එය ගසක් පමණය

එය ගසක් පමණය

ශර්මිලා බන්දුනි දන්වත්ත

කඳ සෘජුය
සවිමත්ය
බෝ නියං අවු වැසි
උපේක්ෂාවෙන් දරා සිටි බවට
සාධක බොහෝය
කැළැල් ඉතිරි කරමින්
වසරින් වසර පැලී ගිය බාහිකය
ඒ වග සනාථ කරමින්ය

ළදරු පත් දළු දමමින්ය
පස් අතර හුස්ම ගන්නා මුල්
තවත් ගැඹුරට ඇදෙමින්ය
නොදන්නා මිහිරි රහසක් නිසා
හේමන්තයේදිත් මල් දරමින්ය

කුහුඹු කුරුමිණි කෝඳුරු
ඝනාවාසයන්ගෙන් සමන්විතය
වාර්ෂික සංචාරයේ පැමිණෙන
සියොතුන් කූඩු බඳිමින්ය
වසර සියගණනකට
එපිට මතකයන් වුවත්
උන් ගස ගැන දැන වුන්නේ
පුරාවෘතයන්ගෙන්ය

" ගව් ගණන් දුර ඉදිවන මගක්
අවහිරව පසෙකින්ය
ගස කපා ඉවත්කල යුතුය"

රතු නිවේදනයට අනුව
එය ගසක් පමණමය

කවිය බලන්න