ඩාවින්සි පසු ව ඇඳි රුව
ලියනාඩෝ ඩාවින්සි වෙමි
මැවූ ඒ ලෝ පතල සිත්තම
සිනාවක් නැති සුසුදු වුවනත
කඳුළකුත් නැති දිලෙන නෙතු අග
හඬක්වත් නැති හෙලන සුසුමක
මා සිතේ ඇඳි අරුම ගැහැණිය
මුලින් ඇන්දේ කැන්වසය මත
වෙනත් ගැහැණියකගේ වුවනත
කසල තේ ළිප තබා අළුයම
ඉස්තරම් තේ නෙළන ලොවටම
පා ගෙවෙන තුරු කන්ද නගිමින
දලු කූඩෙ බර දරන ඇගෙ වත
සත් සමුදුරින් එහා ලොවකට
කලාපේ සළු වියා රෑ යම
බියපත් පා හනික තබමින
බෝඩිමට එන යුවතියක වත
වෙහෙසබර මුහුණතේ රැලි මත
පිසදමා ඩා බිඳු විටින්විට
අළුයම පින්නේ ගිනි මද්දහනේ
මාවතේ අමදිනා ඇගෙ වත
ලොවේ හැම බර හිස දරාගෙන
ලාබ වත්සුණු උලා වුවනත
බැඳ මුදුන් කොට අවුල් වරලස
වීදි කොන රැක සිටින ඇගෙ වත
නෙත් බඳන පැහැ තෙළිතුඩින් ගෙන
මකා වුවනත වැටුනු රැලි සැම
පිසදමා තෙත් ඇස් කෙවෙණි මුල
මිදුණු කඳුළක ලකුණු මකමින
පසුව ඇන්දෙමි මොනා ලිසා රුව
සිනාවක් නැති කඳුළකුත් නැති
හෙලන සුසුමක හඬක්වත් නැති
මා සිතේ ඇඳි අරුම ගැහැණිය.
කවිය බලන්න
