ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එක් නොවැම්බරයකට පෙර

එක් නොවැම්බරයකට පෙර

මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර
2021-October

සුමනෙ උඹට මතකයිනෙ
“වානේ පන්නරය ලැබූ හැටි”
“රතු ඔක්තෝබරය”
ඒත් අද රුසියාව වළදාල
අපෙ හිතෙත් ගිනි පුලිඟුවලට
දිස්නෙ දුන් ඒ ඔක්තෝබරය

රේණුටයි මටයි නම්
දැනෙනවා තවමත්
එදා අපේ ඔක්තෝබරයෙ
වෙඩි බෙහෙත් ගඳ
එක වාගෙම

උඹේ කාමරේ බිත්තියේ
අඩි පහමාරක උසින්
තවමත් තියෙනවා තුවාල
වෙඩි උණ්ඩ පසාරු කළ
දණ ගැහුවෙ නැති නිසා
උන් ඉදිරියේ උඹ

ඒ ඔක්තෝබරයෙ මූසල දවසක
මං උඹට විදිල්ලෙන්
“ඒ පණිවිඩය” අරන් එනකොටත්
උන් ඉස්සර වෙලා තිබුණ
බඩකුත් දරා ගෙන රේණු හිටියේ
සිහි විකල්ලෙන්

කාලෙකට කලින්
නිතර නිතර අහන හින්දම
කියා දුන්නා ලොකු පුතාට
බිත්තියේ සනීප නොවෙන තුවාල ගැන

ඒ වුණත්
“තාත්තා” කියනවා
ඌ තවම මට

මරා දාන්න බෑ කවදාවත්
ඒ කකියන ඔක්තෝබරය
මකා දාන්න බෑ කොහොමවත්
ඒ රතු පැල්ලම්
හැව අරිනවා තවම
විප්ලවය