පරම යුතුකම
ප්‍රදීපාගාරයකි
පාළු දූපතක සමුඳුරෙහි
ගල් පර පමනක්ම ඇති
මිනිස් පුළුටක් නොමැති
ග්‍රහලෝකාගාරයක් තරම් විසල් නොව
සීත පුටු මත ඉන්දවා
ගොඩබිමෙහි විශ්වයන්ම පෙන්වන
උස්ව නැගි එකම තනි කුළුනක් ය
මහත හිස් කුස හැරුනු කොට
ඉහළ කඳ ගෙවී ගොස් හිස මහත
ඇස් ගිලී මුලු ගතම රශ්මියට පිලිස්සුන
අප්‍රිකානු කාන්තාරබඩ තෙත අහිමි පෙදෙසක
කාන්තිය විහිදුවන මිනිසෙක්මය ප්‍රදීපාගාරය
මසකට වරක් පැමින යන මිනෙසෙකි
කාරියපෙරුම මහතා
අතගා බලන පිලිස්සුම් තනන
" මිනිසාගේ පරම යුතුකම
මිනිසාට සේවය කිරීමය " යැයි
නිතර මුමුණන
සැබැවින්ම රාත්‍රිය පුරාවට
ඈත සයුරේ සරන
යෝධ ගිජු ලිහිණි වැනි යාත්‍රා
අයිති මුත් තෙතක් නැති ධන කුවේරයනට
දිවා රෑ වෙහෙසෙමින් වැඩ කරන
අහිංසක නැවියන්ට
පෙන්වමින් කියා දිය යුතුමය පාර
කවර හෝ අනාගත දිනයක
මව් රටේ නැව් තොටින් බැස
කුස ඇලුනු දරුවන් සොවින් තැවෙනා බිරින්ඳන්
මව් පියන් නෑසියන් සොයුරිසොයුරන්
සොයා යන්නට මග බලන...
කය පුරා ඉඩහසර ලියාදී
තනාගන්නට කැඳලි සිත් සේ
ලිහිණියන් හට
උසුලමින් ගතපුරා උන් හෙලන
නේක අප ගඳ දුගඳ
නොනැවතී එතෙකිනිඳු
විඩාපත් නේක පක්ෂීනට
සලසමින් හිස ද කය වසා අස්වැසිල්ලට
ගිනි ගහන අව්වේද රෑට වැහි පින්නේද
කරදියෙන් නැහැවෙමින් කුණාටු ද මැද්දේද
නොසැලෙමින් මහා මෙහෙයක
නිහඩවම ප්‍රදීපාගාරය...
අසා ඇති පරිදි පෙර
මිනිසාගේ පරම යුතුකම ගැන
හිතයි හේ විඩාබර දහවලකට
පසුව එළඹෙන ඈත ඉර ගිලෙන හැන්ඳෑවක
බලාගෙන ඒ දෙස
" කිසිවකුදු කිසිදු දින නොපතමින්
මිනිසාට මෙන්ම සත වෙත ද පාමින් මෙහෙය
දිවි පුරා නොසැලෙමින් වෙහෙසෙනා
ප්‍රදීපාගාරයක මෙහෙයට
තිබෙද නිර්වචනයක්
අසා හෝ සැනහෙන්න
සමුදුරෙහි හෝ හඩට අමතරව "
ප්‍රදීපාගාර වැනි නිහඩ මිනිසුන් ඇතත්
නොමැත කිසි ගුණ කතන නිර්වචන
උන් හටත්
දුලබ මුත් අද ද හෙට කරකැවී උන් හොයයි
මංමුලාවූ කෙනෙක් සරණ සොයනා සතෙක්
පිහිට වන්නට සදා හදවතින්
ප්‍රදීපාගාරයක මෙහෙය මෙන්...
Photo Credit: Nathan Jennings
කවිය බලන්න
