ගං බිත්තර පස්සර හාමිනේ සහ දොස්තර

ගං බිත්තර පස්සර හාමිනේ සහ දොස්තර

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ඉස්සර මතක අම්මගෙ උණුහුමින් මිදී
රැස්කර " ගමේ බිත්තර "' කූඩයක රැදී
කොච්චර ගනන් කීවත් කෑදරුන් යදී
බිත්තර කටුව ඇතුලේ හිච්චියෙක් නිදී.

අප්පා සැවුල් ගම මහ කරමල් හාමි
පුප්පා පපුව හඬනා පරිසර කාමි
සුප්පා දේවි කිකිළිය උන්දැගෙ පේමි
අත් පා සොලවලා උපයා කෑ දෑමි.

දැහැමෙන් සෙමෙන් දු දරුවන් හදාගෙන
දකුණෙන් වමෙන් වැලිපිල්ලේ ලියාගෙන
නිදුකින් උදේ තුන් සරණේ අසාගෙන
සතුටින් හිටියා ලද දේ ඇති කියාගෙන

මෙහෙසිය රකී බිත්තර ඇස් දෙක වාගේ
ඉකිළිය හම ගියත් නොකැඩුනි ඇගෙ දීගේ
බිහිවිය පැටවු නොදනිමි තිබුනිද රාගේ
අසිරිය පැටවු අප්පගෙ පලුවක් වාගේ.

" කපුරු වගේ ගං බිත්තර සිදාදියේ "
නපුරු පුවත වැදුණේ ගෙයි පරාලයේ
ඉතුරු නොවේ බිත්තර කල අකාලයේ
යතුරු හඬයි කූඩුවෙ දොර විලාපයේ

දොස්තර දෙඩූ විස්තර කන් අඩියෙ මිදී
පස්සර හාමිනේ සයනයේ තවම නිදී
අච්චර බණ දෙසන දෝණිය කටුව බිදී
බිත්තර තාච්චියේ ගින්දර තවම මදී

පස්සර හාමිනේ පෝ දා ගෙයින් මිදී
අස්කර බණ මඩුව බෝ පාමුලේ යදී
බිත්තර කිරි හොද්ද පෙර දා හිතේ රැදී
කොච්චර මතක නැති කෙරුවත් දිවේ හිදී

කටුවෙන් මිදී අකුරට යන්නට හිටිය
පැටවුන් මිය ගියේ උපදින්නත් පෙරය
නිඳුකින් නිවන් යන්නට සිල් ගත් නඩය
සතුටින් හිස් කලා ඇතිලියෙ දැන් අඩිය

" ගං බිජු කුකුළ් ගිය පණ යළි එයි කැන්දා "
පිංකං පොළෙත් දෙසුවේ පස්සර නැන්දා
දැන් මැහැලියක් කිකිළිය සිල් රැකි හන්දා
කං අඩි පැළෙන තරමට විදි නව නින්දා

කරමල් හාමි වැලපෙයි දූ දරු දුරුව
දහවල් කලත් කිකිළිය නිදියයි පරව
කේවල නොකර ජෝඩුව නානට කිරුව
වේවැල් කූඩූ පා පැදියේ යති හැඩුව.

24 / 02 / 2026

කවිය බලන්න