සමනලයා දුටු ගජමන් නෝනා - 30
සමනල සඳෙස -29
සමනලයා දුටු ගජමන් නෝනා - 30
පෙම් සටන
487. විරතන මුලනයෙන් ගම්වර ලැබුව සොඳින්
ගජමන් නාම පටබැඳි ලන්දේසි වෙතින්
උපත ලැබ වැඩී ආරච්චිගේ පෙමින්
විය කොර්නේලියා ඉසබෙල් දෝන නමින්
488. කවියෙකු බවට ගජමන් නෝනගේ පියත්
ඇත ඉතිහාසයෙහි ලියැවී පත-පොතෙහිත්
“අරේ ගුණ නෑර” ඇති කවිකමට පෙමත්
හේතුව එය ද සිතුණැයි “එක වරට” මටත්
489. ප්රැන්සිනා ග්‍රේරු - තව නමකින් නෝනෙ බබා
හාමිනෙ තමයි මව ආරච්චිගෙ සෝබා
“පන්නක්කාරියක” නමගෙන ඇඳුම් කබා
සකසා මෝස්තර හැඳ නෙතු ගත්තෙ සබා
490. දෙටු දියණිය ලෙසින් අකුරු ද උගත්තේ
අවුරුදු දස සතරෙ කොළඹට සිත් ගත්තේ
ඉන්පසු වත්තෙ “තුප්පහි” මාතර පැත්තේ
“වේරගම්පිටියෙ” දිවි පෙත කර ඇත්තේ
491. තුප්පහි වත්ත අද ගජමන්ගේ වත්ත
ඉදිරිපිටින් ඇත්තේ පන්සල් වත්ත
ඉදිවී තිබෙයි ජාතික නිවහන් ඇත්ත
සරි දේ කිරීමයි කවුරුත් කළ යුත්ත
492. කවිය ගැන කතා යම් - යම් ලෙසට කියා
සවිය පෙන්නුවේ වැඩිහිටිකම නොසොයා
විනය ඇති තැනට “කරතොට මහිමි” දයා
“පැනය විසඳගමි එතුමන් ළඟට නොයා”
493. “ධම්මරතන” හිමියන් මා වෙතට එවූ
උඩරට “රදළ පවුලෙන්” දිවි පැවිදි ගෙවූ
කුට්ටාපිටියෙ හිමිගේ ගෝලයෙකි මොහූ
“කවි පන්තියකි” නුඹ මෙය කියවා බලනූ
494. පත්තායමේ ලේකම් විය ඇගෙ මාමා
“තමුනට එවූ කවි පන්තිය ගැන නාමා
සඳහන් නොකොට එය කියවන්නට බෝමා
ඇවිටිලි කෙළෙන් කියැවී වඩමින් පේමා”
495. “සීලෙට මොනව වේදැයි” මට සැක සහිතයි
“බාලෙට කතා කරනව” නොසිතන් ඇත්තයි
කාලෙට ඔබින “තුඟු දැඩි උස සිරුර” සැපයි
වාසෙට සොයා ගත් මඟ නිසරුයි නිහඬයි
496. දෙනිපිටි වැව ගැනයි “ධම්රතනගෙ” කවිය
පිළිතුරු කවි පෙළයි ලේකම්ගේ සවිය
ඉඩ දුන්නේ බලන්නට “ගජමන්” මතය
සරි නම් “පිළිතුරු ම ලෙස” යැවුමයි ගතිය
497. එලෙසට වැවේ දෙනිපිටි කව් රසට ගොතා
පිළිතුරු කව් යැවී වෙනසක් වෙතැයි පතා
යවමින් එවූ “ධම්රතනට” පැනයෙ කතා
විසඳුම “කෙළෙස ලැබෙතැයි” සැක සිතෙයි සිතා
498. ඔතරම් “කවිකාර ඇලපාතින්” ආව
“ධම්මරතන අද නැහැ පන්සල” ගාව
උපැවිදි වෙලා “අසමින් අදහස්” පෑව
හිතවත් පිරිස “ඔහු ළඟ හිඳිමින්” කීව
499. “ගජමන් නෝනෙ මං ඉන්නේ පානදුරේ
මෙලිපියෙන් කියමි හද බැඳි කතන්දරේ
මුදළිකමත් ලැබ උපැවිදි බවට හුරේ
එනමුත් ඊට වැඩියෙන් හේතුවකි කරේ”
500. “කෙළින් නොකීවට නෝනට නොදැනේ ද
මේ වගෙ ප්‍රශ්න විසඳනු බැහැ සිවුරෙ හිඳ
ඒකත් තවත් කරුණකි වුණු උපැවිද්ද
දැන් මට හිතේ හැටියට කළ හැකි සද්ද”
501. “මටත් ලැබුණු පසු ආරංචිය ඔබගේ
අවිශ්වාසයක් තිබුණත් සැකය වගේ
තහවුරු කර ගන්ට ලිපියක් යැවුම අගේ
සිතුණත් එවන්නට සිත බිය වුණැයි මගේ”
502. “කුමට දැ බිය වෙන්නෙ සිත් මල දැන ගන්න
විමසා රේණුවෙන් - රේණුව සිප ගන්න
හදවත පුරා ඇති සෙනෙහස දන් - වන්න
ගජමන් නෝනෙ දැන්වත් අදහස දෙන්න
503. මතක ද පන්සලේ ඔබ කළ කතාව
අම්මා ඉතින් ලොකු ගජමන් නෝන බව
එහෙනම් ඉතින් පොඩි ගජමන් නෝනෙ රුව
ලීවත් නොලීවත් කැමති ද කියනු තව”
504. “එහෙනම් ඉතින් පොඩි වචනය මුල නොගෙනා
ලිව්වොත් ලස්සනයි ලෙස ගජමන් නෝනා
එවමුකො බලන්නට මුල් කව මෙදැන් ගෙනා
යන්නට මේ නමින් මගෙ සිත - ගත ද පිනා”
505. “කිව්වත් වගේ ම ය එහෙනම් මෙතැන් පටන්
ලියනෙමි කවි පන්ති පද රස කර ම වෙලන්
දෙවියනු දුන්නු දෙය රැක ගෙන රහස් ලෙසින්
පිනවමි මෙ කවිලිය රස බැඳ කවි සුරඟුන්”
506. පෙම් රස වැගිරෙනා රස පද ගොනු කරවා
පෙම් රස ඉතිරෙනා හද සිතිවිලි බඳවා
පෙම් රස දනවනා ලෙස ආලය කැඳ වා
පෙම් රස සිඳු රළෙහි කිමිදුනි ඇය සොඳවා
507. නොපෙනෙ ද හදවතේ රස පදවලින් ගෙනා
නොහැගෙ ද මුදළිගේ අදහස දැවුණු මනා
නොමැණ ද නොවේ මුදළිගෙ උදහස ද දැනා
නොමවෙ ද පෙමෙහි කිවිඳිය ගජමන් නෝනා
(මතු සම්බන්ධයි.)
2025.10.01
කවිය බලන්න
