ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2022 නොවැම්බර් කලාපය
මන්දාකිණියේ කොතැනක සිටියත් කවි සෙනෙහස නැතිවෙද කවදා
නොමදුටු කිසි දින මල් නෙළ නිතියෙන් ලන්ඩන් කවි සැරසූ සුහදා
මල් වරුවාණෙනි ඔබ නෙළු ඒ මල්, කවි ගතකට පෙරළී එනදා
මහවැලි සල වෙත එනු මැන සවසට දෙසැම්බරයෙ පළවෙනි කිවිදා
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
2021 වසරේ ලන්ඩන් කවි සරණියේ පළවූ කවි අතරින් තෝරාගත් කවි දෙසීයකට ආසන්න ප්‍රමාණයක් මෙම දෙසැම්බර් මස දෙවන දා සවස 3 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වේ.
වැරදිලා හෝ පාඩමට
මේ තරම් කාලයක්
නිල් මහනෙලක කිව්
ඒ මලේ පෙති පාට
එය නොවේ ඒ නිල් පාට
ඔබට මතකද,
කලින් නොකියා ගෙවදින
වළාකුළු ඇවිත් ඉහ පිට
මන්දාරම පිරූ හවසක
නීල මේඝ!
ඔබ කිව්වෙ මේඝදූතයෙ
නිල් පාට
අදින් අවුරුදු දොළහකට
වගේ ඉස්සර දවසක
අධිවේගෙ යද්දී
ගැලනිගම පැත්තෙ අහසක
දේදුන්න !
මං තමයි ඔබට පෙන්නුවෙ
"ආන් අර මං කියන නිල් පාට "
මං නෙවෙයි එය නෑ කිව්වෙ ..
ඉන්ඩිගෝ කියන්නෙ ඒකට!
..........................................
අදත් මං ඒ පාරෙන්ම
කොළඹ එනකොට
අනෝරාවෙ
මං බයයි දේදුන්න දකින්න
බැරි වෙලා හරි
ඒ අමුතු නිල ඇහැ ගැටෙන්න
ඔක්කොමත් හරි,
වෙළඳ සේවෙට වැස්සෙම
නන්දාමාලිනී ඇවිදින්
මොකුත් දන්නැති ගාණට
" දේදුනු පායා පාට වැටෙනවා " කියද්දි
හුස්ම හිර කරන් අහන්න !
කවිය බලන්න
නුඹේ මඳලස මට ඇතී
ආමි අද මම සිහිගිරී
දැකුමට ඔබේ රූ සිරී
බෙයද මත නිසලව හිඳී
ඔබේ රුව දැක දුකත් සිතුනී
තුංග පියොවුරු තුඬු නැගී
ඇන්ද සළුපොට ලිහිල්වී
සිත්තරාටත් සිහිය නැතිවී
වසන්නට ළැම සළුපිළී
නන් හුදී ජන මෙහි ඇදී
බලා ඔබ රාගෙන් වෙලී
ලියූවත් නන් කුරුටු ගී
නොලීවෙමි බිත එවන් ගී
නෙතු අගින් නුඹ සිනාසී
බලා මා දෙස යළි හැරී
බෙයද මත නිසලව හිඳී
නිල් උපුල්වන් මියුලැසී
සිටියනම් සිත්තරෙකු වී
සළු පොටේ ළැම සඟවමී
ඉණත් තදකොට අන්දමී
නුඹේ මඳලස මට ඇතී.
කවිය බලන්න
තරුණ මුතු නොදිලි බිම
නීල කොබෙයි පියඹද්දී සුදු අරලිය පිපුනා
ගීත ඇසුන සඳ එළියේ දළු පිරි අතු සැළුනා
ශීත සුළඟෙ ටිං ටිං හඬ සතර අතේ ඇසුනා
භීත දසුන් පාවෙන විට දරු නොනිදා හඬනා
උදයේ දිලි හිරු කිරණින් හදවත් රත් වෙනවා
සැඳෑ සමයෙ සඳ අඳුරේ නිදි මත උදුරනවා
නරි හූ හඬ සමනොළ මත කුකුසින් තෙරපනවා
කඳුළින් ඉඳු සයුර පුරා රතු ලප වපුරනවා
දළදා සමිඳු දකිනා විට නුවර වැවේ
පාවෙන ළදරු සිරුරින් නෙත් සළිත උවේ
වීදියෙ සරණ මව හඬනා නිහඬ බවේ
ගීතය දුකකි රාවය රැව් දෙමින් තැවේ
කළුවර කරන් එනවා වැසි නුබේ පිරී
දෙනුවර කතා සිත නළියයි හඬනු බැරි
සාගිණි සැර පැතිර යද්දී මව්න් කිරී
වේලෙයි ඇවිල එයි වීදියෙ කෝප ගිණී
අඳුරයි සතර අතටම මුතු ඇටය පුරා
කඳුළුයි පිරී වැව දාගැබ නොතුට අරා
අසමින් මුවදොරේ හඬ අලියනුත් මරා
නිදියයි රජුන් නිහඬයි ආයුධත් දරා
කුහකයි උහුන් සදහට තම බලයෙ රැඳී
රවටයි දුගින් අකුරක රස බැලුවෙ නැතී
විනිවිද දකියි තරුණන් කළු බලය දකී
ඉල් මස නවක ලොවකට යන මගක එතී
කවිය බලන්න
අයියෝ සාමි....
ඇන්ඩසන් ෆැලැට් එකෙන්
මැනිං මාකට් එකට
වෝඩ් හැව්ලොක් ටවුන් ඇවිද ගියේ අපි එකට
හැමිල්ටන් ඇල දිගේ ග්‍රෙගරි වැව ඇති දෙසට
ගිය නමුත් යන්න වුනෙ මැකාති රෝහලට
පුරන්අප්පුගෙ රුවට බියවෙලා කල පවට
ටොරින්ටන් වඳිනවා කුඩාපොල හිමි නමට
කවිය බලන්න
කෙටි...............
1. කණකොක් රත
කණකොක් සුද පෙනේ ඉහළින්
ඔබ දෙතොලේ රත පෙනේ පහළින්
2. සමාජවාදය
මී මැස්සන් පැණි ගන්නේ අනුන්ටය
සමනලයින් පැණි ගන්නේ තමන්ටය
3. දිග හරහට යාවෙන තැන
එගොඩට යන්න ඔයා කැමති
පාලමේ දිගට ඇවිද ගෙනද
ගඟ හරහට ඔරුව පැදගෙනද
4. ඇති
හිඳ ගත්තී ඈ
තෙහෙට්ටුවට
මගේ හදවතේ
දුව දුවා හිඳ
5. ආදරයේ මිම්ම
උණුසුම ද
සිසිලස ද
කවිය බලන්න
ඉල්මහ තරිඳු දුටු සිරිඅසිරි එදා
සිත් පහදවාගෙන මතුවට බුදුබව පතලා
ගත් අදිටනින් ගෞතම සසුනට බැඳිලා
ලත් අවසරින් සළුවක් මුණිඳුටපුදලා
මෙත් බෝසතුන් ඉල්පෝයට විවරණ ලබලා
තිලොවට තිලක අපෙ සම්බුදු හිමිගේ
බෙදුමට දහම් හැටනම පලවෙනි සඟගේ
දෙසුමට දහම් සනසා මනුදන සැමගේ
ඇරඹුම වුනේ ඉල්පෝ දිනකයි අපගේ
සම්බුදු සමිඳු අපෙ ගෞතම මුනිඳු
උරුවෙල විසූ ජටිලයො ළඟ විහිදූ
සම්බුදු බලෙන් තුන්බෑයන් අවිදු
ඉල්පොහෝ දිනේ පැවිදිව ඇති පසිඳු
ගිහිගෙයි සිටියදි ඔහු වී උපතිස්ස
රූපසාරි මව්තුම මිසදුටු දිගැස
යහමග ගෙනා සැරියුත් හිමි අගස
පිරිනිවු දිනත් විය ඉල්මහ පොහො දවස
පෙරවස් වසන්නට නොහැකිවු සඟරුවන
පසුවස් පවාරන්නෙත් මේ පෝයදින
ථූපාරාමෙ වැඩ පෑතිස් නිරිඳු දින
ඇරඹුම සිදුව ඇත ඉල්පෝදා සොඳින
කවිය බලන්න
තව තවත් ආදරේ ......
මුතුපාන කිචි කිචිය හිතේ කොන කිති කවන
හෙමි හෙමින් මගෙ ළගින් ඇහෙනවා
හෙමින් දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන
ඔබ මගේ මතකයේ ඉන්නවා .....
මතකයේ ඇදි රුවින් එදා මා සොයා ආ
සුදු මුණ මා ළගම ඉන්නවා
කලින් නින්දට වැටුණු නිදන ඒ ඔබ දිහා
ආදරෙන් මම හෙමින් බලනවා.....
පෙලින් පෙල අමුණලා කොහොම කවි ලියන්නද
මගෙ හිතම මටම අද කියනවා
සිනා මල් පිපුණු ඔබ ආදරෙන් බලනකොට
තව තවත් ආදරේ හිතෙනවා .....
කවිය බලන්න
ලංකාව
ඉරාගෙන සරාගයෙ අවසාන තොත්තුව
විරාගය හදාරමි මවාගෙන වස්තුව
වවාගෙන කෑවොතින් ඉතිරි මේ කොත්තුව
විරාමය යල් පනී ගලෝගෙන පත්තුව
මළේ නෑ මළේ නෑ තාම පණ අදිනවා
කළේ නෑ කළේ නෑ තාම හොරු රකිනවා
බලේ නෑ බලේ නෑ ඇති දාට නිදනවා
පලේ නෑ පලේ නෑ හෙටත් උන් දිනනවා
මසා දමමින් ඉරුණු නීතියේ හිල්
උදාකරමින් ගනිමු යුක්තියේ සිල්
නෙළා ගනිමින් පිපෙන සාමයේ මල්
සදා එක්වී ඉඳිමු නැති බෙදී පිල්
කවිය බලන්න
මම ________
සතර පෙර නිමිති දැක දැක
කතර දුක බෝම විඳ විඳ
එතෙර විය නොහැකි තරමට
සසර දිගු වුණේ කෝමද?
නික්ම නොගිය මුත් ගිහි ගෙය
සිත ද කය සමඟ වචනය
කළ තරම් හොඳින් දමනය
දෙව් බඹුන් කියනු නිසැකය
රසයි කීවත් දුකය
දුකයි කීවත් රසය
දඬු බෑය මිහිරි යැයි සිතනවා
පසිඳුරන් පිනවමින් තැවෙනවා
පැන යන්න නොහැකි බව දැනෙනවා
මං තවම ජීවිතේ සොයනවා.....
කවිය බලන්න
සිරි යහන
සොම්නසින් කිති කැවෙන
දොම්නසින් දෙපසට හැරෙන
දුක සැප සතුට නොසතුට
එක ගලේ අඹරන
අඬන හිනැහෙන
රවන ගොරවන
විඳින විඳවන
තැලෙන පොඩිවෙන
රිදුනු තැන් පිරිමදින
නොරිදෙන තැනුත් රිදවන
අඩු පාඩු ප්‍රතිපූරණයවන
අරුම පුදුම තැන
සිරි යහන
24-10-2022
කවිය බලන්න
මීදුමින් වැසී ගිය
මනාවට නිමැවූ පාර පාළුය
නීතියට අවනතව පිළිවෙලට දිවෙනා
වාහනද විනීතය
හිතට වදයක් නොමැතිව
ධාවනය පහසුය
එහෙත් හදවත අවුළ්ය...
මව්බිමේ මහමඟක
දහඩියෙන් වත පෙඟුණු
එළවළුවක් දෙකක් රැඳි බෑගයක් ගත්
මිනිසුන් සහ ගැහැනුන් මතක් වේ
දෙපස ඇති කඩ පිළක පිසෙනා
රොටියක සුවඳ නාසයෙ රැඳේ
ඉඳහිටක වාහනේට එඹෙනා
බුලත් කහටැති සුහඳ සිනහවක්
නෙතු මැවේ
ඒ සැම අතරින් එදා විඳි
නාමල් සුවඳකින් හද කිතිකැවේ...
චන්දන ගුණසේකර
30.09.2022
කවිය බලන්න
ආවර්ජනා
පතා ගෙන ආ ලෙසේ සංසාරේ
නුඹ වුණා දිය පොද වියලි පොළොවට
එදා ප්‍රේමිය වෙලා සොඳුරිය
වුනා සඳ මට අඳුරු මඟ දිග
මල් මදාරා ප්‍රේම මාවත
කටු අකුල් පාදා පියමං කර
වුණා අප අපගේ
අපගේ ම සොඳුරු කුටියක
වෙලා පතිනිය මට මේ නවාතැන
වුනා නුඹ මව මගේ පැටවුන්ට
කලතා සතුට හා රිදුම් සම සමවට
බෙදා දුන්නා නුඹ මගෙ පතට
ලුණු ඇඹුල් නොබලා ම වළඳා
වෙහෙසුනා මම දිවා රෑ
පියකු වන්නට පැටවුන් ට
පිටු පා අතීතෙට
යටවුන කාලයේ වැලි තලාවට
අයා දෙනුවන් හිඳිමු
ළඟ ළඟ ම ඇති අම්බලමට
තවා ගත සිත රිදුම්
උරුම කළ එක යෞවනයක
08-09-2021
ජීවිතය කවියක් හෝ ගීතයක් නො වේ .
එහෙත් ඒ මඟ සලකුණු කවියට නැංවිය නොහැකියේ ද නොවේ
කවිය බලන්න
Victoria Dam
සිරිලක මධ්‍යම කඳූකර උපතින්
තුරැ වදුලු ගල්පර සිප ගනිමින්
දුම්බර මිටියාවත් මැදින්
ගලා හැලෙන නිල් දිය දහරාවන්
මහවැලි ගඟට ගලා යමින්
මහවැලි ගඟේ දිය කඳ ඔසවමින්
කිරි වදින කුඹුරු වතු පිටි ගේ දොර යට කරමින්
සිත් පිත් නැතිව ගලා ගිය දෝරෙන්
විපතට පත්වුනේ අසරණ ගැමියන්
සොබාදහමට දෙස් දෙමින්
අන් සරණක් පතමින්
දෙවියන් යැද්දේ නිතැතින්
ඉහ මොළ සරැ සාර පාලකයින්
රටේ පාලන තන්ත්‍රයේ සිටියෙන්
ඵක්සත්ව සාකච්ඡා කරමින්
යුහුසුළුව කටයුතු කලේ
රට දැය වෙනුවෙන්
සියලු දත්ත සපයමින්
එංගලන්ත මහ රැඡිණ හමුවේ
ණයක් ඉල්ලා සිටියේ ලක්මෑණි වෙනුවෙන්
එළිසබෙත් මහා රාඡිණියෙනි
කරැණු කාරනා මොනවට වටහා ගනිමින්
ණය මුදලක් වෙනුවෙන් ත්‍යාගයක් ලෙසින්
සැළසුම් නිර්මාණ ඉදිකිරීම් වෙනුවෙන්
විශාල මුදලක් දක්ෂ තාක්ෂණිකයන්
ඇතුළු පිරිසක්ද තිළිණ කරමින්
සදා නිමවනලද ඒ මහා වේල්ල
එංගලන්තය අධිරාජ්‍යයට ගෞරවයෙන්
Victoria Dam නාමයෙන්
ලොව පතළ වෙයි.
15/10/2022
කවිය බලන්න
කඳුල
මොහොතෙ සිත බිඳෙනා
හදට දුක දැනෙනා
තනිව ඉකි ගසනා
සැනින නෙත නැගෙනා
තෙත සිසිල ගෙනෙනා
සහනයක් සදනා
වේදනා මකනා
මිතුර විය වටිනා
ලොව එපැයි සිතෙනා
අතහැරෙනු හැඟෙනා
කෙනෙකු ළං නොවෙනා
මොහොතෙ ලඟ සිටිනා
කුසගින්නෙ දැවෙනා
ලෙඩක් ගත පෙලනා
පිහිට නොම පෙනෙනා
විටද දිරි දෙමිනා
බොහො ද්වේශ කරනා
වෛරයද ලබනා
නමුදු නිති පෙමිනා
කඳුල නුඹ රැඳුනා
කවිය බලන්න
තවත් එක් හමුවීමක් .......
සැනෙකින් නතර විය
අකීකරු සුළං රැල්ල
ගසා ගෙන ආ
තුරු පතක්
දෙපතුල් ලග
හිස එසවුවෙමි
බලන්නට
සොදුරු දගකාර බව
නමුත් කේඩෑරි අතු පතර
තෙත් කරවීය
නුවන් යුග
පොරොන්දු විය
ඉන්න බව
හැම කටුක නිමේෂයකදීම
නමුත් හැර ගොස්ය
තවත් එක් මන්සලකදී
එය තවත් එක් හමුවීමක්
පමණක් ම බව
පසක් කර ........
කවිය බලන්න
මානෙල් මල්
මතකයෙන් බොහෝ සේ ඈත් වී
තිබුණු මානෙල් මලක් විල් තෙරක
යළිදු දුව විත් සිතට හදිසියේ
යොවුන් විය දැල්වීය අඳුරු ගැබ
වියපත්ව දිනක බටහිර රටක
සිහින දකිමින් එවන මව්බිමෙන්
සිටින සඳ දහස් සැතපුමක් දුර
විසිර ආයේය ඒ මල් සුවඳ
සිනහවක් වචනයක් නොලබා ම
මලක් ගිළිහී ගියේ මා අතින්
දෛවයද ඒ මැදට පැමිණියේ
නොයෙක් වර අසන්නට සිතුනි මට
එදා මෙන් නැවත මම තනිවීමි
ජීවිතය කාරුණික නොවේ මට
ගං දියක පිදුරුපත් ළඟට විත්
යළිදු පාවී යාය දෙපසකට
ජීවිතේ බොහෝ දේ අත හැරී
හැඬේන මුත් මා ගැනම දුකින් සිත
මලක් යනු නෙලාගත් කාට හෝ
සුවඳ මිස අන් කිසිත් නොදෙනු ඇත
කවිය බලන්න
අම්බපාලිත් විශාඛාවක්
යට ඇඳුම මත රේන්දයෙ හැඩ රැයේ මත් වූ බඹරු දැක්කද?
නතර වී එක මොහොතකට හරි නිදි බරිත ඔය මුහුණ සිම්බද?
හෙට්ටු කර කර ගනන් ඇහුවම රතු වු ඇස් අග කඳුළු තිබ්බද?
රැයත් මලකට පින්න ඉස්සට අකුලගෙන ගියෙ ඉරට ඉස්සර
ඉතිරෙනා ණය පොතේ දෑලෙම රන හසුන් කිටි කිටියෙ තද වුන
තරුත් පිත වමනය කරද්දිම සඳත් සායක රැළි බිඳින සඳ
පතිණි සළුවක් අකුල අද්දර බැබලලුනා පොඩි වෙන්න ලං වුන
අම්බපාලිත් විශාකාවකි දණිහෙ මඩ තැවරෙන්න ඉස්සර
පතිනියකි අත හාල් තුන පහ තලා අඹ ඇට මදෙත් හෑරූ
සතා කිය කිය වටේ ගෑනූ චරිතයකි සහතිකත් දීපූ
තාල වර්ගයෙ ගසක් පාමුල ආදරයෙ මහ මුලම පීරූ
සිරිමගේ දෙන දැක්කේ නැතුවද ප්‍රසිද්ධියෙ වෙන්දේසි දාපූ
කවිය බලන්න
ඔබ එන්න
මඩේ ලඟින තාරාවන්
නාවා, පියරු දමා
සයනයේ කොනක සතපා
සඳුන් දියෙන් නා
මා සැරසී සිටිමි
වැලි කැටයක්
ඔය සුමට දෙපා නොගැටෙන්න
දූවිලිත් ඈතින් ඈතටම පාකර
මල් සුවඳින් කුටිය සරසා
මා සැරසී සිටිමි
ඔබ වෙනුවෙන්ම පේ වී
සැදූ දෙව් බොජුන්
නිවෙන්නට පෙර එන්න
ඈ සනසා ඔබ සැනසී
සතුටින් එන්න
මා සැරසී සිටිමි
කොහෙන්දෝ ආ
සුලං රැල්ලක්
මගේ කන ලඟ කැරකෙමින්
"මෝඩ ගෑණි" ඔච්චම් කරයි
සිනාසී මා
හීනියට නොරිදෙන්න
මුදු ඇගිල්ලෙන් විද
එලවා ගතිමි
ඔබ එන්න
සඳ දෙව් දුවට
හිනෙන් හිනැහෙන
කිරි කැටි සිනාව
දැක දැක සැනසෙමි
ඔබ එන්න
මා සැරසී සිටිමි
03/10/2022
කවිය බලන්න
මෙත් වැඩීම
මම නිදුක් වෙම්වා
ඒක හොඳයි
නිරෝගී වෙම්වා
වැඩියෙන් හොඳයි
යහපත් සිතුවිලි ඇත්තෙක් වෙම්වා.
දැනුත් එහෙම තමයි ඉතිං.
මාගේ සතුරාද
( අල්ලපු ගෙදරම ඉන්නව!)
නිදුක් වේවා
කමක් නෑ
නිරෝගී වේවා
අනේ ඔව්
යහපත් සිතුවිලි ඇත්තෙක් වේවා
මොනවා?
කොහොමද ඌ හොඳ වෙන්නේ
හිතුවොත් ඌ නරක දෙයක්
කෙරුවොත් මහ කැතම වැඩක්
ඉඳල හිටල හොඳ කරන්නෙ
කැපිල පේන ආසාවට
පිපිරෙනවා ඉරිසියාවෙ
යට කූට්ටු වැඩ සේරම
මොන පිස්සුද
නෑ නෑ නෑ
එහෙම නෙවෙයි
ඌ කොහොමද සුදන කරල
මායි ඌයි එක වගේද
අවුරුදු දහයකට කලින්
මට කීවේ අරක මේක
රකිනව මං පණ වාගේ
ඒ මතකය
හිටියා කට වහගෙන මම
හොඳකම හින්දා මාගේ
මැරුනත් මතකයි ඒ ටික
අපොයි මෙහෙම මෙත් වඩාල
ඒ සේරම ඇත්ත වෙයිද
ඌ හොඳ මිනිහෙක් වේවිද
එතකොට මට මොකද වෙන්නෙ
ඌත් මං වගේ වේවිද?
මොන පිස්සුද
මට මතකයි කරපු හරිය
නිදුක් වේවා මුලු ලෝකෙම!
කවිය බලන්න
දෙවියන්ගෙ මල්ලිලු සල්ලි ...!
මුදලක අගය දන්නෙමු අප
සියලු දෙනා...
සිරිලක වෙසෙන්නෝ ගැන නම්, නොකිව මනා...
මිදුලක මල් නොමැත, එලවලු
වවන දනා..,
හසලක වීරයෝ වන දින
ලඟම එනා...
එනමුදු "මුදල් දෙවිඳුන්ගේ
මලණු වෙනා"...
යන හුදු වදන මහ ඉහලින් සලකමිනා...
පිරිසිදු නොමැති නෙක අයුරින්
සොයන දනා...
පරසිදු වන්නෙ "සොර දෙටුවන්"
යන නමිනා...
ගත හැක ලොව සියලු දේවල්
මොහොතකිනා...
සිතමින් මුදල් රැස් කරනා
විටදි දනා...
මතයක් ඉදිරිපත් කරනෙමි
සිතනු මැනා...
කෙතරම් නිවැරදිද මෙකියන
කරුණු ගැනා...
මිලදී ගතහැකිය කහටත්,
සුව යහනා...
සුවදී සනසවන නින්දක්
ගත නොහෙනා...
පැළඳී මිලාධික ඔරලෝසුව
මනිනා..,
කලදී, කාලෙ-වැයවන, නැවතත්
නොඑනා...
පොත පත බොහෝ මිලදී ගෙන
රැස් කෙරෙනා...
සතහට මොලය එලෙසට ගත
හැකි නොවෙනා...
ගත රුහිරයත් ඒ ලෙසටම
ලැබ ගැනෙනා...
මිත, ජීවිතය නම් මිලකට
ගත නොහෙනා...
එනිසා මුදල් සොයනට දිවියම ගෙවනා..,
මිනිසා විකල් මනසින් පව් රැස්
කරනා...
නොනසා ගුණදහම්, හැම ඒ සැරි සරණා...
සනසාලනමගයි අජරාමර නිවනා...
කවිය බලන්න
අව-මගුලක අව නඩුව
ගිලන් යහනක
වැතිර නිදනා
අම්මෙ ලංකා
පෙම්බරා
දෙන්න අවසර
ගොහින් එන්නට
ඒරොප්පෙ මහ අව-
මගුල ටා
ඉඩක් ලැබුනොත්
බැහැ දකින්නම්
තාර දෙවිත්
නොවරදා
කියන් මගෙ සකි
මහ දිසාවේ
නුඹත් යනවද
නොම දොසා
කුන්කුනාවේ
හිමි සඳත් මට
ලියාදුණි ‘දුක්’
කවි ගොතා
සැකක්නැ මට
පුරන් අප්පුත්
හඩයි එකවි
ගුණ අසා
ඉතින් අවසර
ගොහින් එන්නට
අම්මෙ ලංකා
පෙම්බරා
රනිල් හාමුත්
ගියා හනිකට
උනා ඇදිවත
කිම දොසා
2022 ඔක්තෝබර් 08 වෙනි දින
කවිය බලන්න
අනුරාගී උදෑසනක්
විඳ දරා ගන්න නොහැකිව හිරු රජිඳුගෙ චුම්බන
රතු කලා තබා සළකුණු නිල් අහසෙ තැනින් තැන
මුලු රැයක් පුරා කඳුළු ඇන්ද මල් මත පිනි කැට
අරුණැල්ල සමග සැඟව ගියා වනා මලට අත
රොන් සොයා වඩින බිඟු කැල දැක උදේ සුපිපි මල
පෙති විදා උන්ට මුකුළු කලා වනා සොදුරු බඳ
පොඩි තුඩින් තුඩට බෙදා ගන්න ප්‍රේමයෙ සරතැස
රණ මොනර හදක් කිට්ටු උනා සෙබඩ වතක් වෙත
රෑ නින්ද නැතිව මැඩලුන රණ තිසර යුවලකට
පොඩි විරාමයක් හිමිවුණි මේ කදිම උදෑසන
තේ එකත් අරන් ඇවිදින් බොරු නෝක්කාඩුවක
විහිදන්නෙ දෙතොල් මත රැඳිලද මල් වල මී විත
හිරු වෙන්න හිතයි ආයෙත් රත රඳවන අහසක
මේ හඬා වැටෙන බඹරට යලි වෙනවද මධු මල
මොන සුවය ඇතත් ලමැදක සුව නින්ද අහිමි මට
පොඩි රැයක් මොටද දෙවියනි මේ මහ දිග දවසට
කවිය බලන්න
පුතු සනසා
පිණි නාලා පිච්ච කැකුළු
සුදු පිරුවට සුවද තියපු
පුංචි පුතුට රහස් කියා
හොරෙන් පිපෙනවා
පැණි කෙමියක් හෙමින් නැමී
පුතුට පොවනවා......
කිරිදත් පොඩි සිනාසිසී
ඔහේ නිදනවා......
මවු සෙනෙහස පොරවාගෙන
සිහින බලනවා
කිරි පුසුඹට හා පැටවුන්
හොරෙන් එබෙනවා
මගේ පුතුගේ තොටිල්ල යට
උනුන් නිදනවා.....
දුක හිතිලා හදහාමී
කදුලු හලනවා
කිරි වැස්සට ගඟ උතුරා
සයුර පිරෙනවා....
පෙණ විසිරී දියඹ දිගේ
සිගිති දෙතොල් පහස දැනී
මවට හොරෙන් තුරුල්වෙලා
පුතුට පොවනවා...
පුතු සනසා හාදු තියා
තවත් හඬනවා
පුතු අවදිව මතු දිනයක
අහස සිඹිනවා....
තරු අමුනා මාල ගොතා
සදකැන් පිරුවට ඔතලා
දේදුන්නක පාට තියා
මා සනසනවා.....
පුතු සැනසෙනවා...
කවිය බලන්න
ජපුරේ අතීතය
උගතුන් දහස් ගනනින් හැදු ජපුරේ
කොල්ලො කෙල්ලො හමු වි ගිය ජපුරේ
කලා රසට අරගලයට මග පෑදු ජපුරේ
නොදැක ඉන්න බැරි තරමයි ජපුරේ
නිල් තණ නිල්ලේ පිටිපස්සේ සුමන්ඟලේ
ගාට ගාට ඉබි ගමනින් ගමන්කලේ
අහස පොලව ගැටලන්නට කතා කලේ
තුත්තිරි ඇනෙනවා ඇයි මේ දාන්ගලේ
කවිය බලන්න
ඒ මාවත අපේ නොවෙයි ...... !
කියන කරන දේ දැක්කම අපේ ළමයි
අපේ මනාපෙන් මැති සබ යැවූ බමයි
අහිමි කරන විට හෙමිහිට රැසයි - බිමයි
නොගැළපෙන්නෙ දැන්නම් මෙහි අප ම තමයි ....
මවු බස ඇවැසි නැහැ ඉගෙනුම පිණිස කියයි
නීති විදුහලෙත් පර බස වහර යොදයි
සරසවි දැනටමත් මවු බස අතැර තිබෙයි
අපට දැනෙනුයේ මඟ වැරදිලා වගෙයි ..... !
දැයක උරුම රැකුමට බොරු වහසි ගොඩයි
එහෙත් කෙරුම සබයෙදි පර දෙසට යටයි
අහිමි වෙන්නෙ අපෙ දරු පරපුරෙහි හෙටයි
රැකුමට එය යැවු උන් මොළ හරිම මොටයි
ණය ගෙන වුණු විපත වැටහී නොමැති වගයි
සකසුරුවම නොව තව ණය ගන්න හදයි
රට උකසට යනු ඉන් පුදුමයක් නොවෙයි
ණය වෙනුවට දැයෙ සම්පත් හිලව් කෙරෙයි
දැයක සෙවෙර හිමිකම නොවටිනා හැඩයි
එවැනි රටක උරුමය නිසැකවම හිඳෙයි
වෙළඳපොළක කා - බී නිදියන්න ලැබෙයි
එය නම් ඇවැසි, ඒ මාවත අපේ නොවෙයි ...... !
2022 ඔක්තෝබර් 19
කවිය බලන්න
මළගම
ප්‍රියය
මා නික්ම ගිය දිනක
මල්මාලාවෙන් සරසන්න දොර පියස
මංගල්‍යයකට මෙන්
නිවෙස් වලින් පිටතට
කැඳවාගෙන විත් මිනිසුන්
නටන්න මාවත් දිගට
මනාලියක් සේ පේවී
මරණය පැමිණි විට
මගේ දීප්තිමත්ම ඇඳුම් අන්දවා
මා පිටත් කර යවන්න
අපේ අමුත්තන්ට
හිම කිරම සහ රෝස පෙති දී
සංග්‍රහ කරන්න
සොඳුර
හඬන්නට කාරණා නැත
ජීවිත කාලයක්ම බලා උන්නෙමි
මේතරම් සුන්දරත්වයක්
මගේ හුස්ම පැහැර ගන්නා තුරු
පැමිණියෙමි
ජීවත් වූයෙමි
ජීවිතය නම් මේ තරඟය
දිනා ගත්තෙමි
එනිසාම මා නික්ම ගිය දිනක
සැමරිය යුතුය
මා මරණය
Translation of the poem ‘Funeral’ by Rupi Kaur
Original poem from -https://www.poetic-endings.com
Photo by Vaibhav Nagare from Unsplash
Rupi Kaur ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානු කිවිඳියකි. කෙටි, බරැති කවි ලියන ඈ මෙතෙක් පළ කළ කවි පොත් හැම එකක්ම රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. කවියට අමතරව රේඛා චිත්‍ර ඇඳීමටත් දක්ෂ Rupi ඇගේ පොත් ඇගේම චිත්‍ර වලින් හැඩ ගන්වා තිබීම විශේෂත්වයක්.
කවිය බලන්න
අහස,සඳ හා කඳු මුදුන
ඝනවන් අහස් තල සිඹ කඳු අග්ගිස්ස
නැඟෙමින් රඟන සඳ වෙත දෙයි ඉඟි වැස්ස
අතරින් පතර තරු එළි කඳු මත ඉස්ස
සන්සුන් වළාවක් එලුවා පිනිබිස්ස
තවමත් නිදිද රෑ කොමළියෙ ඇහැරෙන්න
සඳකත් වෑස්සෙනවා පිනි දැකගන්න
මදමත් කඳු සබඳ තුරුලට ඔබ යන්න
අහසෙත් සඳෙත් ගීතය නුඹ අහගන්න
සිපගෙන අහස, තවරා රන් සඳ එළිය
ලඹදෙන නදී වැල් වස්සා පෙම් ජලය
නොබිඳෙන නිහඬ රෑ මනරම් වූ කවිය
අවසන එළඹ නෑ කඳු ගීතාවලිය
කවිය බලන්න
තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන
කදුරු වාගේ තිත්ත කරුවල
කලු තෙරක එක් දනව්වක හිඳ
විය සිදුර බිඳ පහන් එළි ඇති
දුරු දනව්වක දිවි හරඹෙ හිටි...
තුරඟයකු පිට නැඟී ගත් නුඹෙ
දෙපා යුග බිම නොගැටුණෙ ද රළු
වේගයෙන් හඹ-හඹා ගියෙදැයි
පමණටත් වැඩියෙන් සිතෙයි මට...
කැලෑ කටු පඳුරින් පොහොදු වුණු
පිපුණු කැකුලේ අගය නොදැන ද
ගැමිකමේ සෙනෙහස නසා-නුඹෙ
හුරුබුහුටියත් සුනු-විසුණුකොට!
නොබසිනා හිරුගේ ඉමෙහි සිට
අරුමෝසමට දෙනෙත් නතු කර
බලා සිටියෙ ද තව ඉරක්-පායනු
දකින්නට දිවි අඹරෙ තෙර!!
කාලයේ වැලි තලාවේ යට
උස්-පහත් වූ සියුම් සිතිවිලි
එබෙයි තවමත් වරින්-වර-මායිමේ
හිඳ වැට කඩුලු බිඳ ගෙන...
හමු වුණේ හැටියට ද ඉරණමෙ
ආ-ගියේ ලොව් “අටේ දහමට”
දෙළොස් කොටුවෙ ම ලියැවි තිබුණෙ ද
බොඳ ව ගිය අපැහැදිලි ව අකුරින්...
කරමි නිවැරැදි මේ සැහැල්ලෙන්
සිදු වෙලා ඇති ඒ විපැත්තිය
ඉතා පැහැදිලි රවුම් අකුරින්
සනස ගනු පිණිස ම මගේ සිත...
තී වෙති ද ඒ මාර වෙසඟන
අපේ හදවත් තුළට රිංගූ
මේ ඇය ද නොව නුඹේ හද ගිනි
දුන්න යුවතිය මහද ගත්තූ!!!
කවිය බලන්න
අප නිවසේ මාල ගිරවා
හොට ලස්සනයි කර මාලය රතුම රතුයි
ගත ලස්සනයි කැරෙන විට පැහැය ගෙනෙයි
හරි ලස්සනයි හදවතෙ මගෙ සතුට පිරෙයි
නුඹ තනිවෙලා ඉන්නා විට මටත් දුකයි
අම්මා තාත්තා කිය කිය කැරකෙන්නේ
කූඩුව තුළට වී කරනම් ගසන්නේ
අක්කා කියා මා අමතා සිටින්නේ
මෑකරලක්ද නුඹ මාගෙන් ඉල්ලන්නේ
පෙත්තා පුතා බත් කෑවයි කියන්නේ
නිවසේ සැමගෙ නුඹ සුරතලයා වෙන්නේ
රැඟුම් රඟන්නට නිතරම වෙහෙසෙන්නේ
නුඹ කූඩුවේ දැක්කම හද කකියන්නේ
සමහර දාට ඇයි නුඹ තරහ වෙලා
කන්නේ නැතිව කූඩුවෙ මුල්ලකට වෙලා
මම දන්නවා ආදරයක් ඕන වෙලා
කියා ගන්න බැරුවයි නුඹ නිහඬ වෙලා
රහසක් මම කියමි කාටත් නොකියන්න
ආසද පෙත්තො නුඹටත් රවුමක් යන්න
තාත්තට හොරෙන් නුඹටත් ඉගිලෙන්න
කූඩුව අරින්නද අහසේ පියඹන්න
පරඬැල් සොයාගෙන ගොස් සෙවනැති ගසක
හදපන් කූඩුවක් තුරු මුදුනේ බෙනක
සැනසීමෙන් ඉන්න නුඹටත් යම් තැනක
පැහැබර කුරුලු කෙල්ලක් හමුවෙයි දිනක
කිසිවෙක් දකින්නට නම් නෑ ගෙදර පුරා
හිටපන් ටිකක් කූඩුවෙ දොර අරින තුරා
ඉගිලී ගොසින් ආදර වන්තියෙක් කරා
ආලෙන් වෙලී කියපන් රස ගීත නුරා
(සත්‍ය කතාවක් ඇසුරිනි )
කවිය බලන්න
රකිමු අපි අපේකම -
මහිමි සම්බුදු පද ලකුණ ගෙන ඇති සමන්ගිර මුදුනතෙහි
සිට
කැළණි, මහවැලි,කළු ද වලවේ ගලයි තුන් සිංහලය සරු
කොට
බෙදයි දියකඳ, ගෙනෙයි රොන්මඩ, පොහොර දෙයි යල මහට
කදිමට
පුරයි අටුකොටු, නිවයි කුසගිණි, වඩියි සිරිකත සිංහලේ
ගෙට
ගලන ගංගා තුලට නැහැ නොවැ එදා වස හරවමින්
යැව්වේ
වැඩුන අස්වනු තිබුණි සරුවට නැහැනෙ රට පොහොරකට
ගෙව්වේ
කපන කුඹුරෙන් ගොඩට ගියෙ බැත, වැටුනු තැන තැන කරල්
හෙව්වේ
දුගියෙකුය, උහු බත ද, තැන තැන කුරුලු කුසගිණි එයයි
නිව්වේ
ඇත්ත ඇති සැටි කියන්නේ මේ කවුරුවත් නෑ සිටියෙ නැහි
නැහි
අත්තමට හැම වැඩම කෙරුණා ගොයම කැපෙනා තුරුම
කුඹුරෙහි
ගත් දෙයින් අටුකොටු ද පුරවා බුදුන් දෙවියන් පිදුව හැටි
මෙහි
අත්ව සතුටක් සිතට රිංගයි අනේ ඒ හෙළ දරුවො දැන්
කොහි
සරල සුගම ව කරන ගොවිතැන නිතර දුන්නේ රටට
සෙතමයි
වරද කාගෙද ටැට්ටරේ තෙල් පසට එකතුව අනෙ
අඳෝමැයි
කරට බැඳි නගුලත් අදිද්දිම දැමුව ගොම්පස් පොහොර ලෙස
මයි
සැරට දැමු රට පොහොර, තෙල්වල රැඳුනෙ පිළිකා දෙන
ගුණේමයි
රජ රටේ අනෙ අපේ ගොවියන් වකුගඩුව දැන් නැතිව
ඉන්නේ
ඔවුන් වෙනුවෙන් තමයි රජයෙන් වෙනම රෝහල්
බිහිකරන්නේ
පැරණි ගොවිකම කෙරුණෙ කොහොමද මදක් තතු විමසා
බලන්නේ
එතැන ඇති මේ රටට විසඳුම එයයි අප මින්
ගොඩදමන්නේ
කවිය බලන්න
භේරී කට්ඨං
භේරී කට්ඨං
හද
කඩා වැටී දවසක් දා දෙහිවල බස් හෝල්ට් එකේ
කඩල ගොට්ට මං අරගෙන කකා හිටියෙ චූන් එකේ
කිව්ව වෙලාවට ඇවිදින් මං උන්නා ගමට යන්න
අවුරුද්දට ගමේ ගිහින් අම්ම-තාත්තා බලන්න...
“ගමට යන්න කලියෙං මං එන්නම් ඔබ දැක ගන්නට
ගමට ගියොත් ඔයා ඉතිං එන්නෙ නැහැනෙ හුඟ කලකට”
එහෙම කියූ ඇය කවුරු ද කියල දෙන්න අවසර මට
උඩැක්කියක් වාගේමයි මට දැනුණේ හරි විදියට...
උස නොවුණත් හඬ තියුණු ය මහත නැතත් ඉනසුඟමිට
පුංචි එකී වාගෙයි ගැට-ඉස්සිය රණ හංසිය මට
පටල-පටල තතන-තතන ඔතැනි වෙවී ඇය එන විට
ඇති වන්නේ අනුකම්පාවෙකි මා දැක හැම දෙනාට...
කලක් ගත වුණා දෙදෙනගෙ ආදර අන්දරයට සොඳ
උඩැක්කිය වගෙයි නොව ගැටබෙරය බැඳ, වගෙ තදේට
ගමේ ගිහින් ඇවිත් බඳින්නට ඇවිටිලි- කල්පනාව
තඹ දොයිතුවකුත් අත නැති දවුල් නටන රූපිකාව...
කියන-කියන උප්පරවැට්ටියට වෙට්ටු මං දම-දම
හිටිය කලක් කෙබර බබා අමු-අමුවෙ ම ඇහිඳ ගත්ත
නට-නට කියනා පදේට රාගෙ තාල ඇවිස්සුනට
පාද තිබ්බ මං රඟේට අවැසි තාන ගෙන අගේට...
කියන්න දේකුත් නැත ඇගෙ ඉල්ලීමට ඉඩ දීලා
හිටියා මං මටත් නොවේ ගානට කිසිවක් නොකියා
මෙන්න බොලේ හිටි හැටියෙ ම මඟුල්බෙරේ තඩිබාලා
කිව්වෙ නැද්ද “අපි බඳිමු” ය මාස දෙකක් දැන් පිරිලා...
ඉහ-මොළ මගෙ ගිනියං වී කලන්තෙ හැදුණා වාගෙයි
මට දැනුණේ මුළු දිවිය ම හිර ගෙට යනවා වාගෙයි
පහත රටේ කෝලං මඩු නැටුම මතක් වුණු ගානයි
ගැටබෙරයත් මට හැඟුණේ යක්ඛබෙරේ වාගේමයි...
තම්මැට්ටං පුරප්පට්ටු සුරල් ගසා රබන් සොඳුරු
දඬු බෙර-දක්කිය-බම්මාඩිය හඬ දෙන පදින් මියුරු
මිරිදංගය-මද්දල-ඩෝලය-ඩොල්කිය තමයි මිතුරු
ඩොලැක්කෙ දෙන බෙලෙක් හඬට
දෙමි තබ්ලාවෙන් පිළිතුරු...!
2023.03.01
කවිය බලන්න
හිස්ම හිස් ................
යුග දිවිය පුරාවට
නුඹ සමග දබර කරගත්
නිදන කාමරය අද හිස්ම හිස් දේවී
ඈත් වුනු තනි ඇඳේ
තනිව රෑ ඉකිබින්ද සාවී
නුඹ නික්ම ගොස්ය අද දේවී!
කිසිම හයියක් නොමැති
මා දුබල සුනඛ වෙස
පදමටත් වැඩියෙන් රාබී
මැදියමත් ගෙවී ගිය
පහුවදා පාන්දර
වැටි වැටිි වෙසින් නාලාගිරී
එනතුරා නිදිවැරැැ දේවී
ආලින්දයේ පුටුව අද හිස්
සාලයම පාලුයි දේවී
යලි නොඑන ගමන් ගිය දේවී ...
කෝපයෙන් දැවෙන සිත
රෑ දවල් මාපියන් මතක් කර
මා සැහැසි බස් අසා
ඉදිමිච්ච රතුවෙච්ච දෙකොපුලේ
රිදුනු තැන් අතගගා
කුස්සියේ ඉකිබින්ද සාවී
කුස්සියම පාලුවෙි දේවී
නුඹ නැතුව හිස්ම හිස් දේවී!
නිම නොවෙන සැප සොයා
නිදැල්ලේ සැරූ මා
මර දූවරුන් අතර පාවී
මගේ සිත කැලැල් බව දැන දැනත්
මා අතැර නොයා සිටි සාවී
නොඑන්නම නික්ම ගිය දේවී
ජිිවිතේ හිස්ම හිස් දේවී ...!
සිිතාව වි එදින දැවටෙන්න මා අසල
හැමදාම ආස කල දේවී
කිසිදාක නුඹ දුටුව
ආදරේ දෙව්රැවට
සමවෙන්න නොහැකිවුනු පාපී
මා නුඹ ව දුටුවාද
එනම් ඒ කවදාද
මට මතකයක් නැහැ දේවී
ජිිවිතේ හිස්ම හිස්
අහිංසක සාවී.......
කවිය බලන්න
එතැනත් තව තැනක් විතරයි මල් පිපෙන...
එතැනත් තව තැනක් විතරයි මල් පිපෙන...
තැනින් තැනට ගිහින්
මොන විදිහට බැලුවත්
තැන් කියන්නෙ වෙනසක් නෑ
එක වගේම තමයි!
හැම තැනක්ම තවත් තැනක්
එක වගේම තමයි!
වෙනස් වෙන්නෙ එකම දෙයයි
කාලය පමණයි!
තැන් තැන් වල උරුමය ඒ
කාලයටම තමයි!
ආ.. තව එක දෙයක්..
ඒ තැන් වල පිපෙන මලුත්
උරුමය අපෙ නොවෙයි!
කොතැන ගිහින් බැලුවත්
මල් පිපිලා තියෙයි
ඒ මල් වල පාට සුවඳ
උරුමය මල් වලටයි!
ඒ මල් වල උරුමය
ඒ ඒ තැන් වලටයි!
අපට උරුම නොවෙයි!
අපට උරුම අප ඉන්නා
කාලය පමණයි!
තැන් වල උරුමය ඉල්ලා
පිපි මල් පොඩි කලොත්
අපෙ කාලය ඉවර වෙද්දි
මල් පරවී තියෙයි
තැන් විතරක් ඉතුරු වේවි
මල් පරවී තියෙයි!
2022.01.30
කවිය බලන්න
මිය ගිය දුවට
දුටු හැම කෙනෙකුගේ හදවත තුළ කොනක
රැදුනා ඔබේ සුරු විරු කම් හැම කලෙක
ලොවට සුවද විහිදන්නට තිබු. ඉඩක
මිලින වුනේ ඇයි සුන්දර බව මලක
අරුම පුදුම හැකියාවක් තිබු ඔබට
නොහැකි වුනේ ඇයි මරුවා පරදන්ට
ඔබ තිළිණයකි සුර ලොව සිට ආ ලොවට
අහිමි වුනේ රැකෙනා අයගේ පවට
සුරතල් සිනා මුව අග රැදි චූටි දුවේ
අකල් මරණ යළි කිසිදා ඔබට නොවේ
දුක්බර සසර නිමවී කෙටි වෙන්න බවේ
පතනෙමි ඔබට අජරාමර නිවන් සුවේ
කවිය බලන්න
ගඟ ඉලන්දාරි වනු පිණිස
ගඟ ගලා යයි සිඳු වෙත
සියල් ගංගාධාර සිඹ සිඹ
ගංතෙර උණ පඳුර දලුලයි
ගංදිය සැලෙන රුව දැක
මව් දිය ඌල කඳු හිස
සුබ පතයි ගමනට සිප හිස
නතර විණි නම් එ'අස දරු ගඟ
ගඟ ඉලන්දාරි වනු කෙලෙස ද
අල්ලා ගනු පිණිස මුතු මිණි
අත්හළ යුතු ය දෑතෙහි බැමි
දුරුකර යුතු පාරු මුනි හිමි
එතෙර වූ පසු නැත දුක් නිමි
කෙත් වතු කුඩා ගං අතු සිඹ
ගඟ ගලා ආපසු සිඳු වෙත
ගඟ ද නැති සිඳු ද නම හිතවත
නමක් නැති එක කොතෙක් මිහිරි ද
'සහස් කඳු තරණ මංපෙත්' (2022) කාව්‍ය සංග්‍රහයෙන්
කවිය බලන්න
සඳ අහිමි අහසක..
අමාවක අහසකට සඳක් එන්නැති හැටී
තරුවකින් අසාවිත් වලාකුල් මට කීහැටී
හමාගිය සුළඟටත් කඳුළු වළකනු බැරි හැටී
මඟ බලාහුන් නෙතට විඩාබර ඇයි මේහැටී
රළක් පෙරලී නැවත ආවත් වෙරළකට නවතනු බැරී
වඩදියට අවනත නොවුනු දියඹද අනේ සැඩවුනු හැටී
සයුරමත හිඳ වාරකන් මට රුවළකින් නවතනු බැරි
සිතිජ ඉම මත ඇඳුණු සිතුවම් සිතින් මගෙ පිටමං වුණි....
කවිය බලන්න
බඹර ගීතය
සවන් සිසාරා මිමිණූ
බඹර ගීත ප්‍රතිරාවෙන්
සමාධි ගතවී තුන් හිත
දැහැන් ගත වුනා.
සිත් සංකා කෙමෙන් කෙමෙන්
පහවෙලා ගියා.
දෝංකාර දී දෙසවන
පුරා පිරුණු බඹර ගීත
ගාම්භීර හඬ මිහිරෙන්
මිහිර මතුකලා.
සිත් සංකා කෙමෙන් කෙමෙන්
පහවෙලා ගියා.
ගිගුම් ගර්ජනා කරමින්
මේඝ වළා කුළක හඬින්
බඹර ගීය දෙසවන
දෙවනත් කර ඇසුනා.
සිත් සංකා කෙමෙන් කෙමෙන්
පහවෙලා ගියා.
කවිය බලන්න
මේ තමයි නොවැම්බරය......!!!!!
එක දිගට ඇද හැලෙන චුරු චුරු වරුසාව
හිරු එලිය නොදකින දුක්මුසු ගහා කොළ
හැම අත බිම පතිත වුනු කහා පැහැති කොල
පලතුරැ මල් ගහ කොල නැති
සමනලයෝ මී මැස්සෝ නැති
රාත්‍රිය කලින් ඇවිත් පරක්කු වෙලා යන
මේ තමයි අදුරු නොවැම්බරය.
කවිය බලන්න
නුඹ නැති දා මට පාලුයි
මන්දාරම් අඳුරෙ හිත වැහි වළාවෙක
තනි හිත රිදෙයි තුන් යම හුදකලාවෙක
හිමි කොහෙ ගිහින්දැයි සමහර වෙලාවෙක
මගෙ හිත මටම අවනත නැහැ මුලාවෙක
ලෙඩ වී ඇඳේ හිටියත් හයියක් තිබුණේ
සුසුමක් පමණවත් නුඹ ළඟ නැහැ හෙලුවේ
තනිකම නොදැනෙන්න ලඟටම වී හිටියේ
හැඬුණේ දැන නුඹට තව බෝ කල් තිබුණේ
කීවේ නැතිද මට නුඹ නැතිවම බැරිය
හීනෙන් ඇවිත් මා සනසන්නට බැරිය
තනි වූ ළඳක් ළඟ දැවටෙන කිචි බිචිය
දවසින් දවස අසරණ කරනා හැටිය
මං ගැන නොහිතුවත් වෙනසක් නෑ මගෙ නම්
අපෙ පුතු ගැන විතරවත් නුඹ සිතුවා නම්
පොඩි යුතුකමක් වත් හිත යට තිබුණා නම්
අද අපි හෙලන්නේ නැහැ කඳුලැලි මෙතරම්
ආචාර්ය ලක්ෂ්මි දමයන්ති
බින්හැම්ටන් විශ්ව විද්‍යයාලය
කවිය බලන්න
බිකිනි සිහින
රූමස්සල කන්ද දකින මූදු වෙරළ ළඟ
බිකිනි යටට තුරුලු කරන සුමුදු රෝස හස
ඉලංදාරි බඹරු බලන දාංගලයෙ හැඩ
මගේ හිතට අමතක නෑ හැමදාමත් නුඹ
ගීත ගයන දිය රළ පෙළ තාල හදන විට
සීත සුළං මෝදු කළේ කුලුමදාව හිත
බිකිනි යටින් තිසර තුඩින් කතා කරන විට
කුඩේ යටින් යන්න හිතේ පිට රටකට මට
සඳ එළියට නිල් අහසේ තරු නැළවෙන විට
පුසුඹ හමන විලවුන් දෑ විලුඹ සිඹින විට
රෑට රෑ පුරා සිහිනෙන් බිකිනි බිමට බැස
ඒත් බිකිනි බිම නො සිටී හිරු පායන විට
කවිය බලන්න
...පේරාවෙ ස්වර්ණ ජයන්ති හමුව.....
විසි වයසේ පේරාදෙණි
පය තැබුවෝ
හැත්තැ දෙකේ කලා පීඨ
හිමි කරුවෝ
දශක පහක සුහද පැතුම්
ඉටු කෙරුවෝ
කලාගාර දෙසුමට ගියෙ
ලෙස සිසුවෝ
වියපත් වුවද සිත් සරසවි
සෙනෙහෙ පිරී
සිතුවිලි දිවගියා ජොලි දිවි
මතක පිරී
එකිනෙක වාරුවී සරසවි
බිම පීරී
හැත්තැ දෙකේ එකමුතුවේ
හද පීරී
ඈත දුරක හන්තානේ
කඳු සිකර
මතකය නැඟේ එහි ගතකල
රැය මිහිර
ගලහ මගේ සුන්දර දිවි
මතක් කර
හාදු වංගුවෙන් හැරුනා
සුසුම් බර
පිවිසෙමි ගරු සිතින් පේරා
පොත් ගුලට
හමුවී මතක කැඳවිය ගල්
කුළුණු යට
මනමේ නොමැති වල රඟ
තනිවුන කලට
සෙවණක් දුන්නු හිල්ඩා
පෙනුනා දුරට.....
දෙසුමට සවන් දෙන විලසින්
පෙළ ගැන්වී
සුපුරුදු සෙනෙහෙ හැඟුමෙන්
හැමදෙන රොක්වී
පේරා කලාගර
හැත්තැ දෙක මුසුවී
ගත කල දිනය මතකයෙ
හැමදා රැඳෙවී.........
කවිය බලන්න
සාදර ඇරයුමක් !
මගේ පෙම්වතී - ඔබ මගේ පෙම්වතී
ඔබ එදා පෙම්වතී ........
අතර මග දමා ගියත්
තවමත් ඔබට සිත් ඇතී
මගේ පෙම්වතී - මගෙ එදා පෙම්වතී
මගේ සිතින් දුර නැතී ....
හැදෙ උණුසුමේ වියැළුණු
හාදු තව ඇතී .....
ඔබේ සෙනෙහසේ පොඟවා
ඔබට යලි දෙමී ....
අන්සතු මගේ පෙම්වතී
තවමත් ඔබට හිත ඇතී
හදවත තවම දොර ඇරී
සාදර ඇරයුමක් එහි ඇතී
කවිය බලන්න
මා රැස් කල ධන සම්පත සිසු ඔබ වෙම්!
(ලඟදී එක්සත් රාජධානියේ දී සිසුන් හමු වූ විට)
ලැබුනා බිනර මස වරමක් තුටි වෙන්න
සුන්දර මතකයන් විලකින් දිය බොන්න
දශක හයක් ඉහතට මා ගෙනයන්න
අකුරු බෙදුව රන් බිම මත වැජබෙන්න
පාඩම් පොත යටින් පෙම් ගී ලියපු සැටී
ඩෙස්කුව යටින් කොල ගුලි විසිකරපු සැටී
සටහන් පොතේ කුරුටු වදන් එවපු සැටී
මේ දඟ දැකල නොදැකපු සේ හිටිය හැටී.
කොරිඩෝවේ ලැසි ගමනින් යන විටදී
"කලු කෙල්ලේ" ගී හඬ මගෙ සවනෙ රැඳී,
හද පතුලෙන් ආශා උනත් ඒ විටදි
නො ඇසුන ලෙසින් ගිය හැටි මාහිත නොරිදී!
"සාරිය ලස්සනයි ටීචගෙ" ඇසෙන විට
වැඩිහිටි ගුරුන් ඇස් මාහට රවන විට
කොලු කම තමයි, වරදක් ලෙස පෙනුන මට,
දඩුවම් නොකර සෙනෙහස දුනි, ඔවුන් හට!
අද දින නැණින් පිරි බවතුන් උගත් ඔබ,
ලොව ජයගත් රැකියා උසුලොවත් ඔබ,
කෙස සුදු වුනත් තෙද නොඅඩුව තිබෙන ඔබ,
මට නම් අනේ තවමත් කොලු ගැටයො ඔබ!
තුති පුදමින් අද ලබනා සැලකිල්ල
හද බැතියෙන් කරනා මේ පිදවිල්ල,
මගෙ දිවියට ඔසුවක් හා සැනසිල්ල,
ගෙනෙදෙන ඔබට හද පතුලෙන් තුති මල්ල!
කුස නූපන් දරුවෝ ඔබ සැම මට නම්
රට රටවල් වල සතුටින් වැජබේ නම්
මිහි මඬලට පරිසරයට ගුනවත් නම්
මා රැස් කල ධන සම්පත සිසු ඔබ වෙම්!
කවිය බලන්න
අධිකාර සද්ද
අධිභාර බද්ද අධිකාර සද්ද
විඳගෙන උඹලගෙ කාසි සද්ද
වාසි නැද්ද
රඹුක්කනදි මැරුවෙ උඹලගෙ ඤාතිවත්ද
හොලවපු ලේ උඹල නාට්සිවත්ද
4/21 ප්ලෑනයක්ද
අතදරු අඬනව ශාපයක්ද
අපි කෙරු කාලකණ්නි පාපයක්ද
උත්තර උඹලට තව ප්‍රාණයක්ද
කවිය බලන්න
යුගල පද මිහිර
වළං පිඟං ගේ මුල්ලේ
ඉකිගසනව හොරෙන්
ඉවුම් පිහුම් නෑ දැක්කේ
හිස්වුනි කුස බරෙන්
ඉඩම් කඩම් කෝ ඇත්තේ
උකසට ගියෙ දොරෙන්
ඇනුම් බැනුම් රෑ තිස්සේ
ඉහලට නැගි ස්වරෙන්
අතන මෙතන කරක් ගැහුව
කුලියද නැත ලැබී
අඩුම කුඩුම අරන් එන්න
කඩපිල වෙත එබී
අනම් මනම් කනින් ඇහුව
කබලෙන් ලිප සිඹී
අහස පොළොව බලන් හිටිය
කඳුලැළි ගඟ බිබී
ඇහැට කණට පේන හින්ද
කෙල්ලද ගෙට කරන්
දුවන පනින රැහේ එවුන්
දකිනට එයි එරන්
කියන කරන දේම නොවෙයි
සෙවනැලි වෙස අරන්
වටින් පිටින් කතා හදයි
රකිමු මැණික ගරන්
දුකයි සැපයි දෙපැත්තකට
පෙරලෙන විට දැනේ
පවයි පිනයි එකලෙසටම
ලැබුනයි මට අනේ
ඉරයි හඳයි පායන බව
සත්තයි සැම දිනේ
උපත විපත අතරෙයි අප
සැරිසැරුවෙම දනේ
කවිය බලන්න
සිංහ රජුනි සුවසේ යළි පිබිදෙන්න
කුමරිය හා සරසවි
සැදුමට සිතුවෙ සිව්පදයක් ලෙසකවි
පැතුමට සුව ආසිරි ලැබුමට සුවසවි
නිරිඳුට සිංහ කුසුමක් වේවා සෙත්කවි
ගඟදිග ගියේ අති බිහිසුණු ගමනක්ය
ඒ ගිය මගේ විසිතුරු නම් රසවත්ය
ගෙනදුන් දැනුම කොයිකාටත් වැදගත්ය
ජැක්සන් මැතිඳු යන මාවත නිවහල්ය
පුංචිතිරය සමඟින් මහ තිරයද රිදී
වේදිකාව වන මැද සැමතැනම රැඳි
නොවනා බව එක දෙයකට අයෙක් හැදී
බොරුබව පසක් කෙරුවා ඔබගේ විදි
සාලෙට ඇවිත් අප හා දොඩමළුවන්න
තිරයට ඇවිත් සැමනෙත සනසාලන්න
වේදිකාවේ සිහනද යළියළි පතුරන්න
සිංහ රජුනි සුවසේ යළි පිබිදෙන්න
තෙරුවන් බලෙන් ඔබ සුවපත්වේවා
සැමදෙව් බලෙන් ඔබ නිති සුරැකේවා
දුටුදුටු දනන් දෙන පැතුමන් ඉටුවේවා
සිංහරජුන් හෙට තිරයට පැමිණේවා
කවිය බලන්න
කඩුවක් කුමටද සඟවන
අළුයම රිවිරැස ඇහැරෙන
මැදියම තුන්ලොව නිදියන
සයිබර් වන මැද නිතියෙන
දුනු දිය නැතිවම ඇවිදින
කවි ගී පද වැල් අමුණන
පොත පත නිරතුරු පෙරළන
ටෙලි නෙක රූ පට නරඹන
ගත සිත ඇස එහි පැටලුන
නොදකින තරු ඇස් දිළිසෙන
නොදැනෙන හදවත් වැළපෙන
නොවිඳින සුසුමක් පියඹන
නොනැවත තනිවත් හිනැහෙන
කුමරෙක් කුමටද හිමිවුන
තනියක් කිසිවිට නොමරණ
දවසක් නිමවී එළඹෙන
හවසක් රිසිසේ නොවිඳින
අත්වැල් පටලා ඇවිදින
සුසුමක් සුසුමෙන් සනසන
වැද්දෙක් දුටුවොත් හෙට දින
කඩුවක් කුමටද සඟවන
15.10.2022
කවිය බලන්න
හිමි - අහිමි !
පතාගෙන ආ විලස එක්වී මෙතෙක් සතුටින් හිනැහුනා
ගලාගෙන ගිය සොඳුරු දිවියක් අතරමගකදි නැවතුනා
බලාගෙන මග කොතෙක් සිටියත් නොඑනබව යලි වැටහුනා
දරාගෙන ඉමි වියෝ දුක් ගිනි දිවා රෑ සිත කළඹනා
දෝතට අරන් හිත පිදුවේ සැක නැතිව
කීමට බැරි තරම් වින්දෙමු සැප තුටුව
යාමට බැරිවුණේ ඇයි මාවත් කැටුව
අකලට මලක් ගිලිහුනි හැරදා නටුව
එදා එක්ව කළ කී දේ සිහිවෙනවා
මෙදා එවන් සිතුවිලි මට හිනැහෙනවා
නිදා නැතිව යලි යලි හද පාරනවා
සදා මිහිරි මතකය තනියට එනවා
ඔබ හට හිතැති අය නිරතුරු විමසනවා
කාලය හොඳම ඔසුවකි යැයි පවසනවා
එනමුදු වේදනා තව තව වැඩිවෙනවා
දෙදෙනා එක්ව ගිය මග තනිවම යනවා
ඉල්මස අගට ඔබ නික්මී තුන් මසකී
කල් ගිය බවක් නොදැනේ එය අරුමයකී
මල් මල් සිනා තවමත් ඇසෙනා සෙයකී
පැල් බැඳ ගත්ත දුක හැර නොයනා ලෙසකී
හතළිස් හත් වසක යුග දිවියක් ගෙතුව
දුක සැප සම සමව විඳගන්නට පැතුව
මටත් හොරෙන් ගියෙ කොහොමද මම නැතුව
අමතකවුනාදෝ යන්නට මා කැටුව
කවිය බලන්න
අමතක වූ කවියක්
උදෑසනම ඇසෙයි
දොරට තට්ටුකරන හඬක්
සෙමෙන් -ඇඟිලි තුඩින්
හැර බැලුවෙමි
අමනාප බැල්මෙන්
දොරකඩ
අමතක වූ කවියකි
ලියා තබන්නට
උණුසුමින් පිළිගෙන
සිප වැළඳ
කැටුව ගියෙමි
කුටිය වෙත
අවදියෙනි ඇය
යහනෙහි
කුහුලින් බලයි මා දෙස
විදා නිල් නෙතු
බියපත් ය
කවිය ද
"වෙන දවසක එන්න"
මම කීවෙමි
රහසින් .
කවිය බලන්න
වැන්දඹුවක් මි
දනිමි ඉඳුරා මියෑදුණු වග
මිදී ආවත් හිමියනේ ඔබ
ඔබ සොයා ගිය සෙනේ පාසෙන්
කඩතොලු ය
පිළි වදන් අටුවා
වෑස්සෙන මුව'ගින් ඔබේ
පිණි පොදක් පමණි එය
දැවෙන ළය මඬල මත
***කිරි සිනා ඉතිරෙනා
යහන මත
නො වින්දෙමි
සෙව්වන්දි අතුරනා
සුව සහන ඇබිත්තක්
එකම එක දිගු රැයක
ඉගිල්ලුණු කාලයක්
පමණි එය
නුදුටු හිරු දිවි අඹර
****විවර කෙරෙමි ද
වැසුණු දොර'ගුළු හද පැලේ?
ගොදුරු ලොබ බැඳි මිනිස් රකුසන්
ඉව පෙවූ අවසරින්
කිළුටු නූ යෙන්
අරාජික කුටියක විරාමය
****දිරි දරමි වෑයමින්
පහ කරන්නට
හද ගැබෙන්
පිළි සිඳුණු කලල රුව
හිමි අහිමි ළඳකැයි
තරව වැද
පෙරළි කරමින්
හද දවා හළ.....
කවිය බලන්න
හොරුන් හැදු එක රටකවත් ලොවේ තියෙනවද?
පල්හොරුන් රජ විය
නිවටුන් නිහඬ විය
රැවටෙන්න කැමති නැති
හඬ නගන පුරවැසියො
හොය හොයා වද දෙන්න
තරු හිගමනේ යන
මස් කටුව ලෙවකන
යුනිෆෝම්කාරයන්
මිනිසුන්ගේ ලේ සුවද
ඉව අල්ලමින් යති......
රටේ සම්පත් ටික
විකුණලා, ඩොලර් ගෙන
දුන්න පැට්‍රල් ටිකට
"දැන් ඉතින් රට යලිත්
හොද අතට හැරෙනවා"
කියා හිත හදාගත්
අමන මිනිසුන් රැලක්
යලිත් රැවටෙමින් ඇත...
පල් හොරුන් රට හදන
තෙක් බලාගෙන ඉන්න
මිනිස්සුනි හිතාපන්
"හොරුන් හැදු
එක රටක්වත්
ලොවේ තියෙනවද?"
නිවටයන් ලෙස තවත්
ඉවසගෙන හිටියොතින්
උඹලගේ දරු පැටව්
හට හෙටක් තියේවිද?
හොරුන් එලවන්න යන
මිනිස්සුන් හා එකට
එකතු වී රට හදන
ජනගඟෙන් එකෙක් වී
මව්බිමට උඹේ ණය
ගෙවාපන් මිනිස්සුනි..
අනාගත පරපුරට
හුස්ම ගන්නට රටක්
හදාපන් මිනිස්සුනි
කවිය බලන්න
අපට හරියට වැස්ස
වලාහක වැස්ස
වගේමයි නුඹ යස්ස
කපනවද දෙස්ස
අපට හරියට වැස්ස
උදේ ඉඳන් චුරු චුරුවට පොඩි වැහි බිඳු වැස්සේ
නදේ සිතින් පොරෝනයට ගුලිවීගෙන බැස්සේ
වදේ තමයි දැන්නම් අපෙ යනවාමයි රිස්සේ
උදේ සවස එළිවෙනතුරු කිමැදැයි ඔබ වැස්සේ
පැලේ පොල් අතු සිදුරු අස්සෙන් මහා ජල බිඳු වැගිරෙතී
වැලේ රෙදි පිළි පිළුනු ගඳ දෙති තවම ජල බිඳු බේරෙතී
මලේ රොන්සුණු හලා දමමින් සුවඳ අහකට පීරතී
විලේ ජලයද විසල් ජලයෙන් පිරී ඉතිරී බොරවෙතී
මුදා හැරිය ඔය වැස්සට අපි තෙමුනා හොඳට
විදා පියා දියබත් වී වින්දා ඒ සතුට
උදා නොවුණි එවන් තුටක් එදා මෙදා තුරට
මුදා හැරිය මහ වැසි ඇති නවතාපන් අදට
කරපු හදියෙන් විනාශයි අපෙ කුඹුරු වතුපිටි යටවෙලා
කරපු තන්හිම උතුරා ගැලුවේ දෙගම් බොඩ ඉවුරුද තලා
සරපු හැමතැන ගලායනවා කඳුරු දියවැල් උතුරලා
උරපු පොළොවද සලිතවී ගොස් අහක බලනව ඇතිවෙලා
ලදී සුවහස් පහස වැහි බිඳු වලින් සියොළඟ කෙඳිරිලා
නිදී විලසින් දෑස අඩවන් වී තිබේමැයි මත්වෙලා
විඳී එපහස නමුත් යලි යලි ලබන්නට මන කැළඹිලා
රිදී දහරා ගලාගිය තැන් සියල්ලම ඇත මඩවෙලා
උනිය දවසක් ගෙවුන සතියක් කුස පොත්‍ත යට ගිනිගතී
මිණිය නොහැකිව එවන් ගින්නක් තරම සිත තුල කොඳුරතී
ගනිය තොපගේ කළු වලාකුළු කාට කාටත් ඇතිවෙතී
දනිය ගෝපාලලා වැනි අය හිව් මහල් වල තුටුවෙතී
- කඳානේ නිමල් අබේසිංහ
කවිය බලන්න
I love to
Bathing in the sunlight coming through the green trees,
Enjoying the gentle breeze that blows through those trees,
Smelling the gentle fragrance of wildflowers that transcends it all,
If I could be a beautiful bird,
flying in the endless blue sky…
කවිය බලන්න
මහ ඖෂධය
ඉපදුනෙමි අත මිට මොළවාගෙන
තුන් කාලයම එහි ලියාගෙන
යමක් සඟවා සිටින සේ
වෙහෙස වී දිග හැරීමි අතැඟිලි
වටිනා යමක් ඇද්දැයි - සොයනු රිසියෙන්
නොවුනි කහවණුවක්
මැණික් රන් කරඬුවක්
දිව සඳුන් අරටුවක්
මහෞෂධ කුමරු මෙන්
ලොවම සුවපත් කරනා
වහ වහා සෙවූයෙමි
නොවූයේ එහි කිසිත්
දිනෙන් දින ගතවී සෙමෙන්
සිනිඳු හම හැකිළී ගොසින්
සුදු පැහැය දියවී කෙමෙන්
කහ පැහැ ගැන්වූ සිනාවන්
උජාරුවට ඇවිද්ද කය
වක ගැසී ඇත කුදු වෙමින්
ඇඳ මත දිගා වී විමසුවෙමි.
ඒ කවුද?
සැබෑ ලෙසම ඒ මා ද?
වැර යොදා දිග හැරිමි
වක ගැහුණු අතැඟිලි
උපන් සත් වග හට - නියත මරණය බව
සකස් වූ සැම දෙය - නිති වෙනස් වන බව
කවිය බලන්න
එකම පාට
සුදු පාට මිනිසෙක්ද
කලු පාට මිනිසෙක්ද
මහ මග සටන් වැද
වැටී මැරෙණ සඳ
ගැලූ ඒ ලේ කඳ
එකම පාටකි සබඳ
කවිය බලන්න
මල්සරාටත් පුදුම හිතුනා
සීලවන්තයි උපාසකවරු
යනෙන විට බෝ සෙවනෙ රැඳෙණා
පූජ වට්ටිය ලඟට එනතුරු
අවට විසිතුරු වලට එබුණා
ගාන කොහොමද කොහොම ඇහුවද
මල් සරාටත් පුදුම හිතුනා
දෑවරයි තුන් ඈවරයි නම්
එතැන වේන්දේසියක් කෙරුණා...
නාරි රූපෙට කාමගිනි මැද
සල්පිලේ බන්දේසි තිබුණා
සෙයිලමේ ලොකු මහත්තුරු අත
කාමරේ තනි යතුර රැඳුණා
හීන් දෑසක් රෑක වස්සන
කඳුළු වැස්සක එවුන් තෙමුණා
ඒත් එළි වෙන තුරා පමණයි
හිරුට බිය උන් එයින් මිදුණා ...
මෝහිනීටත් තාත්තෙක් නැති
අහිංසක පොඩි එකෙක් ලැබුණා
කාගෙ වරදද කතා නොකරම
ඇගේ නමටම නඩුව වැටුණා
ආව ගිය අය මතක් කර කර
ජීවිතේ මල් සමය ගෙවුනා
වාව ගන්නට බැරිව පත්තිණි
මෑණියන් තිර පටින් වැසුණා ....
2022/10/07
කවිය බලන්න
මම තාම නිදි නැතේ...
පැමිණෙන්න මද සුළග
ගෙන යන්න මල් සුවද
නොනිදා වි ඈ තාම
මා ගැන ම හිත හිත ම
අතුරන්න මල් සුවද
පවසන්න ආදරය
සනසන්න මා ලෙස ම
සිප වැලද මුදු දෙතොල
පපුතුරේ උණුසුමට
උරතලේ සුව වින්ද
මට දුන්න ඒ සුව ද
මදි බව ම පවසන්න
සුසිනිදුම මුදු දෙතොල
තව වරක් සිපගන්න
බැරි ව මම ලතවෙනා
බව කණට මුමුණන්න
රතු වෙච්ච කම්මුලේ
ලතවෙච්ච සුසුම මගේ
ගෙන එන්න මදනලේ
මම තාම නිදි නැතේ...
කවිය බලන්න
සංගායනා
එළිය දීමත් අඳුර පෑමත්
අහස සතු වූ කාරණා
වළාකුළු වැලිකැට සිඹීමයි
මහා වැස්සක වේදනා
සුවඳ වීමත් පරව යෑමත්
මලෙක මල් කෙමි පාරනා
නටු අගින් ගිලිහී වැටීමයි
වියෝවක බණ දේසනා
රළ නැගීමත් යළි බිඳීමත්
සයුරෙ හොරණෑ වාදනා
දසත පෙණ පිඬු විසරවීමයි
වෙරළ කරනා ගායනා
නුඹ දැකීමත් නොදැක හිඳුමත්
නෙතට දමනා වාරණා
නිහඬ තත්පර දරාගැනුමයි
මගේ සක්මන් භාවනා
කවිය බලන්න
අමරදේව
හෙළයේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන් මියගොස් නොවැම්බර් 6 වන දිනට හය වසරක් පිරේ. මේ සිඟිති පැදි පෙළ ඔහුට උපහාරයක් වේවා!
ලක් දෙරණ නිරතුරු
ගී නදින් කළ විසිතුරු
මධුර හඬ සුමියුරු
මියැසි ගගනත ඔබය නිසයුරු
වෙසරද පඬි රුවන
සකු හෙළ මගධ බස දැන
පබඳ ගී රන්වන
රසික හද මල් නිබඳ පුබුදන
සොඳුරු ගී බන්දන
දෙසවන සදා රන්දන
අමර සර වින්දන
සාධු ජන හද නිබඳ රැව්දෙන
මුවින් ඔබ නින්නද
මියුරු ගී මන නන්දන
වින්ද රස බෝ දන
හිඳී නෙතු අග කඳුළු නංවන
පබැඳුම 07/11/2016
කවිය බලන්න
කහ පාට මල් පඳුර
කහ පාට මල් පඳුර
කෙමෙන් අහසට ඇදී
අවසන් වතාවට
ඔච්චම් පාන්නෙද
සොඳුරු ගෙමිදුල විසල්
හොරු අරගෙනවත්ද
ඉනක් තරමට උඩින්
මහ පාර දොරකඩය
කොහොඹ ගස කුට්ටි කර
පටවනවා පෙනේ
බෙළි අත්ත සොලවද්දි
ඉකි ගැසුවෙ ජනේලෙද
ගලාගෙන එන මතක
තද කර ගත හැකිද
පපුව හිරවෙනු දැනී
වාරු වුනි බිත්තියට
පාර පැන ගොම්මනේ
පිටත් වූවා සැනින්
කහ පාට මල් හෙටත්
සිනාසිය යුතු නැද්ද
කවිය බලන්න
ජීවිතය.......
කඳුළු හා දහදියෙන් තෙත්ව ඇත මුළු ගතම
බුර බුරා නැඟෙන ගිනි දැල් දවයි සියොලඟම
නොනිමි පැතුමන් තුරුලු කරන් හද ගැබ තුලම
කවදාද කොතැනකද නවතිනනෙ මෙම ගමන.
දුර ඈත සිතිජයට පියනඟන තුරුම
මහා වාලුකාවක දිය දකින තුරුම
දිනුම් කණුවක පහස සිත ලබන තුරුම
වැටි වැටී නැඟිටිමින් යයි වැටෙන තුරුම.
තරඟයකි නිමක් නැත අනෙක දුර යතේ
කෙලෙස හෝ දිනිය යුතු දිරිය දා ගතේ
පැතුම සිතුමිණක සේ දුර ඈත යතේ
ලැබිය යුතු නිසාවෙන් පෙරමුණට යතේ.
වැටි වැටී දිව ගියත් ජයක් නැත ලබන්නේ
කටු මතින් තැබු දෙපා ලෙයින් වද විඳින්නේ
තවත් යන්නට සිතයි දෙපා නැත තකන්නේ
ජීවිතය ඇති තුරා මේ ලෙසිනි දුවන්නේ.
කවිය බලන්න
ලොකු අයියා
ශීත හිරිකඩ
කඩාගෙන
මැදියම් රෑක
හීනයක දැවටී
කාලෙකට පස්සේ
ලොකු අයියා
ගෙදර ඇවිදින්
සාලේ ඉඳගෙන
ඉන්න විටයි
මට මතක් වුනේ
මේ ඉල්මාසේ බව
හිල්මිගේ උපන් දිනයට
ගෙනා රෝසමල් පොකුර
ලොකු අයියා
වාඩි වී සිටි තැනින්
තබා
සුසානය
අහිමි ලොකු අයියගෙන්
ඇහුවෙම
කොහොම
කොතනක
කවදා
දිවිය
අතහැරියද කියලා
කවිය බලන්න
කෙස් ගස
මුදා හළ දිගු වරළ
දුටු දිනේ සිත බැඳුනෙ
මල් කළඹ අතට දී
සිරස සරසා මලින්
කැන්ද ගෙන ආව මං
මනමාලි කර ගෙන.
ටික දොහක් යන කොට
බැඳල දුන් බත් පතේ
තිබුණ දිග කෙස් ගසක්
ඇය ගැන සිතට මගෙ
තරහකුත් ආවා
සිත බැන්ද මනලෝල
කෙස් කළඹ සිහි උනා....!
කවිය බලන්න
පින් මඳ පුතුන් .........
හම්බ කරපු මුදල් - ඉඩම් - ගෙවල්
යන දවසට අරන් යන්න බැහැ කියලා
හාමු..... කිව්වා මතක් වෙනවා
දානෙට පිරිකර දුන්නෙත්
මැනලා වගේ හරි අඩුවෙන්
කතා කලත් කටිනෙ දෙන්න
අනේ මන්ද බැහැ කිව්වා
කොත පළඳන උත්සවේට
බර පැන දැරුවෙත් නැති කොට
ආවාසේත් දැන් මදි හින්දා
තව කාමර තුනක් ගන්න
මුල් ගල් පෙළ තිබ්බ දවසෙ
මහත්තයා ආවෙත් නැහැ
ඉතින් මෙහෙම වැඩවලටත්
දායකත්වේ දෙන්නේ නැතිව
මහත්තයට ……….
පින් ඇත්තෙම නැහැ ගෙනියන්නට
මහත්තයෝ මුදල් - ඉඩම් - ගෙවල්
තියන් ඉඳලා පලක් නැහැනේ
ඒවා හරවල දෙන්නම් - පින් ප්‍රමානෙ වැඩිකරන්න
ගිලන් පසට බීම ටිකක්
අරන් එන්න - අපි හවසට කතා කරමු
27ඔක්තෝබර් 2022
කවිය බලන්න
සැළලිහිණියේ සිත්ගත් කවි - තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමි
සසරින් මුදා ලොව සදහම් අමාදී
එකඟින් මුනිඳු උන්වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කර සමාදී
සද්ධර්මය නමැති අමුර්තය දීමෙන්, ලෝ වැස්සන්
සංසාරයෙන් මුදා හැර,
අප්‍රමාද ගති ඇති බුදුරජානන් වහන්සේ එකඟ සිතින්
යුක්තව වැඩ උන්නාක් බඳුවූ, තිස් දෙකක් මඟුල් ලකුණින්
සම්පුර්ණ වූ, සමාධි පිළිමය දැක, මිත්‍රය තුන් සිත එකඟ
කොට වැඳ ගන්න.
කවිය බලන්න
මේ කල්ට් එක ඇතුලෙ කොයින්දෝ මාජින්...
කූරු කොණ්ඩය ඔහේ සුළඟෙ පා කර හරින
කොකුම් චන්දන පර්ෆියුම් සුවඳ හැර නොයන
ස්කිනී ටයිට් ඇඳ පූස් තාලෙට යනෙන
හැඩකාරියක් තමයි තුරුණු නෙත් අග කෙවෙන..
පාද ජාලා සේම පපුතුරේ ඇඳි ටැටූ
දිරවයිද සහකරුට බඹා නළලේ කෙටූ
පිපෙනවා ලස්සනම
මලුත් අතු අග කටූ
කිරිල්ලකි සරන ගගනත පුරා විහිදා තටූ..
සුන්දර වුනත් හරිම සංකරයි කියා කීව
කොයිද ඉන්නේ ළඳුන්
කහ මලෙන් විතරක් නෑව
හැඳිනගත් දහඩියේ සුවඳ
සිරුරත නෑව
තිබු එකම වත්කම එයයි
ඇඟෑලුම් පෑව..
හැඩැති දෙතොලග තෙත්
කරන්නටම පොරබදන
හිත් වලින් වහන් වී
සිහිනයන් ලුහුබඳින
බිඳී ඉරිතැලුනු හිත්
සීරුවෙන් පිරිමදින
මීවිතක් බඳු හදක්
ඇත විතක් මධු පුරන..
කුරිරු දෑසින් බලා
හිතළුවක් කීවාට
සඳ මතත් තියෙනවා
අපමණක් ආවාට
වැරැද්දක් නොකල මුත්
වැරැද්දම දුටුවාට
සිත්තමක් අඳිනවා
තවරලා ආසම පාට..
මේ කල්ට් එක ඇතුලෙ
කොයින්දෝ මාජින්
කතන්දර ඇහුවාට
මම තාම වර්ජින්....
කවිය බලන්න
නිමා නොකරමි නුඹේ සිතුවම...
ගෙවා මෙතුවක් නෑර දවසක්
නොනිමි සිතුවම නිම කරන්නට
මසිත මැළිවනු කිමැයි නොදනිමි
මන්දහාසිනියේ
මෝනලීසා නුඹේ සිතුවම
කෙළෙස ඔහු හට රැගෙන යන්නට
දෙම්ද හෙට දවසේ
දෙනෙත් දල්වා මගේ අබියස
බලා උන්නත් නඟා මදහස
දෙතොල් පෙති සිරකරන රහසට
කල් බලමි රහසේ
මෝනලීසා නුඹේ සිතුවම
නිමා නොකරම තබාගමි මම
පාළු මගෙ කුටියේ
අවසාන තෙලිතුඩු පහර වියැලී
මවෙත නුඹ යළි නොඑන හෙට දින
කෙසේ ඒ දුක දරාගන්නද
ඉකිගසා අඳුරේ
මෝනලීසා නුඹේ සිතුවම
බලා සැනසෙන මහද දෙවොලින්
නොයන් මතු දවසේ
කවිය බලන්න
පැටව්
ගස් වටේ කැරකෙන උලා කන
පැඟිරි වයසේ එළදෙනේ
කකා විතරක් ඉඳල බෑ බං
මවක් විය යුතු ඉක්මනේ
උඹලගේ දරු සෙනෙහසේ ඵල
නෙළයි උන් මනුසත් කුලේ
ඒකමයි මද කිපුණ කාලෙට
කඹ නැතිව යැව්වේ රැළේ
සුදු නෙළුම් ඇත් පැටව් හීනෙන්
දැක්කෙ නැත්නම් නුඹ නැසේ
මේ ලොවේ කොයි ආදරේටත්
යම් මිලක් නියමයි එසේ
නුඹට නම් ඕනෑ එකෙක් පිට
උඩට ගන්නට හැකි වෙතේ
ගෑණු වී සරු කර ගැනීමත්
අපම කරගත යුතු වෙතේ
බෝට්ටුවෙ අපි දෙන්න එකටයි
පතා ආ ලෙස ඉරණමේ
මගෙත් නරකම කල දසාවයි
යන්න වෙයි ළඟදිම ගමේ
කවිය බලන්න
ඇසිල්ලෙන් ලියවුණු කවි
1) අද දිය බොර ය
නමුදු ගඟ පියකරු ය.
2) ඈ වැසිබර අහසක් ය
මොනරුන්ට පමණක්
ප්‍රිය වඩන
3) ගඟක් නොමවෙමි
විලක් වෙමි
නොරිසි බැවින්
කරදිය
4) රෑ සඳ යට
බිඟුන් මත්වනු දැක
මල් මත,
නිදිගැට පිසියි
මගේ කවි සිත
5) ඉඟිමරනු දැක
හිමිදිරි නිම්නයක
නීල තරු කැට
සැරුම් පත් දිග හරියි
ඔහු සිත
සොයා යන්නට
ඇගේ දෙනයන
කවිය බලන්න
කාලයේ ඉරි මතින් මාරුවී ....
කාලයේ ඉරි මතින් මාරුවී ....
කෙහෙරැල්ල පද්දවා නිතඹ මත ලස්සන ට
මගෙ දෙපා පාර හරහා ඇඳුනු ඉරි මත ට
පිවිසේවි සිතාලා අසුරු ගසනා සැන ට
තිරිංගය තද වුණා නොදැනීම රියැදුරු ට
ගිම්හාන රස්නයට සැහැල්ලුයි කෙටි ගවු ම
වැසුනු නොවැසුනු තරම් පෙනෙන ඉඟ සුඟ කදි ම
හෙමින් ගමනක් නැද්ද ඇයි මෙසේ හදිසියෙ ම
ඔහු සිතනවා ඇතැයි සිතුණි මට ඉබේට ම
හිරු සමග පුරා හඳ තරුද දිලිහී නි වී
දින නැතිව දින පොත්ද කුණු කූඩයකට වී
දශක හතරක් තවත් දිවි මගට එකතු වී
තනිකඩව මම ගියේ ඉරි මතින් මාරු වී
හැරමිටියෙ වාරුවෙනි දැන් දෙපා නගන් නේ
නලවන්න උකුලු තල නැත මෙමා දරන් නේ
හදිසියක් නැතිව සැලෙනා ගතින් ඇදෙන් නේ
හෙමින් යන මා දිහා කවුද දැන් බලන් නේ
කවිය බලන්න
ඇඹලයා සහ පැණි හැලිය
කියවා තිබුන පොත් පත් කවි කලාප
උන්නා කූඹියෙක් දොඩනා ප්‍රලාප
කසනා තරමටයි, පිටකට සනීප
අත මිට සරුයි නෑ තහනම් කලාප
දිවා රෑ දෙකේ එකසේ එහෙමෙහෙ දුවන
කම්මැලි නොවී තව තව වස්තුව සොයන
මිතුරන් සමග මග තොට හමුවී දොඩන
කවියෝ කව් ලියති උගෙ යහගුන දකින
කල් ගතවුනා කූඹියා දැන් පොහොසතෙකි
ගස් උඩ නැ සියන්ටත් ගේ දොර සදති
කොඩැයි කියා පෙලපත් නම් පට බඳිති
කවි ලී, අත් සොය සොයා නිතරම සපති
ගස් මුදුනේ කොඩැයි ජනපද තනාගෙන
පොහොසත් නෑයෝ කැන්දා පිරිවරාගෙන
කොඩැයියගේ වං හුං හෙම අසාගෙන
තෙල් කූඹියෙක් ආවා එක්, උදෑසන
තෙල් කූඹියා කී පුවතට කන පිරුනි
රජ මැදුරක, පැණි හැලියට දොර හැරුනි
රස තන්හාව දලුලා දින දින වැඩුනි
කොඩයියා නොවේ ඇඹලයා, දැන් ඉතිනි
ගස් උඩ කූඩුවේ අඹු දරුවන් කැන්දා
ඇඹලයා සනුහරේ, පොහොසත් කල හන්දා
මැදුරේ, පැණි හැලිය මදිවිනි දෝ මන්දා
ඉඳුලට පවා රජගෙයි, ඌ පෙම් බැන්දා
කුඹියා ගැන තුටින් කිවිවරු කව් ලිව්වා
කොඩැයි වාසගම දුටුදා පැන දිව්වා
"පැණි හැලියට වහ වැටුන ඇඹලයා" යැයි කිව්වා
කුලියට ලියන්නෝ ගැන ඇඹලය සෙව්වා
ගස් උඩ යස රුවට මාලිග තනාගෙන
පාටත් හොදයි නපුරුයි අත් සපාකන
දිමියොත් ඔබේ, නෑදෑයෝ කියාගෙන
කුලිකරුවො ලිවා බොරු ගොතාගෙන
හැඩ රුව සැර පරුස දිමි ගස්, රජ කරන
නෑයෝ බැවින් අවුලක් නෑ උඩු ගුවන
ගස් පාමුලේ තැන තැන බංකර බඳින
කඩි හමුදාව නෑයෝ කිම බිය ඉතින
වසාගන්න නම් උප්පැන්නේ අඩුව
පෙලපත ගෙතිය යුතුමයි නවනළු මුසුව
ඇඹලයා තුටු පහටු විය දැක දැක, බොරුව
"ඇඹල මහා වංශය" ලියවිනි සරුව
දවසක් ඇඹලයා පැණි හැලියට වැටුනා
කරක් වටේ ගිලිලා "වසවත්" පෙනුනා
කඩි දිමි නොනෑයෝ පිටුපා ගෙට වැදුනා
"මම කූඹියෙක්" කියමින් ඇඹලයා ගිලුනා
කවිය බලන්න
සිරගෙය
අයදින්න එපා තව,
අදුර එලියක් නොදෙයි.
ඉල්ලන්න එපා කිසි,
නිහඩතාවය ගොළුයි.
නොතවන්න සිත් සතන්,
රිදුම් දෙන පාරිශුද්ධත්වයෙන්.
කිම්ද පළ අයදුමින්,
බෙලහීන දෙවියන්ද දුබල නම්.
ගයන ගීතිකාවන් - පුද පඩුරු,
රුහිරු ඵල, රස බොජුන්,
නොගෙනේය විමුක්තිය.
හැරෙනු ඔබ ඇතුලතට.
අදුරු කලු ගලින් සැදු,
ඔබම සැදු සිරගෙයින් මිදෙන්නට.
නොවෙද? එය,
ඔබ සොයන විමුක්තිය.
කවිය බලන්න
මැණික මට ඕනිමයි හැමදාම රස්නේ...
මග බලා මග බලා හති වැටෙන කල් ම...
පෝයකට එක වරක් හැර හුස්ම රැල්ල...
මිය ගියා මිස කිසිම දිනයක දි වෛර...
කෙරුවා ද? නාපු බොට මගෙ ගෑණු සෛල...
ලං වෙද්දි සදලු තලයට හොරෙන් මැදියම...
සල්ලාල හිත දවයි මතකයෙහි ගිණියම...
තත් සුසර කරන්නට ඇති එක ම පිළියම...
හිතින්වත් ලං වෙයන්,වයන්නම් තනියම...
හුරු සුවඳ තැවරිච්ච උඹ නිදපු කොට්ටේ...
තාම එහෙම ම නිදයි මගෙ පපුව අස්සේ...
මේ අකල් ඉඩෝරය ගෙවුණාට පස්සේ...
මැණික මට ඕනිමයි හැමදාම රස්නේ...
කවිය බලන්න
යම රජ්ජුරුවන්ට Love lesson එකක්
අපි යමු?
ඇය ඇසුවේ එකකි
මම මේක ඇඳන් යන්නද?
මඟට බැස්සද මා සමඟ
ඇයට නැත වගේ වගක් යන තැනක
පුරුද්දට දුන් වම් අතේ එල්ලිලා
ගියා ඇය
ගෑවෙමින් වැදෙමින් උරහිසට
මඟක් ගිය තැන මමම ඇසුවෙමි
දන්නවාද? අපි අද යන්නේ කොහිද කියා?
ඒත් නෑ වගේ වගක් ඇයට
පුරුද්දට දුන් වම් අතේ එල්ලිලා
ගියා ඇය
ගෑවෙමින් වැදෙමින් උරහිසට
“අපි යන්නේ අද අපායට
යම රජ්ජුරුවන්ට පවුල් ප්‍රශ්නලු හරියට
ගමන අමාරු වුණත් කොච්චර
යන්නම ඕනෙවෙයි අපි එහෙට
යම Couple එකට ආදරේ ටිකක් උගන්නන්න”
ඒත් නෑ වගේ වගක්වත්
පුරුදු විදිහට හිනා වී මහ හයියෙන්
වම් අතේ එල්ලිලා ඈ
ගෑවෙමින් වැදෙමින් ගියා උරහිසේ
ඇය:- මට බඩගිනියි දැන්
මම:- දැන් බඩ පිරුණා නේද?
ඇය:- වතුරත් ඕනේ මට
මම:- ඔන්න දැන් හරි නේද?
ආයෙත් පැනලා එල්ලිලා පුරුද්දට
“ලස්සනයි නේද මම අද”
ඇනෙන කටු ඉඹුල්
කකෑරෙන ලෝ දිය හැලියේ රස්නෙන්
වේදනා පාරවන ඇදුම්කන විලාප ඇහෙද්දිත් තරඟෙට
ඇදුණෙ අපි හෙමිහිට
යම රජ්ජුරුවන්ගේ Visiting Room එකට
ඉක්මනින් කණට ළං වූ ඈ
“වාඩි කරගන්න ළඟ පුටුවෙම මාව”
පුරුද්දට ඇයට ළං කරන් ආසනය
වාඩි වුණේ ගෑවෙමින් ඇගේ උරහිසට
තුෂ්නිම්භූත බවකි පෙන්නුවේ යම රජු
ඇසුවේ එන ප්‍රශ්නයයි අඬ අඬම මගෙන් ඔහු
“Wife ත් ආවද ඔයත් එක්කම අපායට?”
ඉන්නේ අපායෙද, කියලවත් නෑ වගක් ඇයට
ගෑවෙමින් වැදෙමින් උරහිසට
ඇහුවේ පුරුදු ප්‍රශ්නෙමයි හත්වෙනි වතාවටත් ඇය
“එ...ආදරෙයි නේද මට?.”
කවිය බලන්න
උගසට තැබූ පෙම
සුමුදු සුවඳට මොණර කොළයේ
කෝඩු සිත උගසට තබා
සහස් රැස් නැඟෙනා පැයේ අද
සමණළියෙ නුඹ නික්මිලා
තවරගෙන සෙනෙහස සිතේ
හද රිඳුම් දෙන යාමයේ
නේත්‍රා බිඳු නැවුම් පෙම වී
නුඹව සොයනෙමි දස අතේ
පහන් සිළුවක එළිය සේ
ආල සිත දල්වා මගේ
පිපෙන හීගඬු වලට මැද්දෙන්
පෙම් ගඟුලෙ සැතපෙමි රැයේ
කියූ එවදන් මතකයේ
හිමි නැතත් නුඹ මේ භවේ
පවන් මඟෙ සොමි කිරණ වෙන්නකො
පිරෙන්නම පපුවම මගේ
කවිය බලන්න
පුතේ උඹ අපෙ පණ!
කිරි කැටි කාලෙ මූණ බෙරි කරන්, ‘තාත්ත ඊපිං’ කිව් හැටි
බකල කකුල් වාරු අරන් පෙරලි පෙරලි ‘ඩඩ්ලි වත්තෙ’ දුව පැන්න හැටි
ඇඟ වීරිය ගෙන චූටි අත් වලින් ‘ඩම්බෙල්’
තල්ලු කර හූමිටි තිබ්බ හැටි
එදා ඉඳන් හීන මැව්වෙ උඹ ලොකු කර ගන්න හැටි
කර දඬු උස් කර දැලි රැවුල පිරිමැදි උඹ දිහා ආදරෙන් බැලුහැටි
අකුරු කර ජයගත් තරුණ හයිය හිතෙන් විඳ හීන දැක්ක හැටි
තාත්තගෙ හිසට කරදඬු උස්වන විට උදම් ඇනූ හැටි
එදා ඉඳන් හීන මැව්වෙ උඹ ජීවිතේ හරි කර ගන්න හැටි
උඹ අද උත්තුංග ගුණ සපිරි, ගාම්බීර, ගැටවරයෙක් වූවට
සයුරෙන් එහා වැඩි දුර අකුරු කරන්නට ගියාට
උඹ තාම අපෙ හිතේ හුරතල් චන්ඩි කොලු පැටිය නිසාවට
පපුව හෝස් ගාල පත්තු වෙනව උඹ මතක් වෙන හැම තප්පරයට
23/10/22
කවිය බලන්න
වස්සානෙ තව තවත් දුරද...
පාට පාටින් සුපිපි මල් පොඩි
උදා සුළගේ වැනෙනවා
හිරුගෙ දිලෙනා රැස් කඳම්බෙට
දිලිහි දිලිහී රඟනවා
දස අතේ රැඳි කුරවි කූජන
හඬ ද දෙසවනෙ රැඳෙනවා
වැසි පොදක් ඉඳ හිටල වැටුනම
ටිකක් මන දොළ පිරෙනවා.......
විල් තෙරේ හැම තැනම පිපි මල්
වියළිලා බිම වැටෙනවා
පෙති විදා පිබිදිලා රුව රැකි
නෙළුම හැම අත නැමෙනවා
තටු සලා ඉගිලෙනා සමණලු
වටේ එබිකම් කරනවා
මඩ පිරී ජල රැදුණු තැන් වල
කොරලි කාවයි රඟනවා.........
පිපාසෙට ජල බිදක් සොයමින්
සතා සිවුපා ඇදෙනවා
තණ නිල්ල මියැදිලා හැම අත
සෝක සංකා දැනෙනවා
විහඟ කැල සා පිපාසා වෙන්
ජල බිඳක සුව සොයනවා.
වස්සානෙ තව තවත් දුරදෝ
කියා මැසිවිළි ඇසෙනවා.........
කවිය බලන්න
නොපෙනෙන දෑ දකින් පුතේ
නොනිදන ලන්ඩනයේ ...
මහ රූස්ස ගහ ලඟ බිම
පොඩි මදු වැල එතුන ලතා
මොණර ,ගිරා පරවි මැදින්
පොල්කිචි හඬ නද මවනා..
පාලොස්වක හද අතරේ
කණමැදිරියො අදින රටා..
අනෝරාවෙ මහ වැස්සක..
වැලිමුල්ලක මල් පිපුනා...
පිණි බින්දුවෙ සිරි දකින්න
පොද වැස්සක සිහිල ගන්න
සරතැස සුවඳින් ලබන්න
ලස්සන හදතුල විදින්න ...
අකුරු අතර නොකියවෙනා
කතා හිතින් රස විදින්න
දුවේ පුතේ ජීවිතයේ
මිහිර ඉතින් වැළඳ ගන්න..
කවිය බලන්න
ආදරය
පියවර තැබුවත් ඵක මග අද දින..
මට මග හැරුනා නුඹ නොදැනිම අද..
දෙනුවන් ඔබගේ සසලව යනවිට..
කඳුලක් වැටුනා නොදැනිම නෙතු අග..
ඈත්ව යන ඔබගේ රුව දැක..
දෙපා පැටලුනා සිහිසන් නැතුවම..
පෙනි නොපෙනි යනවිට ඈතට..
ඇවැසි නැතුව සිටියා සසලව..
ඵකම වතාවක් යලිත් දකින්නට..
පාරමී පිරුවා දෙතැනක හිඳ අප..
පැතු විලසින් දෙනුවන් දුටුවිට..
ඉපිල ගියේ කිරි දරුවන් විලසට..
2022/10/24
කවිය බලන්න
මගේ රට
මගේ රට -W.G.සසිඳු ඉනෝෂ් ගුණසේකර
8 වසර
බප/කැළ බුත්පිටිය මහා විද්‍යාලය
බත බුලතින් පිරුණු
පොලොවෙන් මැණික් මතුවුනු
සිංහලකම රැකුණු
පින් බිමකි බුදු දහම පැතිරුනු
ජය සිරිමහ බෝ සමිදුගෙ පිහිට ඇතී
ශ්‍රී දන්ත ධාතු වහන්සේගෙ බැල්ම ඇතී
සකල සම්පතෙන් පිරිපුන්ව ඇතී
රකිමු රකිමු අපගේ ලක්මෑණි බැතී
කවිය බලන්න
පුස්තකාලය
බිත්ති හතරක් ඇතත්
ගොඩනැඟිල්ලක්ම නෙවෙයි මම
මතකයන් දරාගෙන
දැනුම එකතු කරන
දැනුම බෙදා හැරපු
අතීතයක්
ආව ගිය අය බොහෝමයි
ගොඩක් ලොකු තැන්වල
මම එකම තැන හිටියාට
එකම එක පැනයකට
උත්තරය දකින්නට
සිය ගණන් පොත් බලපු
පරම්පරා ගණනක්ම
ගූගල් දෙයියා
වඩින්නට පෙර
නොසිටියා නොවේ ඉස්සර
මුවා වී රාක්කෙට
පෙම් වදන් මුමුණව්ව
ෆෝන් යුගයට කලින්
පොත් අස්සෙ විටින් විට
පෙම් හසුන් එහෙ මෙහේ ගෙනියව්ව
දැන් වෙනම වෙනම ආවට
පරණම පරණ හිතවතුන්
ඉඳ හිට පෙන්ෂන්දාට
දඩ මුදල් අරගෙනම
එනවා බැහැ දකින්නට
වෙනස් නොවෙනම දෙය
වෙනස්වීමම නොව
වෙනස් වෙද්දිත්
නොවෙනස්ව ඉඳීමය
කවිය බලන්න
Farewell my Love, until we meet again (hasta la vista)
I loved to long here by your shade
Being a sensation for all the moments of things
We caress each other like forever we met
When doomed scorching hands harm peace of our heart
Everlasting happiness beseeched by souls together
Hope never dwindled vice versa
The Day you screamed and yelled for help I am hopeless
What becomes of us, my precious?
Dammed their hands! My heart is no longer
Wails everywhere, forever they echo
Farewell my love you were my hope and all
But I am no more,
Until we meet again (hasta la vista)
කවිය බලන්න
අකාලයේ සමුගත් දර්ශන් ධර්මරාජ්
දශක හතරක් ඉක්මවූයෙන්
ඉක්මනින් පියමන් කලා
සත්තකින් ඔබ දක්ෂ නළුවෙකි
පබාමත් කළ හෙළ කලා
චරිතයට පණ දෙමින් පණ මෙන්
පෑ රැගුම් මතකයේ තියා
යන්නටම ගියෙ නොඑන ගමනක් දයිවයේ සරදම් නිසා
එදා 'ඉර හඳ යටට 'වී ඔබ
'මචං' 'ඇඩ්‍රස් නෑ' 'සුනාමි '
'පෝරිසාදද' සමග එක්වී
'ප්‍රබාකරන්' චරිතයට පණදී
දැයේ සිත් තුළ නිදන් කළ මහ
මතක පමණෙකි හිමිවුනේ
ලබා ජන සම්මාන සමගින්
විවිධ ඇගයුම් වලින් මතුවී
පුංචි තිරයද බැබලුවූ
භාව ප්‍රතිබා නංවමින්
කෙටිකලක් මුත් කලේ දස්කම්
උරුමයෙන් ලද පිං බලෙන්
කිසිවෙකුට වත් නොහැකි ලෝකයෙ
මාර බන්ධනයෙන් මිදෙන්නට
ඔබත් ඔහු වසඟයට නතුවුණෙ
ඔබේ මෙන් අපගේද කරුමය
අකාලයෙ ඉස්මතු කරන්
අවැසි යුගයක චිත්‍රපටයට
දිවි තිරෙන් ඔබ නික්මුනේ
ආයේ හනිකට එන්න දො යැයි
අපේ සිත් අපටම කියයි
ඔබ පැතූ ලොව ගොඩනගන්නට
ඔබට හයි හත්තිය ලැබේවා !
6/10/2022
කවිය බලන්න
හෝඩි පොතේ සාමා දිටිමි..
කලා සපිරි මුව මඬලේ
උලාගෙන පියරු සිත්තම්
පුරාජේරුවට වාගේ එබී බලන්නේ...
පිපීදැයි බලන්නද සල් මල්
පලාතක නැතිව සල් ගස්
හිතා ගන්නවත් මට බැහැ සාමා නංගියේ..
හෝඩියේ පොතේ.....
කාව සොයනවද තනිවම වීදියේ කොනේ..?
මාමලා පුදන පඬුරට
පේවිලා හිඳින තරමට
ජීවිතේ බොහොම ලාබද
වීදියේ කොනේ..?
හෝඩියේ පොතෙන් වැටුණිද
බාල සන්දියේ...?
කාලයේ උරුම තාලෙට
යෞවනේ අරන් හනිකට...
සීරිලා ම 'සිත නුඹ දැක
සෝඩි ටිකිරියේ..
බඹර කරකැවූ "අමර "ද
බඹරු සොයන්නේ...?
කොලවල මොණරු ගනින්නේ?
කවිය බලන්න
HALLOWEEN
Curious...curious
Everywhere curious
Serious...serious
Everyone serious
Various...various
Everything various
Nervous...nervous
Devils are nervous
Furious...furious
Night is furious
Enormous...enormous
Ghosts are enormous
Dangerous...dangerous
31st dangerous
Mysterious cases
කවිය බලන්න
මනමේ කුමරියත් සමඟ youtube interview එකක්
""කඩුව දුන්නද උදුර ගත්තද
තාම සැකයක් තියෙන හින්දා
කවියො අදටත් වාද කරනවා
ලිය ලියා කවි දෙපිල බෙදිලා
හොයාගෙන මං ආවෙ ඒකයි
ඉතිං කිසිවක් නොකර සඟවා
එදා වනයෙදි උනේ මොනවද
කුමරියනි මට දෙන්න පහදා""
කුමරිය ————-👇
(මනමේ කුමාරයාගේ නම ජාතක පොතහි "ධනුද්දර"යි.
එනම් දුනු ශිල්පයෙහි කෙළ පැමිනියෙකු යන අදහසයි)
ධනුද්දර හට මගුල් මාලය
පලදන්න යැයි මගේ බෙල්ලේ
පියතුමා තනි වචනෙ දුන්නම
කෙලෙසකද පිටුපාලා ඉන්නේ
මවාගෙන උන් පිරිමි රූපය
බොඳ වෙද්දි පපු කුහර මැද්දේ
ඒක හින්දයි මල්ලියේ මං
ඔහුත් එක්කලා මඟට බැස්සේ
ගම් දනව් පහු කරන් වනයට
එළඹි මොහොතෙම දුන්න උස්සා
දිවා රෑ මුව ගෝනු පස්සෙම
ඔහු ඉතිං වැටි වැටී දිව්වා
තනියෙන්ම ගල් තලාවක මං
හඩද්දී පණ භයේ වෙව්ලා
මරපු කොටියෙක් අරන් ඇවිදින්
මහා ලොකුකම් ගොඩක් කිව්වා
සුවඳ ගගහා වනේ හැමතැන
පිපෙන බාලොලි කැකුළු මල්
නෙලන් ඇවිදින් හිසේ කොනකින්
ගැහුවෙ නැහැ ඔහු මගේ නන්
සඳ රැසින් රන් ගාපු විලසට
දිදුලනා මගෙ රුව වනන්
මල්ලියේ කවි කිව්වේ නැහැ ඔහු
හිටියා මිස රෑ උඩ බලන්
සරාගික දිග තියුණු බැල්මක්
ඇස් වලින් ඉඳ හිටක හෙලලා
අතින් අල්ලන් තුරුල් කරගෙන
ආදරෙයි මගෙ මැණික කියලා
සීරුවට තොල් පෙති හපන්නට
ළඟට ඩිංගක් වරෙන් කියලා
දුන්න තුරුලේ තියන් බුදියන
ඔහුට මං ඇස් වලින් කිව්වා
දුනු වලින් කෙල පැමියත් ඔහු
""ධනුද්දර"" යැයි ලබා නාමේ
හෝඩිපොත වත් කියවලා නැත
අහම්බෙන් වත් ඉතිං ප්‍රේමේ
නීති ඔක්කොම කියා දුන්නත්
රජ කරන්නට ගොහින් දේසේ
පියතුමා හට මගහැරී ඇත
උගන්නන්නට ඔහුට ආලේ
දනට පිනකට නිකන් දුන්නත්
කොටහක්ම ගලවලා පපුවේ
බදාගත් ආදරේ නන් නෑ
ඇබිත්තක් වත් ගෑණු බෙදුවේ
රජ වෙලා අන්තඃපුරේටම
පුදද්දී මට උරුම ආලේ
කෙලෙසකින් දුක උහුල ගන්නද
කියාමයි අඬ අඬා හිතුවේ
පුපුරද්දි කර්කෂක පොළොවට
උඩින් අහසේ සැරට අකුණූ
හිනැහුනා ඒ දෙස බලාගෙන
පතොක් මල් ගිණි අව්වෙ පිපුණූ
ගැටෙද්දී මහ කැලේ මැද වැදි රජුගෙ
ඇස් දෙක සෙනෙහෙ පිරුණූ
ප්‍රේමයේ දිය බුබුළු මතුවිය
තෙත් කරන් හදවතේ සිදුරූ
කෝටියක් මිල මුදල් නැතුවට
එකම එක වචනෙටත් නිවුණූ
ගෑණු හිත් වැල් ජාතියක් බං
ආදරේ යන ගහේ එතුණූ
සියොලඟින් තේජසේ වෑහෙන
ඔටුනු හිමි රජතුමෙක් නොදුටු
මගේ හිත හෙල්ලුවා වැද්දෙක්
කළුම කළු කැත කැලේ හැදුණූ
නොවැටෙද්දි වැහි බිඳක්වත්
මහ ඉඩෝරෙක හැකි තරම් උහුලා
දිය හොයාගෙන ඕන පැලයක
මුදුන් මුල් ටික යටට බැස්සා
රජෙක් ගෙන් මන් යැද්ද ප්‍රේමය
වැද්දෙක්ගෙ ළඟ දුටුව හින්දා
උදුර ගත්තා නෙමෙයි මල්ලියෙ
අම්මපයි මං කඩුව දුන්නා
('අම්මපයි මං කඩුව දුන්නා' කාව්‍ය සංග්‍රහයෙන්)
කවිය බලන්න
පැටවුන්ට ඉගිලෙන්න ඉඩදෙන්න
කවා නලවා තබා කුඩුවේ පණමෙන් රැක්කාට
සුමුදු අත් තටු සිනිදු පහසින් හිතු සේ පිරි මැද්දාට
පියාපත් ඇති දැඩි වෙලා නාඹරව සවිමත් ව වූ දාට
අවසරද දැන් ඉගිලයන්නට නුඹේ සුරතල් පැටවාට
තුරු මුදුන් මත සිහිල් හෙවනේ පුංචි කුඩුව තිබුනාට
අතු ඉතිත් විහිදිලා රිසි සේ අවැසි සම්පත් දුන්නාට
හිරු රැසින් ඔපවත් වෙලා නෙක මල් පිපී බැබලෙනදාට
මිටින් අත්හල යුතුයි පැටවුන් පියාපත් මෝරපු දාට
හිරු බසිනු ලංවෙද්දි හෙවනැළි දිගින් වැඩි වී පෙනුනාට
මුදුන් හිරු ළඟ මැකෙන හෙවනැලි අඳින්නේ කෙලෙසද රෑට
පියාපත් සවි වෙන්නනම් ඉගිලිය යුතුයි පැටවුන් නෙක පාට
මුදා හල යුතු කලට දරුවන් තුරුළු කර සතුටක් කාට
නිල් අහසෙ දේදුන්නේ පාටින් වසන්තයයෙ මල්පිපි දාට
උයන් ගොමුවේ පිපුණු කුසුමේ මධු මී ඉතිරුණු දාට
අහස්කුස යට සුදු වලාකුළු කලුවෙලා වැසි එන දාට
කුඩුවේ උණුසුම සොයාවී ඒ පුංචි තටු තෙත්වුණදාට
කවිය බලන්න
එතෙර යන පුතුට.........
වසන්තය දොරකඩින් යාන්තම් එඹෙනවා
දුරු රටක සුදු පාට ලිලී මල් පිපෙනවා
“කියෝතෝ” උයන් වල සකුරා මල් හැදෙනවා
කෙටි කලයි හැම මලම පර වෙවී වැටෙනවා
හරිත වන උයන් වල සුවඳ මල් දැකගන්ට
වන පියස සිසාරා ගුමු ගුමුව අහගන්ට
හැමදාම වසන්තය ඇති මෙරට හැරයන්ට
සිත් උනේ කිමද පුත බැරිද මට පවසන්ට
බුදු පුතුන් පිඬු සිඟා වැඩිය මේ මාවතේ
පෙර දවස පින්සාර බිමකි නුඹෙ රට පුතේ
රජ කරපු නරුමයන් කළ නොකළ දේ ඇතේ
දු පුතුන් අඩක් අද වෙසෙනවලු හාමතේ
නුඹෙ ගමන් වළකන්ට සිතක් නෑ මගෙ පවට
දරු පැටව් යා යුතු ද අකුරු නැති පාසලට
ඔබ අසයි දුක් මුසුව එන්න අප හා යන්ට
සිතින් වත් යා නොහැක දුර රටක නවතින්ට
ලසෝ ගිනි ඇවිලෙද්දි දෙගුරුන්ගෙ හදවතේ
දරු පැටව් ඉතිං නෑ - කෙළි කවට බස් නැතේ
මා මළත් - දුරු රටක නුඹ ගෙවන ජීවිතේ
දුක සතුට කියාපන් අම්මාට මගෙ පුතේ
කවිය බලන්න
හැලෝවීන් පණිවිඩය ............
සරත් කල අවසන
හිරිගඩු පිපෙන ශීතල
බිහිසුනු ගනඅඳුර
වෙලාගද්දී දසත
හොල්මන් සැරිසරන සේ
දැනේ මලවුන් නැගිට
පලවාහරින රිසියෙන්
කපා යක්මූහුණූ
එලිය කල වට්ටක්කා
නිවෙස් එලිපත්තේ
හඟවයි
පෙර අපර කොහිවුවද
වෙනසක් නැති වග
යටිසිත ක.....
23/10/22
කවිය බලන්න
ඉකිලන තරුව
දිනෙක හමුවිය හොරෙන් ඉකිලන - සඳට රහසේ සෙමෙන් නික්මුණ
පොළෝ තලයට කඳුළු වස්සන - තාරුකාවක් දැවී අළු වුණ
ඈත අහසේ රෑට දිදුළන - කිමද තරුවේ තනිව ඉකිලන
තාරකාවට සෙමින් ළංවුණ - ඇසුණි කිිසිවෙක් ඇගෙන් විමසන
සඳට එළියක් දෙමින් බැබළුණ - තරුව විය මම ඔහුට පේ වුණ
දිනක් විය ඔහු බෝ කුරිරු වුණ - තරුව කීවා අහක බලමින
නැතේ තව නුඹ හදේ රන්දා - සඳෙන් ගිලිහුණ වදන් නින්දා
දරා ගන්නට බැරිම හින්දා - තරුව රහසේ ඉකිත් බින්ඳා
මෙතෙක් කල් වූ සරා සඳවත - වුණා එක්වර ගරා යක්වත
දරා ගන්නනට බැරිව මේ වත - තරුව රැක්කා ඇගේ මුනිවත
දැවී යන මොහොතේවත් - මහදෙ නැත කහටක් වත්
සඳෙහි මතකේ වත් - ඉන්න ලැබුණොත් එයම යහපත්
මෙසේ කී බව තරුව හිතවත් - දන්නේ නෑ තව අහෝ! සඳ වත්
පාවි යන මේ වළා රොදවත් - ගිහින් කියපන් සඳට දැන්වත්
- තීෂ්‍යා දුල්මිණිගේ වසන්තයේ දවසක් නවකතාවෙනි-
කවිය බලන්න
දුක ඉවසාගෙන දිවියට මුහුණ දෙමු
ලැබුණත් කොතෙක් දුක් ඉවසා ගන්න බැරි
තිබුණත් ගැටලු කෙතරම් විසඳන්න බැරි
සිතුනත් නිතර තව ජීවත් වෙන්න බැරි
මැරුණත් කුමට හොඳ තැනකට යන්න බැරි
මොන කරුමයට හෝ ලෙඩ ඇඳටම වැටිලා
දුක් විඳිනා විටදි දිවියම කලකිරිලා
සිතුනද සමුගන්න දිවියද අත හැරලා
තව තව ඉවසගෙන විමසනු මැන සිතලා
ලැබුණේ මිනිස් බව පෙර පිනකිනි ඔබගේ
එය යහපතට යොමුකර ගත යුතු සැමගේ
එනිසා සිතට දිරිගෙන දිවි රැක ඔබගේ
යහපත පිණිස වෙහෙසෙනු නිතරම සැමගේ
දුක යනු උරුමයකි ජීවිතයට ලැබෙන
ලෙඩ යනු ඉන් එකකි නෙක අයුරින් තිබෙන
දැක දැක නොයෙක් දෙන ලෙඩවී දුක් විඳින
රැකගෙන දිවිය මඟ විමසනු දුක නසන
එක හෝ දුකක් නොමැතිව සැමදා තුටින
කිසිවෙකු නොමැත මේ මිහිතලයෙහි වසන
කුසගිනි පිපාසා වයසට පියනගන
යන තුන් කරුණ සැමටම දුක දෙයි නිතින
කවිය බලන්න
රාමු කරපු චිත්‍රය.
කඳු මැදින් ගලන මනහර
සුනිල් දිය දහර අහසට සම
කොළපාට මුසු ගඟ අසබඩ
පිපුනු මල් සුදු පාට කෙකටිය
ඈත සිට පියඹන මාල පැළඳුව
ගිරා ජෝඩුව අසල උස ගස
පැතුම් මල් පිරි පහුරක්
හරි මැදට වන්නට
රිටක් දෑතින් ගෙන පදින
නහර ඉලිපී කර ගැටත් මතු වුණ
සුම්බරයක් පැළදි කළු වත
ලස්සනට පාට කළ
උඩු සුළඟ රැළි කපාගෙන යන
ගඟ දියත් පහුරත් රිදෝගෙන
හිරුට නිරුවත් පිටට විසිවුණ
බිඳිති දිය පොද සිසිල විඳිම්න
සුපැහැදිලි වීදුරුවකට යට කළ
ඇන්ටික් බ්‍රවුන් පාටින් රාමූ කළ
මිළක් නියම කළ නොහැකි චිත්‍රයක
වකුටු මිනිසෙකු සිටියෙ එඩිතර
කවිය බලන්න
ගස
සාරය උරා ගෙන
මහ පොලොව පුරා මුල් යවා
සවිමත් කලා
අතූ රිකිලි
මලක් බිහිකර ගන්ට
මලක් බිහි කරගන්ට
අයිතියක් ඇත ගසට
ගස දන්නවද
මල ලස්සනද සුවදද
මල් පිපී ඇත රුවට
පළදින්න ලස්සනට
මල් පිපී ඇත සුවද
බඹරුන්ට රොන් ගන්ට
තවත් ගෙඩි හටගන්ට
ගසට ඉඩ දෙන්නෙ නැත
මල් කැකූලු කඩන්නට
අයිතියක් නැත අපට
කතා නොකලාට ගස
රිදෙන්නට ඇති නේද
කවිය බලන්න
ටිකක් කියා හුඟක් ඇගවීම...
කැපුම් දෙකයි
රූප දෙකයි
මාත්‍රා පහ හත පහ
ලුහු පේලි රටාවයි
සෘතුවක ලතාවයි
දහ හත් මාත්‍රාමය
නිමිති පිරවූ
ගැඹුරු මොහොතක
විදර්ශනාවයි
ඒකේ නම "හයිකු"
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි - වෑත්තෑවේ නා හිමි
රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බඹන ගතින්
නටත් අයෙක් සුරා මතින්
කවිය බලන්න
ඇතින්නක පැටියා සමඟ දුම්රියක ගැටී මිය යයි.(සිරස්තලයක්)
දුම්රිය රියදුරු:
ස්වාමීනී,
හරියට ඉද්ද ගැහුවා වාගෙයි පාර
ලාම්පුවේ එළිය අන්තිම සිල්පරෙත් පේන්න
අලියෙක් නොවෙයි ඉඳිඹුවෙක් හිටියත් දකින්න
උදව් කලා කිරි බැබලෙන හඳපාන
1 වැනි නියාමක :
මගීන් සිටියෙ සුව නින්දක අනාගතේ සිහින එක්ක
කණාමැදිරි පියෑඹුවේ උන්ගෙ පහන් හකුලාගෙන
ඊතලයක් විද්ද වගේ පාර පෙනුනෙ හරි ඈතට
කොහෙන් කොහොම මතු වුනාද තවමත් බෑ හිතාගන්න
2 වැනි නියාමක :
සිග්නල් එළි හඳ එළියේ තරු කැට වගෙ සැඟව යනව
අතු අගිස්සෙ සිටිය බස්සො ඇස් පියාන වහන් වෙනව
රේල් පීලි හමුවෙන තැන හරි වෙගෙන් ඈත් වෙනව
ඊළඟ නැවතුමත් අපේ ටිකෙන් ටිකම ළඟට එනව
ඇතින්න :
ස්වාමීනී, ඔවුන් සේරම නිදොස් නිවැරදිකරුවන්
බුරුලට මුව තියා ඉරුවත් කිරි බොන්න
බුරුලම වේලිලා කිරි නෑ එරෙන්න
නොහඬා හිටියෙ දරුවට දුක නොහිතෙන්න
රැහේ එවුන්ටත් කිරි නෑ එරෙන්න
පෙරදා රැයේ හේනක පැල බිඳලා
සඟවා තිබූ වී කුරහන් ටික බීලා
දරුවා ළඟට ගෙන කිරි උගුරක් දීලා
සිම්බත් උගේ හිස මගෙ හිත පෑරීලා
පැලේ සිටිය පැටවුන් හඬති බඩගින්නේ
ගෙවිලිය ගොවිපුතා ඉන්නේ දුක්ගින්නේ
කැඩු පැල කොහොමදැයි සරිකර සදන්නේ
දෙඅත් නගා දෙවියන්ගෙන් විමසන්නේ
මගෙ ලොකු එකා දවසක් ගම් වැදීලා
එන විට වැරදිලා පතහක වැටීලා
ගොඩගනු පිණිස ඔහු මරනෙන් මුදාලා
අපි හින්දා දුක් විඳි උන් පිරීලා
මහ වන මැද්දෙ අපෙ ගම් බිම් එළි කරලා
ජලබිම් වැව් ටිකයි ඒකට මැදි කරලා
යන්නට බැරිවෙන්න වට කොට වැට බැඳලා
ගම්මුයි අපියි කොටවති විරසක කරලා
ඔවුනුයි අපියි ඉන්නේ එක දුක් ගින්නේ
කවුරුන් කවදාද කොහොමද විසඳන්නේ
ජීවත් වෙන්න හැටියක් නෑ අපි දන්නේ
හිතකින් නොවෙයි දරුවත් අරගෙන පැන්නේ
කවිය බලන්න
අළු පාට මල්..
හිරු නැගී හිරු බැස
ගියා පමණයි
ගෙවුන හැමදා
එක වගෙම
වසන්තය අවසානයි කියා
ඔබ එතැයි මග
බල බලා පිබිදුනු
අවසාන කුසුමද
ගිලිහුනු පසුව
නිහඬවම
කාලය ගෙවෙනු ඇත..
සබඳ...
ඔබ එනවා නම් එක වරක්
හැකිද කල් තියා දන්වන්න
තුරු පත් හැලී
නෙක වර්ණ වියැකී
හිමෙන් වැසුනද හාත්පස
එවිටත්
උණුසුම්ව ඇති මා හද...
මිරිකා හැරිය හැක
පණ පොවනු පිණිසම
ඉපල් වී ගිය අතු ඉති පතර
පුබුදන්න එකම එක මලක්
නුඹ නමින්..
සබඳ..
වර්ණ වියැකුණ බැවින්
තැවරුවද එහි
අළු පැහැය
මුව තබා සිඹ බලනු මැන
සුවඳ පෙරදා වාගෙමය..
කවිය බලන්න
🗙






























































































