මම යශෝධරා නොවෙමි.
යශෝධරා සිටියා නම්
මට කියනු ඇත
මා නම් නුඹ මෙන් නොවේ සොයුරිය
අතාරින සැටි දැක දැකම
දරා උන්නෙමි නිසසලව
දමා ගිය පුතු තුරුළු කර ළයට
පැතුවෙමි ඔහුට සුව සුබම වන්නට.
එවිට,
මම කියමි ඇයට.
සොයුරිය මා නුඹ මෙන් නොවෙමි
අතැර දමා යන මග නොයිවසමි
දරුවකු කුසට දෙන්නට පෙර
ඒ ගමන නොගියේ මන්දැයි විමසමි
පතිවතේ බර සම වුව
නොකළ වරදට
බොහෝ නින්දා විඳ ඇත්තෙමි
රම්‍ය සුරම්‍ය සුබ මාලිගා
නොතිබුණ ද
නාටිකාංගනාවන්
සමග කෙලිදෙලෙන් සිට
මගැර ගිය මුත් මා
අළුත් කඩේ උසාවියේ විත්ති කූඩුව
ඔහුගේ රුවින් සරසමි
එමතු නොව
දයාද ඉල්ලා පුතු ඔහු වෙත
නොයවමි
වින්දිත මා හට වන්දි අනවශ්‍ය
බව පවසමි
එනමුදු ගැහැණියක ලෙස
මගේ අයිතිය මම සුරකිමි
සොයුරිය මා නුඹ මෙන් නොවෙමි
මම යශෝධරාවක් නොවෙමි.
2026.08.08.
කවිය බලන්න
