මිතුරෙක් / මිතුරියක් අවැසිමයි

මිතුරෙක් / මිතුරියක් අවැසිමයි

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

මව්පිය සොයුරියන් සොයුරන් හැරුණුවිට
ගුරු දෙවිවරුන් වැඩිහිටියන් හැරුණුවිට
හිතවත් අසල්වැසි නෑයන් හැරුණුවිට
මිතුරෙක් මිතුරියක් අවැසියි ඔබට මට

රහසක් ඇතිවිටදි කීමට සැක නැතුව
සහයක් ලබාගන්නට නම් බිය නැතුව
යහපත් දෙයක් සිදු කරනට දිරි ඇතුව
මිතුරෙකු අවැසි වෙයි සිටිනා බොරු නැතුව

ගමනක් යන්න ළඟ හෝ දුර සතුට පතා
ඇඳුමක් ගන්න නොම අසමින් විවිධ කතා
ලියුමක් දෙන්න ඇතිවිට ප්‍රේමයක් පතා
මිතුරෙක් සිටියොතින් කදිමයි ළඟින් ඉතා

පවුලේ අයකුහට හෝ තමහට යෙදුණු
යම් කාරියක් සඳහා මුදලින් බැඳුණු
සපයා ගන්න එමුදල් වෙහෙසී මැරුණු
සිටියද කෙනෙක් යහපත් මිතුරකු හැරුණු

විසඳා ගත නොහැකි ගැටළුවකට මැදිවී
සිටිනා විටදි දුක ඉවසා ගනු බැරිවී
කිසිවකු පිහිට වෙන්නට නැතිවම තනිවී
ඇතිවිට ඉන්නෙ මිතුරකු පමණයි ළංවී

2026 . 03 . 29

කවිය බලන්න