මගේ දේ මට දෙන්න

මගේ දේ මට දෙන්න

රුවන් ඩී අළුබෝමුල්ලගේ

නිදි කිරයි අඩ අඳුර සල්ලාල අහස යට
විදුලි පන්දම ගසයි සඳ එළිය
කණමැඳිරි තරු, කදෝපැණි හැන්දෑව
අකල් වැසි ඇද හැළෙන බොඳ හීන

අලුත් ළා දලු ඇදෙන කේඬෑරි කටු ඉපල
මලුත් පූදාවි නෑ සැකක් ගඳ වුව සුවඳ
කියවගෙන කියවගෙන ගියේ නොනවත්වාම
ඇස් කුහර රිදුම් දුන් අකුරු නැති පෙම් හසුන

ගලිවරයො ඉත්දි ලිලිපුට්ටො මොන එකකටද
හැබැයි ලිලිපුට්ටො නැති ගලිවරයෝ හිඳීවිද
යා දෙකය නොරත රත පෑහෙන්නෙ නෑ තමයි
මහමගට ඇද දමයි ගෙදර ඇවිළෙන ගින්න

ගල් කුළක මල් පිපෙන් නෑ ඒක නම් ඇත්ත
හිල් කූඩෙකින් ළිඳෙන් වතුර අදිනව බොරුය
පල් වෙච්ච නරා වළ ගඳ ගහනවා තමයි
වල් අලින් කෙවිටකින් පුළුවන්ද පන්නන්න

අමාවක් කියා විස කුසලානෙ මුවට ගෙන
බොන්නෙ හුස්මක් කටක් නොගෙන එක හුස්මටම
මහත්වරු නොවන මුත් මහතුනේ අහගන්න
ඔබේ දේ ගත්ත නම් මගේ දේ මට දෙන්න

කවිය බලන්න