ගජගා වැලපිල්ල
ගතින් ඇවිද යන මිහිමත ලොකුම සතා
වෙමින් හිඳිමු මහ වන මැද දිවිය පතා
සොවින් කියමි මේ දුක කවි විලස ගොතා
ඉතින් අසනු ගජ කුලයේ කඳුළු කතා
කරඬුව උර දරා මා පිය නගන සඳ
අබිමුව වැඳ වැටී නමදින දෙඅත බැඳ
නසනුව කීම අහෝ වන මැද දෙදල සිඳ
මරුමුව හෙළා දල උගුලා කුළල බිඳ
අන්දා මගෙ ගතට විල්ලුද රුවැති ඇඳුම්
රන්දා මිණි කරඬු උරමත සදා උතුම්
කැන්දා පෙරහරේ යන විට වඳින වැඳුම්
මන්දා වෙන්නේ ඇයි අමතක දනට උතුම්
රුපුන් සමග යුදයට වන් රජුන් එදා
තෙදින් රණ බිමට ගෙන ගිය රැහැන් මුදා
බැවින් පොරණ මිනිසුන් කළ ගුණය විදා
රුවින් ගල්කුලෙක නෙළුවේ බැතින් පුදා
පෙනුමින් විසල් මුත් බඳ මහ කුළක් ලෙස
හැඟුමින් නිඹුල් වෙමු අප මනුසතට යස
පෙරමෙන් හිඳිමු අපි මේ හෙළ දෙරණ වැස
සටනින් ජයක් වෙද දෙපසම මියෙනු මිස
