දිනයක නිමාවට පෙර.
පොදිකර උරතබා ගත් ඒ සිහින ගොඩ
එකිනෙක කිරා මැන තබමින් සෙමින් උඩ
දිනයේ නිමාවට පෙර ජය ගනු රිසිව වැඩ
දිව යති නොතිර සසරේ දිග මිනිස් නඩ
නැවති එකදු මොහොතක් නැත යලි හැරෙන
පවතී දුකම සැක බිය සංකා පිරුණ
ජීවිත සටනකී යුධ පිටි මැද ගෙවන
කඩිගුල සේ ය පුර පිරි මනු පිය මනින
කඳු වැටි මුවාවේ සිට රත් පැහැ හිරු ගිලින
මුදු නිල් පැහැය දම් පාටින් හැඩ කරන
මිදි ගගනතින් සළුපිළි හැදගෙන රුවින
නිදි ගත් සෙයකි තරු මල් යායම නිවුන
සුදු සඳ එළිය පිළි ගන්නට මඟ බලන
සිඳු රළ විඩා නිවනට සැරසෙන ලෙසින
බිඳු බිඳු ඉහිරි කිරි පැහැ පෙණ පිඩු රැගෙන
ඇඳි සිතුවමක් මෙනි තනි වූ සිත් නිවන
රිසිසේ නිමා කරනට සිතලා ගමන
බසයේ අසුන මත කය හිඳුවා සෙමින
මනසේ විඩා සංසිඳවා ගනු රිසින
රසයේ ලෝලයෙන් නිදි දුව වෙත ඇදෙන
ගිනිගෙන දැවෙන සිතුවිලි ජීවන ගමනේ
එකිනෙක මවයි සළරූ නෙතුපිය මානේ
මධුර වු හඬින් ගයනා ගී රස පිරුණේ
කොවුලෙක් ගයයි කෙවිලිය සහයට රැඳුනේ
කුසගිනි නිවෙන්නට කෙරුමට බත සරිය
නෙක ගී ගයති යොදවා තම ගත දිරිය
රැක ගනු රිසින් දූ දරු සැම ගෙන විරිය
දුක වුව විඳිති මිනිසුන් සැම දිවි සැරිය
කෙනෙකුගෙ වෙහෙස තවෙකෙකු නිමවා දමන
අනෙකෙකු කුස පිරෙන්නට සතුටින් දෙවන
අතඇති මුදල් අතපත ගා දන් දෙමින
විගසින් විසිර යති සැම මදහස රැගෙන
2026.07.26.
කවිය බලන්න
