ගහට ගහක්

ගහට ගහක්

සරත් කුමාර වික්‍රමගේ පානදුර

තුරු වදුලු වනස්පති අතර හිඳ රජරටෙහි
පොහොණි වී හැඩිදැඩිව ඉණකඳින් සුහුඹුල්ව
රුදුරු මනුසත් වගට පමණක්ම දෙවෙනි වී
යතුරු දෙති දැති කියත් දතට වෙන්වී කැපී.

දැව කොටන් පැටවෙමින් යන්ත්‍ර අත් ඔසවමින්
ලොරි උදරෙ ගොඩ ගැසී තෙරපෙමින් තදවෙවී
උපන් ගම්බිම් වලට මහරෑම සමුදිදී
මොරට්ටු ගම්මන ඇවිත් ඈත ඇති ඉසව්වට.

ලී මෝලෙ විනිශ්චය ලබන්ටත් වෙයි අපට
තව වරක් දැති මුවෙන් වරද නිවරද අසා
රුක් දිවිය ලැබූවට දඬුවම්ද මේ මහත
කැපි කැපී මුර ගසමු මිනිස් දෙසවන් වලට.

වෙනස් වී නම් ගොත්ද ලෑලි හෝ ලී ලෙසින්
වඩු වැඩෙහි පදම දත් පුරන් බාස් සතු මඩුව
නිවෙස් කර ඔහු අතින් හැඩ වැඩව නොරිදවා
තව තවත් ඇණ ගැසුම් කැපුම් සිදුවුව නොබා.

අත් ගුණේ මහිමයෙන් රූපයත් වෙනස් වී
වටනකම් වැඩි වුණා පොලිෂ් කර ඔප වැටී
කැටපත්ද ඔබ්බමින් අලංකාරය ගෙනා
නැවුම් අප සුසුමින්ම සුවඳ මඩුවෙහි පිරේ.

අල්මාරි සෝෆාද කණ්ණාඩි මේස වෙත්
පුටු මේස අප කයින් මැවුණේද මේ සියල්
අගනේය වටිනේය අමිල බව රැව් නඟයි
පිය පුරන් හිනැහෙමින් අපට යළි උපත දුන්.

වනස්පති අප වුවත් බුරුත මුල් නම් ලැබූ
වනයෙහිම මියැදෙන්න තිබු පවට පින දෙන්න
ගෘහභාණ්ඩවී දෙවන දිවියකට වරම් දුන්
තුති පුදමු මනු සතුට විඳපු දුක් බැහැර කොට.

Photo Credit: Artur Łuczka

කවිය බලන්න