සසර ගණුදෙනුව

සසර ගණුදෙනුව

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

ලොවට බට බිළිදාට
රැකවරන උදෙසාම
අවදි වී මුළු ලොවම
දෑස් දල්වා හිදී

පා යුගල තිබුනාට ඇවිද යන්නට හැකිද?
දෑත් යුග තිබුනාට, බාහු බල නැත ඔහුට
උණුසුමින් රැකුනාට නොම දනී එහි අරුත
කිසිවෙකුත් කිසිදෙයක් නොමැත හැගුමක් කිසිත්

හිරු සදු පායන්නේ
දිය ඇලි ඇද හැලෙන්නේ
මද සුලග හමන්නේ
පොළොව දළු ලන්නේ
සොබා දම හිනැහෙන්නේ
සිගිති පුතු වෙනුවෙන් නොවේදෝ?

ගොවිතැනෙහි යෙදෙන්නෝ
ඵල වැලද නෙලන්නෝ
හිස සෙවන සදන්නෝ
රෙදි පිළිද වියන්නෝ
මිහිරි ගී ගයන්නෝ
යස රැගුම් රගන්නෝ
අකුරු කරවන ඇදුරු මහැදුරු

ලියන පතපොත අයද කතුවරු
ලෙයම කිරි වන අයුරු
මේ සියල්ලම ඔහු නිසා වෙද

ඇත් රැලේ ඇතින්නට
ලැබුන විට ඇත් බිළිද
රැලේ අන් ඇතිනියන්
රකින්නේ ඔහු නොවෙද?

සසර ගණුදෙනු අනුව
සැමදෙනගෙ පිළිසරණ
ඔවුනොවුන් මත යැපෙන
දුක සැපද දරා ගෙන
ගම් මැද්දෙ පැල්පතේ
ජීවයක් බිහිවුනේ

කවිය බලන්න