සැරසෙන හැටි රැයකට...
මෝදු වෙවී හඳ වටකුරු වෙන කොට
පාට රිදී තරු සැඟවෙයි හනිකට
සේල වළා සළු ඔතමින් බඳ වට
ඈත කඳුත් සැරසෙන හැටි රැයකට!
සීත සුළං රැලි නැලවෙන තනුවට
කෝල වෙවී තුරු ගොමු සෙලවෙන විට
රෑට පිපෙන සේපාලික කැකුලට
බෝම හිතයි බඳ ලෙලවන නැටුමට
දෑල තෙමා යන දොල දිය දහරට
පාට එවන සඳවත අහසේ සිට
කෑලි කඩී වතුරේ යට ගිලුනට
තාම හිනාවෙන හැටි නම් මොනවට
ගීත කොවුල් නද නිදි ගත් අතරට
රෑසි හඬින් මිහිරක් දෙයි සවනට
රූප ගොඩක් මැවුනත් සිතුවිලි වට
හීන ඇවිත් වැතිරෙයි මගෙ නෙතු යට
