සාර සුබාවට වෙඩිමක් ගන්න........
තාත්තේ මට ඕන
සාර සුබාවට වෙඩිමක් ගන්න.
හාල්, සීනි, පරිප්පු ටිකක් ගේන්න
කඩේට ගිය විට
විකුණන්න ගන්නම නෙවෙයි
අල්ලලා මිරිකලා බලන්න විතරක්
දෙහි ගැට හොයපු
මුදලාලිට ආරාධනා කරන්න.
අල්ලපු වත්තේ මහ ගේ හදපු
ලොකු බාස් උන්නැහේ
කවුරුවත් නැති වෙලාවල
පුරවාපු කුස්තුර වලට
හිලව් වෙන්න
බත් කටක් දෙන්න
හොරෙන් පොල් කැඩුවා කියා
කුදලාන ගිය මල්ලී බලන්න
පොලිසියට ගිය අල්ලපනල්ලේ
මා ගැනත් හොයා බලන්න
ගෙදරටම ආ ගිය
පොලෝසියේ උත්තමයන්ට
ආරාධනා කර මධු විතක් දෙන්න
ඉස්සර තරම් ම මත්වෙන්න.
පැය ගානට ඇඟට සැප ගන්න
ස්පා එකට ආ ගිය
නඩු ඇසූ උන්නාන්සේලා
නඩුත් බඩුත් තමන්ගේ කරගත් නිසා
දෙන්නම ඕන බඩ කට පිරෙන්න
කුකුල් ගාත් තලු මරන්න.
ගහේ කටු උල් කරන්නේ මොකටද කියා
මමත් අම්මත් එක හැලියේ ලා රත්කල
ගමේ නැන්දලා මාමලා
වටේ පිටේ ලමාතැනීලා සේරටම
අයිස් ක්රීම්, චොක්ලට් ගැටෝ
තව පුඩින් එක්කම දෙන්නෝනෙ
රෙද්දේ තුත්තිරි ගලව ගලව
තලු මර මර රස බලන්න.
මට ඕනේ තාත්තේ සේරටම
ඉස්මුරුත්තෙට එනතුරු සලකන්න
එකම ඩීජේ රිද්මෙට
උන් සේරම එකට නටන හැටි බලන්න.
සල්ලි නම් මොනවද තාත්තේ
මට ඕනේ උජාරුවට මගුලක් කන්න!!
කවිය බලන්න
