සමනල සඳෙස -33
සමනලයා දුටු දිය ඇළි 4
රජනා දොළ හෙවත් රජු නෑ දොළ-33
532. කඳු වැටිවලින් මිණිපුර ඇති මාර - පන
දිය කඳු ගලා සපැමිණ වෙල් යාය පැන
කෙත් වතු හේන් දොවමින් ඇය ගලා යන
දිය ඇල්ලක් ය “රජු නෑ දොළ” මීර දෙන
533. නෙක මල් අඟනු පිරිවර සැදි දෙවුරු ඇගේ
නෙක වණ පැහැති ඔසරිය බිඟුසරින් නැගේ
ගල් පර ඔකඳ කරමින් දිය කරන දගේ
මිණිපුර ගැටයන්ගෙ සිත-ගත මැගෙන් පෙගේ
534. සඳවත සිනා සී තරු මල් සමඟ සබා
සඳකැණ් විපුල දී දිය කඳ රතට තබා
සඳමිණ දිය දොළෙහි පතුලේ රඟන සොබා
සඳතුර ඇය ම වෙයි මිණිපුර කරන පබා
535. උදයට සියොත් කැළ තුරු මත ගයති පැදී
සවනට රැහැයි පෙළ නද දෙයි තරග වැදී
විහිදයි ළහිරු තුරු අතරින් කිරණ පොදී
දවසක නිමා දනවයි ක්ෂිතිජයට ඇදී
536. රත් පැහැ ගැහී හෙමිහිට හිරු බැස යන්නේ
මත් වුණු බඹරු - විහඟුන් කළබල වන්නේ
වත් සුණු සුසුදු තවරා ඇය හැඩ ගන්නේ
සත් වග නිදන යාමෙත් දොළ රස දෙන්නේ
537. වග - තුග සොයන සඳ ගලවා දොළෙහි සලූ
පෙදෙසෙහි පතල ඇති තොරතුරු රැසකි ගොලූ
පැරකුම් රජු පැමිණ බිසොවත් සමඟ කලූ
“දිය නෑ බව ය” පැවතෙන ජන මතය සුලූ
538. රජු ඇවිදින් මෙ දොළෙ වතුරෙන් නෑවා ලූ
බිසොව ද සලු උනා වතුරට බැස්සා ලූ
“රජු නෑ දොළ” නමින් එය නම් තැබුවා ලූ
කාලය සමඟ “රජනා දොළ” නම් වී ලූ
Photo Credit: Shiebi AL
2026.02.01
