පියෙකුගෙ කඳුළු....
කරගැට පිරුණු අත්
සඟවා හොර රහසේ
කිරුලකි පැතුවෙ මං
පුතුනේ ඔය සිරසේ
එකිනෙක සිහින පත්
දළුලා පෙර දවසේ
හසරැලි පිරුණු මල්
පිපුණා හිත් අහසේ...
කල එළිවෙලා අපි පැතු
ඒ සුබ සිහිනේ
දියණිය සරා සඳ විය
මේ හද විමනේ
හසරැලි විදා යුග දිවියේ
බැඳි ගමනේ
අතහැර නොයා ළඟ
රැඳුනේ දරු පෙමිනේ
වියපත් වෙලා අත පය
වෙව්ලන තුරුම
සවියක් වුණා මුණුබුරු
මිණිබිරි ළඟම
කඳුළක් ගලා හදවත
මියැදෙන අරුම
අහසක් පවා කම්පිත
විය දුක උරුම
කඳු නැගි පසුව
හැරමිටියද හැර කියන
උරුමය පුතුනි මව
සහ මට අද ලැබුණ
කඳුළැලි පිරුණු මුව
සඟවා මුළු ලොවින
සමුගෙන ඇවිද යමි
පිටුපෑ ඔය විමන...
දරුවෝ වෙනුවෙන් කැප වුණු දෙමාපියන් එපා කිසිදාක වයසට යද්දී රිදවන්න. දවසක් ඒවී අපි කරන හොඳ නරක අපි පසු පස ඇදෙන..සිතන්නට සිහිබුද්ධියෙන් සැමටම.
Photo Credit; Gert Stockmans
කවිය බලන්න
