කවියෝ...!

කවියෝ...!

අජිත් පුෂ්පකුමාර මාදින්නාගොඩ

බස කලතා පද එක්‌කොට මහ බරැතී
ලෝ රසයක නැති රසයෙන් කවි ලියතී
පෙම, නුරාව, හද විරහව වන් රුවැතී
පැදි ගඟුලක බැස යහමින් ඔරු පදිතී

නිසංසලේ අහුලාගෙන සඳ රෑට
උපමාවට ගෙන එසඳේ ආවාට
පෙම වැනුවත් දේදුනු පැහැ දී ඊට
විරහ දුකටනම් ගෑවේ දම්පාට

හිරුට මුවාවී දැවෙනා දවාලක
සඳට දිදී පදරුත්, වුව අමාවක
ආලප්පන පෙන්වා තරු මුලාවක
උන් අතුරයි හද හැඟුමන් වළාවක

හිත හතිලන හද කිතිලන ආල කතා
නෙත කඳුළින් බර තතු ගෙන විලස ගොතා
පද සොයමින් සමබර රුචි බවක් පතා
දෙයි මේ හැම රස නීරස එකට ඔතා

හද පත්ලෙන් නැගි උල්පත නොදැනීම
පැදි නදියක් වූ වග බෑ නොකියාම
පන් හිඳකින් ගී ගැයුවෝ ඉඳුරාම
වගවීමය කවි සයුරට නතුවීම

2025.09.04

කවිය බලන්න