මරණ භය
එක්තරා කාලෙක
අසාවත් නැති
මරණයක් ගැන
බයක් තිබුණේ ම නැත
තවත් කාලෙක
දෑහින් දැක
දැන සිටි නමුත්
එහෙම බයක්
තිබුණේ ම නැත
මරණය පේන මානෙක
නොවූ නිසාය
නොදැනුන නිසා ය
බොහෝ වැඩ තිබුණ නිසාය
ඒ ගැන හිතන්නට
වෙලාවක් නොතිබුණ නිසාය
ජීවිතය කියලා දෙයක්
පසුපස එලවන්න
දෙගුරු නෑසිය මිතුරු
ලෝකයක් බල කළ
නිසාය
ජීවිතය කියලා දෙයක්
සැබැවින් ම හමුවිය
බර හීන කරතියාගන
තැනිතලාවක යන විට
තාරුකා මල් පිපුණ යායක
ප්‍රේමය නම් දෙයක් ද මුණගැසුනි
එතැන් සිට බෑවුමකි ඉහලට
සකල සිරි මැදුර
කඳු මුදුන බව
වංගු පාරක
මාර්ග සංඥා වල කියැවිනි
ප්‍රේමයේ නාමයෙන්
රාගයෙන් කාමයෙන්
එකිනෙකා බදාගෙන
ඇති දෙයක් බෙදාගෙන
බොහෝ දුක් සමඟ
පුංචි සැප අනාගෙන
නිදි නැතිව දුක් තකාගෙන
කඳු මුදුන බලාගෙන
යන අතර හමු විය
පොඩි පොඩි මන්දිර
නැත එහෙත්
සකල සිරි මැදුරක්
මළ ඉර බහින හැන්දෑවක
හැකිවිය ළඟා වෙන්නට
මුදුනට
වෙහෙසයි
ගමන ඉදිරියට පමණි
එහෙත් එය
පතුල නොපෙනෙන
ආපසු හැරීමක් නැති
අගාධයකි
තව ඉහල මුදුන සිට
සකල සිරි මැදුර
අත් කළ වුන් ද
අගාධයට වැටෙන හැටි
මා හිඳින මුදුන සිට දුටිමි
පහල අඳුරු අගාධය
බලනා විට
දැනුනි මට මහා බියක්
එය
මරණ භය නම් විය
12-08-2025
කවිය බලන්න
