ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2023 පෙබරවාරි කලාපය
නිදහස ලැබුණු දා සිට රටටම විද්ද
නායකයනි තෙපිට ලැජ්ජාවක් ඇද්ද
විඳි දුක ඇතිය තව කුමකට දුක් දෙද්ද
විදුලිය දියව් තොපිලට පපුවක් නැද්ද
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ඒ රෝස මල
සිහින ඇතිරූ වලා යහනත දුහුල් මිහිදුම් සළු මුවාකර හමා යන විට සීත පවනැල්ලේ නෙතට ගැටුණා ඒ රෝසමල
කදුළු වැස්සෙන් බිම තෙමාලන පෙති එකින් එක හැලී විසිරෙන රෝසමල වෙත ඇදෙන පවනැල්ලේ සෙමෙන් මුමුණයි දෝ ඇයට රහසේ
නුඹගෙ කදුලැලි නෙත තෙමාලන නොමදැනේ බඹරිදුට රිදවන සෙනෙහසක් හද දරා මියැදෙන ඒ රෝස මල් පෙති දෝ පවනෙ විසිරි
ගායනය - තිළිණ සුදේශ් වන්නිනායක සංගීතය - නවරත්න ගමගේ ගී පද රචනය - තීෂ්‍යා දුල්මිණි
දේවී....
කෝච්චිය වැරදිලා
වැරදි පැත්තට ඇදුණු
දාක දුටු මල් ගවුම
හිත කොනක මල් පිපුණු
දෙකොන ගිනිගත් රටේ
ඒ පැතුම් එක නොවුණු
වාගෙ හරියට එයත්
රේල් පීලි වගෙලු
හිනා හඩ පිරිවරා
දකුණ උතුරට යැවුණු
යාල්දේවිය නැතිලු
මගුල් කිංකිණි ගැයුණු
හිත් අතර පිපුණු මල්
අකල් පරවී වැටුණු
තාම මතකයේ තියේ
ඉස්ටේසමේ කුළුණු
කවිය බලන්න
නිදහස
එක් කුඩා දිවයිනකි
නිදහස්ය නිවහල්ය මනරම්ය
අතීත ශ්‍රී විභූතියෙන් ඇළලුනිය
මහා චතුරශ්‍රයක් වෙයි එහි අගනුවර
නිදහසේ නාමයෙන් නම් ලද
උත්තුංග පිළිමයකි එහි
නිදහසේ ප්‍රතිමාව යැයි නාමෝපලක්ෂිත
මුව අයාගත් සිංහයෝ
අතින් ගත් කඩුපතින
රකිති පිළිමය සතර කොණ
සැඳෑ හිරු බැස යත්ම
පියාඹා විත් කාකයෝ
ලගිති පිළිමයේ හිස මත
වර්චස් හෙලා එය නහවමින
ගන අඳුර ගලනවිට
යදියෝද දුගියෝද ඉහට හෙවනක් නැතිව
එලා වැරහැලි කඩමාලු
හෙවන යට පිළිමයේ
ලගිති එළිවෙන තුරුම
වසරකට එක් වරක් පැමිණෙන
මහා උත්සවයක් වෙයි එහි
නිදහස් දින නමින ජාතික
උත්සවශ්‍රීයෙන් ඇළලී යයි එදවස
නිලදරුවෝ පැමිණ
පලවා හැර යදියන්ද දුගියන්ද
සෝදා හැර කපුටු වසුරුද
නංවා ධජ පතාක සේසත්ද
ආචාර වෙඩි මුර මැද
සමරති නිදහසේ අසිරිය.
මැකී ගොස් නිදහස් සිරිය පසුදින
යළිත් එති කාකයෝ බඩ රිදෙන
යදියෝද දුගියෝද වැරහැලි සමග.
අඩක් බිම වැතිරගෙන
අතින් ගත් කඩුපතින
සිංහයෝ රකිති සතර කොණ
අයාගත් මුව වසාගත නොහැකිව.
කවිය බලන්න
කවි සිත
සිසිල විනිවිද කිරණ සරනා
කවියෙ නිජබිම විසල් මඩලකි
එබිම සරනා විටදි සුළියක
එතී යනවා අහසෙ මුදුනට
අදත් මා එහි ඇතුළු වන්නට
පිය තබද්දී ගෙයක් අසලින්
ඇසුන කෙඳිරිය කුඩා බිළිඳී
මගෙ දෙපා පණ සිඳිනු ලැබුවා
කුඩා බිළිඳී අඬන වහලය
යටට මා සිත කය ද සමගින්
ගාටද්දි පද වැලක් එහෙමම
උදුරගෙන කෑරලෙක් හැපුවා
නොදත් හය-හතරවත් එදරුන්
මිමිණු වදනින් වදන සවනට
ඇතුල් කර හදවතේ ඉරි ඉරි
ඇඳල කඩුවක් අතට දුන්නා
බිළිඳි ගේ මව මැරී සිටියා
දෙතනෙ කිරි වේලිලා තිබුනා
දුරින් අඬමින් සිටිය දරුවා
අම්ම නිදි නෑ කියල කිව්වා
අපට බත්දී නොකා හිටියා
ඊයෙ රෑ දුර ගිහින් ආවා
මගේ කවි සංකල්පනාවන්
අනේ බිම මත ඇදන් වැටුනා
කවිය බලන්න
මර්දනය.
අරගලයට බියෙන් පැන ගියෙ රටින් රට
සැඟවුනි තව එවුන් හැරදා ගෙවල් පිට
ජන ඝෝෂාව මුහුදේ හඩ කලා යට
ජන හදගැස්ම දැනුනානේ එදා මට
වෙනසට බිය වෙලා නිල් කොල කහ එකට
අත් වැල් බැඳන් බල ගිලිහී යන බියට
සහයට පිට එකා නායක පෙරටු කොට
අරගලෙ දිය කලා මැඩලයි හතර වට
දමා හඞ නඟන්නන් දඟ ගෙය තුලට
නොදී ඉඩ කඩක් බහිනට මහ මගට
පොලීසියට අණ බල දී දෙන්න බැට
මර්දනේට පෙල ගැහෙනව උන් එකට
මන්දපෝෂණේ දරුවන් පුරා රටේ
බදු බර මහමෙරක් මව් පියො හඞා වැටේ
උන් සැප විඳී බොරු කියමින් හතර වටේ
පරදමු මර්දනය කතිරෙන් දීලා බැටේ
කවිය බලන්න
දම්පාට සුළැඟිල්ල
හැමදාම වෙන වෙනම පාට වෙන කාලයක්
හැමදාම එකසේම වෙළඳාම කලාවක්
හැමදාම හැමෝටම ජනතාව පන්දුවක්
හැමදාම හෙට දවස සදහටම හීනයක්
පෙනදාන බෝතලය තවත් එක වංගුවක්
බෙදාලන පිං මල්ල එළඟිතෙල් බිංදුවක්
බලාගෙන ඉන්න තව දහවලේ හීනයක්
දම්පාට සුළැඟිල්ල නොකරපන් පංගුවක්
කවිය බලන්න
මගෙ දඟකාරී
බෙල්ල නමලා සැලුට් කරන මගෙ දඟකාරී
ඔබ නැති දින මට පාලුයි මගෙ මනහාරී
වෙන්න එපා කාගේවත් ඔබ හිරකාරී
ඇයිද නොවුනෙ කියනු මැනවි නුඹ සහකාරී
කවිය බලන්න
“මුහමාලේ සුළඟ" හැමුවා
හද ගැහෙන හඬින් කොඳුරා
මුහමාලේ සුළඟ හැමුවා
පණ පිටින් වැළලි මිනිසුන්
නගන සෝ සුසුම් දැනුණා
අහස ගිනි අරන් දැවෙමින්
යගුළි මහ හඬින් වැස්සා
පණැති නැති සියල් සුන් වී
ලෙයින් තෙත්වෙලා නිවුනා
සිත් බිඳෙන සුසුම් හංගා
මිහිකතින් හුස්ම නැඟුනා
මේ කතා දරා දවටන්
මුහමාලේ සුළඟ හැමුවා
රැය පුරා දවල් එළි මැව්
යුද්ධයේ සැරින් දැවුණා
කාලයක් පුරා පැසවන
සුසුම් හරි බරට දැනුණා
මුහමාලේ සුළඟ හිත මත
දිය කරන කඳුළු අමුණා
මවුන් කොයි දෙසේ සොයනා
පැටව් ඉකිබිඳිනු ඇසුණා
උතුරෙ වාගෙම දකුණෙත්
මළ ගෙවල් බොහොම තිබුණා
අයිතියක් නොමැති පොළොවට
බෙදී බෙදී දරුවො නැසුනා
පණ පිටින් වැළලි මනුසත්
සෝ සුසුම් හොරෙන් හංඟා
උස් පහත් වෙමින් පස් පිඬු
පොළොව හුස්ම ගනු පෙනුනා....
පසු වදන - ශර්මිලා විනෝදිනී විසින් රචිත මුහමාලේ සුළඟ කෙටි කතා සංග්‍රහය කියවන අතර ලියූවෙමි. (සිංහල බසට පරිවර්තනය - ජී ජී. සරත් ආනන්ද විසිනි )
පින්තූර සැකසුම - නුවන් තරංග වික්‍රමගේ
කවිය බලන්න
අහෝ ලංකාව
හොරට ගසනවා පෙට්‍රල් ලංකාවේ
මා අසුවුනා දෙවතාවක් මීගමුවේ
හොරකම වංචාව හැකි හැම විට සිදුවේ
සිංහල බෙහෙත් කඩයෙත් හොරටයි කිරුවේ
අල්ලස් ගන්නවා හැම කන්තෝරුවෙම
කප්පන් නොදුන්නොත් ඉවරයි වෙළදාම
ගිණුමේ මුදල් නැත එනමුත් චෙක්දීම
දිගටම සිදුවේය නීතිය නොතකාම
තැන් තැන්වල දමා යනවා කුණු කසල
එල්ලා තිබේ කුණු මලු දොරටුව අසල
මීයන් රජකරයි හදවත වෙයි සසල
කුණු ටැක්ටරය නැත මෙය කාලෙකි අපල
ඉඳලා පුරුද්දක් නැත කිසි පෝලිමක
පැනලා යන්නමයි හොර හිත පෝලිමක
අහලා තිබුණි හැසිරෙන හැටි පෝලිමක
දැකලා පනින හැටි පුදුමයි පෝලිමක
දෙස්පාලකයො අරගන්නව පගාව
රැකියාවකට නැතිවම බැහැ පගාව
බේරෙන්නට නොහැක පොලිසියෙ පගාව
ඉස්කෝලෙටත් අරගන්නව පගාව
මාටිය ගසනවා බස් කොන්දොස්තර මහතුන්
රැකියාවට කරයි සමහරු shop lifting
කබලෙන් ලිපට වැටිලා අසරණ දුගියන්
දිවි රැකගන්න සිදුවී ඇත එක වේලෙන්
කහට එකක් වෙනවා රුපියල් සීයක්
කිරි කහට නම් ගන්නව තව එක සීයක්
මාලු නැතත් පාන් එකක් වෙනවා එකසිය පණහක්
අඹ ගෙඩියකට ගත්තා එකසිය විස්සක්
කුඩු කාරයන් හැම තැනකම වැහි වැහැලා
හොර පොල් කඩනවා එලිපිට තගදාලා
තරුණියකට නොහැක යනු එලියට බැහැලා
කණකර කඩා ගන්නව හොරු මග රැකලා
එලවලු මාලු පලතුරු වස විස යොදලා
මහජනතාව රෝහල් භූමියෙ පිරිලා
බෙහෙත් ගිනි ගණන් පාමසි හිස් කරලා
හානිය කිව නොහැක කවියට කැටිකරලා
දිගටම පදිංචිව සිටියත් කැනඩාවේ
මගෙ සිත දුවනවා නිතරම ලංකාවේ
රටේ විනාශය දරුණුයි අත්දුටුවේ
හිතේ අමාරුවටයි සිව්පද ලීව්වේ
කවිය බලන්න
මුහුණු පොත
උඩ උඩ ඉදන් අඹරා ලණු බෝල පිටින්
දානවා ඉලක්කය බලලා සිනහ තුටින්
කබුරා සෙනෙහෙ පෑවත් අපි හතර වටින්
උතුරා ගලයි ඊර්ෂ්‍යා කුහක යටින්
පිල් බෙද බෙදා ඇයි මෙතරම් උඩ යන්නේ
වාසී ඇතොත් තලු මර මර රඟ දෙන්නේ
නාද හඩට බොරු සෝබන වැඩ වෙන්නේ
නෑද මතකෙ ඉතිහාසය වැට හෙන්නේ
එකෙක් ලියයි පෑනෙන් හැඩ වැඩ කරලා
අනිකා දායි ලෝකෙට පෙන්නා ගොතලා
මාන බලන සිංහල පරගැති නුඹලා
පාර සොයා ගනියව් පොඩි අපි තලලා
එදා වේල කන්නට නැති චුටි පැටව්
හිගා කකා යනවා දැන් සැපද කියව්
නිගා නොකර රට වට යන මෝඩ ඉලව්
මුහුණු පොතින් සේයා නොකර හිතට ගනිව්
කවිය බලන්න
අයියා කෙනකුගේ ආයාචනයක්
නංගියෙ ඇඳපන්කො
මගේ .සමාධිය නොබිඳෙන්නට
රන් රුවන් ගලනා නිම්නයේ
හැර දැමූ කවුළුවෙන්
හංස විල ගිලෙන්න ද
අත වනන්නේ මට
නාභිය ද සලා වැටුම යි
මන බඳන බඳ තලාවක
ගලා යන නුරා ගඟුලක
හැර දැමූ දෙවටොර
ඇරයුමයි නුරා තොටට ම
වසා ඇත නුරා තොට
වසා නැති ගානට
නැති ව නිසි අවසර
තහනම් ය ඇතුළු වීමට
දැන දැන ම හරියට
මට රිදෙන තැන නුඹ
අහිංසක මට මෙහෙම
රිදවන්න දුක නැද්ද
හැමදා ම පෙනී මට
අත වනන කොට මෙහෙම
ලියන්නද කව් ගී
වනා හැඩ අඟ පසඟ
නිදොස් මි
නිකැලැල් මි
එපා දොස් කියන්න ට
මගෙන් වරදක් වුනෝතින්
බට කැලය ගිනි ලා
මගේ හිත කුප්පා
නුඹ නුඹ ම පුස්සා
ගත් කල
නොකියං මගේ දොස්
මගේ මැයි කිය කියා උස්සා
සහෝදර ප්‍රේමෙන් ඉන්න නං
ඇඳපන් මගේ සමාධිය නොබිඳෙන්න
05-06-2021
ගැහැණිය පුරුෂයන්ගේ චිත්ත සන්තානය කළඹමින් තවුසන්ගේ
සිල් බිඳිමින් ආශ්වාදයක් ලබන්නේ ද ?
එය ඇගේ සහජ උරුමය ද ?
එය ඉඳ හිට පාරා වළල්ලක් ද
විය හැකිය
කවිය බලන්න
Motivational Therapy
මගේ පොඩි baby දැන් තාත්තා කෙනෙක්
පොඩි baby ගෙ වයසෙම පුතෙකුත්
හිටියාට නැහැනේ කවුරුත්
ඔහුව බලා ගන්නවත්,......
වැඩක් නැහැනේ,......
ආච්චි සියා දන්නෙ නැහැනේ
හතරැස් පැතලි පෙට්ටියට
ඇඟිල්ලෙන් අනින්ට
මහ වදයක් උන්දැලාට
ඉතින් පොඩි baby හරි ගෝරි,......
නෝනයි මහත්තයි දෙන්නාම
උදෙන්ම වැඩට ගියාම,......
හැන්දෑවේ ගෙදරට එන්නේ
Day care ,Play centers ,montisoori හැම තැනම ගම පුරාම
ප්‍රශ්නයට පිළිතුරු එතනම
ඒත්,..........
තවත් ප්‍රශ්නයක්,......?
කාටද......?
පන්සලේ ලොකු හාමුදුරුවන්ට
වැඩිහිටියන්ගේ ඉල්ලීමට
උදේ වරැවෙ Day Care එකක් අරින්නට
මාසික රැස්වීමේදී ඉල්ලීමට
කාටද,......?
වැඩිහිටියන්ට
හරි හොඳයිනේ
සාද,..සාදු, .....
ඇයි හාමුදුරුවනේ කවුද අපේ
වතු පිටි ගේ දොර බලාගන්නේ
හරි වැඩක්නෙ වෙන්ට යන්නේ,.....
සන්සුන් වෙන්න සැවොම
වියපත් දෙමාපියන් සැම
පොඩි දරුවන් වගේම
රැක බලා ගැනීම
වැඩිහිටි අපෙ කාගෙත් යුතුකම
සාදුකාර හඩක් නොඇසුණාම නෙමේ
28/1/2023
කවිය බලන්න
මිරිඟුවක්
නිමක් කොනක් නැති වියලුනු කතරක
මිරිඟුවක් දුටුවා
අගක් මුලක් නැති සිතුවිලි සයුරක්
ඒ වටා ගෙතුනා
එවන් සයුරක ගිලී ඉන්නට සිතින්
පෙම් කෙරුවා
එහෙත් දෛවය හරස් වීලා
මා ඉවත දැමුවා
නීල අහසේ මා එදා දුටු
දේදුන්න මැකුණා
නොයෙක්වර එහි පාට හත මගේ
සිතට සිහිවූවා
පිපුණු හැම මල් කෙදිනකදි හෝ
මිලින වන ලෙසිනා
මා හදේ අතුරා තිබූ මල්
මටත් රහසේ මිලින වූවා
කවිය බලන්න
අවුලන්නෝ...!
කරුණකි මෙය 'මාක් ට්වේන්' මැතිඳු කියා ඇති...
දරුණු සටන් අවුලන්නෝ අප අතරම වෙති...
මැරුණ කලදි පිරිස් ගැටී උන් හට දුක නැතී...
තරුණ අයට බොහොම වටී, සිතමින් මෙය ගෙතී...
කඩියන් හා දිමියන් සියයක්
බඳුනක බහා...
එඩියෙන් බලමින් උන්නත්
කවුරුත් ඒ දිහා...
වැඩි වෙනසක් නොවේ එතුළ සටනක් නැත මහා...
හැඩි දැඩි වුන් සිටියත් මැරුමට නොසිතයි වහා...
සෙලවූවොත් කවුරුන් හෝ රැගෙන බඳුන වැරෙන්...
තුල වූ ඒ, කඩියන් දිමියන්
කැළඹී සැරෙන්...
පෙළඹෙන්නේ සටනට, අඬගසමින්
"හා වරෙන්...!"
වලකන්නට නැත කිසිවෙක්, බලා සිටියි හොරෙන්...
ජාති බේද කුල මල ඔය වර්ණ
වාද ඇදන්...
පාති නොහික්මුණු ගති මිනිසුන්ද රණ්ඩු හදන්...
ඥාති වුවත් අවුලන්නේ, සිඹිමින්
අප බදන්...
ඒ තියෙනා කුහක කමයි, 'ට්වේන්' ගෙමයි වදන්...
මරාගන්න පෙර අප සිතියුතු
ඇයි ඒ කියා...
කිරා බලා අසලම වන ගිණි
තියනුන් සොයා...
දරාගන්න හැකිනම් දේ, දිණනව
දිවි ඔයා...
සොරාට බෑ අවුලන්නට, තැත් දැරුවත් එයා...
කවිය බලන්න
ලේ වවුල්ලු ෆිනෑන්ස් (Ltd)
ස්ථානය - අධිකරණය මීගමුව
පැමිණිල්ලේ නීතීඥවරිය- ස්වාමිණී ණය ගෙවීම පැහැර හැරීමයි චෝදනාව. ණය නොගෙව්වේ ඇයි ?
බැරිවුණා ණය ගෙවාගන්නට නැතිමකමටයි ඇත්තමයි
එකම සල්ලිය ලැබෙන මාසෙට පින් පඩියෙ එන සොච්චමයි
කලින් නඩුදින එන්න ලැබුණෙත් හාල් ඩිංගක් වික්කමයි
දවස් දෙකකුත් නොකා හිටියා ගෙදර තිබුණේ එච්චරයි
දුව ඉදිද්දී වෙලාවට ණය ගෙවන් එන්නට හැකිවුණා
ළමයගේ අසනීපෙ හින්දා තිබුණ සේරම නැතිවුණා
අපේ දුප්පත්කම නිසාවෙන් ගොඩගන්න නම් බැරිවුණා
තාත්තා ළඟ එයා දැන් ඇති මේ ලෝකෙ මම තනිවුණා
හරියකට ඇස් පේන්නෙත් නැහැ සුද ඇවිල්ලලු කියනවා
කාට කියලා කියන්නද හිත හදාගෙන දුක විඳිනවා
පිනෑස් කොම්පැනියෙ මහතුන් ණය ගෙවන්නැයි බනිනවා
මක්කරන්නද අහන් ඉඳලා පස්සෙ හොඳටම අඬනවා
අදත් ආවේ ණයට ඉල්ලන් පින් පඩිය ආවහම දෙනවා
හාල් ගන්නයි බෙහෙත් ගන්නයි ලබන මාසේ බැරුව යනවා
මේව හිතලම දවස් ගානක් ඔළුව කැක්කුම පපුව දනවා
අනේ නෝනේ හැමදාම මං හිඟන්නැතුවත් හිඟා කනවා
නොගෙව ඉන්නට හිතුවෙවත් නැහැ ආවෙ දිගටම කරදරයි
මගහරිනවා නෙවෙයි දෙවියනෙ දෙන්න විදිහක් නැතිකමයි
දිවුරන්නවත් දෙයක් මට නෑ කිව්වෙ ඇත්තයි බොරුනෙවෙයි
මාව මේකෙන් බේර දෙන්නකො අනේ මිස් මම අසරණයි
නීතිඥවරිය - ස්වාමිණී වෙනත් ප්‍රශ්ණ නැත.
කවිය බලන්න
අරුන්දතී තාරකාව
අඳුරෙ ඉකිය මකා ලන්න නුඹකුස ආවද
සදේ කැලුම් නැති අහසට මහමෙරක්ය නුඹ
පාළුව මැකුනද ගුවනේ හඳ ආ විට හෙට
නුඹේ මුහුණ බලා ගන්න විදියක් කිව මැන
පත් නැති දා කඳේ සවිය වූ අතු ඉති ටික
පරිස්සමට තුරු ලග ඉඳ , කිව් කවි සී පද
පින්න වැටී දිලිහෙන දළු හිනැහී එන විට
තනියට හිටි රිකිලි වසා පත් මතු වී ඇත
හිත අද්දර හීන ඇහිද සායම් ගෑවද
දිරූ ඉපල් දළුලන තුරු වාරම් කීවද
කදුළු කොපුල් සිනා කැලුම් කැන්දන් ආවද
අහිමි හිතක සෙනෙහෙ කුසුම් කෙලෙස පිපෙන්නද
කවිය බලන්න
භවන්තු සුඛිතත්තා
නේරංජනා ගඟ
දරා මහ කෙලෙස් කඳ
කන්තකගෙ ළය පැලී
දුටුවාම කුණු කන්ද
ඇසතු ගස බිම හෙලා
පාම් ගස් හිටවිනිද
ගස් බෙනය හැමතැනම
සොයනවා මුචලින්ද
නලාගිරි ගම්වැදී
රා කලය හිස් වේද
ගං වතුරෙ අර යන්නෙ
පටාචාරා නේද?
ආ ගමන දිග වැඩියි
පිපාසයි ආනන්ද
අප්පමාදව රකිනු
හෙටක් නැත,තිබෙයි අද.
කවිය බලන්න
~දෘෂ්ටි මායා~
අවදිවීමෙන් පසු
සිහිය එළඹෙන්නට පෙර ඇති
සුළු මොහොත තුළ,
මට අහිමි වූ දේ අමතක
නිමේෂය තුළ,
මට ජීවත් වන්නට ඉඩ දෙන්න
දුනුවායන් රැසකගේ ඉලක්කය
මා බව දැනී
රිදුම් එළඹෙන්න පෙර
කිණිසි දමා ගසන්නන්
සිය ක්‍රීඩා පුහුණුවට
මා තෝරාගෙන යැයි
දැනෙන්නට පෙර
කුණාටුවකට හසුව
දිය යට
මා හුස්ම සිරවෙමින්යැයි
දැනෙන්නට පෙර
නින්දත් නොනින්දත්
අතර ඒ ඉඩ තුළ
ජීවත් වන්නට ඉඩදෙන්න
අප තවමත් අපගේම බව
මටම කියාගන්නට ඉඩදෙන්න
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Hallucinate' by Marianne David
ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.
Poet’s photo- www.theleader.lk
Original poem- www.orangegerberas.blogspot.com
Photo- www.unsplash.com
කවිය බලන්න
උපාසකත් අපායේ!
කයයි හිතයි වචනයි තුන එකතුවෙලා
පින් පව් දෙක ගොඩ ගොඩවල් එකතුකලා
යන කොට ගෙනියන්න ඉතින් ඕන නිසා
සිත පතුලේ පින් පව් ගොඩ නිදන් කලා
ඔන්න ඉතින් මාරදෙවිඳු සැපත්වෙලා
උපාසකට එන්න කියා කතාකලා
බෑ කිව්වත් බලෙන් ඇදන් අරන් ගියා
නිදානෙ තැන්පත් පව් පින් මතක් උනා
හිතුවත් කල පින් මතකෙට ගන්න කියා
පව් ගොඩකින් පොඩි පින් ටික වහන් වෙලා
සංසාරෙම කල පවු ටික හරස්වෙලා
යම රජු වෙත උපාසකව අරන්ගියා
යමරජු ඔරවා බලලා ඔහුගෙ දිහා
ගොරවා ඇහුවා නම ගම කුමක් කියා
නම ගම කිවුවම රජුහට හිසත් නමා
කල කී පව් රොත්ත ඔහුට මතක් කලා
යම පල්ලන් හත් අටකට කතාකලා
දෙන්නට ඕනෑ වද පෙල නියම කලා
පව් නෙවි මම පිනුත් කලැයි මතක් කලා
චේතනාව පිරිසිදු දැයි ප්‍රශ්න කලා
සතර පෝය සිල් ගත් හැටි මතක් කලා
සාංගීක දන් දුන් හැටි මතක් කලා
බණ ධර්මය ඇසු බවත් මතක් කලා
ඔහු කල පින් ගැන හඩ හඩ මතක් කලා
ලෝකෙට පෙන්නන්නට කල පිනක් විනා
පිරිසිදු සිතකින් කල පින් නැතැයි කියා
යම පල්ලන් කොන් හතරෙන් ඇදන් ගියා
රත්වෙන ලෝදිය හැලියට සැපත් කලා
කවිය බලන්න
සඳවතිය ....
නොනිම් තෙර සසර මඟ යනෙන කල්
සෙවනැල්ල වෙලා ළඟ හිඳින්නැති
දැවුණු ලොව නිවා මෙත් වඩන්නට
සඳවතිය පාර එළි කරන්නැති
දස පෙරුම් සමතිසින් පුරන්නට
සඳවතද නොසැලි දුක දරන්නැති
දෙපා මුළ වැටී ගිණි නිවන්නට
සඳවතිය මුදු ලෙසට මැවෙන්නැති ...
.
කවිය බලන්න
උදුරාගත් හාදුව
කුරිරු CCTV නෙත් අතරින්
සොරා ගතිමි හාදුවක්
විඳින්නටත් පෙර එය හරි හැටි
සිහිවුණි
ජීවිතය මගෙන් උදුරා ගත්
පෙර හාදු කිහිපයක්
අතිරික්ත හාදුවක්
ඇවැසිමය කවියෙකුට
බැලීමි යළිත්
ඇය දෙසත්,වටපිටත්
බියපත් ඈ
හිස ඉවතට ගනී
මුදු ඇඟිලි තුඩින්
දක්වයි
ඒ කුරිරු රහසි නෙත
"බිය නොවන්න ප්‍රේමිය
පෙන්වමු අපි රැකවලුනට
පෙම් කරන හැටි "
සොරා ගතිමි
තවත් හාදුවක්
ඈ රත් කොපුලින්
හඬක් නැගෙයි
පසෙකින්
"මෙය පොදු ස්ථානයක්"
මම එරෙහි වීමී
උනට
මගේ හාදුව
පුද්ගලිකයි රහසිගතයි...
23/01/05
කවිය බලන්න
හද බිතු කීතු කළ රතු රෝස කටුවක්
ඒ රතු රෝස කුසුමට
දැන් වසර විසි තුනක් වයසයි
නමුත් තවමත් හද බිත
කටු ඇනී තුවාලය පෑරෙයි
මාත් නොදැන ම ඔබ මට
හොරෙන් පෙම් කර ඇති වග
දැන ගතිමි රෝස කුසුමක් අත දරා
ඔබ මා හමු වු එ'දවස
" යාළුවොත් එක්ක ඔට්ටුවක් දාල ආවෙ මං
දෙනවමයි කියල මේ රෝස මල ඔයාට"
දන්නවද පොඩි කොල්ලෝ;
මට තරහ ආවේ නහුතෙට
ඒකයි ගත්තෙ නැත්තේ
රෝස හද තත දෑතට
කුසුම දවටා
මා උර බෑගයේ පැති සාක්කුවකින්
මඳක් හිස ඇල කර
පැළඳි පෙම් මදහස කොල්ලෙක්
කුසුම පාගා තලා පොඩි කර වැරෙන්
පැළඳි සරදම් මදහස කෙල්ලෙක්
තෙතබරිත වී
සොවින් ලැජ්ජාවෙන්
ආපසු හැරී දිව්වා
හිරිමල් ඉලන්දාරියෙක් විගසින්
නමුත් ඉඳහිට තවමත්
ඇවිදියි මලක් රහසින්
උදා විය ඉන් පසු
හිමමය ගල් ගැසුණු කාලය
ගිනි කඳු නිදියනා තාලය
ඉපදුණි
මිතුරු උසුළු විසුළු ඉවසා
හිස නමා ගත් කොල්ලෙක්
රතු රෝස පාගා විසි කළ
වීර විකුමැති කෙල්ලෙක්
ඉතින් මගෙ පුංචි කොල්ලෝ;
මෙවර ආදර දිනයට
බිරිඳට රෝස මල් ගත්තද?
නැත්නම් ඔයා තාමත්
රෝස මල් එක්ක තරහද?
රතු රෝස පාට දුවෙකුත්
තුරුලේ හිනාවෙනව ද?
ඒ රෝස කටු ඇනී සීරුණු
තුවාලයෙ කැලලත් මැකිල ද?
හිත් නොරිද්දා අකමැත්ත පෙන්වන මන්තර
උගන්නා තාක් කෙල්ලන් කොල්ලන්
හද තත් කොනිත්තා රුහිරු වගුරන තත්පර
නිම නොවේ මිතුරනි හරිම පරිස්සමින්
පුළුවන් නම් සමාව දෙන්න
උද්දච්ච පුංචි කෙල්ලට
හිරිමල් පුංචි කොල්ලෝ!
කවිය බලන්න
අහිමි ළමා විය...
පුතේ උඹ ලස්සනට දෙසන බණ අහන්නට
බුකියෙ උං පැහැදුනත් සුමධුරයි කියන්නට
ලමා විය අහිමි කර පැවිදි මග හරින්නට
මග කියා දුන් බුදුන් සොයමි දොස් තබන්නට
කවිය බලන්න
බිඳුණු විසුරුණු හදෙහි...........
කෙළවරක සුසානය
දැක දැකත් නොහැරෙමි
මතක පාවඩ මතින්
හෙමි හෙමින් පිය මනිමි
ඇසග නැගි කඳුළු බිඳු
පොරි ලෙසම ඉස්මි
මිය ඇදුනු ප්‍රේමයේ
චිතකයට ගිණි ලමි.....
සබඳ මම නොනවතිමි
බිඳුණු විසුරුණු හදෙහි
නැවත පිරියම් ලමි. ..
කාංචනා පෙරේරා කපුගේ
30-01-23
කවිය බලන්න
මග අසන් !
ජීවිතය විඳගන්න තිබුනට
හිටියෙ නෑ නුඹ මා ලඟින්...!
එදා වාගෙම සුපුල් පියුමකි සදා ඒ මතකය දුරින්...!
සලා නෙතුපිය බලා ඉවතක ගියා නොව සක්මන්...!
දුලා දිවසළු එලා පාවඩ නෙලාගත් අවමන්...!
බලා දිවනෙත කලා සුවසෙත හදවතේ සක්මන්...!
වලා පෙල යට තිබේ සොඳුරුම
ජීවිතේ අභිමන්...!
සඳේ සාවිය බැස ගිහින්
සඳ මඩල අඳුරට බිලි දෙමින්...!
බිම් කරුවලේ නොසැලී හොරෙන්
දොර පියන් වැහුවා ගම් දොරින්..!
උණුහුමින් නොරැඳුව, මා පියන්
හැරදාම සෙනෙහස දුර ගිහින්...!
සිසි අරුන්දතියේ මග අසන්
අර ඈත අහසේ තරු වලින්...!
2023.01.21
කවිය බලන්න
නිදහස් පැතුම
කටවල් බඳින පොටවල් නිදහස් කරමු
අටවන උගුල් ගලවා නිදහස් කරමු
වැටවල් නො ගහ නිදහසෙ එහෙ මෙහෙ දුවමු
රට දැය සමය ලොව බබලන්නට හරිමු
කවිය බලන්න
අභිනික්මණට පසු.....
මගහැර නොයන බව දිවුරා කියුවාම
හිමකර සදිසි සිසිලස නිති බෙදුවාම
අතහැර සැවොම ඔය දෑතෙහි රැඳුනාම
ගොරබිර සසර දැක ඈතට ගියෙ කෝම
ඇහුවත් බණක් ඉඳහිට ලද විවේකයේ
ගැයුවත් දහම් ගුණ හැමවිට දිවාරැයේ
දැනුනත් කුසුම් පරවෙන බව අවාරයේ
සවිමත් ඇතැයි සිතුවෙමි පෙම ඔබේ ළයේ
පෙරුමන් පිරූ බිම්බා මෙන් නොම හිඳිමි
ගින්නෙන් වියෝ කන්නගි සේ හළු කරමි
සන්සුන් සිතැති කිඳුරිය කිසි ලෙස නොවෙමි
හඬමින් තැවෙමි මම වැරදිද යළි අසමි
තනිමග යන්න උගනිමි ගෙන වෙලාවක්
අතහැර දැමීමත් වෙනමම කලාවක්
සුළඟට කියා මින්මතු හැම කතාවක්
මුවඟට මවා ගමි යන්තම් සිනාවක්
ඉන් පසු,
සිතු ලෙස සසර කෙටි වෙන්නට පැතුම් පතා
මතු බව අතැර ලැබගන්නට සුවක් ඉතා
සිතුවිලි සිතට එන තදබැමි වලින් ඔතා
සතු බව ලොවට ඔබ මින්පසු ගනිමි සිතා
13.01.2023
කවිය බලන්න
දියණියකගේ ගීතය
දිළිදුකමේ කලු මේඝ තලා
පෑයූ අයුරු එදා
දිවිය අහසේ අනන්තයෙ සිට
දිරිය සෙනෙහේ සලා
සෙනෙහසට ඔබෙ නමින්
ගයමි මම ගී පෙමින්...
ඔබේ දෑතේ රැදුණු සළුපිළි
ඇගිලි පොරකා මැකුව හෙලුවැල
නිවාලන්නට අපේ කුසගිනි
උගෙන ගන්නට “අ” යනු “ආ” යනු
මැළි වුණා නම් නුඹේ හදවත
දහස් වර මැරී-මැරී ඉපදිනු
නොඅනුමනයි පියතුමාණනි!
සෙනෙහසට ඔබෙ නමින්
ගයමි මම ගී පෙමින්...
සුගුණ ගීයක් ගයන්නට මට
ලැබුණු ඇරැයුම අගැයුමක් විය
ඔබෙන් උදුරා ගතිමි දිවිහඩ
සොරකමට නොව සෙනෙහසින් ඔද
ඒ හඩයි මේ ඇසෙනුයේ
ඒ හඩයි මේ ඇසෙනුයේ!!
සෙනෙහසට ඔබෙ නමින්
ගයමි මම ගී පෙමින්!!!
1.02.2023
කවිය බලන්න
මනාපය
කාලය වෙනස් වී මල් පලබර වී
අපි හොඳටම හෙම්බත්වී
උන්ගේ බඩ කට හොඳටම පිරවී
ලේ වරුසා ඇද හැලේවී
ලෙයටම කට අයා පිට පොත්ත බඩ පොත්තටම ඇලවී
උන්ගේ ම නුවර මතින් උඹලා හරි උජාරුවෙන් වඩීවී
වඩින ගමන් උන්ගේම මනාපය අයදීවී
තරහව පිරි දෑසින් දෙවරක් නොසිතාම උන්ගේ මනාපය උඹලාටම පුදාවී
එය ඇබ්බැහියක් බව උන්ට නොතේරේවී
ඒ තරමටම උන්ගේම ජීවිත මනාප මතම යැපේවී
කවිය බලන්න
ජාන විකෘතියක්
හීන් හඬින් කෑ ගසනා බඩ පණුවනි අසාපන්
වාන්වෙලා ලිග්ගල් තුන පස් හින්දම බලාපන්
හාල් හුණ්ඩුවක් නැතිවම බඩ අකුලල නිදාපන්
මාන්දමට වාගෙයි ඇස් වළ ගැහිලද කියාපන්
පාන් නැතිලු කේක් කන්න කාසි ඇන්න දුවාපන්
ගාල් වෙන්නෙ අම්බරු රැළ දීනකමද බෙදාපන්
නාස් ලණුව දාගෙන උන් නැතිද කියල සිතාපන්
දාම් අදින ඉත්තො වගේ තම වරිගෙම නසාපන්
හාංකවිසියක් නොදන්න බහිරව කට පුරෝපන්
පාත් වෙමින් සුසුම්නාව දෙකඩ කරල පුදාපන්
ගාත් වලින් බඩ ගාගෙන දත නියෝන සිටාපන්
ආන් එහෙම පරගැතිකම ජානවලට කවාපන්
කවිය බලන්න
පරසතු මලට කවි ගී ලියැවණා වැඩී!
සිසි වන වුවන නාදළු වන් මුදු ලවන
නිසි පුළුලුකුල් පුන් ළැම නීල දෙනයන
ඇසි පිය හෙළන පමණින් නොවන දෙවඟන
ලැසි ගමනකට අන් සතු කවිම ලියැවිණ..
පිහ පිහ දා බිඳිති තැප ලිප බත සදන
ඉහ ඉහ සෙනෙහෙ සිය දරුවන් ටික වදන
ලිහ ලිහ ගැටළු හෙටකට සැනසුම බෙදන
සහකාරියට නැත වදනක් හිත හැදෙන..
සුර පුර මවා හිරයට ගත් පසුව රොඩී
උරුමය දිදී බිරිඳට දෙයි රිදුම දැඩී
පිරවිණි සිනා කට පැන්නම ගෙපැළෙ පඩී
පරසතු මලට කවි ගී ලියැ වුණා වැඩී
කවිය බලන්න
අතීතය කුමට ද
අසිරිමත් බෝ ගසට කර අනිමිස ලෝචනය
මුනිඳුන් ති ලෝගුරු අපහට දුන් පණිවිඩය
සීමා වුනේ පුංචි කථා වස්තුවකටය
හේතුව නුඹම නොව මේ අබුදස්ස කාලය
උදයේ දහවල සවසම වෙර දැරුවේ
යන්නටයි හීනි පෙත්තටම සීරුවේ
වේනම් දෙයක් සුදුස්සාටම අයිතිවේ
අන්අය කුමට ඒගැන මේ කසුකුසුවේ
හෙළ පහු උනාම කුමට ද ඒ හැරමිටිය
ඉරපෑයූ විටදි කුමට ද සඳ එළිය
මහිදන් කරනු මැණ ඒ කලු අතීතය
මූසිලයන්ට ගසනා වුන් පාදඩය
කවිය බලන්න
මුල් ගල්
සුභ නැකත එළඹ ඇත,
පාන් පැල දල්වන්න
ඉටු දෙවිඳු පුදන්න
අපටම පියැස්සක් තනන්න
නමෝ විත්තියෙන්,
මුල් ගල තියන්න
මින් පෙරත් මෙතැනම,
කීයක් නම් ගල් බැඳෙන්නැතිද,
කීයක් පැල් කොට තැන්නෙන්නැතිද,
කොපමණක් කිරි සිනා නැගෙන්නැතිද,
ඇටකටුම කොපමණක්,
මිහිදන්ව යන්නැතිද...
තව සිය වසක් ගිය තැන,
තවත් මුල් ගල් මෙහි තැබෙනු ඇත..
අපේ මතකත්, ඇටකටුත්,
ඉතින් මිහිදන්ව තිබෙනු ඇත...
කවිය බලන්න
කුරුළු මන්දිරේ
යළිත් වරක් කුරුළු ජෝඩුවක් ඇවිදිල්ලා
අපූරුවට චූටි හොටෙන් කෑලි ගෙනල්ලා
නැකැත් බලා පාන්දරින් එහි වැඩ අල්ලා
හවස් වෙන්න පෙර සෑදුව ගේ මනලොල්ලා
ඇඟේ තරමටත් වැඩියෙන් ලොකුයි ගෙනා කොල
පුංචි වුනත් හිතේ තියෙන ලොකු දහිරිය බල
මිහිරි පැතුම් පොදිබැඳගෙන ආදර හිත් තුල
කූඩුව නිමකරනාතුරු උන් නැහැ කලබල
ගිය පාරත් මෙහෙම ඇවිත් සෑදුව කූඩුව
අතැර ගියේ පැටව් හතර දෙනෙක් සමග නෙව
ඉගිල්ලෙන්න තටු සලමින් උන් හැටි දැඟලුව
බලා ඉද්දි හිතට දැනුනෙ පුදුම තරම් සුව
අගේට හැදු කූඩුවෙ එළිපත්තට ඇවිදින්
උජාරුවට වටපිට සිරි නරඹනවා උන්
මෙහෙම තැනක් වෙන කාටද ලැබෙන්නෙ සිතමින්
ඉන්නා පාටයි පෙනෙන්නෙ උන් සිත සතුටින්
සැකක් නැතිව චූටි පැටව් ගොඩක් හදාපන්
දුකක් නැතිව ඉන්නට හැකි බවම සිතාපන්
කුමක් වුනත් මැද සාලේ - සතුටින් ඉවසන්
නොවක් පැතුම් ඉටුවෙන හැටි බලා හිඳිමි මන්
කවිය බලන්න
කිරිල්ලියක් මම
කිරිල්ලියක් මම - කිරිල්ලියක් වාගේ
ඉගිලෙන්නට තටු - ඉගිලෙන්නට තටු - නැවත ලැබුනා වාගේ
හිස් අහසේ තනි වළාකුළක නැග පාවෙන්නට ඕනේ
කුරුලු ඇසින් මට - කුරුලු ඇසින් මට- ලොව දකින්න ඕනේ
දුටුවා දවසක් අම්මා කෙනෙක් අනේ අහස බලා සිටියා
ලගට කරන් මම ඇහුවා ඈ ගෙන් මොනවද ඕනේ කියා
සිනාවෙලා ඇය මාහට පැවසුවේ
චපල හදක් ඇති සැමියා ගෙන්
ඈ දැන් නිදහස් කියා
දුටුවා දවසක් චූටි දුවක් අනේ අහස බලා සිටියා
කණට කොඳුරා ඇහුවා ඈ ගෙන් මොනවද ඕනේ කියා
සිනාවෙලා ඇය කණටම ළංවී මට රහසක් කිව්වා
මලක් තලන්නට ආ හොර ඹබරෙක්
ගුටිකා පැනලා ගිහින්
දුටුවා දවසක් මහළු මවක්අනේ අහස බලා සිටියා
ඉගිල්ලිලා ගොස් ඇහුවා ඇයගෙන් මොනවද ඕනේ කියා
සිනාව රදවා ඇය කිව්වා මට
අන්තිම සුසුම හෙලා
මිහිදන් කරන්න මේ මගෙ කුණු කය
ඈ හැදුු දරුවන් හැර ගොස් ඈව මෙදා
කවිය බලන්න
සමත් /අසමත්
මව් කුසේ උණුසුමට ගුලිවෙලා සිටින විට
කඩිමුඩියේ දෙමව්පියෝ ඉන්න තැන මාරුකොට
ලඟම ලිපිනයක් ගෙට සොයාගෙන පාසැලට
වින්ද වේදනා මට නැතුව ඇති දැනෙන්නට
උදේ පාසලට යමි හවස ටියුෂන් එකට
දුවමි ගිල දමා පොඩි වූ බනිස් කට දෙකට
ඉක්මනින් ළමයෝ අපි පරක්කුයි පංතියට
අම්මගේ දේසනා හුරුයි දැන් මගේ කණට
සහලෝලා උණ අපොයි යන්න බැහැ පංතියට
විස්සෝප වෙලා ඇය නැහැ වගක් මගේ ලෙඩට
හිමින් සීරුවේ ගොස් පසුම පෙළ වී කොනට
පංතියේ වැඩ ලියාගෙන ඇවිත් දුනි මෙමට
එකේ (1) සිට පටන් ගෙන රටා වල ඉලක්කම්
ගුරුතුමී කියාදෙයි මවන හැටි හපන්කම්
මගේ සිත වෙල්යායේ කරන විට සෙල්ලම්
කෙලෙස සන්සුන් වෙලා පංතියේ සිටින්නම්
ප්‍රශ්න පත්තර පොත්ද මේසයේ පුරාවට
කිසිත් නොපෙනේ මාව යටවෙලා පොත්වලට
වෙහෙස වී යොමුකලා සිත ඉතින් පාඩමට
ඇඟිලි තුඩු රිදෙන තුරු ලිව්වා මම විභාගෙට
දන්නවද ශිෂ්‍යත්වේ ප්‍රථිපලත් පිටවෙලා
මුහුනුපොත පුරාවට නම්, රූප ගොනුවෙලා
වෙනදා මෙන් නැහැ එලිය ගෙදෙර අඳුරට වෙලා
ඇය හූල්ලන හඬත් සුළඟටම මුසුවෙලා
නැහැ කලේ සෙල්ලම්, දුකයි මගේ පොඩි හිතට
මුළු දවස ළමා කාලය ගෙවුනා පංතියට
"අ " යන්නත් පෙරගමනේ නැතිව එක (1) ලකුණකට
නොහැකිවිය මව් මුහුණේ පුර හඳක් මවන්නට
කවිය බලන්න
කඹේ කොටයි …
මා දින පතා
ගසක බැඳ ඇතා
ඔබ නිතර දැක ඇතා
මං පන්සලේ ඇතා
පින් නැති නිසා ඉපදීලා සත්ව ලොව
මව් නැති නිසා හැදුනා මා පින්නවල
දළ ඇති නිසා එව්වා මේ පන්සලට
පින් ඇති මහතුනෙ වෙනවද මට පිහිට
බෝ ගහ මුල වැඩ සිට
තන්හාව දුරු කොට
මෙත් කරුණා පතල කල සත හට
ඒ සම් බුදු ගුණ නොදැනේය මා හට
මහ වෙහෙර අසබඩ බෝ ගහ පෙනෙයි මෙතනට
බැඳි කඹේ කොටයි නොපෙනෙයි බුදු පිලිමෙ මට
ඇත් ගොව් මහත්තයො ඔබ මෙහෙ ඇවිත් හෙට
බැඳපන් මාව අතනින් බෝ මලුව යට
සත් හිංසාව ඇද්ද ලියවී බණ පොතට?
අලි ඇතුන් මොටද පන්සල්වල පෙරහැරට?
බැඳි කඹේ කොටයි නොපෙනෙයි සදහම් ඔබට
මෙත් සිත් වඩමි යහතින් බෝ මලුව යට
කවිය බලන්න
අපි නොදන්න මල්
මිහිරි සුවඳ විහිදාලයි පිපි කේතකි මල්
සිහිල දසත පතුරුවනා කුන්ද සමන් මල්
සිතට වදින නෙතට අඳුන හෝපලු වන මල්
අරුණැල්ලේ හිනැහෙන්නී විල්දිය නිලුපුල්
අතට ලඟයි සිතට සුවයි කානේෂන් මල්
රතට හුරුයි ඇස පිනවයි වැවේ තඹුරු මල්
විතට රහයි රස මුසුවයි එරබදු ගස මල්
ගතට සුවය ලැබදෙන්නී සෙව්වන්දී මල්
බමර තුඩට වුවත් විෂයි රුක් අත්තන මල්
මලක් නැතිය ගසේ පිපෙයි කියති පනා මල්
කොයි මොහොතෙත් දුක් මුසුවකි අඬන හිරිය මල්
අතේ පයේ නියපොතු වල පිපෙනා නිය මල්
සිඳු පතුලේ ගල් මත්තේ සැදෙනා ගල් මල්
ගම් තුලාන විනාශයට පීදෙන තල මල්
මල් පූජාවට නැතිමුත් කංස ගසේ මල්
ඉලව් ගෙටත් මඟුල් ගෙටත් නැතිවම බැරි මල්
බිම වැටුනත් පුදට ගනී සේපාලික මල්
සමහරුන්ට බිය දෙන්නකි රෑ කඩුපුල් මල්
පැණිත් නැතිව අයාලෙ යන මලයි වරාමල්
මත් සළෙලුන් සොයා යන්නෙ රෑ පූදින මල්
උදේ හවා නෙත ගැටෙද්දි සුදුවෙන කරමල්
පැණි ඇතිනම් අපිට යසයි ඕන කෙහෙම්මල්
අවලස්සන වුවත් රසයි පොළොවේ බිම්මල්
මලුත් නැතිය ගසුත් නැතිය ඒවා කම්මල්
පිරිත් පැනට මල් යහනට ගන්න පුවක් මල්
කොලපුවකින් වහන් වෙලා එරන් තැඹිලි මල්
රස වෑහෙන පැණි වෑහෙන කනෙයියාවෙ මල්
ගහක් උඩින් මුවෙක් පැනපි ඒත් කෙහෙල් මල්
ඇස නොගැටිම මියයානම් ඒව කැලෑ මල්
ගේහ දිවිය සරුසාරද සිරි යහනේ මල්
එවන් විටදි කඩා වැටේ මදසනිනුත් මල්
ඒ මොහොතේ සුවඳ දැනේ වෙරළු ගහේ මල්
අධික සුවඳ ගඳක් වුනත් කිඬාරනුත් මල්
හිතේ මැවෙන හදේ මැවෙන ප්‍රේමණීය මල්
කේශ කලාපය වාගෙලු රෑණ කිතුල් මල්
යට ලීයේ පූදිනවලු නාරිලතා මල්
වධක බෙරේ හඬ තාලෙට නැලවෙන වද මල්
අසලක වත් නොසිටිය යුතු බාඳුරාය මල්
සුවඳ ලදොත් විනාශයකි එතන කපුරු මල්
පාට මිසක සුවඳක් නැති විච්චූරණ මල්
මල් හාමියි මල් මැණිකෙයි දෙදෙනාමත් මල්
හෑන්ඩ් ෆෝන් එකෙන් පවා කඩන්න හැකි මල්
දිවිය ලෝකෙ පිපෙනවාලු හොඳ පරසතු මල්
ඉතින් අනේ කියනවාද අපි නොදන්න මල්
ලඟින් ගියත් ඇඟේ ඇලෙන තුන් තුත්තිරි මල්
අඩි සද්දෙට පවා සැලෙන නිදිකුම්බා මල්
අපි ශුද්ධයි උදම් අනන කහ පඳුරේ මල්
උදක බිඳක් නොලැබුනහොත් මැලවී යන මල්
හිතේ මිසක ගසේ නොමැති අත්තික්කා මල්
තවුසන් ගේ දැහැන් බිඳින නාරිලතා මල්
කොයි බමරා ආවාමුත් සිප ගන්නා මල්
එහෙව් රටේ තව කොයින්ද අපි නොදන්න මල්
කවිය බලන්න
People are amazing…
I don't know how anyone can think that someone who has never hurt or harmed them, should be hurt or harmed…
Why are people are so mean?
But,
Among this kind of people…
There are some people who are happy to see that someone else has something that they don't have…
Those people are like lotuses blooming in mud…
I think that everyone wants to meet good people …
If we try to be a person who has honest and pure thoughts inside ourselves…
Then we will meet good people all the time…
In other words…
A flower blooms beautifully without envying another flower…
Flowers are very beautiful…
If we don't do evil to others and don't think evil thoughts, how beautiful will this world be?
කවිය බලන්න
නිදහස කොහෙද අභිමානෙන් සමරන්න ?
ලෙඩ්ඩුන් මැරෙනවා නෑ බේතක් ගන්න
බඩු මිළ ඉහළ යය් බැහැ පඩියෙන් කන්න
පාසැල් යන්න බෑ නෑ පෙළපොත් ටික ගන්න
තරුණයො විද්වතුන් යය් රට හැර යන්න
බදු ගහනවා නෑ පඩියක් ගෙනියන්න
ණය ගන්නවා රට උකසට විකුණන්න
ගොවියන් වැලපෙනවා පොහොරත් නෑ ගන්න
මිනිසුන් හඬනවා බැහැ ජිවත් වෙන්න
හොරු රජවෙලා හරි සන්තෝසෙන් ඉන්න
මිනිසුන් පව් ගෙවය් ඇඬු කඳුළෙන් ඉන්න
නායක හැත්තගේ හිත් ටික සනසන්න
නිදහස කොහෙද අභිමානෙන් සමරන්න
කවිය බලන්න
සීතල තත්පරයක්
බසයක ආවත් රිලා වෙසින්
පිට වෙමි ගිනි මකරෙක් විලසින්
විමසිලි වනුදෝ වපර ඇසක්
අසරණ බව හැඟෙනා මොහොතක්
මග අයිනක මා මිතුරකු රඳවා
ඇඟපත සෝදිසි කරනව දුටුවා
මොන අරුමය සිදු වෙනවද මන්දා
මේ කරුමය කවදා නිම වේදා
ඇතුළ පිටත ඇති ගැටළුව හඳුනා
ලිහා දමන ලෙස මදුරව කියනා
පාර එහා පැත්තෙන් මට ඇහෙනා
දම් පදයක හිත නතර වුනා
දූපත් මනසේ ගැටළු කෝටියයි
දවාලෙ හීනත් වයිවාරන්නයි
ආඳා වල්ගෙන් ගත්තම තේරෙයි
බෝට්ටුවෙන්වත් ඉගිලෙන්නයි
12.01.2023
කවිය බලන්න
ඉසුරුමුණි පෙම් යුවල
ඉසුරුමුණි පෙම් යුවල
ගලේ හිටියම ඔහොම
කියන පෙම් කතන්දර
අනේ අපි දන්නවයැ
රජුගේ අන්තංපුරෙට
ගෙන ආව නොයිදුල්ම
ගල් වඩුවාගෙ දූ
බිසෝදැයි මේ ඉන්නෙ
කොහෙමදෑ අපි දන්නෙ
අවුරුද්දේ දින ගනන
ටත් වඩා බිසෝවරු
හිටියා නම් මහරජට
මේකිගෙ න් රොන් ගන්න
බැරි වුනා දැයි දන්නෙ
උඩ ඉන්න දෙය්යොමයි
බිසෝවරු කොටු කරන්
හිටියා ට මහලූ රජ්
උන්ගෙ සිරුරෙන් නැගුණු
රාගයේ ගිනි සිලුව
නිවන්නට අසමත් ව
ඉන්න ඇති සත්තටම.
එකෙක් එක දවසටලු
අවුරුද්ද ගෙවෙන තුරු
යලි එන්නෙ කවදාද
ගනින්නැති ඇගිලි තුඩු
පිච්චී ලා බුකෝගන
බලන් ඉන්නැති නේද
අනේ ඒ බිසෝවරු
මේ කෙල්ල බාලයද
අනේ කොහොමද දන්නෙ
බලාගෙන ඉදලා ම
ඇති වෙන්න ඇති ඈට
ආවෙ රජ සැප ගන්න
උන්නෙ විරවී ඉන්න
බැරිම තැන අශ්හලේ
ආදරය දකින්නැති
කොල්ලාගෙ පසු පසින්
හඩ හඩා පිස්සුවෙන්
දිව්වාද දන්නෙ නෑ
මේ අලුත් පෙම් වතී
රාජ උදහස තරම
මත් වෙච්ච බිසෝ දැක
නොසිතන්න ඇති නේද
මහෝඝය සේ රාගේ
බුර බුරා නගින්නැති
සැනසෙන්න ඇති නේද
එක ම එක මොහොතක ට
අනේ කරුමෙක මහත
මාලිගෙට දුවන්නට
කලින් ගල් පඩිය ළග
කැපෙන්නැති හිස් දෙකම
අපි දිහා බලාගෙන
තාම උන් ගල් වෙලා
අනේ අපි දන්නෙ නෑ
ඉසුරුමුණි ගම් පියසෙ
වෙච්ච ඒ පෙම් කතා
ආදරෙද ...රාගය ද...
27.1,2023
කවිය බලන්න
එකගෙයි මනාලිය කී කව...
එක්ව කැන්දා රැගෙන ආ
නෑ, පරපුර...
ආදරය කඩ කඩා දී
කැබලි කර කර...
ලොවට හංගා දවන හිත
ඇති කරදර...
ගැහැණුන් ද පිරිමින් ට
සතුටක යන්තර...
දේපළක හිමිකම්
පතා පරපුරට...
වසා හද හිර කලත්
අඩවන් දොරට...
හිමිකමක් මිස අයිතිය
නොදන්නා කුසට...
කුමට පින් අනුමෝදනා
පින්තාලියට...
දරුවාට පිය හිමිකමත්
කර භංග...
මාරුවෙන් මාරුවට හද
උඩ නැංග...
උන්නත් මහතුනේ ලොවට
හංග හංග...
නිරුවත්ය හැමදාම ඔය
පුරුෂ ලිංග....
කවිය බලන්න
‘ලන්ඩන් කවි’ දොරට වැඩුම
වියත් දනන් රැස්වූ කවි සභාවකී
අලුත් පොතක් දොරට වඩින වෙලාවකී
මහත් ඇදුරු දෙසුමත් දැන් සවන් වැකී
කවිත් අසා ජන නැටුමත් බලන් සකී
පෙඳහි රසය හඳුනන සුදනන් අතරේ
කොළඹ යුගයෙ සුපතළ කවි රස පැතිරේ
සමත් කවි කිවිඳියන්ගේ පැදි රස අතරේ
අළුත් කවින්ගේ කව් රසය ද පැතිරේ
ලන්ඩන් නුවර වෙසෙමින් කවියට නැඹුරූ
හෙළ කවි දනන් එක් කර සාදා පවුරූ
කරනා මෙහෙවරට හෑගොඩ නම සොඳුරූ
අනුරට පිදේ කවි හද පිපි මල් පොකුරූ
කවිය බලන්න
තාත්තෙක්
තේම්ස් නදියට පහළ
කැඩුණු පාලම් සෙවණක් යට
චුරු චුරු වැස්සට තෙමෙමින්
සිටියේ.. ඒ මගේ තාත්තා ය
වටකුරු වලාකුළු, ගිටාරය අතට ගෙන
ගයන්නට සැරසෙනා මොහොතක
ඔහු සිනාසෙයි
තෙමෙන්නට හිත හදාගෙන
පාරෙන් එපිට රෝහලෙන්
පාර පනිනා අපට
නන්දෙසින් එන ජනකාය අතරේ
පෙනෙන්නේම ඒ රුව
දිගු නිහැඬියාවකින් අනතුරුව
යළිත් ඔහුව නෙත ගැටුණු දවසක
පාද දෙක එක් පාදයක් වී....
ඒත් ඒ මූණේ පියකරු හිනාවක්මය
"රත්තරන්...ගෙනියමුද තාත්තව ගෙදරට?"
විදුලියක් කෙටීමෙන්
වලා යහන දිය වෙමින් වැක්කෙරිණ
මගේ අත හා බැඳී තිබූ ඔහු අත
සම්ප්‍රේෂණය කරෙව්වාවත්ද
අප අතර නිහඬ තත්පර
මගේ පියා යැයි සිතුවාට
ඒ ඔහුගේ ඩැඩී ය
නැත...නැත... අපි හැමෝගෙම තාත්තා ය
කවිය බලන්න
රබරෝසියා......
වසන්තය උදා වූ සෙයකි ඒ තුරු හිසට
දසන්තය පුරා මල් විකසිතව
එක ලෙසට
දිගන්තය සරා එන බමර
කැළ ඒ රසට
විලස සිත පෙම් බඳියි
රබරෝසියා ගසට.
පැතුම් මල් රැසක් සේ
ජීවිතයෙ තනි රැකට
දරාගත නොහැකි නම්
මේ කැකුළු මේ ගසට
පිපී මොහොතක් නොරැඳ
වැටී මේ හිස් බිමට
පිපෙන්නේ ඇයි පැතුම්
ජීවිතයෙ මේ ලෙසට.
මිහි මවගෙ සෙනෙහසින්
නුබ කුසය සිඹින්නේ
හරිත පත් විහිදුවා
නෙතට සුව සදන්නේ
තුරු හිසේ සොඳුරු වූ
රුසිරු මල් දරන්නේ
සැනින් ඒ සුවඳ මල්
බිමට ඇද හෙලන්නේ.
ජීවිතය වගෙයි අපෙ
ගසකි රබරෝසියා
පැතුම් මල් පිපි විගස
මිහි මතට ගෙන ගියා
දෙරණතින් ගත් සුවඳ
ඔබම ගන්නට කියා
අනිති ජීවිතය සිහි
නඟයි රබරෝසියා.
කවිය බලන්න
කෙදින ඈ වන්නී....
අක්බඹරු වැනි මුහුල
එකතු කර බඳින්නී
බිඳී ගිය කැඩපතට
නෙත් කැලුම් හෙලන්නී
සිනාසෙන ඇඳිවතේ
රිදුම් පිරිමදින්නී
නිමා නැති මෙහෙවරට
යළිත් පිය මනින්නී..
පුතුගෙ පොත් ලැයිස්තුව
නෙතග ඉඟි මරන විට
දියණියට හිර ඇඳුම්
නෝක්කඩු කියන කොට
සවන් පිස ලන සුසුම්
රැළි ලමින් නැගෙන විට
සිතින් පාවී ගියා
බඹ ලොවින් මනු ලොවට..
දුකම සැප කොට වැලඳ
දිවි පාලු මකන්නී
හෙටක් හෝ ජීවිතය
කුමක්දැයි නොදන්නී
පාලු ගෙයි තුළ වලං
හදවතින් බිඳීන්නී
සිත නොමැති කය දරා
සයනයේ නිදන්නී..
හෙට හතරෙ කණිසමට
නොවැරදී ඇහැරෙන්න
කප්පරක් සුමේ කොට
වැඩපලට දිව යන්න
රතු ඉරට ඉඟි මරා
මැෂිමකට පණ දෙන්න
නැති දිනක හැකිවේවි
රස රහස් පවසන්න.
කවිය බලන්න
පුබුදු වදන්
උන් ඔක්කොම යාලුවෝලු
ඒ වුනාට.... උන් ඔක්කොම අපේ හතුරෝ
දන්නවාද ... උන් දන්නැති බව
හඳුනන්නේ නැති වුනාට - අපි ඔක්කොම යාලුවෝ බව
ඒ හින්දයි....
එක දිගටම - එක පෙලටම
පාර දිගේ ඇවිද ආවෙ - ජූලි මාසෙ නව වෙනිදා
පාසල් පෙළ පොතේ පවා - මෙහෙම ලියා තියෙනවා
සියලු බලයෙ උල්පත - ජනතාවයි
ජනතාවගේ හද නිම්නෙන් - කවදාවත් නොසිදෙන්නට
ඒ උල්පත මතු වෙනවා
ජන බලයේ අනුහස් රැස් - මතු දිනයක මතු වෙන දින
පාලකයිනි අද උස් - අසුන් දරා වැජඹ සිටින
ඔබ වෙනු ඇත වින්දිතයින්
යකඩ කූරු බදා සිටින - සිපිරි ගෙයක කූඩුව තුල
26 ජනවාරි 2023
කවිය බලන්න
කුඩයක තනිව තෙමෙමි එක්ව
නාදුනන සගය
ඇසුනිද නුඹට
ඒ විසුළු සිනහව
කුඩ අතැතිවුන් නැගුව
වැසි සිත්තරා අදින
"දරිද්‍රතා රන්ද්‍ර" සිත්තම දැක
නුඹ කමිස පිට මත
මැදින් මද මැවෙන
කුඩයකට යටව
සිනාසෙමි මමද
සිතින් වැළඳගෙන නුඹව
දිලිසෙන පිළියමින්
වසාගෙන සිටින
උන්ගේ බොරුවට......
කවිය බලන්න
අළුත් අවුරුද්ද
කැප්පෙටිය අතු
මිටකට
සිහින් උණ හිස
හිරකොට
මවක් අමුනයි
හනිකට.....
නැවුම් සුවදැති
ගෘහයක
හිමිසඳත් නැති
මොහොතක
මවක් හිරවී බරැති
සුසුමක.....
කවිය බලන්න
රුපියලේ බාල්දුව
ගහයින්ටත් දැනෙනවා
ඔී: නමෝ ලක්ෂ්මී!
මාර වැඩේනේ
ලක්ෂ්මිලා දෙන්නේක්
දෙපැත්තෙන් ඇවිත්
අරගෙන මගුල් තුලාවක් පුතු හට
පුතුගේ කේන්දරේ කුජ දෝෂය
දෙන්නාටම හොද නෑ
කාන්තා පාර්ශවයේ
බැරිද ගහයන්ට කියලා
ෂේප් එකක් දාගන්ඩ
ගහයෝ මොනවා කියයද
දන්නේ නැ
කෝකටත් කියලා අරන් එනවා
රත්රන් සුරයක්
සල්ලි වලින් රුපියල්
ලක්ෂයක් එක්ක
ජිවත්වෙන්න ඕන නම්
දැන් රුපියල
ගහයන්ට වටින්නේම නෑ.
රුපියලේ බාල්දුව
ගහයන්ට දැනෙනවා.
කවිය බලන්න
නික්මන
දරාගත නොහැකි තැන
නුඹේ මුනිවත ළඟ
නැගෙන තුස් සුන් හැඟුම්
මහද
වාන් දොර හැර දමමි
දැන දැනම
තැලෙන බැව්
අප දෙහදෙ
සිතුම් වැලි ඉවුර
රිදෙන බැව් දනිමි මම
මටත් වැඩියෙන් නුඹට
එබැවින්ම නික්ම යමි සබඳ
අත් නොහැර ඒ මිහිරි මතක
නුඹේ තනි නොතනියට
මගේ තනි නොතනියට
අතීතය වේ නිතර ළඟම
සැඟවගමු යළිත්
පොත් අතර
බලනු මැන ඉඳහිට හෝ
ඈත කඳුකරය දෙස
සඳ පහන් රෑ මැදක තනිව
නිවි නිවී දැල්වේවි
මගේ නිවහනෙ පහන්
කුරුටු ගාමින් ගෙවන රැයක..
කවිය බලන්න
සිත් තුනක්
දිනිඳා සිතිජයේ සැගව යන සඳ
සැදෑ අඳුරට ඉඩදෙමින්
තුරුළු වී හුරතල් වෙවී සිටි
සුවඳ විඳ විඳ හදවතින්
ශේෂ කර ඒ මතක සේයා
ගිහින් නොවැ දීගෙක වෙනින්
මගේ නොවුනට කමක් නෑ නුඹ
අදින් පසු ආයෙත් ඉතින්
සඳේ අයිතිය අහසටයි නිති
එළිය මිහිලිය ගතේ එතුනත්
විලේ දිය ඒ විලට හිමිමුත්
දියට හිමි නැත නෙළුම් පිපුණත්
ගඟේ දිය ගඟටමය අයිතිය
දෙවුරු සිඹ සිඹ නිතොර ගැලුවත්
ඔබේ අයිතිය ඔබටමයි නිති
කවුරු අයිතිය පතා සිටියත්
නටුව අග මල් කෙසේ පිපුනත්
ගසට ඒ මල් හිමි නැතේ
ගසේ වැල එති එතී සිටියත්
වැලට නැත අයිතිය ගසේ
පොළෝ ගැබ නිල් මැණික් සැදුනත්
මැණික් මිල පොළොවට නැතේ
සිතක් සිත ළඟ නතර වූවත්
සිතට යා හැක හිතු මතේ
සිංහ වෙස් ගෙන දැඟලුවත් නරි
හූ හඬින් අසරණ වෙතේ
සුසර වෙන තරමටම තත් සර
නාද වීනාවෙහි නැතේ
කතර කොතැනක රහිත මුත් දිය
සිසිල වෙද සරතැස මුවේ
ළඳුනි නුඹ කා ළඟට ගියෙමුත්
චපල ගති මතුවෙනු ඇතේ
කූඩු තැනුවත් පියාඹා ගොස්
ඈත දුර නෙක දෑ ගෙනත්
කූඩු වෙති අන් විහඟ රැජිණියො
කලට බිජු දැමුමට අවුත්
හඳුන ගත්පසු වරද නිවරද
කරන්නට නොහැකිව තවත්
වැරදි කළ අය විදිති දඩුවම්
සොබා දහමෙහි බල මහත්
===================-====
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අ.ත.ක ස හිටපු සම ලේකම්)
========-===============
කවිය බලන්න
හිස් වූ හිස්
හිත් පිරුණු මිනිසුන් හිත් බිඳුනු සිත්වලට
ඉනිමං බැන්දට
හීන හැබෑ වෙච්ච උන් හීන පැතූවන්ට
හිත් මල් පැලැන්දූවට
ජීවිතය සපිරූ උන් දුක් විඳින උන්ට
අත් දාහක් දුන්නට
ඔය කී නොකී සමහර උන් දුන් අත්
හපා කන්නෙ අමු අමුවට……
උන්ගෙ දාහක් උවමනා, වචන වලට, අකුරු වලට , ඔවා දමට මිටි කෙරුවට
දවස් ගනන් දුක් වෙවී, වරු ගනන් උන්ගෙ
වැටුනු හිත් වලට වාරු දුන්නට
අත මිට මොලවපු දම්පාට කොල පාට
කොලවල පාට අමතක වුනාට
දුකයි ඒත් උන් දන්නෑ ඔය බඩවඩන කුඹිකම ඉදිරියෙ කර්මය ඇතෙක් බවට!..…….
12/01/23
කවිය බලන්න
උගත් පාඩම්
දොර පළුවකින් හිරිකඩ පැමිණියා වැනී
ඔහු මුළු ලොවම එක බැල්මෙන් මගේ වුණී
අහුමුලු කිසිත් නොසොයා ආදරය දුනී
දිව සළු ඔතා ගෙට ගත්තේ මලක් මෙනී
ආ මග දෙපස තිබුණත් කටු ඉති එමට
ඒ තුරු සිහිල වින්දෙමි රැකවරණයට
කෑවත් එකක් හැර එක වේලක් කුසට
මා ළඟ හිඳී පෙම්බරයකු තනි කමට
යන්තම් දුකක් දැනුනත් ඉඳහිටක හිත
ඉන්නම් හොඳින් ඉවසා දුර බලා නෙත
තහනම් රහට හෝ සවිබල කමට ගත
යළි නම් කඩුව නොතියමි වැද්දෙකුගෙ අත
කවිය බලන්න
ජූලියස් සීසර්ගේ මැජික් පුටුව
උගුල්ලා දමමි බෝ දෙන කෙස් කැඩුව
කොහොල්ලෑ බබෙකි ඇලෙනා මහ පුටුව
අතුල්ලා පස්ස පුටුවේ දුක නැසුව
කැබැල්ලෑ ගුලකි අද ඉත්තෑවාවකු නතුව
ඔසවා තබන්නේ නම් පුටුවේ දිනක
ගලවා කකුල් ඔබනෙමි ඇවිලෙන ලිපක
දෙඩුවා වහසි බස් තැන් තැන්වල කොතෙක
මැකුවා සැනින් මතකයවත් නෑ හිතක
පුටුවට මැජික් ගොඩවි අනුහස් පිරුණ
කිසිවිට බැස නොයයි පුටු ජුලියස් හදන
කටුවට වහල්ලට නැතිවෙක් යම් දිනක
පුටුවට නැගුනොතින් !!! විමසුම කුනු ගොඩක
ජය වඩනා පුර මඩුවේ බාස්වරු
සය වසකට වරක් පුටුවට ගසයි කරු
සිය ඇස් වසා නිදි කිරනා කතකි ගරු
ඔය අය මුරේ පුටු කඩනා කතා බොරු
හැදුවේ ජූලියස් බාසුයි ලොකු පුටුව
දුටුවේ බෑනන්ඩි කළ දුටු වල ඉසුව
පුටුවේ සවි වඩයි කඩ කඩ මහ අටුව
පූරුවෙ පවකි ගුල්ලන්ගෙත් දත් නැතිව
කවිය බලන්න
ප්‍රේමනීය තාරකාව ......
ඈත අහසේ දිලෙන තරුවේ
දවල් දවසෙම කිමද කෙරුවේ
වැඩත් ගොඩ වී උදේ වරුවේ
දැනුයි ඩිංගක් හුස්ම ගත්තේ ...
සිනාපිරි මුව දිලෙන සිරියේ
මං එතැයි නුඹ බලන් හිටියේ
ඊයේ රෑයම නිදිත් වැරුවේ
හාංකාවක් දැනුනෙ නැතියේ...
පාළු කපමින් නිස්කලංකේ
විමසමින් හිඳ නිසොල්මන්සේ
හද විවර කර හැඳින රහසේ
මවයි සහසක් හැඟුම් සිත්සේ..
ලෝකෙ කැරකී බමණ වේගේ
අපිත් පස්සෙන් වැටී හැල්මේ
නිසංසල හැඟුමින් සඳැල්ලේ
හෙටත් නුඹ එනතුරු ඇසිල්ලේ ...
කවිය බලන්න
“The beggars are not allowed”
For the Innocent boy in the corner of the bus queue
I remember his face
Again and again I saw
A knelling bell shape
Like a dry leaf eaten by termites
Sitting in the corner
The lanky figure a dumb sitter
No one lean to let any prize
Only a Peck of smile
One word for an hour only
“Please sir’ ”Madam”
All bookish theories dissolved
When I see his semi brightened eyes
They seek our heart all the time like
A great magnet
One bright morning I thought to have a talk
With the bubble a minute
The place was empty full of dust and dirt
A notice was hanged on the short wall
“The beggars are not allowed “
කවිය බලන්න
පින් මද වැසි බිඳු...
අහස සොරාගත් ජල බිඳු
මේඝ වලා තුළ දුක් වෙයි
මිහිකත හා එකතු වෙන්න
වැස්සක් වී බිමට වැටෙයි
ලලනාවක් නිවෙස කරා
ඒ වැස්සේ ගමන් කරයි
නොවී විසාකාවක් ඇය
හනිකට පා මාරු කරයි
අහසින් වැටෙනා දිය බිඳු
හිස තෙමමින් දෙපස ගලයි
දෙකණ පැළඳි තෝඩු මතින්
දෑත් යුගල වෙත එළඹෙයි
කුංකුම තිලකය බොඳකර
නාස් අගින් දෙතොල් තෙමයි
දෙඅදර වත්සුනු පොඟවා
නිකටින් ලමැදට පිවිසෙයි
හිසට නොවැටෙනා වැසි බිඳු
උරහිස් මත සෙමින් රැඳෙයි
වැලමිට පහළට රූරා
පුලුලුකුලේ හැඩ නරඹයි
වරලස සිප ගත් දිය බිඳු
නිතඹ කරා දිවගෙන යයි
නවතින්නට ඉඩ නොලබා
දිය රේඛා වලට හැරෙයි
සේලය අග කොන දැවටී
දෙපයේ මතුපිට එක්වෙයි
හනිකට පිය නගන දෙපා
සමගින් නිවසකට ඇදෙයි
සිඹිනට යළි මිහිකත් මව
ඔවුනට අයිතිය අහිමියි
මිරිවැඩි ගැටි පාපිස්සක
වැහිබිඳු නිහඬව බොඳවෙයි
-
කවිය බලන්න
වෙනස්කම් නැති වෙනස් සිතුවිල්ලක්
කැලෑ මල් වුවාට වැට ඉමේ පිපුණු
පැහැය හා හැඩය තුල වෙනස කිම දැනුණු
මිහිතලෙන් හිරු රැසින් අවැසි දේ ලැබුණු
හැඩට පිපි මලක් නම් මලක් සේ දකිනු
ගම් ගොඩේ නගරයේ තැනින් තැන පිපුණු
ලපටි මල් කැකුළු වැනි දරු පැටවූ සිටිනු
කිරි හිනා පිපෙන කළ මුව පුරා පෙරුණු
කිම වෙනස් වූ සිතින් නෙත් බැලුම් හෙලනු
මිහිතලේ හැම කොනක පෙති හෙමින් පිපුණු
කැකුළු මල් පෙති මතැති සුමුදු බව රකිනු
ලපටි මුදු හිත් පුරාඇදී බෙදුම් ඉරි මකනු
එක ගසක පිපුණු මල් ලෙස සුවද විදිනු
කවිය බලන්න
සමුගෙන ගිය සේන අම්බලන්ගොඩ කිවිඳු
කවියෙකු සේම ගත්කතුවරයෙකු පසිඳු
ජෝතිෂවේදියකු ලෙස කිත් දෙශ විහිදු
කිවිසර සේන සිත් මල් රසයෙන් පිබිදු
සමුගෙන ගිහින් සිටි කවි නුබ දිලි තරිඳු
එක යුගයකදි අත්වැල් බැදගෙන මනසින්
කළ කී දේ ඇතේ පොත්පත් වල දහසින්
ලොව හැර ගියත් ඔබැ කාටත් හොර රහසින්
යළි අප එකතුවෙනු නියතයි පෙර විලසින්
කුසුමක් මිලින වූවන් එහි රැදි සුවඳ
සිපුගත් සිත් සතන් ව්ඳ විඳ ඇත නිබද
සිත් මාළිගා ඔපවත් කළ ගති සුහද
ඔබ මිය ගියෙද පවතී විස්වයෙ විහිද
කවි මඩු වලදී හා සාහිත මුළු වලදී
අපි හමුවුනෙමු නිරතුරු සතුටින් පෙරදී
මතකය ඒ අතීතය වියැකුණු කළදී
ඉරහඳ වගේ පවතී දිවි මඟ තුළදි
පොත්පත් ලියු ඔබ පත්තර සමග රැදී
සත්තයි හෙටත් පවතී සිත් සමග බැදී
මිනිසෙකු මියගියත් ජීවත් වෙන තුරදී
කළ කී දේ පමණි පවතීන්නේ නොසීදී
හදවත් දිනූ ඇත්තෝ කඩිනමින් මෙසේ
සමුගනු කිමැයි පුරවා කඳුළැලි දෑසේ
කාගේත් ලොවේ ජීවිත අනියතින් වැසේ
කවදා ඒ අඩුව පිරවෙනු කියනු කෙසේ
කවිය බලන්න
සන්නාලිනී
මෝටරයටම හුරුවී
දෙපා සළුපිළි මැස්ම
ජීවිතය ගෙත්තමක් විය
පෙරලමින
ඉන හැඩය
අත් කටය,කරවටය
නොලිහෙනා ගෙත්තමකි
රැ මැසූ ජීවිතය
රැළි ඇඳුම් හැඩ සාය
එකම සැරසිල්ලකි
සිතුවම
රටට නිමි ඇඳුමකි
පෙම්වතුනි නුඹලාගේ
කන් කෙඳිරිලි හඬට
යටපත් නොවෙයි කිසිදා
දෙපා යට මෝටරය
තොදොල් පෙම්බස්
විනිවිද ඇසෙයි මට යළි යළි
මෝටරයෙ ගොරහැඬි
ජීවන විලාපය
කවිය බලන්න
අම්මට කඩදහි කෑල්ලක්
හිර මැදුරු කවුලුවෙන් මහ ගෙදර බලාගෙන...
ලියමි මේ හසුන් පත දෑස් කොන් පියාගෙන...
ජීවිතේ නොදුටු තැන් ලස්සනට කියා දෙන...
ගුරෙක් නැත ඇරෙන්නට කාලයම කියා වෙන...
උගුර කට ලේ රහට හැරෙනකල් ඈගේ...
මයෙ අම්මා එපාමයි කිව්ව මේ දීගේ...
දැන් මටත් පොලඟන්ට වහ කදුරු වාගේ...
ප්‍රමාදයි දැන් ඉතින් සරණක් ද කාගේ...
පෙන්වමින් මයෙ ඇහැට නොපෙනුණු පලුද්ද...
කී දොහක් වෙන්නැති ද ඈ මට විරුද්ද...
කරුමෙකට මට තිබුනෙ නාහන පුරුද්ද...
දුර ගියා වැඩි වුණා වයසේ වැරැද්ද...
වස් දි දී ඇඬුවාට නැහැ කිසි ම ඵලක්...
පණ දෙන්න බෑ නැවත මැරුණාම මලක්...
නුබට පිං පෑදෙන්න අම්මෙ කප් කෙලක්...
එවාපන් හොඳවැයින් තැල්මකට තෙලක්
කවිය බලන්න
රතු පාට දවස්
කාන්සිය අපුල්ලන තාලෙට
හීනියට ඇදහැලෙන විස්කි shot එක
වාත්තුව ගානට ඇද්දෙනකොට
පාළුව හිනස්සයි පපුව අඩියටම
හෙන ගැහෙන dull රෑ මැද්දෙත්
මද කිපුණු රෑ අහසේ වතුර මල් යට ඉඳන්
දාර සුළි සුළං අස්සෙත් මී වද බැදන්
පැණි පිරුවා අපි - කතා lot ගණන් මුමුණමින්
පේන කියවපු රතු කොටු ෂර්ට් එක
ඒක වනසපු කළුපාට ලේස් මල
හීන පුපුරපු Facebook photo එක
තාම මතකයි රතු කුඩේ යට සරසවිය….
කවිය බලන්න
ආදරණීය අම්මා වෙත
සමාවෙයන් අම්මේ
ටංක පෙට්ටියෙන්
උඹේ මගුල් සාරිය ගත්තට
ඒක විතරයි දිග තිබ්බේ
ඉස්තෝප්පුවේ බාල්කෙට
නිසල මයෙ සිරුර
සතපන්න කියාපන් සීරුවට
අහලපහල උන්ගෙ තදියමට
රිදෙයි නූපන් පැටියට
නොයා ඉන්නට
හිතුවනම් වැලි කතරට
කාසිවලටත් වැඩි දෙයක්
රැකගන්ට තිබුනා උඹට
ආසයි එක් වරක්
දියණිය වී එන්ට
ඔය උකුලට
උනත් නූනත්
ආයෙනම් කැමතිම
අප්පෙක් නැති උපතකට
කවිය බලන්න
සමාජ ශාලාවෙහි රැයක්
නා නා විධ වස්‍ත්‍ර
නෙක නෙක විදුලි බුබුළු මතින්
දිලිසෙන රැයක්
මධු බඳුන් සලං හඬින්
ගැටෙන වරු තුනක්
අඟන රැඟුමින් ඔකඳව
ගත සිත පොබයන රැයක්
ප්‍රේමයට විල්ලුද පාවඩ
එළන මොහොතක සුවක්
බහු රූ කෝලම් රටා මවමින්
සංගීත කොත්තුවකට
නටත් බලවත්තු සහ බවලත්තු
මුදල් විසිකර රවුම් කැරකෙන
සල්ලාල රෑ කෙමක්
අවසන
පිහි ඇනුම් පාරවල් හත අටක්
මේස පුටු ගුවන්ගත වුණු හැඩක්
මුදලකට යට වුණා එදා රෑ
මිනිමැරුම් නඩු දෙකක්
2023.01.03
කවිය බලන්න
බහු භාර්යා
ප්‍රතිබිම්බයේ ඇස් අග
තැවරුණු දුක දකිමි
සපත්නී රෝෂය ඇවිළුනි
විසක් වී සියොළඟෙහි ඉහිරුණි
අඳුන්ගා ඇහි පියන් සරසමි
දෙතොල් මත රත් පෑ තවරමි
වදන් එකමෙකක් හෝ නොදොඩමි
නුසුන් වූ ශෝකයේ කිමිදෙමි
සරින් සියුමැලි සිනා කිංකිණි
වැරෙන් උහුලන රිදුම් ඉමිහිරි
පුළුල් උරහිසක බර තෙරපුනි
සුපිෂ්පිත පයෝධර සැනසුනි
අඩවන්ය ද්වාරය නොවසමි
නෙතක් හීතලයක්ව නික්මුණි
හොවා හිස වැළඳ ගත නැළවුනි
මහිමි හා තී යහන්ගතවුනි
නිවා ලූ නොහී ඇවිළුනි ගිනි
විනාශය වෙතට හද නතුවිනි
පරාජය සෙමෙන් සිසිලස දුනි
හඬා නොවැලප එතැන නවතිමි
2023/01/24
කවිය බලන්න
ඔබ දුන්නු ආලය
හිතේ ගෑවුන මතක පිසදා
සුසුම් පා කර යවන්නම්...
සිහින අතරේ රිදුම් තවරා
වචන වල පණ පොවන්නම්...
හිතේ නලියන මිහිර ඔප කර
කදුලු වැල් වල ලියන්නම්
ගලන පිණිවල ඔතා මල්පැණි
සුවද මැද රස විදින්නම්..
මතක අමතක නොකර සිතුදම්
මුතු පොටක පළදවන්නම්
නොපෙනුණත් ඔබ දුන්න ආලය
උණුහුමින් සිත දරන්නම්...
කවිය බලන්න
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී.හේරත් සමුගනී
:දශක අට ඉක්මවී යන සද
දිවිසැරිය නිම කළ කලා මිණ
සදා හිඩැසක් තබා ටෙලි හිස
බැබළවූ ටෙලි වේදිකා මඟ
ස්පර්ශ කළ සිත් අනේක වු
මනා සල රූ කතා පෙළ මැද
සබඳ කේ බී හේරත් පුරා සඳ
බැසැ ගොසින් සාහිත 'ඹරෙන්
අනෙක රන්තරු පිරිවරා සිටි
පාරමී දම් මුල් තිරෙන්
එදා ඉසිවර අසපුවෙන්
ඇවිත් ඉංගම් මාරුවට ඔහු
පුවත ගජමන් නෝනගේ පෙර
අළුත් මානයකින් දුටූ
එකතුවී සක්විත්තෝ සමගින්
ලියූ රචනා මනෝරම්‍ය වූ
දෙතුන් සියයද ඉක්මවූ
අනේක වු සිත් සැනසවූ
මුලින් දෙලොවක් අතර නම්වූ
පළමු ටෙලි නිර්මාණයෙන්
අසීරු වු ගමනකට පිය නැගු
සුනිල් වන් මේ විද්වතාණෝ
සුදු කරල් දොන් ජුවන් සමගින්
නාට්‍යය ස්වතන්ත්‍ර පෙළකින්
හෙළ කලා කෙත සරුකළේ
ජීවිතේටම එක් වරක් හිමි
නාට්‍ය කීර්ති සම්මානයෙන්
පිදුම් ලබමිණි ජාතියේ
වියත් ගුරුවරයකු ලෙසින්
දිගු කලක් තුළ කැපවෙමින්
දැයේ සරසවි අසපු පෙළකම
ඇඳුරෙකුව කටයුතු කළේ
නැණැස පාදන බිහිදොරක් වී
දූ පුතුන් හට උරදෙමින්
නුගතුරක් සේ සෙවන දුන්
මල් දමක් මෙන් සුවඳ දුන්
වේදිකා වට බලය දුන්
පුංචි තිරයට ජවය දුන්
අතැර ගිය තිර රචකයානණි
ඔබට යළි මේ රටට එන්නට
වරම් හිමිවේවා!
30/1/2023
කවිය බලන්න
සඳ
සදේ නුඹ රැව දුටුවා මා...
ඇති තරමි තරැකැට මැදින්..
පුරා සදටම පෙමිකලා මම..
රැයපුරා නොනිදා තුටින්..
පියාඹන්නට ආස හිතුනත්..
හිතේ හැටියට ඉගිලිමෙන්..
පියාපත් නැත සවිකරන් මම..
බලා හිදිනෙමි නුඹේ නමින්..
ඵන්නේ කවදද ඵක්කරන් මා..
කුඩු වන්නට නුඹේ ලගින්..
නුඹේ උණුසුම මතක් වනවිට..
කඳුලු වැගිරෙයි නෙතු අගින්..
2023/01/29
කවිය බලන්න
පෑගෙනා මල් පොකුරු.
වීදි කොන කාණූ ගැට්ටක
ඉපදිලා සුවඳ දෙන
පෑගෙනා මල් පොකුර
තබමි අල්තාරය පාමුල
නමක් නැති තාරකාවන්
පිපෙන විට තුන්යමට
විකසිතව දිලුනෙ නෑ
හිරු මුවාවිණි සඳට
වෙරලු මිණි සිරි අරන්
සිත්තමක් අඳිනවා
ම්හි මවගෙ සළු පොටේ
ඉහිරිලා කිරි පින්න
චන්ඩවම සටන් වැද
කුස පොත්ත අවුළුවන
ගිනි කඳක් නිවන්නට
හැකිද දිය කලසකට
සරණ හිමි නොවුණු තැන
දෙපා පොඩි රිදෙනවලු
ජීවිතේ මාවතේ
ඇනෙන කටු පාවඩට
වැතිර සිඹිමි පා යුග
යොමනු මැන නීල
දෙනයන
වඩිනු මැන දෙවිඳුනි
රැක ගන්න හනිකට
දියත සොඳුරුම මල්
විකසිත වන්නටත්
පෙරම මියැදෙන
2022.12.24.
කවිය බලන්න
නෑයෝ පිනක් රැස් කර ඔහු වෙත යැව්වා
උදයේ පටන් දවසම වෙහෙසී අව්වේ
විඳ දුක් කඳුළු මැද ඔහු ධනයයි සෙව්වේ
ධනයෙන් සැපත ලද හැකි යැයි සිත කිව්වේ
එනිසා ධනය පසුපසමයි ඔහු දිව්වේ
උගුරට දෙකට හනිකට තේ එක බිව්වේ
අත දරුවටත් නැත හරියට බත කැව්වේ
වළකා ප්‍රමාදය බස් එක වෙත දිව්වේ
පොල්ලේ එල්ලිලයි යන්තම් මඟ ගෙව්වේ
රෝගී මවටවත් නැත බෙහෙතක් පෙව්වේ
සැප දුක පියාගෙත් නැත කිසිලෙස සෙව්වේ
වැඩපල කරමිනුයි මුළු කාලය ගෙව්වේ
කෑමට වත් නොමැත වැඩකට තිත තිව්වේ
නෑකම් සහෝදර හිතවත්කම් සෙව්වේ
නැතිමුත් තමාගේ දේ ගැන නඩු කිව්වේ
අල්ලපු වත්තෙනුත් අල්ලා වැට ගැහුවේ
සතෙකුට වත් නොමැත එන්නට ඉඩ තිව්වේ
මරණෙට මඟුලකට නැත කාලය ගෙව්වේ
වෙනකෙකු අතේ වත් නැත සතයක් යැව්වේ
දුටුවිට සිඟන්නෙකු විගසට දොර වැහුවේ
රැස්කර ගන්නමයි නිතරම සිත කිව්වේ
පිනකට දහමකට නැත ගත සිත නැව්වේ
අද සැප නොවිඳ හෙට ගැන සිහිනම මැව්වේ
නොසිතූ විලස දිවි හැර පරලොව දිව්වේ
නෑයෝ පිනක් රැස්කර ඔහු වෙත යැව්වේ
කවිය බලන්න
නූතන කුවන්නාගෙන් අසමි
නා දල්ල වගේ නුඹේ තොල් පෙති
ආලවක යක් මුවින් තැලුවද ?
හංස යුවලක් වගේ දෙතනේ
එරුණු රං කිරි බිමට වැටුනද?
දිගු නීල නුඹේ පිරුණු වරලස
අවුල් වී විහිරිලා තිබුනද ?
අසරුවාගේ ගමන අවසන
මොණර කොල සයනයට වැටුනද ?
ඉක්බිතිව , ආලවක සුදු ඇදුම් ගත සරස ගත්තද ?
මාලිගාවක් වගේ රථයක නැගී ඔහු ඉගීලී ගියාවද ?
සුදු පැහැති නුඹේ වත මඩල මත තැලුම් කෑ රතු පුල්ලි තිබුනද ?
බරැති සුසුමක දුකක් සිරකර කදුලු හොර රහසේම වැටුනා ද ?
මලක් වගේ නුඹ පිපී එද්දී හොරුන් ඒ මල නෙලා ගත්තා ද ?
නමක් නැති ලේ කලයක් නුබේ කුසේ හෙමි හෙමින් වැඩුනා ද ?
කුවන්නා වගේ නුඹේ පරපුර නුඹව මහ මග තනිකලාවද ?
උපන් කිරිකැටියා රකින්නට , නුබේ ගත සළු ලෙහී වැටුන ද ?
(දූෂණයට ලක් වී දරු ගැබක් ලද ,ඒ සිදුවීම නිසා සිය නෑසියන් අහිමි වූ , ඉක්බිතව උපන් දරුවා රකින්නට අබිසරු ලියක් වූ , ඒ රූමත් නන්නාදුනනා සොයුරිය වෙනුවෙන් ලිව්වෙමි )
කවිය බලන්න
ආකාසේ යාලුකම
ආකාසෙන් හඳුනාගත්
ජීවිතේට දැකලත් නැති
කවදාවත් ඇසුරක් නැති
අවකාසේ සැරිසරනා
සිහින ලොවින් මවාගත්ත
තනිකම මග හැරගන්නට
ඇතිකරගත් ලෙන්ගතුකම
විවරවුනේ යටිසිතෙන්ද
කවදාවත් නොදුටු මලෙන්
රොන් ගන්නට සිතුනේ ඇයි
මල නොතලා රොන්ගන්නට
ඔබේ සිතින් ඉඩ දුන්නද
රොන් නැතුවට අලංකාර
මල් සරසයි හැඩට රුවට
ලස්සන තිබුනට මල්වල
බිඟුන් එයිද රොන් ගන්නට
කවිය බලන්න
මනෝරම්‍ය සිහල දීපේ
නොඉල්ලාම ඇය දුන්
හාදුවේ සුවඳ
තවමත් තියෙනවා
සේදී නොයාම
ඇය බෝඩිං කර හදවතේ සිදුරක
කීකරුව අම්මාගේ බසට
තවමත් සොයනවා නොනැවතීම
පිරිසිඳු සිහල බොදු
කුල කුමරියක් සරණෙට
දුටොත් ඇය දිනයක
දකින්න ආසයි
නළලෙ ඇඳි කළු පාට තිලකය
රතු පාටින් දිස්නෙ දෙන එක
දසක තුනකටත් ආසන්නයි
තවමත් තියෙනවා නළල් තලයේ
සියුම් හිරියත් සමඟ
ඇය දුන් ඒ
එකම හාදුවේ සුවඳ
කවිය බලන්න
🗙








































































