පණ සේම හිඳින්නම්.......

පණ සේම හිඳින්නම්.......

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

නොදන්නා රහස් කැලතක්
පතුලෙ හංගා
පහල මිස උඩු අතට
ගැලුවෙ නෑ ගංගා
නිම් නැති සෙනෙහෙක
අරුම පපුතුරේ රන්දා
කල්පයක් තරම් කල්
මග බලන් උන්නා..

කාලයේ මාරුතය
නිරතුරුව හැමුවා
ජීවිතේ රසෝඝය
හිත පුරා ගැලුවා
මාලිමාවක කටුව සේ
උතුර බලනා
හිත බැඳුණු හිතක් ලඟ
සෙනෙහසින් රැඳුනා..

තිමිර සළු ඉරාගෙන
උණුසුමක් ගෙනෙනා
ඉන්ද්‍රඛීලයක් ඇත
ආදරය කියනා
සිසිර තාරක නින්දකින්
සිතක් පුබුදා
වසත් සම ප්‍රහර්ෂයකින්
දිවිය තවනා..

බැල්මකින්, වදනකින්
ඇඟිලි තුඩකින් පවා
ගොඩදැමිය හැක ප්‍රේමයේ
ඉල්ලමක් මවා
අත හැරුනු දාක වුව
මුව සිනා තවරනා
ඉනාවක් සේම ඇසුරකි
හිතක් ඉපිලෙනා..

සාගරය පරයනා
ආලයක් වපුරලා
ලද සියලු අස්වැන්න
ඔබ වෙතම පවරලා
මහමරක් තරම් සතුටක්
හදවතේ දරා
පණ සේම හිඳින්නම්
හිත ලඟින් දිවි තුරා..

Photo Credit: Al Elmes

කවිය බලන්න