කෝළ නෙත් ඇති සෙනෙහෙවන්තී.
අවසන් වතාවට
එකම එක හාදුවක් දෙන්න
සැඳෑ සීතලේ
සුසුමක් වී විසිර යන්නට පෙර,
කෝළ නෙත් ඇති
මගේ සෙනෙහෙවන්තී...
වැටෙන පත් අතරින්
හෙමන්ත සුළඟක් එන විට,
මල් සුවඳක් සේ
ඔබේ මතකය
හෙමින් හෙමින්
මා වෙත පැමිණෙයි.
හදවතේ
කිසිවෙකුට නොපෙනෙන
ගැඹුරුම නිහඬ තැනක
ඔබ තවමත්
නොනිමෙන පහනක් සේ
දැල්වෙයි.
පාලු වීදි දිගේ
තනිව සරන විට,
ඔබ නැති ලෝකයේ
අඳුරට පවා
ඔබේ මතකය
එළියක් ව දැල්වේ..
තරු පිරුණු
දිගු රැයක
අහස දෙස බලා සිටිමි
එක් තරුවකවත්
ඔබේ සිනහව
සොයාගත හැකිදැයි
මගේ
කෝළ නෙත් ඇති සෙනෙහෙවන්තී ..
සීතලට ගුලි වූ
මේ තනි හදවතට
ලෝකයක් නොවේ...
ඔබේ එකම
උණුසුම් හාදුවක
මතකය පමණි.
අඳුරු මාවතක
මගහැරුණු සඳක් සේ
ඔබ දුරස් වූ පසු
මට
මාව අමතක ව ඇත.
කාලය ගෙවුණත්,
සෘතු මාරු වුණත්,
අප සරන ලෝකය
නවමු වුණත්,
මගේ හදවතේ
ඔබ වෙනුවෙන් වෙන් කළ
ඒ කුඩා නිහඬ බිංඳුව
කිසිදා වියැළී නොයාවී..
ජීවිතය
එක් දිනක දී
නතර වුවත්,
අපේ ආදරය
හමා යාවී
සුළඟක් වී
තුරු අතරින් ගලා යමින්,
මල් සුවඳක් වී
දුර අහසක විසිරෙමින්,
නොදැනීමම
ඔබ වෙත ..
අවසන් වතාවට
එකම එක හාදුවක් දෙන්න,
කෝළ නෙත් ඇති මගේ සෙනෙහෙවන්තී...
කවිය බලන්න
