2022 සැප්තම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 සැප්තම්බර් කලාපය

රඟා බහුවිධ රැඟුම් සුවහසක් මනබැන්දු ගයා පෙරපර සුසර රස අමිල කවිසින්දු නටා පද, ලියා පෙල, නගා හඬ අමබින්දු ජැකා උඹ කලාලොව කිරුල හිමි කෙසරින්දු

ආචාර්ය සෝමරත්න දිසානායක

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

ජැක්සන් ඇන්තනි උපහාර කලාපය


"මරා"ගේ විරාමය

කපිල කුමාර කාලිංග

කිමද නිහඬව අද
අවදි වනු මැන විගසින
නගන් යළි ඒ හඬ තෙද
ඇසෙන ලෙස පසු අසුන් පෙළටද

සිටී නෙතු පියාගෙන
හුදෙකලා ගිලන් සයනයක
වෙහෙස පත්වීද දිවි ගමනින
රිදුම් දේ ද හිස
පසුතැවීමේ කටු කිරුළින්

පැසසුම් සේම ගැරහුම්
එකම නදියක දෙවුරයි
නොදිටිද ඒ බැව් ඔබ
තීර්ථය වෙත යන කල

අඩ අඳුරු රඟහල් බිමේ
ඇසේ යළි පිළිරැව් දෙමින්
සැබෑ කරමින් යටි අරුත්
"මරා" ලෙස ඔබ කී වදන්

"ඇද කෙස් වැටියෙන් තම
පෙරළා සිරුර කණපිට
අලුත් ඇසකින් ලොව
බැලිය යුතු මිනිසෙකු ලෙස"

කළ භූමිකා බොහෝමයි
තවත් ඇත ,ඉදිරියටයි
අලුත් පෙළ මතු ලියැවෙයි
රාත්‍රිය තව තරුණයි

විරාමය කෙටි නිමකොට
බලන් හැර කවුළුව අස
"මරා" එනතුරු රඟ බිම
බලා සිටිනා දන දෙස

(1986 දී වේදිකාවට ආ සුගතපාල ද සිල්වා
අධ්‍යක්ෂණය කළ "මරා-සාද්" නාටකයෙහි
"මරා"ගේ චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනී
ඒ සඳහා රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට හිමි
සම්මානය ද දිනාගත්තේ ය.)

22/08/07

කවිය බලන්න
මිසි නෝනාත් ආදරෙයි

මිසි නෝනාත් ආදරෙයි

ශ්‍රියාණි අමරසේන

මිසි නෝනාට ආදරෙයි කියා ඔබ කීවා එදා
තරණයේ තංගප්පන් ලෙස මතකද මා හා රැඟුවා එදා
අපි ඔබට ආදරෙයි එදා මෙදා තුර මතුවටත් සදා
නැඟිට එන්න කෝ සිනාසෙන්න කෝ අපේ ආදර ඇන්තනී ජැකා

කවිය බලන්න
මගේ සවියත් දෙන්න

මගේ සවියත් දෙන්න

පිරිවරක් දුක් වෙද්දි බැහැනෙ මට වාවන්න
තනි අලියා මම කැලේ හැක රිදුම් ඉවසන්න
තව බොහෝ දේ තියේ ලෝකයට කර යන්න
සිංහයට නැගිටින්න මගේ සවියත් දෙන්න

ඝණ අඳුර වෙලාගත් රැයේ පය ඔස වන්න
පමාවක් වුණේ ඇයි මේ විපත් සිදුවෙන්න
මට වාරු නැති නිසා කෙලින් හිටගෙන ඉන්න
සිංහයත් යට කරන් මට වුණා ඇලවෙන්න

බිදක්වත් පෙනුණිනම් මාව බේරන් යන්න
සිංහයා එන්නෙ නෑ මගෙ ඇඟේහැප්පෙන්න
මගෙ සවිත් අරන් හැකි ඉක්මනට නැගිටින්න
දන්නවා එන බවත් නුඹ මාව දැක ගන්න

2022/08/01

කවිය බලන්න
සිංහරජුනි නැගිට  එන්න ..

සිංහරජුනි නැගිට එන්න ..

ප්‍රීති රන්දෙණිය

සියලු රෝග බංග කරන්
අතීතයේ සුවඳ අරන්
අලුත් යමක් කියාදෙන්න
කලු කුමරෝ හිනාවෙන්න

පබා වතිය වැලපෙන්නේ
දූ දරුවන් නොනිදන්නේ
සත්තයි මේ සෙත් යැදුමෙන්
කුස රජ ජය පැන් බොන්නේ

බවදුක ගැන කියල දෙන්න
ගඟ තව දිගදැයි සොයන්න
පුස්තකාලෙ දොර ඇරගෙන
ලක් අම්මට කියල දෙන්න

ජේසුනි අපේ දුක අහන්න
දෙයියෝ බුදුන් පිහිට වෙන්න
ඇතෙක් ට බය නෑ කියන්න
සිංහරජුනි නැගිට එන්න ..

5.8.2022

කවිය බලන්න
ඉන්ද්‍රජාලීය යෂ්ටිය

ඉන්ද්‍රජාලීය යෂ්ටිය

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

තිබුණේ නම් මට
ඉන්ද්‍රජාලීය යෂ්ටියක්
සුවපත් කරනු වස් ඔබව
පවන් සලමි ඉන්
ඔබට ඉහළින්
අවදිවන තුරුම ඔබ

සිතමි සැමවිට
සුවපත්වන්න කියා ඔබ
එවමි මගෙ ආදරය
නිරන්තරයෙන් ඔබ වෙත
පතුරවා හරින්නෙමි
සුව හැඟුම්
සමනය කරනු වස්
ගිලන් බව

වෙදැදුරු පරයනු ඇත
ඔසු අනවැසිය
යෂ්ටිය ගෙන
සුවපත් කරමි ඔබ

නමුදු මා ළඟ
එවන් යෂ්ටියක් නැත
නොදනිමි කෙසේනම්
මැතිරිය යුතුද කියාවත්
එහෙත් දනිමි
නිරතුරුවම ඔබ ඇති බව
මා සිතුවිලි අතර
පතමි නිරතුරුවම
වහා ඔබ සුවපත්වන්න .

සුනේත්‍රා අලුත්දුන්නේ

Joanna Fuchs ගේ
Magic Wand නම් කවියේ
ජයානුවාදයකි .

කවිය බලන්න
අනේ ඉතිං

අනේ ඉතිං

සපුමල් බන්ඩාර ලන්ඩනය

මා පියාතුමෝහට එඩේරෙකුවිය
ලක්දිවට ඉතිහස් පොතක්විය
කලා විල්තෙරේ දගකාරයාවිය
ගගදිගේ ආයෙමත් අපව
රැගෙන කියාදෙනු රිසිව
නැගී සිටනු මැන ජැකයානුවානනි.

කවිය බලන්න
දිලෙනු මැන එදා මෙන්

දිලෙනු මැන එදා මෙන්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

මිලකර නොහැකි කලා කෙතේ අසරුවනි
දිනකර ලෙසින් බබලන තරු ඇදුරුවනි
පුවතර විසුල දැනුමක් හිමි කුමරුවනි
උනුකර හදවතට දැනෙනා සොඳුරුවනි

ගොනුකර නුඔ නමින් කවියක් ලියන්නට
පුවතර කරුනු ලැබුනා කොල පිරෙන්නට
අවසර මෙවැන්නෙකු නැත නුඹ ඇරෙන්නට
සුවකර එවනු දිනකර රැස් බෙදන්නට

කවිය බලන්න
304

304

අරුණි මුතුමලී

මම රෝගියෙක් කියා
නිරෝගී අය කියා
රෝහලේ කාමරේ
ඇඳක දපලා ගියා

දන්නවද නොම්මරය
ඒක 304
ආසියා බූරුවා
ජෝකර් ද සිහිකරන

තුරුම්පුව හංගලා
කලාබර පැන ගියා
ඉස්කෝප්පය වැදී
හාරතය දෙදරුවා
හැමදේම දැන් රුවිත
මට පේන පේන තැන

රජ වෙලා හිටියාට
හේරාගෙන් ගුටි කෑව
ලෝකයේ තව බෝම
අය ඉන්නවා මේම

පොරව බලවත් වෙලා
මොනර කොළ විසිවෙලා
විහළුකාරයෙක් වුණ
මං ගැනම මට හිනා

කවිය බලන්න
පනාපුත්‍ර කුහුඹු පැණියෙනි

පනාපුත්‍ර කුහුඹු පැණියෙනි

ආරියරත්න ජයසිංහ මහරගම

විරිදුවකින් නෙත් සිත් පොබ කරවන
‘නෙයින තම්බිගේ සූදුව’ අල්ලන
මුඩුක්කුවේ හිට්ලර් වැඩ පෙන්නන
‘ඇඩ්‍රස් නැති’ එකම ජැකා ඔබ

කුරුනේරිස් එයි ‘කඩුල්ල’ පැනගෙන
‘ධර්ම යුද්ධ’යෙන් ජය ගොස නඟමින
‘පළිඟු මැණික’ ගෙන විස්කම් පාමින
ඔබ සමකළ හැකි තවෙකෙක් කොහි වෙද

‘සූරිය අරණේ’ වන මැද රජකළ
‘උදුම්බරා’ ‘ඝර සරපෙ’හි වැජඹුන
‘එකගෙයි සොකරි’ත් ‘අස්වැසුම’ත් ගෙන
ඔබ ආ රඟ අප දුටුවා පෙර දින

විසුළු වතින් පබවත බිය වද්දන
‘කුස’ නිරිඳුය රජ මැදුරේ කඹුරන
‘අප්පච්චී’ ලෙස දූ වරු සමගින
ඔබ පෑ දස්කම් විස්කම් කොපමණ

‘මහා සිංහලේ වංශය’ සොයමින
දෑ අභිමානය ඔසවා තබමින
‘කළු ගඟ දිග’ පැදයන ඔරුවක හිඳ
සොබා සිරිය පා මන්මත් කරමින
කරලියේ නැඟ පුළුල් තිර මත
ටෙලි තිරය මත ඔබ රැඟූ රඟ
යළිත් රඟ දෙන් සිංහයාණෙනි
‘සිංහබා’ පිය සිංහයා මෙන

කවිය බලන්න
පූජණීය ගුරුවරයා

පූජණීය ගුරුවරයා

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

හිමිදිරි පාන්දර මීදුම පිරුන මගේ

පිණිබර වෙල්යාය පසුකර නියර දිගේ

සුමිහිරි මල් පොකුරු දියකඩ රඟන රඟේ

සිප් හල වෙතට ගිය හැටි මතකයට නැගේ

නාරන් හිඹටු මා දං බඩවැටි අස්සෙන්

දෙමළිති බටිති කෑරළ ගී හඬ මැද්දෙන්

බිය සැක පරොස් බස් ගෙරවිලි නැත බැද්දෙන්

උදයේ පිපුන මල් ළඟ ගුමු ගුමු සද්දෙන්

කටු මැටි බිත්ති වහලය අතු සෙවිලි කළ

බංකුද පොඩි පුටුද ගුරු දෙවිඳු එක්කල

සිනහව සමග නෙත් හැර අප වෙතට හල

බැල්මම කියනවා ගරු සරු යුතුය කළ

පාඩම අරඹන්න පෙර ඔහු අපගෙ හද

උදුරා ගනී මොහොතක් විදිනවා ඔද

භාරතයේ මෙන්ම ලංකා මෑණිගෙද

නිදහස ලැබූ විරුවන් වෙත තිබූ තෙද

සුබාස් චන්ද්රබෝස් මොහොමඩ් අලි ජින්නා

විජය ලක්ෂමි පණ්ඩිත මැතිනිද උන්නා

මහත්මා ගාන්ධියි නේරු ද දෙන්නා

අපගේ හදේ, ලේ ඇට තුල කිමිදෙන්නා

ගරුසරු ගුරු පයාණෙනි දිනපතා අප

සවසට රඳවගෙන පංතියෙ කළේ කැප

නොලබා ගුරු පඩුරු කිසිවක් වෙතින් අප

දුන්නා අහර කිස ඔබ ණයගැතිය අප

බුදු දහමද විද්යාවද කවි පොතද

ගැඹුරුය විෂය සමගින් ඔබගෙ ඔද තෙද

උකහා නොගත් දරුවන් කැඳවා නිබඳ

ඇහුවා සෙමෙන් උන් පසුපස තොරතුරුද

භාෂා ගණිත සිප්සතරද ගොවිකමද

ගහකොළ බෙහෙත් ඉතිහාසය දැනුම වෙද

දුන්නේ අපට රස ආහර ලෙසින් සොඳ

ගුරු දෙවියනේ එනු මැන පාසළට අද

කවිය බලන්න
පතමි ඉක්මන් සුවය ඔබහට

පතමි ඉක්මන් සුවය ඔබහට

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ජැක්සන් සොයුර ඔබහට සුව පතමි මෙමා
ඉක්මන් සුවය ලැබ එනු මැන නොවී පමා
දනන් දුක නිවා යළි ඔබ රඟන නියා
දැක්මට මඟ බලා සිටිනෙමු නෙතු නොපියා

යළි රඟමඬල දෙවනත් කර හිනැහෙන්න
දෙවියනි ඔහුට දෙනු මැන සවි නැගිටින්න
දනන් තුඩග රැව් දෙන නම රැක ගන්න
අපෙ ආයුෂත් ගෙන ඔබ ජීවත් වෙන්න

කවිය බලන්න
සකල කලා සක්විති

සකල කලා සක්විති

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

සකල කලාවම හඳුනන වියතාණෝ
පසුපෙල පිරිවරක් බිහිකල ඇදුරාණෝ
ඇත් කුණ්ඩලේ කරඬුව බැඳි ගිජිඳාණෝ
සුරකිනු මැනේ නිරතුරු දෙව් සමිඳාණෝ

කවිය බලන්න
පනාපුත්‍ර කුහුඹුපැණි  ......

පනාපුත්‍ර කුහුඹුපැණි ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

පනාපුත්‍ර කුහුඹුපැණි ......

නෙයිනගෙ සූදුවේ හැඩ වැඩ කවි කොළුවා
බව දුක තුලින් ජීවිතයේ දුක දුටුවා
නෙක නෙක රැඟුම් තුල තිරයේ රුව පෙන්වා
හැමදා අපට අළුතින් කවියක් කිව්වා

මහ සිංහලේ ඉතිහාසය ගැන හොයලා
රට දැය අවදි කර දැනුමින් සරි කරලා
නීරස විෂය ඇතුලේ අප හිත හදලා
විස්මන් රැසක් මතකයේ හංගා තියලා

මහවැලි , කළු ගඟේ උල්පත් වෙත නැඟලා
ගංගා දිගේ ජන හද මන පොබ කරලා
සලන්හතේ ලෙසතෝ බිම් කඩ හොයලා
සිංහල බසින් ගමනක් යන හැටි කියලා

කර ඇති වැඩ රැසයි, එමටයි කරන්නට
දැනුම නොදී බෑ ඔබ හට නිදන්නට
කලක පටන් එක්කල පැස බෙදන්නට
ගිලනින් නැගිට එනු මැන අප බලන්නට

05.08.2022

කවිය බලන්න
අංජානා ......

අංජානා ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මගේ හදවත ආදරෙන් පුරවා
ඔබේ හසරැල් මාළිගා තැනුවා
ගියත් විමනේ රන් දොරටු හැරදා
ඉන්නවා තව බලන් ඔබේ රුව මා .....

වසර ගතවී කාලයත් ඇවිදා
තාම හීනෙන් ඔබ ඇවිත් යනවා
පොඩි කුඩේ යට ගුලිවෙලා ගියදා
තාම යනවා හිතින් අත පටලා ....

පාට හැඩවී තුරු උයන් හැඩදී
බලා උන්නේ එනතුරා එක්වී
සීත මීදුම් වලා පෙල මැදදී
දගකරන ඔබ පෙනෙනවා පෙරදී

කවිය බලන්න
ජැකෝ ....................

ජැකෝ ....................

අජිත් ධර්මකීර්ති ලන්ඩනය

ජැකෝ නුඹ දැක්කෙ මුල්වරට
උතුමාණෙනි නැටුමෙන්
ජෙනරාල්ට ගී ගයන මේ
බෙරේ වැස්මක් හිසේ ඇති
ජැමෙයිකන් පෙනුමැති
නළුවා ජැක්සන් කෙනෙක්ම
තමා යන හිතිවිල්ලෙන්

නුඹ ඒ කියන්නැහේ
පස්සේ කාලෙක බලු කුක්කෙක්
ජෙනරාල්ලගේ බොසාලට
උනා කියල තරහා නැහැ මං
නීල ටත් සමාව දුන් එකේ මම
මැරුණු දවස්වල හැමෝම බනිද්දි
ඒ හඬ අමතක කරන්නේ කොහොමද
තරුණ වියේ අපි සනහපු

නෙයිනගේ සූදුව තමයි
දැක්කේ ඉන් පස්සේ ඒ රංගන
ප්‍රතිභාව , කොමඩි නළුකම
හවස්වල මධුවිතක් සමග
නැවත නැවතත් නරඹන

තාරාවෝ ඉගිලුණු නාට්‍ය
හැන්දෑවක් ඒ කාලේ තිබුණ
අපි හැමෝටම වගේ
නැවත නැවතත් අහපු ඒ සින්දු
සෝභාව දුන් රංග සභාවටම

ගී ගයන්නත් , නටා වයන්නත්
වයා නටන්නත් සිත් සනසන්නත්
හිනා ගස්සන්නත්
මේ හැමදේම හැමෝටම බැරි තැන
බොහෝ දේට සමතෙකු වුනු ඔබ
කවදාවත් නුදුටු ඒත්
හිතට සමීප යයි හිතුනු
චරිතයක් මචං

නැවත ඔය ඇඳෙන්
නැගිටීවි යයි
සහෘදයන් රැසක්
සහෘද ජනතාවක්
තවමත් බලාගෙන
ඉන්නව සහෝ
අමතක නොකරන්

කවිය බලන්න
මෙහෙමයි ගෙවන්නේ කරුමය පින්වතුනේ!

මෙහෙමයි ගෙවන්නේ කරුමය පින්වතුනේ!

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

ගොම්මන් කරේ කලුවර දුවගෙණ ආවත්
පිණිබිඳු පතිත වූ පිපිමල් ඔච්චම් පෑවත්
අහසම කඩාගෙණ මහ පොළවට වැටුණත්
හිමිකරු හොයාගෙණ හිමිදේ එනවාමය සත්තේ

පිළිගන්නට නොමැත කිසිවෙක් එනකං ඉන්න
ආවේ කොයිබටද යන්නේ කොහාටද
ලැබුණොත් කිසිවකින් කුස පුරවා ගන්න
පමණයි ඇත්තෙ දන්නා දහමේ ලෙසට

පෝලිමෙ මුලම අල්ලා ගෙණ විගහට යන්න
මොකටද දගලන්නෙ කවුරුද එනකං ඉන්නේ
පහන් කරන්නේ රැය හීතල පින්නේ
දිවි ගෙවණවා නොව දිවි වියැකී යන්නේ

ඇති දේ නැති අයට පෙරකල නොමදුන් හින්දා
විඳිණා දුකම මදි වන්නට නැතුවම ලැබිලා
මේ අත්භවේ පුරණට පින් නැති හින්දා
එන අත්භවෙත් මේ වගෙ වේවිද මන්දා

ප්‍රංශයේ Marne la Vallée ප්‍රදේශයේ සිට

කවිය බලන්න
අම්මා

අම්මා

චන්දන ෆොන්සේකා ලන්ඩනය

කුස තුළ පිළිසිඳගත්දා
සිට ඇසුනේ ඔබේ කවි
ඔබට නොඇසුනාට අම්මේ
මමත් කිවුවා නෙලුම් කවි
තාත්තා කිව් විරිදු ඇසී
කුස තුලදි රස වින්ඳේ
ලෝ වැඩ සඟරාවේ කවි

හෙළ සිරිතට ජන ගීයට පෙම් බැඳි අම්මා
නර්තනයෙන් ලොව සිව්දිග ජයදද නංවා
උඩරට සිරිතට ඔසරිය ඇඳි අපේ අම්මා
පිච්ච මලින් නිතරම හිස සැරසුව අම්මා

දහස් ගණන් දරු කැලකට නිසි මඟ පෙන්වා
ඔවුනගෙ දියුණුව වෙනුවෙන් සෙත් පැතු අම්මා
මගේ වාගේම සියදහසක් දෙනෙකුගේ අම්මා
නෙල්ලම්පිටිය දයා, ඔබයි මගේ ආදර අම්මා

28/08/2022

කවිය බලන්න
සැරද!  නෙතු හරින්න ඇන්තනී....

සැරද! නෙතු හරින්න ඇන්තනී....

චතුරි වික්‍රමාරච්චි එක්සත් ජනපදය

පනා
සේ
සාහිත රසයෙන්
බඩකට පුරවපු
නුඹ....

පුත්‍ර
යෙකු සේ
ප්‍රේමයෙන්
කලා මවට පෙම් කළ
නුඹ.....

කුහුඹු
වෙකු සේ
කඩිසරව
සිනමාව ජයගත්
නුඹ......

පැණි
සේ
ගයපු ගී මීවිත
රසයි
නුඹ......

එන්න
නැවත
බලා සිටිමු
එනකම්
නුඹ....

යලි
නැගිටින්න
මියුරු තෙපුල්
කියමු
අපී......

සුන්දර
මිනිසා
නුඹයි
පනා පුත්‍ර කුහුඹු පැණී......

කවිය බලන්න
නැඟෙන් ඔය ගිලන් යහනින්

නැඟෙන් ඔය ගිලන් යහනින්

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ගලා යයි කළු ගඟ
ගලින් ගලට පැන
වෙනදා ගැලූ විලස ම
නුඹ කොහි ද දේශාටකය
සොයා සොයා එහි නැමි
සරා කඳු හෙල් මුඳුන්
පටු මං අතුරු මං පසු කර
ලංකලා ඒ සොඳුරු අප ට
පරදු කර නුඹ දිවිය

රඟහල ද කරළිය ද
තුෂ්ණිම්භූත ය
නුඹ ගිලන් ඇඳ බව
උහු නොදනිිිති

මහාවංශය
කනප්පුව මත පෙරැළි
බලා ඉන්නේ
නුඹ එනතුරුයි
අලුත් විවරණ අසන්නට

නැඟෙන ඔය ගිලන් යහනින්
පනාපුත්‍ර ය
අවසන් නොකළ දේ
තවත් බොහො ම ය
නුඹ ම මිස වෙනෙකකුට බැහැ
ඒ කිසිත් නිම කරන්න ට

20-08-22

කවිය බලන්න
Catwalk

Catwalk

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

කවියාගේ කවි සිතුවිලි,.......
ගීයක හඬින් ලඳුන් ගයද්දී
දේදුනු පැහැයෙන් සැරසුණු
ලඳුන් එකට වෙලෙමින්
වේදිකාවෙ රඟන රැඟුම්
මනරම්ය ......

අත්පොලසන් හඬ,....
සිසාරමින් ඇදී යයි .......
මිතුරු ඔබ ලියූ කවි කොළ
සුළඟින් ඈතින් ඈතට,......
පාවී ,.....පාවී ,…..
දෙපතුල් සිප ගත්තේ
අන් සරණක්පතමින්,.........

කලා ලොවෙහි රස හඳුනන
කලාත්මක හදවතක්
මුද්‍රිත මෝස්තරයක් සේ
දෙපා සිපගත් කවි පෙල,.....
සුසිනිඳු සළුවක හැඩ ගන්වා
මැසූ විලාසිතා ඇඳුමකින්
වත සරසාගත් නිරූපිකාවිය
ඔල්වරසන් හඬ මැදින්
Catwalk වේදිකාවෙ
ලාලිත්‍ය ගමනේ,........

මිතුර මා නෙත් පිරවූ තුටු කදුළු
ඔබ වෙනුවෙන් දියත් කර
පෑන් තුඩින් රසිකයන්ට
සෙනෙහසින් පිළිගන්වමින්
ඉදිරිය සතුටින් බලා ඉන්නම්.

14/08/2022

කවිය බලන්න
පනාපුත්‍ර කුහුඹු පැණියා

පනාපුත්‍ර කුහුඹු පැණියා

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

සුමට පවුඩර් නාන නළු මල්
එමට උපදින මේ රටේ...
කුමට උඹ නැති තිරය තිබිලා
ගිනි තියමි කැමරා බටේ...
එමට ප්‍රතිභා රශ්මි විහිදන
කළුද රළු ලක්‌ කොලු කැටේ...
බිමට බැහැපන් ඇඳෙන් ආපහු
හෙනට පාළුයි මුතු ඇටේ...

අපට "ජැක්සන්" කෙනෙක් ඇත
"මයිකල් " නෙවෙයි ඒ ඇන්තනී...
නමට ගැලපෙන රැඟුම :
නෙයිනගෙ හූදුවේ ඇත හිත ඇනී..
එමට ජය සලකුණුය රණ බිම
කුමක්වුව රාවණ වැනී
කුමට "සීසර් " ඩිරෙක්ටර් ලා
නැතුව මෙ "මාක් ඇන්ටනී "

පිනක් වේ නම් අපිත් කළ ඒ
සියල්ලම අරගනු මැනේ
බණක් පිරිතක් ලෙසින් ආසිරි
රටක්‌ උඹ වෙනුවෙනි පණේ
දණක් එරුණත් ඇතෙක් වැවු දිය
සෙමෙන් ඉවුරට එන මෙනේ
පණක් අලුතින් අරං නැටුවොත්
අපිත් කිරිබත් කනවනේ

සුඛී දිඝායුකෝභව!

රසිකයා -
චතුර එම්. විමලරත්න

කවිය බලන්න
මරණය.

මරණය.

චමිලා නවගත්තේගම ලන්ඩනය

උදා වූ හිරු මග නොනැවතී අවරට
ගියා හිමිහිට කොඳුරලා එන රැඟුමට
නිමාවක් නැති මේ අපේ දිවි ගමනට
විඩාවක් දෙන මරණයක් ඇයි සසරට

ධන බල කාමයෙන් පිරිපුන් මිනිසුන්නේ
පන පොව ජීවිතේ හරි මග ලැබගන්නේ
එන යන සසර ගෝලය මෙන් කැරකෙන්නේ
රැවටෙති නිවන මරණින් මතු පතමින්නේ

සිහියෙන් බලන විට ආපස්සට හැරිලා
නෙතඟින් කඳුළු වැටෙනවා ඒ ගැන සිතලා
මරණින් පසුව නෑ නොවැ නිවනක් හිතලා
නුවණින් යුතුව රැස් කර ගමු පිං පතලා

පාවෙන වළාකුළු අතරින් අපි එබිලා
ධාවන ගඟේ ගිලි ගිලි නෑවිවී ඉඳලා
ජීවන ගමන දොර ඇරගෙන පසු කරලා
පේවෙන අපට මරණය ඇත මෙහි ලියලා

නිරුවත පමණි තිබුනේ දරු ඉපදෙද්දී
හැඩවත වසා සළුපිළි හැඳ රඟදෙද්දී
නිළමත බලය සහ ධනයත් හැරයද්දී
දසඅත හමයි දුර්ගන්ධය කුණුවෙද්දී

 

කවිය බලන්න
රටක් හොල්ලන කලා ලොවකට සතුට ගෙන දුන් පිය තුමා

රටක් හොල්ලන කලා ලොවකට සතුට ගෙන දුන් පිය තුමා

චමිලා නවගත්තේගම ලන්ඩනය

කුමක් ලියමිද ඔබේ ගුණ දම්
දනිමි හැම සිත් හිස නමා
රටක් හොල්ලන කලා ලොවකට
සතුට ගෙන දුන් පිය තුමා
පිනක් ඇති අප උගන දැනමට
සසරෙ ආ මග ⁣පෙර සෙමා
නිමක් නැත මට එන්න බැලුමට
නෙතේ කඳු ලැලි ඇත තෙමා

සලා දෙනෙතින් බලා පෙර මග
සැවොම කඳුලැලි සලන්නේ
පලා ගියෙ නැත කිසිම දවසක
අපේ සිත් තුල නැගෙන්නේ
කලා සොලොසින් පිරුණු හදවත්
නුඹේ ගුණ දම් කියන්නේ
ගලා යන මේ ජීවිතේ ගැන
රහස පටැලිල සොයන්නේ

නැගෙන දුක ගැන කියා ගන්නට
අපට බැහැ නොව කවි ගොතා
ලියන අකුරක කඳුළු පමනකි රැදී
ඇත්තේ ඔබ සිතා
කරුණ කිමදැයි කියනු අපහට
එන්න ඉක්මන් කර කතා
සිහින මවමින් ඔබට සුව සෙත
පතමි තෙරුවන මම පතා

කවිය බලන්න
කවිය ජැක්සන්ට

කවිය ජැක්සන්ට

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

වුවත් නළුවන් සියල්ලන් අපි රඟන ජීවිත රඟහලේ
සමත් නොවෙමුය වේදිකාවක රැඟුම් පානට මනලොලේ
ගෙනත් උපතින් වාසනාවක් ඇතොත් දන මන තුටුකළේ
නුඹත් ජැක්සන් ලබා එම පින දිනාගෙන ඇත මනුකුලේ

දිගට අවුරුදු ගණන් නොකඩව ප්‍රථමයා වී දිවයිනේ
ලැබුව සම්මානයන් විතරද ප්‍රේක්ෂක ගඟ දිගුවුනේ
කුමන චරිතය කළත් එයහට පණ පොවාලයි නැවතුනේ
වෙහෙස හින්දද පුංචි කලකට තිරය පිටුපස සැඟවුනේ

දෙසුම හරබර මියුරු වදනින් ගැඹුරු හඬ වැටි සවනතේ
අඩුව දිස්වෙයි නොඉවසිල්ලෙන් සිටිමු අසනට ප්‍රියවෙතේ
නොකර නැවතත් කේවට්ටකම් අගය සුරකිනු හදවතේ
හනික සුවලැබ එන්න හිතවත බලාසිටිනා අපවෙතේ

කවිය බලන්න
නිති කැරකෙන අ⁣ටලෝ දම...!

නිති කැරකෙන අ⁣ටලෝ දම...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

අට ලෝ දම කැරකි කැරකි එන බව පැවසෙනව නිතී...
මට එය තව පසක් වුනේ ඇසුනු දෙයක් ගැනම සිතී...
හෙට අපහට වන දෙය නම් කිසිම කෙනෙක් දන්නෙ නැතී...
විටකදි එය සිදුවන්නේ නියමයකට
වෙන්න ඇතී...

ගං වතුරෙදි පාවී යන කූඹියො ගොදුරක් වෙන්නේ...
තැං තැංවල රැඳීසිටින මාලුන්ටයි
පැවසෙන්නේ...
ඉං කලකට පසු නියඟෙදි එමසුන්
මැරි මැරි යන්නේ...
දැං බැලුවම කූඹින්ගේ කෑමට,
උන් පත්වන්නේ...

කොකාට වාරයක් එද්දි තිත්තයො කලබල වනවා...
එකාට ගොඩ ගොඩ ලැබෙද්දි කොක්කු තුටුව උන් කනවා...
යකාටවත් බය නැතිබව නම් නිතරම පවසනවා...
මොකාට මුත් තිත්තයින්ගෙ
වාරෙත් පසුවට එනවා...

නොබා පවට, සමහරු බෝ අකටයුතුම කම් කෙරුවා...
බබා වෙවී රටේ ලෝකෙ සොඳුරුම සිත් උන් මැරුවා...
ලබා උපන්නත් අප කවුරුත් වන්නට රජ දරුවා...
සොබාදමේ නියමෙන් නම්
ගැලවී යන්නට බැරුවා...

කවිය බලන්න
පියතුමනි පන්සලේ ඇයිද මේ

පියතුමනි පන්සලේ ඇයිද මේ

දයාන් කන්නන්ගර ලන්ඩනය

පන්සලේ පියතුමා
මර්සිලින් ගුරුතුමනි
ඔබෙන් පසු
ඔබව දුටු
මහඇදුරු ඇන්තනී

රාගමෙන් පහළවී
මුලුරටක් වසඟකල
සුවහසක් දනන්ගේ
හදවත්හි කිඳාබැස
දෙසවනට දෙනුවනට
අමාරස පැන් පෙවූ
දැනුම සන්නද්ධ කල
අපේ කල වීරයා
සුවපත්ව යළි එන්න

පන්සලෙන් තිලිණවූ
නමට ඉහලින් සපිරි
ගරු නම්බු බොහෝඇති
යතිවරුන් පරදවා
දහම් දැනුමින් ඉහල
පන්සලේ පියතුමනි
සුවපත්ව යලි එන්න

සියලු විෂයන් අරා
ඉහල දැනුමක් කරා
ජීවිතය මෙහෙයවූ
විශ්ව පුත්‍රයෙක්වන්
ජැකී ඔබ එනතුරා
මුළුරටම ඇත බලා

ගඟ දිගේ සෙමින් බැස
පුංචි වී කුඹුරටම
සීරුවට ඇවිදවිත්
අප අතර සිටගන්න

මහා වෘක්‌ෂයක් වන්
අපසැමට දැනුම්දුන්
වීරයාණනි අපේ
අවදිවී ඉක්මනින්
සිටගන්න අප ලඟින්

වනයටම පෙම් බැන්ඳ
ඔබේ අත පය බින්ඳ
ගිජිඳාව පරදමින්
ජව බලය පතුරමින්
ඇත් රජුනි සද්දන්ත
නැගීසිට මහ හඩින්
පතුරුවනු කුන්චනඳ

කවිය බලන්න
හමුනොවූ  ප්‍රේමය .....

හමුනොවූ ප්‍රේමය .....

දීපා ද සිල්වා ලන්ඩනය

නෙත් කෙවනි රිදෙනා තුරාවට
මග බැලූවද කල්පයක්
බලා ගන්නට නොහැකි වුවා
වත කමල එක අල්පයක්
දිලෙන්නට මං විවර කෙරුවද
එයම විය මහ සාපයක්
එකට නුබ කුස රැදෙනු බැරි විය
කරපු හින්දා පාපයක්

තනි හිතේ පාළුව මකන්නට
කව්රුත්ම ලග නැති වුවත්
නුබට සැනසුම සදන කැළ ගැන
නැතේ බිදුවක සෝකයක්
වලා අතරින් හොරෙන් සැගවී
එබෙනවලු රෑ එලි කරන්
අනේ ඉන්නට ඇහැකි නම්
නිදි නැතිව ඉන්නව වරු ගණන්

කිසිම දා හමු නොවුණු
පෙම් සිත් තිබුන ලූ පෙර දී පවා
සෙනෙහසේ කවි කතන්දර
ඇත මුව මතට වී ගොළු වෙලා
එකිනෙකා මුණ ගැසුම වලකන
දෛවයක් ලියලා තියා
සොබා දම අප මැවූ ප්‍රේමය
නොසිතාම උදුරන් ගියා

කවිය බලන්න
ඔබට සතුරන් නොමැති නම් .....

ඔබට සතුරන් නොමැති නම් .....

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

ඔබට සතුරන් නොමැති නම් .....

චාල්ස් මැක් කේ (1814 – 1889) ඉංගිරිසි කිවිඳුන්ගේ පැදි පෙළක පරිවර්තනයකි

නැතැයි ඔබට සතුරු අයකු, කියයි ද ඔබ මගේ මිතුර

කණගාටුයි කියන්න එය, හරි දිළිඳුයි ඔබේ වහර

නිබයව කළෙ නම් ඔබ තම රාජකාරි නොකර පැහැර

නියතයි ඔබ ඇතිකරගෙන තිබෙනු සතුරු, දනන් අතර

සතුරන් නැති ඔබ කිසිවිට කර නැහැ වැදගත් මෙහෙයක්

දී නැහැ ඔබ පාවාදෙන කෙනෙකුට සැර පා පහරක්

නැහැ ඔබ එළි කර බොරුවක්, නිවැරදි කර කිසි වරදක්

වංක නිවටයෙකි ඔබ සටනෙදි පසුබැසි, නැහැ සැකයක් ....!

කවිය බලන්න
සිංහයට පණ දෙන්න...

සිංහයට පණ දෙන්න...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ආලෝක තල මතට
වේදිකාවෙන් නැගෙන
හිරු වගේ කාලයක්
ඒ දුන්නු ජවයෙන්ම

හෙළයන්ට මාවතව
නැගෙන්නට හඬක් වූ
වියත් තෙද හඬ අපේ
සවනතේ නදවන්න

හිරු ඉපදෙනා දෙරණ
මතට හුරු රැඟුමෙන්ම
සිංහයට පණ දෙන්න
කුළක් වී යළි නැගිටින්න...

කවිය බලන්න
නින්ද

නින්ද

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

තට්ටු කර මා උරයට
යහන වෙත මා
රැගෙන යා යුතුම බව
කියන්නීය, නින්ද

කියවා නිමා කර
පොතේ මේ පරිච්ජේදයත්
ඈ සමග පැමිණෙන බව
එවිට ඈට රිසි දේ ලැබෙන බව
කියන්නෙමි ඇයට මම

නොඉවසුම් ය ඇය
කරදර කරමින් මට
මගේ අවධානය ඉල්ලමිනි

මගේ පොත් ගැන
ඉරිසියාවෙන් විය යුතුය ඇය

මගේ ඔසු තේ බඳුනට
මත් බෙහෙතක් මුසු කර
නින්ද මා නතුකර ගනී

පාන්දර තුනට අවදි වෙමි
ඈ යළිත් මා තනිකර ගොසිනි
මා කියවමින් උන් පොත
විසිකර දමා ඇත බිම
විදුලි පහන නිවා දමන්නටවත්
ඈ මහන්සිවී නැති හැටි!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Sleep’ by Ed Werstein
Link to the original poem - https://www.yourdailypoem.com/listpoem.jsp?poem_id=876
Poet’s bio- https://www.yourdailypoem.com
Ed Werstein ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ වෙසෙන කවියෙකි. සාහිත්‍යයට සම්බන්ධ නැති විවිධ රැකියාවල යෙදී සිටි ඔහු කාව්‍යකරණයට යොමු වී ඇත්තේ හැට වෙනි වියේදී ය.

කවිය බලන්න
පාසල

පාසල

හිල්මි සුපුන් ඉතාලිය

Vanna Cercenà නම් ඉතාලියානු ලේඛිකාව විසින් 2012 නිකුත් කරනු ලැබූ I bambini nascono per essere felici ළමා කාව්‍ය සංග්‍රහයේ කවියකි. ගුරුවරියක් ලෙස කෙටි කලක්ද ,සේවය කර ලේඛිකාවක් වන ඇය ඉලියේ ජීවත්වෙන විදේශීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක් ගත කරමින් ඔවුන්ව අධ්‍යාපනයට යොමු කිරීමට ඇප කැප වූ තැනැත්තියකි. 1935 ෆිරෙන්සි නගරයේ උපත ලබන Vanna Cercenà ෆිරෙන්සි විශ්ව විද්‍යාලයේ මධ්‍යකාලීන ඉතිහාසය පිළිබඳ උපාධිධාරිනියකි . මේ වන විට ඇය විවිධ ග්‍රන්ථ 28ක් පමණ රචනා කර ඇති අතර ඒවා බොහොමයක් ම දරුවන් වෙනුවෙන් කළ නිර්මාණ වීම වැදගත් වෙනවා. එපමණක්ද නොව අන්තර් සංස්කෘතික ධ්‍යාපනය පිළිබඳව වඩා උනන්දුවක් දක්වන ඇය නීතිය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකීම වෙනුවෙන් කැපවීමක් ද කරයි.

පාසල

ඉතා වැදගත් නිවසක් තිබේ .
එය ඇත්තේ බොහෝ දුරින්ය
රජවරුන්ගේ මාලිගා වලින්,
අහංකාර හමුදාවන්ගෙන්,
බලවන්තයන්ගේ නිවෙස් වලට දුරින් :
එය දැනුමේ නිවසයි.
එය බලවතුන්ගේ තැනක් නොවේ
බලවත් නායකයන්,
රජවරුන් හෝ ජනාධිපතිවරුන්
බුට් දමාගත් කඩු අමෝරන
ජෙනරාල්වරුන් සඳහා ද නොවේ.
ලොකු අයගේ සිට කුඩාම දරුවා ද
ඉගනගන්නා නිවසයි.
ඉගෙනීමේ අයිතිය
තාහුරු කළ යුතු නිවසයි.

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

කවිය බලන්න
මිහි මඬලේ අවනඩුව

මිහි මඬලේ අවනඩුව

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

හෙමි හෙමින් නුඹ පා තබා ගිය මගේ ළය මත පිය සටහන් ඇති...
නුඹේ පපුවට හුස්ම දුන් තුරු වැල් පවා තවමත් ඇති...
කුසට අහරක් නොමැති කලටත් මගේ පළවැල මම දුනි...
මමයි මිහිමව නුඹව ඉපැදූ මාව රැකපන් දරුවනී....

මගේ රුහිරෙන් නුඹව තැනුවේ කිසිත් ලැබ ගන්නට නොවේ...
නුඹේ හද ගැස්මෙකින් පමණකි මගේ හදවත සැනසුනේ...
නික්මුණත් අද මවුන් වනසා දෙපාවුන් සිවුපා ලෙසේ....
කිසිම අහිතක් මගේ නෑ තව නුඹව සුරකිමි පුත මගෙ කුසේ ...

නුඹේ අතපය හයිය කාලෙට මාව තැලුපෙළුවත් අනේ ...
මවුන් නැසු කල කවර දිනෙකද මෙලොව දරුවන් රජ වුනේ....
දිනක් වේ යම් නඩුත් අසනා මවුන් වෙනුවෙන් මේ ලොවේ....
මෙනෙහි කරපන් එවන් මොහොතක මේ සොබා දහමත් මගේ අතේ.....

28-07-22

කවිය බලන්න
ඒ නුඹයි සවියට සිටී...

ඒ නුඹයි සවියට සිටී...

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

පුරා අහස් ගැබ අරා උසට නැඟි
පතාකයකු සේ හිස ඔසවා සිටි
සෙනේහයේ ම සුළඟ දරා නිති
අපේ හිසට සෙවනැලි සැදුවා
කඳුළ-සුසුම-සන්තාපය හමුවේ
ගල්කුළ සේ නොසැළී සිටියා
අකලට වියැකුණු අතැ`ඟිලි නියමල්
පොළොව බදා සිඹිමින් හැඬුවා ..
බලයෙන් උඩඟු ව උමතු ව දළරළ
නැඟුණත් අප දිවි ගැඹරේ ඉඳහිට

දසැඟිලි දළු නිල් අහසට පැන පැන
ඩහදිය පිස්සේ සිසිල දෙවන්නට...
නුඹ අත් හැරියත් නියමල් මුකුළිත
තව ගෙන දුන්නේ නෙක මල් විස්මිත
අහස හඬන විට හිනැහුණු වත දෙස
සිටියෙමි දල්වා හැර නෙතුකැණ් යුග...
පිපාසිත ව මිහිමව් හඬනා සඳ
මතකයි ඒ වත මැළැවුණු අන්දම
දරා සිටියෙ අපෙ දිවිබර එක්ක ම
පුරුදු ලෙසින් දී සතුට සැනසුම ද...
හිරුමල ගිනියම් වී සරතැස දුනි
සඳවත ඒ තැස සිසිල් කළේ නිති
උරණ වෙලා නොදොඩා හිටිවන හිඳ
අත දුන්නේ ඉගෙනුමට වෙන්න ඇති...
වෙසෙසින් වෙ ද මට නුඹත් පියා වැනි
මගෙ දිවි සරු කරමින් සවියට සිටි!

2022.09.01

කවිය බලන්න
දිනූ සක්වල මමයි

දිනූ සක්වල මමයි

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

"පතව්‍යා ඒක රාජේන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධි පච්චේන
සෝතාපත්ති ඵලං වරං."

මුලු පෘථිවි රාජ්‍යය හිමි කිරුළ මට එපා
දිව බොජුන් දිව සලුද දිව කුමරියක් එපා
සියලු ලොව සක්විති ව රජ සැපය මට එපා
සිවු අපා ජය ලදොත් ඒ සැපද මට එපා.

කාල සිටු පුතේ නූඹ දිනූ සක්වල මමයි
දහම් බිඳ මහ සතාණෝ නුඹට දෙසු දැයයි
මහ සිටාණෝ නුඹෙන් පැතු නිධානය මෙයයි
රනින් දිලි කහවණු වෙ අගේ සිඳුනා දැනෙයි

මඟ සතර ඵල අතර ළදරු විය නිමා කර
නයින් දහසකින් ක්ෂණයකින් ප්‍රතිමඬිති කර
දහම පෙළ ගසා දුන් මගෙ පියා සෑසිකර
කාල පුතු වැඳ වැටුණි සිටාණෝ පෙරටුකර.

අනේපිඬු සිටුතුමා ගේ පුත් කාල සිටුතුමා ධර්මයට නැඹුරු කිරීමේ අදහසින් පියතුමා විසින් තම පුතා බුදු රජාණන් වහන්සේ වෙත පමුණුවා යම් ධර්ම කරුණක් ඉගෙන ගෙන එන වතාවක් පාසා රන් කහවණුව බැගින් දීමට පොරොන්දු කරගෙන තිබී ඇත. පුරුද්දක් වශයෙන් කරගෙන ආ මෙම ක්‍රියාවලියේ කූට ප්‍රාප්තිය සිදු වූ දින කාල සිටුතුමා ධර්මය ඉගෙනීමට පැමිණි වෙලාවේ බුදු රජාණන් වහන්සේ බුදු නුවණින් දුටුවේ එදින කාල සිටුතුමා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නා බවය. මුලින් දුටු මේ කාරණය මත බුදු රජාණන් වහන්සේ අධිෂ්ඨාන කර ඇත්තේ ඉගෙන ගන්නා ධර්ම කරුණු සිටුපුතාට මතක සිටින නොවන ලෙසයි. කහවණුව ට ලොල් වී සිටි එතුමා ධර්මය මතක තබා ගැනීමට දැරූ අධික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ව අවබෝධය ලබා ගැනීම නිසා සෝතාපන්න වූ පසු අනේපිඬු සිටුතුමා ගේ නිවසට වැඩම කර දන් වැළඳීමෙන් අනතුරුව සෝතාපත්ති ඵලයේ වටිනාකමේ මහිම දැණුම් දීමට දේශනා කරන ලද ගාථාවයි.

කවිය බලන්න
ජැක්සන් ඇන්තනි

ජැක්සන් ඇන්තනි

කුමාරි විජයරත්න ලන්ඩනය

සිංහය වෙලා පැය දෙකකට කලියෙන්
ගිජිඳෙකු ළඟ වැටුනේ ඇයි ඔබ මෙලෙසින්
රස මතකයන් ඔබ ගැන ඇන්තනි ජැක්සන්
නොමැකී තිබේ, පතනෙමි සුවයක් ඉක්මන්

දැනුමද හැකියාව එක විදිහට තිබුණා
කලා ලොවේ මුල් පිටුවේ ඔබ රැඳුනා
පුවත අසා හදවත හරියට රිදුනා
දෙවියන් බුදුන් ළඟ ඔබ වෙනුවෙන් වැටුනා !

කවිය බලන්න
සුවපත් වන්න ජැක්සන් එම පිං රැගෙන

සුවපත් වන්න ජැක්සන් එම පිං රැගෙන

කුසලඥාන දෑරංගල එක්සත් ජනපදය

මැදහත් සිතින් බුදු මැදුරක වැඩ හිඳින
සිදුහත් ගොයුන් හිමි වෙනුවෙන් මල් පුදන
දහසක් දෙනා එක් වී ඔබ ගැන සිතන
සුවපත් වන්න ජැක්සන් එම පිං රැගෙන

කවිය බලන්න
නැතිවූ සිහිය සැඟවුනු තැන දනීනම්

නැතිවූ සිහිය සැඟවුනු තැන දනීනම්

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

හස්ති රාජයෙකි ජැක්සන් කලා ලොවේ
හස්ති රජෙකි ඔහුගේ මග හරස් කලේ
රැස්ව සැවොම එක්වී වැද නිරන්තරේ
සක්‍ර දෙවි පිහිට පතමුද උදේ රැයේ

මැනිකේ පලිඟු අරගෙන වට්ටියක් අතේ
නෙලමුද මල් ගොඩක් දුව දුව තැනින් තැනේ
ගොතමුද මාලයක් අමුනා හෙමින් සැරේ
වෙමුද බාරයක් දෙවිඳුට පතා සුවේ

නැතිවූ සිහිය සැඟවුනු ලෙන දනීනම්
සිංහබාහු මෙන් සවියක් තිබේනම්
ලෙන් දොර කඩාලා මහ වෙර දරා මම්
ඔබට සිහිය දෙමි හදතුල මවා පෙම්

කවිය බලන්න
දෑස් මුහුද

දෑස් මුහුද

ලලිත් ද සිල්වා නුගේගොඩ

දෑස් මුහුදේ ගැඹුරු පතුලේ
කිමිදි ......කිමිදී ....ඔබව සෙව්වෙමි

දුරින් බැලුවෙමි
ළඟින් බැලුවෙමි
එබී බැලුවෙමි
ඔබේ දෑසට .......

අඳුරු කරුවල දුං කවුළු බඳු
ඔබේ දෑසින් ඔබව සෙව්වෙමි
දෑස් මුහුදේ
කිමිදි ......කිමිදී ....ඔබව සෙව්වෙමි
ඔබ සොයන්නෙමි

ඔබේ දෑසේ ගැඹුරු පතුලින්
දිනෙක හමුවුණි මගේ හදවත

(ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් )

කවිය බලන්න
මනස්තාප...!!

මනස්තාප...!!

ලලනී ගීකියනගේ රත්නපුර

පිනි පොද වැටෙන දිය බිඳිතක සිහිලසක...!
මොර සූරන මහා වැස්සක හිරිකඩක...!
වැහි පිරිතක පහස ලද පැන් කෙන්ඩියක..!
සළු පිළි ඇන්දුවා සරසා අගු පිලක........!,

යටි හිත හිරි වැටී කඳුලින් නෙත පිරුනා...!
ඇති පමණටම සේදී කම්මුල් තෙමුනා...!
ඉටි මලකට බඹර සර විහිදී තිබුනා....!
කඩුපුල් මලට රෑ තුන්යම සිත රිදුනා...!

ගව් සිය ගව් දුරක ගෙව් දෙපයම රිදුනා..!
තුන් තිස්පැයේ නිදිවරමින් නෙත තෙමුනා...!
සීතල රැයක උණුහුම උදුරා හමනා.....!.
නිල් විල් තෙරක ඉම මදනල රළ බිඳිනා ...!

2022.08.20

කවිය බලන්න
නැගිටපන් ජැක්සන්

නැගිටපන් ජැක්සන්

ලතා ද සිල්වා මෙල්බර්න්

බොහෝ දේ ඇත නුඹට - කරන්නට ඉතිරිවී
ලියා දැන්වූ වදන් - කරලියට නගන්නට
රසික කැල බලන් ඇත
නුඹ පිය නගන තුරු - කරළියේ රඟන තුරු
සුබ පැතුම් ගීතිකා - මුව මුවග නැගී යයි
රසිකයන් සියලු දෙන - මග බලාන හිඳින්නේ
ආදරයෙන් පිළිගන්න
වෙරගනින් - දිරිගනින්
යන්න අප හා එක්ව

කවිය බලන්න
කුසුමී

කුසුමී

ලාල් හෑගොඩ  

ගමේ ගැටව් කීවේ
ඒකිගෙ මුහුණ
හඳ වාගෙයි මචං

ගමේ මහලු තාත්තා කෙනෙක්
ඉදලද අතින් අල්ලාගෙන
වැට ළඟ රැඳී සිටියි
සමීප රූපයක් ගන්නට වාගේය
"ආ චන්ද්‍රාවතී"
සිනාවකින් ද අමතයි

නෑ සීයේ ඒ කුසුමක්කා
ටීක් බෝල ගසමින් සිටි
පොඩ්ඩෝ කෑ ගසති

කව්රුන්ද රාහු
සඳ සොරකම් කළේ
මගේ පැනයකි
ඉරිසියාවද කෝපයද මුසු වූ

මම හිටියේ මේ පැත්තේ
දෙරණට එහායින් පියසිරි
කුසුමාගේ මුහුණම බලාගෙන
පහත් වී පිස දමයි යම් කුණක්
මල් පොකුරේ මැස්සෙක්
අම්මා ගේ
පෙඟුණු ඇසිපිය කෝපය ද රවිල්ල ද මැද
කුමන ස්පර්ශයක්ද
අත් මේස් දැමූ සුදු

සඳක් නොවී
කුසුමක් උනානම් කුසුමා
මලක්මය කිනිහිරියා

පැහැයද මතුපිට සියුමද
වැසී ඇත මිණී සාප්පුවේ පවුඩර් වලින්
වැසී ඇත අතීත සිපගැනීම්
සිතත් විනිවිද යාමට
කිසිත් වෑයමක් නොගනී

නෙත කුසුමාගෙන්
ඉවතට ගත්විට
පියසිරියා මා දෙස බලාගෙනය
ගිනි පෙනෙල්ලක් මුහුණේ වැදුනා වාගේය

කවිය බලන්න
ගිලන් ඇඳෙන් බැස එනු හනිකට සොහොයුරුනේ

ගිලන් ඇඳෙන් බැස එනු හනිකට සොහොයුරුනේ

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

ගිලන් ඇඳට හුරුවෙන්නට මටත් ලැබුන සමයේ
කලා ලොවේ වීර ඔබත් ගිලන්‍ ව අද ඉන්නේ
රැගුන් මතක් වෙනව ඔබගෙ තුරුණු වියේ අරුමේ
ගිලන් අපව සුව කරන්න ඒ මතකය ඇතිනේ?

සිංහ රාජ චරිතය මැවි මැවී එනව සිහිනේ
චතුර කතා විරිඳු ගැයුම පාවෙන උඩු ගුවනේ
ඩ්‍රෝන යන්ත්‍ර යක් යවලා ගෙන්න ගන්න සිතුනේ
කරුමෙ ගෙවී යනු ඇත ඉක්මනින් සිහිය එමිනේ!

ගලන ගඟද තුරුලිය වැල් සුව පැතුමට නැමුනේ
ඔබේ අඩුව සකල ජීව කැලටම නිති දැනුනේ
ජැක්සන් ඇන්තනි සොයුරට නිරෝගි සුව ලැබුනේ
ගිලන් ඇඳෙන් බැස එනු හනිකට, සොහොයුරුනේ!!

කවිය බලන්න
ජැක්සන් මහතාට ඉක්මන් සුව පතමු!!!!!

ජැක්සන් මහතාට ඉක්මන් සුව පතමු!!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

ඉදිරිය අපහැදිලියි....

වලාකුළු වලින් පිරී ගොසින්

මීදුම දසතම වසාගෙන......

ඒත් සුර්යයා හෙටත් පායන බව

ස්තිරයි.

එය අනුමාන නොකරන්න.

ටික වෙලාවකට සුළඟක් ඒවී

වර්ෂාවකුත් ඇද හැලේවී......

කුණාටුවක් වුවද ඇතිවිය හැක.

ඒත් අමතක නොකරන්න.....

සත්‍ය ලෙසටම හිරු

රශ්මි දහරා විහිදුවමින්

හෙටත් නැගෙනහිර අඹරේ දිදුලනවාමයි!!!!

ඔබතුමාට ඉක්මන් සුව!!!!

අගෝස්තු 2022

කවිය බලන්න
තව්තිසාවට හරි ළඟයි

තව්තිසාවට හරි ළඟයි

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

උතුරු කුරු දිවයිනට
අදත් හිරු වඩිනවා
තව්තිසා පුරවරට
හරි ළඟයි හිතෙනවා

කාක වසුරෙන් ඉපදි
කප් රුකක් තියෙනවා
නේක ඉසුරෙන් සපිරි
උන් තුටින් නටනවා

තණ බුදින සුරබිදෙන
ඔහේ සැරි සරනවා
පරපුරෙන් පැවත එන
අය රජුන් තනනවා

මාතලී හිමි කරන්
තෙල් උනන උල්පතක්
බූලීයෙන් තෙල් බෙදයි
ලැබ විලස සිතුමිණක්

ඇහැරි පරසතු මලුත්
පරනොවී තියෙනවා
ඉඳුණු ඵල ඇති නදුන්
උයන කුස නිවනවා

අරලියා ගහක් යට
පඬු අසුන පෙනෙනවා
හීතලට ගල්වෙලා
එතන හිම මිදෙනවා

වයිම ඇවිදින් තවත්
මිලත් අඩුකරනවා
සක්‍රයා වයස මුත්
තව බලය තියෙනවා

xxxxxxxxxxxxx

අහෝ සිරිලක් බිමට
මෙන්න හිරු නගිනවා
ඇහැරෙන්න ඇහැරෙන්න
එළාමය කියනවා

කවිය බලන්න
ඌර තැලුවලු කැකුණ

ඌර තැලුවලු කැකුණ

මයුරි කොඩිකාර ගම්පහ

ඌර තැලුවලු කැකුණ

දිරච්ච පොල්අතු වහලෙ අස්සෙන්
ඉරත් හෙමිහිට හිනැහෙච්චි
වරිච්චි ගැලවුනු බිත්ති මත්තෙන්
පිණිත් මැටිවල දියවෙච්චි
දැවිච්ච අළුමැද හුඹස් මැට්ටත්
ගලුත් අතහැර සැඟවෙච්චි
ඇලිච්ච ගොමවල සුවඳ මැද්දෙන්
පොළොවෙ දෙදරුම් මතුවෙච්චි

අල්ලෙ දැවටුන සීනි ඇටටික
දවස ගනනෙම හිඟවෙච්චි
වික්කෙ ටිකටික ඇස පියාගෙන
බිස්ස රහසෙම හිස්වෙච්චි
මැල්ල කරකොල ඇල්ලෙ සහලට
සින්න වනවිට හැඬවෙච්චි
බැල්ම නොහෙලම කන්දෙ දෙවියොත්
හෙනහුරා ලඟ නැවතිච්චි

දූලි වැලි මැද බිංකුණ්ඩො හැඩ
නැටුම යසටම රඟදෙච්චි
ඈඬියාවට බළල් පොරයක
කුණාටුවකුදු ලඟවෙච්චි
දෑසෙ ගැටුනෙම පොල්කිච්ච
මුලු දවස කුම්මැහි කමවෙච්චි
ඌර තැලුවද කැකුණ ජයටම
මගුල කුකුලගෙ රජවෙච්චි

කවිය බලන්න
නැඟිටින් යළිත් යන්නට

නැඟිටින් යළිත් යන්නට " කළු ගඟ දිගේ "

මොනිකා නානායක්කාර බණ්ඩාරගම

දනා මනට දී රසයන් නෙක විලස
ගෙනා කුහුඹු පැණියාණනි පෙර දවස
සිනා නොමැත අද කඳුළුය හැම නිවස
පනා පුත්‍ර නැඟිටින් එළි කොට රහස

උපතින් ගෙනා දස්කම් එක්කොට රඟලා
පුංචි ,රිදී තිර වේදිකා ඔප කරලා
මහ වංශයම ගෙන හැර දැනුමත් බෙදලා
පෙර කළ කුසල් බලයෙන් හැම සිත් දිනලා

දරු තිදෙනෙකුට හා බිරිඳට සෙනෙහෙ පුදා
සොහොයුරු පෙමත් හදවත තුළ රැකී සදා
දෙස් පාලකයො හා තම නැණ ගතී බෙදා
දින දින පුර සඳක් ලෙස නුඹ වැඩී සොඳා

බුදු හිමි දෙසු විලස පෙර අඅකුසල හින්දා
නුඹ හට මෙදා ඇති විද කරදර නින්දා
සැම දන නිදුක් වන්නට සෙත් කවි බන්දා
ආසිරි ගෙනෙයි හදවත් තුළ මෙත රන්දා

සෙනෙහස පුදා පරිසරයට පණ වගේ
සිහබා කෙලෙස හැපුණිද හස්තිගෙ ඇඟේ
සිහිවන විට පෑ රැඟුම් කඳුළක් නැඟේ
නැඟිටින් යළිත් යන්නට " කළු ගඟ දිගේ"

කවිය බලන්න
- ශාපය -

- ශාපය -

මාලගිරවියක් ඇවිත් ඉල්ලයි උඹලගෙන් පියාපත්

මතකද තොපි කැපුවා ගමේ එක්කන් ගිහින් ඒ පියාපත්

නවත්තපන් දැන්වත් සිංහලේ නළලේ කොටාගත්

දණ ගහගෙන යාච්ඤා කරපන් අන්තිම මනුසතාටත්

දර්ශනය තර්කනය උඹලගෙන් ගිලිහුනු ඒ මන්තරය

පුච්චලා දාපන් බොරු දොඩවන වත-පොත් පත්තරය

නවත්තපන් ගන්න එක පොඩිඋන්ගෙන් චක්කරය

මතක් කරලා හදා ගනින් ඥානක්කගෙ යන්තරය

සේයා එස් විත්‍යා බලාගෙන තොපි දිහා හැමදාමත්

කොහොමද තොපි කලේ ඒ අමනුස්ස වතාවත්

ශාසනයට පුදනා මහා කිරිපිඩු පූජාවත්

අමතක කලා කඳුළු වලින් බඩ පුරවන මිථ්‍යාවත්

කපු කැටුවා ඉදගෙන තම්ඹපන්ණී කුවේණිය

අවුකන දාගැබ් වාරි අපෙන් ගිලිහුනු ඒ ප්‍රවේණිය

බලන් ඉඳපන් කට ඇරගෙන එනකන් ඊළඟ අහේනිය

සිවුරක් අස්සෙන් මතුවෙයි සුංගු පිදේනිය

මහමඟ අළුවුනු සුන්දර ජීවිත

වරද කුමද උන් වීමද දමිළ

හූමිතෙල් හලපු කඩේ තී වසලිය

අගහනින් මරපු හැටි ඒ දොස්තර යුවලය

ඉන්නව අදටත් සාක්ෂිය ස්න්නස්ගලය

තම ගෙළ සිදගත් පීතෲ සෙනෙහස

මතකද තොපි වටවෙලා දල්වන් මදහස

එකෙක් හිටියෙ නෑ අරන් යන්න ගිලන්හලට

සීයක් හිටියා අල්ලන් උන්ගෙ ජංගම පෙළට

මුණි ගුණ වයනා රටක් ගැන පෙමට

දැන් වෙලා උපාසක උඹලම ඇමට

කවිය බලන්න
කලා කෙත බහුශ්‍රැත

කලා කෙත බහුශ්‍රැත

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

ගොර බිරම් සසර දිගු, සරණ අපි බෝසතුන්.
කුහුඹුවකු, ගැඩවිලකු, වත් වේද නෑ නොවූ?
‘බුදුන්ගේ නෑයෙක්ය ඒ ඇත්තො’ කියූ ඔහු,
මුසාවක් නොකී බව දනිත් හැම නුවනැත්තු.

දැයට දැක්වූ බැතින්, කී වදන් බෝ පෙමින්,
කුමට ගරහනු ඔහුට, දැක වරද කළ අනුන්?

සරා සද හැර ගොස්ය, දෙව් අමර නික්මුණිය,
ලෙස්ටර් යලි නො එන්නෙය, චිත්‍රසේනද නැතිය.
ඒ සියළු හිස් අසුන් පුර වන්න සිටි පුතුන්,
ජැක්සන්‍ ය බහුශ්‍රැත, හෙළ කලා වට උපන්.

දෙඇස් හැර බලන් යලි, ලක් මවගෙ ගරු පුතුන්,
අප හැමගෙ පින් බෙළෙන්, නැවත හුස්මක් හෙලන්.

6 අගෝස්තු 2022

කවිය බලන්න
සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් ආයු බෝ වේවා!

සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් ආයු බෝ වේවා!

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

දාහය කඳුළ නොසිතා ඇදෙමින් දිවෙන
මහවැලි වගෙයි කාගෙත් සරතැස නිවන
සිරිලක් මවගේ හිස මුදුනේ අග දුලන
මට නම් සිතෙන්නේ ඔහු මැණිකකි වටින

ගඟ දිය බෙදී යන හැටි කියනා තාල
කවියක් වගෙයි හිත පුරවාලයි ආල
ගංගා දිගේ කරමින් තරණය කාල
ඔබ වැනි උතුමෙකුට මදි මැයි මල් මාල

ඊතල වගේ උකහා ගෙන දැනීම
වීරිය ලදිමි ඉතිහාසය සෙවීම
නීරස ගිලන් සයනෙක අද හිඳීම
සාධාරණ ද අප කඳුලක හෙලීම

දෑස පියාගත් කල මැවෙනා බැතිනී
පෑන පවා අද කඳුලින් බව දැනුණී
නෑර පිටක් ගානේ බැලුමට යෙදුණී
වීර පොතකි නුඹ, නිමි නැති යැයි හැඟුණී

මිනිසුන් හිස් වචන කටමැත දෙඩුවාට
හිස් කම් ගැන දුකක් හිත හට ගැනුනාට
ජැක්සන් දෑස් හැර ලොව බලනා දාට
මදහසකින්ම පිළිතුරුදෙයි ඒවාට

දහමට අපේ සිත බරවන වැඩි හින්දා
අහකට දමා අපහස සියලුම නින්දා
පහනට තෙල් බිඳක් අද හවසත් රන්දා
ඔබගේ දෙපා ඇස් වහගෙන මම වැන්දා

25/08/2022

කවිය බලන්න
සොබා අසිරිය දකින අන්දම

සොබා අසිරිය දකින අන්දම

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

සොබා අසිරිය දකින අන්දම
කිව හැකිද වදනින් දෙකින්
පාන්දර හිමිදිරි උදේ
දුන්න අරගන්නට කලින්

දුරින් සැලෙනා තුරු වළල්ලේ
රෑන සියොතුන් කලබලයි
ලා හිරු කිරණ වැටෙන හන්දා
මීදුමෙන් මනසද පිනයි

මිතුරු සඳ තේරුම් නොගත්
දේ කුමක්දැයි වැටහුනත්
හිතේ මතු වෙන කරුණු හන්දා
මාන ගන්නට අසීරුයි

තුරු මුදුන සක්සුදක් සේ
ඉලක්කයමයි පෙනෙන්නේ
හිතේ සැකයක් නොමැති හන්දා
විද බලන්නයි හදන්නේ

කවිය බලන්න
සිහිනයක මල් පිබිදිලා..........

සිහිනයක මල් පිබිදිලා..........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

සිහිනයක මල් පිබිදිලා
මල් වසන්තය ඇගෙ ලංවෙලා
නව දිවියකට දොරටු විවරව
දියණි පති කුලයට වඩී.

පුංචි සමනළියක් වගේ නුඹ
මව් තුරුලෙ සිටි කාලයේ
පියවර තබා ටික ටික ලොවේ
මල් පිපිණි මා පිය පපු තුරේ.

නෙතින් කඳුලැළි සැඟ වුවත්
හදෙහි සිතිවිලි නැවතුනත්
වසන්තයෙ මල් සුපිපුණත්
දියණි හද තුල නැහැ වෙනස්.

කවිය බලන්න
නීතියේ දෙවඟන හඬයි....

නීතියේ දෙවඟන හඬයි....

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

"නීතියේ දෙවඟන" උනත් අද
දෑස බැඳ, ගෙන අතින් කගදා...
මමත් අම්මා කෙනෙක්, බිහිකළ,
දියණියන් තුන් දෙනෙක් පෙරදා...
පොතක නීතිය හදවතේ බර
තරාදිය පරදවපු හින්දා...
කඩුව පසෙකින් තබා, නෙත් බැඳි
රෙදිපටිය තද නොකර බැන්දා...

කිසාගෝතමියකට පෙම් බැඳ
තාත්තා නික්මුණු හෙයින්...
නේරංජනා ගං දෑල ඉකිගසනවා ඇසුනා මට හෙමින්...
"අම්මාගෙ ලඟ ඉන්න ආසයි"
කියා නුඹ හරි හුරතලෙන්...
"තාත්තත්,අපි එක්ක එනවද"
ඇහුවෙ ඇයි දැයි මට කියන්...

ගෘෂා, ට ජය ලබා දී මම
එදා නීතිය සපථ කෙරුවා...
නීතියට ඉඩ දී අදත් මම
තරාදිය කෙලෙසින් ද බැලුවා...
දෑස බැඳි කඩතිර වලින්
හදවතේ නෙත් බැඳ තබනු බැරුවා....
මට සමාවක් දියන් මගෙ පොඩි දුවේ,
මම රෑ හොරෙන් හැඬුවා....

කවිය බලන්න
ඉක්මන් සුවය පතනෙමි මා පිය සබඳ

ඉක්මන් සුවය පතනෙමි මා පිය සබඳ

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ගනඳුර මැදින් වන මැද බිහිසුණු මොහොත
සද්දන්තයකු හමුවූ දුක්බර පුවත
රිය අනතුරෙන් ඔබහට අත්වූ විපත
ඇත් රජ පවා දැක දුක්වන බව නියත

දුරු රට පැමිණි ඔබ හමුවූ හැටි එදින
සුහදව දෙඩූ බස් මුව සොම්නස රැඳුන
හරබර රේඩියෝ සංවාදය කෙදින
අමතක කළ හැකිද ජව බල ඔබ වදන

ලක් ඉතිහාසයේ කිමිදී තතු සොයමින්
යල්පිනු මත සැවොම නැණ කෙවිටෙන් සිඳිමින්
ඔබ පෑ සතර නැණබල විද්වත් දැකුමින්
දෙනු මැන ලක් දනට ඉක්මන් සුව ලබමින්

ඔබ දැරු දේශපාලන අදහස් හෙලමින්
නෙක දන වහසි බස් දොඩවන හැටි අසමින්
කම්පිත හදින් ඔබ කළ මෙහෙවර සිතමින්
උන් හට පතමි හදවත් පිරි ගුණ දහමින්

ලක් බිම රඟ හලට සිනමාවට නිබඳ
ඉතිහාසයේ ගැට තැන් ලිහමින් නොමඳ
සාහිත ලොවට දෙන්නට නවතම පබඳ
ඉක්මන් සුවය පතනෙමි මා පිය සබඳ

කවිය බලන්න
සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

විදෙන ලෙලෙන නරුබර පුළුලු'කුලැ රැඳී
හෙලන නඟන අතැ නුවන'ග බැලුම් දිදී
රුවන දිලෙන අබරණ කැලුම ගතැ යෙදී
සැලෙන පහන් සිළු වැනි රඟන ලිය සැදී

පළල් වූ උකුළෙහි විහිදෙන්නාවූ ද ලෙලදෙන්නාවූ ද කුඩා නොවූ
නෙරිපට ඇතිව, ඉහලට ඔසවන්නා වූ ද පහළ හෙලන්නාවූ ද
අත් කෙරෙහි නෙත් අග බැලුම් බලමින්, ශරීරයෙහි පැලඳූ
රත්නයෙන් බබලන ආභරණ කාන්ති ඇතිව, නටන්නා වූ ස්ත්‍රීහු
චලිතවන්නා වූ පහන්සිළු මෙනි .

කවිය බලන්න
අප්පච්චී

අප්පච්චී

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

උපතින් ලද මහා
ගොඩ මඩ යාය හැරදා
දරුවන් හදන්නට
හොඳම තැන යයි සිතා
කාසි පණමට ගත්
බිම් කඩක කොටු වෙලා
අපමණ දුක් විඳි
හැටි මතකයි මට
අප්පච්චී...!

පිට දැවුණු කබායන්
ගෙවී ගිය මිරිවැඩිය
ඔබ වින්ද දුක් දකින
කැඩපතක් උනා මට
සරසවි වරම් ලැබුමට
මග පෑදුවමුත්
ලෝගුව දාගත්
මගෙ රුව දකින්ට
මේ මිහිපිට නම්
ඔබ සිටියේ නැත
අප්පච්චී...!

ඔබ නොදුටුව ඒ
සුන්දර ලෝකයෙ
දොරටු විවර කර
දුන්නා ඔබ මට
අහිමි උනත් ඔබෙ
සෙනෙහස අද මට
ඔබ මැව් ලෝකයෙ
රැජිනකි අද මා
අප්පච්චී....!

ඔබ කල මෙහෙයට
බැති පුද දෙන්නට
මා ගොතනා පදවැල්
නොම සෑහේ
දොහොත් මුදුන් දීලා
මම බැතියෙන්
ඔබ ගුණ සමරමි
නිරන්තරේ
මගෙ අප්පච්චී......!!!

කවිය බලන්න
ඒ සොඳුරු මිනිසා !

ඒ සොඳුරු මිනිසා !

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

කට ඇති පුතයි
රුව ඇති දුවයි
වැණුවේ ඒ පුරාණයේ
රුව,ගුණ,දැණුම පිරි
මේ පුතු වනන්නට
හෑගොඩ කිවිඳු
වෙන් කෙරුවා කලාපය
තුති මල් මිටක්
පුදනව ඒ මැතිඳුන්ට

සුවහසක් දනන්ගේ
රස පහස කළතන්ට
උපන් මේ දරුවා
පසක් කරනව ලොවටම
උපතින් ලැබූ ආගම
ජාතිය කී ,නොකී සාධක
නිම් වළලු පුළුල් කර
ඉදිරියට යන්නට
කිසිදු බාධකයක්
කිසි විටක නොවනබව
උපතින්ම බොදු නූනත්
බොදු බැතිය උතුරනව
සරසවියෙ ඉතිහාසය
උගත්තද දන්නෙ නෑ
ඉතිහාසයෙ 'අ'යන්නවත්
නොදන්නා අයටත්
රස කර කියයි තොරතුරු
ගග දිගේ යමින්
සොබා දහමේ අසිරිය
වණන සැටි අපූරුයි
වේදිකාව දෙදරවමින්
නෙයිනගෙ සූදු පොළ
මවා පෙන්වූ සැටි
කාට අමතක වේද

නොදන්නා මුග්ධ දන
තෙපලුවත් නිසරු බස්
සාප කෙරුවත් ඔබට
භූමරංගය ගැන
අසා ඇති හින්දා
කම්පා නොවිය යුතු
ඔබගේ හපන්කම්
අභිබවා යන්නට
කෙනෙක් වෙතොත් මේ ලොව
ඔබ දායාද කල,
ඔබේම දරුවන් මිස
අන් කෙනෙක් කවුරුන්ද?

කුමාරිය,දරු මුණ‌‌‌පුරන්
ඔබ කල පිං හොඳටම ඇති
ගෙවන දිවිය ඔහු සමගින්
එලෙසින්ම ගෙවන්නට
ඉඩදෙන්න දෙවියනි!!!
බුදු සරණින්,දෙවි පිහිටෙන්
වෙදුරන්ට ඒ ශක්තිය
නොඅඩුවම ලැබේවා!
ඒ සොඳුරු මිනිසා
දිගු කලක් දිනේවා...!!!!

2022.08 05.

කවිය බලන්න
සඳ නොපායන වීදිය

සඳ නොපායන වීදිය

රන් ද සිල්වා

ප්‍රේමයේ නගරයේ රාගයේ දොරටුව අබියස
පිටතින් හිදින්න
ඇතුලත අඳුරු ජීවිත
හතිලමින් සොයන සෙනෙහසේ රිද්මයට
පෘථිවියේ සදාකාලික පාපයේ හඬට
මිනිසත් භවේ සදාතනික ජීවයේ රැඟුමට
ඉඩදෙන්න
තට්ටුකරන්නාට දොර ඇරෙන්නේ
සුමට ලෝහ කැබලි හඬට හෝ
සිරුර පුරා නලියන ආලයට පමනි
ආදරය නොකරන බෝනික්කියෙ
පින්තාරු කරන ලද වෙස් මුහුණු පැලන්දි
ගෞරවනීය මිනිසුන් සමඟ හෝරාව බෙදා ගන්න.
අඳුරු තරු එළිය යටින්
සඳ නොපායන වීදියේ
දිලිසෙන ආභරණවල සිනා සීනු
දසන් සඟවා මැවෙන නෙත්සර
ආලයේ බොරුව යටපත් කර
රාගයේ සුවය බෙදාදෙන්න

කවිය බලන්න
පෙමකට කොයිදෝ තේමා?

පෙමකට කොයිදෝ තේමා?

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

සිතිවිලි මාරුතය චන්ඩව හමා ගිය
අවසන ඉතිරි වන සුන් බුන් විඩාවය
අස්වැස්මක් වගේ ළංවූ සෙනේහය
රැයෙත් දිලෙයි සේ සඳමිණි ප්‍රභාතය...

ආකුල ව්‍යාකූල වු හදවත පල්ලේ
නවමු පැතුමක්ව රන් තරු කැට දිල්ලේ
මුදා හැරි බැවින් නෙත්
සර එක එල්ලේ
යා දෙක ලං නොවී මුත්
පෙම් සිත සෙල්ලේ...

පාවෙන මේකුලක් සේ කඳු මුදුනෙ ගැටී
නොපෙනී පෙනි පෙනී ඔබ සිත අසල සිටී
සුහුඹුල් පෙමක් විය ඉපදුණු වියෙහි පැටී
විඳගනු නොහැකි තැන ගිලිහෙයි කඳුලු කැටී...

ආදරයකට නැති මුත් වැට කොටු සීමා
හිමිවී අහිමි පෙම විඳගන්නේ කෝමා
ජීවිත හිස්මාව පුරවනු හැක බෝමා
පෙමට පෙම මිසක වෙන ඇවැසි ද තේමා???

 

කවිය බලන්න
නැගිටපන් කුවේණි

නැගිටපන් කුවේණි

සෙව්මි ලෝචනා ලියනගේ රෝමය

සකල සිරි බර උතුම් මගේ ලක් මියේණි...
දුටුවා ද? නියමුවන් ගේ කාම අහේනි...
කොතෙක් ඉරි තැලුණා ද? ඔය ලපටි සුයෝනි...
නැගිටපන් නැගිටපන් නැගිටපන් කුවේණි...

රස පසට ලැම වනට හැඩට ඝණ තිව්වා...
මුතු බිඳක් ලෙස රුවට හිරු දෙවිඳු මැව්වා...
ඇගෙ දෙපා මැද හිවල් රජ ඔටුනු දිව්වා...
බඩ කෙරුව පහු ඇයට "ලක් මෑණි" කිව්වා...

ධර්මාධිකරණයට අවනඩුව කියාපන්...
කැඩුණු කන්‍යා පටල එකිනෙකට වියාපන්...
අවජාත හිවල් පුත් රැල අමුවෙ මරාපන්...
නව රටක් ජාතියක් මහ දැයක් වදාපන්...

කවිය බලන්න
පනාපුතුනි සුවපත්  වී නැගිටින්න

පනාපුතුනි සුවපත් වී නැගිටින්න

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

කළුගග දිගේ පෙරලෙස ඇවිදන් යන්න
අවුරුදු මංගල්ලේ ජයටම සමරන්න
"ඔබ මහ පොතකි" එහි පිටු ඇත පෙරලන්න
අපි ඉන්නවා හනිකට ඔබ නැගිටින්න.....
දෑස පියා ගත් කල ඇදි රුව ඔන්න
ඔබ ලග ඉන්නවා පදවැල් අල්ලන්න
කම්මැලි නොවී දැන් හොද හුස්මක් ගන්න
තෙරුවන් බලෙන් වෙර අරගෙන නැගිටින්න
නුවර පෙරහැරේ රස විස්තර දෙන්න
දරු මුණුබුරන් එකතුව කිරිබත් කන්න
කලා ලොවේ හිත මිතුරන් සනසන්න
පනාපුතුනි සුවපත් වී නැගිටින්න.....
විශ්ව බලය අහසේ රොක් වී ඉන්න
පන්සල දෙව්මැදුර වෙනසක් නැහැ ඔන්න
කලා කෙතට තව මල් වැහි වස්සන්න
පනාපුතුනි සුවපත් වී නැගිටින්න.......

කවිය බලන්න
GOLDEN CHARACTER

GOLDEN CHARACTER

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

He is the golden character
of Sri Lanka
Now he is in deep sleep....
Wake up... Wake up....
JACKSON ANTHONY,
Please wake up....
Suddenly
like a sleeping beauty....
My parents tell me
That God listens to the
Wishes of little children
Therefore,
I wish our "GOLDEN CHARACTER"
a speedy recovery. 🙏

Sinelya Fernando
Year 3
New ash green primary school

කවිය බලන්න
ගඟක්

ගඟක්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

බිඳක් සේ උල්පතක් පොළොවෙන්
උඩට මතුවී ගලන හෙමිහිට
ඇලක් වේ ඊළඟට ටික ටික
විශාලව එන විළස එළියට
ගඟක් වීගත් විගස කාටත්
ප්‍රතාපව අනුහසින් පෙනුනට
පලක් වේවි ද අසා දැනගෙන
ගඟක ඇති බිය මුහුදු යන්නට

නතර නොවෙනා ලෙසක සුදු පෙණ
බුබුළු ගල්පර හා බෙදාගෙන
අතර මගකදි වැටෙන මුත් කඳු
පහළ සුදු දිය ඇළි සදාගෙන
නිතර ආ මග බලයි ගඟ යළි
රිසිව නොයනුව තව ගලාගෙන
කවර නම් ගංගා ද ගැලුවේ
නැවත උඩු ගම් දෙස බලාගෙන

මුදුන් කඳු මහ කැලෑ ගම් බිම්
අතර සිසිලස බෙදා දුන්නත්
සවන් දුන්නොත් ඇහෙයි කාටත්
හෙමින් මුහුදට ඇදෙන සුසුමත්
පිටින් එන තල්ලුව නිසා වෙන
මගක් නෑ එහි නොගොස් ඉන්නත්
ඉතින් මහ සාගරය වෙන්නට
හිත හදා ගති සදා හැඬුවත්

කවිය බලන්න
දූරියන් ගස් හන්දියෙන් සඳුන් පුරයට ආ අළුත් ජෝඩුව

දූරියන් ගස් හන්දියෙන් සඳුන් පුරයට ආ අළුත් ජෝඩුව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

සඳුන් පුර ස්කීම් එකට ආදා ඉදං
මට අල්ලන්නෙ නෑ ඔයාගේ ඔය නාඩගං
නැතිවුනත් ලයිට් ටැප් වතුර නං
ආපහූ දූරීයන් ගස් හන්දියේ මහගෙදර යං

ඇනෙක්සිය මට වහකදුරු දැං
කී මනිත් ඕනෑම නෑ ඉතිං
ලට්ට ලොට්ට ඔක්කොම පැක් කරං
මෙහෙන් යං ටාටා බට්ටෙක් හයරින් කරං

එදා වැඩ ඇරී එනතර උරුලෑවා
රජ නෑ දොලෙන් ඇස් රතුවෙනකං නෑවා
සෙට්වෙමු, රිච්මන් එකේ ගැන්සිය කෑගෑවා
පස්වන සිල් පදේ රැක ඌ ගෙදරම ආවා

කෝ වෙනදාට තුරුලේ දැනෙනා සුවඳ
සුවඳ උලා ආවේ කොයි පිල උඩද
ජිම් යන්නං හෙට ඉඳං මම තර වැඩිද
ඇයි උරුලෑවො ඹට මං දැං හැඩ මදිද

පැත්තකට පැත්තකට
නැත්නම් මම යනවා සැටියට
කොට්ට මෙට්ටත් අකුලං
ඉදිං මදුරුවෝ තල තලං

මහගෙදර යන්න තෝ ආව නාවා
මං වැලිකඩ යන්නේ ඒකි ඇඳ උඩම බාවා
උරුලෑවියා රෑ ගිරි යටිං කෑ ගෑවා
බිත්තියේ සාත්තර හූනා දෙපාරක් චී චී කීවා

වල්ල පට්ටාවලට වැඩියෙං අපේ සට්ටං ගිනි ගනං
බැරිම තැන උරුලෑවා හීනියට කෙඳිරි ගෑවා
තොල් කෙල ඇබිත්තකිං නාව නාවා
නිහඬ බව බිඳ ලෑවා

අරුන්දැල සඳුන් ගස් මංඩිය පීර පීරං
මහා ගිනි මැල වගේ හුලු අතු බැඳං
හොයන්නේ අපි යන එන ගමං
කිය කියා අපේ වාසගං

වතුර කලගෙඩියක් නමං
බොලත් අතපය හෝදගං
මීක් නොකියා දැන් ඉඳිං
මට වෙසමුනියා වැහෙන්නට කලිං

තැලුන සිගරැට් වකුට්ටක් දිග ඇරං
දෙතොල මැද හුරතල් කරං
උරුලෑවා සීලිම දෙස බලං
හිතට නිවනක් නැති තරං

කලුවරේ ජරමරේ ලැයිටරේ හොයනා ගමං
අතක් කොට්ටය යට දෝනා යමිං
පතුවලේ රහසේම ගරනා
ඌට ඕවගෙ වැඩ නතිං

කොට්ට උරයේ මෝස්තර දියවී හිහිං
ඒත් මල් මෝස්තර ඇඟිලි තුඩු හදුනන තරං

කවිය බලන්න
අම්මා  සඳකි

අම්මා සඳකි

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

මඳ රැස් මුදුයි
සිසිලෙන් තෙමයි
මුව මනහරයි
ආදරෙ පුරයි

හඳ අටවකයි
අව සඳ හැඩයි
පාටින් අඳුරුයි
රුවලට වෙරයි

කාලය දුවයි
සඳ අමාවකයි
ඔරුව ඉකිබිඳියි
රුවලට තනියි

27/08/22

කවිය බලන්න
රැගූ චරිතය කුමක් වුව මුත්.............

රැගූ චරිතය කුමක් වුව මුත්.............

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

මහා වංශය තරමටම උස
මහා දැනුමෙන් සුපිප්ෂිත මල
මහා පරිමානයෙන් විශ්වය
සුවඳවත් කළ සුවඳ තවමත්
හමා යයි සිවු මංසලේ
සුපිපි මානස විලේ සියපත්
පුෂ්පයක් සේ හිමවතේ

පෞරුෂත්වය සමඟ මුසුවුණු
මධුර හඬ රඟහල පුරා රැදි
ප්‍රේක්ෂක සිත් සදා මන බැඳි
තවත් නිම්නාදවේ සිත් තුළ
වැටුණු සත්කුළු පවුරු පියසට
දිමුතු වැස්සක හඬද පරයා

රැදී ඇසි දිසි තිර හඬේ
බැදී සහසක් සිත් බැඳේ
සැදී පැහැදී පෑ විකුම්
නදී තල දිය වැලක් සේ ඔබ
රිදී ලොවකට බිහිදොරක් වුණු
යුගය තව ශේෂව තිබේ

රැගූ චරිතය කුමක් වුව මුත්
එතුල ජීවත් වෙමින් නිරතුරු
වේදිකා ටෙලි සේම සිනමා
අඹර පෑයූ පුරා සඳ ඔබ
සුවහසක් තරු පබා කරමින්
එපින් බලයෙන් නියතමයි ඔබැ
නමින් ජැක්සන් ඇන්තනි වූ
සිතින් මෙන් සියොළඟින් සුවවී
යළිත් හෙළ රන් දෙරණ මත සිය
පා නගන්නට අපත් සමගින්
එකතුවෙනු! සක්සුදක් සේ

08/82022

කවිය බලන්න
හීනයක් තිබුනා...

හීනයක් තිබුනා...

සඳමාලි රොද්‍රිගෝ ඇමෙරිකාව

අතැගිලි බැදී නොතිබුනු

හිතෙන් පමණක් අපි අපේ උනු

එකම හීනෙන් රැයක් එලිවුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා...

ඔබේ ඇතැගිලි රස්නෙ තැවරුනු

පපුතුරේ ගිනි වැලක දැවටුනු

අනන්තෙක මල් හීන තැවරුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා...

ඇහැරිලා ඇස් නැවත පියවුනු

එකම හීනෙම හිතින් මියැදුනු

ඇහැරි ඇහැරී මගෙන් ගිලිහුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා…

හැබෑ ලෝකේ නුඹ ඇගේ වුනු

මම කොහේවත් වෙනකෙනෙක් වුනු

අසුරු සැනයක අපි අපේ වුනු

හරිම ලස්සන හීනයක් තිබුනා…

කවමදාවත් හිතලවත් නැති

කවමදාවත් විදලාවත් නැති

අහම්බෙන් මගේ හිතේ ගුලිවුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා...

නැවත නොදකින හීනයක් තිබුනා...♥️♥️

කවිය බලන්න
සකල  කලා  වල්ලභ  වී

සකල කලා වල්ලභ වී

කුරුණෑගල සේන මෙනේරිපිටිය

රැඟුමට උපන් ප්‍රතිභා ඇති නළුවා ය
හෙළ ඉතිහාසෙ තොරතුරු දත් රුසියා ය
පොඩි ලොකු සිනමාවෙ නිපැයුම් කරුවා ය
හිත මිතුරන්ට ඔහු කොස්මල් පැණියා ය

දන හැඟවුම් විදි දැනුමෙන් පොහොසත් ය
බස නිවැරදි ලෙසට හසුරන වියතෙක් ය
තුන් පිටකයේ සිඳු කිමිදුම් කරුවෙක් ය
සකල කලා වල්ලභ වී උපනෙක් ය

බොදු නාලිකාවෙන් හැඩරුව දුන්නේ ය
බිරිඳට දරුවන්ට දෙවියෙක් වන්නේ ය
අනතුර අසා හදවත ගිනි ගන්නේ ය
රටකට වටින මොහු ජැක්සන් වන්නේ ය.

සේන මෙනේරිපිටිය
2022/08/14

කවිය බලන්න
That spring .....

That spring .....

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

 

That spring
Never will be kindled once more
Never one monumental
One memorable thing happens again
But nothing's forgotten ever

Single dream of my deep soul was you
In our tremendous past
Only now a dead wind
But met in less travelled route yonder
But nothing's forgotten ever

Memories surged , never can suffice
It's only a silhouette in deep see
Emerges and bubbles
How would it end that spring ?
But nothing's forgotten ever

කවිය බලන්න
පනාපුතුට

පනාපුතුට

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

දැන උගත් ශිල්පයෙන්
කලාවට කැප කෙරුනු
රැඟුමෙන් ද ගැයුමෙන් ද
සුවහසක් මන රැඳුනු

සොබා ගංගා දිගේ
හෙළ වංශ කතාවෙන්
දුටිමු ඔබ කුසලතා
කන්ද උඩ ගින්දරින්

නොනිමි මෙහෙවර නිමා
කරන්නට ලද පිනෙනි
සුව ලබා යහන හැර
එනු නොලස කුහුඹුපැණි

කවිය බලන්න
ඇසල අහස පාළුයි.

ඇසල අහස පාළුයි.

තුෂාරි ජයසිංහ මහනුවර

කලා කෙත වැපිරි රන් බිජුවට
වැඩී සරුවට ගෙනා අස්වැන්න
ලක් මවගෙ උකුල මත පුරවා
සසිරි බර කලා ඔහු නිබඳවම

දැනුමක මහා කෝෂ්ඨාගරය
අමුණා මුතු ඇට විලස
ගොතා විසිතුරු මාලයක්
පැළඳුවා තම උපන් දේශයට

කරුණා භීභත්ස්‍යාදී නෙක නෙක
නව වැදෑරුම් රසයන් කලතා එකට
සකසා ඔසු රූපණය මුසුකොට
සුව කලා මනුසිත් ඔහු යසට

සොඳුරු මිනිස් ගති ගෙනා උපතින්
කරතියන් තව බෝ දුරක්
යායුතුය නොනවතින ගමනක්
ලක් මවගෙ හිස් උකුල පුර‍වමින්

ඉක්මනින් එනු මැන නුඹ
පනා පුත්‍ර කුහුඹු පැණියාණනි
අමාවක නිමාකොට ඇසල අහසට
ලකඹරම කලඑළි කරමින්.

2022.08.12

කවිය බලන්න
සංචාරකයාට වන අලියා කියූ කවක්

සංචාරකයාට වන අලියා කියූ කවක්

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

නිමිත්ත- යාල සංචාරක බංගලාවක ලැගුම්ගත්, සුපුරුදු සංචාරකයෙක් වෙත වන අලියෙකු පැමිණ, ආහාර ඉල්ලයි...

වසරක් පතා අප නෑයන් බැලීමට
පැමිණෙන වගක් පැවසූවා ඔවුන් මට
එනමුත් නුදුටුවෙමි නුඹ මගෙ ඇස් දෙකට
එහෙයින් පැමිණියෙමි මම නුඹ දැකීමට

මාගේ නිවස ඇත්තේ බෝ දුර බැහැර
එනිසයි රෑ වුණේ එන්නට නුඹෙ ගෙදර
ගමනේ මහන්සිය දැනුණා ඒ අතර
දෙන්නට හැකිද මගෙ කුසගින්නට අහර

මහ රෑ ගමන බියකරු වේ ඉතින් මට
හැම මිනිසෙකුම නුඹ වාගේ නැත අපට
ගිනි බට පත්තු වේ මානා ගෙන දළට
අවසර දෙන්න, යන්නම් මම උදෙන් හෙට

(සේයා - මහාචාර්ය කේ. සරත් ඩී. පෙරේරා මහතා)

කවිය බලන්න
පහලොවයි කසාදෙට

පහලොවයි කසාදෙට

තුසිතා සුරේකා මීගමුව

සෙනෙහෙන් බැදුනෙ මල් පීදෙන වෙසක් මහේ
කැන්දන් ගියේ පලවෙනිදා බිනර මහේ
නුබටම බැදුන මගේ හිත නෑ වෙනත ගියේ
නුබෙ හැඩ රුවයි හදවත පතුලේ කෙටුනේ.

පුපුරා ගියත් දුක නුබ හදවත පතුලේ
දෙදරා ගියත් තරතස නුබෙ කය ඇතුලේ
වාන් දමා ගැලුවත් කදුලැලි පතුලේ
සිනහව පමනි නිතරම නුබෙ ලග තිබුනේ.

මට නුබ මහ මෙරකි මා ඉවසන නිතර
අදුනන මගේ සිතුවිලි අඩුවක් නැතුව
පිටදී දුකට නොදැනෙන සේ අප රකින
දෙවියෙකි හිමියනී නුබ පොලවේ සරන

සිනහා තනන්නට රහසින් සුසුම් ලන
මහ ජල කදකි ජීවිත කෙත සරු කරන
නුබෙ උරහිසේ හිස රදවා නිදන විට
රැජිනක් මෙන් දැනේ සේනා මැද හිදින.

විටකදි පිට කරන තරහා නුබේ මත
ඉවසන අපූරුව පුදුමෙකි තපස් රැක
කෑ ගැසුවත් දෙදරා යන්නට වහල
මුනිවත රකින හැටි පුදුමෙකි පිරිමි නුබ

ගෙවුනත් වසර ගනනක් අතිනත රැගෙන
වාගෙයි හැගුම් කාලෙදි මම පෙම් කෙරුව
යන දවසකදි සසරින් මිදිලා දෙදෙන
යන්නට පතමු යන තැනකට දෙඅත් බැද

කවිය බලන්න
සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

නෙක ලෙස කලා ලෝකය තුළ දා ඇක්ෂන්
පෑයුරු විකුම් මතකය තුළ ඇත උස්සන්
වෙනසක් නැතිව යළි තම හැකියා වස්සන්
සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

සිහිවෙයි විවිධ ලෙස පානා ලද විස්කම්
පෙර පින් බලෙනි ලැබුවේ ඔබ මේ දස්කම්
බාධක එන්නෙ නොබලා සැම මිටි උස්කම්
වේවා සුවය සපිරී පින්වල හිස්කම්

එක එක ලෙසින් ලක්වැසි සැමගෙම සිතෙහී
ඔබ ගැන නැගුණු දුක දැකගත හැක වතෙහී
සැමදෙන සුව පතති රදවා සිත මෙතෙහී
එම සෙත් වලින් ලෙඩ දුරු වේවා ගතෙහී

ඔබ ගැන ප්‍රිය නොවන කිසිවෙකු වෙත සතුරු
පෙර තිබුණි නම් සිතිවිල්ලක් පස මිතුරු
අමතක කර දමා නොම කරගෙන ඉතුරු
සෙත සුව පතති රැක මිනිසත්දම උතුරු

සයුරක් කියා සිතුවොත් මුළු කලාවම
ඔබ තල්මසෙකි පිහිනූ සැම කොනේහිම
තිදෙනෙක් තවත් නම ඇති ඔබ සමාගම
කලතා සයුර පිහිනති ඔබ විලාසෙම

සිරිලක කලාවට කළ මෙහෙවර අසම
බැහැ අගයන්ට වදනින් සිතුවත් කොහොම
ඉන් ලද පිනම ඇති සැනසෙන්නට සිතම
සුව බල ලබා යනු මැන නිවසට හෙටම

ඉඳ ඉඳ සුහද ලෙස හැම හදකම පැහැද
විඳ විඳ සුවඳ මන බැඳ දරු කැළ බිරිඳ
සොඳ සොඳ පබඳ කර නෙක නිමැවුම් නොමද
බැඳ බැඳ සැපද දුන් ඔබ සුවවෙයි සබඳ

කවිය බලන්න
අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්

උදයංග අමරසේකර ප්‍රංශය

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
කොයි දානෙ ගෙදරකටත් යයි
උයයි පිහයි වලං හෝදයි
දුකට පත් එකා ළඟ
නිහඬව හිටගෙන සිටියි

ගමේ නැතිවුණ හරක් හොයමින්
ඔහු කැලෑ පීරා ඇවිදියි
ලොකුහාමුදුරුවන්ට පිත ගැහුවම
දුලබ කොළ ජාති හොයල අඹරයි

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
පාසල් ළමයින් බරබාගෙන් අදියි
කෙල්ලක් කොළඹ විබාගෙක ගියාම
හුලුඅත්තක් ගෙන
ඒකි ආපහු එන රෑ බස්සෙක රකියි

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
ගමේ කිරිකට් පිලේ උපනායක
මැද පෙල සමබර පිතිකරු
වමතින් වේගපන්දු
දකුණතින් දඟපන්දු
අහසෙ පැල්බැඳ කැච් අල්ලයි
අහල ගම්වල ගහන මැච්වල
ඒකච්ඡන්දෙන් චීෆ් අම්පයර්

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
කැඩුණු රේඩියෝ යන්තර හදයි
වේලුණු ලිං යළි කණියි
නාකියන්ට පත්තරේ කියවයි
පවුල් ආරවුල් විසඳයි
රට රස්සාවට ගිය එවුන්ට
පෝස්කාඩ් ලියයි
දුංකොළ මිටියක් කිහිළි ගහගෙන
හිරේවැටුණ උන් බලන්ඩ යයි

කලක් ගමේ කාගෙත් ගෑනිව හිටි
කටකාර ලො‍ටතන් අයිරින්ට
කොළඹ කවිය පරදන පෙම්කවි ගොතා
ඇගෙ උකුලේ වැතිර ගායනා කරයි

ගහක් ගලක් වගේ හිටපු
අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
හිටි හැටියෙම මියගිහින්
උගෙ මිනියට කරගහන්ඩ
ගමේ පිරිමි පොරකාපි

කවිය බලන්න
පුංචි නඟා

පුංචි නඟා

උපාලි අත්තනායක මහනුවර

කඳු ගැටයක් ඔමරි කරයි
වෙල් යායක ඈත කොනේ
වලාකුලක් දවටා ගෙන
සුදු සේලය සේ
මද සුළගට චීත්ත කොන
පැටලෙනවා නියර දිගේ
නොපෙනෙන්නට ඇයට හොරෙන්
ඉන්නම් පැල ඉස්මත්තේ

සුළග සමග සැලෙන ගොයම
කිරි වැදෙන්න සැරසෙනවා
දීග යන්ට පෙරුම් පුරන
පුංචි නඟා හිනැහෙනවා
වක්කඩ ලග තිත්ත පැටව්
දිය පාරට පෙරලෙනවා
මග හැරියොත් නඟේ නුඹත්
මගේ හිතත් තනි වෙනවා

හිතේ සතුට පෙන්නන්නට
ආදර බස් පවසන්නට
ඉඩක්ම නෑ
අප්පප්ච්චී මොකක් කියයිදෝ
ඉවසන්නම් මේ කන්නේ
ගොයම් කැපෙන කල්
එදාට මම කමතට එන්නම්
බහ දෙන්නට නඟේ නුඹට
දෙවි රැකවරණයි

2022 .08.03.

කවිය බලන්න
මිල කීයද...?  ආදරයට

මිල කීයද...? ආදරයට

වජිර ජයවර්ධන

මිල කීයද...?
ආදරයට

සින්නක්කරයට
කුලියට හෝ බද්දට
ටික ටික ගෙවීමේ ක්‍රමයට
ලබා ගත හැකිය රාගය

ලයට ලය
ලෙයට ලෙය
එකග වූ අසිරියක්
ලය මතින් ආ යුතුය
ලෙයින් තෙත් විය යුතුය

මතක විඳින
කඩා වැටෙන
නොසෑහෙමින්
හඬා වැටෙන
ආදරයට නැත්තේ
මිලකි... කාලයකි.

කවිය බලන්න
සිංහයෝ නැගිටින්න..

සිංහයෝ නැගිටින්න..

යෂිකා විජේසිංහ

ඇත් රජුට වැරදිලා
එදා මග අහුරපු
බව ඇත්ත..
සිංහයා එන බව
දැනුන නම්
ඇත්තමයි
ඇත් රජු වුනත්
යාවි මග හැර
වුනු වරද ගැන
ඇතුටත්
සහතිකයි දුක
හිතුන බව
දැන් ඉතින්
අමනාප අතහැර
සිංහයෝ නැගිටින්න..

සීහ ශක්තිය
එක් කරනු වස්
සිංහයෝ නිදනවලු
වැඩිපුර..
වෙද ගෙදර යලි
සැකසුවා..
බෙහෙත් ඔරුවක්
පැනින් පිරවුනු ..
දැන් ඉතින් ඇති
නිදා උන්නා
ඒ බෙහෙත් පැන්
බිඳක් නාගෙන
පුරුදු ජවයෙන් යලිත්
සිංහයෝ නැගිටින්න..

2022.08.18

කවිය බලන්න
🗙