ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉවසනු නොහැක පාළුව…..

ඉවසනු නොහැක පාළුව…..

කපිල කුමාර කාලිංග
2021-October

ඉවසිය නොහැකිම දෙය
මේ පාළුවයි.
උණ , හිසරදය
සන්ධි වේදනා නොව
මේ කුරිරු පාළුවයි.

වමත එන්නත් ගැටයෙන්
නැගෙන සේය අත් රිකිල්ලක්
කොරෝනා ඇඳිරියේ.
එහි මලක් – මල් කිණිත්තක්
පිපුණොත්
එයත් අසිරියක් මැයි
නාදුනන බඹරුන් කැඳවන.

ළඟම නිවසින් පවා
කිසි හඬක් නොනැගෙයි
කඩු කිණිසි හඬ පවා
කොතරම් වටනේද
ලොවට පණ ගැසෙන්නට ?

ඉවසනු නොහැකි තැන
පළා යමි,
මුරකාවල් මුළාකර
සුපුරුදු අවන්හල වෙත.
සීතල දොරගුළු දැක
සොවින් ආපසු හැරෙමි.

“හෙටක්” යනුවෙන්
තිබුණි දවසක් පෙර
කොහිද අද එය
සෑම දිනක්ම
එක විලසය

ඉවසිය නොහැකිම දෙය
මේ පාළුවයි
මිනිස් කටහඬින් තොර
මේ පාළුවයි…………