සඳගිරි සෑ බිම හන්තානේ.......
සිසිල් පවන් රැළි ගිරිහිස දසතේ හැමුවා
සුසුදු වළාපෙළ තුරුහිස් මුදුනත වැසුවා
විහඟුන් සිව්දෙස රස රස ගීතද ගැයුවා
සෑ මළුවම කිරිසුදු සුදු වතින් බැබලුවා
හිරුකුමරුන් අවදිවෙද්දි ඇසළ පෝය දා
සුදෝ සුදට සුදු ඇඳගෙන පව්මල සෝදා
සුවඳ කුසුම් වට්ටි පුරා මුව සිනහව රන්දා
උවැසි උවැසියන් පිරුණා වැසිපොද පරදා
සිත සැනසුම ලබාගන්න දහම් අමාවෙන්
සඳගිරියට දනන් ආවේ සතර දිසාවෙන්
හන්තානම සුවඳ වුණා සිල් මල් සුවඳින්
සදහම් අමදහර ගැලුවේ සඳගිරි මළුවෙන්
හිමි මුවගින් මුනිගුණ කඳ දුන්නේ සවනට
තෙරුවන් ගුණ දහම් අමා පහදා හරියට
මෙත්සිත් පා හිරු කුමරුත් කිරණඅඩුකොට
ගතේ වෙහෙස නිවාදැමුවෙ බොදුබැති දනහට
සිවිදෙසින් අවුත් හන්තානට තුන් මසක් පුරාවට
දුටුවා කළ වැඩ අපමණ සඳගිරි සෑ බිමේ නිමාවට
ලොව වසනා ලක්වැසියන් දුන් උපකාරද පිහිටකොට
සැදුවේ පඩිපෙල, මල් උයන සේම පොකුණද හැඩට
අළුයම ඇවිත් හිරු පුබුදයි මල් කැකුළු
උවැසි උවැසියෝ සිටියේ පෙරවා උතුරුසළු
හැඩවැඩ කරන්නට දැරූ වෙහෙසට සියළු
පින්පෙත් දුන්නේ සැමට වැඩකර සියළු
සඳකුමරියත් සුපුරුදු ලෙස හන්තානේ ගිරිහිසින්
සැන්දෑ සමේ බලනවිට දෝවන්නට සොමි කිරණින්
අසිරිය දැක සඳගිරි සෑ බිම රමණිය බවින්
මන්මත්වී එලුවාසඳ සිය සළුවත් කඳුයායම වසමින්
කවිය බලන්න
