2021 නොවැම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2021 නොවැම්බර් කලාපය

නොවරදින අඹරැල්ල මාළුව දානයට යළි නොම ලැබේවා සුදුළුණු වේලුමත් පින්වත් දනන් හට අමතකව යාවා අපේ ගිහි මිතුරන්ට වාගෙම පොප්සිකල් අම රස දැනේවා හෙට පයින් පිරිවෙණට යනවිට වළා දෙවිඳුනි සෙවන දේවා !

– අනුර
ඡායාරූපය: මේනු හෑගොඩ

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

ලන්ඩන් කවි සරණිය ඇරඹුමේ සිට කවි ලිවූ එංගලන්තයේ වෙසෙන වෛද්‍ය ශ්‍යාම් මුණසිංහ කිවිඳුන් ගේ තෙවන කාව්‍ය සංග්‍රහය ‘ ඉරි ‘ දොරට වැඩුම මෙම 14 වන ඉරිදා සවස Zoom තාක්ෂනය මඟින් සිදු කෙරේ. එම උළෙල ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ජ්‍යෙෂ්ට රංගධර, විශිෂ්ට සිනමාවේදී ජැක්සන් ඇන්තනි, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ සාහිත්‍යවේදී කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආදී ප්‍රවීනයන් ගෙන් වර්ණවත් වේ. ඔබට ද එයට සහභාගී වන්නට අවස්ථාව ලබන්නට +44 7916 854058 (whatsapp) මඟින් අමතන්න.

වෙනස් ලියා

වෙනස් ලියා

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

දම් පාට මල් ගොඩක

සුදු මලක් හොයනවද?

එක ලෙසට පුසුඹ මල්

වෙන පුසුඹ හොයනවද?

මලක් අතර තුර

තව මලක් හොයනවද?

මල්, මල්ම අතර තුර

බඹරෙක්ව හොයනවද?

තලෙළුවට පිපුනු මල්

‘සුදු’ වෙන්න හිතනවද?

කැරලි වු කොණ්ඩයක්

කෙලින් කර මදිනවද?

උස මදියි හිතාගෙන

අඩි උසට දානවද?

තෘප්තියම පෙනි පෙනී

අඩුවක්ම දකිනවද?

දැවටෙනා සතුට ඔහෙ

නොදැනීම ඉන්නවද?

ඔරවනා හැම විටම

ගිනි පුපුරු පනිනවද?

ලුහු බැන්ද ආදරය

සමු ගනියි හිතෙනවද?

අල්ලා ගත්තු අත

අත නොහැර ඉන්නවද?

- 07/08/21

කවිය බලන්න
අප්පච්චි

අප්පච්චි

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

අප්පච්චි පැළකරපු
දොරකඩ පොල්ගහේ
අතු දෙකක් මැදට වී
හඳ සිනා සලනවා
මං හොරෙන් අඬනවා
අප්පච්චි පැළකරපු
සුදු හඳුන් ගහ පුරා
කණාමැදිරි එළි ඇවිළි දිළෙනවා
මගේ කඳුළෙ ඒ එළිය නිවෙනවා
අප්පච්චි පැළ කරපු
සේපාලිකා ගහෙ
මල් සුවඳ රෑ පානෙ ඇදෙනවා
සුසුම් සැර වැඩි නිසා
යළිත් ආපසු හැරී
 මටත් රහසින් නොරඳ
දුවනවා
කවිය බලන්න
ගිනි මකරාගේ දවල් හීන

ගිනි මකරාගේ දවල් හීන

උදයංග අමරසේකර ප්‍රංශය

ඇගෙ නාඹර නාභිය තුළ

සිත් සේ වක ගැහී නිදන

ගිනි මකරා වෙමි ය මම

වින්කලය ළඟ

තනි කකුලෙන් හිටගෙන

කොට කලිසං කොරවක්කෝ

ඇගෙ ඉඟ සුඟ ගනිති ඇහින

උන්ගෙ සල්ලාල විසිල්

මගෙ නින්ද කැඩුයෙන්

හීන් ගිනි ධාරාවක් විහිදුවා

උන්ව කරකර බුදිනු රිසියෙමි

ෆ්රයිඩ් චිකන් මෙන් !

සිතුවම : කත්සුෂිකා හොකුසායි (Hokusai), වළාකුළු තුළ සැඟවුණු මකරා, ජපානය, 1849.

කවිය බලන්න
ස‍‍ඳතරු ඇති මට පාළුව කුමට

ස‍‍ඳතරු ඇති මට පාළුව කුමට

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සඳතරු ඇති මගෙ තනිය මකන්නට
නිරතුරු ව ම සියොළඟ වෙළෙමින්
පෙර දා වගේ ම මා ළඟ ඉන්නට
පාළුව මා ලුහුබැඳ ඇවිදින්...

දිනෙක අතර මඟ ඔබ හමු වී
යළි නොදකින ලෙස අප වෙන් වී
එය අමතක වී දෝ
යළි ආවේ මා ලුහුබඳිමින්...

සත් පව්වක් නැඟ පැමිණි ඉමේ
බලා හිඳී ඇය අද මිතුරේ
නුඹ එය නොදනී දෝ
යළි ආවේ මා ලුහුබඳිමින්...!!!

ගායනය - මහින්ද තෙන්නකෝන්
ගී පටය - සඳතරු- 1993

කවිය බලන්න
පිය රජ

පිය රජ

කෝ ආනන්ද පැරීසිය

පීතු පාදං නමාමි
23.06.2020 පියවරුන් ගේ දිනය

යටිසිත උඩුසිතට රහසේම අරගෙන
හිටි හැටියේම දරු සුරතලය පුරමින
කැටි කරගත් සෙනෙහස හදට පෙරමින
දිටියෙමි පියාණෙනි රජ ඔටුණු දරමින

ගිය ගිය තැනෙක දරු පුරසාරම් දොඩන
සිය සිය නෑසියන් ඉදිරියෙ ආවඩන
දිය දද නගන සිහිනය හැබැහින් වඩන
පිය පියතුමනි මගෙ දිවියෙන් ඔබ දකින

පියාපත් පුදා පියඹන්න වරම් දුන්
කියා නෙක කතා සිප්හලට බාර දුන්
නියාමය අනුව මෑණියන් කළ මුදුන්
පියාණෙනි ඔබය මතු දවස මෙත් බුදුන්

('කොරෝනා කාලේ කවි' සංග්‍රහයෙන් - පෙබරවාරි 2021)

කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

විපුල නැණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝම දුරලත
කළල ගිළිනු මත වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත

මහත් ගුණයෙන් යුතු උත්තමයන්ට ඇති වූ විපත්තියක්
නුවණ ඇති උත්තමයෝ ම දුරු කරති. මඩේ ගිලිණු මත් වූ
ඇත් රජෙකු ගොඩ ගැනීමට ඒ හා සමාන මහත් බල ඇති
ඇත් රජෙකු මිස අන් කවරෙක් සමත් වේද?

කවිය බලන්න
සුරලොව ගිය පියෙක්

සුරලොව ගිය පියෙක්

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

අලුයම පිබිදී ලිප           ගිනිලන්නේ
සැමටම තේ ටික හදලා        ගන්නේ
පුතුහට රිසිදේ විගසින්          දුන්නේ
කුඹුරට උදයේ සතුටින්         යන්නේ

අරුණළු වැටෙන්නට පෙර   ගම්දොරට
දොරගුළු අරින්නට අපෙ   ගෙයිදොරට
යුහුසුළු කරන්නට සැම     අවදිකොට
මුවගොළු බිඳින්නට පෑවේ     සිනහකට

අඳුර ගලනවිට නිවසට   ආවේ
ගෙදර බලා යලි  කඩයට දිව්වේ
උයා බෙදාදී බත්ටික     කෑවේ
මැදියම කවුදෝ හදවත   පැලුවේ

වැස්සට තෙමි තෙමි කුඹුර කෙටු     අපි
අව්වට දැවි දැවි ගොයම් කැපුව          අපි
සවසට නැමි නැමි තෙරුවන් වැඳි       අපි
අපහට නැති වුනි රුවනක් රැකි        අපි

කෙටුවත් කුඹුරේ දවසම    වෙහෙසි
දැනුනත් සිරුරේ රිදුමක්      හදිසි
නැතිමුත් සිතුවේ හරියක්      අදිසි
වියොවින් තැවුනේ පුතනුන් මෙලෙසි

කවිය බලන්න
මේ අපේ අම්මා තමයි......

මේ අපේ අම්මා තමයි......

සුගත් අමරසිංහ නිව්යෝර්ක්

මහරගමින් නැගී බසයේ
සෙනග අතරේ තෙරපිගෙන
සුප් බෝතලේ කැඳ බෝතලේ
සීරුවටම අල්ලාගෙන
බහින්නේ බසයෙන් එලියට
කොන්දොස්තර කෑ ගැහුවම

"බහින්න පිළිකා රෝහල ......
බහින්න පිළිකා රෝහල...."

වාට්ටු බිත්තියට උඩින්
ඇස්දෙක වටපිට හරවා
මම එනතුරු වාට්ටුවට
බලාගෙනම ඉන්නා විට
රිදුම් දෙනවා ඇති ගෙල වට

ඈතින් මම දකිනා විට
හිනාව ඈගේ කට කොනකින්
හැමදාමත් මම ආවම
අම්මගේ සුපුරුදු කතාව

" පොඩි පුතා ගිහින් අහන් එන්න
කරුණා මිසී ගෙන්
අද දොස්තර මගේ ලෙඩේ ගැන
කිව්වේ මොනවාද කියලා......"

මාත් ඉතින් යන්න යනවා
වාට්ටුවේ කෙළවරටම
කරුණා මිසී ඉන්න තැනට
ගිහින් අහල කතා කරලා
සුබදේ විතරක් කියනවා
අම්මගේ හිත සතුටු වෙන්න

අම්මගේ නහයෙන් දමාපු
බටය කොනේ පුනීලයට
කැඳ ටික ටික වත් කර කර
රසක් ගුණක් නොම දැනගෙන
අම්මගේ බඩ පිරෙන සතුට
දැනුනා මටත් හිත පුරාම

කරුණා මිසි ළඟටම විත්
අම්මගේ ඔලුවත් අත ගා
බය වෙන්නට දෙයක් නෑනේ
කියල හිනාවක් පානවා
ඒ කාලේ ඉදන්ම අපි
කරුණා මිසි දන්න හින්දා
අම්මා ගැන හොයලා බලා
වැඩි සැලකිල්ලක් පානවා

වාට්ටුවේ සීනු හඬට
අම්මගේ ඇස අග කඳුලක්
හෙමින් හෙමින් මෝදු වෙනවා
ඒ කඳුලින් මගේ හිතේ
කඳුළු ගඟක් ගලා යනවා

යනවිට අම්මා තනිකර
හෙට හවසට එනවා කියා
වාට්ටුවේ කෙලවර ළඟ
ආපහු හැරිලා බැලුවිට
බිත්ති කන්ඩියට වාරුව
මා යනසැටි බලා ඉන්න
මගේ අම්මා මා දුටුවා
කඳුලින් බොඳ දෑස් තුලින්

ජීවිතයත් කෙටියි කියලා
අම්මා එය දැනගත්තට
දිවියම ජීවත් කරන්න
වෙර දැරුවේ හිත හයියෙන්

අප තනිකර අම්මා ගොස්
වසර දෙකක් ගෙවුණු වෙලේ
අම්මා සිහි කරමින් අප
අම්මා සිටි වාට්ටුවට
දනක් බෙදන්නට ගිය වෙලේ
වාට්ටුවත් පාළු වෙලා
කරුණා මිසිත් පේන්න නෑ
කව්දෝ කියනවා ඇහුනා
අපේ අම්මා ගිය දිහාට
කරුණා මිසිත් ගිහින් කියලා

කවිය බලන්න
රති රස

රති රස

නිමල් අබේසිංහ කඳාන

අතැඹුල දනී සප්තස්වර මාලාව
හිසමත වැඩහිඳී සරසවි කමළාව
හැඩකල මවා ඉහලම සර එකලාව
සූසර නොකළෙනම් කුමටද වීණාව

නමට ගඳඹ නෑ හරි ශිල්පය දන්නේ
බඹර තතට පමණිය ඔහු අත යන්නේ
අමරයුරු මිහිර වීණාවට දෙන්නේ
සූසරකර පදම මැන රස උතුරන්නේ

අරුණෙහි සිනාසෙන ඔබෙ වත දකින කොට
පිරුනේ මසිත අමමිහිරක් එකතු කොට
සයනේ විඳිනුවැනි සිරි සර රසය තුට
දැනුනේ පහස මෙතැකැයි කිවනොහැක මට

එන්නට නොහැක හණිකට ඔතැනට ඉගිලී
දන්නේ සිත ගොසින් බව ඔබ ලඟ ඉහිලී
දුන්නේනෙම් රුකුල මී බඳිනට ඉපිලී
අන් ඒ දිනම එනතුරු ගණිනෙමි ඇඟිලී

කවිය බලන්න
යොහානිට

යොහානිට

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

තත්සර නන්වා ගීත කියන්නී

ලොවකට සතුටක් බෙදා හදන්නී

නැවුම් සිනා සැම හද දල්වන්නී

ඔබත් මැණිකකි පුංචි යොහානි

ඔබේ කටහඩ වයන සත්සර

අලුත් ලොවකට මග කියයි

දෑස් දල්වා පාන මදහස

යුවතියේ මට මනහරයි

කවිය බලන්න
මාත් ඩී.ගාමිණී !

මාත් ඩී.ගාමිණී !

අසංක රුවන් සාගර

...........................................

සම්පූර්ණ නම: දේවනාරායනලාගේ ගාමිණි
වයස : හතලිස් දෙකයි
ආගම: මං බුද්ධාගමේ
විවාහකද? : ඔව්

"එතකොට තමුන් කියන්නෙ මේක මේ කාන්තාවගෙ
අනුදැනුම ඇතිව සිද්ද වෙච්ච් දෙයක් කියලද? "
...........................................

උතුරෙන් හැඩි දෙමළු
ගොළු මුහුද දකුණෙන් කියල
අතපය දිගෑරල නිදාගන්න
බැරි වුණ නිසා සමහරු

හතර හන්දි වල හිරි ඇරවගත්තෙ
ගිලීමලේ පැත්තෙ
හීල් මිටියාවතක..

ඇහුවද එදා ඒකගෙන්
මොට පැල කරාදැයි බිජුවට
නිකන්ම නිකන් ගංකරේ ලියැද්දක..

අන්තිමේ පෙරහරක්ම ආපි
මුතුකුඩ සේසත් ඉහලගෙන

ස්වාමීනි,
ඒ , ඩී. ගාමිණි!

බුදුන්ගෙ ලේ නෑයොත් වෙච්ච්
අර තරම් මුරවැටක් අහුරද්දි
ඒ රූප සොබාවෙන්
රටක් උන්මාද කරවද්දි,

කොහොම ආවද කියල හෙව්වද?
කළුවර අඳුන ගාලද හිටියෙ ?
සෝදිසියට, එකෙක් හිටියද රජගෙදර ?

ගෑණියෙක් බඩ වෙන්නෙ
නැබ පිරිමැදලත් නෙවෙයි නම් ..

මැරෙන බව දැන දැනම හරි
ඌත් නැග්ගකොට එක්ටැම් මාලිගෙට..

අවසරයි ස්වාමීනි ,

ඒත්, ඩී.ගාමිණි !!
..........................................

ඉතින් හාන්දුරුවනේ ,
ඇයි මටම විතරක් ...??

මාත්, ඩී.ගාමිණී!

2021.09.17

කවිය බලන්න
මතකයි  මට

මතකයි මට

නුවන් තොටවත්ත

මතකද ඔයාට
පුංචි දෝණි ගෙ "ක්ලේ" පැකට් එක
කොච්චර ලස්සනද
අපි මුලින් ගේනකොට

එක එක පාට
එක ලඟ තියෙනකොට
හැම එක ම හරි වෙනස්
ඒත් කොච්චර ආස හිතුන ද ?

ඒත් දැන් ටික ටික
එකට ඇනිලා ඔක්කොම
වටපිටාවේ තිබුන
හැමදේ ම ඇමිනිලා එකට

බලන්නට වත් නොහිතෙන
එකම අඳුරු පාට
හැම තැන ම
.
.
මතකද ?

හරියට ම ගැලපෙන්න කියලා
වෙනස් වෙන්නට ඉස්සර

කල්ප ගානක් බලන් ඉඳලා
අහම්බෙන් හම්බුණ දවස් වල
සෙනග ඉතිරෙන බස් වල
එක ලඟ හිටන් යනකොට

අපි දෙන්නා
කොච්චර වෙනස් ද ?

කවිය බලන්න
ලක'ගන මිණි මවන යුර

ලක'ගන මිණි මවන යුර

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

සමනොල ගිරි රජිදු හිරු ගෙන කිරුළු ලන
ගිරිකුල මෙපින් බර සගවා බිම හෙලන
සුනිමල වණින් යුතු මිණි, මෙවුලක් ලෙසින
මිහිතල මතින් සිවු මහ නදියෙන් බසින

මහ දිය කදුරු තම හිස ගත් පුලින තල
ගැමිලිය දිය ගෙනෙන සේ නලවා උකුල
නැටවිය වැදී දිය දෙපිටින් ගං දෑල
සැගවිය පුලින තල ලය යට මිණි මෙවුල

මෙවුලින් ලිහි ලිහී එකෙනෙක මිණි පහණ
පත්ලෙන් නැගි නැගී එන ලෙස සිට පොරණ
ඔදයෙන් වැඩි වැඩී ලක'ගන පැලද මිණ
ඉසුරින් පිරි පිරී තෙද වඩවයි දෙරණ

කවිය බලන්න
ඔබ එන්න...

ඔබ එන්න...

තිලක් ධර්මරත්න කොළඹ

මේ නිසල විල් තෙරට
හෙටත් පායන සඳට
අද වගෙම ආදරෙයි
නීල ඉඳුවර අහස...

නිමා නොවනා පෙමින්
විල් කොපුල් සිඹින්නට
තවම පාරමි පුරන
අර ඈත තරු මඩල...

උදුල සඳ නෙතු පහස
මා ලයට තුරුළු වන
මැදියමෙත් ඉකිබිඳින
හදවතම සොරාගෙන...

මතක ඇවිදින් නොයන
දුක කඳුලූ වී සැලෙන
මේ රැයට සමුදෙන්න
සිහිනෙකින් ඔබ එන්න...

කවිය බලන්න
හිරුට පෙම් කළ වැලි කැටය

හිරුට පෙම් කළ වැලි කැටය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

වැලි කැටය:

කතරක් කියන්නේ තනිකර සිර මැදුරක්
අතොරක් නැතිව තිබුනේ ලොකු වැලි කතරක්
නිවනක් කියා දුටුවේ මම නිල් අහසක්
එලියක් දුන් හිරුට මම කීවා රහසක්

නුඹගේ රැසින් මා ගිනියම් වන අයුරු
දකිමින් නුඹත් තව සතොසින් වේ රුදුරු
ලැබුණත් සිසිල ලොව පැතිරෙන විට අදුරු
නොදකින නුඹ නිසා හදවත වේ සිදුරු

හිරු:

අරුමෙකි නුඹේ සෙනෙහස නම් මට තාම
රිදවන කෙනෙකු හට පෙම් බැන්දේ කෝම
සෙනෙහස නුඹේ කැලඹූවා සිත බෝම
මාරුතයක් විලස නලියන නල සේම

කවිය බලන්න
ප්‍රණාමය තාත්තාට

ප්‍රණාමය තාත්තාට

ලලිත් ද සිල්වා නුගේගොඩ

විසල් සුදු ඩිමයි කඩදාසි
රෝල් ළඟ
මජං ගෑවුණු කළු යකඩ
තඩි මැෂින් යට
මේසයක් ළඟ
හරි හතරැස් කඩදාසි
කොළ වල කපා කොටා
කුරුටු ගා
දුක් විඳිනා පිළ වෙනුවෙන්
මැතිණියගේ පත්තරයට
ලිපි සැපයූ තාත්තාට

'දිනකර' 'සිරිලක' 'දිනරැස' ගුරු හඬ
පණ දෙමින් ගොවි කම්කරු පිළේ
මොළ වලට කන්න දුන් තාත්තාට

මෙහෙයවමින් ගුරු සංගම්
අව්වේ වේලෙමින් - වැස්සට තෙමෙමින්
ඉල්ලීම් ඉල්ලමින් - සටන් කරමින්
නොවේ රජවන්නට - අප වැන්නවුන්
ජීවත් කරවන්නට
හාල් ටික, පොල් ගෙඩිය ගන්නට
පොතට බඩුගත් පෙට්ටි කඩයට
මාස් පඩිය වෙන්කළ
තාත්තාට

කුරිරු පාලකයන් පැසිස්ට්
දොට්ට දැමූ පසු රැකියාවෙන්
අසූවේ ජූලියෙන් වැටුනෙන්
එලියට ද ... කුලී ගෙදරින්
ආත්මය වසාගෙන වියළි කඳුලින්
ඉල්ලා 'දහය' පහළොව' රුපියල්
හමුවන යහළුවන්ගෙන් මගතොටේ
ජීවත් කරන්නට මා වැන්න වුන්
ජීවිතය කැප කළ තාත්තාට ....

කවිය බලන්න
ලෝ(කුරු) උස් මිනිසෙක්

ලෝ(කුරු) උස් මිනිසෙක්

නිශ්ශංක දිද්දෙණිය

රාමුවක පඩි පෙළක - පාස්සන ඇමුණුමක
වෑල්ඩින් මල් පොකුරු - පිපී විසිරී බිඳෙයි
වැඩ පොලේ යකඩ දඩු - නෙක රුවින් රූ මවයි
කුටුම්බය + වැඩපොල ද - සම බිමෙක පණ ගැහෙයි
මහ විකුම් නොරත රත - යා කඳන් අවනත ව
අවදානමේ නපුර - නැඩ පලංචිය දරයි
බිමට බැස ආ කලට - යෝධයකු සේ පෙනෙ යි
ගොඩ නැගෙන බිල්ඩිමක - ගත සවිය දිය කරයි
පුරහඳේ විරාමෙන් - පන්සලේ සිල් පුරයි
යකඩ ගොඩ වසඟ කර - පණ පොවන දිවි මඩල
ඇම ද රළු කටුක බව - මුළුමණින් පහ කරයි
හරය ගෙනක බරසාර - ජීවිතේ කැස කවයි
ඔබ ඔබෙන් ඔබට ගෙන - වපසරිය විසුරුවයි
දිවි රැකුම විනෝදය - සතුට මනදොළ වඩයි
“යකඩ මෙලෙක වන්නේ - ඔබ වෙහෙස දැකයි
වෙහෙස යකඩ වන්නේ - හිත මෙලෙක නිසයි”

(2021 මැයි 01 දා)

කවිය බලන්න
ඔබ වැරදි නැත මිතුර !

ඔබ වැරදි නැත මිතුර !

තිළිණි නිසංසලා දිසානායක

ඉර සයින් රත්වෙච්ච ගිනි පිඹින දවාලක
දූලි පලස් එලූ නුහුරු නුපුරුදු පාරක
අදත් ට‍්‍රැෆික් ඩියුටි පිට පළාතක
ඇමතුමක් දෙන්නවත් ඉඩවරක් නෑ නිම්මිට

උදයෙම පුතා ඉස්කෝලෙ දාගෙන
දිගටම මහගෙදර යනව කිව් හින්දම
ගෙදර වැඩ වැඩිවෙන්නැති කෙල්ලට
වියදම් ඇතිවුණිද මන්ද ඈට මඟටම

හවසට ගොඩවෙනකොටම ගෙපළ පඩියට
ගඩොලින් ගඩොල හීන නැංවෙනව දුටුවම
සන්තෝසේ හිත පුරා විඳගන්න බෑ මට
ඇගෙ පාලු කරටමයි යන්නෙ මේ ඇස් දෙක

ණයතුරුස් කැපෙන විට පඩි දවසට
අත ඉතුරුවක් නැතත් අන්තිමට ගාණ බැලුවම
ඈ ආස අර ලා රෝස මල් වැටුණු සාරිය
හොරෙන්ම අරන් එනවා ලබන මහ පඩි ගත්තම

අව්රැල්ල කපාගෙන කල්පනා දියඹ හිඳගෙන
එස්.යූ.වී. රාජයෙකි දිව එන හැල්මේ පිඹගෙන
මැද ඉරක් කපා නොකපාම යන්තමට
වැදුණා තිරිංගය කරස් ගා හීගඩු පිපීගෙන

ලෝහිතෙන් ඔපලූ සැප රියකි බැලූ බැල්මට
පවර් ෂටරයෙන් නුවරඑළි සිසිල වෑහෙන
තරුණ පෙම් යුවළකි දුරට පේන තරමට
ලියමි ද නොලියමි ද දඩ කොළය? මං දෙලොවක

“ඉර කැපුවෙ නෑ ඔෆිසර් මං ” කියාගෙන
නාදුනන තරුණෙකි රිය’සුනෙන් බැස නිලක් මිට මොළවගෙන
යාබද අසුනේ කදිම සිරිලියකි දෝත මුව රුවාගෙන
ළගට ළං වී බැලිමි විපිළිසර හැඩුම් හඩ කාගෙද?

දඩ කොළ ද රොස් පරොස් කාට පවරමිද මේ දොස
ඔබ වැරදි නැත මිතුර රිය පැදන් ආවාට
ඇය පමණි කැපුවේ මෙතෙක් ආ දිවිම‍‍‍‍ගේ තනි ඉර
සිහින් දිගු වෙදගිල’ඟ තවම මගෙ මුදුව පළදින

2021.10.22

කවිය බලන්න
හුස්ම පොද

හුස්ම පොද

දීපා ද සිල්වා ලන්ඩනය

කෙතරම් සිහින තිබුනද හෙට දවස ගැන
සිතුවම් කොතෙක් මැව්වද දිග පළල දැන
මනසින් ඇවිද්දද සුසිනිදු පලස මැන
කවුරු දෙයිද අද ඒ සිහිනයට පණ

සුන්දර දිවියෙ අරුමැසිකම් මැව්ව විනා
මතකක් නොමැත හීනෙන්වත් ඔබව වනා
අද තනි නොතනියට ඇවිදින් පාන සිනා
මෙතරම් ලෙන්ගතුව හැගුනේ කිමද මනා

පාලුයි හදට පාලුයි බැහැ දරන්නට
දැල්වෙන පහන් නොමැතිය තනි රකින්නට
වියකුණු සිනහ මුව සකසා තබන්නට
කිසිවෙකුටවත් බැහැ ලං වී සිටින්නට

කියාගන්න බැරි වුනු දාහක් දේවල්
හිර වී තිබිණි දින ගනිමින් රෑ දාවල්
නොකියම යන්න වුණි තිබුණෙන් බාදාවල්
මරනෙත් එක්ක කරනට බැහැ නොවැ කේවල්

ලස්සන දිළිසෙනා වටිනා පෙට්ටි ගෙන
අගනා සළු පිළිද අන්දා සිරිය දෙන
ඇත් දල මල් පිරුණු පලසක් මැදට වුන
කිසිවෙක් නොමැත මෙහි දී මට මුණගැසුන

දිළිඳු ද පොහොසත්ද කිසි වෙනසක් නැත්තේ
කුලයක් නොදැන සියලුම දෙන එක පැත්තේ
එකිනෙක පරදවන පුරසාරම් සත්තේ
නොඇසෙන එකත් ලොකු සැනසීමකි ඇත්තේ

දිව රෑ නැතිව දුක් විඳ හරි හම්බ කලත්
අනෙකා පාග ගෙන කෙතරම් උඩට ගියත්
අහසේ වදින දිව මාලිග ඉදි කෙරුවත්
හුස්ම පොද තරම් නොවටියි අද මොනවත්

කවිය බලන්න
අනේ පුතේ මමත් හරිම ආසයි ………

අනේ පුතේ මමත් හරිම ආසයි ………

රංජිත් ද සිල්වා නවසීලන්තය

අම්මේ ලොකු හාමුදුරුවෝ කිව්වා
තාත්තගේ තුන්මාසේ දානෙට
අටපිරිකර දෙකක්ම ලෑස්ති කරන්න කියලා
නායක හාමුදුරුවරු දෙනමක්ම වඩින හින්දා

සිරිපාල එහෙම කියාගෙනම
ගෙට ගොඩවෙලා
අම්ම හොයාගෙන කුස්සියට ගියා

අනේ කොච්චර දෙයක්ද පුතේ
අම්මගේ මුහුණේ ඉහවහා ගිය සතුටක් මැවුනා

අටපිරිකර දෙකම
පන්සලෙන්ම ගන්න පුළුවන් කියලත් කිව්වා
කඩේට වැඩිය අඩුවෙන් දෙන්නම් කියලත්
ලොකු හාමුදුරුවෝ කිව්වා

කරඬුවත් වඩම්මනවා නේද පුතේ
හේවිසි එහෙමත් ඕනෑවේවි

අනේ පුතේ මමත් හරිම ආසයි
පන්සලේ ඉඳන්
ධාතු කරඬුව - මගේ ඔලුවේ තියන්
වඩම්මගෙන එන්න
අම්ම හරිම සර්ධාවෙන් කිව්වේ
ලොකු හාමුදුරුවන්ගෙන් අහල බලහන් සිරිපලයෝ

සිරිපාලට එකපාරටම මතක් වුනේ
වෙසක් කාඩ්වල තියෙන පින්තුරයක්
ඒ එක්කම සින්දු කෑල්ලකුත් මතක්වුනා

උදේනි රජ දූ - මාලි කුමරියන් -
කෙස් කළඹේ සඟවා… හිසින් ගෙන
උත්තම මුනි දළදා වඩම්මන .........

24 ඔක්තෝබර් 2021

කවිය බලන්න
සරණගේ ගමන් මග

සරණගේ ගමන් මග

හේමා ඩෙප් ලන්ඩනය

පුරු පුරු ගගා හෙමින් හෙමින් /හුරතලේට හිටියා මං .
අපේ ගෙදර මට සැලකිලි/ කියල වැඩක් නෑ .
දවසක් දා මගෙ යාලුව /සෙල්ලමකට කතා කලා .
ගෙදර අයට හොර රහසේ /අපි දෙන්නා දුවල ගියා .

පිනුම් ගහල රවුම් ගහල /දුර ගමනක් ඇවිදින් දැන් .
ගෙදර අයත් හොයනව ඇති /පාර හොයා ගන්නත් බෑ .
කරුවල වැටිලා හොදටම /වට පිටාව බැලුවා මං.
බයත් හිතෙනවා දැන් නම් /මොකද කරන්නේ ?

දොරකුත් ඇරලා අන්න /එබිලා බැලුවා .
කවුරුත් නෑ පෙනෙන්ට /රිංගා ගත්තා .
මුල්ලක් අල්ලා ගෙන මං/මහන්සි ඇරියා.
ඇහැරිල බැලුවා/ මේක මහ ලොකු ගෙදරක් .

කහ පාටින් පෙරවා ගෙන /මොනවද මන්දා .
අපේ ගෙදර වාගෙ නෙමෙයි /මම දකින්නෙ මේ මොනවද ?
මාව දැකපු ගමන්ම දැන් /අලි කලබලයක් .
සද්ද නැතිව බලන් හිටියා /එලව ගත්තෙ නෑ.

මට කතා කලා ආදරයෙන් /කන්නට දුන්න මහා ගොඩක් .
කොහොමද අප්පා .../මේවා කන්නේ ?
ගෙදර කෑම වගේ නෙමෙයි /කටට ගන්න බෑ.
හිටියා හිටියා බලාන /කිසිම කෙනෙක් නෑ .

බඩ ගින්නත් දැන් නම් වැඩි/ වේගෙන එනවා .
සාදු කෙනෙක් පොඩි යට/ මට කෑම ගෙනාවා .
ඉබලා බැලුවා /හරියට හරි දැන් .
මේ තියෙන්නෙ මගේ කෑම / රවුමක් නටලා ගිලගෙන දැම්මා .

අලුත් තැනක් මට / අලුත් නමක් දැන්. ඉදලා බලනව/කොහොමද කියලා .
ලොකු සාදුත් මට /හරිම ආදරෙයි .
පොඩි සාදුත් මට /හොදටම සැලකිලි .

ඉද හිට හිතුනම/ මගෙ වැඩ පෙන්නා .
මීයෙක් අල්ලන්/ අරගෙන එනවා .
ලොකු සාදු ට නම්/ නගිනව හොදටම .
සැර වුනාම මට /ආස හිතෙනවා .

මොන වැඩ කෙරුවත්/ දැන් මම කාගෙත් හුරතලයක් .
පිරිත් කියනකොට/ ඒකත් අහනව.
කොහෙ හිටියත් මං / පූජාවට ඇති .
තිරිසන් ආත්මෙන් මිදිලා /මගෙ ලොකු සාදු ට මම කියලා .

නිවන් දකින්නට යනකොට සාදු .../මාවත් අරගෙන යනවා .
මං පිනුමක් ගහලා යනවා .

කවිය බලන්න
පාලු කවි

පාලු කවි

කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

පාලු ගඟේ දිය නානා සරස්වතිි
පාලු හිතට තනි රකිනා කෙනෙක් නැතිි
පාලු ගංරැල්ල නගනා සුසුම් ඇසිි
පාලු කපන්නට ඒදෝ වනස්පති

සිින මවා හිත මිරිකූ කුසුම් පොදිි
ඈත ගමක සිට ආ මල් වැස්ස වැනී
හිරිමල් ගොයම කිරි වැදෙනා හඩින් ඇසී
ගියෙදෝ යන්න හේමලයා වෙතින් මිදී

ඕලු විලක පිපි මානෙල් මලක් වැනී
පිං ඇති රෑක සැඟවුනු පුන් සඳක් වැනී
රං කඳ කුසට දුන් තිලිණ⁣යෙ බරින් වැඩී
පාලු ගඟේ සැඟවුනිදෝ ලොවින් මිදී ..

25/10/21

කවිය බලන්න
බිලී පූජාවට අභය දානයක්...

බිලී පූජාවට අභය දානයක්...

තිළිණි නිසංසලා දිසානායක

එල්ලිලා මස් කඩයෙ කොකුවල
කැපකරන් ජීවිත අනුන් හට..
බත් පතේ රස නහර පිනවන
පෙළ ගැසී අසරණ වු ජීවිත..
පෙනි පෙනී මරණයේ සෙවනැලි !

පළමු සික පද සුණු,විසුණුවන..
ප්‍රාණගාතයෙ වධකයන් ළඟ
සිතට අරගෙන අභයදානය..!
අත නිබූ රන්කාසි පොදියට
බේරගත හැකිවූ එකම ප්‍රාණය ...
රත්ති නුඹ විතරමයි මා හට..!

ඒ නිමේෂයේ ම'වෙත දිස්වුන
තවත් දුක්බර බොහෝ දෙනුවන්
හද සසල කරවන සුසුම් වැල්
"බේරගන්නට බැරිද අපිවත්"
මුවින් නොබිනූ ඒ වදන් වැල්..
කීරි ගැසුනා මගේ හදවත
සියුම් වූ රිදුමකින් මුසපත්ව..!

ගැබ්බරව උන් "රත්ති" එදිනම
පුංචි පැටවකු වදපු මොහොතේ
තවත් ප්‍රාණයක් අභය ලැබූ බැව්
පසක් වනවිට සිතට දැනුනා
කියා නිම කළ නොහැකි සතුටක්!

රත්ති නුඹ දකින හැම ඇසිල්ලෙම..
මතක් වෙනවා නුඹෙ නෑසියන්
මුවින් කිසිවක් කතා නොකරන..
සිතින් කෑ මොර දිදී වැලපෙන
ගෙළ සිඳින බව පසක් වන මුත්
පලායනු බැරි,යදමින් බැඳී ඇති

මුදාලන්නට හැකිවේද කා හට
ඝාතකාගාර රළු පොළොව මත
සිරවෙලා දුක් විඳින ජීවිත...!
දෙවෙනි ශික්ෂා පදය බිඳිමින්
සොරාගන්නා අයිති නැති ජීවිත !
ඇස් පනාපිට සිදුවන භයානක
මරණයේ රුදු බිලී පූජාව!

කවිය බලන්න
නුඹ දිනූ බිම නුඹට අහිමිද?

නුඹ දිනූ බිම නුඹට අහිමිද?

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

හේනේ කුඹුරේ දහඩිය මුසු කරගත්තු
වැවු දිය සනහ ගත සුවපත් කරගත්තු
වෙහෙරේ විහාරේ දම් රස විඳගත්තු
සිටියා රටක පෙර මේ වැනි බෝසත්තු

මෙත් කරුණා ගුණය හද තුළ රුවාගෙන
තම සතු ධනය දුගි මගිනට බෙදාදෙන
මහජන මුදල් සංඝික දේ හිතාගෙන
රජ මැති දන වොරැඳි රට ගොස් ගසාගෙන

ඇසුවොත් ඇසෙන්නේ සිත කළඹන දේය
නොමනා සිරිත් හොඳ සිරිතට පැරදේය
වහලුන් දෙපිල කතිරය දී කළදේය
දෙපිලම එකට රජ සබයේ වොරැඳේය

ලක් මෑණියන්ගේ තිබු අඟපසඟ නැත
විකුණා මුදල් කර, ගත් ණය ගෙවනු ඇත
පරවෙණි දස් පිරිස ඇස් කන් පියාගෙන
උපදින පුතුනි, නුඹ දිනු බිම නුඹට නැත

මතකයි ටිබෙට් එස් මහිඳුන් ලියූ කවි
හද තුළ බුරයි ජාතික නිදහසේ සවි
කළු සුද්දා කරන විපතට දෙකට නැවි
ලක්මව රකිමු ගෙන කවියෙන් තැනූ අවි

*

සහන ලැබෙනතුරු ලංකාදීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහනකමත් බන දහමත් එයයි මට

ඇතහොත් අකනිටායෙහි මුත් සැපෙක් ඉත
සිරිමත් නිදහස ම මිස වෙන දෙයක් නැත
මෙය සිත් රැගෙන වැඩ කොට ගිනි ගොඩක් මත
මැරුණත් මොකද එහි නොමැරෙන නමක් ඇත

(අවසන් පැදි දෙක එස් මහින්ද හිමිගේ නිදහසේ මන්ත්‍රය පද්‍ය කෘතියෙන් උපුටා ගන්නා ලදී)

කවිය බලන්න
පෙම්බර හිමියනේ

පෙම්බර හිමියනේ

සන්ධ්‍යා ද සිල්වා

පෙම්බර මගේ හිමි සඳුනේ කොහියාද
සුන්කර හදේ හැම පැතුමන් සැනසේද
ලන්කර කියූපෙම් වදනන් මතකේද
මන්කර පව කිමද ඔබ මා හැරයාද

සිසිවන උවන සඳ සිසිලට බැඳුනාද
ඉසිවර හිරුට රන් රැස අමතක වීද
තරුකැට ගිලිහි මුතු කඳුලින් තෙමුනාද
හදවත රිදුනබව ඔබ හට දැනුනාද

මතක් වෙනව ඔබ සමගින්
දෑත් පටලා මැවුව සිහින...
සිතක් සොඳුරු වුන තරමට
පෑ මදහස සතුට ගලන...
ගලක් වුනත් හිත අද්දර
රෑ තුන් යම කඳුළු සලන...
මමත් සොයමි මට හිමි නැති
ආදරයක පෙලෙන කරුන..

කවිය බලන්න
තනිකළ මව්පියෝ ?

තනිකළ මව්පියෝ ?

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මහන්සියි මට තේ ඇබින්දක් හදා දෙන්නකො හාමිනේ
ඉද්දි පෙන්ෂන් ගන්න පෝළිමෙ පෙරේරත් අද හමුවුණේ
ඔයා හරි ඒ වුණත් වෛරය හිත දරන් ඵල නැහැ වුණේ
දෙවෙනි දරුවගෙ වැරදි හින්දයි ඒ මනුස්සයො නැතිවුණේ

ලොකු පුතා මැරුණලු මාර්තුවෙ කිව්වෙ නැහැ ඇයි කාරණේ
මල්ලිගේ වැඩ හින්ද තරහෙන් ගිහින් හිටියෙලු කල්මුණේ
හිටිය දරුවත් දුකට පිහිටට නැතිලු දකිනට හැකිවුණේ
කොහොම ඉවසා ඉන්න ඇතිදෝ ඒ දෙමව්පියො දෙවියනේ

දෙවෙනියා ගැන කියන්නට විත් මිනිහ ටිකකට නැවතුනේ
ඒ කාලෙදිම රටින් පැන්නලු නැතිලු නැවතත් පැමිණුනේ
මුණුපුරන් ඉන්නවද ඇහුවම ඉබේ සුසුමක් පිටවුනේ
අපි වගේමයි ඒ අයත් පව් මහළු වයසෙදි තනිවුණේ

එකට සෙල්ලම් කරපු කොලු රැල ඇයිද දෙපිලට වෙන්වුණේ
එකම කාසියෙ දෙපැත්තක ඒ තරුණ ජීවිත බොඳවුණේ
දෑස් බැඳගෙන රැයේ ආවත් හඳුනන්න නැහැ බැරිවුණේ
ඒක තේරුණ නිසා වෙන්නැති පුතත් අරගෙන ඉගිලුනේ

හොඳ හෙටක් පතමින් රටට තම දිවිද පුදමින් බිළිවුණේ
උන් නසන්නට තරුණයින්මයි අවි අතට ගෙන සුරැකුනේ
රැකෙන්නට සිතු අයව රකිනට ඔවුන්ගේ හෙට නැතිවුණේ
සදා රැකුනේ නැහැ කිසිවෙකුත් කිසිවකුත් නැහැ හිමිවුණේ

සරසවියෙ ඉගෙනීම දරුවන් උන්ට ලොකු වරදක් වුණේ
තරුණයින් විතරක් නෙවෙයි අප රටේ බුද්ධිය මියැදුනේ
පුතා නැතිවුණ දුක නිවන්නට හෙළු කඳුළු නැහැ ඇතිවුනේ
ප්‍රෙෂර් පෙත්තට වෙලාවත් හරි මෙන්න තේ ටික හාමිනේ

කවිය බලන්න
රැය මැදියම රට දේවි ද බද්දට ... ?

රැය මැදියම රට දේවි ද බද්දට ... ?

දැය සම්පත් නොරටුන් වෙත දෙන්නට
කිය, කවුරුද දුන් වරමක් මුන් හට ?
ගිය උන් දොස් බැණ සැඳ ජය ගත්තට
ලෙය මුන් කකියනු නැහැ, රට වික්කට ...!

වැය සකසුරු නැහැ අය පසු බැස්සට
ණය ගෙවුමට කැස රට පිට දෙන්නට
රැය මැදියම සැම ගිය පසු නින්දට
බය මුන් තව මොක දේවි ද බද්දට ... !!

ගිය නැණ ගැනුම බැහැ මෙපිටට ඇද්දට
සිය අත කැපිය යුතු චන්දය දුන්නට
විය ළය සිදුරු, දැක රට දෙනු බිල්ලට
මිය ගිය පසුත් බැරි වෙයි සැනසෙන්නට ...!!!

කවිය බලන්න
යකුළු  බිඳ බිඳ  බිඳින බුදු බඳ

යකුළු බිඳ බිඳ බිඳින බුදු බඳ

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

යකුළු බිඳ බිඳ
බිඳින බුදු බඳ මිනිසුනේ .....
විකල් වි ද නුඹ මනස

දෑස අඳ වි ද
කෙලෙස් අඳුරින්
නොපෙනේ ද මෙත් ගඟුල් ගලනා
සෙල් රුවක හදවතේ සැඟවුන

විවර කර ලය
සොයනු කෙලෙස ද
සිහිනයක දුටු
අනගි මරකත

මහරු දම් කඳ
නොවෙ ද මිණි කැට
දෑස අබියස
නුඹට නොපෙනෙන

2008

තෘෂ්ණාවෙන් දෑස් අඳ ව යකුළු පහරින් සිය මුතුන් මිත්තන් නිර්මාණය කළ බුදු පිළිම බිඳිමින් රන් රුවන් සොයන අමනයින්ගෙන් වැඩි පිරිස දෙදහස් පන්සියයෙ සංස්කෘතියේ දරුවන්ගේ දරුවන් වීම බලවත් ඛේදයකි

කවිය බලන්න
නොසැලෙනා සමන්ගිර...

නොසැලෙනා සමන්ගිර...

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

පෙරබර වලාකුළු එළනා පාවඩයයි
හිමිදිරි පාන්දර ගිරි හිස ගිණිමැළයයි
දිනකර වැඩමවන්නට තව සුළුමොහොතයි
සමනල ගිරට ගණනක් නම් නැතිම හැඩයි

දවසින් දවස නෙත පිනවන රටාවට
පැහැයෙන් නේක මුසු කරනා කලාවට
නොසැලී කිසිත් හැමදා එක විලාසෙට
ඉඳිනට හැකිය බල මුණි සිරිපා හිසට

තන්හා රතී ආවත් රඟ සමග බැඳී
ඉන්නා විදිය දන්නේ නම් ප‍වෙන් මිදී
පෙන්වා සිතක බල මහිමය තිබෙන රැඳී
රන්දා ගන්න සතුටක් හද නොයන බිඳී

කවිය බලන්න
පුරඟන

පුරඟන

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ගොම්මන් සළුව පොරවන
පියමං කරන ගෙන් බැස
අරුණළු සළුව ලිහමින
නිදිබර ඇසින් ගෙටඑන
කකියන නයන පුරඟන
දහසක් හැඟුම් ලියවුණ

කොකුමඟර නොම තැවරුණ
පිරුණු ලැම සිත කළඹන
ලැම පතුළ හද නොදකින
සලෙලු දන මන පොබයන

දරු හිමි උරුම උණුසුම
කාසිය වෙතට පුදලන
කිරි නැති මවක සෙනෙහස
නොදරුන් වෙතින් සඟවන
නොතකන ලොවේ අවමන
හද ගිණි දැවෙන පුරඟන

කවිය බලන්න
අනියත බව....

අනියත බව....

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

නිල් අහසේ දුහුල් වළා
එකිනෙක පැටලී සෑදුන
අනේකවන් වළා වැනිය
ඔබෙත් මගෙත් මනු ජීවිත.

කලක් එකතු වී සිට යළි
විසිරී ගොස් අනන්තයට
නොපෙනී යළි කිසිම දිනක
පාවී යන වළා වැනිය
ඔබෙත් මගෙත් මනු ජීවිත.

පේුමයෙ මල් විකසිතවී
ස්නේහයෙ හද සුවපත් වී
සැනින් නිවෙන පහනක් වී
විරහව කඳුලැළ් අතරේ
මිලිනව යයි මනු ජීවිත.

තරු නෙත් පිබිදී දැල්වී
හදමල් කැකුළුද සුපිපී
පිණි කඳුලක නෙතු බොඳවී
ආදරයද සිහිනය වී
මතකේ යයි මනු ජීවිත.

හසරැළි මැද කඳුලැළි මැද
පැසසුම් හා ගැරහුම් මැද
රුදුරු චණ්ඩ මාරුතයේ
අතරමං වු වළා ලෙසින්
සැඟවී යයි මනු ජීවිත.

කවිය බලන්න
ප්‍රත්‍යාගමනය -

ප්‍රත්‍යාගමනය -

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

අඩ අඳුර බිඳි නාරි දේහය
ඇදෙන විට කවුළුවට ලංවී
ලියන පැදියේ නිසැදි රළුවි
වෙව්ලු අතැඟිලි නිසළවිය සැණ

දවස නිම මග ඇවිද එන විට
ගැටී දිගු නෙත් උස් මහල යට
මද හසින් මෝහයේ ගිණි සිල
දැල්වුයෙන් තරු වළලු පාවිය

ඉඟේ දැවටුනු අඳ නෙළුම් මල
කොඳුරමින් යදිනා රහස පැන
හදම තද කරමින් සපන විට
තුස පියාපත් සැලී අඹරට

කුසගින්න ඇගෙ සිහි සිඳින්නී
එල්ලෙමින් ගෙල බිම සිඹින්නී
ලතෙත් මෝදුව ඇයගෙ දෑතට
පිදූ කිරි පිඬු පින් ලැබෙන්නී

20 10 2021

කවිය බලන්න
ගරා යක් එළිය...

ගරා යක් එළිය...

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ගරා යකුගේ එළිය
හැමදාම හැන්දෑවේ
නිවී නිවී දැල්වෙන
රතුපාට එළියක්
ගරායක් එළිය බව
කියන්නේ මහප්පා
මං බාල කාලෙදි

මහප්පා මියගිහින්
වසර දෙකතුනක් දැන්
තවමත් පෙනෙනවා
ගරායක් එළිය මට

ගරා එළි බලන්නට
අප්පච්චි සමගින්
දිනක් හැන්දෑවකදි
ගියා මං බලන්නට
වෙල් යාය පැත්තට

දන්නවද මං දුටුවෙ
ඒ මොකක්ද කියලා
මං වගේ ළමයෙක්
භූමි තෙල් කුප්පියෙන්
පාඩම් පොත් කියවන
රතුපාට එළිය ඒ

කවිය බලන්න
නොනිමි සිතුවිලි ........

නොනිමි සිතුවිලි ........

අසංග හේරත් හේරත්ගම

ගන වැහි වලාකුලු අතරින් බිමට නැමී.
නිසලව වැඩ හිදී පසෙකින් රිවිදු හිමී.
ඉද හිට පුංචි සා පැටවුම් පනින පිමී.
දුටුවිට සිතට එන අදහස් නොමැත නිමී.

ඉපදී පිටිසරම ගම් පොඩියක හද්ද
තනියට හිටියෙ හැමදාමත් වන බැද්ද.
ඇසෙනා විටදි තුන් පත් රැලකගෙ සද්ද.
කුසගිනි නිමුවෙ නිතරම පැල මුං හොද්ද.

වනයට යාව තල හේනක් කොටාගෙන.
තුඹසක පුංචි පැල් කොටයක් අටෝගෙන.
ගල්ලැහැ පැදුර හරි අමුතුම රටා දෙන.
පොඩියක් ඔහොම ඇය එනතුරු සිටා මැන.

කවිය බලන්න
සැමදා මුමුණන ගී සරණිය ඔබ

සැමදා මුමුණන ගී සරණිය ඔබ

අනුර හෑගොඩ

කැටපත් පවුරේ මුදු පිරියම ඔබ
ගිණිගත් සුළඟේ දිවි සුසුමයි ඔබ
ගඟ දිය ගෑවෙන මල් අත්තයි ඔබ
නොනිමෙන සසරේ නවාතැනයි ඔබ

බුදුගෙය තුල පිරි සිල් සුවඳයි ඔබ
කළුවන් දැල්ලේ රතු ගිණිසිල ඔබ
චංචල භවයේ කමටහනයි ඔබ
දිය දෝතක පිරි හිම උල්පත ඔබ

වැහි එන පෙර මඟ දේදුන්නයි ඔබ
මීදුම ඉරණා හිරු කිරණයි ඔබ
සඳකඩ පහණේ විසිතුරු වත ඔබ
සැමදා මුමුණන ගී සරණිය ඔබ.

කවිය බලන්න
සන්ධ්‍යා

සන්ධ්‍යා

ලාල් හෑගොඩ  

අලුයම සියලු සුන්දරතා තොලගාමින් උරා බොමින්
ගොස් මහනුවරින් බැස්සෙමු. දුම්රියපොළ කටින් එළියට
එද්දී දකුණු පස උස් සිමෙන්ති පඩියක් උඩ ලොතරැයි
වෙළෙන්දියක් මා හා සිනාසුණා.
කොහේ දී හෝ දැක ඇතැයි සිතූ ඒ සිනාව දිගේ ගොස්
ලොතරැයියක් මිළ දී ගනිද්දී, ඇය දික්කර ගෙන සිටි
ලොතරැයි ලෑල්ල, තමා වෙතට ගෙන නොපිට පෙරළා
ළයට තදකර ගත්තා. නැවතත් සිනාසෙණවානේ ද?
“මතක නැද්ද, මම සන්ධ්‍යා ̃
බිරිඳ ද එතැනට ළංවෙන බව හැඟේ විසිර තිබූ මතක
බිඳු එක්වී ඒ රුව සෑදිණි.
මේ ඒ සන්ධ්‍යා ද?
රූසිරු නටඹුන් අතරේ නිරුත්තර වීමි. හරි හරියට ම
කිලුටුවී, තැනින් තැන දියවී ඇතත්, තවමත් ඔසරියමයි
අඳින්නේ. සන්ධ්‍යා නේද මේ?
එකල සන්ධ්‍යා ලොතරැයියක් වීය අප සැමට.
වචන ගොතා ගන්නට මොහොතක් ගත විය. සන්ධ්‍යාට
ඒ නිමේෂය වඩාත් දිගු වන්නට ඇත. ඈ වදන් ඉක්මන්
විය.
“නෑ මහත්තයා මට වැරදුණා. සමාවන්න. දන්න
කෙනෙක් යැයි හිතුවා. ̃
බිරිඳ දෙස යටැසින් බලමින් ලොතරැයියක් විකුණන්නට
ඈ වෙන කෙනෙකු වෙත හැරුණා.
“අනේ ඉස්සර හොඳට ඉන්න ඇති, ලොතරැයි විකුණන්න
වැටුණත් ඔසරිය අඳින්නේ ඉස්සර හොඳට ඉන්න ඇති,
හැඩටත් ඉන්න ඇති, අනේ පව්. ̃
ඉවත්වී එන බිරිඳගේ වදන් තෙතබරය.
එදා සන්ධ්‍යා අද දුටුවා නම් කොතරම් දාහයක් නැඟේදැයි
සිතමින් නිහඬවීමි. දාහයත් රාත්‍රියත් මා තුළ ය අතෙහි
ලොතරැයි පතය.

කවිය බලන්න
සොබාදහම දුන්නෙ මෙහෙම

සොබාදහම දුන්නෙ මෙහෙම

ආචාර්ය ඥානතිලක හේවාගමගේ සිඩ්නි, ඕස්ට්‍රේලියාව

මේ සුන්දර ඉර හඳ යට, ඉන්න වාසනා ලැබුණේ
ඒත් ඉතින් සොබාදහම, අන්ඩක් අඩුකර තිබුණේ
පුංචිසන්දියේ ඉඳලම, මා දැක නුඹෙ හද රිදුණේ
ඇල් අමරේ නුඹේ ඇල්ම, මව් සෙනෙහස මෙන් දැනුණේ

තටු ගසලා ආ දින සිට, රළු දිවියට පුරුදු වුණේ
තිරිසන් ලෝකයත් විටෙක, මනු ලොව හා සමව දැනේ
ඇති හැකි අය පුප්පන්නේ, නැති බැරි අයටමයි පෙනේ
සැනසුම ලැබුණේ නම් එය, අම්මා යන අකුරු තුනේ

කරදඬු උස් මහත්වෙලා, මමත් කරලියට බැස්සේ
දුටුවේ නැත මේ මිහිමත, මගෙ අම්මා ඉන් පස්සේ
පියාඹන්න තනි කකුලෙන්, බැහැනෙ වලාකුළු අස්සේ
තනිමග ජීවිතය ගෙවා, ආවෙමි කරදර ඔස්සේ

කෙතරම් හුරුවී සිටියත්, සුපුරුදු ජීවන ගමනට
තනි අන්ඩෙන් බර ඉසිලුම, ලෙහෙසි පහසු නැත කිසිවිට
හිතත් තෙරපිලා විටෙකදි, විඩාව බෙහෙවින් දෙනවිට
මොහොතක් සැනසුම, ලබනව තුරුල්වෙලා මිහිතලයට

සැමදෙනාම අකමැති වන, නිවනක් විශ්වයේ තිබෙයි
කිසිවෙකුගේ මත නොවිමස, අපට දිනෙක යන්න ලැබෙයි
ආත්මීය සංසාරේ, ලෝක සත්වයන් ගමනෙයි
මේ සියලුම බර දරමින්, මිහිකත නිසලව වැජඹෙයි

අදහස - ආනන්ද අමරවංස, අමෙරිකා එක්සත් ජනපදය.

කවිය බලන්න
නිල නොලත් අභිසාරිකාවෝ....

නිල නොලත් අභිසාරිකාවෝ....

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

දිවිපුරාවට ම පටලවාගෙන
නන්නත්තාර වූ ඕ තොමෝ
සතයටම වැටී
උද්ධමනය වූ කල්හි
මහත්(හො)රුන්ගේ කාසි දැක
අගපුරෝහිත මෙන්
පඬිවදන් තෙපලා
බොහෝ ඇසූපිරූ සේ
ලාටු දැමූ ඔවදන්ද දී,
උන්මාද හසරැල් නගා
එකත්පස්වැ
පසුම්බියට බටහ ................

01/10/21

කවිය බලන්න
අවසරයි සමුගන්න....

අවසරයි සමුගන්න....

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

සංසාර පැතුමක්ව හමුව
මේ භවෙයෙදී
බැඳි සෙනේ පවසන්න
උපහැරණ නම් මදී
මතකයෙන් පිසලන්න
සිහිවටන සිත රැඳී
සමුගන්නෙ කෙලෙසකද
හදවතින් සමුනොදී..

අවු වැසි සුළං කෝඩ මැද
සිනා වත පෑව
හිතුනෙ නෑ සසලවෙයි
කියා කඳු හැඩකාර
ආදරය මිරිඟුවක් විය
දෑස රැවටූව
දුන් සෙනේ ඇබිතතත්
මම මෙරකි මට තාම.

පණවගේ සෙනෙහසින්
රැක බලා ගත් හිතට
පතන්නම් වසන්තය
එළඹෙන්න හැමදාම
කීතු වුණු හදවතේ
රිදුම් පිරිමැද තනිව
නිමකරමු ආදරේ
සංසාර ගණුදෙනුව.

කවිය බලන්න
Farewell to Arms

Farewell to Arms

Day dawns, but night falls on another
Eyes closed in a slumber internal
Another attack, millions suffer
Due to these bombs, these weapons infernal.
Day after day, a massive human cost
As millions of human lives are lost
The infirm and the children suffer the most
Under bodies, buried in debris, drowned.
Don’t the politicians and rulers never take note?
When will the World bid farewell to arms?

A thousand names the enemy has,
Tragic dates etched in memory,
Tigers, Taliban, Al Qaeda or Hamas
Afghanistan, Iraq, the fields of killing,
Nine Eleven, Seven Seven now live in infamy.
Countries in the East; like those in the West
Rich or poor, one and all guilty,
Offer no solution, when put to the test,
To stem the tide, of this violent sea.
When will the World bid farewell to arms?

To force, politicians’ gaze eagerly turns,
“ This fight, this war is a justified cause!”
Have lasting lessons not been learnt
From the devastating effects of two World Wars?
Killing indiscriminate of cast, colour, creed,
Is unjust, this savage desire to kill another
Of these words, I pray, take heed,
You, the children of one global Mother.
When will the World bid farewell to arms?

To be born a human is a privilege and honour
Homo-sapiens – one single species,
Yet no sanctity of life, only massacre and horror,
Are we cursed by violence, this crippling disease?
The human condition, it is our destiny,
To live, being mortal, so short a lifespan.
Then to co-exist, together in peace and harmony,
Why so ill -equipped, so incapable is Man?
When will the World bid farewell to arms?

කවිය බලන්න
සමනොළයි ගිරි සිරසයි

සමනොළයි ගිරි සිරසයි

සමනොළයි ගිරි සිරසයි
ගලන ගංඟා සදෙසයි
රන් දියෙන් වැව් පුරවයි
පලින් බර කෙත් හිනැහෙයි

එදා බැඳි වැව් අමුණු
අදත් ඇත දිය පිරුණු
එක්ව මේ හැම රකිණු
ගුණය එය වෙයි කුළුුණු

මිණිද රන් මුතු පරදා
ජීවය දිය බිඳු සැමදා
සැනහෙ මිහිකත සැමදා
සුරකිමු දෝතින් නමදා

තනිව වෙන්වි නොසිට
එක්ව හරවමු නොපිට
හිරු සඳුත් සේ අපට
ඔබයි අභිමන රටට

හෙළන දා බිඳු කඳුළු
සාර කෙත් මත ඇතිළු
කරයි පලබර මුකුළු
පිහිද හිනැහෙමු කඳුළු

හිරුත් සඳු ඇත අහසේ
අපිත් හිනැහෙමු රිසිසේ
බැඳී අත්වැල් එකසේ
රකිමු රට අපි පණසේ

කවිය බලන්න
එක්තරා නෙළුමකට

එක්තරා නෙළුමකට

කෞශල්‍යා ජයලත්

පොතක පතක ඇති කවි විතරද මිහිරී
සිතක සැඟව ඇත ඉමිහිරි නොලියු කවී
කුසුම නුඹ ලොවට බෙදනා පෙම⁣ට සරී
විසල් කවක් මට නුඹ ගැන ලියනු බැරී

අඳුරු කලල් විල් ගැඹරෙහි පෙති නොලිහී
රුදුරු සුළි අතර වුව මග අත නොහැරී
සොඳුරු නෙළුම නුඹ විල එතෙර ද පැතිරී
සයුරු ද නෙළුම් පුබුදන සිහිනෙක වැතිරී

නපුරු ජල තරඟ පරදන දිරි මතුර
ළදරු ලෙහෙණුන්ට පහදන සන් මිතුර
ගැඹුරු වදන් රළතර මුතු ඇත පැතිර
මහරු ඔසු තවරනා හද බිතු අතර

නෙළුම් සදා විල් දිය අතරෙ ම නොරු⁣ඳේ
බැලුම් ලබා බැතිමතෙකුගෙ ⁣අතෙහි රැඳේ
තුටින් කඳු මුදුන් මත වන්දනා යෙදේ
නිතින් සාදුකාරය රැව් පිළිරැව් දේ

ශිබර කුසුම් සමඟින් වී හිත මිතුරූ
නිතර දිය ඌල තවරන් පෙම් පසුරූ
නතර වෙලා සිඹ පොඩි ⁣පොඩි දිය කඳුරූ
මතුර කියන් උපදන නෙළුමන් පොකුරූ

කවිය බලන්න
දුකට කියන කවි

දුකට කියන කවි

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

නිවෙන්නට පෙර පහන් දැල්ලත් හරිම වේගෙන් සැලෙනවා
ප්‍රපාතයකින් වැටෙන්නට පෙර ජල කඳත් පොරබදනවා
බලෙන් මත්වී උඩඟුවූ කල නොකලයුතුදේ කරනවා
මොනතරම් උඩගියත් ඊටත් වඩා වේගෙන් වැටෙනවා!

කොරෝනාවෙන් බැට කකා අපි හුස්ම ඉල්ලා යදිනවා
දවසගානෙම මැරෙන ගනනත් වැඩිවෙවී සිත පෙලනවා
කෑම බීමද ගිනිගනන්වී අපිට ඔච්චම් කරනවා
"ඇද්ද උඹලට, හොඳට ලැබුනද ? සැපද දැන් ? යයි අහනවා

තමන් පමනක් හරිය කියමින් වැරදි පාරෙම දුවනවා
කටක් ඇරියම හොරාටත් පෙර කෙහෙල්කැන වැට පනිනවා
මිනිස් ජීවිත වටින්නැති බව කරන කෙරුමෙන් පෙනෙනවා
දෙවියො තම පය නොතැබු තැන්වල මෝඩයෝ උඩ පනිනවා

නිසි වෙලාවට ගන්ට පියවර නොදැන ලොක්කන් වැනෙනවා
සිප්සතර ලැබගන්ට නොහැකිව ලමාකැළ ඉකිබිඳිනවා
වෙනත් සරණක් නොමැති හින්දා අහස බලමින් යදිනවා
අනේ කොහොමට තිබුනු රටදැයි කියා සුසුමක් හෙලනවා

අපට පමනක් නොවේ ලොවටම කොරෝනා බැට වදිනවා
නමුත් නිසිකල ගන්න පියවර නිසා උන් නම් දිනනවා
නීති හා අණ පනත් ගෙනෙමින් අපේ කටවල් වහනවා
හිතට එන දේ කොහෙ කියන්නද සිපිරිගෙය අත වනනවා !

කවිය බලන්න
මාවතේ නැගණියගෙ කිරුළ

මාවතේ නැගණියගෙ කිරුළ

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

සීත හිරිකඩ හිත අවුස්සන
පාළු අළුයම ..

නීල තුරු රැඳි පිණි කඩාගෙන
මුව දොවාගෙන..

පාන ඔච්චන් රිළා හඬ මැඩ
යාලු කරගෙන..
සඳ කිණිත්තෙන් මග ඇමඳගෙන..

කිව්වාට ඵල නැතත් හුරුවට
සංහිඳේ ⁣දෙවියනුත් බැහැදැක
සෙයිලමේ වනයේ සරන්නී..
රෑන අතහැර හීලැ මුවදෙණ..

පාරෙ අලි සෙල්ලම් උදෑසන
පාන ඇලයාපත්තුවේ ගම.
උන්ව හීලෑ කරන තරමට
මිහිරි අලි මන්තරෙයි කටහඬ

හීන කද බැඳ දරු වඩාගෙන
පාරෙ ඉටි රෙද්දක ගෙයක් බැඳ
කාල දුම්රොටු වත තවරගෙන...

ගයන ගී කවුරුත් අහනවද
පාරෙ වාහන තාල දෙනවද?
දෑස් අඩවන් කර සොයන්නේ
නෑර ඉමි" කියු කෲර හිමි ම ද?

පාර ජම්බුල කිරණ සුවම ද?
ඝෝර විෂ සපු යාලුවෝම ද?
චූටි දෝණිගෙ ලැම කොනිත්තන
මාර පුත්තරයන් නොදුටුවෙද?

කරඹ මල් සුදු දතේ රැඳුනට
"කහට " , හිත පපුතුරෙත් නැතුවා..
පුතුට පිංකැට ඉබේ පිරුනට
නුඹේ ලංසුව ඇහෙන් කියනා...

පාට තඹ වරලසට හිමිකම
ඈත පර සුද්දෙකුට පවරන..
නුඹේ හිස රැඳි කටු ඔටුන්නම
චූටි දුවටත් පළඳවනවද?

කවිය බලන්න
ජීවිතය නම් නුඹම පමණකි

ජීවිතය නම් නුඹම පමණකි

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

සෙනෙහස මහමෙරක් පපුතුරෙහි හංගාන
සෙවනැල්ල සේ හිඳී ජීවිතයේ හැමදාම
කදෝපැණි එළි නැතත් ජීවිතය දල්වන්න
නුඹේ එක හිනාවක් ඇති අඳුර දුරලන්න...

නොලැබුනත් කිසිවක්ම දුකක් නැහැ මට දැණුන
නුඹ හිඳින බව දනිමි මගේ හැම හුස්මකම
මෙතෙක් ආ මඟ නොමඟ හිත රිදුණු හැම වරම
ලොවේ අන් යමෙක් වෙද නුඹ තරම් හිත නිවන.....

කවිය බලන්න
කෙටි කවි තුනක්

කෙටි කවි තුනක්

කපිල කුමාර කාලිංග

1.      කඳක පිපි
         බිම්මල් සුසුම්ලයි
         දැක තුරු මුදුන්
=====================
2.      වාරු නැති වුව
         තරණය කළ යුතුය
         අවසන් නදියද
         වැල් පාලමින් හෝ
=====================
3.     වීදුරු මාළිගා තුළ
        තහනම් ය නිරුවත
කවිය බලන්න
නැතිවද ප්‍රේමයක්

නැතිවද ප්‍රේමයක්

කළු වලාව පහව ගොසින් ටික වේලාවක්
තවමත් කිම දෝ නෝක්කාඩු බීරුමක්
අඹර පුරා නොදිලෙන තරු කිමද පාළුවක්
ඔය නපුරු හිතේ නැතිවද මට ප්‍රේමයක්

හැම දබරය බත ඉදෙනා තුරු කීවත්
එක වරුවක් ගෙවිල ගියා නැත තාමත්
දුක හිතුනම කවි ලියමින් රෑ පානෙත්
නුඹ තුරුලයි මම සෙව්වේ හැම දාකත්

කවිය බලන්න
ඩාවින්ට මගහැරුණ වානරයා

ඩාවින්ට මගහැරුණ වානරයා

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

රජුන් සිටුවරු පිදූ
මහරු ආරාම අතහැර
බුදු සමිඳු වැඩියා වරෙක
හත්දා මූකලානක ගල් ලෙනකට

වනවාසි ඇතෙක් විතරමයි හිටියෙ
තනි නොතනියට

මනු සතෙක් කවදාක
ඇහැගැහී නෑ ඇතුට
අඹ යහළු,
වානරයෙක් මිසක

අතු ඉති කඩා දාහය නිවා
පලවා හැර නෙක මැසි මදුරු කැල
වනවාසි ඇතුය කඩා පළවැල
පූජා කලේ බුදුනට

වානරයා ගෙනාවේ මී වද
ඩාවින්ට මගහැරුන

බුදු සමිදු ආපසු වැඩිය දා නගරෙට
පසු ගමන් ආ වල් ඇතු
මිය ගියේ, ලය පැලී තැවුලට
උගේ හිත ගලක් වී තිබුනෙ නෑ
මනුසතුන් ඇසුරු නොකල වරදට

ඇතෙක් මුත් පපු කැවුතු
මෙලෙක් මලක් තරමට
වියෝ ගිනි දරනු බෑ
මෙලෙක් මල් පෙත්තකට
හිත සනසන්න සිටි
සමාන සුඛ දුක්ඛ මිතුරාත්
අකල්හි මියගොසින්
එතකොට

නාලාගිරිය ඒකට
ඌ හැදුනෙ රජ මැදුරක
ඇසුර රජුන් කුමරුන්
වාසල නොයෙක සට්ටැඹියන්

අන්තිමට ඌ
කොටු උනේ
රජ ගෙදර හබයට
පිය පුතුන් අතර
ඔටුනු හටනට

නාලාගිරි
නසරානියෙක් උනේ
ඔය තරමට
රජුන් හා පුත් කුමරුන්
ඇසුරු කල වරදට
දෙව්දත් තෙරුන්නැහැලාගේ
වොයිස් කට් ගැයුමට
මිනිසුන් පිට පෑගු පාපෙට

කැලේ කොලේ හිටිය නම්
නෑවිත් රජගෙදර
නොගිහින්
සට්ටැඹිරාලලගෙ, පයිරුපාසානෙට
උගෙත් නම ලියැවෙන්න තිබුනා
බණ පොතේ පාරිලෙයිය
වල් ඇතා තරමටම

කවිය බලන්න
ගොළු හදවත

ගොළු හදවත

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

එතී ගත් හිත් නහර එකිනෙක
බිඳී ගිය එක් අඳුරු මොහොතක
බැඳී උන් අත් පහුරු අග්ගිසි
සිඳී ලේ තැවරුණා දවසක

තැළුම් පිපිරුම් හිමින් මගහැර
වෙළුම් ලා බැඳ ඇඟිලි බිත්තර
රිදුම් සමහන් කළෙමි හදවත
පැතුම් හිස් ආකහේ පා කර

වසර ගණනක් පසුව හවසක
අතරමගකදි අහම්බෙන් දැක
වතුර දුටු සේ සතුටු සිතැ'තිව
නතර වූයෙමි පුරුදු අරණක

ඔබේ දැකුමෙන් නැවත පැමිණී
මගේ නෙතු පින් කළා දැනුණී
අනේ යළි හමු නොවී ඉඳිමු ද
ඇසී දෙසවන අගුළු වැටුණී

යළිත් හිත යට පිරුණි ලෝ දිය
නවැත්විණි කරකැවුණු ලෝකය
පිටත් වුණු දුම්රියක් හිස කඳ
ඉවත් කළ සේ දැනී තනිවිය

( 2021 නොවැම්බර් 14 දින
දොරට වඩින, වෛද්‍ය ශ්‍යාම් මුණසිංහ ගේ
නවතම කවි සිත්තම
ඉරි සංවේදී කවි සරණියෙන් )

කවිය බලන්න
ආවෙමි බලා යන්නට නුඹව

ආවෙමි බලා යන්නට නුඹව

උද්‍යා මාධවී

"ඉහල යන උෂ්ණත්වය සමගින්,
ග්ලැසියර දියවී මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනයක්"

හුඟක් ඉස්සර ඈත දවසක
නීල ගුවනත එක සැදෑවක
වළාකුළු බංකුවක් මත හිඳ
අපට අප හිනහුණා මතකද
පැමිණෙන්නට කලියෙන්
ඒ නපුරු සුළඟ......

නුඹ රැගෙන ඔහු ගියා
සමකය කිට්ටුවටම
මාව පා කර හැරිය
සීතම සීතල උතුරු අර්ධයට.........

අහසින් පොළවට
වෙනස් වුණත් ජීවිතය හුඟක්
උණුසුම්ම මතකයකි
නුඹ නෙතඟ කී කව
මොහොතකට කලියෙන්
ගිළිහෙන්න අප දෙඅත
දියකරා
ටිකෙන් ටික
ඝන සීත ග්ලැසියර
උණුසුම්ම ඒ මතක....

ඉතිං ආවෙමි සොඳුර
බලා යන්නට නුඹව
දනිමි ගමනක අවසන
නුඹත් එන බව
මේ සයුරු දියඹටම....

කවිය බලන්න
සරසවි වරම්

සරසවි වරම්

පියුමි මදුභාෂිණි මොරටුව

කිරිවෙහෙර මඟ දිගේ තුන්වෙනි කඩේ තිබ්බේ අම්මට
නෙලුම් මල් පිපුනේ උන්දැගෙ කරගැට සිඹ හිමිහිට
පහක් සියයක් නොවේ මිටි මොලවනා සතයකි ගුලි කොට
සමහරුන් වෙහෙරටත් කලියෙන් වැන්දලූ අපෙ අම්මට

කුකුළු හාමි අතින් අරගෙන දුවනවා වැව මැද්දට
පොහොට්ටු සිය දහස් ගණනින් නෙළනවා හරි හරියට
අතේ එකකුත් ඉනේ එකකුත් රඳවගෙන හනි හනිකට
අප්පච්චි ඇවිදිනවා හිරු රැස් එක්ක තරගයකුත් කොට

කන්ද මුදුනේ අපේ පැල්පත නා කපන වැසි තෙත් කළේ
ලන්ද කොන ඇති පිදුරු මඩුවට ඒ නිසයි පියමං කළේ
රන්ද පොල් අතු මඩුව සිව්දෙස වහලේ පිදුරුයි සවිකළේ
මන්ද දෙවියනි , අපේ බත්පත ඉදෙන්නට පෙර කර කළේ

නංගි බාලයා ඇගේ කොණ්ඩය රන මයුරු වරලස විනා
අයියා නම් මහ නොසන්ඩාලයි ඌට හිරබත රහ වුණා
අම්මා අප්පා පැලත් එක්ක ම කන්ද පාමුල වැළලුනා
උසස් පෙළ කඩයිම් කඩයිම් විභාගෙත් නොදැනුවත්වම ලං වුනා

සරසවියේ සුබ සිහින දැක දැක පෙරුම් පුරමින් නොකඩවා
රත් කරපු පුටු දුටුව විගසින් දෑස් තෙත්විය රෑ දිවා
ප්‍රතිඵලය ආ සැණින් බැලුවත් මුළු සිතම සීලෙක හොවා
ජීවිතේ පණ රැක්ක සිහිනය ගිලිහුණා කඳුළක් මවා

පරාජිත වනු වනු කෙලෙස මා නැත මාවතක් ඉගෙනුම විනා
නැවත ලිව්වා විභාගය වේලක් දෙකක් උකසක් උනා
පුංචි නංගිගෙ පහේ පන්තියෙ පොත් ටිකත් ගන්නට වුණා
ඒක හින්දා මැණික් පතුලෙදි ඩා බිංදු කාසිත් වුණා

සරසවියේ දොර දෙවැනි යතුරෙන් විවර කරගෙන හිනැහිලා
ගෙදර ඇවිදින් නංගි එක්කලා කිරි බතක් රස ඉදවලා
පලමු පංගුව දවල් දානෙට වෙන් කරලා පූජා කළා
බන්ධනාගාරෙට යවන්නට තවත් කොටහක් වෙන් කළා

විතැන් වන්නට නොදී අරමුණු සිතේ රඳවා තද කර
තබාගත් හින්දාම දිනුවා පැරදුණත් නොයෙකුත් වර
කරගැටත් නිදි නැති නෙතත් සුව බරිත නින්දක නිදි කර
සුසුම් හෙලනට වෙහෙසවෙනු නිරතුරුම සටනක බැද පොර

සරසවිය මට විවර වූවා කියා දැන්වූ ලිපි ටික
පරිස්සම් ලෙස රැගෙන ආවා හන්දියෙ අතු පාරක
මගදී හමු වූ පුංචි සර් පෙන්නුවා නංගිගෙ පොත් ටික
දෙයියනේ සීයකින් සීයක් තිබුණා පිටුවේ අයිනක

ඉතිරෙනා සතුටකින් සුමනෙගේ කඩේ පැත්තට දුවගෙන
ගිහින් ගත්තා විස්කිරිඤ්ඤා හය හතක් ණය පොතටම
අතින් අරගෙන එද්දී වැටුණා එකක් වැව ලග පාරට
ඒක හින්දා සරසවියේ ලියුමෙන් එතුවා මම ඒ ටික

කවිය බලන්න
අන්ධ ගොවියා

අන්ධ ගොවියා

මොනිකා නානායක්කාර බණ්ඩාරගම

අඩ සියවසකටත් වැඩි
කාලයක සිට අප්පච්චි
මඩවලා අම්බරුවො ගෙන
නියර බැඳ නිසි ලෙසට
වක්කඩද අහුරවා
දියද ගෙන නිසි කලට
අස්වැද්දුවත් යායම

පැසී රන්වන් කරල්
සිනාසෙන විට නැමී බිමටම
නුඹේ සිත දුකින් ඇයි
නොවිමසා සිටින මුත්
දනිමි මම හොඳටම

කරගැට පිරුණු දෑතම
අව් වැසි වලින් වියැකුණු
කෙසඟ සිරුරම හිමි
අටු කොටුද නොපිරුණු
ණය බරින් මිරිකුණු

දරුවන්ගෙ දුක් දරා
මිහිකත සෙ බර දරා
ගොවි රජෙක් වුව
සිහිනයකි එය

කුසට බත් ඇටයක් වත්
නිසි ලෙසට නොවැටුණු
බිම් අඟලකුදු හිමි නැති
අඳ ගොවියාද නුඹ

නොමැති නම් ,
මෙතෙක් කල්
සත්‍යය නොදුටු ඒ
" අන්ධ ගොවියාද "

යන වග
නුඹේ වත දුටු විට
සිතේ මට සැම විට
අඳ කුඹුරටම
පණ යනතුරුම
ආල වඩන ...

2021 .10. 04

කවිය බලන්න
අවසන් සුසුම්

අවසන් සුසුම්

අද දිනයේ මා යන බව මට දැනුනී
ජීවිතයේ අවසානය වෙත පැමිණී
අම්මා දුන්නු කිරි වල රස සිහි කෙරුනී
තනියෙන් ආමි අද මම තනියෙන් යනිමී

පොඩි කාලයේ විඳි දුක් ඇස් ඉදිරිපිට
පෙල ගැසී පෙනෙයි මා ජීවිතය මට
ඒ හැම දෙයක් සිදු විය දෛවය ලෙසට
අද මම සැනසුමෙන් යමි පාරාදීසයට

සතුටින් ගෙවපු අවදියකුත් මට තිබුනා
ඒ කාලයේ නොසැලී ඔබ ලඟ සිටියා
යන්නට බයක් නැ මේ මනු ලොව හැරදා
එකම දුක හිතේ සුදු තනි වන හින්දා

අවසන් සුසුම් අමාරුවෙන් හෙලන්නේ
දෙවියනි ඔබේ සරණයි මා යදින්නේ
නිදහස සොයා දෑස් පවා පියවෙන්නේ
හමු වෙනතුරා මගෙ සුදු ලඟමයි ඉන්නේ

- චිත්‍රය කිවිදිය විසින්

කවිය බලන්න
පාඩමක්

පාඩමක්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නරියෙක් කේජු කන්නට කපුටෙකු අන්දා
කළ කී දේ කීවෙමි දෝනිට පහදා
මා හිනැහුනත් කපුටා රැවටුනු හින්දා
ඇය හිනැහුනේ නැත්තේ ඇයිදෝ මන්දා

‘මොකද ඔයා හිනාවෙන්නෙ නැත්තෙ කියා
මා ඇසුවිට ඇගෙ මුනිවත බිඳින නියා
‘රවටන එක කාවත් හොඳ නැහැ සීයා’
මගෙ මිනිපිරී කීවා මට මුව පො පියා

අවුරුදු පහක දැරිවියගේ උත්තර ය
හැට පැන සිටින මට හොඳ පාඩමක් වි ය
රැවටෙන අයට හිනැහෙන රුදු පරිසර ය
ඇය රවටා නැති බව මට සහතික ය

සතුන් මිනිස්සුන් රැවටුනු කතා අසා
හිනා වුනා පොඩි අපි අත්පුඩිද ගසා
අසමින් දැනුත් ඉච්චා බස් සමග මුසා
රැවටෙමු නිතර එහි නම් නැත කිසි වෙනසා

කවිය බලන්න
දුක  නවතමු

දුක නවතමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

අකමැති වන නිසා සැම කෙනෙකුම දුකට
නිතරම වෙහෙස වෙයි ළංවෙන්නට සැපට
කෙතරම් වෙහෙසුනත් දුක උරුමයි අපට
නිසි සැපයක් නොවේ අම නිවනින් මෙපිට

නෙක වෙර දරා උපයාගත් දෙය අතට
අතහැර දමා යන්නට වෙයි අප සැමට
අරගෙන යන්නෙ මෙතනින් යන විට එවිට
ගත් දෙය පමණමයි ඔබ අපි සැම සිතට

රැස් කළ ධනය පමණක් නොව අප සැමට
සෙනෙහස පපා ආදර බස් කී සුමට
මව්පිය සහෝදර දූ දරු සිටි එකට
කිසිවෙක් නොඑයි අප සමඟින් පරලොවට

සිහි නුවණින් බලන අයකුට නිසි ලෙසට
වැටහෙන මේ සැබෑ තතු අරගෙන සිතට
සැම මොහොතකම සිත යොමු කරමින් පිනට
දවසින් දවස ළං වෙමු නිවනේ සැපට

කවිය බලන්න
ගලන ගඟක්

ගලන ගඟක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

උපන් දින තිළිණයක්
තෑගි දුන් දිනයේ
සමරුවක් මා ලීවා

සිහින ගෙනෙනා මවක්
හිතට වදිනා වෙලේ
සැඟව හිටියා හොරෙන්

රෑ පහන් නොනිවා
කඩුළු කඩයිම් මතින්
ඉගිල ගියා රටින්
පාර කියන තාරකා
අහස දැල්වී තිබුණා

දේදුන්ණ සේ ඇවිත්
මංගල නිමිති කිව් දා
දෙනෙත ගිණිදැල් දිලුණා
හිසේ නර කෙස් ඇදුනා
මා ලියූ සමරුව සිහි වුනා

2021 ඔක්තෝබර්

කවිය බලන්න
වැස්ස සහ මිනිසා

වැස්ස සහ මිනිසා

"නැත දිය බිඳක්වත් බොනු පිණිස තිබහට
ගොවිතැන් බතක් වත් කරගනු නොහැක අපහට
කරුණාබරව දහසක දිවැස යොමුකොට
වැසි පල දෙනු මැනව" වැඳ වැටෙමු දෙවිඳුට

දිව නෙත් යොමු වුණා මෙත කුලුණ පැතිරිණ
වැසි පල දෙනු පිණිස දෙවි සුරත යොමුවිණ
සතහට සුවය සැනසුම සතුට ලැබ දෙන
කළුබර වෙලා සැනකින් අහස ඉතිරිණ

දේවාලයෙන් පිටවනු නොහැකි තරමට
මහ වැසි තදය - මඩ වී තිබෙයි වටපිට
පය තැබුමටත් බැරි තරමටය එළියට
"චිහ් මේ ජරා වැස්සක් " නැගිණි මුවඟට

කවිය බලන්න
කොළඹ යුගයේ සිත්ගත් කවි  ස්විට්සර්ලන්තයේ ලූසන් ගඟබඩ දී

කොළඹ යුගයේ සිත්ගත් කවි ස්විට්සර්ලන්තයේ ලූසන් ගඟබඩ දී

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

විඳගත් මිහිරි රස මවු බිමට ද ගෙනෙමී
අදහස් ලෙස සුවිස් රට ඇවිදින් සිටිමී
ලද සුළු විවේකෙට මෙරටෙහි ගත කරමී
හදවත දිනාගත් එකියක් ගැන කියමී

පුලුන් වගේ හිම කැටිවල සිහිල දිනා
රසින් මිහිරි ගී හඬ සහ කුරුළු හිනා
ලූසන් නදිය ජීවය මෙම රටට ගෙනා
නිතින් ගලා යයි මත්කර සියලු දෙනා

කොහෙන් පටන් ගෙන කොයි තැනටද යන්නේ
කියන්නට මෙහේ ඇයි කවුරුද දන්නේ
ලූසන් නදිය මා දැකලද හිනැ හෙන්නේ
ඔබෙන් තමා මේ රට ලස්සන වන්නේ

පින වූ දෙනෙත දුටු හැටියෙම අගය කියා
සැනසෙමි සොඳුර ඔබෙ සිහිලස පපුවෙ තියා
මනමාලියක් සිය හිමි වෙත ඇදෙන නියා
යන ඔය ගමන කොයිබද සුන්දරියෙ ඔයා

වයිවාරන්න ලෙස තැන තැන දකිනු ලැබේ
ඇයි මේ තරම් දැඟලිලි යන ගමන ඉබේ
කොයි අත ගියත් හමුවන එක සිරිත ඔබේ
දයි වය එය ද ඉන් මුළු රට එළිය තිබේ

ලැබගෙන සෙනේහය හැම කෙනෙකුගෙම බැලූ
සුබ ගමනකට වරකදි අර අඳින සුලූ
ඔබ රුව මිහිර වැඩි කරවන වතුර දලූ
සිඹ ගන්නට තරම් හිත මත් කරන වලූ

රුවින් පරදවන පැරිසියෙ ටිකිරි ලියන්
මගෙන් සොඳුර හිරිහැරයක් විනිද කියන්
ඉතින් මුකුළු ඇයි මා හුරතලට තියන්
ලූසන් නදිය මට නුඹේ ආදරය දියන්

මහ මිනිසුනට මෙන් මගෙ රූබර නදිය
බහ තෝරන වියේ දරුවන්ට ද ලැදිය
අහ ගෙන ඉන්ට සොඳුරියෙ කටහඬ විදිය
දහ සක් වැඩ නිසා මට කාලය මදිය

නෙතින් දුටුව දින සිට සෙනෙහස බන්දා
හිතින් ඉවත් නොමවන ලෙස රස වින්දා
ඉතින් සොඳුර අද තනිකර යන හින්දා
ලූසන් ඔයා මා හා තරහද මන්දා

මීමන ඇලේ හෝ බොරලැස්ගමුවෙ වැවේ
තී මුණ ගැහෙන බව පවසමි නැවත බවේ
මේ යන ගමන ඔබ හැර හිත ඇතිව නොවේ
මා ගැන වරද නොසිතනු එය වරද ලොවේ

කවිය බලන්න
කොරෝනාව කළ හරිය...

කොරෝනාව කළ හරිය...

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ නුගේගොඩ

මහත් බැති සිතින් යුත්
සිවුදෙසින් වැඩම වන
මහ සඟට පුද දෙන
නෙක වතින් පිරී ගිය
විසල් පිරිකර මැදුර

වීදි පිය මං කෙරෙන
බැති දනෝ හිස නමන
ගරු සරුව ඇවිද යන
නරඹමින් මහ මැදුර

ගිලී මලේ වනවාසී
හිමි සඳුට පුද දෙන්න
විනය පිරිකර ගන්න
දුර ඉඳල අපි ආවෙ

අනේ බුදු මහත්තයෝ
කොරෝන නිසා අපි
නැත්තටම නැති වුණා
බඩ වියත රැක ගන්න
මැදුර අපි විකුණුවා

පුර හඳ එළිය කළ
බුදු පහන් නිවී ගොස්
පුර සඳේ වැතිර සිටි
සාවියා බලාගත්
අත් බලා
සිටියි නිද්‍රාවෙන්

කලක් ගිය පසු මා
ඇවිද ගිය මං තීරුවේ
දුටුවෙ පුර සදට
පහළින්
රසැති ගුණ
පෝක් ෂොප්

කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

තපසත් වයස කුල
ගුණ නැණ විකුම් දමින් වැඩුණත්
මෙ ඇමට ම වැඩියෙන්
දනවත් දනෝ ලෙව්හි බබළත්

තපස් බව, වයස, කුලය, ගුණවත්කම, නුවණ , වික්‍රමය
යන මේ සියල්ලෙන් දියුණු වූවත් , මේ සියල්ලන්ට ම
වඩා ධනවත්තු ලෝකයේ බබළති

කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

වන දෙව්ලියෝ නොකොළො ද සවන අබරණ
එන මග දුකෙක් නොවී ද සබඳිනි කලණ
සන හස බැඳුණු තැන නොහරින කර දියුණ
වෙන සැප කුමට ඔබ දකිනා එ ම පමණ

වන දිව්‍යාංගනාවෝ ඔබව කණෙහි පැළඳ
ගත්තේ නැද්ද? නෙළුම් මල් වල සැරි සරණ මී
මැස්සෝ අවුත් ඔබව වට කර ගත්තේ නැද්ද?
ඔබ එන අතර මග දී කිසි කරදරයක් වූයේ නැද්ද?
සිත බැඳුන තැන එය වර්ධනය කර ආදරය අත්
නොහරින්නා වූ ඔබව දැකීම පමණක් අපට
ප්‍රමාණවත් වේ. වෙන සැපයක් කුමටද?

කවිය බලන්න
Beyond the Goldilocks

Beyond the Goldilocks

The monsoon was began, But
There wasn't still any dew
Yet, The wind was murmuring
to the rain with silver rays.
The Robin also alone because
there was no his fellows too.
I was also sitting in the port erect looking with this moor.

In an instant, My lips kissed
a cup of cappuccino with intention
of mould a jealousy.
But the Robin referred his rapid to
me with jeered smiley.
Perhaps he couldn't think that
I am the owner of the demesne.
However, The Goldilocks were still
very mood minded without any response.

The harpsichord was playing by mother
superior beyond the Goldilocks
So, the Buttercups also tried to turn
up the sonata.
But the sister Martha hasn't any will about the sonata.
Why? It was often points out poignancy or maestoso

In the twinkling of an eye, The robin
Sauntered the shake of goldilocks.
He stared in amazement at a petal of
a blossom which felled down to
the bench.
Through the meadows an amateur emerged
who was a bosombuddy of robin. The caterpillar
YEAh,I was correct. Robin sank in a
wholesome pleasure.

කවිය බලන්න
ඔයා සිහින මල්ලක්

ඔයා සිහින මල්ලක්

හිල්මි සුපුන් ඉතාලිය

ලියා කවියක් බැරිනම් විකුණන්න
මොකට ඉහමොල ගැට ගහනවද ඔතන
එදා ඉදලම බඩවියත රැක ගන්න
දහම් ගැට දැම්ම ඇති
ස්ථිර කුලියක් වෙත යන්න

මෙතුවක් කොතන හරි දුටුවාද
දමා තියනවා මං කවියක් විකුණන්න
ජීවිතේ අගහිඟකම් හමුවෙන්න
ආ විටදී නොවෙද
ආවෙ කවි මගේ කරේ එල්ලෙන්න

කතාවට දක්ෂයා මං දන්නවා මගේ කවියා
ආදරේ ළඟත් ඇඹරෙන්නැති සැමියා
මොනවා උනත් මේ ටිකත් සිහියට ගන්න
මා ළඟත් තියෙනවා සිහින තුරුලට ගන්න

අහසේ තරු ගානට හීන
අරගෙන එපා හදවත පුරවන්න
ජීවිතේ සැහැල්ලුවෙන් විඳගන්න
අවැසි සිහින පමණක් ඇහිඳින්න
බැහැ කිව්වේ නැහැ මං එන්න

කවිය බලන්න
ආච්චිගෙ මළ ගෙදර

ආච්චිගෙ මළ ගෙදර

සුදු වියන් බැඳි ටෙන්ට්වල හිඳ
ප්ලාස්ටික් පටු ඇඳන් සුදු රෙදි
අඬ ගසද්දී ඈඳි ගන්නට
දවල් කාලේ ඉදල හිටලා
ඇවිත් යනවා
කෙනෙක් දෙන්නෙක්

රෑ බෝ වී එද්දි
අඩ අඳුරෙ මුළු ගැන්ව
මදුවිත රස බලන
ඥාති හිතවත් පිරිස්
සතුටු සාමීචියේ
සිනාසෙයි තරුණ කැළ
මග දෙපස තැනින් තැන
සිගරැට් බීඩි දුම
පරයා නැගෙයි
පිලිස්සෙන ගඳ
අමු කොළ

පාට සළකුණු
නළලෙ තැවරුනු
විවිධ හැඩ ඇති
මැති ඇමතිවරු
වටකර ගෙන
හාල්පාරු සහචර නඩ
හැරිල යනව ආ පයින්ම
පෙන්වන්නට හිතවත් කම

ඕමි ගහන කැරම් ගහන
පාඵ කපන හිතවතුන්ට
විඩෙන් විඩේ සත්කාර
බිස්කට් නෙස්කැෆෙ

ගෙදර දරු මුනුපුරු කැළ
මුන ගැසී අමුත්තන්
කරයි ආරාධනා
"එන්න කෑම ටිකක් කන්න
බුෆේ එක අල්ලපු ගෙදර"

ආච්චිගෙ මළ ගෙදර

කවිය බලන්න
නිහඬ විලාපය

නිහඬ විලාපය

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

මලානික හිරු සිතිජ ඉම ගිලගද්දී
ඔබ සිරිය බලන්නට ඇදෙන්නම්
සුදෝසුදු වැලිතලාවේ පහස විඳින්නට
එදා මෙන් අප දෙපා නගන්නම්

දුරු කතර ගෙවා ඔබ සොයා අප පැමිණියා
කිමද ඔබ නිසොල්මන් වී මෙදා
එදා මෙන් දඟකාර රැළි නොමැත පා සිඹින
සිසිල් පෙන කැට නොමැත අප බදා

වේදනාවෙන් නැගෙන රළ රැගෙන ඇදි ඇදී
කියන්නට තනන්නේ කුමක්දෝ
එදා සුන්දර වෙරළ අද නොමැත රඟන්නට
මුදු සුළග කසල හා රඟයිදෝ

සඳ එළියේ දිලුනු සුදු පෙණ කැටිය අද නොමැත
හොරෙන් අප දෙස බලා සිටින්නේ
වෙරළ සිප ගනු නොහැකි, වදන් තෙපලිය නොහැකි
නිසා ලතැ වුලෙන් දෝ සිටින්නේ

සොභා දහමේ අසිරි නොමසුරුව ලබා දුන්
නිසාදෝ මට මෙහෙම කරන්නේ
ඔබ වැළපෙනා අයුරු කිසිවෙකුට නො ඇසේද
මිනිසුනේ ඇයි වෙරළ නසන්නේ

කවිය බලන්න
අමල් බිසෝ

අමල් බිසෝ

සුනිල් එස්. සිරිසේන මහනුවර

අමල් බිසෝ බැඳ වැට කඩුළු සවිමත් දොර අගුළු දමා
ගියමුත් කුමක්දෝ වෙනසක් පෙනෙනු කිමා
අමල් බිසෝ! මගෙ කවදත් නුඹ ම තමා
දොර ඇරියාද කියපන් තව නොවී පමා

දඬුවැට යළිත් වර පටකින් බඳින්නට
හැකිමුත් සුළඟ බැ රඳවා තබන්නට
අමල් බිසෝ කීවත් පෙර පුරුද්දට
මල් මද බිසෝ දුර ඈතක ගෙයින් පිට

මද සුළඟ සේ ඇවිත්
හෙමි හෙමින් ගෙට වදින
පසුව සැඩ සුළඟ ලෙස
ඇතුළු ගෙය සුන් කරන

සුළඟකට ගෙට එන්න
දොර පියන් හැරියාද
පසිඳුරන් ගොදුරු වන
සිත සසළ කරන විට
නිහඬව ම සිටියාද
සිතෙන් පොර බැදුවාද

සඳ එළිය බිඳින්නට තරු පිපෙන රැය පුරා
ඉගිලෙන්න ආකහේ ඈත කෙළවර කරා
පහන් සිතිවිලි අරං ජීවිතේ සැරි සරා
යළි එන්න බියක් ඇත කටු පඳුරු මතුවෙලා

දොර බිඳින හඬ ඇසේ කවුරුදෝ වරින්වර
සුළං එනවා සැරෙන් සියොලඟම සළිත කර
මා ළගින් වැතිරගෙන නෙතු මදක් විවර කර
නිදි නැතිව හිතනවද කඳුළු වල තියෙන බර

කවිය බලන්න
රැවටුනාද ඔබත්...?

රැවටුනාද ඔබත්...?

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

දුකක් දනවන දසුන් දුටුවම
සැබෑවට දුක දැනෙනවා...
යමක් සිදුවී, තරුණි තරුණය
අපහසුවකින් ගෙනෙනවා...
හදක් උණුවන කලදි ඕනැම
දෙයක් කරනට හිතෙනවා...
බරක් මුත් ඒ වගක් නැතුවම
එයට අප කරගසන⁣වා...

කනිං ඇසුවත් යමක් පිලිගනු
එපා එකවිට, කියනවා...
වෙනිං කෙනෙකුට 'කපුට' 'කපුටෝ
හතක්' ලෙසටම හැඟෙනවා...
ඇසිං දුටුවත් එයද හරිදේ,
කියා දැන් මට හිතෙනවා...
මෙයිං දැක්වෙන දෙයිං මොනවට
අපට එය පහදවනවා...

හොඳිං ඇස් ඇර බැලුව කලදී
තරුණයයි ඔසවන කෙනා...
දමං ඉන්නා පාවහන් දෙස
දෑස හැර බලනුව මැනා...
ඇඳුං වලිනුත් ඇඳන් සිටිනා
අපව හොඳහැටි රැවටෙනා...
ඉතිං කොහොමද දිවිගෙවන්නේ
බොරුව හැමතැන රජවෙනා...

කවිය බලන්න
සිහළ රාජධානිය

සිහළ රාජධානිය

වැව් බැඳි පුරවර
නොවෙද එය සුරපුර
පිං බිමකි මෙනුවර
නැත අනෙක අනුරපුර

රන් බෝ පත් සසල
සමාධිය නිසසල
රන්වැලි සෑ අසල
වඩන දිරියකි සිත කුසල

එපුර වැද විඳි සිරි
සිත තවත් නොවිසිරි
කැටයම් සැම සසිරි
ගෙන එයි සිතට බුදුසිරි

දාගැබ් අඹර වෙත
සරුවට වැඩුණු කෙත
පිනවයි සැමගෙ නෙත
වඩවමින් තවද මෙත් සිත

කවිය බලන්න
එදා මෙදා

එදා මෙදා

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

ඉස්කෝලෙ නිවාඩුවට
කුඔුරට ඇඹුල අරන්
ගෙදර කටිටිය සමඟින්
අයියයි මමයි එක් වන්නේ
හරිම සතුටින්
නෙලුම් කොළේකට බෙදු බත
මි ගස් සෙවනේ ඉදන්
තලුමරමින් රස බැලු සැනින්
දිව යන්නේ දිය කඩිති සොයන්
දංඩි පැටවුන් අල්ලන්න බෝතලේට
කෑ ගහමින් සිනාසෙමින්
අපි උඩ පැන්නේ
දංඩි පැටවුන් කකුල් කොටද්දි
විනෝදයෙන් සතුටින්
වෙිදනාවක් නොම දැනුනෙ
එදා සොබා දහමින්
විඳ සතුටු වින්දනය
අද මුදලට යටවෙන්නෙ
හෝටලයේ ඒ සි යට ඉදන්
නෙලුම් කොළේට බත බෙදන්
කෑවෙ එකතු වෙලා සතුටින්
එදා විඳි රසය
බත් ඇට අතරෙන්
අද නොම දැනෙන්නේ
හෝටලයේ උද්‍යානයේ පසෙකින්
දිස්වෙන Fish Therapy පුවරුව
සොරාගති මා නෙත් සැනින්
මතකය මිතුරෙකු ලෙසින්
මා හද කිති කවද්දි
මුදල් ගෙවා පෝලිමෙ ඇදි
ටැංකිය වටා හිඳ ගත්තේ
එතුළට දෙපා ඔබමින්
පිරිස වැඩිවෙත්ම
දිය පාරක් ගලාගෙන විත්
පිරුනා ටැංකියෙන් අඩක්
සැනෙකින් රන්වන් පාටින්
මාලු පැටවුන් රොත්තක් පිනමින්
පිරිස කළබල කලෙ විලසින්
දෙපතුල් විලුඹ විදිමින්
වටකර ගති විලසින්
ඇඔරෙමින් කෑ ගැසුවේ වෙිදනාවෙන්
එදා සොබාදහමෙහි විදි
වින්දනය අද නොම දැනෙන්නේ.

20/10/2021

කවිය බලන්න
මව්බිමෙන් සමු අරන්

මව්බිමෙන් සමු අරන්

නෙතු වසා සිහි කරමි
ඔබේ ගුණ කදම්බය
හදවතට අහිමි ඒ
මිහිරි ගුණ සුගන්ධය
යළිත් කවදාකවත්
නොදැනෙනා බව සිහිව
කඳුළු බිඳු නැගේ මගෙ
වැසූ නෙතු අද්දරට

රට ද හැරදා ගියේ
මතකයන් ඈත් කර
හදවතේ කොනක හිඳ
විටින් විට එබෙනවද
මතක සැම එකතු කර
හදවතේ රන්දගෙන
යළිත් මෙහි එනතුරා
මඟ බලා හිඳිමි මම

 

(මව් බිමෙන් සමුගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය
සෝමබන්ධු කොඩිකාර දෙපළ වෙනුවෙන් ලියූ කවියකි )

කවිය බලන්න
ඇදුරුතුමියෙනි වඳිමි ඔබ පා

ඇදුරුතුමියෙනි වඳිමි ඔබ පා

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

විශ්වයේ අවසාන නිම්තෙර
මගේ නැණැසට රැගෙන එන්නට
ජීවිතේ සැඩ තීර්ථය මැද
ඉසිඹුවක් නැති සෙනෙහසේ
රුවල් ලා මා මෙතෙර ගෙන ආ
ඔබේ පායුග සිඹින්නම්
ඇදුරුතුමියනි
ඔබේ පා යුග වඳින්නම්

යව්වනේ මල් වසන්තය එළැඹි
පෙම්හසුන් පොත් අතර සැඟවී
දොම්නසේ දාහයෙන් මැලවී
මියෙන සිත්මල් දොවා පණදී
දෑස් බැඳි කඩතුරා සිඳ නිති
ආදරේ රන්දියවරෙන් නැහැවූ
ඔබේ පායුග සිඹින්නම්
ඇදුරුතුමියෙනි
ඔබේ පායුග වඳින්නම්

මේඝයේ ගිගුරුම් හඬේ නොසැලී
විසල් රළරැළි බිඳෙන සිත් සයුරේ
කාලයේ වන වදුලු මැද අඳුරේ
ජීවිතේ නිම්හිම් සොයද්දී
ඈත තරු මංලකුණු පෙන්වූ
ඔබේ පායුග සිඹින්නම්
ඇදුරුතුමියෙනි
ඔබේ පායුග වඳින්නම්

- සිතුවම කිවිදුන් විසින්

කවිය බලන්න
සිරිත් මල්දම කාව්‍යයේ සිත්ගත් කවි

සිරිත් මල්දම කාව්‍යයේ සිත්ගත් කවි

ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන නොම හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන සැලකිලි අසුන් කර පුද

ගුරුන් සිත නොරිදනු
කීකරු කමින් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක් නිතර පෙන්වනු

තරුණ සිතකින් වත්
කුලගොත් උඬගුවෙන් වත්
ඉසුරු බවකින් වත්
ගුරුන් නොතකා ඉඳුම නොහොබිත්

කවිය බලන්න
පැහැරගෙන ගිය තාත්තා..

පැහැරගෙන ගිය තාත්තා..

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

භීෂණය, දුෂණය, වංචාව නීතිය කරගත්...
බිහිසුණු අධම පාලක රැලක්
නිදහසේ රට වැනසූවා...
එරෙහි වූවන් එයට ...
පැහැරගෙන ගොස් මරා දැම්මා ...
පිච්චුවා මහාමඟ ...ටයර් සෑවල ...
බියපත්වසිටියා බොහෝ මිනිසුන්
මුව වසාගෙන ...
කිසිවක් නොදැක්කාසේ අසරණව....

තීරණයකලා නුඹ ....සටන්කරන්නට
නගන්නට හඬක්
හඬක් නොනැගිය හැකි දනන්වෙනුවෙන් ...
තනන්නට වඩා හොඳ හෙටක්...
හෙටක් නොමැති මිනිසුන් වෙනුවෙන්....

පිහිනුවා උඩුගම්බලා
අයුක්තියේ සැඩපහරට එරෙහිව...
විශ්වාස කල නිසා නුඹ
දණින් වැටී ජීවත් වෙනවාට වඩා
දෙපයින් සිට මිය යාම උතුම්බව…

කුලීමිනීමරුවන් රැලක් විත්
පැහැරගෙන ගියා නුඹ
දෙඅත් බැඳ කමිසයෙන්
දෙඇස් බැඳ රෙදි කඩකින්
යක්ෂයන් රජකළ හෝරාවක ...

පුළුස්සා සියොළගම
ගලවා නියපොතු
පොලු මුගුරු පහරදී
දෙතිස් වධ දුන්නා නුඹට
මනුසත්කම වෙනුවෙන් හඬ නැගූ වරදට....

පැහැරගන්නට තැත්කලද... උන් නුඹේ ජීවිතය
පාවා දුන්නේ නෑ නුඹ.. නුඹගේ ආත්මය
අධම පාලකයන් අභිමුව....
බැගෑපත් උනේ නෑ නුඹ
ජීවිතය ඉල්ලා නිවට නරුම රැලගෙන් ....

සිටියා නොසෙල්වී
වධ වේදනා ඉවසමින්.....
දැන සිටියා නුඹ..
ආරම්භ වී ඇත්තේ
අධම යුගයක අවසානය බව....

බැලුවා උපහාසයෙන් නුඹ
ලේ පිපාසිතයන්ගේ දෙනෙත් දෙස
ම්ලේච්චයන් බියෙන් සලිත කරමින් ...
භාරගත්තා සුන්දර මරණය ...
සිනහපිරි මුවවිතින් ...
ඔප්පුකලා නුඹ උන්ට
පරාජය උනේ ඔබ නොව
කුලියට මිනි මරණ
ඒ කාලකන්නින්ගේ ආත්මය බව....

දයාබර පියාණෙනි,
වෙන් වුනත් ගතින් ඔබ
හදවතින් සැමදාම අප ළඟ...
හුස්ම ගන්නා හැමවිටම
දැනෙනවා නුඹ වෙතින් හමාඑන
උත්තරීතර මනුෂ්‍යත්වයේ සුවඳ....

භීෂණයේ මඩ ගොහොරුව ඉරිතලා
සොඳුරු රතු මල් පිපුන
අයුක්තියේ අඳුර පලවා හැර
යුක්තියේ රන් හිරු පායන
සැවොම සතුටින් ජීවත්වන
මිනිසත්කම ඉහ වහා ගිය
නුඹ පැතූ ලෝකය බිහි වන දිනක...
දනිමි ..
නුඹ යලිත් අප වෙත එනබව
පිය සෙනෙහසේ සොඳුරු උණුසුම රැගෙන

කවිය බලන්න
ඇගේ ගීතය

ඇගේ ගීතය

තුසිතා සුරේකා මීගමුව

පහන් කනුවට එහා ලා අදුරු මිටි තැනෙක
ඉගිල යන ගිජුලිහිණි නුඹෙ දෙනෙත දුටුවාද
උස් ලැමට වහන් වූ ලයේ ගිනි නොපෙනේද
හිරු නැගෙන්නට පෙරම නුඹ අතැර යනවාද

තිබුනාට දෙනෙත් නුඹ දකින ගහ කොල වලට
ඇසුනාට සවන් සැප කුටියෙ සිව් කොන් වලට
ගොලුයි නම් ගස් ගලුත් නොහුලනා මේ දුකට
කෙසේ නම් පවසයිද දකින දේ රට්ටුන්ට

මියඇදුන අප්පච්චිගෙ දෙඅවුරුද්දේ බනට
එන එවුන් නුබේ ගැන සල්ලාප දොඩාවිද
ලෙඩ අම්ම නොදන්නා නුඹෙ කොලඹ රස්සාව
දැන ගත්ත දාට ඇගෙ ලය දෙපලු නොවේවිද

නුඹ එවන කාසි වල තියෙන ඝනදුරු රූප
නංගිවත් මල්ලිවත් දකින් නෑ කිසි දිනක
උන්ගෙ කුස පිරුණාම පාවහන් දැම්මාම
පිං දෙනව නුඹට උන් කිසිත් දන්නැති පවට

සරසවියේ බංකු උඩ දිගෑරෙන පිටු අතර
මොර දෙනව ඇද අකුරු මට ශාප කර කරම
කාටවත් හැගෙන්නැති යටි හිතේ ජූරියට
කියාපන් බදින හැටි හැකක් නැති වග උත්තර.

කවිය බලන්න
නුඹ එක්ක උන් මොහොතක

නුඹ එක්ක උන් මොහොතක

ඩිනුක්ෂි ශලින්දි පාදුක්ක

හැරී බැලුවෙමි මදක්.
නුඹ එක්ක,
උන්නු වරු වලට.
කතා කල,
හිනැහුන,
වරු ඇත බොහෝම.
දුකක් නැත,
සතුටක් මිස.
ඉදින් වැටහුනි,
නුඹ ඇති තැන සතුටක්ම බව.
පුදුමය,
නුඹ එක්ක හිටි මොහොතක
විරහව,
මට අමතකවම
ගිය විදිය

කවිය බලන්න
අනිච්චාවත සංකාරා !

අනිච්චාවත සංකාරා !

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

මහලුව ලෙඩව අවසන් ගමනට යාම
වැලකිය නොහැක උරුමයි කාටත් ඒක
හඬනා පිරිස සනසන්නට මළගේක
මිතුරෙක් එක්ක යන්නට වුනි පෙරදාක

මිනියක් වටේ රැස්වී හඬමින් බෝම
කියවති හඬින් අනිචාවත සංකාර
තේරුම නොදැන කිව්වට මේ ගාතාව
දුක නැතිවේද මේ සසරෙහි කිසිදාක

හේතුව ඇති කලට ඇති වෙන සංකාර
හේතුව නැති උනොත් මියැදෙයි ඉඳුරාම
ඇති නැති වීම දැක දැන ගත් වින්‍යාන
බව දුක නසා පෙන්වයි මග නිර්වාන

ඇතිවී නැතිව යන සිතුවිලි දුටුවාම
එහි ඇති නිත්‍ය නැති බව යලි දැනුනාම
නොඇලී නොගැටි ඉන්නට හැක හිත ගාව
දුක ඇති වෙන්න ඉඩ නැහැ ඇත්තයි ඒක

මැරුනු නිසා නෙවි ඒ අය තැවෙන්නේ
ඇලෙනා ගැටෙන සිත හින්දයි හඩන්නේ
මද්‍යම ප්‍රතිපදාවෙන් නම් සිටින්නේ
එකොලොස් ගින්නෙ නැහැ ගිනි දැලි නැගෙන්නේ

කවිය බලන්න
කතා කරන ගස්!!!!

කතා කරන ගස්!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

"ගස් කතා කරනවා"

"පිස්සුද ඔයාට?

ගස් කොහෙද කතා කරන්නේ"

"අනේ නැහැ.... මම ඇත්තමයි කියන්නෙ

ඇත්තටම ගස් කතා කරනවා."

පොඩ්ඩක් නිහඩ වෙලා ඇහුම්කන් දෙන්න.....

එතකොට ඔයාලටත් ඇහෙවි

එයාලා කතා කරනවා හරිම ආදරයෙන්......

කවිය බලන්න
බෝසත් ගොවියා අපාගත වීම

බෝසත් ගොවියා අපාගත වීම

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

කුරුළු පාළුවක් නැති වෙලේ
වී කරල ඔසවන් පියාඹන
බෝසත් ගිරා පෝතකයා ට
කැටපොලෙන් විදිමි -
කන්ඩවත් මදිකොට
බාග මලු අස්සැන්න...
අකුරට යවනු වස්
බඩගින්නේ හරි දරු පැට්ටු..

එන මං මිස යන මං නැත
බෝසත් වඳුර - නලපාන කළ...
ගල්කටස්සෙන් වෙඩි තබමි
පානාතිපාතය මුසාකර
දරු දුක බඩ දුකේ හිරවෙච්ච
දේවදත්ත මම...

කීඩෑ දළඹු තෙල් නොගැහුවෙමි
සිල්වත්කමට නොව හිඟකමට...
ආශ්චර්යයක් නම් නොදිටීමි -
ගොයං කොළේ මිටි වුවා මිස
වැටත් නියරත් ගොයං කා ඇත...

කහට විතරක් බොන කුණුකයට
වකුගඩු අමාරුව කොහොමත් එකය
ඒ වගේද කුසගින්න දරුගින්න...
වී මල්ලකින් හැක් ද
දුවට ජංගි තුනක් ගන්ඩ...

අවේලාවට වැස්ස -
කරල් බොල්වෙන රට බීජ-
තිස්තුන්කෝටියක් දෙයියෝ
අබිං කාලද...
පාඩමක් උගන්නන්ඩ උංට
සලාක දානේ දෙන්නෑ පන්සලට මම...

මළදා අපාගත වෙමි යම ව
කළ පවු බලවත් ව රටට බත් දුන්...
මන්ත්‍රී ගේ බඩ පලමි.
නිලදාරීන් උල තබමි.
උංට කඩේ ගිය සාධු ලා -
කටු ඉඹුලේ චීවරෙන් එල්ලා
ලෝ දිය වක්කරමි.

සාදු කියපල්ලා මගේ පොඩි රොත්ත...

කවිය බලන්න
මිනිසත් ගුණ නැති

මිනිසත් ගුණ නැති

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සන්තානයේ දුක් දොම්නස් පුරෝගෙන
දිය දැක දුවන මිරිඟුව දෙස බලාගෙන
නිස්කාරණේ උමතුව සිල් මුදෝගෙන
සංසාරයේ කිමැ සම්පත් බදාගෙන

පන්සල් වෙහෙර දාගැබ් ළග දෙදණ නැමූ
සිල්වත් බවම පෙන්වන දන සුගුණ දැමූ
විල් මල් සුවඳ වුව නොවිදින දසත හැමූ
කල්පය නිමවුණිද ඇත නෙත් කදුළු තෙමූ

සුවිසල් මැදුරු තුළ කාලය ගෙවන්නේ
මදුමල් සුවඳමය නිරතුරු දැනෙන්නේ
තනි මංසලේ මවුපියෝ දුක් විදින්නේ
අග හිග එමට ඇත නෑ නොවැ පෙනෙන්නේ

උරුමෙන් උරුම වුණු සොච්චම් බිම් අගලත්
සින්නව ගොසිනි දරුවන් වෙනුවෙන් රැකගත්
අඳයෙන් ලැබුණු වී ටික, නැති සද කුඹුරත්
මවුපියෝ ඇතැර ගොස් අද බිවු කැඳ හැළියත්

ලොවටම මහන්තත්වය පෙන්වනු රිසියෙන්
මහදන් පුදන අට පිරිකර අඩු වැඩියෙන්
දූ දරුවන් වෙසෙන ලෝකෙක ධන බලයෙන්
කවදා මිනිස් ගති මතුවේවිද දිවියෙන්

බැසවිත් සදළු තලයෙන් ඉඳහිට වුවද
සිගමන් යදින අම්මා දුටුවද දුවද
නුදුටුව ලෙසින් ආපසු යන සද, සඳද
පුර පෝ දිනේ බබළයි දෝ වී සබද

දින දින තැනේ තැන තැන වැඩිහිටි අසපු
තෙවලා දහම් පිරි සිරිලක ලොව දිනපු
ලේ කිරි කර පෙවා, ගුණයටවත් හදපු
නොතකන දරුවනේ කොහි යනු සැප විදපු

දැන හදුනා නොගෙන කුස හොත් දොවේ සිට
පණ මෙන් සුරැක හැදු වැඩු රන් මලක් කොට
අණ වින නොකොට නොපෙනෙන සේ ලොවට හෙට
කණ වැල ඇල්ලුවත් පවු නැත ගෙනත් ගෙට

කවිය බලන්න
මචං...............

මචං...............

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

ලතැවුල් නැගෙන විට කකියන හදවතට
දිව ඔසුවක් ද? රස කර බොන්නේ යසට
දිය වි යද්දි අක්මා වකුගඩු පිටට
ඇයි ලොල් වුනේ සොහොයුර කියපං මතට

දැනුනොත් දුකක් ගනු පන්හිඳ සහ කොලයක්
සිත.තුළ නැගෙන සිතුවිලි ලියපං දහසක්
කදුළුත් සමග පිටුපස එයි සැනසීමක්
වැටහෙයි මචං තිබු බව ඔබ හ⁣ට මොලයක්

කවිය බලන්න
අපි කාගෙත් ගිණුම

අපි කාගෙත් ගිණුම

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

පන්සලට පල්ලියට එක විලකි මල් දැරුව
එම විලට දැල් දමා මාළු රංචුව මැරුව
කුසල අකුසල දෙකම එක විලේ නිරතුරුව
හරියටම අපි වගේ පවු සමඟ පිං කෙරුව

දස පනත පංච සිල් එකම හුස්මට කියන
දහම් පාසල් අසල තරඟයට බණ අහන
එහෙව් නුවණත් ඇතත් දැන දැනම පව් කරන
අපිත් ගිනි පන්දමකි දෙපස එකවර දැවෙන

මොන තරම් පින් කළත් සියළු වෙර වීරියෙන්
තවමනම් හොඳක් නෑ ලැබී දුන් දානයෙන්
එහෙත් අපි හෙට දවස ගැන හිතමු ප්‍රීතියෙන්
පිං ගිණුම තර කරමු දෙලොවටම ප්‍රේමයෙන්

කවිය බලන්න
ගෙවත්ත

ගෙවත්ත

මාලිනී වික්‍රමනායක කොළඹ

අපහට සෙවණ රැකවරණය දෙන මෙලෙස
සහනය,සතුට සොයමින් යන මගෙ මනස
කොතැනක කොහි ගියත් සොයනා මගෙ නිවස
මට සම්පතකි මගහරිනා මගෙ වෙහෙස

මම ළමයෝ මින් අඹයක් නොපතන්නේ
එස්.මහින්ද හිමි කවි පද සිහිවන්නේ
අපෙන් පසුව එන අය ගැන සිතමින්නේ
සිටවූ තුරු සම්පතින් සතුටකි එන්නේ

සඳ පායලා අඹගස් අස්සෙන් පෙනුනා
සඳරැස් වැටී මගෙ මුලු වත්තම දිලුනා
ගතසිත දෙකට එකවර සිසිලක් දැනුනා
දහමට සොබා කලහැකි අරුමය හැඟුනා

වවුලන් තටු ගසයි ඉගිලෙයි හැම පැත්තේ
රැහැයි හඪට නම් නැවතීමක් නැත්තේ
සීතල සුළං රැල්ලක් ගත සිප ගත්තේ
මොනවට සුන්දරද රැය මේ ගම් පැත්තේ

දරුවන් ගොස් ඇතත් දුරරට පළාතක
සතුටින් ඇති නමුත් නැතිවා නොවේ දුක
තනිකම කාන්සිය නොව හුදකලාවක
විඳ ගමි දිවිය තතු සඟවා සිනාවක

කවිය බලන්න
අකාලයේ මියගිය අම්මාට!

අකාලයේ මියගිය අම්මාට!

අම්මා වැවූ ගස් වැල් මල් ගේ පියස
මැලවී තිබේ නොලැබී ඔබගේ පහස
දුක් වේදනා තිබුනත් උසටත් අහස
ඔබගෙන් උගත්තෙමි සතුටින් සිටි රහස

"කිසිම දෙයක් මට හිමි නැහැ" කීවාට
සියළු දෙයම ගෙන ගිය බව දැනෙයි මට
තනිකම තුරුළු කර රහසින් ඇඩුවාට
මගෙ දුක නොදැනෙන්න ආදර අම්මාට

රෝග වලට පිළියම් තිබුනත් බෝම
කුරිරු ලෙසට අප වෙන් කෙරුවේ කෝම
ලෝකෙට සෙතක් ලෙස අප ජීවත් වීම
ඔබගේ පැතුම එය ඉටුවේ හැමදාම

12.10.2021

කවිය බලන්න
යාත්‍රාව හා තීර්ථය

යාත්‍රාව හා තීර්ථය

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ග්‍රීස්මය සුළං රැළි වලට පෙරලීම ය
සාන්ද්‍රික නැව් බඳක් දුක ම ඉහිළීම ය
ශීර්ෂයෙ ගමන් මග සමපාත වීම ය
තීර්ථය යනු සොඳුරු නැවියකු ගෙ ප්‍රේමය

ප්‍රදීපාගාර බිම තැනිතලා පාරකි
ඒ අසල වැටී ඇති කුඩා එක් ඉවුරකි
කෑලි කැපෙනා අඳුර නසන සුව බෙහෙතකි
තීර්ථය කළුවරට රන් තැඹිලි යායකි

නිද්‍රාවෙ තෙල් පහන බුර බුරා තව නැගෙයි
තෘණ පතක පිනි බිඳුව රිව් කිරණ තෙක් රැඳෙයි
නැව් ගතක චක්‍රයම මොහොතකින් නතර වෙයි
තීර්ථය සදාකල් ප්‍රදීපය හා දිලෙයි

කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

ලැදිව රජෙක් බොරු බස් කී විගස කයා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා
පොළොව පලාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

පෙර එක් රජෙක් සිය කැමැත්තෙන් ම බොරු කියා තමන්ට තිබුණු
අහසින් යන බලය ද නැති කොට ගෙන, ඒ මිනිස් සිරුරෙන් ම
පොළොව පළාගෙන නිරයට වැටුනේ ය. එහෙයින් සත්ත්වයනි !
මෙලොව දී බොරු කීම නරකම යි.

කවිය බලන්න
ගුත්තල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තල කාව්‍යයේ සිත්ගත් කවි

යුදෙහි ඔහු කග ලිය
සමග රුපුන'ද වේව් ලිය
උන'ඹු සිතු විළි ලිය
සුමඟ ඔහු යස ලියද ලිය ලිය

යුද්ධයෙහි දී ඒ රජු ගේ කඩුව ලෙළවෙන අයුරු ම
සතුරන් ගේ හදවත් ද වෙව්ලීය. සතුරු අඹුන් ගේ
ලජ්ජාව නමැති ලතාව සමඟ රජු ගේ කීර්ති ලතාව ද
වර්ධනය විය.

කවිය බලන්න
ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා.......

ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා.......

නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

සමනොළ සිරසෙන් නැගෙනා හිරු සේ
පැතුමන් මගෙ හිත පතුලේ තෙරපී
දුවේ නුබව දකිනා හැම උදයෙම
මගේ හිතම පිරි පිරි ඉතිරෙනවා .

මහමෙර සේ දුක වෙහෙසක් දරලා
අම්මේ නුබ අප ගැන වද වෙනවා
දකිනා හැම මොහොතකදිම මට
ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා

මගෙ තුරුලේ කිරි උරලා බිව් හැටි
හැඩවී ගවුමින් වට කැරකුණු හැටි
හිත ඇතුලේ සේයා රූ මවලා
මගේ හිතම සතුටින් ඉපිලෙනවා

මේ හිම කතරේ දුක ජයගත් හැටි
වෙහෙස දරා අප හැඩි දැඩි කල හැටි
දකිනා විට ඔබ දුක උහුලන හැටි
ඇවිදින් ඔබ සිප ගන්න හිතෙනවා

සද තරු පිරි මේ සුවිසල් ගගනේ
ලෝකය විස්මන් තැනකිය නිබදේ
නොබියව හෙට ඒ ලොව ජයගන්නට
දුවේ නුබට සුබ පැතුම් ගෙනෙනවා

දවසින් දවසට කාලය ගෙවිලා
හෙට ලෝකෙට අපි පාවී යනවා
අම්මේ නුබ පෙව් කිරි සුවදේ බල
ලොව ජයගන්නට දිරියක් දෙනවා

මේ පදපෙල ඔබට ගීතයක් ලෙසින් අහන්න පුළුවන්

ගායනය - බුද්ධිමතී ජයසේකර සහ දැහැමි ජයසේකර
තනු නිර්මාණය - ආචාර්ය නන්දා මාලනී
සංගීතය - විශාරද දිනේෂ් බෝගොඩ
ගී පද - අනුරුද්ධ වැලිගමගේ

කවිය බලන්න
🗙