වික්ටර්
ශාලාවක කොනක සිට
ඔබ දෙස බලා සිටියෙමි
මුසපත්ව සවන් දී සිටියෙමි
ඇසි පිය නොහෙලා....
ගැටවර විය පසු කර
තරුණ වියට පා තබා
තරුණ විය පසු කර
වැඩිහිටි වියත් ගෙවී යනතුරා...
ඔබේ මධුර ගී විඳින්නට
පැමිණි වාර ගණන
සැබවින්ම මතක නැත.
ඔබෙ හඬින් සවන් සිපගත් මධුර ගී පෙළහැර
ප්‍රේමයේ - විරහ වේ - දයාවේ, කව් රස .......
ඔබෙ අතින් නිමැවූ තනු මිහිර!
පරම්පරා කීයක රසභාව පෝෂණය කළේද?
කියන්නේ කෙළෙස ඇත්තට!
ඔබේ තනු ගයති නෙක දනෝ
ඇතමෙකු හොඳින් ගයනවා විය හැකි ය
ගැටවර වියේ විඳි රස
රැව් දෙයි මතකයෙන්
නපුරු සිතිවිලිත් පහළ වේ !
විදුහුරු මහිමෙන්
නෙක නිමැවුම් නොවී නම්
ඔබ මැ ගයන විට
රස විඳින්නට තිබුණි නං......
නිවී ළය සැනහේ ය....
අලුත් ගී තනා ගයා විකසිතව
ඔබ තැනු මාවතේ
දුර ගමන් යනෙන තුරුණුවන්
ඔබ හද මැඳුරෙහි තැන්පත්ව
නෙක විකුම් පාන අන්දම
සප්ත ස්වරයේ
ඉහළ මහලක නිවී සැනසී
තුටු සිතින් බලා සිටින්නට හැකි වී නම්!
අම මිහිර නොවෙද ඒ,
ඔබටත් - අපටත්......?
අප සවන් සිත් සතන්
පෑරෙන අන්දම අද
අහෝ
පා කර යවමි
අප හද සුසුම්
හිස් අහසට
සරත් විජේසූරිය
(වික්ටර් රත්නායකගේ අසූ හතර වෙනි ජන්ම දිනය වෙනුවෙන් ලියැවුණි.)
කවිය බලන්න
