සමනල සඳෙස -39

සමනල සඳෙස -39

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනලයා දුටු රජසිහ දස්කම් සිරි සුමන සමන් දෙවොල -39 587. දැය - හිතකාමෙන් දියුණුවෙ - හැම දෙයට ම අත ගැසූ රජසිහ - රජු ඉදි - කළ බව තතු - ඇත රුපු බල නැසූ සපරගමුවෙ සුමන සමන් දෙවොල ඉදි කෙළෙන් පසූ මෙ - පුර සිරි වැනූ බව හ`ගවති කිවිවරු පෙර විසූ 588. සිරිපද වැඳුමට-පිදුමට-වැණුමට රජ මඟ දිගේ දෙවොලට විත් බාර හාර වී යන සිරිතක් වගේ මිණි කැට සඟවා කොමලියො පහළට ඇදෙනා රඟේ සමන් දෙවොලටත් පුද දී සෙවණැලි සැඟවෙයි ගඟේ 589. පතිකාලුනගෙ කොටුවක බල විඳ -සිඳ -බිඳ දමමිනේ දෙවොල සැදූ දා සිට රුපුනෙඩි ඔද ගෙල සිඳිමිනේ සමන් දෙවිඳු නමට බැතින් සුරැකෙන රට-දැය අනේ සමන් දෙවොල පවතින තුරු ලක්මෑණිගෙ පින දැනේ 590. මැදුරට පිවිසෙන දොරටුවෙ නෙක දෙව් රූ ඇත අඹා ගජ දළ දෙක දිලෙයි නිබඳ පහන් එළිය ලැබ දඹා හේවිසි හොරණෑ නද දෙයි උදයට - සවසට හඹා “රණවිරුවකු” ලෙස පෙරහරෙ ගමන් ගනී මහ - බඹා 591. වෙහෙරෙහි වැඩ සිටිති බුදුන් අගසව් දෙනමත් ළඟින් පත්තිනි දෙවොලෙහි සළඹට වැඳ යති දන බැති සිතින් හුදු දන බැති පුද දී දෙව් මැදුරට වැද සිත් උසින් පැතුමන් බොඳ කරගන්නෙ ද සලා කඳුළු නෙතු අගින් 592. බෝ රජවරු දෙ පසින් වැඩ සිටිනුයෙ සෙබලුන් මෙනී ගල් උළුවහු පෙර සිටි යෝධයන්ගෙ උස ගෙන මනී දොර පලු රහසිං නිරිඳුගෙ කැටයම් - ලියකම් දනී පිය ගැට පෙළ දන සිය- -දහසකගෙ දෙපා සිප ගනී 593. රජ දවසෙහි කළ ලී කැටයම් අදටත් නැත කැඩී ගල් ටැම් සඳගල නිසලය ළිඳ අඩි හැටකට වැඩී සේසත් - මුතුකුඩ - අබරණ හී - දුනු - කරඬුව - කොඩී පෙරහර දින බොදුනගෙ කර පිට නැඟ එළියට වඩී 594. හෙළ රජුනගෙ රජ අණගෙන යන රජ හඬ බෙර පදේ සිහි වනු ලෙස දැය අනුරාගය මන තුළ බැඳ හදේ දින-දින රැය-අලුයම හා දහවල නිවැරැදි ව දේ තේවාවේ බෙර-තම්මැටි සක්හඬ සවනත වැදේ 596. හරසර පෙන්වන හැම වසරක මස බිනරෙට එබී පුර හඳ නැබ දිසි වන සඳ දෙවොල් මිහිර රස බිබී සර වර බැඳ “ගජ-මනු” එක පෙළ වැල ලෙස ඇදි-ඇදී පෙරහර යති යනැත්තො නොදකිති පෙරහරෙ ලතාදී 597. සුමන සමන් දෙවි පිහිටයි “කරුණාවයි” සැම කලේ තැන-නොතැන ද අනුහස එක තැනකට නැහැ ගොනු කළේ සපරගමුවෙ සහ ඇති සැම කොණකට බල වැඩි කළේ ලකට - වැසියනට නොඅඩු ව ලැබ දේ දෙවිඳුගෙ බලේ (මතු සම්බන්ධයි.) 2026.09.01
කවිය බලන්න