සතුටු සිතින් කිරි උතුරමු මෙදා සැරෙත් අවුරුද්දට ...,......
සුපුරුදු කාලේ ඇවිදින් පිපිලා මල් බක්මහේ
තුරුමුදුනත රතු එරබදු සිනාසිසි වැහිවැහේ
කොවුලෝ කෙවිලියො සොයමින් එහෙ මෙහේ
ගී ගයමින් පවසන්නේ අවුරුදු එන බව මෙහේ
දොළොස් මසක් ගතවෙනදා පිරිලා වසරක්
හිරු කුමරුන් ගතකර මීනයේ මාසයක්
පා තබන්න මේෂ රාශියට බලලා නැකතක්
සිංහල අවුරුද්ද ඇවිත් ගෙවිලා තව වසරක්
මහවැස්සට පාළුවෙලා කුඹුරෙ ගොයම යටවුණා
සතරවරම් දෙවි පිහිටෙන් ලියදි දෙකක් බේරුණා
වෙනදාමෙන් සරු නැතිවත් අවුරුද්දත් පැමිනුණා
හිරු කුමරුන් සියල්ල දී නවදිනට පිබිදුණා
වැපිරූ කුඹුරේ ගොයම් කපා වී කරගත්තා
හේනේ වගාකල කුරහන් තල වියලා ගෙට ගත්තා
අබ මුං උඳු හේනෙම වියලා ගත්තා
කිරිබත් පිසගන්නට සිතා හාල් ටිකත් අරගත්තා
අතේමිටේ තිබු හැටියට ඇඳුමක් ගෙන පොඩිඑකාට
හාල් තුනපහේ අරන් බත්වේලක් එදත් කන්ට
සිතේ තිබෙන දුක් කරදර අමතක කරලා මදකට
කිරි උතුරමු මෙදා සැරෙත් අවුරුද්දේ පළමුකොට
