අවුරුදු සිතිවිලි...

අවුරුදු සිතිවිලි...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

නාස් කුහර වල අයිතිය කැවුම් සුවඳ බදු අරගෙන
සාස් පාන් හැම එකකම රස කැවිලිම රොද බැඳගෙන
'සූස්' හඬින් රතු මාමත් කෙසෙල් කැනට දුං පිඹගෙන
දාස් ගණන් ගියා කියපි අළුත් සරමකුත් මහගෙන

කොවුල් නදක් පැතිරෙද්දී කපුටන් හැම සිල් ගන්නේ
එරබඳු ගස් රතු පාටින් හිනැහී උඩඟුව ඉන්නේ
කජු පුහුලන් ඩැහැ ගන්නට මා වවුලන් පොර කන්නේ
බිත්ති පුරා හුණු අතුරන් හැම නිවසම හැඩ වන්නේ

ගස් වැල්වල මල් පිපිලා රජ උයනක සිරි ගත්තේ
බත බුලතින් සරු පාටයි සිනා ගලයි හැම පැත්තේ
ඔංචිල්ලාවක් පැද්දෙයි කරඹ ගහේ උඩ අත්තේ
පංච දාන ළඳුන් පිරෙයි ලොකු ආතාගෙ ගෙයි වත්තේ

බුලත් වැලේ කොළ කඩලා අතක් වෙන්න ගෙන හොඳටම
පරණ තරහ මරහ මකන් අද තුටුවෙයි සැම එකටම
අළුත් ඇඳුම් පුසුඹ හමයි කිරි බත් සුවඳත් සමඟම
සුබ නැකැතට වැඩ අල්ලා අවුරුදු කයි මහ ජයටම

සතුටින් සාමෙන් ඉන්නට හැකිනම් මේ ලෙස සැමදා
අවුරුදු වාගෙයි රටටම කිරි ඉතිරෙයි දුක නොරඳා
සිතට ගනිමු දුරලන්නට කළ අනුවණ කම් පෙරදා
සහෝදරත්වේ නාමෙන් එක්වෙමු දුසිරිත පරදා

කවිය බලන්න