වූ Fay Zwicky, ලේඛිකාවක් සහ කථිකාචාර්යවරියක්ද වූවාය. යුරෝපයේ යුදෙව් පවුලකින් පැවත ආ ඇය ඒ පසුබිම ඇසුරෙන් නිර්මාණ රැසක් බිහි කර ඇත
Photo - Jess Moe on Unsplash
කවිය බලන්න
ප්‍රේමය නුඹයි.....
විවරන දහසක් එකම පැතුමක
සරසවා නුඹ තබා එහි මුදුනත..
ලොබ කම් පසෙකලා උනනා කිරි දහරක
පතනා බෝදියක් ලඟ බුදු වෙයන් සුදු පුතේ නුඹ...
වෙස්සන්තර නොවේ පිය තුම ...යසෝදරාවද මම නොවේ..
සෙනෙහසක් දරා පපු මැද...සෙනේහයයි මල්වැසි කලේ..
ජීවිතය ඉල්ලා තව... හුස්ම ගන්නට හැම භවේ..
පෙනෙන මානේ ඉන්න නුඹ ...නුඹේ ලඟ විරසකයි විවරන අපේ....
නොකීවට නිබ්බුත පද පෙරමග ගී ලෙසිනා
සියක් සියපත් පෙති දිගහැරේ ආසිරි සලලා
අහස වී දිලෙද්දි හිරු සඳු තරු නුඹම වෙලා
පොළව වී අපි ඉන්නම් නුඹේ දෙසම බලා....
Photo; Lahiru Supunchandra
කවිය බලන්න
පරපුර
මහ තුරක් යට
වැඩෙයි පැළයක්
හැඩරුවෙන් එක වගේ පෙනුනත්
එහි පිපෙන්නේ අලුත් කුසුමක්
අලුත් පැහැයක්
අලුත් සුවඳක්
25. 12. 2023
කවිය බලන්න
ෆීනික්ස් පක්ෂියා මවිත වෙයි
ෆීනික්ස් පක්ෂියා පියාපත් විදාලයි
උඩඟු හොට මදක් ඇර
අළස ඈනුමක් ඇර
සෙමෙන් ඇසිපිය හරී
ඇඳෙන් බැස හිරි කඩා
අළු මතින් පියනගයි
ගෝල්ඩ්ලීෆ් කොට කෑලි
තැලෙයි යටහත් බවින්
තවම උගුරක් තියෙන
ත්‍රී කොයින් ටින් එකක්
පය වැදී බිය වැදී
හඬනගා පසුබසී
නාන බේසම ළඟැ'ති
කණ්ණාඩි පොඩ්ඩකින්
ෆීනික්ස් පක්ෂියා
හොට උලා හැඩ බලයි
අළු ගැහුණු කෙස්සකින්
ඇද බලා කට අයන
මැදි වයස් පසුකරන
රැවුළු කොට සිසි වුවන
සිසීපස් ගමරාල
කැඩපතෙන් එබෙන විට
ෆීනික්ස් පක්ෂියා මවිත වෙයි!
කවිය බලන්න
තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්......
ගුත්තිල නොවී කව් සිළුමිණ වූ
තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්
අපේ තිලක් අයියා
මාලපල්ලේ කුමුදු අමරසිංහගේ කවි ඇසින් දුටු වගයි.
2024.01.01
1. සපරගමුවෙ සුන්දර ගම් අතර මැද
සතර වටින් මුරගල් සේ පිහිටි වැද
සමරය ගෙනෙන බෙරපත් දිය කිඳුරි සැද
සසර පුරුද්දට ඉපදුනි මෙ පුත් රද
2. දිවා - ගුහාවට පහළින් පරකඩු ව
බටහිර අරක් ගත්තැයි මුදුණත් කොටු ව
බෝධිමලුව - මොරගම්මන ගම් වට ව
බටදොඹලෙන එරත්න ද මුරගල් සැදු ව
3. සුන්දර ගමක ඉපදී මොහු රුවන් බිමේ
පුන්සර කලක් ගෙවමින ඒ සොඳුරු ඉමේ
පින්සර යුවළකගෙ දරු සෙනෙහසට පෙමේ
පින්බර පුතෙකු වැඩුණයි ඒ සෙනෙහෙ දමේ
4. විරුවන් ගැන සොයන සඳ මතකෙට එන්නේ
කුරුවිට - රාළ ගැන කවුරු ද නොම දන්නේ
එහෙව් ගමක ඉඳ මෙතුමන් පිට වෙන්නේ
දෙමව්පියො නිසයි ඒ දේ සිදු වන්නේ
5. කුරුවිට බණ්ඩාර - විලියම් මොහුගෙ පියා
සෝමලතා වැලිවත්තයි මවුනි දයා
කොළොම්පුර දෙසට ආවත් ගමට කියා
“තිලක උයන” ගම වූ රස “පතට” ගියා
6. පැන - පැන මඩ කඩිති හා ගඳපාන අකුල්
එන-යන විට සිතට නැගුණත් බොහෝ අවුල්
වටකර කෙසෙල් වතු මැද ඉදි කෙළේ පවුල්
දෙක-තුනකට ම සරිලන ලෙස ගෙදොර මිදුල්
7. පියා ගියැයි මවුගේ ගමට - ඇරැව්වල
ගොහින් ගෙනාවැයි මිනිසුන් අගය කළ
වටා ගෙවතු මැදි කර කළ කුඹුරු යල
මහ යන දෙකන්නය පල ගන්වමින් වළ
8. ලිව්වත් පරිසරය මඟ වැණුමට සෙව්ව
සුන්දරතාව ජන බස් වහරට නැගුව
පදවැල් අමුණ - අමුණා රසය ම මැව්ව
ගැළපෙන බව හඟිමි කවිමල් වණ කැව්ව
9. ගෙදොර වට කරන් කෙත් යාය ම පිබිදෙයි
ගෙතුළ සිට බැලූ ස| නෙත් - සිත් සිරියයි
ගෙමිදුල තවත් මිදුලක - දොරකට යාවෙයි
ගෙවිලියො - ගොවිරදුන් ඒ උයනට යාදෙයි
10. සිරිකත තිලක උයනේ අසිරිය කැන්දූ
අද අඩු වෙලා වග තේරෙයි මන බැන්දූ
කෙත්වතු ගෙනා සුන්දරතාව ද සින්දූ
කවුරුන් කියත් වග ඒ රස සිඳ - බින්දූ
11. “ක්‍රීඩාපිටිය තිබුණා ගේ ළඟට ඇසේ
කරනා කතා දෙස්පාලන අයගෙ තොසේ
නිවහන තුළ රැඳී ඇසුවේ “කු”-මන රසේ
“වල්-පල්” කතා පෙළහර දෙන රටට විසේ
12. තිබුණා මේසයක් කිරිගරු`ඩින් ම හැදූ
එන විට ගෙදර මපියා සිත බියෙන් වැදූ
නොසිටියෙ නම් සියලු දෙන ඒ වටේ හිදූ
වැලකින් - කෝටුවක පහරින් කෑම සැදූ
13. පාඩම් කරනු දකිනුව දැමු නීතියට
මල්ලිත් මමත් අවනත නොවු වෙලාවට
පියතුම කැමැති නොවුයෙන් ආ තරහවට
විඳිනට වුණේ දුන් දඬුවම් මනාපෙට
14. දවසක් මමත් මල්ලිත් නැහැ එහි සිටියේ
“දින දෙකකින් ම නුදුටුවෙ නුඹ කොහි සිටියේ”
රහසෙ ම නාටකය බැලුමට ගිය සැටියේ
කීමට සිදු වුණා මට රැය ගෙව් හැටියේ
15. නාටක උළෙල බැලුමට අප ගිය හන්දා
ඇසුවා කප්පරක් - බැන්නේ නැති හන්දා
හිටියා නම් ගෙදර එන විට සිත් බන්දා
එහෙනම් ‘ඉරෙන්නෑ පත් නාටකෙ’ සන්දා
16. මතකය දිවෙයි මපියා පිළිබඳ දුරක
කියවා ඇති වගයි දන්නේ ඔහු පොතක
ඒ ගැන සඳහනක් කෙරුමට ලෙස නමක
“හාල්මැස්සන් සහෝදරයෝ” යැයි මතක”
17. උපන් දිනය මෙතුමන්ගේ අට විසි ය
මාසය ඇසල - දින තිදෙනෙකුට ම සම ය
‘මල්ලිගෙ හා පුතුගෙ ද වස් සම නැති ය’
මොහු එකදස් නමසිය හතලිස් එකෙ ය
18. මෙතුමන් වැඩිමහලු සෙසු දරුවන් අතරේ
සහඋදරයන් තිදෙනෙකුගෙ ම සවි සපිරේ
සෙනෙහෙලතාවට මුසු කර දිවි ගැඹරේ
සහෝදරියො දෙදෙනාගෙන් තුටු ඉතිරේ
19. “පළමු වසරෙ සිට පාසල් ගියේ මෙමා
අවුරුද්දක් පුරා සමුදුරු දේවි තමා
දෙවැනි වසරෙ සිට පාසල පිරිමි කමා
අරගෙන ගියා මං ඉහළට වඩා පෙමා”
20. ඉහළට උගෙන යන අතරෙ දි දිනුව නම
පාසල් ශිෂ්‍ය නායකකම ලැබුණි සම
සාහිත - කලාවට ඔහු තුළ තිබුණු ඉම
ඉස්මතු කළේ ස`ගරාවෙන් තියුණුකම
21. සිදු වුණු අකටයුත්තක් ගැන මල්ලීට
ගියෙ මුල්ගුරුතුමා ළ`ගට ම ඔහු ඊට
සාධාරණය ගනුව ම පවසා ඔහුට
ලැබ දුන්නැයි සතුට යළි ඔහු මල්ලීට
22. හේමලතා නඟා ළඟට සුනිල් මල්ලී තුන්වැන්නේ
ඔහුගෙන් පසු නඟා සෙනෙහෙලතා ලු පස්වැන්නේ
සය වැනියා නීතියට ම ගරු - සරුකම දුන්නේ
දයාරත්න මල්ලී ඔහු - “බඩපිස්සා” වෙන්නේ
23. “එකදස් නමසියේ හැට දෙක අවුරුද්දේ
මට දහ අටයි අවුරුදු - පොතකට සද්දේ
කෙටිකතාව කල - එළි දැක්මට සුද්දේ
‘විචාරකයො’ පිපුණා මගෙ ඉහ මැද්දේ
24. ලිව්වා කතා පවුලේ අප සැම එක් වී
හැකි ලෙස උපරිමෙන් දත් දේ එකමුතු වී
නිම කළෙ පොතත් ‘අපි ඔක්කොම’එහි නම වී
“තිලක උයනෙ” දරු - කැළ පාඨකයන් වී
25. ‘සුසිලෝදය’ නමින් තිබු සංගමයෙ නිතී
ගෙන ආ අංග අතරට නාටක ද වෙතී
ඒ නාටකවලත් අප රඟපාපු විතී
මතකයෙ තියෙයි තවමත් අපෙ මනසෙ එතී
26. මල්ලිත් - මමත් රඟ පෑ නාටක එහි දී
ඇති කළෙ සිතට සතුටකි යළි-යළි සිත දී
ඒ හා බැ`දුණු හැකියාව ද තියුණු ව දී
හැකිකම ලැබුණි ලබනට ඇසුර ද පින දී
27. පිටුපත් කියෙව්වා - කියවා පාලන ය
ඇන්දා වට-රවුම් - අලෝකයෙ තල ය
කළ පරිපාලනය - ආභාෂයෙ ඵල ය
වින්දා ‘භුක්තියේ ජය’ තරගය නැති ය
28. උගෙන ගත්ත මේ දේවල් අපට සිතී
ඇද්දේ දර - දියයි නිශ්ඵල නොවූ නිතී
මට මෙන් සුනිල්ටත් එක සේ දිරියෙ එතී
ලැබ ගත් අනගි ගුරු - හරුකම්වලට තුතී
29. අවුරුදු එක් විසි ය පාසල් කාලෙ ඉම
ඉන්පසු කලාවේ පුවතට බැඳුණි මම
දිනමිණ පුවත්-පත මගෙ හිත ගත්තෙ අම
අසම තියෙනු අකැමැති මා කෙළෙමි සම
30. හැම විට සමබර ව හැම කරුණක් ම එ දා
දුන්නෙමි පැහැදිලි ව ඇති මගෙ නැණැස වි දා
කැමැති ද අකැමැති ද යනු පැනයකට මු දා
පෙළහර පෑවෙ ‘පන්හිඳ’ මගෙ සුරතෙ නි දා”
31. අවුරුදු විසි දෙකේ සිට අට අවුරුද්දක්
කවි පොත් කීපයකි කළ එළි දැක්වීමක්
නිල්ල දකින්නට තිබුණේ ආශාවක්
කවියට ඇති රුචිය කොපමණදැයි කීමක්
32. අසිරිමත් දෙයකි මෙලොවේ ප්‍රේමය නමිනා
එකදස් නමසියේ හැටනම වසරට පැමිණා
දෙවියෝ තැතිගෙන මහ පොළොවට එතුණා
කවි පොත් කෙළේ වෙසෙසින් ඒ සඳ රිසිනා
33. ලියු පත-පොත ද ඇති අනුපිළිවෙළින් ම
මෙහිලා වටී නම් කරනට සතුටින් ම
‘සිරිත් මල්දමයි’ ගෙල පළඳනුව එ ම
චරිතාපදානයකට ලගු කළැකි ස ම
34. මේ කෘතියේ කටයුතු - කරණයෙ දි පුවත්
මගෙ කෘතියක් ලෙසින් නතුකර කෙළෙමි පොතත්
අවසර දුන් ‘තිලක් අයියට’ මගෙ තුතියත්
පිළි ගන්වන්න ‘තෝ - තැන’ කර ගනිමි මමත්
35. ඒ කෘතියයි මමත් අවසන් වරට කෙළේ
එකදස් නමසියේ වස් අසු හතර කලේ
නම ගිය ප්‍රමුඛ පෙළ සිටි පොත් හැදූ හලේ
ඉපදුණු “සිරිත් මල්දම” මල් දමකි හෙළේ
36. ‘රස දෝතයි’ කෙළේ මෙතුමන් අසූ හතේ
‘ඉකුත් වත’ ගෙනාවැයි ඉන් පසු ව පුතේ
අනූ දශකයෙන් “චරිතපදාන” පතේ
‘මනමේ ගුරු’ ගැනයි ලිව්වේ සුහද සිතේ
37. ‘එක් සමයකි’ ය දෙදහස් පහ වසර තුළ
‘කීර්තිශේෂ අපදානය’ විස්ස කළ
‘අකුරු - මිතුරු’ ඇති කරනුව ඇල්මෙ රල
අකුරට කවිය සවියක්කොට කෙරුණු බල
38. යමි මම කියන්නට මෙතුමන් සමබර ව
කළ වැඩ කිහිපයක් පා ලැදිකමට තව
ඩී. බී. විජේතුඟු මොහු දස්කම දුටු ව
‘සිළුමිණ පුවත් කතුකම’ දුනි පදවි නව
39. ලැබ පත්වීම උස්කොට සුරතට දුන්නූ
දිනමිණ පුවත්පතටත් වැඩියෙන් තැන්නූ
සමබරතාව පුවතට ගෙන හැර පෙන්නූ
කළ නවතාවයන් පාඨක වෙත දැන්නූ
40. ‘දැළි පිහියකින් කිරි කන සේ මා’ ය
‘කියලත් බැරි ය -නොකියත් බැරි සේ මා’ ය
කතුවර පදවි ‘පිහිතල තුඩු සේ මා’ ය
‘කැපුණොත් මුදුණ’ ඉවතට යන සේ මා ය
41. දෙස පාලනය පාලක - විරුදය පක්ස
දෙ පිරිස බලන්නේ ‘රැක ගැනුමට පස්ස’
තරගෙට ‘වග-විභාගය’ නැති ව ම කොස්ස
ගන්නට බැලුවෙ වග හැම පුවතින් තොස්ස
42. අදටත් එසේ මැයි ඒ ගැන දෙකක් නැතී
කොතරම් සිතට එකඟ ව ‘කළ හො`දක් නැතී’
‘කෙරුණොත් තමන් කාරිය’ කොයි ලෙසින් ඇතී
‘වැරැදුණු තැන් නැතත් ‘බලයට’ පණක් ඇතී
43. සිළුමිණ පුවත්පත කතුවර පදව ගෙන
නොගියේ දිගු කලක් පුටුවට ‘වැදුණි හෙන’
දෙසපාලුවන්ගේ ‘බල ඇස’ රුදුරු වුණ
පන්නා දැමුවෙ පුටුවෙන් ‘හිසරදය’ දැන
44. “ඔර්ඩර්ස් ප්‍රොම් ද ටොප්” යනුවෙන් කියූ සම
“දෙස්පාලනයෙ උගුලක් බව” කියූ හැම
‘ඇයි මේ දෝලනය - ආනට’ කැවෙනු නම
උත්තර නැති ව සිටියේ ඒ නිසයි සැම
45. ඉන්පසු නැවත සරසවියට පා පැන්නූ
සිතුව ද හදත් සොමි ගුණයත් ගැන දන්නූ
මේ සා ඉවසීම බුදුවර ගති පෙන්නූ
වැජඹේවා “රත්න-තිලකය” රස දුන්නූ
46. ‘කඩේ ගියා නම්’ දෙස්පාලුවන් හට
‘වැඩේ කළා නම්’ උහුගේ නියම යට
‘දඩේ නොවැටෙනා බව’ නම් අනේ මට
‘නඩේ හොඳින් එහෙනම් අද මගේ වට’
47. “තර්ජන - ගර්ජන ද ලැබ බිය වී ඉන්න
මට බැහැ එහෙව් පරිසරයක රස දෙන්න
වහ-වහ ක්‍රියාත්මක පත්වීම් ලැබ දුන්න
හිටියේ මමයි ඒ බව අද දැන ගන්න”
48. ලිව්වේ ගීත ආදරයත් හද රන්දා
වැටකොටු බැඳන් වටකර සුවඳත් හන්දා
හැකි දැයි ඇසුවෙ ආදර සුවඳක් කැන්දා
අනන්තයට දැනෙනා බැව් සිත් බන්දා
49. මධුර කල්පනා ප්‍රේම - දේවි වේදනා විරහව
දූ-පුතුනේ රට අපේ ය - දැයකාමය දී සරලව
“මල්ලි හැදූ සරුංගලය - ඉසුරු දෙවිඳු උමයංගව
ගීත ලියූ සිත් සනසන - පන්හි`ද සරසා නිහඬව
50. භාෂාවේ ලෞලත්වය - ඔහු තුළ වූ කෞශල්‍යය
කව්-ගීවල පූර්ණත්වය - පුවතේ සමබරතාවය
ඒ පිළිබඳ සුවිශේෂය - දෙවෙනි නොවන කළ සේවය
මිනිසත් බවෙ කුළුණු ගතිය - සුව`ද කරන ඔබෙ ජීවය
51. ඔහු පසුපස සෙවනැල්ලකි නිතර ම ආදරෙන් සිටින
බිරි`ද සුජාතා වික්‍රම-සිංහ සරෝජිනී නමින
දුක-සැප-ප්‍රීතිය-සොම්නසඑක සේ සරල ව ම විඳින
ඇය අමතක කරමි කෙළෙස එතුමන් ළඟ නිබඳ වෙසෙන
52. ඇති කළ “මිතුරුදම” දැන ගත් මුල් ම දිනේ
වැඩි කෙළෙ “සිරිත් මල්දම” එළි දකින දිනේ
මතකයි කළ කතාවත් “මගෙ මඟුල්” දිනේ
වෙසෙසින් සුහද පබකර සිත් බැඳී දිනේ
53. අදට අසූ දෙවැනි වියේ ජීවන මඟ සුවය විඳින
මේ වසරේ ඇසළ මහට අසූ තුනක් වස් සපිරෙන
තිලක උයනෙ පිපුණු සුවඳ මලෙකි ඔබත් තිලකරත්න
කුරුවිටබණ්ඩාර මැතිඳු වැජඹ යෙහෙන් ලැබ තිසරණ!!!
***
කවිය බලන්න
සමනල සඳෙස - 13
සමනලයා දුටු දියැලි-1
බෝපත්පිටියේ මනාලිය-15
245. සමනල නර නුඹ සමන් දෙවිදුගේ
අඩවිය පසු කර පහළට එන්නේ
අඩවි පෙතේ හිද ගලා බසින නෙත
රදනා දිය දහරක් මතු වන්නේ
වැඩිය ළං නොවී ඈත ඉදන් බල
ගලා හැලෙන දිය කිදුරිය වැන්නේ
බොපත් ඇල්ලයි වන මැද ඇත්තේ
කියන් ඇගේ වතගොත නුඹ දන්නේ
246. මහවැලි-කැළණි-කළු හා වළවේ ගංගා විලසිනේ
බෝපත්පිටි ඇල්ලත් සිසිලස විදගෙන සමගිනේ
මග ඇදි-ඇදි ඇද ගමනින් ඉග-සුග ගත වනමිනේ
මහ ගල් කුළකින් පහළට ඇද හැලෙනව මහවනේ
247. සුසිනිදු සිසිලස දෙන හිරිකඩ මල් සේ පිනි වලා
පුළුන් කදක් සේ සුළගට දසතට යන විසිරිලා
සුරතල් බෝපත්පිටි දියැලිය සොදුරිය බද සලා
නටන්නී ද දුටු-දුටුවන්ගේ නෙත්-සිත් පුබුදලා
248. නුඹෙ වයසේ තව එකියක් නුඹෙ හැඩ-රුව ඇති අනේ
බෝපිටි මිණිමුතු පොළොවේ හැර නෑ වෙන ඉපදුනේ
නුඹෙ රූපෙට තරග වදින්නට සිරිලක් සිව් වනේ
කිසි ම කෙනෙකු නැහැ නුඹ හැර පළමුතැනේ නම දිනේ
249. කොතැන ඉපදුනත් සුරගන නුඹෙ රුව කල-එළි කළේ
බෝපත්බද මිණි පොළොවෙහි බෝපත්පිටියෙන් ගලේ
ඇඹරි - ඇඹරි පහළට එන නුඹෙ සුන්දර දැක හෙළේ
දුටුවන් සැමගේ ආදර හැගුමන් නුඹ වෙත සැලේ
250. ලස්සන රම්බොඩ - දියලුම - දුන්හිද යන දිය ඇලී
කොතරම් මනහර ලෙස පෑවත් නෙක රති දිය කෙළී
රගන විලාසය පන්සර වැදෙන හඩට හද සැළී
යයි නුඹ වගෙ අන් කිදුරගනක් ලක් බිම නැහැ මලී
සමනලයා දුටු දියැලි-2
බෙලිහුල් ඔය කුමාරිය-16
251. තවත් මනාලියකගෙ දිගු වරල්
නැගෙන රැළි තැල්ලෙන්
සුදත් සේල ඇදහැලුණා සේ
බෝපත් දිය ඇල්ලෙන්
වියත් සුදන කවිකොට කිව්
බෙලිහුල් ඔය සිත පල්ලෙන්
නුඹත් ගොසින් බලා වරෙන්
වැටෙනායුරු ගිරි දල්ලෙන්
252. ඇස ගෙන කදු මුදුනෙ සිට සාරවත් කම
බැස ගෙන සිනිදු ගල් කැට ඔප දමයි හැම
ර-ස ගෙන දෙමින් දුටුවන් මන බදින සම
පි-ස ගෙන එන සුළග රහසින් කියයි පෙම
253. නෙත-සිත උමතු කරවන සැම දෙනාගෙ ම
උස කදු ගිරි රැසින් වට වී වටේට ම
ඔබෙ රස ගුණ උකාගෙන මුළු පළාත ම
තුරු පල ලබා පොබවයි හැම වෙලාවෙ ම
254. සරස්වතී දෙව් නුවණින් බැලුම් හෙලූ
ඔබෙ රුව පියකරුයි කාටත් නෙතින් බැලූ
බෙලිහුල් මනාලිගෙ සේලය දැකුම් කලූ
සුරතල් කරයි දෑතින්ගෙන වළවෙ - කලූ
255. කවි රස දන්න කවියන්ගේ බස ගත්තේ
දෙ පද - තුන් - සතර පද පෙළ රස ගත්තේ
තෙලිතුඩ අග වණින් බොද වී වෙස ගත්තේ
ඔබ රස ගුලාවකි පැසසුම් දෙස ගත්තේ
256. බෙලිහුල්ඔය නම ද ලොව සිහිවටන පෙළේ
රසවත් කමින් වියරු ව පෙළ ගැනුණි මුලේ
ඔබෙ ළය මඩලෙ “සංදේශය” වැඩුණු කලේ
සිතුවම් පට අතර ඔබ දුනි තුරුණු බලේ
257. ඔබෙ සිරියාව නෙත සරසා ය සිසිල ගෙන
සුළගට මුසු වෙලා නිබද ව හමා යන
ගුණ - රුව - රසය නිති ලබනා නිසා දන
ලොව නන් දෙසින් පැමිණෙයි නුඹ සොයා ගෙන
258. පිස - පිස ළවැලි මුතු කැට රොන් මඩ ඈදී
සිඹ - සිඹ මිහිකතගෙ ළය වැද මිණි පෑදී
කහ - රතු - වයිරෝඩි රුවනාරින් සෑදී
වටිනාකම කියයි මහ ඉහළින් කෑදී
259. හෑරෙන පස මැදී තව සාරෙට මානයි
තේරෙන බව දැනී කෙත්වතු හරි සාරයි
සෝබන කුමාරිය බෙලිඔය මන- මාලයි
මේ ගම ඔබේ සුකොමල දෑතට බාරයි
260. දැනුවත් උගත් පොහොසත් දන මන දන්නා
රුවෙනුත් මොනවට ද පැහැදිලි කර දෙන්නා
කෙරුවොත් සමක් රස කර තාලෙට ගන්නා
සවිමත් කරයි ඇගෙ දරු - දැරියන් ඉන්නා
261. මහදැව ගම්මානෙ රාසිං මහා රදා
කිරි බණ්ඩාර තනි කළෙ මහ කැලේ වැදා
ගොවිතැන්- බතට දිය උල්පත් වෙමින් බෙදා
ඔහු රැක ගත්තෙ බෙලිහුල් කුමරියයි එදා
(මතු සම්බන්ධයි.)
2024.06.01
කවිය බලන්න
වළා රොදකට දුක කියන්නම්....!
මදක් සෙනෙහස නොපෙන්වා දුන් , සෙනෙහසක වරුණේ....!
හිතක් ගොළුකර සිරකලා ඒ , සුපෙම්වත් දසුනේ...!
බිඳක් සුරැකිව තබා ගත්තත් , අයිති නැති විමනේ..!.
ටිකක් මුණිවත රැඳීයන් , ඉටුවනා තුරු සිහිනේ....!
කොතෙක් දොඩමළු උවත් ආගිය , ගමන් යලි විමසා..!
ලතෙත් හදකට දුකත් උරුමයි , රිදුම් පිනි වරුසා...!
පසක් කළ අනුරාග සිත් හල ,මුණිවතින් ඉවසා...!
යලිත් එනතුරු මග බලන්නම් , මුහුල මල් ගවසා...!
මුදු සරින් සිත් පතුල කැළඹූ , ගී නදින් මත්වී...!
සඳ කැළුම් ඉහිරෙනා රැයකදි , සිනාවෙමු තොස්වී...!
වලා රොදකට දුක කියන්නම් ,මදනලට එක්වී...!
වෙලාගත් තනිකමයි පාළුව,දුකින් මුළුගැන්වී....!
2023.01.29
කවිය බලන්න
ජල පහර
බණ්ඩි ගොයමට මක්වුණාදැයි
කියා දන්නෙ ම නෑ
ගොනා කන්නට හිතං හිටියට
පිදුරු මණ්ඩිය නෑ
බලං හිටියට එන්න යායට
ගිරව් රොත්තම නෑ
වතුර ඇවිදින් කුඹුරු අල්ලං
අත් හරින්නෙ ම නෑ
කෝං ගහ ළඟ මායිමේ බැඳි
වක්කඩේ බැමි නෑ
වාං දොර ඇර හිතක් පපුවක්
අපට දුන්නෙ ම නෑ
රූං පෙතිවල ඉඳන් බැලුවට
කොක්කු බැස්සෙ ම නෑ
අනේ කන්නට බත් පිඩක් හෙට
අපේ කුස්සිය නෑ
Photo; Alexey Demidov
කවිය බලන්න
ජීවීතය....!!!!
ආශ්‍රව වලින් පිරුනු....
භවනෙත්තියට හසු වුනු
දස අත විසුරුනු අකීකරු සිත
ආශ්වාශයක් ප්‍රාශ්වසයක් අතර
අතහැරෙන ජීවීතය තුල....
තව මොනවා ගෙදර ගෙනහින්
හිතේ තියා ගන රකින්නද?
කවිය බලන්න
සමීක්ෂණය
නුවර පටු මාවතක
නිවසකි ගරා වැටුණු
මේසයක් පුටු දෙකක්
කුඩා සාලයේ කොනක
තැනින් තැන ඔප රැඳුණු
පෙට්ටගම තව කොනක
දොර කවුළුවෙන් එබුණු
මහලු කත මාගරට්,
‘කවුද තව ඉන්නේ මෙහෙ?'
මමයි මල්ලියි,මාක්,
එයා නම් වැඩ අදත්
ටිකක් රෑ වෙයි එන්න.
ටවුමේ සපතේරුවා
හවස් වෙනකන්ම වැඩ
නත්තලත් ළඟනේ දැන්!
කවිය බලන්න
වසංගතය ටියුෂන්
යමු පුතා පන්තියට ටියුෂන්
අද සිටන් ඉහලින්ම ඉන්නට
සුසන්තා හැමදාම පෙන්වන
ලකුණු මට්ටම පරද්දන්නට
අනේ අම්මේ දෙන්න අදවත්
පංති සල්ලිය සර් ට දෙන්නට
එසේ නැතිනම් ඉන්ට වෙන්නේ
පංතියෙන් පිට ඔලුව කස කස
නංගි දුටුවද සර්ගෙ රූපය
ටවුමෙ පොස්ටර් පිලිරුවක උඩ?
නලුව වාගේ ඉන්න ලස්සන
සැරයි එනමුත් fees නැතිකොට
ලමයි දෙන්නගෙ පන්ති ගාස්තුව
ගෙදර කුලියට වැඩිනෙ හැම මස
හම්බ කරනා තුට්ටු දෙක
ඉවරයිනෙ මේ ටියුෂන් වැඩේටම
ආච්චි සීයට නැහැනෙ ඉඩකඩ
පෝය දාටත් සිල් ගැනීමට
දරුවො දෙන්නා පන්තියට පසු
ගෙදර එනකොට ඉන්ට වෙයි හෙට
අම්මෙ මට බෑ කන්ට බත් පත
පන්ති යන්නට බඩ පිරෙන්නට
දෙන්න පන්සියෙ සල්ලි කොලයක්
කොත්තු කනවා රුවන් නිතරම
අපිත් පෙරදා ගියා පාසැල
අසා සිටියා ගුරු මෑනි හඬ
ලකුනු ගත්තා විභාගෙන් හොඳ
ඇයෙගෙ ඔවදන් තමයි පිහිටට
නිදහසේ ඉගනුම් පියා
කන්නන්ගර හොඳ මැතිතුමා
සිටියනම් වැලපෙයි හඬා
පාසෙලේ හිස් පුටු බලා
කවිය බලන්න
තරුවයි සඳයි පායලා
වල්ගා තරුවත් සමග උදුවප් සඳත් අහසේ පායලා
මකන්නට බැහැ කෙසේ මුත් ගෙන එන අඳුර අඳුරුම වළා
ලොවේ සාමය නැතැයි සිතමින් සාම කුමරුන් ඇත බලා
සිතනවා ඇති නුඹලා ඇයි මගෙ ලොවම අඳුරෙම ගිල්වලා
මාස දොලහම වැඩ කරලා අත මිටට සොච්චම ගුලිවෙලා
ඊට ඉහලින් බඩු මිලත් ඇත දිනෙන් දින යයි වැඩි වෙලා
යුතුකමුත් ඇත ඉටු කරන්නට බැහැ අපිට ඉන්නට බලා
දින දෙකයි තව ඉතිරි ඇත්තේ යන්න වසරක් දියවෙලා
හැරී බලපන් කරපු දේවල් තනිව හෝ හැම එක්වෙලා
අගය කරපන් ලෝබ නැතුවම මිනිස්සුන් ඇත වෙහෙසිලා
හොය හොයා ගොස් පුංචි වැරදිත් ගොඩක් හොඳ තුල හිරවෙලා
පහත් නොකර උන් අගය කරපන් ඉපදුනත් වෙනසක් වෙලා
ඉන්න විටදී නොමැති ඇගයුම් කුමට ගිය දින මියැදිලා
උන්ට සතුටක් ලැබෙන්නේ නැහැ ඉන්න උන්ම තුටු වෙයි බලා
හැරී බලපන් ඇතිද නුඹ කී දෙනෙකුගෙ නෙත් හඩවලා
කිමද බැරි වසරක් නිමා කරලන්න සිනහව රන්දලා
29/12/23
කවිය බලන්න
Paaraliya tragedy - Dr Manjula Dilkushi Silva
Yet another year which marks nineteen years
Beautiful Christmas memories were faded away with tears
Once like a cradle and kissed the sea shore
Who ever thought can shake a metal iron core
Rough sea jumped up hit and run
Leaving no traces of People’s fun
Can we ever forget the scars left behind
By the therapeutic nature once, to every mankind
Dr Manjula Dilkushi Silva
කවිය බලන්න
ගැහැනු
හෙටක් දැකුමය එකම සිහිනය
රැයක් නොනිදන දවස් බහුලය
මලක් පරදන ළපටි පෙනුමය
ගලක් හදවත හරිම දරුණුය
සතුට දැක්කෙත් මැදින් කඳුළුය
ගලන ඉඳහිට යටින් ඇසිපිය
දෙන්න ලොබ නැත වුවද සිත කය
දරුපෙමට දිගු වුනෙම සසරය
තලෙළු සුදු කළු පාට විවිධය
කොට දිගට රැලි ගැසුණු මුහුළය
දුක මැදින් හිනැහුනත් නිහඬය
උන්ට ලෝකෙම කිව්වෙ ගැහැනුය
කවිය බලන්න
මලිති
සකල ලොව සසලා
විකල කරවන තුමුලා
විපුල රස දොවලා
ලකල කුසුමිය උදුලා
නෙතට මත් සලෙලුන්
විතට කැඳවති නෙතගින්
ගතට සුව ගෙනෙමින්
සනහලන්නී මනස් සලෙලුන්
මලෙහි රුව පෑවේ
සුයාමයෙනිය ආවේ
නදට ගුමු රාවේ
නිදානය නුඹ වේ නුරාවේ
සුගන්ධය වපුරා
මල් මකරන්ද නිතොරා
වසාරොද අතරා
ගලා යේ මල් කෙමිය උතුරා
සුපුල් මල් පිපියේ
පිරුණු මල් මී කෙමියේ
තිරිහන්ව සරියේ
කුලුණු නන්වයි
සවියේ
විහිදා දෙතොල් මුව
සලිත කරමින් ගතවුව
ගෙනෙන දෙව්ලොව සුව
පුෂ්පිකාවිය විසඹ කැඳවුව
හිරුට පෙම් බැඳි කත
සුදුවත දිලෙන සියපත
නිශාකල සඳුවෙත
කොඳ සිනා වැල් වගුරත
කවිය බලන්න
දිර්ග
දිර්ග ආදර සන්වාද
දිර්ග ආදර සංචාර
දිර්ග හාදුවරැසා මැද
දිර්ග කලක් පෙම්න් වෙලි සිටි චන්නකින්නරාවි
දිර්ග නොක්කාඩු
දිර්ග ඇනුම් බැනුම්
දිර්ග නිහැඩියා නිමකර
දිර්ග දුම්රැලි මැද බොදවිගියා
දිර්ග කල්පනා
දිර්ග සුසුම් ඉතිරිකර.
නාලක ගම්මැද්දේගෙදර
කවිය බලන්න
නිවාඩු
අනවරත ගමනක
හිරු
නැග බැස යද්දි
කලබල දවස් එක දිගට
ගෙවෙනවා..
ඒත්
හිරු එක තැනම ගිනි ගනිමින් තිබුණා ..
අපි ඒ ගින්න වටා කැරකි කැරකි දුවල...
අර සෞරග්‍රහ මණ්ඩලයෙ කතා ඇතුළෙ
උපග්‍රහයන් ගණින්න
පුතු මහත් වෑයමක..
"ලබල තියෙන ග්‍රහය එච්චර හොද නෑ "
ඇය අදත් දුවන්නෙ මගෙ කේන්දරේ බලව ගන්න..
පෑ තැටියට වඩා වේගයෙන්
මගෙ ඊ සී ජී එක දුවනවා
ඩොක්ට බර කල්පනාවක..
"ඔයාගෙ ලීව් ඉවරයි" ඔපීසියෙන්
කතා කරනවා..
පරිගණක තිර එක පෙළට
ඔන් ඕෆ් වෙවී
ඇඟිලි සලකුණු තිබ්බ දිගටම..
හවස ඉස්ටේෂමේ බැස්සෙ
කමිස බොත්තම් පවා නැතිව..
කළුවරත් ඔලොක්කුවට හිනා වුණාද මන්ද..
අහස සිඹින අර කඳු වළල්ලටත්
නෙළුම් කුළුණ අත වැනුවලු..
හෙට පෝයටවත් ටිකක් නිදා ගන්න හිතුව මං..
අම්ම පන්සලේ බණක් කියවන්න ඕනලු..
අනේ, පුතේ අපි
ලස්සන නිවාඩු නිකේතනයක..
දවසක..
ලොකු නිවාඩුවකට යමු..
බලන්න තැනක්
ඔය ගූගල් මැප් එකෙන්..
Photo; Daoudi Aissa
කවිය බලන්න
හුස්ම
වනසන්න හරිත ලොව නුඹ සිතින් වෙර දරා
සනසන්න කුරුළු කුස හිතුවාද ඇස පුරා
රැකගන්න පරපුරක නැසුනු දිවි සිත වරා
විඳවන්න දැන් ඉතින් දෙවියො නැත ලොව සරා
හිරු සඳුට වැඩි උසක සිටින දෙවියෝ බලා
නුඹ යදින තුරු මමද සිටිමි අහකට වෙලා
උකුසු ඇස මග බලනු නොදැක කිම මං මුලා
නරපණුවො කල්පයෙම පව් කතරෙ ගිලීලා
වාරු නැති දෑතින්ම මව් කුසය කොනිති ලා
හෙට දිනට ඵල ලන්න බීජ ටික වපුරලා
සිඹගන්න සැරසුනත් ඇයගෙ සිත සනසලා
උසුලන්න බැරි දිවිය පොළවටම බර වෙලා
මහපොළව ආකාසෙ නූහුලන දුක් දිදී
සිනාසුන මා සබඳ අද තනිව වද විඳී
ගිලිහිලා යන සුසුම් වාතලය වෙත බැඳී
දුක් කඳුලු සයුරෙ ඔබ හුස්ම නැතිවම නිදී
කවිය බලන්න
ආදරය
මල්සරා ඇවිත් දවසකට මේ මනුලොවට
හී සැරයෙ ගුණ අගුණ සිතුනාලු සොයන්නට
ලංවුනා උසස් පෙල කරන දරුවෙක් ලගට
ආදරය දැනුනාද ඇසුවාලු හෙමිහිට
විභාගය ඇවිත් හිර වෙලා මම කර මුලට
අම්මලා දුක් විදියි උගන්නන්නට
අපිට කොහේ දෝ ඉදලා ඊතල විද්ද වරදට
අතරමං වෙලා හිත පාඩමක් නැහැ හිතට
උසස් පෙල වැඩ තුනක් බැරි වෙච්ච කොල්ලෙක්ට
ලංවෙලා ඇහුවා ආදරය ගැන දැනගන්නට
අහුවුනොත් මරනවා මල් සරා ඇත්තට
කෙල්ල මං අතඇරියා මොන විභාගද මට
හන්තාන සරසවියේ පිය මනින යුවතියක
දුටු විටදි මල්සරා සැනසුනා ඈත සිට
ඇයට නම් ආදරය සොදුරු ඇති සිතන විට
ඇය කීවා කවුරුන් ද තෝරන්න බැහැ මට
ගමේ අය්යා නිසා සරසවියේ දොර ඇරුනාට
දැන් හිතක් පහල විය හන්තානෙ කුමරුට
දෙක තුනක් ඊතල එක පාර විදින විට
කෙල්ලො හරි අසරණයි කියනවද මලවිට
හැන්ඩියට ඇද ගත්ත කොලඹ කොල්ලෙක් ලගට
මල්සරා ගියේ හොද කතාවක් අසන්නට
අනේ මල්ලියෙ කෙල්ලො ගේමක්ද මාහට
හතර පස්දෙනෙක් මට ඉන්නවා බදින්නට
යුගු දිවිය අරඹන්න සැරසෙනා කදිමට
දෙදෙනෙක්ට ලංවුනා පෙම් රහස අසන්නට
කේන්දර ගැලපුනා හරිම අගහරු හතට
කුලය නිල බලය හරි හැමෝගෙම සතුටට
ආදරය නම් අය්යෙ දන්නෙ නැහැ හරියට
මගුල නම් තීන්දුයි ඉතින් සුභ නැකතට
දරුවෙකුත් වඩාගෙන යන අම්මා කෙනෙකුට
ලංවෙලා ඇසුවා ආදරෙද තම සැමියට
රැවටුනා මම මුලදි කරපු හැඩ කතාවට
ලමයා හින්දා ගෙවනවා දුක් අපායක
රට ඇතැර යන්න හිටි තාත්තෙක් දකිනවිට
ඇසුවා ආදරය හැර යන්න දුක දෝ නුඹට
නෝනගේ හොර මිනිහා අහුවුනා ඊයේ මට
හිතා හදා ගන්න මම යනවා මේ දුරු රට
මල්සරාටත් දැන් මහන්සියි හොදටම
වැඩක් නැහැ වගේ ඊතල විදපු ඔක්කොම
පෙමින් වෙලෙනා තවත් දෙදෙනෙක්ව දැක්කම
විදිනවා නේද ආලයේ සුව ඇසුවම
දික්කසාදයි ඇය ඉන්නෙ නම් තනියම
මම තිදරු පියෙක් දැන් මැදිවියට ලංවුන
අසම්මත නිසා ලංවෙන්න බැරි හින්දම
ආදරය මරා දැම්මා හිතින් දෙන්නම
බෝමළුව ලග වදින වැඩි මහළු යුවලකට
ආදරය දැනුනාද ඇසුවා යුගදිවියට
ආදරය හිනදාම ගෙදරින් පැනලා ආවට
වින්ද දුක් අපමණයි දිවිය රැක ගන්නට
මල්සරා ඇවිදිද්දි අතරමං වෙලා හිත
සේකරව හමුවුනා ඉර බහින මොහොතක
මලවි හීසරය රහසින්ම ගෙන හදවතට
කවියො විතරයි වින්දේ ආදරය හරියට.....
.....නදී......
ලන්ඩන් නුවර සිට
කවිය බලන්න
කාලය නවතින්න
නවතින්න කාලය.
නොනැවතී නොනිදා
කිමද මේ දිව යන්නෙ?
බිළිදු හැඩ හැර දමා
වෙනස් කොට හැඩ තලය
කිමද මේ දිව යන්නෙ?
නවතින්න කාලය.
ඝන නීල කෙහෙරැල්ල
දිගු නීල නෙතු කැල්ම
ඔද වඩන චවි වර්ණ
තුනු සිරුර සිසි වුවන
වෙනස් හැඩ ගන්වමින්
කිම්ද මේ දිව යන්නෙ?
නවතින්න කාලය.
එබස් ඇසූ කාලය මෙසේ කීය:
‘නොනවතිමි මම
නවතින්න ඔබ’
කවිය බලන්න
ඉරිසියාව........
ගීයක සුමිහිරි නාදය අසලා
සැනසෙන මනු කැළ දෙස නෙත රඳලා
දෙසවන් අහිමිවු ඔහු ඉකි බිඳලා
සවනත ලැබ දෙන විලසට
යැදලා.
එසඳ සියල් දන දෙසවන් වසලා
කටුක රුදුරු දේ නොඅසමු
කියලා
ඔහු අබිමුව සිට මේ ලෙස
සිතලා
මුළු ලොව නෑසෙන විලසට
පතලා.
කවිය බලන්න
ආන්ත්‍රාවයි!!!
සාංකාවට බෙහෙත් නැති බව
කාත් කවුරුත් දන්නවා...
ඒත් පවනේ තිබෙන විසකින්
වාං කවුළුව ඇරෙනවා....
ආං පින්සල් රැගෙන කවුදෝ
රාත්‍රිය මෙහි අඳිනවා....
ගාත්‍රා අක්ෂරයකින් දිය
ගංවතුර වී ගලනවා....
හීං කෙඳිරිලි හඬක් මැද්දේ
දාං ඉත්තෙක් අදිනවා
රූං කියමින් මළ දෙනක තනි
නීල මැස්සෙක් රකිනවා....
මාත්‍රාවක් රැගත් රුවලක්
යාත්‍රාවක යෙදෙනවා....
ආන්ත්‍රාවයි!!! පුවරුවක් එහි
නේත්‍රාවක තිබෙනවා....
කවිය බලන්න
පව් කළා ඇති
සොරකමක් නොකෙරුවත් එළිපිට නොයෙක් නින්දා එන නිසා
ඉතා රහසින් කරති සොරකම් සැමගෙ ඇසටම වැලි ගසා
ඒ අතර මුදලාලිලා තම සිතේ හැටියට මිල ගසා
නොසොරයකු ලෙස කරති සොරකම් පාරිභෝගික ඇස් වසා
රටම කරවන ඇතැම් පාලක කපටි උන් වැදි බණ දෙසා
තමාගේ බඩ වඩා ගන්නේ බොහෝ වැසියන් අඳ නිසා
රටේ දේපල සොරා කන අය පිනුත් ඉඳහිට කළ නිසා
මතු බවේ මිනිසෙකුද විය හැක එහෙත් යාචකයෙකු ලෙසා
අන්ත අසරණ වෙලා පාරට වැටෙන මුත් නොමැතිව සතේ
බොන්න කිරි බිඳුවක්ද නොමැතිව දරුවො මැරුණත් හාමතේ
ඇතැම් අදමිටු තුච්ජ පාලක එවුන් රට සූරා කතේ
එවන් අධමයො සසර දිගුකල් සිඟා කනු ඇත දස අතේ
මගේ පාඩුවෙ ඉන්නෙ මම නැහැ කිසිවෙකුට දුක ඇති කළේ
පිනක් ගැන නොසිතුවත් කිසිවිට නොමැත මා පවකුත් කළේ
මෙසේ කියමින් ඇතැම් මිනිසුන් ඔහේ සිටිනව කරුවලේ
පෙර කරපු කරුමයක් මතුවූ දිනෙක පීනති දුක විලේ
උදේ හිරු නැඟි වෙලාවේ සිට නිදන තුරු රෑ මැදියමේ
මෙපමණයි කිව නොහැකි තරමට නොයෙක් දුක් එයි අනියමේ
එතැන අතහැර මෙතන සහ තව කොතැන දිව්වත් තදියමේ
දුකක් නැති කිසි තැනක් දැක ගත නොහැකි වෙයි ලෝ සිතියමේ
සසර කතරම අතර නොමැතිව වතුර මෙන් දුක පැතිරිලා
සතර නිරයට වැටුණොතින් නම් එදුක එයි බලවත් වෙලා
එතෙර වන්නට කැමති නම් ඔබ දුක් වලින් සැම වෙන් වෙලා
නිතර පින් දම් කළ යුතුයි දැන් සිදුකරන පව් නවතලා.
20 . 12 . 2023 .
කවිය බලන්න
එකදු මලක් නැති වුවද..
කුරුළු ගී මිහිර විඳින උදෑසන
රාස්සිය වී වනන සැඳෑ අව්වක
මාවවුලන් සරන තිත්ත ගනඳුර-
කුමන මොහොතක සිදු වුවද
අතීත අනාගත ප්‍රතිබිම්බන
පුරුදු හිස් බවම දනවයිද
ලියන වැකියක කම්පනය බිඳෙන සඳ
දුක් වේදනාවන් කිසිත් නොදැනම
වැටෙයිද අතක් කරදහිය මත
හිරු දිලෙන කිසියම් මොහොතක
ඇඟිලි සලකුණු- බිම වැටුන කෙස් රොද
කැඩපත අසල දකීද ඔවුන් ආ විටෙක
ඉනික්බිති දිනෙන් දින
හිරු කිරණ සුළඟ වර්ෂාව
කිරිගරුඬ සමරු පුවරුවක
මතක සටහන් මකාලන පරිද්දෙන්
පුනරාගමනය- නාමය- කීර්තිය වන්
මිථ්‍යාවන්ගෙන්ද මා නිදහස් වෙයිද
අවසන මිහිකත මා අමතන කල
එකදු මලක් දක්නට නැති වුවද
සඳ රැස් ගලන නිසල රැයක
නන්නාඳුනන අය මෙහි පැමිණ
මසිතට අනවරතව ගලා එන
මෙම වදන් මුමුණයිද
"Later on" by Forough Farrokhzad ඇසුරින්
18.01.2024
කවිය බලන්න
නුඹ විය මගෙ හිරු තරුව
රංමැලි වෙහෙර විය සදහහම් ගුණ දැරුව
නිල් කෙත් යාය විය අපෙ බත සරි කෙරුව
සක්විති රජෙක් විය එඩිබල කම් පිරුව
අප්පචියේ නුඹ විය මගෙ හිරු තරුව
සංකා තියා හදවත දුක අවුලාලා
කඳුළක තියා දෙනයන රතුකරවාලා
හැඬුමක තියා ඉකිබිඳුමන් රන්දාලා
නුඹ දුරගියා අප ලොව තනි කරවාලා
පෙරුමන් පුරන සසරක යන දිගු ගමන
පතනා දිනෙක අජරාමර අම නිවන
බෝසත්වෙලා භවයක බුදු බව පතන
රාහුල වෙලා එන්නෙමි පොඩි පුතු එදින
කවිය බලන්න
වියෝගය.
මෙතුවක්....
නුඹේ පියාපතට ඇලී සිටි
මමයි පිහාටුව.
එදා....
බොහෝ දුර එක්ව එකටම
පියාඹන්නට හීන දුටුව.
අහා...අපි දුටු ඒ සුන්දරත්වය!
හිස් අවකාශයේ ඉම තෙක්
සැරි සැරූ ඒ අතීතය
නිමා වෙන්නට ඔන්න මෙන්න ය.
ඉතින්...තව මොහොතකින්
බිම වැටී අසරණ වන්නට නියමිතය.
නොපැතූ නිමේශයක
ඒ මොහොත පැමිණියෙන්
ඔබෙන් ගිලිහුණු වහා
සැඩ සුළං යන අත
යන ඉමක් ගැන වගක්වත් නොදැන
ඔහේ පාවී ගොස්
නන්නත්තාර ව..... අවසන
මහ පොළොව සිප ගනු ඇත.
සීරී තැලී අවසඟව ගිය අත පය
රිදුනාට කම් නැති.
ගත තැලුම් වුව ද
තව වුවත් ඉවසන්න හැකි.
දරාගන්නට බැරි
මහමෙරක් තරම් බර
වියෝ දුක ම ය.
ඔබ නොමැති කල මා
ගිලිහුණු පිහාටුවක් පමණ ම ය!!
කවිය බලන්න
𝑭𝒆𝒂𝒓 - Dr Ramya Attanayaka
𝑨𝒓𝒆 𝒘𝒆 𝒓𝒆𝒂𝒍𝒍𝒚 𝒍𝒊𝒗𝒊𝒏𝒈 𝒊𝒏 𝒂 𝒘𝒐𝒓𝒍𝒅......
𝑻𝒉𝒂𝒕,
𝑴𝒂𝒅𝒆 𝒐𝒇 𝑺𝒐𝒊𝒍...𝑾𝒂𝒕𝒆𝒓..
𝑯𝒆𝒂𝒕..𝒂𝒏𝒅 𝒂𝒊𝒓...
𝑰 𝒇𝒆𝒆𝒍 𝒊𝒕'𝒔 𝒐𝒏𝒍𝒚 𝒂𝒏 𝒆𝒙𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒏𝒅𝒊𝒕𝒊𝒐𝒏....
𝑹𝒆𝒂𝒍𝒊𝒕𝒚.....
𝑺𝒆𝒆𝒎𝒔 𝒕𝒐 𝒈𝒐 𝒃𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒂𝒕....
𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆.....
𝑰𝒏 𝒕𝒉𝒊𝒔 𝒘𝒐𝒓𝒍𝒅...
𝑯𝒂𝒔 𝒕𝒉𝒆𝒊𝒓 𝒐𝒘𝒏 𝒘𝒐𝒓𝒍𝒅......
𝑻𝒉𝒂𝒕 𝒘𝒐𝒓𝒍𝒅 𝒎𝒂𝒚 𝒃𝒆....
𝑭𝒖𝒍𝒍 𝒐𝒇 𝒕𝒉𝒐𝒖𝒈𝒉𝒕𝒔.....
𝑻𝒉𝒂𝒕 𝒘𝒐𝒓𝒍𝒅 𝒄𝒂𝒏𝒏𝒐𝒕 𝒃𝒆 𝒔𝒆𝒆𝒏 𝒇𝒓𝒐𝒎 𝒐𝒖𝒕𝒔𝒊𝒅𝒆.....
𝒀𝒐𝒖....𝒂𝒓𝒆 𝒊𝒏𝒗𝒊𝒕𝒊𝒏𝒈 𝒎𝒆 𝒕𝒐 𝒄𝒐𝒎𝒆 𝒕𝒐 𝒚𝒐𝒖𝒓 𝒘𝒐𝒓𝒍𝒅....
𝑯𝒐𝒘 𝒄𝒂𝒏 𝑰 𝒅𝒐 𝒔𝒐....
𝑨𝒔 ...
𝑰 𝒉𝒂𝒗𝒆 𝒏𝒆𝒗𝒆𝒓 𝒔𝒆𝒆𝒏
𝒀𝒐𝒖𝒓 𝒘𝒐𝒓𝒍𝒅....
𝑪𝒐𝒓𝒅𝒊𝒂𝒍𝒍𝒚 𝒊𝒏𝒗𝒊𝒕𝒆𝒅.....
𝑻𝒉𝒐𝒖𝒈𝒉...𝒑𝒓𝒆𝒑𝒂𝒓𝒆 𝒕𝒐 𝒘𝒂𝒓𝒎𝒍𝒚
𝑾𝒆𝒍𝒄𝒐𝒎𝒆....
𝑻𝒉𝒆𝒓𝒆 𝒊𝒔 𝒂 𝒇𝒆𝒂𝒓....
𝑻𝒉𝒂𝒕 𝒐𝒖𝒓 𝒍𝒊𝒇𝒆 𝒘𝒊𝒍𝒍 𝒃𝒆
𝑶𝒏𝒍𝒚 𝒂 𝒃𝒂𝒕𝒕𝒍𝒆 𝒃𝒆𝒕𝒘𝒆𝒆𝒏 𝒕𝒉𝒆 .....
𝑻𝒉𝒐𝒖𝒈𝒉𝒕𝒔.....
𝑰 '𝒗𝒆 𝒕𝒐 𝒃𝒆 𝒋𝒖𝒅𝒈𝒆𝒎𝒆𝒏𝒕𝒂𝒍....
𝑰𝒎𝒑𝒐𝒔𝒔𝒊𝒃𝒍𝒆.....
𝑩𝒖𝒕 .....
𝑰'𝒗𝒆 𝒕𝒐 𝒅𝒐
24th Jan.2024
කවිය බලන්න
කඩුව
ඉතිහාසය සිතේ ගෑවෙද්දී - කඩුව ගැන ඇසෙද්දී
මතක් වෙන්නෙම - යුද්දෙමයි රජුන් රජ කරද්දී
කඩුව බැහැ කියා කිව්වා ටිකක් ඉස්සර
ඒ ඉංග්‍රීසී බැරි අයට - අපි වගේ පිටිසර
මනමේ කෙල්ල අද පවා - ඉවරයක් නෑ බැනුම් අහනවා
කඩුව දීලා වැදි කොල්ලට - හිතේ දැවටුණු ආල නුරාවට
දියවන්නාව ඔය අයිනේ - සැලි සැලී සුළන් රැල්ලේ
ඉන්නවා සිංහයෙක් - නාදේ නැහැ ඇහෙන්නේ
ඒ වුනත් කඩුවක් - අතේ ඇත තදකරන්
යාබද කණුවෙත් - තවත් කොඩියකි සැලෙන්නේ
සිංහ ධේනුවකි - කොඩියේ ඒ හිනහෙන්නේ
ඇය අතෙත් කඩුවකි - මිට මොලවා සිටින්නේ
බැස එන්න කොඩි වලින් - නිදහසේ ඔබ එක්වෙන්න
පෙරමුණ අරගන්න - ජනතාව රැකගන්න
අධම දුෂිතයෝ - යද්දී ඔය අයිනෙන්
දෙපැත්ත කැපෙන ඔය කඩු - සොලවන්න දෙපසට
27ජනවාරි 2024
කවිය බලන්න
In between times - Sudharma Weerakkody London
It is the begining of the end
Sun and moon togeather
Shared the sky mourning
At blue winters warmth
Green doctors faces
Pink diagnosis papers
Stripy grey dresses
Terquious wall hangers
Inbetween times..
Now...
Then and
Tomorrow
Laughter
Smile and
Tear drops...
Pictures
Drawings and
Unseen poems...
Lullabies and
Goodbyes...
Till me meet in dreams...
Until the sighs occurs..
Cold courage
In beween times
End of end...
No sound of sound...
කවිය බලන්න
ප්‍රේමය..
උතුරනා කඳුළකින් මා නෙත නුඹේ ගෙමිදුල මල් පිපේ නම්
ගිලිහෙනා තෙක් බිඳුව අවසන් කොපුල් දියවෙන තුරු හඬන්නම්
උපදිනා මේ සසර මතු මතු යළිත් නුඹ පසු පසම එන්නම්
පැරදුණා මං දුකක් නැහැ තුටු සිතින් ඔහු හට දිනුම දෙන්නම්
හිනැහිලා තොල් රිදෙන තුරු සොම්නසින් අප සිත් බැඳුණු යුගයක
හමුවෙලා ඔය දෙතොල් රසකළ මතක මල් අළු වුණා සොහොනක
සැරසිලා දෙවඟනක් සේ නුඹ යන්න යළි හමු නොවන ගමනක
සැතපිලා සිව් රියන මත හෝ දරාගන්නම් දැනෙන මේ දුක
සිහිනයෙන් වත් නොඑමි කිසිදා මට උරුම නැති නුඹේ ලොව වෙත
එක සිතින් සමු දෙන්න දෙඅදර තබා මිය යන මගේ කොපුලත
කඳුළකින් දෝවන්න දියවී මැකෙන තුරු රසබර මතක පොත
දැන් ඉතින් ඔබ යන්න අත ගෙන එපා නෙත් හරවන්න මාවෙත
කවිය බලන්න
අවබෝධය.......
තබන්නට ඇගිලි තුඩු විණාවේ තත් මතට
මුල ඉදන් පිළිවෙලට ඉගැන්නු ගුත්තිලට
අභියෝග කරන්නට උරදෙමින් මුසිලට
එදත් හිටියාලු නෙක මිතුරු කැළ ඔහු අවට
පලා සම සිදුරු කළ පියාගේ පතුල යට
වේදනා දෙවන්නට ඔබා එහි ලවණ කැට
දිරි දෙමින් ආවඩා අජාසත් කුමරු හට
එදත් හිටියාලු නෙක මිතුරු කැල ඔහු අවට
බොජුන් මේසය පුරා තිබූනු ඒ අහර ළග
විෂ පෙවූ නෙක බදුන් තබන්නට සීරුවට
සාමයට එරෙහි වී නොයෙක් ලෙස උදව්කළ
එදත් හිටියාලු නෙක මිතුරු කැල ඒ අවට
චරිත තුල ඔබා නම් වෙනස් වූවාට
කාලයේ වැලිතලා සිය ගණන් ගෙවුනාට
අදත් ඒ විලසමයි ලොව වෙනස් වූවාට
නොයෙක් මිතුරන් සිටී මුව සිනා මැව්වාට
ශ්‍රීයානි උඩගoගොඩ
2024/12/11
කවිය බලන්න
විරසකය.......
තුරු වදුළු යට
පුංචි ඉඩ කඩක
හඳ පලුව සැඟවිලා
වෙන්න ඇති දුකට
සිළි සිළියෙ නද දිදී
හඬයි රෑ අහස
මලානික තරු උනත්
හදයි සැඟවෙන්න
ගං දෑල පිස හමන
හීන් හීතල සුළඟ
හීන් හී ගතු සදයි
දුරින් ඉනු හැකි ද
බත් හැලිය ඉදෙනකම්
විරසකව හිඳුම
වාවන්නෙ නෑ තවත්
නොදොඩාම ඉඳුම
රෑ තවම තරුණයි
සැරයි මේ රිදුම
එක වහල යට ඉඳන්
අමනාප කුමට
Photo; Manuel Meurisse
කවිය බලන්න
යාචක පියාගේ ආයාචනය
කැත කුණු වලම ඉපදී දුක් විදින ඔබ,
හිස ගෙල දෑත මිණි බරනින් පිරී නැත,
කේසය වැවී නමුදත් එය ලෙසට නැත,
යාචක දියණියනි මගෙ සිත ඔබට ගැත....
ආලය බොහෝවෙත් එනමුදු ඔබට එය,
තෝරාගැනීමට තරමක් උරුම නැත,
මවමින් ඔබව මා සතු කරගන්ට සිත,
දෙනවද පියානෙනි ඔබගේ දිළිදු දුව....
මගෙ ලග මිල මුදල් එතරම් නොවේ අද,
ඔබ ඉල්ලුවෙ මා ලග ඇති එකම පණ,
යාචක වුනත් දියණිය නොඉදුල්ව ඇත,
ඔබෙ පණ තරම් රැක ගනු මගෙ හුස්ම පොද....
මන්දෝදරී හදපානේ මියුණු දිනේ,
මගෙ මල් කුමාරී හිටියේ ළදරු වියේ,
අම්මා මැරී විසිවසරක් ගෙවුනු දිනේ,
මගෙ දූ කුමාරී ඉන්නෙ දැන් තුරුණු වියේ....
රථයක නැගී සුරගන පුත් කෙනෙක් තෙමේ,
මගෙ මනමාලි කැන්දන් යන්නට පැමිණේ,
අනේ පුතේ රැක ගනු නුබෙ දෙඇස් මෙනේ,
මට ඇති එකම සම්පත මගෙ දුවනි වෙතේ....
❤️ *sew* ❤️
Photo; Andres Molina
කවිය බලන්න
Skeletal Figure
The shades of night were falling fast
Lazy moon scattered his beam
A dark skeletal figure with a tattered robe
Steps on his way overtaken
With a tremor gone wild
Figure proceeds corrugated
Turned in to a leaned and collapsed eyes
I stopped but it hasted
I felt so scared
With that dying figure
When at home I spotted my face
Through a mirror
Alas ! That man was on my mirror
Unbelievable.
කවිය බලන්න
Lest I Forget - Somabandu Kodikara
The Sun would surely adorn the morn.
Would I surely wake up to see?
Lest I forget to beg forgiveness,
For any hurt I may have caused,
By word, deed or thought,
Forgive me now.
I, in turn forgive you.
For any hurt you have caused me
Wittingly or unwittingly.
Free from remorse, I sleep tonight.
සමාවන්න මට නිදා ගන්න පෙර
කාට නම් කිව හැකිද? නිසැකව,
අවදි වේ දැයි හෙට උදෑසන.
වී නම් වරදක් මාගෙන් ඔබහට,
සිත් පීඩාවක් හෝ අන් රිදුමක්
කමා කරණු මැන.
කමා කරමි මම,
වී නම් වරදක්
මාගෙන් ඔබ හට
කවිය බලන්න
ඒකපාර්ශික
සඳක් වගේ පායා හිනැහෙමින් එබී
පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී
ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී
අදත් ලියනවා මේ ප්‍රේමයට කවී
යන්තං ගැටෙද්දි යන එන මගදි ඇසේ
වත්තං කරපු සෙනහස මදහසින් හැලේ
තෙත අඩි තියා ඇවිදිනකොට හිතම වටේ
කඳුළක් වෙලා ප්‍රේමය නෙත් අගින් වැටේ
මලක් වුනත් අන්සතු උයනක සුපිපී
රසක් තිබේ නොකියූ ප්‍රේමෙක සිරවී
පවනක් වෙලා ඔබෙ කෙහෙරැල්ලකට ඇලී
සසරක් වුනත් දුර යන්නට එයම ඇතී
කවිය බලන්න
❤️දැන් දැන්ම ඒවි...
මලක මෙලෙක විඳින්න, පහස දැනෙන හිතකට මුමුණන්න දවසක් ඒවී
පවන් රැල් සිරි සිරියෙ කිලිපොලා කොඳුරන්න, හිතින් විඳ ඉපිලෙන්න, කාලයක් ඒවී
හීන වල ඇහැරෙන්න, තනියම හිනා වෙන්න,
ඔහේ එහෙ මෙහෙ යන්න, නිමේෂය ඒවී
කඳුළු පන්නා දමන, හද කුටිය හීනියට ශෘංගාරෙ සතපවන, කුමාරයා දැන් දැන්ම ඒවී
(Walking down the memory lane 24 yrs ago … having the same feeling to commemorate our 24th wedding anniversary on 4th Feb!❤️❤️)
කවිය බලන්න
එනුමැන පායාලා
ඔබ ආයෙත් පායාලා
අහසම රතු කරවාලා
අදුරු වලා මැද ගෙවුනු අහසයට
ඔබ ආයෙත් පායාලා
නික්මුනු වදනකි දෙසවන රිදවන
මාහද රිදවේ දැන් ඒ පිලිබද
නොසිතා සැලෙනා සිතුවිලි පිටුදැක
එනුමැන ආයෙත් පායාලා
දවසක් ගෙවුනිය කිසිදානොනිමෙන
මැකී ගියානම් එදවස සැමදින
පායා ආවිට ඒ දිනකට පස
මා හද ආයෙත් පිබිදීලා
කවිය බලන්න
කියයි මේසේ මෙසේ
මතකයි මම ආව දවස
ඔක්කොම වටවෙච්ච හවස
පිරෙව්වෙ මම එතෙක් තිබ්බ
කෑම කාමරේ හිඩැස්ස
මේව බඩුද කුරේගේ
නැත්නම් දොන් කරෝගේ
ගහට ගහක් හැප්පෙනවා
ගෙදර හදපු ලී අගේ
කෑවට බීවට පස්සේ
මමයි වුනේ වේදිකාව
මාව අතැරලා යන්නට
කාටත් නෑ උවමනාව
කෙස් පැලෙන්න තර්ක කරල
මිට මොලවපු පාර වැදිල
කඩු පිහි හෙම තිබුනානන්
මමත් ඉඳියි දෙකට පැලිල
බත් දීසිය මාව තවල
අල හොද්දෙන් මං නෑවිල
දීසි ඇදිල එහෙට මෙහෙට
මගෙ ලස්සන දැන් ගිහිල්ල
පොඩි එවුන්ට වැඩ කරන්ට
පොත් ටික ගොඩ ගසා ගන්ට
චරිත මාරු කෙරුවා මම
ලියන වැඩට උදව් වෙන්ට
කාලේ පියඹල ගිහිල්ල
කවුරුත් නෑ මා එක්කල
කෑම කන්නෙ ගෙදර අයත්
රූපවාහිණී බල බල
කකුල් හතර දැන් දුබලයි
මොඩ් වෙන ගෙට මම නාකියි
මෙහෙට එන්නෙ කවදාදැයි
ලිප ගිනිදැල් මා විමසයි
කවිය බලන්න
උල්පත්
ආදරේ හරි අමුතු විදියට
එබෙන්නේ නෙක වෙස්වළාගෙන
සාගරේ වැනි මහා වස්තුව
මුල් නොවෙයි හිත ඇල්ම ගෙනදෙන
රත්තරං මාලයක් මුද්දක්
වළල්ලක් දියමන්ති මුතු ඇට
සැබෑ සෙනෙහස උපද්දන්නට
උල්පතක් වෙනවා ද ඇත්තට
තිබහකට ඇල්වතුර උගුරක්
තේ එකක් උණුසුමට හවසක
කැඩුණු කුඩයක සෙවණ දාහෙට
ඇති කරයි ආදරය පපුවක
කවිය බලන්න
පව් ගෙවන පිං ළිඳ
ගමටම වතුර දුන්නා ඈ පෙර දවස
බීමට නෑමටයි නොම කෙරුවා වෙනස
නිකමට අහන් නෑ අද ඇගෙ කල දවස
ළිදකට තිබුන් නෑ මතු පෙනෙනා දිවැස
කළ ගෙඩි පුරව පුරවා නොරිදා නිතඹ
කලබල නැතිව පඩි නැග අඟනෝ සරඹ
සුල මුල, කිසිදාක සිඹ නොබලා පුසුඹ
සැල කිලි කාට කාටත් කල ඈ සුරබ
උතුරා ඈ මුවින් ගලනා වැඩි වතුර
අතුරා වෙල පුරා වක්කඩ ලග නිතර
මතුරා නොවේ අඟනුන් දෙඩුවේ කෙබර
මිතුරා නොමිතුරා දිය නෑවේ මගැර
පිල්කඩ උඩ තබා රෙදි කම්බා සරම
සිල් බිද නොගෙන අඟනෝ දිය නෑ අරුම
මල් මල් සුවද සබනුයි ගෑවේ සැවොම
ඇල් දිය දනී සිල් ඇත්තන්ගේ තරම
මිලක් අය නොකර පුරවා කළ පේලී
කටක් නොකියාම සිත් රිදෙනා සෝලි
පලක් ඇති නැතා කාටත් ඈ වාලි
ගොඩක් අය කැමති පිට ගම ඇල වේලි
පෙලක් ලිං වතුර බිව්වෙත් හොදට නිවා
බරක් උවත් ලිද කිසිදා නොදිනි ඔවා
පලක් නෑ සුබස, අදහම පුදති වවා
වරක් නොව දහවරක් ගිනි දළු දමපි නිවා
ඈත දුරක සිට ආවා නල වතුර
පාත උඩ ගෙවල් කිසි වෙනසක් නොකර
භීත කර සිතුම් බිල ආවත් නිතර
ආත බූත ගම "පිං ළිඳ" යයි වැහර
දිය රෙදි ඉහිල් කර අඟනෝ පිට ඉලුව
පය උල උලා විලුබේ හැඩ රුව බැලුව
කිය කිය පරණ මතකේ අඩුවක් නැතුව
කය මිස හිත අහිමි ගස් ගල් අද තනිව
කලක් ගොසින් ළිඳ සිත්තුල මිය ඇදුනා
දනක් උසට හබරල වල් පැල වැඩුනා
පලක් නෑ වලක් කසු කුසු කන වැටුනා
ළිඳක් නොව කඳුළු විලකැයි මට සිතුනා
කවිය බලන්න
කඩුපුල් මලක කවක්...
කඩුපුල් මලක් වූවෙමි මම පිබිදිච්ච...
නුඹ දිවකරයි ලොව නින්දෙන් ඇහැරිච්ච....
නුඹගේ රැසට මගෙ හදවත දියවෙච්ච...
මලක් වුණෙමි ප්‍රේමයෙන්ම මියදෙච්ච...
කවිය බලන්න
සඳ මැනික
සදවතිය මගෙ මැණික
හිත නුඹයි සොයන්නේ
මාසෙටම ටික දොහයි
හරියකට දකින්නේ
වළාකුළු ඇයිද නුඹ
සඳ මැණික වහන්නේ
නුඹත් ඇය සිපගන්න
වගේ මග බලන්නේ
අමාවකදාට මට
මහ දුකක් දැනෙන්නේ
සඳ මැණික නැති නිසයි
පාළුවෙන් තැවෙන්නේ
නෙත් කැල්ම තමා නුඹෙ
තරැ වගේ පේන්නේ
සඳ මැණික නැති දාට
තරැයි තනි රකින්නේ
සඳ මැණික ඇයි හිරුට
හරි සැරයි කියන්නේ
ආදරේ ගින්නෙනුයි
මාත් මේ දැවෙන්නේ
සුදු මුහුන දැක ගන්න
මාත් ලොබ බදින්නෙ
මම එද්දි නුඹ යද්දි
කොහොම පෙම් කරන්නේ
රළු පරලු හිත් වලත්
ආදරේ තියෙන්නේ
සඳ මැණික රැවුවාට
මම ආදරෙයිනේ
Photo by ; Javardh
කවිය බලන්න
පටාචාරාවකගේ පුනරාගමනය.
පාර අද්දර රෑ මද්දහනේ
හිතට මුල් තැන දී
සෙනේ කොළ ඇහිඳාපු
හිතුවක්කාර සමනලී
ධරණිය පෙළා වට වැස්සට
ගහගෙන ගිය ජීවන අඟුල
පහන් කණුව පාමුල අඳුරේ.
හිමි පණ පිටින් මියගිය කොට
කර ගැසුවෙ නුඹ පවකට
නයි හුඹස් එමටයි
යනෙන ඔය මාවතේ
දරු සෙනෙහස උස් නිසා අහසට
කුස පුරවන්නට වුව
ගිනි තැබූ මහ ගෙදර දුමයි
ඔය නගින්නේ ඉහළට සමනලි.
අචිරවතිය වෙනුවට
පිපි මහ වැලියට
සිප සනසා දරුවන්
බිලි දිදී සැඩ පහරට
කවර නම් සැනසුමක්
ලබන්නද මිහිපිට .
පාරවල් අස මස් වැදලි
පැහැර ගන්නා උකුස්සන්
ඉන්නවා මග බලන්
මහ දවල් සීතලේ.
නිරුවත් කර නුඹේ ගත
වසාගන්නට නොදී රෙදි කඩ
ගල් ගසා එළවද්දි
එළඹ සිහියට ගන්න
නුඹෙ නඩුව අසන්නට
කෝ කෙනෙක්
දෙව්රම් වෙහෙර වට කොට
තාප්ප බැඳි නිසා
බුදු බණත් අහිමි වූ සමනලී
රහත් වෙන්නට නම්
දෙපා සෝදාපන් ඉක්මනින් .
ඉපදෙනා මැරෙනා සසර නම්
දුකක්මැයි තටු බිඳුණු සමනලී.
Photo: Dave Hoefler
කවිය බලන්න
(අ)හිමි
සිනා මල් විතරක්ම හිමි වුන
පෙම් කවක් සිත් තුලම ගොළු වුන
මතක සිත්තම් රුවට හැඩ වුන
මටත් තිබුනා පෙමක් රහසෙම
නිවාඩුව ගම් බලා දිව යන
පෙම්වතුන් හමුවෙලා සමුදෙන
අම්බලමෙ මඟ බලා උන් හැම
අතරෙ හෙව්වා ඔබේ ඇස් මම
කියා එවතැයි සිතැඟි දවසක
එන බවක් හමුවෙන්න හවසක
පාළු දේදුනු පාලමේ ඉම
බලා හිටියා ඇත්තමයි මම
මුහුනු පෙළ මැද ඔබ දකින හද
හඬා තිබුනත් මටත් රහසෙම
නොහිතු අසුරක ඇසුන ඔබෙ හඬ
සිතුම් මනමත් කලා දවසෙම
සිනා පිපි සරසවි වසන්තෙක
වචන නොලියුනු ප්‍රේම ගීයක
සරය නොවැයුනු මියුරු තනුවක
අසනු රිසි වූ ගී හඬයි ඔබ.....
කවිය බලන්න
කාලෙකින් හමුවීම
දිගු කලෙකින්
නුඹ මට මුනගැහුනා
නෑවෙනසක්
එදාවගේමයි
නුඹ මා හඳුනාගත්තා
මා නුඹ හඳුනාගත්තා
මගේ හිතේ රැඳී තිබුනු
නාම රූපයයි
හිරු සඳු පායන
සුලං හමායන
ගහ කොල සෙලවෙන
වෙනසක් නෑ ලොව
අවිඳු ඝනදුරේ ගිලිලා
නුඹ කවුරුන් දැයි
මා කවුරුන් දැයි
නොදැන සිටින අපි
හිටිය වගේ මයි
සිත තුලරඳවා
අතරමංවෙලා
සංසාරේ
කෙසේද නුඹ මම
කෙසේද මම නුඹ
හඳුනාගන්නේ
නුඹත් නොහඳුනන
මමත් නොහඳුනන
භව කතරේ
Photo; Travis Grossen
කවිය බලන්න
බුමුතුරුණු
ඈත
වියළුනු බිමෙක බේරුණු
හොඳම හණ පතින් තේරී
සියුම් හුය සේ ඇඹරී,
ගහේ, කොලේ, මලේ සාරයෙන්
පාට පෙවී, සුවඳ කැවී
කෘතහස්ත සන්නාලියන් අතින්
හෝරා සිය ගණන්
මල්කමින්, ලියකමින් විසිතුරුව
සීරුවට ගෙත්තම් වී,
දහසින් බැඳි පියල්ලෙන් මිල ලැබ
මෑත
විසල් මැදුරක් වෙත පැමිණ,
තමාගෙන්
සියෙන් එක් කඩක් වත් නොවටනා
මිරිවැඩි වලට
නිබඳවම පෑගෙන
බුමුතුරුණු
Photo; aisvri
කවිය බලන්න
සංසාර චාරිකා
පැතුවත් බුදුවන්න අම්මාවරුන් හට
පෙරුමන් පුරා වෙසතුරු වී ඉපදෙන්ට
දරුවන් දන් දෙන්න ජූජක බමුණන්ට
නොහැකියි ඉතින් හැකි වේවිද බුදුවන්ට
ලොකු දුව දීග යන දවසේ නෙතු අගට
එරුණා කඳුළු කැට වෙන්වී යන දුකට
දරුවන් දෙන්නෙ කොහොමෙයි ජූජකයින්ට
නොහැකියි ඉතින් හැකි වේවිද බුදුවන්ට
බුදුවන පුතුන් හට කුස නිවහන වෙන්න
බුදුවන පුතුන් තුරුළට ගෙන කිරි දෙන්න
බුදුවුණු පුතුන් ගෙන් බණ පද අහගන්න
පතනෙමි අම්මෙ පතනෙමි එය ඉටු වෙන්න
Photo; Claudia Wolff
කවිය බලන්න
🗙




































































